Tuesday, May 10, 2016

ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න



“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න”

මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැලකෙන සංකේතාත්මක ප්‍රකාශයකි.

නොයෙක් පුද්ගලයින් වෙනස් ආකාරයෙන් අර්ථ දැක්වුවද, මගේ අදහස අනුව මින් කියවෙන්නේ විමුක්තිය සොයා යන ගමනේ අතර මඟ බුදුන් නැමති ප්‍රතිරූපය ඔබට හමුවුනොත්, තමාගේ ගමනට බාධාවක් කර නොගෙන එයද අත හැර දැමිය යුතු බවය.

“If You Meet the Buddha on the Road, Kill Him.”

ඇලීමේ ආනිසංස දේශනා කල බුදුන් වහන්සේගේ අනුගාමිකයෝ තම එදිනෙදා ජීවිතයේ ලෞකික සැපසම්පත් වලට අමතරව ‘බුද්ධ’ යන සංකල්පය සමඟද තදින්ම ඇලී සිටිති. බුදුන්වහන්සේ යන සංකල්පය ඔවුන් යොදා ගන්නේ ඇලීමෙන් මිදීමට මාර්ගයක් ලෙස නොව, ආශාවෙන් මත්වී මෝහයෙන් අන්ධ වී තව තවත් ඇලීමට හේතුවක් ලෙසය.

බුදුන්වහන්සේගේ අනුගාමිකයන්ය කියා ගන්නා සමහර පිරිස්, සිංහලබුද්ධාගම නැමති ආගම සමඟ ඇලීම කෙතරම්ද යත්, එය ආගමික වියරුවක් දක්වා වර්ධනය වී ඇත. ඔවුන්ගේ සහ දේවවාදී අනුගාමිකයන්ගෙ හැසිරීම්, ආකල්ප වල වෙනසක් සොයා ගැනීමට නොහැකි තත්වයකට පත්ව ඇත.

බුදුදහමෙන් තම හැසිරීම් සහ ආකල්ප සාධාරණීයකරනය කල නොහැකි තරමටම බුදුන්ගේ දර්ශනයෙන් ඈත් වී ඇති ඔවුන්, ඒ සඳහා වෙනත් ආගමික ඉගැන්වීම් වල සරණ පතා දුවති. වෙනත් ආගම් වල අන්තවාදී පිරිස් වල හැසිරීම් උපුටා දක්වති.

වෙනත් ආගමික අන්තවාදීන්ට සහ ආගමික ඉගැන්වීම් වලට ඇඟිල්ල දිගු කරමින් තමාගේ අබෞද්ධ හැසිරීම් සාධාරණීයකරනය කරති.

තමන් වහන්සේ දෙසූ දහම පවා අත්හළ යුතු බව බුදුරදුන් ඉගැන්වූවා යයි මා අසා තිබේ. තමන් වහන්සේ දෙසූ ධර්මය සසරින් එතරවීම පිණිස පහුරක් මෙන් යොදා ගැනීම මිස, කර තබා ගෙන යෑම නො කළ යුතු බව බුදුරදුන්ගේ ඉගැන්වීම බව සඳහන්ය.

“ධර්මය කියන්නේ පහුරක් පමණය. ගඟින් එගොඩ ගිය පසු පහුර බිම තැබිය යුතුය”

නමුත් තමා බුදුන් සරණ ගිය උන්ය කියා ගන්නා බෞද්ධ අනුගාමිකයන් අද කරන්නේ මීට හාත්පස වෙනස් දෙයකි.

ඔවුහු ගඟින් එගොඩ වීම පසෙක ලා, එහා ඉවුර සහ ඟග දෙස බලමින් මෙහා ඉවුරේම සිට පහුර කර තබාගෙන පහුරේ ගුණ වයති. පහුරට මල්මාලා දමමින් සුවඳ දුම් අල්ලමින් පහුරටම වන්දනාමාන කරති.

