Showing posts with label මම ගැන. Show all posts
Showing posts with label මම ගැන. Show all posts

Thursday, December 28, 2017

ඇයි උඹ ළමයි හදන්නෙ නැත්තෙ?



යාලුවා – ඇයි උඹ ළමයි හදන්නෙ නැත්තෙ?

මම – ඇයි උඹ ළමයි හදන්නෙ?

යාලුවා – කවද හරි වයසට ගියාම උඹව බලාගන්නෙ කවුද?

මම – උඹ හිතනවද ඒක ළමයෙක් මේ ලෝකෙට බිහි කරන්න හොඳ හේතුවක් කියල?

යාලුවා – ඇයි ඒක හොඳ හේතුවක් නෙමේද?

මම – හොඳ නරක කෙසේවෙතත් ඒක ආත්මාර්ථකාමී හේතුවක්. උඹ කරන්නෙ ආයෝජනයක්

යාලුවා – එක අතකට ඔව්. ආයෝජනයක් තමා

මම – ආත්මාර්ථයෙන් කරන ආයෝජනයක්. උඹ උඹේ ආත්මාර්ථකාමී අරමුණක් වෙනුවෙන් ජීවිතයක් නිර්මාණය කරනවා. ඒක සදාචාරාත්මකද? දරුවෙක් කියන්නෙ රිටයර්මන්ට් ප්ලෑන් එකකටද?

යාලුවා – උඹට කවද හරි හිතෙයි ළමයෙක් හැදුවනම් හොඳයි කියල. උඹ පසුතැවෙයි

මම – මට එහෙම හිතෙන එකක් නෑ. ඒත් බැරි වෙලාවත් එහෙම හිතුනොත් දරුවෙක් අරගෙන හදාගන්න පුළුවන්නෙ. උඹට කවද හරි හිතුනොත් උඹ ළමයෙක් හදපු එක අපරාදෙ කියල. ජීවිත කාලයක් පුරා හදපු දරුවා ගැන උඹ පසුතැවුනොත්? උඹ එදාට මොකද කරන්නෙ?

යාලුවා - උඹට පොඩි එකෙක් හිනා වෙනව දකිද්දි ආස හිතෙන්නැද්ද? උඹේම කියල පොඩි එකෙක් හුරතල් කරන්න ආසාවක් ඇත්තෙම නැද්ද බං?

මම - උඹට පණ තියෙන බෝනික්කෙක් එක්ක සෙල්ලම් කරන්න ආසයි කියල මේ ජීවිතය කියන සටනට අරගල කරන්න තවත් ජීවිතයක් නිර්මාණය කරන එක සාධාරණයි කියල උඹ හිතනවද? ජීවිතය කියන්නෙ කට්ටක් බං. අපි දෙන්නම බලහං. මොන කට්ටක් කනවද කියල. ඇයි මේ දුක තවත් කෙනෙක්ට දෙන්නෙ?

යාලුවා - යකෝ, උඹේ පරම්පරාව ගෙනියන්නේ කවුද? උඹේ ගෑණි කැමතිද ළමයි නොහදා ඉන්න? අම්මලා තාත්තලා පව් නැද්ද?

මම - මට මගේ පරම්පරාව ගෙනියන්න කිසිම උවමනාවක් නෑ. මොකක්ද බං ඔය මහලොකු පරම්පරාව කියන්නෙ? අම්මලා තාත්තලාගේ ආසාව නිසාම මම මගේ ජීවිතේ තීරණ ගන්නෙ නෑ. මම ඒ අයට ඇහුම්කන් දෙනව. ඒ අය කියන හරි දේවල් අහනවා. හැබැයි ඒ අයගේ අදහස් හරි කියල ඒ අය පැහැදිළිව තහවුරු කරන වෙලාවල් වලදි විතරයි. හැමවෙලේම ඒ අය ගහන පදයට නටන්න මම පඹයෙක් නෙමේනෙ බං. කෙල්ල ගැන උඹ ඇහැව්වා නේද? මෙහෙමයි, උඹට වගේ නෙමේ මම කෙල්ලට මේ ගැන ඒ ටූ එසෙඩ් කියල තියෙන්නෙ. මෙච්චර සරල කාරණාවක්වත් තේරුම්ගන්න බැරි නම් ඒ කෙල්ල එක්ක මට මැරෙනකල් කොහෙත්ම එකට ජීවත් වෙන්න බෑ.

යාලුවා - ඒ කියන්නෙ කෙල්ල කැමතියි ළමයි නොහදා ඉන්න.

මම - ඔව්. දැන් එයා ඉන්නෙ මම කැමති වුනත් එයා කවදාවත් ළමයි හදන්න කැමති වෙන්නෙ නෑ කියන තැන.

යාලුවා - තොටම හරියන ගෑණි

මම - මචන්, ළමයි හදන එකේ සදාචාරාත්මක අවුලක් තියෙනවා. ඒක වෙනම දිගට කතා කරන්න ඕන මාතෘකාවක්. ඒ වගේම ප්‍රායෝගික අවුලකුත් තියෙනවා. යකෝ ළමයෙක් හදනවා කියන්නේ උඹට උඹව නැතුව යනවා කියන එකට. උඹේ මුළු ජීවිතය විතරක් නෙමේ උඹේ මුළු පැවැත්මම ඒ ළමයා වෙනුවෙන් කැප කරන්න වෙනවා අඩුම ගානේ අවුරුදු පහලවක් විස්සක්වත් යනකල්. උඹේ ස්වාධීනත්වය නැතුව යනවා, උඹට උඹ ආස දේ කරන්න තියා හිතන්නවත් වෙලාවක් නැතුව යනවා. හම්බ කරන සල්ලි වලින් බාගෙකටත් වඩා ළමයා වෙනුවෙන් වියදන් කරන්න වෙනවා. හරියටම බැලුවොත් ළමයෙක් හදනවා කියන්නේ අවුරුදු විසි පහක් විතර මාස් පතා පනස්දාහක් හැටදාහක් ගෙවන්න වෙන ලෝන් එකක් ගන්නව වගේ වැඩක්. වියදම ගැන විතරයි ඒ, ළමයාගේ ආරක්ෂාව ගැන සම්පූර්ණ වගකීම එන්නේ උඹට. උඹට සැනසිල්ලේ කෑම ටික කන්නවත් බැරුව යනවා. ළමයා ගැනමනේ ඔලුවේ තියෙන්නෙ, මූ කොහෙ යයිද කොහෙ වැටෙයිද කොහෙ ඇණ ගනියිද කියල. කැමති අය කැමැත්තෙන් ඒ කට්ට කයි. මට අවුලක් නෑ. ඒත් ඔය වගේ අමු කට්ටක් බලෙන් ඇඟේ දාගන්න මට පිස්සු නෑ බං. මට මගේ නිදහස ඕන. මට මගේ සැනසිල්ල ඕන. ජීවිතේ උවමනාවෙන්ම තවත් සංකීර්ණ කරගන්නෙ මගුලකටද? මේ තියෙන ප්‍රශ්න මදිවටයැ.

යාලුවා - ඉතින් බං ඕවා කලාම කවද හරි ඒවයේ ප්‍රතිපල තියෙනවනෙ.

මම - මොනවද ප්‍රතිපල? හැමෝම තමා දරුවො වෙනුවෙන් මේ කට්ට කන නිසා දරුවන්ගෙන් අම්බානට දේවල් බලාපොරොත්තු වෙනවා. දරුවාගේ ඉගෙනීම, විවාහය වගේ ජීවිතයේ වැදගත්ම දේවල් විතරක් නෙමේ දරුවාගේ හැසිරීමේ ඉඳල ආකල්ප දක්වාම තමන් කැමති විදියට දරුවා හැදෙයි වැඩකරයි කියලයි හැමෝම බලාපොරොත්තු වෙන්නේ. මෙච්චර කට්ටක් කාලා හදන එකාවත් තමන්ගේ පදයට නටන හිතන්න බැරි පඹයෙක් කරන එකද මේකෙන් ලැබෙන ප්‍රතිපලේ? මොන මගුලක්ද? මොන දෙමාපියාද තමන්ගේ දරුවා හදන්නේ මනුෂ්‍යය සංහතියට යහපත් මනුස්සයෙක් බිහි කරන අරමුණින්? හැමෝම ළමයි හදන්නේ තමන්ගේ පුද්ගලික උවමනා එපාකම් ඉෂ්ඨ කරගන්න. තමන්ට ළඟා කරන්න බැරි වුන ජීවන ඉලක්ක දරුවා ලවා ළඟා කරගෙන ඒ මානසික ආතල් එක ගන්න. දරුවාට ඒවා කරගන්න බැරි වුනාම දෙමව්පියෝ හැසිරෙන විදිය පොඩ්ඩක් සමාජයට බැහැල බලහන්. මේක මහ විකාරයක්. පටලැවිලි ගොඩක්. මම මේ නාඩගමේ කොටස්කාරයෙක් වෙන්න කීයටවත් කැමති නෑ.

