Tuesday, August 8, 2017

බුද්ධිමත් ජනතාවෙනි, ජහ ජහ !

ජනතාව බුද්ධිමත්ය. ජනතාව සාධාරණය. හංසයා දියෙන් කිරි වෙන්කරනා සේ වැරැද්දෙන් නිවැරැද්ද වෙන් කර ගැන්මට ඔවුනට හැකියාව ඇත. සියලු ආධිපත්‍යන්ට වඩා වැදගත් වන්නේ ජනතා පරමාධිපත්‍යයයි. සියලුම තීන්දු වලට වඩා උතුම් වන්නේ ජනතා තීන්දුවයි.!

දේශපාලකයා උදේ සිට සවස තෙක් ගිරිය පුප්පගෙන කෑගසමින් ජනතාව ගැන ගුණ වැයීමට ඉතාම කැමතිය. ජනතාව සැම විටම ගන්නේ නිවැරදිම තීන්දු පමණක් බව ඔහු ජනතාවටම මතක් කරදෙයි. ජනතාවගේ බුද්ධි මහිමයේ තරම ඔහු ජනතාවටම පැහැදිලි කරයි. එළඹෙන මැතිවරණ වලදී බුද්ධි මහිමයෙන් කෙළ පැමිණි ජනතාව විසින් තමාව වැඩිම මනාපයෙන් පත් කරගන්නා සැටි ඒ ජනතාවටම කියයි.

ඕනෑම මුග්ධයෙක්ගේ ප්‍රසාදය ලබා ගැනීමට ඕනෑ නම් හොඳම ක්‍රමය ඌව මුරුංගා අත්තේ තබන එකය. සිය පැවැත්ම රඳාපවතින්නේ ජනතාව තමා කෙරේ ඇති ප්‍රසාදය මත බව දන්නා දේශපාලකයා හැකි සැම විටම ජනතාවට ආවඩයි. ප්‍රශංසා කරයි. ඔවුන්ව වර්ණනා කරයි. දේශපාලකයා කරන්නේ මේ මුග්ධ ජනතාවව මුරුංගා අත්තේ තබා ගොනාට අන්දමින් ඔවුන්ව සිය අරමුණු කරා දැක්කවීමයි.

නමුත් දේශපාලකයා තුළ ජනතාව ගැන තිබෙන සැබෑම කියවීම දැනගත හැකි වන්නේ ඔහුගේ ක්‍රියාකාරකම් ප්‍රශ්න කිරීමට ලක් වූ විට ඔහු ජනතාව වෙත ඉදිරිපත් කරන නිදහසට කාරණා දෙස බැලීමෙනි.

“ඒක සෙල්ලම් තුවක්කුවක්, එයාමයි කැමැත්තෙන් ගස් බැඳගත්තෙ, එයාමයි එයාට ගහගත්තෙ, පකයා කියන්නේ කුණුහරපයක් නෙමේ, නිරුවත කියන වචනය නොයෙකුත් විදිහට ඉන්ටර්ප්‍රිට් කරන්න පුළුවන්, ඒ පොලු අරන් ගියේ පාරෙ ඉන්න බල්ලොන්ට ගහන්න” 

ජනතාව බුද්ධිමත් යැයි දෙසනා දේශපාලකයාට ජනතාව ගැන තිබෙන්නේ දෙකයි පනහේ බුල්ටෝ ටොපි පෙන්වා, අහසේ ඇති දේදුනු පෙන්වා රැවටිය හැකි කුඩා දරුවෙකුට සමාන හැඟීමක් බව ඉහත නිදහසට කාරණා දැකීමෙන්ම පසක්වේ. ජනමාධ්‍ය සාක‍‍ච්ඡාවකට පැමිණ, රූපවාහිනී සංවාදයකට පැමිණ හෝ ප්‍රසිද්ධ වේදිකාවකදී මෙවැනි හාස්‍යජනක නිදහසට කාරණා අප වෙත අපගේම දේශපාලන නායකයන් ඉදිරිපත් කිරීම ගැන ඇතිවිය යුත්තේ කේන්තියක් නොව, දුකකි.

අප රටේ බුද්ධිමත් ජනතාව දේශපාලකයාගේ නරුම වැඩ ගැන සංවේදී නැත. තමාගේ ජාතිවාදී ආගම්වාදී නිල අල්ලා සිය හෘද සාක්ෂිය කිති කැවීමට සමත් දේශපාලකයෙක්ගේ ඕනෑම නරුම වැඩකට සමාව දීමට ඔවුන් සූදානම්ය.

