Saturday, December 30, 2017

දිනපොත


කුමාරි අක්කා බඳිනවලු. අද හවස ලොකු අම්මා ඇවිත් වෙඩින් එක කියල ගියා. උත්සවය තියෙන්නේ 24 වෙනිදා. තව සති දෙකකට පොඩ්ඩක් වැඩියෙන් කල් තියෙන්නෙ. මාසෙ මුල වුනාට පඩියෙන් බාගෙකටත් වඩා ඉවරයි. ශික් ! මෙච්චර අමාරුවෙන් රෝල ගහගෙන ගෙනියන මාසෙ අස්සට ඔහොම එකක් ආවාම මාරම අමාරුයි. ඒත් මොනව කරන්නද, නොගිහින් බැහැ.

"නොගියොත් නෑදෑයෝ මොනව නොකියයිද?"

අඳින්න කියල හරිහමන් ඇඳුමකුත් නැහැ. කමක් නෑ. හැමදාම අඳින සුදු ෂර්ට් එකයි කළු කලිසමයි ඇඳලා ටයි එකක් දානවා මම. එතකොට ශේප්. නංගිට අලුත් ඇඳුමක් අරන් දෙනව. ගවුමක් හරි මොකක් හරි. මේකි කැමතිම කොට ගවුම් වලට, ඒවා කරන්න දෙන්න බැහැ.

"වෙඩින් එකට එන මිනිස්සු මොනව නොකියයිද?"

නංගි ගැන නරකක් හිතුවොත් මටත් එක්ක ලැජ්ජාව. අනික ඒක අපේ පවුලටම හරි නෑ. මේකි අපේ වහලෙ යට ඉන්නකල් නටන්න දෙන්න හොඳ නෑ.

නංගි කැම්පස් එකේ කොල්ලෙක් එක්ක හුටපටයක් පටන් අරගෙන කියල යාලුවන්ගේ මාර්ගයෙන් පොඩි ආරංචියක් ඇවිත් තියෙන්නෙ. ඇතුලෙ මගෙ කන්ටැක්ට්ස් තියෙන නිසා හොඳයි. මමයි තාත්තයි මෙච්චර අමාරුවෙන් උගන්නල ඕකිව කැම්පස් ඇරියෙ ඒකිට ඕන ඕන එකාලා එක්ක රවුම් ගහලා අනාථ වෙලා එන්න‍යැ.

"මිනිස්සු මොනව නොකියයිද මේ කතා ආරංචි වුනොත්"

හදිසියේ බඩ කරගෙන එහෙම ගෙදර ආවොත් වහකාලා මැරෙන්න වෙන්නෙ. කොහොමද අපි ගමේ උන්ට පේන්න පාරෙ බැහැලා යන්නෙ එහෙම දෙයක් වුනොත්? හැබැයි ඉතින් කවුරු වුනත් කමක් නෑ යමක් කමක් තියෙන පවුලකින් නම්, හිල්ටන් මාමාගේ දුව බැන්දේ ඉංජෙක්වනෙ. තට්ටු දෙකේ ගෙයයි වාහනෙයි එක්ක. උන්ට තියෙන මොළේ අපේ එකීට නැති හැටි. නංගිට අල්ලලා දෙන්න ඕන හොඳ අත්තක්. ගමේ උන්ට පේන්නත් එක්ක. අක්කත් අර වසවර්තියෙක් බැඳගෙන දහදුක් විඳින එකේ..

අක්කා බැඳලා ඉන්න රුවන් අයියා නම් මහම මහ කාළකණ්ණි නරුමයෙක්. බැඳලා මුල් අවුරුද්දෙ දෙකේ හොඳට හිටියට දැන් නම් අක්කව තඹ සතේකට ගනන් ගන්නෙ නෑ. පුදුම දුකක් අක්කා විඳින්නේ දාසියෙක් වගේ වැඩ කර කර. හැමදාම හවසට කටගොන්නක් බිගත්ත ගමන්ලු. හම්බ කරන හැම සතේම ඔහේ නාස්ති කරනවලු. කීපවිටක් අක්කට අත උස්සලත් තියෙනවද කොහෙද. පවුලෙ අය මට ඒ වැඩි විස්තර කියන්නෙ නෑ, මම ප්‍රශ්න ඇති කරගනියි කියල බයට. ඒක නිසා වෙන්න ඕන අක්කා කීපදවසක්ම අඬාගෙන ආවේ රුවන් අයියාගෙන් දික්කසාද වෙන්න ඕන කියල. අක්කා කිව්වට දික්කසාද වෙන්න දෙන්නෙ කොහොමද?

"අහල පහල මිනිස්සු මොනවා නොකියයිද? මිනිස්සු අහන ප්‍රශ්න වලට කොහොම උත්තර දෙන්නද අපි?"

උජාරුවට වෙඩින් අරගෙන අවුරුදු තුනහමාරෙන් දික්කසාද වුනා කිව්වම ! මොන තරම් ලැජ්ජාවක්ද. ගමේ උන් හිනා වෙයි අපිට. එක එකාගේ කතා අහනවට වඩා සැපයි විඳව විඳව හරි ජීවත් වෙන එක.

අම්මා කිව්ව වගේ අක්කා ඉක්මනටම දරුවෙක් හදාගත්තා නම් හරි. එතකොට ඕවා ඇරිල යයි කියලයි අම්මා නම් කියන්නෙ. අනික දැන් ගමේ උනුයි මගේ යාලුවොයි හැමෝම මගෙන් අහන්නේ "අක්කට තාම ළමයි නැද්ද, ළමයි නැද්ද" කියල.

"මට දෙන්න උත්තර නෑ. වස ලැජ්ජාව"

අක්කා කියන්නේ ළමයි හදන්න බයයි, රුවන් අයියා එක්ක දිගටම ජීවත් වෙන්නෙ කොහොමද කියලා හිතාගන්න බෑ කියල. මේකි මෙතන හදන්නෙ ගමේ මිනිස්සු ඉස්සරහ අපේ පවුලෙම මූණවල් වල දැළි ගාන්න. මේ පවුල මේ තත්වෙට ගෙනාවේ කොච්චර නම් අමාරුවෙන්ද?

පවුලේ ප්‍රශ්න මදිවට නිරංජිත් වදේ ගහනවා ඉක්මනටම බඳිමු බඳිමු ගගා. ගෙදරින් කේස්ලු මා එක්ක යාලුවෙලා දැන් ගොඩක් කල් නිසා. නිරංජිගේ නෑදෑයො යාලුවෝ එහෙම ඔක්කොම බැඳලලු. ඒකි විතරලු තාම බැඳලා නැත්තේ.

"ඒකිට ඒ අයට මූණ දෙන්න බෑලු"

දකින දකින තැන අහනවලු බඳින්නේ කවද්ද බඳින්නේ කවද්ද කියල..

මේකිට තේරෙනවයැ මගේ ඔලුවෙ තියෙන ප්‍රශ්න. ඇයි යකො වෙඩිම ගන්න අඩුම ගානේ ලක්ෂ දහයක් පහලවක්වත් ඕනි. ඕකට ලෝන් එකක් දාගන්න බලාගෙනම වෙඩිම ප්ලෑන් කරන්න ඕනි. අපේ ඉස්කෝලෙ පන්තියේ හිටිය රනිඳුවා වෙඩිමක් නොගෙන බැන්දා කියල උගෙම යාලුවෝ ඌට කිව්ව කතා ඌ දන්නවා නම් මෙලහකට ඌ මූදෙ පැනලා. ඌ කියනවා ඌට වෙඩිමට ගියෙ රුපියල් විසිදහයිලු. රෙජිස්ටාර් ගාවට ගිහින් බැඳලා ළඟම යාලුවො ටිකට රෑට බොන්න අරන් දුන්නලු. ඌයි කෙල්ලයි රෑට කඩෙන් බුරියානි ගෙනත් කාලා නිදාගත්තලු. ඌ නම් කියන්නෙ දැන් ඌ ෆුල් ආතල් එකේ ඉන්නව කියල. බැඳලා ජීවත් වෙන හැටි කලින්ම ප්ලෑන් කරපු නිසා සල්ලි ප්‍රශ්න නැති තරම්ලු.

"ඒත් ඉතින් කොහොමද ඔහොම කරල පාරෙ තොටේ බැහැලා යන්නෙ. මිනිස්සු මොනවා නොකියයිද?"

මම එහෙම බැන්දොත් අම්මටයි තාත්තටයිනෙ ලැජ්ජාව. මම එකම පුතා නිසා ණය වෙලා හරි හැමෝගෙම කටවල් වැහෙන්න ලොකු වෙඩිමක් ගන්න එක එයාගෙ එකම ආසාව කියලනෙ අම්මා හැම වෙලේම කියන්නෙ..

කොහොම හරි ලබන අවුරුද්දෙ අන්තිම වෙද්දිවත් ලෝන් එකක් දාලා සුපිරියට මගෙ වෙඩිම ගන්න ඕන. බැඳලා අවුරුද්දක් විතර යද්දි හදනවා කොලු පැටියෙක්.. අවුරුදු දෙකෙන් ගන්නවා පොඩි කාර් එකක් ලීස් එකක් දාලා.

"ගමේ ඉන්න ඊරිසියා කාරයන්ගේ කටවල් වැහෙන්නම"

ඊට පස්සෙ ඉතින් හැමදාම බතුයි කරෝලයි සම්බෝලයි කකා ඒ ණය අවුරුදු ගාණක් ගෙව්වත් සැපයි. අපි කන බොන හැටි මිනිස්සු දන්නවයැ. ඔලුව කෙළින් තියාගෙන පාරෙ යත හැකි එතකොට මටයි මගෙ අහිංසක අම්මටයි තාත්තටයි.

බැරි වෙලා හරි මගෙ ප්ලෑන් ටික ඔහොම කරගන්න බැරි වුනොත් එහෙම.. ඒ කියන්නෙ නංගි දැන් යාලුවෙලා ඉන්න එකා එක්ක තියෙන සම්බන්ධේ කඩලා දාලා ලොකු ගෙයකුයි වාහනයකුයි තියෙන පොරකට බන්දලා දීලා, අක්කා රුවන් අයියාගෙන් දික්කසාද වෙන එක නවත්තලා ළමයෙක් හදන්න ඒකිගේ හිත වෙනස් කරලා.. ලෝන් එකක් දාලා මගෙයි නිරංජිගෙයි වෙඩිම අරගෙන අවුරුදු දෙකෙන් කාර් එකක් අරගෙන මගේම කියල කොලු පැටියෙක් හදාගන්න බැරි වුනොත් එහෙම..

වහ කාලා මූදෙ පනින්න තමා වෙන්නෙ..

ඇයි? ඕවා ඔහොම ඔය විදියටම කරගන්න බැරි වුනොත්..

"ගමේ උන් අපිට මොනවා නොකියයිද?"

.
.
.
- දෙසැම්බර් 28, 2017
ලාංකික ජන මනසේ දිනපොත
 
 

Thursday, December 28, 2017

ඇයි උඹ ළමයි හදන්නෙ නැත්තෙ?



යාලුවා – ඇයි උඹ ළමයි හදන්නෙ නැත්තෙ?

මම – ඇයි උඹ ළමයි හදන්නෙ?

යාලුවා – කවද හරි වයසට ගියාම උඹව බලාගන්නෙ කවුද?

මම – උඹ හිතනවද ඒක ළමයෙක් මේ ලෝකෙට බිහි කරන්න හොඳ හේතුවක් කියල?

යාලුවා – ඇයි ඒක හොඳ හේතුවක් නෙමේද?

මම – හොඳ නරක කෙසේවෙතත් ඒක ආත්මාර්ථකාමී හේතුවක්. උඹ කරන්නෙ ආයෝජනයක්

යාලුවා – එක අතකට ඔව්. ආයෝජනයක් තමා

මම – ආත්මාර්ථයෙන් කරන ආයෝජනයක්. උඹ උඹේ ආත්මාර්ථකාමී අරමුණක් වෙනුවෙන් ජීවිතයක් නිර්මාණය කරනවා. ඒක සදාචාරාත්මකද? දරුවෙක් කියන්නෙ රිටයර්මන්ට් ප්ලෑන් එකකටද?

යාලුවා – උඹට කවද හරි හිතෙයි ළමයෙක් හැදුවනම් හොඳයි කියල. උඹ පසුතැවෙයි

මම – මට එහෙම හිතෙන එකක් නෑ. ඒත් බැරි වෙලාවත් එහෙම හිතුනොත් දරුවෙක් අරගෙන හදාගන්න පුළුවන්නෙ. උඹට කවද හරි හිතුනොත් උඹ ළමයෙක් හදපු එක අපරාදෙ කියල. ජීවිත කාලයක් පුරා හදපු දරුවා ගැන උඹ පසුතැවුනොත්? උඹ එදාට මොකද කරන්නෙ?

