Tuesday, December 19, 2017

පිං කරන්න එපා

 
 
පින කියන සංකල්පය සමාන වෙන්නේ මනෝමූලික ගනුදෙනුවකට. 
 
පින බලාගෙන යම් දෙයක් කරන කෙනා බඩගින්නේ ඉන්න කෙනෙක්ට කෑම එකක් දෙන්නේත් ඒ මනුස්සයාගේ බඩගින්න නිවීමේ අරමුණටත්, ඒ මනුස්සයාගේ බඩගින්න නිවෙනවා දැකීමෙන් තමා සතුටක් ලැබීමේ අරමුණකටවත් වඩා කවදා හෝ අර මනුස්සයාගෙ බඩගින්න නිවන්න නිසා තමා නැති කරගත්ත කෑම එක හරි මිල මුදල හරි වගේ දෙතුන් ගුණයක් තමන්ට ලැබේවිය කියන අදහස මත ඉඳගෙන. 
 
ඕක සමාන වෙන්නේ යහපත් සිතින් කරන මානුෂීය ක්‍රියාවකට වඩා තමා වියදම් කරන ගානට වැඩි ගාණක් බලාපොරොත්තුවෙන් සුවිප් ටිකට් එකක් ගන්නවා වගේ වැඩකට. සුවිප් එකේ දිනුම ගැන විශ්වාසයක් නැතුව සුවිප් විකුණන මනුස්සයා ගැන හිතලා සුවිප් එකක් ගන්න ඉතා අඩු පිරිසක් ඉන්නබව ඇත්ත. මොන අදහස ඇතුව ගත්තත් සුවිප් විකුණන මනුස්සයාට ඒකෙන් යම් ප්‍රයෝජනයක් ලැබෙන බවත් ඇත්ත. නමුත් කාරණා එහෙම වුනාය කියලා වියදම් කරන ගාන වගේ දෙතුන් ගුණයක්, සිය දහස් ගුණයක් ප්‍රතිපල බලාපොරොත්තුවෙන් සුවිප් ටිකට් ගන්න එක 'මානුෂීය' ක්‍රියාවක් විදියට සාමාන්‍යෙන් හැඳින්වෙන්නේ නැහැ. 
 
දැන් කෙනෙක්ට අහන්න පුළුවන් මෙහෙම. 
 
"කවුරු හරි කරන වැඩකින් හොඳක් වෙනවා නම් ඌ මොන මගුල හිතන් ඕක කලත් උඹට පාන්ද?".. කියල 
 
ඇත්ත වශයෙන්ම මට පාන්වත් කිඹුල බනිස්වත් නැහැ. එහෙම නැති වෙන්නේ එහෙම කරන එකේ අවුලක් නොතිබ්බනම්. අවුලක් තියෙන නිසා ඇත්ත වශයෙන්ම මට පාන් තමයි. අවුල මොකක්ද දන්නවද? 
 
ඔය පින් සීන් එකෙන් කරන්නේ නම් කරන ලද හැසිරීම් එකතුවක් දිරිමත් කිරීමක් පමණයි. පින බලාගෙන ඒ හැසිරීම් වල යෙදෙන ඈයෝ ඒවා කරන්නේ තමන්ට වාසියක් බලාගෙන මිසක තමා කරන ඒ ක්‍රියාව ගැන අවබෝධයකින් නෙමේ. 
 
මෙහෙම හිතන්න, පොඩි ළමයෙක් බත් නොකන නිසා ගෝනි බිල්ලො එනවාය කියල බය කලාම ඌ බත් ටික ඉවර වෙනකල් කනවා. ඒ බය කිරිල්ලෙන් (ගෝනි බිල්ලා එනවා) යම් හැසිරීමක්(බත් කෑම) කරගන්න පුළුවන් බව ඇත්ත. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ, ඔය ළමයා වැඩිහිටියෙක් වුනයින් පස්සෙත් තමන් කරන ක්‍රියා අවබෝධයක් රහිතව ගෝනි බිල්ලාට බයෙන්ම කරන්න පෙළඹෙනවා නම්. සහ ගෝනි බිල්ලෝ එනවාය කියල වැඩිහිටියෙක් වුනයින් පස්සෙත් මූව වටේ ඉන්න උන් බය කර කර උන්ට ඕන වැඩ මූට කියල කරගන්නව නම්. කොහේවත් නැති 'ගෝනි බිල්ලා' කියන සංකල්පය මත පදනම් වෙලා පාලනය වෙන වැඩිහිටියෙකු වෙනවා නම්.. අවුලක් නැත්තෙමත් නෑ නේද? 
 