පහුර යොදාගෙන ගඟින් එගොඩ වීමට උත්සාහ කිරීම වෙනුවට, ගඟින් එගොඩ වීමට ඇති පහුර’ම මෙහා ඉවුරේ සිරවී සිටීමට තවත් හේතුවක් කරගෙනය.

ගෞතම බුදුන් නම් විශිෂ්ඨ දර්ශනවාදියාගේ ඉගැන්වීම් ආගමික රාමුවකට කොටු කිරීමේ ප්‍රතිපලය මෙයයි.

ඉන් සිදු වී ඇත්තේ ඔහුගේ ඉගැන්වීම් වල හරය සහ ගැඹුර ග්‍රහනය කර ගැනීමට තියෙන හැකියාව මොට වී ඔහුගේ ඉගැන්වීම් වල සැබෑ අරුත මඟ හැරීයාමය.

අවසානයේ සිදුව ඇත්තේ ගෞතම බුදුන් නම් ඒ විශිෂ්ඨ දර්ශනවාදියාව මල්මාලා වලින් සරසා හඳුන්කූරු සුවඳ දුම් පිරි කාමරයක සිර කොට, පුද පූජා පැවැත්වීමට තිබෙන තවත් ආගමික සංකේතයක් බවට පත් වී තිබීමය.

වර්තමාන ලෝකයට බුදුදහම මඟින් උකහා ගත යුතු යමක් වේද එය තේරුම් ගත හැක්කේ ආගමික ඇදහිල්ලෙන් නැඟෙන අන්ධ භක්තියෙන් නොව ගෞතම බුදුන්වහන්සේගේ දර්ශනය විමර්ෂණාත්මක බුද්ධියෙන් විමසීමෙන්ය.

සුවඳ දුම් පිරි බුදුකුටියකට සිරකරනු ලැබුව වැඳුම් පිදුම් කිරීමට ඇති ආගමික සංකේතයක් බවට පත් වී සිටින ගෞතම බුදුන්ව ඉන් නිදහස් කොට ඔහුගේ මුවින් නික්මුන ඉගැන්වීම් ඔස්සේ අප බුද්ධිය මෙහෙයවීම වැදගත් වන්නේ එබැවිනි.


ප/ලි - 2016 ජනවාරි 25 දින ලියූ පැරණි සටහනකි

Monday, May 9, 2016

මෛත්‍රී, අපි ආයෙත් ඉවසන්නද ..?


නිකමට වගේ හිතට වැදුන පරණ සිංදුවක් අහන්න හිතුනා

කාටද මතක මේ සින්දුව?

"ආයේ ආයේ නොම ඉවසන් !"

අදුරෙන් එලියට
සිය දිනකින් අලුත් රටක් !

මෛත්‍රී,

මතකද උඹ මිනිස්සුන්ට පෙන්නුවා

දූෂණයෙන් තොර, මර්ධනයෙන් තොර, පවුල් පාලනයට තිත තියපු, කුඩුකාරයෝ වංචාකාරයෝ පාලකයෝ නොවන, මිනිස්සුන්ගෙන් ගසාකන උන්ට එරෙහිව නීතිය අකුරට ක්‍රියාත්මක වෙන, ප්‍රජාතන්ත්‍රවාදයෙන් පිරුණු

අලුත්ම රටක් ගැන හීනයක්...!?

ඒ ජෝක් එක නම් පට්ට ඕයි.

අම්මපා..!

අමර බන්දු රූපසිංහ
අමරබන්දු...රූපසිංහ
අමර බන්දු රූප....සිංහ
අමරබන්දුරූපසිංහ

මෛත්‍රී, අපි ආයෙත් ඉවසන්නද ..?

Friday, May 6, 2016

කල කම් පල දීම

"එදා සරත් ෆොන්සේකාව බිම ඇදගෙන ගිය මේජර් සුමිත් තමන්ගේම ගෙදර තමන්ගේම බාල්කයක් ඔලුවට කඩන් වැටිලා රෝහලේ. කලකම් පල දෙනවා කියන්නෙ මේවාට තමයි"

ඔය බුකියෙ ශෙයාර් වුන පෝස්ටුවක්.