යාලුවා - උඹට පොඩි එකෙක් හිනා වෙනව දකිද්දි ආස හිතෙන්නැද්ද? උඹේම කියල පොඩි එකෙක් හුරතල් කරන්න ආසාවක් ඇත්තෙම නැද්ද බං?

මම - උඹට පණ තියෙන බෝනික්කෙක් එක්ක සෙල්ලම් කරන්න ආසයි කියල මේ ජීවිතය කියන සටනට අරගල කරන්න තවත් ජීවිතයක් නිර්මාණය කරන එක සාධාරණයි කියල උඹ හිතනවද? ජීවිතය කියන්නෙ කට්ටක් බං. අපි දෙන්නම බලහං. මොන කට්ටක් කනවද කියල. ඇයි මේ දුක තවත් කෙනෙක්ට දෙන්නෙ?

යාලුවා - යකෝ, උඹේ පරම්පරාව ගෙනියන්නේ කවුද? උඹේ ගෑණි කැමතිද ළමයි නොහදා ඉන්න? අම්මලා තාත්තලා පව් නැද්ද?

මම - මට මගේ පරම්පරාව ගෙනියන්න කිසිම උවමනාවක් නෑ. මොකක්ද බං ඔය මහලොකු පරම්පරාව කියන්නෙ? අම්මලා තාත්තලාගේ ආසාව නිසාම මම මගේ ජීවිතේ තීරණ ගන්නෙ නෑ. මම ඒ අයට ඇහුම්කන් දෙනව. ඒ අය කියන හරි දේවල් අහනවා. හැබැයි ඒ අයගේ අදහස් හරි කියල ඒ අය පැහැදිළිව තහවුරු කරන වෙලාවල් වලදි විතරයි. හැමවෙලේම ඒ අය ගහන පදයට නටන්න මම පඹයෙක් නෙමේනෙ බං. කෙල්ල ගැන උඹ ඇහැව්වා නේද? මෙහෙමයි, උඹට වගේ නෙමේ මම කෙල්ලට මේ ගැන ඒ ටූ එසෙඩ් කියල තියෙන්නෙ. මෙච්චර සරල කාරණාවක්වත් තේරුම්ගන්න බැරි නම් ඒ කෙල්ල එක්ක මට මැරෙනකල් කොහෙත්ම එකට ජීවත් වෙන්න බෑ.

යාලුවා - ඒ කියන්නෙ කෙල්ල කැමතියි ළමයි නොහදා ඉන්න.

මම - ඔව්. දැන් එයා ඉන්නෙ මම කැමති වුනත් එයා කවදාවත් ළමයි හදන්න කැමති වෙන්නෙ නෑ කියන තැන.

යාලුවා - තොටම හරියන ගෑණි

මම - මචන්, ළමයි හදන එකේ සදාචාරාත්මක අවුලක් තියෙනවා. ඒක වෙනම දිගට කතා කරන්න ඕන මාතෘකාවක්. ඒ වගේම ප්‍රායෝගික අවුලකුත් තියෙනවා. යකෝ ළමයෙක් හදනවා කියන්නේ උඹට උඹව නැතුව යනවා කියන එකට. උඹේ මුළු ජීවිතය විතරක් නෙමේ උඹේ මුළු පැවැත්මම ඒ ළමයා වෙනුවෙන් කැප කරන්න වෙනවා අඩුම ගානේ අවුරුදු පහලවක් විස්සක්වත් යනකල්. උඹේ ස්වාධීනත්වය නැතුව යනවා, උඹට උඹ ආස දේ කරන්න තියා හිතන්නවත් වෙලාවක් නැතුව යනවා. හම්බ කරන සල්ලි වලින් බාගෙකටත් වඩා ළමයා වෙනුවෙන් වියදන් කරන්න වෙනවා. හරියටම බැලුවොත් ළමයෙක් හදනවා කියන්නේ අවුරුදු විසි පහක් විතර මාස් පතා පනස්දාහක් හැටදාහක් ගෙවන්න වෙන ලෝන් එකක් ගන්නව වගේ වැඩක්. වියදම ගැන විතරයි ඒ, ළමයාගේ ආරක්ෂාව ගැන සම්පූර්ණ වගකීම එන්නේ උඹට. උඹට සැනසිල්ලේ කෑම ටික කන්නවත් බැරුව යනවා. ළමයා ගැනමනේ ඔලුවේ තියෙන්නෙ, මූ කොහෙ යයිද කොහෙ වැටෙයිද කොහෙ ඇණ ගනියිද කියල. කැමති අය කැමැත්තෙන් ඒ කට්ට කයි. මට අවුලක් නෑ. ඒත් ඔය වගේ අමු කට්ටක් බලෙන් ඇඟේ දාගන්න මට පිස්සු නෑ බං. මට මගේ නිදහස ඕන. මට මගේ සැනසිල්ල ඕන. ජීවිතේ උවමනාවෙන්ම තවත් සංකීර්ණ කරගන්නෙ මගුලකටද? මේ තියෙන ප්‍රශ්න මදිවටයැ.

යාලුවා - ඉතින් බං ඕවා කලාම කවද හරි ඒවයේ ප්‍රතිපල තියෙනවනෙ.

මම - මොනවද ප්‍රතිපල? හැමෝම තමා දරුවො වෙනුවෙන් මේ කට්ට කන නිසා දරුවන්ගෙන් අම්බානට දේවල් බලාපොරොත්තු වෙනවා. දරුවාගේ ඉගෙනීම, විවාහය වගේ ජීවිතයේ වැදගත්ම දේවල් විතරක් නෙමේ දරුවාගේ හැසිරීමේ ඉඳල ආකල්ප දක්වාම තමන් කැමති විදියට දරුවා හැදෙයි වැඩකරයි කියලයි හැමෝම බලාපොරොත්තු වෙන්නේ. මෙච්චර කට්ටක් කාලා හදන එකාවත් තමන්ගේ පදයට නටන හිතන්න බැරි පඹයෙක් කරන එකද මේකෙන් ලැබෙන ප්‍රතිපලේ? මොන මගුලක්ද? මොන දෙමාපියාද තමන්ගේ දරුවා හදන්නේ මනුෂ්‍යය සංහතියට යහපත් මනුස්සයෙක් බිහි කරන අරමුණින්? හැමෝම ළමයි හදන්නේ තමන්ගේ පුද්ගලික උවමනා එපාකම් ඉෂ්ඨ කරගන්න. තමන්ට ළඟා කරන්න බැරි වුන ජීවන ඉලක්ක දරුවා ලවා ළඟා කරගෙන ඒ මානසික ආතල් එක ගන්න. දරුවාට ඒවා කරගන්න බැරි වුනාම දෙමව්පියෝ හැසිරෙන විදිය පොඩ්ඩක් සමාජයට බැහැල බලහන්. මේක මහ විකාරයක්. පටලැවිලි ගොඩක්. මම මේ නාඩගමේ කොටස්කාරයෙක් වෙන්න කීයටවත් කැමති නෑ.

යාලුවා - උඹට තේරෙන්නෑ දෙමාපියන් දරුවන්ට තියෙන ආදරයේ වටිනාකම ගැන. ඒක කොයි තරම් උතුම් දෙයක්ද කියල උඹට තේරෙන්නෑ බං

මම - මචන්, ඔය උතුම්ය කියල කියන දේවල් තියෙනව නේද? අන්න ඒවලින් තමා වැඩියෙන්ම පරිස්සම් වෙන්න ඕන. මේ ලෝකයේ සර්වසම්පූර්ණ පරමාදර්ශී උතුම් මගුල් මුකුත්ම නෑ බං. හැමදේම අඩුපාඩු වලින් කුජීත බවින් පිරුන දේවල්. එනිසා ඔය උතුම් ලණුව කන්න එපා.

යාලුවා - මොකක්ද දැන් උඹ කියන්නෙ?

මම -  උඹ කියන්නෙ දරුවො ගැන දෙමාපියන්ගේ තියෙන හැඟීම තර්කයටවත් බුද්ධියටවත් අහුවෙන්නැති පාලනය කරන්න බැරි බිඳලා දාන්නත් බැරි තරමේ ශක්තිමත් හැඟීමක් කියලනෙ. මොකකින් හරි මිනිස්සුන්ව හැඟීම් වලට ඔයතරම්ම වහල්ලු කරනවා නම් එතන ඇති පොයෙටික් මගුලක් නෑ බං. ඒ බැඳීමම හානිකර පට්ට ඇඩික්ෂන් එකක්. ඔය වගේ බුද්ධියතට අහුනොවන හැඟීම් වලටම වහල් වෙන බැඳීමක් නිර්මාණය කරගෙන ඒකට ඇඩික්ට් වෙයිද මොළයක් තියෙන මනුස්සයෙක්? ඔය කියන විදියට ඕක කුඩු ඇබ්බැහියටත් වඩා අන්තයිනෙ. මට කුඩුත් එපා ඔය වගේ ගොං බැඳීමුත් එපා.

යාලුවා - උඹේ ප්‍රශ්නය මොකක්ද දන්නවද? උඹ හිතනවා වැඩියි.

මම - උඹ දන්නවද උඹේ ප්‍රශ්නය මොකක්ද කියල? උඹ හිතන්නෙම නෑ.

යාලුවා – ඒ නැතත් අපි වර්ගයා බෝ කරන්න ඕන. ලෝකය පවත්වාගෙන යන්න ඕන

මම – ඇයි වර්ගයා බෝ කරන්නෙ? ඇයි ළමයි හදන්නෙ?

යාලුවා – ළමයි හදන්නෙ ඉතින් වර්ගයා බෝකරන්න

මම – ඒක හරි. මම අහන්නෙ ඇයි වර්ගයා බෝ කරන්න ඕන?

යාලුවා – ඉතින් වර්ගයා බෝ කරන්න නිසා…

මම - ඉතින් ඒක තමා බොල මම අහන්නේ අහවල් මගුලකටද වර්ගයා බෝ කරන්නෙ??

යාලුවා - හරි හරි උඹ ළමයි නොහදා හිටහං එහෙනම්. මං කියපුව ගැන හිතල බලහංකො පොඩ්ඩක්.

මම - හා. හැබැයි මීට කලින් අහපු නැති මුකුත් නම් උඹ කිව්වෙ නෑ. හැමෝම කියන කතා ටික තමා ඔය. මම කිව්ව ඒව ගැනත් හිතල බලහන් කැමති නම්. වෙන වෙලාවක මේ ගැන හිමීට වැඩිදුර කතා කරමු.

යාලුවා - හ්ම්..

මම - එල

Thursday, December 21, 2017

(නො)හිතන මිනිස්සු

මීට දවස් දෙක තුනකට කලින් මිතුරකුට “හිතන මනුස්සයෙක්” වෙන එකේ ප්‍රයෝජනය මොකක්ද කියලා අමුතුවෙන් පැහැදිළි කරන්න වුනා.

ඔහුට අනුව එදිනෙදා ජීවිතයට සෘජු බලපෑමක් නැහැයි කියල බැලූ බැල්මට පේන දේවල් ගැන හොයන්න යන එක තේරුමක් නැති කාලය නාස්ති කිරීමක්. 

මානසිකව සැනසිල්ලේ ඉන්න තත්වයන් යටතේ ඉන්න මිනිස්සු හිතන්න පෙළඹෙනව වැඩියි. බුදුහාමුදුරුවො පවා කියල තියෙනවලුනෙ බණ කියන්න කලින් බණ අහන්න එන මනුස්සයාට කන්න දෙන්න කියලා. ඒකෙන් කියවෙන්නෙ හිතන්න කලින් බඩ පිරිලා තියෙන එක වැදගත්ය වගේ කතාවක්. ඒක හරි.
දිනපතා එකිනෙකා පරයන ජීවන අරගලයක යෙදිල ඉන්න මිනිස්සු ලෝකය ගැන, ජීවිතය ගැන දාර්ශනික ගැටළු ගැන කල්පනා කරනවා තියා තමන් ඉන්න තත්වය ගැනවත් නැවතිලා හිතන්න පෙළඹෙන්නේ නැහැ. ඒ වගේ තත්වයක ඉන්න මිනිස්සු ප්‍රයෝජනවත් දේවල් කියල හඳුන්වන්නේ මාසෙ අන්තිමට ලැබෙන පඩිය කීයකින් හරි වැඩි කරගන්න පුළුවන් වෙන විදියේ වැඩක්, තමන් ගොඩගහගන්න දඟලන බඩුමල්ල (වත්කම්) වැඩි කරගන්න පුළුවන් විදියේ වැඩක්, රස්සාව කරන තැන අඩියක් ඉස්සරහට තියන්න පුළුවන් විදියේ වැඩක් වගේ දේවල්. 

