Showing posts with label නිර්මාණ. Show all posts
Showing posts with label නිර්මාණ. Show all posts

Wednesday, September 21, 2016

කළු ගිරවා

අහස වැහි අන්ධකාරයෙන් පිරිලා.

කළු ගිරවා වටපිට බැලුවා

මහා දරුණු කුණාටුවක් ළඟ එන බව ඌට දැනුනේ ඉවෙන් වගේ

පෝරකය වටේට හිටපු පාට පාට ගිරව් ඌ දිහා බලාගෙන හිටියා,

රතු පාට ගිරව්, කොළ පාට ගිරව්, නිලුයි කහයි කලවං ගිරව්, රතුයි කහයි නිලුයි කලවං ගිරව්,

පාට පාටින් කලවං වෙච්චි යායක්..

වේදිකාව උඩ හිටිය නිසා පහළින් හිටපු ලක්ෂ ගාණක් ගිරව් ඔක්කොමල්ලව කළු ගිරවට පැහැදිළිව පෙනුනා. එකින් එකාව..

එක් කෝටි අසූ ලක්ෂයක් ගිරව් !

උන්ට කළු ගිරවව පෙනුනටත් වඩා පැහැදිළිව කළු ගිරවට උන්ව පෙනුනා

උන්වත් උන්ව මෙච්චර හොඳට දැකල තිබ්බෙ නෑ

හැම ගිරවගේම පාට පාට අස්සෙන් කළුපාට ඉතුරු වෙලා තියෙනවා කළු ගිරවා දැක්කා

ගිරව් ඔක්කෝමල්ලා ගේ ඇස් එළියට ඇවිල්ලා කටවල් ඇරිලා කෙළ බේරෙනවා

"මරපියව්..! ඕකව එල්ලපියව්ව්ව්.. කවුරු හරි ඕකාගේ තටු දෙක ඉරපන් ! .. පොන්නයාව එක පාර මරන්න එපා...ආ ! දසවද දෙන්න ඕනේ මේවගේ අසමජ්ජාති බල්ලන්ට..හම ගහලා මරපාන් කැරි පොන්නයාව..!"

පාට පාට ගිරව් මොර දුන්නා

උන්ගේ ඇඟවල් වෙව්ලනවා. තටු ගැහෙනවා. උන් කළු ගිරවගේ මූණට කෙළ ගැහැව්වා

කළු ගිරවගේ අත් වලට මාංචු දාලයි තිබ්බෙ.

"මුං ගෙ හැටි විතරක්"

ඌ හිතුවා.

තමා වැඩියෙන් වද වෙන්න ඕන ඉහළින් එන්න නියමිත මහා කුණාටුව ගැනද, පහළ ඉඳගෙන තමාගේ මිනී රස ඉල්ලමින් කෑ මොර දෙන ගිරව් ගැනද කියන එක තේරුම් ගන්න කළු ගිරවට පුළුවන් කමක් තිබුනේ නෑ

එක පාර පාට පාට ගිරව් ගොඩෙන් ලොකු ගිරවෙක් වේදිකාවට පියාඹලා ආවා. ඌට කිසිම පාටක් තිබ්බෙ නෑ. පාටක් නැති ගිරවෙක්. ඌ වෙනම ජාතියක එකෙක් වෙන්නැති,

කළු ගිරවා හිතුවා

බෙල්ලෙ ඉඳන් උඩට මුලු ඔලුවම කළු පාට රෙද්දකින් වහල තිබ්බ නිසා කළු ගිරව උගේ මූණ දැක්කෙ නෑ. උගේ ඇස් දෙකයි හොටයි එළියට එන්න පුළුවන් විදිහට රෙද්දේ සිදුරු විදලා තිබ්බා

එක පාරම පාටක් නැති ගිරවා හොරණෑවක් අරන් පිඹින්න ගත්තා.

මහා හයියෙන් !

හොරණෑ සද්දෙ මුළු පලාතෙම පැතිරුනා

ඈතින් ගිරව් තුන් දෙනෙක් එනවා කළු ගිරව දැක්කා. දෙපැත්තෙන් හිටියෙ පාට පාට ගිරව් දෙන්නෙක්. උන්ගේ අත් වල ආයුධ තියෙනවා කළු ගිරව දැක්කා. තවම හොරණෑ හඬ පලාතම දෙවනත් කරනවා

කළු ගිරවගේ කං අඩි පැළෙන්න වගේ..එක පාරම කළු ගිරවා මැද ඉන්න ගිරවව දැක්කා

මැද්දෙ හිටියෙ සුදුම සුදු ගිරවෙක්

"අයියා"

කළු ගිරවට කියවුනා. මැද හිටිය සුදුම සුදු ගිරවා කළු ගිරවගේ අයියා බව ඌ අඳුරගත්තා. කළු ගිරවගේ අයියා සුදුම සුදුයි.

කළු ගිරවාගේ කළු පාටටත් වඩා සුදු ගිරවාගේ සුදු පාට සුදුයි

හොරණෑ හඬ නැවතුනා

"නිහඬ වනු"

සුදු ගිරවා ගේ දකුණු පැත්තේ හිටිය ගිරවා විධානයක් දුන්නා. ලක්ෂ ගාණක් ගිරව් මීයට පිම්බා වගේ. හ්ම් සද්දයක් නෑ. කළු ගිරවාට දඬුවම් ලැබෙනකල් නොඉවසිල්ලෙන් හිටියෙ, උන්

සුදු ගිරවා ඇවිල්ලා තියෙන්නේ තමාව විනිශ්චය කරන්න බව කළු ගිරවා දැනන් හිටියා

සුදු ගිරවාට වම් පැත්තෙන් උන්නු ගිරවා චෝදනා පත්‍රයක් කියවන්න ගත්තා. කළු ගිරවා උපන් දා ඉඳල කරපු වැරදි ඔක්කොම, ඒ චෝදනා පත්‍රයේ තිබ්බා. වම් පැත්තේ ගිරවා ඒ එකින් එක කියෙව්වා

චෝදනාවෙන් චෝදනාවට පාටපාට ගිරව් කළු ගිරවට කෙළ ගැහැව්වා. නින්දා කලා

ඔක්කෝම ගිරව් හිතන් හිටියේ උන් කළු ගිරවව විනිශ්චය කරන්න ආවා කියල. ඒත් අද කළු ගිරවගේ විනිශ්චය දවස වගේම මෙතන උන්නු අනිත් ගිරවුන්ගෙන් විනිශ්චය දවස බව දැනන් හිටියේ කළු ගිරව විතරයි

වම් පැත්තේ ගිරව කළු ගිරවගේ චෝදනා පත්‍රය කියවල ඉවර කලා

සුදු ගිරවා ඉස්සරහට ආවා

මීයට පිම්බා වගේ නිහඬබවක් හතර අත පැතිර තිබුනා

"තමාට එරෙහිව තියෙන චෝදනා වලට, තමා වැරදි කරුද? නිවැරදි කරුද?"

සුදු ගිරවා ශබ්ද නඟලා කළු ගිරවගෙන් ඇහැව්වා

කළු ගිරවා නිශ්ශබ්දයි

"තමාට එරෙහිව තියෙන චෝදනා වලට, තමා වැරදි කරුද? නිවැරදි කරුද?"

