Friday, August 4, 2017

අංකල්

දැන් ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුරුදු වෙලා හිටියට ඉස්සර මම ෆිල්ම්ස් බැලුවේ ගෙවල් ලඟ තිබ්බ DVD ශොප් එකෙන් රෙන්ට් එකට අරගෙන.

ඩීවීඩී කඩේ හිටියේ අංකල් කෙනෙක්. මම අංකල්ව හඳුනගද්දි අංකල්ට වයස පනස් පහක් විතර ඇති. මට වයස මං හිතන්නෙ දහහතරක් පහලවක් විතර වෙන්න ඇති මතක විදියට.

ආ.. අමතක වුනා. අංකල්ගෙන් මුලින්ම ගත්තේ DVD නෙමේ. සීටී තැටි. පස්සෙ තමා DVD වලට මාරු වුනේ. ඊටත් කලින් පොඩිම කාලේ ෆිල්ම්ස් බැලුවේ හන්දියේ තිබ්බ පෙරේරා කියන වීඩියෝ ශොප් එකෙන්. ඒකෙන් බැලුවේ DVD වත් සීඩී තැටිවත් නෙමේ VHS තමා. මම තාම ආසම කරන Terminator 2 වගේ ෆිල්ම්ස් බැලුවේ VHS හෙවත් ඩෙක් පීස් වලින්. අම්මගෙන් රුපියල් විසිපහක් ඉල්ලගෙන අම්මගෙම අයිඩෙන්ටි(ටි) කාඩ් එක දීලා තමා ඩෙක් පීස් ගන්නේ.

කොහොම හරි අංකල්ගේ කඩෙන් DVD එකක් ගත්තම රුපියල් පනහයි. දවස් තුනක් තියාගන්න පුළුවන්. අංකල් මගෙන් දඩ සල්ලි නොගත්තට වෙලාවට ගිහිල්ලා දෙන්නේ යුතුකමක් විදියට වගේ. වෙන අයගෙන් පරක්කු වුනාම දඩ ගත්තට මගෙන් ගත්තෙ නැත්තෙ මම අංකල්ගේ නොම්මර එකේ කස්ටර්මර් කෙනෙක් වුනාටත් වඩා ගිහින් කයිය ගගහා ඉඳලා දෙන්නා අතර ඇති වුන ෆිට් එක නිසාමයි.

සමහර විට ඩීවීඩී එකක් ගන්න කියලා ගියාම පැයක් එකහමාරක් කයිය ගගහා ඉඳලා තමා ඩීවීඩී එක අරගෙන එන්නේ. කියවන්න ගත්තම දේශපාලනයෙන් පටන් අරගෙන අන්තිමට මොකෙක්ගෙ හරි ඕපදූපයක් දක්වා කතා කරලා තමයි නවතින්නෙ.

අංකල්ගේ ජීවිතය ගැන විස්තර කිසිම අවුලක් නැතුව මා එක්ක කියද්දි මම කරන්නේ ඔහේ අහගෙන ඉන්න එක. මගේ ප්‍රශ්න අනන්මනන් අංකල් එක්ක කියද්දි අංකල් කලේ මට උපදෙස් දෙන එක. "වෙලාව බලාගන්න, අර හාමුදුරුවන්ව ගිහින් හම්බෙන්න, අර පල්ලියට ගිහින් බාරයක් වෙන්න" වගේ උපදෙස් තමා අංකල්ගෙන් හම්බුනේ (ඔව්, අංකල් පන්සල් පල්ලි දෙකටම යනවා).

ඒ කාලේ අංකල්ට මාරම බිස්නස්. විශේෂයෙන්ම හවස් වරුවේ හය හයාමාර වෙද්දි එහෙම අංකල්ගේ කඩේට ගිහින් ඩීවීඩී එකක් තෝරගන්නවා කියන්නෙ එපාම වෙන වැඩක්. එවෙලාවට පැයක් දෙකක් යනකල් ඇතුලේ පස් හය දෙනෙක්ම ඉන්නවා. ඉතින් නිදහසේ ෆිල්ම් එකක් තෝරගන්න ඕන නිසා මම යද්දි යන්නේ ඒ වෙලාව මඟ ඇරලා.

ඒකාලේ එහෙම බිස්නස් ජයටම තිබ්බට පස්සෙ පස්සෙ තත්වය වෙනස් වුනේ ඩීවීඩී එකක ගාණ අම්බානට අඩු වෙන්න ගත්තම. ඊටත් වඩා හන්දි හන්දි ගානේ හතු පිපෙන්නා වගේ ඩීවීඩී කඩ ඇරෙන්න ගත්තම. තව ඉතින් හැම කමියුනිකේෂන් එකකම ඩීවීඩී විසිපහක් තිහක් එල්ලගෙන විකුණන එක නෝමල්ම දෙයක් වුනා පස්සෙ පස්සෙ.