ඉන් එහාට අපේ රටේ බහුතරයක් මිනිස්සුන්ට තමා ජීවත් වෙන සමාජය, සංස්කෘතිය, දේශපාලනය, ආගම ගැන හොයල බලනව තියා පොතක් පතක්, පත්තරයක්වත් කියවන්න වෙලාවක් නැහැ. ඒ අය ගෙවන ජීවිත ඇතුලෙ ඒ වගේ දේවල් වෙනුවෙන් නවතින්න උවමනාවක් නිර්මාණය වෙලා නැහැ. ඒකයි “මොකක්ද බං හිතන එකෙන් ඇති වැඩේ?”, “දැන් උඹ ඕව ගැන දැනගත්තා කියල උඹ මොනව කරන්නද?” වගේ කතා අහන්න ලැබෙන්නෙ. 

ලෝකයේ දියුණුය කියල හැඳින්වෙන සමාජ වලට සාපේක්ෂව අපේ රටේ intellectual discussions කියන ඒවා සිද්ධ වෙනවා බොහොම අල්පයි. එදිනෙදා ජීවිතයේදී මිනිස්සු දෙන්නෙක්ට යමක් ගැන අදහස් හුවමාරු කරගන්න තරම් වෙලාවක් ලැබුනු විටත් ගොඩක් විට ඒ අය ඒ කාලය යොදාගන්නේ කාගේ හරි ඕපාදූපයක් කතා කරන්න, තමන්ගේ ප්‍රායෝගික ජීවිතය පහසු කරගන්න දෙයක් ගැන කතා කරගන්න. (උදා- කාර් එක සර්විස් කරගන්න ලාබම තැන මොකක්ද, හොඳ එළවළු ලාබෙට ගන්න තියෙන්නෙ කොහේද වගේ දේවල් ) සිස්ටම් එකේ සර්වයිව් වෙන්න මිසක් තමා කොටස් කාරයෙක් වෙලා ඉන්න සිස්ටම් එක ගැන හිතන්න, ප්‍රශ්න කරන්න පෙළඹෙන විදියට අපේ සමාජයේ මිනිස්සු නිර්මාණය වෙලා නැහැ. සහ අපේ මිනිස්සුන්ට ‘සාකච්ඡාව’ හෙවත් අදහස් හුවමාරුව කියන කාරණයේ වැදගත්කම ගැන අවබෝධයක් නැහැ. 

වෙනත් සමාජ වල බුද්ධිමතුන් එකතු වෙලා නොයෙකුත් මාතෘකා ගැන වාද සංවාද කරන සංස්කෘතින් ගොඬනැගිලා තියෙනවා. ඒ රටවල එවන් දේ වටා මිනිස්සු ඒකරාශී වෙනවා. එවන් අදහස් බෙදා ගැනීම් ගැන උනන්දු ප්‍රේක්ෂකයින් පිරිසක් හැම වෙලේම ඉන්නවා. ඒ මිනිස්සු ඒ අතින් ඉන්නේ දැනුම පිපාසයකින්. අපේ මිනිස්සුන්ට තවම ඒ වගේ දේවල් දිරවන්නේ නැහැ. කොටින්ම අපිට ඒවා කාලය කාදමන විකාර වැඩ. ඉඳලා හිටලා හරි අපේ සමාජයේ බුද්ධිමතුන් අතර කලාතුරකින් සිද්ධ වෙන එවැනි සාකච්ඡා, අදහස් හුවමාරු පවා ඉතාම සීමිත අවකාශයක් ඇතුලේ සිද්ධ වෙනවා මිසක් ඉන් එහාට බුද්ධි ගලනයක් සිද්ධ වෙන්නේ නැහැ. 

අපේ රටේ මූලික අධ්‍යාපනය ලබල විභාග පාස් කරල පුද්ගලික අංශයේ ඉහල රැකියාවක් කරන්න තරම් වෘතිය දැනුමක් තියෙන තමාගේ ජීවිතයේ තෙවැනි දශකය ගෙවන මනුස්සයෙක්ට “හිතන” එකේ වැදගත්කම අමුතුවෙන් කියල දෙන්න වෙලා තියෙන තත්වයක් නම් තියෙන්නේ ඒක මුළු සිස්ටම් එකේම තියෙන මහා අවුලක් බව මේක කියවන්න තරම් හිතන එකේ වැදගත්කම තේරුම් අරන් ඉන්න උඹට කියල වැඩක් නැහැ.

මේ කතා කියන්න ඕන හිතන එකේ, කියවන එකේ, සාකච්ඡා කරන එකේ, අදහස් හුවමාරු කරගන්න එකේ වටිනාකම තේරෙන්නේ නැති අයට. වැඩේ කියන්නේ ඒ අය මේ වගේ වචන සීයක විතර පෝස්ට් එකක්වත් කියවන්න මලාවට පෙළඹෙන්නේ නැති එක.

Tuesday, December 19, 2017

පිං කරන්න එපා

 
 
පින කියන සංකල්පය සමාන වෙන්නේ මනෝමූලික ගනුදෙනුවකට. 
 
පින බලාගෙන යම් දෙයක් කරන කෙනා බඩගින්නේ ඉන්න කෙනෙක්ට කෑම එකක් දෙන්නේත් ඒ මනුස්සයාගේ බඩගින්න නිවීමේ අරමුණටත්, ඒ මනුස්සයාගේ බඩගින්න නිවෙනවා දැකීමෙන් තමා සතුටක් ලැබීමේ අරමුණකටවත් වඩා කවදා හෝ අර මනුස්සයාගෙ බඩගින්න නිවන්න නිසා තමා නැති කරගත්ත කෑම එක හරි මිල මුදල හරි වගේ දෙතුන් ගුණයක් තමන්ට ලැබේවිය කියන අදහස මත ඉඳගෙන. 
 
ඕක සමාන වෙන්නේ යහපත් සිතින් කරන මානුෂීය ක්‍රියාවකට වඩා තමා වියදම් කරන ගානට වැඩි ගාණක් බලාපොරොත්තුවෙන් සුවිප් ටිකට් එකක් ගන්නවා වගේ වැඩකට. සුවිප් එකේ දිනුම ගැන විශ්වාසයක් නැතුව සුවිප් විකුණන මනුස්සයා ගැන හිතලා සුවිප් එකක් ගන්න ඉතා අඩු පිරිසක් ඉන්නබව ඇත්ත. මොන අදහස ඇතුව ගත්තත් සුවිප් විකුණන මනුස්සයාට ඒකෙන් යම් ප්‍රයෝජනයක් ලැබෙන බවත් ඇත්ත. නමුත් කාරණා එහෙම වුනාය කියලා වියදම් කරන ගාන වගේ දෙතුන් ගුණයක්, සිය දහස් ගුණයක් ප්‍රතිපල බලාපොරොත්තුවෙන් සුවිප් ටිකට් ගන්න එක 'මානුෂීය' ක්‍රියාවක් විදියට සාමාන්‍යෙන් හැඳින්වෙන්නේ නැහැ. 
 
දැන් කෙනෙක්ට අහන්න පුළුවන් මෙහෙම. 
 
"කවුරු හරි කරන වැඩකින් හොඳක් වෙනවා නම් ඌ මොන මගුල හිතන් ඕක කලත් උඹට පාන්ද?".. කියල 
 
ඇත්ත වශයෙන්ම මට පාන්වත් කිඹුල බනිස්වත් නැහැ. එහෙම නැති වෙන්නේ එහෙම කරන එකේ අවුලක් නොතිබ්බනම්. අවුලක් තියෙන නිසා ඇත්ත වශයෙන්ම මට පාන් තමයි. අවුල මොකක්ද දන්නවද? 
 
ඔය පින් සීන් එකෙන් කරන්නේ නම් කරන ලද හැසිරීම් එකතුවක් දිරිමත් කිරීමක් පමණයි. පින බලාගෙන ඒ හැසිරීම් වල යෙදෙන ඈයෝ ඒවා කරන්නේ තමන්ට වාසියක් බලාගෙන මිසක තමා කරන ඒ ක්‍රියාව ගැන අවබෝධයකින් නෙමේ. 
 
මෙහෙම හිතන්න, පොඩි ළමයෙක් බත් නොකන නිසා ගෝනි බිල්ලො එනවාය කියල බය කලාම ඌ බත් ටික ඉවර වෙනකල් කනවා. ඒ බය කිරිල්ලෙන් (ගෝනි බිල්ලා එනවා) යම් හැසිරීමක්(බත් කෑම) කරගන්න පුළුවන් බව ඇත්ත. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ, ඔය ළමයා වැඩිහිටියෙක් වුනයින් පස්සෙත් තමන් කරන ක්‍රියා අවබෝධයක් රහිතව ගෝනි බිල්ලාට බයෙන්ම කරන්න පෙළඹෙනවා නම්. සහ ගෝනි බිල්ලෝ එනවාය කියල වැඩිහිටියෙක් වුනයින් පස්සෙත් මූව වටේ ඉන්න උන් බය කර කර උන්ට ඕන වැඩ මූට කියල කරගන්නව නම්. කොහේවත් නැති 'ගෝනි බිල්ලා' කියන සංකල්පය මත පදනම් වෙලා පාලනය වෙන වැඩිහිටියෙකු වෙනවා නම්.. අවුලක් නැත්තෙමත් නෑ නේද? 
 
දැන් ඔය බෞද්ධ භික්ෂූන් හරි චීවරධාරීන් හරි, මොක්කු හරි ඉන්න ඔය සෙට් එක තනිකරම තමන්ගේ පැවැත්ම තහවුරු කරගෙන ඉන්නේ මේ පිං වෙළඳාම පදනම් කරගෙන. සරලවම කියනව නම් ඒ අය කරන්නෙ පිං වෙළඳාම. මේ අයගේ පාරිබෝගිකයන් ගණන ඉතා විශාල වීම අවුලක් නෑ වගේ පෙනුනට අවුලක් නැත්තෙමත් නෑ. කඨින පිංකම්ද, පෙරහැරවල්ද, ධාතු ප්‍රදර්ශනද, පන්සල සංවර්ධනය කියලා සල්ලි එකතු කිරීම්ද, දන්සැල්ද අරවද මේවද කියල මේ හැම දේකටම පිං පෙන්නල සමාජයේ එක් පිරිසක් (භික්ෂූන්) අනෙක් පිරිසක්ව (උපාසක/උපාසිකාවන්) කඩේ යවන එක අවුලක් නෙමේද? ඒ අයව අන්දලා තමාගේ වැඩ කරගන්න එක අවුලක් නෙමේද? සරලවම කියනවා නම් රවට්ටන එක සහ රැවටෙන එක අවුලක් නෙමේද? මේවා තනිකර පිං විකුණන මුවාවෙන් කරන ජාවාරම් නෙමේද? 
 
එක්තරා කාලයක් තියෙන්න ඇති මිනිස්සුන්ගෙ හැසිරීම් ගෝනි බිල්ලො පෙන්නලා බය කරල හරි මැරුනයින් පස්සෙ හම්බෙන සීනි බෝල පෙන්නල හරි පාලනය කරන එක හොඳ දෙයක් වෙච්චි. නමුත් දැන් මේ 21 වන ශතවර්ෂයේදී ඒ තත්වය වෙනස් කියලයි මට හිතෙන්නෙ. මිනිස්සු ඒ කාලවලට සාපේක්ෂව තාක්ෂණික අතින්, සදාචාරාත්මක අතින් සහ ලෝකය ගැන අවබෝධය අතින් දියුණු වෙලා ඉන්න යුගයක අවබෝධය මත පදනම් වෙලා තමන් කරන නොකරන ක්‍රියා සම්බන්ධව තීරණ ගන්න කාලය එළඹිලා තියෙනවා කියලයි මම යෝජනා කරන්නෙ. අනික, තමා කරන වැඩේ ගැන අවබෝධයක් නැතුව ඔය තෑගි හෙවත් Rewards බලාගෙනම අන්ධයෝ වගේ වැඩ කරන එකේ දරුනු ප්‍රතිපල තියෙනවා. මුස්ලිම් අන්තවාදීන් "අල්ලා හුරක්බා" කියාගෙන තමාවම පුපුරවගන්නේ මැරුනයින් පස්සෙ තමාට හම්බෙන කන්‍යාවියො හැත්තෑ දෙදෙනාගේ තෑග්ග බලාපොරොත්තුවෙන්. 
 
