Tuesday, April 26, 2016

වීරයා මැරිලා..පිය සටහන් මැකිලා..

දක්ෂතාවය යනු එකකි. තවෙකෙක්ට ඊර්ෂ්‍යා කිරීම යනු එකකි.

අද්විතීයත්වය යනු එකකි. තවෙකෙක්ගේ සාර්ථකත්වය නොරිස්සීම තවත් එකකි.

අසමසම වීම යනු එකකි. තවකෙක් ගේ වෙනස් අදහස් දරා ගැනීමට නොහැකි බව තවත් එකකි.

අසාහය වීම යනු එකකි. විවේචන ඉදිරියේ මාන්නයෙන් ඔලුව ඉදිමුවා ගත් උද්දච්ඡ බක පණ්ඩිතයකු සේ හැසිරීම තවත් එකකි.

ඕනම අයකුගේ දක්ෂතාවය ඇගයීමට අප පසුබට නොවන්නේ අප තුළ කුහකත්වයක් නොමැති නිසාද දක්ෂයා දක්ෂයා ලෙස හඳුනා ගෙන ඒ සත්‍යට මුහුණ දීමට අපට හැකියාව  ඇති නිසාද විය හැකිය.

අප මහා දක්ෂයෝ නොවිය හැක, අද්වීතීයයෝ නොවිය හැක, අසමසමයෝ නොවිය හැක, අසාහයයෝ නොවිය හැක. අප එසේ යැයි අප විසින් අපව හඳුන්වා ගන්නේද නැත.

එහෙත් අන් අයගේ විවේචන දරා ගැනීමට නොහැකි, අන් අයගේ හැකියාවට ඊර්ෂ්‍යා කරන, අන් අයගේ කකුළෙන් අදින අසමසම හැකියාවකින් යුක්ත වූවෙක් සිටියි නම් ඇත්තටම එය මහත් අවාසනාවකි. ඔහුගේ හැකියාවට වඩා ඒ නොහැකියාව ගැඹුරුය. එම අඩුව ඔහුගේ දක්ෂතාවය ලැබීමේ වාසනාවට වඩා අවාසනාවක්ය.

මේ කියන්නේ සිය ලේඛන හැකියාවෙන්, ත්‍රීව විචාරයන්ගෙන්, නොසැලෙන විවේචනයන්ගෙන් සයිබරය ආලෝකවත් කල සයිබර් ක්‍රියාකාරිකයකු ගැනය. බ්ලොග් රචකයකු ගැනය. බ්ලොග් කලාව ආලෝකමත් කල බ්ලොග් සංස්කෘතියේ පුරෝගාමියෙක් ගැනය.

අප ඒ කාලයේ පටන් ඔහුගේ ලිවිලි රස වින්දෙමු. ඔහුගෙන් ඉගෙන ගත්තෙමු. ඔහු තුළින් ලිවීමට ප්‍රබෝධයක් ලදිමු.

ඒ කාලය තුළද ඔහු තුළ දක්නට තිබූ ඔහුගේ හැකියාවටත් වඩා ලොකු ඉගෝව නොසලකා හැරියෙමු. ඒ වෙන කිසිවක් නිසා නොව, ඔහු ප්‍රකට කල දක්ෂතාවයට අප ඇලුම් කල නිසාවෙනි.

නමුත් දැන් බ්ලොග් ලිවීමට නැවතීමේ තිත තබා ඇති ඔහු මුහුණු පොතේ තම සැබෑ ප්‍රොෆයිලයෙන් සැරිසරමින් එකල ඔහු කලාක් මෙන් වර්තමානයේ සයිබරයේ ක්‍රියාකාරීවන ක්‍රියාකාරීන්ව හෑල්ලුවට ලක් කිරීම දිගින් දිගටම කරන ආකාරයක් දක්නට ලැබුනි.

කාලයක් තියුණු ලෙස ඔහුගේ අදහස් ප්‍රකාශනයේ නිදහස භාවිත කරමින් බ්ලොග් ලියූ ඔහු හිටිහැටියේම යම් හේතුවක් නිසා සිය බ්ලොග් අඩවිය මකා දැමූ බව දන්නෝ දනිති. එය ඔහුගේ නිදහසය. ඒ සියල්ල අපට ප්‍රශ්නයක් නැත. නමුත්, දැන් ඔහු අන් අයගේ අදහස් ප්‍රකාශනය මහත් ප්‍රශ්නයක් කරගෙන ඇත. ගැටළුව ඇත්තේ එතනය.

