Showing posts with label ළමා අයිතීන්. Show all posts
Showing posts with label ළමා අයිතීන්. Show all posts

Thursday, December 28, 2017

ඇයි උඹ ළමයි හදන්නෙ නැත්තෙ?



යාලුවා – ඇයි උඹ ළමයි හදන්නෙ නැත්තෙ?

මම – ඇයි උඹ ළමයි හදන්නෙ?

යාලුවා – කවද හරි වයසට ගියාම උඹව බලාගන්නෙ කවුද?

මම – උඹ හිතනවද ඒක ළමයෙක් මේ ලෝකෙට බිහි කරන්න හොඳ හේතුවක් කියල?

යාලුවා – ඇයි ඒක හොඳ හේතුවක් නෙමේද?

මම – හොඳ නරක කෙසේවෙතත් ඒක ආත්මාර්ථකාමී හේතුවක්. උඹ කරන්නෙ ආයෝජනයක්

යාලුවා – එක අතකට ඔව්. ආයෝජනයක් තමා

මම – ආත්මාර්ථයෙන් කරන ආයෝජනයක්. උඹ උඹේ ආත්මාර්ථකාමී අරමුණක් වෙනුවෙන් ජීවිතයක් නිර්මාණය කරනවා. ඒක සදාචාරාත්මකද? දරුවෙක් කියන්නෙ රිටයර්මන්ට් ප්ලෑන් එකකටද?

යාලුවා – උඹට කවද හරි හිතෙයි ළමයෙක් හැදුවනම් හොඳයි කියල. උඹ පසුතැවෙයි

මම – මට එහෙම හිතෙන එකක් නෑ. ඒත් බැරි වෙලාවත් එහෙම හිතුනොත් දරුවෙක් අරගෙන හදාගන්න පුළුවන්නෙ. උඹට කවද හරි හිතුනොත් උඹ ළමයෙක් හදපු එක අපරාදෙ කියල. ජීවිත කාලයක් පුරා හදපු දරුවා ගැන උඹ පසුතැවුනොත්? උඹ එදාට මොකද කරන්නෙ?

යාලුවා - උඹට පොඩි එකෙක් හිනා වෙනව දකිද්දි ආස හිතෙන්නැද්ද? උඹේම කියල පොඩි එකෙක් හුරතල් කරන්න ආසාවක් ඇත්තෙම නැද්ද බං?

මම - උඹට පණ තියෙන බෝනික්කෙක් එක්ක සෙල්ලම් කරන්න ආසයි කියල මේ ජීවිතය කියන සටනට අරගල කරන්න තවත් ජීවිතයක් නිර්මාණය කරන එක සාධාරණයි කියල උඹ හිතනවද? ජීවිතය කියන්නෙ කට්ටක් බං. අපි දෙන්නම බලහං. මොන කට්ටක් කනවද කියල. ඇයි මේ දුක තවත් කෙනෙක්ට දෙන්නෙ?

යාලුවා - යකෝ, උඹේ පරම්පරාව ගෙනියන්නේ කවුද? උඹේ ගෑණි කැමතිද ළමයි නොහදා ඉන්න? අම්මලා තාත්තලා පව් නැද්ද?

මම - මට මගේ පරම්පරාව ගෙනියන්න කිසිම උවමනාවක් නෑ. මොකක්ද බං ඔය මහලොකු පරම්පරාව කියන්නෙ? අම්මලා තාත්තලාගේ ආසාව නිසාම මම මගේ ජීවිතේ තීරණ ගන්නෙ නෑ. මම ඒ අයට ඇහුම්කන් දෙනව. ඒ අය කියන හරි දේවල් අහනවා. හැබැයි ඒ අයගේ අදහස් හරි කියල ඒ අය පැහැදිළිව තහවුරු කරන වෙලාවල් වලදි විතරයි. හැමවෙලේම ඒ අය ගහන පදයට නටන්න මම පඹයෙක් නෙමේනෙ බං. කෙල්ල ගැන උඹ ඇහැව්වා නේද? මෙහෙමයි, උඹට වගේ නෙමේ මම කෙල්ලට මේ ගැන ඒ ටූ එසෙඩ් කියල තියෙන්නෙ. මෙච්චර සරල කාරණාවක්වත් තේරුම්ගන්න බැරි නම් ඒ කෙල්ල එක්ක මට මැරෙනකල් කොහෙත්ම එකට ජීවත් වෙන්න බෑ.

යාලුවා - ඒ කියන්නෙ කෙල්ල කැමතියි ළමයි නොහදා ඉන්න.

මම - ඔව්. දැන් එයා ඉන්නෙ මම කැමති වුනත් එයා කවදාවත් ළමයි හදන්න කැමති වෙන්නෙ නෑ කියන තැන.

