Wednesday, August 29, 2018

පිනට දීම නොහොත් චැරිටි ගැන

පොදුවේ මිනිස්සු අනිත් අය ගැන හිතන්න, අනිත් අයට උදව් කරන්න කැමති තමන්ගේ පැවැත්මට බලපෑමක් නොවන මට්ටමින් විතරයි.

KFC එකට රෑ කෑමකට යන පවුලක් හරිම කැමැත්තෙන් එතන බිම ඉඳගෙන ළමයෙක් වඩාගෙන ඉන්න ගෑණු කෙනාට කීයක් හරි දෙනවා, කපුරු පැකට් එකක් සල්ලි වලට ගන්නවා, නැත්නම් කෑම එකක් අරන් දෙනවා. ඒ විදියට නැති බැරි එයට කීයක් හරි පිනට දීලා 'හොඳ' මනුස්සයෙක් වෙන හැටි තමන්ගේ දරුවන්ටත් කියල දෙනවා.

ඒත් ඒක කරන්නෙ ඒ කෙනාට යමක් දීමේදී තමන්ගෙන් අඩුවෙන ප්‍රමාණය තමන්ට නොදැනෙන සීමාවක තියාගෙන. එහෙම අනිත් අයට 'උදව්' කරන මිනිස්සු ඒ උදව් ලබන මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරන්න තමා ඉන්න මට්ටමින් එක අඩියක් පහළට තියන්න ලොවෙත් කැමති වෙන්නෙ නෑ. එහෙම කරන්න වුනොත් ඔය හිත හොඳ මිනිස්සු අනිත් උන්වත් මරාගෙන උනුත් මැරෙයි.

අනික, ඔය උදව් කරන අයට උදව් ලබා දෙන්න 'අසරණයො' ඉන්නත් ඕනෙ. අසරණයො හිටියෙ නැත්නම් තමා 'හොඳ මනුස්සයෙක්' බව තමන්ට තහවුරු කරගන්න විදියක් නැතුව මහත්තුරුන්ට නෝනලාට පිස්සු හැදෙයි.

සමාජ ක්‍රමයෙන්ම නිර්මාණය කෙරෙන ඔය අසරණයන්ව පාවිච්චි වෙන්නෙ පිං පෝර්ට් විදියට. ලබන ආත්මයේ තවත් මිල මුදලින් අනිත් අයට වඩා උඩින් ඉන්න හැකියාව ලබන්න පින් කරගන්න සල්ලි දාන 'පිං කැට' විදියට. එහෙම නැත්නම් මරණින් පස්සෙ ජීවිතයක් සැපවත් කරගන්න අහසෙ ඉඳන් බලන් ඉන්න දෙවිකෙනෙක්ගෙන් ලකුණු දාගන්න මාර්ගයක් විදියට.

තමන් තමන්ගේ මහා කාරුණික බැල්ම හෙළලා ඒ අසරණයන්ට කෑම වේලක් දෙද්දි, කපුරු පැකට් එකක් ගද්දි, සුවිප් ටිකට් එකක් ගද්දි 'පින් සිද්ධ වෙනවා මහත්තයො' කියල බයාදු විදියට පිංසෙන්ඩු වෙවී කියද්දි හිතට එන සුපීරියර් හැඟීම නැත්නම් ඔය තරම් චැරිටි දෙන්න ගොඩක් අය ඉදිරිපත් වෙන්නෙත් නෑ.
මේ විදියේ චැරිටි වැඩ හෙවත් පිනට දීම් වලින් ඒ දේ ලබන අසරණ පුද්ගලයන්ට ප්‍රයෝජ්‍යය වටිනාකමක් තියෙන බව ඇත්ත. උදව් නොකරනවාට වඩා කරන එක හොඳ බවත් ඇත්ත. නමුත් ඔය විදියට උසස් තැනක ඉඳල පහත් තැනකට බාගෙට වහපු කරාමෙකින් වතුර බින්දු බින්දු වෑස්සෙනවා වගේ සල්ලි විසි කිරීමෙන් උදව් ලබන්නාට සැබෑවට උදව්වක් ලැබෙනවාද, ඒ අයගේ ජීවිත වෙනස් කරන්න දායකත්වයක් ලැබෙනවාද කියන එකයි ප්‍රශ්නය.

හරි නම් විය යුත්තේ තව කෙනෙක් තමන්ටවත්, තමන් තව කෙනෙක්ටවත් අතපාන්න සිද්ද නොවන සමාජ ක්‍රමයක් ඇති කරන්නෙ කොහොමද, ඒ වෙනුවෙන් කල යුතු දේ කරන්න තමා සූදානම්ද කියන කාරණය ගැන හිතල බලන එක. එහෙම සමාජ ක්‍රමයක් ගොඬනැඟීම වෙනුවෙන් වචනයකින් හරි දායකත්වයක් දෙන එක. නමුත් ඒ වගේ තමන් සහ තමන්ගේ මහා කාරුණිකභාවයට ලක් වන මනුස්සයා අතර පරතරය අඩු සමාජ ක්‍රමයක් ගැන හිතනවට වඩා තමන්ගේ එදිනෙදා මඩිය තරකරගෙන බඩුභාණ්ඩ ගොඩගහගන්න දඟලන අතරේ බල්ලෙක්ට මස් කට්ටක් දානවා වගේ නැති බැරි මිනිහෙක්ට කීයක් හරි දෙන එක ලේසියි. පහසුයි. සරලයි.

ඇයි තව කෙනෙක් ජීවත් වෙන්න මට අතපාලා මගෙන් උදව් ඉල්ලන්න ඕන, තව කෙනෙක්ට උදව් කරන්න මම එයාට වඩා සුපීර්යර් වුනේ කොහොමද වගේ කාරණා මේ 'පිනට දීමේ හිත හොඳ කරතව්‍යයේදී' අදාලම නෑ ඉතින්.

අර වගේ සමාජ ව්‍යුහයේ වෙනසකට විරුද්ධව මරාගෙන මැරෙන්න සූදානම් මිනිස්සු නැති බැරි ඈයන්ට චැරිටි දීලා තමන් තමන්ම ඉදිරියේත්, ලෝකය ඉදිරියේත් ගොඬනගා ගන්න හදන හොඳ ප්‍රතිරූපයේ හොඳේ තරම තේරුම්ගන්න එච්චර අමාරුවෙන් ගැඹුරට හිතන්න නම් ඕන නැහැ. ඒක ඒ තරම්ම පැහැදිළියි.
.
.
.
- ජේමිස් බණ්ඩා

Sunday, August 12, 2018

සුමඩුර ඩර්ම දේශනා !

"අහවල් හාමුදුරුවන්ගේ සුමදුර ධර්ම දේශනාව අහන්න අහවල් දවසේ අහවල් පන්සලට අහවල් වෙලාවට එන්න"
ගේ ඉස්සරහා තාප්පේ පෝස්ටරයක් අලවලාය.

සුමදුර විදියට බණ කියන්නේ කොහොමද? පෝස්ටරය දුටු සැනින් බණ්ඩාට සිතුනේය. බුදුන්වහන්සේ දේශනා කල, සමස්ථයක් වශයෙන් ගත් කල පැවැත්ම දෙස සෘණාත්මකව බලන්නට උගන්වන දර්ශනයක් සුමදුර විදියට දෙසන්නේ කොහොමද? චතුරාර්ය සත්‍යය තාලෙට ගය ගයා නට නටා කියනවාවත්ද?

එකත් අතකට සුමදුර ධර්ම දේශනා කිව්වාම බණ්ඩාට මතක් වුනේ දැන් දැන් දීප ව්‍යාප්තව තිබෙන 'ආතල් බණ' ට්‍රෙන්ඩ් එකය.

බණ්ඩාට තේරෙන විදියට බණ කියනවා කියා මේ දවස් වල බොහෝමයක් හාමුදුරුවන් වහන්සේලා කරන්නේ බණ අහන් ඉන්නා උපාසක උපාසිකාවන්ව චූන් කිරීමය. දෙපැත්ත කැපෙන විහිලු, ජීවන අත්දැකීම්, ආගිය කතා වැනි දේ ඇසුරෙන් පවුල් කෑමෙන් පටන්ගෙන ගැහැණු ළමුන් ඇඳුම් පැළඳුමෙන් සැරසිය යුතු ආකාරය දක්වා ඔවදන් දෙමින් අසන්නන් චූන් කිරීමය, බණ කීම ලෙස හැඳින්වෙන්නේ.

මේ ආකාරයෙන් වැඩියෙන්ම අසන්නන් චූන් කරනා හාමුදුරුවරුන්ට 'සුමදුර' ධර්ම කථික පට්ටම නිරායාසයෙන්ම හිමිවී නිතර නිතර රටවටා බණ වලට ආරාධනා ලැබෙන සෙලිබ්‍රිටි හාමුදුරු කෙනෙක් වීමේ භාග්‍යය උදා වේ. බුදුන්වහන්සේගේ දර්ශනය දේශනා කරනා බුද්ධ පුත්‍රයකුට වඩා වර්තමාන සුපර්ස්ටාර් භික්ෂූන් සමාන වන්නේ කඩමණ්ඩියක ඉඳගෙන නාකි ගෑණුන් හිනස්සනා ගොඩේ බයියෙකුටය.

බණ කීමෙන් අනෙක් අය චූන් කිරීමට ලක් කරන හාමුදුරුවන් බණ කියනා අතර ගාම්බීර ලෙස මඳහස පායි. බණ ඇසීමෙන් චූන් වීමට ලක්වන උපාසක උපාසිකාවන් බිම ඉඳගෙන චූ බරේ මෙන් ඇඹරි ඇඹරි හාමුදුරුවන්වහන්සේගේ මෝඩ ජෝක් වලට සිනාසෙයි. භික්කු භික්කුනී උපාසක උපාසිකා සිව්වනක් පිරිසටම ආතල්ය. චූන්ය. සතුටුය. කාටකාටත් සතුටු නම් ඉතින් බණ්ඩාටත් සතුටුය.

පෝස්ටරයේ සඳහන් පරිදි සුමදුර බණ ඇසීමට එන්න කියා ආරාධනා කර ඇත්තේ, වෙනත් වචන වලින් කියනවා නම් චූන් වෙලා යන්න එන්න කියා විය යුතුය. සතුටුය. අච්චරක් පීඩනයෙන් හෙම්බත් වී ඉන්නා මිනිසුන් මෙහෙමවත් චූන් කිරීම ගැන හාමුදුරුවන්වහන්සේලා මහින්ද දැක නිවන් දැකිය යුතු යැයි බණ්ඩාට සිතෙන්නේය.

ඒත් බණ්ඩාට භික්ෂූන් වහන්සේලාව පෙන්නන්න බැරිය. ගෝඨාබයට ලසන්තව පෙන්නන්න බැරි තරම්ම පෙන්නන්න බැරිය (ආ.. එච්චරම නෑ.. මරන්න තරම් පරහක් නෑ). එයට හේතුව බණ්ඩා භික්ෂූන් වහන්සේලාව දකින්නේ ලාංකීය සමාජය වෙළා ගත් පිළිකාවක් විදියට නිසාය.

'අච්චරක් ප්‍රයෝජනවත් දේ මිනිස්සුන්ට කියා දෙන ආධ්‍යාත්මික ගුණවගාව වැඩි කරනා බුද්ධ පුත්‍රයන්ට පිළිකාවක්ය කියන්නේ මොන කාලකණ්ණියෙක්ද?'

රටට දැයට ආගමට ආදරය කරන බෞද්ධයෙක් කේන්තියෙන් බණ්ඩා ගැන එහෙම කියන්නට ඉඩ ඇත. කමක් නැත. සටහන කියවාගෙන යද්දි බණ්ඩා එසේ හිතන්නේ ඇයි කියා කාටකාටත් තේරෙනු ඇත.

බණ්ඩාට සිතෙන විදියට ඔය භික්ෂූන් වහන්සේලාගේ බණ වල එන 'බෞද්ධ දර්ශනයේ' කෑලි බෑලි ටික කවුරුත් ගනන් ගන්නේ නැති මෙලෝ යකෙක්ට වැඩක් නැති, ලොකු අකුරින් කොළ වල ලියා 'පොත් වහන්සේ' කියා කවරයක් දමා රාක්කයක තබා ලස්සනට අසුරා තැබීමට පමණක් සුදුසු ඉගැන්වීම් සෙට් එකකි.
බණ්ඩා එහෙම කියන්නේ කිසිම එකෙක් ඒ බෞද්ධ දර්ශනය නැමති එකෙන් ප්‍රයෝජනයක් ගන්නා බව පෙනෙන්නට නැති නිසාය. බණ කියන උන් සහ බණ අසන උන් බුද්ධ දර්ශනයෙන් ගන්නේ එකම ප්‍රයෝජනයකි. එනම් 'අපේ අහවල් එක මාරයි නේද' කියා උඩ දැමීමෙන් ලැබෙන ආතල් එක ගැනීම පමණකි.

බණ්ඩා බෞද්ධ දර්ශනය සමාන කරන්නේ කාය වර්ධන මධ්‍යස්ථානයකටය. සිංහලෙන් කියනවා නම් ජිම් එකකටය. ජිම් එක ඇතුළේ කවුරුත් නැත. ජිම් එකෙන් ප්‍රයෝජනයක් ගන්නා එකෙක් නැත. නමුත් ජිම් එක ඉදිරියේ එක් රැස් වුනු බතලයෝ රෑනක් එළියේ ඉඳගෙන ජිම් එකේ ගුණ වයයි. 'අනේ අපේ ගමේ ජිම් එක මාරයි නේ.. ඇඟ අඩු කරගන්නවා නම් මෙන්න ප්ලේස් එක. අනිත් ගම් වල ජිම් කැලේ! ' ගගා කයිවාරු ගසයි. නමුත් ජිම් එකේ මකුළු දැල් බැඳිලාය. ජිම් එකට ගිහින් ඇඟ හදාගත්ත එකෙක්ද නැත. කොච්චර හොඳ කිව්වත් ජිම් එකේ ගුණවැයුවත් ජිම් එක ඇතුලේ ඇති බඩු භාණ්ඩ වැඩක් ගන්න බැරි ඒවාද කියා බණ්ඩාට සිතෙනවාය. ජිම් එක ගැන පැතිරී ඇති හොඳ නාමය, ජිම් එක වටා එකතු වන මෝඩයන්ට කඩචෝරු අයිස්ක්‍රීම් විකුණා වෙනත් ප්‍රතිලාභ ගන්න බලා සිටි කපටි කෛරාටිකයන් විසින් කාලයකට ඉහත පැතිරවූ ටොම්බ පචයක් වෙන්න ඉඩක් නැද්දැයි කියාද සිතෙනවාය.