යාලුවා - උඹට තේරෙන්නෑ දෙමාපියන් දරුවන්ට තියෙන ආදරයේ වටිනාකම ගැන. ඒක කොයි තරම් උතුම් දෙයක්ද කියල උඹට තේරෙන්නෑ බං

මම - මචන්, ඔය උතුම්ය කියල කියන දේවල් තියෙනව නේද? අන්න ඒවලින් තමා වැඩියෙන්ම පරිස්සම් වෙන්න ඕන. මේ ලෝකයේ සර්වසම්පූර්ණ පරමාදර්ශී උතුම් මගුල් මුකුත්ම නෑ බං. හැමදේම අඩුපාඩු වලින් කුජීත බවින් පිරුන දේවල්. එනිසා ඔය උතුම් ලණුව කන්න එපා.

යාලුවා - මොකක්ද දැන් උඹ කියන්නෙ?

මම -  උඹ කියන්නෙ දරුවො ගැන දෙමාපියන්ගේ තියෙන හැඟීම තර්කයටවත් බුද්ධියටවත් අහුවෙන්නැති පාලනය කරන්න බැරි බිඳලා දාන්නත් බැරි තරමේ ශක්තිමත් හැඟීමක් කියලනෙ. මොකකින් හරි මිනිස්සුන්ව හැඟීම් වලට ඔයතරම්ම වහල්ලු කරනවා නම් එතන ඇති පොයෙටික් මගුලක් නෑ බං. ඒ බැඳීමම හානිකර පට්ට ඇඩික්ෂන් එකක්. ඔය වගේ බුද්ධියතට අහුනොවන හැඟීම් වලටම වහල් වෙන බැඳීමක් නිර්මාණය කරගෙන ඒකට ඇඩික්ට් වෙයිද මොළයක් තියෙන මනුස්සයෙක්? ඔය කියන විදියට ඕක කුඩු ඇබ්බැහියටත් වඩා අන්තයිනෙ. මට කුඩුත් එපා ඔය වගේ ගොං බැඳීමුත් එපා.

යාලුවා - උඹේ ප්‍රශ්නය මොකක්ද දන්නවද? උඹ හිතනවා වැඩියි.

මම - උඹ දන්නවද උඹේ ප්‍රශ්නය මොකක්ද කියල? උඹ හිතන්නෙම නෑ.

යාලුවා – ඒ නැතත් අපි වර්ගයා බෝ කරන්න ඕන. ලෝකය පවත්වාගෙන යන්න ඕන

මම – ඇයි වර්ගයා බෝ කරන්නෙ? ඇයි ළමයි හදන්නෙ?

යාලුවා – ළමයි හදන්නෙ ඉතින් වර්ගයා බෝකරන්න

මම – ඒක හරි. මම අහන්නෙ ඇයි වර්ගයා බෝ කරන්න ඕන?

යාලුවා – ඉතින් වර්ගයා බෝ කරන්න නිසා…

මම - ඉතින් ඒක තමා බොල මම අහන්නේ අහවල් මගුලකටද වර්ගයා බෝ කරන්නෙ??

යාලුවා - හරි හරි උඹ ළමයි නොහදා හිටහං එහෙනම්. මං කියපුව ගැන හිතල බලහංකො පොඩ්ඩක්.

මම - හා. හැබැයි මීට කලින් අහපු නැති මුකුත් නම් උඹ කිව්වෙ නෑ. හැමෝම කියන කතා ටික තමා ඔය. මම කිව්ව ඒව ගැනත් හිතල බලහන් කැමති නම්. වෙන වෙලාවක මේ ගැන හිමීට වැඩිදුර කතා කරමු.

යාලුවා - හ්ම්..

මම - එල

Thursday, September 21, 2017

සියවැනි සටහන : අඳුර



අන්ධකාරය දසත පැතිරී ඇත. මහා කැලයක් මැද නිමක් නොපෙනන පාළු පාරක මිනිසෙක් ගමන් කරමින් සිටියි. ඔහු ඉදිරියට පය තබන්නේ හැඟීමක් දැනීමක් නැත්තෙකු සේය. කිසිදු අරමුණකින්වත්, විඩාවකින්වත් තොරවය ඔහු ඉදිරියට ඇදෙන්නේ.

ඔහු කොපමණ වේලාවක් ඇවිද ගියාදැයි ඔහුවත් නොදනියි.

ගමනාන්තය !

ඉදිරියේ දිස් වන්නේ ගුප්ත බවින් වෙළී ගිය විශාල නිවසකි.

ඔහු නිවසට ඇතුළු විය යුතුය. ඔහුට එසේ නොකර සිටීමට තේරීමක් නැත.

නිවසට ඇතුළුවන ඔහු දකින්නේ කුඩා පිරිමි ළමයෙකි. කට්ට කළුවරේ ළමයා බිම ඉඳගෙන සිටියි. ළමයාගේ මුහුණ අමුතුම හැඟීමකින් වෙළී ඇත. නමුත් ඒ හැඟීම බිය වත්, දුකවත්, පාළුවවත්, කේන්තියවත් නොවන බව ඔහු තේරුම් ගනියි. ළමයා අසරණ බවින් පිරුනු දෑසින් ඔහු දෙස බලයි.

ඔහුට මේ ළමයා ගැන දුකක් දැනේ. ඔහුගේ ජීවිතයේ කිසිම දවසක කිසිම කෙනෙක් උදෙසා නොදැනුන දුකක් දැනේ. ඔහුට මේ ළමයාට උදව් කිරීමේ තදබල උවමනාවක් තිබුනද කුමන හෝ හේතුවක් නිසා ළමයාගේ අසරණ දෑස දෙස බලා සිටිනවා හැර වෙන කල හැකි දෙයක් ඔහුට නැත. කවදාවත් හිතෙන් මැකිලා යන්නෙ නැති භයානක හීනයක් වගේ දර්ශනයක් !

දෙදෙනාම මේ නිවස තුළ සිරවී සිටින සිරකරුවන්ය. ඔහුගේ හිස පුපුරන්නට එනබව ඔහුට දැනෙයි. මෙය තව දුරටත් දරා ගත නොහැකිය. ඔහු පිස්සෙකු මෙන් වේගයෙන් නිවසෙන් එළියට දුවගෙන එයි.

නිවස ඉදිරිපිට මහා කළු ගල් දෙකකි. සිත් පිත් නැති කළු ගල් දෙකකි. ඒ කළු ගල් දෙක උඩ රතු පාට රෝස මලකි.

"කළු ගලක් උඩ රෝසමලක් ආවේ කොහොමද? වෙන්න බැරි දෙයක්නෙ.." මෙය ඔහුට ප්‍රශ්නාර්ථයකි.

""රෝස මලක් ආවේ කොහොමද කියල කල්පනා කරල වැඩක් නෑ. කළු ගලක් උඩ රෝස මලක් ආපු එකම මදිද?" එය සැබවින්ම රෝස මලක් යයි ඔහුට සිතෙයි.

කළු ගල මත ඔහු යමක් කුරුටුගාන්නට පටන් ගනියි.