මැරුනයින් පස්සේ අහවල් එක හම්බෙනවාය කියල ඇන්දුවාම අසූචි වුනත් කන මානසිකත්වයක ඉන්න මිනිස්සුන්ගෙන් යුක්ත සමාජයක් නිර්මාණය වෙලා තියෙන එක යහපත් දෙයක් කියල කාටද තර්ක කරන්න පුළුවන්. 
 
මරණින් පස්සෙ මොනව හරි හම්බෙනව කිව්වොත් මිනිස්සු දාස් ගණනින් සල්ලි දෙනවා, මල් පූජා කරනවා, දණ ගහල වඳිනවා, ගස් වටේ කැරකි කැරකි වතුර දානවා, නූල් බැඳගන්නවා, බකන් නිලාගෙන ඉන්න උන්ට හැමදාම කෑම ගිහින් දෙනවා, පහන් පත්තු කරනවා, කඳු නගිනවා, ගස් ගල් වලට වඳිනවා, ඉටිපන්දම් පත්තු කරනවා, යාතිකා කරනවා, හූ තියනවා, කුරුස එල්ලගන්නවා, ... කොටින්ම දෙයියන්ගේ නම කියල කෑගහලා බෝම්බයක් බැඳගෙන තමාවම පුපුරව ගන්නවා. මේ ඇන්දවීම සහ අන්දවා ගැනීම හොඳ දෙයක්ද? 
 
මෑතකදී සයිබරයේ කතාබහට ලක් වුන සිද්ධියක් ඔබට මතක ඇති.
 
ශ්‍රීපාදය වන්දනා කරන්න ගිය වන්දනාකරුවන් දාපු කුණු එකතු වෙලා ශ්‍රීපාදය ලඟ කුණු කන්දක් හැදිලා. මේ මිනිස්සු කොයි තරම් සැදැහැ සිතින් සුදු ඇඳගෙන මත්පැන් පානය නොකර කණුහරප නොකියා වන්දනා ගමනේ ගියත් මේ කරන දේ කරන්නේ තමාගේ යහපැවැත්ම ගැනවත් තමා ජීවත් වන සමාජයේ යහපැවැත්ම ගැනවත් හිතමින් නම් නෙමේ. තනිකර තමාගේ පිං අකවුන්ට් එක වැඩි කරගන්න එකේ අරමුණින්. මේ මිනිස්සු යහපත් කරගන්න හදන්නේ අපි ජීවත් වන ලෝකය නෙමේ. මැරුනයින් පස්සේ තියෙනවයි කියල වෙනකෙනෙක් කියන වෙනත් ලෝකයක් යහපත් කරගන්නයි මේ දතකන්නෙ. මේ අයට ප්‍රශ්නය ජීවිතය නෙමේ, මරණයයි මේ අය ප්‍රශ්නයක් කරගෙන ඉන්නේ. මැරුනයින් පස්සේ තමා යනවාය කියල හිතන වෙනත් ලෝකයක් දිහා බලාගෙන දඟලන මිනිස්සු මේ ලෝකය යහපත් කරන්න ඒ තරම් උනන්දුවක් දක්වන්නේ නැති එක පුදුම වෙන්න කාරණාවක්ද? 
 
මගේ සයිබර් මිත්‍රයෙක් කියලා තිබ්බා ඔය ගැන නියම අදහසක්. ඒ කතාවෙන් මම මේ කියන්න හදන දේ හොඳටම පැහැදිළි වේවි. (හරියටම යාලුවගේ වචන මතක නැති නිසා අදහස ලියන්නම්) 
 
"ඔය ශ්‍රීපාදය ළඟ ගොඩ ගැහිල තියෙන කුණු ගොඩ අයින් කරන එකෙන් ලබන ආත්මයට මහා පිං ආනිසංස ලැබෙනවා කියල ගම් වල ප්‍රචාරයක් යැව්වොත් ගම් නියම් ගම් වලින් මිනිස්සු පොරකාගෙන ඇවිත් මේ කුණු කන්ද දිවෙන් අයින් කරලා දායි" 
 
මරණින් පස්සෙ ලැබෙන බිබික්කමක් බලාගෙන තමා කියන කරන දේවල් ගැන අවබෝධයක් නැතුව වැඩ කරන එකේ අවුල ගැන මීට වඩා හොඳ උදාහරණයක් තවත් ඕනද? 
 
ඇන්දිලා වැඩ කරනවට වඩා අවබෝධයෙන් වැඩ කරන තත්වයට මනුස්ස සංහතිය පා තබල තියෙන බව තේරුම් ගන්න දැන් කාලය එළඹිලා කියලයි මට හිතෙන්නෙ.

Sunday, December 17, 2017

සිද්ධාර්ථ ගෑණියි ළමයයි දාලා ගිය බයගුල්ලෙක්ද?

සිද්ධාර්ථගේ පළා යෑම බොහෝ අබෞද්ධයන් සෘණාත්මක දෙයක් විදියට අරුත් ගන්වද්දි බෞද්ධයන් හැමවෙලේම එය දකින්නේ ඔවුන් විසින් සාධාරණීයකරනය කල යුතු දෙයක් විදියට. 

 

ඒත් පළායෑම හෙවත් මේ කාරණයෙදි මම දකින විදියට ‘සිස්ටම් එක මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීම’ සෘණාත්මක දෙයක් හෙවත් නෙගටිව් දෙයක් විදියට දකින්න උවමනා නැහැ. ඇත්තටම බැලුවොත් සිස්ටම් එක හදන්න දඟලන එක අවසානයේදී නවතින්නේ වියරුවකින්. ඔය ඇම්ම තුළ සමූහයක් විදියට ගත්තම ප්‍රයෝජ්ය වටිනාකමක් තිබුනට පුද්ගලයෙක් විදියට ඒ තුළින් සැනසීමක් ලඟා කරගන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්. 

 

මේ ගැන කතා කරද්දි මගේ මිතුරෙක් යෝජනා කලා සිස්ටම් එක හදන්න දඟලන එක වෙනුවට කල යුත්තේ සිස්ටම් එක වෙනස් කරන්න උත්සාහ කරන එක කියල. 

 

නමුත් මගේ අදහස තමා ඔය කියන ‘වෙනස’ කොහොමත් සිද්ධ වෙන දෙයක් බව. මම, මගේ මිත්‍රයා, මෙය කියවන ඔබ, සිද්ධාර්ථ ඇතුව හෝ නැතුව. අපි හැමෝම දඟලන්නේ මේ වෙනස අපිට ඕන විදියට අපි කැමති විදියට කරගන්න. අපි හැමෝම දතකන්නෙ අපි වටා තියෙන ලෝකය අපිට ඕන විදියට වෙනස් කරන්න. ඉතින් කිසිදා ගොඩගන්න බැරි යථාර්තයක් සමඟ නොනවතින අරගලයක් කරනවට වඩා ඒ ගොඩගන්න බැරි බවේ යථාර්තය තේරුම් අරගෙන සිස්ටම් එකෙන් ගැලවිලා ලෝකය තුළින් සැනසීම හොයනවා වෙනුවට තමා තුළින් සැනසීම හොයන්න තීරණය කරන එක ඔය කියන තරම් නෙගටිව් දෙයක් වෙන්නේ කොහොමද? 

 

ඇත්තටම සිස්ටම් එක ප්‍රතික්ෂේප කරන එකම පරාජිත බවේ ලක්ෂණයක් කියල කියල දෙන්නෙම මේ සිස්ටම් එක විසින්මයි. ඒක ඔහේ පිළිගන්න එක සමාන වෙන්නෙ හොරාගෙ අම්මා කියන පේනෙ පිළිගන්න එකටම තමයි. 

 

මට අනුව නම් පළා ‍යෑම හෙවත් සිස්ටම් එකෙන් ඈත් වීම නෙගටිව් දෙයක් විදියට අරුත්ගන්වන එකම සිස්ටම් එකෙන්ම අපිට දුන්න ලණුවක්. 

 

සිස්ටම් එක සහ ස්වභාවධර්මය කියන විකාරරූපී යථාර්තයන් හමුවේ උපේක්ෂා සහගත හෝ උදාසීන(neutral) ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න පුළුවන් නම්, ඒක මම දකින විදියට තනි පුද්ගලයෙක් විදියට ළඟා කරගන්න පුළුවන් ලොකුම ජයග්‍රහණයක්. ඒක කවුරුත් ඉදිරියේ සාධාරණීයකරනය කලයුතු දෙයක්වත්, ප්‍රතික්ෂේප කල යුතු සෘණාත්මක දෙයක්වත් නෙමේ. 


Saturday, December 16, 2017

අලුත්ම ලින්ක් එක තියෙනවා. ඕනෙද?



“උඹ චයිල්ඩ් පෝර්න් බලනවද?.. ලින්ක් එකක් තියෙනවා එවන්නද?”

 

මීට වසර කිහිපයකට පෙර චැට් වින්ඩෝ එකකදී මගෙන් ඒ පැනය ඇසුවේ පාසල් වියේදී මාගේ මිතුරෙකුව හිඳ වසර ගණනකට පසු මුහුණු පොත හරහා නැවත කුළුපගු වීමට පටන් ගත් පුද්ගලයෙකි.

 

පාසල් වියේදී මිතුරන්ගේ නිවෙස් වල එකතු වී වැල බැලීම පුරුද්දක් කරගෙන සිටි නිසා වැඩිහිටියන් වීමෙන් පසු තවත් සීමා මායිම් තරණය කිරීමක් ගැන අත්දැකීමක් මා හා සමඟ බෙදා ගැනීම ඒ මිතුරාගේ අරමුණ වුනා විය යුතු බව ඒ මොහොත මතක් වන විට මට දැන් සිතේ.

 

දැන් ඒ ගැන කෙසේ සිතුවත් ඒ මොහොතේ මගේ මිතුරාගේ ප්‍රශ්නයට ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙලෙසදැයි සිතාගත නොහැකිව මම තුෂ්නිම්භූත වූවෙමි. තත්පර කිහිපයකින් පසු ඔහුගේ ‘ලින්ක් එක’ ප්‍රතික්ෂේප කලෙමි.

ළමයින් යොදා නිර්මාණය කරන ලද ලිංගික දර්ශන ඇතුලත් වීඩියෝ නරඹන්නේ ‘අසික්කිත, අමුතු’ ජීවීන් කොට්ටාශයක් වැනි අදහසක් මගේ සිතේ ඒ අවස්ථාව වන තුරු මැවී තිබුනත්, ඒ චිත්‍රය වෙනස් වුනේ මගේ මිත්‍රයා මා මවාගෙන සිටියා වැනි ‘අමුතු සතෙකු’ නොවන බව මා දැන සිටි නිසාය. ඔහුද, මා වටා ජීවත් වෙන අනෙක් මිතුරන් සේම හොඳ ශිෂ්ඨ සම්පන්න ජීවිතයක් ගත කරන අයෙකු වීම මගේ ඒ ආකල්පය වෙනස් වීමට හේතුවයි.

 

චයිල්ඩ් පෝර්න් යනු සපුරා නීතියෙන් තහනම් කරන ලද දෙයකි. චයිල්ඩ් පෝර්න් නිර්මාණය කිරීම පමණක් නොව බෙදා හැරීම සහ ළඟ තබා ගැනීමද ලෝකයේ සෑම රටකම පාහේ නීතියෙන් දැඩි දඬුවම් ලැබෙන වරදකි. එය එසේ විය යුතුය. හේතුව, මනස නොවැඩුව කුඩා දරුවන්ව ලිංගික ක්‍රියාකාරකම් වල යෙදවීමෙන් පසු වැඩිහිටියන් බවට පත්වන ඔවුන්ගේ ජීවිත අපායන් බවට පත් වීමට ඒ එක සිද්ධියක් පවා ප්‍රමාණවත් නිසාවෙනි. ඔවුන්ගේ මානසිකත්වයට, පෞරෂයට කිසිදා යථා තත්වයට පත් කල නොහැකි මට්ටමේ හානියක් එයින් සිදුවන අතර ප්‍රායෝගික ජීවිතයේදීද ගැටළු රාශියකට මුහුණ දීමට අනිවාර්‍යෙන් සිදුවන නිසා ශිෂ්ඨ සමාජය විසින් කොන්දේසි විරහිතව ප්‍රතික්ෂේප කල යුතු දෙයකි.

 

චයිල්ඩ් පෝර්න් ගැන කතාව මොහොතකට නවත්වා මීට මාස කිහිපයකට කලින් සයිබරය වෙත ඔබේ මතකය රැගෙන එමි.