ඒ කියන්නෙ බාල්කය කඩන් වැටුනෙ සරත් ෆොන්සේකාව අත්අඩංගුවට ගත්ත නිසාද? බැරි වෙලාවත් ෆොන්සේකාව අත්අඩංගුවට ගත්තෙ නැත්තන් බාල්කෙ කඩන් වැටෙන්නෙ නැද්ද? එහෙම නැත්තන් එදා මේ මේජර් කෙනෙක් වෙනුවට වෙන මේජර් කෙනෙක් ෆොන්සේකාව අත්අඩංගුවට ගත්තා නම් බාල්කෙ වැටෙන්නෙ ඒ මේජර්ගෙ ඔලුවටද? ඔය සිද්ධි දෙකේ සම්බන්ධයක් ඇත්තටම තියෙනවද?

පැටලිලි ගොඩයි.

මේක පැහැදිළිවම ඉතාම පහත් දේශපාලන ඇරියස් කවර් කරගන්න හදපු පෝස්ට් එකක් වුනාට මේකට පදනම් වෙච්චි චින්තනය අපේ සමාජයට අලුත් දෙයක් නෙමේ.

"ඇස් පනාපිට කලකම් පලදීමේ" තියරිය.. අර දිට්ඨදම්මවේදනීය කර්මයද මොකක්ද කියන්නෙ.. අන්න ඒක..

ආගමිකව ගත්තාම ඔය තියරියෙ හරි වැරැද්ද මොක වුනත් ඔහොම අදහසක් අපේ සමාජයේ මුල් බැසගෙන තියෙන බව රහසක් නෙමේ.

කෙනෙක්ට ස්වභාවික විපතක්, අවාසනාවන්ත සිද්ධියක්, අභාග්‍යයක්, කරදරයක් වුනාම.. ඒ කෙනාගේ ජීවිතය හරි ජීවිතයේ යම් ක්‍රියාවකට හරි ඒ සිද්ධිය සම්බන්ධ කරල සතුටු වෙන එක... එහෙම නැත්නම් "මේක උනේ අරක නිසාය","මෙහෙම වුනේ එදා අරෙහෙම කල නිසාය" කියල හිතන එක...

එතනින් කියවෙන්නෙ යම් අවාසනාවන්ත තත්වයකට මුහුණ දෙන්න ඒ අය සුදුසුය කියන හැඟීමක්. යම් කෙනෙක්ට යම් අභාග්‍යයක් වුනාම ඒ දෙය සිද්ධ වුන එක සාධාරණය වගේ සිතිවිල්ලක්.

සමහර අවස්ථා වලදි කුඩා දරුවන්ට පවා කරදර වුනාම දෙමාපියන්ගෙ වැරදි වලට ඒක සම්බන්ධ කරනවා දැකලා ඇති

"ඕකුන්ට ඔහොම වුනේ මහ උන්ගෙ වැරදි නිසා","දෙමව්පියන්ගෙ කරුම ළමයින්ට කරගහන්න වෙලා"

මොන පදනමකින් ආවත් ඒ සිතිවිල්ල හරිම අමානුෂිකයි.

මේ කතාවෙ තවත් පැත්තක් තියෙනව

වසර 2012 දී ඉන්දියාවේ දිල්ලි නගරයේ සිද්ධ වුන ජ්‍යෝති සිං ගේ සමූහ දූෂණය ගමු. එතනදි සිද්ධ වුනේ බස් රථයක් තුල ගමන් කල යුවලක තරුණයාට පහර දීලා මිනිසුන් හය දෙනෙක් විසින් තරුණියව සමූහ දූෂණයට ලක් කරල ඇයව මරල දාපු එක.

