Tuesday, April 19, 2016

බුදුන් ; ගැහැණියක් නොවන්නේ ඇයි?



මෙය නිතර ඇසෙන ප්‍රශ්නයකි.

මුලින්ම තේරුම් ගත යුත්තේ ලෝකයේ තේරුමක් ඇති ප්‍රශ්න සහ තේරුමක් නැති ප්‍රශ්න යනුවෙන් ප්‍රශ්න වර්ග දෙකක් ඇති බවයි. මෙවැනි ප්‍රශ්න වැටෙන්නේ ඉන් දෙවැනි කොටසටය. එනම් තේරුමක් නැති ප්‍රශ්න ගනයටය.

මිනිස් ඉතිහාසයේ මුල පටන් පිරිමියාට යටත්ව අඩු අයිතිවාසකම් ලැබූ ගැහැණියට සම අයිතිවාසකම් ලැබීම ගැන කතිකාවත් ඇති වී තිබෙන වර්තමානයේ ලෝකයේ ප්‍රධාන ආගමක් වන බුදුදහම තුල ගැහැණියට ලබා දී ඇති තත්වය ගැන කියවෙන මෙවන් ප්‍රශ්න සාකච්ඡා කිරීම තේරුමක් නැති දෙයකි.

වෙනත් වචන වලින් කියනවා නම් ඉස්ලාම් ආගමේ ගැහැණියට දී ඇති තැන, කතෝලික/ක්‍රිස්තියානි ආගම් වල ගැහැණියට දී ඇති තැන සාකච්ඡා කිරීම තේරුමක් ඇතත් බුදුදහම තුළ ගැහැණියට ඇති තැන ගැන සාකච්ඡා කිරීම තේරුමක් නැත.

කොටින්ම බුදු දහම ගැන කොහෙත්ම ප්‍රශ්න නොකරන තරමට හොඳය. ප්‍රශ්න කරනවා නම් ඒ අය අනාදිමත් කාලයක සිට පැවත එන බුදුදහම හා බැඳුන අපගේ සංස්කෘතියට හා පුරුෂාධිපත්‍යයට එරෙහිව කුමන්ත්‍රණය කරනා බටහිර එන්.ජී.ඕ වලින් මූල්‍ය ආධාර ලබන ස්‍තීවාදීන් වැනි සමාජයේ මිනිසුන්ගේ මනස දූෂණය කරනා කාලකණ්ණි බටහිර ගැත්තන්ය.

පෙරළා ප්‍රශ්න ඇසීම බටහිරින් පැමිණි පරයන්ගේ ලක්ෂණයකි. බටහිර රටවල ජනමාධ්‍යවේදීන් විසින් දේශපාලකයන් ප්‍රශ්න කරයි. ජනතාව විසින් ජනමාධ්‍ය සහ පාලකයන් දෙකම ප්‍රශ්න කරයි. මාධ්‍ය, ජනතාව පාලකයන් සියල්ලන් එකතු වී ආගම්/දර්ශනයන් ප්‍රශ්න කරයි. පරයන්ගේ හැටි එහෙමය. ගරු කල යුතු දේ නොකල යුතු දේ උන් නොදනිති.

අපේ කම යනු ගරුකටයුතු අයවලුන් කියනා ඕනෑම දෙයක් එහෙයි කියා පිළිගැනීමය. අපේ කම යනු රජවරුන් වැනි පාලකයන් අපගේම මුදල් වලින් ගත් වාහන වලින් රූං ගා යද්දි උන්ට ඉඩදී කාණු වලට බැසීමය. අපේ සිරිත හාමුදුරුවරු බණ කියද්දී අසා හිඳ අවසනදී සාධු කාර දීම මිස ප්‍රශ්න ඇසීම නොවේ. ධර්ම සාකච්ඡාවලදී ප්‍රශ්න ඇසුවත් පිළිතුරු දීමට පහසු ෆුල් ටොස් ප්‍රශ්න පමණක් යොමු කල යුතුය (සැ;යු - ක්‍රමය නොදන්නා අය දොරමඬලාව රූපවාහිනි වැඩසටහන මෙහෙයවන්නා නිරීක්ෂණය කොට ඉගෙන ගන්න)

මා මේ පුල පුලා කියන්නේ එක දෙයකි. එනම් බුදුදහම ඉලක්ක කරමින් අමාරු ප්‍රශ්න නොඇසිය යුතුය. අසනවා නම් ඒ අසන්නේ කාලකණ්ණි නැහැදිච්ච අමනයන්ය.

එසේ ප්‍රශ්න නොඅසා සිටින්නට නොදත් කාලකණ්ණි නැහැදිච්ච අමනයන් සිටියි නම් මේ පිළිතුර ඔවුන් වෙතය..

"ගැහැණියකට බුදු විය නොහැක්කේ ඇයි?"

පෙර කී පරිද්දෙන් මෙවැනි ප්‍රශ්න මොළේ කලඳක් ඇති අය අසනා ප්‍රශ්න නොවේ.

බුදුවීමට සැපිරිය යුතු ප්‍රධාන කාරණා අතරට පුරුෂ ලිඟුවක් තිබීම සහ යෝනියක් හා/හෝ තන් දෙකක් නොතිබීම යන කාරණා ඇතුලත් විය යුතු බව ඕනෑම මොළයක් තිබෙනා අයෙක් දන්නා කරුණකි.

බුදුවීමට පෙරුම් පිරීමට හෙවත් බුදුකමට ඇප්ලයි කිරීමට මූලික ලෙස පුරුෂ ලිංගයක් තිබේ දැයි පරීක්ෂාකර බැලිය යුතු බව නොදත් මුග්ධයන් විසින් ස්ත්රීන්ට වාසි සහගත තත්වයන් ඇති කිරීමේ අරමුණින් "ගෑණියෙක්ට ගෑණියෙක් වීම නිසාම බුදුවෙන්න බැරි ඇයි?" වැනි තේරුමක් නැති ප්‍රශ්න අසයි (එම වාක්‍යයේ 'තේරුමක් නැති ප්‍රශ්න' වාක්‍ය ඛංඩය වැදගත්ය. අවධානය යොමු කරන්න).

අප කියන ආකාරයට සිටීමට එකඟ වන ගැහැණුන්ට මෙපමණ කාලයක් තිස්සේ ඉතාම වටිනා 'ගෙදර බුදුන්' පට්ටමක් ලබා දීමට අපි කටයුතු කලෙමු.

ගැහැණුන් එයින් සෑහීමකට පත් වීමට ඉගෙන ගත යුතුය. ගෙදර බුදුන් පට්ටම ලබා දුන් පසු මොවුන් හදන්නේ තුන්ලොවටම බුදුවන්නට නොහැක්කේ ඇයි කියා අසන්නටය. ලද දෙයින් සතුටු වීම උතුම් ගුණාංගයක් බව කුඩා කල සිටම අපගේ වැඩිහිටියන් අපට ඉගැන්වූ කාරණයකි. එවැනි ගුණාංගයක් වත් නොමැති ගැහැණුන් කෙසේ බුදුවන්නද?

ගැහැණියකගේ වගකීම ගෙදරට වී ළමයෙක් හදාගෙන, බතක් උයාගෙන, ගෙදර වැඩක් පලක් කරගෙන සිටිනු විනා බුදුවීමට යාම නොවේ.

