Thursday, April 7, 2016

මාලිංග


ලසිත් මාලිංග කියන්නේ වෘතිය මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. සිංහලෙන්ම කියනව නම් රස්සාවට ක්‍රිකට් ගහන මනුස්සයෙක්. ඒ මනුස්සයා (ඇතුළු රස්සාවට ක්‍රිකට් ගහන මිනිස්සු හෙවත් ක්‍රිකට් කණ්ඩායම) තමාගේ රස්සාව තුළ සාර්ථක වෙද්දි අපි ඔහුට/ඔවුන්ට ආදරය කරන්න ගන්නවා. මොකද ඔවුන් අපේ රට නියෝජනය කරද්දි ඔවුන් ලබන ජයග්‍රහණ අපත් ලබන ජයග්‍රහණ නිසා. ඔවුන් ජයග්‍රහණ ලබද්දි අපේ රටට කීර්තියක් ලැබෙන නිසා.
ඇත්ත. ඒත් ඒ මොනව වුනත්, බොටම් ලයින් එක තමයි.. මේ කට්ටියම වෘතියක් විදියට ක්‍රීඩා කරන අය කියන එක. ඒක තමයි යථාර්තය. ඒ යථාර්තය අවුල් වගේ නම් ප්‍රශ්නය තියෙන්නේ ඒ යථාර්තය තමාගේ ඔලු අස්සේ තේරුම් බේරුම් කරගන්න බැරි අයගෙ මිසක ක්‍රීඩකයන්ගේ නෙමේ, . (මතක ඇති මීට අවුරුදු කීපයකට කලින් තමන්ගේ වැටුප ගැන ක්‍රිකට් ක්‍රීඩකයන් මතු කල ආන්දෝලනය. හරියට අපේ දොස්තරලා, දුම්රිය සේවකයන් වගේ තමා ; ඇයි ක්‍රිකට් නොගැහැව්වා කියල ඒ මිනිස්සු කරන්නේ ජාතික සේවයක් නෙමෙයිද?)
අනිත් මිනිස්සු වගේම වෘතියක් කරන මේ ක්‍රීඩකයන් කරන්නේ සේවයක්ය, රට වෙනුවෙන් යුතුකමක්ය, අපි මෙච්චර කල් අව්වේ පිච්චි පිච්චි මැච් බලපු එකට කලගුණ සැලකිය යුතුය.. වගේ ලොවෙත් නැති සදාචාරවාදී ටෝක්ස් දාන අය හිටියට ඒ ටෝක්ස් දාන අයගෙයි මේ ක්‍රීඩකයන්ගෙයි වෙනසක් නැහැ. දෙගොල්ලොම.. දෙගොල්ලොම නෙමේ හැමෝම බලන්නේ තමාගේ වාසිය, තමා ගොඩයන්න.
මතකද මීට කලින් කතාවක් තිබ්බා කාර් එකක් දෙනවා නම් අරවින්ද ගහනවා කියල? සනත් ජයසූරිය සොසේජස් කෑවා, සංගක්කාර ඇන්ලීන් බිව්වා. ඔව්.. ඔක්කොම සල්ලි වලට.
මේ හැම ක්‍රීඩකයෙක්ම තමාට පුළුවන් උපරිම මුදල තමාට සෙල්ලම් කරන්න පුළුවන් කෙටි කාලයෙදි හොයා ගන්න අතරේ පුළු පුළුවන් විදියට මිනිස්සු ඉස්සරහා තමාගේ භූමිකාව ගානට රඟපෑවා.. ඔව්.. හරියට දේශපාලකයො වගේ.. කැමරාව ඉස්සරහ ලස්සනට කතා කරනවා. හිනා වෙනවා. අත වනනවා.. ඒ අස්සේ පුළුවන් උපරිම ගාන හම්බ කරනවා
මාලිංග කියන චරිතය වෙනස් වෙන්නෙ ඔතනදි. මාලිංග ප්‍රතික්ෂේප කරනවා ඔය මිනිස්සු සනසන භූමිකාව රඟපාන එක. මාලිංගට සතපහක වැඩක් නැහැ, අනිත් උන් මාලිංගට දෙන චරිත සහතිකය ගැන. සමහර විට මාලිංගගේ ජීවිතයේ අවස්ථාවක ඔය 'අනික් උන්' එකෙක්වත් මාලිංගට නොහිටිය නිසා වෙන්න ඇති (මොකක් ගැනද කියන්නේ කියල දන්නෝ දනිති)
කොහොම හරි, අනිත් ක්‍රීඩකයනුත් කරන මේ සල්ලි හෙවිල්ල.. මාලිංග කරන විදිය නිසා මාලිංග දිහා බලාගෙන ඉන්න මිනිස්සුන්ගේ ආතල් කුඩු වෙනවා.