මේ වගේ සිද්ධි වලදි තරුණිය ගැන ඇති වෙන කණගාටුව නිසා ඇහෙන්න පුළුවන් කතා පොඩ්ඩක් හිතන්න

"ඕකුන්ට හෙණ ගහන්න ඕන.. ආත්ම ගාණක් ඔය කල විදියටම ඔය තිරිසන්නු දූෂණය වෙලා මැරෙන්න ඕන"

ඔතනදි එන්නෙත් අර කලින් අදහසෙම අනිත් එක. කරපු වැරැද්දකට අනාගතයෙ දඬුවම් ලැබිය යුතුය කියන එක.

ඒත් ඒ චින්තනයට අනුවම අනිත් පැත්තට හිතල බැලුවොත්, දූෂණය වෙච්චි තරුණිය දූෂණය වුනේ මීට පෙර ආත්මයක/භවයකදි ඇය විසින්ම සිද්ද කරල තියෙන මේ වගේම මහා දරුණු අපරාධයක ප්‍රතිපලයක් විදියට වෙන්න ඕන. ඒකත් කලකම් පලදීමක් වෙන්න ඕන. මේ අයගෙ චින්තනයට අනුව ගත්තොත් "මෙහෙම වුනේ එදා වෙන කෙනෙක්ට අරෙහෙම කල නිසාය" කියල සතුටු වෙන්නයි වෙන්නෙ හරියටම බැලුවොත්.

ඒකයි ඔය චින්තනයේ අවුල.

මනුස්සයෙක්ට දුකක්, කරදරයක්, අකරතැබ්බයක් වුනාම ඒක ඒ මනුස්සයාගේ වැරදි කියල තමන් හිතන් ඉන්න දේවල් වලට සම්බන්ධ කරල සතුටු වෙන එක ඇතුලේ හැංගිලා තියෙන අමානුෂික ඇත්ත ඕකයි.

මීට පස්සෙ ආගමික පදනමකින් ආවත්.. ඔය වගේ සිතිවිලි ඔලුවට එද්දි දෙපාරක් ආයෙමත් හිතන්න.

මොකද ඔය විදියට හිතන්න ගියොත් මේ ලෝකේ දුක් විඳින හැම කෙනෙක්ම, දුක් විඳින හැම අවස්ථාවක් ගැනම මනුස්සයො විදියට අපට කණගාටුවෙන්න..දුක් වෙන්න.. ඉඩක් ඉතිරි වෙන එකක් නැති වෙයි

Thursday, May 5, 2016

ඔයා මට ඇත්තටම ආදරෙයිද?


“ඔයා මට ඇත්තටම ආදරෙයිද?”

ඇය මගෙන් අහනවා. ඇය බලාපොරොත්තු වෙන පිළිතුර මම දන්න නිසා ඒ පිළිතුරෙන් මම ඇයව සනසනවා

“ඔව්, මම ඔයාට ඇත්තටම ආදරෙයි”

ඇය මඳ සිනහවක් නඟමින් මට තුරුළු වෙනවා.

මම ඇයට ආදරෙයි. ඇය ගැන මගේ හිතේ තියෙන හැඟීමට ආදරය කියල කියන්න මම කැමතියි.

ඒත්, මොකක්ද මේ ඇත්තම ආදරය?

පොහොසත් පවුලක තරුණියක් තමාගේ විවාහක සැමියා ඉඳිද්දි අහම්බෙන් හමුවෙන දුප්පත් කොල්ලෙක් එක්ක ආදරයෙන් වෙළෙනවා. ඇයගේ පොහොසත් සැමියා නොදුටු ඇයගේ ජීවිතයේ තිබුන ලොකු හිඩසක් ඒ දුප්පත් තරුණයා පුරවනවා. ඇය තමාගේ නීත්‍යානුකූල සැමියාට පිටුපාලා ඇයගේ ජීවිතය, ආත්මය ඔහුට පූජා කරනවා.