යාලුවා - තොටම හරියන ගෑණි

මම - මචන්, ළමයි හදන එකේ සදාචාරාත්මක අවුලක් තියෙනවා. ඒක වෙනම දිගට කතා කරන්න ඕන මාතෘකාවක්. ඒ වගේම ප්‍රායෝගික අවුලකුත් තියෙනවා. යකෝ ළමයෙක් හදනවා කියන්නේ උඹට උඹව නැතුව යනවා කියන එකට. උඹේ මුළු ජීවිතය විතරක් නෙමේ උඹේ මුළු පැවැත්මම ඒ ළමයා වෙනුවෙන් කැප කරන්න වෙනවා අඩුම ගානේ අවුරුදු පහලවක් විස්සක්වත් යනකල්. උඹේ ස්වාධීනත්වය නැතුව යනවා, උඹට උඹ ආස දේ කරන්න තියා හිතන්නවත් වෙලාවක් නැතුව යනවා. හම්බ කරන සල්ලි වලින් බාගෙකටත් වඩා ළමයා වෙනුවෙන් වියදන් කරන්න වෙනවා. හරියටම බැලුවොත් ළමයෙක් හදනවා කියන්නේ අවුරුදු විසි පහක් විතර මාස් පතා පනස්දාහක් හැටදාහක් ගෙවන්න වෙන ලෝන් එකක් ගන්නව වගේ වැඩක්. වියදම ගැන විතරයි ඒ, ළමයාගේ ආරක්ෂාව ගැන සම්පූර්ණ වගකීම එන්නේ උඹට. උඹට සැනසිල්ලේ කෑම ටික කන්නවත් බැරුව යනවා. ළමයා ගැනමනේ ඔලුවේ තියෙන්නෙ, මූ කොහෙ යයිද කොහෙ වැටෙයිද කොහෙ ඇණ ගනියිද කියල. කැමති අය කැමැත්තෙන් ඒ කට්ට කයි. මට අවුලක් නෑ. ඒත් ඔය වගේ අමු කට්ටක් බලෙන් ඇඟේ දාගන්න මට පිස්සු නෑ බං. මට මගේ නිදහස ඕන. මට මගේ සැනසිල්ල ඕන. ජීවිතේ උවමනාවෙන්ම තවත් සංකීර්ණ කරගන්නෙ මගුලකටද? මේ තියෙන ප්‍රශ්න මදිවටයැ.

යාලුවා - ඉතින් බං ඕවා කලාම කවද හරි ඒවයේ ප්‍රතිපල තියෙනවනෙ.

මම - මොනවද ප්‍රතිපල? හැමෝම තමා දරුවො වෙනුවෙන් මේ කට්ට කන නිසා දරුවන්ගෙන් අම්බානට දේවල් බලාපොරොත්තු වෙනවා. දරුවාගේ ඉගෙනීම, විවාහය වගේ ජීවිතයේ වැදගත්ම දේවල් විතරක් නෙමේ දරුවාගේ හැසිරීමේ ඉඳල ආකල්ප දක්වාම තමන් කැමති විදියට දරුවා හැදෙයි වැඩකරයි කියලයි හැමෝම බලාපොරොත්තු වෙන්නේ. මෙච්චර කට්ටක් කාලා හදන එකාවත් තමන්ගේ පදයට නටන හිතන්න බැරි පඹයෙක් කරන එකද මේකෙන් ලැබෙන ප්‍රතිපලේ? මොන මගුලක්ද? මොන දෙමාපියාද තමන්ගේ දරුවා හදන්නේ මනුෂ්‍යය සංහතියට යහපත් මනුස්සයෙක් බිහි කරන අරමුණින්? හැමෝම ළමයි හදන්නේ තමන්ගේ පුද්ගලික උවමනා එපාකම් ඉෂ්ඨ කරගන්න. තමන්ට ළඟා කරන්න බැරි වුන ජීවන ඉලක්ක දරුවා ලවා ළඟා කරගෙන ඒ මානසික ආතල් එක ගන්න. දරුවාට ඒවා කරගන්න බැරි වුනාම දෙමව්පියෝ හැසිරෙන විදිය පොඩ්ඩක් සමාජයට බැහැල බලහන්. මේක මහ විකාරයක්. පටලැවිලි ගොඩක්. මම මේ නාඩගමේ කොටස්කාරයෙක් වෙන්න කීයටවත් කැමති නෑ.

යාලුවා - උඹට තේරෙන්නෑ දෙමාපියන් දරුවන්ට තියෙන ආදරයේ වටිනාකම ගැන. ඒක කොයි තරම් උතුම් දෙයක්ද කියල උඹට තේරෙන්නෑ බං

මම - මචන්, ඔය උතුම්ය කියල කියන දේවල් තියෙනව නේද? අන්න ඒවලින් තමා වැඩියෙන්ම පරිස්සම් වෙන්න ඕන. මේ ලෝකයේ සර්වසම්පූර්ණ පරමාදර්ශී උතුම් මගුල් මුකුත්ම නෑ බං. හැමදේම අඩුපාඩු වලින් කුජීත බවින් පිරුන දේවල්. එනිසා ඔය උතුම් ලණුව කන්න එපා.

යාලුවා - මොකක්ද දැන් උඹ කියන්නෙ?

