Showing posts with label කාලීන. Show all posts
Showing posts with label කාලීන. Show all posts

Sunday, October 22, 2017

ගුරුවරියකගේ මතක සිටිය යුත්තේ ගුරුපුටුවේද සිරගෙදරද?



වෙනත් සිද්ධියක් හරහා නැවතත් කතාබහට පැමිණ ඇති ගුරුවරියකගේ මතක බ්ලොගයේ  "වේවැල් පහර හැට පහේ" පෝස්ටුව ගැනයි මේ සටහන. අදාල පෝස්ටුව පළවූ දිනයේ එයට මමත් කමෙන්ට් කලා. මම කෙටි කමෙන්ටුවකින් ගුරුවරියගේ ක්‍රියාවට විරෝධය දැක්වූවා. මම කමෙන්ට් කරද්දි කමෙන්ට් තීරුව ඔච්චර ඇවිලී ගිහින් තිබුනේ නැහැ. පසුවයි දැනගන්න ලැබුනේ ඉතාම සරල කාරණයක් නිසා බ්ලොග්කරුවන් අතර සෑහෙන මතභේද ඇති වෙලා තියෙන බව.

පසුව ඔය බ්ලොග් පෝස්ටුව ගැන බ්ලොග් ලෝකයේ ඇති වූ සංවාද තැනින් තැන දැකගන්න ලැබුනා. ඔය වේවැල් පහර හැටපහ ගැන මගේ මතය දාන්න දැන් තැනක් නැහැ. අදාල පෝස්ටුව අයින් කරල බව තැන් දෙකතුනකම දැක්ක නිසා. එනිසා ඒ ගැන මගේ මතය මෙතනවත් කියල හිත නිදහස් කරගන්නයි මේ බලන්නෙ (මේක පරණ කුණුගොඩවල් ඇවිස්සීමක් විදියට දකින අයට දැන් මේ සටහන කියවන එක නවත්වන්න පුළුවන්)

.....

ගුරුවරිය කලේ පැහැදිළිවම වැරැද්දක්. ශිෂ්ඨ සමාජයක් තුල ඒ ගැන විවාදයක් නැහැ. ඒ ක්‍රියාව වැරැද්දක් බව දැනගෙන කලාද නොදැන කලාද කියන එක අදාල නැහැ. ඒ වගේම ගුරුවරිය ළමයින්ගේ අභිවෘදිය කෙරේ කරන අනෙක් ක්‍රියාකාරකම් සහ ගුරුවරිය ළමයි ගැන දරන ආකල්පයත් මේ කාරණයට අදාල නැහැ. වෙනත් ගුරුවරුත් ළමයිට ඔයිට වඩා ගහනවා කියන එකෙනුත් මේ ගුරුවරියගේ වැරැද්ද නිවැරදි වෙන්නේ නැහැ. අපි නරක සිතින් කරන වැරදි වගේම හොඳ හිතින් හොඳක් කරන්නය කියල හිතාගෙන කරන වැරදිත් තියෙනවා. සමහර විට මේ සිද්ධිය එහෙම එකක් වෙන්න ඇති. නමුත් ඉන් වැරැද්දේ බරපතලකම නැතුව යන්නේ නැහැ.

ඔය සිද්ධියට මගේ දරුවෙක් මුහුණ දුන්නා නම් මම ඔය ගුරුවරියට විරුද්ධව නීතිය ඉදිරියට යනවා අනිවාර්‍යෙන්. ඇයට ලබා දිය හැකි උපරිම දඬුවම ලබා දෙනවා.

දරුවන් ඉලක්ක කරගෙන වැඩිහිටියන් කරන මෙවැනි අමානුෂික පහරදීම් වලට නීතියට අනුව ලැබෙන උපරිම දඬුවම මොකක්ද කියා මා දන්නේ නැහැ. නමුත් කා අතින් සිදුවුවද සිතා මතා කරන මෙවැනි ක්‍රියා වලට ලැබිය යුතු උපරිම දඬුවම් ලැබිය යුතුයි.

පීඩිතයාට සිදුවූ අසාධාරණය ගැන අනෙකුන් කතා කරද්දී පීඩකයා බබා පාර්ට් දමනවා මම පුද්ගලිකව දුටු පළමු අවස්ථාව මෙය නොවේ.

මේ ගුරුවරියගෙන් පහර කෑ දරුවා වේවැල් පහර හැටපහක(?) වේදනාව, පීඩනය දරාගෙන සිටියාට පහර දුන් ගුරුවරියට ඇයගේ ක්‍රියාව ගැන එල්ල වෙන විවේචන දරා ගෙන සිටීමට සෑහෙන අපහසු බවකුයි ඇය තැනින් තැන පල කල තිබුන අදහස් වලින් මා දුටුවේ. එහි ඇති උත්ප්‍රාසය මම වගේම අනිත් අයත් දකින්න ඇති කියා මා හිතනවා. බ්ලොග් ලෝකයට බ්ලොග් එකක් අඩුවේය කියල බයෙන් හෝ තමා යහපත් කියල තමාම කියාගන්නා බ්ලොග්කාරියකගේ හිත රිදෙයි කියා බයෙන් දැන හෝ නොදැන කරන මේ වගේ බරපතල වැරැද්දක් සම්බන්ධයෙන් නිහඬව සිටීමට මගේ කිසිම අදහසක් නැහැ. කමෙන්ට් කිරීමේදී ශේප් න්‍යාය පාවිච්චි කොට සියල්ලන් බැලන්ස් කිරීමටවත් ගුරුවරියව බබා උකුන් කිරීමට හෝ මගේ කැමැත්තක් නැහැ. පැසසිය යුතු දේ ඉහළින් පැසසිය යුතුසේම විවේචනය කල යුතු දේ නිර්ධයව විවේචනය කල යුතුයි.

මැය මගේ මේ අදහස දැක බ්ලොග් ලෝකයෙන් සමුගන්නවාද (තවම සමුගෙන නැත්නම්), ගුරු වෘතියටම ආයුබෝවන් කියනවාද කියන එක මට අදාල නැහැ. මන්ද, දරුවන්ට තමා කොච්චර සේවයක් කරනවා කියා හිතන් හිටියද, දරුවන් කෙරේ තම සිතේ කොපමණ ප්‍රේමයක් තිබුනද, දරුවෙක් අතින් වන 'කිසිම වරදකට' වේවැල් පහර හැට ගනනක් හෝ ඊට ආසන්න අගයක් පහර ගහනා කෙනෙක් ගුරු වෘතියේ නියැලීමට කිසිසේත් නොගැලපෙන නිසා.


ප/ලි - 

1. අදාල සිදුවීම ගැන මගේ අදහස මෙයයි. මෙය ඔය කියන බ්ලොග්කාරිය සමඟ ඇති පුද්ගලික තරහක් නිසා ලියූ සටහනක් නොවේ. ඇය කලාය කියා ඇයම කියනා ක්‍රියාවක් සම්බන්ධව අදහස් දැක්වීමක් පමණි.

2. අදාල ගුරුවරිය දැන් බ්ලොග් ලෝකයේ සිටිනවාද නැද්ද යන කරුණද මට මගේ අදහස ඉදිරිපත් කිරීමේදී අදාල නැහැ. මන්ද එදිනෙදා අපි දකින සිද්ධි හරහා ඇතිවන ආකල්ප ගැන කතිකාවත වැදගත් බව මා සිතන නිසා.

3. මේ සිදුවීම ගැන බ්ලොග් ලෝකයේ සියල්ලන් වගේ තම තමන්ගේ අදහස් ප්‍රකාශ කර ඇති බව දන්නවා. මේ සටහනට ප්‍රතිචාර විදියට බොහෝ දෙනෙක්ට ඒ නිසා අලුතෙන් කියන්න දෙයකුත් නැතුව ඇති. එය ගැටළුවක් නොවේ. මේ සටහනේ අරමුණ මෙතෙක් මා ඉදිරිපත් නොකල මේ ගැන මගේ අදහස ඉදිරිපත් කිරීම පමණයි.

Saturday, October 21, 2017

වමනය කල වරදට පාසලෙන් දොට්ට



මම සයිබරයේ සැරිසරමින් සිටියෙමි. ප්‍රියම්භිකාවිය සිටියේ මා අනෙක් පසින්ය.

"මොකක්ද අර?.."

"අද වෙච්චි සිද්ධියක්. ළමයෙක්ට බඩිගින්නේ වමනෙ ගියාම ප්‍රෙග්නන්ට් වෙලා කියල හිතල ඉස්කෝලෙන් එලවල. අම්මල තාත්තලටත් කියල"

මම ඇයට අදාල ප්‍රවෘතිය පෙන්වීමි.

"ඔය වගේ තමා ගොඩක් ගුරුවරු හිතන්නේ. ඇයි අපි ඉස්කෝලෙ යන කාලෙ අපේ පන්තියෙ ළමයෙක් ලොකු වෙලා එයාර් හොස්ටස් කෙනෙක් වෙන්න ආසයි කිව්වා කියල සර් එයාට වේසි කියල තිබ්බා.."

"මොකක්.....?"

"ඔව්"

"මොකක්ද හරියටම වුනේ?"

"ඔය ඉස්කෝලෙ යද්දි අහන්නෙ, ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියල. අපේ පන්තියෙ ළමයෙක් කිව්වා එයා කැමති එයාර් හොස්ටස් කෙනෙක් වෙන්න කියල. ඒ ළමයට හොඳටම බැන්න. පස්සෙ ඒ ළමයව පැත්තකට අරගෙන ගිහින් තවත් බැනල. සර් කියල වේස රස්සා කරන්න හදන්නෙ උඹ වේසියෙක් වෙන්නද කැමති" කියල.

මගේ හිත කේන්තියෙන් පිරීගියේය. මගේ පාසලේ සිටි ගුරුවරුන්ගේ කල්ක්‍රියාද මතකයට නැඟෙන්නේ මෙවැනි අවස්ථාවලදීය.

මගේ පාසලේ ගුරුවරු කිහිපදෙනෙක් අතර තරඟයක් විය. ඒ පාසලේ 'වසම සර්' යන නාමය හදාගැනීමටය. ඒ නම හදා ගැනීමට ඔවුන් කරන්නේ හැකි පමණ පාසල් සිසුන්ට පහර දීමය. දවස ආරම්භ වද්දි ඇහෙන "චටාස්.. පටාස්.." සද්දය අපට නුපුරුදු දෙයක් නොවීය. තවත් ගුරුවරයෙක්ට තිබුනු අමාරුවක් නම් සිසුවියන් ඉදිරියේදී සිසුන්ට පහර දීමට ඇති ආශාවයි. ඒ නිසා ඔහුට පාසලේ වැඩිමහල් සිසුන් තැබූ අනවර්ථ නාමය "කිඹිසිඹා" නම් විය. තවත් දිනෙක පාසලේ ගුරුවරයෙක් නමය වසරේ ඉගෙනුම ලැබූ සිසුවියකගෙන් 'කිස් එකක්' ඉල්ලා කරදර කරන බව අපට ආරංචි විය. එක්තරා ක්‍රමයකින් විදුහල්පතිට ඔහු ගැන දැනුම් දුන්නත් ගුරුවරයා වසර ගනනක් පාසලේ යහතින් සේවය කලේය. සිසුන්ට වේවැල් කැඩෙන තුරා පහර දුන්නද, ගුරුවරුන්ගේ විනය ගැන සොයා බැලීමට පාසල් පාලනාධිකාරිය එම උනන්දුවම දැක්වූවා දැයි නොදනිමි. සිසුන්ට පහර දීම, සිසුන්ව අනෙක් සිසුසිසුවියන් ඉදිරියේ ලජ්ජාවට පත් කිරීම එදිනෙදා සිදුවන සාමාන්‍යය දේ විය.

මගේ ජීවිත කාලය පුරා ගරුකටයුතු ගුරුවරුන් හමුවී ඇත්නම් ඒ එක්කෙනෙක් නැත්නම් දෙන්නෙක් පමණි.

අප රටේ ගුරුවරයා නැමති වෘතියේ නියැලෙනා මිනිසුන් ගත් විට පොදුවේ ඔවුන් තුල ඇත්තේ මෙවන් මානසිකත්වයක් යැයි සිතමි. මෙවන් තත්වයක් යටතේ ලාංකේය සමාජය විසින් ගුරුවරයාට 'ගරුත්වය ලැබීම' යන කාරණයේදී ෆ්‍රී පාස් එකක් ලබා දි ඇත්තේ මන්දැයි මම අද වනතුරා නොදනිමි.

ඕනෑම වෘතියකට හෝ නිල ඇඳුමකට හෝ (සිවුර, ලෝගුව), පට්ටමකට හෝ (මව්පදවිය, පියපදවිය) ඉබේ විශේෂ ගරුත්වයක් හිමි වීමෙන් අසාධාරණයට පත් වන්නේ ඒ ගෞරවය හිමි යැයි සැලකෙන මිනිස්සුන්ගෙන් පීඩනයට පත් වන පීඩිතයන්ය. මේ විශේෂ ගරුත්වය හිමි පුද්ගලයන් අතින් පීඩනයට සහ අසාධාරණයට ලක් වූවන් ඊට එරෙහිව හඬනගන්නට හෝ නීතියේ පිහිට පතන්නට මැලිවන්නේ ස්වභාවයෙන්ම ඔවුන්ට තමාට වඩා වැඩි පිළිගැනීමක් සමාජයෙන් ලැබෙන බව දන්නා නිසාය. එනිසා මෙවැනි කැපී පෙනන විශේෂ සිදුවීම් වලදී හැර බොහෝ විට සිදුවන්නේ මේ 'ගරුකටයුතු' වෘතීන් වල නියැලෙන්නන් අතින් වන අසාධාරණයන් අනෙක් අය 'ඉවසීමය'.

පුද්ගලිකව මම මිනිසුන්ට ඔවුන් කරනා වෘතිය නිසා හෝ ඔවුන් දරනා පට්ටම් නිසා හෝ ඔවුන් අඳිනා නිල ඇඳුම් නිසා ඔවුන්ට විශේෂ ගෞරව සැලකිලි නොදක්වන්නට හැකි තරම් උත්සාහ කරමි. සැමටම ලැබිය යුත්තේ මනුස්සයෙක්ට හිමි ගෞරවය පමණි. කෙනෙක්ට අනෙක් අයගෙන් විශේෂ ගෞරවයක් අවශ්‍ය නම් ඔහු ඒ විශේෂ ගරුත්වය ඔවුන්ගෙන් දිනාගත යුතුය. හැසිරීමෙන් සහ කල්ක්‍රියාවෙන් තමා අනෙකුන්ට වඩා විශේෂ බව පෙන්විය යුතුය. එවිට ඔහු මොන වෘතියේ නියැලුනත්, මොන පට්ටම දැරුවත් ඔහුට සියල්ලන්ගේ ආදරය ගෞරවය ලැබෙනු ඇත. මන්ද, ගෞරවය යනු දිනාගත යුතු දෙයක් මිස, ඉබේ ලැබෙන දෙයක් නොවන නිසාය.

කෙසේ නමුත් ලංකාවේ ගුරුවරු නැමති වෘතියේ යෙදෙනා මිනිසුන් කොටස තුලද අනෙක් හැම වෘතියකම යෙදෙනා මිනිසුන් තුල සේම වැඩියෙන්ම ඇත්තේ අඩුපාඩුය. ආකල්ප වල ගැටළුය. ඔවුන්ගේ ඒ අඩුපාඩු හඳුනාගෙන ඒවා ප්‍රශ්න කිරීමට නම් සමාජයක් වශයෙන් ගුරුවරුන්ට ලබා දී ඇති මේ 'ෆ්‍රී පාස්' එක වහා ගලවා ඉවත දැමිය යුතු බව දැන්වත් තේරුම් ගන්නවා නම් හොඳය. නැත්නම් සිදුවන්නේ දශක ගානක් තිස්සේ කලාක් මෙන් ගුරු පුටුවේ සිටිනා පුද්ගලයා මොන ජාතියේ අමනයෙක් වුවද, මොන ජාතියේ අමන වැඩ කලද "අනේ හොඳා සර්" කියා බුලත් දී ඔහු ඉදිරියේ වැඳ වැටීමටය.

Wednesday, October 18, 2017

මාර ඉස්කෝලෙ මාර පුත්තු



නම ගිය පාසලක ගුරුමාරුවක් ගැන සයිබරයේ ඇති වූ කතාබහක් හේතුවෙන් ලියවුන සටහනකි.


"...වසර දහයටකට වඩා වැඩි කාලයක් එකම සේවා ස්ථානයේ රැඳෙන ගුරුවරුන්ගේ සේවා ස්ථාන මාරු කල යුතු බව රටේ පවත්නා නීතියයි. 

එනයින්, එම නීතියට පිටිං යමින් ඔබ ඉගෙන ගත් පාසලේ වසර දහයකට වඩා වැඩි කලක් එක දිගට රැඳී සිටි ගුරුවරුන් වේ නම් ඔබ ඉගෙන ගත් පාසල රටේ පවත්නා නීතියට එරෙහිව යන හොර ගුබ්බෑයමකි. 

රටේ පවත්නා නීතිය නිසි ලෙසින් ක්‍රියාත්මක වීමට එරෙහි වන්නේ නම් ඔබ හොර ගුබ්බෑයමකින් බිහි වූ තක්කඩියෙකි. 

පවත්නා නීතියට එරෙහි වීමේ ඔබේ තක්කඩිකම සාධාරණීකරණය කිරීමට ඔබට අනේක හේතු තිබිය හැක. 

එසේ නීතියට එරෙහිව යාම යෝජනා කිරීමට නොයෙක් හේතු තිබීමත් ඔබේ තක්කඩි කමේම එක පැතිකඩකි..."

- උපුටා ගැනීම අවසන් -

අර ශෝචනීය හැසිරීමක් පෙන්වන ළදරුවන් පිරිස ගැන මට තියෙන අදහසට සමාන අදහසක් රවීෂ තිලකවර්ධන පල කරල තිබ්බා. ඒක තමා ඔය උඩ දාල තියෙන්නේ.

හරිම ලොකු උතුම් මෙව්වා කියල හිතාගෙන ඉන්න ලබ්බවල් ගැන සීන් වලදි කට්ටිය කොහොමත් ආගමික විදියට හැසිරෙන්නෙ. ගොබ්බයි ඉතින්.

