Sunday, October 8, 2017

සුද්දන්ට පමණක් තේරෙන අපේ අභූත ශ්‍රී විභූතිය



ඔය පිටරටවල සමහර සුද්දො සුද්දියො මෙහෙ ඇවිත් අපේ කෑම බීම කනවා, පෙරහැරවල් බලනවා, සරං ඇඳන් සායවල් ඇඳන් පන්සල් යනවා, අපේ රටේ තියෙන හද්ද පිටිසර ගම් වලට යනවා දකින අපේ සමහරු,

"බලනු සගයනි, අපේ දේවල වටිනාකම අපේ නොසන්ඩාලයන්ට නොතේරුනාට පරදේශ වලින් එන සුදු හමැති පිරිමි ගැහැණුන්ට තේරෙන හැටි. තොපි උන්ගේ කෑම කලිසම් ටයි බ්ලවුස් පස්සේ ගියාට, තොපි උන්ගේ නූඩ්ස්ල්, පීසා, සොසේජස් බනිස් කෑවාට, ඒ ඈයන්ගේ බුද්ධි මහිමයට තේරෙනවාය සැබවින්ම වටින්නේ මොනවාද කියා. එන්න, අපි දැන්වත් අභාවයට යන අපේ දේ වැළඳගමු. ඒවා වර්තමානයට ගෙනෙමු. දැන්වත් අපි ඒවායේ ඇති අභූත ශ්‍රී විභූතිය තේරුම් ගමු..."

වැනි ටෝක් ඉෂූ කරනවා දැකල ඇති.

කොටින්ම සායවල් ඇඳගෙන පන්සල් යන සුද්දියන් සහ කලිසම් ඇඳගෙන පන්සල් යන ලාංකීය තරුණියන් සසඳමින් එම තරුණියන්ට නිග්‍රහ කෙරෙන අන්දමේ පෝස්ට් බුකියේද පළවනු ඔබ දැකල ඇති.

නමුත් ඇත්තටම, පරදේශ වලින් එන ඈයෝ දාඩිය දාගෙන අව්වේ යන්නේ, හුස්ම ඇද ඇද දැවිල්ලේ අපේ කෑම කන්නේ, සරම් සායවල් ඇඳගෙන පන්සල් යන්නේ, චීත්ත හැට්ට ඇඳගෙන අවුරුදු කුමාරි තරඟ වලට යන්නේ ඒවායේ ඇති විශිෂ්ඨත්වයක් තේරුම් අරගෙන කියා අපේ ගොන්වාහේලා සිත සනසා ගත්තාට, ඇත්තටම ඔවුන් ඒවා කරන්නේ ඒ රටවල උන් ගෙවනා කාර්‍යබහුල ඒකාකාරී ජීවිත වලින් මොහොතකට මිදී එදිනෙදා ජීවිතයේදී උන් නොදකින වෙනත් කොහේ හෝ රටක තියෙනා සිරිත් විරිත් දැක ඒවාට සම්බන්ධ වී ආතල් එකක් ගැනීම පිණිස මිසක වෙන ලබ්බක් නිසා නොවන බව කිව යුත්තේ ඇත්තම කතාව එය නිසාය.





ලෝකය පුරා පැතිර ඇති සංස්කෘතීන් වලින් වසර ගණන් පැරණි සිරිත් විරිත් චාරි‍ත්‍ර අදටත් සිදු කරන තැන් වලට යමින් ඒවායින් යම් මතක සටහනක් ගෙන ඡායාරූප ඇල්බමයේ සේව් කර ගැනීම අරමුණු කරගෙන මිසක් සරම් සායවල් චීත්ත ඇඳගෙන කෙහෙල් කොලේ සම්බෝලයි බතුයි කකා පෙරහැරවල් වල අලි නැටුම් බලබලා ඉන්නට ඒ රටවල ඇති සමාජ සංස්කෘතීන් අතහැර මෙහේ එන සුද්දෝ නැත.

ඔවුන් අප්‍රිකාවේ අඩ නිරුවතින් "උහු... ඩුගු.. බජංජා... ජහු.. ගහු... ජුංගා.." ගගා නටමින් තමන්ගේ ආදී චාරිත්‍ර ඉදිරියට ගෙනයෑමට දතකන ගෝත්‍රිකයන් දෙස බලන විදියට සමාන විදියකටය අමුතු ඇඳුම් ඇඳගෙන ආභරණ පළඳවගෙන ගිනි බෝල කරකවගෙන අලි ඇතුන් සමඟින් දතක් මැදි කරගෙන අපේ උන් උඩ පැන පැන නටනා පෙරහැරවල් දෙස බලන්නේ.

මේවා අසා කාගේවත් අතීතකාමී හිත් රිදුනාට කරන්නට දෙයක් නැත.