මම -  උඹ කියන්නෙ දරුවො ගැන දෙමාපියන්ගේ තියෙන හැඟීම තර්කයටවත් බුද්ධියටවත් අහුවෙන්නැති පාලනය කරන්න බැරි බිඳලා දාන්නත් බැරි තරමේ ශක්තිමත් හැඟීමක් කියලනෙ. මොකකින් හරි මිනිස්සුන්ව හැඟීම් වලට ඔයතරම්ම වහල්ලු කරනවා නම් එතන ඇති පොයෙටික් මගුලක් නෑ බං. ඒ බැඳීමම හානිකර පට්ට ඇඩික්ෂන් එකක්. ඔය වගේ බුද්ධියතට අහුනොවන හැඟීම් වලටම වහල් වෙන බැඳීමක් නිර්මාණය කරගෙන ඒකට ඇඩික්ට් වෙයිද මොළයක් තියෙන මනුස්සයෙක්? ඔය කියන විදියට ඕක කුඩු ඇබ්බැහියටත් වඩා අන්තයිනෙ. මට කුඩුත් එපා ඔය වගේ ගොං බැඳීමුත් එපා.

යාලුවා - උඹේ ප්‍රශ්නය මොකක්ද දන්නවද? උඹ හිතනවා වැඩියි.

මම - උඹ දන්නවද උඹේ ප්‍රශ්නය මොකක්ද කියල? උඹ හිතන්නෙම නෑ.

යාලුවා – ඒ නැතත් අපි වර්ගයා බෝ කරන්න ඕන. ලෝකය පවත්වාගෙන යන්න ඕන

මම – ඇයි වර්ගයා බෝ කරන්නෙ? ඇයි ළමයි හදන්නෙ?

යාලුවා – ළමයි හදන්නෙ ඉතින් වර්ගයා බෝකරන්න

මම – ඒක හරි. මම අහන්නෙ ඇයි වර්ගයා බෝ කරන්න ඕන?

යාලුවා – ඉතින් වර්ගයා බෝ කරන්න නිසා…

මම - ඉතින් ඒක තමා බොල මම අහන්නේ අහවල් මගුලකටද වර්ගයා බෝ කරන්නෙ??

යාලුවා - හරි හරි උඹ ළමයි නොහදා හිටහං එහෙනම්. මං කියපුව ගැන හිතල බලහංකො පොඩ්ඩක්.

මම - හා. හැබැයි මීට කලින් අහපු නැති මුකුත් නම් උඹ කිව්වෙ නෑ. හැමෝම කියන කතා ටික තමා ඔය. මම කිව්ව ඒව ගැනත් හිතල බලහන් කැමති නම්. වෙන වෙලාවක මේ ගැන හිමීට වැඩිදුර කතා කරමු.

යාලුවා - හ්ම්..