මට තියෙන ප්‍රශ්නය මේකයි, හැමෝම හැදිලා තියෙන්නේ මේ වගේ පට්ටම පට්ට සිරාම සිරා මරු ශික්ෂණයකින් යුත් අම්බම සංස්කෘතීන් තියෙන අහවල් එකේ මුදුන් මල්කඩ වගේ ඉස්කෝල වල නම් ඒ විදියට හැදුන උන්ගෙන් පිරුන මේ සමාජයෙදි මේ මිනිස්සු මෙච්ච්ර කුජීත ඇයි කියන එක.

ඉස්කෝල මාර වුනාට ඉස්කෝලවල් වලින් අවුට් වෙන මිනිස්සු නම් මාර නැහැ.

මාරම සීන් එක නේ ඒක?

මොනව නැතත් "අපේ එක මාරයි" කියන බ්‍රේන් වොෂින්ග් එක නම් ළමයිට හැම ඉස්කෝලෙන්ම නො අඩුව ලැබෙන බව නම් පේනව.

ඉස්කෝලෙ ශික්ෂණය ගැන විනය ගැන සංස්කෘතිය ගැන කොච්චර දාර ටෝක් ඉෂූ කලත් ඊයෙ පෙරේදා මේ ඉස්කෝලෙ ආදි ශිෂ්‍යයන් බුකියේ හැසිරුන විදියට පේන්නේ ඔය "මාර" ඉස්කෝලෙත් කිසිම ඉවසීමක් නැති විනයක් නැති අපරිනත මිනිස්සු බිහි කරන තවත් නිකම්ම නිකන් ඉස්කෝලයක් කියල තමා.

කේන්ති ගන්න එපා, පේන දේ කිව්වේ.

තමන් මාරයි කියල හිතාගෙන ඉන්න මෙව්වා වලට වඳින උන් එක්ක හිනා වෙලා ඒ තමා මාරයි කියල හිතාගෙන ඉන්න මෙව්වා වලට මාර නැති විදියට සලකන උන්ගෙ ඇඟට කඩන් පනින එක නම් මේ අය ඔය මාර ඉස්කෝල වලින් ගන්න ශික්ෂණය, තව මොන කතාද ඉතින්.

තමා එක්ක එකඟ වෙන මතවාද එක්ක කටයුතු කරද්දි නෙමේ ශික්ෂණය සහ පරිනතභාවය කියන කාරණා ක්‍රියාවට නැඟෙන්නෙ, තමා එක්ක ගැටෙන මතවාද එක්කයි කියන එකවත් නොතේරෙන ගොබ්බ හැත්තක් තමා ඔය ඉස්කෝලෙනුත් බිහි කරල තියෙන්නෙ. (හැමෝම ඔහොම හැසිරුනේ නැති එක ඇත්ත. ඒත් සැලකිය යුතු පිරිසක් නැටුවනේ. ඉතින් හැම ඉස්කෝලෙකම ඔහොම තමා. සාපේක්ෂව හැදිච්ච සහ නැහැදිච්ච උන් දෙගොල්ලොම ඉන්නවා)

මාර ඉස්කෝලෙ මාර පුත්‍රයිනි,

මොකෙක් හරි උඹල එක්ක එකඟ වෙන අවස්ථා වලදි නෙමේ උඹල ඔය මාර ඉස්කෝලෙන් ගත්ත විනය කියන එක ඕන වෙන්නෙ, මොකෙක් හරි උඹල එක්ක ගැටෙන වෙලාවටයි ඒක ඕන වෙන්නෙ.

මිනිහෙක්ගේ ශික්ෂණය, පරිනතබව, විනය කියන එක මැනෙන්නෙ එතනදි.

උඹලගෙ ඉස්කෝලෙන් ඒක කියල දුන්නෙ නැත්නම් දැන්වත් ඉගෙනගනින්.

යමක් ගැන අදහස් ප්‍රකාශ කිරීම එකක්, රෙද්දෙ රෙවිලා වගේ දඟලන එක තවත් එකක්.

අවසානයේ කතාව සාරාංශ ගත කරනවා නම්,

"උඹල මාර නෑ බං.. උඹලගෙ ඉස්කෝලෙත් මාර නෑ. උඹලගෙ ඉස්කෝලෙත් මේ කුජීත වෙච්ච සමාජයට කුජීත වෙච්චි මීනිස්සු බිහි කරන තවත් එක කුජීත කම්හලක් විතරයි. "මම මෙහෙම වුනේ ඔය පාසල් මාතාව නිසාය".. ඕකනේ කතාව. උඹ කොහොම වුනේද බං? දැන් උඹ මාරද? ඉස්කෝලෙ නිසා උඹ දැන් මාර පොරක් වෙලාද? උඹ හිතන් ඉන්නෙ උඹ මාර පොරක් කියලද? අනේ පලයන් බං යන්න...

...උඹලගෙ ඔය මාර ඉස්කෝලෙත් රටේ තියෙන නීතියට යටයි. නීතිය ක්‍රියාත්මක කරන්න යද්දි සරම උස්සන් දඟලන එකෙන්ම පේනවා රටේ සම්මත නීතියට ගරු කරන්න උඹලගෙ ඉස්කෝලෙන් උඹලට කියල දීල තියෙනවද නැද්ද කියල. අනිත් පාසල් වලට බලපවත්නා නීතිය උඹලගෙ එකට විතරක් බලනොපාන්න හේතුවක් නැහැ කියන එක දැන්වත් තේරුම් ගනින්.

එනිසා මාර ඉස්කෝලෙයේ මාර හැදිච්ච මාර වස චණ්ඩි පුත්‍රයනි.

දඟලන්නෙ නැතුව පැත්තකට වෙලා  ඉඳින් බං"

Monday, October 16, 2017

නාමල් මලේ ඕවා ඉතින් නෝමල් අනේ

අපේ ගෙවල් පැත්තේ හෙණ මැරෑටි කොල්ලෙක් හිටියා.

මුගේ වැඩේම උගෙම මල්ලිට හැම වෙලේම නක්කලේ දාන එක, කෝචොක් දාන එක, ගහන එක.

ඉතින් මල්ලි දුවගෙන දුවගෙන ගිහින් හැම වෙලේම අම්මගේ ඇඟේ තමා එල්ලෙන්නෙ. "අනේ අම්මේ, අයියා මට ගහනවනේ" කිය කිය. ඉතින් මේ මැරෑටි කොලුවට මල්ලිව පේන්න බෑ. අම්මව පේන්නත් බෑ. ඇයි, මූ බයයි මල්ලිගේ කේලං අහලා අම්මා මූට අම්බානට නෙළයි කියල.

ඉතින් මූ අම්මා එක්කත් ගේම. මොකද මල්ලිගේ පැත්ත අරං අම්මා මූට බනින නිසා.

"අනේ බොල තෝ වගේ පොන්නයෙක්. හැමදේම අම්මටම ගිහින් කිය කිය අම්මගේ රෙද්ද අස්සෙම හැංගෙනවා" මල්ලිට ඌ කියන්නෙ එහෙම.

පස්සෙ පස්සෙ වයස යද්දි මල්ලි ඇඟින් පතින් ලොකු වෙලා මූට වඩා සෑහෙන හැඩි දැඩි උස මහත තරුණයෙක් වුනා.

දැන් මූ මල්ලි ඉස්සරහා පදිරි. කලින් වගේ මූට මල්ලිට පාර්ට් දාන්න විදියක් නෑ. මල්ලි කාරයා කරන්නේ පරණ සීන් අල්ලලා මූට කෙළින එක. පරණ ඒවයේ රිටර්න් එක මූට දෙන එක.

සරලවම කියනවා නම් උගේ බේත් ඌටම දෙන එක. මොකද මල්ලි තමා දැන් පොර වෙලා ඉන්නෙ. ඉතින් අර අසරණ වුන මැරෑටි කොල්ලා කරන්නේ බොරු අහිංසක මූණක් දාගෙන මල්ලි ඉස්සරහා හොඳ බබා වෙන්න හදන එක.

දවසක් මල්ලිට මලම පැනලා මූට නෙලලා කණේ පාරක් ආයේ චූ යන්නම. අනේ ඉතින් මු කරලා තියෙන්නේ අර මල්ලි කලින් කලා වගේම අම්මා ළඟට ගිහින්.

"අනේ අම්මේ, මල්ලි මට ගහනවනේ. හරිම අසාධාරණයිනේ. අම්මවත් මේක බේරලා මට සැනසිල්ලෙ ඉන්න හදල දෙන්නකෝ" කියල අම්මගේ ඇඟේ එල්ලිලා හොටු පෙර පෙර අඬන එක.

කලින් මූ මල්ලිට පාර්ට් දාද්දි මල්ලි අම්මගේ ඇඟේ මල්ලි එල්ලෙද්දි මූ මල්ලිට "පොන්නයා" කිව්ව හැටිවත් "අපේ ප්‍රශ්න අපි විසඳගමු" කිව්ව හැටිවත්, මල්ලිගේ කේලම් අහන නිසා අම්මා එක්ක ගේමෙන් හිටිය හැටිවත් මූට දැන් මතක නෑ.

දැන් ඉතින් මේ අසරණ මැරෑටියට අම්මගේම පිහිට තමයි.

ඒත් ගමේ උන් නම් කියන්නේ මූට හොඳ වැඩේ කියල. මොකද ගමේම උන් දන්නවා මූ පොඩි කාලේ පාර්ට් දැම්මට පොල්කට්ටක් පිරෙන්න චූ කරගන්න තරම්වත් හයියක් නැති හුජ්ජ කොල්ලෙක් කියල.

දැන් මූ අම්මගෙ රෙද්ද අස්සෙ රිංගන්න දඟලනව දැක්කම ගමේ උන් නම් කියන්නෙ

"පව් ඉතින්, කාගෙ වුනත් අසරණ දරුවෙක්නෙ" කියල තමා.


Saturday, September 16, 2017

බුක්ෆෙයාර් ආතල්



මේ දවස් වල හැමෝම කතාවෙන කූඹියෝ ටෙලිනාට්‍යයේ දෙවන කොටසේ ජෙහාන් කියනවා මෙහෙම කතාවක්.

"සුපර්මාකට් වලින් බඩු ගන්න එක වෙනම ආතල් එකක් බං..දැන් උඹ හිතපං.. අපිට කොහෙද ඔය පොඩි කාලෙ වගේ පුංචි රෝද තියෙන කරත්තයක් තල්ලු කරගෙන විවිධ බාධක මැද්දෙන් මෙහේම කප කප යන්න පුළුවන් වෙන්නෙ?....මං දැකල තියෙනව සමහර එවුන් එහෙම යන අතරෙ.... බ්ර්බ්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්....ගාල කටින් සද්දෙකුත් දානව. අනිත් එක උඹ හිතපං.. අපිට කවදාවත් ගන්න බැරි බඩුවක් ළඟට ලං වෙලා.. ඒකෙ ගාන බලන්න... ඒක අතට අරං බලන්ඩ.. ඒකෙ සුවඳ බලන්ඩ.. ඒක අතගාල බලන්ඩ.. අපිට ඒ බඩුව ගන්න බැරි වුනාට එකෙ සම්පූර්ණ ආතල් එක අපිට ගන්න පුළුවන් වෙනව. අනිත් එක..උඹ හිතපං නිකං වෙන කඩේකට ගියාට අපි යන වාහනේ පේන්නෑනෙ.. ඒවුනාට බං සුපර්මාකට් එකේදි තමයි ලොකු වීදුරු දාල තියෙන හින්ද ඇතුලෙ ඉන්න එවුන්ට අපි යන වාහනෙත් පේන්නෙ. ඒක වෙනම ආතල් එකක් !"

මට මතකයි මම පොඩි එකා දවස් වල කාලයක් හැමදාම හවසට අර අමුතු මියුසික් එකක් දාගෙන ගිය වෝල්ස් අයිස්ක්‍රීම් කාර්ට් එක. අම්මගෙන් වැඳල වැඳල සල්ලි කීයක් හරි ඉල්ලගෙන වෝල්ස් අයිස්ක්‍රීම් එකක් කනවා කියන්නෙ ඉතින් ඒ කාලෙ හැටියට කියල නිමකරන්න බැරි සතුටක්. සාමාන්‍යයෙන් අම්මා අරන් දෙන්නෙ රුපියල් දහයට පහලවට තිබ්බ අයිස්ක්‍රීම් එකක්. රුපියල් 32 ට තිබ්බ අයිස්ක්‍රීම් එක තමයි මම බලාපොරොත්තු වුන හොඳම අයිස්ක්‍රීම් එක. අම්මා ඒක අරන් දුන්නා කියන්නෙ ඉතින් රජ මඟුල් වගේ තමා.

කොහේ හරි ගමනක් ගිහින් ගෙදර එන ගමන් මහන්සිය නිවා ගන්න කඩේකට එක්කන් ගිහින් අම්මා අරන් දෙන අයිස්ක්‍රීම් එක වගේ නෙමේ වෝල්ස් අයිස්ක්‍රීම් එක.

හවස ගෙදර කම්මැලිකමේ ඉද්දි ඇහෙන අර මියුසික් එක.. අර පාට පාට කාර්ට් එක..

එතන තියෙන්නෙ අර ජෙහාන් කිව්ව වගේ වෙනම ආතල් එකක් !

ඔය වගේම අමුතු ආතල් එකක් තමයි අර ඇත්තටම පොෂ් සහ වෙන්ඩ පොෂ් සමහර ගෑණු කියන්නෙ "මගෙ හොබී එක ෂොපිං කරන එක මෙයා" කියල. ඒ කතාව හරියටම හරි. සමහරුන්ගේ හොබී එක ෂොපිං කිරිල්ල. ඒ කියන්නෙ ඒ අය ෂොපිං යන්නේ ඇඳුමක් ගැනීමේ අවශ්‍යතාවය ඉෂ්ඨ කරගන්න නෙමේ. ඒ අයගේ අවශ්‍යතාවය තමා ෂොපිං කරන ප්‍රෝසෙස් එක විඳින එක. ඒ අයගේ ආතල් එක තියෙන්නෙ එතන.

තට්ටු දෙක තුනක ඒසී කරපු ඇඳුම් සාප්පුවකට වාහනයක ගිහින්, සඟ දාගෙන වාහනෙන් බැහැල, කඩේ ඇතුලෙ පැය ගාණක් ඇවිද ඇවිද ඇඳුම්..හෑන්ඩ්බෑග් අතගගා බල බල, ෆිට් ඕන් කරල හැඩ බල බල අන්තිමේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් බිල ගෙවල වාහනේම ගෙදර එන ප්‍රෝසෙස් එකෙන් ඒ අය ගන්නව අර ජෙහාන් කිව්ව වගේ වෙනම ආතල් එකක් !

සමහර විට ඒ ගේන ඇඳුමක් මාස ගාණක් යනකන් අඳින්නේ නැති වෙන්න පුළුවන්.. මාස ගාණ නෙමේ කවදාවත්ම අඳින්නෙ නැති වෙන්න පුළුවන්.. ඒත් ඒක අදාලම නෑ, මොකද ඒ අයට ආතල් එක තියෙන්නේ ඇඳුම අඳින එකටත් වඩා ෂොපිං කිරිල්ලෙ.

දැන් පොඩ්ඩ පොඩ්ඩ තේරෙනව ඇති මේ වහෙන් ඔරෝ කියන්න යන්නෙ මොකක් ගැනද කියල. ඔව් බං මේ කියන්නෙ මේ දවස් වල ජයටම යන පොත් ප්‍රදර්ශනේ ගැන තමා.

ඔය පොත් ප්‍රදර්ශනේට කියවන්න නිසා පොත් ගන්නම යන පිරිසක් ඉන්න බව ඇත්ත. ඒ බව මුලින්ම කියල ඉන්න ඕන. නමුත් මට හිතෙන්නෙ නම්, ඔය පොත් ප්‍රදර්ශනේට යන අයගෙන් අතිමහත් බහුතරයක් යන්නෙ අර ජෙහාන් කිව්ව වගේ "පොත් ප්‍රදර්ශනේ ඇතුලෙ තියෙන ආතල් එක" ගන්න.

අවුරුද්දට සැරයක් එන මහා පොත් ප්‍රදර්ශනයක්.. හැමජාතියේම පොත් එකම තැනක.. යාලුවො එක්ක සෙට් වෙලා ගිහින් අයිස්ක්‍රීම් එකක් කාලා.. බීම එකක් බීලා.. නූඩ්ල්ස් එකක් කාලා.. ඇවිදලා කරලා.. සෙල්ෆි ගහලා.. ගහන සෙල්ෆි බුකියේ අප්ලෝඩ් කරලා.. පොත් තෝරලා.. පොත් ගොඩක් එකතු කරගෙන.. ඒවයේ ෆොටෝ ගහලා.. ඒ ෆොටෝ බුකියේ අප්ලෝඩ් කරලා... මීට කලින් හම්බුනේ නැති සයිබර් යාලුවන්ව ඇත්තට දැකගෙන.. ඒ අය එක්කත් සුහද වෙලා ෆොටෝ එකක් හෙම ගහලා... ඔය ගන්න අත්දැකීමත් අමුතුම ආතල් එකක් !

කොටින්ම මමත් ගිය අවුරුද්දෙ ඔය ආතල් එක ඔහොමම ගත්තා. ඒකේ රසය වින්දා.

මේ කියන්නෙ ඒකෙ කිසිම විදියක වැරැද්දක් තියෙනව කියල නෙමේ. කාටවත් හානියක් නැති අහිංසක ආතල් එකක්නෙ. ඔය ගන්න පොත් පහලවෙන් විස්සෙන් අඩුම තරමෙ එක පොතක තුන්කාලක්වත් කියවනවා නම් ඒකත් වටිනවානෙ.

මම කොහොමවත් කියන්නෙ නෑ පොත් ප්‍රදර්ශනේට යන්න ඕන කියවන්න බලාගෙනම පොත් ගන්න උන් විතරය.. සල්ලි දීලා ගන්න පොත් කියවන්නෙ නැති උන් බොරු ෂෝ කාරයොය කියල. ඒ වගේ "දොරමඬලා" ටෝක් දාන්න තරම් මොළේ අමාරුවක් තවම නෑ.

ඒත් ඉතින් පොත් ගැනිල්ල අස්සෙ හැංගිලා තියෙන ඇත්ත කතාව ඕක කියලයි මට හිතෙන්නෙ. ඒ කිව්වෙ "පොත් ගැනීමේ ආතල් එක" ගැන.