මොකද මිනිස්සු හිතන් ඉන්නේ ක්‍රිකට් ක්‍රීඩකයා කියන්නේ ඒගොල්ලෝ වගේ නොවිය යුතු කට්ටියක් කියල. සල්ලි වලට මුල් තැන දෙන්න ඕන නැති කට්ටියක් කියල. තමාගෙ වාසියට වැඩ කරන්න ඕන නැති කට්ටියක් කියල. මොකද, මිනිස්සු මේගොල්ලන්ව 'මිනිස්සු' කියන සාමාන්‍ය ස්වභාවයෙන් උඩින් තියල පරමාදර්ශී චරිත කරගෙන ඉන්න නිසා.
සමහරු කියනවා මාලිංගට ලංකාවෙ අත දුන්න අය නැත්නම් අද මාලිංග තාම බීච් එකක සොෆ්ට් බෝල් ගගහ ඉන්න නිකම්ම නිකන් කොල්ලෙක් කියල. කතාව ඇත්ත. ඒත් එහෙමය කියලා මාලිංග මුළු ජීවිත කාලයම ඒ ණය ගෙවන්න ඕනය කියනවා නම් ඒක මහා කුහක කතාවක්. මොකද, කවුරුත් ඇවිත් පැත්තකට වෙලා ඉඳගෙන ඉන්න මාලිංග කොළුවව දැකලා "අනේ මේ දුප්පත් කොල්ලාව මම අරගෙන ගිහිල්ලා මුළ ඉඳලා මූට බෝල් කරන හැටි කියල දීලා, මූට ක්‍රිකට් උගන්නලා මූව දුප්පත් කමින් මුදවගන්න ඕනේ" කියල මාලිංගව ගෙනාවා නෙමේනෙ. කවුරු හරි හඳුනගත්තා මාලිංගටම ආවේණික ඔහුගේ දක්ෂතාවය, ඔහු ඒ දක්ෂතාවය ඔපමට්ටම් කරන්න ඇති. හරියට මැණිකක් ඔපමට්ටම් කරනවා වගේ. නැතුව ගල් කෑල්ලක් අරගෙන ගල් කෑල්ලට ආදරේට මැදලා මැදලා ඒක මැණිකක් කරන්න බෑනෙ.
කොහොම හරි මාලිංග ලෝක ප්‍රසිද්ධ ක්රීඩකයෙක් වුනා. ඔය ගමනට මාලිංගට සියගණනක්, දහස් ගණනක් මිනිස්සු උදව් දෙන්න ඇති. අන්තිමට මාලිංග තැනකට ගියා, රට වෙනුවෙන් සෙල්ලම් කලා. මාලිංගට ඒකට පඩියක් ලැබුනා. මාලිංගට ඕන නම් ඉන් එහාට වෙන පාරක යන්න, ඒක මාලිංගගේ තීරණය. ඒ අස්සේ අර මාලිංගට උදව් කරපු අය කියනව නම් "තෝ මැරෙනකල් අපිට ණය ගෙවපිය" කියල, ඒක ඊට වඩා කුහක කමක්.
තවත් පිරිසක් ඉන්නවා ක්‍රිකට් මැච් එකක් බලන්නෙවත් නැති.. මේගොල්ලන්ට අනුවත්, හැමෝම මුල් තැන දෙන්න ඕන රටට.. ! (අම්මගෙ රෙද්ද තමා, තමා ගන්න පඩිය වගේ තුන් හතර ගුණයක පඩියක් එක්ක මේ රටේම ඉඳගෙන වෙන රටක කම්පැනියක වැඩ කරන්න හරි, වෙන රටකට හරි යන්න හම්බුනොත් බලාගන්න පුළුවන් රට වෙනුවන් පරිත්‍යාග කරන හැටි)
මාලිංග කරන්නේ මේ හැමෝගෙම ආතල් කුඩු කරන එක..මේ මෝඩ මිනිස්සුන්ගේ හීන කුඩු පට්ටම් කරලා ඒවායේ තාප්පයේ මුලටම කෙළින එක.. !
ඒකයි ගොඩක් දෙනා තමා නොකරන ඒ කැපකිරීම මාලිංගත් නොකලම, මාලිංග එක්ක උරණ වෙන්නේ..
මොකද තමා මාලිංගට ආදේශ කරපු.. තමා ළඟත් නැති ඒ ගතිගුණ ටික..හැම දේටම වඩා රටට ආදරය කරන, සල්ලි වලට වැඩ නොකරන, අවංක, හරිම හොඳ චරිතය බොරුවට හරි රඟපාන එක මාලිංග ප්‍රතික්ෂේප කරපු නිසා
දැන් කට්ටියගේ ආතල් කුඩු වුනා ඇති නම් ඔය ඔලුව උඩින් තියන් ඉන්න ක්‍රිකට් ක්‍රීඩකයන්ව බිමින් තියන්න.
ඒ මිනිස්සුත් අපි වගේම මිනිස්සු කියල පිළිගන්න. ආතල් කුඩු වුන එකේ වැරැද්ද මාලිංගගේද තමාගෙද කියල ආයෙම හිතල බලන්න.
මීට පස්සෙ එක එකාව ඔලුව උඩ තියාගෙන උන් තමාගේ ආතල් කුඩුකලයින් පස්සේ උන්ට බනින්න එපා. ඊට වඩා හොඳයි. කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් තමාගේ ගොන් කමට තමාටම බැන ගන්න එක.