මම - එල

Monday, July 31, 2017

වේවැල් කෝටු නාරං සියඹලා අතු

මගේ පියා කුඩාකාලයේ කළ වැරදි වලට දඬුවම් ලෙස ඔහුගේ පියා ඔහුව ගසක බැඳ දිමි ගොටු දැමූ අයුරු ගැන කථා මා කුඩා කාලයේ සිටම අසා තිබුණි. ඔහු එය මා හා පැවසුවේ ආඩම්බරයෙනි.
රාජසභාවේ කිවිසුමක් යෑම වැනි වැරදි වලට පවා සිර රටවැසියන්ව උල තැබූ, රාජ උදහසට ලක් වූවන්ව ප්‍රසිද්ධියේ හිස ගසා, ඇතුන් ලවා පාගවා මැරූ රාජාණ්ඩු ක්‍රමය වර්ණනා කරන්නෙකු වූ මගේ සීයා තම දරුවාව යහමඟ යැවීමට සුදුසුම ක්‍රමය දරුවාට කෲර ලෙස වධහිංසා පැමිණවීම යැයි සිතීම ගැන කිසිම දිනක මා පුදුම වූයේ නැත.
“වේවැල් කෝටු නාරං සියඹලා අතු
කිතුල් පොල් ඉරටු වැල් කහඹිලිය අතු
මෙවැනි ඉපල් මගේ දෑසට නොපෑ යුතු
පමා නොවී යමි අකුරට මෙයින් මතූ”
මීට දශක කිහිපයකට පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව වර්තමානය ගැන සතුටු විය හැකි බව සැබැවකි.
එහෙත් අපරාධකරුවන්ට පවා මානව අයිතිවාසකම් ලබා දී ඇති, මනුසතුන්ගෙන් නොනැවතී තිරිසනුන්ටද හිංසාවට පත් නොවීමට නීති රෙගුලාසි පනවා ඇති ලෝකයක, අප රටේ දිනපතාම දෙමව්පියන් සහ පාසැල් ගුරුවර ගුරුවරියන් අතින් ශාරීරික සහ මානසික වධහිංසාවට ලක් වන දරුවන් ගණන නොගිණිය හැකි තරම් වීම, සැබවින්ම අවාසනාවත්ත තත්ත්වයකි.
“සර් හොඳට ගහන්න. ගැහුවේ නැතිනම් මුන්ව හදන්න බෑ”
හයක් හතරක් නොතේරෙන කුඩා දරුවන්ව තමාට අවැසි අයුරින් හැඩගස්වා ගැනීමට පහර දෙන වැඩිහිටියන් එසේ කරන්නේ ඔවුන්ගේ වචනයෙන් නම් “දරුවන් නාස්ති වීමට ඉඩ නොදී” හදා ගැනීමටය.
ඔවුනට අනුව හැඳි නොගා හදන හොද්දෙයි නොගහා හදන දරුවාගෙනුයි වැඩක් නැත.
මිනිස් ශිෂ්ටාචාරය කෙමින් කෙමින් සදාචාරාත්මකව පරිණාමය වන අතරතුර අප කරන්නේ, වත්මනට කොහෙත්ම වැදගත් නැති, කල් ඉකුත් වී, මළකඩා කා ඇති රුවන් වැකි දෙසා බාමින් සමාජයේ දුර්වලම, අසරණම, අහිංසකම කොටස වන අප දරු පරපුර මත තම පීඩනය මුදාහැරීමය.
තමා පරිපූර්ණ මිනිසෙක්ය යන උද්දච්ඡ හැඟීමෙන් යුත් බොහෝ දෙමාපියන්, තම දරුවාට පහර දෙන්නේ තමාගේම අච්චුවක් හෝ තම ෆැන්ටසිය තුළ ජීවත් වන පරිපූර්‍ණ මිනිසෙකු හෝ ගැහැණියක තම දරුවා තුළින් නිර්මාණය කර ගැනීමටය.
ඔවුන් තම දරුවන්ට පහර දෙන්නේ කුඩා කාලයේදී සිය වැඩිහිටියන්ගෙන් ලැබුනු දඬුවම් නිසා තමා හොඳ මනුස්සයෙකු වූ හැටි ගැන පාරම්බාමිනි.
“අපේ තාත්තා අපිට ගැහුවේ බෙල්ට් එකෙන්. අපි අද මේ විදිහට ඉන්නේ තාත්තට පින් සිද්ධ වෙන්න”
කොපමණ සාධාරණීයකරනය කිරීම් ඉදිරිපත් කලද යමෙක් දරුවන්ට පහර දෙන්නේ දරුවාගේ හැසිරීම් තමන්ට රිසි සේ පාලනය කිරීමේ අරමුණින් මිස, මනුෂ්‍ය සංහතියට යහපත් සදාචාරාත්මක ගතිගුණ වලින් හෙබි පුරවැසියෙක් බිහිකිරීමේ අරමුණින් නොවේ.
ජීවිතයේ තමාට මුහුණ දීමට සිදුවන ප්‍රශ්න වලින් එකක් ලෙස සිය කුඩා දරුවාගේ නොමනා හැසිරීම දකින වැඩිහිටියා පහර දීමෙන් දරුවා මෙල්ල කොට, එම ප්‍රශ්නයට සොයන්නේ තාවකාලික විසඳුමක් පමණි.
දීර්ඝ කාලීනව දරුවාට ඉන් ඇතිවන බලපෑම ගැන සිතීමට ඔවුනට උවමනාවක්, හැකියාවක් හෝ කාලයක් නැත.