 

ලංකාවේ ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සනත් ජයසූරිය සහ එවකට ඔහුගේ පෙම්වතියක් ලිංගිකව හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක ලින්ක් එකක් ලාංකික සයිබරයේ ලැව් ගින්නක් මෙන් පැතිර ගියේය. ඊට ටික දවසකට පසු හෂිනි ගෝනගලගේ පුද්ගලික වීඩියෝ පටයක්ද “මචන්, ලින්ක් එක දියන්” ටැග් ලයින් එකට හසුවූ සැටි ඔබට අමුතුවෙන් මතක් කල යුතු යැයි නොසිතමි. (අදාල පුද්ගලයන්ගේ නම් සඳහන් කලේ මේ සටහන කියවන ඔබ සහ ලියන මම දෙදෙනාම අදාල වීඩියෝ නරඹා ඇති නිසා ලෝකය ඉදිරියේ බොරු සුචරිතවාදයක් මවාගෙන අප විසින් අපවම රවටා ගැනීම තේරුමක් නැති දෙයක් නිසාවෙනි)

 

ඔය අවස්ථා දෙකේදීම ඉහත නම් සඳහන් පුද්ගලයන් හා සම්බන්ධ වීඩියෝ පිටවී ඇති බව දැනගත් මම, අනෙකුන් සේම ලින්ක් එක සෙවීමේ ව්‍යාපෘතියට අත ගැසුවෙමි. විනාඩියක් දෙකක් යාමට මත්තෙන් ඉන්බොක්ස් හරහා අදාල වීඩියෝවල ‘ලින්ක්’ මිතුරන් සෑහෙන පිරිසක් ඇසූ සැනින් මා වෙත එවීය.

 

මමත් අනෙකුන් සේම මිනිස් ජීවිත දෙකක පුද්ගලිකත්වය රසවින්දෙමි. ඔවුන්ගේ අනවසරයෙන් ඔවුන්ගේ නිරුවත නැරඹුවෙමි.

 

“වැඩේ වැරදියි තමා, ඒත් ඉතින් නොබලා ඉන්නෙ කොහොමද?” මගේ ක්‍රියාව ගැන මගේ සිත මගෙන්ම ප්‍රශ්න කරන විට මම මටම පිළිතුරු දී ගතිමි. මගේ සිත මගෙන්ම අසන පැනය නොඇසෙන තරමට අන් ජීවිතයක පුද්ගලිකත්වය අස්සේ මම අතරමං වූයෙමි.

 

…තාක්ෂණය දියුණු වෙද්දි අලුත් ප්‍රශ්න මිනිස් සමාජයේ නිර්මාණය වෙනවා. මේකත් එයින් එකක්. පරිස්සම් වෙනවා හැර කරන්න දෙයක් නෑ. ලින්ක් එකක් අවුට් වුනොත් බලන එක ඉතින් මහ ලොකු වැරැද්දක් නෙමේ. මිනිස් ස්වභාවයනේ ඒක.. පසුව මගේ ක්‍රියාව සාධාරණීයකරනය කිරීමට මා විසින් සාදා ගත් බක පණ්ඩිත තියරියය, එය.

 

කාලය එසේ ගෙවී යද්දි මීට මාස කිහිපයකට උඩදී මුලින් කී මගේ මිතුරා මට මුහුණට මුහුණ හමුවූයේ අහම්බෙනි. සයිබරය හරහා සිදුවූ අපගේ අවසාන වචන හුවමාරුව ගැන අමතක වූවන් සේ කතා කල අපි පරණ සුහදත්වයෙන්ම එකිනෙකාට සමුදී අපගේ ජීවිත වලට පිටව ගියෙමු. නමුත් පසුව මගේ හිතේ හොල්මන් කලේ “මේ යකා චයිල්ඩ් පෝන් බලන ජඩයෙක්නේ” යන හැඟීමය.

 

සිතුවිලි අතර අතරමං වූ මට ඔහු කරන ක්‍රියාවල් නිසා මිනිස් ජීවිත විනාශ වන අයුරු මැවී පෙනෙන්නට විය. ඒ දරුවන් වැඩිහිටියන් වූ පසු සමාජය සමඟ කටයුතු කරන්නේ කෙසේද? සමාජීය ජීවීන් ලෙස නිර්මාණය වී ඇති ඔවුන්ගේ සමාජීය ජීවිත සම්පූර්ණයෙන් විනාශ කරන්නට මොහු දායක වනවා නොවෙද? ඒ බව දැන දැනම තමන්ගේ ඇඟෙන් ඉල්ලන තුච්ඡ ආශාවක් සංතෘප්ත කර ගැනීමේ තිරිසන් ආශාවට යටවී මූ ඒ ජීවිත වල විනාශයට මුල් වන විනාඩි කිහිපයෙන් උපරිම වින්දනයක් ලබනවා නොවේද?

 

ක්ෂණයකින් මගේ සිත එකපාර කණපිට හැරුනේය.

 

එතකොට සනත් ජයසූරියගේ ලින්ක් එක? හෂිනිගේ ලින්ක් එක? පානදුර තක්ෂිලාගේ ලින්ක් එක?

මම මගේ ආශාවන්ට යටවී ඒ මිනිසුන්ගේ පුද්ගලිකත්වය රසවිඳිද්දි මම ඒ ජීවිත විනාශ වන හැටි හිතුවද? අර කුඩා දරුවන්ගේ ජීවිත අපායන් වනවා සේම ඒ මිනිස්සුන්ගේ ජීවිතත් අපායන් වන හැටි සිතුවාද? චයිල්ඩ් පෝන් නිසා අර කුඩා ළමයින්ට වෙන විදියටම ඒ මිනිසුන්ගේ සමාජිය ජීවිත විනාශ වෙන හැටි ගැන සිතුවද? ඔවුන් ඉන් පසු සමාජය සමඟ කටයුතු කරන හැටි ගැන සිතුවාද? ඔවුන් ළමයින් නොවුනාට, අවසානයේ අවස්ථා දෙකේදීම නිර්මාණය වෙන්නේ සාමාන්‍යය තත්වයෙන් උඩුයටිකුරු වුන, තැළුණු බිඳුන ජීවිතයක් නෙමේද?

 

ඒ මොහොතේම මට මා ගැනම ඇති වුනේ පිළිකුලකි. වරදකාරී හැඟීමකි. මන්ද, මා වැඩියෙන්ම පිළිකුල් කරනා පුද්ගල ගතිලක්ෂණයකට සමාන ගති ලක්ෂණයක් මා තුලද ඇති බව මටම අවබෝධ වීම නිසාය.

මම අදටත් ලයිල්ඩ් පෝර්න් නැරඹිමෙන් වින්දනයක් ලැබූ මගේ මිතුරා සහ මම අතර ඇති මහා ලොකු වෙනස කුමක්ද කියා සිතමි. අප දෙදෙනාම මිනිස් ජීවිත ‘තැළුණු හප’ බවට පත් කරන්නට දායක වූවන්ය. අප දෙදෙනාම මිනිස් ජීවිත වල ‘අමිහිරිම, අවාසනාවන්තම, කාලකණ්ණිම’ අවස්ථා තළු මර මර රස කරමින් ආශාවෙන් රසවින්දනය කල පුද්ගලයන්ය. අප දෙදෙනාම අපගේ ශාරීරික ආශාවල් වෙනුවෙන් අප විසින් අපවම සාධාරණීයකරනයට හේතු හදා ගනිමින් මිනිස් ජීවිත දෙකොටසකට එකම අවසන් ප්‍රතිපලය උරුම කරදීමට දායක වූවන්ය.

 

“සමහර විට මගේ මිතුරාගේ ක්‍රියාවෙන් සිදුවන හානිය වැඩි ඇති”, විටෙක මට එසේ සිතෙයි. නමුත් ඔහුද මම වගේම “ඔහෙ කමක් නෑ, මම බැලුවෙ නෑ කියල අනිත් උන් මේවා බලන්නැතුව ඉන්නවයැ” කියා සිතන්නට ඇත.

 

කතාව කෙසේ කොහොම වුවද, මම සුචරිතවාදියෙක් වී ඔහු කළු චරිතයක් වන්නේ කෙසේද කියා මම තවමත් සිතමි.

 

මගේ මිතුරා තවමත් චයිල්ඩ් පෝන් බලනවාද කියා නොදන්නවා සේම, ඊළඟට අවුට් වන ‘ලින්ක් එක’ නරඹන්නේ නැතුව සිටීමට මට හැකිවේද නොවේද කියා මා නොදනිමි.

Wednesday, December 13, 2017

ලාංකීය බස් අසංස්කෘතිය



*ජෙමිස් බණ්ඩා ෆේස් බුක් ප්‍රොෆයිලයේ පල කල සටහනකි

දවස් කිහිපයකට කලින් මගේ මිත්‍ර සුජිත් ප්‍රියන්ත පෝස්ට් එකක් දාලා තිබුනා ගුවන් තොටුපල කොටුව ඒසී බස් රථයේ ගමන් කරන හැම මඟියෙක්ගෙන්ම කොළඹින් ගොඩවී කොහෙන් බැස්සත් එකම මුදලක් (රුපියල් එකසිය විස්සක්) අය කරන හැටි සහ කිසිම මඟියෙක්ට ටිකට් පත් නිකුත් නොකරන හැටි ගැන. සුජිත් තවදුරටත් කියල තිබ්බා ඔහු විසින් බසයේ කොන්දොස්තරගෙන් තම ටිකට් පත ඉල්ලද්දි "හැමදාම මෙහෙම තමයි වෙන්නෙ" කියන නිදහසට කාරණය කොන්දොස්තර ඉදිරිපත් කල හැටිත් මුළු සිද්ධිය පුරාවට අනෙක් මඟීන් නිහඬව බලා සිටි හැටිත්. 
 
සුජිත්ගේ පෝස්ටුව කියවද්දි මට මතක් වුනේ දවසක් මම මුහුණ දුන්න ඒ හා සමානම අත්දැකීමක්. ඒත් ගුවන්තොටුපල කොටුව ඒසී බස් එකේමයි. 
 
දවසක් මම කඳානට එන අදහසින් කොටුවෙන් නැග්ගා බස් එකට. බස් එකට නැගලා විනාඩියක් දෙකක් යන්න කලින් තේරුනා නියමිත විදියට බස් එකේ ඒසී එක වැඩ නැති බව. ඒසී එක වැඩ නැති වුනාට නියමිත විදියට ජනෙල් වහලා කර්ට්න් එහෙම දාලා, මොකද එහෙම නැත්නම් මිනිස්සු නග්ගගන්න බෑනෙ ඒසී බස් එකක්ය කියල. නැගලා ටික වෙලාවක් ගියයින් පස්සෙ තමයි තේරෙන්නේ මේක ඒසී නැති ඒසී බස් එකක්ය කියල. 
 
කෝම කෝම හරි දැන් කොටුවෙ ඉඳලා කටුනායකට ගමන පටන් ගත්තා. එන්න එන්නම එකා දෙන්නා ගානෙ බස් එකේ සෙනඟත් වැඩි වෙනවා. බස් එක ඇතුලේ රස්නෙත් සෙනඟ එක්ක එන්න එන්නම වැඩි වෙනවා. වරින් වර බස් එක නවත්තලා කොන්දොස්තර තැන ඒසී එක හදන්න ට්‍රයි කරනවා (ට්‍රයි කරන බව පෙන්නනවා?) 
 
ගමන පටන් අරගෙන විනාඩි විස්සක් විසිපහක් පහු වුනායින් පස්සෙ බස් එක ඇතුලේ මනුස්සයෙක්ට ඉන්න බැරි තරම් රස්නෙයි. ජනෙල් වහල නිසා ඇතුලට කිසිම වාතාශ්‍රයක් එන්නෙ නැහැ. මිනිස්සු ඉහින් කටින් දාඩිය දාගෙන එකිනෙකාගේ මූණ බලාගනිමින් "චික්.. ශිට්" ගගා හිතින් බැණ බැණ ඉන්නවා හැර වෙන මුකුත්ම කරන්නෙ නෑ. ඉවසලා ඉවසලා බැරිම තැන මම ඉඳගෙන හිටිය පිටිපස්සෙම සීට් එකෙන් නැගිටලා ගියා කොන්දොස්තර තැන ගාවට. 
 