සමාජයේ සිටිය යුතු ආකාරය, හැසිරිය යුතු ආකාරය මෙපමණ කාලයක් තිස්සේ යස අගේට අප ගැහැණුන්ට කියා දුන්නා සේ බුදුවීමෙන් පසුව සත්‍ය අවබෝධ කරගෙන සත්‍ය දේශනා කිරීමද පිරිමි අපටම කල හැකිය. ගැහැණුන්ට තියෙන්නේ අප අවබෝධ කරගෙන දේශනා කරන දේවල් දරුවන් නලවමින් පිළිගැනීමය ( සැ; යු - මේ අදහස තේරුම් ගැනීමට අපහසු අයෙක් වේ නම්, ගැහැණුන්ට යනු දරුවන් බිහිකිරීමටම සිටිනා යන්ත්‍ර ලෙස සලකන ඉස්ලාමීය අන්තවාදී අදහස  වෙත අවධානය යොමු කොට තේරුම් ගැනීමට උත්සාහ කරන්න)

බල්ලන් මෙලොවට එන්නේ බව් බව් ගාමින් මිනිසුන්ව ආරක්ෂා කිරීමටය, ඔටුවන් මෙලොවට එන්නේ කාන්තාරයේ ඇවිදිමින් මිනිසුන්ට ප්‍රවාහනය සැපයීමටය, අලින් මෙලොවට එන්නේ දන්ත ධාතුව වඩම්මමින් පෙරහැරේ යාමටය, හරක් මෙලොවට එන්නේ ජීවිත කාලයේම මිනිසුන්ට බැලමෙහෙවරකම් කොට ජීවිත අවසානයේ 'අනේ අපේ කිරි අම්මා' කියා මිනිසුන්ගෙන් අසා ගැනීමටය (මේ තත්වය ගෙදර බුදුන් පට්ටමට සමාන වන අයුරු මෙනෙහි කරන්න), කුකුලන් මෙලොවට එන්නේ රෝස් චිකන් එකක් වී මිනිස් දිවට රසය සැපයීමටය.. ඒ අයුරින් ගැහැණිය මේලෝකයට එන්නේ දරුවන් බිහිකරමින් දරුවන් ආදරය කිරීමට මිසක බුදු වීමට නොවේ.

"යුරෝපීය ගෑනුන්ට ගැළපෙන දේවල් අපේ රටේ මේ ආසියාතික ගෑනුන්ට ගැළපෙන්නෙ නෑ. අපේ රටේ ගෑනුන්ට ඡන්ද බලේ ලැබුණොත් ගෙදර තියෙන සාමය සමාදානය නැතිභංග වෙලාම යාවි. එයාල ගෙදර රණ්ඩුකාරියන් බවට පත්වේවි. මං කැමැති නෑ ඔය මෝඩ වැඩේට. ගැහැණිය ඉන්න ඕන ළමයි බලාගන්න, පවුල ආරක්ෂා කරගන්න. ඡන්ද බලය දීලා දේශපාලනයට ගත්තොත් වෙන්නේ පවුල් සංස්ථාව බිඳ වැටෙන එක"

ඒ කියන්නේ මම නොව, දැනුම් තේරුම් ඇති අපගේ ජාතික වීරයෙක් වන සර් පොන්නම්බලම් රාමනාදන්ය. එතුමා එසේ කියා තිබියදී පව් කියා අප ගැහැණුන්ට ඡන්ද බලය ලබා දී තිබෙද්දිත්, ඒත් මදි කියා ඇයි අපට බුදුවෙන්න බැරි කියා අසන්නේ ගැහැණුන්ගේ තියෙන ආත්මාර්ථකාමය නිසාය. (සැ;යු - ඔක්කොම ගැහැණුන් බුදුවෙන්න පෙරුම් පුරන්න ගත්තොත් මෙලොව ළමයි බිහිවීම නැවතී මිනිස් ජාතිය වඳවී යාමේ තර්ජනයට මුහුණ පෑ හැක)

ගැහැණු නම් දරුවන්ය, දරුවන් නම් ගැහැණුය. ඒ සම්බන්ධය ගසට පොත්ත මෙනි. (සැ:යු - කැමැත්තෙන් දරුවන් නොහදනා ගැහැණුන් මේ ලෝ තලයේ නැත) ඒ හැටිය. එදත් එහෙමය අදත් එහෙමය. හෙටත් එහෙමය. ධර්මතා කියන්නේ ඒවාටය.

පිරිමියාට දරුවන් බිහි කල නොහැකිය. දරුවන් බිහි කල හැක්කේ ගැහැණුන්ටය. ඒ අනුව ගැහැණුන්ට බුදුවිය නොහැකිය. පිරිමින්ට හිටගෙන මුත්‍රා කල හැක, ගැහැණියට නොහැක. ඒ අනුව ගැහැණුන්ට බුදුවිය නොහැක. (සැ;යු - ඒ බෞද්ධ අපේ ලොජික්ය)

එම නිසා කොච්චර සාර සංඛේය කල්ප කාලයක් පෙරුම් පිරුවද, සිත කොච්චර දමනය කරගත්තද අදාල පුද්ගලයා කාන්තාවක් නම් බුදුවීම උදෙසා ආපසු හැරී ගොස් පිරිමි ආත්මයක් ලබා ගෙන ආ යුතුය. (සැ:යු - සිත හරියටම දමනය කර ගත හැක්කේ පුරුෂ ලිඟු ඇත්තන්ට පමණි)



ප/ලි - මේ තේරුමක් නැති ප්‍රශ්න ඇසීම මෙයින් නැවතිය යුතුය. මෙවන් තේරුමක් නැති දේ ගැන සටහන් ලිවීමට ගත කරන වටිනා කාලය ගිහියන්ටත් වඩා අන්ත විදියට පිස්සු බල්ලන් සේ හැසිරෙන භික්ෂූන් වහන්සේලාගේ ක්‍රියා සාධාරණීය කරනය කිරීමට යෙදවූවා නම් මීට වඩා ප්‍රයෝජනවත්ය. දැන් මොකෙක් හෝ පැමිණ "පිරිමියාට පමණක් බුදුවිය හැකි බුදුදහමේ නිර්මාතෘ වන බුදුන්වහන්සේ විසින් භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමට එකවර අවසර නොදුන්නේ ඇයි?" වැනි ප්‍රශ්නයක් ඇසුවොත් නාථ දෙවියන්ගේ ආධාරයෙන් ලිපිනය සොයා ගෙන විත් අපි බෞද්ධයන් වශයෙන් විෂ ඝෝර සරපයා නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියා සරපයාට මෙත් වඩනා ආකාරයට දෙකේ දෙකේ පොල්ලක් රැගන මෙත්වැඩීමට අකමැත්තෙන් වුවද සිදුවන බව සඳහන් කරමු.

තෙරුවන් සරණයි
සියලු සත්වයෝ නිදුක් වෙත්වා*


*කොන්දේසි සහිතයි

29 comments:

  1. //සිත හරියටම දමනය කර ගත හැක්කේ පුරුෂ ලිඟු ඇත්තන්ට පමණි//

    කෝ අර වනිතක්කා

    ReplyDelete
  2. වජ්‍රයාන බුද්ධාගමේ පුලුවන්ද දන්නෙ නෑ


    http://www.pantheism.net/paul/history/tantra.htm

    ReplyDelete
    Replies
    1. වජිරයාන බුද්ධාගම ගැන අහලා නෑ. ලින්ක් එක බලන්නම් මචන්. මම අහල තියෙන විදියට නම් Pantheism කියන්නෙ විශ්වය දෙවියන් කියල සලකන එකට. බලමු කියවල.