සුදු ගිරවා දෙවෙනි වතාවටත් ඇහැව්වේ තවත් සද්දය වැඩි කරමින්

"මම වැරදිකාරයද නැද්ද කියල තීරණය කරන්න උඹ කව්ද?"

කළු ගිරවා තමාගේ සහෝදරයගෙන් කෑගහලා ඇහැව්වා

"උඹ උඹේ ජීවිත කාලයේදී වැරදි ගොඩක් කරලා තියෙනවා, සමාව දෙන්න බැරි වැරදි. අන්තිමට අපි උඹව අල්ලගත්තා, දැන් අපි යුක්තිය සාධාරණය ඉෂ්ඨ කරන්නයි යන්නෙ. කියපන්. අන්තිම වතාවට අහන්නෙ. උඹ මේ චෝදනා වලට වැරදිකරුද? නිවැරදිකරුද?"

"ඇයි උඹලා උඹලගේ ජීවිත වල වැරදි කරල නැද්ද? ඇරත් මම කල දේ වල හරි වැරැද්ද තීරණය කරන්න උඹ කව්ද? ඔව්, මං මිනී මැරුවා. ස්ත්‍රී දූෂණය කලා, පොඩි උන්ව පුච්චලා මැරුවා, මංකොල්ලකෑවා..

කළු ගිරවා වේගයෙන් කියෝගෙන කියෝගෙන යනවා.

"මං කලේ මට හරියි කියල හිතුන දේ. දැන් උඹ හදන්නෙ මාව ලක්ෂ ගාණක් ඉස්සරහා මගේ හුස්ම හිර වෙනකන් එල්ලලා මරන්න. ඒ උඹ හරියි කියල හිතන දේ. උඹට පුළුවන් නම් උඹ හරියි කියල හිතෙන විදිහට මිනිස්සු මරන්න, ඇයි මට බැරි?"

කළු ගිරවගේ ඉවසීමේ සීමාව ඉක්මවලා ගිහින්..

"උඹට මතකද? අපි දෙන්නා පොඩි කාලේ ආපු මහා කුණාටුව? ඒ කුණාටුවට අහුවෙලා මාව වැටුනේ කන්දෙන් එහා පැත්තට. උඹව වැටුනා කන්දෙන් මෙහා පැත්තට. මතකද උඹට? බැරි වෙලාවත් මම මේ පැත්තට වැටිලා උඹ කන්දෙන් එහා පැත්තට වැටුන නම් අද මම ඉන්නේ උඹ ඉන්න තැන. උඹ ඉන්නේ මම ඉන්න තැන !"

මීයට පිම්බා වගේ හතර අතම නිහඬ වෙලා. ලක්ෂ ගාණක් ගිරව් කටවල් ඇරගෙන සුදු ගිරවගෙයි කළු ගිරවගෙයි කථාව අහං ඉන්නවා

සුදු ගිරවා ආයේ කතා කරන්න ගන්නවා

"එහෙමයි කියලා උඹට මෙහෙම අපරාධ කරන්න අයිතියක් නෑ. උඹේ අපරාධ වලට දඬුවම් ලැබෙන්න ඕන. උඹ කරපු අපරාධ වලට ලැබෙන්න ඕන දඬුවම තමයි, මරණය !"

මෙච්චර වෙලා නිහඬව හිටපු ගිරව් ආයේ යටිගිරියෙන් කෑගහන්න ගත්තා..

"මරපියව් ඕකව.. එල්ලපියව්.. මරපියව්.."

පාට පාට ගිරව් ආයෙත් කෑගහන්න ගත්තා.

එක පාර කළු කරගෙන තිබුන අහස එන්න එන්නම ඝන අන්ධකාරයෙන් පිරිලා ගියා. සුදු ගිරවට මතක් වුනා තමා පොඩි කාලෙදි තමාගේ මල්ලිව, කළු ගිරවාව තමාගෙන් වෙන් කරපු ඒ මහා කුණාටුව.

ආයේ ඒ වගේම කුණාටුවක් එන්න යන්නේ. අත ලඟම. ඉක්මනට ඉගිල නොගියොත් සියල්ලන් විනාශ වෙන බව සුදු ගිරවාට තේරුනා

"මරපියව්.. අපිට කළු ගිරවගේ මිනිය ඕනේ.."

පාටපාට ගිරව් නොනවත්වා කෑගහනවා. ආවේශයෙන් වගේ. ලේ රස දැනුන වෘකයන් වගේ

"ඕකාගේ කැවුතු කන්න ඕනා අපිට. ඕකාගේ මස් අපේ බල්ලන්ට කන්න දාන්න ඕනේ..."

එන්න එන්නම කුණාටුව ළං වෙන බව සුදු ගිරවට තේරුනා. හැකි ඉක්මනින් මෙතනින් ඉගිළ යා යුතු බව ඌ තේරුම් ගත්තා

"මහා කුණාටුවක් එන්න යන්නේ.. ඔක්කෝමල්ලා ඉකමනට මෙතනින් ඉගිලිලා පලයල්ලා.. පලයල්ලා.. ජීවිත බේරගනිල්ලා.."

සුදු ගිරවා කෑගැහැව්වා

එන්න එන්න වැස්ස වැඩි වෙනවා..

ඒත් පාට පාට ගිරව් එක් කෝටි අසූ ලක්ෂයට ගාණක්වත් නෑ.

කළු ගිරවාගේ අවසානය දකිනකල් පාට පාට ගිරව් මෙතනින් හෙල්ලෙන්නේ නැති බව සුදු ගිරවට තේරුනා..

"උපන් දා සිට සිදු කරල ලැබූ සියලුම වැරදි වලට සුදු ගිරවා වන මා විසින් කළු ගිරවව වැරදිකරු කරනවා"

සුදු ගිරවා තීන්දුව දුන්නා

"කන්දේ මෙහා පැත්තේ ඉඳන් කන්දෙන් එහා පැත්තට වැටුන මාව විනිශ්චය කරන්න හදන පරවාදී බල්ලෝ !"

කළු ගිරවා ආවේශයෙන් මොර දුන්නා

පාටක් තිබ්බේ නැති ගිරවා කළු ගිරවගේ ඔලුවට කළු රෙද්දක් දැම්මා.

එන්න එන්නම වැස්ස වැඩිවුනා.

පොළව හොල්ලමින්, අහස දෙදරමින් අකුණු හඬ දසත පැතිරුනා.

ඔක්කොමල්ලා වැහි වතුරින් නෑවිලා.

හුළඟේ සැරට වටේ තිබ්බ ගස් කඩන් වැටෙන්න නොවැටෙන්න වගේ

"ඕකව මරපන්.. ඉවරයක් කරපන්"

පාට පාට ගිරව් මොර දුන්නා.

කුණාටුව එන්න කලින් කළු ගිරවාගේ මරණය සිද්ද වුනේ නැතිනම් අද සියල්ලන්ගේම අවසානය, සුදු ගිරවා දැනගත්තා

"ඕක ඉක්මන් කරපන්,"

ඔක්කෝම ගිරව් අන්ධ වෙලා හිටියේ කළු ගිරවගේ මරණය දකින ආසාවෙන්

උන්ව වට කරගෙන එන මේ මහා කුණාටුව ගැන උන්ට වගක් තිබ්බේ නෑ

පාටක් නැති ගිරවා කළු ගිරවගේ බෙල්ලට තොණ්ඩුව දැම්මා

විධානය !

