Wednesday, August 30, 2017

පොහොය දින වල රට පුරා සියළු වෙළඳ සැල් වසනු !



ඉහත ලිපිය කියවන්න. කදුරුවෙල ජයන්ති විහාරයේ ධම්මපාල හිමිපානන්ගේ යෝජනාව කෙතරම් කාලෝචිත යෝජනාවක්ද සිතන්න. මෙම යෝජනාව එම ප්‍රදේශයට පමණක් සීමා නොකොට රට පුරා ක්‍රියාත්මක කල යුතු යෝජනාවක් නොවේද මිත්‍රවරුනි?

ලංකාවේ බහුතරයක් බෞද්ධයන්ය. පෝය යනු බෞද්ධයන්ගේ දිනයකි. පෝයට බෞද්ධයන් හැසිරිය යුත්තේ බෞද්ධයන් විදියටය. පෝයට අබෞද්ධ ක්‍රියාවල නිරතවිය නොහැක.

ඒ නිසා පෝය දවස් වලට අනෙක් සියලු අමතර වැඩවල නිරත වීම තහනම් කොට බාල, ළමා, වැඩිහිටි, ගැහැණු, පිරිමි, මහළු, අන්ධ, ගොළු, බීරි සියල්ලන්ටම පන්සල් යාමද අනිවාර්‍ය කල යුතුය. මන්ද හෙළයේ අනාගතය බාර ගැනීමට සිටින දරුවන් හරි මාර්ගයේ යැවීමට පෙර ඔවුන්ට මඟපෙන්වීමට සිටින වැඩිහිටියන් හරිමාර්ගයේ යැවිය යුතු නිසාය.

ඉන් නොනැවතී පෝදාට පන්සල් යාමට බාධාවන සියලු දේ රට පුරා තහනම් කොට සියලු දුරාචාර වලින් තොර දිනයක් සේ ගත කිරීමට සියලුම සිංහලබෞද්ධයින්ව පෙළඹවිය යුතුය.

ඒ සඳහා,

එදින බාර් වැසිය යුතුය, මස්කඩ වැසිය යුතුය, නිකන් කඩත් වැසිය යුතුය, Food City වැසිය යුතුය, බැංකු ඇරලා නම් ඒවත් වැසිය යුතුය,  A.T.M මැෂිනුත් ක්‍රියා විරහිත කල යුතුය, විශේෂයෙන් පර සුද්දා හඳුන්වා දුන් ක්‍රිකට් මැච් බැලීම නැවැත්විය යුතුය, ක්‍රිකට් මැච් TV එකේ පෙන්වීම නැවැත්විය යුතුය, සංගීත සංදර්ශන තහනම් කල යුතුය, TV රේඩියෝ වල සින්දු ටෙලිනාට්‍යය චිත්‍රපට පෙන්වීම තහනම් කොට බණ සහ දහම් සාකච්ඡා පමණක් විකාශය කල යුතුය. පෙට්‍රල් ශෙඩ් වැසිය යුතුය, කොණ්ඩා කපන සැලූන් වැසිය යුතුය, පෙම්වතුන් පෙම්කිරීමට යොදා ගන්නා උද්‍යාන වැසිය යුතුය(ගෝල් ෆේස් ද ඇතුළුව), චිත්‍රපට ශාලා වැසිය යුතුය, සියලූම ලැගුම්හල් සහ හෝටල් වැසිය යුතුය, පෙම්වතුන්ට පෙම්කිරීම තහනම් කල යුතුය (ඔවුන් පෙම්කිරිමට බහුල ලෙස යොදාගන්නා දුරකථන සහ SMS පහසුකම් බ්ලොක් කල යුතුය), දේශපාලනය කතා කිරීම නැවැත්විය යුතුය. Facebook යාමට සහ වැල බැලීමට අප තරුණ පරපුර වැඩියෙන්ම යොදාගන්නා internet පහසුකම් බ්ලොක් කල යුතුය, කාන්තාවන්ට ඇඳීමට සිහළබෞද්ධ න්‍යායාචාරවරුන්ගේ අනුමැතිය සහිත dress code එකක් නිර්දේශ කල යුතුය. එය නොඇඳ ජංගි සේ කොට සායවල් සහ ඇඟට හිර ඩෙනිම් කලිසම් අඳින ගැහැණු ළමුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතුය.

එකී මෙකී නොකී ධර්මානුකූල නොවන සියලු දේ තහනම් කොට ධර්මානුකූල දේ පමණක් කල යුතු බවට සඳහන් කරමින් නීති සම්පාදනය කල යුතුය.

රෝගීන් වෙනුවෙන් රෝහල් පමණක් ක්‍රියාත්මක කල යුතුය. රෝහල් වලද මුළු රෝහලටම ඇසෙන අන්දමට පිරිත් දැමීම අනිවාර්‍ය කොට නීති ගෙන ආ යුතුය.

එදින සියල්ලන් බණ ඇසිය යුතුය, බණ කිව යුතුය. බණ දැමිය යුතුය. දහම් සාකච්ඡාවල නිරත වී දහම් දැනුම වැඩිකරගත යුතුය. සියලුම දෙනා එදින පන්සල් ගොස් ධර්මානුකූලව දවස ගත කල යුතුය.

අනෙක් ආගම් වල අයට සිය නිවෙස් වලට වී එළියට යන්නේ නැතිව විවේක සුවයෙන් ගත කල හැකිය. මේක බෞද්ධයින් බහුතරයක් ඉන්න රටක් නිසා ඔවුන් එයට එකට විය යුතුය (දැනටමත් පෝය දිනයන්හි යම් මට්ටමකට එය සිදුවන නිසා ලොකු ප්‍රශ්නයක් ඇති නොවනු ඇත)

හොඳින් කිව්වම තේරෙන්නේ නැත්නම් බලෙන් හරි අපේ රට ගොඩගත් යුතුය. පන්සල් යාම සහ ධර්මානුකූලව දවස ගත කිරීමට අමතර දේ කරන අයව අත් අඩංගුවට ගත යුතුය. දඩ ගැසිය යුතුය. හිරේ දැමිය යුතුය. දඬුවම් කල යුතුය.

දැන්ටමත් අප පමා වැඩිය. කලයුතු දේ තේරුම් ගෙන පිටකොන්ද ඇති සිහළුන් සේ දැන්වත් ක්‍රියාත්මක නොකල හොත් අපේ අනාගත පරපුර නිදහස්ව හිතන, අපේ යල් පැනගිය ආකල්ප පසෙකලා අනාගතයට ගැලපෙන සමාජයක් නිර්මාණය කිරීමට පෙළඹෙන, අපේ ජාතිය ආගමට ඇති ආලය පසෙකලා මනුෂ්‍යත්වයට මුල් තැන දෙන මිත්‍යාදෘෂ්ඨික කාලකණ්ණින් පිරිසක් බවට පත් වනු ඇත.

Monday, August 28, 2017

වරෙව් මහතුනේ කුණු කය වළදන්ට

විනේ කටින උන්
විනේ කටින උන් තරහක් නොකියාම
කනේ කොහොඹ මිරිකනවා හැමදාම
ගුණේ රැකන් ඉන්නලු මළ හිමිගේම
වනේ නැතිව උන්
වනේ නැතිව උන් දුක දන්නේ කෝම

ගමේ ගැටව් කරබාගෙන උන්නාට
විසේ නැග්ග නාකිත් පිළ උඩ රෑට
නෙළා ගනින් යැයි කප්රුක පිදුවාට
ඉණේ රෙද්දමයි හිටියේ හරහාට

ළැමේ කිරට මොරගානා පැටියන්ට
අනේ කවුද ඉන්නේ වේලක් දෙන්ට
ළිපේ ගින්න තුන් වරුවේ අවුලන්ට
වරෙව් මහතුනේ කුණු කය වළදන්ට

ප්‍රදීපා ධර්මදාස කියන්නේ ලංකාවේ ගායිකාවන්ගෙන් මම වැඩියෙන්ම ප්‍රිය කරන හඬට හිමිකම් කියන ගායිකාව. "සුපෙන් හැඟුම් ඔබෙන් එපා" ගීතය මුලින්ම අහපු මොහොතේ ඉඳලම මම ඇයගේ හඬත් එක්ක පෙමින් වෙලුනේ නිරායාසයෙන්මයි.