කොහොම හරි බණ කීමෙන් සහ ඇසීමෙන් වන පළමු ප්‍රයෝජනය, කාටවත් සත පහක පලක් නැති ඔය 'ජිම් වර්ණනාව'ය.

දෙවනි එක ප්‍රයෝජනයක් නෙමේය. දෙවෙනි එක තමයිය, පිළිකාව.

බණ කියනවා කියා අතිමහත් බහුතරයක් භික්ෂූන් කරන්නේ ලාංකීය සමාජයේ ඇති කල් ඉකුත් වී කුණු ගඳ ගහනා අදහස් තව තවත් සමාජගත කිරීමය. බෞද්ධ භික්ෂූන් තරම් ලාංකීය සමාජයට පසුගාමී අදහස් සංවිධානාත්මකව පොම්ප කරනා පිරිසක් තවත් නැති තරම්ය.

කෙල්ලෝ ඇඳුම් ඇඳිය යුතු ආකාරයේ සිට, පවුල් කන්නේ කොහොමද කියන එකේ සිට, ළමයි කීයක් හැදිය යුතුද වැනි ප්‍රශ්න වල සිට එකී මෙකී නොකී හැම ඉලව්වක් ගැනම තියෙන පසුගාමීම අදහස් කිසිදා වෙනස් නොවිය යුතු පරම සත්‍යයන් ලෙස ගෞරවාන්විත අධිකාරීමය ස්ථානයක හිඳ උගන්වයි. පියවරෙන් පියවර ආකල්පමය වශයෙන්, සදාචාරාත්මක වශයෙන් ඉදිරියට යා යුතු සමාජයක දෙකකුල් වලට ඇණ ගසා එක තැන සිර කර තැබීමට වගකිව යුතු පාර්ශව වලින් ඉදිරියෙන්ම සිටිනා පිරිස, බණ්ඩාට අනුව නම් මේ භික්ෂූ පරපුරය.

අයනු ආයනු කියන වයසේදීම ලෞකික සමාජයෙන් වෙන්කෙරෙනු ලැබ, එකම ජාතියේ පොත් ටිකක් ගිරව් මෙන් කටපාඩම් කොටගෙන අවසනයේ මිනිසුන්ට පවුල් කෑමේ සිට සමාජ ව්‍යුහයන් ගොඩනඟා ගැනීම දක්වා මෙහෙම බණ දෙසන්නේ කොහොමද කියා බණ්ඩාට තේරෙන්නේ නැත. මොකද මේ අය දන්නා දර්ශනයක් තියෙනවාද? දේශපාලන විද්‍යාවක් තියෙනවාද, පවුල් උපදේශනයක් හදාරා තියෙනවාද? මනෝ විද්‍යාවක් හදාරා තියෙනවාද? බණ්ඩා දන්න විදියට නම් ඔය එකෙක්වත් ඔය එකක්වත් හදාරා නැත.

'දැන් උඹත් ඔය මගුල් ගැනම ලියන්නේ උඹත් ඕවා හදාරලා උපාධි ගහලයැ'

කෙනෙක් එසේ අසන්නට පුලුවන. බණ්ඩාට කියන්න තියෙන්නේ ඒ අහන එකා එහෙම අහන එකම තමා වෙනස කියාය. බණ්ඩාද ඔය මගුල් ඉගෙනගෙන නැත. බණ්ඩා කියන්නේද බණ්ඩාට හිතෙන දේය. 'එහෙනම් උඹෙයි උන්ගෙයි වෙනස මොකක්ද?' අර ඩයල් එක නැවතත් අසනු ඇත.

බණ්ඩා වැනි උන් තමන් කියනා දේ පරම සත්‍යයන් කියා කියන්නේ නැත. කිසිදා වෙනස් නොවන අකාලික මගුල් කියා කියන්නෙත් නැත. බණ්ඩා වැනි උන් කියනා ඕනම දෙයක් ප්‍රශ්න කිරීම් වලට විවෘතය. විවේචනයට විවෘතය. උපහාසයට විවෘතය. බණ්ඩා හෝ එවැනි තවත් එකෙක් යම් අදහසක් කිව්ව, ලිව්ව විට 'ඕක වෙන්න බෑනෙ.. ඔය කතාවෙ මෙන්න මේ වැරදි තියෙනවානෙ' කියා අසන, බලන, කියවන උන් ඕනෑ තරම් කියනවාය. අන්න ඒකය වෙනස.

ඒ වෙනස ඉතාම වැදගත් වෙනසක්ය. අර තට්ට වහන්සේලා කියනා ඉලව් බණ වලට වඩා අවුල, ඒ බණ හිස් මුදුනින් පිළිගැනීමය.

බණ්ඩා වැනි උන් ලියන දේවල් ප්‍රශ්න කිරීමට ලක්වන විදියටම, බණ වාරයක් අවසනයේදී හාමුදුරුවන්ගෙන් උපාසක උපාසිකාවන් ප්‍රශ්න කරන දවසක් උදා වුනොත්, එතැනම ප්‍රශ්නය විසඳී අවසන්ය. එසේ නොවීම නිසාය මේ භික්ෂූ වයිරසය සමාජයේ ඔලු දිගින් දිගටම විනාශ කරමින් සිටින්නේ.

මේ බණ සුපර්ස්ටාර්ලා දැන් කරන්නේ බුදු වදන පතුරවන බුද්ධ පුත්‍රයන්ගේ කාර්යභාරයක් නොවේ. කල් ඉකුත්වී එක තැන පල් වෙන ආකල්ප රැකීම තම රැකියාව කරගත් සංස්කෘතික හමුදාවක් ලෙසය, මුන් කටයුතු කරන්නේ.

බණ්ඩාට ඇති පරහ එයයි.

ඕනෑම රටක, සමාජයක, සංස්කෘතියක ආකල්ප නිර්වචනය කිරීමේ පුරෝගාමීන් ලෙස පූජ්‍යය පක්ෂය කටයුතු කරයිද, ඒ සමාජය එක තැනම පල් වන ප්‍රගතශීලී බවින් තොර අනුගත වීමම උත්කර්ෂවත් කරනා ලෝකය සමඟ ඉදිරියට නොයන පසුගාමී සමාජයක් වනු ඇති බව බණ්ඩාගේ හැඟීමයි.

මේවා නොතේරෙන කල් බණ්ඩාගේ ගේ ඉස්සරහා ගසා ඇති පෝස්ටරය වගේ පෝස්ටර් බලා සුදුවතින් සැරසී පන්සල් ගොස්, අහවල් හාමුදුරුවන්ගේ සුමදුර බණ ශ්‍රවණය කොට, බණ අසන්නට පෙර තිබූ මැටි ඔලුවම රැගෙන ආපසු ගෙදර යන චූන් වූ මැට්ටන් පිරිසකගෙන් අපේ සමාජය සමන්විත වනු ඇති බව බණ්ඩාට සිතෙන්නේය.
.
.
.
- ජේමිස් බණ්ඩා

Friday, August 10, 2018

සංගක්කාර ඡන්දේ ඉල්ලනවා?..හුකෑස් !

මං ආසයි සංගක්කාර ඡන්දේ ඉල්ලනවා නම්. ඉල්ලනවට විතරක් නෙමේ, ඉල්ලලා දිනනවා නම්.
අපි නිකන් හිතමු ඇත්තට හරි බොරුවට හරි සංගක්කාර දකුණු කකුළ පෙරට තියල අවංක සිතින් මේක හදනවා කියලා වැඩේ බාර ගත්තා කියල.

ඔන්න දැන් සංගා දිනලා.. දැන් ඌ තමා පොර !

දියසේන කුමාරයා සේ සුදු පරවියෙක් වගේ සුදට සුදේ බැබළි බැබළි ඔක්කොටම ඉහළින් ලංකාවෙ කොඩියත් අතට අරගෙන "..අයි ඈම් ශ්‍රීලංකන්" කියාගෙන මැගී ඇඩ් එකකට පෝස් එක දීගෙන වගේ විරිත්තගෙන ඉන්නවා...

අපි උඹල ඇතුළු බුද්ධිමත් ජනතාව කට ඇරගෙන ඌ දිහා දෑස් දල්වාගෙන බලාපොරොත්තු සහගත සිතින් බලාගෙන ඉන්නවා වැටිලා තියෙන රට බේරලා හදල ගොඩනඟල දෙනකල්..

ඉන්නවා.. ඉන්නවා.. මාසයක් ඉන්නවා.. දෙකක් ඉන්නවා.. කෝ..? අවුරුද්දයි.. දෙකයි.. කෝ..? රට හදන්නැද්ද මෙයා..? නෑ වගේද...නෑ වගේ නේද..

"..මුගේ අම්මට මූත් අපිව රැවැට්ටු....@#$%^.!!!.."

දැනට කුණු වෙලා තියෙන දේශපාලන ක්‍රමය අස්සෙන් අඩිය අඩිය උඩට නැගලා ඉහළම පුටුවට යන එකාගෙ ඇඟේ එතනට යද්දි කොහොමත් කැත කුණු පණු ඉඳුල් ගෑවිලා ගඳගගහා යන එකේ.. හොඳම ඔප්ෂන් එක විදියට කිරි කිරියේ බැබළෙන පොරක් ඔතනට උඩින් ගෙනත් ඉන්දුවා කියමු.. ඒත් පුතේ මේක නම් මලාට හදනවා බොරු..

මොකද,, සංගක්කාර නෙමේ බුදුහාමුදුරුවො හරි එකපාරම උඩින් පාත් වෙලා මේක හදන අවංක සිතින් රටේ ඉහළම පුටුවේ ඉඳගත්තත් ඌට/උන්වහන්සේට මේක හදන්න දෙන්නෙ නැත්තේ වෙන මොකෙක්වත් නෙමෙයි.. මේකෙ ඉන්න එකාලමයි..

මේක හදන්න තියන්න ඕන මූලිකම පියවර දෙක තියද්දි ඒකට මුලින්ම විරුද්ධ වෙන්නේ සිස්ටම් එකේ දූෂිත බවින් වැඩිම වාසි ගන්න පාර්ලිමෙන්තුවේ සෙට් එක...

ඒ සෙට් එක ප්‍රාතිහාර්යකින් වගේ ගොඩදාගෙන කන්ට්‍රෝල් කරගෙන බැඳගෙන ඊළඟ පියවරට ගියොත් ඒ පියවරවල් වලට විරුද්ධ වෙලා සංගක්කාරව හරි මොකාව හරි ප්‍රතික්ෂේප කරන්නේ වෙන කවුරුත් නෙමේ... මේ රටේම මිනිස්සු.

මේ රටේ මිනිස්සුන්ට තියෙන අවුල රට වැටිලා තියෙන එක නෙමේ..දවසින් දවස රටට කෙළවෙන එක නෙමේ.. තමන්ගේ දරුවන්ට හොඳ අනාගතයක් නොලැබෙන එකත් නෙමේ.. මේ රටේ උන්ට දේශපාලකයන් එක්ක තියෙන අවුල දේශපාලකයො රට කනවා කියන එකත් නෙමෙයි..

ඇත්තම අවුල දේශපාලකයො රට 'තනියෙම කනවා' කියන අවුල.. අපිට කුට්ටියක් දෙන්නෙ නෑ කියන අවුල.. අපිට හම්බෙන කුට්ටිය පොඩියිනෙ කියන ඇරියස් එක..

මේ රටේ බුජ්ජිමත් ජනතාවට අනුව රට තියෙන්නේ ගෙදර ගේට්ටුවෙන් එළියේ... තමා කියන එකා රටට අයිති නෑ..තමා රටට වගකියන්න ඕන නෑ.. ඒ නිසා නීතියට ගරු කිරීම, සදාචාරවත් වීම, වගකීමක් ඇතුව වැඩ කිරීම වගේ දේවල් තමාට අදාලම නෑ.. ඒවා ගේට්ටුවෙන් එහා පැත්තෙ ඉන්න 'රටේ' උන් කරන්න ඕන දේවල්..

"...මම කරන්නේ මගේ සීමාසහිත කොටුවේ ඉඳගෙන මගේ ජීවිතය ගොඩදාගන්න දඟලන එක.. එහෙම කරන අතරේ කොහෙන් හරි කුට්ටියක් ගතමනාවක් හම්බෙනවා නම් හොඳයි.. ඒත් මට එහෙම නොලැබෙන නිසා කවුරු හරි ඉටිකිරිස් ඩයල් එකක් ඇවිත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන රටක් මට හෙට උදේ වෙද්දි හදල දෙනවා නම්.. එහෙනම් මරු.. එතකොට මට ඒකෙ ප්‍රතිලාභ භුක්ති විඳින්න පුලුවන්නෙ.."
ඔන්න ඕකයි මෙන්ටැලිටිය..

