Monday, March 26, 2018

දරුවන් විකුණගෙන කන 'රියැලිටි ටීවී'


හිරු ටීවී එකේ යනවා පොඩි උන්ගේ ටැලන්ට් ෂෝ එකක්.

.. විනිශ්චය කරන්න ඉන්නේ හිමාලුයි, හිමාලියි (හිමාලි නේද නම?), තව නම නොදන්න බවලතෙකුයි.

පොඩි උන් එක එක කොස්ටියුම්ස් ඇඳගෙන බැරි බැරි ගාතේ නටනවා..සින්දු කියනවා.. බිම පෙරළෙනවා... කරනම් ගහනවා.. බලන්න ලස්සනයි.

පොඩි උන් නටනවා බලාගෙන හිමාලුයි, හිමාලියි (?), අනිත් බවලතායි හිනා වෙනවා, පොඩි උන්ව අගය කරනවා.. ඒක බලාගෙන එතන ඉන්න මහ එවුන් හිනා වෙනවා, හිනා වෙවී අප්පුඩි ගහනවා.. ඔය දෙකම බලාගෙන අපේ ගෙදර උන් හිනා වෙනවා, හිනා වෙවී පොඩි උන්ව අගය කරනවා.

අවුලක් නෑ ඉතින්. හැමෝම සතුටුයිනෙ...

ඒත් ඔය සීන්ස් එක බලාගෙන ඉද්දි චැනල් එකකට සල්ලි හොයල දෙන්න පෙරළි පෙරළි නටන පොඩි ළමයි ගැන ලාවට වගේ පව් කියලත් හිතුනා.

අමතර දක්ෂතා තියෙන එක හොඳයි.. ක්‍රීඩාව කලාවට පොඩි කාලෙ ඉඳලම යොමු වෙන එකත් හොඳයි..

හැබැයි සෙලිබ්‍රිටීස්ලා කියල ජාතියක් නැති, කලාකාරයෙක් වෙලා ලෙඩක් දුකක් හැදුනත් මිනිස්සුන්ගෙන් සල්ලි හිඟාකන්න වෙන විදියේ සිස්ටම් එකක් තියෙන, කලාව කරල ගොඩයන්න බැහැයි කියල ඇස් පනාපිටම පේන අපේ වගේ රටක පොඩි කාලයෙ ඉඳල ළමයින්ව කලාවටම යොමු කරන එක නම්.. අනේ මංදා

අපි කැමති වුනත් අකමැති වුනත් දැනට තියෙන සිස්ටම් එකට අනුව ඇත්ත ඒකනෙ (නේද?)

ඒ වගේම පොඩි එකෙක්ව රටක් ඉස්සරහා නටවල ගමෙයි ඉස්කෝලෙයි පොරක් කරන එකෙන් ඒ පොඩි එකාගේ අනන්‍යතාවයම උඩු යටිකුරු වෙනව නේදත් කියල හිතුනා.

අනික ළමයගේ ජීවිතේ මේ හැම වෙනසක්ම වෙන්නේ වැඩිහිටියන්ගේ ෆැන්ටසියක් වෙනුවෙන්නෙ කියල හිතෙද්දි.. මහා අප්සට් කේස් එකක් වගේ දැනෙන්නෙ.

මොනව වුනත් ඔය නැටිල්ලෙන් වැඩිහිටියන්ට ලැබෙන දෙයින් දාහෙන් එකක්වත් නටන පොඩි එකාට නොලැබෙන එක නම් සහතික කරල කියන්න බැරි කමක් නැහැ.

මට අනුව නම් අපේ වගේ රටක පොඩි එකෙක් නටන එක, සින්දු කියන එක තියෙන්න ඕන සෙල්ලම් කරනවා වගේ අමතර දෙයක් විදියට. ඒක ළමයාගේ ජීවිතයේ ප්‍රධානම කාරණය කරගෙන ඒ වෙනුවෙන් අවුරුද්දක් දෙකක් වුනත් කැප කරන්න දිරිමත් කරන එකෙන් ළමයාට වෙන්නේ නරකක් මිසක් හොඳක් නම් නෙමේ.

