Monday, December 11, 2017

ලුවිස් සී.කේ ව එල්ලා මැරීමට පෙර

 

ලුවිස් සී.කේ ට එල්ල වුන ලිංගික විෂමාචාර චෝදනා වලින් පසු නොවැ.18 පැවැත්වීමට නියමිතව තිබූ “Night of Too Many Stars: America Unites for Autism Programs,” වැඩසටහනින් ලුවිස් සී.කේ ව ඉවත් කොට තිබේ. FX Networks සහ FX Productions සමාගම් ලුවිස් සී.කේ සමඟ ඇති සියලු සබඳකම් නවතා ඇත. ලුවිස්ගේ කලමණාකරණ කටයුතු බාරව සිටි Arts Entertainment සමාගම ඔහුව සේවාදායක බවින් ඉවත් කොට තිබේ. ඔහුගේ කලමණාකරු වන Lewis Kay විසින් ලුවිස් සීකේ සමඟ තවදුරටත් තමා කිසිම සබඳතාවයක් නැති බව ප්‍රකාශ කොට තිබේ. ලුවිස් ගේ නවතම චිත්‍රපටය වන I Love You, Daddy නොවැම්බර් 17 දින තිරගත වීමට නියමිතව තිබුනු අතර එහිද විකාශය වීම නවතා ඇත. ලුවිස් සමඟ අලුත් stand-up specials දෙකක් සංවිධානය කොට තිබූ Netflix ආයතනය ඒවාද අවලංගු කොට ඇත. 

 

 මීට සති කිහිපයකට පෙර නිව්යෝක් ටයිම්ස් හරහා කාන්තාවන් පස් දෙනෙක් ලුවිස්ට වෝදනා කලේ ඔහු ඔවුන් ඉලක්ක කරගෙන ලිංගික විෂමාචාර ක්‍රියාවල යෙදුන බවයි. පසුව ප්‍රකාශයක් නිකුත් කරමින් ලුවිස් සීකේ විසින් එම චෝදනා සියල්ල සත්‍යය බවත් ඔහු අතින් සිදු වූ ඒ දේවල් වැරදි බවත් පිළිගත්තේය. 

 

එක අවස්ථාවකදී ලුවිස් විසින් කාන්තාවන් දෙදෙනෙකුට තමන්ගේ කාමරයට ආරාධනා කොට ඔවුන්ගෙන් අසා ඇත්තේ “මම ඔබලා ඉදිරියේ ස්වයංවින්දනය කලාට කමක් නැත්ද?” කියායි. පසුව ලුවිස් විසින් තමන්ගේ ඇඳුම් ඉවත් කොට ඔවුන් ඉදිරියේ ස්වයං වින්දනයේ යෙදී ඇත. අනෙක් අවස්ථාවකදී ලුවිස් විසින් තවත් කාන්තාවකගෙන් “මම ඔබ ඉදිරියේ ස්වයං වින්දනය කලාට කමක් නැද්ද” කියා අසා ඇය විසින් කේන්තියෙන් එය ප්‍රතික්ෂේප කල පසු ලජ්ජාවෙන් සමාව ඉල්ලා ඉවත ගොස් ඇත. තවත් කාන්තාවකට අනුව තමන් සමඟ දුරකථන සංවාදයක් අතරතුර ලුවිස් සීකේ විසින් ස්වයංවින්දනයේ යෙදුන බව තමන්ට දැනුන බව පවසා ඇත.

 

අවසාන අවස්ථාවේ හැර අනෙක් සියලුම අවස්ථා වලදී ලුවිස් සීකේ විසින් අනෙක් පාර්ශවයෙන් අවසරය (consent) ඉල්ලා ඇති අතර කිසිම අවස්ථාවක ස්පර්ශ කිරීමක් හෝ බලහත්කාරකමක් සිදුකිරීමක් කල නොමැත. 

 

පුද්ගලිකව ලුවිස් සීකේගේ ක්‍රියාවල් සුද්ද කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් මට නැතත්, ඒවා වැරදි නොවේය කියා තර්ක කරන්නට කිසිදු අවශ්‍යතාවයක් නැතත් ඇමරිකානු මාධ්‍යය සහ සමාජය මේ සිද්ධියට ප්‍රතිචාර දැක්වූ ආකාරය ගැන යමක් කීමට සිතුනේ කොතැනකවත් මේ ගැන මට සිතෙනා දේ කා අතින්වත් ප්‍රකාශ වී නොතිබූ හෙයිනි. 