ඔහු තව දුරටත් සයිබරයේ ක්‍රියාකාරී නොවීම ඔහුගේ තීරණයකි. අප එයට ගරු කල යුතුය. විටින් විට ආපසු ලියන්නැයි අහිංසක ඉල්ලීම්ද කලද ඔහු ලිවීම නැවැත්වීමට ගත් තීරණය අප ප්‍රශ්නයක් කර ගත්තේ නැත.

ඒවගේම අපගේ ලිවීම ඔහුට ප්‍රශ්නයක් කර නොගත යුතු බවද අකමැත්තෙන් වුවද සඳහන් කල යුතුය.

මන්ද, කලක් සයිබර් ලේඛනයේ පුරෝගාමියෙකු වූ ඔහුට නොවැටහුනාට නිහඬව සිටීමට වඩා හැකි පමණින් හඬක් නැඟීම, කතා කිරීම, ලිවීම, බංකුවේ එහා පැත්තේ හිඳගෙන සිටිනා නාඳුනන මිනිසා සමඟ සංවාදයක යෙදීම වටිනා බැවිනි.

සංවාදය, සාකච්ඡාව, අදහස් හුවමාරුව සහ හිංසාව අතර තේරීමක් ඇති යුගයක පළමු විකල්පයට යාම දෙවැන්න වැළකීමට සුදුසුම ක්‍රමය වන බැවිනි.

ඒ සාකච්ඡා සිදුවන්නේ ඒසී කාමරයක ටයි කෝට් දමාගෙනද, තේ කඩයක ප්ලේන්ටියක් රස විඳින ගමන්ද.. ඒ අදහස් ලියවෙන්නේ සිගරට් කොළයකද, නිකන් පොත් පිංචකද, සයිබරය තුළද, සිළුමිණ පත්තරේටද කියන එක එතරම් වැදගත් නොවන්නේ එබැවිනි.


ප/ලි - පළමුව, 

අදාල පුද්ගලයා කවුරුන්ද යන්න දන්නෝ දනිති. මෙහිදී ඔහුගේ නම සඳහන් නොකලේ සයිබරයේ ඔහු පතල නමින් පැමිණ මේ සටහනට ප්‍රතිචාර දැක්වීමට නොහැකි බව දන්නා නිසා ඉන්  ඔහුට වන අසාධාරණය ගැන සිතා මිසක වෙන හේතුවක් නිසා නොවේ. 

දෙවනුව,

මේ ලියා තිබෙන්නේ මගේ අතිජාත මිත්‍රයා මාලොන් සමරේ ගැන නම් නොවේය. ඌ එදත් මගේ බොක්කය, අදත් මගේ බොක්කය, හෙටත් මගේ බොක්කය. මේ කියන්නේ කවුරුන් ගැනද කියා දන්නෝ දනිති. කරුණාකර නොදන්නෝ එක එකා ඈඳාගෙන උපකල්පනයන් නොකරන්න.

14 comments:

  1. ඕකේ මචෝ. ආයේ සෙට් වෙමු මාස තුනකින්. කට්ට කාල හම්බ කරපු දෙයින් හොලිඩේ යනව ලෝකේ කොනේට. ජය ශ්‍රී..!!

    ReplyDelete
    Replies
    1. සතුටුයි මචන්. ෆන් එකක් අරගෙන පරිස්සමින් ගිහින් වරෙන්. ආව ගමන් කමෙන්ට් එකක් දාහන් ආවා කියලා. සුභ ගමන් මචෝ. ජය !

      Delete
  2. තමාට ලබාගැනීමට නොහැකිවූවෝ හෝ ලබාගෙන එය පවත්වාගෙන යාමට නොහැකි වූවෝ නැවතත් එම තත්වය පිලිගැනීම ලබා ගැනීමට මාන බලති...එය සිදු නොවනතැන එය ලැබෙන වුන්ට ඊර්ශියා කරමින් ඔවුන්ට විවිද කෙනහිලිකම් කරති...ලංකාවේ පමනක් නොව ලොව පුරා සත්‍ය තාවය එයයි..

    ReplyDelete
    Replies
    1. ඇත්ත මචන්. දක්ෂයොත් මිනිස්සුන්ගෙ කකුලෙන් අදින එකනෙ අවුල

      Delete
  3. අදහස් වලට හෝ ක්‍රියාවන්ට මුල තැන දෙනු වෙනුවට පුද්ගලයෝ කරේ තියන් දුවන් එක අපේ ජාන වලින් එන ගතියක් නේ......ඒශියන්සලටම පොදුවේ....බුදුන් මරන්න..........