තමා දරුවන්ට පහර දෙන්නේ ඔවුනට ඇති ආදරය නිසාය යනුවෙන් බොහෝ දෙමාපියන්, ගුරුවරුන් පැවසුවද (නොසලකා හැරිය හැකි තරම් සුළු අවස්ථා ප්‍රමාණයකදී හැර) බොහෝ අවස්ථා වලදී එය මිත්‍යාවකි. පහර කෑම් ලෙස දරුවා මතින් පිටවන්නේ බොහෝ වෙලාවට දෙමාපියන්ගේ එදිනෙදා ජීවිතයේ පීඩනයන්ය.
වෙනයම් කෙනෙකු නිසා හෝ දරුවාගේ වරදක් නිසා ඇති වන කෝපය, කලකිරීම, සිත් රිදීම්, පිළිකුල වැනි හැඟීම්ය.
“මහන්සි වෙලා ගෙදර ආවා විතරයි”
පහර දීම මඟින් බියවද්දා දරුවෙකු තමාට කීකරු කර ගැනීමට උත්සහ කරනා යම් වැඩිහිටියෙක් වේ නම් ඔහු/ඇය පෙන්නුම් කරන්නේ දෙමාපියෙකු වශයෙන් සිය නොඉවසිලිවමත් බවය.
සිය දරුවා සමඟ සහසම්බන්ධයක් ගොඬනඟා ගැනීමට තමාට ඇති නොහැකියාවය.
ගුරුවරයෙකු නම් ඔහු පෙන්නුම් කරන්නේ සිය වෘත්තිය අසමර්ථකමය.
746ce9022c3eee74e4d2bf93b9623e44
මෙම පහර දීම් මඟින් සිදුකරන්නේ දරුවාව තාවකාලිකව පාලනය කිරීමක් පමණකි.
මෙසේ දරුවාගේ හැසිරීම් පාලනය කිරීමට;
  • ශාරීරික වධවේදනා වලට ලක් කිරීම (උදා – වේවැල් වලින් පහර දීම, දණ ගැස්වීම, අතින් පහර දීම, පෙර කාලවලදී ගස් වල බැඳ දිමි ගොටු දැමීම)
  • තර්ජනය කිරීම (උදා – ආයේ කලොත් කටේ මිරිස් දානවා, අඬු කඬනවා, ගෙදරින් එලෝනවා)
  • නිග්‍රහ කිරීම මඟින් ලජ්ජාවට පත් කිරීම (උදා – තෝ වගේ බූරුවෙක්, උඹ මුකුත්ම කරගන්න බැරි නිකමෙක්, උඹ තමා පන්තියේ ඉන්න මෝඩයා) වැනි ක්‍රම භාවිතා කෙරේ.
මෙවන් ක්‍රම මඟින් සිදුවන්නේ දරුවාව බිය වැද්දීම මඟින් තමාට වඩා උසස් අධිකාරී බලයකින් (authoritative figure) පැමිණෙන විදාන කොන්දේසි විරහිතව අනුගමනය කිරීමට පුහුණු කිරීමක් මිස, දරුවා තුළ සැබෑ අවබෝධයෙන් සිදුවන සදාචාරාත්මක ගුණවගාවක් නොවේ (මෙම ක්‍රමය සුනඛයෙකු පහර දී හීලෑ කිරිම හා සමානය)
වරදට හේතුව පහදා දී එය නැවත නොකරන්නට අවවාද කිරීම සහ වරදට දුටු විට මුරුගයෙකු මෙන් පහරදීම එක හා සමාන නොවේ.
පළමු අවස්තාවේ දරුවා වරද තේරුම් ගනියි, ඉන් පසුව එයින් වැළකී සිටියි. දෙවැනි අවස්තාවේ දරුවා පහර කෑමේ බය නිසා හැසීරිම පාලනය කර ගනි.
පළමු ක්‍රමය දුෂ්කරය පළදායකය, දෙවැනි ක්‍රමය පහසුය, තාවකාලිකය.
අධිකාරී බලයෙන්, තාවකාලිකව දරුවාගේ හැසිරීම් පාලනය කල හැකි වුවත් දීර්ඝ කාලීන වෙනස්කම් දැකිය නොහැකිය.
අම්මාගේ ගුටිය නොලැබෙන බවට සහතික වූ විට හොරෙන් සීනි කන කුඩා ළමයා, පොලිසිය නොමැති යැයි අනුමාන කරන පාරවල් වල හිස්වැසුම් නොපළඳා මෝටර්බයිසිකලයේ යන වැඩිහිටියකු බවට පරිවර්තනය වන්නේ මේ හේතුවෙනි.
ඔහුගේ හැසිරීම් තීරණය වන සාධකය වන්නේ අධිකාරී බලයක උකුසු ඇස මිස පුද්ගලාවබෝධය නොවේ.
තමා කරනා වැරැද්දකට දඬුවම් දීමට කෙනෙකු නොමැති විටක ඕනෑම ජඩ වැඩක් කිරීමට නොපැකිළෙන මිනිසුන්ගෙන් පිරි සමාජයක් බිහිවන්නේ මෙලෙසිනි.
mexican-child-abuse-campaig
අප හමුවේ ඇත්තේ සරල පැනයකි.
(බොහෝ විට) ප්‍රසිද්ධියේ කෙරෙන ශාරීරික වධහිංසාවෙන් (වේදනාවට) සහ ලජ්ජාවට පත් කිරීමෙන් දරුවෙක්ව සදාචාරාත්මක ගුණවගාවකින් යුත් යහපත් මානසිකත්වයකින් හෙබි මනුෂ්‍යයෙක් බවට පත් කල හැකිද? නොහැකිද?
මනෝ විද්‍යාඥයන්, අධ්‍යාපන විද්‍යාඥයන් හා දරුවන් සම්බන්ධ පර්යේෂණ කරනු ලැබූ විද්වතුන් නැවත නැවතත් තහවුරු කොට ඇත්තේ මෙවන් පහර දීම් නිසා දරුවා යහපත් හැසිරීම් පෙන්නුම් කරනවා වෙනුවට තවත් දරදඬු හැසිරීම් පෙන්නුම්කරනා බවය.