34 comments:

  1. Replies
    1. Thank you very much Maathalan

      Delete
  2. මහේලට සංගා දේසප්‍රේමෙටත් කකුල බර කරලා අතරින් පතර අයිපී එල් ගහලා හම්බුත් කර ගත්තා....සංගා ගේ , මහේලගේ බැටින් කරද්දී දිය වෙන්න දෙයක් තිබ්බේ නැති හින්දා දෙකම බැලන්ස් එකේ කරගෙන ගියා...

    ඒත් මාලිංගට කකුලේ ප්‍රස්නේ හින්දා, දෙකම බැලන්ස් කර ගන්න බෑ....තියේන අඩු කාලෙන් උපරිම ලාභේ ගන්න ඕනා....පොර ඒ හින්දා දේසප්‍රේමේ පැත්තක තියලා කෙලින්ම් වැඩේට බැහැලා....කකුලේ ප්‍රස්නේ නොතිබෙන්න මාලිංගය මහේල සංග්ටත් වැඩිය ගේම ගහනවා....

    කොහොමත් දැන් ක්‍රිකට් වලින් දේසප්‍රමේ අත ඇරලා දාන්න කාලේ හරි....අර ඉංග්‍රීසී නෝනා මහත්තුරු කරනව වගේ මොන ටීම් එකේ එකා හරි ලස්සන්ට ප්ලේ කරනව නම් අත්පොඩියක් ගහලා බිඋඅර් එකක් ගහලා කූල් එකේ ක්‍රිකට එන්ජොයී කරන එකයි කරන්න තියෙන්නේ.....

    ReplyDelete
    Replies
    1. හරියට හරි බන්. මම මැච් බැලිල්ල අත ඇරලා දැන් අවුරුදු තුන හතරක් විතර ඇති (ඉස්සර නම් මැච් බැලුවේ පිස්සෙක් වගේ). ඒ නිසා මම වැඩිය ටච් එකේ නෑ දැන් ගේම් එක ගැන. මම තැනක දැක්කා සංගා ඌව රිප්ලේස් කරන්න කවුරුත් නැති බව දැන දැනම රෙස්පෙක්ට් පිට රිටයර් වෙලා ලෝකේ වටේ සෙල්ලම් කරලා හොඳට ගාන හොයනව කියල. කතාවෙ ඇත්ත නැත්ත දන්නෙ නෑ. කතාව ඇත්ත වුනත් මම ඒකේ කිසි වැරැද්දක් දකින්නෙත් නෑ. මොකද බං, මට නම් මේ ඔක්කොම ක්‍රීඩකයො විතරයි.

      අනික මට වෙලාවකට හිතෙනවා මම අපේ ටීම් එකට වඩා වෙස්ට් ඉන්ඩීස් ටීම් එකට ආසද කියලත්. එහෙම හිතෙද්දි ටිකක් අවුල් අවුල් වගේ. ඒත් මම උන්ට ඒ තරමටම ආසයි.