දැන් ඔය බෞද්ධ භික්ෂූන් හරි චීවරධාරීන් හරි, මොක්කු හරි ඉන්න ඔය සෙට් එක තනිකරම තමන්ගේ පැවැත්ම තහවුරු කරගෙන ඉන්නේ මේ පිං වෙළඳාම පදනම් කරගෙන. සරලවම කියනව නම් ඒ අය කරන්නෙ පිං වෙළඳාම. මේ අයගේ පාරිබෝගිකයන් ගණන ඉතා විශාල වීම අවුලක් නෑ වගේ පෙනුනට අවුලක් නැත්තෙමත් නෑ. කඨින පිංකම්ද, පෙරහැරවල්ද, ධාතු ප්‍රදර්ශනද, පන්සල සංවර්ධනය කියලා සල්ලි එකතු කිරීම්ද, දන්සැල්ද අරවද මේවද කියල මේ හැම දේකටම පිං පෙන්නල සමාජයේ එක් පිරිසක් (භික්ෂූන්) අනෙක් පිරිසක්ව (උපාසක/උපාසිකාවන්) කඩේ යවන එක අවුලක් නෙමේද? ඒ අයව අන්දලා තමාගේ වැඩ කරගන්න එක අවුලක් නෙමේද? සරලවම කියනවා නම් රවට්ටන එක සහ රැවටෙන එක අවුලක් නෙමේද? මේවා තනිකර පිං විකුණන මුවාවෙන් කරන ජාවාරම් නෙමේද? 
 
එක්තරා කාලයක් තියෙන්න ඇති මිනිස්සුන්ගෙ හැසිරීම් ගෝනි බිල්ලො පෙන්නලා බය කරල හරි මැරුනයින් පස්සෙ හම්බෙන සීනි බෝල පෙන්නල හරි පාලනය කරන එක හොඳ දෙයක් වෙච්චි. නමුත් දැන් මේ 21 වන ශතවර්ෂයේදී ඒ තත්වය වෙනස් කියලයි මට හිතෙන්නෙ. මිනිස්සු ඒ කාලවලට සාපේක්ෂව තාක්ෂණික අතින්, සදාචාරාත්මක අතින් සහ ලෝකය ගැන අවබෝධය අතින් දියුණු වෙලා ඉන්න යුගයක අවබෝධය මත පදනම් වෙලා තමන් කරන නොකරන ක්‍රියා සම්බන්ධව තීරණ ගන්න කාලය එළඹිලා තියෙනවා කියලයි මම යෝජනා කරන්නෙ. අනික, තමා කරන වැඩේ ගැන අවබෝධයක් නැතුව ඔය තෑගි හෙවත් Rewards බලාගෙනම අන්ධයෝ වගේ වැඩ කරන එකේ දරුනු ප්‍රතිපල තියෙනවා. මුස්ලිම් අන්තවාදීන් "අල්ලා හුරක්බා" කියාගෙන තමාවම පුපුරවගන්නේ මැරුනයින් පස්සෙ තමාට හම්බෙන කන්‍යාවියො හැත්තෑ දෙදෙනාගේ තෑග්ග බලාපොරොත්තුවෙන්. 
 
මැරුනයින් පස්සේ අහවල් එක හම්බෙනවාය කියල ඇන්දුවාම අසූචි වුනත් කන මානසිකත්වයක ඉන්න මිනිස්සුන්ගෙන් යුක්ත සමාජයක් නිර්මාණය වෙලා තියෙන එක යහපත් දෙයක් කියල කාටද තර්ක කරන්න පුළුවන්. 
 
මරණින් පස්සෙ මොනව හරි හම්බෙනව කිව්වොත් මිනිස්සු දාස් ගණනින් සල්ලි දෙනවා, මල් පූජා කරනවා, දණ ගහල වඳිනවා, ගස් වටේ කැරකි කැරකි වතුර දානවා, නූල් බැඳගන්නවා, බකන් නිලාගෙන ඉන්න උන්ට හැමදාම කෑම ගිහින් දෙනවා, පහන් පත්තු කරනවා, කඳු නගිනවා, ගස් ගල් වලට වඳිනවා, ඉටිපන්දම් පත්තු කරනවා, යාතිකා කරනවා, හූ තියනවා, කුරුස එල්ලගන්නවා, ... කොටින්ම දෙයියන්ගේ නම කියල කෑගහලා බෝම්බයක් බැඳගෙන තමාවම පුපුරව ගන්නවා. මේ ඇන්දවීම සහ අන්දවා ගැනීම හොඳ දෙයක්ද? 
 