"මේ.. මහත්මයා.. බස් එකේ ඒසී එක වැඩ නෑනෙ. මාර දාඩියක්නෙ දාන්නෙ" 
 
"ඔව් ඒසී එකේ පොඩි කේස් එකක්. මම දැන් දෙතුන් පාරක්ම බැලුවා හදන්න" 
 
"ඒක අදාල නෑනෙ මහත්මයො.. ඕගොල්ලො සල්ලි ගන්නවනෙ ඒසී එකටත් එක්ක. ඒසී එක වැඩ නැත්නම් සාමාන්‍ය ගාන ගන්න ඕන ඩබල් ගන්නෙ නැතුව. මෙතන වෙලා තියෙන්නෙ ඩබල් ගෙවලා නෝමල් බස් එකකටත් වඩා අමාරුවෙන් යන්න වෙලා තියෙන එක" 
 
"හෝව් හෝව්.. බස් එක නවත්තන්න.. නවත්තන්න" 
 
ඩ්‍රයිවර් විසින් බසය නවත්වයි. 
 
"දැන් මේක හදන්න බැයි නම් මම මොකක්ද කරන්න ඕනෙ?" 
 
"හදන්න බැයි නම් මට මගේ සල්ලි දෙන්න ආපහු. මුළු ගානම ඕන. මගින් බහින්න නෙමේනෙ මම නැග්ගේ" 
 
"හරි දැන් ඔයාට සල්ලිද ලොකු?... ආ මෙන්න.. සල්ලි තමා ලොකු !" 
 
 මම ඒකට උත්තරයක් නොදී මම මුලින් ගෙව්ව මුලු මුදලත් අරගෙන බස් එකෙන් බැස්සා. ඔතන කාරණා දෙකක් තියෙනවා. 
 
පළවෙනි එක තමා කට උත්තර නැති වුන කොන්දොස්තර මට කිව්ව් කතාව 
 
 "සල්ලි තමයි ලොකු නේද?" 
 
ඇයි යකෝ මම හම්බ කරපු සල්ලි මට ලොකුයි තමා. යම් කෙනෙක්ට තමා යම් සේවයක් බලාපොරොත්තුවෙන් මුදලක් ගෙවද්දි ඒ සේවය උපරිමයට අපේක්ෂා කරන එකත් තමා හම්බ කරපු අන්තිම රුපියලේ අයිතිය දක්වා සටන් කිරීමත් පාරිබෝගිකයෙක් සහ පුරවැසියෙක් විදියට ඕනම කෙනෙක්ට තියෙන අයිතියක්. එහෙම කරන එක අයිතියකටත් වඩා වගකීමක්. 
 
ඔය කොන්දොස්තර කියපු "සල්ලි තමා ලොකු?" කියන කතාවට තියෙන්නෙ ආගමික පසුබිමක්. සල්ලි කියන දේට සෘණාත්මක වටිනාකමක් දීලා තියෙන, සල්ලි හම්බකරන එක නරක දෙයක් කියල කියවෙන, සල්ලි දිහා සරපයෙක් හා සමාන විදියට බලන්න පුරුදුකරන ආගමික පසුබිමකින් එන මිනිස්සු තමයි ඉතුරු රුපියල ඉල්ලුවත් "සල්ලිද ලොකු" වගේ කතා කියන්නෙ. ඇයි ඉතින් සල්ලි කියන්නෙ මාරම නරක කළු රාක්ෂයෙක් නෙ. 
 
තමාගේ වුනත් සල්ලි ඉල්ලන එකා නරක මිනිහා, අනුන්ගේ වුනත් සල්ලි පූජා කරන එකා හොඳ මිනිහා. 
 
ඒක තමයි පළවෙනි කාරණය. 
 
දෙවනි කාරණය තමා මගේ සිද්දියේදි වගේම සුජිත්ගේ සිද්දියේදිත් බස් එකේ හිටිය අනිත් මිනිස්සුන්ගේ හැසිරීම. තමන් අසාධාරණයට පත් වුන අවස්ථාවන් වලදී ඇටිකෙහෙල් කෑ රිලව් වගේ බකන් නිලාගෙන ඉඳීම. ඕකට හේතුව සරලවම කියනවා නම්, අපේ මිනිස්සු යම් පද්ධතියක ඉන්න අධිකාරිබලය හිමි තැනැත්තා කෙරෙහි ඉබේම දක්වන යටහත්පහත් බව. 
 
බස් එකට නැග්ගම කොන්දොස්තරට බයයි, ඉස්පිරිතාලෙට ගියාම ඇටෙන්ඩන්ට්.. නර්ස්ගේ ඉඳලා දොස්තර දක්වාම බයයි, ප්‍රාදේශීය සභාවට ගියාම එතන ඉන්න කැෂියර්ට බයයි, තමා ඡන්දෙ දීලා පත් කරන දේශපාලකයට බයයි.. 
 
ඒ කියන්නෙ සිස්ටම් එකක 'පොර' වෙලා ඉන්න එකා ඉස්සරහ නැට්ට පුකේ ගහගෙන ඔලුව පාත් කරගෙන ඉඳල ගෙදර ඇවිත් වටේ ඉන්න අය එක්ක ඌට බනිනවායින් එහාට දෙයක් කරන්න දැනුමක්වත්, උවමනාවක්වත් පෞරෂයක්වත් අපේ සමාජයෙන් බිහිවන මනුස්සයෙක්ට නැහැ. 
 
මේකට මූලිකම හේතුවක් තමා මේ ප්‍රොෆයිලය හරහා කාලයක් තිස්සේ කියන,මේ මිනිස්සුන්ව කුඩා දරුවන් කාලේ වේවැල මඟිල් පාලනය කිරීම. දෙමව්පියන් සහ ගුරුවරුන් කියන අධිකාරි බලයන් ඉස්සරහා දෙකට නැමිලා අවනත වෙන විදියේ ළමා පරපුරකින් බිහි වෙන්නේ බස් එකේ කොන්දොස්තරගෙන් ටිකට් එක ඉල්ලන්න තරම් කොන්ද පණ නැති නිවටයන් පිරිසක් තමා. 
 
කොන්ද පණ තියෙන මිනිස්සු එකතු වෙලා ප්‍රශ්න කලා නම් බස් අස්සෙ තියෙන කුජීත වෙච්ච 'බස් සංස්කෘතිය' ඉතාම ලේසියෙන් වෙනස් කරන්න පුළුවන්. ටිකට් එක ගන්න එකේ ඉඳන්, ඒසී එක වැඩ කරන එකේ ඉඳන්, හරියට ඉතුරු සල්ලි දෙන එකේ ඉඳන්, මනුස්සයෙක්ට දරන්න බැරි තරමට කන පැලෙන්න සිංදු දාන එකේ ඉඳන්, මඟීන්ට කතා කරන විදිය දක්වා දැනට පවතින ගඳගහන සංස්කෘතිය වෙනස් කරන්න පුළුවන් හැම බස් රථයකටම ප්‍රශ්න කරන මඟීන් දෙන්නෙකුයි, ඔහු වටා එක් වෙන සමූහයකුයි (තවත් තුන් හතර දෙනෙකුයි) ඉන්නව නම්. 
 
මිනිස්සු ප්‍රශ්න කලා නම් ඕකුන් ඔය විදියට නටන්නේ නෑ. කොහෙද ඉතින්, අපේ මිනිස්සුන්ගේ කොඳු නාරටි ටික දෙමව්පියොයි, ගුරුවරුයි එකතු වෙලා කඩලා මුංව නිවටයෝ කරලනේ සමාජයට දාන්නේ. 
 
ඉතින් කොහෙද ගොඩ ඒමක්?

Monday, December 11, 2017

ලුවිස් සී.කේ ව එල්ලා මැරීමට පෙර

 

ලුවිස් සී.කේ ට එල්ල වුන ලිංගික විෂමාචාර චෝදනා වලින් පසු නොවැ.18 පැවැත්වීමට නියමිතව තිබූ “Night of Too Many Stars: America Unites for Autism Programs,” වැඩසටහනින් ලුවිස් සී.කේ ව ඉවත් කොට තිබේ. FX Networks සහ FX Productions සමාගම් ලුවිස් සී.කේ සමඟ ඇති සියලු සබඳකම් නවතා ඇත. ලුවිස්ගේ කලමණාකරණ කටයුතු බාරව සිටි Arts Entertainment සමාගම ඔහුව සේවාදායක බවින් ඉවත් කොට තිබේ. ඔහුගේ කලමණාකරු වන Lewis Kay විසින් ලුවිස් සීකේ සමඟ තවදුරටත් තමා කිසිම සබඳතාවයක් නැති බව ප්‍රකාශ කොට තිබේ. ලුවිස් ගේ නවතම චිත්‍රපටය වන I Love You, Daddy නොවැම්බර් 17 දින තිරගත වීමට නියමිතව තිබුනු අතර එහිද විකාශය වීම නවතා ඇත. ලුවිස් සමඟ අලුත් stand-up specials දෙකක් සංවිධානය කොට තිබූ Netflix ආයතනය ඒවාද අවලංගු කොට ඇත. 

 

 මීට සති කිහිපයකට පෙර නිව්යෝක් ටයිම්ස් හරහා කාන්තාවන් පස් දෙනෙක් ලුවිස්ට වෝදනා කලේ ඔහු ඔවුන් ඉලක්ක කරගෙන ලිංගික විෂමාචාර ක්‍රියාවල යෙදුන බවයි. පසුව ප්‍රකාශයක් නිකුත් කරමින් ලුවිස් සීකේ විසින් එම චෝදනා සියල්ල සත්‍යය බවත් ඔහු අතින් සිදු වූ ඒ දේවල් වැරදි බවත් පිළිගත්තේය. 

 

එක අවස්ථාවකදී ලුවිස් විසින් කාන්තාවන් දෙදෙනෙකුට තමන්ගේ කාමරයට ආරාධනා කොට ඔවුන්ගෙන් අසා ඇත්තේ “මම ඔබලා ඉදිරියේ ස්වයංවින්දනය කලාට කමක් නැත්ද?” කියායි. පසුව ලුවිස් විසින් තමන්ගේ ඇඳුම් ඉවත් කොට ඔවුන් ඉදිරියේ ස්වයං වින්දනයේ යෙදී ඇත. අනෙක් අවස්ථාවකදී ලුවිස් විසින් තවත් කාන්තාවකගෙන් “මම ඔබ ඉදිරියේ ස්වයං වින්දනය කලාට කමක් නැද්ද” කියා අසා ඇය විසින් කේන්තියෙන් එය ප්‍රතික්ෂේප කල පසු ලජ්ජාවෙන් සමාව ඉල්ලා ඉවත ගොස් ඇත. තවත් කාන්තාවකට අනුව තමන් සමඟ දුරකථන සංවාදයක් අතරතුර ලුවිස් සීකේ විසින් ස්වයංවින්දනයේ යෙදුන බව තමන්ට දැනුන බව පවසා ඇත.

 

අවසාන අවස්ථාවේ හැර අනෙක් සියලුම අවස්ථා වලදී ලුවිස් සීකේ විසින් අනෙක් පාර්ශවයෙන් අවසරය (consent) ඉල්ලා ඇති අතර කිසිම අවස්ථාවක ස්පර්ශ කිරීමක් හෝ බලහත්කාරකමක් සිදුකිරීමක් කල නොමැත. 

 

පුද්ගලිකව ලුවිස් සීකේගේ ක්‍රියාවල් සුද්ද කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් මට නැතත්, ඒවා වැරදි නොවේය කියා තර්ක කරන්නට කිසිදු අවශ්‍යතාවයක් නැතත් ඇමරිකානු මාධ්‍යය සහ සමාජය මේ සිද්ධියට ප්‍රතිචාර දැක්වූ ආකාරය ගැන යමක් කීමට සිතුනේ කොතැනකවත් මේ ගැන මට සිතෙනා දේ කා අතින්වත් ප්‍රකාශ වී නොතිබූ හෙයිනි. 

 

ලුවිස් සීකේ විසින් තමා අතින් සිදුවූයේ වැරැද්දක් බව පිළිගෙන ඇත. ඔහු විසින් තමාගේ අවශ්‍යතාවය ගැන යෝජනාව ඉදිරිපත් කොට කානතාවන් විසින් එය ප්‍රතික්ෂේප කල විට සමාව ඉල්ලා වෙනතක් බලා යාම හැර ඉන් එහාට කිසිවක් සිදු කොට නැත. ඔහු කලේ වරදක් වුවත් නොවුවත් ඔහුගේ මුළු වෘතිය ගමනටම නැවතීමේ තිත තබා සමාජයක් විදියට ඔහුව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමට තරම් ඔහු කල ක්‍රියාව වරදක්ද යන පැනයය, මෙහිදී මට නැඟෙන්නේ. 

