Tuesday, June 28, 2016

පිරිමිකමේ අභියෝගය !

අපි නොකිය හිටියට ඔය සෝ කෝල්ඩ් "පිරිමිකම" කියන ස්ටේටස් එක රැකගෙන ඉන්න එක ගෑණුන්ට තියෙන "ගෙදර බුදුන් අම්මා" ස්ටේටස් එක රැකගෙන ඉන්නව තරම්ම අමාරු වැඩක්. ඒ තරමටම සුදුසුකම් සපුරාගෙන ඉන්න ඕන "නියම පිරිමියෙක්" කියන ලේබලය රැකගෙන ඉන්න.

හිතවතෙකුගෙ මරණගෙදරකදි ඇහෙන් වැටෙන කඳුළක් පිටකරගන්න, සංවේදී අවස්ථාවකදි ඒ හැඟීම පිටකරන්න.. විඳින්න, අනතුරක් දැනෙන අවස්ථාවකදි ඉදිරියට එන්න. ගහකට තාප්පයකට නගින්න, හදිසි වලියකදි පෙරමුණ ගන්න..

ඒ ඔක්කොටම වඩා කෙල්ලෙක් වගේ නොවෙන්න..

"මොකද බං අඬන්නෙ... කෙල්ලෙක් වගේ", "අපෝ බං ගහකටවත් නැගගන්න බැරිද? පිරිමියෙක්ද?", "මොකද බං හැංගෙන්නෙ. පිරිමියෙක් නේද?", "බීහං යකෝ.. ගෑණියෙක් වගේ කොකා කෝලා බිබී ඉන්නෙ නැතුව", "නියම පිරිමියෙක් නම් සිගරට් බොන්නෙ නෑ"

පුරුෂලිඟුවක හිමිකාර බවට කරන අහියෝගයක් තුළින් මොළයේ ක්‍රියාකාරීතවය අඩපන කරලා, ඕනම බුද්ධිමතෙක්ට කියලා ඕනම ගොං වැඩක් කරගන්න හිතන තරම්ම අමාරු වෙන එකක් නෑ.

පිරිමිකමේ මහා පවුරට එල්ල වෙන පරම අභියෝගය තමා මෙන්න මේ වචන කිහිපය..

"...පොන්නයෙක් වෙන්නෙ නැතුව !..."

ඔය වචන කිහිපයට පිරිමි මොළයකට කරන්න පුළුවන් බලපෑම සුළුපටු නෑ.

"නෑ නෑ..මම පොන්නයෙක් නෙමේ..මම පිරිමියෙක්.. මගෙ පිරිමිබව ඔප්පු කරන්න මොකක්ද මම කරන්න ඕන !"....ඕක තමා හිත ඇතුලෙන් නැඟෙන පිරිමි කම රැකගැනීමේ උවමනාවේ දෝංකාරය

ගැහැණියකට වගේම පිරිමියාටත් ඒ ජෙන්ඩර් රෝල් එක රඟපාන්න සමාජයෙන් නියම කරන එක පොදුයි. එක අතකට ඔය 'නියම පිරිමිකම' කියන ජෙන්ඩර් රෝල් එක සමාජයෙන් ඔටුන්නක් වගේ පැළැන්දෙව්වට ඒක සමාන වෙන්නෙ ඔටුන්නකට වඩා අං තට්ටුවකට..

"පැනහං බං... අනිත් උන්ට පුළුවන් නම් උඹ ඇයි වටෙන් එන්නෙ? පැනහං යකෝ.. පොන්නයෙක් වෙන්නෙ නැතුව"

මොකද කරන්නෙ?

"හරි මචං මං පොන්නයෙක්. නිකන් පැනලා අඬු කඩාගන්න මට ඕන නැහැ. මම පොන්නයෙක් වගේ වටෙන් එන්නම්"

ද?

නැත්නම් පිරිමිකම ඔප්පු කිරීමේ අභියෝගය බාර අරගෙන වටෙන් යන්නෙ නැතුව වල උඩින් පනිනවද?

මොකද කරන්නේ?

ඕකයි පිරිමිකමේ අභියෝගය.. ඕකයි තේරීම..!

ඔබේ පිරිමිකම අභියෝගයට ලක් වුනාම මොකක්ද තෝරාගන්නා තේරීම. මොහොතක් හිතල බලන්න.

Monday, June 27, 2016

කලාකරුවා නම් වූ යාචකයා



“කලාකාරයෝ කියන්නේ හරිම සංවේදී මිනිස්සු”

ඒ කලාකරුවන්ගේ මුවින් නිතරම පිටවන වදන් පෙළකි.

"අපි කලාව විකුණනෙ නෑ, මම කලාව කරන්නේ මුදලට නෙමේ, කලාව විකුණලා බඩගෝස්තරය රැකගන්න හදන මිනිස්සු නෙමේ අපි"

ඒ කලාව ගැන කතා කරද්දි ඔවුන් කියන කතාය.

බහුතරයක් කලාකරුවන් තමාව හඳුන්වාගන්න කැමති එසේය. සමාජය ඉදිරියේ තමාගේ ප්‍රතිරූපය හෙවත් තමාගේ ඉමේජ් එක හදාගන්න කැමති එසේය.

ඔවුන්ගේ කැමැත්ත තමන් සමාන්‍යයන්ගෙන් වෙනස් අමුතුම මිනිස්සුන් කණ්ඩායමක් විදියට හඳුන්වා ගැනීමටය. තමාගේ වෘතිය සමාජයේ අනිත් මිනිස්සුන්ගේ වෘතීන්ගෙන් වෙනස්, වෙනම තලයක වෘතියක් විදියට හඳුන්වා ගැනීමටය.