සුදු ගිරවා අතින් සංඥාවක් දුන්නා.....

පාටක් නැති ගිරවා පෝරකයෙන් කළු ගිරවාව නිදහස් කලා..

ඒත් එක්කම කං අඩි පැලෙන සද්දයෙන් මහා භයංකර අකුණක් ගැහැව්වා

ලෝකයේ කිසිම කෙනෙක්ට කිසිම විදියකින් දරා ගන්න බැරි අකුණු සැරයක්!

කළු ගිරවා බෙල්ලෙන් එල්ලිලා හිටියෙ. දඟල දඟල

කළු ගිරවාගේ දැ‍ඟලිල්ල දැකලා පාට පාට ගිරවුන්ගේ ඇස් බැබලුනා

"බරාස්....."

එකපාරම මහා සද්දයකින් යාය වසාගෙන හිටිය මහා වෘක්ෂය දෙකඩ වුනා.

මේ වෘක්ෂය උඩ ඉද්දියි කලින් කුණාටුව නිසා අයියයි මල්ලියි දෙපැත්තට වැටුනේ, සුදු ගිරවට මතක් වුනා

අකුණු සැරයට දෙකට වුන ඒ මහා වෘක්ෂය මහා හඬින් යායේ හිටපු එක්කෝටි අසූ ලක්ෂයක් ගිරවුන් මතට පතිත වුනා.

උන් අවසාන නිමේෂයේ දැක්කේ දඟල දඟල හිටිය කළු ගිරවගේ දේහය නිසල වෙන හැටි..

සතුටින්.. සිනහමුසු මුහුණින්.. බැබළුනු ඇසින්..

තත්පරයකින් මහා වෘක්ෂය මුළු යායම වසාගත්තා.

ඊළඟ තත්පරයේ ඉතිරි වුනේ යායක් සහ යායම වසාගත්ත වෘක්ෂයක් විතරයි.

එකම ගිරවෙක්වත් දකින්නට හිටියේ නැහැ.

පැත්තකින් පෝරකය විතරක් ඉතුරු වෙලා තිබ්බා.



ප/ලි - පන්සිය පනස් ජාතක පොතේ එන සත්තිකුඔ ජාතකය කියවා නැති අය සොයාගෙන කියවන්න. කුඩා දරුවෙකුට පවා තේරුම් ගත හැකි සරල, එහෙත් ගැඹුරු පණිවිඩයක් ලබා දෙන කථා වස්තුවකි.