 

ස්ත්‍රී දූෂණය, ලිංගික අල්ලස් ඉල්ලීම, ලිංගික අඩත්තේට්ටම් කිරීම වැනි දේ වලදී අදාල වැරැද්දේ/අපරාධයේ ස්වභාවය සහ ගැඹුර තේරුම් ගැනීම වැදගත්ය. කැමැත්ත විමසීමෙන් පසුව යම් ලිංගික ක්‍රියාවක යෙදීමකට ස්‍ත්‍රී දූෂණයකට ලැබිය යුතු ප්‍රතිචාර ලැබේ නම් එතන පැහැදිළි කරගත යුතු යම් අවුලක් ඇති බව මගේ හැඟීමය. 

 

අන්ධයන් සේ ආගමික, සංස්කෘතික වටිනාකම් පසුපස දුවයෑම මෙන්ම ව්‍යාජ සුචරිතභාවයක් ආරූඩ කරගෙන යම් සිද්ධියක ගැඹුර තෝරා නොගැනීමද අතාර්කිකය. හානිකරය. මිනිසුන් ලෙස අප ගොඬනගා ගත යුත්තේ යම් වටිනාකම් අන්ධයන් සේ අදහන, උත්කර්ෂවත් කරනා සමාජයක් නොව, තර්කානුකූලව සියල්ල ගැන සමබරව සිතිය හැකි සමාජයකි. බටහිර සමාජයන් වල මේ දිනවල නිර්මාණය වී ඇති මේ ව්‍යාජ politically correct වීමේ උවමනාවද මා දකින්නේ තවත් විකාරයක් ලෙසය. ඒ විකාරය මඟින් “ලුවිස් සීකේ කර ඇත්තේ සමාව දිය නොහැකි වරදක් නොවේ” යන ප්‍රකාශය කිරීමට මනුෂ්‍යයෙක්ට ඇති හැකියාව නැති කොට ඇත. සමාජයේ සිය පැවැත්ම නැති කර නොගනිමින් එවැනි ප්‍රකාශයක් කිරීමට හැකියාවක් නැති නිසා දෝ සියල්ලන් වටවී ස්ත්‍රී දූෂකයෙක්ට සේ ලුවිස් සීකේට දෙස් දොවොල් තියයි. 

 

මේවා ලුවිස් සීකේ ගේ ජෝක්ස් වලට වඩා ජෝක්ස්ය. මම වුවද මේ දේ ගැන අවංක අදහස කියන්නේ මේදේ කීමෙන් මට නැති වීමට දෙයක් නොමැති නිසාය. අවසනයේ මේ පොඩි අදහස සටහන් කරමින් මේ කතාව අවසන් කරමි. ආගමික විශ්වාස පමණක් නොව, මානුෂීය අයිතීන්, මානව වාදය, කාන්තා අයිතීන්.. එකී මෙකී නොකී සියලූම මගුලක්ම තර්කානුකූල බවෙන් තොරව ඇදහීමෙන් සහ උත්කර්ෂවත් කිරීමෙන් වෙන්නේ තවත් ඩොග්මාවක් නිර්මාණය වීම පමණකි.

Sunday, December 10, 2017

කොන්ද කෙළින් තියෙන (ලැජ්ජ නැති) ජනතාව

හේල්සිරිලංකාව කියල රටක ඉන්නව මිනිස්සු සෙට් එකක්. ඒ මිනිස්සු සමාජයක් විදියට, එහෙම නැත්නම් පුද්ගලයන් විදියට තමන්ගේ ජීවිතේ මොකක් හරි ප්‍රශ්නයක් වුනාම.. අපහසුතාවයක් වුනාම මෙන්න මෙහෙමයි ටෝක් දෙන්නෙ...........

"මේ හැම දේටම මුල ඔය කාලකණ්ණි දේශපාලකයො තමා.. ඕකුන් තමා මේ රට කන්නෙ"

"අනේ දෙයියනේ උල්කාපාතයක්වත් වැටිලා ඔය දෙසිය විසිපහ ඉන්න පාර්ලිමෙන්තුව විනාස වෙලා යන්නෙ නැති හැටි !"

"පාර්ලිමෙන්තුව ගිණි තියනවා නම් පෙට්‍රල් ගැලුමක් දෙනවා මගේ වියදමින් මං ගානෙ"

"උන්ට උවමනාවක් තියෙනව‍යැ මේ රට හදන්න. මඩිය තර කරගන්නනේ ඔතනට යන්නෙ. වෙලාවකට හිතෙනවා මුං මිනිස්සුද කියලත්"

"දේශපාලනය ගැන නම් කතා කරන්න එපා. දැන් නම් කළකිරිලා ඉන්නෙ."

"ඕකුන්ට ඡන්දෙ දෙන අපියි මෝඩයො"

*******

ඔහොම ටෝක් දෙන ඒ මිනිස්සුම තමන්ගේ ජීවිතේ යම් වැදගත් අවස්ථාවක් ආවම.. ඒ කිව්වේ තමාගේ හරි තමන්ගේ දරුවෙක්ගේ හරි විවාහ මංගල උත්සවයක් ආවම.. තමන් හාහාපුරා කියලා අලුතෙන්ම පටන් ගන්න ව්‍යාපාරය විවෘත කරගන්න කෙනෙක් තෝරගන්න වුනාම ටෝක් දෙන්නේ මෙහෙමයි.......

"ඔව් පැටියො.. සාක්ෂියට අත්සන් කරගන්න මන්ත්‍රීතුමාව ගෙන්නගන්න තමා තාත්තා ට්‍රයි එක දෙන්නෙ. අපේ කාර් සේල් එක තියෙන මාමා මන්තිරි තුමාව හොඳට අඳුරනව. කොහොම හරි ගෙන්න ගන්න ලැබුනොත් නම් ඒකත් සම්පූර්ණයි"

"අනේ සෑර්.. අපේ පොඩි කෙළී බඳිනවනෙ ලබන අවුරුද්දෙ මාර්තු මාසෙ. ඔන්න මාස තුනකට කලින්ම තකහනියක් ඇවිත් කිව්වේ ඔබතුමාට. සාක්ෂියට අත්සන් කරන්න කොහොම හරි එන්න ඕන ඈ. මෙන්න සෑර් බුලත් අත.."

"ඔව් සර්.... මේ තියෙන්නෙ ආරාධනා පත්‍රය.. ඔව්.. ඔව්.. ලබන විසිහයනෙ විවෘත කරන්න නැකත තියෙන්නෙ. අනේ සර්.. කොහොම හරි ඇවිත් යන්න එන්න ඕනෙ. අපි දෙන්නම බලං ඉන්නව එහෙනම්. අපි අලුතෙන් පටන් ගන්න බිස්නම් එක ඔබතුමාගේ අත්දෙකෙන්ම විවෘත කරගන්න ඕන. වෙන කෙනෙක් නැතුව ඔබතුමාම එනවනෙ එහෙනම්..?"

"දැක්ක නේද අල්ලපු ගෙදර හිල්ටන්ලගේ මූණෙ තිබ්බ ඊරිසියාව. උන්ට බැරි වුනානෙ ඇමති කෙනෙක්ගේ අතින් අත්සන් කරල දුවව බන්දන්න.. මට නම් හරිම සතුටුයි නෝනෙ. පොඩි පුතාගේ වෙඩින් එක අංග සම්පූර්ණ වුනේ ඇමති තුමා ආව එකෙන් තමා.."

*******

කියන දේ කරන, කරන දේ කියන නොම්මර එකේ කොන්ද කෙළින් තියෙන (ලැජ්ජ නැති) ජනතාවක් අපි !

ආඩම්බරයි පුතී

Wednesday, December 6, 2017

බුදුන්ගේ ඇත්ත රූපය මොන වගේද?


 
 
යම් රූපයකින් බුදුන්ගේ හරි ජේසුස්ගේ හරි රූපය විකෘති වෙනවාය කියලා චෝදනා කරනවා නම් එතනදි අහන්න වෙන ප්‍රශ්නය තමයි එහෙනම් විකෘති නොවූ ප්‍රකෘති රූපය මොකක්ද කියන එක.

ඒ කාලයේ බණ කිව්ව ගෞතම බුදුන්ගේ සැබෑ රූපය මොන වගේද කියල හිතුවොත් මැදිවයසේ.. ඒ කියන්නේ අවුරුදු පනහක හැටක, තලත්තෑනි වෙච්චි, බාගෙට වැවුන සුදු රැවුලක් තියෙන, අව්වට අවපැහැ ගැන්වුන සමක් තියෙන, කුදු වෙච්චි, වයසට යමින් තියෙන මැදිවයසේ මනුස්සයෙක්ගේ රූපයක් තමා මැවෙන්නෙ.

නමුත් දැන් ගෞතම බුදුන්ගේ රූපය විදියට ඔහුගේ භක්තියන්ට මවල දීල තියෙන්නෙ ඒ විදියේ ස්වභාවික රූපයක් වෙනුවට අසාමාන්‍යය රූපයක්.

ඇත්තම කිව්වොත් දැන් බෞද්ධ බැතිමතුන් ගෞතම බුද්ධ කියල හිතේ මවාගෙන ඉන්නෙ උඩට කරල කොණ්ඩය බැඳගෙන ඉන්න, පැහැපත් සමක් තියෙන, චූටි නහයක් තියෙන, රෝස පාට තොල් තියෙන, සිහින් ශරීරයක් හිමි අවුරුදු දහසයක විතර තරුණියකගේ රූපයක්.

ජේසුස් ක්‍රිස්තුස් ගත්තත් කර්කශ පරිසරයක ජීවත් වුන යුදෙව් තරුණයෙක් වෙනුවට ඔහුගේ බැතිමතුන් හිතේ මවාගෙන ඉන්නෙ සිහින් නහයක් තියෙන, සියුමැලි පෙනුමක් තියෙන සුදු ජාතිකයෙක්ව.

ඔය ගෞතම බුද්ධ සහ ජේසුස් ‍ක්‍රිස්තුස් කියන චරිත දෙක ඇත්තටම ජීවත් වුන පුද්ගලයින් දෙදෙනෙක් නම්, ඔවුන්ගේ ඇත්ත රූපයට වෙනස් රූපයක් නිර්මාණය කිරීම ඔවුන්ට කරන අපහාසයක් නම්,

ඔවුන්ට ලොකුම අපහාසය කරන්නේ අවුරුදු දහසයක විතර ලිප්ස්ටික් ගාගෙන කොණ්ඩේ බැඳල ඉන්න කෙට්ටු තරුණියකගේ පින්තූරයි, රවුල වවාගත්ත කෙට්ටු සුදු ජාතිකයෙක්ගේ පින්තූරයි තමන්ගේ ගෙවල් වල සහ ආගමික සිද්ධස්ථාන වල ගහගෙන ඉන්න ඔවුන්ගේම බැතිමතුන් විසින්ම මිසක් වෙන කවුරුත් නෙමේ.

ගෞතම බුද්ධ සහ ජේසුස්ගේ රූප විකෘති කරලා අපහාස කරන්න එපාය කිය කිය ඒකම කරන ඔවුන් දෙපළගේ බැතිමතුන් එහෙම කිව්වට ඇත්තටම ඔවුන් එයින් අදහස් කරන්නේ,

"අපේ ආගමික නායකයාය කියල අපි හිතේ මවාගෙන ඉන්න රූපයට වඩා වෙනස් විදියේ රූපයක් අඳින්න තොපි කාටවත් අයිතියක් නෑ යකෝ.. අපේ ආතල් කුඩු කරන්න එපා යකෝ.. අපිට මල පනිනවා යකෝ.. අපිට අවුල් යකෝ.. දුකයි යකෝ.. ඇඬෙනවා යකෝ.. ආතල් කඩන්නෙපා යකෝ...." වගේ කතාවක්.

ඒත් ඉතින් කාගෙවත් ඔලුවේ මවාගෙන ඉන්න ෆැන්ටසි චිත්‍ර සහ ෆැන්ටයි ලෝක කඩන්න එපා කියල වටේ ඉන්න අනිත් මිනිස්සුන්ගෙන් ඉල්ලන එක සාධාරණ කතාවක් නෙමේ, කාගෙවත් ක්‍රියාවල් වලින් තමාගේ ආගම ඇදහීමේ සහ ආගමික වතාවත් වල නිරත විමේ අයිතියට අභියෝග නොවනතාක්.