මෑතකදී සයිබරයේ කතාබහට ලක් වුන සිද්ධියක් ඔබට මතක ඇති.
 
ශ්‍රීපාදය වන්දනා කරන්න ගිය වන්දනාකරුවන් දාපු කුණු එකතු වෙලා ශ්‍රීපාදය ලඟ කුණු කන්දක් හැදිලා. මේ මිනිස්සු කොයි තරම් සැදැහැ සිතින් සුදු ඇඳගෙන මත්පැන් පානය නොකර කණුහරප නොකියා වන්දනා ගමනේ ගියත් මේ කරන දේ කරන්නේ තමාගේ යහපැවැත්ම ගැනවත් තමා ජීවත් වන සමාජයේ යහපැවැත්ම ගැනවත් හිතමින් නම් නෙමේ. තනිකර තමාගේ පිං අකවුන්ට් එක වැඩි කරගන්න එකේ අරමුණින්. මේ මිනිස්සු යහපත් කරගන්න හදන්නේ අපි ජීවත් වන ලෝකය නෙමේ. මැරුනයින් පස්සේ තියෙනවයි කියල වෙනකෙනෙක් කියන වෙනත් ලෝකයක් යහපත් කරගන්නයි මේ දතකන්නෙ. මේ අයට ප්‍රශ්නය ජීවිතය නෙමේ, මරණයයි මේ අය ප්‍රශ්නයක් කරගෙන ඉන්නේ. මැරුනයින් පස්සේ තමා යනවාය කියල හිතන වෙනත් ලෝකයක් දිහා බලාගෙන දඟලන මිනිස්සු මේ ලෝකය යහපත් කරන්න ඒ තරම් උනන්දුවක් දක්වන්නේ නැති එක පුදුම වෙන්න කාරණාවක්ද? 
 
මගේ සයිබර් මිත්‍රයෙක් කියලා තිබ්බා ඔය ගැන නියම අදහසක්. ඒ කතාවෙන් මම මේ කියන්න හදන දේ හොඳටම පැහැදිළි වේවි. (හරියටම යාලුවගේ වචන මතක නැති නිසා අදහස ලියන්නම්) 
 
"ඔය ශ්‍රීපාදය ළඟ ගොඩ ගැහිල තියෙන කුණු ගොඩ අයින් කරන එකෙන් ලබන ආත්මයට මහා පිං ආනිසංස ලැබෙනවා කියල ගම් වල ප්‍රචාරයක් යැව්වොත් ගම් නියම් ගම් වලින් මිනිස්සු පොරකාගෙන ඇවිත් මේ කුණු කන්ද දිවෙන් අයින් කරලා දායි" 
 
මරණින් පස්සෙ ලැබෙන බිබික්කමක් බලාගෙන තමා කියන කරන දේවල් ගැන අවබෝධයක් නැතුව වැඩ කරන එකේ අවුල ගැන මීට වඩා හොඳ උදාහරණයක් තවත් ඕනද? 
 
ඇන්දිලා වැඩ කරනවට වඩා අවබෝධයෙන් වැඩ කරන තත්වයට මනුස්ස සංහතිය පා තබල තියෙන බව තේරුම් ගන්න දැන් කාලය එළඹිලා කියලයි මට හිතෙන්නෙ.

10 comments:

  1. පින ගැන ඔබේ ආකල්පය තදබල භෞතිකවාදී උනත් තර්කයට ගෝචරයි. පින නොමැතිව ගියොත් වෙන්නේ සල්ලි නැතුව ලෝක සවාරියක් යන්න ගියා වගේ. ආගම විතරක් නෙවෙයි ජාතියත් , දෙමවුපියොත් විකුනන්කන සමාජයේ ඔබේ තර්කයට වැඩි ඉල්ලුමක්, වටිනාකමක් තියෙයි.