Saturday, August 20, 2016

තරිඳු මල්ලිගේ කථාව

“අ…..අ… අයියේ.. ව.. වතු.. වතුර.. ටික.ක් බො..මුද?”
හැතැම්ම දෙකක් පමණ බයිසිකලය පදිමින් මා හමුවීමටම පැමිණි තරිදු මල්ලි සිය කටහඬ අවදි කලේ එලෙසය.
කුඩා වියේදි කෙළිලොල් දඩබ්බරයෙකු වූ ඔහුගෙන් අද දිස්වන්නේ බයාදු අවිශ්වාසසහගත පෙනුමකි. ඔහු විටින් විට කතා කරන විට ගොත ගසයි.
.
.
.
මා හා සැළකිය යුතු වයස් පරතරයක් ඇති තරිඳු මල්ලි, මගේ පියාගේ පැත්තෙන් නෑදෑයකු විය. කුඩා කල නෑදෑ කොල්ලෝ කුරුට්ටන්ගෙන් මුරණ්ඩුම දරුවා වූයේ ඔහුය. අප අතරින් වැඩිහිටියන්ට වැඩියෙන්ම කරදරයක් වූයේද ඔහුය.
විටෙක ඔහු ජනේලයක වීදුරුවක් බිදියි, තවත් විටක ආය කටුවක් නවා එයට සබන් කැබැල්ලක් රදවා ඇලෙන් මාළුන් අල්ලයි, තව විටෙක පොඩි එකෙකු සමඟ පොර බඳියි. ඔහු ගැන නිතරම කුමක් හෝ පැමිණිල්ලකි.
“මූ නං යකෙක්.. ඇට්ටරයෙක්”
සියලු වැඩිහිටියන් තරිඳු මල්ලිව හැඳින්වූයේ එලෙසින්ය.
මේ දැඟලිල්ල නිසාම ඔහුව යහපත් කීකරු දරුවෙකු කිරීම උදෙසා, තරිඳු මල්ලිව අසාමාන්‍යය ලෙස සිර කොට, නීති දමා, නිරතුරුව තම ඇස් මට්ටමේ තබා ගැනීමට ඔහුගේ දෙමාපියෝ කටයුතු කළහ. ඔහුගේ පියා විසින් පනවන මේ අසාමාන්‍යය නීති අනෙකුත් වැඩිහිටියන්ගේ විවේචනයටද ලක් වූයේ වරක් දෙවරක් නොවේ.
වෙලාවට නැගිටීම, නින්දට යාම මෙන්ම වෙලාවට පාඩම් කිරීමද ඔහුට අනිවාර්‍ය කෙරුනු දෙවල් විය. සෙල්ලම් කිරීමට ඉඩ ලැබුනේ ඉතාම සීමා සහිත කාලයක් පමණි.
බැතිමත් කතොලිකයන් වූ ඔහුගේ මාපියන් ඉරිදාට පල්ලි යාම, දිනපතා යච්නා කිරීම අනිවාර්‍ය කොට තිබුනි.
කෙසේ හෝ, වයසින් වැඩෙත්ම අප එකිනෙකාට වෙන් වන්නට සිදු විය. සියල්ලන්ගෙන් ඈත් වූ මට තරිඳු මල්ලි ගැන ඉඳ හිට හෝ අහන්න ලැබුනේ මගේ අම්මාගෙනි.
“දැන් තරිඳු හරිම හොඳයිලු. පල්ලියෙමලු.. උඹලව තමා බලෙන්වත් පල්ලියකට යවා ගන්න බැරි. අච්චර දඟලපු ළමයා දැන් ශාන්තුවරයෙක් වගේ නිමිලලු. උඹල ඒ ළමය දිහාවත් බලල හැදියන්”
මම පල්ලි නොයන හැම අවස්ථාවකම, ආගමික කටයුත්තක් මඟ හරිනා හැම අවස්ථාවකම අම්මාගෙන් බැණුම් පිට බැණුම් අසන්න වූයේ තරිඳු මල්ලිගේ හොඳ සමඟ මගේ නරක සැසඳීමෙනි. කාලයක් තිස්සේ නොදුටු තරිඳු මල්ලි ගැන අම්මාගෙන් අහපු බැණුම් නිසාම තරහක් ඇති වු අවස්ථා නැතුවා නොවේ.
වසර ගණනක් එකිනෙකාගෙන් වෙන් වී සිටි මට, තරිඳු මල්ලි මීට මාස කීපයකට පමණ පෙර නෑදෑ කෙනෙකුගේ අවමඟුලකදී හමුවූයේ අහම්බෙනි.
වෙනදාට එක තැනක ඉඳගෙන ඉන්න බැරි තරිඳු මල්ලි මුළු ගැන්වී, කාගේවත් මූණවත් බලා කතා නොකරන යටහත් පහත් චරිතයක් බවට පත් වි තිබීම අප සැම පුදුමයට පත් කරනු ලැබීය.
“ඉතින් මල්ලි, කොහොමද?”
“ඉ..ඉ..ඉන්.. ඉන්නව.. අ..අයියෙ”
පෙර මෙන් නොව, තරිඳු මල්ලි දැන් කතා කරන විට ගොත ගසන බව අම්මා මට කියා තිබ්බද ඔහුත් සමඟ කතා කරන තුරු ඒ ගැන මගේ මතකයේ තිබුනේ නැත.
ඔහු කතා කලේ ඉතාම අපහසුවෙනි, වචන එළියට නොඑන අවස්ථාවලදි ඔහු ඇස් පියා ගනිමින් කථා කිරීමට උත්සාහ ගත්තේය.
“මල්ලි දැන් පල්ලියේමලු නේද?”
“නෑ.. නෑ අයියෙ.. ඉස්ස්ස්සර ගි..යා. දැන් වැඩිය යන්නෙ නෑ..”
“කවුද ෆාදර් කෙනෙක් එක්ක ෆිට් එකේ හිටියලු නේද?
“ආ..පෝ.. මිමිනිහ… අඅ..න්තිමට මමල වදයක් වුනා”
“ඒ මොකෝ”
“නීති… දා…න්න ආවා අයියේ. ඕ..න එකටයි එ…පා එකටයි ඔක්කෝටම. දැන් මං පල්ලි යන්නේ නෑ”
“එහෙමද?”
“අයියේ, මං පොඩි දෙයක් අහන්නද? ඔයා ආගම ගැන දන්නවනෙ”
“ගොඩක් දන්නෑ මල්ලි, ටිකක් දන්නවා”
“අයියේ මට නින්ද යන්නෙ නෑ අයියෙ. බයයි.
‘මට දැන් කෙල්ලො ගැන එක එක ඒවා හිතෙනවා අයියෙ”
නව යොවුන් වියේ මුවවිට ආදරය පහුරු ගාමින් සිටින මේ ගැටයා තම දැඩි ආගමික විශ්වාසයන් සහ හිත කිති කවන ආදර හැඟුමන් සමඟ අරගලයක යෙදී සිටියි.
“බයිබලයේ තියෙනවනෙ කෙල්ලෙක් දිහා නරක විදියට බැලුවත් එකයි, එයා එක්ක නිදා ගත්තත් එකයි කියල. ඉතින් මම ටීවී බලන්නෙත් නෑ ඒනිසා. කොහේවත් යන්නෙත් නෑ. කොටට ඇන්ද කෙල්ලො දකිද්දි මට කේන්තියි”
“මට බයයි අයියේ… මට එහෙම දේවල් හිතුන නිසා මං අපායේ යයි කියල”
මේ නව යොවුන් ගැටයා තමන්ගේ අත්දැකීම විස්තර කරනා විට ඔහුගේ අතැඟිලි මිටි ගැන්වේ, ඇස් විශාල වේ.
එදා දඩබ්බර ඇට්ටරයා මේ තරම් බියසුලු ගොත පුද්ගලයෙකු බවට පත් වූයේ ඇයි?
“අනේ අයියෙ. මට නින්ද යන්නේ නෑ.
මම ආසයි මැරුනයින් පස්සෙ මුකුත් නැත්තන්. ඇයි, අපි අතින් වැරදි වෙලා බැරිවෙලා හරි අපායට ගියොත්,, සදාකාලයටම පිච්චි පිච්චි.. දුක් විඳින්න වෙනවා. අයියේ.. සදාකාලයටම”
මා දැන සිටි දඟකාර ගැටයා වෙනුවට දැන් සිටින්නේ බයාදු, ගොතගසන, පෞරෂ හීනභාවයෙන් පෙළෙන තරුණයෙකි
"මල්ලි වෙලාවක එන්න අපි කතා කරමු”
ඔහුට හැකි විදියකින් මට පුළුවන් උපරිමයෙන් උදව්වක් ඇත්නම් කිරීමට ඒ මොහොතේ ඉටා ගත්තෙමි
.
.
.
.
“ආ අයියේ කෝප්පේ” තරිදු මගේ දැහැන බිඳියි
“මල්ලි, මොකෝ තත්ත්වේ? මොකද හිතන්නේ මම කිව්ව බයිබල් පාඨ ගැන?”
“ඔ..ඔව් අයියේ.. හිතුවා ගොඩක් හිතුවා”
“මට එ..එදා ඉඳල ඔලුවට මා..ර නිදහසක් දැනුනේ. ඒකයි මම අදත් ආවේ පොඩ්ඩක් කතා කරන්න. මට නින්දත් ගියා”
මා නිසා ඔහුට දැනුන වෙනස ගැන ගොත ගසමින් හෝ ඔහු දිළිසෙන දෙනෙත් වලින් සිනහමුසු මුහුණුන් කියන අයුරු දුටු මට එතරම් සතුටක් දැනුන දවසක් මතක් කල නොහැකිය.
“බය වෙන්න එපා මල්ලි. ඕව ඔක්කෝම එක එක අරමුණු නිසා මිනිස්සු ගොතපු කතා. අනික, මම කිව්ව වගේ හැම ආගමකම ඔය අපාය ගැන උගන්නනවා. එහෙම බය වෙන්න ගියොත් අපිට හැම ආගමකම අපාය ගැන බය වෙන්න ඕනනෙ”
ඔහුට අවශ්‍ය වූයේ ඔහු තැතිගැත්මට පත් කල, ඔහුගේ නින්ද අහිමි කල, කොටින්ම ඔහුව සාමාන්‍යය ජීවිතයෙන් නැති කල “අපාය” ගොතන ලද මිත්‍යාවක් බව නැවත නැවතත් තහවුරු කර ගැනීමටය.
හමුවීම් කීපයක් තුල ඔහුට විද්‍යාවෙන් ගත් උදාහරණ ඇසුරෙන් ආගමික මිථ්‍යාවන් ගැන හැකිතරම් පහදා දී අපාය පිළිබඳ බය කෙමින් කෙමින් අඩු කරන්නට මට හැකි වුනි.
.
.
.
.
“අයියේ මම ගිහින් එන්නද?”
සිනාමුසු මුහුණ, නිදහස ලැබූ පරවියෙක්ගේ සතුට
“හරි මල්ලි”
“අහසේ දෙවියෝ නෑ. මතකනෙ?" මේ දිනවල තරුණයන් අතර ජනප්‍රිය වදන් කිහිපය මා විහිලුවෙන් මෙන් ඔහුට පැවසුවෙමි.
ඔහු සිනාසෙයි
“ඇයි? දෙවියෝ නෑ කියලා හිතන්න බයද?”
“ද..දන්නවා.. අ..යියේ.. ඇත්ත .. මොක..ක්ද කියල.. ඒ..ත්.. ඒක.. කියන්..න්න.. බ්බ්බ්..බ්..බ..ය..යි….තා..ම”
දෙවියන් ගැන විශ්වාසය නැති වුවද තවමත් ඔහු දෙවියන්ට එරෙහි යමක් පැවසීමට පවා බියක් දක්වයි
තරිදු වැඩියෙන්ම ගොත ගසන්නේ දෙවියන් නැතැයි කියා සිතන විටය.
බයිබලයට අනුව ශුද්ධාත්මයානන් වහන්සේගේ පැවැත්ම ප්‍රතික්ෂේප කිරීම කිසිදා සමාව නොලැබෙන පාපයයි.
අහසේ දෙවියෝ නැති ලෝකයක ජීවත් වූවා නම් අද තරිඳු මල්ලි කුමන විදියේ තරුණයෙක් වන්නට තිබුනාද? කුඩා ළමයින්ට අපාය ගැන කියා බිය වැද්දීම කොතරම් අනුවණකමක් දැයි මට සිහිවෙන්නේ තරිඳු මල්ලි නිසාය.