ප්‍රදීපාගේ අසමසම කටහඬත් සමඟ විශිෂ්ඨ පද රචනයක් සහ සංගීතයත් එක්ක මුසු වෙලා නිර්මාණය වුන මම ඉතාමත් ආදරය කරන ගීතයක් තමා "විනේ කටින උන්" ගීතය. මේ ගීතයේ පද රචනයේ තියෙන විශේෂත්වය තමයි අපි එච්චර සංවේදී නොවන අපේම සමාජයේ ජීවත් වෙන මිනිස් ජීවිතයක අප නොසිතන පැත්තක් ඉතාම සංවේදී විදියට ඉදිරිපත් කරල තිබීම.

මනුස්සයෙක්ගේ හැඟීම් මෙච්චර ලස්සනට ගීතයකට කැටි කරන්න පුළුවන් එක සුවිශේෂී හැකියාවක්. ඒ මනුස්සයාගේ හැඟීම් වෙනස්ම ජීවිතයක් ගෙවන කෙනෙක්ට පවා දැනෙන විදියට පදවැල් ගොතන්න පුළුවන් එක ඇත්තටම දක්ෂකමක්.

මේ සටහන ලියන්න හේතු වුනේ "ඇයි මේ වගේ හොඳ සින්දු අද හැදෙන්නෙ නැත්තේ" කියන හැඟීම ඔබට වගේම මටත් ඒ විදියටම එන නිසා.

ඔය "පරණ ඒවා හොඳයි, අලුත් ඒවා චාටර්" කියල හැම දේකටම කියන එක අපේ සංස්කෘතියේ කොටසක්. අනිත්වා කෙසේ වෙතත් නිර්මාණකරනය පැත්තෙන් ගත්තාම නම් ඒ කතාව සම්පූර්ණයෙන් ඇත්ත කියන එකයි මගේ හැඟීම.

මේ වගේ හිතට දැනෙන නිර්මාණ ගොඩක් වෙලාවට සිද්ධ වෙලා තියෙන්නෙ මීට අවුරුදු ගාණකට කලින්. ඒ කියන්නෙ අපි පහුකරල ආපු යුගයෙ.

වර්තමානය ගත්තොත් මේ වගේ නිර්මාණ සිද්ධ වෙන්නෙ නැතිම තරම්. මේ වගේ පදරචනයන් ලියන්න මිනිස්සු නැති තරම්.

මෑත කාලයේ නිර්මාණය වුන ගීත වලින් මගෙ හිතගත්ත පදරචනයන් නම් කරන්න වුනොත් ගීත දෙකතුනකට වඩා නම් කරන්න අමාරුයි. රූනිගේ 'සප්ත ස්වරයයි' , රයනිගේ 'චංචල දෑසේ', ශිහාන්ගේ 'හතර කේන්දරේ' වගේ ගීත කිහිපයක් ඇරෙන්න එහෙම නිර්මාණාත්මක බවින් සරු පද රචනයක් ඔලුවට එන්නෙ නෑ.

දැන් "..මල් සින්දු, බූට් සින්දු.." නමින් හැඳින්වෙන ගීත පොකුරු පිටින් හැදුනත් ඒවයෙත් තියෙන්නේ හරිම ලාමක පද රචනා බව අමුතුවෙන් කිව යුතු නැහැ.

ඒත් පහුවෙච්චි යුගයේ නිර්මාණ එක්ක සසඳලා අපි දැන් ඉන්න ගායකයින්ට දෙහි කැපුවට ඇත්තටම අවුල තියෙන්නේ ගායකයින්ට වඩා පදරචකයන්ගෙයි සංගීතවේදීන්ගෙයි කියලයි මට හිතෙන්නෙ.

ශෝදාපාළුවට ලක් වෙලා තියෙන්නෙ නිර්මාණාත්මක හැකියාව කියන එකයි මගේ මතය. ගායකයන්ගේ පැත්තෙන් ඒ අයට සිද්ධ වෙනවා තමන්ගේ පැවැත්ම වෙනුවෙන් හම්බෙන සින්දුවක් කියන්න. සින්දු ලියන්න, සංගීතය දාන්න හරි හමන් අය නැතිය කියල සින්දු කියන්නැතුව හිටියොත් අද කාලේ ගායකයන්ට කන්න අඳින්න දෙන්නෙ කවුද?

හතු පිපෙන්නා වගේ නිර්මාණ කරන්න පුළුවන් අවකාශයක් හැදුනම අන්තිමට එළියට එන ප්‍රතිඵල වල ගුණාත්මක බව අඩුවෙන එක ස්වභාවිකව සිද්ධ වෙන දෙයක්. නමුත් ගුණාත්මක බවක් නැත්තටම නැතුව ගිහින් වගේ පේනව නම් ඒක රසිකයන්ගේ අවාසනාව බව නොකියා බැහැ.

මම කියන්නෙ නෑ හැදෙන්න ඕන තේරුමක් තියෙන, හදවතටයි මොළයටයි දෙකටම දැනෙන සින්දු විතරයි කියල. මම කියන්නේ ඔය බස් සින්දු, මල් සින්දු, බූට් සින්දු අස්සේ එහෙම නිර්මාණත් බිහි වෙන්න ඕනය කියල.

මේවගේ නිර්මාණාත්මකව බංකොලොත් වුන කාලෙක අමරදේව මාස්ටර් ඉපදිලා හිටියත් අමරදේවගේ සින්දුත්

"මම ආදරේ කලා සිතින්
සැමදා නෑ වෙනස් කලේ
හැරදා මා දමා ගියේ
ඇයිද ප්‍රියේ......?"

වගේ තියෙයි ඉතින්.  ඒකට අමරදේව කියලා මක් කරන්නද?



Thursday, August 24, 2017

හීන දහයක්

ජීවිතයක් ජීවත් කරවන්නේ බලාපොරොත්තු නම් ජීවිතයකට සුන්දරත්වයක් එකතු කරන්නේ හීන කියලයි මට හිතෙන්නෙ. කවදා හෝ සැබෑ විය හැකි හීන වගේම කිසිදා සැබෑ නොවන බව දන්නා හීනත් අපි හැමෝටම තියෙනවා. මේ මගේ මිතුරකුගේ ඉල්ලීමක් ඉටු කිරීමේ අරමුණින් ලියවුන මගේ හිතේ තියෙන මගේ "හීන දහය" 

1. ටූපක් ශකූර් ගේ නව ගීත ඇල්බමයක් ඇසීම. (ටූපක් මැරෙන්න කලින් හදපු ඒත් ඒ වෙනකොට එළියට ආවේ නැති සින්දු වලින් අලුත් ගීත ඇල්බම රාශියක් පස්සෙ කාලෙ නිකුත් කෙරුනා. මම මේ කියන්නේ එහෙම එකක් ගැන නෙමේ. ටූපක්ගේ අලුත්ම නිර්මාණ ඇතුලත් ගීත එකතුවක් ගැන)

2. ලංකාව වටේ ට්‍රැවල් කිරීම. (වටේ කිව්වට මැද හරියත් ඇතුළුව)

3. මාස්ටර්පීස් එකක් ලෙස සැලකිය හැකි Batman මූවි එකක් කවදා හෝ නැරඹීමට ලැබීම (ප්ලීස් මොකෙක් හරි හදපන්කො එහෙම එකක්)

4. නැවත ලිවීම ආරම්භ කල ටැබූ සබ්ජෙක්ට්ස්ගේ අප්ඩේට් වන අලුත් බ්ලොගය කියවන්නට ලැබීම.(මේක සැබෑ වීමට වඩා ටූපක් මරණින් නැගිට ඇවිත් කරන අලුත් ගීත ඇල්බමය ඇසීමට තියෙන ආසාව සැබෑ වීමට වැඩි ඉඩක් තියෙන බව හැබෑව ඉතින්)

