මාස තුන හතරකට ආසන්න කාලයකින් මස් මාළු කෑවේ නැහැ.
ඔය අතරෙයි දවස් තුන හතරකට කලින් ප්‍රියම්භිකාවිය එක්ක කොළඹ යන්න වුනේ. දවල් එකහමාර දෙක වෙද්දි මාරම බඩිගිනියි. කන්න තැනක් කල්පනා කරද්දි තමා මගේ 'සිහින කෑම වේල' තියෙන බුහාරි එකට අදිමු කියලා ප්‍රියම්භිකාවියම යෝජනා කලේ.
ඉතින් ඇද්දා බුහාරි එකට මහ වැස්සක් එන්න ඔන්න මෙන්න බව දැනගෙනම. අවුරුද්දකින් විතර මයෙ හිතේ ගියේ ඒ පැත්තෙ.
ඇත්ත වශයෙන්ම කියනවා නම් මිත්‍රවරුනි, මට බුහාරි එකේ බුරියානි එක තරම් රස කෑම වේලක් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ. ඒක තමා බුරියානි එක !
ප්ලේටෝ කියපු කතාව හරි. බුහාරි එකේ බුරියානි එක තමා බුරියානි වල නියම Form එක. අනිත් ඔක්කොම බුරියානි කියන්නේ බුහාරි එකේ නියම බුරියානි එකෙන් එහෙන් මෙහෙන් වෙනස් වෙලා, අඩු වැඩි වෙලා හැදිච්ච ඒවා.
බුහාරි එකේ බුරියානි එක කද්දි ඒත් එක්කම හිතට එන නොස්ටැල්ජියාව නිසා ඒ රස දෙගුණ වෙනවා. මට මතක ඇති කාලයක ඉඳලා පවුලේ ඔක්කොම කොළඹ පැත්ත පලාතෙ ගියොත් කන්න යන්නෙ බුහාරි එකටම විතරයි. ඉස්සර උඩ තට්ටුවේ තිබ්බා පවුල් වලටම වෙන් කරපු වෙනම කුටි. ඒකක් ඇතුළට ගිහින් පවුලෙ ඔක්කොම වෙනම ගත්ත රෝස් කුකුළෙක් එක්ක බුරියානි කාපු එක මරු මතකයක්. රෙගියුලර් කස්ටමර්ස්ලා නිසා එදා ඉඳලම අපට වීඅයිපි සැලකිලි.
ඒ දවස් වල වැඩ කල ඈයෝ දැන් නෑ. රිටයර් වෙලා. උඩ තට්ටුවත් වහලා දාලා. හොටෙල් එකේ කොලිටියත් බැහැලා. පරණ පාටයි දැන්. ඒත් බුරියානි එක නම්, ඉස්සර තරම්ම කොලිටි නැතත් වෙන කොහෙවත් නැති තරමටම රසයි.
මමයි ප්‍රියම්භිකාවියයි බුරියානි දෙකක් කාලා (එතුමියගේ බුරියානි එකෙන් බාගයකට විතර වගකිව්වෙත් මම) රෑටත් කන්න කියලා අරන් ආවා පාර්සල් දෙකක්ම.
හම්මේ ඉතින්, මස් නොකා ඉඳීමේ තියරිය බුහාරි එක ඇතුළට ඇප්ලයි නොවෙන හැටි. එදා ඉඳන් මස් නොකා තමා හිටියෙ සුපුරුදු පරිදි.