Friday, August 12, 2016

අප්සරා



ඔහු ඉදිරියේ වූ පෙප්සි වීදුරුවෙන් බාගයක්වත් ඔහු අවසන් කර තිබුනේ නැත.

"බොන්නෙ නැද්ද?"

මා ඇසුවේ ඔහුට පෙප්සි පොවන්නට තිබුන උවමනාවකට නොවන බව දත්තේ මම පමණකැයි නොසිතමි. මා ඉදිරියේ හිඳගෙන සිටිනා ආගන්තුකයා හා සමඟ කෙසේ හෝ කතාබහක් ආරම්භ කල යුතුව ඇත. ඒ වගකීම තිබුනේ මා මතය. මන්ද මේ හමුවීම, නාඳුනන තරුණයන් දෙදෙනෙකු වන අපගේ හමුවීම මගේ ආරාධනයෙන් සිදුවූවක් බැවිනි.

මම අමාරුවෙන් වචන ගලපමින් යමක් කියන්නට උත්සාහ කලෙමි. නමුත් මගේ ඔලුව කිසිදා නොදැනුන බරකින් වසාගෙන තිබුනි. ගලපාගත යුතුය, වචනයක්.. කුමක් හෝ... වචනයක්.

මට ඇසීමට දාහක් දේ තිබෙන බව හැඟුනද යමක් කල්පනා කරගත නොහැක්කා සේය.

"උඹ කවද්ද අප්සරා එක්ක මේ සම්බන්දෙ පටන් ගත්තෙ?"

තවමත් බාගයකට වඩා පිරී තිබුන පෙප්සි වීදුරුවෙන් උගුරක් ඔහු පානය කලේය.

පෙප්සි? අප්සරා ආස ස්ප්‍රයිට් වලට.. අපි දෙන්නා හැමදාම බිව්වේ ස්ප්‍රයිට්.. ඒ අප්සරා ආස නිසා

මම මටම කියා ගත්තෙමි,

"උඹ දන්නවනෙ කතාව දැනටමත්. අප්සරා මට කිව්ව උඹට හැමදේම කිව්වයි කියල. උඹ එක්ක සම්බන්ධෙ නවත්තන්න සති දෙක තුනකට කලින් තමයි මම අප්සරාගෙන් යාලු වෙන්න ඇහැව්වෙ"

මේ අවලමාට ගාණක් නැතුව කියාගෙන කියාගෙන යන හැටි. මගෙ අප්සරාව.. මගේම අප්සරාව මගෙන් උදුරගෙන..!

මා සිතේ තිබුන දුක, කෝපයකින් සහ වෛරයකින් වැසී යයි. මොහු මේ ප්‍රශ්නය සැහැල්ලුවට ගෙන ඇත්තා සේ අප්සරාවද සැහැල්ලුවට ගෙන විය යුතුය. පර බල්ලා! අප්සරාට මා කලාක් මෙන් කිසිවෙකුත් කෙදිනකවත් ආදරේ නොකරනු ඇත. අප්සරා එය නොදන්නවා වුනාට එය මට සහතිකය.

අප්සරා මගේ.. ඒකි මගේම විතරයි

කෝපය ඉවසාගෙන ආපු කාරණාවට බැස්සෙමි. මේවෙලෙ කලබල වීම නුවණට හුරු නැත. අප්සරාගේ කැමැත්ත මා වෙත නැවත ලබා ගත් පසු මූ ගැන මට බලාගත ඇහැකිය.

"මං උඹට කෙළින්ම කියන්නම්. මම අද උඹට එන්න කිව්වෙ මේකෙ දෙකෙන් එකක් බේරගන්න. කොටින්ම දෙකෙන් එකක් නෑ. තියෙන්නෙ එකයි. අප්සරා මගෙ කෙල්ල. අපි ලව් කරන්න අරං දැන් අවුරුදු හතරකටත් වැඩියි. මුලින්ම ඒලෙවල් ක්ලාස් යද්දි අපි දෙන්නා යාලු වුනේ. උඹ දන්නව ඇතිනෙ. ඔය ජොබට යන්න කලින් මම කිව්වා අප්සරාට. ඒත් මම ඒකිව විශ්වාස කරලයි යැව්වෙ. ඒත් ඒකි ඒ විශ්වාසය කැඩුවා. කැඩුව නෙමේ කඩන්න සිද්ධ වුනා. මොකද උඹ ඒකිව රවට්ටගෙන. මගෙ අහිංසක කෙල්ලව රවට්ටගෙන. මචන්, මටයි අප්සරාටයි හිටිය විදියට ඉන්න දියන්. අපි මේ ප්‍රශ්නය දුර දිග යවන්නෙ නැතුව ගොඩින් බේර ගමු"

මම එක හුස්මට කියාගෙන කියාගෙන ගියෙමි. අවසන් වචන ටික පිටවුනේ වෙව්ලන ස්වරූපයකිනි. කේන්තිය නිසාද දුක නිසාද මම නොදනිමි.

මගේ අප්සරාව වෙන එකෙක්ගෙන් මට ඉල්ලන්න වෙලා.. අවන්හලේ ජනේලයෙන් පිටත අහස බැලුවෙමි. වළාකුළු නැති හවස් අහස..අවට පරිසරයට එක් කලේ මූසල කාලකණ්ණි බවකි.

අප්සරා මගේ ! මගෙ හිත ඇතුලෙන් ඇගේ නම දෝංකාර දෙයි

ක්ෂණයකින් මගේ හිත අතීතයට දිව යයි. මම අප්සරාව දුටු පළමු මොහොත. මගේ ජීවිතයේ මම ආසම මොහොත..! අප්සරා මට කැමැත්ත දුන් දවස..මම අප්සරාට මුලින්ම අර දුන්න පෙන්ඩන්ට් එක..මම අප්සරාට පළමු හාදුව දුන්න මොහොත.. ඊට මාස ගාණකට පස්සෙ මුලු ලෝකයෙන්ම වෙන්ව අප දෙදෙනා තනි වූ හැටි.. එතනදි අප්සරා ඇගේ හැමදේම මා වෙනුවෙන් පූජා කල හැටි.. ඇය මගේම වුන හැටි..ඉන් සතියකට විතර පස්සෙ අප්සරාගෙයි මගෙයි පළවෙනි රණ්ඩුව.. ඉන් පසු මම අප්සරාව මඟ හැරුන හැටි.. මම පළවෙනි වතාවට අප්සරාට අත උස්සපු දවස.. මම ඇයව අත් හරින බවට තර්ජනය කල හැටි..අප්සරා හඬමින් මගෙ පස්සෙන් ආපු හැටි.. මම යාලුවන් එක්ක වෙනම ලෝක වල විනෝද වෙද්දි ඇය තනි වූ හැටි..