5. ජේසුස් වහන්සේ සහ බුදුන්වහන්සේ නැමති නිර්මාණය කරන ලද චරිත වලට පාදක වූ මුල් පුද්ගලයන් දෙදෙනා මුණගැසී ඔවුන් සමඟ සතුටු සාමිචියේ යෙදීම, කතාබහ කිරීම.(බාසාව තේරුම් ගන්නේ කොහොමද, ටයිම් ට්‍රැවලර් කෙනෙක් වෙනවද අරව මේවා අහන්න ඔට්ටු නෑ හරිය. මේවා හීනනේ)

6. (මට අනුව) ගරු කටයුතු පුද්ගලයෙක් ලංකාවේ ජනාධිපති වෙනවා දැකීම (විධායක ජනාධිපති නම් මරු)

7. මාලන් සමරවික්‍රමව සැබෑ ජීවිතේ මිතුරෙක් විදියට ළඟින් ආශ්‍රය කරන්නට ලැබීම

8. මම පිහියක් අරගෙන පපුවට ඇන්න කෙල්ලගේ ඒ තුවාලය සුවවී ඇය සතුටින් සිටිනවා දැකීම (දැනටමත් සතුටින්ද දන්නෑ. කන්ටැක්ට්ස් නෑනෙ)

9. පොඩි වත්තක් තියෙන පොඩි ගෙදරක සහකාරියක් සමඟ හෝ තනියම මියයනතෙක් ජීවත් වීමට ලැබීම

10. මගේ එදිනෙදා කරතව්‍යන් මටම කරගන්න නොහැකිවන දිනයක් උදාවීමට පෙර ස්වභාවික හේතූන් නිසා මියයාමට ලැබීම. (නින්දෙදි වගේ නම් මරු)

ඔන්න ඕවයි මගේ හීන :)

 ප/ලි - වල්පල් කියවන පාඨක ඔබටත් 'හීන' තියේ නම් කමෙන්ට් තීරුවේ ඒවා බෙදාගන්න ඉඩ තියෙනවා.


Wednesday, August 23, 2017

එදිනෙදා ඇහෙන මෝඩ කතා #1


"හාල්මැස්සෙක් වෙලා තල්මස්සු ගැන කියවන්න එපා" 


මම මහින්දව විවේචනය කරනවා ඇහිලා අද ඔෆීසියේ කෙනෙක් කිව්ව කතාවක්. කතාව ඉතින් හොඳයි. තවත් හොඳයි ඒක අමු මෝඩ කතාවක් නොවුන නම්.

ඔතන මහින්ද වෙනුවට හිට්ලර් වගේ චරිතයක් ආදේශ කලා නම් කතාවේ අවුල ඉතාම සරලව තේරුම්ගන්න පුළුවන් දෙක වසරේ ළමයෙකුට හරි.

කෙනෙක්ගේ ක්‍රියාකලාපයේ හරි වැරැද්ද ඇගයීමට ලක් කරන්න හරි විවේචනය කරන්න හරි ප්‍රකාශය කරන්නා සතු "අධිකාරී බලයේ" ප්‍රමාණය සාධකයක් නෙමේ.

මොකද එහෙම වුනොත් පොල් පොට්, සදාම් හුසේන්, මාඕ සේතුං, ඇඩෝල්ෆ් හිට්ලර්, ජෝසෆ් ස්ටාර්ලින් වගේ චරිත කිසිම කෙනෙක්ට විවේචනය කරන්න අයිතියක් ලැබෙන්නේ නැහැ. මොකද ඒ වගේ පුද්ගලයන් දරපු බලයට සාපේක්ෂව, ඒ පුද්ගලයන් මිනිස් ඉතිහාසයට කල බලපෑමට සාපේක්ෂව මහින්ද රාජපක්ෂ වගේ චරිතයකුත් හාල්මැස්සෙක් කියලා කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් නිසා.

ඔය ගැන පැහැදිළි කරන්න ඔය වාක්‍යය කිහිපයම ප්‍රමාණවත්. ඒත් තව ටිකක් ලියන්නමයි හිතෙන්නෙ. ඒ නිසා මේ ටිකත් එකතු කරනවා.

යම් පද්ධතියක 'අධිකාරී බලය' නියෝජනය කරන කොටස, ඒ බලය දැරීම නිසාම ඊට වඩා බලය අඩු අය විසින් විවේචනයට ලක් නොකරන්න හේතුවක් කරගන්නවා නම් ඒ වගේ අය හඳුන්වන්න පුළුවන් අවනත, කීකරු බලු කුක්කන් විදියට. එහෙම නැත්තන් කොන්ද පණ නැති නිවටයන් විදියට.

"හාල්මැස්සෙක් වෙලා තල්මස්සු ගැන කියවන්න එපා" කියන කතාවේ අවුල තවත් තේරෙයි මේ චින්තනයම වෙනත් සන්ධර්භයකට ආදේශ කරල බැලුවොත්.

රජතුමා ඇවිත් ගෙදර දුවව උස්සන් ගියත්

"අනේ ඉතින් රජතුමාගෙ කැමැත්තනෙ, මං කවුද ඒක වැරදියි කියන්න.."

කියන චින්තනයම තියෙන කෙනෙක් විසි එක්වන සියවසට ගෙනත් අත ඇරියම තමා ඔය හාල්මැසි කතා වගේ ඒවා කියවෙන්නෙ.

මේ වගේ අයගේ චින්තනය සාරංශගත කරන්න යොදාගන්න පුළුවන් එක වචනයයි

"මෝඩ වහල්ලු"...

(ආ.. වචන දෙකයි නෙහ් ;) )

Thursday, August 10, 2017

ආදම් සහ ඒවගෙන් අහල කියපන්



දැන් දෙවියන්වහන්සේ ආදම් සහ ඒවව මැව්වලුනේ. මවලා ඒදන් උයනට ගිහින් දැම්මලුනේ.(මැව්වෙ ඇයි කියල අහන්නත් එපා, ඔය උයන දැන් තියෙන්නෙ කොහෙද කියල අහන්නත් එපා)

දාලා කිව්වලුනේ "බොලාට සියලු සැප සම්පත් මම දීලා තියෙනවා. තොපිට ඕන දෙයක් කරන්න නිදහස තියෙනවා. හැබැයි අන්න අර උයන මැද තියෙන ගහේ ගෙඩි කන්න බෑ" කියල

ඊට පස්සෙ සරපයා (හෙවත් යක්ෂයා) ඇවිත් ඒවව පොළඹවලා ඒව ආදම්ව පොළඹවලා දෙන්නම එකතු වෙලා තහනම් ගහේ ගෙඩි කෑවලුනේ.

ඊට පස්සෙ දෙන්නටම හරි වැරැද්ද තේරෙන්න ගත්තලුනේ. තමා හෙළුවෙන් කියල තේරිලා කොළ අතු වලින් විළි වහගත්තලුනේ.(හරි වැරැද්ද තේරෙන්නේ ගෙඩි කෑවට පස්සේ නම් දෙවියන්ට අකීකරු වෙලා ගෙඩි කන එක වැරදියි කියලා ගෙඩි කන්න කලින් තේරුම්ගන්නේ කොහොමද වගේ ප්‍රශ්න අහන්න එපා. ඒක ගිහින් දෙවියන්ගෙන් අහපන්)

පස්සේ සීන් එක හොරා වගේ හොරෙන් බලාන හිටිය දෙවියන්වහන්සේට මලපැනලා උයනෙන් අරුන් දෙන්නව එලවල දැම්මලුනේ (මම උඹලට කන්න දෙනව නම් මම කියන විදියට මේ ගෙදර ඉන්න බැරි නම් දොට්ට බැහැලා පලයව්!)

ඕකනේ සාරාංශය. ඔයවගේ කතාවක්නේ කියන්නේ (ඇන්ටන් ජෝන්ස්ට එහෙම සිංදුවක් ගහනව නම් මරු කතන්දරේ)

හරි. මේකයි සීන් එක.