රට හදනවා කියලා බලපොරොත්තු වෙන්නෙත් පොඩ්ඩක් වැඩි කුට්ටියක්.. 'වෙනස' කියල දෙයක් පටන් ගද්දිම, එහෙම එකක ඡායාවන් වැටීගෙන එද්දිම, තමා සිස්ටම් එකෙන් හදාගෙන තියෙන ශෝට් කට්.. තමාට ලැබෙන වාසි... දූෂිත ක්‍රමයක එක පුරුකක් වෙලා තමා එදිනෙදා අත්පත් කරගන්නා..ලේසියෙන් පහසුවෙන් කරගන්න දේවල් නැති වෙන්න යන බවක ඉව වැටුන ගමන් බලාගන්න පුලුවන් දැන් 'රට හදපියව් රට හදපියව්..' ගගා මොර දෙන උන්දැලගේ තරම

ඕනම දූෂිත සිස්ටම් එකක් වෙනස් වෙන්න ගත්තාම ඒකට වැඩිම ප්‍රතිරෝධයක් දක්වන්නේ ඒ දූෂිත බවෙන් ප්‍රතිලාභ ලබන අය.. අපේ රටේ නම් මුලින්ම දේශපාලකයො.. ඊළඟට ජනතාව..

ඒ වගේ පීඩනයකට තමා කවුරු වුනත්, ඔය දියසේන කුමාරයා වගේ මේක හදන්නම බලාගෙන මොකෙක් හරි එනවා නම් ඌට මූණ දෙන්න වෙන්නෙ.

අන්න ඒ නිසයි මං කියන්නෙ, මං හරී ආසයි මේක හදන්න ඇවිත් සංගා මේ ප්‍රශ්න අස්සෙ හිර වෙලා තක්බීර් වෙලා හිතාගන්න බැරුව අඥ්ඥකොරොස් වෙලා.. හතර අතේ බල බල ලේන්සුවකින් දාඩිය පිහ දදා.. ඇක්සන්ට් එක දාලා එක්ස්කියුසස් දිදී ඉඳලා.. කුජීත වෙලා.. නන්නත්තාර වෙලා යන හැටි බලන්න.
මෙච්චර කල් ගැලවුම්කාරයො වේශයෙන් ඇවිත් කුජීත වෙලා ගියේ කොහොමත් නරුමයො කියල අපි දන්න උන්දැලනේ..

කොහොමද සංගක්කාර වගේ වළාකුළු වල ඉන්න වීරයෙක්ව මේ මජර සිස්ටම් එකෙන් බින්දුවට බස්සලා කුජීත කරලා දාද්දි..

මරු නේ..??
.
.
.
- ජේමිස් බණ්ඩා


Tuesday, May 8, 2018

ප්ලෙටොනික් බුරියානි


මාස තුන හතරකට ආසන්න කාලයකින් මස් මාළු කෑවේ නැහැ.

ඔය අතරෙයි දවස් තුන හතරකට කලින් ප්‍රියම්භිකාවිය එක්ක කොළඹ යන්න වුනේ. දවල් එකහමාර දෙක වෙද්දි මාරම බඩිගිනියි. කන්න තැනක් කල්පනා කරද්දි තමා මගේ 'සිහින කෑම වේල' තියෙන බුහාරි එකට අදිමු කියලා ප්‍රියම්භිකාවියම යෝජනා කලේ.

ඉතින් ඇද්දා බුහාරි එකට මහ වැස්සක් එන්න ඔන්න මෙන්න බව දැනගෙනම. අවුරුද්දකින් විතර මයෙ හිතේ ගියේ ඒ පැත්තෙ.

ඇත්ත වශයෙන්ම කියනවා නම් මිත්‍රවරුනි, මට බුහාරි එකේ බුරියානි එක තරම් රස කෑම වේලක් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ. ඒක තමා බුරියානි එක !

ප්ලේටෝ කියපු කතාව හරි. බුහාරි එකේ බුරියානි එක තමා බුරියානි වල නියම Form එක. අනිත් ඔක්කොම බුරියානි කියන්නේ බුහාරි එකේ නියම බුරියානි එකෙන් එහෙන් මෙහෙන් වෙනස් වෙලා, අඩු වැඩි වෙලා හැදිච්ච ඒවා.

බුහාරි එකේ බුරියානි එක කද්දි ඒත් එක්කම හිතට එන නොස්ටැල්ජියාව නිසා ඒ රස දෙගුණ වෙනවා. මට මතක ඇති කාලයක ඉඳලා පවුලේ ඔක්කොම කොළඹ පැත්ත පලාතෙ ගියොත් කන්න යන්නෙ බුහාරි එකටම විතරයි. ඉස්සර උඩ තට්ටුවේ තිබ්බා පවුල් වලටම වෙන් කරපු වෙනම කුටි. ඒකක් ඇතුළට ගිහින් පවුලෙ ඔක්කොම වෙනම ගත්ත රෝස් කුකුළෙක් එක්ක බුරියානි කාපු එක මරු මතකයක්. රෙගියුලර් කස්ටමර්ස්ලා නිසා එදා ඉඳලම අපට වීඅයිපි සැලකිලි.

ඒ දවස් වල වැඩ කල ඈයෝ දැන් නෑ. රිටයර් වෙලා. උඩ තට්ටුවත් වහලා දාලා. හොටෙල් එකේ කොලිටියත් බැහැලා. පරණ පාටයි දැන්. ඒත් බුරියානි එක නම්, ඉස්සර තරම්ම කොලිටි නැතත් වෙන කොහෙවත් නැති තරමටම රසයි.

මමයි ප්‍රියම්භිකාවියයි බුරියානි දෙකක් කාලා (එතුමියගේ බුරියානි එකෙන් බාගයකට විතර වගකිව්වෙත් මම) රෑටත් කන්න කියලා අරන් ආවා පාර්සල් දෙකක්ම.

හම්මේ ඉතින්, මස් නොකා ඉඳීමේ තියරිය බුහාරි එක ඇතුළට ඇප්ලයි නොවෙන හැටි. එදා ඉඳන් මස් නොකා තමා හිටියෙ සුපුරුදු පරිදි.

මොනවා වුනත්, මට නම් බුහාරි එකේ බුරියානි එකට ගහන්න බුරියානි එකක් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ.
 
 
 

Thursday, May 3, 2018

මැයි පළවෙනිදා යෙදී ඇත්තේ මැයි මාසයේ කවදාද?

දින කිහිපයකට පෙර සයිබර් සමූහයක අසා තිබූ පැනයක් දුටුවෙමි.

"ශ්‍රී ලංකාව තුළ ඉන්දියන් මෙගා නාට්‍යය විකාශය කිරීම තහනම් කල යුතුද?"

අදහස් දක්වා තිබූ පිරිසෙන් බහුතරයක් දෙනා කියා තිබුනේ මෙගා නාට්‍යය ලංකාවේ තහනම් කරනවාට තමන් එක පයින් කැමති බවත් එය ඉතා හොඳ වැඩක් බවත්ය.

***

මීට මාසයකට හෝ දෙකකට පමණ පෙර රජය විසින් වෙසක් දින තොරණ්, ඔලු බක්කන් නැටීම වැනි දේ ප්‍රදර්ශනය තහනම් කරනට සූදානමක් ඇති බව අසන්නට ලැබුනි.

එම ප්‍රවෘතියට ප්‍රතිචාර වශයෙන් සයිබරයේ සැලකිය යුතු පිරිසක් "අම්මෝ මල කරදරේ තහනම් කරන එකමයි හොඳ" වැනි අදහස් ඉදිරිපත් කර තිබුනි. (මා දුටු අන්දමට එසේ අදහස් ප්‍රකාශ කර තිබුනේ වැඩි වශයෙන් නිර්-ආගමිකයන්ය)

***

සමාජයක් වශයෙන් අපගේ චින්තන රටාවේ එක් පැතිකඩක් ඉහත සඳහන් සිදුවීම් දෙකෙන් මොනවට පැහැදිළි වන බව සඳහන් කිරීමට කැමැත්තෙමි.

අප අකමැති දේට, අපට දිරවා ගන්නට අපහසු දේට අපට වඩා බලවත් කෙනෙකු හරහා හෝ කුමන මාර්ගයකින් හෝ තහංචි වැටී ඒ දේවල් අපගේ දෑහෙට නොපෙනෙන මානයකට යනවා නම් ඊට වඩා සතුටක් ගෙන කාරණයක් අපට තවත් නැත.

එසේ කිරීමෙන් තවත් අයෙකුගේ නිදහසට වැටකඩොළු වැටෙනවාද තවත් අයෙකුට යමක් අහිමි වනවාද යන කාරණය අපට අදාලම නැත.

කණගාටුවට කරුණ නම්, අප දිනපතා විවේචනය කරනා මජර සමාජ ක්‍රමයට එරෙහිව යුනිකෝඩ් හරහා හෝ හඬක් නගනා නූතනවාදී සයිබර් ක්‍රියාකාරීන්ද මේ හා සමානම ස්ථානයක සිටිනු දකින්නට ලැබීමය.

අප දිනපතා විවේචනයට ලක් කරනා සිංහල බෞද්ධ ගෝත්‍රික ජනතාවගේ හිස්-මොළ-ගෙඩි වලද දශක ගණනක් මුළුල්ලේ ක්‍රියාත්මක වූයේ මෙම චින්තනය බව මගේ සයිබර් මිතුරු මිතුරියනට මතක් කරනු කැමැත්තෙමි. ඔවුන් තම ගෝත්‍රික අභිලාශයන්, ඒවා චූන් කිරීම මඟින් බලය අල්ලා ගැනීමට මාන බලා සිටින පාලකයන්ට කියා අනෙක් ජනතාව මත බලෙන් පැටවීම මෙතෙක් කල් සිදු කල බවත්, වර්තමාන ලාංකීය සමාජයේ උද්ගතව ඇති ගැටළු රාශියකට එය මුල් වී ඇති බවත් අමුතුවෙන් සඳහන් කල යුතු යැයි නොසිතමි.

***

කාලයක් පුරා ලංකාවේ අතිශය ජනප්‍රියත්වයට පත් වුන 'අපි නොදන්න ලයිව්' වැඩ සටහනේ විකාශය වුන ප්‍රශ්න විචාරාත්මක වැඩ සටහනක, චූටි මල්ලි විසින් ඇසූ පැනයක් සිහිවේ. එම පැනය මේ ආකාරයට ඇසුවා නම්, එය තව දුරටත් විහිලුවක් වන්නේ නැත.

"මැයි පළවෙනිදා යෙදී ඇත්තේ මැයි මාසයේ කුමන දවසේද?"

තව දුරටත් එම විහිලුව, විහිලුවක් නොවන්නේ ලාංකීය ජනතාව මැයි පළවෙනිදාට යෙදී ඇති කම්කරු දිනය සමරන්නේ කවදාද කියා තීරණය කරන්නේ රජය බවට පත්ව ඇති නිසාය.

ආගමික කාරණයක් මුල් කරගෙන මැයි 'පළවෙනිදා' කල් දමා ඇත. දශක ගණනක් පුරා අප රටට හෙණයක් වූ ආගමික අන්තවාදය සහ එම ආගමික අන්තවාදය පෝෂණය කරනා පාලකයා සිවිල් නිදහසට අත තබා ඇත.
ගැටළුවක් නැත. අපට ඔය කම්කරු අයිතීන්, මැයි පළවෙනිදා, රතු පාට වැනිදේ දිරවන්නේම නැත. උන්ට හෙණ ගැහුවත් අපට කමක් නැත.

***

කිසිත් නොකියමි. MARTIN NIEMÖLLE විසින් රචිත මෙම කවිය උපුටා දක්වමින් සටහන අවසන් කරමි.

First they came for the Socialists, and I did not speak out—
Because I was not a Socialist.

Then they came for the Trade Unionists, and I did not speak out—
Because I was not a Trade Unionist.

Then they came for the Jews, and I did not speak out—
Because I was not a Jew.

Then they came for me—and there was no one left to speak for me.
.
.
.
- ජේමිස් බණ්ඩා

Friday, April 27, 2018

ක්‍රීඩාව - මිනිසුන් මුළා කිරීමේ උපකරණයක්ද?

ශිෂ්ඨාචාරගත ලෝකය විසින් කුකුල්ලු, නයි වැනි සතුන් එකිනෙකා කොටවා නැරඹීමෙන් සතුටු වීම, ඔට්ටු දැමීම මහා ම්ලේච්ඡ ක්‍රියාවක් ලෙස සලකයි. ඒ ශිෂ්ඨාචාරගත ලෝකයම ලණුවකින් වටකරන ලද කවයක් මැදට දැමූ මිනිසුන් දෙන්නෙක් එකිනෙකාට පහර දී අනෙකා ශාරීරිකව අඩපන කරන ක්‍රියාවකට 'ක්‍රීඩාව' කියා නමක් තබා මහා ඉහළින් උනන්දුවෙන් පිළිගනියි. කවුරුන් කාට පහරදී ජයගනීද ඇස් දල්වාගෙන බලාසිටියි.

එයත් එක අතකින් ආච්චිගේ ශිෂ්ඨත්වයකි.

===

ආගම, වාර්ගික/කණ්ඩායම් හැඟීම වැනි දේවලට හිලවු වශයෙන් ඇති හොඳම විකල්ප කලාව සහ ක්‍රීඩාව බව සැබවකි. ආවේග පිට කිරීමේ ක්‍රමයක් ලෙස කලාව, ක්‍රීඩාව ප්‍රයෝජනවත් වුනත් ක්‍රීඩාවෙන් මූලික ලෙසම සිදුවන්නේ ජනයා මුලා කොට තමන්ගේම සැබෑ ගැටළු සහ වැදගත් දේ වලින් ඉවතට යොමු කිරීමය.

එදිනෙදා ජීවිතයේ මුහුණ දීමට සිදුවන ගැටළු වලින්, අසාධාරණකම් වලින් දැඩි ලෙස තැලීමට පීඩාවට පත්වන මිනිසුන්ට එයින් ගැලවී සැනසීමක් ලැබීමට ක්‍රීඩාව වැනි යමක් ප්‍රයෝජනවත් වේය කියා කෙනෙක්ට තර්ක කල හැක. නමුත් ගැටළු වලින්, අසාධාරණකම් වලින් පීඩාවට පත් මිනිසුන් ජන මාධ්‍යය විසින් හැකි හැම ආකාරයකින්ම උත්කර්ෂවත් කෙරෙන ක්‍රීඩාව වැනි විනෝදකාමී, ඔවුන් ජීවත් වන තත්වයනට සාපේක්ෂව අර්ථශුන්‍යය දෙයක් පසුපස උන්මාදයෙන් දිව යාම වෙනුවට කල යුත්තේ තමාට මුහුණ දීමට සිදුව ඇති අසාධාරණකම් හා පීඩනයන්ගෙන් මිදෙන්නේ කෙසේද වැනි වැදගත් දේ වලට අවධානය යොමු කිරීම නොවේද කියා තවත් කෙනෙක්ට තර්ක කල හැක.

