Saturday, December 16, 2017

අලුත්ම ලින්ක් එක තියෙනවා. ඕනෙද?



“උඹ චයිල්ඩ් පෝර්න් බලනවද?.. ලින්ක් එකක් තියෙනවා එවන්නද?”

 

මීට වසර කිහිපයකට පෙර චැට් වින්ඩෝ එකකදී මගෙන් ඒ පැනය ඇසුවේ පාසල් වියේදී මාගේ මිතුරෙකුව හිඳ වසර ගණනකට පසු මුහුණු පොත හරහා නැවත කුළුපගු වීමට පටන් ගත් පුද්ගලයෙකි.

 

පාසල් වියේදී මිතුරන්ගේ නිවෙස් වල එකතු වී වැල බැලීම පුරුද්දක් කරගෙන සිටි නිසා වැඩිහිටියන් වීමෙන් පසු තවත් සීමා මායිම් තරණය කිරීමක් ගැන අත්දැකීමක් මා හා සමඟ බෙදා ගැනීම ඒ මිතුරාගේ අරමුණ වුනා විය යුතු බව ඒ මොහොත මතක් වන විට මට දැන් සිතේ.

 

දැන් ඒ ගැන කෙසේ සිතුවත් ඒ මොහොතේ මගේ මිතුරාගේ ප්‍රශ්නයට ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙලෙසදැයි සිතාගත නොහැකිව මම තුෂ්නිම්භූත වූවෙමි. තත්පර කිහිපයකින් පසු ඔහුගේ ‘ලින්ක් එක’ ප්‍රතික්ෂේප කලෙමි.

ළමයින් යොදා නිර්මාණය කරන ලද ලිංගික දර්ශන ඇතුලත් වීඩියෝ නරඹන්නේ ‘අසික්කිත, අමුතු’ ජීවීන් කොට්ටාශයක් වැනි අදහසක් මගේ සිතේ ඒ අවස්ථාව වන තුරු මැවී තිබුනත්, ඒ චිත්‍රය වෙනස් වුනේ මගේ මිත්‍රයා මා මවාගෙන සිටියා වැනි ‘අමුතු සතෙකු’ නොවන බව මා දැන සිටි නිසාය. ඔහුද, මා වටා ජීවත් වෙන අනෙක් මිතුරන් සේම හොඳ ශිෂ්ඨ සම්පන්න ජීවිතයක් ගත කරන අයෙකු වීම මගේ ඒ ආකල්පය වෙනස් වීමට හේතුවයි.

 

චයිල්ඩ් පෝර්න් යනු සපුරා නීතියෙන් තහනම් කරන ලද දෙයකි. චයිල්ඩ් පෝර්න් නිර්මාණය කිරීම පමණක් නොව බෙදා හැරීම සහ ළඟ තබා ගැනීමද ලෝකයේ සෑම රටකම පාහේ නීතියෙන් දැඩි දඬුවම් ලැබෙන වරදකි. එය එසේ විය යුතුය. හේතුව, මනස නොවැඩුව කුඩා දරුවන්ව ලිංගික ක්‍රියාකාරකම් වල යෙදවීමෙන් පසු වැඩිහිටියන් බවට පත්වන ඔවුන්ගේ ජීවිත අපායන් බවට පත් වීමට ඒ එක සිද්ධියක් පවා ප්‍රමාණවත් නිසාවෙනි. ඔවුන්ගේ මානසිකත්වයට, පෞරෂයට කිසිදා යථා තත්වයට පත් කල නොහැකි මට්ටමේ හානියක් එයින් සිදුවන අතර ප්‍රායෝගික ජීවිතයේදීද ගැටළු රාශියකට මුහුණ දීමට අනිවාර්‍යෙන් සිදුවන නිසා ශිෂ්ඨ සමාජය විසින් කොන්දේසි විරහිතව ප්‍රතික්ෂේප කල යුතු දෙයකි.

 

චයිල්ඩ් පෝර්න් ගැන කතාව මොහොතකට නවත්වා මීට මාස කිහිපයකට කලින් සයිබරය වෙත ඔබේ මතකය රැගෙන එමි.