දැන් කතාව ඔහොම නම් දෙවියන්වහන්සේ මවල තියෙන්නෙ හරි වැරැද්දවත් මෙලෝ මගුලක්වත් නොතේරෙන පාවී පාවී කකා රිරී ඉන්න නිදහස් කැමැත්ත නැති වයින් කරල තිබ්බම ඔහේ ඇවිදින බෝනික්කො දෙන්නෙක් වගේ ඩබලක්නෙ.

කොටින්ම උන් දෙන්නට හිතන්න බැයි නම්, හරි වැරැද්ද තේරෙන්නෙත් නැත්නම්, නිදහස් කැමැත්තත් නැත්නම් උන් දෙන්නා සමාන වෙන්නේ යකෝ නිකම්ම නිකන් චිම්පන්සි දෙන්නෙක්ට, රිලව් දෙන්නෙක්ට, අස්සයො දෙන්නෙක්ට, කූඹි දෙන්නෙක්ට..නෙ. කොටින්ම නිකම්ම නිකන් සත්තු දෙන්නෙක්නෙ. මිනිස්සු දෙන්නෙක් නෙමේනෙ.

මොකද මනුස්සයා කියන්නේ, මනුස්සයා සත්තුන්ගෙන් වෙන් වෙන්නේ ඌට තමා, තමාගේ හැසිරීම් සහ තමා ජීවත් වන ලෝකය ගැන විචාර බුද්ධියෙන් හිතන්න පුළුවන් නිසානෙ සරලවම.

දැන් එහෙම බලපුවම,

සත්තු වගේ ඔහේ කකා රිරී හිටපු ආදම් සහ ඒවට බුද්ධිය ලබා දෙන තහනම් ගහේ ගෙඩි කන්න කිව්වේ කවුද?
කොටින්ම ඒ පාවි පාවි හිතන්න බැරි වහල්ලු වගේ හිටිය මුග්ධයො දෙන්නට බුද්ධිය ලබා දීලා උන් දෙන්නව නිදහස් කරන විදියට විදියට වැඩ කලේ කවුද?
ඒ සත්තු දෙන්නව මිනිස්සු කලේ කවුද?
ඒ අතින් බැලුවම මනුස්සයාගේ නිර්මාපකයා කවුද?

ඊළඟට,

මේවගේ හිතන්න බැරි පණතියෙන බෝනික්කො දෙන්නෙක් මවල මාරම විකාරරූපී ආතල් එකක් ගනිමින් හිටි දෙවියන් කියන එකාගෙ කැමැත්තට පුකට පයින් ගහලා මේ බෝනික්කෝ දෙන්නව හිතන්න පුළුවන් මිනිස්සු වෙන විදියට වැඩ කලේ යක්ෂයා නම්...

ඔය සීන් එකේදි දෙවියන්වහන්සේ සහ යක්ෂයාගේ හැසිරීම ගත්තම..

ඔය දෙන්නග්ගෙන් දුෂ්ඨයා කවුද?
කළු චරිතය කවුද?
මානසික රෝගී හැසිරීමක් පෙන්වපු එකා මොකාද?
වීරයා කවුද?
සුදු චරිතය කවුද?
සිරාම හැසිරීමක් පෙන්වපු එකා මොකාද?

ප්‍රශ්න ඕයි
ප්‍රශ්න !

Tuesday, August 8, 2017

බුද්ධිමත් ජනතාවෙනි, ජහ ජහ !

ජනතාව බුද්ධිමත්ය. ජනතාව සාධාරණය. හංසයා දියෙන් කිරි වෙන්කරනා සේ වැරැද්දෙන් නිවැරැද්ද වෙන් කර ගැන්මට ඔවුනට හැකියාව ඇත. සියලු ආධිපත්‍යන්ට වඩා වැදගත් වන්නේ ජනතා පරමාධිපත්‍යයයි. සියලුම තීන්දු වලට වඩා උතුම් වන්නේ ජනතා තීන්දුවයි.!

දේශපාලකයා උදේ සිට සවස තෙක් ගිරිය පුප්පගෙන කෑගසමින් ජනතාව ගැන ගුණ වැයීමට ඉතාම කැමතිය. ජනතාව සැම විටම ගන්නේ නිවැරදිම තීන්දු පමණක් බව ඔහු ජනතාවටම මතක් කරදෙයි. ජනතාවගේ බුද්ධි මහිමයේ තරම ඔහු ජනතාවටම පැහැදිලි කරයි. එළඹෙන මැතිවරණ වලදී බුද්ධි මහිමයෙන් කෙළ පැමිණි ජනතාව විසින් තමාව වැඩිම මනාපයෙන් පත් කරගන්නා සැටි ඒ ජනතාවටම කියයි.

ඕනෑම මුග්ධයෙක්ගේ ප්‍රසාදය ලබා ගැනීමට ඕනෑ නම් හොඳම ක්‍රමය ඌව මුරුංගා අත්තේ තබන එකය. සිය පැවැත්ම රඳාපවතින්නේ ජනතාව තමා කෙරේ ඇති ප්‍රසාදය මත බව දන්නා දේශපාලකයා හැකි සැම විටම ජනතාවට ආවඩයි. ප්‍රශංසා කරයි. ඔවුන්ව වර්ණනා කරයි. දේශපාලකයා කරන්නේ මේ මුග්ධ ජනතාවව මුරුංගා අත්තේ තබා ගොනාට අන්දමින් ඔවුන්ව සිය අරමුණු කරා දැක්කවීමයි.

නමුත් දේශපාලකයා තුළ ජනතාව ගැන තිබෙන සැබෑම කියවීම දැනගත හැකි වන්නේ ඔහුගේ ක්‍රියාකාරකම් ප්‍රශ්න කිරීමට ලක් වූ විට ඔහු ජනතාව වෙත ඉදිරිපත් කරන නිදහසට කාරණා දෙස බැලීමෙනි.

“ඒක සෙල්ලම් තුවක්කුවක්, එයාමයි කැමැත්තෙන් ගස් බැඳගත්තෙ, එයාමයි එයාට ගහගත්තෙ, පකයා කියන්නේ කුණුහරපයක් නෙමේ, නිරුවත කියන වචනය නොයෙකුත් විදිහට ඉන්ටර්ප්‍රිට් කරන්න පුළුවන්, ඒ පොලු අරන් ගියේ පාරෙ ඉන්න බල්ලොන්ට ගහන්න” 

ජනතාව බුද්ධිමත් යැයි දෙසනා දේශපාලකයාට ජනතාව ගැන තිබෙන්නේ දෙකයි පනහේ බුල්ටෝ ටොපි පෙන්වා, අහසේ ඇති දේදුනු පෙන්වා රැවටිය හැකි කුඩා දරුවෙකුට සමාන හැඟීමක් බව ඉහත නිදහසට කාරණා දැකීමෙන්ම පසක්වේ. ජනමාධ්‍ය සාක‍‍ච්ඡාවකට පැමිණ, රූපවාහිනී සංවාදයකට පැමිණ හෝ ප්‍රසිද්ධ වේදිකාවකදී මෙවැනි හාස්‍යජනක නිදහසට කාරණා අප වෙත අපගේම දේශපාලන නායකයන් ඉදිරිපත් කිරීම ගැන ඇතිවිය යුත්තේ කේන්තියක් නොව, දුකකි.

අප රටේ බුද්ධිමත් ජනතාව දේශපාලකයාගේ නරුම වැඩ ගැන සංවේදී නැත. තමාගේ ජාතිවාදී ආගම්වාදී නිල අල්ලා සිය හෘද සාක්ෂිය කිති කැවීමට සමත් දේශපාලකයෙක්ගේ ඕනෑම නරුම වැඩකට සමාව දීමට ඔවුන් සූදානම්ය.