      Delete
  3. අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට එක තැනක් වැරදුණා...... ගැත්තාට සමාකොට පිළිගනු මැනවි...

    අලින් මෙලොවට එන්නේ පැටවුන් හදා පන්සල් වත්තේ දමා යෑමට නොවේද?????

    ReplyDelete
    Replies
    1. පින්වත, හාමුදුරුවන්ට වරදින්නේ නෑ. හාමුදුරුවෝ යන වචනයැන්ම කියැවෙන්නේ සියල්ල දත් යන අරුතයි. ඇතුන් මෙලොවට එන්නේ පැටවුන් පන්සල් වතු වල දමා යාමට නොවේ. ඇතුන් එන්නේ දළදා කරඬුව වැඩැම්මවීමටයි. හාමුදුරුවන් වහන්සේලා මේ ලෝකයට එන්නේ පන්සල් වතු වල වැරදිලා දාලා ගිය ඇත් පැටවුන් බලා ගැනීමටයි. තේරුනාද පින්වත.. හා දැන් සාධු කාරයක් දෙන්න

      Delete
  4. කොටින්ම බුදු දහම ගැන කොහෙත්ම ප්‍රශ්න නොකරන තරමට හොඳය. ප්‍රශ්න කරනවා නම් ඒ අය අනාදිමත් කාලයක සිට පැවත එන බුදුදහම හා බැඳුන අපගේ සංස්කෘතියට හා පුරුෂාධිපත්‍යයට එරෙහිව කුමන්ත්‍රණය කරනා බටහිර එන්.ජී.ඕ වලින් මූල්‍ය ආධාර ලබන ස්‍තීවාදීන් වැනි සමාජයේ මිනිසුන්ගේ මනස දූෂණය කරනා කාලකණ්ණි බටහිර ගැත්තන්ය.//

    හිටගෙනද??..ඈ...

    ReplyDelete
    Replies
    1. හිටගෙන විතරක් නෙමේ. වැතිරිලා ඉඳගෙන දුවදුව බඩ ගගා ඔක්කොම..

      Delete
  5. සිල්ලර ලිවීමක්

    ReplyDelete
    Replies
    1. ඊළඟ පාර තොග ලිවීමක් ලියන්නම්

      Delete
  6. බුදු දහම ප්‍රශ්න කිරීමට නොහැක යැයි කියන්නේ බුදු දහම ගැන අබමල් රේණුවක තරම් නොදන්නා අය විය යුතුය. කිතු දහම හෝ ඉස්ලාම් දහමේ නැති තරම් නිදහස් චින්තනයක්, ප්‍රශ්න කිරීමේ හැකියාවක් බුදු දහමට ඇත. තමාට තේරුම් ගැනීමට නොහැකීවීම තම තමාගේ අඩුපාඩු බව වත් නොතේරෙන පුද්ගලයෙ‍කු බුදු දහමේ මූලික දෑ කෙසේ තේරුම් ගන්නද?

    ReplyDelete
    Replies
    1. මම මේ සටහනේ බුදුදහම කියා අදහස් කලේ බුදුන් වහන්සේ දේශනා කල ධර්මය නොවේ, ලංකාවේ පවතින ලෝකල් සිංහලබුද්ධාගමය. බුදුදහම ප්‍රශ්න කලාට සිංහල බුද්ධාගම ප්‍රශ්න කල නොහැක.

      Delete
  7. ගැහැණියකට බුදුවීමට හෝ වෙනත් ආගමික නායකයෙකු විමට නොහැකිවුයේ ඇයි.....?
    ඉදිරියේදීත් එසේ නොවි තිබේවිද...?

    ඔබ ප්‍රශ්නයට අදාලව කිසිවක් මෙහි ලියා නොමැති බව ලිපිය සම්පුර්ණයෙන් කියවුවිට මට හැගුනි.

    (ගැහැණියකට දේශපාලනයේදී ඉදිරියට පැමිණිමට නොහැකිවී තිබෙන්නේ ඇයි...? බොහෝ කාන්තාවන් දේශපාලනයට පැමිණ තිබෙන්නේ පියා හෝ ස්වාමියා නිසාය)

    දෙවන කරුණනම් අපිට ප්‍රසිද්ධියේ හෝ ප්‍රසිද්ධියේ නොමැතිව හෝ යම් බලයක් සහිත පුද්ගලයකු (පුජකයෙකු, ඉහල නිලධාරියෙකු, දේශපාලකයෙකු,...) ප්‍රශ්න කිරීමට නොහැකිවී තිබෙන්නේ ඇයි? එය අදාල පුද්ගලයින්ගේ අඩුවක් නිසාම පමණක් සිදුවන දෙයක්ද?

    ReplyDelete
    Replies
    1. ප්‍රදීප්ගේ ප්‍රශ්නයට උත්තර දෙන ගමන් මේ සටහන ගැන සයිබරයේ මතුවුන අදහස් කීපයක් ගැනත් සඳහනක් කරන්නම්

      සයිබරයේ සමහරු කියලා තිබ්බා බෞද්ධ ආකෘතිය තුළ ගැහැණියකට බුදුවිය නොහැකි නම් එය ප්‍රශ්න කිරීම අර්ථ විරහිතයි කියල. සහ මේ ගැහැණියකට බුදුවිය හැකිවිය යුතුයි කියන එක හරියට "ගැහැණුන්ට බුදුවීමේ අයිතිය ලබා දියව්" කියලා කරන උද්ඝෝෂණයකට සමානය කියලා.

      ඒ කතා දෙකම ඇත්ත. මේ සටහන උත්ප්‍රාසයෙන් ලිව්ව එකක් වුනාට මේ සටහනින් මතු කරන්නේ බුදුදහම තුළ බුදුවීමට නම් පිරිමි ආත්මයක් ලැබිය යුතුය කියල සමාජයේ මුල්බැසගෙන තියෙන මතය (මම ප්‍රශ්න කරන්නේ ඒ මතය මිසක සැබෑ බුදුදහමේ එහෙම තියෙනවද නැද්ද කියන එක ගැන නෙමේ ; ආගම් වල සැබෑ අර්ථ නිරූපන කියල දෙයක් තියෙනවද නැද්ද කියන එක වෙනම කතාවක්)

      බෞද්ධ ආකෘතිය තුල ගැහැණියකට බුදුවෙන්න බැයි නම් , මම එහෙම ප්‍රශ්න කරන එකේ තේරුමක් තියෙන්නේ කොහොමද?

      තේරුමක් තියෙන්නෙ මෙහෙමයි. මම කියන්නේ නෑ බුදුදහම තුළ ගැහැණියකට බුදුවීමට හැකියාව තිබිය යුතුය කියල. මොකද මට ඕන විදියට බුදුදහම වෙනස් කරන්න බෑනෙ. මේ කාරණාව මතු කිරීම තුළින් මම පෙන්වන්න හදන්නේ මේ වගේ දෙයක්

      ලෝකයේ පවතින ප්‍රධාන ආගම් සියල්ලකම වගේ පිරිමියාට උසස් තැනක් ලබා දීල තියෙනවා ගැහැණියට සාපේක්ෂව. වෙනත් වචනයකින් කියනව නම් ඒවාට අනුව ගැහැණිය පහත්/අඩුහැකියාවන් තියෙන/අඩු අයිතීන් තියෙන ජීවියෙක් පිරිමියා එක්ක සසඳද්දි. ආගම මඟින් ගැහැණිය හා පිරිමියා අතර නිර්ණනය කරල තියෙන මේ පරතරය සමහර ආගම් වල වැඩියි, අනෙක් ආගම් වලට සාපේක්ෂව බැලුවම. සමහර ආගම් වල අඩුයි, අනෙක් ආගම් වලට සාපේක්ෂව.