      ක්‍රිකට් ක්‍රීඩකයන්ව විතරක් නෙමේ මචන්, ඕනම කෙනෙක්ව.. කොටින්ම තමාගේ කෙල්ලව හරි ඔලුව උඩින් තියා ගත්තොත් ඒ කෙනා කවදා හරි තමාගේ ආතල් කුඩු කරනවා කරනවාමයි බං. එනිසා හැම දේම/හැමකෙනාවම ගාණට තියාගන්න එක තමා නුවණට හුරු

      [ උඹේ නිරාගමිකයන්ගේ හොඳ නරක ලිපිය ලියන්න මාසයක් විතර දියන්. ඒක හිමීට වෙලාව අරන් ලියන්න ඕන සිරා ටොපික් එකක්]

      Delete
  3. මාලිංග විතරක් නෙවේ හැම එකාම කලේ හම්බ කරන එක විතරයි. ඒත් අපේ මෝඩ උන්දලා ක්‍රිකට් ගැන අමුතුම ෆැන්ටසියක ඉන්නෙ. FB එකේ දාල තියෙන දේශප්‍රේමී ක්‍රිකට් post දැක්කම අපෙ එවුනුත් ඉන්දියාවේ එවුන් වගේමයි කියලා මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ක්‍රිකට් ගැන විතරක් නෙමේ බං අපේ සමහරු ගොඩක් දේවල් ගැන අමුතුම ෆැන්ටසි වල තමා ඉන්නේ. මොනව වුනත් අපේ මිනිස්සු ඉන්දියාවේ පිස්සෝ තත්වයට නම් වැටෙන එකක් නැහැ. අඩුම ගානේ ඒ ගැන හරි හිතල සතුටු වෙන්න පුළුවන්

      Delete
  4. සුපිරියටම ලියල තියේනවා !!

    මිනිස්සුන්ගේ හිතවල් සතුටු වෙන විධියට , මිනිස්සුන්ට ඕන විධියට වැඩ කරනකම් මොන කෙනත් , එයාලට හොදයි.. ඒත් , යන පාර වෙනස් කර ගමන් මුලින් හිටිය කවුරුවත් හොයා ගන්න නැ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචන්. ඒ අතින් ගොඩක් අය රැවටෙන්න, තමාව රවට්ටන අයට ආසයි. මොකද ඇත්ත ස්වරූපය හිතන තරම් ලස්සන නැති නිසා

      Delete
  5. හොඳ කියවීමක්.. හැබැයි මෙහෙම එකකුත් තියෙනවා.. රටක් නියෝජනය කරන ක්‍රීඩකයෙක්ගෙන් (හෝ ඕනෙම පුද්ඩගලයෙක්ගෙන්) ඒ රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන යමක් තියෙනවා. ඒක අසාධාරණයි හමයි ඒත් එහෙමයි වෙන්නේ. මොකද මාලිංගට ඔය ඉල්ලුම ලැබුණේ ඔහු ශ්‍රීලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීම නිසා. මේවා හරි සංකීර්ණ බැඳීම්.. මාලිංගට ඒක ප්‍රතික්ෂේප කරන්න තියෙන අයිතියම ඔහුට ඒ තැන අරං දුන්නු අයට ඔහුව විවේචනය කරන්නත් තියෙන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. මේ සටහනින් විවේචනය කරන්න තියෙන අයිතිය ප්‍රශ්න කරන්නේ නැහැ. ඒ විවේචනය ගැන මගේ කියවීමයි මේ.

      Delete
  6. එකඟයි.
    (මාතයියා පාර පෙන්නුවෙ මේ ඉසව්වට.)
    ජයවේවා..!!

    ReplyDelete
  7. මාලිංග සල්ලි වලට සෙල්ලම් කරනවා කියන එක මට ගැටළුවක් නැහැ.පවතින ක්‍රමය ඇතුලේ හැමෝම කටයුතු කරන්නේ සල්ලි වෙනුවෙන්.දේශප්‍රේමි නායකයෝ අපේ සල්ලි වලින් සැප ගන්නවා අපිට දරාගෙන ඉන්න පුළුවන් නම් ඇයි මාලිංගලා තමන්ගේ දක්ෂතාවයෙන් සල්ලි හොයන එක අපිට ඉවසන්න බැරි.ඔතන මාලිංග රට වෙනුවෙන් නෙමේ සල්ලි වෙනුවෙන් සෙල්ලම් කරනවා කියන චෝදනාව ගෙන අය අතරේ ඉන්න ගොඩක් අය වුනත් මාලිංගට වගේ දෙකෙන් එකක් තොර ගන්න ලැබුනොත් තොර ගන්නේ මාලිංග කරන තොර ගැනීම මිස වෙන එකක් නෙමේ.