පුරවැසීයෙක් සහ ඡන්දදායකයෙක් වශයෙන් පාලකයන් තෝරාපත් කර ගැනීමේ වගකීම පිළිබඳ ඔවුනට අවබෝධයක් නැත. දේශපාලකයන් විසින්ම තමා මත පටවන ලද සමාජීය සහ ආර්ථික පීඩන වලින් මිදීමට කෙටි ක්‍රම සොයනා ඔවුන් තමාගේ එදිනෙදා අවශ්‍යතා සහ ගැටළු වලට පැලැස්තරයක් ඇලවීමට ඉදිරිපත් වන ඕනෑම නරුමයෙක්ට සිය ඡන්ද බලය විකුණා දැමීමට සූදානම්ය.

දීර්ඝ කාලීන දේශපාලනික අරමුණු නැති, රටේ අනාගත යහපැවැත්මක් ගැන සිතීමට තරම් බුද්ධිය මුහුකුරා නොගිය, සිය අනාගත පරපුර පිළිබඳ වද නොවන ආත්මාර්ථකාමී මුග්ධ ජනතාවක් සියතට ගැනීමට නරුම දේශපාලකයා කරන්නේ ඔවුන්ගේ කෙටි කාලීන අවශ්‍යතා හඳුනාගෙන ඒවාට කෙටි කාලීන විසඳුම් ලබා දීමය.

පුතාට ජොබ් එකක්, රැකියාවෙන් උසස් වීමක්, බාර් පර්මිට් එකක්, රැකියා ස්ථාන මාරුවක් වැනි දේ පමණක් නොව රෝද පුටුවක්, මහන මැෂිමක්, ටකරං කෑලි කිහිපයක් වැනි සිල්ලර අල්ලස් වලටද අප රටේ බුද්ධිමත් ජනතාව සිය ඡන්දය විකුණා දමති.

මේ ගැන දින කිහිපයකට පෙර මගේ මිතුරෙක් පැවසූ කතාවක් සිහිවේ.

“වැටුප් දීමනා වැඩිවේයයි බලාපොරොත්තුවෙන් ඡන්දය දෙන්නන් සහ රුපියල් දාහට, අරක්කු කාලට හා බත් පැකට් එකට පෙලපාලි යන්නන් අතර ඇති එකම වෙනස වන්නේ එක පිරිසක් කඩේ යන්නේ අත්පිට මුදලට පමණක් වීමයි.”

මෙසේ සිය පුරවැසි වගකීම සිල්ලර උවමනා වලට වේසාකමේ යවන අප රටේ බුද්ධිමත් ඡන්දදායකයා අවසානයේදී කුඩු වෙළෙන්දන්, එතනෝල්කාරයන්, අපරාධකාරයන්, කප්පන්කාරයන්, ස්‍ත්‍රී දූෂකයින් පාර්ලිමේන්තු ගියේ කොහොමද කියා අසයි.

ජාතිවාදයෙන්, වර්ගවාදයෙන්, ආගම්වාදයෙන්, සංස්කෘතික සංකේත වලින් මත් වී සිටින බුද්ධිමත් ජනතාව සිය බත් පතට පහර වැදුන විට මත් බවෙන් මිදී උන්මාදයෙන් මෙන් කෑගසයි. වෙනකෙකු දෙසට එල්ල වී තිබුන තුවක්කුවක් තමා වෙතට හැරුන විගස ඊයේ ඉපදුන ළදරුවෙකු මෙන් මර ලතෝනි දෙයි. පෞද්ගලික වාසි බලාගෙන තමා පාර්ලිමේන්තු යැවූ උන්ගේ හොඳ නරක මතක් වෙන්නේ තමාගේ බඩට සහ ජීවිතයට කෙළවන බව දැනුන විට පමණි. එවිට රටේ පමණක් නොව තම දෛනික ජීවිතයේද වැරදි අඩුපාඩු වලට පවා වැරැද්ද පටවන්නේ දේශපාලකයාටය.

ඉන්පසු සියලු මන්ත්‍රී ඇමතීන් සමඟ පාර්ලිමේන්තුව පොළව පලාගෙන ගිලා බැසිය යුතුය කියමින් ශාප කරයි. පාර්ලිමේන්තුව ගිණි තියනවා නම් තමන් ගානේ පෙට්‍රල් දෙන බව කියයි. මුන් දේශපාලනය කරන්නේ මඩිය තර කර ගන්නට පමණක්ය කියයි.

නමුත් අප රටේ බුද්ධිමත්ය කියන ඡන්දදායකයා අමතක කරන කරුණ නම් පාර්ලිමේන්තුවේ සිටින්නේ ජනතා නියෝජිතයින් බවය. ඔවුන්ව පාර්ලිමේන්තුවට යැවීමේ හෝ නොයැවීමේ වගකීම පැවරී තිබුනේ තමාට බවය. තමා කුඩුවෙළෙන්දන්ව, එතනෝල්කාරයින්ව, කප්පන්කාරයින්ට මනාපය ලබාදී උන් පාර්ලිමේන්තුවට යවා කුඩුවිකුණනවාය, එතනෝල් ගෙන්නනවාය, කප්පන් ගන්නවාය කියා ශාප කිරීම පලක් නොවන බවය.

ජනතාව විසින් අශීලාචාර, අසික්කිත දේශපාලකයින්ව දිගින් දිගටම පාර්ලිමේන්තුවට තෝරා පත් කරන්නේ නම්, බලය ලැබුන පසු එම දේශපාලකයන් කරනා අශීලාචාර, අසික්කිත වැඩ වල වගකීමෙන් කොටසක් ජනතාවත් භාරගත යුතුය.

දේශපාලකයා විසින් දේශපාලන ක්‍රමයම ව්‍යාපාරයක් බවට පත් කරගෙන ඇති බවට චෝදනා කරන ජනතාවම ඒ දේශපාලන ව්‍යාපාරයේ ලාභම ගැණුම්කරු බවට පත්ව ඇත. ලාභම විකිණුම් භාණ්ඩය බවට සිය මනාපය පත් කොට ඇත.

සෑම විටම දේශපාලකයින් විවේචනය කරන, සෑම විටම අප රටේ දේශපාලන සංස්කෘතියට දොස් තබන ජනතාව විසින් ඔවුන්ම පරිභව කරනා, පිළිකුල් කරනා ඒ දේශපාලන සංස්කෘතිය තුළ ජනතාවක් වශයෙන් ඔවුන් රඟදක්වන භූමිකාව පිළිබඳ සිතීමට කාලය එළඹ ඇත.

දේශපාලකයින් යනු රටට හෝ ජනතාවට සේවය කිරීමේ අරමුණින් වෙනත් ලොවකින් පහල වූ සුචරිතවාදීන් කොට්ඨාශයක් නොවේ. ඔවුන්ද නොයෙකුත් අරමුණු ඉටුකර ගැනීම සඳහා යම් වෘතියක් තෝරාගත් පිරිසකි. තමාගේ වාසිය ගැනම සිතනා, හැකි පමණින් මඩිය තරකර ගැනීමට දතකන, බලයට කෑදර අවස්ථාවාදීන් පිරිසකි. එදා සිට අද දක්වා පහළ වූ දේශපාලකයින්ගෙන් අතිමහත් බහුතරයකට සිය සුඛවිහරණය කැප කරමින් රටට හෝ ජනතාවට සේවය කිරීමට තරම් පශ්චාත්භාගයේ අමාරුවක් තිබුනේ නැත, අනාගතයේ එහෙම අමාරුවක් එන්නේද නැත.

නමුත්, වාසනාවකට හෝ අවාසනාවකට ඔවුන්ව විනිශ්චය කිරීමේ හැකියාව ජනතාවට ලැබී ඇත. ඔවුන්ව තමාගේ තීරණාත්මක ඡන්දයෙන් පීඩනයට පත් කිරීමේ හැකියාව ජනතාවට ලැබී ඇත.

ඕනම පාහර වැඩක් කොට අතේ පත්තු වෙන “මට මතක නෑ” වැනි බොරුවක් ඇදබෑමෙන්ම තමාට ඕනම චෝදනාවකින් ගැලවිය හැකි බව දන්නා දේශපාලකයා වෙනුවට තමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවා ඒ අනුව ඡන්දය භාවිතා කරන, ඊළඟ ඡන්දයේදී තමාගේ කෙරුවාව අනුව තමාට නිසි ඇගයීමක් ලබා දෙන ජනතාවකට භය දේශපාලකයෙක් සිටිනා දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමේ වගකීම ඇත්තේ පාලකයා අත නොව, ජනතාව අතය.