මගෙ ඔලුව පුපුරන්න වගේ දැන් නම් ! කෙසේ හෝ මතකයන්ගෙන් මිදිය යුතුව ඇත. මේ මගේම අප්සරාව නැවත මගේම කරගන්න තියෙන මගේ අන්තිම අවස්ථාව විය හැකිය.

මම ඔහුගේ මුහුණ බැලුවෙමි. ඔහු තවමත් නිහඬවය

"මොකද දැන් උඹ කරන්නෙ? කතා කරහන්. උඹ කැමතිද මේ ප්‍රශ්නෙ ගොඩින් බේරගන්න?"

අවසානයේ ඔහු නැවතත් සිය හඬ අවදි කලේය

"මචං, මට උඹත් එක්ක කිසිම අවුලක් නෑ. උඹත් කොල්ලෙක් මමත් කොල්ලෙක්. අනික උඹ මේක මෙහෙම ෆේස් ටු ෆේස් කතා කරල බේරගන්න එන්නයි කියල කිව්වම මට පුදුම හිතුන. අප්සරා උඹ ගැන කියල තිබ්බ ඒවත් එක්ක. මොකද උඹ හැම වෙලේම ඒකි දිහා වෙන කොල්ලෙක් බැලුවත් ගේමලු නේද?"

ඔහු කතා කරන්නේ මඳ සිනහවකින් මුව පුරවාගෙනය.

"මට අප්සරා හැමදේම කිව්වා මුල ඉඳලම. උඹල යාලු වෙච්චි එකේ ඉඳල උඹල උඹ ඒකිට සලකපු හැටි, ලව් කරපු හැටි, ගෙවල් එක්ක කේස් දාගත්ත හැටි, උඹ ඒකිට ගහපු හැටි, නීති දාපු හැටි ඔක්කොම.. ඒව විතරක් නෙමේ.. උඹ දැන් මහලොකුවට වටේ කිය කිය යන්නෙ උඹ ඒකි එක්ක නිදාගත්තයි කියල. ඒකත් අප්සරා මට කියලයි තියෙන්නෙ"

මගේ ඇඟ කිළිපොලායනු දැනුනි. මම ගහන්න සිටි අවසන් තුරුම්පුව ඔහුම මා ඉදිරියේ දෙකේ කොළේට දැමුවේය.

"මට ඒ කිසි දේකින් වැඩක් නෑ. ඒකිව දැක්කම මට ආස හිතුන. මම දවස් තුන හතරක් කතාබහ කලා.. මම ඒකිගෙන් යාලු වෙන්න ඇහැව්වා. එච්චරයි. ඒකි හිටියේ ප්‍රශ්න ගොඩක. උඹ ඒ ප්‍රශ්න වලට ඒකිට සහනයක් වෙනව වෙනුවට, උඹත් ඒ ප්‍රශ්න වලින් එකක් වෙලයි ඉඳල තියෙන්නෙ. උඹ ඒකිට නීති දාලා, බැඳලා අමුතු සතෙක් විදියට තියන් ඉන්න හදල තියෙන්නෙ. කල් යන්න යන්න උඹ ඒකිව ගනන් අරන් නැහැ. ඒකි උඹේ පස්සෙන් ආවත්. අපි එකට වැඩ කරන නිසා කතා කරන්න හම්බෙන හැම වෙලේම කිව්වෙ ප්‍රශ්නමයි. මම කලේ ඇහුම්කන් දෙන එක. උඹ කොල්ලො කීදෙනෙක් එක්ක ගේම් දාගෙන තියෙනවද ඒකි නිසා. කිසිම හේතුවක් නැතුව. ඒත් දැන් උඹ මගෙන් ඒකිව ඉල්ලන්න ඇවිත්. මොකද උඹ දන්නවා සතෙක් වගේ වැඩ කරල මේ ප්‍රශ්නේ මා එක්ක විසඳගන්න උඹට බෑ කියල.."

ඔහු කියාගෙන කියාගෙන ගියේය.

මම ආවේ මූට කතා කරල ප්‍රශ්නෙ බේරගන්න. මූ කරන්න හදන්නෙ මට තෙල ගහන එක.

"අනේ මචන් ප්ලීස්, තේරුම් ගනින්. මට ඒකි නැතුව ජීවත් වෙන්න බෑ. මගෙ අතින් වැරදි වුනා තමයි. ඒත් මම ඒකිට එදා කිව්වා ඒ ඔක්කොම හදාගන්නවා කියල"

ඔහු හිස වැනුවේ මං කියනා කිසිම දෙයක් ඔහුට වැදගත්කමක් නැතුවා සේය.

"මං යනව. උඹට ඕන නම් අප්සරා එක්ක හම්බෙලා ආයෙ අන්තිම වතාවට කතා කරහන්. මට අවුලක් නෑ. "

"මං කතා කරල වැඩක් නෑ. මං කියන්න තියෙන හැම දේම කිව්වා. ඒකි හිත වෙනස් කරන්නේ නෑ.. උඹටම විතරයි මේක විසඳන්න පුළුවන්. උඹත් කොල්ලෙක් නේද? පොඩ්ඩක් හිතහන් උඹ මේ කරන වැඩේ ගැන"

ඔහු පුටුවෙන් නැගිට්ටේය. අපේ කතාව මෙතනින් ඉවරද? අප්සරාගෙයි මගෙයි කතාව මෙතනින් ඉවරද??

මම කෝපය, දුක මිශ්‍ර හැඟීමෙන් ඔහුට අවසාන වචනය කිව්වේ ආයාචනාත්මක ස්වරයෙනි. මේ තරම් අසරණ බවක් මගේ මුළු ජීවිතයටම දැනී නැත.

"මචං මට ඒකිව නැතුව ගියේ උඹ නිසා"

"නෑ මචන්, උඹට ඒකිව නැතුව ගියේ උඹ නිසා"

ඔහුගේ පෙප්සි වීදුරුව හිස්ව ඇත.

අප්සරා ආස පෙප්සි වලට නෙමේ, ස්ප්‍රයිට් වලට.

මෙපමණ වෙලා එළියට පනින්න වැර දරමින් සිටි කඳුළු බිඳුව අවසානයේ මා දෙනෙතින් මිදි පොළෝ තලය සිපගත්තේය.

Wednesday, April 20, 2016

යාලුවෝ - I කොටස

කසුන්, ධනුෂ්ක, ලහිරු..මගේ මිතුරන් නොවේ.

අප අතරේ තිබුනේ මිතුදමට එහා ගිය බැඳීමකි. ඒ බැඳීම කෙසේ හඳුන්වන්නටද කියා එදා දැන නොසිටියෙමි. අදටත් නොදනිමි.

'එකම ජාතියෙ පිස්සො එකට සෙට් වෙනව බං'.

අපි අපි ගැන හිතුවේ එහෙමය.