ඒහෙත් බොහෝ වෙලාවට ඔවුන් හදාගන්නට හදන ඔය ‘අමුතු’ ස්ටේටස් එක ඇතුළේ ඇත්තේ ව්‍යාජතවයක් මිසක යථාර්තයක් නොවේ.

කලාකරුවා කියන සංවේදී අමුතු මනුස්සයා රකින ඒ තත්වය හෙවත් ස්ටෑන්ඩර්ඩ්
එකට කෙළවෙලා යන්නේ, ඔහුත් අනිත් මිනිසුන් සේම මුදලට වැඩ කරන කෙනෙක් කියන යථාර්තය පිළිගන්න සිද්ධ වුවහොත්ය.

කලාකරුවා යනු ඔබ අප වගේම ලේ ඇට මස් නහර වලින් හැදුන, අපේම සමාජයේ ජීවත් වෙන, අපිටම තියෙන අවශ්‍යතා තියෙන, දවස ගානේ අපිම මූණ දෙන ප්‍රශ්න වලට මූණ දෙන, අපි වගේම නිකම්ම නිකන් මනුස්සයෙක් යන යථාර්තය කලාකරුවා සඟවන්නට තනන්නේ එබැවිනි.

කලාකරුවා නම් සංවේදී මිනිසා යන බෝඩ් ලෑල්ල පිටුපස සැඟව ඇති අමිහිරි යථාර්තය එයයි.

තමන්වම සහ සමාජයම රවට්ටගන්නා කලාකාරයො බොහෝමයක් දෙනා පත්වෙලා තියෙන තත්වය මොනවගේද?

ඔවුන් බොහෝමයක් දෙනා ජීවිතේ අන්තිම කාලය ගත කරන්නේ අතේ පිච්චියක් නැති හිඟන්නො බවට පත් වී තමා කල ‘සේවය’ වෙනුවෙන් සමාජයෙන් හිඟමන් යදිමිනි.

ඔවුන්ට ඒ ඉරණමට මූණ දෙන්න වන්නේ තමාගේ හැකියාවට නිසි මිලක් නියම කරගන්න හැටි නොදැන, තමාට හැකි කාලයේ උපයන මුදල් නිසි ලෙස කලමණාකරනය කරන්නෙ නැතිව නැති නාස්ති කරගත්ත නිසා මිසක, ඔවුන් මුදලට තමාගේ හැකියාවන් විකුණන එක ප්‍රතික්ෂේප කරපු උතුම් මිනිස්සු නිසා නොවේ.

මේ ප්‍රවණතාවයේ වෙනසක් දකින්න හැක, වර්තමානයේදී. අතීතයට සාපේක්ෂව.

උදාහරණයකට භාතිය සන්තුෂ් ගමු. දශකයකට වැඩි කාලයක් පුරා එකම තත්වයෙන් ඔවුන් තමාගේ ක්ෂේත්‍රයේ ස්ථාවරත්වයක් රඳවාගෙන ඉන්නේ ඔවුන්ගේ නිර්මාණාත්මක හැකියාවට වගේම ඔවුන්ගේ සාර්ථක කලමණාකරනය නිසාය. සරලවම කියනව නම් ඔවුන් හොඳ කලාකරුවන්ට අමතරව හොඳ බිස්නස්කාරයන් වීම නිසාය. (මේ කතා කරන්නේ මාර්කට් එක හරියට කියවලා වැඩ කරපු විදියේ කළු සුදු බව ගැන නොවේ, භාතිය සන්තුෂ්ව අතීත කලාකාරයන්ට සමාන කරනවත් නොවේ)

‘කලාකරුවා’ යනු තවත් එක් වෘතියක් මිසක පූජ්‍ය පක්ෂය මෙන් සමාජයෙන් නඩත්තු කල යුතු පිරිසක් නොවේ. කලාකරුවාට වගේම කලා නිර්මාණයකට පැහැදිළිවම මිලක් තිබේ. එය සැවොම දන්නා කතාවක්, ඔය යථාර්තය කොළේ වහල යටගහන්න හදන්නේ කලාකරුවාම මිසක වෙන කවුරුත් නොවේ.

ඒ යථාර්තය අපි පිළිගත යුතුය. ඒ යථාර්තය කලාකරුවා පිළිගන්න යුතුය.

තමා කරන්නේ “සේවයක්ය” කියන බේගලේ පැත්තකින් තබා තමා කලමණාකරනය කරගන්න තමා වගකීම කලාකරුවා ගත යුතුය

තමාගේ වෘතිය, වෘතියක් විදියට පිළිඅරගෙන, එය මනා සැලසුමක් තියාගෙන හරියට කලමණාකරනය කරගන්න සමත් වුන දවසට කලාකරුවාට මේ සමාජයේ පැවත්මක් තිබෙනු ඇත.

ඒ වගකීම අරන්, ඒ අනුව වැඩ කරන්න ගතහොත්, කලාකරුවා කියන කෙනාට මීට වඩා ගෞරවාන්විත තැනක් සමාජයේ හිමිවනු ඇත.

එහෙම දවසකදි ජීවිතයේ අන්තිම කාලයේදී සමාජයෙන් හිඟා නොකා ගෞරවයෙන් හිස කෙළින් තියාගෙන අවසන් ගමන් යන්න පුළුවන් වනු ඇත.