දේශපාලන ප්‍රවාහය හෝ පක්ෂය අමතක කරමු. තමා මනාපය ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තුවට යවන්නේ මොන ආකාරයේ, මොන අරමුණුවලින් යුත්, මොන විදිහේ ඉතිහාසයකින් යුත් පුද්ගලයෙක්ද කියා ජනතාවක් වශයෙන් දැන්වත්…. දැන්වත්… අප වරක්, දෙවරක්, තෙවරක් නොව දහස් වරක් සිතා බැලිය යුතුය.

Monday, August 7, 2017

පාසැල විසින් බලෙන් මව්වරුන්ගේ ඇඟේ සාරිය එතීම ගැන

අතිශය කාර්‍යබහුල වූ දෛනික ජීවිතයෙන් පැය කිහිපයක් වෙන් කරගෙන තම දරුවාගේ තොරතුරු විමසිමට පාසලට එන මව්වරුන්ට සාරිය ඇඳීම අනිවාර්‍ය යැයි පාසැල් බලධරයන් විසින් දමා ඇති කොන්දේසියට සමාජයක් වශයෙන් අප එකඟ වූයේ කොතනද, යන පැනයට පිළිතුර මා දන්නේ නැත.

කාන්තාව සිය ගෞරවය ප්‍රකාශ කිරීමේ මෙවලමක් ලෙස භාවිතා කරන සමාජ ක්‍රමයක් තුළ පාසලකට පැමිණෙන මව්වරුන්ව පවා පුහු සදාචාරාත්මක සළුවකින් ඔතා ඊනියා ශිෂ්ඨත්වයක් ආරූඩ කොට පාසැල් බලධරයන් උත්සාහ කරන්නේ කාන්තාවව සංස්කෘතික බඩුවක් ලෙස භාවිතා කරන සමාජයකින් හොඳ නමක් දිනා ගැනීමටය. යහපත් ප්‍රතිරූපයක් හදා ගැනීමටය. පාසැල වැදගත්ය, ගෞරවනීයය, විශේෂ ස්ථානයක්ය කියා ඒත්තු ගැන්වීමටය.

ලාංකීය සමාජය සාරිය ගැන ඇති උන්මාදයට හේතුව වටහා ගැනීම පහසු නැත. සමහර විට සාරිය සමඟ අපේ ඇඳුමක් යන ලේබලය පැමිණෙන නිසා විය හැක. එසේත් නැතිනම් සාරිය ශිෂ්ඨ ඇඳුමක් ලෙස ඇති සම්මතය නිසාද විය හැක.

පාරිශුද්ධ වූ සංස්කෘතීන් කිසිත් නැති ලෝකයේ අපේම කියා වැළඳගන්නවා නම් අවසානයේ අමුඩයවත් ඉතිරිවේද යන ප්‍රශ්නය අප සමාජය හමුවේ නොනැඟීම අමතක කරමු. එහෙත් සාරිය ශිෂ්ඨ ඇඳුමක් ලෙසත්, ඊට සාපේක්ෂව අනෙක් ඇඳුම් ශිෂ්ඨ බවෙන් අඩු (හෝ අශිෂ්ඨ) ඇඳුම් ලෙසත් ඇති පිළිගැනීම ගැන අවධානය යොමු කිරීම වටියි.

පාසල් බලධරයන් විසින් ඇඳුමක ශිෂ්ඨ බව මනින්නේ කෙලෙසදැයි අපි නොදනිමු. ශරීරය අවම වශයෙන් නිරාවරණය වීම පදනම් කොටගෙන ශිෂ්ඨ බව මනින්නේ නම් සාරියට වඩා ශිෂ්ඨ ඇඳුම් කොතෙකුත් තිබේ. සාරියට සාපේක්ෂව පහසු (යැයි කාන්තාවන්ම කියන) සාය සහ බ්ලවුසය ඉන් එකකි. කලිසම සහ බ්ලවුසය තවත් එකකි. නාභියෙන් අඟල් දෙක තුනක් පහළට සිය උදරය නිරාවරණය වන සේ සිය පියයුරු උලුප්පා පෙනෙන අයුරින් සාරිය අඳිනා ගුරුවරියන් පවා අප දැක ඇත. ඉන, ඉඟ, නාභිය, ළැම, පිට නිරාවරණය වන සේ අඳිනා සාරිය, සාය සහ බ්ලවුසයකට වඩා ශිෂ්ඨ යැයි යමෙක් දකින්නේ කෙසේද යනුවෙන් යමෙක්ට සාධාරණ පැනයක් නැඟිය හැක (සාරිය යනු අශිෂ්ඨ ඇඳුමක් කියා මින් නොකියවෙයි). එසේ තිබියදී පාසල් බලධරයන් විසින් මව් වරුන් හට ඇඳීමට ඇඳුමක් නියම කොට (dress code) ඒ ඇඳුම ලෙස සාරිය ද තෝරාගෙන නිලනොවන නීතියක් සමාජය මත පටවා තිබේ.

මව්වරුන්ට මෙන් නොව පියවරුන්ට ඇඳුම පිළිබඳ නීති පනවා නැත. ඔවුන්ව බලෙන් සංවර කල යුතු බවක් පෙනෙන්නට නැත. පාසැලට පැමිණෙද්දි ඇඳිය යුත්තේ කලිසම්ද, ඩෙනිම් කලිසම්ද, ෂර්ට් ද, ටී-ෂර්ට් ද, දැමිය යුත්තේ සෙරප්පුද සපත්තුද හැඟවෙන නීති රෙගුලාසි නැත. ඔවුනට තමාට කැමති, සුදුසු යැයි සිතෙන ඇඳුමක් ඇඳීමේ නිදහස ඇත. ප්‍රශ්නය තිබෙන්නේ මව්වරුන් ගැන පමණි.

මව්වරුන්ගේ ශරීර ගැන පමණි. නුසුදුසු යැයි බලධරයන් සිතනා ඇඳුමක් ඇඳගෙන පාසලට පැමිණෙන මවක් දැකීමෙන් පාසලේ සිටින ළමයින්ගේ සදාචාරය නැත්තටම නැතිවී යා හැක. පාසලේ සිටින වැඩිමහල් පිරිමි සිසු දරුවන්ට සිය සගයන්ගේ මව්වරුන් දැක්මෙන් සිය නවයොවුන් ලිංගික ආශා පාලනය කර ගත නොහැකිව කුමකින් කුමක් විය හැකිද? සිසුදරුවන් නිසා මවට සිදුවිය හැකි, මව නිසා සිදුදරුවන්ට සිදුවිය හැකි මේ මහා විනාශය කෙසේ හෝ නැවැත්විය යුතුය. මවක් නිසා පාසල් හරපද්ධතියටම සිදුවේ යැයි ඔවුන් සිතනා මේ විනාශයෙන් සිදුසිසුවියන් බේරා ගැනීමට තිබෙන එකම විසඳුම ලෙස අප අනාගත පරපුරට අකුරු කරන, හරි වැරැද්ද කියා දෙන පාසල භාරව සිටින ගුරුදෙවිවරුන් තීරණය කොට ඇත්තේ, මව් වරුන්ට බලෙන් සාරි ඇන්දවීමයි.

කොතරම් අපහසුතාවයකට මුහුණ දීමට සිදු වුවද දෙමාපියන් සෑම විටම මෙන් මෙහිදීද ශේප් න්‍යාය අනුගමනය කිරීමට පෙළඹ ඇත. මුළු රට පුරා පැතිර ඇති මෙම අර්ථවිරහිත නීතියට එරෙහිව නැඟී සිටීමට කිසිවෙකුටත් උවමනාවක් නැත. මෙම නීතිය පැහැදිලි ලෙසම පාසල් බලධරයන් විසින් සිය අධිකරී බලය අනිසි ලෙස භාවිත කිරීමකි. පාසැල් සිසුන් මත තමා පතුරවන අධිකාරී බලය වැඩිහිටි සමාජය මතද පැතිරවීමකි.