      මගේ දැනුමේ හැටියට මේ පරතරය අඩුම ආගම බුදුදහමයි. ඒත් පරතරයක් තියෙන බව පිළිගන්න වෙනවා කැමති වුනත් අකමැති වුනත්.

      සියලු ආගම් වල මේ විදියට පරතරයක් තියෙන බව සාකච්ඡා වෙනවා වර්තමාන සමාජයේ ආගමට හිමිවිය යුතු භූමිකාව සහ තැන කියන මාතෘකාවේදී, මොකද.. වර්තමානයේ ලිංගිකත්වය (හෙවත් ස්ත්‍රී පුරුෂභාවය) මත පදනම් වෙලා මිනිසුන්ට වෙනස් විදියට සලකන්නේ නෑ. වෙනස් අයිතිවාසකම් ලබා දෙන්නේ නෑ. අඩු හැකියාවන් තිබෙන ජීවීන් යැයි සැලකෙන්නේ නෑ.

      අන්න ඒ වර්තමාන සදාචාරාත්මක සන්ධර්භය මැද්දට මොන ආගම ගෙනත් දැම්මත්, ඒ ආගමින් ස්වායත්තව මිනිසා නිර්මාණය කරගත් වර්තමාන සදාචාරයන් ඉදිරියේ ආගම දෙවැනි වන හැටි ඉතාම පැහැදිළිව දකින්න පුළුවන් මෙවැනි සැසඳීම් කරද්දි. ඒ කියන්නේ ලිංගිකත්වය මත පදනම් වෙලා වෙනස් වීම් නොකරන වර්තමාන සදාචාරය සහ ලිංගිකත්වය මත පදනම්ව වෙනස්කම් කරන ආගමික ඉගැන්වීම් සැසඳීමක් මේ කරන්නේ.

      ඒ තුළින් වර්තමාන ලෝකය තුළ ආගම යනු කල් ඉකුත් වූ ප්‍රඩක්ට් එකක් කියන එකයි මේ සාකච්ඡාවේ අන්තිම හරය විදියට එළියට ආ යුත්තේ. මගේ අරමුණ ඒකයි. වර්තමාන ප්‍රධාන ආගම් අතුරෙන් හොඳම (?) ආගම වන බුදුදහම තුළ පවා තියෙන සමහර ලක්ෂණ වර්තමානයට උචිත නැහැ කියන එකයි මින් ඔප්පු වන්නේ.

      ගැහැණිය කියන්නේ ලමයින්ට ආදරය කිරීමට, ලමයින් දැරීමට, හැදීමටම සිටිනා ජීවීන් කොටසක්ය කියලා සලකන්නේ බලද්දි ඉස්ලාමයේ විතරක් නෙමේ. ඒ සංකල්පය ඊට සාපේක්ෂව අඩු/වැඩි වශයෙන් බුදුදහමේත් තියෙනවා. ඒක හයිලයිට් කිරීමයි මේ ප්‍රශ්නය සාකච්ඡා කිරීමේ අරමුණ. නැතුව උද්ඝෝෂණයක් කරල ගෑණුන්ට බුදුබව ලබා දෙන්න අයිතිවාසකම අරන් දෙන එක නෙමේ.

      ප/ලි - ස්ත්‍රීන් සහ පුරුෂයන් අතර ස්වභාවිකව ඇති වෙනස් කම් උලුප්පල දක්වලා ස්ත්‍රීන්ට සහ පුරුෂයන්ට සමාන අයිතිවාසකම් නොලැබිය යුතුය කියන තර්කය උස මිනිසුන් සහ කොට මිනිසුන් අතර ස්වභාවිකව ඇති වෙනස්කම් උලුප්පල දක්වල උස මිනිස්සුන්ට සහ කොට මිනිස්සුන්ට සමාන අයිතිවාස්කම් නොලැබිය යුතුය කියා කියනවාට සමානය. උස සහ මිටි අයට කල හැකි සහ කල නොහැකි දේ තිබුනද ඒ අනුව මිනිසුන් බෙදා වර්ගීකරණය කොට ඒ අයට ලැබිය යුතු අයිතිවාසකම්ද බෙදා වර්ගීකරණය කරන්නේ නැත (උස, කොට උදාහරණය මිත්‍රයෙක්ගෙන් උස්සපු එකකි)

      Delete
    2. මගේ දැනුමේ හැටියට මේ පරතරය අඩුම ආගම බුදුදහමයි. ඒත් පරතරයක් තියෙන බව පිළිගන්න වෙනවා කැමති වුනත් අකමැති වුනත් (ධීතු සූත්‍රය කෝසල සංයුක්තය බලන්න

      Delete
  8. පළමුව වචන භාවිතයේදී සැලකිලිමත් වන්න. ( මෙයින් අදහස් කරන්නේ 'වෝනින්' එකක් නෙවෙයි) බුදුදහම/බුද්ධ ධර්මය යන්නත්, අප දැන් ව්‍යවහාර කරනා 'බුද්ධාගමත්' පටලවාගන්න එපා. ඒ ඒ අදාළ තැනදී අදාළ වචනය භාවිතා කෙරෙන්නේ නම් නියම අර්ථ නිරුපනය ලැබෙනවා නේද?

    ගැහැණියක් වීම නිසාම බුද්ධත්වය අහිමි වනවා යයි සඳහන් වෙනවානම් ඒ කොහේදැයි දැනගැනීමට කැමතියි, මොකද මම දන්නා බුද්ධ ධර්මයේ එවැන්නක් 'සඳහන්' වෙන්නේ නැහැ. හාමුදුරු කෙනෙක් එවැන්නක් 'කිව්වා' නම් ඒ කවර ධර්ම කොටසක සඳහන් වෙනවාද කියා කිව්වේ නැතිනම් පිළිගන්න එපා. අනිත් එක අරයා කිව්වා, මෙයා කිව්වා ආදී වශයෙන් බුද්ධ ධර්මය 'ඕප' විදියට අහන්නට යාමෙන් ඇතිවෙන්නේ අගතියක්. ඕනෑම ධර්ම කාරණයක් ඇසු පමණින් නොවිමසා පිළිගන්න එපා. මම දන්නා ධර්මය නම් මම ඉගෙනගත්තේ අන්න ඒ විදියටයි.

    ඔබේ ලිපියේ මාතෘකාව සමඟ යන කාරණා අන්තර්ගත වන්නේ සුළු වශයෙන් නිසා මම උපුටා දක්වන්න ඕනේ නැහැ. නමුත් බුද්ධත්වයට ඔබ හිතනා ආකාරයේ හැඩයක 'ලිංගයක' අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍ය වන්නේ මොනවාද කියා පාරමිතා ගැන කියවා දැනුම ලබාගන්නවා නම් වඩාත් වටිනවා. ඔබ කියනා තර්කය පරිදි මට පෙනෙන්නේ මෙවැන්නක්

    පිහිනුමෙහි කැමති අයෙක් , දක්ෂයෙක් වීමට පුහුණු වෙනවා. ඔහු දිගුදුර පිහිනන්නට ගොඩක් කල් පුහුණුවීම් කරනවා. එතැනදී ඔහුගේ ඇඳුමේ ස්වභාවය ඔහුට උපකාර වෙන්න පුළුවන්. ( ශෝටක් ගහගෙන පිනනවට වඩා ඊට අදාළ ඇඳුමක් ඇඳීමෙන් වැඩි වාසි ලැබෙනවා , ගොගල්ස් භාවිතා කරනවා වගේ ) අපි දිගුදුර ශුරයින් ගැන ගත්තහම ඔවුන් සියල්ලන්ටම පොදු වෙච්ච ලක්ෂණ තියෙනවා. ඒකෙන් අදහස් කරනවද එහෙම ලක්ෂණ තිබ්බ හැමෝම පිහිනුම් ශුරයෝ කියල??