"..මට මගෙ ජීවිතයෙන් බාගයක්ම මතක නැති වුනාට 
මට මුහුණ දෙන්න වුන අඳුරුම අත්දැකීම් නම් අද වගේ මතකයි
ඒවා කිසිදවසක මතකයෙන් නොයන තරමට 
තදින් හිතේ පැළපදියම් වෙලා ඇති සමහර විට
කවදාවත් නොමැකෙන විදියට
නොසැඟවෙන විදියට
ඒත් 
මම අදත් ඒ අඳුරු අත්දැකීම් වලට 
ආදරෙයි
මොකද
ඒ අඳුරු අත්දැකීම් නොවන්නට 
මේ වචන ලියනා මම නොසිටින්න තිබූ නිසා
මේ වචන ලියන 
තැළුණු, පොඩිවුනු, බිඳුනු මට 
මම හරිම කැමතියි
ඒ නිසයි ඒ අඳුරු අත්දැකීම් 
කිසිදා මැකී යනවාට මම අකමැති
ඒ දේවල් සිදු නොවූ අතීතයක් 
මම කිසිදවසක නොපතන්නේ 
ඒ නිසයි
ඒවා වෙනස් වුනොත් 
මට මාව නැතුව යන නිසයි
ලෝකය නරුමයෙක් විදියට දකින 
ඒ මමට මම හරිම ආසයි
මම මගේ නරුමකමට ආසයි.
ඒ අඳුරු අත්දැකීම් මගේ අනන්‍යතාවය ගොඩනඟපු නිසා 
මම ඒවට ආදරෙයි
හැමදේටම වඩා ආදරෙයි.."

..ඔහු නොමේරූ කුඩා දරුවෙක්ව සිටි කාලයේ සිට ඔහු හා සමඟ සිටි අඳුර කවදා හෝ නැවත ඔහුව සොයාගෙන එනබව ඔහු සහතික ලෙසම විශ්වාස කරයි..

ඔහු ආපසු හැරෙයි.

ඔහු ඉදිරියේ යමෙක් සිටගෙන සිටියි.

"අඳුර.. මගේ මිත්‍රයා !"

කෙටි කලකට ඔහුව අතහැර ගොස් සිටියද ඔහු හා සමඟ සෙවනැල්ල මෙන් සිටි මිත්‍රයා නැවත ඔහු සොයා පැමිණ ඇත.

"අපි යං.."

"හා" ඔහු පිළිතුරු දෙයි.

මුළු ලොවම ඔහු ඉදිරියේ ක්‍රමයෙන් නැතිවී යන බව ඔහුට පෙනෙයි. කවුරුත් මොනවත් නැති ලෝකයක්. සියල්ලන්ගෙන් ඈත් වුන තනිකම සහ අඳුර සමඟ මොහොතක් !

අවසනයේ ඔහුගේ සිහිනය සැබෑවී ඇත.

මඳහහසකින් මුව සරසාගෙන ඔහු නිදයි. කිසිදා අවදිනොවන නින්දක නිදයි.


©Jamis Banda


Tuesday, September 19, 2017

මගේ පළවෙනි ලව් එක



කෙල්ලෙක්ට මුලින්ම ලයින් දැම්මේ ඉස්කෝලෙ කාලෙදි.

එතකොටම මට වයස අවුරුදු දහහතයි. කෙල්ල හිටියේ අපේ පන්තියට එහා පන්තියෙ. මා එක්ක බලද්දි ඇඟ පතින් කෙල්ල සෑහෙන පොඩියි. මිටියි. ඒත් ඉතින් හැඟීම් කියන ඒවා තෝරගෙන බේරගෙන ඇති වෙන ඒව නෙමේනෙ. ඉබේ ඇති වෙන දේවල් නෙ.

ඒකිගෙ තිබ්බ අහිංසක හැසිරීමට, බිම බලාගෙන ඇවිදින විදියට, ගොතපු කොණ්ඩෙට, හිනා වෙන විදියට විතරක් නෙමේ කොටින්ම මාව දැක්කම අහක බලන විදියටත් මාරම විදියට ලව් කරන්න ගත්තා දවස් දෙක තුනක් යද්දිම.

දැන් මම කෙල්ලට ලව්. මට තේරෙනවා මම කෙල්ලට ලව් කියල. මට හිතෙනවා අම්මට සිරි මේ මට ඇති වෙලා තියෙන හැඟීමට නේද මේ ලව් එක කියන්නෙ කියල. මාරම ලල් එකක් තිබ්බෙ ඒ ෆීලින්ග් එකේ.

ඉතින් මමත් හරකා වගේ සීන් එක කියනවා මගේ හොඳම යාලුවට. ඌට පෙන්නනවා හා හා පුරා කියල මගෙ හිත මුලින්ම ගිය කෙල්ලව. ඌ කියනවා උගෙ යාලුවට, උගෙ යාලුවා කියනවා උගෙ යාලුවට. කෝම හරි සතියක් යන්න කලින් මුළු සෙක්ෂන් එකම දන්නවා මම මේකිට ලයින් කියලා. සති දෙකක් විතර යද්දි ඉස්කෝලෙ ඉන්න සර්ලා මිස්ලා පවා දන්නවා සීන් එක. ඇයි ඉතින් අපේ සෙක්ෂන් එකේ සර්ලා මිස්ලාගෙම ළමයි කීයක් නම් හිටියද?

දැන් මම කෙල්ලට ලයින් කියල දන්නෙ නැත්තෙ කෙල්ල විතරද කොහෙද. ඒත් මම හිතන්නෙ කෙල්ල සීන් එක දන්නවා කියල. ඉන්ටර්වල් එකේදි මම කෙල්ල දිහා එහෙන් බලනවා, මෙහෙන් බලනවා.. කෙල්ල ඔහේ ඉන්නවා ඉතින්. මං හිතන්නෙ මේකි ලැජ්ජාවට දැක්කෙ නෑ වගේ ඉන්නව කියල. කෝම හරි ඕම ඕම කාලය යනවා මාසයක් විතර.

දැන් මට මේකිව ඕන. අම්බානකට ඕන. පුළුවන් තරම් ඉක්මනින් ඕන. ඒත් මොකාටද වගේ ගිහින් මූණටම යාලුවෙන්න අහන්නත් බෑ. හයිය නෑ. ගට නෑ. ඇත්තම කියනව නම් කොන්ද පණ නෑ.

ලිව්වා කෙල්ලට ලියුමක්. දුන්නා මගේ පන්තියේ ගෑණු ළමයෙක්ට. යාලුවත් පැනල ගත්තා ඉතින් හරිම ආසාවෙන්. මුළු සෙක්ෂන් එකම සීන් එකට මට බොක්කෙන් සපෝට් ඉතින්.

අනේ ලියුම දුන්නලු මෙන්න මේක බණ්ඩා දෙන්න කිව්ව කියල. කෙල්ල ඇහැව්වලු කවුද බණ්ඩා කියන්නෙ කියල. ලියුම ගන්න බෑ කිව්වලු. අනේ ඉතින් වැලේ වැල් නෑනෙ. අර යාලුවා මූණ දික් කරගෙන ලියුම ආයෙම ගෙනල්ලා දුන්නා එයා ගන්න බෑ කිව්වා අනේ කියල. මම කෙල්ලට ට්‍රයි කියල දන්නෙ නැතුව ඉඳල තියෙන්නෙ කෙල්ල විතරයි.

පළවෙනි පරාජය !

හෙණම අවුල් ඉතින්. ගෙදර ඇවිත් ගත්තා ගිණි පෙට්ටිය. පිච්චුවා ලියුම. ආයෙම ඕකිගෙ මූණවත් බලන්නෑ කියල හිතාගත්තා ලෙසටම.

ඕම හිතින් පොර ටෝක් දාගෙන ආයෙම ඉස්කෝලෙ ගියාට දවස් දෙකතුනක් යද්දි ඉන්නම බෑ අරකිව දකිද්දි. ලව් එක ඉතින් ආයෙ ආයෙ මෝදු වේගෙන වේගෙන ඇවිත් මගේ පොරසිටියට දැම්මා කෙළෝලම.

පටන් ගත්තා ආයෙම ගේම. දැන් ඉතින් කොල්ලා ෆුල්ම අධිෂ්ඨානයෙන් කෙල්ලව දාගන්න වැඩ.

ඉස්කෝලෙ එද්දි මඟ ඉන්නවා.. ඒකි අහක බලාගෙන යනවා. ඉන්ටර්වල් එකට ඒකිගෙ පන්තිය ගාවට ගිහින් ලයින්පාර දානවා.. ඒකි අහක බලාගෙන ඉන්නවා. ඉස්කෝලෙ ඇරෙන වෙලාවට කට්ට අව්වේ මේකි එනකල් බලාගෙන ඉන්නවා... ඒකි අහක බලාගෙන යනවා.

මූණ දිහා ඇස් කොණකින්වත් නෑ බලන්නෙ මේකි ! ආඩම්බරකාරි !