 

ලංකාවේ ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සනත් ජයසූරිය සහ එවකට ඔහුගේ පෙම්වතියක් ලිංගිකව හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක ලින්ක් එකක් ලාංකික සයිබරයේ ලැව් ගින්නක් මෙන් පැතිර ගියේය. ඊට ටික දවසකට පසු හෂිනි ගෝනගලගේ පුද්ගලික වීඩියෝ පටයක්ද “මචන්, ලින්ක් එක දියන්” ටැග් ලයින් එකට හසුවූ සැටි ඔබට අමුතුවෙන් මතක් කල යුතු යැයි නොසිතමි. (අදාල පුද්ගලයන්ගේ නම් සඳහන් කලේ මේ සටහන කියවන ඔබ සහ ලියන මම දෙදෙනාම අදාල වීඩියෝ නරඹා ඇති නිසා ලෝකය ඉදිරියේ බොරු සුචරිතවාදයක් මවාගෙන අප විසින් අපවම රවටා ගැනීම තේරුමක් නැති දෙයක් නිසාවෙනි)

 

ඔය අවස්ථා දෙකේදීම ඉහත නම් සඳහන් පුද්ගලයන් හා සම්බන්ධ වීඩියෝ පිටවී ඇති බව දැනගත් මම, අනෙකුන් සේම ලින්ක් එක සෙවීමේ ව්‍යාපෘතියට අත ගැසුවෙමි. විනාඩියක් දෙකක් යාමට මත්තෙන් ඉන්බොක්ස් හරහා අදාල වීඩියෝවල ‘ලින්ක්’ මිතුරන් සෑහෙන පිරිසක් ඇසූ සැනින් මා වෙත එවීය.

 

මමත් අනෙකුන් සේම මිනිස් ජීවිත දෙකක පුද්ගලිකත්වය රසවින්දෙමි. ඔවුන්ගේ අනවසරයෙන් ඔවුන්ගේ නිරුවත නැරඹුවෙමි.

 

“වැඩේ වැරදියි තමා, ඒත් ඉතින් නොබලා ඉන්නෙ කොහොමද?” මගේ ක්‍රියාව ගැන මගේ සිත මගෙන්ම ප්‍රශ්න කරන විට මම මටම පිළිතුරු දී ගතිමි. මගේ සිත මගෙන්ම අසන පැනය නොඇසෙන තරමට අන් ජීවිතයක පුද්ගලිකත්වය අස්සේ මම අතරමං වූයෙමි.

 

…තාක්ෂණය දියුණු වෙද්දි අලුත් ප්‍රශ්න මිනිස් සමාජයේ නිර්මාණය වෙනවා. මේකත් එයින් එකක්. පරිස්සම් වෙනවා හැර කරන්න දෙයක් නෑ. ලින්ක් එකක් අවුට් වුනොත් බලන එක ඉතින් මහ ලොකු වැරැද්දක් නෙමේ. මිනිස් ස්වභාවයනේ ඒක.. පසුව මගේ ක්‍රියාව සාධාරණීයකරනය කිරීමට මා විසින් සාදා ගත් බක පණ්ඩිත තියරියය, එය.

 

කාලය එසේ ගෙවී යද්දි මීට මාස කිහිපයකට උඩදී මුලින් කී මගේ මිතුරා මට මුහුණට මුහුණ හමුවූයේ අහම්බෙනි. සයිබරය හරහා සිදුවූ අපගේ අවසාන වචන හුවමාරුව ගැන අමතක වූවන් සේ කතා කල අපි පරණ සුහදත්වයෙන්ම එකිනෙකාට සමුදී අපගේ ජීවිත වලට පිටව ගියෙමු. නමුත් පසුව මගේ හිතේ හොල්මන් කලේ “මේ යකා චයිල්ඩ් පෝන් බලන ජඩයෙක්නේ” යන හැඟීමය.

 

සිතුවිලි අතර අතරමං වූ මට ඔහු කරන ක්‍රියාවල් නිසා මිනිස් ජීවිත විනාශ වන අයුරු මැවී පෙනෙන්නට විය. ඒ දරුවන් වැඩිහිටියන් වූ පසු සමාජය සමඟ කටයුතු කරන්නේ කෙසේද? සමාජීය ජීවීන් ලෙස නිර්මාණය වී ඇති ඔවුන්ගේ සමාජීය ජීවිත සම්පූර්ණයෙන් විනාශ කරන්නට මොහු දායක වනවා නොවෙද? ඒ බව දැන දැනම තමන්ගේ ඇඟෙන් ඉල්ලන තුච්ඡ ආශාවක් සංතෘප්ත කර ගැනීමේ තිරිසන් ආශාවට යටවී මූ ඒ ජීවිත වල විනාශයට මුල් වන විනාඩි කිහිපයෙන් උපරිම වින්දනයක් ලබනවා නොවේද?

