Wednesday, October 25, 2017

අඩෝ.. උඹේ කෙල්ලව හදාගනින්



ලංකාවෙ ගොඩක් පිරිමි හිතන් ඉන්නෙ තමාගේ සහකාරිය තමන්ගේ මතවාද වල ප්‍රතිබිම්භයක් වෙන්න ඕන කියල.

ඒ අය තමන්ගේ සහකාරියව පාවිච්චි කරන්නේ තමන් කවුද කියන එක නිරූපනය කරන්න සහ තමන්ගේ අනන්‍යතාවය මොකක්ද කියන එක ලෝකෙට පෙන්නන්න.

තමන්ගේ සහකාරිය අඳින පළඳින විදියෙන් කෙල්ලෙක් අඳින්න පළඳින්න ඕන විදිය ගැන තමාගේ අදහස නිරූපනය වෙනවය, තමන්ගේ සහකාරිය හැසිරෙන විදියෙන් කෙල්ලෙක් හැසිරෙන්න ඕන විදිය ගැන තමාගේ අදහස නිරූපනය වෙනවය, තමන්ගේ සහකාරිය හිතන පතන විදියෙන් කෙල්ලෙක් හිතන්න ඕන විදිය ගැන තමන්ගේ අදහස නිරූපනය වෙනවය, තමන්ගේ සහකාරියගේ මතවාද වලින් තමන්ගේ මතවාද නිරූපනය වෙනවය,

කියලයි ඔය මිනිස්සු හිතන් ඉන්නෙ.

සමාජය ඉස්සරහා තමාගේ අනන්‍යතාවය ආරක්ෂා කරගන්න නිසා  නීති දාලා ගහලා බැනලා හරි කෙල්ලව තමන්ට ඕන විදියට වෙනස් කරන්නයි බහුතරයක් කොල්ලො බලන්නෙ.

"ඒක එයාගේ කැමැත්ත.. එයා ඉන්නේ එයාගේ විදියට" කියල කියන්න ගටක් තියෙන කොල්ලො හොයාගන්න අමාරු වුනාට...

"අනිත් කෙල්ලන්ගෙන් මට වැඩක් නෑ.. මගේ කෙල්ල ඉන්න ඕන මට ඕන විදියට.. ඒකි අඳින්න ඕන මට ඕන විදියට.. ඒකි හැසිරෙන්න ඕන මට ඕන විදියට.. ඒකි කතා කරන්න ඕන මට ඕන විදියට.."

...කිය කිය තමන්ගේ කෙල්ලට ගෙම්බර් දාන එක මාර ලොකු වැඩක් කියල හිතාගෙන ඉන්න පෞරෂහීනයන්ගෙන් නම් කිසිම අඩුවක් නැහැ.

ඇය තුළින් තමන්ගේ අනන්‍යතාවය නිරූපනය වෙනවා කියලා හිතාගෙන ඇයව වෙනස් කරන්න තමාගේ අධිකාරී බලය පාවිච්චි කරන මේ පිරිමි තුල තමන්ගේ ක්‍රියාකලාපය නිසා පුද්ගලයෙකු වශයෙන් ඇයගේ අනන්‍යතාවයට වෙන දේ ගැන කිසිම හැඟීමක්වත් සංවේදිත්වයක්වත් නැහැ. තමන්ගේ සහකාරියගේ ආකල්ප, හැසිරීම් සහ වටිනාකම් තමාට දරා ගන්නට බැරි තරම් නොගැලපෙනවා නම් ඇයගේ අන්‍යතාවය මරා දැමීමට වඩා සබඳතාවය නවත්වන එකයි කරන්න ඕන කියල මේ අයට තේරෙන්නේ නැහැ. පුද්ගලයෙක්ගේ අනන්‍යතාවය මරලා දාලා දිගින් දිගටම ඒ මනුස්සයාව පාලනය කරන්න ගියාම ඒ මනුස්සයා තුළ හටගන්න වේදනාව, කලකිරීම සහ පීඩනය ගැන මොවුන්ට සහකම්පනයක් නැහැ.

ඕකෙම අනිත් පැත්ත තමයි,

තමාගේ සහකාරියගේ සිතුම් පැතුම් ආකල්ප තේරුම් අරගෙන ඇයගේ ස්වාධීනත්වයට ගරු කරන කොල්ලෙක් හම්බුනාම මේ වගේ හීනමානකාරයො "අඩෝ.. උඹේ කෙල්ලව හදාගනින්" කියල  කෑගහන්නෙ.

මොකද මේ අයට අනුව කෙල්ලෙක් කියන්නේ තමාට ඕන විදියට "හදාගන්න" ඕන වහලෙක්.

මේ විදියට පීඩනයට පත් වෙලා ඉන්න තරුණියන්/ගැහැණුන් තමන්ගෙන්ම අහගන්න ඕන ප්‍රශ්නය තමයි,,

තමාව ස්වාධීන පුද්ගලයෙක් විදියට සලකන්නෙ නැති, තමන්ගේ අනන්‍යතාවයට ගරු කරන්නෙ නැති, තමන්ව තේරුම් ගන්නෙ නැති Control Freak කෙනෙක් විදියට හැසිරෙන එකෙක් එක්ක තමන් දිගින් දිගටම ඉන්නේ ඇයි?

කියන ප්‍රශ්නය.

