Thursday, July 27, 2017

මම ගණිකාවක් නෙමේ; ලිංගික බඩුවක්. අවුල්ද?

මනුෂ්‍යයයෙකු සුළු දිය පහකරන්නේ සිට ගෙනද නැතිනම් ඉදගෙනද යන්න මත එම තැනැත්තාව උසස් හෝ පහත් ලෙස වෙන් කිරීම ඉතාමත් ප්‍රාථමික බෙදීමක් යැයි බ්ලොග්කරු විශ්වාස කරයි.  යමෙක් උසස් හෝ පහත් යැයි වෙන කළ යුතු වන්නේ එම තැනැත්තාගේ ක්‍රියාවෙන් මිස උත්පත්තිය අනුව නොවේ.

එය එසේ වුවත් ලෝකය කෙතරම් දියුණු යැයි සැළකුවත්, ඈත අතීතයේ සිට වත්මන දක්වාම; තවමත් ලෝකයේ ආර්ථිකය සහ පරිපාලනය සහමුළින්ම පාහේ හසුරුවන්නේ පිරිමියා විසිනි. මෙම කාරණාව ඉතාම හොඳින් තෙරුම් ගෙන ඇත්තේ වෙළඳ ප්‍රචාරකයන්, අලෙවිකරුවන් සහ ඔවුන් විසින් හසුරුවන ලබන (ජඩ) මාධ්‍ය විසිනි. පුරුෂයා සහ පුරුෂ ලිංගය පිනවීම මූලිකවූ වෙළඳ පොළ හැසිරෙන අන්දම පිළිබඳ හසල දැනීමක් ඇති මොවුහු ඉතා සූක්ෂ්මව සහ කල්පනාකරීව තම පණිවිඩය ස්ථානගත කිරීමට දනිති.




මෙහිදි බොහෝ විට සිදුවන්නේ කාන්තාවක (හෝ පුරුෂයෙකුව) මනුෂ්‍යයෙක් ලෙස ස්වභාවික තත්ත්වයෙන් සැළකීම වෙනුවට විරුද්ධ ලිංගිකයන් හට සිය ලිංගික සතුට ලබා ගැනීමේ මෙවලමක් (object) ලෙසට ප්‍රතිනිර්මාණය කිරීමයි (objectification). මෙම ලිංගික මෙවලම්කරණය (sexual objectification) මඟින් පිරිමියා හට කාන්තාවගේ කැමැත්ත ඇත්තේ මෙවැනි පිරිමියෙකුට යැයි ඒත්තු ගන්වති ("No woman ever says no to Winchester"), කාන්තාව හට පිරිමියාගේ කැමැත්ත ඇත්තේ මෙවන් කාන්තාවකටයැයි ඒත්තු ගන්වති.



පෙර පැවසූ ලෙසින් වෙළඳ පොළ ප්‍රධාන ලෙසම හැසිරෙන්නේ (සහ හසුරුවන්නේ) පිරිමියා පිනවීමට බැවින් "බොහෝ විට" ඔවුනගේ ප්‍රචාරණ ව්‍යාපෘති වල මෙසේ ලිංගික මෙවලමක් බවට පත් වන්නේ කාන්තාවයි.
මෙයට සරල උදාහරණ ලෙසින් පසුගිය සමයේ අතිශයින් ජනප්‍රිය වු බටහිර ගීත වල රූප රචන (සහ පද රචනා) සළකා බලන්නැයි මම ඔබෙන් ඉල්ලමි. රොබින් තික් ගේ "Blurred lines" (youtube නැරඹුම්: මිලියන 395) , නිකි මිනාජ් ගේ "Anaconda" (youtube නැරඹුම්: මිලියන 470), ජෙනිෆර් ලෝපෙස් ගේ "Booty" (youtube නැරඹුම්: මිලියන 138)  සහ පිට් බුල්ගේ බොහොමයක් සිංදු මඟින් කාන්තාවගේ නිරුවත සහ ලිංගිකත්වය සිල්ලර ලෙසින් අලෙවි කරන ලදි. මෙම රූප රචනා youtube මඟින් තමා වයස 18 වැඩි බවට දැක්වීමෙන් ඕනෑම කෙනෙකුට නැරඹිය හැකි නිසා, පරිපූර්ණ කාන්තා ශරීර සහ පහත් ලිංගිකත්වය මඟින් නව යොවුන් වියේ පසුවන දරුවනගේ මනසට ලබාදෙන පණිවිඩයද සුබදායක නැත.