    අදහස මිසක් පුද්ගල ගැටුමකට ලිව්වා නොවෙයි. ස්තුතියි

    ReplyDelete
    Replies
    1. නැහැ. මං හිතන්නේ නැහැ මගේ මේ අදහස් වලට ඔබ කියනවා වගේ ලොකු ඉල්ලුමක් තියේවිය කියල. මොකද මරණින් පසු පැවැත්මක් නැතිය, තමන් කරන 'හොඳ' දේවල් වලට තමන්ට ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැතිය, තමන්ට නරක කරන අයට සහ තමන් නරක වැඩය කියල හිතන දේවල් කරන මිනිස්සුන්ට ඒවායේ පලවිපාක (දඬුවම්) ලැබෙන්නෙ නැතිය වගේ කතා මිනිස්සු පිළිගන්න අකමැතියි. මිනිස්සු කැමති මරණින් පසු පැවැත්මක් තියෙන, සාධාරණය කොයි විදියකින් හරි පාලනය වෙන (දේව සංකල්පයකින් හෝ කර්ම සංකල්පයකින්) ලෝකයකය. ඉතින් මිනිස්සු විශ්වාස කරන්න තෝරගන්නෙත් එහෙම අදහස්ම තමයි. නැත්නම් ඔය වගේ විශ්වාස මෙච්චර කාලයක් මිනිස් ඉතිහාසය පුරාවට පවතියිද?

      කැමති අදහසක්, විවේචනයක් ලියන්න. මේවා ලියන්නෙම මේවා ගැන කතා කරන්නම තමා. අදහස් ගැන කතා කරන එක කොහොමද පුද්ගලික ගැටුමක් වෙන්නෙ? :)

      Delete
  2. ඕකනම් පට්ටම ඇත්ත බං. මම ඕක තේරුම් අරගෙන දැන් අවුරුදු හතර පහක් වෙනව. ඒත් තව කෙනෙකුට තේරුම් කරන්නනම් යන්නෙ නැහැ. අන්තිමට ඔය කතා ඉවර වෙන්නෙ ආගම ගෑවිල. අපේ නැන්ද කෙනෙක් ඉන්නව පන්සල් හොය හොය ගිහිල්ල තාප්ප දාගැබ් මල් ආසන ලක්ෂ ගණන් වියදං කරල හදනව. ඒත් තමන්ගෙ වයසක අම්මට සලකන්නෙ නැහැ. තමන් හරියට පව් පිං තේරුම් ගන්නවානම් අම්මට සලකන්නෙ නැති එකම ඇති ඔය පන්සල් හදන එකට වඩා. මමනම් මේ ආතල් දක්කහම හිනා වෙලා නිකන් ඉන්නව. මොකද ඉතින් ලේ ටික හරි සුද්ද වෙනව මුංගේ ජෝගි දැකල.. 😂😂😂😂

    ReplyDelete
    Replies
    1. ගොං කම් දැක්කම නම් හිනා යනව තමා බං. ඒත් මනුස්ස සංහතියේ අනාගතය ගැන හිතද්දි නම් මාර ෂොක් එකක් එන්නෙ.

      Delete
  3. මෙතැනදී අහන්න ඕනේ වැදගත්ම ප්‍රශ්නය ඔබ කර්මය කර්මඵල විශ්වාස කරනවද කියන දෙයයි ?
    ඒ ගැන කිසිම විශ්වාසයක් නැත්නම් ඔබ තදබල භෞතිකවාදී චින්තනයක තමයි ඉන්නේ.

    කර්මය කර්මඵල කියන්නේ මරුනයින් පසුව පමණක් වෙන දෙයක් නෙමෙයි මේ ජිවිත කාලයේ දීත් අප කල හොද නරක වල ප්‍රතිඵල යම් මට්ටමක ලැබෙනවා.

    //මරණින් පස්සෙ මොනව හරි හම්බෙනව කිව්වොත් මිනිස්සු දාස් ගණනින් සල්ලි දෙනවා, මල් පූජා කරනවා, දණ ගහල වඳිනවා, ගස් වටේ කැරකි කැරකි වතුර දානවා, නූල් බැඳගන්නවා, බකන් නිලාගෙන ඉන්න උන්ට හැමදාම කෑම ගිහින් දෙනවා, පහන් පත්තු කරනවා, කඳු නගිනවා, ගස් ගල් වලට වඳිනවා, ඉටිපන්දම් පත්තු කරනවා, යාතිකා කරනවා, හූ තියනවා, කුරුස එල්ලගන්නවා, ... කොටින්ම දෙයියන්ගේ නම කියල කෑගහලා බෝම්බයක් බැඳගෙන තමාවම පුපුරව ගන්නවා. මේ ඇන්දවීම සහ අන්දවා ගැනීම හොඳ දෙයක්ද? //

    මෙහෙම දෙයක් තියනව, මෙහිදී සෑම ආගමක පුජකයෝ මිලමුදල් පහසුකම් ලබන්න මෙවැනි දේ කරනවා වගේම තමන්ට අනාගතයේ ලැබෙන දෙයක් බලාපොරොත්තුවෙන් දැඩි තන්හාවෙන් පින්කරන අයත් සිටිනවා, මෙනිසයි බුදුදහමේ උගන්වන්නේ මෙවැනි මුලාවෙන් කරන පින්වල ප්‍රතිපල දුර්වලයි කියල, ලෝකෙට පෙන්න කලාට මේවයින් තමන්ට එතරම් පිනක් සිදු වෙන්නේ නෑ .