    ගැහැනුකම, පිරිමිකම කියන්නේ කුමන දෙයක් ලැබෙන දෙයක්දැයි ( ඔබ කර්මය , කර්ම ඵලය විස්වාස කරනවා නම්) සොයා බලන්න. එතකොට මේකට උත්තරේ ලැබෙයි.

    ආයෙමත් මතක් කරන්නේ.... 'ඕප' විදියට බුද්ධ ධර්මය සොයන්න එපා. තමන් විසින්ම සොයා බලන්න.

    ReplyDelete
    Replies
    1. මම මුලින්ම කියන්නම් මට බුදුදහම ගැන සොයා බලන්න කිසිම උවමනාවක් නැති බව. හරියට ඔබට මෝර්මන් ආගම ගැන හොයන්න උනන්දුවක් නැහැ වගේ තමා. නමුත් මම ජීවත්වන සමාජයේ මිනිසුන් යම් ආගමක් අදහනවාද, ඒ ආගම අනුව තම චින්තනයන් ගොඬනඟා ගන්නවාද, එහෙමනම් ඒ ආගම සම්බන්ධ දේ මට සහ මම ජීවත් වන ඒ සමාජයට බලපාන නිසා ඒ ආගම ගැන මගේ උනන්දුවක් ඇති වීම ස්වභාවිකයි. ඒ උනන්දුව ඇතිවෙන්නේ පුස්කොලපොතක් තියාගෙන කොහේ හරි ගහක් යට ඉන්න න්‍යායාචාර්‍යවරයෙක් අර්ථ දක්වන ඒ ආගමේ 'සැබෑ' වර්ෂන් එකක් ගැන නෙමේ. පොදුවේ මම ජිවත් වන සමාජයේ ඒ ආගම භාවිතා වන ආකාරය සහ සමාජය ආගමික ඉගැන්වීම් අර්ථ දක්වා ඇති ආකාරය ගැනයි. සරලව කියනවා නම් ඒ ආගමේ භාවිතය ගැනයි.

      එනිසා ගැහැණියට බුද්ධත්වය ලැබීමට නොහැකි යැයි බුදුදහමේ සඳහනක් නැති නම් එසේ සඳහනක් තියෙනවාය කියලා හිතන මුළු සමාජයව නිවැරදි කරන්න. සමාජය එහෙම හිතන එක නවත්තපු දවසට මමත් ඒගොල්ලෝ එහෙම හිතනවාය කියල හිතල සටහන් ලියන එක නවත්වන්නම්.

      අනික, ඔබගේ පිහිනුම්කරුගේ උදාහරණය ගැලපෙන්නේ නැහැ. පොඩ්ඩක් හිතල බලන්න. නොගැලපීම පැහැදිළි කර කර ටයිප් කරන්න අදහසක් නැහැ.

      මේ හා සම්බන්ධව මම වෙනත් තැනක පළකල කමෙන්ටු දෙකක් මෙතනට අලවන්නම්. මේ ගැන මගේ මතය තවත් පැහැදිලි වෙයි එතකොට

      කමෙන්ටුව 1

      //බුදුදහමේ හැටියට කාන්තාවන්ට බුදුබව ලබන්න බැයි නම් ඒක මට කමක් නෑ. මං මක් කරන්නද ඒක බුදුදහමෙ හැටි නම්. ඒත් ඒ මතය පදනම් වෙන්නේ වෙන්නේ කාන්තාවක් කියන්නේ දරුවන් හදන්නම සිටින කෙනෙක්ය/ඇයගේ ඒ දරුවන්ට තියෙන ඇල්ම නිසාමය ඇයට බුදුබව ලබන්න බැරි වගේ තැනකින් නම් ඒක අවුල්. අවුල මට ඒක දැක්කම කසනවා වගේ දෙයක් නිසා නෙමේ. ඒකේ අහිතකර ප්‍රතිඵල තියෙන නිසා. (අඩුම ගානේ ඒක එක පදනමක්, අනික මම කතා කරන්නේ බුදුදහමට අනුව සීන් එක මේකය කියල සමාජයේ තියෙන මතය ගැන මිසක සැබෑ බුදුදහම මොකක්ද කියල පුස්කොලපොතක් තියාගෙන කොහේ හරි ගහක් යට ඉන්න න්‍යායාචාර්‍යවරයෙක් අර්ථ දක්වන බුදුදහමක් ගැන නෙමේ).

      අන්න ඒ වගේ පදනම් වලටයි මගේ අවුල තියෙන්නේ. ගෑණු බව බුදුබව ලබන්න තියෙන ඩිස්කොලිෆිකේෂන් එකක් වීමට හේතුවක් තමා 'දරුවන්' කියන සාධකය. ඉතින් එතනින්ම ගැහැණියට බෞද්ධ සමාජයකින් role එකක් පටවලා ඉවරයි. ඒ මත පදනම් වෙලයි අරකට ඩිස්කොලිෆයි වෙන්නෙ (කලිනුත් කිව්ව වගේ, මේක ඒගොල්ලන්ට අනුව මේ ඩිස්කොලිෆිකේෂන් එකට එක හේතුවක් විතරයි). දැන් කෙනෙක් කියයි ඉතින් උඹට මොකෝ ඒ බුද්ධාගමේ හැටිනෙ කියල. මට මොකවත් නැහැ, බෞද්ධ චින්තනයක් මත පදනම් වුන සමාජයකින් ඒ රෝල් එක ගැහැණිය මත පැටවෙන්න ඕක හිතා හෝ නොහිතා හේතුවක් නොවෙනවා නම්.//

      කමෙන්ටුව 2

      //ආගමික රාමුව ඇතුලේ තියෙන දේවල් ප්‍රශ්න නොකර ඉන්න තිබ්බා ආගමික පොත්පත්, ඇදහිලි ක්‍රම ආදිය කෞතුක වස්තූන් විදියට සලකන්න පුළුවන් කාලයක් උදා වුනොත්. නමුත් ආගමික රාමුවක් නිර්මාණය වෙලා තියෙන චින්තන රටාව ඒ ආගම පරම සත්‍යය විදියට පිළිගන්නා මනුස්සයෙක්ගේ ඔලුව තුළ අඩුවැඩි වශයෙන් තියෙනවා සහ ඔහුගේ චින්තනයටද බලපානවා. එහෙම මිනිස්සු රාශියකින් එකතු වුන සමාජයකටත් ඒක එහෙමමයි. මේවා සමහර විට ඩිරෙක්ට් සහ ඉන්ඩිරෙක්ට් විදියට බලපාන්න පුළුවන්.