(බ්ලොග්කරු විශ්වාස කරනා ලෙසට නිරුවත සහ ලිංගිකත්වය යනු මහා රාත්‍රියේ බිංගෙයක් ඇතුලේ මුළු ලෝකයටම හොරෙන් සැඟවිය යුතු, මඩෝල් දූවේ ඉස්කෝල මහත්තයා මෙන් මඟ හැර ගිය යුතු මහා කුණුහරපයක් නොවේ. එහෙත් එය කලාව, සංගීතය, වෙළඳ ප්‍රචාරණය සහ ක්‍රීඩාව වැනි සෑම දෙයකටම සම්බන්ධකරගෙන බලෙන් ඔබ්බවා උත්කර්ෂයට නැංවිය යුතු මහා මැජික් එකක්ද නොවේ.)



මෙම මානසික බලපෑමේ ප්‍රතිඵලයක් ලෙසින් යෞවනියන් විසින් පරමාදර්ශී ශරීරය සහ ගතිගුණ හිමි ඇත්තිය වීමට උත්සාහ කරන අතර යෞවනයින් විසින් එවන් කෙනෙකු සිය පෙම්වතිය සේ සොයයි. එම පරමාදර්ශී සුරූපී, කාමුක චරිතය වීම යෞවනියකට ජයග්‍රහණයකි. එවන් යෞවනියක් පෙම්වතියක් කරගැනීම යෞවනයෙකුට ජයග්‍රහණයකි.

ඇමරිකාවේ දරුවන් ආශ්‍රිතව තමන් වයසින් වැඩුනු පසු නියැලීමට අපේක්ෂා කරන රැකියාවන් සම්බන්ධව කරණ ලද සමීක්ෂනයකදී, වයස 10 අඩු දරුවන් ස්ත්‍රී සහ පුරුෂ වෙනසකින් තොරව එක හා සමාන රැකියා සඳහන් කරන ලද අතර,  වයස 13 ~ 18 කාණ්ඩයෙන් ගැහැණු දරුවන්ගෙන් වැඩි ප්‍රතිශතයක් නිරූපණ ක්‍රේෂ්ත්‍රය තම සිහින රැකියාව ලෙසින් සළකුණු කරද්දි පිරිමි දරුවන්ගෙන් වැඩි පිරිසක් ක්‍රීඩා කේෂ්ත්‍රයට අදාල රැකියාවක යෙදීම තම කැමැත්ත ලෙස දක්වන ලදි.




වෙනත් සමීක්ෂණයක දැක්වුනේ කුඩා දැරියන් දස දෙනෙකුගෙන් සත් දෙනෙකු (7/10) විද්‍යා විෂය ප්‍රිය කළත් ඔවුන්ගෙන් සැබෑ ලෙසම විද්‍යාව හදාරන්නේ දස දෙනෙකුගෙන් දෙදෙනෙකු බවයි (2/10).  එසේ පැවසීමට හේතුව ලෙසින් ඔවුන් දක්වන්නේ මාධ්‍ය මඟින් විද්‍යාඥයන් ලෙස බොහෝ විට දක්වන්නේ පිරිමි චරිත නිසා විද්‍යාව "පිරිමින්ගේ දෙයක්" (boys thing) ලෙස සළකන බවයි.


පිරිමියා ප්‍රියකරන්නේ මෙවැනි කාන්තාවන් යැයි මාධ්‍ය මඟින්ම උගන්වන සිහින් සිරුරැති, පිරිණු පියයුරු ඇති, පුළුලුකුලක් ඇති කාන්තාවන් උදේ හවා මාධ්‍ය මඟින් පොදු සමාජයේ මනස වෙත දමා ගසමින් සිටිති. විද්‍යාවෙන් වෙන්වී යන යෞවනියන් සිය පරමාදර්ශී චරිත (role models) බවට පත් කරගන්නේත්, සිහින කුමරියන් කරගන්නේත් මාධ්‍ය මඟින් දමා ගසන මෙම ප්‍රතිරූපයන්ය ("තරු").