අපේ වගේ රටක ළමයෙක්ව උනන්දු කරවන්න ඕන අධ්‍යාපනයට. මොකද මේ සමාජයේ යන්තන් හරි ගොඩ යන්න පුලුවන් ඉගෙනගත්තොත් තමයි. ඉගෙනගත්තා කියලා ජීවිතය සැපවත් වෙන්නෙ නෑ. ඉගෙනගත්තා නොගත්තා ජීවිතය කොහොමත් කුජීතයි. නමුත් ඉගෙන නොගන්නවට වඩා ඉගෙනගන්න එකනම් දහස් වාරයක් ඇඟට ගුණයි.

චැනල් එකකින් පාට පාට ලෝකයට අරන් යන නිසා කවදාවත් ගොඩයන්න බැරි නැටිල්ලකින් 'විශිෂ්ඨයෙක්' කරන්න තමන්ගේ ළමයාව යොමු කරන දෙමව්පියෝ ගැන නම් කියන්න දෙයක් නැහැ.

එක අතකට ඔන්න ඔහෙ කමක් නෑ. කලිනුත් කිව්ව වගේ හැමෝටම සතුටු එකේ.. මහ එවුන්ටත් ආතල් නිසා.. චැනල් එකටත් සල්ලි ගරන්න නිසා.. පොඩි උන්ට කියන්න තියෙන්නේ

"උඹට හෙණ ගැහැව්වත් කමක් නෑ, නටපන් පුතේ..."

කියල තමයි.

Wednesday, March 14, 2018

දෙමව්පියන්ට දරුවන් ණයයිද?

පිරිමියෙකුයි ගෑණියෙකුයි සංසර්ගය කරලා, මාස නවයකට පස්සෙ මේ ලෝකෙට දරුවෙක් ගෙනල්ලා දාලා, ඒ දරුවා අවුරුදු පහළවක් විස්සක් රැකබලා ගත්තාම ඒ දරුවා ඒ දරුවාගේ දෙමාපියන්ට ජීවිත කාලයටම ණයයි වගේ අදහසක් කවි, ගීත, සංස්කෘතිය වගේ දේවල් වලින් අපේ ඔලු වලට කාවද්දලා තියෙනව.

මුළු සංසාර යුගය පුරාවට ගෙවන්න බැහැයි කියන මේ 'ණය බර' කියන්නේ මට අනුව නම් ඉතාම ප්‍රශ්නකාරී ආකල්පයක්.

මුලින්ම තේරුම් ගන්න ඕන කාරණය තමයි ඕනම කෙනෙක් මේ ලෝකයට දරුවෙක් බිහි කරන්නේ කුමන හෝ තමන්ගේ අවශ්‍යයතාවයක් ඉෂ්ඨ කරගන්නය කියන කාරණය. තමන් තුළ දරුවෙක්ට ඇති ආශාව සංසිඳුවා ගන්න... දරුවන් තුළින් යම් අරමුණක් ඉටු කරගන්න..එක්කෝ දරුවා තුළින් තුන්වෙනි පාර්ශවයකට (සමාජයට, රටට) යම් ප්‍රතිලාභයක් ලබා දීමට..වගේ හේතු තමයි අලුත් ජීවිතයක් මේ ලෝකයට බිහි කරන්න මුල් වෙන්නෙ. කොහොම බැලුවත්, මොන හේතුව ගත්තත් මේ ලෝකයට දරුවෙක් ගේන්න ඉදිරිපත් වෙන හේතු ඔක්කොම පටන් ගන්නෙ 'මට ආසයි, 'මට ඕන', 'මමත් කැමතියි'.. වගේ වචන වලින්.