ඉස්සෙල්ලා තමන් තමන්ටම ගරු කරන්න ඉගෙනගන්න. තමන් තමන්ගේ අනන්‍යතාවයට සහ නිදහසට ගරු කරන්නේ නැත්නම් වෙන කෙනෙක් ඒ දේවල් වලට ගරු කරයි කියල හිතන්න එපා. තමන් තමන්ගේ අනන්‍යතාවයට සහ නිදහසට ගරු කරනවා නම් වෙන කෙනෙක්ට ඒ දේවල් විනාශ කරන්න දෙන්නත් එපා.

කතාවක් තියෙනව සමාජයක/සංස්කෘතියක ප්‍රගතශීලීබව තීරණය කරන්න පුළුවන් හොඳම සාධකයක් තමා ඒ සමාජය කාන්තාවට සලකන ආකාරයෙන් කියල.

ඒ වගේම තමා, පුරුෂයෙක්ගේ පෞරෂයත්වය මැනගන්න පුළුවන් හොඳම සාධකයක් තමා තමන් තමාගේ ප්‍රේමවන්තියට/බිරිඳට සලකන විදිය කියන්නෙ.

කෙනෙක්ව පාලනය කරන්න කෙවිටක්/තුවක්කුවක් අතට ගත්ත ඕනම නරුමයෙක්ට පුළුවන්. නමුත් කෙනෙක්ව තේරුම් ගන්න, ඉවසන්න, ගරු කරන්න, අනිත් අය ඉස්සරහා ඒ කෙනා වෙනුවෙන් පෙනී ඉන්න නම් ලේසි පාසු කෙනෙක්ට බැහැ.

ඒකට මනා පෞරෂයක් තියෙන බුද්ධිමත් මනුස්සයෙක් වෙන්න ඕන.

ප/ලි -

1.  ඊයේ පෙරෙදා දවස් ටිකේ බුකියේ මාතෘකාව වුන "මාර ඉස්කෝලයේ මාර ගුරුමාරුව" ගැන වෙච්චි කතා බහ අතර තුර අමනයන් පිරිසකගේ හැසිරීම නිසාය මේ සටහන ලියන්න තීරණය කලේ.

2. ආදර සබඳතා වලදී කොන්දේසි දැමිම දෙපාර්ශවයෙන්ම සිදුවන දෙයක් බව ඇත්ත වුනත් පොදුවේ අප සමාජයේ දක්නට ලැබෙන තත්වය ගැනය මේ සටහනෙන් කතා කරන්නේ. මෙහිම කනපිට සිද්ධ වෙන සිදුවීම් ඇති බව පුද්ගලිකවම දනිමි.

7 comments:

  1. එහෙම නොකරන එකා (ගෑණි/ කෙල්ල හදාගන්න බැරි) පොන්නයෙක් හැටියට හං අඩු ගහන්නත් සමාජය මොහොතකට පසුබට වෙන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ඒකට තියෙන බයත් මේ තත්වයට එක හේතුවක්

      Delete
  2. ගෑනු කියන්නෙත් මනුස්සයො කියල හිතන්න පුරුදු නැති එකයි මේ දකුනු ආසියානු සමාජවල තියෙන්නෙ. උන්ට ඕන එපාකම් නෑ,උන්ගෙ අභිමතයක් නෑ .ආශාවන් කියල දෙයක් නෑ. කොටින්ම උන් රොබෝල වගෙ පිරිසක්. උන් කතාකරන්න ඕන විදියක් තියනව ,හැසිරෙන්න ඕන විදියක් තියනව ,උන් කරන්න ඕන මෙන්න මේ රස්සාවල් විතරයි ,කොටින්ම උන් හිතන්න ඕන මෙන්න මේ රාමුව ඇතුලෙ . ඔන්න ඕක තමයි ගෑනු සමාජයෙන් ප්‍රෝග්‍රෑම් කරල තියන විදිය.

    ඇත්තටම මේ ක්‍රම ඇතුලෙ පිරිමියත් හිරකාරයෙක්. තමන්ගෙ ගෑනිට නිදහස දෙන්න කවුරුහරි කැමතිවුනත් පොන්න ලේබලයට බයේ ඌත් කටවහන් ඉන්නව. ගෑනුත් ඉන්නෙ පීඩනේක. ඇයි තමන්ට ඕන විදියට කිසිම දෙයක් කරන්න බෑනෙ. නොදකින් නොදෝමකින් මේ ක්‍රමය කියල කියන්න තියෙන්නෙ.

    ඇත්තටම මානව ඉතිහාසයේ ඓතිහාසික අසාධාරනයකට ලක් වුනේ අන් කිසිවෙක් නොවෙයි කාන්තාවන්. කාන්තාව සතු ජීව විද්‍යාත්මක සුවිශේෂය නිසා ඇය ගෙදරට කොටු කරන්න පිරිමියාට පුලුවන් වුනා. රාමුව බිදගෙන යන්න දෙගොල්ලොම ඉස්සරහට එන්න ඕන. ඇත්තටම පිරිමියගෙ වෙස් මුහුන හා බොරු කකුල් ඉවත් කරන එක ඔහුටත් පුදුම සහනයක් වෙයි. එවිට කාන්තාව ඉබේම නිදහස් වෙයි. පීඩිතයට විතරක් නෙමෙයි පීඩකයටත් සමාජයෙන් ආරෝපනය කරල තියන කෙහෙල්මල් හිර්හැරයක්

    ReplyDelete
  3. පියුමි හංසමාලි කියල ගැහැනියට මම හරි කැමතියි....

    ReplyDelete
    Replies
    1. මට නම් ඒකි පේන්න බෑ :P

      Delete
  4. ඔව් එහෙම වෙන්නත් පුළුවන්

    ReplyDelete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...