 

ක්ෂණයකින් මගේ සිත එකපාර කණපිට හැරුනේය.

 

එතකොට සනත් ජයසූරියගේ ලින්ක් එක? හෂිනිගේ ලින්ක් එක? පානදුර තක්ෂිලාගේ ලින්ක් එක?

මම මගේ ආශාවන්ට යටවී ඒ මිනිසුන්ගේ පුද්ගලිකත්වය රසවිඳිද්දි මම ඒ ජීවිත විනාශ වන හැටි හිතුවද? අර කුඩා දරුවන්ගේ ජීවිත අපායන් වනවා සේම ඒ මිනිස්සුන්ගේ ජීවිතත් අපායන් වන හැටි සිතුවාද? චයිල්ඩ් පෝන් නිසා අර කුඩා ළමයින්ට වෙන විදියටම ඒ මිනිසුන්ගේ සමාජිය ජීවිත විනාශ වෙන හැටි ගැන සිතුවද? ඔවුන් ඉන් පසු සමාජය සමඟ කටයුතු කරන හැටි ගැන සිතුවාද? ඔවුන් ළමයින් නොවුනාට, අවසානයේ අවස්ථා දෙකේදීම නිර්මාණය වෙන්නේ සාමාන්‍යය තත්වයෙන් උඩුයටිකුරු වුන, තැළුණු බිඳුන ජීවිතයක් නෙමේද?

 

ඒ මොහොතේම මට මා ගැනම ඇති වුනේ පිළිකුලකි. වරදකාරී හැඟීමකි. මන්ද, මා වැඩියෙන්ම පිළිකුල් කරනා පුද්ගල ගතිලක්ෂණයකට සමාන ගති ලක්ෂණයක් මා තුලද ඇති බව මටම අවබෝධ වීම නිසාය.

මම අදටත් ලයිල්ඩ් පෝර්න් නැරඹිමෙන් වින්දනයක් ලැබූ මගේ මිතුරා සහ මම අතර ඇති මහා ලොකු වෙනස කුමක්ද කියා සිතමි. අප දෙදෙනාම මිනිස් ජීවිත ‘තැළුණු හප’ බවට පත් කරන්නට දායක වූවන්ය. අප දෙදෙනාම මිනිස් ජීවිත වල ‘අමිහිරිම, අවාසනාවන්තම, කාලකණ්ණිම’ අවස්ථා තළු මර මර රස කරමින් ආශාවෙන් රසවින්දනය කල පුද්ගලයන්ය. අප දෙදෙනාම අපගේ ශාරීරික ආශාවල් වෙනුවෙන් අප විසින් අපවම සාධාරණීයකරනයට හේතු හදා ගනිමින් මිනිස් ජීවිත දෙකොටසකට එකම අවසන් ප්‍රතිපලය උරුම කරදීමට දායක වූවන්ය.

 

“සමහර විට මගේ මිතුරාගේ ක්‍රියාවෙන් සිදුවන හානිය වැඩි ඇති”, විටෙක මට එසේ සිතෙයි. නමුත් ඔහුද මම වගේම “ඔහෙ කමක් නෑ, මම බැලුවෙ නෑ කියල අනිත් උන් මේවා බලන්නැතුව ඉන්නවයැ” කියා සිතන්නට ඇත.

 

කතාව කෙසේ කොහොම වුවද, මම සුචරිතවාදියෙක් වී ඔහු කළු චරිතයක් වන්නේ කෙසේද කියා මම තවමත් සිතමි.

 

මගේ මිතුරා තවමත් චයිල්ඩ් පෝන් බලනවාද කියා නොදන්නවා සේම, ඊළඟට අවුට් වන ‘ලින්ක් එක’ නරඹන්නේ නැතුව සිටීමට මට හැකිවේද නොවේද කියා මා නොදනිමි.

2 comments:

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...