    ReplyDelete
    Replies
    1. එකඟයි. හැමෝම සෙල්ලම් කරන්නේ සල්ලි වලට තමා (හැමෝම කියනවට වඩා බහුතරයක් දෙනා කියල කියමු). මමත් ඒකේ වැරැද්දක් දකින්නෙ නැහැ.

      Delete
  8. නියම පොයින්ට් එකට ලියලා තියෙනවා. විවාදයකින් තොරව එකඟයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උදය

      Delete
  9. මාලිංග කියන්නේ වෘත්තීය ක්‍රිඩකයෙක් ඔහුත් අනිත් බොහෝ දෙනෙක් වගේ තමන්ට වැඩියෙන්ම ලාභයක් තියෙන තොරාගැනීම තමයි කරන්නේ, අපි හැමෝම දෙයක් තොරගන්න කොට තවත් ගොඩක් දේවල් සදහා තියෙන අවස්ථාව අහිමිකර ගන්න වෙනව. ඒ වගේම මාලිංගත් යම් දෙයක් අහිමිකර ගනිමින් තවත් දෙයක් උපයා ගන්නව. මාලිංග තිරණය ගන්නේ ඔහුට වඩාත්ම ලාභදායි ඒකනිසා...

    මාලිංගට වැඩි සල්ලි ප්‍රමාණයක් අවශ්‍යවන හින්ද අනෙත් සියල්ල ද්විතීක කරල ඒ වෙනුවෙන් කටයුතු කරන්න වෙනව. මාලිංගට විතරක් නෙමෙයි අපි හැමෝටම ඒ වගේ වෙලා තියෙනව. එහෙම කටයුතු කරන්න වෙනකොට අපි වටේ ඉන්න මිනිස්සු එක්ක තියෙන සම්බන්ධය වානිජ සම්බන්ධයක් විදිහට හදාගන්න සහ ඒ පිලිබදව වන අපගේ වරදකාරි හැගිම නැතිකර ගන්න එයින් පිට ඉන්න මිනිස්සු පිලිබදව හිතන්න වෙනව.

    අපි එහෙම හදාගන්න චරිත තමයි දේශපාලකයො, ක්‍රිඩකයෝ, ආගමික පුජකවරුන් කියන්නේ. අපි දේශපාලකයින්ගෙන් අපි වෙනුවෙන් රට හදන්න , ක්‍රිඩකයින්ගෙන් අපි වෙනුවෙන් රටට ක්‍රිඩාකරන්න , පුජකයින්ගේ ආගමික ජිවිතයක් බලාපොරොත්තු වෙනවා.

    අපිට සියල්ල විනාශකරගෙන හෝ මුදල් සොයන්න කියල පෙන්නන මාලිංගල වගේ මිනිස්සු විදිහටද අපි අපේ අනාගතය හදන්න ඕන, අපේ ළමයට වීරයෙක් වෙන්න ඕන මාලිංගල වගේ චරිතද? අපි අපේ ටැලන්ට් එක විකුණන්න ඕන මොකකටද? සල්ලි වලටද? අපි ජිවත් වෙන්න ඕනේ පුලුවන්කලේ වැඩිපුර ගානක් හොයාගන්නද? මාලිංගලට අපිට කරන්න ඕනේ මේක කියල සහ ජිවත් වෙන්නනම් සියල්ල විනාශකරගෙන හෝ මුදල් හොයන්න කියල පෙළඹවල තියෙන සමාජය කොයිතරන්නම් ලස්සනයිද?

    අපි අපේ අනාගතයේදී මාලිංගල වගේ නොවන මිනිස්සු වෙන්නේ කොහොමද? අපේ ළමයි මාලිංගලා වගේ නොවන වීරයන් හොයාගන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. විස්තරාත්මක අදහස් දැක්වීමට බොහොම ස්තූතියි ප්‍රදීප්.