බලය සහ බලය විසින් හසුරුවනු ලබන මාධ්‍යය විසින් මිනිසුන්ගේ අවධානය හැකි තරම් නොවැදගත් දේ වෙත ඉලක්ක කොට ඔවුන් ඇන්දීමෙන් වාසි ලබන්නේ කවුරුන්ද යන්න මේ විගඩම් දෙස මොහොතක් නැවතී සිතා බලන ඕනෑම කෙනෙකුට ප්‍රෙහේලිකාවක් නොවිය යුතුය. ක්‍රීඩාව හෝ ජ්‍යෝතිශය හෝ ඊයේ ඉපදුන සය නිවුන් දරු උපත හෝ හෝ කිම් කාඩේෂියන්ගේ පශ්චාත්භාගයේ අලුත්ම සෙල්ෆිය දෙස හෝ තත්පර නමයෙන් මීටර් සියයක් පසු කල මිනිසා දෙස හෝ කට ඇරගෙන සිනාසිසී බලාගෙන සිටිනා පීඩනයෙන් මිරිකී ජීවත් වන මිනිසුන් කොටසක් ගැන කුමක් නම් කීමට ඉතිරිව ඇත්ද?

ඒ අතින් ගත් කල ක්‍රීඩාවෙන් වෙන්නේ හොඳකට වඩා නරකකි. එය භාවිත වන්නේ ජනයා මහත් ලොල් වූ ඔවුන්ව ඇන්දවීමට පාවිච්චි කෙරෙන අවියක් ලෙසය.

කකුලේ වේදනාකාරී වනයක් බවට පත් වූ තුවාලයක් ඇත්නම් මුලින්ම කල යුත්තේ තුවාලයට පිළියම් යෙදීම ගැන අවධානය යොමු කිරීම මිස දුමෙන් වතුරින් මත් වී වෙනම සිහින ලෝකයක අතරමන් වීම නොවේ. එසේ කලාය කියා අවධානය වෙනතකට යොමු වී සුළු මොහොතකට සනීපයක් දැනුනද සිදුවන්නේ තුවාලය දිනෙන් දින උඩු දිවීම පමණි.

 ====

බර්ට්‍රන්ඩ් රසල්ගෙන් ගෙන් උපුටා ගත් අදහසකින් සටහන අවසන් කරමි

"අතිමහත් බහුතරයක් මිනිසුන් සහ ගැහැණුන් සිය ජීවිත ගත කරන්නේ තමන් සිටිනා තත්වයන් සහ තමන් ජීවත් වන ලෝකය ගැන සිතා බැලීමකින් හෝ විවේචනාත්මක ඇසකින් බැලීමකින් තොරවය. සමාජයේ යම් තත්වයක ඉබේම උපත ලබන ඔවුන් තමන්ට එදිනෙදා ජීවිතයේ මුහුණ දීමට සිදුවන දේ බාර ගන්නේ තමන්ට ආසන්නම මොහොතේ ඇති අවශ්‍යතා වලට ඔබ්බෙන් සිදුවන දේ ගැන සිතීමට උනන්දුවක් හෝ ආයාසයක් නොදරමිනි. වනාන්තරයක ජීවත් වන තිරිසන් සතකු තම ඉවෙන් මෙහෙයවනු ලබනවා සේ තමන්ගේ ජීවිත වල වර්තමාන මොහොතේ තෘප්තියක් සොයනා ඔවුන් දූරදර්ශීබවෙන් සහ ප්‍රමාණවත් උත්සාහයකින් තමන්ගේ මුළු ජීවන තත්වයම වෙනස් කර ගත හැකි බව ගැන කිසිදු සැලකිල්ලක් හෝ උනන්දුවක් දක්වන්නේ නැත."

Monday, April 2, 2018

මල්ලිගේ පාටිය


අපේ නෑදෑ කෙනෙක් වෙන මල්ලි කෙනෙක් එයාගෙ ගෙදර තියෙන පාටියකට ඉන්වයිට් කලා.

මොකක් හරි සීන් එකක් සමරනව වෙන්න ඇති. ලබන සතියෙලු පාටිය තියෙන්නෙ. පාටිය මහා ඉහළින් ගන්නවලු මල්ලිටයි මල්ලිගෙ පවුලෙ අයටයි තියෙන සතුට නිසා. ගෙදරටම ඇවිත් අනිවාර්යෙන්ම ඔක්කොටම එන්න කියලා කිව්වලු.

නිවාඩු දවසක් හින්දා වෙනසකටත් එක්ක කියල යන්නයි මුලින්ම කල්පනා කලේ. ඒත් පාටිය ඕගනයිස් කරල තියෙන විදිය දැනගත්තමයි තේරුනේ මල්ලි හෙණම කුජීත පොරක් කියල. මාරම කොන්දේසි ටිකක් තමයි මලයා දාලා තියෙන්නෙ පාටියට එන උන්ට..

මල්ලි අපිව හොඳට අඳුරනවා වුනාට පාටියට යද්දි හොඳම ඇඳුම් ඇඳගෙන යන්න ඕනලු. මම කිව්වා මගෙ තියෙන කළු ෂර්ට් එකයි කළු කළිසමයි අඳින්නම්, ඒ කිට් එක හොඳයිනෙ කියල. බෑලු, ඒක මදිලු. ඉක්මනටම ගිහින් අලුතෙන් ඇඳුමක් ගන්නලු. කලිසමයි ෂර්ට් එකයි විතරක් මදිලු. කෝට් එකක් ඇඳලා ටයි එකකුත් දාන්න ඕනලු. පාටියට එන අනිත් උනුත් එහෙමලු ඇඳගෙන එන්නෙ. ඉතින් නිකන් ෂර්ට් එකයි කලිසමයි විතරක් ඇඳගෙන ගිහින් මල්ලිගෙ පවුලටයි අපේ පවුලටයි දෙකටම ලැජ්ජා කරන්න එපාලු.

(හෑ......???)

ඒ විතරක් නම් මදෑ. ගෙදරින් කියනවා මල්ලි පාටියට අපිට ඉන්වයිට් කලාට ඌට සල්ලි දෙන්නත් ඕනලු (මොකක් කිව්වා..???). කාලයක් ළඟින්ම ආශ්‍රය කරපු නිසා අඩුම ගානේ රුපියල් තුන්දහක්වත් හාරදහක්වත් දෙන්නලු. නංගි රුපියල් පන්දහක් දෙනවලු. තාත්තා රුපියල් දහදාහක් දෙනවලු ළඟම නෑයො නිසා.

සල්ලි දුන්නෙ නැත්නම් තරහ වෙයිලු. සමහර විට ගෙදරට ඇතුල් වෙන තැන සල්ලි දාන්න ලියුම් කවරත් තියල තියෙයිලු.

මොන විලිලැජ්ජ නැති වැඩක්ද යකෝ මේ..? මූ රෙද්දක් ඇඳගෙනද පාටිය දවසට ඉන්නේ? ගෙදරට මිනිස්සුන්ට එන්න කියලා උන්ගෙන් සල්ලි බලාපොරොත්තු වෙන්න??

මම මගේ පාඩුවේ ඉද්දි ඌමයි මට පාටියට ඉන්වයිට් කලේ. දැන් ඒ යකාට මම සල්ලි ගෙවන්න ඕන ඌම දාන්න තීරණය කරපු පාටියට ඌ වියදම් කරපු එක බැලන්ස් කරන්න.

මොන හු..! යකෝ මමයැ ඌට පාටි දාන්න කිව්වෙ?

තමාගේ ගෙදර පාටියක් දාන්න තීරණය කරලා පාටියට එන මිනිස්සුන්ගෙන් වියදම පියවගන්න සල්ලි බලාපොරොත්තුවෙන එක. අඩුවෙන් දුන්නොත් හරි, නොදුන්නොත් හරි තරහා වෙන එක. මුගෙ පාටියෙදි කන බොන ඒවයේ වියදම පියවන්න ඕනද බං එතකොට අපි? ඔයිට වඩා හොඳයිනෙ ඇතුල් වෙන තැන ටිකට් කැඩුවා නම්.

ගෙදරින් කියනවා සල්ලි දුන්නෙ නැත්නම් මා එක්ක තරහ වෙයිලු. මම සල්ලි දුන්නෙ නෑ කියල දැනගත්තොත් නෑදෑයො හැමෝම මා ගැන අමුතුවට හිතයිලු. ආයෙම මට පවුලෙ කිසිම පාටියකට ඉන්වයිට් කරන එකක් නෑලු මම සල්ලි නොදෙන නිසා.

අන්තිමේදි මම කිව්වා මොන විකාරයක්ද මේ... මම එන්නෙ නෑ එහෙනම් ඕගොල්ලො ගිහින් එන්න කියලා.

මෙන්න යකෝ ගෙදර උන් එතකොට කියාපි, මට පාටියට යන්නැතුව ඉන්නත් බෑලු. යන්නම ඕනලු. ඉන්වයිට් කරපු පාටියට ආවෙ නැත්නම් ඒත් තරහ වෙයිලු.

පැත්තකට වෙලා පාඩුවේ හිටිය මට මාරම මරාලයක්නෙ බන් පාත් වෙලා තියෙන්නෙ. මාසෙකට මේ වගේ පාටි තුනක් විතර සෙට් වුනොත් මරුවට තියෙයි.

උගෙ ආච්චිට හාල් ගරන්න කියල මම තීරණය කලා ඔය ඉලව්වට නොයා ඉන්න. ඔය වගේ රෙද්දවල් වලට ඉස්සරහට ඉන්වයිට් ලැබුනොත්, ඒත් නොයා ඉන්න. ආයෙම සල්ලි ගෙවල පාටි වලට යෑම මෙතකින් ඉවරයි.

උන්ගෙ නාඩගම් උන් නටාගත්තදෙන්. ඔය විලිලැජ්ජ නැති මීහරක් නැටුම් වල කොටස් කාරයෙක් වෙන්න මම මීහරකෙක් නෙමේනෙ.

අන්තිමට තමා දැනගත්තෙ මල්ලි පාටිය දාන්න හේතුව මොකක්ද කියල.

ඌ උගෙ කෙල්ල එක්ක හැමිනෙන්න ආණ්ඩුවෙන් සංසර්ග සහතිකේ ගන්නේ එදාටලු. ඒකලු මේ මහ ඉහළින් සමරන්නේ.. ලක්ෂ 20ක් විතර වියදම් කරලලු තියෙන්නේ දැනටම..

තූ නොදකින් මේ වගේ හරකෙක් ! හිනා යන්නැද්ද කියහල්ලකො?

Monday, March 26, 2018

දරුවන් විකුණගෙන කන 'රියැලිටි ටීවී'


හිරු ටීවී එකේ යනවා පොඩි උන්ගේ ටැලන්ට් ෂෝ එකක්.

.. විනිශ්චය කරන්න ඉන්නේ හිමාලුයි, හිමාලියි (හිමාලි නේද නම?), තව නම නොදන්න බවලතෙකුයි.

පොඩි උන් එක එක කොස්ටියුම්ස් ඇඳගෙන බැරි බැරි ගාතේ නටනවා..සින්දු කියනවා.. බිම පෙරළෙනවා... කරනම් ගහනවා.. බලන්න ලස්සනයි.

පොඩි උන් නටනවා බලාගෙන හිමාලුයි, හිමාලියි (?), අනිත් බවලතායි හිනා වෙනවා, පොඩි උන්ව අගය කරනවා.. ඒක බලාගෙන එතන ඉන්න මහ එවුන් හිනා වෙනවා, හිනා වෙවී අප්පුඩි ගහනවා.. ඔය දෙකම බලාගෙන අපේ ගෙදර උන් හිනා වෙනවා, හිනා වෙවී පොඩි උන්ව අගය කරනවා.

අවුලක් නෑ ඉතින්. හැමෝම සතුටුයිනෙ...

ඒත් ඔය සීන්ස් එක බලාගෙන ඉද්දි චැනල් එකකට සල්ලි හොයල දෙන්න පෙරළි පෙරළි නටන පොඩි ළමයි ගැන ලාවට වගේ පව් කියලත් හිතුනා.

අමතර දක්ෂතා තියෙන එක හොඳයි.. ක්‍රීඩාව කලාවට පොඩි කාලෙ ඉඳලම යොමු වෙන එකත් හොඳයි..

හැබැයි සෙලිබ්‍රිටීස්ලා කියල ජාතියක් නැති, කලාකාරයෙක් වෙලා ලෙඩක් දුකක් හැදුනත් මිනිස්සුන්ගෙන් සල්ලි හිඟාකන්න වෙන විදියේ සිස්ටම් එකක් තියෙන, කලාව කරල ගොඩයන්න බැහැයි කියල ඇස් පනාපිටම පේන අපේ වගේ රටක පොඩි කාලයෙ ඉඳල ළමයින්ව කලාවටම යොමු කරන එක නම්.. අනේ මංදා

අපි කැමති වුනත් අකමැති වුනත් දැනට තියෙන සිස්ටම් එකට අනුව ඇත්ත ඒකනෙ (නේද?)

ඒ වගේම පොඩි එකෙක්ව රටක් ඉස්සරහා නටවල ගමෙයි ඉස්කෝලෙයි පොරක් කරන එකෙන් ඒ පොඩි එකාගේ අනන්‍යතාවයම උඩු යටිකුරු වෙනව නේදත් කියල හිතුනා.