මේ මව්වරුන් සහ පියවරුන්ගේ කොඳුනාරටි ඔවුන් සිසුසිසුවියන් වූ කාලයේදී කඩා ඉවත්කර දමා නිවටයන් බවට පත්කොට ඇත්තේද සිසුන් පමණක් නොව ඔවුන්ගේ දෙමාපියන් මතද දැඩි ලෙස තම අධිකාරී බලය පතුරවන මෙම පාසල් පද්ධතිය විසින්මය. අද වැඩිහිටියන් ලෙස එම පාසැල් පද්ධතියේම අඩන්තේට්ටම් වලට ලක් වෙද්දි ඒ අසාධාරණයට එරෙහිව නැඟී සිටීමට ඔවුනට කොන්ද පණ නැති වීම පුදුමයක් නොවේ.

පාසල් බලධරයන් විසින් මෙවන් අර්ථශුන්‍ය නීති වෙනුවෙන් නිදහසට කාරණා ලෙස ඉදිරිපත් කරන්නේ සිසුසිසුවියන්ට හැදිච්චකම කියා දිය යුතු බවයි. එයට මව්පියන් ආදර්ශය සැපයිය යුතු බවයි. මෙම මුග්ධ විදුහල්පතිවරුන්ගේ අමන තියරි වලට සිනාසිය යුත්තේ අධෝමුඛයෙන්ය. පාසැලට එන මව්වරුන්ගේ ශරීර බලෙන් සාරි වලින් එතීමෙන් ළමයාට යන පණිවුඩය කුමක්ද?

මෙහිදී ඔවුනට ලැබෙන ආදර්ශය වෙන කිසිවක් නොව, තමාගේ මව ඇතුළු මුලු කාන්තා පරපුරම ඇඳුම් වලින් ඔතා පිරිමි අශිෂ්ඨකම් වලින් ආරක්ෂා කල යුතු ලිංගික බඩු බවය. පියවරුන් සහ පිරිමියන් මෙන් නොව මව්වරුන් සහ ගැහැණුන්ව මෙල්ල කල හැක්කේ නීති දමා පාලනය කිරීමෙන් බවය. එසේම බලය දරන්නන් තමා මත පතුරවන අධිකාරී බලයට කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව අවනත විය යුතු බවය. එසේ අවනත වීමෙන් ජීවිත සැපවත් සහ පහසු වන අතර ‍ප්‍රශ්න කිරීමට යාමෙන් නැති ප්‍රශ්න සහ ගැටළු වලට මුහුණ දෙන්නට සිදුවන බවය. සදාචාරය යනු මූනිච්චාවට බලය ඇත්තෙක් ඉදිරියේ රඟදක්වන බලය ඇත්තා නැති තැන නැතිව යන නොකර බැරිකමට අමාරුවෙන් කරන රැවටිලිකාර වැඩ බවය.

අප සෑම දේම කිරීමට පුරුදුව ඇත්තේ මූනිච්ඡාවටය. සිත සනසා ගැනීමටය. පාසලට එන මව්වරුන්ව සාරි වලින් ඔතා අනේ අපේ හැදියාව යැයි සිතමින්, අපේ ළමයි දැන් පිළිවෙලට අඳින හැටි දැනගන්නවා යැයි සිතමින් සැනසෙන්නෙමු. පාසලේ ගත කරන දවසේ පැය පහ හයට පෙර සහ පසු දරුවා සමාජයෙන් දකින්නේ කුමක්ද කියා සිතීමට අපට උවමනා නැත. පැය කිහියකට සීමා කරන ලද රඟපෑමකින් දරුවා රැවටිය හැකි බව අපි සිතමු. පාසලට සාරිය ඇඳන් එන මව පොළට යන්නේ කුමක් ඇඳගෙනද? නෑගම් යන්නේ? මංගල උත්සවයන් වලට සහභාගි වෙන්නේ? සාරිය හැර අනෙක් ඇඳුම් ශිෂ්ඨ නොවන බව කියනා අය ඉස්ලාම් අන්තවාදීන් විසින් සිය කාන්තාවට බුර්කාව ඇඳීම අනිවා‍ර්‍ය කොට ඇත්තා සේ අප ගැහැණුන්ටද සාරිය ඇඳීම අනිවාර්‍ය කල යුතුය.

මෙහිදී ආගමික ස්ථාන වලට අදාලව සමාජයේ පවතින සම්මුතීන් හෝ රාජකාරී ස්ථාන වල කාර්‍ය මණ්ඩල භාවිතා කරන නිල ඇඳුම් සමඟ මෙම සාරි පැටලවීමේ ඇති වෙනස වටහා ගැනීම වැදගත්ය.

සමහර රටවල නිරුවත් වෙරළ තීරයන් (nude beach) ඇති බව අප සැවොම දන්නා කාරණයකි. කෙසේ වෙතත් සම්පූර්ණ නිරුවතින් සිටිය යුතු වල වෙරළ තීරයන්ට ඇතුල්වීමට හෝ නොවීමට වැඩිහිටි සියල්ලන්ට නිදහස ඇත. නිරුවත් වීමට කැමති අයට ඇතුළු විය හැක. අකමැති අයට එළියට වී සිටිය හැක. ආගමික ස්ථානයකට ඇතුළු වීමේදීද එය එසේමය. යම් ආයතනයකට රැකියාවකට සම්බන්ධ වීමේදීද එය එසේමය. යම් dress code එකක් අනුගමනය කල යුතු උත්සවයකට සහභාගී විමේදීද එය එසේමය.

නමුත්, ඒවා සහ පාසලට පැමිණෙන දෙමාපියන් අතර වෙනස පාඨකයා වටහා ගනු ඇතැයි සිතමි.

මෙවන් ආකල්ප ඇති විදුහල්පතිවරුන්ගෙන්, ගුරුවරුන්ගෙන් දැනුම ලබා ගන්නා අප අනාගත පරපුරට තිස්තුන්කෝටියක් දෙවිදේවතාවුන්නාන්සේලාගේ පිහිට පතනවා හැර කුමක් කරම්ද?

තම පාසලට පැමිණෙන, යන එන අය සම්බන්ධ පාලනය කිරීම් ගැන නීති රෙගුලාසි පැනවීමට පාසැල් අධිකාරියට බලය ඇති බව සැබවකි. එහෙත් ඒ බලය අනිසි ලෙස, අර්ථ්ශුන්‍ය ලෙස භාවිතා කිරීම වැරදිය. එසේ කරනා අවස්ථාවන් හිදී එයට විරුද්ධවීමටත්, එයට එරෙහිව නැඟීසිටීමටත් දෙමාපියන්ට අයිතියක් ඇත. දැන්වත් දෙමාපියන් විසින් මෙම මුග්ධ නීති වලට අවනත වීම ප්‍රතික්ෂේප කල යුතුය.

එසේ නොවුවහොත් අපේ සංස්කෘතිය නම් වූ කවරයෙන් ඔතා ඇති අසූචි මල්ලක් වුවත් සුවඳ දුම් අල්ලා වන්දනාමාන කිරීමට සැදී පැහැදී සිටින අප සමාජය තුළ මෙම ප්‍රවනතාව තව තවත් ප්‍රචලිත වීමට වැඩි කලක් ගත නොවනු ඇත.

Friday, August 4, 2017

අංකල්

දැන් ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුරුදු වෙලා හිටියට ඉස්සර මම ෆිල්ම්ස් බැලුවේ ගෙවල් ලඟ තිබ්බ DVD ශොප් එකෙන් රෙන්ට් එකට අරගෙන.

ඩීවීඩී කඩේ හිටියේ අංකල් කෙනෙක්. මම අංකල්ව හඳුනගද්දි අංකල්ට වයස පනස් පහක් විතර ඇති. මට වයස මං හිතන්නෙ දහහතරක් පහලවක් විතර වෙන්න ඇති මතක විදියට.