      මම හිතන විදියට කෙනෙක් මුල් තැන දෙන්නේ මොකකටද කියන එක හරිම පුද්ගලානුභද්ද දෙයක් (subjective). ඒ දේ පුද්ගලයා අනුව වෙනස් වෙනවා. මුදල් අඟහිඟකම් තියෙන කෙනෙක් තමාගේ පවුල ඒ අමාරුකම් වලින් මුදව ගන්න පවුල දාලා වෙන රටකට යන්න තීරණය කරද්දි, තවත් මුදල් අඟහිඟකම් තියෙන කෙනෙක් ඒ අඟහිඟකම් දරාගෙනම පවුල දාල යන්න තියෙන අකමැත්ත නිසාම පවුල එක්කම ඉන්න තීරණය කරන්න පුළුවන්. දැන් අපිට ක්‍රමයක් තියෙනවද ඔය දෙකෙන් මොකක්ද හරි කියල තීරණය කරන්න? මොන කෙනාද හරි වටිනාකමට මුල් තැන දුන්නේ කියල කියන්න? පවුල වෙනුවෙන්ම මුදල් හොයන්න නිසා පවුල දාලා ගිය කෙනාද? පවුල දාලා යන්න බැරි කමට අඟහිඟකම් වලින් උරුම ජීවිතයක් පවුලෙ අයට උරුම කරල දුන්න කෙනාද? අපි කොහොමද කවුද හරි, මොකක්ද හරි කියල තීරණය කරන්නෙ?

      ඕක එක උදාහරණයක් විතරයි. කෙනෙක් මුදල් වලට මුල් තැන දෙන්න පුළුවන්. මුදල් වලට මුල් තැන දෙන එක ප්‍රායෝගික සහ වාසිදායක වන අවස්ථාත් නැතුවාම නෙමේ (මුදල් කියන්නේ මිනිසුන් ඩැහැ ගන්න ඉන්න රකුසෙක් නෙමේනෙ. ඔය සල්ලි හොයන එක, සල්ලි තියෙන එක, සල්ලි වියදම් කරන එක නරකයි කියල අපේ සමාජයේ මුල් බැහැල තියෙන විකාර මතය ගැන වෙනම කතා කරන්න ඕන).. කිව්ව වගේ කෙනෙක් මුදල් වලට මුල් තැන දෙද්දි තව කෙනෙක් ආදරයට, තව කෙනෙක් ආදරය වෙනුවෙන් තම දෙමව්පියන්ව, තව කෙනෙක් තම දෙමව්පියන් වෙනුවෙන් ආදරයට, මිතුරුකමට, සමාජය වෙනුවෙන් පවුල කැප කරන එක, දරුවන් වෙනුවන් ජීවිතය කැප කරන එක... මේවායින් හරි මොකක්ද වැරදි මොකක්ද කියල තීරණය කරලා හරි පිළිතුරක් අරගෙන ඒ පිළිතුර මත සමාජයක් ගොඬනගන්න පුළුවන් කියල නම් මම හිතන්නේ නැහැ. මිනිස් සබඳතා, වටිනාකම් කියන්නේ ඒ තරම්ම සංකීර්ණ දේවල්.

      මගේ අදහස සංවාදයට විවෘතයි.

      Delete
  10. මාලිංග ආබාධිත වෙලා ඉන්නකොට අර්ජුන මාලිංගගේ contract එකත් නැති කලා ඒකාලේ මාලිංගට බෙහෙත් ගන්න අත දුන්නේ MI Contract එකෙන් මාලිංග ආබධය හොද වුනත් ටීම් එකට ගත්තේ නැ IPL හොදට කරපු නිසා නැවත ටීම් එකට එන්න ලැබුනා මාලිංග IPL ගහන එකට කිසිම වැරැද්දක් කියන්න බැ මොකද දුකේදි පිහිට උනා කෙනා තමයෛ හැමොටම වැදගත්

    ReplyDelete
    Replies
    1. කොහොම වුනත් ඒ තීරණය උගෙ. වැඩිහිටියන් වගේ හිතන්න දන්නව නම් වැඩිහිටියන් වගේ මනුස්සයෙක්ගෙ තීරණය බාරගන්න පුළුවන් වෙන්න තිබ්බ.

      Delete
  11. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ලැබෙන්නේ වැටුපක්ද ? දීමනාවක්ද ?
    ශ්‍රී ලංකා ක්‍රිකට් සමග ක්‍රීඩකයින්ට ඇති ගිවිසුම් ඔබ කියවා තිබේද ?
    අයි.සී.සී. මගින් නිකුත් කර ඇති "Code of conduct for players" ඔබ කියවා තිබේද ?
    IPL සඳහා ක්‍රීඩකයින් තෝරා ගන්නේ කෙසේද ?
    එකම විටෙක IPL සහ තමන්ගේ රටේ ක්‍රිකට් තිබුණොත් තෝරා ගත යුත්තේ කුමක්ද ?
    ශ්‍රී ලංකා ක්‍රිකට් සමග ගිවිසුමක් නැතිව, IPL සඳහා ක්‍රීඩකයින්ට ඉදිරිපත් විය හැකිද ?