අනික ළමයගේ ජීවිතේ මේ හැම වෙනසක්ම වෙන්නේ වැඩිහිටියන්ගේ ෆැන්ටසියක් වෙනුවෙන්නෙ කියල හිතෙද්දි.. මහා අප්සට් කේස් එකක් වගේ දැනෙන්නෙ.

මොනව වුනත් ඔය නැටිල්ලෙන් වැඩිහිටියන්ට ලැබෙන දෙයින් දාහෙන් එකක්වත් නටන පොඩි එකාට නොලැබෙන එක නම් සහතික කරල කියන්න බැරි කමක් නැහැ.

මට අනුව නම් අපේ වගේ රටක පොඩි එකෙක් නටන එක, සින්දු කියන එක තියෙන්න ඕන සෙල්ලම් කරනවා වගේ අමතර දෙයක් විදියට. ඒක ළමයාගේ ජීවිතයේ ප්‍රධානම කාරණය කරගෙන ඒ වෙනුවෙන් අවුරුද්දක් දෙකක් වුනත් කැප කරන්න දිරිමත් කරන එකෙන් ළමයාට වෙන්නේ නරකක් මිසක් හොඳක් නම් නෙමේ.

අපේ වගේ රටක ළමයෙක්ව උනන්දු කරවන්න ඕන අධ්‍යාපනයට. මොකද මේ සමාජයේ යන්තන් හරි ගොඩ යන්න පුලුවන් ඉගෙනගත්තොත් තමයි. ඉගෙනගත්තා කියලා ජීවිතය සැපවත් වෙන්නෙ නෑ. ඉගෙනගත්තා නොගත්තා ජීවිතය කොහොමත් කුජීතයි. නමුත් ඉගෙන නොගන්නවට වඩා ඉගෙනගන්න එකනම් දහස් වාරයක් ඇඟට ගුණයි.

චැනල් එකකින් පාට පාට ලෝකයට අරන් යන නිසා කවදාවත් ගොඩයන්න බැරි නැටිල්ලකින් 'විශිෂ්ඨයෙක්' කරන්න තමන්ගේ ළමයාව යොමු කරන දෙමව්පියෝ ගැන නම් කියන්න දෙයක් නැහැ.

එක අතකට ඔන්න ඔහෙ කමක් නෑ. කලිනුත් කිව්ව වගේ හැමෝටම සතුටු එකේ.. මහ එවුන්ටත් ආතල් නිසා.. චැනල් එකටත් සල්ලි ගරන්න නිසා.. පොඩි උන්ට කියන්න තියෙන්නේ

"උඹට හෙණ ගැහැව්වත් කමක් නෑ, නටපන් පුතේ..."

කියල තමයි.

Wednesday, March 14, 2018

දෙමව්පියන්ට දරුවන් ණයයිද?

පිරිමියෙකුයි ගෑණියෙකුයි සංසර්ගය කරලා, මාස නවයකට පස්සෙ මේ ලෝකෙට දරුවෙක් ගෙනල්ලා දාලා, ඒ දරුවා අවුරුදු පහළවක් විස්සක් රැකබලා ගත්තාම ඒ දරුවා ඒ දරුවාගේ දෙමාපියන්ට ජීවිත කාලයටම ණයයි වගේ අදහසක් කවි, ගීත, සංස්කෘතිය වගේ දේවල් වලින් අපේ ඔලු වලට කාවද්දලා තියෙනව.

මුළු සංසාර යුගය පුරාවට ගෙවන්න බැහැයි කියන මේ 'ණය බර' කියන්නේ මට අනුව නම් ඉතාම ප්‍රශ්නකාරී ආකල්පයක්.

මුලින්ම තේරුම් ගන්න ඕන කාරණය තමයි ඕනම කෙනෙක් මේ ලෝකයට දරුවෙක් බිහි කරන්නේ කුමන හෝ තමන්ගේ අවශ්‍යයතාවයක් ඉෂ්ඨ කරගන්නය කියන කාරණය. තමන් තුළ දරුවෙක්ට ඇති ආශාව සංසිඳුවා ගන්න... දරුවන් තුළින් යම් අරමුණක් ඉටු කරගන්න..එක්කෝ දරුවා තුළින් තුන්වෙනි පාර්ශවයකට (සමාජයට, රටට) යම් ප්‍රතිලාභයක් ලබා දීමට..වගේ හේතු තමයි අලුත් ජීවිතයක් මේ ලෝකයට බිහි කරන්න මුල් වෙන්නෙ. කොහොම බැලුවත්, මොන හේතුව ගත්තත් මේ ලෝකයට දරුවෙක් ගේන්න ඉදිරිපත් වෙන හේතු ඔක්කොම පටන් ගන්නෙ 'මට ආසයි, 'මට ඕන', 'මමත් කැමතියි'.. වගේ වචන වලින්.

දරුවෙක් බිහි කිරීමේ තීරණය, දරුවෙක් නිර්මාණය කිරීමේ තීරණය දරුවන් බිහි කරන අයගේ මිසක් දරුවන්ගේ නෙමේ.

"ජීවිතය යනු කෙනෙක් කැමැත්තෙන් තෝරාගන්නා දෙයක් නොවේ. ජීවිතය අපි කිසිවෙක් තෝරාගත් දෙයක්ද නොවේ. ජීවිතයට අපි කැමති වුවත් නැතිවුවත්, ජීවිතය යනු අපි මත වෙනකෙක් විසින් බලෙන් පටවනු ලැබූ දෙයකි"

හිතමු මම මගේ ආශාවල් මුල් කරගෙන මගේ කැමැත්තට මේ ලෝකයට දරුවෙක් ගෙනාවය කියල. ඒ කියන්නේ අසරණ, දුර්වල, කිසිම දෙයක් ගැන දැනුම් තේරුම් නැති, තමා ගැනවත් හරි හැටි බලා කියාගත නොහැකි බිළිඳෙක්ව මම මගේ උවමනාවට මේ ලෝකයට ගෙනාවා කියමු.

එහෙම ගෙනාපු ඒ දරුවාව මම බලාගන්න මට වගකීමක් තියෙනවා නේද? ඒක මම කල යුතු දෙයක් නේද? එතකොට මම ම නිර්මාණය කරපු අසරණ ජීවියාව මම බලාගත්තාය කියලා.. ඒකෙන් කියවෙනවාද ඒ දරුවා ජීවිත කාලයම මට ණයයි කියලා?? මම එහෙම කියනවා නම් ඒක සාධාරණ කතාවක්ද?

ඇයි?

මගේ උවමනාවට මේ ලෝකයට දරුවෙක් ගේන්න තීරණය කලෙත් මම.. ඒ තීරණය ක්‍රියාත්මක කරලා කිසිවක් කරකියා ගත නොහැකි අසරණ ජීවිතයක් නිර්මාණය කලෙත් මම.. දැන් ඒ අසරණ ජීවිතය රැකබලා ගැනීමේ වගකීම මම ඉෂ්ඨ කල නිසා ඒ දරුවා මත ඉබේම පැටවෙනවා ණයක් කවදාවත් ගෙවන්න බැරි විදියේ බරක් තියෙන..!

කිසිවක් කරගන්න බැරි කුඩා කාලයේ තමන්ව බලා ගැනීමේ ණය ගෙවන්න දරුවන්ට බල කෙරෙනවා ඔවුන්ගේ මුළු ජීවිත කාලය පුරාවටම. වැඩිහිටියෙක් බවට පත් වුන දරුවා තමන්ගේ ජීවිතයේ සහකාරයා/සහකාරිය තෝරා ගැනීමේ ඉඳලා තමන්ගෙ ජීවිතය ගැන ගන්නා තීරණ වලට දෙමාපියන් එකඟ නොවෙන වෙලාවල් වලදි, දරුවන් ලවා තමන්ගේ කැමැත්ත ඉෂ්ඨ කරගන්න දෙමාපියන් මේ ණය බරේ ආකල්පය ඉතාම අමානුෂික විදියට යොදාගන්න හැටි ගැන අත්දැකීම් මේ සටහන ලියන මට තියෙනවා වගේම මේ සටහන කියවන ඔබටත් ඇති.

"අපි උඹව පොඩි කාලේ කන්න බොන්න දීලා පරිස්සම් කරලා හැදුවටද පුතේ දැන් උඹ අපි එපා කියන දේ කරන්නේ..?"

කවුරු හරි හිතනවා නම් තමන් මේ ලෝකයට දරුවෙක්ව ගෙනල්ලා, ඒ දරුවාට තමා ගැන බලාගන්න බැරි කිරිසප්පයෙක්ව ඉන්න කාලයේ කන්න බොන්න දීලා වයසින් වැඩිවනකන් බලාගන්න එකෙන් ඒ දරුවා සදාකාලිකව තමාට ණය ගැත්තෙක් වෙනව කියල, කරුණාකරල එහෙම අය මේ ලෝකෙට දරුවන් බිහි නොකර ඉන්න.

ඒ වගේ ණය කාරයෙක්, තමාගේ ජීවිතේම කාටහරි ණයක් ගෙවන්න බැඳුනු කෙනෙක් බිහිකරන එක සාමාන්‍ය කටවහරින් කියනවා නම් කරන්න පුළුවන් ලොකුම “පාපයක්” ! කෙනෙක්ට මුලු ජීවිත කාලයම ගෙවන්න බැරි විදියේ ණයක් පටවන එක පාපයක් නෙමේද? කෙනෙක්ට ජීවිත කාලයම ගෙවන්න ණයක් පටවන එක පාපයක් නෙමේද? එහෙම ණයක් පටවලා ණය පටවපු උනුයි වටේ ඉන්න උනුයි එකතු වෙලා ඒ කෙනාට ඒක ගෙවන්න කිය කිය බල කරන එක පාපයක් නෙමේද?

කරුණාකරල තේරුම් ගන්න. මේ ණය.. නොඉල්ලපු ණයක් ! බලෙන් පටවන ණයක් !

ඔබ විසින්, ඔබේම අවශ්‍යතා ඉෂ්ඨ කරගන්න නිසා මේ කුරිරු ලෝකය මැද්දට ගෙනල්ලා අත ඇරපු ඒ අසරණ අහිංසකයාව අනතුරෙන්, උපද්‍රව වලින් ආරක්ෂා කලා පමණයි.. කලිනුත් කිව්ව වගේ, ඒක කරන එක ඔබේ වගකීම ! ඒ කාර්‍ය භාරය ලේසි නොවන බව ඇත්ත. නමුත් වගකීමක් භාරගත්තා නම්, ඔබ වුනත් මම වුනත් කවුරු වුනත්.. එය ඉෂ්ඨ කිරීම කල යුතුයි.

සමහර දෙමව්පියන් තමන්ගේ බිළිඳන්ව කුණු කූඩ වල දාලා ඒ වගකීම පැහැර හැරි පළියට ඒ වගකීම මම හරියට ඉටු කලාය කියල මගේ දරුවාගේ ජීවිතය ගැන තීරණ වලදි දරුවාව emotional blackmail කරන්න මට ලයිසමයක් ලැබෙන බව ඉන් කියවෙන්නේ නැහැ.

ඔබට ආදරය කලාක් මෙන් ඔබත් ඔබේ දෙමාපියන්ට ආදරය කරන්න.
ඔවුන් වයෝවෘද වූ දවසකදී ආදරයෙන් ඔවුන්ව රැකබලාගන්න.
මියෙන තුරාවටම ඔවුන්ට ආදරය නොඅඩුව දෙන්න.

නමුත්,

ඔබව මෙලොවට ගෙනාවාය කියා ඔබේ තීරණ වලදී ඔබව ඔවුන්ට emotional blackmail කිරීමට ලයිසමයක් නොදෙන්න. ඒ වරදකාරී හැඟීමෙන් මිදෙන්න.

මේ 'ණය බරේ' මායාව අත්හරින්න.

Tuesday, March 6, 2018

ජාතිවාදීන් ගාව ලේ ගඳයි !

සෝම හාමුදුරුවො තිබ්බ ටයිම් බෝම්බය තමයි සෝම හාමුදුරුවන්ගේම මරණින් අවුරුද්දකට පස්සෙ ෂාරුක් ඛාන්ගේ ප්‍රසංගයේදි පුපුරලා ගියේ. නානසාර වගේ කුණුහරප කිය කිය බයිලා නොගැහුවත් සෝම හාමුදුරුවන් අතින් පවා දැන හෝ නොදැන පෝෂණය වුනේ එකම ආකෘතියක චින්තනයක්. එකම දේ නානසාරට වඩා ශිෂ්ඨ විදියට ඊටත් වඩා සාර්ථකව සෝම හාමුදුරුවෝ ඒ චින්තනය සමාජ ගත කල එක. සමාජ ගත කලාට වඩා එතකනුත් සමාජයේ තිබ්බ ඒ ආකල්ප උලුප්පලා ගත්තා කිව්ව නම් වඩා නිවැරදියි.

නානසාර කලා වගේ මිනිස්සුන්ගේ හැඟීම් වලට ආමන්ත්‍රණය කරන කුණුහරප ජාතිවාදීන් වගේම සෝම හාමුදුරුවො කලා වගේ මිනිස්සුන්ගේ මොළයට ආමන්ත්‍රණය කරමින් මේ හැසිරීම් තර්කානුකූලව සාධාරණීයකරනය කරන්න හදන න්‍යායාචාර්ය වරුනුත් පහුගිය දින කිහිපයේ සිද්ද වුන සිදුවීම් වලට සෘජුවම වගකියන්න ඕන. මේ චින්තනය පවත්වාගෙන යමින් පෝෂණය කරන්නේ ඔය දෙගොල්ලොම මිසක් දෙගොල්ලන්ගෙන් එක කොටසක් විතරක් නෙමේ.

නානසාරලා සෝමලා වගේම අනෙක් සුළු ජාතික ආගමික/දේශපාලනික නායකයන් විසින් උත්කර්ෂවත් කෙරෙන අප රටේ අතිමහත් බහුතරයක් වූ සිංහල, දෙමළ, මුස්ලිම් ජනමනස තුළ මුල් බැස ගත්ත ජාතිවාදය විසින් තමයි පහුගිය දිනයේ මිනිස් බිල්ලක් ගත්තෙ.  ඒ බිල්ල වුනේ පැත්තක ඉඳපු අසරණයෙක්.