වැඩිහිටියෙකු වූ පසුව කුඩා කල විදි පීඩාවන් සමාජයට මුදා හරින බවය.
එසේම, විශේෂයෙන් පාසැලේදී ගුරුවරුන් (මොවුනට ගුරුවරු කියා ඇමතීමද ගුරු වෘත්තියට කරනා නිගාවකි) ප්‍රසිද්ධියේ දෙන ශාරීරික දඬුවම් සහ ප්‍රසිද්ධියේ කරනා ලජ්ජාවට පත් කිරීම් නිසා දරුවාගේ පෞරෂත්වයට සිදුවන හානිය සුළුපටු නොවේ.
අපේ මිනිසුන්, බස් එකේ යද්දි කොන්දොස්තරට බයය, ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයකට ගිය විට මුදල් අයකැමිට බයය, ඉස්පිරිතාලයට ගිය විට සාත්තු සේවකට බයය, දොස්තරට බයය, තම ඡන්දයෙන් පත් කරන දේශපාලකයාට බයය.
මෙසේ අධිකාරී බලයෙන් හෙබි පුද්ගලයා ඉදිරියේ දෙකට නැමෙන, ඇඹරෙන, නැට්ට කකුල් දෙක අස්සේ ගහගෙන සිටිනා නිවට කීකරු බයාදු මිනිසුන් නිර්මාණය වන්නේ කුඩා කලදී දෙමව්පියන් සහ විදුහල්පතිවරුන්ගේ වේවැල මඟින් මොට කර දමනු ලැබූ පරපුරක හීන වූ පෞරෂය හේතුවෙනි.
එසේම පීඩනයන් යටතේ තම දෙමාපියන් හැසිරෙන ආකාරය නිරීක්ෂණය කරන දරුවා වැඩිහිටියෙක් වූ පසු එවන් අවස්ථා වලට ප්‍රතිචාර දක්වන්නේද තම දෙමාපියන් ප්‍රතිචාර දැක්වූ විලසටමය.
තමාගේ අණසකට යටත් නොවන දරුවාට පමණක් නොව, බිරිඳට, පෙම්වතියට පවා පහර දෙන සැමියන් සහ පෙම්වතුන් බිහි වීමට ඔවුනගේ ළමා වයසේ අත්දැකීම් බලපාන්නේ මෙලෙසය. එසේම තමාට මුහුණ පෑමට සිදුවන ගැටළු වලට විසඳුම හිංසාව (violence) තුළින් සෙවීමට උත්සාහ කරනා මිනිසුන් බිහිවීමටද ළමා වියේ අත්දැකීම් දැඩි ලෙස බලපායි.
ලෝකයේ දැනටම රටවල් 44 ක දරුවනට, නිවසේදි හෝ පාසලේදි පහරදීම නීතියෙන් තහනම් කොට ඇත (මූලාශ්‍ර 1, 2)
අප රටේද යම් තාක් දුරකට නීති සම්පාදනය කොට තිබුනත්, නීතිය ක්‍රියාත්මක කිරීමට සමාජය දක්වන්නේ මැළිකමකි.
ඒ බොහෝ විට නීතියේ පිහිට පතන දෙමාපියන් සහ දරුවන් දෙස සමාජය ‘ගුරු දෙවියාට’ එරෙහි වූ ද්‍රෝහියන් සේ දකින නිසාය.
දරුවෙක් බිහි කිරීමට බලාපොරොත්තු වන යම් වැඩිහිටියෙක් වේ නම්, ඔහුට/ඇයට හයක් හතරක් නොතේරෙන දරුවෙකුගේ නොහොබිනා ක්‍රියා දෙස ඉවසීමෙන්, උපේක්ෂාවෙන් බලා හැඟීම් වලට යටත් නොවී බුද්ධිමත්ව වැඩිහිටියෙකු සේ දරුවාගේ අනාගතය ගැන සිතා ප්‍රතිචාර දැක්වීමට නොහැකි නම් ඔහු/ඇය දෙමාපියෙකු වීමට සුදුසු නැත.
දරුවෙකු බිහිකිරීමට සුදුසු නැත !
ඔබ, අනෙකා මත තම පීඩනය පටවන පරපීඩිකයෙකු නම්,
සමාජයට සහ මිනිස් සංහතියට ඔබට කළ හැකි ලොකුම සේවය නම් දරුවෙකු බිහි කිරීම ගැන දෙවරක් සිතා බැලීමයි !
පෙර සඳහන් කල පරිදිම ආදි කාලයේ රුවන් වැකි සිහිකරමින්, කල් ඉකුත් වූ කසිකබල් ආකල්ප කරේ තියාගෙන සිය දරුවන් මත හිංසාව පතුරවන වැඩිහිටියෙකු නම් මින්පසු සිය දරුවාට පහර දීමට සිය අත හෝ වේවැල උස්සන විට කරුණාකර මේ වදන සිහි කැඳවා ගන්න,
ඔබේ දරුවා මිනිස් දරුවෙකු මිස වහු පැටියෙකු නොවේ.
කෙවිට භාවිතා කරන්නේ හරකුන් දැක්කීමට මිස, දරුවන් කීකරු කිරීමට නොවේ.
ඔබේ දරුවාට හරක් පැටියෙකු ලෙස නොව, මිනිස් දරුවකුට සේ සලකන්න.
වරදට කණ පැළෙන්න පහරදෙනවා වෙනුවට, වරදට හේතුව පහදා දෙන්න.
එවිට ඔහු වැඩිහිටියෙකු බවට පත් වූ පසු අණට කීකරුවන හරකෙක් බවට නොව,
බුද්ධියෙන් හරි වැරැද්ද තීරණය කරන බුද්ධිමත් මිනිසෙකු බවට පත් වනු ඇත.