දරුවෙක් බිහි කිරීමේ තීරණය, දරුවෙක් නිර්මාණය කිරීමේ තීරණය දරුවන් බිහි කරන අයගේ මිසක් දරුවන්ගේ නෙමේ.

"ජීවිතය යනු කෙනෙක් කැමැත්තෙන් තෝරාගන්නා දෙයක් නොවේ. ජීවිතය අපි කිසිවෙක් තෝරාගත් දෙයක්ද නොවේ. ජීවිතයට අපි කැමති වුවත් නැතිවුවත්, ජීවිතය යනු අපි මත වෙනකෙක් විසින් බලෙන් පටවනු ලැබූ දෙයකි"

හිතමු මම මගේ ආශාවල් මුල් කරගෙන මගේ කැමැත්තට මේ ලෝකයට දරුවෙක් ගෙනාවය කියල. ඒ කියන්නේ අසරණ, දුර්වල, කිසිම දෙයක් ගැන දැනුම් තේරුම් නැති, තමා ගැනවත් හරි හැටි බලා කියාගත නොහැකි බිළිඳෙක්ව මම මගේ උවමනාවට මේ ලෝකයට ගෙනාවා කියමු.

එහෙම ගෙනාපු ඒ දරුවාව මම බලාගන්න මට වගකීමක් තියෙනවා නේද? ඒක මම කල යුතු දෙයක් නේද? එතකොට මම ම නිර්මාණය කරපු අසරණ ජීවියාව මම බලාගත්තාය කියලා.. ඒකෙන් කියවෙනවාද ඒ දරුවා ජීවිත කාලයම මට ණයයි කියලා?? මම එහෙම කියනවා නම් ඒක සාධාරණ කතාවක්ද?

ඇයි?

මගේ උවමනාවට මේ ලෝකයට දරුවෙක් ගේන්න තීරණය කලෙත් මම.. ඒ තීරණය ක්‍රියාත්මක කරලා කිසිවක් කරකියා ගත නොහැකි අසරණ ජීවිතයක් නිර්මාණය කලෙත් මම.. දැන් ඒ අසරණ ජීවිතය රැකබලා ගැනීමේ වගකීම මම ඉෂ්ඨ කල නිසා ඒ දරුවා මත ඉබේම පැටවෙනවා ණයක් කවදාවත් ගෙවන්න බැරි විදියේ බරක් තියෙන..!

කිසිවක් කරගන්න බැරි කුඩා කාලයේ තමන්ව බලා ගැනීමේ ණය ගෙවන්න දරුවන්ට බල කෙරෙනවා ඔවුන්ගේ මුළු ජීවිත කාලය පුරාවටම. වැඩිහිටියෙක් බවට පත් වුන දරුවා තමන්ගේ ජීවිතයේ සහකාරයා/සහකාරිය තෝරා ගැනීමේ ඉඳලා තමන්ගෙ ජීවිතය ගැන ගන්නා තීරණ වලට දෙමාපියන් එකඟ නොවෙන වෙලාවල් වලදි, දරුවන් ලවා තමන්ගේ කැමැත්ත ඉෂ්ඨ කරගන්න දෙමාපියන් මේ ණය බරේ ආකල්පය ඉතාම අමානුෂික විදියට යොදාගන්න හැටි ගැන අත්දැකීම් මේ සටහන ලියන මට තියෙනවා වගේම මේ සටහන කියවන ඔබටත් ඇති.

"අපි උඹව පොඩි කාලේ කන්න බොන්න දීලා පරිස්සම් කරලා හැදුවටද පුතේ දැන් උඹ අපි එපා කියන දේ කරන්නේ..?"