    ReplyDelete
    Replies
    1. 100%ක් එකඟයි මචන්. හැම දෙයක්ම/කෙනෙක්ම/සංකල්පයක්ම හිස් මුදුනේ තියාගෙන දුම් අල්ල අල්ල වඳින්න තමයි දන්නෙ

      Delete
  4. වීරයෝ කියන කන්සෙප්ට් එක අස්සේ සදාකාලික පැවැත්මක් නෑ විතරක් නෙමෙයි අපි හැමෝටම එකම වීරයා වෙන්නෙත් නෑ මට හිතෙන විදියට. නමුත් යම් මට්ටමකදි වීරයෝ වීරයෝ විදියටම මිසක් ෆේක් වීරත්වයක් ගන්නෙත් නෑ. මොකද එහෙම ලබන වීරත්වය යම් මොහොතකට කාලයකට හෝ යම් පිරිසකට පමණක් වෙන නිසා.

    ReplyDelete
    Replies
    1. එකඟයි. වීරයා කියන එකන පට්ට සංකීර්ණ සංකල්පයක්. මිනිස්සුන්ව වීරත්වයට ඔසවන එක නිසා වෙලා තියෙන හොඳට වඩා නරක වැඩියි.

      Delete
  5. ඔය වීරයා කියන්නේ කාලීන සහ සාපෙක්ෂ චරිතයක්. අලුත් වීරයෙක් එනකොට පරණ වීරයා මැකිලා යා යුතුයි. මේ තත්වය තේරුම් ගන්නා බුද්ධිමත් වීරයින් තමන්ගේ ලෙගසි එක තියාගෙන වීරයින් වගේ ඉවත් වෙලා යනවා. තවදුරටත් තමන් වීරයා යැයි සිතන සමහරුන්ට වෙන දේ අපි කවුරුත් දන්නවනේ. සංජය මෙතන කියන බ්ලොග් වීරයා කවුද කියල නම් අවංකව හිතාගන්න බැහැ. ඒ මම මුහුණු පොතේ නැති නිසා වෙන්න පුළුවන්. මම නම් බ්ලොග් අවකාශේ වීරයින් දකින්නෙ නැහැ. එහෙත් වසර 10ක් පමණ වන මගේ බ්ලොග් කියවීමේ අත්දැකීම් අනුව අදටත් ටැබූ ගැන ඇත්තේ ලොකු පැහැදීමක්.

    මම බ්ලොග් ලියන්නේ නැහැ නොහැකියාව ප්‍රධානව, කාලය මදිකම, කම්මැලිකම ඇතුළු බොහෝ හේතු නිසා. එහෙත් බ්ලොග් අඩවි සැහෙන ගණනක් කියවනවා සහ අදහස් දක්වනවා ඉඩ ලැබෙන පරිදි. යමක් ලිවීමෙන් තමුන් සතුටක් ලබනවානම්, මම හිතන්නේ බ්ලොග් රචකයෙක් වීමට එයම ප්‍රමාණවත්.

    ReplyDelete
    Replies
    1. වීරයෝ සාපේක්ෂයි. වගේම භයානකයි. වීරයා කියන සංකල්පයටම මම කැමති නැහැ. ලේ, ඇට, මස්, නහර වලින් හැදුන මිනිස්සුන්ව සාමාන්‍ය තත්වයන්ගෙන් උඩට උස්සලා වීරත්වයක් ආරෝපනය කරලා වන්දනා කරන්න ඕන නැහැ. ක්‍රියා, අදහස්, සංකල්ප එක්ක ගනුදෙනු කලාම ඇති.

      Delete
  6. කවුරු ගැන ලියලද කියලනම් දන්නෙ නෑ ඒත් කරන සමහර දේවල් වීරකම් ලෙස සැලකීම විනා පුද්ගලයෙක් වීරයෙක් ලෙස සැලකීම බලා පොරොත්තු කඩ වීමේ මාර්ගයකි

    ReplyDelete
    Replies
    1. // කරන දේවල් වීරකම් ලෙස සැලකීම විනා පුද්ගලයෙක් වීරයෙක් ලෙස සැලකීම බලා පොරොත්තු කඩ වීමේ මාර්ගයකි//

      හරියටම හරි මචන්. මම උඩ කමෙන්ට් එකෙන් කියන්න හැදුවෙ මේක. මම කමෙන්ට් එක දාලා උඹේ කමෙන්ට් එක බලද්දි මට කියන්න ඕන වුන අදහස මට වඩා ලස්සනට, සරලව උඹ කියලා :)

      Delete
  7. අපිමනේ බං වීරයෝ හදන්නේ....වීරසිංහලා, වීරරත්නලා, වීරසූරියලා වගේ වීරලා ඇරෙන්න අනිත් වීරයින් ගැන නම් මට අමුතු ගෝ එකක් නැහැ.
    මට මතක්වුනේ කපුගේව.

    ReplyDelete
    Replies
    1. ඔව් බං. වීරයා කියන එකා පට්ට සාපේක්ෂයි.

      Delete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...