Thursday, September 8, 2016

දරුවන්ට නොගහා හොඳ පුරවැසියන් බිහි කරන්න පුළුවන්ද?

පළවෙනි දේ,

"මාව අම්මලා හැදුවේ ගහලාය. මම හොඳය. එනිසා ළමයින්ට ගහන එක හොඳය"

කියන සූත්‍රය පොඩ්ඩක් පැත්තකින් තියන්න වෙනවා දරුවන්ට ශාරීරිකව වද දීමේ හොඳ නරක ගැන කතා කරන්න නම්. මොකද ලෝකේ ඉන්න ඕනම කෙනෙක්ට අනුව තමා හොඳ කෙනෙක් තමා. ඕක මේ සටහන කියවන අයියලට අක්කලට විතරක් නෙමේ. බඩේ බෝම්බයක් බැඳගෙන තමාව පුපුරගන්න හදන ඉස්ලාම් අන්තවාදියටත් පොදුයි. එනිසා ඒ සූත්‍රය පැත්තකින් තියමු මුලින්ම.

මෙතන තියෙන ප්‍රශ්නය මේකයි.

දරුවෙක්ව හදන්න, ඒ කියන්නේ දරුවෙක්ව සදාචාරාත්මක වර්ධනය කරන්න ඔහුව/ඇයව ශාරීරික වධහිංසාවට (වේදනාවට) සහ ලැජ්ජාවට පත් කිරීම කල යුතුද නැද්ද කියන එක. (පාසැලක වගේ නම් මේක වෙන්නේ ප්‍රසිද්ධියේ, පවුලක වගේ නම් තමාගේ සහෝදර සහෝදරියන් ඉදිරියේ වෙන්න පුළුවන්)

මුලින්ම කියන්න ඕන දරුවෙකුට ගහන එකෙන් කෙරෙන්නේ ඔහුගේ/ඇයගේ හැසිරීම පාලනය කිරීම පමණක් බව. ඒ, දරුවාව බිය වැද්දීම මඟින්. මෙතනදි බොහෝ විට ශාරීරික වේදනාවට පත් කිරීම (වේවැල් වලින් පහර දීම, ඉස්සර නම් ගහක බැඳලා දිමි ගොටු දැමීම, දණ හැස්වීම) සහ තර්ජනය කිරීම (ආයේ කලොත් කටේ මිරිස් දානවා) , ලැජ්ජාවට පත් කිරීම (තෝ වගේ බූරුවෙක්, තොපිව හැදුවට වඩා හොඳයි යකෝ හරකෙක් හදා ගත්තනම්) වගේ ක්‍රම භාවිතා වෙනවා.

මේ දේවල් වලින් වෙන්නේ දරුවාව පාලනය කිරීමක්. බිය වැද්දීමක්. බිය වැද්දීම තුළින් සිදුවන්නේ අවබොධය තුළින් වන සදාචාරාත්මක වර්ධනයක් නෙමේ. තමාට වඩා බලවත් අධිකාරී බලයකින් (authoritative figure එකකින් ) එන නියෝග කොන්දේසි විරහිතව, ආපසු ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගන්න ළමයා පුහුණු කිරීමක්.

මේ මඟින් ළමයාට මානසිකව වෙන හානිය ඉතා විශාලයි.

අධිකාරී බලයට බියෙන් නියෝග පිළිපදින දරුවා තුළ බිය මිසක හරිවැරැද්ද ගැන සැබෑ අවබෝධයක් නැහැ. අම්මා නැති වෙලාවට හොරෙන් සීනි කන ළමයා තමා පොලිසිය නැති බව දන්නා අතුරු පාරවල් වල හෙල්මට් එක නැතුව යන්නේ. මොකද ළමයාගේ හැසිරීම තීරණය වෙන්නේ අවබෝධය තුළින් නෙමේ, බිය කියන සාධකය මත නිසා. මොකද සීනි හොරෙන් කන එකේ හරි වැරැද්ද වගේම හෙල්මට් එක දැමිමේ උවමනාව ගැනත් අවබොධයක් නැහැ. තමාගේ වැරැද්ද අල්ලලා දඬුවම් කරන්න කෙනෙක් නැත්නම් ඕනම ජඩ වැඩක් කරන සමාජයක් බිහි වෙන්නේ මෙහෙමයි.

ඊටත් වඩා දරුණුම දෙය තමා ළමයින්ගේ පෞරෂත්වයට වෙන හානිය. ගොඩක් දරුවන් අම්මලාට තාත්තලාට බයයි. විශේෂයෙන්ම වැරදි කලාම ගුටි දෙන අම්මලා තාත්තලාට. ඉස්කෝලෙදී ගුරුවරුන්ට බයයි. ප්‍රින්සිපල්ට බයයි. ඒ කියන්නේ අදාල සිස්ටම් එකක් තුළ අධිකාරී බලය ඉස්සරහා ඇඹරෙන, දෙකට නැමෙන, සද්ද නැතුව ඉන්න, කීකරු බලු නකුටෙක් තමා මේ දෙමාපියනුයි, ඉස්කෝලෙනුයි කෙවිටෙන් දක්කලා හදන්නේ.

ඉතින් මේ ළමයි තමා අර කව්ද කිව්වා වගේ බස් එකේදී කොන්දොස්තරට බය, ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයකට ගියාම එතන ඉන්න කැෂියර්ට පවා බය, ඉස්පිරිතාලෙට ගියාම එතන ඉන්න ඇටෙන්ඩර්න්ට්ලට බය, මන්ත්‍රීට බය, ඇමතිට බය, රජයට බය.. හැම දේටම බය නැට්ට පුකේ ගහගෙන ඉන්න කොන්ද පණ නැති ජාතියක් ඇති වෙන්නේ මෙහෙමයි.

තව එක දෙයක් කියන්නම්. මෙතන ඉන්න අය ගොඩක් වෙලාවට ළමයින්ට ගහන එකේ ඇත්තම හේතුව ළමයින්ව හොඳ පුරවැසියන් කරන එක නෙමේ. තමාට ළමයින්ගෙන් තියෙන කරදරෙන් මිදෙන්න. තමාගේ එදිනෙදා ජීවිතයේ පීඩනය ළමයාගේ ගොන් වැඩ වලින් තවත් වැඩි වෙන නිසා ඒ පීඩනය මුදා හරින්නයි ළමයට ගහන්නේ. "මම තොට කිව්ව නේද සැරයක්" කියල..ඒක තමයි ඇත්ත.