ආ.. අමතක වුනා. අංකල්ගෙන් මුලින්ම ගත්තේ DVD නෙමේ. සීටී තැටි. පස්සෙ තමා DVD වලට මාරු වුනේ. ඊටත් කලින් පොඩිම කාලේ ෆිල්ම්ස් බැලුවේ හන්දියේ තිබ්බ පෙරේරා කියන වීඩියෝ ශොප් එකෙන්. ඒකෙන් බැලුවේ DVD වත් සීඩී තැටිවත් නෙමේ VHS තමා. මම තාම ආසම කරන Terminator 2 වගේ ෆිල්ම්ස් බැලුවේ VHS හෙවත් ඩෙක් පීස් වලින්. අම්මගෙන් රුපියල් විසිපහක් ඉල්ලගෙන අම්මගෙම අයිඩෙන්ටි(ටි) කාඩ් එක දීලා තමා ඩෙක් පීස් ගන්නේ.

කොහොම හරි අංකල්ගේ කඩෙන් DVD එකක් ගත්තම රුපියල් පනහයි. දවස් තුනක් තියාගන්න පුළුවන්. අංකල් මගෙන් දඩ සල්ලි නොගත්තට වෙලාවට ගිහිල්ලා දෙන්නේ යුතුකමක් විදියට වගේ. වෙන අයගෙන් පරක්කු වුනාම දඩ ගත්තට මගෙන් ගත්තෙ නැත්තෙ මම අංකල්ගේ නොම්මර එකේ කස්ටර්මර් කෙනෙක් වුනාටත් වඩා ගිහින් කයිය ගගහා ඉඳලා දෙන්නා අතර ඇති වුන ෆිට් එක නිසාමයි.

සමහර විට ඩීවීඩී එකක් ගන්න කියලා ගියාම පැයක් එකහමාරක් කයිය ගගහා ඉඳලා තමා ඩීවීඩී එක අරගෙන එන්නේ. කියවන්න ගත්තම දේශපාලනයෙන් පටන් අරගෙන අන්තිමට මොකෙක්ගෙ හරි ඕපදූපයක් දක්වා කතා කරලා තමයි නවතින්නෙ.

අංකල්ගේ ජීවිතය ගැන විස්තර කිසිම අවුලක් නැතුව මා එක්ක කියද්දි මම කරන්නේ ඔහේ අහගෙන ඉන්න එක. මගේ ප්‍රශ්න අනන්මනන් අංකල් එක්ක කියද්දි අංකල් කලේ මට උපදෙස් දෙන එක. "වෙලාව බලාගන්න, අර හාමුදුරුවන්ව ගිහින් හම්බෙන්න, අර පල්ලියට ගිහින් බාරයක් වෙන්න" වගේ උපදෙස් තමා අංකල්ගෙන් හම්බුනේ (ඔව්, අංකල් පන්සල් පල්ලි දෙකටම යනවා).

ඒ කාලේ අංකල්ට මාරම බිස්නස්. විශේෂයෙන්ම හවස් වරුවේ හය හයාමාර වෙද්දි එහෙම අංකල්ගේ කඩේට ගිහින් ඩීවීඩී එකක් තෝරගන්නවා කියන්නෙ එපාම වෙන වැඩක්. එවෙලාවට පැයක් දෙකක් යනකල් ඇතුලේ පස් හය දෙනෙක්ම ඉන්නවා. ඉතින් නිදහසේ ෆිල්ම් එකක් තෝරගන්න ඕන නිසා මම යද්දි යන්නේ ඒ වෙලාව මඟ ඇරලා.

ඒකාලේ එහෙම බිස්නස් ජයටම තිබ්බට පස්සෙ පස්සෙ තත්වය වෙනස් වුනේ ඩීවීඩී එකක ගාණ අම්බානට අඩු වෙන්න ගත්තම. ඊටත් වඩා හන්දි හන්දි ගානේ හතු පිපෙන්නා වගේ ඩීවීඩී කඩ ඇරෙන්න ගත්තම. තව ඉතින් හැම කමියුනිකේෂන් එකකම ඩීවීඩී විසිපහක් තිහක් එල්ලගෙන විකුණන එක නෝමල්ම දෙයක් වුනා පස්සෙ පස්සෙ.

තත්වය ඔහොම වෙනස් වෙද්දි කවුරුත් කැමති වෙන්නෙ නෑනෙ රුපියල් පනහක් දීලා ඩීවීඩී එකක් බලලා දවස් තුනකින් ආයේ ගිහින් දෙන්න. ඊට වඩා හැම අතින්ම හොඳයිනෙ රුපියල් හැත්තෑවක් අසූවක් දීලා ඩීවීඩී එක තියාගන්නම ගන්න එක. එනිසා වෙන්න ඇති පස්සෙ අංකලුත් ඩීවීඩී රෙන්ට් කරන එක නවත්තලා විකුණන්න ගත්තා. එකක් රුපියල් අසූවට.

ඉස්සර හන්දියේ තිබ්බ එකම ඩීවීඩී කඩේ හිමිකාරයා අංකල් නිසා බිස්නස් නැගලා ගියාට දැන් අංකල්ගේ කඩේ පාලුවට ගිහින්. හන්දියේ දැන් ඩීවීඩී කඩ හතරක්ම තියෙනවා. එයින් එකක් පට්ට කොලිටියට වැඩේ කරනවා. ෆිල්ම් එකක් රිලීස් වුන ගමන්ම බඩු තියෙනව කඩේ. ෆයිනල් කොපිය කියල ශුවර්. ඒ විතරක් නෙමේ කඩේ බිත්ති හතර පුරාම බිම ඉඳල උඩටම ඩීවීඩී එල්ලල තියෙන්නෙ. නිකන්ම නෙමේ, සුපර්හීරෝ ෆිල්ම්ස් වෙනම, ෆැන්ටසි ෆිල්ම්ස් වෙනම, ඇක්ෂන් ෆිල්ම්ස් වෙනම, හොරර් ෆිල්ම්ස් වෙනම, අලුත්ම රිලීස් වුන ඒවා වෙනම, ටීවී සීරීස් වෙනම.. ඔය වගේ. විකුණන්න තියෙන්නෙත් මාරම පට්ට ෆිල්ම්ස් කලෙක්ශන් එකක්. චාලි චැප්ලින්ගේ ඒවයේ ඉඳල..ඔස්කාර් ගහපු ඒව දක්වාම ෆිල්ම් කලෙක්ෂන් එකක් තියෙනවා පොට් එකේ.

කොටින්ම මමත් දැන් ඩීවීඩී එකක් සල්ලි දීලා ගන්නව නම් යන්නේ ඒ කඩේට තමා.

අන්තිමට මම අංකල්ගේ කඩේට යන්න ඇත්තේ දැනට අවුරුදු දෙකකට විතර කලින්.

කතා කරන්නවත් කවුරුත් නැතිව හිටිය ජීවිතේ එක කාලයක මට හිටිය එකම මිත්‍රයා, නෑදෑයා වුන අංකල් දැන් රස්නේ නිසා ශර්ට් එකේ බොත්තම් දෙකක් තුනක් ඇරගෙන ඔහේ ඉඳගෙන උඩ බලාගෙන ඉන්නව කඩේ පහුකරගෙන යනගමන් දකිද්දි පොඩි දුකක් දැනෙන්නේ නැතුවත් නෙමේ.

කොච්චර වුනත් අදත් මාව දැක්කම අර විඩාබර ගතිය එකපාරම අමතක වුනා වගේ මූණ හිනාවෙන් පුරවගෙන අතවන්න්නේ ඉස්සර වගේමයි.

මෙච්චර අවුරුදු ගාණක් ආශ්‍රය කරලත් තාම මම අංකල්ගේ නම දන්නැති එකයි පුදුමම වැඩේ. ඒ වගේම තමා අංකල් මගේ නමත් දන්නෙ නැතුව ඇති.

මෙච්චර කාලයක් ගිහිනුත් අංකල්ගේ නම නොදන්නවා වුනාට, මට නම් තාමත් අංකල්ගේ නම අංකල්ම තමා.