      උදාහරණයකට සමලිංගික ක්‍රියාවල යෙදීම පාපයකි කියන එක ක්‍රිස්තියානි ඉගැන්වීමය, ආගම අත ඇරිය නම් පැත්තකට වෙලා උඩ බලන් ඉඳපියකො කියල කියන්න බැහැ. මොකද ඒ ඉගැන්වීම් සෘජුවම බලපානවා එය දේවවචනයය කියල පිළිගන්න මනුස්සයෙක්ගේ චින්තනයට. ඒ වගේමයි බයිබලයේ හෝ කුරාණයේ සඳහන් නම් ගැහැණිය පුරුෂයාට දෙවැනිය කියල ඒකත් මුළු සමාජ ක්‍රමයන්/හැසිරීම්/වටිනාකම් බිහිවීම දක්වාම ඉන්ඩිරෙක්ට් විදියට බලපානවා. එනිසා ආගම අත ඇරිය නම් කටවහන් හිටු න්‍යාය නම් පිළිගන්න බැහැ, කලින් කිව්වා වගේ ආගමික ලියවිලි කෞතුක වස්තූන් වෙලා ඒ මත පදනම් වන ආගමික හැසිරීම් ඉතිහාස පොත්වල කියවන දවස් එනතුරු.//

      Delete
    2. //හරියට ඔබට මෝර්මන් ආගම ගැන හොයන්න උනන්දුවක් නැහැ වගේ තමා.

      මෝර්මන් දහම? මම නම් හොයල බලන්න කැමතියි. මම හින්දු,ඉස්ලාම්, ක්‍රිස්තියානි ආගම් සියල්ල ගැන උනන්දුයි. එහෙම කියලා පිස්සෙක් වගේ ඒ ආගම් හෝ දර්ශන පස්සේ ' දුවන්නේ'නැහැ. නමුත් ඒ විටකම මට බුද්ධ ධර්මයේ ඇති පරිපුර්ණ බව වැඩි වැඩියෙන් පෙනෙන්නට ගන්නවා.

      ඉතින් ඔබ කතා කරන්න හදන්නේ 'නොදන්නා' දෙයක් ගැන විවේචනයක් නේද? ඒ කියන්නේ ඔබ නොදන්නා දෙයක් ගැන විවේචනය කරනවා, නමුත් එහි ඇත්ත හෝ නැත්ත දැනගන්න උවමනාවක් හෝ ඔබ තුල නැහැ. ඉතින් විවේචනය කරනවා මිස ඔබ ඇත්තක් හෝ නැත්තක් කියා දකින්නෙත් නැහැ නේද?

      // සමාජය එහෙම හිතන එක නවත්තපු දවසට මමත් ඒගොල්ලෝ එහෙම හිතනවාය කියල හිතල සටහන් ලියන එක නවත්වන්නම්.

      අනිත් එක මම මගේ කොමෙන්ටුවෙන් 'මුළු සමාජයක මතයක් කණපිට හරවන්න' හැදුවා නෙවෙයි. එහෙම දෙයක් මෙහෙම බ්ලොග් එකක කොමෙන්ටුවකින් කරන්න පුළුවන් නම් ආශ්චර්යයක් වෙයිද? ' මත/විස්වාස/ඇදහිලි' වල ඇත්ත නැත්ත කොතරම් විද්‍යාත්මකව පැහැදිලි කරන්නට පුළුවන්කම ලැබුනත් තාමත් නැකත ගැන තියෙන ඇබ්බැහියවත් මිනිස්සුන්ට අතාරගන්න පුළුවන් වෙලාද? නැකත් මුලින්ම ප්‍රතික්ෂේප කලේ බුද්ධ ධර්මයේ, එහෙම අවුරුද්ද කියලා නටන්නේ කාගේ නාඩගමක්ද ? ඒවාවත් අපිට වෙනස් කරන්න පුලුවන්ද?

      //එනිසා ගැහැණියට බුද්ධත්වය ලැබීමට නොහැකි යැයි බුදුදහමේ සඳහනක් නැති නම් එසේ සඳහනක් තියෙනවාය කියලා හිතන මුළු සමාජයව නිවැරදි කරන්න
      මම නම් මට එහෙම දෙයක් කියන කෙනාට අදාල උත්තරේ දෙනවා. මෙතන මම කලෙත් ඒකයි. සමාජය සමාජය කියල කියන්නේ අපි අපිමයි නේ. මම එහෙම කියන්නෙත් සමාජ මතය කවරක් උනත් බුද්ධ ධර්මයේ එවැන්නක් නැති බව කියවා තිබීම නිසාම දන්නා බැවින්. නොකියවා පොර ටෝක්ස් දෙන්න පුලුවන්ද අවන්කෙන්?

      බුද්ධ ධර්මයේ බුදුබව සඳහා පාරමිත පුරන බව ඔබ අඩුම තරමේ 'අහලා' වත් ඇතිනේ. ඒක රැයකින්, සතියකින්, මාසෙකින්, අවුරුදු කීපයකින් , අවුරුදු ගණනකින් , අවුරුදු දහස දහස් ගණනකින් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒ බව වැටහෙන්න නම් ඒවා ගැන සොයාබැලිය යුතුයි, ඒකට වෙන මගක් නැහැ. ඒකෙන් අදහස් කරන්නේ නැහැ ඔබ බුද්ධ ධර්මය අනුගමනය කලයුතුයි කියල. බුද්ධ ධර්මය විවෘතයි, ආගමට ගැනීමක් කියල දෙයක් නැති නිසා ඕනෑම ආගමිකයෙකුට වගේම නිරාගමිකයින්ටත් විවෘතයි. කිසි දෙයක් ඇත්තෙත් නැහැ. ඉතින් නොබලා ඉඳීම කියන්නේ පුද්ගලික තෝරාගැනීමක්. එකට බුද්ධ ධර්මය පලි නැහැ.

      පාරමිතා පිරීමේදී සහ ඒවා පුර්ණ කිරීමෙන් අනතුරුව යන මේ සංසිද්ධි බොහොමයක් යම් යම් අවස්ථා වලදී බුද්ධ දේශනාවල බුදුරජානන් වහන්සේ උපුටා දක්වා තිබෙනවා. වරෙක බෝධිසත්වයෝ සතුන් වෙලා ඉපදිලා තියෙනවා. එහෙම වෙන එක අභව්‍ය නැහැ. නමුත් 'බුද්ධ' කියන තත්වයට පත්වන්න මනුෂ්‍ය උන පමණින් පුළුවන් වන්නේ නැහැ. පිරිමි උනා කියලත් හරියන්නේ නැහැ. ආබාධිත වෙන්නත් බැහැ. ඇයි ඔබ එහෙනම් ආබාධිත අයෙක් බුද්ධත්වයට පත්වෙන්න තියෙන අවස්තාව ඒ වගේම ප්‍රශ්න කරන්නේ නැත්තේ? ඒකත් ස්ත්‍රීත්වය වගේම දෙයක් නේද? ( ස්ත්‍රීන් යනු ආබාධිතයින් හා සම කළා නොවෙයි. එයත් මිනිසත්බවේ කොටසක් නිසා)

      ස්ත්‍රීන් සිටින්නේ ළමයි හදන්නයි, මිනිස්සුන්ගේ සේවනයටයි කියා යමෙක් හිතනවා නම් ඒ කිසිවකු නෙවෙයි ඉන්දියාවේ ඒ කාලේ හිටපු බමුණෝ. එවන් සමාජයක ස්ත්‍රීන්ට 'නිසිතැන' ලබාදුන්නේ බුදුරජාණන් වහන්සේ. ස්ත්‍රීන්ට පහත් ලෙස තමයි ශ්ලෝක වලින් පවා ඒ කාලේ බමුණෝ සැලකුවේ. නමුත් බුද්ධ ධර්මය තුල එවැන්නක් කිසි තැනක සනදාන් වෙන්නේ හෝ ක්‍රියාවේ යොදවන්නේ නැහැ. ඔබ චෝදනා කරන රෝල් එක තියෙන්නේ බමුණන් එක්ක ඉන්නා බුද්ධාගමේ අය. ඒ කියන්නේ බෞද්ධ නෙවෙයි. එවැනි අයට නිවැරදි වචනය භාවිතා කිරීමෙන් වෙනස්කොට පෙන්විය හැකියි.