ජාතියක් මුල් කරගෙන සිද්ධ නොවුන මිනිසුන් කිහිපදෙනෙක් අතර ඇතිවුන ගැටුමකට ජාතිවාදී මුහුණුවරක් ආදේශ කරල ජාතික තලයට ගෙන ඒම තමයි මේ ඛේදජනක තත්වයට මුල් වුනේ.

මෙතනදි මේ දවස් වල දිගින් දිගටම ඇහන්න ලැබුනු කතාවක් ගැන වචනයක් එකතු කරන්න ඕන.

'ජාතිවාදීන්'ය කියල තමාව ආඩම්බරයෙන් හඳුන්වා දෙන්න තරම් අපරිණත සමහරුන් කියන කතාවක් තමා ඒ අය එකතු වෙලා ඉන්නේ තමන්ගේ 'ජාතිය' ගැන තියෙන කැක්කුම නිසාය, තමන්ගේ 'ජාතියට' තියෙන ආදරය නිසාය, තමන්ගේ 'ජාතියේ' අනාගතය ගැන තමන්ට තියෙන උනන්දුව නිසාය කියන එක. ඔය කතාව තරම් බොරුවක් තවත් නැහැ.

මේ මිනිස්සු එකතු වෙලා ඉන්නෙ තමන්ගෙ ජාතියට තියෙන ආදරය නිසා නෙමේ, තමන්ගෙන් වෙනස් අනෙක් ජාතියේ මිනිස්සු ගැන තියෙන වෛරය නිසා. ඔවුන් එක්ක යටි හිතේ තියෙන තරහ පිරිමහගන්න නිසා. ඔය දෙක එකක් නෙමේ, දෙකක්.

මොවුන්ව එකතු කරල එක වෛරී අරමුණක් වෙනුවෙන් මෙහෙයවන්නෙ වෛරයම විතරයි. තමන්ගේ ජාතිය ගැන කැක්කුමක් තියෙනවා නම්, මුලින්ම මේ ඈයන්ට විසඳගන්න තියෙන ප්‍රශ්නය වෙනත් ජාතීන්ගේ මලඉලව් නෙමේ.

දවසෙන් දවස ආගාධයට යන රටක ජීවත් වෙන මිනිස්සු වෙච්චි අපි, අපේ ජාතියට ආදරේ නම් මේ මගුල් පැත්තක තියල විසඳගන්න ප්‍රශ්න ඕන තරම්. කන ටොපියකට පවා අසාමාන්‍යය ලෙස බදු ගෙවන්න සිද්ධ වෙලා තියෙද්දි, සිරකරුවෝද මනුශ්‍යයෝය කියල තාප්පයට පමනක් සීමාවෙච්ච හිර ගෙදරකට පැනල උන්ව දන ගස්සල මරල දාද්දි, අසනීපෙට බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙ බෙහෙත් නැතුව ෆාමසියෙන් ගන්න සල්ලි නැතුව මිනිස්සු මැරෙද්දි, ඉස්කෝලෙ යන්න සපත්තු ගන්න පොල් ගෙඩි දෙකක් හොරකම් කරන්න වෙද්දි, මිනිස්සුන්ට බඩගින්න නිවාගන්න පන්සලේ පිංකැටයෙන් රුපියල් විස්ස පවා හොරකම් කරන තත්වෙට වැටෙන්න සිද්ධ වෙද්දි, පොහොර සහනාදාරෙ නැතුව ගොවියෙක්ට ගොවිතැන් කරන්න බැරිවෙද්දි, ණය ගෙවාගන්න බැරුව ගොවියො වස බොද්දි, අණ නොතකා ධාවනය කලා කියල මිනිස්සුන්වම රකින්න ඉන්න පොලිසියෙන් බල්ලො වගේ වෙඩිතියල මරල දාද්දි, කුණු කඳු කඩන් වැටිලා මිනිස්සු යට වෙද්දි, මිලියන බිලියන ගණනින් හොරා කන පාලකයෝ බලයෙ ඉද්දි, අනාගතය බාර ගන්න ඉන්න දරුවන්ට හරි හමන් අධ්‍යාපන ක්‍රමයක් නැතුව ඉද්දි, උන් යන පාසල් වල හරි හමන් පහසුකම් නැතුව තියෙද්දි, දිනපතා සතිපතා ගෑණුන් කුඩා දරුවන් ලිංගික අඩත්තේට්ටම් වලට ලක් වෙද්දි, ...

ජාතියට ආදරේ නම් මේ අය මුලින්ම පාරට බහින්නේ ඒවට විරුද්ධව මිසක්, අර ජාතියේ එකාගේ රැවුලටවත් මේ ජාතියේ එකාගේ තට්ටයටවත් විරුද්ධව නෙමේ.

ඇත්තටම බැලුවොත් ඔය කොයි එකෙක්ටවත් තමන්ගේ රට, ජාතිය ගැන උවමනාවක් කැක්කුමක් නැහැ. ඔය 'රටට ආදරෙයි', 'ජාතියට ආදරෙයි' කියන එක උන්ම ගහගත්ත, උන්ම මවාගත්ත තඩි බොරුවක් විතරයි !

අවසානයේ මේ සටහනෙන් ඉලක්ක කරන අදහස දරන කවුරු හරි මේක කියවනව නම් මම අන්තිමට ඒ අයට මේ ටික කියන්න කැමතියි

"උඹලගෙ හිතේ රටට , ජාතියට මොන ආදරයක්ද බන්? උඹලව එකතු කරන්නේ වෛරය මිසක් වෙන මොනවත් නෙමේ. උඹල එකතු වෙන්නේ විනාස කරන්න මිසක් යමක් ගොඬනගන්න නෙමේ. අඩුම ගානේ ඒකවත් පිළිගනින් !"

Wednesday, February 28, 2018

වඳ පෙති ආතල්


"මිනිස්සු අනාත වෙලා ඉන්නේ බං........ උන්ට ඕන එල්ලෙන්න මොකක් හරි. ටික වෙලාවකට හරි උන්ගේ හිත පොඩි ආතල් එකකට අරන් යන මොකක් හරි එකක්........ ක්‍රිකට් මැච් එකක්, චන්දයක්, අඩුම තරමේ ගමේ වලියක් හරි. උන්ට ඕන උන්ගේ ප්‍රශ්න ටික වෙලාවකට හරි අමතක වෙන මොකක් හරි මගුලක්."

ඔහොම කිව්වෙ කූඹියෝ එකේ ජෙහාන්. හැමෝටම නොවුනට ගොඩක් මිනිස්සුන්ට අදාලව කතාව ඇත්ත.

කොහොමත් කුජීත වෙච්චි ජීවිත අස්සෙ හිර වෙලා ඉන්න මිනිස්සුන්ට ඔය කිව්ව විදියේ ආතල් ඕන..

කට්ට කාගෙන පුක ඉරාගෙන වැඩ කරල එහෙම වැඩ කරලත් කිසිම හොඳක් අහන්න නැතුව බැනුම්ම අහ අහ ලොක්කා ඉස්සරහා තමාගේ ආත්මාභිමානය වේස කමේ යව යව මොහොතින් මොහොත අඩු වෙන ජීවිතේ පැය නෝට්ටු වලට හිලව් කරල, ගත්ත ණය ටික බේරලා ඉතුරු සොච්චම නිදහසේ වියදම් කරන්නවත් වෙලාවක් හොයාගන්න විදියක් නැතුව කෝච්චි බස් ගානේ තෙරපි තෙරපි දාඩිය දාගෙන දවස අවසානෙ හරි හමන් නින්දක්වත් නැතුව පහුවදා පාන්දරම ඇහැරිලා ආයෙම ඔය චක්‍රයේම කැරකි කැරකි පීඩනයෙන් මිරිකිලා ඉන්න මිනිස්සු වටේ පිටේ දකින ඉලව්වකින් ආතල් ගන්නෙ නැතුව මොකකින් නම් කියල ආතල් ගන්නද?

ජීවිත අස්සෙ සතුට නැති වුනාම එළියෙන් තමා ආතල් එක හොයන්නෙ....හිස් ජීවිත කරේ තියාගෙන හති දදා දුවන අස්සේ මඟ තොටදි හම්බෙන දේකින් තමා ආතල් එක හොයන්නෙ.. පොඩි බ්‍රේක් එකකට වගේ.. පොඩි බඩිගින්නට බිස්කට් වගේ..

අර ඉස්සර පත්තරෙනුයි නිවුස් වලිනුයි පුපුරපු බෝම්බ ගානයි දෙපැත්තෙ මැරිච්ච උන් ගානයි සසඳල ආතල් ගත්තා වගේ...රාවණාගේ දඬුමොනරයයි ගුහා අස්සෙ තිබ්බ බිබික්කමයි ගැන කියව කියව ආතල් ගත්තා වගේ...හැමදාම උදේ ඉඳන් හවස් වෙනකල් 'අපේ රට.. අපේ රට' කිය කිය ආතල් ගන්නව වගේ... මොකක් හරි කණ්ඩායමකට, ගෝත්‍රයකට හිතින් බැඳිලා තමා හිර වෙලා ඉන්න පුංචි ජීවිතයට වඩා ලොකු අරමුණක් වෙනුවෙන් වැඩ කරනවාය කියල හිතින් මවාගෙන ආතල් ගන්නවා වගේ.............

රිම් එකෙන් යන මාසෙ අන්තිම සතියේ බයික් එකට තෙල් ගහගන්න සල්ලි නැති නිසා බස් එකේ යන ගමන් ෆෝන් එකෙන් තමන්ගේ ජාතිය වෙනුවෙන් ෆයිට් කරන බුවෙක් වෙන්න චාන්ස් එකක් ආවොත්?? හිර වෙලා, පීඩනයෙන් අතරමංව ඉන්න අස්සෙ තමන්ටත් එහා ගිය ලොකු අරමුණක් වෙනුවෙන් වචනයකින් හරි දායක වෙන්න ලැබුනොත්??

"යකෝ, මාත් ජාතිය වෙනුවන් සටන් කරන පොරක් ! මම නැත්නම් ජාතියත් නෑ ! මම නිකන් හිටියොත් ඔක්කොම ඉවරයි ! පඩියෙන් බාගයක් වාහනේ ලීසින් එකට කැපිලා මාසෙ අන්තිම සතිය රෝල ගහන මගෙ අතේනෙ යකෝ ජාතියෙ පැවැත්ම තියෙන්නෙ ! කවුරු කොහොම කිව්වත් මගේ අතේ ජාතියේ අනාගතේ කියල මම හිතාගෙන ඉන්න එක අත ඇරල මමත් හෙණම නෝමල් පොරක් කියල පිළිගන්නේ කොහොමද? මම යමක් කරන එකෙක්... රටේම අනාගතය වෙනුවෙන් ලොකු දායකත්වයක් දෙන වැදගත් පොරක්.. ! මම වැදගත් !"

(මම වැදගත්... මම වැදගත්.... මම වැදගත්... මම වැදගත්...මම වැදගත්...මම වැදගත්...මම වැදගත්...මම වැදගත්...මම වැදගත්...මම වැදගත්...මම වැදගත්...මම වැදගත්...මම වැදගත්...මම වැදගත්...මම වැදග...මම වැද...මම වැ...මම...ම.......)

ඔව් ඔව්.. උඹල වැදගත්.. පිළිගන්නවා.. නමුත් ආතල් ගද්දි මචෝ.. පොඩ්ඩක් දුර දිග බලලා ගනින්. අන්තිමට තමාටයි.. තමා වටේ ඉන්න මිනිස්සුන්ටයි.. කවදා හරි තමන්ගේ දරුවන්ටයි කෙළ නොවෙන විදියේ ආතල් එකක් තෝරගනින්..

ආතල් ගනින්.. තෝරලා බේරලා.. පරිස්සමින්.. හැබැයි මේ යන ගොබ්බ ආතල් වලින් නම් පුතෝ, කෙළවෙන්නේ සරලව සුමටව නෙමේ....

කෙළවෙන්නේ හොඳම එකෙන් !
 
 
 

Sunday, February 25, 2018

ආදරයෙන් හැමිනෙමු


ඉංග්‍රීසි භාෂාවේ එන "I slept with him/her" කියන අදහසට සමපාත වෙන කියමනක් විදියට සිංහලෙන් "මම ඇය/ඔහු එක්ක නිදාගත්තා" කියන යෙදුම තිබුනට ඉංග්‍රීසි භාෂාවේ එන "making love" කියන අදහසට හරියටම සමපාත වෙන සිංහල යෙදුමක් භාවිතයේ නැහැ.

එකම විදියේ ක්‍රියාවක් හා සම්බන්ධව කතා කරනවා වගේ පෙනුනට I slept with him/her කියන එකෙයි I spent the night with him/her කියන එකෙයි we made love තියෙන්නේ වෙනස් අර්ථයන්. භාවිතා වෙන්නේ වෙනස් විදියට.

සරලව ගත්තම making love කියන යෙදුම භාවිතා වෙන්නේ කොන්දේසි, එකඟතා ගාණකින් සපිරුනු මානුෂීය බැඳීමක් ගැන කියන්න. ආදරයෙන්, විශ්වාසයෙන් පිරි එක්වීමක් ගැන ප්‍රකාශ කරන්න.

Make love කියල අදහස් කරන්නේ මුදලට ගන්න පුලුවන් දෙයකින් එහා ගිය දෙයක්. ගණිකාවක් සමඟ එක්වීමට අමු අමුවේ 'Fucking' කියනවා මිසක් making love කියන්නෙ නැහැ.