ඒ තරුණියගේ කතාව,

දුප්පත් තරුණයෙක්ට හමුවෙනවා තරුණියක්ව. ඔහු දැනගන්නවා ඇය සිත් තැවුලෙන් ඉන්න බව. ඒ සිත්තැවුලට ඔහු මොහොතකදී සුවයක් ලබාදෙනවා. තාවකාලිකව වුනත්, අවංකවම. පසුව ඔහු දැනගන්නවා ඇය විවාහපත් බිරිඳක් බව. ඇයට ආදර බර සැමියෙක් සිටිනා බව. සහ, ඇයගේ සැමියා තරුණ ධනවතෙක් බව. ඒත් ඔහු ඒක ඇය ගැන ඔහු තුළ ඇතිවන ආදරයට බාධාවක් කරගන්නේ නෑ. ඔහු මොහොතින් මොහොත ඇයත් සමඟ ආදරයෙන් වෙළෙනවා.

ඒ තරුණයාගේ කතාව.

ඒ තරුණයා සහ තරුණිය අතර ඇතිවෙන මානුෂීය බැඳීම ඇත්තම ආදරයද? අපේ ඔලුවේ නිර්මාණය වෙලා තියෙන සැබෑ ආදරය කියන ආකෘතියට ඔවුන්ගේ සබඳතාවය පෑහෙයි ද?

බොහෝ වෙලාවට ඔය වගේ ජීවිත වලට අපි අලවන්නේ ‘සැබෑ පෙම්වතුන්’ වගේ ලේබලයක් නෙමේ. ඒ වෙනුවට ‘වනචරකම’, ‘සල්ලි වලට තියෙන කෑදරකම’ වගේ ලේබලයක් අලවයි. නැත්නම් ‘වේසියෙක්’, ‘සල්ලාලයෙක්’, ‘අවස්ථාවාදියෙක්’ වගේ ලේබල වලින් අපි ඔවුන්ට දමල ගහයි.

මොකද, අපි හැම කෙනාගෙම ඔලු අස්සේ තියෙනව කවුරු හරි විසින් මවලා දීලා අපේ ඔලුවල තැන්පත් කරපු සැබෑ ආදරය කියල සංකල්පයක්.

අපි කරන්නේ අපේ ඔලුවේ තියෙන මේ සැබෑ ආදරය කියන ආකෘතිය හැම තැනම හොයන එක. අපි එකිනෙකා අත්දකින ආදරය, ජීවිතයේදී අපි අනික් මිනිස්සුන් තුළින් දකින ආදරය, මේ සැබෑ ආදරය කියන සංකල්පයත් එක්ක සසඳලා බලන එක.

ඒ අනුවයි ඒ තරුණයාගේ සහ තරුණියගේ ආදරයට කවදාවත් අපි සැබෑ ආදරය කියන්නේ නැත්තේ. මොකද ඔවුන්ගේ ආදරය, අපි දකින ආදරයේ ආකෘතියට වඩා සෑහෙන දුරස් නිසා.

ඒත්, අපි මහපොළවෙදි ප්‍රතික්ෂේප කරන ඒ මානුෂීය සම්බන්ධය අපි සිනමාවේදී ආදරයෙන් වැළඳගත්තා.

ඔය කිව්ව තරුණයා සහ තරුණිය සිනමාවේදී අපට හමුවුන දෙදෙනෙක්. එතනදි ලෝකයම ඔවුන්ගේ ආදරය දෑත් දිගුකරල පිළිගත්තා. ඔවුන් වෙනුවෙන් කඳුළු සැලුවා.

සිනමා තිරයේදී අපට හමුවුන ඒ තරුණයාගේ නම ජැක්.. තරුණියගේ නම රෝස්..



සිනමා තිරයක දිග හැරුන ඔවුන්ගේ ආදරයට බොහෝ දෙනා ආදරය කලත් මහ පොළවේදී ඒ ආදරය “සැබෑ ආදරය” කියලා අපි හිතන් ඉන්න සංකල්පය ළඟින්වත් තියයිද? අපි ආදරය කියන මිනිස් හැඟීමම කොච්චර සීමා දාලා, කොන්දේසි දාලා හිර කරලද?