හැබැයි ආතල් එකක් අස්සෙ හැංගිලා තියෙන ඇත්ත මොකක්ද කියල දැනගත්තාය කියල ආතල් එක ගන්න බැරි වෙන්නෙත් නෑ. එනිසා ආතල් එක ගනිල්ලා.

ගිය අවුරුද්දෙ පොත් ප්‍රදර්ශනේ ආතල් එක ගත්ත නිසා මේ පාර පොත් ගන්න යන්න මට අදහසක් නැහැ.

ඒත් යන උන් යමල්ලා.. ගිහින් පොත් ගනිල්ලා.. සෙල්ෆි ගහපල්ලා.. ඒවා බුකියේ අප්ලෝඩ් කරහල්ලා..'පොත් ප්‍රදර්ශනේ' කියන ඉවෙන්ට් එකට ගිහින් ඒ ෆන් එක ගනිල්ලා.

අර ජෙහාන් ගොයිය කිව්ව වගේ.. සුපර්මාකට් එකේ වගේම, වෝල්ස් අයිස්ක්‍රීම් කාර්ට් එකේ වගේම, විනෝදාංශයට ෂොපිං කිරිල්ල්ලෙ වගේම

පොත් ප්‍රදර්ශනේ ඇතුලෙ තියෙන්නෙත් විඳින්න වටින වෙනම ආතල් එකක් ! :)

Friday, September 15, 2017

දේශපාලකයෝ වැරදි කරති...අපි?

දේශපාලකයෝ වැරදි කරති.

 ...අපි?

කහ ඉරෙන් පාර නොපැනීමේ සිට, හෙල්මටය නැතිව මෝටර් සයිකලයේ යාමේ සිට පාසැලට දරුවා දමා ගැනීමට බොරු ඇඩ්‍රස් හැදීම දක්වා දිනපතා නීතිය කඩකරන ජනතාවකි, අපි.

මාර්ග නීති උල්ලංඝනය කොට අසුවූ පසු අල්ලස් නොගෙන උසාවි දැමීම ගැන පොලිසියට දොස් පවරන ජනතාවකි, අපි.

“ඉස්සර නම් රුපියල් පන්සීයක් දාහක් දීලා ශේප් කරගන්නවා. දැන් මුංට සල්ලි කීයක් හරි දීලාවත් ශේප් කරගන්න බෑනෙ. දීලා තියෙන ටාර්ගට් එක කවර් කරගන්නයි මුංට ඕන..කාලකණ්ණි හැත්ත” කලක් නීතිය කඩකරන ජහමනයා පොලිසිය විසින් නීතිය ක්‍රියාත්මක කරන විට ප්‍රතිචාර දැක්වූයේ එහෙමය.

බැංකුවකට ගියද කාර්‍යාලයකට ගියද, ගුවන්තොටුපලට ගියද හැඳුනුම්කම් ඉදිරියට දමා අඩුම තරමේ පෝලිමෙන් හෝ පැන ඉදිරියට යන්නට දඟලන ජනතාවකි, අපි.

හැඳුනුම්කම් පමණක් නොව, නෑදෑකම්, යාලුකම් පමණක් නොව, පට්ටම්, උගත්කම් වැනි ඕනෑම දෙයක් ඉස්සරහට දමමින් ඕනම වෙලාවක අනෙකා පරයමින් කුමක් හෝ වාසියක් ලබා ගන්නට තටඹන, අනෙකා පාගා තමන්ගේ කුමන හෝ අපහසුතාවයක් මඳක් හෝ අඩු කරගන්නට දතකන ජනතාවකි, අපි.

තමාගේ බලපුලුවම්කාරකම් යොදා තම දරුවාට, නෑදෑයාට හැකි උපරිමයෙන් යමක් කරදීමට වෑයම් කරන ජනතාවකි, අපි.

නීතියේ ආධිපත්‍යය යනු කුමක්ද, එහි වැදගත්කම මොකක්ද, සැමට නීතිය එක හා සමානව ක්‍රියාත්මක විය යුත්තේ ඇයි, වැනි කාරණා ගැන අවබෝධයක් නැති ජනතාවකි, අපි.

කොටින්ම පාලකයාගේ වැරදි ගැන කතා කිරීමේදී "අපි ඔතනට ගියත් ඉතින් අපිත් කරන්නේ ඕකමනෙ" කියා නිර්ලජ්ජිත කතා කියන ජනතාවකි, අපි.

කතාව ඇත්තය. අපි ඔතනට පත් වුවද තත්වය මෙසේමය.

අපිට අනුව අපරාධකරුවන් ආයුධ පෙන්වීමට යැවීම හොඳය, අප අකමැති උන් මැරීමට යොදාගන්නවා නම් සුදුවෑන් පවා හොඳය, අප සමාජයේම නිර්මාණයන් වන 'කළු චරිත' එල්ලා මරා විනාශ කර දැමීම හොඳය. 

අපට අනුව අපරාධකරුවන්ට මක් වුවද කම් නැත. සමලිංගිකයන්ට මක් වුවද කම් නැත. සංක්‍රාන්ති ලිංගිකයන්ට මක් වුවද කම් නැත. අපේ නොවන අනෙක් ජාතීන් වල මිනිසුන්ට අපේ යහපැවැත්මේ නාමයෙන් මොනවා වුවද කම් නැත. අපිට අපි නොවන, අපි වගේ නොවන, අපිට වඩා වෙනස් අනෙකුට මක් වුවද කම් නැත.

අපට අනුව පාලකයා වැරදි කලද කම් නැත. පාලකයා කුමන ක්‍රමයක් හෝ යොදාගෙන අපගෙ මනදොල සනසනවා නම් පාලකයා අතින් වන බරපතල වැරදි වලට පවා නොපසුබටව සමාව දීමට සූදානම් ජනතාවකි, අපි. එවන් ජඩ පාලකයන් හිර ගෙවල් වලට යද්දි මෙන්ම හිර ගෙවල් වලින් එද්දී ද මල් මාලා දමමින් පිළිගැනීමට සූදානම් ජනතාවකි, අපි. අප කැමති උන්ට නීතිය අදාල නැත. අපි කැමති දේ කරනවා නම් උන්ව නීතියෙන් ආරක්ෂා කිරීමටද සැදී පැහැදී සිටින ජනතාවකි, අපි.

ඒ අපේ කමය. සැකවින් කීවොත් ඒ අපේ සිස්ටම් එකේ හැටිය. කොහේන් හෝ අපට උරුම වී දිගින් දිගටම අප විසින් නඩත්තු කරනා සිස්ට්ම් එකේ හැටිය.

ඔබ සහ මම ඒ තරම් තිත්ත, අප්‍රසන්න, අමිහිරි, සමාජ ක්‍රමයක කොටස් කාරයන්ය.

සිස්ටම් එකට සාපේක්ෂව බැලුවහොත්, සැබෑම වරද වැරදි කිරීම නොව, අහුවෙන්න වැරදි කිරීමය.

මෙය චක්‍රයකි. මුලක් මැදක් අගක් සෙවිය නොහැකි මඩ ගොහොරුවක කැරකැවෙන රෝදයකි.

ජඩයන් වූ පාලකයන් බිහිවන්නේ ඉහත සඳහන් කල චින්තනයක් හිසේ දරාගෙන සිටිනා ජනතාව අතුරිනි. ජනතාව අතුරෙන් බිහිවන පාලකයන් නිර්මාණය කරන දේශපාලන සංස්කෘතිය යනු අප සමාජ චින්තනයේ ප්‍රතිබිම්බයයි. ජනතාව අතුරෙන්ම තේරී පත්වී තමාගේ පැවැත්ම තහවුරු කරගැනීම ඉලක්ක කරගෙන ජනතාව තුළ තිබෙන මේ පසුගාමී චින්තනයට උල්පන්දම් දෙමින් එය තමන්ගේ වාසියට යොදාගන්නේද ජනතාව විසින්ම ඒ චින්තනය උරුම කර දුන් පාලකයායි.

මේ විකෘති වූ සිස්ටම් එක වෘක්ෂයක් නම් එහි කඳ නරුම දේශපාලකයායි. ඒ වෘක්ෂය නොවැටෙන සේ දරා සිටිනා මුල් වන්නේ මේ රටේම ජනතාවයි.

තත්වය එසේ තිබියදි රටේ අනාගතය බාර ගන්නට සිටිනා දරුවන්ට සිතන හැටි කියා දෙන්නේද මේ ජනතාවමය. ඒ දරුවන්ව මිනිසුන් කරනා අධ්‍යාපන ක්‍රමය කෙසේ විය යුතු දැයි කියා දෙන්නේ මේ පාලකයාමය.

මෙවන් නරුම ක්‍රමයක කොටස්කාරයන් වන අපි, පාලකයන් අතින් අපි අකමැති විදියේ වැරදි සිදුවූ විට පමණක් පාලකයාට දොස් තබමු. ශාප කරමු.

අපගේ ඇඟවල් බේරා ගැනීමට අපේ ජිවිතයේ හැම ප්‍රශ්නයකටම ඔවුන් වග උත්තරකාරයන් කරමු.

මොන දෙය වුවද වෙනකකුට ඇඟිල්ල දික්වන තාක් අපට සතුටුය. අපට ඕනෑ අපගේ ප්‍රශ්න වලට වගකිව යුතු වරදකරුවෙක් පමණි. ඒ වරදකරු අප නොවන තාක් අපට සැනසිල්ලේ නිදාගැනීමට ඇහැකිය.

කොහෙන් ගියත් ප්‍රතිපත්තිගරුක, ගුණගරුක, නීතිගරුක ජනතාවක් වන අපි, හරිය. අපිහරිම හොඳය.අපි සුදනෝය.

අපිට අනුව වැරැද්ද අපේ නොව පාලකයාගේය.

මෙය චක්‍රයකි. මුලක් මැදක් අගක් සෙවිය නොහැකි දිනපතා මඩ ගොහොරුවක කැරකැවෙන රෝදයකි. 

දේශපාලකයෝ වැරදි කරති.

 ...අපි?


Thursday, September 7, 2017

වැලිකඩ සිරකරුවන් සුදු වෑන් යැවීම




මීට ශතවර්ෂ ගාණකට කලින් ම්ලේච්ඡ ක්‍රියාවල නිරත වුන අපරාධකරුවො කියල සැලකුන මිනිස්සුන්ට සමාජයෙන් උත්තර දුන්නේ ම්ලේච්ඡ ක්‍රම වලින්මයි.

ඇතුන් ලවා පාගා මැරීම... කිඹුලන්ට, මෝරුන්ට කන්න දැමීම, විෂ සහිත ගෝනුස්සන්, සරපයන් ලවා දෂ්ඨ කරවීම.. පණ පිටින් හමගැසීම.. වතුර, තෙල්, තාර බැරල් වල දමා නටන තුරු රත්කර මරා දැමීම.. පණපිටින් වැළලීම.. පණපිටින් පුළුස්සා දැමීම.. කුරුසියේ ඇණ ගැසීම.. දියේ ගිල්වා මරා දැමීම.. උස් තැන් වලින් තල්ලු කර මරා දැමීම.. හාමතේ සිටින්නට හැර මියයාමට සැලැස්වීම.. වස දීම මඟින් මරා දැමීම..

වගේ දඬුවම් ක්‍රමයි ඒ යුගවල අපරාදකරුවන්ට දුන්නෙ.

ඒත් මානව සංහතිය ක්‍රමයෙන් ශිෂ්ඨාරගත වීමත් එක්කම අපරාධකරුවන්ට මරණ දඬුවම දෙද්දි අඩු වේදනාවෙන් යුක්ත, ක්ෂණික මරණයක් ලැබෙන සාපේක්ෂව ශිෂ්ඨ කියල සැලකෙන එල්ලා මැරීම..වෙඩි තබා මැරීම..විදුලි පුටුව මඟින්, විෂ එන්නත් මඟින් මරණයට පත් කිරීම වැනි ක්‍රම වලට පරිවර්තනය වුනා.

ඒ විතරක් නෙමේ, වර්තමාන ලෝකෙ මරණීය දණ්ඩනය ලබා දීමේ සදාචාරාත්මක බව, තොරතුරු ලබා ගන්න අපරාධකරුවන්ව වධහිංසාවට(torture) ලක් කරන එකේ හරි වැරැද්ද වගේ දේවල් ගැන ඉතා වැදගත් කතිකාවත් පවා ඇති වෙලයි තියෙන්නෙ.

අපරාධකරුවන්ට පවා මානව අයිතීන් තියෙන බව පිළිගන්න කතිකාවත් ඇතිවී තියෙන්නෙ,  ඔවුන් සමඟ කටයුතු කරද්දි පවා වඩා ශිෂ්ඨ සහගත ක්‍රම සහ විධි අනුගමනය කිරීමේ වැදගත්කම ගැන කතිකාවත් ඇතිවී තියෙන්නෙ අශිෂ්ඨත්වය සමඟ ශිෂ්ඨ විදියට කටයුතු කරන එක ශිෂ්ඨත්වයේ මූලිකම ලක්ෂණයක් බව වර්තමාන ලෝකය තේරුම් අරන් ඉන්න නිසා.

මානව සදාචාරාත්මක පරිනාමය කියන්නෙ ඒක.

........

වර්තමාන ලෝකයේ ශිෂ්ඨත්වය ගැන චින්තනය එහෙම වුනාට අවාසනාවකට අපේ ලාංකික සමාජයේ චින්තනය තියෙන්නේ අර ශතවර්ෂ ගණනකට කලින් මිනිස් සංහතිය සිටි තැනමයි. අපේ චින්තනය ඉන් ඉදිරියට පරිනාමය වීමක් සිද්ධ වෙලා නැහැ. අපරාධකරුවෙක්ට මානව අයිතීන් ඇති බවවත්, ඔවුන් සමඟ කටයුතු කල යුතු අන්දම ගැනවත් ශිෂ්ඨාචාරගත අදහසක් ලාංකේය මනස තුල නැහැ.

අපි තාම ඉන්නෙ කෙනෙක් අපරාධයක් කරපු නිසාම (බොහෝ විට ඒ අපරාධය නීතිය ඉදිරියේ ඔප්පු වෙන්නත් කලින් ඉඳලම) අර ශතවර්ෂ ගාණක් පරණ දඬුවම් ක්‍රම ඔහුට ලබා දෙන්න දතකමින්.

පහුගිය ආණ්ඩුව කාලයේ සුදු වෑන් වලින් පාතාල නායකයින්ව මැරුවා කිය කිය සුදු වෑන් සාධාරණීයකරනය කරන මිනිස්සු, අපරාධකරුවන්ව "ආයුධ පෙන්නන්න" එක්කන් ගිහින් වැඩේ දෙන එක ඉතාම හොඳ දෙයක් බව කියන මිනිස්සු, යුධ සමයේ සිද්ධ වුනා කියල සැලකෙන යුධ අපරාධ සාදාරණීයකරනය කරන මිනිස්සු, කොණ්ඩයා එල්ලල මරන්න ඕන කියල මහ හඬින් අඬ අඬ  කෑගගහ උද්ඝෝෂණය කරපු මිනිස්සු, අපරාධකරුවන්ව මහ පාරේ නිරුවත් කරල ගහල මරල දාන්න ඕන කියන මිනිස්සු,  හොරෙක්ඔ අහු වුනාම ඌව ගස් බැඳල ඌට තඩිබාලා කේන්තිය පිටකරගන්න මිනිස්සු, හදිසි අනතුරක් වුනාම රියැදුරුගේ අඬුකඩල වාහනය ගිනි තියන මිනිස්සු සහ එහෙම කරන එක අනුමත කරන්න මිනිස්සු, රජ කාලයේ නීති ආයෙ ගේන්න ඕන කියන මිනිස්සු, අරාබියේ නීති ලංකාවට ගේන්න ඕන කියන මිනිස්සු.

සැලකිය යුතු පිරිසක් (බහුතරයක්?) අපේ සමාජයේ ඉන්නේ සහ ඒ අදහස් කිසිම පැකිළීමක්ප්‍ නැතුව ප්‍රසිද්ධියේ  කියන්නේ මේ අය මම කලින් කියපු මානව සදාචාර්මක පරිනාමයට ලක් නොවී ශතවර්ෂ ගණනකට කලින් කල් ඉකුත් වුන චින්තනයක් තවමත් ඔලු අස්සෙ තියාගෙන ඉන්න හින්ද.

ඉතින් ඒ වගේ චින්තනයක් තියෙන අය වැලිකඩ සිදුවුනාය කියන මිනිස් ඝාතන, ඝාතන වුනේ අපාරධකරුවන් නිසාම සාධාරණය කියල කියන එක තේරුම් ගන්න බැරිද? මොකද මේ අයට අනුව කෙනෙක් නීතිය සහ සමාජය ඉදිරියේ වරදකරුවෙක් කියල ඔප්පු වුන ගමන්ම සුටුස් ගාලා ඒ මනුස්සයාට තියෙන මානව අයිතීන් අන්තරස්දාන වෙලා යනව.

ඒ මිනිස්සුන්ව මරපු එක හරිද කියල අහපු ගමන් උත්තරේ විදියට එන්නේ

"ඉතින් උන් මිනීමරපුවා හොඳඳ එතකොට? මිනීමරුවන්ව නලවන්නද කියන්නේ?" වගේ ප්‍රතිචාර

මේ චින්තනයට අනුව හිර ගෙවල් වල ඉන්න මිනිස්සුන්ට අයිතිවාසකම් නැහැ.
ඒ මිනිස්සුන්ට ශිෂ්ඨත්වය අදාල නැහැ.
සිරකරුවන්ව ඝාතනය කල අයට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන නැහැ.
ඒ මීනිස්සුන්ව මැරුවත්, ඒ අයට අසූචි කන්න දුන්නත් කමක් නැහැ.

කොටින්ම යටත් කරගත්ත මිනිස්සුන්ව දණ ගස්සල, මාරුවෙන් මාරුවට නැගිට්ටල තාප්පෙකට තියල වෙඩි තියන එකේ කිසිම වැරැද්දක් නැහැ. ඇයි?

උන් හිරකාරයොනෙ !

හිරකාරයන්ට කොහෙද මානව අයිතීන්? අපරාධකාරයන්ව මරන අයට මොකද දඬුවම් දෙන්නෙ? උන්ව මරනව නම් ඒ මරපු අය වීරයොනෙ !