තත්වය ඔහොම වෙනස් වෙද්දි කවුරුත් කැමති වෙන්නෙ නෑනෙ රුපියල් පනහක් දීලා ඩීවීඩී එකක් බලලා දවස් තුනකින් ආයේ ගිහින් දෙන්න. ඊට වඩා හැම අතින්ම හොඳයිනෙ රුපියල් හැත්තෑවක් අසූවක් දීලා ඩීවීඩී එක තියාගන්නම ගන්න එක. එනිසා වෙන්න ඇති පස්සෙ අංකලුත් ඩීවීඩී රෙන්ට් කරන එක නවත්තලා විකුණන්න ගත්තා. එකක් රුපියල් අසූවට.

ඉස්සර හන්දියේ තිබ්බ එකම ඩීවීඩී කඩේ හිමිකාරයා අංකල් නිසා බිස්නස් නැගලා ගියාට දැන් අංකල්ගේ කඩේ පාලුවට ගිහින්. හන්දියේ දැන් ඩීවීඩී කඩ හතරක්ම තියෙනවා. එයින් එකක් පට්ට කොලිටියට වැඩේ කරනවා. ෆිල්ම් එකක් රිලීස් වුන ගමන්ම බඩු තියෙනව කඩේ. ෆයිනල් කොපිය කියල ශුවර්. ඒ විතරක් නෙමේ කඩේ බිත්ති හතර පුරාම බිම ඉඳල උඩටම ඩීවීඩී එල්ලල තියෙන්නෙ. නිකන්ම නෙමේ, සුපර්හීරෝ ෆිල්ම්ස් වෙනම, ෆැන්ටසි ෆිල්ම්ස් වෙනම, ඇක්ෂන් ෆිල්ම්ස් වෙනම, හොරර් ෆිල්ම්ස් වෙනම, අලුත්ම රිලීස් වුන ඒවා වෙනම, ටීවී සීරීස් වෙනම.. ඔය වගේ. විකුණන්න තියෙන්නෙත් මාරම පට්ට ෆිල්ම්ස් කලෙක්ශන් එකක්. චාලි චැප්ලින්ගේ ඒවයේ ඉඳල..ඔස්කාර් ගහපු ඒව දක්වාම ෆිල්ම් කලෙක්ෂන් එකක් තියෙනවා පොට් එකේ.

කොටින්ම මමත් දැන් ඩීවීඩී එකක් සල්ලි දීලා ගන්නව නම් යන්නේ ඒ කඩේට තමා.

අන්තිමට මම අංකල්ගේ කඩේට යන්න ඇත්තේ දැනට අවුරුදු දෙකකට විතර කලින්.

කතා කරන්නවත් කවුරුත් නැතිව හිටිය ජීවිතේ එක කාලයක මට හිටිය එකම මිත්‍රයා, නෑදෑයා වුන අංකල් දැන් රස්නේ නිසා ශර්ට් එකේ බොත්තම් දෙකක් තුනක් ඇරගෙන ඔහේ ඉඳගෙන උඩ බලාගෙන ඉන්නව කඩේ පහුකරගෙන යනගමන් දකිද්දි පොඩි දුකක් දැනෙන්නේ නැතුවත් නෙමේ.

කොච්චර වුනත් අදත් මාව දැක්කම අර විඩාබර ගතිය එකපාරම අමතක වුනා වගේ මූණ හිනාවෙන් පුරවගෙන අතවන්න්නේ ඉස්සර වගේමයි.

මෙච්චර අවුරුදු ගාණක් ආශ්‍රය කරලත් තාම මම අංකල්ගේ නම දන්නැති එකයි පුදුමම වැඩේ. ඒ වගේම තමා අංකල් මගේ නමත් දන්නෙ නැතුව ඇති.

මෙච්චර කාලයක් ගිහිනුත් අංකල්ගේ නම නොදන්නවා වුනාට, මට නම් තාමත් අංකල්ගේ නම අංකල්ම තමා.

7 comments:

  1. VHS කැසට් වලින් ෆිල්ම් බලපු සොඳුරු අතීතයක් මටත් තිබුණා. දැන් නම් මතක් වෙනකොටත් පුදුමයි. අංකල් මිත්‍රයාව අත හරින්න එපා. ඉඳලා හිටලා කඩේට ගොඩ වෙලා කයියක් ගහලා DVD එකක් අරන් එන්න. මේ වගේ සොඳුරු මිනිස්සු තමයි අපේ ජීවිත ලස්සන කරන්නේ. ජයවේවා !

    ReplyDelete
    Replies
    1. ඔව්. අංකල් බලලා එන්න යන්න ඕන. සැපදුකවත් අහලා එන්න. උඹටත් ජය !

      Delete
  2. ටීවී සීරීස් ඩවුන් ලෝඩ් කරන්න මහන්සි නොවී මං ගන්නෙ ඩීවීඩී විදිහට. ගිය සුමානෙ වයිකිංස් 1 -4 ගත්තා

    ReplyDelete
    Replies
    1. වයිකින්ස් බලලා නෑ. රෙකමන්ඩ් කරන්න පුළුවන්ද?

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. මිනිස්සුන්ගෙ ජීවිත වෙනස්වෙන හැටි!

    ReplyDelete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...