පුරවැසීයෙක් සහ ඡන්දදායකයෙක් වශයෙන් පාලකයන් තෝරාපත් කර ගැනීමේ වගකීම පිළිබඳ ඔවුනට අවබෝධයක් නැත. දේශපාලකයන් විසින්ම තමා මත පටවන ලද සමාජීය සහ ආර්ථික පීඩන වලින් මිදීමට කෙටි ක්‍රම සොයනා ඔවුන් තමාගේ එදිනෙදා අවශ්‍යතා සහ ගැටළු වලට පැලැස්තරයක් ඇලවීමට ඉදිරිපත් වන ඕනෑම නරුමයෙක්ට සිය ඡන්ද බලය විකුණා දැමීමට සූදානම්ය.

දීර්ඝ කාලීන දේශපාලනික අරමුණු නැති, රටේ අනාගත යහපැවැත්මක් ගැන සිතීමට තරම් බුද්ධිය මුහුකුරා නොගිය, සිය අනාගත පරපුර පිළිබඳ වද නොවන ආත්මාර්ථකාමී මුග්ධ ජනතාවක් සියතට ගැනීමට නරුම දේශපාලකයා කරන්නේ ඔවුන්ගේ කෙටි කාලීන අවශ්‍යතා හඳුනාගෙන ඒවාට කෙටි කාලීන විසඳුම් ලබා දීමය.

පුතාට ජොබ් එකක්, රැකියාවෙන් උසස් වීමක්, බාර් පර්මිට් එකක්, රැකියා ස්ථාන මාරුවක් වැනි දේ පමණක් නොව රෝද පුටුවක්, මහන මැෂිමක්, ටකරං කෑලි කිහිපයක් වැනි සිල්ලර අල්ලස් වලටද අප රටේ බුද්ධිමත් ජනතාව සිය ඡන්දය විකුණා දමති.

මේ ගැන දින කිහිපයකට පෙර මගේ මිතුරෙක් පැවසූ කතාවක් සිහිවේ.

“වැටුප් දීමනා වැඩිවේයයි බලාපොරොත්තුවෙන් ඡන්දය දෙන්නන් සහ රුපියල් දාහට, අරක්කු කාලට හා බත් පැකට් එකට පෙලපාලි යන්නන් අතර ඇති එකම වෙනස වන්නේ එක පිරිසක් කඩේ යන්නේ අත්පිට මුදලට පමණක් වීමයි.”

මෙසේ සිය පුරවැසි වගකීම සිල්ලර උවමනා වලට වේසාකමේ යවන අප රටේ බුද්ධිමත් ඡන්දදායකයා අවසානයේදී කුඩු වෙළෙන්දන්, එතනෝල්කාරයන්, අපරාධකාරයන්, කප්පන්කාරයන්, ස්‍ත්‍රී දූෂකයින් පාර්ලිමේන්තු ගියේ කොහොමද කියා අසයි.

ජාතිවාදයෙන්, වර්ගවාදයෙන්, ආගම්වාදයෙන්, සංස්කෘතික සංකේත වලින් මත් වී සිටින බුද්ධිමත් ජනතාව සිය බත් පතට පහර වැදුන විට මත් බවෙන් මිදී උන්මාදයෙන් මෙන් කෑගසයි. වෙනකෙකු දෙසට එල්ල වී තිබුන තුවක්කුවක් තමා වෙතට හැරුන විගස ඊයේ ඉපදුන ළදරුවෙකු මෙන් මර ලතෝනි දෙයි. පෞද්ගලික වාසි බලාගෙන තමා පාර්ලිමේන්තු යැවූ උන්ගේ හොඳ නරක මතක් වෙන්නේ තමාගේ බඩට සහ ජීවිතයට කෙළවන බව දැනුන විට පමණි. එවිට රටේ පමණක් නොව තම දෛනික ජීවිතයේද වැරදි අඩුපාඩු වලට පවා වැරැද්ද පටවන්නේ දේශපාලකයාටය.

ඉන්පසු සියලු මන්ත්‍රී ඇමතීන් සමඟ පාර්ලිමේන්තුව පොළව පලාගෙන ගිලා බැසිය යුතුය කියමින් ශාප කරයි. පාර්ලිමේන්තුව ගිණි තියනවා නම් තමන් ගානේ පෙට්‍රල් දෙන බව කියයි. මුන් දේශපාලනය කරන්නේ මඩිය තර කර ගන්නට පමණක්ය කියයි.