මෙම "තරු" මාධ්‍ය ඉදිරියට පැමිණ තම ශරීරයන් තමාට අවැසි අකාර වලට භාවිත කිරීමේ නිදහස (choice) සහ එලෙස භාවිත කිරීමේ අරුමය විස්තර කරයි. මෙම සුළුතර පිරිසගේ කතා මාධ්‍ය මඟින් අසා සිටින බහුතරයක් වන සාමාන්‍ය යෞවනියන්ද සිහින මවන්නේ ඔවුන් සේ නිදහස් වන්නටය. තමාගේ ශරීරය තමාට ඕනෑ සේ පාලනය කරන්නටය.



පොදු සමාජය විසින් සිය සාර්ථකත්වය තිරණය කෙරෙන ප්‍රධානතම මිම්මක් ලෙස තම ශරීරය භාවිත කරන සහ මෙය මෙසේ යැයි ප්‍රචාරක ව්‍යාපෘතීන් මඟින් මනසට කාවද්දන සන්දර්භයක් තුළ යෞවනියෝ ස්ව කැමත්තෙන්ම එම ගෞරවය සහ සැලකිල්ල ලබා ගැනීමට තමා ලිංගික මෙවලමක් ලෙස විරුද්ධ ලිංගිකයින්ට ඉදිරිපත් කිරීමට පෙළඹෙති සහ එය ලඟා කර ගැනීමට මහන්සි ගනිති. ආලේපන තට්ටු පිට තට්ටු මුහුණේ උලන්නේ එබැවිනි, (බටහිර රටවල) ප්ලාස්ටික් සැත්කම් මඟින් ඇහිබැමි, දෙතොල්, පියයුරු, නිතඹ වැනි ශරීරාංග වෙනස් කරගැනීමට තරුණියන් පෙළඹෙන්නේ මෙහි ප්‍රතිපල ලෙසිනි. මාධ්‍ය මෙහෙයවන්නන් විසින් නිර්ණය කරන ලද පරිපූර්ණ ශරීර (perfect body) තමා සතු නොවීම නිසා බටහිර රටවල යෞවනියෝ මානසික රෝග වලටද ලක් වෙති.

මේ නිසා පොදු සමාජය තුළ ගැහැණියකට වත්මනේ සැලකිලි සහ අවදානය ලබා දෙන්නේ ඇයගේ අනන්‍යතාව, ගතිගුණ, අධ්‍යාපනය, ආකල්ප, ජයග්‍රහණවලට අනුව නොව ඇයගේ ශරීරය මඟින් විරුද්ධ ලිංගිකයින්ගේ ඇස් පිනවීමට ඇති හැකියාවටය. පෙර ලිපියකින් පැවසූ පරදි කිසිදු සුවිශේෂි කලා හැකියාවක් නොමැති කිම් කාඩැශියන් බටහිර සමාජය තුළ "චරිතයක්" එසේත් නොමැතිනම් "තරුවක්" වන්නේ මේ සන්දර්භය තුළය.



තම නිදහස ගැන පරම්බාන එම "තරු" වෘතිමය ලෙස සිය ලිංගිකත්වය විකුණති. වෙළඳ ප්‍රචාරණ වැඩසටහන් වලට පෙනී සිටිති, වෙළඳ සන්නාම ප්‍රවර්ධකයන් (brand ambassadors) වෙති , මුදල් උපයති, සුඛෝපභෝගී ජිවිත ගත කරති. සරලවම ඔවුන් විසින් කරනු ලබන්නේ ඔවුන්වම ලිංගික මෙවලම් සේ භාවිත වන සමාජ ක්‍රමයක මිලියන ගණනින් කෙරෙන ව්‍යාපාර වලට සිය කැමැත්තෙන්ම තමාවම විකිණීමයි.
එක් අතකට ඔවුන් අත්විඳින්නේ සිය ශරීරය තමාට ඕනෑ විදිහට භාවිතා කිරීමේ (විකිණීමේ) පුද්ගල නිදහසයි (personal choice) .