ඒ නිසා මේ වගේ දේවල් වලදි මම පුද්ගලිකව යෝජනා කරන දේ තමා මේ වගේ අදහසක් අනුගමනය කරන්න කියන එක,

"ඔයාගෙ ආගමික නායකයාගේ විකෘති කරන ලද රූපයක් කියල ඔයා හිතන රූපයක් දැක්කොත්, මලපන්නගන්න එපා, ඔෆෙන්ඩ් වෙන්න එපා. උපේක්ෂාවෙන් ඒ දෙස බලන්න. මෛත්‍රී කරන්න. ප්‍රේම කරන්න. සමාව දෙන්න. තේරුම් ගන්න. ඉවසන්න. ඔබට සැනසීම ලැබෙනු ඇති"

ඒ මම කිව්වෙ ඉතින් ඔය දෙපිරිසගෙ ආගමික නායකයන් විසින් ඒ අයට කරන්නය කියල කියපු දේම තමයි. ඒකෙ වැරැද්දක් නෑනෙ නේද? :)

.
.
.

ප/ලි - අල්ලා සහ නබිගේ රූප මොනම ආකාරයට නිර්මාණය කලත් එයට ඉස්ලාම් භක්තිකයන් විසින් විරුද්ධ වෙන නිසා තමන්ගේ ආගමික නායකයන්ගේ රූප "විකෘති කිරීමේ" චෝදනාව ඉස්ලාම් භක්තිකයන්ගෙන් එල්ල වීමක් සිද්ධ වෙන්නෙ නෑ. මොනව විදියට නිර්මාණය කලත් ඒකට ඉස්ලාම් භක්තිකයන් විරුද්ධ වීම ගැන වෙනම කතා කල යුතුයි.

Monday, December 4, 2017

මිහිඳු හාමුදුරුවෝ බස්සලා හෙලිකොප්ටරේ ආපහු යනවා

 
 
විලංගු නොදැමූ අවංක ඇස් වලින් ලෝකය දිහා බලද්දි යථාර්තය පේන විදියට හොඳම උදාහරණයක් මේ පුංචි දරුවාගේ චිත්‍රය.
 
පොඩි දරුවන් ස්වභාවයෙන්ම නිර්මාණය වෙලා තියෙන්නේ වැඩිහිටියන්ට අවනත වෙන්න සහ ඔවුන් කියනා දේ පිළිගන්න. තමාට සමීප වැඩිහිටියන් කියන දේ ඔවුන් විශ්වාස කරන්නේ දිගින් දිගටම විචාරාත්මකව ප්‍රශ්න කරන්නට ඔවුන්ගේ මනස ඒ වයසේදී වර්ධනය වෙලා නැති නිසා. දරුවෙක්ගේ මනසට ලොව පුරා වැඩිහිටියන් තමන්ගේ ඔලුවල තියෙන අනේකවිද බහුබූත ‘පරම සත්‍යයන්’ විදියට කොටලා පෙව්වේ නැත්නම් ඒ දරුවන් කාලයාගේ ඇවෑමෙන් වැඩිහිටියන් වුනයින් පස්සෙ ලෝකය දිහා කොයි විදියට බලයිද? යථාර්තය ගැන ඔවුන්ගේ දැක්ම මොන වගේ වෙයිද? කුඩා කාලයේ දරුවන්ගේ ඔලුවලට ආගමික සහ අධිස්වභාවික සිද්ධීන් ගැන මතවාද ඇතුලු නොකරන ලෝකයක, මෙවැනි ඇදහිලි සහ විශ්වාස කොයිතරම් නම් කල් පවතියිද? සමහර විට අපේ සංස්කෘතිය සැලකුවොත්, අපේ ජීවිත කාලය තුල මේ ප්‍රශ්න වලට උත්තර දැනගන්න හම්බෙන එකක් නැහැ. එක අතකට ඒක අපේ අවාසනාව.
 
මේ ගැන ඉතාම සිත්ගන්නා සුළු අදහසක් මට අහම්බෙන් හමුවෙනවා ඇමරිකාවේ ප්‍රසිද්ධ කලා සම්ප්‍රදායක් වන Stand up comedy එකකදී Bill burr නම් ඉදිරිපත් කරන්නා තුළින්. (පාසල සහ දහම්පාසල කියන මොළශෝදක කම්හල් දෙකෙන් ඉගෙනගත්තාට වඩා මම ලෝකය ගැන ඉගෙනගත්තා Stand up comedy නැරඹිම මඟින්. ඒකත් එක අතකට හිනා නොයන විහිලුවක්)
 
Bill burr එක තැනකදී කියනවා මෙහෙම,
 
“හැම ආගමකම කියනවා කතන්දර. අපි ඇති වුනේ කොහොමද..අපි යන්නේ කොහෙද.. අපි මැරුනයින් පස්සේ වෙන්නේ මොකක්ද.. වගේ දේවල් ගැන. වැඩේ කියන්නේ අනිත් හැමෝගෙම ආගම් වල ඔය දේවල් ගැන උගන්නන දේවල් අපිට පේන්නේ මාරම අමු මෝඩ දේවල් විදියට. අපේ ආගමේ උගන්නන දේ හැර. මම ජීවත් වෙන්නේ ලොස් ඇන්ජලිස් වල. මම ජීවත් වන නගරයේ ඉන්නවා සයන්ටලොජිස්ට්ලා ඕන තරම් (Scientology යනු ආගමකි). මම සයන්ටලොජි ආගමේ කතාව මුලින්ම අහපු දවසේ මට හිතුන දේ තමා ඒ වගේ අමු මෝඩ බූරු කතාවක් මම මීට කලින් ජීවිතේට අහලා නෑ කියන එක. වැඩේ කියන්නෙ ඒ කතාව මෝඩ ගොං කතාවක් කියලා හිනා වෙන ගමන් මම ඒ දවස් වල විශ්වාස කලා කිසිම දවසක පිරිමියෙක් එක්ක නිදාගත්තෙ නැති ගෑණියෙක් වතුර මත ඇවිදින්න පුළුවන් ළමයෙක් හදල ඒ ළමයා මැරිලා දවස් තුනකින් ආයෙම මරණින් නැගිටලා ආවා කියන කතාව. මම අර කතාවට හිනා වුනාට ඔය දෙවනි කතාව විශ්වාස කරන එක කිසිම ප්‍රශ්නයක් වුනේ නෑ. මම ඒක ඉතාම පැහැදිළි ඇත්තක් විදියට විශ්වාස කලා. ඔහොම ඉද්දි මම එක දවසක් කල්පනා කලා, ඇයි මේ කතාව කිසිම ප්‍රශ්නයක් නැතුව පිළිගන්න මට අර කතාව මහ මෝඩ කතාවක් විදියට පේන්නේ කියල. ඕකට තියෙන්නේ හරිම සරල හේතුවක්. මොකක්ද දන්නවද?..
 
….ඔය දෙවනි කතාව මට අහන්න හම්බුනේ මම වැඩිහිටියෙක් විදියට ඉද්දි. මම පිළිගන්න ආගමේ කතාව මට මුලින්ම ඇහැද්දි මට වයස අවුරුදු හතරක් විතර ඇති. ඒ කාලෙ නත්තල් දවසෙ නාකි මහත මිනිහෙක් වහලෙන් ඇවිල්ලා මට තෑගි තියලා යනවා කියලා පිළිගත්ත මට රැවුල වවාගත්ත බබෙක් වතුර උඩ මූන් වෝක් එක දදා දඟල දඟල මිනිස්සුන්ට මාළුයි පානුයි විසිකර කර හිටියා කියන එක පිළිනොගන්න කිසිම හේතුවක් තිබ්බෙ නෑ. ඒ මම හයක් හතරක් නොතේරෙන පොඩි එකෙක් නිසා…”
 
ඇත්තම කතාව මේක නෙමේද?
 
තමන්ගේ ආගම පරම සත්‍යය කියල විශ්වාස නම්, තමන්ගේ දරුවා බුද්ධිමත් වැඩිහිටියෙක් වුනයින් පස්සේ ලෝකයේ ඇති ප්‍රධාන ආගම් ගැන සහ නූතන විද්‍යාව ගැන ඉගෙනගෙන හරි දේ තෝර ගනියි කියන විශ්වාසය ඔවුන් තුල නැත්තේ ඇයි? තමන්ගේ ආගම පරම සත්‍යය නම් බය වෙන්නේ මොකටද?
 
(ලංකවේ ළමා මහණ කිරීම් නවත්තලා අවබොධයෙන් යුත් වැඩිහිටියන් පමණක් මහණ කරවන තත්වයක් ඇති කලොත් ශාසනය කොයි තරම් නම් කල් පවතියිද කියන එකත් සිත් ගන්නා සුළු ප්‍රශ්නයක්. තුන් ලොවේම පරම සත්‍යය සහ බුද්ධිමතුන්ගේ ධර්මය විදියට හඳුන්වන ආගමක පැවැත්ම රඳා පවතින්නේ හයක් හතරක් නොතේරෙන දරුවන් ඒ ආගමට කුඩා කාලයේදීම බඳවා ගැනීම තුළින් කියල ඒ ආගමේම උදවිය කියන එක ඇත්තටම ඒ අය ලජ්ජාවට පත් විය යුතු කාරණයක් නෙමේද?)
 
ආගම් වෙනුවෙන් පෙනී ඉන්න වැඩිහිටියන් සහ පූජ්‍යය පක්ෂය තමන්ගේ ආගම ගැන කියල දෙන්න තමන්ගේ දරුවන් වැඩිහිටියන් වෙනකල් ඉන්න සූදානම් නැත්තේ, ඔවුන්ගේ යටි හිත දන්නවා වැඩිහිටි මනසකට මේ මනස්ගාත ලේසියෙන් ඔබ්බවන්න බැරි බව. වැඩිහිටි මනසක් මේ වගේ දේවල් විචාරයෙන් තොරව පිළිනොගන්නා බව. ඒ නිසයි ඔවුන් විසින්ම ‘පරම සත්‍යය’ කියල හඳුන්වන ආගම් පවා කුඩා කාලයේදීම දරුවන්ගේ ඔලු වලට කොටල පොවන්නේ.
 
ආගම් පමණක් නොවේ, විද්‍යාව පවා පරම සත්‍යයක් විදියට දරුවන්ට ඉගැන්විය යුතු නැහැ කියන මතයේ තමා පුද්ගලිකව මම ඉන්නේ. දරුවන්ට දිය යුත්තේ තමන්ගේම කියා මතවාද ගොඬනගා ගැනීමට අවශ්‍යය දැනුම මිසක ‘පරම සත්‍යයන් ගැන පිළිතුරු’ නෙමේ. ඔවුන්ට කියල දෙන්න ඕන හිතන්න ඕන ‘විදිය’ මිසක හිතන්න ඕන ‘දේවල්’ නෙමේ. අපි දරුවන්ට අපේ ඔලුවල තියෙන උත්තර කටපාඩම් කරවනව වෙනුවට කරන්න ඕන ඔවුන්ටම ඒ උත්තර හොයාගන්නා ක්‍රමවේදයන් කියල දෙන එකයි. නැතුව අපේ මතවාද වලින් දරුවන්ගේ ඔලු පුරවන එක නෙමේ. එහෙම කරන එක නොවැඩුන මනසින් යුත් දරුවන්ට කරන විශාල අසාධාරණයක්.
 
මගේ නෑදෑ දියණියක් ඉන්නවා අවුරුදු 12ක විතර. ඇය දවසක් මගෙන් අහනවා ප්‍රශ්නයක්. වැඩිහිටියෙක් විදියට මටවත් කිසිම දවසක නොහිතුන කතාවක් තමා ඇය මගෙන් ඇහැව්වේ
 
“බාප්පේ, සිදුහත් කුමාරයා ඉපදිලා පියවර හතක් ඇවිදලා මම ලොවට අග වෙමි කවිය කියල ඉවර වෙලා ආයෙම අම්මාගේ තුරුළට ගිහින් අඬ අඬ අම්මාගෙන් කිරි බිව්වද? ඒක එහෙම වෙන්න බෑ නේද?”
 
මේ වගේ හිතන දරුවන්ගේ මනසට විලංගු නොදමා ඉන්න තරම් වැඩිහිටියන් නිහතමානී වුනානම් කොයි තරම් නම් නිදහස්ව හිතන, නිර්මාණශීලී අනාගත පරපුරක් මනුස්ස සංහතියට දායාද කරන්න අපිට පුළුවන්වෙයිද?
 
කලින් කිව්වා වගේ, ඒ ප්‍රශ්නයට උත්තරේ අපේ ජීවිත කාලයේදී නම් අපට දැනගන්න ලැබෙන එකක් නැහැ. මේ තත්වය මෙහෙමම පැවතුනොත් ඒක ඔබේත් මගේත් අපේ අනාගත පරපුරේත් අවාසනාව කියල හිතහදාගන්නවා හැර කරන්න දෙයකුත් නැහැ.

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...