අපේ දෙදාස් පන්සීයක් පැරණි අතීතය උඩ දදා දඟලීමට වර්තමානයක් ගැන නොහිතන, අනාගතයක් ගැන නොදකින අපේම උන්ට පශ්චාත්භාගයේ අමාරුවක් තිබුනාට ලෝකේ කොහේවත් උන්ට එහෙම අමාරුවක් නැත. දැන්වත් ඒ බව තේරුම් ගන්නවා නම් හොඳය.

අතීතයේ ඇති සිරිත් විරිත් ඇගයීම වරදක් නැත. ඉන්නම බැයි නම් ඒවායින් චූන් වීමද කම් නැත. නමුත් නූතනත්වයට ගරහමින්, අතීතයේ ජීවත් වෙමින් අතීතය ගැන පම්පෝරි ගහන වර්තමානයක් ගැන නොසිතන මිනිසුන් වීම නම් හිතකර නැත.

අතීතයෙන් ගත හැක්කේ ප්‍රයෝජන දෙකකි. ඒ අතීත සිදුවීම් දෙස බලා වර්තමානයට, අනාගතයට පාඩම් ඉගෙන ගැනීම සහ වර්තමාන හැසිරීම් සහ වින්තනයන් වලට පාදක වූ අතීත සිදුවීම් මොනවාද යන්න තේරුම් ගැනීම පමණය.

ඉන් එහාට අතීත මිනිසුන්ගේ මළකඳන්, ඇටකටු ඔලුව උඩ තියාගෙන නැටීමෙන් පළක් නැත. එයින් වෙන්නේ අපි අතීතයේ මළකඳන් සමඟ ජීවත් වෙන, අතීතයේ උන් මිනිසුන් සේ ලෝකය දකින වර්තමානයක් නැති ඇවිදින මළමිනී බවට පත් වීම පමණකි.

අවසාන වශයෙන් කියමි.

සුද්දෝ ඇවිත් සරම් සායවල් ඇඳගෙන පෙරහැරවල් බලබල රජවරුන් හැදූ ගල් කණු පොකුණු බල බල "වාව්.. අමේසිං.. සුපර්බ්" කියන නිසා අපේ අතීතය මාරම සුපිරියි කියා ඔබ තවමත් සිතනවා නම්, ලංකාවේම වෙසෙන ආදි වාසි වැද්දන්ගේ සිරිත් විරිත් දැක උන් සමඟද ෆොටෝ ගසමින් සුද්දන් ඒවා දිහාද බලන්නේ ඒ අයුරින්ම බව සිහිකැඳවා ගැනීම යහපති.


10 comments:

  1. හේ හේ හේ උබ නෙලල තියෙනව අමුවෙන් ම කොහොමද දන්නවද? දැන් ලැහැස්ති වෙලා ඉඳපන් පිස්සු බල්ලොන්ගෙන් දෙකක් අහගන්ට.
    මටනං හිතාගන්න බැහැ බං යුද්දෙන් පස්සෙ අපේ ඇවුන්ට පුදුම ජාතික ආගමික ඇම්මක් හැදුනෙ කොහොමද කියල?
    සමහරක් ඇවුන් හැසිරෙන්නෙ හරියට නිදාගෙන නැගිටිනකොට රහත් වෙලා වගෙ.
    මටනං වෙලාවකට ෆුල් ආත භූත වෙනව බං. පව් ඉතිං කොච්චර උනත් අම්මෙක් ගෙ අප්පෙක් ගෙ දරුවෙක් නේ... 😜😜😜😜😜😂😂😂😂

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකට කවුරුත් එන්නෙ නැති හින්ද හොඳයි බං. බුකියෙ නම් බැනුම් අහලම ඇති වෙලා

      Delete
  2. අඩෝව් පර දේසක්කාරය අපේ දෙදාස් පන්සිය පනහක සීන් එකට ඒව මේව කියල අපේ රටට ගරහන පර ගැත්තා.. මේව විජාතික කුරුමන්තන දේශීය බලවේග යටපත් කොරමින් බුර බුරා නැගෙන ගිනිදැල් වටට වතුර ඉහිමින් අපේ අහවල් එකට අගවුරව කරන්නෙ ඒකයි අපි මේව හෙලා දකිනව. මේ බ්ලොග් එක කුඩු පට්ටම් කරන්ට ඕන
    ........................
    ඇති නේ බන් බැන්නා. ලියල තියන ඒවයෙ තේරුම එහෙම අහන්ට එපා... උබට බ්ලොග් එකේ කවුරුත් බැන්නෙ නෑ කියුව හින්ද මම බැන්නා

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එක ආලෝකමත් වුනා යාලුවේ. ටෑන්කූ :D