"පුද්ගල නිදහස" පිළිබඳව සාකච්ඡා කිරීමේදි ඉන්දියාවේ දීපිකා පෝඩුකෝන් නම් නිළිය විසින් "වෝග්" ආයතනය වෙනුවෙන් සිදු කළ "My Choice" (මගේ නිදහස) ව්‍යාපෘතියට ඔබගේ අවදානය යොමු කිරීමට මම කැමැත්තෙමි. කාන්තාවන් 99 දෙනෙකු තමන්ගේ අයිතිය හෝ නිදහස පිළිබඳව විවිධාකාරයෙන් දක්වන අදහස් සමූහයක එකතුවක් "My Choice"  විඩියෝවෙන් දැක්වේ.



මෙම ව්‍යපෘතිය තුළ (මෙම ලිපියේ ඉහළින් දක්වු පරිදි) දීපිකා පොදුකෝන් විසින් විස්තර කරණු ලබන්නේ ඇයගේ නිදහසයි, ඇයගේ අයිතියයි (#mychoice).

දීපිකා පොදුකෝන් හට කියවන්නට ලියාදෙන පිටපතේ ඇති පරිදි, ශරීරය නිරාවරණය කර ගැනීම හෝ ආවරණය කර ගැනීම ඇයගේ අයිතියයි (#mychoice), කවුරුන් සමඟ ලිංගිකව එක්වන්නේද නැතිද යන්න ඇයගේ අයිතියයි (#mychoice), විවාහ වීම හෝ නොවීම ඇයගේ අයිතියයි (#mychoice).

ගැහැණියක වේවා පිරිමියක වේවා කවරෙකුගේ පුද්ගල නිදහස හෝ අයිතිය පිළිබඳව කිසිදු විවාදයක් හෝ ප්‍රශ්නයක් බ්ලොග්කරුට නැත. ප්‍රශ්නය වන්නේ දීපිකාලා පවසන "මගේ නිදහස" සහ සැබෑ ඇගේ " මගේ නිදහස" යන දෙක එකක්ද යන්නයි. සැබෑ ඇයට ඇති මූලීකම ප්‍රශ්නය විවාහයට පිටින් ලිංගිකව එක්වීමට නොහැකිවීම, ඕනෑම වේලාවක ගෙදරට පැමිණීම, ඕනෑම කෙනෙකු සමඟ යහන් ගතවීමට වඩා, තමාව ලිංගික මෙවලමක් (sex toy) ලෙසින් නොව, යන්ත්‍රයක් (washing machine, cooker) ලෙසින් නොව, වෙළඳ භාණ්ඩයක් (show room material) ලෙසින් නොව හැඟීම් දැනීම් ඇති තවත් එක් මනුෂ්‍යයෙකු ලෙසින් පිළිගැනීමක් ලැබීමයි.

එසේම දීපිකාලා දැන හෝ නොදැන ඉටු කරමින් සිටින්නේ ඇයව මෙහෙයවන මාධ්‍ය මුදාලිලාගේත්, අලෙවිකරුවන්ගේත් "My Choice" එක මිස දිනපතා දුක් විදිවිදින සැබෑ ඇගේ "My Choice" එක නොවන බව බ්ලොග්කරුගේ පුද්ගලික අදහසයි.

සිය පුද්ගලික දේශපාලන අරමුණු ඉටුකරගැන්ම උදෙසා අමු අමුවේ පෙනී සිටීම (කඩේයාම), සිය රටේ ජනතාවගේ කඳුළු ඔවුන්ටම විකිණීම, නීති විරෝධී ව්‍යාපාර මඟින් සරි කරගත් කළු සල්ලි සුදු කර ගැනීම, මුදල් උදෙසාම අවර ගණයේ නිර්මාණ විකාශනය කරමින් රසාඥතාවන් මොට කිරීම යන කරුණු වලට දැනටමත් වගකිව යුතු අසික්කිත ශ්‍රී ලාංකික ජඩ මාධ්‍යයන්ද ක්‍රමයෙන් ප්‍රේක්ෂක අවදානය ලබා ගැනීමේ පහත් උපක්‍රමයක් ලෙසින් කාන්තා නිරුවත විකීණීමද ආරම්භ කොට තිබෙනු ඉතාම මෑතකදි බ්ලොග්කරු විසින් කරණු ලැබු නිරීක්ෂණයක් (බ්ලොග්කරු රූපවාහිනි රසිකයෙකු නොවන නිසා පෙර සිදුවීම මඟහැරී යන්නට ඉඩ තිබේ.)