එක අතකින් බලද්දි, ශතවර්ෂ ගාණක් පරණ මගුල් ඔලුවේ තියාගෙන ඉන්න උන් නෙමේ මෝඩයො..

වතුර ඉල්ලල උද්ඝෝෂණය කරපු තමන්ගේම සහෝදර ජනතාවටත් උණ්ඩයෙන් උත්තර දුන්න පාලකයන්ට දිගින් දිගටම කතිරය ගහන්න කට ඇරන් ඉන්න මිනිස්සුන්ට... ඒ පාලකයොම සිරකරුවන්ට උණ්ඩයෙන් උත්තර දුන්න එකේ හරි වැරැද්ද තේරෙයි කියල හිතාගෙන මෙහෙම යුනොකෝඩ් කොටන අපියි මෝඩයො !

වැද්දෙක්ට සදාචාරාත්මක වටිනාකම් කියන්නෙ මේවය කියල ලියල පෙන්නන්න පුළුවන්. ඒත් කොටල පොවන්න බැහැනෙ.

Saturday, September 2, 2017

එයාර් හොස්ටර්ස්ලාගේ ලොකු කම !


"ඔය ලංකාවේ ෆ්ලයිට් වල එයාර් හොස්ටර්ස්ලා හිතන් ඉන්නේ උන් ලෝකෙට ලොක්කො කියල. ඒත් කරන්නේ මහ ලොකු වැඩක් යැ? ප්ලේන් එක ඇතුලේ වේටර් කං කර කර එනවා ලොකු සීන් දාන්න. සුද්දො ආවම දෙන්නෙ දෙකට නැමිලා. ඔය හම්බකරන සල්ලි මහරෑට කොළඹ පාරක් අයිනේ හිටගෙන හිටියත් ගෑණුන්ට හොයන්න පුළුවන්" 


මේ ටික කාලයකට කලින් සයිබරයේ මම දැක්ක අදහසක්. එවෙලාවෙ ඒ ගැන මම පළකරපු අදහස බ්ලොග් පෝස්ට් එකක් විදියට දාන්න හිතුවා. පහත ඇත්තේ ඒ ගැන මගේ අදහසයි

පළවෙනි කරුණ - වේටර්කම යනු යම් වෘතියකට නිගරු කිරීමක් ලෙස සෘණාත්මකව භාවිතා කල හැකි වචනයක් නොවේ. වේටර් කෙනෙකුද ඉටු කරන යම් කාර්‍යක් ඇත. ඔහුටද/ඇයටද වගකීමක් ඇත. එම වෘතියටද ගරුත්වයක් ඇත. එනිසා වේටර් කෙනෙක්ය කියන වචනය නිගරු කිරීමක් ලෙස භාවිත කිරීම දැන්වත් නවත්වන්න.

දෙවනි කරුණ - සාමාන්‍යය වේටර්වරයෙකු මෙන් නොව ගුවන් සේවක/සේවිකාවන්ට තම රැකියාව හා බැඳුනු විශාල වගකීම් රාශියක් ඇත. හදිසි අවස්ථාවකදී ගුවන්යානයේ සිටිනා මඟීන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීම ඇත්තේ ඔවුන් අතේය. ඒ සඳහා අතිවිශේෂ පුහුණුවක් ඔවුන් සතුය. ඔවුන්ගේ හැකියාව නිරතුරුවම පරීක්ශණයට භාජනය කරන්නේ එහි ඇති වැදගත්කම නිසාමය.

තුන්වෙනි කරුණ - ඔබ ගමන් කල ගුවන් යානයේ කාර්‍ය මණ්ඩලයෙන් ලැබුන සේවය ගැන සෑහීමකට පත් නොවේ නම් ඔබට එවෙලේම අදාල ගුවන් සේවකයන්ගේ නායකයාට ඒ බව වාචිකව හෝ ලිඛිතව පැමිණිලි කල හැක (මේ සඳහා අවශ්‍යය පෝරම ඔවුන් සතුව ඇත. ඉල්ලීමක් කොට ලබා ගැනීමට පුළුවන) නැත හොත් ඊමේල් මඟින් පැමිණිලි කල හැක. පැමිණිලි සම්බන්ධව අනිවාර්‍යෙන්ම සෑම ගුවන් සමාගමක්ම පියවර ගනු ඇත. ඒ පියවර ගැන ඔබව දැනුවත් කරනු ඇත.

හතරවෙනි කරුණ  - ශ්‍රීලාංකිකයාගේ ලක්ශණය මෙයයි. අදාල තැනදී කතා කිරීමට කොන්ද පණ නැති නිසා ගෙදර ඇවිත් එකතු වී බැණ සිත සතුටු කරගන්නා සේ දැන් බුකියට ඇවිත් බැණ වදියි. තමා ගෙවන මුදලට සරිලන සේවාවක් නොලැබුනා නම් කොන්ද පණ නැති නිවටයන්සේ තැන තැන කියවන්නේ නැතුව අදාල ස්ථානයේදීම තම අයිතීන් වෙනුවෙන් කතා කරන්නට සහ පැමිණිලි කරන්නට ඉගෙන ගන්න.එය බුකියේ කරන විවේචනයට වඩා වඩාත් පලදායක වේවි.

පස් වෙනි කරුණ - සමහරු ගුවන් සේවිකාවන් වේසියන් යනුවෙන් හඳුන්වන්නේ සහ ඔවුන් ගෙවනා ජීවින රටාව නරක ජීවන රටාවක් ලෙස හඳුන්වන්නේ එසේ හඳුන්වන අය තුල ඇති ලිංගික කුහකත්වය සහ ඊර්ෂ්‍යාව නිසාය. වසර ගාණක් මහන්සිවී ඉගෙනගෙන අධ්‍යාපන සහතික පත්‍ර ලබාගෙන ඉන් පසුද වසර ගණනක් සේවය කොට අත්දැකීම් ලබාගෙන රැකියාවෙන් ඉහළට ගොස් කෙනෙක් ලබනා වැටුපටත් වඩා ඉහළ පඩියක් ගුවන් සේවක සේවිකාවන් රැකියාවට සම්බන්ධ වී මාස දෙක තුනෙන් ලබා ගන්නවා වෙන්නට පුළුවනි. එහෙත් එය ඔවුන්ට ඊර්ෂ්‍යා කිරීමට කාරණයක් කර නොගන්න. යමෙක් ඔවුන්ව ගණිකාවන්ට සමාන කරයි නම් එයට හේතුව ඊර්ෂ්‍යාව සහ කුහකත්වය නොවේ නම් වෙන කුමක් ද?

අවසාන කරුණ - ඕනම කාර්‍ය මණ්ඩලයක් විදේශිකයන් ඉදිරියේ හොඳ සැලකිලි ලබා දෙන්නේ හමේ පාට නිසා නොව විදේශිකයන් ඔවුන්ගේ මේ අයිතින් දන්නා බව සේවකයන් දන්නා නිසාය. ඔවුන්ට හරිහමන් විදියට නොසැලකුවොත් වෙනදේ දන්නා නිසාය. ඔබ වැනි අයට මෙසේ සලකනවා නම් (එසේ කිරීම වැරැද්දක් වුවත්) එසේ කරනුයේ ඔබ ගෙන් අදාල සේවය ගැන ආයතනයට පැමිණිල්ලක් ඉදිරිපත් වීමට ඇති සම්භාවිතාවය අවම බව ඔවුන් දන්නා නිසාය.. එනිසා තම අයිතීන් පිළිබඳ දැනුවත් වගකීමකින් යුත් පාරිබෝගිකයෙක් වන්න. තම අයිතීන් වෙනුවෙන් කතා කරන්න. තමා ගෙවන මුදලට සරිලන සේවාවක් නොලැබේයයි තමා සිතනවා නම් ගුවන් සේවයේදී පමණක් නොව ඕනෑම තැනකදී ඉහළ නිලධාරීන්ට පැමිණිලිකරන්න පසුබට නොවන්න.

ස්තූතියි.

Tuesday, August 8, 2017

බුද්ධිමත් ජනතාවෙනි, ජහ ජහ !

ජනතාව බුද්ධිමත්ය. ජනතාව සාධාරණය. හංසයා දියෙන් කිරි වෙන්කරනා සේ වැරැද්දෙන් නිවැරැද්ද වෙන් කර ගැන්මට ඔවුනට හැකියාව ඇත. සියලු ආධිපත්‍යන්ට වඩා වැදගත් වන්නේ ජනතා පරමාධිපත්‍යයයි. සියලුම තීන්දු වලට වඩා උතුම් වන්නේ ජනතා තීන්දුවයි.!

දේශපාලකයා උදේ සිට සවස තෙක් ගිරිය පුප්පගෙන කෑගසමින් ජනතාව ගැන ගුණ වැයීමට ඉතාම කැමතිය. ජනතාව සැම විටම ගන්නේ නිවැරදිම තීන්දු පමණක් බව ඔහු ජනතාවටම මතක් කරදෙයි. ජනතාවගේ බුද්ධි මහිමයේ තරම ඔහු ජනතාවටම පැහැදිලි කරයි. එළඹෙන මැතිවරණ වලදී බුද්ධි මහිමයෙන් කෙළ පැමිණි ජනතාව විසින් තමාව වැඩිම මනාපයෙන් පත් කරගන්නා සැටි ඒ ජනතාවටම කියයි.

ඕනෑම මුග්ධයෙක්ගේ ප්‍රසාදය ලබා ගැනීමට ඕනෑ නම් හොඳම ක්‍රමය ඌව මුරුංගා අත්තේ තබන එකය. සිය පැවැත්ම රඳාපවතින්නේ ජනතාව තමා කෙරේ ඇති ප්‍රසාදය මත බව දන්නා දේශපාලකයා හැකි සැම විටම ජනතාවට ආවඩයි. ප්‍රශංසා කරයි. ඔවුන්ව වර්ණනා කරයි. දේශපාලකයා කරන්නේ මේ මුග්ධ ජනතාවව මුරුංගා අත්තේ තබා ගොනාට අන්දමින් ඔවුන්ව සිය අරමුණු කරා දැක්කවීමයි.

නමුත් දේශපාලකයා තුළ ජනතාව ගැන තිබෙන සැබෑම කියවීම දැනගත හැකි වන්නේ ඔහුගේ ක්‍රියාකාරකම් ප්‍රශ්න කිරීමට ලක් වූ විට ඔහු ජනතාව වෙත ඉදිරිපත් කරන නිදහසට කාරණා දෙස බැලීමෙනි.

“ඒක සෙල්ලම් තුවක්කුවක්, එයාමයි කැමැත්තෙන් ගස් බැඳගත්තෙ, එයාමයි එයාට ගහගත්තෙ, පකයා කියන්නේ කුණුහරපයක් නෙමේ, නිරුවත කියන වචනය නොයෙකුත් විදිහට ඉන්ටර්ප්‍රිට් කරන්න පුළුවන්, ඒ පොලු අරන් ගියේ පාරෙ ඉන්න බල්ලොන්ට ගහන්න” 

ජනතාව බුද්ධිමත් යැයි දෙසනා දේශපාලකයාට ජනතාව ගැන තිබෙන්නේ දෙකයි පනහේ බුල්ටෝ ටොපි පෙන්වා, අහසේ ඇති දේදුනු පෙන්වා රැවටිය හැකි කුඩා දරුවෙකුට සමාන හැඟීමක් බව ඉහත නිදහසට කාරණා දැකීමෙන්ම පසක්වේ. ජනමාධ්‍ය සාක‍‍ච්ඡාවකට පැමිණ, රූපවාහිනී සංවාදයකට පැමිණ හෝ ප්‍රසිද්ධ වේදිකාවකදී මෙවැනි හාස්‍යජනක නිදහසට කාරණා අප වෙත අපගේම දේශපාලන නායකයන් ඉදිරිපත් කිරීම ගැන ඇතිවිය යුත්තේ කේන්තියක් නොව, දුකකි.

අප රටේ බුද්ධිමත් ජනතාව දේශපාලකයාගේ නරුම වැඩ ගැන සංවේදී නැත. තමාගේ ජාතිවාදී ආගම්වාදී නිල අල්ලා සිය හෘද සාක්ෂිය කිති කැවීමට සමත් දේශපාලකයෙක්ගේ ඕනෑම නරුම වැඩකට සමාව දීමට ඔවුන් සූදානම්ය.

පුරවැසීයෙක් සහ ඡන්දදායකයෙක් වශයෙන් පාලකයන් තෝරාපත් කර ගැනීමේ වගකීම පිළිබඳ ඔවුනට අවබෝධයක් නැත. දේශපාලකයන් විසින්ම තමා මත පටවන ලද සමාජීය සහ ආර්ථික පීඩන වලින් මිදීමට කෙටි ක්‍රම සොයනා ඔවුන් තමාගේ එදිනෙදා අවශ්‍යතා සහ ගැටළු වලට පැලැස්තරයක් ඇලවීමට ඉදිරිපත් වන ඕනෑම නරුමයෙක්ට සිය ඡන්ද බලය විකුණා දැමීමට සූදානම්ය.

දීර්ඝ කාලීන දේශපාලනික අරමුණු නැති, රටේ අනාගත යහපැවැත්මක් ගැන සිතීමට තරම් බුද්ධිය මුහුකුරා නොගිය, සිය අනාගත පරපුර පිළිබඳ වද නොවන ආත්මාර්ථකාමී මුග්ධ ජනතාවක් සියතට ගැනීමට නරුම දේශපාලකයා කරන්නේ ඔවුන්ගේ කෙටි කාලීන අවශ්‍යතා හඳුනාගෙන ඒවාට කෙටි කාලීන විසඳුම් ලබා දීමය.

පුතාට ජොබ් එකක්, රැකියාවෙන් උසස් වීමක්, බාර් පර්මිට් එකක්, රැකියා ස්ථාන මාරුවක් වැනි දේ පමණක් නොව රෝද පුටුවක්, මහන මැෂිමක්, ටකරං කෑලි කිහිපයක් වැනි සිල්ලර අල්ලස් වලටද අප රටේ බුද්ධිමත් ජනතාව සිය ඡන්දය විකුණා දමති.

මේ ගැන දින කිහිපයකට පෙර මගේ මිතුරෙක් පැවසූ කතාවක් සිහිවේ.

“වැටුප් දීමනා වැඩිවේයයි බලාපොරොත්තුවෙන් ඡන්දය දෙන්නන් සහ රුපියල් දාහට, අරක්කු කාලට හා බත් පැකට් එකට පෙලපාලි යන්නන් අතර ඇති එකම වෙනස වන්නේ එක පිරිසක් කඩේ යන්නේ අත්පිට මුදලට පමණක් වීමයි.”

මෙසේ සිය පුරවැසි වගකීම සිල්ලර උවමනා වලට වේසාකමේ යවන අප රටේ බුද්ධිමත් ඡන්දදායකයා අවසානයේදී කුඩු වෙළෙන්දන්, එතනෝල්කාරයන්, අපරාධකාරයන්, කප්පන්කාරයන්, ස්‍ත්‍රී දූෂකයින් පාර්ලිමේන්තු ගියේ කොහොමද කියා අසයි.

ජාතිවාදයෙන්, වර්ගවාදයෙන්, ආගම්වාදයෙන්, සංස්කෘතික සංකේත වලින් මත් වී සිටින බුද්ධිමත් ජනතාව සිය බත් පතට පහර වැදුන විට මත් බවෙන් මිදී උන්මාදයෙන් මෙන් කෑගසයි. වෙනකෙකු දෙසට එල්ල වී තිබුන තුවක්කුවක් තමා වෙතට හැරුන විගස ඊයේ ඉපදුන ළදරුවෙකු මෙන් මර ලතෝනි දෙයි. පෞද්ගලික වාසි බලාගෙන තමා පාර්ලිමේන්තු යැවූ උන්ගේ හොඳ නරක මතක් වෙන්නේ තමාගේ බඩට සහ ජීවිතයට කෙළවන බව දැනුන විට පමණි. එවිට රටේ පමණක් නොව තම දෛනික ජීවිතයේද වැරදි අඩුපාඩු වලට පවා වැරැද්ද පටවන්නේ දේශපාලකයාටය.

ඉන්පසු සියලු මන්ත්‍රී ඇමතීන් සමඟ පාර්ලිමේන්තුව පොළව පලාගෙන ගිලා බැසිය යුතුය කියමින් ශාප කරයි. පාර්ලිමේන්තුව ගිණි තියනවා නම් තමන් ගානේ පෙට්‍රල් දෙන බව කියයි. මුන් දේශපාලනය කරන්නේ මඩිය තර කර ගන්නට පමණක්ය කියයි.

නමුත් අප රටේ බුද්ධිමත්ය කියන ඡන්දදායකයා අමතක කරන කරුණ නම් පාර්ලිමේන්තුවේ සිටින්නේ ජනතා නියෝජිතයින් බවය. ඔවුන්ව පාර්ලිමේන්තුවට යැවීමේ හෝ නොයැවීමේ වගකීම පැවරී තිබුනේ තමාට බවය. තමා කුඩුවෙළෙන්දන්ව, එතනෝල්කාරයින්ව, කප්පන්කාරයින්ට මනාපය ලබාදී උන් පාර්ලිමේන්තුවට යවා කුඩුවිකුණනවාය, එතනෝල් ගෙන්නනවාය, කප්පන් ගන්නවාය කියා ශාප කිරීම පලක් නොවන බවය.

ජනතාව විසින් අශීලාචාර, අසික්කිත දේශපාලකයින්ව දිගින් දිගටම පාර්ලිමේන්තුවට තෝරා පත් කරන්නේ නම්, බලය ලැබුන පසු එම දේශපාලකයන් කරනා අශීලාචාර, අසික්කිත වැඩ වල වගකීමෙන් කොටසක් ජනතාවත් භාරගත යුතුය.

දේශපාලකයා විසින් දේශපාලන ක්‍රමයම ව්‍යාපාරයක් බවට පත් කරගෙන ඇති බවට චෝදනා කරන ජනතාවම ඒ දේශපාලන ව්‍යාපාරයේ ලාභම ගැණුම්කරු බවට පත්ව ඇත. ලාභම විකිණුම් භාණ්ඩය බවට සිය මනාපය පත් කොට ඇත.

සෑම විටම දේශපාලකයින් විවේචනය කරන, සෑම විටම අප රටේ දේශපාලන සංස්කෘතියට දොස් තබන ජනතාව විසින් ඔවුන්ම පරිභව කරනා, පිළිකුල් කරනා ඒ දේශපාලන සංස්කෘතිය තුළ ජනතාවක් වශයෙන් ඔවුන් රඟදක්වන භූමිකාව පිළිබඳ සිතීමට කාලය එළඹ ඇත.