      බුද්ධත්වට පත්වීමයි , පුරුෂත්වයයි කියන්නේ වෙනස් මාතෘකා දෙකක්. වලිගෙන් අල්ලාගන්න එපා. එහෙම ඒ දෙක එකට පටලවාගෙන ඉන්නේ මම අර කිව බමුණෝ. එයාල තමයි තමන්ගේ මතය නිවැරදියි කියල ( ස්ත්‍රීන් පුරුෂයින්ට වඩා පහළයි , ඔවුන් සිටින්නේ ඉහත කි වැඩ දෙකට විතරයි කියා ) බුද්ධාගම්කාරයෝ මෝහනය කරන්නේ. බුද්ධ ධර්මයේ ඇති චින්තනය නිසා කවුරුවත් වැරදි දෙයක් කළා, කිව කියල දඬුවම් දෙන 'දෙය්යෙක්' ගැන කියන්නේ නැහැ. ඉතින් කැමති දෙයක් බයත් නැහැ. සත්‍ය ධර්මය කියවන්න උවමනාවක් වැඩිදෙනා තුල ඇත්තේ නැහැ. කැමැත්ත ඇත්තේ ධර්මය තේරුම් ගැනීමට වඩා රුපවාහිනිය ඉස්සරහ වාඩිවෙලා උන් කියන දෙයක් අහගෙන, මොලේ වෙහෙසවන්නේ නැතුව දවස ගෙවල කාටහරි ඇඟිල්ල දික්කරන්න ලේසියි.

      තමනුත් නොදන්නා දෙයක් ගැන , අනිත් අයත් දන්නේ නැහැ කියල චෝදනා කිරීම විහිළුවක්.

      Delete
    3. පළමුව බොහෝම ස්තූතියි මේ විදියට කාලය අරගෙන කමෙන්ට් කරන එකට. ඔබේ අදහස් දැක්වීම ඉතාම ඉහළින් අගය කරනවා. මට පොඩි වෙලාවක් දෙන්න. මම හෙට දවස ඇතුලත කියවල නිවී සැනසිල්ලෙ රිප්ලයි කරන්නම්. මේ වගේ වැදගත් මාතෘකා වලට හදිසියේ කමෙන්ට් කරල වැඩක් නැති නිසා :)

      Delete
    4. උපේක්ෂා, නැවතත් බොහොම ස්තූතියි ඔබේ අදහස් බෙදා ගැනීම ගැන. ඔබ මම කිව්ව දේ වෙනස් විදියට තේරුම් අරගෙනද කියලත් හිතෙනවා.

      මම කියන්නේ මෙහෙම දෙයක්, කිසිම ආගමක "සැබෑ" වර්ෂන් එක මොකක්ද කියන එක ගැන මගේ උනන්දුවක් නැහැ. මම උනන්දු ඒ ඒ ආගම් වල මිනිසුන්ගේ භාවිතය ගැන.

      උදාහරණයක් දෙන්නම්, කතෝලික ආගමට අනුව දික්කසාදය පාපයක්. සිදු නොකල යුත්තක්. නමුත් කතෝලිකයන් දික්කසාද වෙනවා, කතෝලික රටවල පවා දික්කසාද නීතිය තියෙනවා. ඉතින් මම ගිහින් කතෝලිකයෙක් එක්ක සංවාද කරන්නේ නෑ සැබෑ කතෝලික දහම මොකක්ද කියලා. ඒක ශාස්ත්‍රීය කතිකාවතක්. කොටින්ම ආගමක සැබෑ වර්ෂන් එකක් නිර්ණය කරන්න පුළුවන්ද කියන එකත් ගැටළුවක්. මොක්ද ඕනම ආගමක කියවීම තීරණය වෙන්නේ කියවන්නා මත. ඒක වෙනම කතා කල යුතු දෙයක්.

      දැන් මම කතෝලිකයන්ගෙන් අහන්නෙ නැත්තේ ඇයි ඕගොල්ලො දික්කසාද වෙන්නේ? කරුණාකරලා දික්කසාද වෙන්න එපා.. කතෝලික රටවල දික්කසාද නීතිය අහෝසි කරලා දික්කසාද වෙන එක තහනම් කරන්න ඕනේ.. එහෙම කියන්නේ නැහැ මම.

      ආගමික ඉගැන්වීම කුමක්වුවත් නිරාගමිකයෙකු වන මම උනන්දු ඒ ආගම මිනිස්සු අර්ථ දක්වලා භාවිතා කරන විදිය ගැනයි. මම උනන්දු සමාජය යහපත් තැනක් කරවීම සඳහා මිසක කොහේවත් තියෙන ඓතිහාසික ලියවිල්ලක ඇත්ත නැත්ත හොයන එක ගැන නෙමේ. මිනිසුන් යමකට දෙන අර්ථ දැක්වීම අනුව සමාජයට ඒක බලපාන, මිනිස් චින්තනයට, අදහස් ගොඬනැඟීමට වගේම වටිනාකම් ගොඩනැගීමද ඒ අනුව සිද්ධ වෙනවා. මම උනන්දු ඒ ගැන.

      කරුණාකරල තේරුම් ගන්න, මම ආයෙම කියන්නම්.. මට කිසිම ආගමක සැබෑ අර්ථය මොකක්ද කියල තේරුම් ගන්න කිසිම උවමනාවක් නැහැ. ලෝකයේ හඳුනාගත් ආගම් 4200කට වඩා තියෙන බවයි සැලකෙන්නෙ. දැන් ඔයා යනවද ඔය හාරදාස් දෙසීයෙම සැබෑ අරුත හොයන්න?

      වැදගත් වෙන්නේ මිනිස්සු ඒ ආගම් පාවිච්චි කරන විදිය. බයිබලයේ තිබ්බට ඇහිබෑම ගාන එක තහනම් කියල මිනිස්සු උද්ඝෝෂණය නොකරන තාක් "ඇහිබැමි ගාන එක නීතියෙන් තහනම් කරපියව්" කියල.. මට බයිබලයේ ඇහිබැමි ගෑම ගැන තියෙන ඉගැන්වීමේ "සැබෑ" අරුත මොකක්ද කියන එක වැඩක් නෑ.

      ඒ වගේ තමා මම මගේ සටහන් වලින් කතා කරන්නේ ආගම් වල මිනිස් භාවිතයන් ගැන. මේක බණ දේශනා කරන බ්ලොග් එකක් නෙමේ. මේකේ කතා කරන්නේ ආගම් ප්‍රචාරණයක් නෙමේ, මේකෙ කරන්නෙ මිනිස්සු ආගම් භාවිත කරන එක ගැන කතාවක්.