මෙම ක්‍රියාව සිදුවන්නේ වැඩසටහන් ඉදිපත් කරන්නියන් හට කලවා නිරාවරණය වන පරිදි කෙටි ඇදුම් අන්දවා ඔවුන් අසුන් වල හිදුවා කලවා වඩ වඩාත් නිරාවරණය වන පරිදි කැමරා කෝණයන් ලබා ගනිමින් ඉතාමත් සිල්ලර මට්ටමිනි. මෙය වරක් දෙවරක් සිදුවන්නක් නොවන් සිතාමතා සතිපතා සිදුවන්නක් බව බ්ලොග්කරුගේ නිරීක්ෂණයයි. උදාහරණ ලෙසින් "Derana Music Online (Yureni)", "Derana Tea Party with Nehara", "Hiru TV Niro and the Stars" වැනි වැඩසටහන් දැක්විය හැකිය.

සමහරක් විට මෙම වැඩසටහන් වලට ලිංගිකත්වය උලුප්පමින් පෙනී සිටිම වෙනුවෙන් යුරෙනී නොශිකාට, නෙහාරා පීරිස්ට හෝ නිරෝෂා පෙරේරාට අදාල නාලීකාවලින් ගෙවන්නේ ඉතා ඉහළ මිළක් වන්නට පුළුවන. සමහරක් විට යුරේනී, නෙහාරා හෝ නිරෝෂා එසේ පෙනී සිටින්නේද එය දැන දැන ඒ පිළිබඳව හොඳ අවබෝධයකින් වන්නටද පුළුවන. එනයින් බලන කළ එහි සිදුවන්නේ වෙළඳ පොළේ සිදුවන වෙළඳ ගණුදෙනුවකි.
සරලවම පවසන්නේ නම් තමන්ගේ කලවා හෝ යටි ඇදුම ලෑල්ලේ දමා විකිණීම;
  • යුරේනීගේ choice එකකි "My Choice"
  • නෙහාරාගේ choice එකකි "My Choice"
  • නිරෝෂාගේ choice එකකි "My Choice"
එම "තරු" වල "My Choice" ගැන බ්ලොග්කරුට විවාදයක් හෝ තර්කයක් නැත. ඔවුන්ද කෙසේ හෝ ජීවත් විය යුතුය.

යුරේනී, නෙහාරා හෝ නිරෝෂාගේ කලවා ලෑල්ලේ දමා විකුණා (ජඩ) මාධ්‍යක් මඟින් මුදල් හම්බකර ගැන්මට බ්ලොග්කරු එරෙහි වන්නේ,  පිරිමියාගේ පුරුෂ ලිංගයට ලේ කාන්දු වීම පිණිස ගැහැණිය හසුරුවා, ඇය ලිංගික මෙවලමක් බවට පත් කර තිබීමේ පදනමිනි, මෙම "තරු" තම පරමාදර්ශ කරගෙන විද්‍යාව අතහැර අවිද්‍යාව වැළඳගන්නා දැරියන් පිළිබඳව උපන් සංවේගයෙනි.

විද්‍යාව අතහැරීම හෝ අවිද්‍යාව වැළඳ ගැනීම එම දැරියන්ගේ "My Choice" එකක් බව පිළිගැනීම හැර වෙනින් "choice" එකක් අවසානයේදි බ්ලොග්කරුට ඉතිරිවී නැත.

ලිව්වේ - මාලන් සහ ජේමිස් බණ්ඩා

Sunday, July 23, 2017

චෙස්ටර් ගැන කතාවක් නොවේ

දැන් මෙහෙමයි කතාව.

චෙස්ටර් මැරුනනේ.
මට නම් අවංකවම මේ මරණය දැනුනා.
ලින්කින් පාර්ක්ලගේ hybrid theory ඇල්බම් එකේ ඉඳල ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම මම චෙස්ටර්ගේ නිර්මාණ රසවින්දා.
කලාකරුවන්ගේ මරණ අතරින් මයිකල් ජැක්සන් මැරුණයින් පස්සේ දැනුනේ චෙස්ටර්ගේ මරණය.
මට වගේම සෑහෙන දෙනෙක්ට මේ සිද්ධිය ඔය විදියටම දැනෙන්න ඇති.
ලංකාවෙ වගේම මුළු ලෝකයේම රසික රසිකාවියන්ට.