      Delete
  3. බටහිර යුරෝපයේ අවු 1000ක පමණ කාලයක් තිස්සේ නොකඩවා විකාශනය හා වැඩිදියුණුවන ඉතිහාසයකින් (living history) එන සංස්කෘතියක් තියෙන්නේ.
    අපේ තියෙන්නේ අවු 2500ක් පමණ කාලයක් තිස්සේ කැඩි කැඩී වෙනස් වෙනස්වූ නටඹුන් වූ ඉතිහාසයක්. ඉන්ගලන්තයේ අවු 900-700ක සිට ඇති නීති ආයතන (societies, professions, guilds, businesses, markets., fairs etc.) ගොඩනැගිලි ආදිය දැනටත් විකාශනයවී පවතිනවා. ලංකාවෙ නුවර යුගයේ දේවල් වුනත් නොකැඩී නෑ. ඇමරිකාවෙත් අවු 300ක පමණ නොකැඩී තියනවා.
    නටඹුන් වූ 2500 , නොකැඩී පවතින 300ට වඩා උසස් කියන්නේ කුමන හේතුවකටද කියන එක පැහැදිලි නෑ.
    ඊජිප්තුවට 5000ක සංස්කෘතික ඉතිහාසයක් තියනවා. ඒත් දැන් ඊජිප්තුවන්ට ඒකට උරුම කිව හැක්කේ රටේ එහෙම එකක් තිබුනා කියන එකෙන් පමණයි. නටඹුන් වූ හා නොකඩවා පවතින යන දෙකේ වෙනසක් තිබෙන නිසා අවුරුදු ගාණක් කියා උඩඟු වීමේ තේරුමක් නෑ

    ReplyDelete
    Replies
    1. දැනුමක්, තේරුමක්, බුද්ධියක් ඇති මිනිස්සු තමාගේ ජයග්‍රහණ වලටවත් ආඩම්බර වෙන එක තේරුමක් නැතිය කියන අවබෝධයෙන් ඉන්නෙ. ඒ ගැන මම වෙනම සටහනක් ලියන්නම්, ඇයි තමා කරපු දෙයක් නිසාවත් උඩඟු වෙන එක තේරුමක් නැති දෙයක් වෙන්නෙ කියල.

      එහෙම තියාගෙන, වෙන උන් කරපු මගුල් වලට ආඩම්බර වෙන එක ගැන නම් කියල වැඩක් නැහැ.

      Delete
  4. නුවර පෙරහැර පවත්වන්නේ නිලමෙලා උන්ගේ උද්දච්ච රදල පන්තිය පෙන්වන්නට පමණි.

    ReplyDelete
    Replies
    1. රදල පන්තියේ වැඩ මැජික් කියල දකින යටත් වැසියෝ එදත් හිටියා අදත් ඉන්නවා අවාසනාවට හෙටත් ඉඳියි බං

      Delete
  5. සුද්දන්ට පමණක් තේරෙන අපේ අභූත ශ්‍රී විභූතිය...හ්ම්ම් !!! අපේ උන්ගේ තියෙන දූපත් මානසිකත්වය උන්ට නැති නිසා, ඇත්තටම ඕක තේරෙන්නේ උන්ට විතරයි කියලා උඹට හිතෙන්නේ නැද්ද?

    ReplyDelete
  6. මමත් නුවර.. ඒ නිසා හැම පෙරහර කාලෙටම කව්රු හරි යාළුවෝ ටිකක් සෙට් වෙනවා නුවර එක්ක ගිහින් පෙරහැර පෙන්වන්න. දැනුම් තේරුම් ඇති කාලේක මට ඔය පෙරහැර මෙලෝ රහක් නැති නිසා මම උන්ට ඉන්න තැන් ලෑස්ති කරලා දීලා වාහනෙත් අරන් පැත්තකට ගිහින් සිගරට් පැකට් එකක් විතර ඉවර කර කර ඉන්නවා පෙරහර ඉවර වෙනකම්.

    ගොඩක් දෙනෙක් අහන්නේ උඹ නුවර වෙලත් උඹට ආඩම්බර නැද්ද මේ ගැන කියලා. ඇයි බං උඹ මේව බලන්නේ නැත්තේ කියලා. නිලමේ ඇඳුම ඇඳගෙන අලි පිටේ යනකොට “බලපං කොච්චර තේජසක්ද... අපරාදේ ඒ කාලේ දේවල් නැති වෙලා ගියේ“ කියලා අඩන උන් මට ඉන්නවා.

    උන් දන්නෑ සුද්දා ඇවිත් අපිව ශිෂ්ඨ කළෙ නැත්නම් අපි තාමත් අර නිලමෙලාට දෙකට නැවිලා රජාට හතරට නැවිලා රාජකාරි ක්‍රමයට සීයගේ රස්සාව තාත්තටත්, තාත්තගේ රස්සාව අපිටත් කරන්න වෙනවා කියලා. උණ්ට පේන්නේ රජ ඇදුමේ තේජස විතරයි...

    විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ..

    ReplyDelete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...