හරියන්නේ නෑ වැඩේ කියල හිතල ඕම මාස හයක් හතක් ගියායින් පස්සෙ කොල්ලා ගන්නවා අර තිබ්බේ නැති ගට හිතට. වෙලාවක් බලලා බලලා ගියා හම්බෙන්න කෙල්ලව. පළවෙනි පාරට කෙල්ලක් ඉස්සරහා බල්ලෙක් වෙන්න යන බව දැන දැන කොල්ලා යනවා දැන් කෙල්ල ගාවට. වෙව්ල වෙව්ල ගැහි ගැහී ගියා කෙල්ල ඉස්සරහට.

"මේ.. පොඩ්ඩක් ඔයා එක්ක කතා කරන්න පුළුවන්ද?"

"සොරි. බෑ"

දෙවනි පරාජය !

අප්පා.... ඈත ඉඳන් ආසාවෙන් බලාන හිටිය යාලුවෝ රෑනටම පේන්න ඇති මගේ මූණේ වෙනස. රෙදි නැතුවා සේ දැම්මා ආපහු රිවස් ගියරයට. මූණ එල්ලගෙනම ගියා ඉතින් යාලුවෝ ගාවට. එවෙලේ යාලුවෝ දුන්නේ කිසිම දවසක අමතක නොවෙන සප් එකක්.

දැන් වැඩේ ෆුල්ම අවුල්. ඒත් හිතේ තියෙන ලව් එක නම් දවසෙන් දවස වැඩි වෙනවා මිසක අඩුවක් නම් නෑ. ඕම ඕම ආවා අපි ඉස්කෝලේ යන අන්තිම දවස.

මේක තමා මගේ ලාස්ට්ම චාන්ස් එක.

මුළු දවසම ෆුල් ෆන් එකේ යාලුවෝ පිස්සු කෙළකෙළ අන්තිම දවස සැමරුවත් මගේ හිතේ තිබ්බෙම අද මම කෙල්ලගෙන් අහද්දි මේකි මොනව කියයිද කියන එක. මං මෙච්චර කල් පස්සෙන් ආව නිසාවත් හා කිව්වොත්. එකම එක අවස්ථාවක් මට දෙන්න ඒකිට හිතුනොත්..

හරි. ඉස්කෝලෙ ඉවරයි. අවසාන වතාවට අපි ගෙදර යන වෙලාව. කෙල්ල යනවා කෙල්ලගෙ යාලුවත් එක්ක ඉස්සරහින්. මම දුවගෙන දුවගෙන ගිහින් හිටගත්තා කෙල්ල ගාවින්.

"නිරාෂා.. මට පොඩ්ඩක් ඔයා එක්ක කතා කරන්න පුළුවන්ද? එක විනාඩියක්??"

"බෑ"

තුන් වෙනි පරාජය හෙවත් මාරම පරාජය !

මගේ ඒකපාර්ශ්වික ප්‍රථම ප්‍රේමය පොඩ්ඩ පොඩ්ඩ මගෙන් ඈත් වෙලා නැත්තටම නැති වෙලා යන හැටි පාර අයිනේ ගල් වෙච්චි පිළිමයක් වගේ මම බලාගෙන ඉන්න ඇති.

අවුරුදු දෙක තුනක් යනකල් විතර මාරම කුජීත හැඟීමක් ආවේ ඔය පළවෙනි ලව් එක ගැන මතක් වෙන වාරයක් වාරයක් ගානේ.

ඒත් ඊට පස්සේ ආදරය කරලා, ආදරය විඳලා, ආදරෙන් පැරදිලා, ආදරෙන් පරිප්පු කාලා, ගැලපෙනම ආදරය හම්බෙලා, ආදරය කියන්නෙ මොකක්ද කියල තේරීගෙන එන වයස වෙද්දි ඒ පළවෙනි ලව් එක මතක් වෙද්දි දැනුනේ හරිම සොඳුරු හැඟීමක්.

දැන් ඒ කෙල්ල බැඳලා මං හිතන්නෙ. ළමයි ඉන්නවද දන්නෑ. මොනව වුනත් දැන් හිතෙනවා ඒ කෙල්ල මා එක්ක යාලු නොවුන එක හොඳයි කියල.

ඒක පාර්ශ්වික වුනත් ප්‍රේමය ගැන හම්බෙච්චි ඒ පළවෙනි අත්දැකීම නම් කවදාවත් අමතක නොවන එකක්.

මේවා කියන්න මොකටද ලැජ්ජ වෙන්නෙ.. කාටද මෙහෙම අත්දැකීම් නැත්තෙ.. නේ? ;)

Thursday, August 24, 2017

හීන දහයක්

ජීවිතයක් ජීවත් කරවන්නේ බලාපොරොත්තු නම් ජීවිතයකට සුන්දරත්වයක් එකතු කරන්නේ හීන කියලයි මට හිතෙන්නෙ. කවදා හෝ සැබෑ විය හැකි හීන වගේම කිසිදා සැබෑ නොවන බව දන්නා හීනත් අපි හැමෝටම තියෙනවා. මේ මගේ මිතුරකුගේ ඉල්ලීමක් ඉටු කිරීමේ අරමුණින් ලියවුන මගේ හිතේ තියෙන මගේ "හීන දහය" 

1. ටූපක් ශකූර් ගේ නව ගීත ඇල්බමයක් ඇසීම. (ටූපක් මැරෙන්න කලින් හදපු ඒත් ඒ වෙනකොට එළියට ආවේ නැති සින්දු වලින් අලුත් ගීත ඇල්බම රාශියක් පස්සෙ කාලෙ නිකුත් කෙරුනා. මම මේ කියන්නේ එහෙම එකක් ගැන නෙමේ. ටූපක්ගේ අලුත්ම නිර්මාණ ඇතුලත් ගීත එකතුවක් ගැන)

2. ලංකාව වටේ ට්‍රැවල් කිරීම. (වටේ කිව්වට මැද හරියත් ඇතුළුව)

3. මාස්ටර්පීස් එකක් ලෙස සැලකිය හැකි Batman මූවි එකක් කවදා හෝ නැරඹීමට ලැබීම (ප්ලීස් මොකෙක් හරි හදපන්කො එහෙම එකක්)

4. නැවත ලිවීම ආරම්භ කල ටැබූ සබ්ජෙක්ට්ස්ගේ අප්ඩේට් වන අලුත් බ්ලොගය කියවන්නට ලැබීම.(මේක සැබෑ වීමට වඩා ටූපක් මරණින් නැගිට ඇවිත් කරන අලුත් ගීත ඇල්බමය ඇසීමට තියෙන ආසාව සැබෑ වීමට වැඩි ඉඩක් තියෙන බව හැබෑව ඉතින්)

5. ජේසුස් වහන්සේ සහ බුදුන්වහන්සේ නැමති නිර්මාණය කරන ලද චරිත වලට පාදක වූ මුල් පුද්ගලයන් දෙදෙනා මුණගැසී ඔවුන් සමඟ සතුටු සාමිචියේ යෙදීම, කතාබහ කිරීම.(බාසාව තේරුම් ගන්නේ කොහොමද, ටයිම් ට්‍රැවලර් කෙනෙක් වෙනවද අරව මේවා අහන්න ඔට්ටු නෑ හරිය. මේවා හීනනේ)

6. (මට අනුව) ගරු කටයුතු පුද්ගලයෙක් ලංකාවේ ජනාධිපති වෙනවා දැකීම (විධායක ජනාධිපති නම් මරු)

7. මාලන් සමරවික්‍රමව සැබෑ ජීවිතේ මිතුරෙක් විදියට ළඟින් ආශ්‍රය කරන්නට ලැබීම

8. මම පිහියක් අරගෙන පපුවට ඇන්න කෙල්ලගේ ඒ තුවාලය සුවවී ඇය සතුටින් සිටිනවා දැකීම (දැනටමත් සතුටින්ද දන්නෑ. කන්ටැක්ට්ස් නෑනෙ)

9. පොඩි වත්තක් තියෙන පොඩි ගෙදරක සහකාරියක් සමඟ හෝ තනියම මියයනතෙක් ජීවත් වීමට ලැබීම

10. මගේ එදිනෙදා කරතව්‍යන් මටම කරගන්න නොහැකිවන දිනයක් උදාවීමට පෙර ස්වභාවික හේතූන් නිසා මියයාමට ලැබීම. (නින්දෙදි වගේ නම් මරු)

ඔන්න ඕවයි මගේ හීන :)

 ප/ලි - වල්පල් කියවන පාඨක ඔබටත් 'හීන' තියේ නම් කමෙන්ට් තීරුවේ ඒවා බෙදාගන්න ඉඩ තියෙනවා.