    හරියට ලෝකේ දිහා බැලුවොත් අනුන් වෙනුවෙන් කරන දේවල් වලින් 99% ම සිදුකරන්නේ තමන්ට යමක් බලාපොරොත්තුවෙන්, මේ නිසයි මිනිසුන් දිලින්දෙකුට යමක් දෙනවට වඩා පුජකයෙකුට දෙන්න පෙලෙබෙන්නේ නමුත් සැලකියයුතු පිරිසක් සිටිනවා කෙනෙකුගේ අසරණ බවට කරුණාවෙන් උපකාර කරන, මෙහිදී හිතට ඇතිවන සතුට ඇර වෙන යමක් අදාළ සම්පත් වැයකරන කෙනා බලාපොරොත්තු වෙන්නේ නෑ නමුත් බුදුදහමට අනුව නම් විශාල කුසලයක් සිදුවෙනවා.

    බුදුදහමට අනුව කෙනෙක් ට ලක්ෂයක් වැයකර කරන කුසලයට වඩා රුපියල් 10 කින් වැඩි කුසලයක් සිදුකර ගන්න පුළුවන්, මෙහිදී මුල්වනේ හිතයි.

    අවසන් වශයෙන් භෞතිකවාදී චින්තනය ගැන වචනයක් කියන්න ඕනේ දැනට ශතවර්ෂ 2ට පෙර විද්‍යුතය ගැන කිසිම දැනුමක් මිනිසුන්ට තිබුනේ නෑ, ඔබ එම කාලයේ සිටියානම් ඔබ කියයි ඇසට දකින්න නැති මේ විද්‍යුතය (Alternating current) කියල දෙයක් නෑ කියල නමුත් අද ඔබ බලවත් Alternating current වයරයක් ඇල්ලුවම ඔබට වෙන දේ කියන්න ඕනේ නෑ, කර්මය කර්මඵල ගැනත් කියන්නේ ඕනේ ඕකම තමයි.

    මිනිසුන් මේ ශක්තින් ගැන නොදැනුවත් ව සිටි කාලේ මෙවැනි දෙයක් නැති බව කිව්වනම් එය වැරදියි.

    ReplyDelete
    Replies
    1. //මෙතැනදී අහන්න ඕනේ වැදගත්ම ප්‍රශ්නය ඔබ කර්මය කර්මඵල විශ්වාස කරනවද කියන දෙයයි ?
      ඒ ගැන කිසිම විශ්වාසයක් නැත්නම් ඔබ තදබල භෞතිකවාදී චින්තනයක තමයි ඉන්නේ.//

      මේකට උත්තරය ඔබ කර්මය කියල අදහස් කරන්නේ මොකක්ද කියන එක මත පදනම් වෙනව. නමුත් බොහෝ බෞද්ධ පිරිස් විශ්වාස කරන විදියේ කරන හොඳ ක්‍රියා අර හර බැර වෙනව වගේ 'පල දෙනවා' කියන එක මම පිළිගන්නේ නැහැ.

      මම ඉන්නේ තදබල භෞතිකවාදී චින්තනයක තමයි. මට පේන විදියට ඔබතුමාත් තදබල ආගමික චින්තනයක ඉඳගෙන කතා කරනවා නම් (මම වැරදි නම් නිවැරදි කරන්න) මම ඊට ප්‍රතිවිරුද්ධ තැනක ඉන්න එක ගැටළුවක් නෙමේ නෙ.