දුකේදීත් සැපේදීත් අපට හිටියේ අප විතරය. අපෙන් එකෙකුගේ ගෙදරක තියෙන බණකට, මරණයකට, දානයකට, උත්සවයකට කලින් දා අප පස් දෙනාම ඒ ගෙදරය. ගෙදර අස්සක් මුල්ලක් නෑර සුද්ද පවිත්‍ර කිරීම, වත්ත උදළු ගෑම, කුණු එකතැනක ගොඩ ගහල පිච්චීම, තීන්ත ගෑම, ඔක්කෝම වැඩ කලේ අප අපම මිසක වෙන කවුරුවත් නොවේ.

හවස්යාමේ ඇඟේ පතේ මහන්සිය ඇරගත්තේ අපම අමාරුවෙන් සල්ලි එකතු කරල ගන්නා ගල් බෝතලයයි බයිට් එකටයි පින් සිද්ධ වන්නටය.

"තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න කුමරියෙ ඔබෙ සුවඳ මා ලඟින්"

පළමු වීදුරුව හිස් වන්නටත් මත්තෙන් ඒ ඇහැන්නේ දනා ගේ හඬයි. වික්ටර්, ටී.ම්, ගෙන් පටන්ගෙන කපුගේ, ක්ලැරන්ස් හරහා සාජ්ජය අවසන් වන්නේ ජිප්සීස්, ඇන්ටන් ජෝන්ස්ගෙනි.

එකල අප ජීවිත කැරකුනේ පාසල, නිවස, පොත, කෙල්ලෝ හා බෝතලය වටාය. ඉන් එහාට අපට ජීවිතයක් නොවීය.

මම මතකය ඔස්සේ අතීතයට ගමන් කරමි.

බස් ස්ටෑන්ඩ් එක..තෝසේ කඩේ..පන්තියේ අන්තිම පේළිය..

මම නැවතී ඔරලෝසුව දෙස බැලුවෙමි. උපකාරක පන්තිය අහවර වන්නේ දවල් 2.30 ටය. නමුත් තවමත් අපට නිවෙස් බලා පිටත් වීමට වෙලාව නොවේ.

"හැබැයි කස්සෝ අදත් උඹ කෙල්ල එක්ක කතා කලේ නැත්තන් තොගෙ අඬු කඩනව තුන්දෙනාම එකතුවෙලා"

"හරි හරි. අද අනිවා කතා කරනව. ඇණයක් නොවී හිටින්. ඒකිගේ ක්ලාස් ඇරෙනවනේ පහමාර වෙද්දි. තව ටික වෙලාවයිනෙ"

පැය තුනකට වැඩි කාලයක් චාටර් කකා රස්තියාදු වෙන්නට සිද්ධ වෙලා තියෙන්නේ කසුන්ගේ ප්‍රථම ප්‍රේමය වෙන්නට නියමිත 'ඇය' එන තුරු බලා හිඳින්නටයි.

වෙලාව 4.21යි. තව පැයකටත් වඩා තියෙනව. මගුල !

"මචන් දනා, අතේ සල්ලි ඉතුරු වෙලා නැද්ද. තව සිගරට් එකක් ගහන්න"

"නෑ බන්, ගෙදර යන්න ගානට තියෙන්නෙ. ලයියා උඹ ගාව තියෙනවද?"

"කීයක් අඩුද? ඉඳා.. ඉක්මනට අරන් වරෙන්"

මේ ටියුෂන් නගරයේ අප සිව්දෙනා කරක් ගසා නැති තැනක් නැති තරම්ය, ලබා නොමැති අත්දැකීමක් නැති තරම්ය. පාසැලයි පන්තියයි අතර දෝලනය වූ අපේ ජීවිත එකිනෙකාගෙන් තොරව ගත වූ වෙලාවක් නැති තරම්ය.

"සුදු පරවි රෑන සේ පියාසලා
පාසැල(ටියුෂන්) නිමවී යොවුන් කුමරියන්"


"කස්සා, අන්න කෑල්ල එනවා. යමං යමං"

කස්සා ඉස්සරහ දොරින් බස් එකට ගොඩවිය. ලයියා, දනා, සහ මම පිටිපස්සෙන් ගොඩවී හැකි තරම් බස් එකේ ඉස්සරහට තල්ලු වෙවී ඇවිත් නැවතුනේ බසයේ මැද හරියේය.

"දනා, අද නම් කස්සා කෙල්ල එක්ක කතා කරයි වගේ. ඌ කෙල්ල ළඟමයි ඉන්නෙ බං. පට්ට ඈ"

ලයියාගේ සතුට කෙල්ල ඌට වැටෙන්න යනව වගේනෙ බොල !

අප ආදරය සොයා අත පතා පස්සෙන් ගිය කෙල්ලන් ගණන අපටවත් නොගිණිය හැකි තරම්ය. ඒවායින් බොහෝමයක් වයසේ වැරැද්දට විනෝදය නිසා වුන දේවල් වුවද හදවතට දැනුන ගැටිස්සියෝ සිටියේ නැතුවාද නොවේ. කෙසේ හෝ අප අතරෙන් මුලින්ම ජයග්‍රහණය කරන්නට යන්නේ කසුන්ය. අප අතරෙන් මුලින්ම පෙම්වතකු වන්නට යන්නේ කසුන්ය...

"කතා කරහන් යකෝ"

ලයියා කසුන්ට හැකි තරම් කට ඇරගෙන කියන්නේ ගොළු භාෂාවෙනි.

කෙල්ල බසයේ හිටගෙන ජනේලයෙන් ඉවත බලාගෙනය. කසුන් හරියටම ඇයගේ පසුපසය.

"අද නම් වැඩේ හරි", මම සිතුවෙමි.

"අඩේ අරූ මොකක්ද කියන්න හදනව නේද අපිට"

"ඔව් ඔව්"

"ඇහැන්නේ නෑ යකෝ, හයියෙන් කියහන්"

අපි කෑගැසුවේ සද්දේ නොඇහෙන්න ගොළු බාසාවෙනි.

කස්සා තටඹයි..

"කියහන් යකෝ"

කසුන්ගේ මුවින් නික්මෙන්නේ කුමක්ද කියා අපට තේරෙන්නේ නැත.

මූ මොකක් කිව්වත් අනිවා කෙල්ලට ඕක ඇහෙනවා. ඇයි යකෝ අපි ඉන්නේ බස් එකේ මැද්දේ, මුගේ කට තියෙන්නේ කෙල්ලගේ කණ ළඟ !

අවසානයේ කසුන් රහසින්, බසයටම ඇහෙන සේ අපට ඔහුගේ ජාතික ප්‍රශ්නය ඉදිරිපත් කලේය

"මචන්, සිගරට් ගඳ එනවද දන්නෑ"

"ගොන් හරකා"

අප තුන්දෙනාම අත් ඔලුවේ ගසා ගතිමු.

මතුසම්බන්ධයි....

Monday, April 18, 2016

රැඩිකල් කවි ලියන හැටි

අද කියන්න යන්නෙ රැඩිකල් කවි ලියන විදිහ.. ඔව් යකෝ, එහෙම කවි ජාතියකුත් තියෙනවා.. ලියන විදියකුත් තියෙනව.. රැඩිකල් කවියෙක් වෙන්න ඕන නං කට වහගෙන අහගං..

කී පොයින්ට්ස් දෙක තුනයි තියෙන්නෙ.. අල්ලගත්තොත් හරි.. වැඩේ ගොඩ.