අපි කිසිම වෙලාවක, ආදරයෙන් සැනසෙන්න..තෘප්තිමත් වෙන්න කැමති නෑ. අපිට ආදරය මදි.

ඒ හින්දා අපි ආදරයට කොන්දේසි දාලා, සීමා මායිම් දාලා, කපලා, කොටලා, මොඩිෆයි කරලා හදනවා ආකෘතියක්. අපි ඒකට අලවනවා ලේබලයක්,

සැබෑ ආදරය !

ආදරය ඉස්සරහින් “සැබෑ” කියල වචනයක් අපි තියන්නේ ඇයි?

ආදරයට නිකම්ම නිකන් ආදරය වෙන්න බැයිද?

හැම දේකම කොලිටියක් හොයන අපි ආදරයෙත් කොලිටියක් හොයනවා

ආදරය කියන හැඟීමට අපි කැමති අකමැති විදියට අර්ථ දැක්වීම් දීලා ඒ හැඟීම සින්නක්කරව ලියා ගන්න හදනවා. ඒක අයිතිකරගන්න හදනවා. ඒකේ හිමි, අහිමිකරුවන් තීරණය කරන්න හදනවා

“මල්සරා හී විදින්නේ ප්‍රේමවන්තයන්ට විතරලු
වනචරයන්ට විදින්නේ නෑලු”

ඔය කොහේදිද මංදා කණට වැටුන කථාවක්,

ඒ කතාවට අනුව ප්‍රේමවන්තයන්ට වනචරයන් වෙන්න බෑ, වනචරයන්ට ප්‍රේමවන්තයින් වෙන්න බෑ. වනචරයෙක් වුනොත් ඔහු ප්‍රේමවන්තයෙක් නෙමේ. ඒකයි අපි ප්‍රේමවන්තයාට, හදලා දීලා තියෙන රාමුව.

සමහරු සැබෑ ආදරය කියන සංකල්පය කොච්ච්ර ඔවුන්ගෙන්ම ඈත් කරගන්නවද කියනව නම්, ඒ තුල ඔවුන් රාගයටත් ඉඩක් දෙන්නේ නෑ.

රාගය විතරක් නෙමේ, වෛරය, ඉරිසියාව, කෝපය, සෙනෙහස, ආත්මාර්ථය.. මේ ඔක්කෝම හැඟීම් වල එකතුවක් වෙච්චි ආදරය පරම පිවිතුරු ෆැන්ටසියක් එක්ක සසඳන්න යන එකම උමතුවක් නෙමේද?

සැබෑ ආදරය කියන පරම පිවිතුරු සංකල්පය පස්සේ මිනිස්සු දුවනවා, හැම දෙයක්ම පස්සේ දුවන විදියටම. ඔවුන් බයයි තමා හොයන, දැන් තමාට ලැබෙන, තමා සැබෑ ආදරය කියලා හිතාගෙන ඉන්න ඒ ‘ආදරය’ සැබෑම ආදරය නෙමෙයිද කියල.

“ඔයා මට ඇත්තටම ආදරෙයිද?”

ඇය මගෙන් අහනවා,

“දන්නෑ. මොකද, මම දන්නෑ ඇත්තම ආදරය කියන්නේ මොකක්ද කියල”
ඒකයි මගේ උත්තරය. ඒත්,

සැබෑ ආදරය කියන සංකල්පය විසින් මට අවංකවෙන්න තියෙන අයිතිය නැති කරලා.

ඒ නිසාම සැබෑවට ආදරේද කියන ප්‍රශ්නයට මට දෙන්න තියෙන්නේ බොරු උත්තරයක්,

“ඔව්, මම ඇත්තටම ඔයාට ආදරෙයි”