කවුරු හරි හිතනවා නම් තමන් මේ ලෝකයට දරුවෙක්ව ගෙනල්ලා, ඒ දරුවාට තමා ගැන බලාගන්න බැරි කිරිසප්පයෙක්ව ඉන්න කාලයේ කන්න බොන්න දීලා වයසින් වැඩිවනකන් බලාගන්න එකෙන් ඒ දරුවා සදාකාලිකව තමාට ණය ගැත්තෙක් වෙනව කියල, කරුණාකරල එහෙම අය මේ ලෝකෙට දරුවන් බිහි නොකර ඉන්න.

ඒ වගේ ණය කාරයෙක්, තමාගේ ජීවිතේම කාටහරි ණයක් ගෙවන්න බැඳුනු කෙනෙක් බිහිකරන එක සාමාන්‍ය කටවහරින් කියනවා නම් කරන්න පුළුවන් ලොකුම “පාපයක්” ! කෙනෙක්ට මුලු ජීවිත කාලයම ගෙවන්න බැරි විදියේ ණයක් පටවන එක පාපයක් නෙමේද? කෙනෙක්ට ජීවිත කාලයම ගෙවන්න ණයක් පටවන එක පාපයක් නෙමේද? එහෙම ණයක් පටවලා ණය පටවපු උනුයි වටේ ඉන්න උනුයි එකතු වෙලා ඒ කෙනාට ඒක ගෙවන්න කිය කිය බල කරන එක පාපයක් නෙමේද?

කරුණාකරල තේරුම් ගන්න. මේ ණය.. නොඉල්ලපු ණයක් ! බලෙන් පටවන ණයක් !

ඔබ විසින්, ඔබේම අවශ්‍යතා ඉෂ්ඨ කරගන්න නිසා මේ කුරිරු ලෝකය මැද්දට ගෙනල්ලා අත ඇරපු ඒ අසරණ අහිංසකයාව අනතුරෙන්, උපද්‍රව වලින් ආරක්ෂා කලා පමණයි.. කලිනුත් කිව්ව වගේ, ඒක කරන එක ඔබේ වගකීම ! ඒ කාර්‍ය භාරය ලේසි නොවන බව ඇත්ත. නමුත් වගකීමක් භාරගත්තා නම්, ඔබ වුනත් මම වුනත් කවුරු වුනත්.. එය ඉෂ්ඨ කිරීම කල යුතුයි.

සමහර දෙමව්පියන් තමන්ගේ බිළිඳන්ව කුණු කූඩ වල දාලා ඒ වගකීම පැහැර හැරි පළියට ඒ වගකීම මම හරියට ඉටු කලාය කියල මගේ දරුවාගේ ජීවිතය ගැන තීරණ වලදි දරුවාව emotional blackmail කරන්න මට ලයිසමයක් ලැබෙන බව ඉන් කියවෙන්නේ නැහැ.

ඔබට ආදරය කලාක් මෙන් ඔබත් ඔබේ දෙමාපියන්ට ආදරය කරන්න.
ඔවුන් වයෝවෘද වූ දවසකදී ආදරයෙන් ඔවුන්ව රැකබලාගන්න.
මියෙන තුරාවටම ඔවුන්ට ආදරය නොඅඩුව දෙන්න.

නමුත්,

ඔබව මෙලොවට ගෙනාවාය කියා ඔබේ තීරණ වලදී ඔබව ඔවුන්ට emotional blackmail කිරීමට ලයිසමයක් නොදෙන්න. ඒ වරදකාරී හැඟීමෙන් මිදෙන්න.

මේ 'ණය බරේ' මායාව අත්හරින්න.

Tuesday, March 6, 2018

ජාතිවාදීන් ගාව ලේ ගඳයි !