දේශපාලකයින් යනු රටට හෝ ජනතාවට සේවය කිරීමේ අරමුණින් වෙනත් ලොවකින් පහල වූ සුචරිතවාදීන් කොට්ඨාශයක් නොවේ. ඔවුන්ද නොයෙකුත් අරමුණු ඉටුකර ගැනීම සඳහා යම් වෘතියක් තෝරාගත් පිරිසකි. තමාගේ වාසිය ගැනම සිතනා, හැකි පමණින් මඩිය තරකර ගැනීමට දතකන, බලයට කෑදර අවස්ථාවාදීන් පිරිසකි. එදා සිට අද දක්වා පහළ වූ දේශපාලකයින්ගෙන් අතිමහත් බහුතරයකට සිය සුඛවිහරණය කැප කරමින් රටට හෝ ජනතාවට සේවය කිරීමට තරම් පශ්චාත්භාගයේ අමාරුවක් තිබුනේ නැත, අනාගතයේ එහෙම අමාරුවක් එන්නේද නැත.

නමුත්, වාසනාවකට හෝ අවාසනාවකට ඔවුන්ව විනිශ්චය කිරීමේ හැකියාව ජනතාවට ලැබී ඇත. ඔවුන්ව තමාගේ තීරණාත්මක ඡන්දයෙන් පීඩනයට පත් කිරීමේ හැකියාව ජනතාවට ලැබී ඇත.

ඕනම පාහර වැඩක් කොට අතේ පත්තු වෙන “මට මතක නෑ” වැනි බොරුවක් ඇදබෑමෙන්ම තමාට ඕනම චෝදනාවකින් ගැලවිය හැකි බව දන්නා දේශපාලකයා වෙනුවට තමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවා ඒ අනුව ඡන්දය භාවිතා කරන, ඊළඟ ඡන්දයේදී තමාගේ කෙරුවාව අනුව තමාට නිසි ඇගයීමක් ලබා දෙන ජනතාවකට භය දේශපාලකයෙක් සිටිනා දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමේ වගකීම ඇත්තේ පාලකයා අත නොව, ජනතාව අතය.

දේශපාලන ප්‍රවාහය හෝ පක්ෂය අමතක කරමු. තමා මනාපය ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තුවට යවන්නේ මොන ආකාරයේ, මොන අරමුණුවලින් යුත්, මොන විදිහේ ඉතිහාසයකින් යුත් පුද්ගලයෙක්ද කියා ජනතාවක් වශයෙන් දැන්වත්…. දැන්වත්… අප වරක්, දෙවරක්, තෙවරක් නොව දහස් වරක් සිතා බැලිය යුතුය.

Monday, August 7, 2017

පාසැල විසින් බලෙන් මව්වරුන්ගේ ඇඟේ සාරිය එතීම ගැන

අතිශය කාර්‍යබහුල වූ දෛනික ජීවිතයෙන් පැය කිහිපයක් වෙන් කරගෙන තම දරුවාගේ තොරතුරු විමසිමට පාසලට එන මව්වරුන්ට සාරිය ඇඳීම අනිවාර්‍ය යැයි පාසැල් බලධරයන් විසින් දමා ඇති කොන්දේසියට සමාජයක් වශයෙන් අප එකඟ වූයේ කොතනද, යන පැනයට පිළිතුර මා දන්නේ නැත.

කාන්තාව සිය ගෞරවය ප්‍රකාශ කිරීමේ මෙවලමක් ලෙස භාවිතා කරන සමාජ ක්‍රමයක් තුළ පාසලකට පැමිණෙන මව්වරුන්ව පවා පුහු සදාචාරාත්මක සළුවකින් ඔතා ඊනියා ශිෂ්ඨත්වයක් ආරූඩ කොට පාසැල් බලධරයන් උත්සාහ කරන්නේ කාන්තාවව සංස්කෘතික බඩුවක් ලෙස භාවිතා කරන සමාජයකින් හොඳ නමක් දිනා ගැනීමටය. යහපත් ප්‍රතිරූපයක් හදා ගැනීමටය. පාසැල වැදගත්ය, ගෞරවනීයය, විශේෂ ස්ථානයක්ය කියා ඒත්තු ගැන්වීමටය.

ලාංකීය සමාජය සාරිය ගැන ඇති උන්මාදයට හේතුව වටහා ගැනීම පහසු නැත. සමහර විට සාරිය සමඟ අපේ ඇඳුමක් යන ලේබලය පැමිණෙන නිසා විය හැක. එසේත් නැතිනම් සාරිය ශිෂ්ඨ ඇඳුමක් ලෙස ඇති සම්මතය නිසාද විය හැක.

පාරිශුද්ධ වූ සංස්කෘතීන් කිසිත් නැති ලෝකයේ අපේම කියා වැළඳගන්නවා නම් අවසානයේ අමුඩයවත් ඉතිරිවේද යන ප්‍රශ්නය අප සමාජය හමුවේ නොනැඟීම අමතක කරමු. එහෙත් සාරිය ශිෂ්ඨ ඇඳුමක් ලෙසත්, ඊට සාපේක්ෂව අනෙක් ඇඳුම් ශිෂ්ඨ බවෙන් අඩු (හෝ අශිෂ්ඨ) ඇඳුම් ලෙසත් ඇති පිළිගැනීම ගැන අවධානය යොමු කිරීම වටියි.

පාසල් බලධරයන් විසින් ඇඳුමක ශිෂ්ඨ බව මනින්නේ කෙලෙසදැයි අපි නොදනිමු. ශරීරය අවම වශයෙන් නිරාවරණය වීම පදනම් කොටගෙන ශිෂ්ඨ බව මනින්නේ නම් සාරියට වඩා ශිෂ්ඨ ඇඳුම් කොතෙකුත් තිබේ. සාරියට සාපේක්ෂව පහසු (යැයි කාන්තාවන්ම කියන) සාය සහ බ්ලවුසය ඉන් එකකි. කලිසම සහ බ්ලවුසය තවත් එකකි. නාභියෙන් අඟල් දෙක තුනක් පහළට සිය උදරය නිරාවරණය වන සේ සිය පියයුරු උලුප්පා පෙනෙන අයුරින් සාරිය අඳිනා ගුරුවරියන් පවා අප දැක ඇත. ඉන, ඉඟ, නාභිය, ළැම, පිට නිරාවරණය වන සේ අඳිනා සාරිය, සාය සහ බ්ලවුසයකට වඩා ශිෂ්ඨ යැයි යමෙක් දකින්නේ කෙසේද යනුවෙන් යමෙක්ට සාධාරණ පැනයක් නැඟිය හැක (සාරිය යනු අශිෂ්ඨ ඇඳුමක් කියා මින් නොකියවෙයි). එසේ තිබියදී පාසල් බලධරයන් විසින් මව් වරුන් හට ඇඳීමට ඇඳුමක් නියම කොට (dress code) ඒ ඇඳුම ලෙස සාරිය ද තෝරාගෙන නිලනොවන නීතියක් සමාජය මත පටවා තිබේ.

මව්වරුන්ට මෙන් නොව පියවරුන්ට ඇඳුම පිළිබඳ නීති පනවා නැත. ඔවුන්ව බලෙන් සංවර කල යුතු බවක් පෙනෙන්නට නැත. පාසැලට පැමිණෙද්දි ඇඳිය යුත්තේ කලිසම්ද, ඩෙනිම් කලිසම්ද, ෂර්ට් ද, ටී-ෂර්ට් ද, දැමිය යුත්තේ සෙරප්පුද සපත්තුද හැඟවෙන නීති රෙගුලාසි නැත. ඔවුනට තමාට කැමති, සුදුසු යැයි සිතෙන ඇඳුමක් ඇඳීමේ නිදහස ඇත. ප්‍රශ්නය තිබෙන්නේ මව්වරුන් ගැන පමණි.

මව්වරුන්ගේ ශරීර ගැන පමණි. නුසුදුසු යැයි බලධරයන් සිතනා ඇඳුමක් ඇඳගෙන පාසලට පැමිණෙන මවක් දැකීමෙන් පාසලේ සිටින ළමයින්ගේ සදාචාරය නැත්තටම නැතිවී යා හැක. පාසලේ සිටින වැඩිමහල් පිරිමි සිසු දරුවන්ට සිය සගයන්ගේ මව්වරුන් දැක්මෙන් සිය නවයොවුන් ලිංගික ආශා පාලනය කර ගත නොහැකිව කුමකින් කුමක් විය හැකිද? සිසුදරුවන් නිසා මවට සිදුවිය හැකි, මව නිසා සිදුදරුවන්ට සිදුවිය හැකි මේ මහා විනාශය කෙසේ හෝ නැවැත්විය යුතුය. මවක් නිසා පාසල් හරපද්ධතියටම සිදුවේ යැයි ඔවුන් සිතනා මේ විනාශයෙන් සිදුසිසුවියන් බේරා ගැනීමට තිබෙන එකම විසඳුම ලෙස අප අනාගත පරපුරට අකුරු කරන, හරි වැරැද්ද කියා දෙන පාසල භාරව සිටින ගුරුදෙවිවරුන් තීරණය කොට ඇත්තේ, මව් වරුන්ට බලෙන් සාරි ඇන්දවීමයි.

කොතරම් අපහසුතාවයකට මුහුණ දීමට සිදු වුවද දෙමාපියන් සෑම විටම මෙන් මෙහිදීද ශේප් න්‍යාය අනුගමනය කිරීමට පෙළඹ ඇත. මුළු රට පුරා පැතිර ඇති මෙම අර්ථවිරහිත නීතියට එරෙහිව නැඟී සිටීමට කිසිවෙකුටත් උවමනාවක් නැත. මෙම නීතිය පැහැදිලි ලෙසම පාසල් බලධරයන් විසින් සිය අධිකරී බලය අනිසි ලෙස භාවිත කිරීමකි. පාසැල් සිසුන් මත තමා පතුරවන අධිකාරී බලය වැඩිහිටි සමාජය මතද පැතිරවීමකි.

මේ මව්වරුන් සහ පියවරුන්ගේ කොඳුනාරටි ඔවුන් සිසුසිසුවියන් වූ කාලයේදී කඩා ඉවත්කර දමා නිවටයන් බවට පත්කොට ඇත්තේද සිසුන් පමණක් නොව ඔවුන්ගේ දෙමාපියන් මතද දැඩි ලෙස තම අධිකාරී බලය පතුරවන මෙම පාසල් පද්ධතිය විසින්මය. අද වැඩිහිටියන් ලෙස එම පාසැල් පද්ධතියේම අඩන්තේට්ටම් වලට ලක් වෙද්දි ඒ අසාධාරණයට එරෙහිව නැඟී සිටීමට ඔවුනට කොන්ද පණ නැති වීම පුදුමයක් නොවේ.

පාසල් බලධරයන් විසින් මෙවන් අර්ථශුන්‍ය නීති වෙනුවෙන් නිදහසට කාරණා ලෙස ඉදිරිපත් කරන්නේ සිසුසිසුවියන්ට හැදිච්චකම කියා දිය යුතු බවයි. එයට මව්පියන් ආදර්ශය සැපයිය යුතු බවයි. මෙම මුග්ධ විදුහල්පතිවරුන්ගේ අමන තියරි වලට සිනාසිය යුත්තේ අධෝමුඛයෙන්ය. පාසැලට එන මව්වරුන්ගේ ශරීර බලෙන් සාරි වලින් එතීමෙන් ළමයාට යන පණිවුඩය කුමක්ද?

මෙහිදී ඔවුනට ලැබෙන ආදර්ශය වෙන කිසිවක් නොව, තමාගේ මව ඇතුළු මුලු කාන්තා පරපුරම ඇඳුම් වලින් ඔතා පිරිමි අශිෂ්ඨකම් වලින් ආරක්ෂා කල යුතු ලිංගික බඩු බවය. පියවරුන් සහ පිරිමියන් මෙන් නොව මව්වරුන් සහ ගැහැණුන්ව මෙල්ල කල හැක්කේ නීති දමා පාලනය කිරීමෙන් බවය. එසේම බලය දරන්නන් තමා මත පතුරවන අධිකාරී බලයට කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව අවනත විය යුතු බවය. එසේ අවනත වීමෙන් ජීවිත සැපවත් සහ පහසු වන අතර ‍ප්‍රශ්න කිරීමට යාමෙන් නැති ප්‍රශ්න සහ ගැටළු වලට මුහුණ දෙන්නට සිදුවන බවය. සදාචාරය යනු මූනිච්චාවට බලය ඇත්තෙක් ඉදිරියේ රඟදක්වන බලය ඇත්තා නැති තැන නැතිව යන නොකර බැරිකමට අමාරුවෙන් කරන රැවටිලිකාර වැඩ බවය.

අප සෑම දේම කිරීමට පුරුදුව ඇත්තේ මූනිච්ඡාවටය. සිත සනසා ගැනීමටය. පාසලට එන මව්වරුන්ව සාරි වලින් ඔතා අනේ අපේ හැදියාව යැයි සිතමින්, අපේ ළමයි දැන් පිළිවෙලට අඳින හැටි දැනගන්නවා යැයි සිතමින් සැනසෙන්නෙමු. පාසලේ ගත කරන දවසේ පැය පහ හයට පෙර සහ පසු දරුවා සමාජයෙන් දකින්නේ කුමක්ද කියා සිතීමට අපට උවමනා නැත. පැය කිහියකට සීමා කරන ලද රඟපෑමකින් දරුවා රැවටිය හැකි බව අපි සිතමු. පාසලට සාරිය ඇඳන් එන මව පොළට යන්නේ කුමක් ඇඳගෙනද? නෑගම් යන්නේ? මංගල උත්සවයන් වලට සහභාගි වෙන්නේ? සාරිය හැර අනෙක් ඇඳුම් ශිෂ්ඨ නොවන බව කියනා අය ඉස්ලාම් අන්තවාදීන් විසින් සිය කාන්තාවට බුර්කාව ඇඳීම අනිවා‍ර්‍ය කොට ඇත්තා සේ අප ගැහැණුන්ටද සාරිය ඇඳීම අනිවාර්‍ය කල යුතුය.

මෙහිදී ආගමික ස්ථාන වලට අදාලව සමාජයේ පවතින සම්මුතීන් හෝ රාජකාරී ස්ථාන වල කාර්‍ය මණ්ඩල භාවිතා කරන නිල ඇඳුම් සමඟ මෙම සාරි පැටලවීමේ ඇති වෙනස වටහා ගැනීම වැදගත්ය.

සමහර රටවල නිරුවත් වෙරළ තීරයන් (nude beach) ඇති බව අප සැවොම දන්නා කාරණයකි. කෙසේ වෙතත් සම්පූර්ණ නිරුවතින් සිටිය යුතු වල වෙරළ තීරයන්ට ඇතුල්වීමට හෝ නොවීමට වැඩිහිටි සියල්ලන්ට නිදහස ඇත. නිරුවත් වීමට කැමති අයට ඇතුළු විය හැක. අකමැති අයට එළියට වී සිටිය හැක. ආගමික ස්ථානයකට ඇතුළු වීමේදීද එය එසේමය. යම් ආයතනයකට රැකියාවකට සම්බන්ධ වීමේදීද එය එසේමය. යම් dress code එකක් අනුගමනය කල යුතු උත්සවයකට සහභාගී විමේදීද එය එසේමය.

නමුත්, ඒවා සහ පාසලට පැමිණෙන දෙමාපියන් අතර වෙනස පාඨකයා වටහා ගනු ඇතැයි සිතමි.

මෙවන් ආකල්ප ඇති විදුහල්පතිවරුන්ගෙන්, ගුරුවරුන්ගෙන් දැනුම ලබා ගන්නා අප අනාගත පරපුරට තිස්තුන්කෝටියක් දෙවිදේවතාවුන්නාන්සේලාගේ පිහිට පතනවා හැර කුමක් කරම්ද?

තම පාසලට පැමිණෙන, යන එන අය සම්බන්ධ පාලනය කිරීම් ගැන නීති රෙගුලාසි පැනවීමට පාසැල් අධිකාරියට බලය ඇති බව සැබවකි. එහෙත් ඒ බලය අනිසි ලෙස, අර්ථ්ශුන්‍ය ලෙස භාවිතා කිරීම වැරදිය. එසේ කරනා අවස්ථාවන් හිදී එයට විරුද්ධවීමටත්, එයට එරෙහිව නැඟීසිටීමටත් දෙමාපියන්ට අයිතියක් ඇත. දැන්වත් දෙමාපියන් විසින් මෙම මුග්ධ නීති වලට අවනත වීම ප්‍රතික්ෂේප කල යුතුය.

එසේ නොවුවහොත් අපේ සංස්කෘතිය නම් වූ කවරයෙන් ඔතා ඇති අසූචි මල්ලක් වුවත් සුවඳ දුම් අල්ලා වන්දනාමාන කිරීමට සැදී පැහැදී සිටින අප සමාජය තුළ මෙම ප්‍රවනතාව තව තවත් ප්‍රචලිත වීමට වැඩි කලක් ගත නොවනු ඇත.

Sunday, July 23, 2017

චෙස්ටර් ගැන කතාවක් නොවේ

දැන් මෙහෙමයි කතාව.

චෙස්ටර් මැරුනනේ.
මට නම් අවංකවම මේ මරණය දැනුනා.
ලින්කින් පාර්ක්ලගේ hybrid theory ඇල්බම් එකේ ඉඳල ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම මම චෙස්ටර්ගේ නිර්මාණ රසවින්දා.
කලාකරුවන්ගේ මරණ අතරින් මයිකල් ජැක්සන් මැරුණයින් පස්සේ දැනුනේ චෙස්ටර්ගේ මරණය.
මට වගේම සෑහෙන දෙනෙක්ට මේ සිද්ධිය ඔය විදියටම දැනෙන්න ඇති.
ලංකාවෙ වගේම මුළු ලෝකයේම රසික රසිකාවියන්ට.