ඔය මරණයත් එක්කම හැම මගුලකටම දෙපැත්තට බෙදිලා නටන බුකිවාසීන් ආයේ නටන්න ගත්තා.
පිරිසක් මේ මරණය ගැන දුක ප්‍රකාශ කරද්දි තවත් පිරිසක් මේ මරණය උපහාසයට ගත්තා

"චෙස්තර බෙනින්තර මැරිලලු නේද?"
"ලින්කින්පාර්ක් එක තියෙන්නේ කොහේදැයි අයියේ?"
"පාක් එකට අල්ලපු ගෙදර ඇන්ටිගේ සාරියෙන් එල්ලිලා තියෙන්නේ"
"ලින්කින් පාර්ක් එකෙ ගස් වලට වතුර දාපු එකා මලාලු ඊයේ"

ඔය චෙස්ටර් කියන 'මනුස්සයා' මැරුණ වෙලේ සමහරු ඒක උපහාසයට ගත්ත විදිය.
ඔය වගේ බුකිවාසීන් දාපු සමහර 'කිංඩි' ඉතින් සීමාව පැන්න ඒවා කියල මටත් හිතුනා.
සමහර විට චෙස්ටර් ගැන මම පොඩි එකෙක් කාලෙ ඉඳල හිතේ ලොකු රසිකත්වයක් තිබ්බ නිසා වෙන්න ඇති. සමහර විට විෂාදයට ගොදුරු වුන රෝගීන් ගැන මම ගොඩාක් සංවේදී නිසා වෙන්න ඇති.
සමහර විට තමාට තියෙන එකම විකල්පය සියදිවිනසා ගැනීමය කියන තැනට මනුස්සයෙක් පත් වෙන එක ගැන සෑහෙන අවබෝධයක් තියෙන නිසා වෙන්න ඇති.
එහෙම තත්වයට පත් වෙන මනුස්සයෙක් ගැන දැඩි සහකම්පනයක් මගේ හිතේ මොනයම් හේතුවකට හරි පැලපදියම් වෙලා තියෙන නිසා වෙන්න ඇති.

ඒත් ඉතින් අවුලක් නෑ. අවුලක්ම නෑ.
මම කැමති විදියේ දේවල් විතරක් නෙමේනෙ මිනිස්සු කියන්න ඕන.
ඕනම මගුලක් උපහාසයට ගන්න එක ඉතින් ඒ ඒ අයගේ නිදහස (විදෙස් රටක මෙහෙකාරකම් කරන කාන්තාවක් අන්ත අසරණ අඩියට වැටිලා කේන්තියෙන් මොර ගහන අවස්ථාවකුත් ආතල් ලෝකයක් කරගෙන කැච් ෆ්‍රේස් හදාගත්ත බුකි වාසීන්නෙ ඉතින්. මේව නම් මොනවද?)

මනුස්සයෙක්ගේ මරණයට පවා කිංඩි දැමීමේ නිදහසට මම ගරුකරනවා. ඒ අයිතිය මම පිළිගන්නවා.

හරි. දැන් තමයි මම කියන්න හදන කතාවට එන්නෙ.

මේ කතන්දර දැක්කාම මට එකපාර ඔලුවට ආවේ මෙහෙම දෙයක්.
"මේ මැරුණ මනුස්සයා වෙනුවට මුං සංවේදී වන පොරක් මැරිලා මම ඔහොම කින්ඩි දැම්ම නම් මුන් මොනව නොකියයිද?"