    මාලිංගගේ මට පෙනෙන වෙනස නම් ඔහු ක්‍රිකට් ක්‍රීඩා කරන්නේද, ක්‍රියා කරන්නේද unorthodox විදියකට බවයි.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ක්‍රීඩකයන්ට පනවල නීති කවුරුන් හෝ කඩකරල තියෙනව නම් ඒ සම්බන්ධව ඇති නීති ක්‍රියාත්මක කල හැකියි. තේරීම් කමිටුව, ක්‍රීඩා ඇමති, හිටපු නායකයො අරුන් මුන් ඔක්කොම එහෙම කරන්නෙ නැතුව නිකන් ඔහේ මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරන එක තේරුමක් නැහැ, ක්‍රීඩකයන් අපකීර්තියට පත් කරන අරමුණින්. ඕක මාලිංගට නෙමේ, කාට වුනත් එකයි.

      ඔබ මගෙන් ඇහැව්ව වගේම මේ සටහන ලියන්න පදනම් වුන මාලිංගගේ විවේචකයන්ගෙන් අහන්නත් පුළුවන් ඔබ ඔය කියන දේවල් කියවල තියෙනවද කියල. නේද?

      Delete
    2. //ඔහේ මාධ්‍ය ප්‍රකාශ//
      මම විශ්වාස කරනවා ඔහේත් මාතර හාදයෙක් කියලා. නැතිව මාව අපකීර්තියට පත් කරන්න ඔහේ කිව්වා නෙවෙයිනේ.
      //ඔබ මගෙන් ඇහැව්ව වගේම මේ සටහන ලියන්න පදනම් වුන මාලිංගගේ විවේචකයන්ගෙන් අහන්නත් පුළුවන් ඔබ ඔය කියන දේවල් කියවල තියෙනවද කියල. නේද?//
      ඒ කියන්නේ විවේචකයන්ගෙයි ඔබෙයි තියෙන වෙනවා අන්ත දෙක විතරයි කියන එකද ?

      Delete
    3. අයියෝ නෑ.. මම ඔහේ කිව්වේ ඔයාට නෙමේ.. ඔහේ මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරනව කිව්වෙ නිකන් මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරනව කියන අදහස. (මම මාතර නෙමේ)

      //ඒ කියන්නේ විවේචකයන්ගෙයි ඔබෙයි තියෙන වෙනවා අන්ත දෙක විතරයි කියන එකද ?//

      මේ අහන එක නම් තේරුනේ නෑ

      Delete
    4. මම ඔයාගෙන් ප්‍රශ්න ටිකක් අහනවා. ඒ ටික ඔයාගෙන් අහන්නේ, අහන්න සුදුසයි කියා මට හිතුන නිසා. ඉන් පස්සේ ඔයා කියනවා ඔය ටිකම මාලිංගගේ විවේචකයින්ගේනුත් අහන්න පුළුවන් නේද කියලා. ඒ කියන්නේ ඔයා තීරණය කරනවා ඒ ප්‍රශ්න ටික අහන්න ඔවුනුත් සුදුසුකම් සපුරා ඇති බව. කොටින්ම ඔයා විශ්වාස කරනවා ඔවුන් මාලිංග විවේචනය කරන්නේ ඔය කියපු ලියවිලි ටික නොකියවා කියලා. එතකොට මට පෙන්නේ නෑ දෙගොල්ලන්ගේ වෙනසක්. නමුත් ලිපියක් සම්පාදනය කරනකොට තමන් ප්‍රකාශ කරන දේ ගැන කෙනෙකුට ස්ථිර අදහසක් තියෙන්න ඕනේ, කවුරු හරි කෙනෙක් ගැටළුවක් මතු කළොත් පිළිතුරු දෙන්න. මම එහෙම බලාපරොත්තු වෙනවා.