ඔය මරණයත් එක්කම හැම මගුලකටම දෙපැත්තට බෙදිලා නටන බුකිවාසීන් ආයේ නටන්න ගත්තා.
පිරිසක් මේ මරණය ගැන දුක ප්‍රකාශ කරද්දි තවත් පිරිසක් මේ මරණය උපහාසයට ගත්තා

"චෙස්තර බෙනින්තර මැරිලලු නේද?"
"ලින්කින්පාර්ක් එක තියෙන්නේ කොහේදැයි අයියේ?"
"පාක් එකට අල්ලපු ගෙදර ඇන්ටිගේ සාරියෙන් එල්ලිලා තියෙන්නේ"
"ලින්කින් පාර්ක් එකෙ ගස් වලට වතුර දාපු එකා මලාලු ඊයේ"

ඔය චෙස්ටර් කියන 'මනුස්සයා' මැරුණ වෙලේ සමහරු ඒක උපහාසයට ගත්ත විදිය.
ඔය වගේ බුකිවාසීන් දාපු සමහර 'කිංඩි' ඉතින් සීමාව පැන්න ඒවා කියල මටත් හිතුනා.
සමහර විට චෙස්ටර් ගැන මම පොඩි එකෙක් කාලෙ ඉඳල හිතේ ලොකු රසිකත්වයක් තිබ්බ නිසා වෙන්න ඇති. සමහර විට විෂාදයට ගොදුරු වුන රෝගීන් ගැන මම ගොඩාක් සංවේදී නිසා වෙන්න ඇති.
සමහර විට තමාට තියෙන එකම විකල්පය සියදිවිනසා ගැනීමය කියන තැනට මනුස්සයෙක් පත් වෙන එක ගැන සෑහෙන අවබෝධයක් තියෙන නිසා වෙන්න ඇති.
එහෙම තත්වයට පත් වෙන මනුස්සයෙක් ගැන දැඩි සහකම්පනයක් මගේ හිතේ මොනයම් හේතුවකට හරි පැලපදියම් වෙලා තියෙන නිසා වෙන්න ඇති.

ඒත් ඉතින් අවුලක් නෑ. අවුලක්ම නෑ.
මම කැමති විදියේ දේවල් විතරක් නෙමේනෙ මිනිස්සු කියන්න ඕන.
ඕනම මගුලක් උපහාසයට ගන්න එක ඉතින් ඒ ඒ අයගේ නිදහස (විදෙස් රටක මෙහෙකාරකම් කරන කාන්තාවක් අන්ත අසරණ අඩියට වැටිලා කේන්තියෙන් මොර ගහන අවස්ථාවකුත් ආතල් ලෝකයක් කරගෙන කැච් ෆ්‍රේස් හදාගත්ත බුකි වාසීන්නෙ ඉතින්. මේව නම් මොනවද?)

මනුස්සයෙක්ගේ මරණයට පවා කිංඩි දැමීමේ නිදහසට මම ගරුකරනවා. ඒ අයිතිය මම පිළිගන්නවා.

හරි. දැන් තමයි මම කියන්න හදන කතාවට එන්නෙ.

මේ කතන්දර දැක්කාම මට එකපාර ඔලුවට ආවේ මෙහෙම දෙයක්.
"මේ මැරුණ මනුස්සයා වෙනුවට මුං සංවේදී වන පොරක් මැරිලා මම ඔහොම කින්ඩි දැම්ම නම් මුන් මොනව නොකියයිද?"

හොඳම උදාහරණයකට ගන්න පුළුවන් මේ අය කරේ තියාගෙන ඉන්න ආගමික නායකයෙක්ව.
මට මතකයි මීට අවුරුදු දෙකකට විතර කලින් මම මහනායක කෙනෙක් ගැන පෝස්ට් එකකදි ඔහුගේ නම අගින් ස්වාමින්වහන්සේ කියල නොදැම්මා කියල බුකිය ඇවිලුන හැටි.
දැන් ඉතින් තත්වය ටිකක් වෙනස් (කාලය මැවු වෙනසක් අරුමේ)
පොයින්ට් එක තමා.
නම විතරක් කිව්වා කියල අච්චරම මේ අය සංවේදි වෙලා බබ්බු ටිකක් වගේ නැටුවා නම්, ඔය මහනායක කෙනෙක් හරි, රහත් වෙලා හිටියය කියල සැලකෙන මෑත ඉතිහාසයේ ජීවත් වුන පොරක් ගැන හරි, කොටින්ම මේ අයගේ ආගමික නායකයන්ගේ මරණය ගැන හරි, ඔය විදියට උපහාසයෙන් කතා කලා නම් මේ අයට ඒ දේ ඉවසන්න තරම් පරිනතභාවයක් තියෙයිද කියන කතාව.

 ගොඩක් දෙනෙක් ආදරය කරන මනුස්සයෙක් මිය ගියාම කින්ඩි දාන්න පුළුවන් නම් මේ අය තමාගේ "උත්තමයො" කියල හිතන් ඉන්න පොරවල් ගැන දාන කින්ඩි දරා ගන්න බැරි ඇයි?

ගායකයෙක් හා ආගමික නායකයෙක් සමාන කරනවා නෙමේ. ආ සොරි. ගායකයෙක් හා ආගමික නායකයෙක් සමාන කරනවා තමා.
චෙස්ටර් අමතක කරමු.
ගායකයෙක් හරි, නළුවෙක් හරි, දේශපාලකයෙක් හරි, සමාජ සේවකයෙක් හරි, මොකෙක් හරි සමාජයේ යම් පිරිසක් ගෞරව කරන/ආදරය කරන කෙනෙක් ගැන.. කොටින්ම උන් මලාම උන්ගේ මරණය ගැන කින්ඩි දාන එක වරදක් නෙමේ නම් මුන්ගේ මහලොකු ආගමික නායකයො ගැන කින්ඩි දාන එක ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද?

මුං ඒ වගේ අවස්ථාවලදී ගේන බොරු පුහු හිස් තර්ක වල සතපහක බරක් නෑ කියන එක ඔප්පු වෙන්නේ මේ වගේ අවස්ථා වල උන්ම පෙන්නන හැසිරීම් වලින්.
මුංට ඕන නැති හරි වැරැද්දක් නෑ.
මුංට ඕන මුං කැමති විදියට මුං ජීවත් වෙන ලෝක පාලනය කරන්න.

ලෝකේ අස්සක් මුල්ලක් නෑර ඉන්න අතිමහත් බහුතරයක් ආගමික හැතිකරේ ඔහොම තමයි.
ඕක තමයි උන්ගේ කුහකකමේ හෙළුව.

කින්ඩි දැමීම හෙවත් උපහාසය ගැන මුන්ම හදාගත්ත මුන්ගේම හිස් නීති රීති වලංගු වෙන්නේ මුං සංවේදී තැන් වලට විතරයි.

ඉතින් ඒකයි මුන් සංවේදි වෙන තැන් වලට හැකි උපරිමයෙන් ගහන්න ඕන කියල මම පුද්ගලිකව හිතන්නෙ.

මුං සංවේදී දේ උපහාසයට ලක් වෙන අවස්ථා වලදි කුණුහරප කියන අන්තවාදී ගොබ්බයන්ටයි
ඒ අවස්ථා වලදී කින්ඩි දැමීමේ අනවශ්‍යභාවය සහ අරමුණු ගැන ප්‍රශ්න කර කර බණ දේශනා කරන්න එන නිදහස් මතධාරීන් කියල කියාගන්න උන්ටයි කියන්න තියෙන්නේ එක දෙයයි.

හුකහන් මහත්වරුනි.


ප/ලි - මේක චෙස්ටර් ගැන කතාවක් නෙමේ. චෙස්ටර් රිලේට් වනවා මදි වගේ නම් සමාජයේ යම් පිරිසකගේ ආදරයට ගෞරවයට පාත්‍ර වෙච්ච වෙනත් චරිතයක් ආදේශ කරගෙන මේ සටහන නැවත කියවන්න.

Wednesday, July 19, 2017

බලු පැටව් සහ වසු පැටව්

පොෂ් බලු පැටව් දෙන්නෙක් විකුණන්න තියෙන වගක් අපේ ගෙදර උන්දෑලාට ආරංචි වෙලා.

බලු වරිගයයි මිල ගණනුයි කණ වැකුනයින් පස්සෙ අසුරු සැනින් එක මොහොතෙන් ඇති වෙච්චි බලු සුරතල් බැලීමේ ආශාව නිසා අපේ මෑණියෝයි නැගණියයි ගිහින් බලු පැටව් දෙන්නෙක් අරගෙන ඇවිත් [ආයේ ඉතින් සල්ලි සල්ලි කියලා බැලුවේ නෑ]

එක බලු පැටියෙක් අපේ මෑණියන්ගේ ගෙදරට. අනෙක් බලු පැටියා අපේ නැගණියගේ ගෙදරට.
බලු පැටව් දෙන්නා නිවුන්නු(ලු) [එකට උපදින බල්ලෝ කොහොමත් නිවුන්නු තමයි. ආයේ ඉතින් ඕක අමුතුවෙන් කියන්නත් දෙයක්යෑ]
වයස මාස දෙකක්, තුනක් විතර(ලු). එකම පාට. එකම විදිය.

වැඩේට මුලින් අකමැත්තෙන් හිටපු තාත්තත් පස්සෙ බලු සුරතල් දැකලා හිත වෙනස් කරගෙන. කොටින්ම කියනව නම් බල්ලෙක්ට, පූසෙක්ට තියා මනුස්ස පැටියෙක්ටවත් හිත උණු නොවෙන මමතුමාත් මේ බලු පැටියා එක්ක යාලු මිත්‍රකමක් ඇති කරගත්තා පැය ගාණක් ඇතුලත. [මම බල්ලා එක්ක යාලු වුනාට බල්ලා තවම මාව අඳුරන්නේ නැති එක වෙනම කතාවක්]

එක බලු පැටියෙක්ගේ නම ශැඩෝ, නම දාලා තියෙන්නේ අපේ මෑණියෝ.
අනික් බලු පැටියාගේ නම මැක්සි, නම දාලා තියෙන්නේ අපේ නැගණිය.

කෝමෙන් කෝම හරි දවස් දෙකක් මේම ගත වුනා. දවස් දෙකෙන් පස්සේ මගේ නැගණියතුමිය ආවා ඇයගේ බලු සුරතලාත් එක්ක අපේ මෑණියන්ගේ ගෙදර. එදා මමත් එහෙ..
දැන් ගෙදර බලු පැටව් දෙන්නයි !

ගෙදර උන්දෑලා සියල්ලෝම බලු සුරතල් බලනවා. ෆොටෝ ගහනවා. සෙල්ෆි ගහනවා. ඉඹිනවා. නටනවා. එක සෙල්ලමයි !
ටික වෙලාවක් ගත ගත වෙද්දි තක්බීර් වෙලා ඔහේ ඉන්න බලු පැටව් දෙන්නා වටකරගෙන දඟලලා, හුරතල් කරලා ඇතිවෙච්චි මහන්සියෙන් පොඩි බ්‍රේක් එකක් ගන්න නිසාදෝ කට්ටිය එහෙට මෙහෙට වුනා පොඩ්ඩ පොඩ්ඩ.
දැන් බලු අයියයි, බලු මල්ලියි එකට. තනියෙම. සෙල්ලම් කරනවා. පෙරළෙනවා. එකාගේ පිට අනෙකා නගිනවා. දඟලනවා.. [බලන්න ලස්සනයි ඈ]

ටික වෙලාවක් ඕම ඕම ගත වෙලා අපි අපේ කථා වලට සෙට් වෙලා ඉද්දි මෙන්න යකෝ බලු සහෝදරයෝ බලු සටනක් පටන් ගෙන..
එකෙක් අනිත් එකාව හපනවා, මූ අරූව හපනවා, අරූ මූව හපනවා, ආයෙත් මූ අරූව හපනවා, ආයෙත් අරූ මූව හපනවා.. [වලිය ටිකක් ඕවර් ද ටොප් ගියා කියල කිව්වොත් හරි]
බලන් ඉන්න බැරිම තැන නැගණිය සහ මෑණියන් වහා ඉදිරිපත් වෙලා තම තමන්ගේ බලු පැටවුන් ගත්තා අතට.
දෙන්නටම තරහයි බලු පැටව් එක්ක. තමාගේ බලු පැටියා එක්ක නෙමේ, තමන්ගේ බලු පැටියට රිද්දපු අනිත් බලු පැටියා එක්ක.

නංගිට තරහයි අම්මගේ බලු පැටියා එක්ක, අම්මට තරහයි නංගිගේ බලු පැටියා එක්ක.
ඒ අස්සෙ කට්ටිය බලු පැටව් දෙන්නව කම්පෙයාර් කරන්න අරගෙන. වඩා ලස්සන මොන එකාද, ෆයිට් එකෙන් දින්නේ මොන එකාද, දෙන්නගේ නම් වලින් ලස්සන මොන එකාද, අරකද මේකද..[සීරියස් නෙමේ ඉතින්, විහිලුවෙන්]

දෙගොල්ලන්ටම තමාගේ ගෙදර දවස් දෙකක් හිටපු බලු පැටියයි ලොකු.
එකම සමාන, එකම විදිය, නිවුන් බලු පැටව් දෙන්නෙක්ව දවස් දෙකෙන් තමාගේ සහ තමාගේ නොවන විදියට බෙදාගත්ත උන්දෑලා හොඳම බල්ලා තමාගේ එකා කිය කිය වාද කරනවා..

ටික වෙලාවකින් ආයේ බලු පැටව් දෙන්නා යාලු වෙලා කියහන්කෝ [කලින් තරහ වුනා කියල කියන්නෙත් ඉතින් අපිමනෙ]

ඔය වලි කතා අස්සේ… මේ සිද්ධියම වෙනස් ආකාර වලින් කීපාරක් නම් දැකලා ඇද්ද කියලා මමතුමා කල්පනා කරනවා..

කතාව ඉතින් එච්චරයි. නිමි ඈ.

ප/ලි - මේ බලු කතාවෙයි ලංකාවේ දේශපාලකයන්ගේ පැත්තක් අරන් වාද කරගන්න, මරාගන ජනතාවගෙ කතාවෙයි කිසිම සම්බන්ධයක් නෑ හරිය.

Tuesday, July 18, 2017

ඉරාජ්

කාලයක් තිබ්බා.
කෙල්ලෙක්ගේ තනකුයි, පුකකුයි, ජංගියකුයි නැතුවත් සින්දු හිට් කරගන්න පුළුවන් වුන.
මියුසික් වීඩියෝ එකට වඩා ඕඩියෝ එක බොක්කට වදින විදියේ සින්දු හැදුන.
සින්දුවෙන් ලැබෙන පණිවිඩිය මොකක්ද කියලා මිනිස්සුන්ට බලෙන් ඒත්තුගන්වන්න සිද්ධ
නොවුන.
එකපාරක් අහපු ගමන් වචන, තනුව මිනිස්සුන්ගේ ඔලුවේ හිටින විදියේ සින්දු හදන්න පුළුවන් මිනිස්සු හිටිය.

ඒ විදියේ "සිරා සින්දු" හදපු පොරක් හිටියා ඉස්සර.
ගොඩක් ඉස්සර.
පස්සේ ඌ නෙගටිව් මාර්කටින්ග් ඉගෙනගත්තා

මැරෙන එකේ අවුලක් නෑ.
පණපිටින් මැරෙන එකයි අවුල.
ඊටත් වඩා ලොකුම අවුල
තමන් මැරුනා කියල තමන් නොදන්න එක..



Friday, February 24, 2017

මචන්, දැන්වත් ඉස්කෝලෙන් අවුට් වෙයං

සයිබර් අවකාශය ආගමිකත්වය, ජාතිවාදය, වැනි ගෝත්‍රික සංකල්ප වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ මෙන්ම එම සංකල්ප දැඩිව විවේචනය කරන රැඩිකල් මතදාරීන්ගේ තෝතැන්නක්.

ඒත් මේ සමහර රැඩිකල් මතදාරීන්ගේ මතවාද වල තාප්පයටම කෙළ වෙලා පොලු ගැලවිලා යන යෝකර් එක විදිහට බණ්ඩා දකින්නේ ඔවුන්ගේ ලේ වල දුවන දැඩි පාසල් වාදය.

බණ්ඩාට ඉන්නවා කොළඹ හතේ මහ විසල් පාසලක ඉගෙන ගත්තු මිතුරෙක්. මේ මිත්‍රයා රටේ වගේම සමාජයේත් ඔහු දකින අඩු ලුහුඬුකම් අවංකව කොන්දේසි විරහිතව විවේචනය කරනවා කිසිම පක්ෂපාතීත්වයකින් තොරව.

ඒත් ඔහු කොයිම වෙලාවකවත් ඔහු ඉගෙන ගත්තු කොළඹ හතේ මහ විසල් පාසල කාටවත් විවේචනය කරන්න දෙන්නේ නෑ. එහෙම කරන කොට බණ්ඩාගේ මිතුරාට හරියට කේන්ති යනවා බණ්ඩා දැකලා තියෙනවා.

“මම මචන් ජාතිවාදයට විරුද්ධයි, ආගම්වාදයටත් විරුද්ධයි. ඒත් මම ඉගන ගත්තු මහ විසල් ඉස්කෝලේ කවුරුන් හරි විවේචනය කරද්දි මට මහ කේන්තියක් එනවා.
මට මාවම කියවගන්න බැරි වෙන්නේ ඒ වගේ වෙලාවට”

මේ පරස්පර විරෝධී හැසිරීම බණ්ඩාට පේන්නේ මහ විකාරයක් විදිහට

එක්තරා ආකරයකින් මේක හරිම උත්ප්‍රාස ජනකයි..!

ඇයි මෙහෙම වෙන්නේ?

බණ්ඩා ඉගෙන ගත්තේ ඔය සෝ කෝල්ඩ් මහ විසල් පාසලකින් නෙමෙයි. ඒත් බණ්ඩාට මහ විසල් පාසල්වල ඉගෙන ගත්තු යාළුවෝ ඉන්නවා. ඒ අය කියන දේවල් වල විදිහට බණ්ඩාට තේරුන දෙය තමයි ඒ අයට පොඩි කාළේ ඉදලම මේ මහ විසල් පාසල් ගැන විශේෂ හැඟීමක් ඔළුවට කාවද්දලා තියෙන බව

“මල්ලි අපිට අවුරුදු සීය ගාණකට වඩා වැඩි ට්‍රැඩිශන්ස් තියෙනවා. අපේම කියලා කල්චර් එකක් තියෙනවා. ඒවා අපි ආරක්ෂා කරන්න ඕන”

මේ මහ විසල් පාසල් වල දිවිහිමියෙන් අරක්ෂා කළ යුතු, ට්‍රැඩිශන්ස්, කස්ටම්ස්, නොර්ම්ස් තියෙනවා. ඒ මහ විසල් පාසල් වල කොටසක් වෙන්නනම්, මේ සම්ප්‍රදායන්, චාරිත්‍ර, සිරිත් විරිත් අකුරටම පිළිපදින්න ඕන.