      ඒක එක, දෙක.. මොකක්ද... ඉන්න බලන්න ආයෙ ඔයාගෙ කමෙන්ට් එක කියවල එන්නම් ;).. ආයෙ කියෙව්වා.. උඩ මම නොකියපු දෙයක් අමුතුවෙන් එකතු කරන්න නෑ කියලයි හිතෙන්නෙ. තියෙනවා නම් කියන්න. කතා කරමු.. ආ මේ ටික

      Delete
    5. //ස්ත්‍රීන් සිටින්නේ ළමයි හදන්නයි, මිනිස්සුන්ගේ සේවනයටයි කියා යමෙක් හිතනවා නම් ඒ කිසිවකු නෙවෙයි ඉන්දියාවේ ඒ කාලේ හිටපු බමුණෝ. එවන් සමාජයක ස්ත්‍රීන්ට 'නිසිතැන' ලබාදුන්නේ බුදුරජාණන් වහන්සේ. ස්ත්‍රීන්ට පහත් ලෙස තමයි ශ්ලෝක වලින් පවා ඒ කාලේ බමුණෝ සැලකුවේ. නමුත් බුද්ධ ධර්මය තුල එවැන්නක් කිසි තැනක සනදාන් වෙන්නේ හෝ ක්‍රියාවේ යොදවන්නේ නැහැ. ඔබ චෝදනා කරන රෝල් එක තියෙන්නේ බමුණන් එක්ක ඉන්නා බුද්ධාගමේ අය. ඒ කියන්නේ බෞද්ධ නෙවෙයි. එවැනි අයට නිවැරදි වචනය භාවිතා කිරීමෙන් වෙනස්කොට පෙන්විය හැකියි. //

      මේකට උත්තරේ මම කලින් කමෙන්ටුවෙත් සඳහන් කලා.. ආයෙම දාන්නම්.. හැකි නම් කිව්ව දේවල් ගැන කතා කරද්දි කෙළින්ම ඉලක්ක කරල උත්තර දෙන්න. ඔබ මගේ කමෙන්ටුවේ මේ කොටස සම්පූර්ණයෙන් නොසලකා හැරලා. ඔන්න ආයෙම දැම්මා

      ////බුදුදහමේ හැටියට කාන්තාවන්ට බුදුබව ලබන්න බැයි නම් ඒක මට කමක් නෑ. මං මක් කරන්නද ඒක බුදුදහමෙ හැටි නම්. ඒත් ඒ මතය පදනම් වෙන්නේ වෙන්නේ කාන්තාවක් කියන්නේ දරුවන් හදන්නම සිටින කෙනෙක්ය/ඇයගේ ඒ දරුවන්ට තියෙන ඇල්ම නිසාමය ඇයට බුදුබව ලබන්න බැරි වගේ තැනකින් නම් ඒක අවුල්. අවුල මට ඒක දැක්කම කසනවා වගේ දෙයක් නිසා නෙමේ. ඒකේ අහිතකර ප්‍රතිඵල තියෙන නිසා. (අඩුම ගානේ ඒක එක පදනමක්, අනික මම කතා කරන්නේ බුදුදහමට අනුව සීන් එක මේකය කියල සමාජයේ තියෙන මතය ගැන මිසක සැබෑ බුදුදහම මොකක්ද කියල පුස්කොලපොතක් තියාගෙන කොහේ හරි ගහක් යට ඉන්න න්‍යායාචාර්‍යවරයෙක් අර්ථ දක්වන බුදුදහමක් ගැන නෙමේ).

      අන්න ඒ වගේ පදනම් වලටයි මගේ අවුල තියෙන්නේ. ගෑණු බව බුදුබව ලබන්න තියෙන ඩිස්කොලිෆිකේෂන් එකක් වීමට හේතුවක් තමා 'දරුවන්' කියන සාධකය. ඉතින් එතනින්ම ගැහැණියට බෞද්ධ සමාජයකින් role එකක් පටවලා ඉවරයි. ඒ මත පදනම් වෙලයි අරකට ඩිස්කොලිෆයි වෙන්නෙ (කලිනුත් කිව්ව වගේ, මේක ඒගොල්ලන්ට අනුව මේ ඩිස්කොලිෆිකේෂන් එකට එක හේතුවක් විතරයි). දැන් කෙනෙක් කියයි ඉතින් උඹට මොකෝ ඒ බුද්ධාගමේ හැටිනෙ කියල. මට මොකවත් නැහැ, බෞද්ධ චින්තනයක් මත පදනම් වුන සමාජයකින් ඒ රෝල් එක ගැහැණිය මත පැටවෙන්න ඕක හිතා හෝ නොහිතා හේතුවක් නොවෙනවා නම්.////

      සමාජයේ මතයක් තියෙනවා බුදුදහමට අනුව ගැහැණියකට බුදුවෙන්න බැරිය.. හේතුව ඇය සතුව ස්වභාවයෙන්ම තියෙන දාරක ප්‍රේමයය කියල.. මම කතා කරන්නෙ ඒක ගැන.. බෞද්ධයන් තුල තියෙන ඒ මතය වැරදි නම් ඔබ ගිහින් ඔවුන්ව නිවැරදි කරන්න.. ඔවුන්ව නිවැරදි කිරීම මට අයිති කාරණයක් නෙමේ.. ඒක බෞද්ධයන් තුළින්ම ඇති විය යුතු කතිකාවතක්.. සැබෑ බුදුදහම මොකක්ද කියලා සම්මුතියකට එන එක.. මම කරන්නේ බෞද්ධයො සැබෑ බුදුදහම කියලා හිතාගෙන කරන වැඩ, හිතන් ඉන්න දේවල් නිසා මම ජීවත් වෙන සමාජයට ඇතිවන හොඳ සහ නරක බලපෑම් ගැන කියන එක. පැහැදිළි ඇතැයි හිතනවා

      Delete
  9. විවාදාත්මකයි. බලන කන්නාඩිය අනුව ෆිල්ටර් වේ.

    ReplyDelete
    Replies
    1. හැම දෙයක්ම බලන කණ්ණාඩියෙන් ෆිල්ටර් වෙලා තමයි එන්නෙ :)

      Delete
  10. සතපහකට වැඩක් නැති ලිපියක්. බුදුදහම කියන්නේ අහං ඉඳලා සාධු කියන දහමක් නෙවෙයි. ප්‍රශ්න තියෙනවා නම් අහලා තේරුම් ගන්න ඕනේ දෙයක්. පේන විදියට කේන්තියක් පිරිමහගන්න ලියපු ලිපියක්.

    ReplyDelete
  11. මං අදමයි ආවෙ. සිරා පෝස්ටුව. මං ඡන්දෙත් දැම්ම...

    ReplyDelete
    Replies
    1. බ්ලොගයට සාදරයෙන් පිළිගන්නවා මචන්. :)

      Delete
  12. අදයි මේ පැත්තට ආවේ. මම හරි කැමතියි මේ වගේ ලිපි වලට

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනෝ

      Delete
  13. බුදු දහම පිලිබඳ ලිපි ලිවීමට පෙර බුදු දහම හොඳින් හදාරා සිටින්න.ගැහැනිය යනු දරුවන් බිහිකරන යන්ත්‍රයක් නොවේ.බුදු දහමේ කිසිදු තැනක එලෙස දක්වා නැත.එමෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත්තේ ගැටලු ඇත් නම් විමසා දැනගන්නා ලෙසයි.ප්‍රශ්න අසා ගැටලු ඇති තැන් නිරාකරණය කරගන්නේ මෝඩයන් නොව බුද්ධිමතුන්‍ ය.එමෙන්ම කුකුලන් සිටින්නේ රෝස්ට් චිකන් එකක් වී මිනිස් දිවට රස සැපයීමට යැයි සිතනා ඔබ කෙසේවත් බුදු දහම ගැන අවබෝධයක් ඇත්තෙකු යැයි සිතිය නොහැක.

    ReplyDelete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...