හ්ම්හු.. හරි... පටන් ගමු අද පාඩම..

"රැඩිකල් කවි ලියනා ආකාරය"

මුලින්ම අර එළිසමය, මාත්‍රාද මොනවද ඒවා.. අලංකාර යෙදීම් අරවා මේවා ඔක්කොම අමතක කරන්න ඕන, ඔව් බං මමත් ඒව මොනවද කියල දන්නෑ.. ඒත් මටත් පුළුවන් රැඩිකල් කවි ලියන්න.. හිටිං කො කියන්න වදේ

ඒ ටික අමතක කරල ඊට පස්සෙ තියෙන්නෙ මාතෘකාව තෝරගන්න එක

මෙතනදි ඔප්ෂන් දෙකක් තියෙනව

ඔප්ෂන් නම්බර් වන් - තමා ජීවිතේට සතපහකට ගනන් ගන්නෙ නැති චරිතයක් තෝරගන්න එක.. සමාජයෙම ඉන්න.. හ්ම්.. හිඟන්නෙක්.. කොන්දොස්තර කෙනෙක්.. එහෙම නැත්නම්., සපත්තු මහන එකෙක්.. කට්ට අව්වේ සුවිප් ටිකට් විකුණන එකෙක්

හැබැයි සැබෑ ජීවිතයේදී උඹට ඔය කවිය ලියන්න තෝරගන්න චරිතය ගැන පොඩි හරි හැඟීමක් තියෙනව නම්.. වැඩේ හරි යන්නෙ නෑ.. හරිනෙ? ගොට් ඉට්?.. ඇයි? ඇයි කියල අහන්නෙ? දන්නෙ නැති උන් ගැන ලියද්දි තමා ඩෝ පරිකල්පනය උච්ඡතම අවස්ථාවට ගිහින් රැඩිකල් කම එළියට එන්නෙ..

ඊළඟට ඔප්ෂන් නම්බර් ටූ - මේක රහසක්.. වැඩිය කවුරුත් දන්නෑ.. මම කලින් කිව්ව චරිතත් හොඳයි.. ඒත් මේක හොඳා...ආ..ආආ..යි.. තෝරගනින් මේ ලෝකෙ වැඩියෙන්ම මාර්කට් වෙන, වැඩියෙන්ම මාර්කට් කරන්න ලේසිම දේ..

නෑ ඕයි.. කොකා කෝලා.. බෙන්ස් කාර්.. නෙමේ බං..

"ගැහැණිය".. ඔව් ඔව්.. "ගෑණි" අන්න ඒකි.. ඒකිව තෝරගනින්.. ඊට පස්සෙ තියෙන්නෙ ලේසි ස්ටෙප් ටික..

...දැන් උඹ කොහෙන් හරි වල් පත්තරයක් කියෝලා හරි හොඳ කුණුහරප ටිකක් ඉගෙනගන්න ඕන (අනෙ ඉතින් උඹල කුණුහරප දන්නෙම නෑනෙ නේද).. මෙතන තියෙන රහස් දෙක තමයි..

එක, ගෑණි.. දෙක, කුණුහරප

දැන් තියෙන්නෙ ලියන්න..

සිනාරියෝ එක විදියට මිනිහෙක් ඇරලා ගියාට පස්සෙ ඇඳ උඩ වැතිරිලා  දාඩිය පෙරාගෙන ඉන්න ගෑණියෙක් බිත්තියේ යන මකුළුවෙක් දිහා බලාගෙන උගේ කකුල් ගනන් කරන සීන් එකක්..වගේ අමුතු මගුලක් තෝර ගනින්

ඒ වගේ මොකක් හරි සීන් එකක් තෝරගෙන.. අර කලින් හොයාගත්ත කුණුහරප වචන දාහන්

"අඳුරේ පව් කරන දනා එළියෙ රවන ළඳුනේ??"

පිස්සුද යකෝ... එහෙම හරි යන්නෙ නෑ. කෝ කුණුහරප? උඹට ඕන රචකයෙක් වෙන්නද 'රැඩිකල්' රචකයෙක් වෙන්නද? උදාහරණයකට මෙහෙම ගනින්

"නාඳුනන ලිඟුවක්
ඇගේ ආත්මය
පොඩි කර
කීතු කීතු වලට 
ඉරා කොටා 
හප කර
බාගෙට අළු වුන 
සිගරට් දුමක් මැද
කර වෙන්න 
අත ඇර
ගිහින්
ඇයයි
ඇගේ යෝනියයි
තවම තනියෙම
අඳුරු කුටිය තුළ
ඇගේ තනියට
කවුළුවෙන් එන
සිසිල පමණයි
බිත්තියේ යන
මකුළුවා පමණයි
ඔව් මම
වේස ගෑණි
ඒත්
පුරුෂ ලිඟු වලින්
අඳුරේදී තලා දැමූ
මගේ පිවිතුරු බව
එළිය වැටුන පසු 
සොයනු එපා
අඳුරේදී ඇති ලිඟු
එළියේදී නැතිවන
කාලකණ්ණි
පොන්නයිනේ"

ඔය තියෙන්නෙ එක උදාහරණයක්.. බලහන් යොදාගෙන තියෙන වචන.. ඒ වචන පුළුවන් තරම් රිපීට් කරන්න ඕන

ලිඟුවක්, ආත්මය, යෝනිය, සිගරට්, අඳුර, වේස ගෑණි.. තේරෙනවනෙ මම කියන එක.

තව එකක්.. උඹ කෝම හරි ලියන කවිය (වගේ එක). ඉවර වුනාම.. කියවන එකා කියවලා ඉවර වුනයින් පස්සෙ.. ඒ කියෝපු එකාට තේරෙන්නෙ නැත්නම් ඒ කවියෙන් (වගේ එකෙන්) උඹ මොකක්ද කියන්න උත්සාහ කලේ කියල.. වැඩේ හරි..

ඒ කිව්වෙ හරකො.. කියවන එකාට මේ ලියල තියෙන්නෙ මොන මලදානයක්ද කියල තේරෙන්නෙ නැත්නම් වැඩේ හරි.

සුපිරි රැඩිකල් කවියෙක් උඹ !

කරල බලහන්.. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.. ජය !

මෙන්න මේ වගේ අඩනිරුවත් ෆොටෝ එකකුත් දැම්ම නම් ටොප්

Sunday, March 27, 2016

පණුවාටත් ඊරිසියයි මම

යාළු කරගෙන

ලස්සනම ලස්සන කෙල්ලෙක්ව
කැතම කැත කොල්ලෙක්

හොඳ ඇපල් කන්නෙම පණුවො !

අච්චර කැත පණුවා
යාළු කරගත්තා කෙල්ලව
පණුවෙක්ටත් කුඩා උඹව
ලස්සන කෙල්ලෙක්ට පෙනෙයිද?

බැරි වුනා උඹට
පණුවෙක්වත් තරම් වත් වෙන්නට

"ඵල ඇති රුකටමලු ගල් ගහන්නේ"

කතාව මතකද?

ගනිං මචන් ගල..
ගහපන් මචන් ගහට
හූල්ලපන් මචන් බලාගෙන

පණුවාටත් කරපන් මචන් ඊරිසියාව

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...