Monday, December 5, 2016

අඳුරෙන් එළියට

“ආච්චි දඹදිව යන්නද යන්නේ?”

“ඔව් පුතේ..ඔච්චරනේ අන්තිමට ඉතුරු වෙන්නේ”

“ඔව් නේද ආච්චි..යන්න යන්න.. ගිහින් එන්න එහෙනම්”

ආච්චි; බෞද්ධාගමට දැඩි භක්තියක් තිබෙන ඇය කකුල් අමාරුවක් තිබුනත් තම දරුවෙක්ට හෝ කියා ත්‍රීවීල් එකක් හයර් කරගෙන පන්සල් ගොස් සිල් ගැනීම වරද්දන්නේ නැත. ජීවිතයේ අවසන් සමය ගෙවන ඇය දවසේ වැඩි කාලයක් ගත කරන්නේ ඇය සතුව ඇති පරණ වූ බෞද්ධ පොත් ගොඩේ ඇති පොතක් කියවමිනි. ඇය විසින් කියවන පොත් දුටු විට සිතෙන්නේ මේ පොත් ඇය විසින්ම කීවාරයක් නම් කියවා ඇත්ද කියාය.

ආච්චි.. ජීවිතය ජයගත් කාන්තාවක් යැයි මට සිතෙයි. ඇයගේ දරුවන් සියල්ලම ඇය ජීවත් වූවාට වඩා පැහැදිලිවම ඉහල සමාජ මට්ටමක ජීවත් වෙයි. දෑතේ සවියෙන් දහඩිය මහන්සියෙන් සිය පවුල සීයා විසින් ගොඩ දමා ඇත. සමාජයේ මිමි වලට අනුව ඔවුන් සියල්ල අතිසාර්ථකය. ඔවුන්ට අවශ්‍ය වන්නේද එපමණය. ඔවුන්ද අන් සියල්ලන් සේම සාර්ථකත්වය පසුපස හඹායන නොනවතින තරඟයේ යෙදී සිටියි.

සිය දරුවෙක්ට රෝගයක් වැළඳුන පසු එය සුව කිරීමට වෛද්‍ය සහය ගැනීම ප්‍රතික්ෂේප කොට තොවිල් ක්‍රම මඟින් විසඳුම් සෙවීමට ගොස් අවසානයේ ඉතාම දරුණු තත්වයට පත් වූ පසු වෛද්‍ය උපදෙස් මඟින් යන්තම් ගොඩදාගත් කතාව තවමත් මගේ මව මතක් කරයි. තවත් දරුවෙක්ගේ ප්‍රේම සම්බන්ධයක් නැවතීමේ උත්සාහයක් ලෙස කොහේදෝ හාමුදුරු කෙනෙක්ගේ සහය දිගින් දිගිටම පැතූ බව පවුල තුල සියල්ලන් දන්නා කරුණකි.

කොපමණ සමාජීය සහ ආර්ථික අතින් දියුණු තත්වයට පත් වුවද එම ගති ලක්ෂණ ආච්චි විසින් තම දරුවන්ටද උරුම කොට දී ඇත.

ආගමට දහමට දැඩි ලෙස සියල්ලන්ම ලැදිය. කතරගම වන්දනාගමන වාර්ශිකව සිදු කරන අනිවාර්‍ය වූ අංගයකි. සියලුම විශේෂ අවස්ථාවලදී වෙලාවල් බැලීම්, නම් තැබීම් වලදී අකුරු තේරීම් තිතටම සිදු කරයි, බුදුදහමට සේම හින්දු දේව වන්දනාවද තදින්ම සිදු කරයි. එකී, මෙකී නොකී අප සංස්කෘතියේ ඇති සියලුම ඇදහිලි සහ විශ්වාස අනුගමනය කරයි. ඒවාට දැඩි සේ ඇලුම් කරයි.

මම ආගම අතහැරිය බව ඇසූ විට තාත්තාගේ සහෝදරියක් පැවසුවේ “ආගමක් නැතුව කොහොමද ජීවත් වෙන්නේ? මනුස්සයෙක් වුනාම මොකක් හරි ආගමක් තියෙන්න ඕනේ. නැත්නම් අපි සත්තු වගේ වෙනවා. බුද්ධාගම වෙන්නම ඕනෙ නෑ. මොකක් හරි… මොකක් හරි ආගමක් තියෙන්න ඕනේ..”

ආච්චිගේ දරුවන් සියල්ලම ගමේ පන්සලේ ප්‍රධානම දායකයින්ය. පන්සලේ තීරණ වලට බලපෑම් කල හැකි මට්ටමේ සිටන නිසා දිනක් මම අඩු කුලේ පුද්ගලයින් පන්සලේ මහණ නොකිරීම ගැන ප්‍රශ්න කලෙමි.

“ඇයි දැන් පන්සලේ අඩු කුලේ අයව මහණ කරන්නේ නැත්තේ? බුදුහාමුදුරුවෝ සෝපාකව මහණ කලා නේද?”

“ඒවා දැන් කාලෙට හරියන්නේ නෑ. ඒවා ඒකාලේ. අපේ පන්සලේ කවදාවත් ඕවා වෙන්න දෙන්නේ නෑ”

“ඉතින් බුදුහාමුදුරුවෝ කිව්වේ එහෙම නෙමේනෙ”

“උඹට ඕනේ නම් ගිහින් ඕනේ හකුරෙක්ව මහණ කරගනින් එහෙනම්” එයයි මට ලැබුන පිළිතුර.

මේ සියල්ල මැද වෙනස්ම චරිතය වූයේ මගේ පියාය.

කිසිම වැඩකට වෙලාවක් කලාවක් නොබැලූ ඔහු සැමවිටම කිව්ව කතාව නම් “වැඩේ කරන්න හිතෙන වෙලාව තමා නියම වෙලාව” යනුවෙනි. අව්ව වැස්ස නොබලා වැඩ කල යුතු බව ඔහු තදින්ම විශ්වාස කලේය. “පුතේ, මිනිස්සු එක්ක තර්ක කරලා වැඩක් නෑ. හැමකෙනාගෙම හිත දිනාගන්නයි ඕනේ. මිනිස්සු එක්ක වාද කරලා, රණ්ඩු වෙලා කවදාවත් ජීවත් වෙන්න බෑ. කිසිම කෙනෙක් එක්ක තරහ වෙන්න එපා. ඔයාට වැරැද්දක් කලත්, ඔයා ගිහින් වැරැද්ද කල කෙනා එක්ක කතා කරලා යාලු වෙන්න. තරහ වුනොත් ඔයාට කිසිම හොඳක් වෙන්නේ නෑ, හානිකයක් මිසක්.” ඔහුගේ උපදේශ ඒවාගේය.

ඔහු සැබවින් සිතන දේ කිසිදා කිසිවෙක්ට දැනගත නොහැක. ඔහු කියන්නේ අදාල වෙලාවට අනුව කිව යුතු දෙයයි. වැරදීමකින් හෝ එක්වරක් දෙවරක් ඔහුගේ හිතේ අවංක හැඟීම් යැයි සිතිය හැකි දේවල් එළියට ආව වාරයන් කිහිපයක් මතකය.

දිනක් බණ දේශනාවක් අසා නිවසට පැමිණෙන අතර තුර බුදුන්ගේ මරණ මංචකය ගැන කියන විට බණ දේශනා කල හාමුදුරුවන් අතිශය සංවේදී වූ අයුරු ගැන මම තව තවත් සඳහන් කරන විට එකවරම තාත්තා පැවසුවේ “ඒක ඉතින් ඒ මනුස්සයාගේ ජොබ් එකනෙ” යනුවෙනි. ඉන්පසු එතනින් එහාට වචනයක් කිව්වේ නැත.

සෑම විටම කිව්ව දෙය නම් හම්බකරන සල්ලි නැති මිනිස්සුන්ට දෙන්න. දෙන්න දෙන්න තමයි ලැබෙන්නේ කියන කතාවයි. ඔහු ඉපැයූ මුදල් වලින් වැඩි හරියක් සමාජ සේවයට යෙදෙව්වේ පින්තකාද, නැතහොත් මහජන ප්‍රසාදය ලබා ගැනීමට දැයි මට කිසිදා දැනගැනීමට ලැබෙන්නේ නැත.