හයක් හතරක් නොතේරෙන ළමයෙක්ගේ ගොං වැඩ ඉවසන්න බැයි නම් ඔබ දෙමාපියෙක් වෙන්න සුදුසු කෙනෙක් නෙමේ. අපි හැමෝම මේ ලෝකෙට ළමයි ගේන්නේ අපේ ආසාවල් ඉෂ්ඨ කරගන්න, උවමනාවල් ඉෂ්ඨ කරගන්න. කවුරුත් ඇවිත් කන් දෙකට කෑගහන්නේ නෑනේ 'අනේ අපිව මේ ලෝකෙට බිහි කරපල්ලා' කියල.

ඉතින් එහෙම තමාගේම කැමැත්තෙන් මේ ලෝකෙට ගේන ඒ අසරණයින්ගේ වැඩ ඉවසන්න බැයි නම්, ඒ තරම් හික්මීමක් නැත්නම් එක්කෝ සරමේ පිහා ගන්න, නැත්නම් කොන්ඩම් එකක් දාගන්න. ඒකයි වඩා හොඳ.

ලෝකේ දියුණු රටවල සත්ව හිංසාවට පවා නිති තියෙනවා. අපේ රටෙත් වැඩිහිටියෙක් තවත් වැඩිහිටියෙක්ට පහර දුන්නොත් නීතිය ඉදිරියට යනවා. ඒත් හයක් හතරක් නොතේරෙන, අසරණ දරුවන්ට පහර දෙන්න කිසිම කෙනෙක්ගෙන් තහනමක් නෑ. ඒ පහර කන එකෙන් තවමත් වැඩෙන මනසක් තියෙන ඒ දරුවන්ගේ මානසිකත්වයට වෙන බලපෑම ගැන හිතන්න එකෙක්ටවත් උවමනාවක් නෑ.

තව දෙයක්, මේකෙන් කියවෙන්නේ නෑ ළමයින්ගේ වැරදි වලට දඬුවම් නොකර බලාගෙන ඉන්න ඕන කියලා. දඬුවම් කරන්න ඕන. ළමයාට හානියක් නොවන විදිහට.

උදාහරණයක් කියනව නම්, දරුවෙක් පාඩම් න්කර, ගෙදර වැඩ නොකර ඉන්නවා කියල හිතන්න. දරුවව ගෙනල්ලා වේවැලෙන් පුකට නෙලලා, දරුවව බිය වද්දලා, අපහාස කරලා දරුවාගේ මනස විනාස කරන එක නෙමේ කරන්න ඕන.

දරුවාට අවබෝධය එන විදිහට දඬුවම් දෙන එක.

"පුතේ, අම්මයි තාත්තයො ඔයාට ගොඩක් ආදරෙයි. ඒත් පුතා මේ කරන වැඩේ ගැන නම් අපි කොහෙත්ම කැමති නෑ. ඔයා තේරුම් ගන්න ඕන ඉගෙන ගන්න එකේ වැදගත්කම. අපි ඔයාට කොච්චර ආදරේ වුනත් ඔයා මේ කල දේ ගැන දුකයි. දැන් ගිහින් ගෙදර වැඩ ටික කරලා එන්න. එතකන් අපි එක්ක කතා කරන්න එන්න එපා"

මෙන්න මේ වගේ දඬුවම් තමා ළමයින්ට දෙන්න ඕන. අම්මයි තාත්තයි කුණුහරපෙන් බැණ ගන්න., පොඩි දේකටත් මරා ගන්න පරිසරයකනම් ළමයා මෙහෙම කිව්වට සතේකට ගනන් ගන්න එකක් නෑ. මොකද හිංසාකාරී පරිසරය ළමයාගේ මනස තුළ සාමාන්‍යකරණය වෙලා නිසා. නමුත් අම්මයි තාත්තයි තමා එක්ක කතා නොකරන එකත් ශොක් එකක් තරම් වන ආදරයෙන් පිරුණ සාමකාමී පරිසරයක හැදෙන ළමයාට ඔය වගේ දඬුවමකුත් ලොකු බලපෑමක් කරනවා.

හැම දේකටම ගුටිකන ළමයා හිතන්නෙ ප්‍රශ්නවලට උත්තරේ හිංසාව කියලා. ඌ තමා ලොකු වෙලා කියන දේ අහන්නැති කෙල්ලට ගහන්නේ, පාරේ අනතුරක් වුනාම බස් එක කුඩු කරලා ඩ්‍රයිවර් ගේ අඬු කඩලා බස් එක ගිණි තියන්නේ. අපරාධ වලට එල්ලුම් ගහ ඕන කියන්නේ. මොකද දරුවා පොඩි කාලෙයේ ඉඳලා හැදුනේ ප්‍රශ්න වලට පිළිතුරු තියෙන්නේ හිංසාව කියන පරිසරයක් තුළ නිසා.

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...