නමුත් අප රටේ බුද්ධිමත්ය කියන ඡන්දදායකයා අමතක කරන කරුණ නම් පාර්ලිමේන්තුවේ සිටින්නේ ජනතා නියෝජිතයින් බවය. ඔවුන්ව පාර්ලිමේන්තුවට යැවීමේ හෝ නොයැවීමේ වගකීම පැවරී තිබුනේ තමාට බවය. තමා කුඩුවෙළෙන්දන්ව, එතනෝල්කාරයින්ව, කප්පන්කාරයින්ට මනාපය ලබාදී උන් පාර්ලිමේන්තුවට යවා කුඩුවිකුණනවාය, එතනෝල් ගෙන්නනවාය, කප්පන් ගන්නවාය කියා ශාප කිරීම පලක් නොවන බවය.

ජනතාව විසින් අශීලාචාර, අසික්කිත දේශපාලකයින්ව දිගින් දිගටම පාර්ලිමේන්තුවට තෝරා පත් කරන්නේ නම්, බලය ලැබුන පසු එම දේශපාලකයන් කරනා අශීලාචාර, අසික්කිත වැඩ වල වගකීමෙන් කොටසක් ජනතාවත් භාරගත යුතුය.

දේශපාලකයා විසින් දේශපාලන ක්‍රමයම ව්‍යාපාරයක් බවට පත් කරගෙන ඇති බවට චෝදනා කරන ජනතාවම ඒ දේශපාලන ව්‍යාපාරයේ ලාභම ගැණුම්කරු බවට පත්ව ඇත. ලාභම විකිණුම් භාණ්ඩය බවට සිය මනාපය පත් කොට ඇත.

සෑම විටම දේශපාලකයින් විවේචනය කරන, සෑම විටම අප රටේ දේශපාලන සංස්කෘතියට දොස් තබන ජනතාව විසින් ඔවුන්ම පරිභව කරනා, පිළිකුල් කරනා ඒ දේශපාලන සංස්කෘතිය තුළ ජනතාවක් වශයෙන් ඔවුන් රඟදක්වන භූමිකාව පිළිබඳ සිතීමට කාලය එළඹ ඇත.

දේශපාලකයින් යනු රටට හෝ ජනතාවට සේවය කිරීමේ අරමුණින් වෙනත් ලොවකින් පහල වූ සුචරිතවාදීන් කොට්ඨාශයක් නොවේ. ඔවුන්ද නොයෙකුත් අරමුණු ඉටුකර ගැනීම සඳහා යම් වෘතියක් තෝරාගත් පිරිසකි. තමාගේ වාසිය ගැනම සිතනා, හැකි පමණින් මඩිය තරකර ගැනීමට දතකන, බලයට කෑදර අවස්ථාවාදීන් පිරිසකි. එදා සිට අද දක්වා පහළ වූ දේශපාලකයින්ගෙන් අතිමහත් බහුතරයකට සිය සුඛවිහරණය කැප කරමින් රටට හෝ ජනතාවට සේවය කිරීමට තරම් පශ්චාත්භාගයේ අමාරුවක් තිබුනේ නැත, අනාගතයේ එහෙම අමාරුවක් එන්නේද නැත.

නමුත්, වාසනාවකට හෝ අවාසනාවකට ඔවුන්ව විනිශ්චය කිරීමේ හැකියාව ජනතාවට ලැබී ඇත. ඔවුන්ව තමාගේ තීරණාත්මක ඡන්දයෙන් පීඩනයට පත් කිරීමේ හැකියාව ජනතාවට ලැබී ඇත.

ඕනම පාහර වැඩක් කොට අතේ පත්තු වෙන “මට මතක නෑ” වැනි බොරුවක් ඇදබෑමෙන්ම තමාට ඕනම චෝදනාවකින් ගැලවිය හැකි බව දන්නා දේශපාලකයා වෙනුවට තමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවා ඒ අනුව ඡන්දය භාවිතා කරන, ඊළඟ ඡන්දයේදී තමාගේ කෙරුවාව අනුව තමාට නිසි ඇගයීමක් ලබා දෙන ජනතාවකට භය දේශපාලකයෙක් සිටිනා දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමේ වගකීම ඇත්තේ පාලකයා අත නොව, ජනතාව අතය.

දේශපාලන ප්‍රවාහය හෝ පක්ෂය අමතක කරමු. තමා මනාපය ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තුවට යවන්නේ මොන ආකාරයේ, මොන අරමුණුවලින් යුත්, මොන විදිහේ ඉතිහාසයකින් යුත් පුද්ගලයෙක්ද කියා ජනතාවක් වශයෙන් දැන්වත්…. දැන්වත්… අප වරක්, දෙවරක්, තෙවරක් නොව දහස් වරක් සිතා බැලිය යුතුය.

1 comment:

  1. This comment has been removed by the author.

    ReplyDelete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...