අසම්මතයා බිහි වීමට මුල් වූයේ මගේ පියා දැයි වෙලාවකට සිතේ. කතෝලිකයෙක් වූ මගේ මව කුඩාකාලයේ සිටම මාව කතෝලික ආගමට දැඩිලෙස නැඹුරු කල බව ඔහු මුල සිටම දන්නා බව අප තිදෙනා තුලම වූ ප්‍රසිද්ධ රහසකි. නමුත් කිසිදා ඔහුට එය ප්‍රශ්නයක් වූයේ නැත. ඔහු මට කිව්ව එකම දෙය නම් “පුතේ ආගම් දෙකම ඉගෙන ගන්න, ඊට පස්සේ ඔයාට හරියි කියලා හිතෙන එක තෝරගන්න” කියාය

අසම්මතයා බිහිවීමට මූල බීජය වූ සිතිවිල්ල මට තවමත් මතකය. ඒ මා ඉතා කුඩා අවධියේ මගේ දෙමාපියන්ගෙන් ඇසූ ප්‍රශ්නයකි.

“අම්මේ, අපිට මැරුනයින් පස්සේ මොකද වෙන්නේ?”

“මැරුනයින් පස්සේ පුතේ අපි ජේසු ගාවට යනවා”

“තාත්තේ අපි මැරුනයින් පස්සේ මොකද වෙන්නේ?”

“මැරුනයින් පස්සේ වෙනත් තැනක ගිහින් ඉපදෙනවා. හොඳින් හිටියොත් හොඳ තැනක ඉපදෙන්න පුලුවන්”

ඔය කතා දෙකෙන් දෙකම නිවැරදි විය නොහැකි බවත් එකක් පමණක් සිදුවිය හැකි බවත් මගේ පුංචි මනසට පවා වටහා ගැනීමට අපහසු නොවීය.

එදා සිටම ඔය ප්‍රශ්නයට උත්තරය සෙවීමට ගත් උත්සාහයේ ප්‍රතිපලයක් ලෙස අද මම මේ සිටින තැනට පැමිණ ඇතැයි මට සිතේ.

අවසානයේ මම ආගම් දෙකම අතහැරීම මගේ මවට මහා ප්‍රශ්නයක් වී පියාට කතාකිරීමට තරම් වත් වැදගත් මාතෘකාවක් නොවීමට හේතුවක් වූයේ ඇයි දැයි නොදනිමි.

දෙවියන් පිළිනොගන්නා මම දකිනා යම් දෙවියෙක් වේ නම් ඒ මගේ පියාය, මෙහි කතාකරන මාතෘකාව සම්බන්ධයෙන් මගේ ජීවිතයට වැඩියෙන්ම බලපෑමක් කල ප්‍රකාශය සඳහන් කරමින් මගේ අත්දැකීම් ගැන ලියූ පළමු සටහන අවසන් කරන්නම්.

 “අම්මේ මැරුනයින් පස්සේ දෙකක් වෙන්න බෑනෙ. දෙකෙන් එකයිනෙ වෙන්න පුලුවන්”

“මැරුනයින් පස්සේ යන්නේ ජේසු ගාවට පුතේ”

“ඉතින් තාත්තා කියන්නේ ඒක නෙමේනෙ. වෙන එකක්නෙ”

“ඔය තාත්තාගේ බොරු. එයා කියන දේ එයාවත් පිළිගන්නේ නෑ”

“ඒ කිව්වේ අම්මේ?”

“මම තාත්තගෙන් ඕක ඇහැව්වා දවසක්. එයා කියනවා ඔය ඔක්කොම බොරුලු. මැරුනයින් පස්සේ ඔය මුකුත් වෙන්නේ නෑලු”

“එහෙනම්???”

“මැරුනයින් පස්සේ මුකුත් නෑලු. ස්වර්ගයක්වත්, ආයේ කවුරුත් ඉපදීමක්වත් වෙන මොකක්වත් නෑලු. එතනින් ඔක්කොම ඉවරයිලු. ”

“ඒකයි තාත්තා කිව්වේ. ඒකනේ මම කිව්වේ, මැරුනයින් පස්සේ යන්නේ ජේසු ගාවට පුතේ”

අම්මාගේ ස්වර්ගයේ කතාවටත්, තාත්තාගේ නැවත ඉපදීමේ කතාවටත් වඩා තාත්තා මට කිසිදා නොකියූ ඒ කතාව ඒ පුංචි වයසේදී පවා අනෙක් කතා දෙකටම වඩා තේරුමක් ‘ඇති’ පිළිතුරක් ලෙස මට දැනුනේ මන්දැයි අදවනතුරා නොදනිමි.


Monday, April 25, 2016

ආරාධනා



හවස් යාමයේ හිතුනා සින්දුවක් අහන්න.. තනියෙම ඉන්න නිස්කලංක වෙලාවක මුලින්ම ඔළුවට එන්නෙ ගෙදර තියෙන එකම එක සීඩී එකක් !

"සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැගවිලා.. 
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා.. සිටිනවා..."

ඒ කටහඬ..ඒ ගායනය.. ඒ සංගීතය..

ෂාහ්.. සින්දු කියන්නෙ ඒවලට අප්පා...

ඒ සංගීතයට පුළුවන් අමිහිරි තනිකමට මිහිරියාවක් එක් කරන්න

"හදාගන්න ඕනි ප්ලේන්ටියක්.." මගෙ හිත මටම කියා ගත්තා

හිත එක තැනක තියා ගන්න පුළුවන් කාටද? සින්දුව අහන ගමන් ප්ලේන්ටිය හදන අතරේ සුපුරුදු පරිදි කල්පනාවෙ අතරමං වෙනවා

"පරණ දේවල් වලට පරණ නිසාම හොඳයි කියන එක ලෙඩක්. ඒකෙන් වෙන්නෙ ඇත්තටම හොඳ පරණ දේවල් වලට හොඳයි කියන එකේ තියෙන වටිනාකම නැතුව යන එක. බොහෝමයක් පරණ සින්දු, ඇත්තටම හොඳයි.."

"රසය සාපේක්ෂයි.. හොඳ සාපේක්ෂයි"

මගෙ හිත මා එක්කම තර්ක කරනවා

"රසය සාපේක්ෂයි.. ඇත්ත. ඒත් හැමෝටම ඇති මේක හොඳටම හොඳයි කියල කියන්න පුළුවන් ගීත"

"ඔව්, යමක් විඳින්න ඒක සාපේක්ෂ වෙන එක ප්‍රශ්නයක් නෙමේ"

මගෙ හිතත් එක්ක මම ම කරන මේ කතාව ඉවර වෙන කතාවක් නම් නෙමේ

ප්ලේන්ටිය හරි.. දැන් අඩු එක දෙයයි..

පත්තු කරගත්තා සිගරට් එකත්.. දිගා වුනා පුටුව දිගේ

"මින්දද හීසර වැදී සැළෙන හද, 
නංවන දුක්‌ ගී ඔබට ඇසෙනවද, 
නන්දන මල් අතුරා ඇති යහනට, 
කන්ද කපා පායන් රන් පුන් සඳ"

සමහර ගීත අහද්දි අපට දැනෙනවා පරිපූර්ණත්වයක් ගැන හැඟීමක්. ඒ කියන්නේ මේ ගීතය මීට වඩා හොඳ වෙන්න විදියක් නැහැයි කියන හැඟීම. අංගසම්පූර්ණයි කියන හැඟීම...

පරිපූර්ණ කිසිවක් නැති ලෝකයක, පරිපූර්ණත්වය ගැන සංකල්පයම විකාරයක්. ඒත්, ඒ සංකල්පය විකාරයක් නොවෙන්නෙ කලාව කියන තැනදි විතරයි කියල මට හිතෙනවා

හැමවිදියකම පරිපූර්ණත්වය ගැන තියෙන සංකල්ප, යෝජනා වලට වෛර කරන මම ගීතයක තියෙන පරිපූර්ණත්වයට ආදරෙයි.. මට ඉවසන්න පුළුවන් ඒ පරිපූර්ණත්වය විතරයි

ඒ හඬවල් වලට.. ඒ සංගීතයට තියෙනවා මනුස්ස හදවතක් වෙනම ලෝකයකට ගෙනියන්න හැකියාවක්..