ඔතන I slept with him/her සහ I spent the night with him/her කියන යෙදුම් එක්ක සමපාත වෙන කියමන් සිංහලෙන් තිබුනට making love කියන කියමන එක්ක සමපාත වන හරි යෙදුමක් සිංහල අදහස් හුවමාරුවේ භාවිතයේ නැතිවීම ටිකක් කුතුහලය දනවන කාරණයක්. විශේෂයෙන්ම ආදරය මෙතරම් උත්තරීතර දෙයක් විදියට සැලකෙන සන්දර්භයක් ඇතුළෙ.

අපේ සංස්කෘතිය තුළ ආදරය කොතරම් උත්තරීතර දෙයක් විදියට සැලකුවත් ආදරය අස්සෙ තියෙන ඒ 'එක්වීම' කියන එක සලකන්නේම සභාවක් මැද සඳහන් නොකල යුතු දෙයක් හෙවත් අසැබි දෙයක් විදියට. ආදරයට පිළිගැනීමක් තිබ්බට ආදරය තුළ තියෙන එක්වීමට පිළිගැනීමක් නැහැ.

ෆිසිකල් එක්වීමට එහා ගිය එක්වීමක් ගැන කතා කරන්න හරිහමන් සභ්‍යය, ගෞරවනීය වචනයක් අපි අතරෙ නැහැ. භාවිතා නොවන වචන තිබ්බත් ඒවා හැමිනීමට කියන විද්‍යාත්මක නාමය හොයනව වගේ සිංහල ශබ්දකෝෂයෙන්/කවි පොත් වලින් හොයන්න ඕනි.

මොකද සභාවක් මැද්දෙ කොයි විදියට කිව්වත් කුණුහරපයක් විදියට සැලකෙන ක්‍රියාවකට සභ්‍යය වචනයක් තියෙන්න විදියක් නැහැනෙ. ක්‍රියාවම අසභ්‍යයයි, ක්‍රියාව ගැන කතා කිරීමත් අසභ්‍යයයි.

ඉතින් කොහෙද ගැලපෙන වචනයක්?

පරම්පරා ගාණක ඉඳලම අපි වෙරිමතේ කලත්, අකමැත්තෙන් කලත්, කරනවාට ඔහේ කලත්, අල්ලසක් විදියට කලත්, පණ දීගෙන කලත්, රවට්ටන්න කලත්, ආදරයෙන් කලත්, ගණිකාවක් එක්ක කලත්, පඳුරක් අස්සෙ කලත්, මුල්ම හමුව දවසෙ කාර් එකක් ඇතුලෙ කලත්, බඳින්න කලින් රූම් එකක කලත්, බැන්ද දවසෙ රෑ මධුසමය වෙලේ කලත්, බැඳලා අවුරුදු දහයකට පහළවකට පස්සෙ කලත්..

"හැමිනෙනවම" තමා ඉතින්..
"හුකනවම" තමා ඉතින්

වචන වලින් නම්, ඉන් එහාට දෙයක් ඕකෙ ඇත්තෙම නෑනෙ අපිට.. නේද?
 
 
 
 

Wednesday, February 21, 2018

ආත්මඝාතය

සියදිවි නසා ගත් අය තේරුම් ගැනීමට කාලය නාස්ති නොකරන්න.

ඒ සඳහා ඔබට දී තිබූ කාලය අවසන්ය!

ඔවුන්ගේ ජීවිත තුල ඔබ අසමත්ය.

දුක් සුසුම් වලින් පිරුන ජීවිතයක් දෙස බැලීමට නොහැරවූ ඇස් මලකුණක් වෙත නොහරවන්න.

ඔබ පමා වැඩිය.

සත්‍යය මිය ගොස්ය.

ලොව සියලු දරා ගැනීම් සීමා සහිතය.

ඔබ ජීවත් වූ ලෝකයේ ඔවුන්ට මැරෙන්නට තරම් අසරණකමක් දැනුනා නම්,

තේරුම් ගත යුත්තේ මියගිය ඔවුන් කවුද යන්න නොව,

ඉතිරි වූ ඔබ කවුද යන්නය.
.
.
.
.
- මුල් නිර්මාණය ධනංජය කරුණාරත්න ගේය. මගේ අදහස්ද ඇතුළත් කොට සංස්කරණය කොට පලකලෙමි.


Friday, February 16, 2018

මිතුරිය

ඇය මගේ මිතුරිය වූවාය.
නමුත් ඇය මගේ ළඟම මිතුරිය වූයේ නැත.
එසේ වුවද මගේ ප්‍රියතම මිතුරිය වූයේ ඇයයි.

ඒ මන්දැයි මම කල්පනා කලෙමි.

ඇයගේ පෞරෂය,
ස්වාධීන බව,
වගකීම් සහගත පරිනත හැසිරීම,
දිනෙන් දින මා සිත් ගත්තේය.

ඇයගේ සිනහව අව්‍යාජ විය.
සිනහ නොමසෙන් දසන් දක්වා, ඔවදන
ඈ කිසිදිනෙක අසා නැත්තා සේය.
ඇයගේ කටහඬ, කතා විලාශය, ගමන තුළින්
සිරකරනු ලැබූ තරුණියක් මා දුටුවේ නැත.
ඒ නිදහස තුළ මා දුටු ඇයගේ අව්‍යාජ සෑබෑ පෞරෂය
ඇය කෙරේ මගේ අවධානය දිනෙන් දින වැඩි කලේය

අපගේ මිතුදම වර්ධනය වූයේ අප දෙදෙනාටම නොදැනීමය.
නමුත් ඇය මගේ අඹ යාලුවා නොවූවාය.
අපගේ මිතුදම ඉඳහිට හුවමාරු වන වචනයකට දෙකකට
ඉඩක් ලද තැන බෙදාගන්නා විහිලුවකට, සිනහවකට සීමා විය.

ඉන් එහාට අපේ සබඳතාවය ගෙනයන්නට මා හට උවමනාවක් නොවීය.
ඇයටද එසේම වන්නට ඇත.

මම මටත් හොරෙන් ඇයගේ සුන්දරත්වය රසවිඳිමින් සිටියෙමි.
"මචන්, මෙතන කෙල්ලන් දිහා බලල කියහන්.. ලස්සනම කෙල්ල කවුද කියල?"
මට නම් ලස්සනම තරුණිය වූයේ ඇයයි.
නමුත් මගේ ළඟම මිතුරියගෙන් මා එසේ අසන්නට ඇත්තේ වෙනත් කෙනෙක් හා සමඟ මගේ ඒ හැඟීම බෙදා ගැන්මට තිබූ ආශාව නිසා විය යුතුය.

"හ්ම්... හිටහන් බලන්න"
මගේ මිතුරිය අප ඉදිරියේ සිටි තරුණියන් සියල්ල දෙස ඇස යොමු කලාය.
"අරයා තමයි.."
මගේ මිතුරිය ඇඟිල්ල දිගු කලේ ඇය වෙතටයි !

ඇය හැරෙන්න වෙන කව්ද?
ඒ සුන්දරත්වය..
ඒ රූ සපුව..
ඒ පෞරෂය..
සැබවින්ම
ඇය හැර වෙන කවුරුද?

අපගේ මිතුදම කෙමින් කෙමින් වර්ධනය වූයේ අපටද නොදැනීමය.
මා ඇය වෙත දිනෙන් දින ලං වූයේ මටත් නොදැනීමය.

අපි කතා කලෙමු.
ඉඩක් ලද හැමවිටම අදහස් බෙදාගත්තෙමු.
ඇයගේ ඉවසීම, බුද්ධිය, සවන්දීමේ හැකියාව, නම්‍යශීලී බව ඇය වෙත මා තවත් වසඟ කරවීය.

අවසනයේ ලෝකයා ඉදිරියේ අපි මවා පෑ ව්‍යාජත්වයේ සළු එකිනෙකා ඉදිරියේ උනා විසිකර දැමුවෙමු.

මා මෙන්ම ඇයද ජීවත් වෙමින් සිටියේ, සිනහවෙන් වසන් කරනු ලැබූ දුක්, වේදනා, නොසතුටින් පිරි අතෘප්තිකර ජීවිතයක් බව දැනගැන්ම මා තුළ ඇති කලේ මින් පෙර මා අත් නොවිඳි හැඟීමකි

ඒ නිසාදෝ අපි දෙදෙනා අපි දෙදෙනාව පහසුවෙන් තේරුම් ගත්තෙමු.

අසම්මත පෙමක් !

කිසිදා නොසිතූ නොපැතූ ඉසව්වකට අපි දෙදෙනා ඇතුළු වූයෙමු.
සිතා මතා නොව,
නොදැනුවත්වම, ඉබේම ඇතුළු වූයෙමු.

සම්මතයට පෙම් බැඳි
අසම්මතයට වෛර කරන
ලෝකයා
අපට චෝදනා කලෝය.
ගල්, මුල්, අපහාස මායිම් නොකරමින්
අපි අපේ ලෝකයේ තනි වුනෙමු.

අපි දෙදෙනා සමඟ නොසිට,
අපිව තනි කොට
අපිට අපි විතරක් ඉතුරු කිරීම ගැන
රහසින් ලෝකයාට ස්තූති කලෙමු.

මට ඇය පමණක් ඉතිරි වෙද්දි
ඇයට ඉතිරි වූයේ මා පමණකි.

ලෝකය විසින් හැර දමනු ලැබූ අප,
අපගේම ලෝකයක තනිවී
රිසිසේ ප්‍රේම ලෝකයේ කිමිදුනෙමු.
එකිනෙකාගේ පහස වින්දෙමු.
ඉන් වෙහෙසට පත්ව, විරාමයන් වලදී
ගව් ගානක් ඈතින් සිටි අපි, අපිවම තේරුම් ගන්නට
විනාඩි ගණන්, පැය ගනන් එකිනෙකා සමඟ කතා කලෙමු
වාද කලෙමු

සම්මතයේ සිරකූඩු වල දුක් විඳිමින්
අතෘප්තිකර ජීවිත නොසතුටින් ගෙවන ගමන්
එකිනෙකා රවටා ගැනීම උදෙසා වෙස් මූණු දමාගෙන රංගනයේ යෙදෙනා ව්‍යාජ ලෝකයාට
හොර රහසේ සිනාසුනෙමු.

අපේම නීති රීති රෙගුලාසි එකඟතා අවබෝධයන්ගෙන් පිරි
අසම්මත ලෝකයකට පියවර තැබුවෙමු.

අපේ ආදරය, අපේ සබැඳියාව, අපේ හැඟීම්
පිට උන් තැනූ කූඩු වලට හසු කර ගැනීමට අපටම හැකි වූයේ නැත.

අපේ ආදරයට අපි දිනෙන් දින නව අර්ථකතනයන් දුන්නෙමු.

සැමදා පවතින
මියෙන තුරා වෙන් නොවන
අත හැරීමට ඉඩනොදෙන
ආදරයක් අපට අවැසි වූයේ නැත.

කවදා හෝ අපගේ ආදරය
මැලවී, පරවී යාමට ඉඩ ඇති බව තේරුම් ගැන්ම නිසාම
අපි තව තවත් ඒ ආදරයට ලෝබ කමින්
ඒ ආදරය වෙනුවෙන් වෙහෙසීමට
කැපවීමට පටන් ගත්තෙමු.

"තුන් වෙනි පාර්ශවයක බැඳීමක් නැති මිනිස් සබඳතාවයක් කල් පවතීයිද?"

ලෝකයා ඇසූ ඒ ප්‍රශ්නයට මා හට පිළිතුරක් තිබුනේ නැත.

කාලය ගත විය..
දින සති මාස අවුරුදු ගණන් මා පසුකර ගියේය.

වාසනාවට හෝ අවාසනාවට ඒ ප්‍රශ්නයට පිළිතුර දැන් මා ඉදිරියේ දක්නට ඇත.

මම කල්පනා සාගරයේ නිමග්නව සිටියෙමි.
ඇය නැති පාළුවෙන් මා ගත වෙළී තිබුනි.

'ඇගේ ඇස් දෙක නොදැක මා මේ මොහොත ගෙවන්නේ කොහොමද?'

මගේ සිත මගෙන්ම අසයි.

"මොනවද ශ්‍රී හැම වෙලේම වෙන ලෝක වල අතරමන් වෙලා කල්පනා කරන්නේ? මම කිරිබත් හැදුවා ඔයාට. එන්න මම කවන්නම්..."

ඇගේ කටහඬින් මා ගැස්සී කල්පනා සාගරයෙන් මිදුනෙමි.

ඇය දුටු මුල් දිනය ගෙවී
මේ මොහොත වන විට වසර ගාණක් ගත වී තිබුනද
ඇය නොමැති මොහොතක්
කල්පයක් සේ දැනෙන්නේ
ඇය හමුවීමට පෙර
මහා සාගරයක් බඳු වූ ලෝකයේ
තනිවී අතරමංව සිටි මා
අදවනතුරුත් තේරුම් ගත්
එකම මනුෂ්‍යයා ඇය පමණක් වීම නිසා විය යුතුය
.
.
ඇය මාගේ මිතුරිය වූවාය.
නමුත් එදා මෙන් නොව
අද ඇය මාගේ හොඳම මිතුරියයි.
එකම මිතුරියයි.





Tuesday, February 13, 2018

අරක්කු නොබොන බේබද්දෝ


"අඩෝ, මං බොන්නෙ නම් නෑ. බයිට් ටික ලෑස්ති කරල තියහන් ඈ"

යාලුවෝ එක්ක ෂොට් එකක් දාන්න සෙට් වෙද්දි එතනට හේත්තු වෙන නොබොන උන් කියන කතාවක් තමා ඔය. විහිලුවක් විදියට කිව්වට ගොඩක් වෙලාවට ඔය කතාව ඇත්තක්.

නොබොන උන් ඇත්තටම කරන්නේ ඇවිත් බයිට් ටිකට කෙළවන එක තමා. දැන් නම් ඕක එච්චර නොදැනුනාට ඉස්කෝලෙන් අවුට් වෙච්චි මුල් කාලේ, ඒ කියන්නෙ ලාච්චු වල තියෙන මාරු කාසි පවා එකතු කරගෙන ගල් බෝතලේ ගහලා බස් එකේ එන්නැතුව පාරෙ යන වාහන වලට අත දාලා ගෙදර ගිය කාලයේ නම් දරුණුවට දැනුන දෙයක්. ඇයි යකො මුන් බයිට් ටික ඉවර කලාම අන්තිම ටික බොන්නේ අහල පහල කඩේකින් මැගී සුප් කැට දෙක තුනක් ගෙනල්ලා ඒවත් එක්ක.