 

ලුවිස් සීකේ විසින් තමා අතින් සිදුවූයේ වැරැද්දක් බව පිළිගෙන ඇත. ඔහු විසින් තමාගේ අවශ්‍යතාවය ගැන යෝජනාව ඉදිරිපත් කොට කානතාවන් විසින් එය ප්‍රතික්ෂේප කල විට සමාව ඉල්ලා වෙනතක් බලා යාම හැර ඉන් එහාට කිසිවක් සිදු කොට නැත. ඔහු කලේ වරදක් වුවත් නොවුවත් ඔහුගේ මුළු වෘතිය ගමනටම නැවතීමේ තිත තබා සමාජයක් විදියට ඔහුව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමට තරම් ඔහු කල ක්‍රියාව වරදක්ද යන පැනයය, මෙහිදී මට නැඟෙන්නේ. 

 

ස්ත්‍රී දූෂණය, ලිංගික අල්ලස් ඉල්ලීම, ලිංගික අඩත්තේට්ටම් කිරීම වැනි දේ වලදී අදාල වැරැද්දේ/අපරාධයේ ස්වභාවය සහ ගැඹුර තේරුම් ගැනීම වැදගත්ය. කැමැත්ත විමසීමෙන් පසුව යම් ලිංගික ක්‍රියාවක යෙදීමකට ස්‍ත්‍රී දූෂණයකට ලැබිය යුතු ප්‍රතිචාර ලැබේ නම් එතන පැහැදිළි කරගත යුතු යම් අවුලක් ඇති බව මගේ හැඟීමය. 

 

අන්ධයන් සේ ආගමික, සංස්කෘතික වටිනාකම් පසුපස දුවයෑම මෙන්ම ව්‍යාජ සුචරිතභාවයක් ආරූඩ කරගෙන යම් සිද්ධියක ගැඹුර තෝරා නොගැනීමද අතාර්කිකය. හානිකරය. මිනිසුන් ලෙස අප ගොඬනගා ගත යුත්තේ යම් වටිනාකම් අන්ධයන් සේ අදහන, උත්කර්ෂවත් කරනා සමාජයක් නොව, තර්කානුකූලව සියල්ල ගැන සමබරව සිතිය හැකි සමාජයකි. බටහිර සමාජයන් වල මේ දිනවල නිර්මාණය වී ඇති මේ ව්‍යාජ politically correct වීමේ උවමනාවද මා දකින්නේ තවත් විකාරයක් ලෙසය. ඒ විකාරය මඟින් “ලුවිස් සීකේ කර ඇත්තේ සමාව දිය නොහැකි වරදක් නොවේ” යන ප්‍රකාශය කිරීමට මනුෂ්‍යයෙක්ට ඇති හැකියාව නැති කොට ඇත. සමාජයේ සිය පැවැත්ම නැති කර නොගනිමින් එවැනි ප්‍රකාශයක් කිරීමට හැකියාවක් නැති නිසා දෝ සියල්ලන් වටවී ස්ත්‍රී දූෂකයෙක්ට සේ ලුවිස් සීකේට දෙස් දොවොල් තියයි. 

 

මේවා ලුවිස් සීකේ ගේ ජෝක්ස් වලට වඩා ජෝක්ස්ය. මම වුවද මේ දේ ගැන අවංක අදහස කියන්නේ මේදේ කීමෙන් මට නැති වීමට දෙයක් නොමැති නිසාය. අවසනයේ මේ පොඩි අදහස සටහන් කරමින් මේ කතාව අවසන් කරමි. ආගමික විශ්වාස පමණක් නොව, මානුෂීය අයිතීන්, මානව වාදය, කාන්තා අයිතීන්.. එකී මෙකී නොකී සියලූම මගුලක්ම තර්කානුකූල බවෙන් තොරව ඇදහීමෙන් සහ උත්කර්ෂවත් කිරීමෙන් වෙන්නේ තවත් ඩොග්මාවක් නිර්මාණය වීම පමණකි.

No comments:

Post a Comment

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...