      //කර්මය කර්මඵල කියන්නේ මරුනයින් පසුව පමණක් වෙන දෙයක් නෙමෙයි මේ ජිවිත කාලයේ දීත් අප කල හොද නරක වල ප්‍රතිඵල යම් මට්ටමක ලැබෙනවා.//

      කලින් කිව්ව අර්ථයෙන් ගත්තොත් මේ කතාවට එකඟ නැහැ

      //අවසන් වශයෙන් භෞතිකවාදී චින්තනය ගැන වචනයක් කියන්න ඕනේ දැනට ශතවර්ෂ 2ට පෙර විද්‍යුතය ගැන කිසිම දැනුමක් මිනිසුන්ට තිබුනේ නෑ, ඔබ එම කාලයේ සිටියානම් ඔබ කියයි ඇසට දකින්න නැති මේ විද්‍යුතය (Alternating current) කියල දෙයක් නෑ කියල නමුත් අද ඔබ බලවත් Alternating current වයරයක් ඇල්ලුවම ඔබට වෙන දේ කියන්න ඕනේ නෑ, කර්මය කර්මඵල ගැනත් කියන්නේ ඕනේ ඕකම තමයි. //

      මේක බෞද්ධයන් පමණක් නොවේ, හැම ආගමිකයෙක්ම යොදාගන්නා හිස් තර්කයක්. විද්‍යාවෙන් තවම ලෝකය සහ යතාර්ථය ගැන සියලු දේ සොයාගෙන නැති නිසා තමාගේ ප්‍රියතම මිත්‍යා කතන්දරය කවදා හෝ ඇත්ත විය හැකිය කියන එක අපට අහන්න ලැබෙනවා කතෝලිකයන්ගෙන් සහ මුසල්මානුවන්ගෙනුත්. එහෙම බැලුවොත් මිත්‍යාව සහ යතාර්ථය වෙන් කරගන්න බැරුව යනවා. ඇයි ඉතින් කවදා හරි හොයාගත්තොත් අල්ලා දෙවියන් ඇත්තය කියල, අර විද්‍යුතය ගැන හොයාගත්තා වගේ නේද?

      විද්‍යාවෙන් සියල්ල සොයා ගෙන නොමැති වීම හෝ යම් අවස්ථාවලදී විද්‍යාත්මක මත වැරදි යයි ඔප්පු වීම ලෝකයේ තියෙන ඕනම මනස්ගාතයක් සත්‍ය යැයි පිළිගැනීමට සාධාරණ හේතුවක් නොවේ



      Delete
  4. +++++
    ආගම්වල ඉතිහාසය, සංසන්දනය සහ සමහර සංකල්ප ගැන ඉන්ටරෙස්ට් එකක් තිබුනට වැඩි හරිය මට කම්මැලියි. පූජක පක්ෂයට සමස්ථයක් ලෙස හා පූජාවලට කැමැත්තකුත් නෑ. නිරාගමිකයි කියන්න තරම් දැඩි ස්ථාවරයකුත් නෑ. ආගම් එහෙ තියනව. මං මෙහෙ ඉන්නව වගේ තමයි. එනිසා ඔබේ පෝස්ට් එකේ කරුණු බොහෝමයක් ගැන එකඟ වුනාට ඒ ගැන විස්තරාත්මකව ලිවීමට ආසා නෑ.

    ReplyDelete
  5. //බඩගින්නේ ඉන්න කෙනෙක්ට කෑම එකක් දෙන්නේත් ඒ මනුස්සයාගේ බඩගින්න නිවීමේ අරමුණටත්, ඒ මනුස්සයාගේ බඩගින්න නිවෙනවා දැකීමෙන් තමා සතුටක් ලැබීමේ අරමුණකට//

    පින කියන්නෙ මේකට.මේ සතුට වැඩි තරමට පින වැඩී.

    ReplyDelete
  6. මට නම් මැරුණට පස්සේ මොකෙක් වුනත් කමක් නෑ... ඒ නිසා පිං කම් නොකරමි. එනමුත් මේ ජීවිතයේදි හොඳ දේ කරමි.. ඒ පං පව් බලාගෙනවත්, කර්මය විශ්වාස කරගෙනවත් නොව සිතීමේ හැකියාවක් ඇති මනුෂ්‍යෙයක් වශයෙන් මනුෂ්‍යත්වය තේරුම් ගැනීම නිසාවෙනි. තවත් කෙනෙකුට කරදර නොකරමි. ඒ අපායේ යෑමට බියෙන් නොව මා මෙන්ම තවත් කෙනෙකුට මෙලොව කරදරයකින් තොරව ජීවත් වීමේ අයිතිය ඇති බව තේරුම් ගත් නිසාවෙනි.

    ReplyDelete
    Replies
    1. නියමයි බං. ඕක තමා වෙන්න ඕන

      Delete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...