ප්ලේන්ටිය.. සිගරට් එක.. අමරදේවගේ කටහඬ.. කේමදාසගේ සංගීතය.. හැන්දෑව.. තනිකම..

"කවුද කියන්නෙ දිව්‍යලෝකයෙ යන්න මැරෙන්නම ඕන කියල?" මම මටම කියාගන්නව

නිවී හැනහිල්ලේ තනියෙම, තමාට අනුව පරිපූර්ණ ගීයක් අහද්දි දැනෙන හැඟීම.. වචනයෙන් විස්තර කරන්න බෑ..

"ජීවිතයේ තනිමංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙළන හදවත සනහා
අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යළි වඩින්න
ආ...රා..ධ..නා
ආ...රා..ධ..නා"

ඔව්

ඒ හැඟීම....

චචනයෙන් විස්තර කරන්න බෑ

Thursday, March 31, 2016

උස් තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ

මම ඉතින් එදා ඉඳලම හැමෝමම එක්ක විහිලුවෙන් තහළුවෙන්, උදව් පදව් කරගෙන, අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව ඉන්න නිසා හැමෝම වගේ මට කැමතියි (සභාවේ සිනා). වැඩ කරන තැන වුනත් කොහෙදි වුනත් තැන හැමෝ එක්කම පුළුවන් තරම් සුහදව තමා ඉන්නෙ (සභාවේ තදින් සිනා).
හැබැයි අතේ දුරින් !
කෝමෙන් කෝම හරි මම ඔහොම වැඩ කරගෙන ඉද්දි ආවා අලුත් ලොකු බොසෙක් (මගේ බොසාගේ බොස්). බොසෙක් කිව්වට බොසෙක්ම නෙමේ බොසියක්.
ගෑණු අය එක්ක වැඩ කරන එක අමාරුයි කියල මගේ තියෙන පොලිටිකලි ඉන්කරෙක්ට් අදහස නිසා බොසිය එක්ක ටිකක් පරිස්සමින් වැඩ කරන්න හිතා ගත්තේ හිතලම නෙමේ, ඉබේමයි. (පොලිටිකලි ඉන්කරෙක්ට් කතාවක් තමා, ඒත් ඒක මගේ අත්දැකීම.. එනිසා ඒක එහෙමය කියලා හිතාගෙන වැඩකරන එක ඇඟට ගුණයි මට..)
කෝමෙන් කෝම හරි මාසයක් දෙකක් ගත වුනා.
මෙහෙම වැඩ කරගෙන කරගෙන ඉද්දි මෙන්න යකෝ එකදවසක් එකපාරම අලුත් බොසිය ඇවිත් මගෙ ඇඟට ගොඩවුනේ නැතෑ හෙණ ගහන්නා වගේ !
නෑ නෑ.. ඇඟට ගොඩ වුනා කිව්වට, එහෙම ගොඩවිල්ලක් නෙමේ.. මෙතන ඇඟට ගොඩ වුනා කිව්වේ බැණගෙන බැණගෙන බැණගෙන යන එකට
කොච්චර පොර ටෝක් දුන්නත් ඔක්කොම පොර ටෝක් වලට කෙළවෙලා කුඩු කේඩු වෙලා නන්නත්තාර වෙලා පොරත්වයේ හුලං යන්නේ වැඩ කරන තැන බොසා (බොසිය) ඉස්සරහ කියලා කතාවක් තියෙනවනෙ.. ඉතින් ඒ කතාව හොඳට දන්න මිසා මමත් ගාණක් නැතුව කියන දේ අහන් හිටියා දහයට ගනින්න දන්නෙ නැති පූස් පැටියා වගේ
නොකල වැරැද්දකට වුනත් බොසා (බොසී) බනිද්දි නිශ්ශබ්දව අහන් ඉන්න එකයි හොඳම ! (කතා කරන්න ගියොත් තවත් මලපනිනව. බැලන්ස් කරගන්න පුළුවන් නම් පස්සේ කරගන්න බැරියැ.)
බැණුම අස්සේ බොසිය රෙකෝර්ඩින් එක වගේ කියපු එක තමා
"මෙයා මට රෙස්පෙක්ට් කරන්නේ නෑ, මෙයා මට රෙස්පෙක්ට් කරන්නේ නෑ" කියන එක. (බැන්නා කිව්වට එතන වුනේ මගේ නරක ගතිය ගැන මගේ බොස්ට කීමක්)
අනේ ඉතින් පශ්චාත්භාගය ඉරාගෙන මම වැඩ කරන හැටි දන්න මගේ බොසා කිව්වේ "පරිස්සමින් වැඩ කරගෙන පලයන් මචන්" කියල.
ඔව්, ඌ මට මචන් කියල කියන්නේ. ඌ එල කොල්ලෙක් !
අනික, මම වැරැද්දක් කරල නැත්නම්, මගෙ වැඩ හොඳයි නම්.. පරිස්සම් වෙයන් කියනව ඇරෙන්න වෙන මොනව කියන්නද?
පස්සේ පස්සේ ආරංචි වුනා අලුත් බොසිය දෙතුන් දෙනෙක් ගෙන් අහල තියෙනවලු මම කොහොම කෙනෙක්ද කියල. මගේ වැඩ ගැන නෙමේ, "මම" ගැන. මගේ ඇටිටියුඩ් ද කියලා ඇහැව්වලු, දෙතුන් දෙනෙක්ගෙන්ම
මම එයාට රෙස්පෙක්ට් කරන්නේ නෑ... මගේ ඇටිටියුඩ්..
පැය ගාණක බර කල්පනාවක් කරලා මමතුමා තේරුම් ගත්තා මගේ අවුල. මමතුමා (නිකරුනේ) බැණුම් අහපු හේතුව.
හේතුව තමා මම වෙන උන් වගේ බොසිය එක්ක කතා කරද්දි දෙකට නැමෙන්නේ නැති එක. බයෙන් කතා කරන්නේ නැති එක. ගොත ගහන්නේ නැති එක.. කෙළින් කතාකරන එක..
ඉතින් ඒක වැරැද්දක් නේන්නම් !
බොසා ඉදිරියේ දෙකට නැමෙන එක අනිවාර්‍යක් නොවැ..
එදා ඉඳල මම බොසිය ගෙන් ඈත් වෙලා ෆුල් ඩිෆෙන්සිව් ගගහා ජාමේ බේරගෙන හිටියා පුළු පුළුවන් විදියට.
ඉතින් මේම මේම කාලය ගත වෙද්දි අපේ ඔෆීසියට ආවා අලුත් කොල්ලෙක්. මගෙම රෑන්ක් එකට. මූ කැනඩාවේ අවුරුදු ගාණක් ඉඳලා ආපු බුවෙක්. සිංහලත් බෑ බෑ වගේ (බෑ කියන්නේ ඇත්තටම බෑ.. බොරු බැරි බැරියාව නෙමේ).. කඩ්ඩේ ඇක්සොන්ට් එක සුද්දෙක්ම වගේ. කතා කරද්දි අහන්න ආසයි.
ඉතින් ඔෆීසියේ පොර මූ. හැමෝම මූට ආසයි මට වගේම (සභාවේ සිනා)
මමයි මූයි පළවෙනි දවසෙම සෙට් වුනා.. මොකද මූත් මම වගේම සිගරට් එකක් නිමෙද්දි තව එකක් පත්තු කරන ජාතියේ එකෙක් නිසා. මූ ආව දවසේ ඉඳලා හිස් වෙලා තිබ්බ සිගරට් පාට්නර් වේකන්සිය පිරුනේ මූ නිසා.
දැන් අර මට සද්දයක් දාපු බොසිය ඉන්නෙ. බොසියත් මූ එක්ක ෆිට්. ෆිට් කියන්නේ නිකම්ම නිකන් නෙමේ, බුදු ෆිට් !
නමුත් මූ බොසිය එක්ක කතා කරන්නේ මා එක්ක කතා කරන විදියටමයි. මා එක්ක කතා කරද්දියි, බොසිය එක්ක කතා කරද්දියි මුගේ භාෂාවෙවත් ඇක්සන්ට් එකේවත් බොඩි ලැන්ග්වේජ් එකේවත් කිසිම වෙනසක් නෑ.
බොසියටත් කිසිම ගාණක් නෑ වගේ. ඔව් ඔව් හත්තිලව්වේ අර මට බැණපු බොසියම තමා..
කියන්න අමතක වුනා, අපේ බොසිය එයා යටතේ ඉන්න අයට කොච්චර පාර්ට් එක දැම්මත් එයාට උඩින් ඉන්න ලොකුම ලොක්කෝ ආවාම දෙන දිවිල්ල බලන්න ලැජ්ජයි. අම්මපා !
මගේ බොසී ලොකු බොසාලට නැවෙන නිසා එයා හිතන් ඇති මමත් එයාට නැවෙයි කියලා.
හහ් මං අහුවෙයි ඕවට !