      Delete
    5. මෙහෙමයි. මම කිව්වේ ඔබ මගෙන් ඔය ප්‍රශ්න අහනව වගේම මාලිංගගේ විවේචකයින්ගෙනුත් අහන්න පුළුවන් නේද කියල විතරයි. මම කලිනුත් කිව්ව වගේම යම් ක්‍රීඩකයෙක් යම් නීතියක් කඩ කරල තියේ නම් ඔහුට විරුද්ධව පියවර ගන්න පුළුවන්, ඒක ඉතාම පැහැදිළි සරල කතාවක් නෙ. මම මේ ලිපියෙන් කතා කරන්නේ විවේචකයන්ගේ මානසිකත්වය ගැන මගේ කියවීම. ඇත්තටම මම මේ ලියල තියෙන්නෙ මාලිංග ගැන කතාවකට වඩා මාලිංගගේ විවේචකයන් ගැන කතාවක්. ඔවුන්ගේ ඒ විවේචනයට හේතු වුන ඔවුන්ගේ මානසිකත්වය ගැන මගේ කියවීම. මාලිංගට එරෙහිව අන්තර්ජාලයේ ඇති වුනා වගේ ප්‍රබල විවේචනයක් ඇති නොවුනා නම් මගේ මේ සටහන නොලියවෙන්නත් ඉඩ තිබ්බා.

      Delete
  12. ඔන්න ඕක තමයි මචෝ ගොඩක් උදවිය හිතන විදිහ. මිනිහෙකුට උදව්වක් කලාම ඒ මිනිහ ජිවිත කාලයටම උදව් කලපු මිනිහට බලමෙහෙකම් කරන්ට ඕනි කියල හිතනව. ඕක තමයි යථාර්තය. මට උනෙත් ඕකයි. කොහොමත් මචෝ කෙලින් කතා කරන කෙලින් වැඩ කරන මිනිහට ලංකාවේ තියා ලෝකේ කොහෙත් තැනක් නැහැ. ජීවත් වෙන්ට ඕනි ඇරියොත් අරිය ගානට තමයි. පොස්ට් එක එල හොඳේ..!!

    ReplyDelete
    Replies
    1. උඹ කියන එක ඇත්ත. මිනිස්සු ආසයි බන් බොරු රඟපෑමකින් සතුටු වෙන්න, ඇත්ත දැකල අසතුටු වෙනවට වඩා. (කමෙන්ට් කරන්න ප්‍රමාද වුන එක ගැන සමාවෙයන්, මේ ටිකේ ටිකක් වැඩ වල හිර වෙලා හිටියෙ:) )

      Delete
  13. මං අහලා තියනවා සමහර ක්‍රිකටර්ස්ලා කියනවා මාස ගාණක් රටින් පිටව ඉඳලා පවුලෙන් වෙන්වෙලා ඉඳලා මාර කැපකිරීමක් රටවෙනුවෙන් කරනවා කියලා.එතකොට අවුරුදු ගාණක් රටෙන් පිට මැදපෙරදිග ඉඳලා දුක් විඳලා විදේශ විනිමය ඉපයීම?

    රටට සේවය කරන්නේ කලා කාරයො දේශපාලුවො හා ක්‍රිකටර්ස්ලා විතරයි වගේ උන්ගේ කතාවලින් පේන්නෙ. උනුත් කරන්නෙ උන්ගෙ රස්සාව කියලා අපේ මෝඩ වීරවන්දනාව කරන එවුන්ට හිතෙන්නෙ නෑ.

    මාලිංගට වුනේ ඔහු මීඩියාකාරයන්ට වඳින්නවත් හුරතල් කරන්නවත් යන්නෙ නැතුව හිතට එකඟව කතාකරන මිනිහෙක් මිසක් වීරත්වයක් පුම්බගත් කෙනෙක් නොවුන එක. හුඟක් මීඩියාකාරයො මිනිහ එක්ක තරහයි උන්ව ගණන් ගන්නෙ නැති නිසා

    ReplyDelete
    Replies
    1. හරියට හරි. උඹ කියපු එක සිරා පොයින්ට් එකක්. ඕනම දේශපාලකයෙක්, ක්‍රීඩකයෙක්, නළුවෙක් වගේ මිනිස්සුන්ගේ ජනප්‍රියතාවය බලාපොරොත්තුවෙන චරිත මීඩියා කාරයන්ව බබා උක්කුං කර කර තියා ගන්නේ ඒකයි. මොකද ප්‍රසිද්ධ චරිතයක් ගැන මිනිස්සු තුළ තමාට ඕන විදියක ඉමේජ් එකක් හදන්න මීඩියා එකට බලයක් තියෙන නිසා. අපේ රටේ මාධ්‍යයකාරයෝ කියන උන්ගේ සදාචාරය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. සමහර විට උන් දිගට හරහට මාලිංගට ගහන්නේ උඹ කිව්ව වගේ මාලිංග උන්ව සතපහකට ගනන් ගන්නෙ නැති නිසා වෙන්න ඇති

      Delete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...