සෝම හාමුදුරුවො තිබ්බ ටයිම් බෝම්බය තමයි සෝම හාමුදුරුවන්ගේම මරණින් අවුරුද්දකට පස්සෙ ෂාරුක් ඛාන්ගේ ප්‍රසංගයේදි පුපුරලා ගියේ. නානසාර වගේ කුණුහරප කිය කිය බයිලා නොගැහුවත් සෝම හාමුදුරුවන් අතින් පවා දැන හෝ නොදැන පෝෂණය වුනේ එකම ආකෘතියක චින්තනයක්. එකම දේ නානසාරට වඩා ශිෂ්ඨ විදියට ඊටත් වඩා සාර්ථකව සෝම හාමුදුරුවෝ ඒ චින්තනය සමාජ ගත කල එක. සමාජ ගත කලාට වඩා එතකනුත් සමාජයේ තිබ්බ ඒ ආකල්ප උලුප්පලා ගත්තා කිව්ව නම් වඩා නිවැරදියි.

නානසාර කලා වගේ මිනිස්සුන්ගේ හැඟීම් වලට ආමන්ත්‍රණය කරන කුණුහරප ජාතිවාදීන් වගේම සෝම හාමුදුරුවො කලා වගේ මිනිස්සුන්ගේ මොළයට ආමන්ත්‍රණය කරමින් මේ හැසිරීම් තර්කානුකූලව සාධාරණීයකරනය කරන්න හදන න්‍යායාචාර්ය වරුනුත් පහුගිය දින කිහිපයේ සිද්ද වුන සිදුවීම් වලට සෘජුවම වගකියන්න ඕන. මේ චින්තනය පවත්වාගෙන යමින් පෝෂණය කරන්නේ ඔය දෙගොල්ලොම මිසක් දෙගොල්ලන්ගෙන් එක කොටසක් විතරක් නෙමේ.

නානසාරලා සෝමලා වගේම අනෙක් සුළු ජාතික ආගමික/දේශපාලනික නායකයන් විසින් උත්කර්ෂවත් කෙරෙන අප රටේ අතිමහත් බහුතරයක් වූ සිංහල, දෙමළ, මුස්ලිම් ජනමනස තුළ මුල් බැස ගත්ත ජාතිවාදය විසින් තමයි පහුගිය දිනයේ මිනිස් බිල්ලක් ගත්තෙ.  ඒ බිල්ල වුනේ පැත්තක ඉඳපු අසරණයෙක්.

ජාතියක් මුල් කරගෙන සිද්ධ නොවුන මිනිසුන් කිහිපදෙනෙක් අතර ඇතිවුන ගැටුමකට ජාතිවාදී මුහුණුවරක් ආදේශ කරල ජාතික තලයට ගෙන ඒම තමයි මේ ඛේදජනක තත්වයට මුල් වුනේ.

මෙතනදි මේ දවස් වල දිගින් දිගටම ඇහන්න ලැබුනු කතාවක් ගැන වචනයක් එකතු කරන්න ඕන.

'ජාතිවාදීන්'ය කියල තමාව ආඩම්බරයෙන් හඳුන්වා දෙන්න තරම් අපරිණත සමහරුන් කියන කතාවක් තමා ඒ අය එකතු වෙලා ඉන්නේ තමන්ගේ 'ජාතිය' ගැන තියෙන කැක්කුම නිසාය, තමන්ගේ 'ජාතියට' තියෙන ආදරය නිසාය, තමන්ගේ 'ජාතියේ' අනාගතය ගැන තමන්ට තියෙන උනන්දුව නිසාය කියන එක. ඔය කතාව තරම් බොරුවක් තවත් නැහැ.

මේ මිනිස්සු එකතු වෙලා ඉන්නෙ තමන්ගෙ ජාතියට තියෙන ආදරය නිසා නෙමේ, තමන්ගෙන් වෙනස් අනෙක් ජාතියේ මිනිස්සු ගැන තියෙන වෛරය නිසා. ඔවුන් එක්ක යටි හිතේ තියෙන තරහ පිරිමහගන්න නිසා. ඔය දෙක එකක් නෙමේ, දෙකක්.

මොවුන්ව එකතු කරල එක වෛරී අරමුණක් වෙනුවෙන් මෙහෙයවන්නෙ වෛරයම විතරයි. තමන්ගේ ජාතිය ගැන කැක්කුමක් තියෙනවා නම්, මුලින්ම මේ ඈයන්ට විසඳගන්න තියෙන ප්‍රශ්නය වෙනත් ජාතීන්ගේ මලඉලව් නෙමේ.