Monday, March 28, 2016

අහසේ දෙවියෝ නෑ.. මාළු පාං වල මාළු නෑ.. ටීවී එකේ බලන්න ටෙලිනාට්‍යය නෑ

බටහිර ටෙලි නාට්‍යය..
Breaking Bad,
Game of Thrones,

House of Cards,
කොච්චර හොඳ වුනත් අපෙන් සෑහෙන ඈතයි..
අපේ සිරි ලාංකික බොක්කට වදින්නේ නෑ
ඉංග්රීසි කතා හැමදාම බලල බලල එපා වෙලා. ආසාවට නෑනෙ බලන්න ලංකාවෙ හදපු ටෙලිනාට්‍යක්
එදිනෙදා දකින හමුවන ජීවිත දැනන විදියට හදාගන්න බැරි දැන් ඉන්න නිරාමාණකරුවන් ගැන දැනෙන්නේ කේන්තියකටත් වඩා දුකක්
ඒ වුනාට ඉන්ටර්විව් වලට ආවම නම් ඩිරෙක්ටර්ලා දෙන ටෝක්ස් තේරුම් ගන්න කලාව ගැන උපාධියක් තියෙන්න ඕනෑය කියල හිතෙනව..
වැඩ අරෙහෙම වුනාට කතාව ඒ තරම්ම බරපතලයි
අහසේ දෙවියෝ නෑ.. මාළු පාං වල මාළු නෑ.. ටීවී එකේ බලන්න ටෙලිනාට්‍යය නෑ..
ඒකට ඒකාලේ..!
ගියා යූ ටියුබ්; කෝකටත් තෛලය, කෝකටත් විසඳුම ඕකනෙ
"අසල් වැසියෝ"
බැලුවා එක දිගට.. හිනා වුනා හොඳට
දැනුනා බොක්කටම
ඊළඟට මොකක්ද..?
තුන් හතර පාරක්ම බැලුව නිසා දඬුබස්නාමානය ඕන නෑ
"අකාල සන්ධ්‍යයා"
බල තණ්හාවෙන් පිරුනු අතීතයකින් පැනලා යන්න පොර බදින නාගසිංහ ගේ කතාව?
ටීවී චැනල් දහයක් පහළවක් තියාගෙන නාට්‍යය බලන්න යූ ටියුබ් එන්න වෙලා
ඔන්න ඕකයි තත්වෙ..

Wednesday, March 9, 2016

ගෑණි උයපු කෑම. අම්මා උයපු කෑම

කරුමෙකටද කොහෙද හම්බුන යාලුවෙක් ඉන්නවා. මූ යාලුවෙක් කිව්වට උගෙයි මගෙයි අතර තියෙන්නේ 'ඉට්ස් කම්ප්ලිකේටඩ්' මට්ටමේ යාලුකමක්.
මම ඌව ඇත්තට හම්බෙලා නෑ. දැකලා නැහැ. පෙනුම මොන වගේද කියලා දන්නේ නෑ. කොටින්ම උගේ නමවත් දන්නෙ නෑ.
මේක විසි එක්වන සියවසේ යාලුකමක්. අන්තර්ජාතික...නෙමේ.. අන්තර්ජාල යාලුකමක්.
කවදාවත් හම්බෙලා නැති, කවදාවත් හම්බවෙන්නෙත් නැති ඌ මගේ බොක්කක්. නිකම්ම නිකන් බොක්කක් නෙමෙයි බුදුම බුදු බොක්කක්.
හැමදාම උගෙයි මගෙයි කතාවල් (හෙවත් චැට්) ඉවර වෙන විදියේ පොඩි අවුලක් තිබ්බා. අවුල ඌට නෙමෙයි, මට.
අවුල තේරෙයි ඒ ඉවර වෙන විදිය කියෙව්වොත්,
මම - අඩෝ, මම කැපෙනවා එහෙනම්.
ඌ - එල මචෝ. පස්සෙ වෙලාවක චැටකට සෙට් වෙමු.
මම- අම්බානට බඩිගිනියි බන්, කෑවෙත් නෑ තාම. මම ගියා ඒනම්
ඌ - පල පල.. ගිහින් කාපන්.. ගෑණි උයපු කෑම
මම - ගෑණි නෙමේ යකෝ.. අම්මා.. අද මහ ගෙදර ඉන්නෙ
ඌ - කවුරු වුනත් එකයි යකෝ. කොච්චර පොර ටෝක් දුන්නත් කන්නේ ගෑණු උයන කෑම. ඇයි උඹට උඹ කන ඒවා උයාගන්න බැයිද?
මම - පල *ත්තෝ යන්න. මම කැපුනා. බඩිගිනියි
ඌ - එල. පස්සෙ සෙට් වෙමු.
ඔන්න ඔය වගේ දෙබසකිනුයි කතාබහ අහවර වෙන්නේ හැමදාම වගේ.
"ගෑණි උයපු කෑම. අම්මා උයපු කෑම"
අවාසනාවට ඌ කියන්නේ ඇත්ත කතාවක්. ඇයි මට මම කන කෑම උයාගෙන කන්න බැරි? අඩුම ගානේ නෝනා මහත්තයා එක්ක කෑම උයන වැඩේ බෙදාගෙනවත් කරන්න බැරි?
මොකද ගෙදර ජීවත් වෙන්නේ අපි දෙන්නම.. අනිත් වැඩ කරන්නේත් අපි දෙන්නම.. ඇයි උයන එක විතරක් දෙන්නගෙන් එක්කෙනෙක් කරන්නේ?
අර මූසලයා මගේ ඔලුවට දාපු කතාව දැන් මාස ගානක් තිස්සේ ඔලුවේ වැඩ..
කෝමෙන් කෝම හරි අද ආවා වයිපරේ වැඩ ඇරිලා ගෙදර.. කිසි දවසක තේකක්වත් හදලා නැති, හදන්න දන්නේත් නැති මම තීරණය කලා වයිපරෙත් එක්ක උයන්න, එකට.. දෙන්නම එකතු වෙලා..
පැයක් විතර ගියා. දෙන්නට කන්න ජාති හතරයි බතුයි.
අද අර මගේ කාලකණ්ණි (හො‍ඳම) යාලුවට පිං සිද්ධ වෙන්න තිබ්බා උයන්න පුරුදු වෙන එකේ පළවෙනි පියවර.
මටත් උයලා ඉවර වුනයින් පස්සේ දැනුනේ මාර සතුටක්.
අර ඇමරිකල් පිල්ම් වල පෙන්නන්නේ ජීවිතේ පලවෙනි පාරට ස්කයි ඩයිවින් කරලා පොළවට ලෑන්ඩ් කරපුවාම ඒ මිනිස්සු සතුටින් ඉපිළෙන හැටි..
අන්න ඒ වගේ සතුටක්.. ජීවිතේ පළවෙනි පාරට.. ගෙදරම තිබ්බ කුස්සියට ගිහින්.. මගේ ප්‍රියම්භිකාවියට උයන්න උදව් කල සතුට..
සතුට හොය හොය හතර අතේ දිව්වට ගෙදර කුස්සියෙත් තිබිලනේ යකෝ සතුට .
මෙච්චර කල් මම නොදැක්කට..
ඔව් ඉතින් දකින්න කුස්සිය පැත්ත පලාතෙ යන්න එපායැ.
මේ වගේ යාලුවෝ ආශ්‍රය කලාම වෙන්නේ මේ වගේ අනපේක්ෂිත දේවල් තමා. මේවා අපිට හොඳ පාඩම් !
ප/ලි - කුස්සියට ගොස් ප්‍රියම්භිකාවියට උයන්න උදව් වීම සහ ඊයේට යෙදුනු ලෝක කාන්තාදිනයද මොකක්ද අහවල් එක අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව සලකනු මැනවි.

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...