මේ මහ විසල් පාසල් වල කොටසක් වීම මඟින් එම පුද්ගලයාට සාමාන්‍ය සමාජයෙන් වියුක්ත සුවිශේෂී ගෝත්‍රයකට ඇතුළු වෙන්න ටිකට් එකක් හම්බෙනවා.

“මල්ලි ඔයා අද ඉදලා ආනන්දියන් කෙනෙක් කියලා මතක තියා ගන්න”

“වන්ස් අ රෝයලිස්ට්, ඕල්වේස් අ රෝයලිස්ට්”

තමන් ගැන ආඩම්බර වෙන්න වෙන කිසිම දෙයක්, පුද්ගල දක්ශතාවක් නැති අයට පවා මේ මහ විසල් පාසල් ගෝත්‍රයට අයිති වීම නිසා එම පුද්ගලයට සමාජයේ සමාන්තර වයස් කාණ්ඩ වල අයවලුන්ට වඩා උසස් බව හැඟෙනවා.

මේකත් සුදු ජාතිකයෙක් වීම නිසාම ආඩම්බර වන, වර්ණ බේදවාදය පතුරන සුදු ජාතිකයන්ගේ KKK වගේ එක්තරා විදිහක ට්‍රයිබල් මෙන්ටලිටියක් කියලයි බණ්ඩාට හිතෙන්නේ.

මේ මහ විසල් පාසැල තුළදී පාසැල් ගීය, පාසැල් කොඩිය සහ පාසල් ලාංඡනය වගේ සංකේත කෙරෙහි වන්දනීය ස්වරූපයක් කුඩා කාලේ ඉදලම ළමා මනසට බලෙන්ම කාවද්දන නිසා කවුරුන් හරි මේ පූජනීය දේවල් විවේචනයට, ගැරහීමට ලක් කළහම මේ මහ විසල් පාසල් ගෝත්‍රිකයන්ට ගොඩක් කෙන්ති යනවා. ඒ වෙනුවෙන් ඔවුන් ගහ මරා ගන්න පවා යනවා.

බණ්ඩාට එතකොට මතක් වෙන්නේ හිට්ලර් සහ ස්වස්තික ලකුණ අතර ඇති දැඩි සහ සම්බන්ධය.

බණ්ඩාගේ මිතුරා මහ විසල් පාසලෙන් අස්වීම් සහතිකය අරගෙන ගොඩක් කලක් ගතවී ගිහිල්ලත් තම පාසලේ පාලකයින් ගැනත්, ගුරුවරුන් ගැනත්, තම පාසැල් සිසුන්ගේ විනය පිළිබඳවත් දක්වන්නේ දැඩි සැළකිල්ලක්.

“ගිය පාර පැරේඩ් එකේ අලියෙකුත් ගියා, මේ පාර කෝ අලියා?”

කිසිදා පිටුනොපාන මේ දැඩි භක්තිය, ශුද්ධවූ ළැදියාව දෙවෙනි වන්නේ කුමකටද කියන එක වෙලාවකට බණ්ඩාට ප්‍රශ්නයක්.

ඒ ආදරය, භක්තිය හිමිවන්නේ අනෙකාගෙන් තමන්ව වෙන් කරන, සුවිශේෂ කරන, ඔවුන්ගේ මනසේ ඇඳුන සර්වසම්පූර්ණ සංකල්ප පද්ධතියකට කියලා බණ්ඩාට හිතනවා.

මේ විසල් පාසල් වලින් නිර්මාණය කොට පුහුණු කරනු ලබන්නේ තමාගේ කණ්ඩායමට කොන්දේසි විරහිත ඇල්මකුත් තමාගේ නොවන කණ්ඩායම් වලට එදිරිවාදී හැඟීමකුත් දනවන චින්තන රටාවක්

පාසල්වාදයෙන් ආරම්භවන මේ චින්තනයේ පදනමම ජාතිවාදය සහ ආගම් වාදය වගේ ගෝත්‍රික සංකල්ප වලටද මූල බීජය වනවා

අනෙකාට වඩා තමන් උසස්ය, සුවිශේෂීය කියා උගන්වන.. සමාජයේ අනෙකාගෙන් තමන්ව වෙන්කරන අනන්‍යතාවයක් නිර්මාණය කෙරෙන.. මහ විසල් පාසැලකට කොන්දේසි විරහිත පක්ෂපාතීත්වයක් දක්වන රාමුවකට හිරවි සිටින පරපුරක්, මානව සංහතියට පොදුවේ ආදරය දක්වන්න පුළුවන් වෙයි, අනෙකාගේ දුකේදි සහකම්පනය වෙයි කියලා බණ්ඩා හිතන්නේ නෑ.
මේ පටු අදහස් වලින් ඤාණය නිවහල් කර ගන්න, වර්ගවාදී, ගොත්‍රවාදී, ආගම්වාදී (religion based), ලිංග බේදවාදී (gender based), අධ්‍යාපන ක්‍රමය සහමුළින්ම කඩා බිඳ දමලා බින්දුවෙන්ම පටන් ගන්න ඕන කියලයි බණ්ඩාට හිතෙන්නේ.

ඒක පටන් ගන්න නම් ඉතින් තිහ, හතළිහ පැනපු අන්කල්ලා සෙට් එක මුලින්ම මේ මහ විසල් පාසල්වලින් අවුට් කරගෙන ඉන්න වෙනවා.

මචන්.. රටයි ලෝකෙයි හදන්න කලින් පින් අයිතිවෙයි ඉස්සෙල්ලාම ඉස්කෝලෙන් අවුට් වෙලා හිටහං…!

- පැරණි සටහනකි

Thursday, February 23, 2017

මරණීය දණ්ඩනය එපා !

මරණීය දණ්ඩනය යනු යම් පුද්ගලයෙක් විසින් සිදුකල අපරාධයක් නිසා නීතියේ අවසරය සහිතව එම පුද්ගලයාව ඝාතනය කිරීමයි. “මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතුය” යන ස්ථාවරය දරන්නන් විසින් මරණීය දණ්ඩනය සිදු කිරීමේ අරමුණු ලෙස ඉදිරිපත් කෙරෙන කාරණා කිහිපයක් වේ. ඒ අතර අපරාධය සිදු කළ පුද්ගලයාගෙන් සමාජයට සිදුවන හානිය වැලැක්වීම, අනාගතයේ සිදුවන අපරාධ අඩු කිරීම, ඔහු කල අපරාධයට දඬුවමක් නියම කිරීම තුලින් යුක්තිය ඉටු කිරීම වැනි දේ වේ. නමුත් ගැටලුව වනුයේ මෙකී හේතූන් මගින් මරණීය දණ්ඩනයේ අවශ්‍යතාවය පිළිඹිබු කරන්නේද යන්නයි.

අපරාධකරුවෙකු පණපිටින් අල්ලා ගත් පසු ලැබෙන විකල්පයන් නම් ඔහුව ඝාතනය කිරීම හෝ ඔහුව සමාජයෙන් වෙන්කර තැබීමයි. මේ ක්‍රම දෙකෙන්ම පැහැදිලිවම ඔහුගෙන් සමාජයට විය හැකි හානිය සම්පූර්ණයෙන්ම වැලැක් වේ. මෙහිදී සදාචාරාත්මකව සහ මානුශීය අතින් ගත් විට පැහැදිලිම විකල්පය නම් ජීවීතාන්තය දක්වා ඔහුට සමාව දිය නොහැකි කොන්දේසිය යටතේ සිරගත කිරීමයි. මේ විකල්පය අප සතුව තිබියදී මිනිසෙක්ගේ ජීවත්වීමේ අයිතිය නැති කිරීමට හේතුවක් මම දකින්නේ නැහැ. අපරාධකාරයෙක්ට වුවත් ජීවත් වීමේ අයිතියක් තිබෙනවා. අපරාධකාරයෙක්ව මැරීම අනුමත කිරීම මිනීමැරීම වැරදි නිසා මිනීමැරීම නොවේද? මිනීමැරීම වැරදිබව පෙන්වීමට, මිනීමැරීම ප්‍රතික්ශේප කිරීමේ අරමුණුන් නීත්‍යානුකූලව මිනීමැරීම සාධාරණද?

මරණීය දණ්ඩනය අනුමත කරන අයගෙන් සියල්ලන් නොවුනත් බොහෝ අය එම මතයේ සිටීමට හේතුව නම් මිනිස් සිතේ පහලවන පලිගැනීම යන හැගීමයි. අදාල පුද්ගලයා නිසා මිනිස් ජීවිත වලට, සමාජයට සිදුවූ හානිය සහ ඔහුගේ හැසිරීම නිසා ඇතිවූ කේන්තිය හේතුවෙන් බොහෝ අය මරණීය දණ්ඩනය අනුමත කිරීමට පෙළබේ. අමානුශික අපරාධයකින් පසු එම අපරාධය සිදුකල පුද්ගලයා ඝාතනය කල යුතු ආකාරය සහ ඝාතනය කිරීමට යොදාගත යුතු නොයෙකුත් ක්‍රම ගැන මිනිසුන් පලකරන අදහස් වලින් මේ බව පැහැදිලි වේ. මෙහිදී ඔවුන්ට අමතක වන දෙය නම් ඔවුන් මොහොතකට හෝ ඔවුන් විසින් පිලිකුල් කරන එම අපරාධකාරයාගේ තත්වයටම නොදැනුවත්වම වැටී ඇති බව. හැඟීම් වලට වහල් නොවී බුද්ධියෙන් තීරණ ගත යුතු බව අමතක නොකල යුතුයි.

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතුය යන ස්ථාවරය දරන්නන් ගෙන එන තර්කයක් නම් මරණීය දණ්ඩනය හේතුවෙන් සමජයේ අපරාධ අඩුවන බව. නමුත් සංඛ්‍යා ලේඛන අනුව පෙනීයන්නේ එය අසත්‍යයක් බවයි. උදාහරණයක් ලෙස, මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන ඇමරිකාවේ ප්‍රාන්ත වල මිනීමැරුම් ප්‍රමාණය මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොකරන ප්‍රාන්ත වල මිනීමැරුම් ප්‍රමාණයට වඩා වැඩි වීම දැක්විය හැකිය.

මරණීය දණ්ඩනය සාධාරණීකරණය කරන්නන් විසින් ඉදිරිපත් කරන තවත් තර්කයක් නම්, මරණීය දණ්ඩනය හේතුවෙන් අනාගතයේ සිදුවිය හැකි අපරාධ අඩුවන බවයි. නමුත්, මෙහිදී මරණයට ලක්වන අපරාධකරුවා දඩුවම් ලබන්නේ තමා කළ වරදට මෙන්ම අනාගතයේ “විය හැකි වැරදි” වලටය. ඔහුට තමාගේ වරදට අමතරව අනාගතයේ අන් අය අතින් “විය හැකි වැරදි” වලට ද දඩුවම් කිරීමේ සදාචාරාත්මකභාවය ගැන මෙහිදී ගැටලුවක් මතු වේ.

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ තවත් අයහපත් ප්‍රතිඵලයක් වනුයේ වැරදි නොකල මිනිසුන් ද මරණීය දණ්ඩනයට නියම වීමට ඇති අවදානම යි. අපරාධ පර්යේෂණ වල සිදු වූ යම් යම් අතපසුවීම් නිසා නිර්දෝෂී පුද්ගලයින්ව වැරදිකරුවන් කර ඔවුන්ට මරණ දඩුවම ලබාදුන් පසු ඔවුන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු වූ අවස්ථා ඉතිහාසයේ ඕනෑ තරම් දක්නට ලැබේ.

මරණීය දණ්ඩනය අනුමත කරන අය සැලකිය යුතු තවත් කරුණක් වන්නේ තමා විසින් තම ආණ්ඩුවට තම රටවැසියන් ඝාතනය කිරීමට “බලපත්‍රයක්” ලබා දෙන බව. බොහෝ අවස්ථාවලදී රැවටීම, තණ්හාව, කෲරත්වය වැනි ලක්ෂණ පෙන්වන ආණ්ඩුවට සහ බොහෝ විට එහි සාමාජිකයින්ට නීත්‍යානුකූලව මිනීමැරීමට සහය ලබා දෙනබව. “දේශද්‍රෝහී වීම” යන චෝදනාව යටතේ මරණ දඬුවම නියම වීමේදී මේ ප්‍රශ්නය වඩාත් උග්‍ර තත්වයට පත්විය හැකියි. මෙහිදී මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ වගකීම ලැබෙන්නේ ද රටේ ආණ්ඩුවටයි. රටේ බොහෝ වගකීම් ගැන ආණ්ඩුව ගැන විශ්වාසයක් නොදක්වන අය මරණීය දණ්ඩනය, එනම් අපරාධකාරයාව මරණයට පත් කරන ආකාරය (උදා- විදුලි පුටුව, එල්ලුම් ගහ), නියමිත ක්‍රමයට, මානුශීය ලෙස ක්‍රියාත්මක කිරීම ගැන සම්පූර්ණ විශ්වාසය තබා ඇති අයුරු පුදුම සහගතයි.

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමෙන් සමාජයකට සිදුවන බලපෑම ද නොසලකා හැරිය නොහැකියි. මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වන ඇතැම් රටවල සමහර අවස්ථාවන් වලදී යම් අපරාධකරුවෙකු ඝාතනය කරන විට එම ස්ථානයට රැස්වන මිනිසුන් ඔල්වරසන් දෙනු දක්නට ලැබේ.. මිනීමැරීම් සමරන සමාජයක් බිහිවීම මේ තුලින් නොදැනුවත්ව හෝ සිදු වේ.

එමෙන්ම, අපරාධකරුවන් අතර සිටින විවිධ මානසික විකෘතිතාවයන් නිසා අපරාධ කිරීමට පෙළඹුන අයව ඝාතනය කිරීම නොවේ අප කළ යුත්තේ. අප විසින් කළ යුතු වන්නේ ඔවුන්ව නිසි වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු කරන ඔවුන්ගේ රෝගය සුව කිරීමට උත්සාහ ගැනීමයි. ඔවුන් එම රෝගයන්ගේ ගොදුරු බව අප අමතක නොකල යුතුයි. හැගීම් වලට වහල් නොවී බුද්ධියෙන් විමසා බැලීමට හැකිනම් පෙනී යන්නේ ඔවුන්ට හිමිවිය යුත්තේ අනුකම්පාව බවයි

වැරදි වලට දඩුවම් ලැබීමට සුදුසු බව අපට තීරණය කල හැකි වුවත් ලෝකය සහ මිනිසුන් විදිහට වර්තමානයේ අපේ ක්‍රියාකලාපයන් සහ හැසිරීම දෙස බැලූ විට පෙනී යන්නේ කුමන වරදකට හෝ අල්ලා ගත් මිනිසෙක් ඝාතනය කරන්න පුලුවන්ද කියන එක තීරණය කරන්න පුලුවන් තත්ත්වයක අප නැති බවයි. ප්‍රශ්නය නම් නීතියේ රැහැනට හසුවූ අපරාධකාරයෙක් මරණයට සුදුසුද යන්න නොවේ. නීතියේ රැහැනට හසුවී සමාජයට තවදුරටත් හානියක් නොවන අපරාධකරුවෙක්ව ඝාතනය කිරීමට ශිෂ්ඨ සම්පන්න මිනිසුන් යැයි කියා ගන්නා අපට අයිතියක් තිබේද යන්නයි.

Wednesday, December 7, 2016

වතු සුද්ද කරන මිනීමරුවා

අපේ පැත්තේ වතු සුද්ද කරන මිනිහෙක් හිටියා. මිනිහට හැමෝම කැමැත්තෙන් හිටියෙ. මොකද මෑන් වත්තක් සුද්ද කලොත් ආයේ තණකොළ මැෂින් එකෙන් කපලා වගේ ගාණට, හැම ගහකම වේලුනු අතු කපලා, කුණු රොඩු ටික පිළිවෙලකට අස් කරලා. හවස් වෙද්දි බලන්න ආසයි.

ඒත් ටික කාලෙකට පස්සේ මිනිස්සුන්ට තේරුනා මෑන් ලස්සනට වතු සුද්ද කලාට මෑන් වැඩ කලයින් පස්සේ ගෙදර හරි වත්තේ හරි බඩු මොනව හරි මිසිංග් වෙනව කියල. උදලු, කොසු වල ඉඳන් ගෙවල් ඇතුළෙ තිබ්බ වටිනා බඩු භාණ්ඩත් මිසිංග් වෙනවලු.

පස්සෙ ඔක්කොමල්ලට තේරුනා මුගේ වැඩ හොඳ වුනාට මූ පල් හොරෙක් කියල. එදා ඉඳන් කොච්චර ලස්සනට සුද්ද කරන මිනිහෙක් වුනත් ගමේ මිනිස්සු මෑන්ස් ව ගෙවල් වලට වද්ද ගන්නෙ නෑ. එළෝලම දානවා.

පස්සේ දැනගත්ත විදිහට මෑන්ස්ට හරියට තරහත් යනවලු. කා එක්ක හරි කොක්කක් දාගත්තොත් බාවලා තමයිලු නවතින්නේ. ගිය අවුරුද්දේ හන්දියේ මිනිහෙක් එක්ක වලියක් දාගෙන අදටත් ඒ මනුස්සයාව හොයා ගන්න නෑලු. අතුරුදන් ලු. අන්තිමට ඒ මනුස්සයාව කට්ටිය දැකලා තියෙන්නේ සුදුපාට බස් එකකට නඟිද්දිලු. එදයින් පස්සෙ ආගිය අතක් නෑලු.

ඒ මනුස්සයා ගැන අහද්දි වතු සුද්ද කරන මෑන්ස්ට කේන්ති ගනවලු අම්බානට. මෙච්චර මිනිස්සු අතුරුදන් වන රටේ ඇයි ඌ ගැනම අහන්නේ කියල කෑගහනවලු.

තැනින් තැන කතාවක් ගියා ගමේ එක ගෙදරක මුගෙ හොරකම ගණන් නොගෙන වත්ත සුද්ද කරගන්නව කියල. මොකද මෑන්ගෙ වැඩ හොඳ නිසා. ඒ ගෙදර ඉන්නෙ ටිකක් මෝඩ පහේ පවුලක්.