ඉස්කෝලෙ යන කාලෙ හොරෙන් සෙට් වෙද්දි නම් මේ එකෙක්වත් ආවෙ නෑ පැත්ත පලාතෙ. ඇයි වයස අඩු නිසා මාට්ටු වුනොත් බඩු බනිස්නෙ. ඒත් වයස පැන්නයින් පස්සෙ සෙට් වෙන්නෙ කොතනද නැට්ට වගේ එනව පස්සෙන්. එදා ඉඳලම නොබොන උන් එක්ක සෙට් වෙන්න මගේ තිබ්බ අකමැත්ත නිසා අපේ සෙට් එකේ උන් එක්ක ගැහැව්වා ගිවිසුමක්, කිසිම දවසක මම ඉන්නවා නම් නොබොනෙ එකෙක්වවත් සෙට් කර නොගන්න. පස්සෙ අපේ උන්ටත් තේරුනා මම කියන කතාවේ ඇත්තක් තියෙන බව. එතන ඉඳල මම හිටියා නැතා, අපේ උන් ඔක්කොම අනුගමනය කලේ මගේ ප්‍රතිපත්තියම තමා.

මගේ ඔය අකමැත්තට ඒ කාලයේ නම් මුල් වුන පළවෙනි හේතුව තමා බයිට් වලට කෙළවන සීන් එක. ඒකට හේතුව තමා කලින් කිව්වා වගේ සල්ලි නැති කම, මොකෝ ඒ කාලෙ ජොබ් හම්බෙලා තිබ්බෙ නෑ කියල නොබී හිටියයැ.

අනිත් හේතුව තමා අපි බීලා කෙළින පිස්සු, කියවන විකාර දිහා නොබොන එකා පියවි සිහියෙන් ඉඳගෙන ගන්න ආතල් එක මට සෙට් නොවෙන එක. මොකද මම ඇතුලු අපේ සෙට් එක බොද්දි ගහනවා ආයෙ කරටි කැඩෙන්නම. අපි කොච්චර බිව්වත් අනිත් අයට කරදර විදියට කවදාවත් හැසිරෙන්නේ නැති වුනාට, කවමදාකවත් වලි නොදාගත්තට, බිව්වයින් පස්සෙ ආයෙ කෙළින්නෙ පිස්සුම තමා (ඕන එකෙක් එහෙමනේ). ඔය වෙලාවට කට්ටිය එකම ලෙවල් එකෙන් ෆන් එක ගද්දි එතන කවුරුන් හරි ඒක දිහා හොඳ සිහියෙන් බලාගෙන ඉඳල අපි දිහා විනිශ්චය කරන ඇහැකින් බලන් ඉන්න එක මට සෙට් නොවෙනම දෙයක් (කොච්චර නෑ කිව්වත් හැම වෙලාවකම අපි අනිත් උන් ගැන ඉවැලුවේට් කරන ගමන් තමා ඉන්නෙ). බීලා කරන කියන දේවල් හොඳ සිහියෙන් බලාගෙන ඉඳලා තැන් තැන් වල කියව කියව යන අබිලිංලා ගැන දන්නව ඇතිනෙ?

අනිත් එක තමා හැම වෙලේම අපි එක්ක සෙට් වුන නොබොන උන් කියන්නෙ 'අපේ එකෙක්' නොවීම. එදා ඉඳලම 'අපේ උන්' කියල අපිට දැනුන හැම එකාම අරක්කු බොන, සිගරට් ගහන, ජොයින්ට් එක දාන උන් නිසා. අපි එහෙම උන්ව තෝරගෙන ෆිට් උනා නෙමේ, අපි එක්ක බොක්කටම ෆිට් උන හැමෝම උන් මොකක් හරි හේතුවකට ඔය ඔක්කොම දේවල් කරපු උන්. ඉතින් ඩ්‍රින්ක් එකක් නොදාන උපාසක මහත්තුරුන්ව හැම වෙලේම අපිට දැනුනේ ආගන්තුකයො වගේ.

ඔය වගේ හේතු නිසා බොද්දි එතන නොබොන එකෙක් ඉන්නව නම් නිදහසේ ලෝස් නැතුව ගසන්න මට හිත දෙන්නෙම නෑ. ඒක ලොජික් වලින් පැහැදිලි කරන්න පුලුවන් දෙයක් නෙමේ වෙන්න ඇති. ඒක මගෙ හිතේ නිරායාසයෙන් මට එන හැඟීමක්. 

අපි අම්බානට ගැහැව්වාම වෙනම මිනිස්සු බවට පත් වෙනවා. ඇත්ත කතාව ඒකනෙ. ඒකයි බොද්දි අනිත් මිනිස්සුන්ගෙන් ඈත නිදහස් තැනක් තෝරගන්නෙ. බීල ඉවර වෙලා බස් එකේ ආවත් වටේ ඉන්න මිනිස්සු එක්ක වැඩිය කතා බහට නොයන්නෙ. ගෙදර ආවාම සද්දෙ වහල ශේප් එකේ නිදාගන්නෙ. මොකද් එවෙලෙට කොච්චර වුනත් අපි නෙමේ ඉන්නෙ. ඉතින් එහෙම පියවි සිහියෙන් ඉන්න මිනිස්සුන්ගේ ඈත් වෙලා ෆන් එකක් ගන්න සෙට් වෙද්දි, ඒක අස්සට ඩ්‍රින්ක් එක දාන්නෙ නැති පියවි සිහියෙන් හැමදේම දිහා බලාගෙන ඉන්න පොරක් දාගන්න නම් පුද්ගලිකව මම කැමති නෑ. එහෙම කෙනෙක් ඉද්දි මගේ නිදහස මට නැතුව යනවා.

නොබොන උන්ට බොන්නෙ නැතුව ඉන්න තියෙන අයිතියට මම එකෙන්ම ගරු කරනවා. ඒත් ගොඩක් වෙලාවට ගොඩක් කේස් ගත්තම මිනිස්සු නොබොන්නෙ මොකක් හරි ලොකු හේතුවක් නිසා, එක්කො ආගමික මගුලක් ඉහට ගහගෙන.. එක්කො පොඩි කාලෙ ඉඳලා ගෙදර තාත්තා බීලා පිස්සු කෙළින හැටි දැකල පොඩි කාලෙ ඉඳලම අරක්කු එක්ක වෛරයෙන් ඉන්න නිසා, එක්කො බියර් උගුරක් ගැහැව්වත් ඔලුව කැරකිල්ල ඇවිත් වැටෙන නිසා.. එක්කො සුචරිතවාදියෙක් වීමේ උවමනාවට.. එක්කෝ බොන එක නරක යැයි සම්මත වැඩක් වීම නිසා බොන්න බයේ.. එක්කෝ බොන ආතල් එක සෙට් නොවන නිසා..

හැමෝම ඔහොමය කියන්න බැරි වුනාට ගොඩක් නොබොන අය නොබොන්නෙ ඔය වගේ හේතු නිසා. මට අනුව නම් ඔය ගොඩක් හේතු "අවුල්' සීන්. ඒ කියන්නෙ ගොඩක් නොබොන උන් නොබොන හේතු වල පදනම හෙණම අවුල් (ඔක්කොමල්ලගෙ නෙමේ ඈ.. සමහරු ගැන කිව්වෙ. ඔයා හිතාගන්නකො ඔයා නොබොන්නෙ සිරා හේතුවක් නිසාය කියල. කතාව අහවරයිනේ)

ඉතින් ඔහොම බැක්ග්‍රවුන්ඩ් එකක් නම් තියෙන්නෙ.. "මගුලක්ද ඕයි මූ මෙතන ඉඳන් මේ කරන්නෙ"

වගේ හැඟීමක් තමා මට එන්නෙ.

හැබැයි මෙහෙම එකක් තියෙනවා, මේ කතාව අදාල වෙන්නෙ යාලුවෝ සෙට් එක බොන්නම සෙට් වෙලා සින්දුවක් කියලා අව්‍යාජ ෆන් එකක් ගන්න සෙට් වෙන අවස්ථා වලට විතරයි. නැතුව ලොකු ලොකු තැන් වල සෙට් වෙලා, හැන්දෙන් ගෑරප්පුවෙන් බයිට් කකා වැදගත් විදියට බීලා ගියා වගේම ගෙදර එන සුහද හමුවීම් වලට නෙමේ. ඒ වගේ හමුවීම් නම් මට අනුව කොහොමත් ව්‍යාජයි. ඒවයෙ කෙරෙන්නෙ කොහොමත් රඟපෑම් නෙ. එක එක හේතු නිසා අපි නොයා බැරි කමට යන තැන් ඒවා.

ඔය වගේ හේතු නිසයි මම නොබොන උන් ඉන්න තැනක බොන්න අකමැති.. කරටි කැඩෙන්න ගහන උන්ට මේ කියන්නෙ.. බොනව නම් බොන උන්ම විතරක් සෙට් වෙන්න බලහන්.. බොන්නෙ නැති එල කොල්ලෙ එකෙක් දෙන්නෙක් හිටියට ගොඩක් නොබොන උන් ඔය සීන් එකට ගාව නොගන්න එකමයි ඇඟට ගුණ. එනිසා බයිට් එකටත් කෙළෝලා වෙච්චි දේවල් හතර අතේ කියන හාල්කෑලි පුලුවන් තරම් මඟ ඇරහල්ලා.

ප\ලි -

තව එක දෙයක් කියන්නම්. මේ කතාව කිව්වම බොන්නෙ නැති උන් කියන කතාව තමා "අනේ අපි නැත්තන් උඹලව ගෙවල් වලට ගිහින් දාන්නෙ කවුද? උඹලගෙ වමනෙ අස් කරන්නෙ කවුද?"" කියල.

අපි නම් සෙට් වෙච්ච හැමෝම හැමදාම වගේ කරටි කැඩෙන්න ගැහැව්වා, එකෙක්ට දෙන්නෙක්ට වමනෙ ගිය දාට වමනෙ දාපු උන්ගේ වමනෙත් අස් කලා, කෙළින් හිට ගන්න බැරි උන්ව ගෙවල් වලටත් ගිහින් දැම්මා.. ඔය එකකටවත් අපිට කවදාවත් 'හොඳ සිහියෙන් ඉන්න නොබොන උපාසකයො' ඕන වුනේ නෑ. ඒ නිසා නොබොන උන් ඉන්න තැනක පොඩ්ඩක් කල්පනාවෙන් හැසිරියල්ලා. ෆන් එකක් ගන්න සල්ලි වියදම් කරගෙන සෙට් වෙලා අන්තිමට ස්ප්‍රයිට් බිබී බයිට් කකා ඉන්න උන්ගෙන් පොර ටෝක් අහගන්නෙ මොකටද?

Wednesday, February 7, 2018

මොන ආගමද ඇත්ත?


අල්ලා මිනිස්සුන් මැවීම ඇත්ත ය,
මොහොමඩ් පියාඹන අශ්වයෙක්ගේ පිටේ ගිය එක ඇත්ත ය.
මොහොමඩ්ට ගල් ගුහාවක දෙයියෝ කතා කල එක ඇත්තය.
කුරානයේ තියෙන නිසා ඇත්තය..

ඒවා තේරුම් ගැනීමට විද්‍යාව තවම කුඩා වැඩිය...

ජේසු ජලය වයින් කිරීම ඇත්තය...,
අන්ධයෝ, කොරුන් සුව කල එක ඇත්තය.
මැරිච්ච මිනිස්සු ආයෙම නැගිට්ටෙව්වා කියන එක ඇත්තය
ජේසුගේ අම්මා කන්‍යාවියක්ය කියන්නේ ඇත්තය.
ජේසු මැරිලා ආයෙම ආවා කියන එක ඇත්තය
බයිබලයේ තියෙන නිසා ඇත්තය.

කාටවත් මේවා නෑ කියා ඔප්පු කරන්න බැරිය.
ඒ නිසා ඒවාත් ඇත්තය.

ශක්‍රයා හදේ හාවා ඇඳීම ඇත්ත ය,
සිදුහත් ඉපදුන ගමන් ඇවිදීම ඇත්තය
එවෙලේම නෙලුම් මල් පිපීම ඇත්තය..,
රහතන් වහන්සේලා අහසින් ගමන් කල කතා ඇත්තය
නිවන ඇත්තය.

විද්‍යාවට ඕවා තේරුම් ගත නොහැක
ඒ නිසා ඒවා ඇත්තය.

ඊ්ශ්වරගේ අහවල් එකෙන් මිනිස්සු මැව්වා කීම ඇත්තය..
බගවත් ගීතාවේ තියෙනනිසා ඇත්ත ය.

ස්වර්ගය ඇත්තය,
දිව්‍යලෝකය ඇත්තය
අපායත් ඇත්තය.

ඒවා නෑ කියා ඔප්පු කරන්න බැරිය.
ඒ නිසා ඇත්තය
කාලී මෑණියෝ ඇත්තය,
නාථ දෙවියෝ ඇත්තය.
තිස්තුන්කෝටියක් දෙවිදේවතාවුන් ඇත්තය
භූතයෝ ඇත්තය,
හොල්මන් ඇත්ත ය,

විද්‍යාව හැමදාම වෙනස් වන නිසා ඒවා ඇත්තය

අතීතයේ ලියවී ඇති ආගමික පොත් ඇත්ත ය.
හැම ආගමකම උන්ට තමන්ගේ ආගමික පොත්වල ඇති සුරංගනා කථා ඇත්තය..

විද්‍යාවට මේවා ප්‍රශ්න කළ නොහැකිය.
විද්‍යාව බොරුය.. 
 
 
 
 

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...