දවසෙන් දවස ආගාධයට යන රටක ජීවත් වෙන මිනිස්සු වෙච්චි අපි, අපේ ජාතියට ආදරේ නම් මේ මගුල් පැත්තක තියල විසඳගන්න ප්‍රශ්න ඕන තරම්. කන ටොපියකට පවා අසාමාන්‍යය ලෙස බදු ගෙවන්න සිද්ධ වෙලා තියෙද්දි, සිරකරුවෝද මනුශ්‍යයෝය කියල තාප්පයට පමනක් සීමාවෙච්ච හිර ගෙදරකට පැනල උන්ව දන ගස්සල මරල දාද්දි, අසනීපෙට බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙ බෙහෙත් නැතුව ෆාමසියෙන් ගන්න සල්ලි නැතුව මිනිස්සු මැරෙද්දි, ඉස්කෝලෙ යන්න සපත්තු ගන්න පොල් ගෙඩි දෙකක් හොරකම් කරන්න වෙද්දි, මිනිස්සුන්ට බඩගින්න නිවාගන්න පන්සලේ පිංකැටයෙන් රුපියල් විස්ස පවා හොරකම් කරන තත්වෙට වැටෙන්න සිද්ධ වෙද්දි, පොහොර සහනාදාරෙ නැතුව ගොවියෙක්ට ගොවිතැන් කරන්න බැරිවෙද්දි, ණය ගෙවාගන්න බැරුව ගොවියො වස බොද්දි, අණ නොතකා ධාවනය කලා කියල මිනිස්සුන්වම රකින්න ඉන්න පොලිසියෙන් බල්ලො වගේ වෙඩිතියල මරල දාද්දි, කුණු කඳු කඩන් වැටිලා මිනිස්සු යට වෙද්දි, මිලියන බිලියන ගණනින් හොරා කන පාලකයෝ බලයෙ ඉද්දි, අනාගතය බාර ගන්න ඉන්න දරුවන්ට හරි හමන් අධ්‍යාපන ක්‍රමයක් නැතුව ඉද්දි, උන් යන පාසල් වල හරි හමන් පහසුකම් නැතුව තියෙද්දි, දිනපතා සතිපතා ගෑණුන් කුඩා දරුවන් ලිංගික අඩත්තේට්ටම් වලට ලක් වෙද්දි, ...

ජාතියට ආදරේ නම් මේ අය මුලින්ම පාරට බහින්නේ ඒවට විරුද්ධව මිසක්, අර ජාතියේ එකාගේ රැවුලටවත් මේ ජාතියේ එකාගේ තට්ටයටවත් විරුද්ධව නෙමේ.

ඇත්තටම බැලුවොත් ඔය කොයි එකෙක්ටවත් තමන්ගේ රට, ජාතිය ගැන උවමනාවක් කැක්කුමක් නැහැ. ඔය 'රටට ආදරෙයි', 'ජාතියට ආදරෙයි' කියන එක උන්ම ගහගත්ත, උන්ම මවාගත්ත තඩි බොරුවක් විතරයි !

අවසානයේ මේ සටහනෙන් ඉලක්ක කරන අදහස දරන කවුරු හරි මේක කියවනව නම් මම අන්තිමට ඒ අයට මේ ටික කියන්න කැමතියි

"උඹලගෙ හිතේ රටට , ජාතියට මොන ආදරයක්ද බන්? උඹලව එකතු කරන්නේ වෛරය මිසක් වෙන මොනවත් නෙමේ. උඹල එකතු වෙන්නේ විනාස කරන්න මිසක් යමක් ගොඬනගන්න නෙමේ. අඩුම ගානේ ඒකවත් පිළිගනින් !"

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...