වෙන උන් ගැන නම් මම දන්නෙ නෑ. අපේ ගෙදරට හෙම ආයේ ඕකා ආවොත් හෙම සලකන්නේ ආයෙ මේ පැත්ත පලාතේ නොඑන්න.

කොච්චර හොඳට වතු සුද්ද කලත් හොරා හොරාමයි නොවැ. මිනීමරුවා මිනීමරුවාමයි.

නැද්ද මං අහන්නේ?


Monday, August 8, 2016

මචන්, මහින්ද අදහන්න එපා

මචං..

මම මේ ටික ලියන්නෙ උඹේ එක පෝස්ට් එකක් දැකල නෙමෙයි. කාලයක් තිස්සෙ උඹේ දැකපු හැසිරීම නිසා.

දේශපාලකයෙක්ට හරි දේශපාලන පක්ෂයකට හරි කඩේ යන එක තේරුම් ගන්න පුළුවන්. ඒත්, දේශපාලකයෙක්ව පශ්චාත්භාගය ඉරාගෙන "අදහන" එක තේරුම් ගන්න බැහැ. ඒක වස කැතයි.

ඒ කැත මහින්ද නෙමේ, රනිල්, මෛත්‍රී, අනුරලාව දෙවිවරු කරගෙන ඇදහෙව්වත් එකයි.

උඹ බුදුන්ව හරි ජේසුස්ව හරි අල්ලාව හරි අදහනව නම් උඹ අදහන්නේ සංකල්පයක් මිසක, මනුස්සයෙක්ව නෙමේ. ආගමික නායකයෙක්ව ඇදහීමයි, අමු අමුවේ පණ පිටින් ඉන්න මනුස්සයෙක් අදහන එකයි එකක් නෙමේ මචන්, දෙකක්.

තව දෙයක් මචන්, මතක තියාගනින් උඹ අදහන්නේ නිකම්ම නිකන් මනුස්සයෙක්ව නෙමේ.. දේශපාලකයෙක්ව බව. බලය වෙනුවෙන් ඕනම ජඩ වැඩක් කරන්න ලෑස්ති අවස්ථාවාදියෙක්ව බව. මේ කතාව මහින්දට විතරක් නෙමේ, ඕනම දේශපාලකයෙක්ට පොදුයි.

දැන් උඹ හිතයි, ඕනම දේශපාලන පක්ෂයකට කඩේ යන මිනිස්සු ඉන්නවය කියල. කතාව ඇත්ත. නමුත් මචන්, මහින්ද වෙනුවෙන් හැදිල තියෙන මේ 'කල්ට්' හැසිරීම තමාගෙ වාසියට දේශපාලකයෙක්ට කඩේ යන මනුස්සයෙක්ව පෙන්නලා සාධාරණීයකරනය කරන්න බැහැ.

උඹ එකදිගට අන්ධ බැතිමතෙක් වගේ දේශපාලකයෙක් අදහන ගමන් ඒ හැසිරීම ප්‍රශ්න කරන අයගෙන් අහනව "රිදුනද?" කියල.

රිදෙන්න මචන් මම කාටවත් කඩේ යන්නේ නෑනෙ. රිදෙන මිනිස්සුත් ඇති. ඒත් මොහොතකටවත් හිතන්න එපා මේ 'කල්ට්' හැසිරීම නිසා ඔක්කොටම රිදෙනව කියල. මේ හැසිරීම දැකල නොරිදෙන, උඹේ හැසිරීමේ තියෙන අන්ධබව අමු අමුවෙන් දකින මධ්‍යස්ථ මිනිස්සු කොටසකුත් ඉන්න බව මතක තියා ගනින්.

අන්තිමට උඹට මේ ටික කියන්නම් මචන්.. අපි එක එකාට තියෙන්නෙ එක එක ආතල්. ඒ ආතල් ඔක්කොම තර්කයෙන් සාධාරණීයකරනය කරන්න බෑ. මේක උඹේ ආතල් එක වෙන්න ඇති..මහින්දව අදහන එක !

මේක ලියන්නෙ උඹේ යාතිකා දැකල එපා වීම නිසා මිසක උඹ එක්ක තියෙන පුද්ගලික තරහකට නෙමේ.

මට බෑ උඹේ වටිනාකම් වෙනස් කරන්න. එහෙම කරන්න ඕනත් නෑ. ඒත්, ඔය මහින්ද අදහන කල්ට් එකේ සමාජිකයෙකු වීම ගැන පුළුවන් නම් විතරක් ආයෙ හිතල බලහන්. මම එච්චරයි කියන්නෙ මචන්. ජය !

Monday, June 27, 2016

කලාකරුවා නම් වූ යාචකයා



“කලාකාරයෝ කියන්නේ හරිම සංවේදී මිනිස්සු”

ඒ කලාකරුවන්ගේ මුවින් නිතරම පිටවන වදන් පෙළකි.

"අපි කලාව විකුණනෙ නෑ, මම කලාව කරන්නේ මුදලට නෙමේ, කලාව විකුණලා බඩගෝස්තරය රැකගන්න හදන මිනිස්සු නෙමේ අපි"

ඒ කලාව ගැන කතා කරද්දි ඔවුන් කියන කතාය.

බහුතරයක් කලාකරුවන් තමාව හඳුන්වාගන්න කැමති එසේය. සමාජය ඉදිරියේ තමාගේ ප්‍රතිරූපය හෙවත් තමාගේ ඉමේජ් එක හදාගන්න කැමති එසේය.

ඔවුන්ගේ කැමැත්ත තමන් සමාන්‍යයන්ගෙන් වෙනස් අමුතුම මිනිස්සුන් කණ්ඩායමක් විදියට හඳුන්වා ගැනීමටය. තමාගේ වෘතිය සමාජයේ අනිත් මිනිස්සුන්ගේ වෘතීන්ගෙන් වෙනස්, වෙනම තලයක වෘතියක් විදියට හඳුන්වා ගැනීමටය.

ඒහෙත් බොහෝ වෙලාවට ඔවුන් හදාගන්නට හදන ඔය ‘අමුතු’ ස්ටේටස් එක ඇතුළේ ඇත්තේ ව්‍යාජතවයක් මිසක යථාර්තයක් නොවේ.

කලාකරුවා කියන සංවේදී අමුතු මනුස්සයා රකින ඒ තත්වය හෙවත් ස්ටෑන්ඩර්ඩ්
එකට කෙළවෙලා යන්නේ, ඔහුත් අනිත් මිනිසුන් සේම මුදලට වැඩ කරන කෙනෙක් කියන යථාර්තය පිළිගන්න සිද්ධ වුවහොත්ය.

කලාකරුවා යනු ඔබ අප වගේම ලේ ඇට මස් නහර වලින් හැදුන, අපේම සමාජයේ ජීවත් වෙන, අපිටම තියෙන අවශ්‍යතා තියෙන, දවස ගානේ අපිම මූණ දෙන ප්‍රශ්න වලට මූණ දෙන, අපි වගේම නිකම්ම නිකන් මනුස්සයෙක් යන යථාර්තය කලාකරුවා සඟවන්නට තනන්නේ එබැවිනි.

කලාකරුවා නම් සංවේදී මිනිසා යන බෝඩ් ලෑල්ල පිටුපස සැඟව ඇති අමිහිරි යථාර්තය එයයි.

තමන්වම සහ සමාජයම රවට්ටගන්නා කලාකාරයො බොහෝමයක් දෙනා පත්වෙලා තියෙන තත්වය මොනවගේද?

ඔවුන් බොහෝමයක් දෙනා ජීවිතේ අන්තිම කාලය ගත කරන්නේ අතේ පිච්චියක් නැති හිඟන්නො බවට පත් වී තමා කල ‘සේවය’ වෙනුවෙන් සමාජයෙන් හිඟමන් යදිමිනි.

ඔවුන්ට ඒ ඉරණමට මූණ දෙන්න වන්නේ තමාගේ හැකියාවට නිසි මිලක් නියම කරගන්න හැටි නොදැන, තමාට හැකි කාලයේ උපයන මුදල් නිසි ලෙස කලමණාකරනය කරන්නෙ නැතිව නැති නාස්ති කරගත්ත නිසා මිසක, ඔවුන් මුදලට තමාගේ හැකියාවන් විකුණන එක ප්‍රතික්ෂේප කරපු උතුම් මිනිස්සු නිසා නොවේ.

මේ ප්‍රවණතාවයේ වෙනසක් දකින්න හැක, වර්තමානයේදී. අතීතයට සාපේක්ෂව.

උදාහරණයකට භාතිය සන්තුෂ් ගමු. දශකයකට වැඩි කාලයක් පුරා එකම තත්වයෙන් ඔවුන් තමාගේ ක්ෂේත්‍රයේ ස්ථාවරත්වයක් රඳවාගෙන ඉන්නේ ඔවුන්ගේ නිර්මාණාත්මක හැකියාවට වගේම ඔවුන්ගේ සාර්ථක කලමණාකරනය නිසාය. සරලවම කියනව නම් ඔවුන් හොඳ කලාකරුවන්ට අමතරව හොඳ බිස්නස්කාරයන් වීම නිසාය. (මේ කතා කරන්නේ මාර්කට් එක හරියට කියවලා වැඩ කරපු විදියේ කළු සුදු බව ගැන නොවේ, භාතිය සන්තුෂ්ව අතීත කලාකාරයන්ට සමාන කරනවත් නොවේ)

‘කලාකරුවා’ යනු තවත් එක් වෘතියක් මිසක පූජ්‍ය පක්ෂය මෙන් සමාජයෙන් නඩත්තු කල යුතු පිරිසක් නොවේ. කලාකරුවාට වගේම කලා නිර්මාණයකට පැහැදිළිවම මිලක් තිබේ. එය සැවොම දන්නා කතාවක්, ඔය යථාර්තය කොළේ වහල යටගහන්න හදන්නේ කලාකරුවාම මිසක වෙන කවුරුත් නොවේ.

ඒ යථාර්තය අපි පිළිගත යුතුය. ඒ යථාර්තය කලාකරුවා පිළිගන්න යුතුය.

තමා කරන්නේ “සේවයක්ය” කියන බේගලේ පැත්තකින් තබා තමා කලමණාකරනය කරගන්න තමා වගකීම කලාකරුවා ගත යුතුය

තමාගේ වෘතිය, වෘතියක් විදියට පිළිඅරගෙන, එය මනා සැලසුමක් තියාගෙන හරියට කලමණාකරනය කරගන්න සමත් වුන දවසට කලාකරුවාට මේ සමාජයේ පැවත්මක් තිබෙනු ඇත.

ඒ වගකීම අරන්, ඒ අනුව වැඩ කරන්න ගතහොත්, කලාකරුවා කියන කෙනාට මීට වඩා ගෞරවාන්විත තැනක් සමාජයේ හිමිවනු ඇත.

එහෙම දවසකදි ජීවිතයේ අන්තිම කාලයේදී සමාජයෙන් හිඟා නොකා ගෞරවයෙන් හිස කෙළින් තියාගෙන අවසන් ගමන් යන්න පුළුවන් වනු ඇත.

Monday, May 9, 2016

මෛත්‍රී, අපි ආයෙත් ඉවසන්නද ..?


නිකමට වගේ හිතට වැදුන පරණ සිංදුවක් අහන්න හිතුනා

කාටද මතක මේ සින්දුව?

"ආයේ ආයේ නොම ඉවසන් !"

අදුරෙන් එලියට
සිය දිනකින් අලුත් රටක් !

මෛත්‍රී,

මතකද උඹ මිනිස්සුන්ට පෙන්නුවා

දූෂණයෙන් තොර, මර්ධනයෙන් තොර, පවුල් පාලනයට තිත තියපු, කුඩුකාරයෝ වංචාකාරයෝ පාලකයෝ නොවන, මිනිස්සුන්ගෙන් ගසාකන උන්ට එරෙහිව නීතිය අකුරට ක්‍රියාත්මක වෙන, ප්‍රජාතන්ත්‍රවාදයෙන් පිරුණු

අලුත්ම රටක් ගැන හීනයක්...!?

ඒ ජෝක් එක නම් පට්ට ඕයි.

අම්මපා..!

අමර බන්දු රූපසිංහ
අමරබන්දු...රූපසිංහ
අමර බන්දු රූප....සිංහ
අමරබන්දුරූපසිංහ

මෛත්‍රී, අපි ආයෙත් ඉවසන්නද ..?

Thursday, April 28, 2016

රජතුමාට නිකමෙක් කුණුහරපෙන් බැනලා !

රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තකට රටට ඇතුල් වෙන විදෙස් රටක නායකයෙක්ගෙ ඔලුවට තුවක්කුවකින් කෙළලා අරින එකෙක් අපිට වීරයෙක් වෙද්දි, අපේ රටේ 'හොඳ' ජනාධිපතිට කුණුහරපයක් කියන එකෙක් අපිට දුෂ්ඨයෙක් වෙනවා.

ඒක තමා අපේ ශිෂ්ඨත්වය, සභ්‍යත්වය.. හැදියාව

රජ්ජුරුවන්ට කුණුහරපෙන් බනිනවද එහෙම?

අපි දැනගන්න ඕන අපේ තැන ඉන්න

රජතුමා කොච්චර අවලම් වැඩ කලත්, ඒවාට අවලම් වැඩ කියන්න හොඳ නෑ...

රජතුමා කොච්චර පොන්න වැඩ කලත් ඒවාට පොන්න වැඩ කියන්න හොඳ නෑ.. නෑ..

රජතුමා ගමරාල කෙනෙක්ගේ භූමිකාවයි ජනාධිපතිතනතුරේ භූමිකාවයි තේරුම් ගන්න තරම් බුද්ධියක් නැති ගොං වහන්සේ කෙනෙක් වුනාට එතුමාට ගොං වහන්සේ කියන්න හොඳ නෑ. නෑ..නෑ..

රජතුමා රාජ්‍ය පාලනය සම්බන්ධ තීරණ පත්තරෙන් දැනගන්න, රටට වඩා පක්ෂය ලොකු කරගත්ත, පඹ ගාලක පැටලුන කොයිතරම් කාලකණ්ණි පිස්සු *කන්නෙක් වුනත් එතුමට එහෙම කියන්න හොඳ නෑ..නෑ.නෑ..නෑ

"රජතුමෙනි.. සොරි.. ගමරාළතුමෙනි.. ඔයා හරීම.. නරක සමනලයෙක් !"

පලාත් සභා මන්ත්‍රීකෙනෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්, ඇමති කෙනෙක් හෙම සාමාන්‍ය මනුස්සයෙක්ට කුණුහරපයෙන් ඔහොම කතා කලොත් එදාටත් ඔය ඉක්මනින්ම ඌවත් අල්ලලා හිරේ දායි මයෙ හිතේ..

ඒක නං මට ඉර හඳ වගේ විස්සාසයි

මොකද අපි ජීවත් වෙන්නෙ අශිෂ්ඨත්වය ඉදිරියේ අකුරටම නීතිය ක්‍රියාත්මක වෙන රටකනෙ...හා නැද්ද?

පොඩ්ඩක් නික..මට වගේ නිකන්ම නිකන් හිතල බලන්න.

වෙන වෙලාවට ක්‍රියාත්මක නොවෙන නීතියක් මෙවෙලේම අකුරට ක්රියාත්මක වෙන එකෙන් හිතෙන්නෙ නැද්ද මේක සාමාන්‍ය මනුස්සයෙක් සහ ජනාධිපති කෙනෙක් අතර ප්‍රශ්නයක් නෙමේ..

මහජනතාව සහ පාලකයො අතර ප්‍රශ්නයක් කියල..

මේකෙන් පාලකයා දෙන්නෙ මැසේජ් එකක්. ඒ මැසේජ් එක තමයි නීතිය කියන්නෙ ඌට ඕන වෙලාවට ඌට ඕන විදියට ඌට ඕන අයට විරුද්ධව පාවිච්චි කරන්න තියෙන අවියක් කියන එක..

ඒ අවිය නියම එල්ලයට නියම වෙලාවට ඉලක්ක වෙන්නෙ අනිත් පැත්තෙ සාමාන්‍ය මනුස්සයෙක් ඉද්දි විතරයි..

අනිත් පැත්තෙ ඉන්නේ වෙන එකෙක් නම්, ඒ කිව්වෙ බලය තියෙන එකෙක් නම්.. එතනදි නීතිය ක්‍රියාත්මක වීමේදී පොඩි කන්ඩිෂන් බලපානව.. කාලගුණ තත්වය, වාතයේ අර්ද්‍රතාවය, කාමර උෂ්ණත්වය.. ඔය  ඔක්කොම සලකලා බලලා හිත නොරිදෙන ඇඟ නොරිදෙන විදියට ඉස්පිරිතාල පහසුකම් හෙම එක්කයි ලාවට වගේ නීතිය ක්‍රියාත්මක කෙරෙන්නෙ.

ඔය බැනපු මනුස්සයා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙලා.. ඔහොම බැන්නෙ වෙන කෙනෙක්ට නම්.. දවස් දෙක තුනකින් සීන් එක අමතක වෙලා ගිහින් මෛත්‍රීගේ ආණ්ඩුවට පැනලා ඇමතිකමකුත් ගන්න තිබ්බා..

කියනවට නිකන්.. නික...මට හිතන්න.. හිතල බලන්න

බොරුද කියල?

ප/ලි - 

එක,

රජීව් ගාන්ධි රටට පැමිණීමේ හරි වැරැද්ද වෙනම කාරණයකි. මිනිස්සු අකමැති නිසා රජීව් ගාන්ධිගේ ඔලුවට තුවක්කුවෙන් ගහන එක නිවැරදි නම්, හෙට රටෙන් බහුතරයක් මෛත්‍රීට අකමැති වුනොත් හෙට හවසට අරූම කුණුහරපෙන් වීඩියෝ එකක් ගහලා අප්ලෝඩ් කිරීම නිවැරදි විය යුතුය.

දෙක,

මේ සම්බන්ධව නීතිය කුමක්ද කියා දනිමි. නීතිය ඉදිරියේ තීරණය වෙන්නේ යමක හරි වැරැද්ද නොව යමක නීත්‍යානුකූලද නැද්ද පමණක් බවත් සඳහන් කරමින් සටහන අවසන් කරමි.

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...