හොඳම උදාහරණයකට ගන්න පුළුවන් මේ අය කරේ තියාගෙන ඉන්න ආගමික නායකයෙක්ව.
මට මතකයි මීට අවුරුදු දෙකකට විතර කලින් මම මහනායක කෙනෙක් ගැන පෝස්ට් එකකදි ඔහුගේ නම අගින් ස්වාමින්වහන්සේ කියල නොදැම්මා කියල බුකිය ඇවිලුන හැටි.
දැන් ඉතින් තත්වය ටිකක් වෙනස් (කාලය මැවු වෙනසක් අරුමේ)
පොයින්ට් එක තමා.
නම විතරක් කිව්වා කියල අච්චරම මේ අය සංවේදි වෙලා බබ්බු ටිකක් වගේ නැටුවා නම්, ඔය මහනායක කෙනෙක් හරි, රහත් වෙලා හිටියය කියල සැලකෙන මෑත ඉතිහාසයේ ජීවත් වුන පොරක් ගැන හරි, කොටින්ම මේ අයගේ ආගමික නායකයන්ගේ මරණය ගැන හරි, ඔය විදියට උපහාසයෙන් කතා කලා නම් මේ අයට ඒ දේ ඉවසන්න තරම් පරිනතභාවයක් තියෙයිද කියන කතාව.

 ගොඩක් දෙනෙක් ආදරය කරන මනුස්සයෙක් මිය ගියාම කින්ඩි දාන්න පුළුවන් නම් මේ අය තමාගේ "උත්තමයො" කියල හිතන් ඉන්න පොරවල් ගැන දාන කින්ඩි දරා ගන්න බැරි ඇයි?

ගායකයෙක් හා ආගමික නායකයෙක් සමාන කරනවා නෙමේ. ආ සොරි. ගායකයෙක් හා ආගමික නායකයෙක් සමාන කරනවා තමා.
චෙස්ටර් අමතක කරමු.
ගායකයෙක් හරි, නළුවෙක් හරි, දේශපාලකයෙක් හරි, සමාජ සේවකයෙක් හරි, මොකෙක් හරි සමාජයේ යම් පිරිසක් ගෞරව කරන/ආදරය කරන කෙනෙක් ගැන.. කොටින්ම උන් මලාම උන්ගේ මරණය ගැන කින්ඩි දාන එක වරදක් නෙමේ නම් මුන්ගේ මහලොකු ආගමික නායකයො ගැන කින්ඩි දාන එක ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද?

මුං ඒ වගේ අවස්ථාවලදී ගේන බොරු පුහු හිස් තර්ක වල සතපහක බරක් නෑ කියන එක ඔප්පු වෙන්නේ මේ වගේ අවස්ථා වල උන්ම පෙන්නන හැසිරීම් වලින්.
මුංට ඕන නැති හරි වැරැද්දක් නෑ.
මුංට ඕන මුං කැමති විදියට මුං ජීවත් වෙන ලෝක පාලනය කරන්න.

ලෝකේ අස්සක් මුල්ලක් නෑර ඉන්න අතිමහත් බහුතරයක් ආගමික හැතිකරේ ඔහොම තමයි.
ඕක තමයි උන්ගේ කුහකකමේ හෙළුව.

කින්ඩි දැමීම හෙවත් උපහාසය ගැන මුන්ම හදාගත්ත මුන්ගේම හිස් නීති රීති වලංගු වෙන්නේ මුං සංවේදී තැන් වලට විතරයි.

ඉතින් ඒකයි මුන් සංවේදි වෙන තැන් වලට හැකි උපරිමයෙන් ගහන්න ඕන කියල මම පුද්ගලිකව හිතන්නෙ.

මුං සංවේදී දේ උපහාසයට ලක් වෙන අවස්ථා වලදි කුණුහරප කියන අන්තවාදී ගොබ්බයන්ටයි
ඒ අවස්ථා වලදී කින්ඩි දැමීමේ අනවශ්‍යභාවය සහ අරමුණු ගැන ප්‍රශ්න කර කර බණ දේශනා කරන්න එන නිදහස් මතධාරීන් කියල කියාගන්න උන්ටයි කියන්න තියෙන්නේ එක දෙයයි.

හුකහන් මහත්වරුනි.


ප/ලි - මේක චෙස්ටර් ගැන කතාවක් නෙමේ. චෙස්ටර් රිලේට් වනවා මදි වගේ නම් සමාජයේ යම් පිරිසකගේ ආදරයට ගෞරවයට පාත්‍ර වෙච්ච වෙනත් චරිතයක් ආදේශ කරගෙන මේ සටහන නැවත කියවන්න.

Thursday, July 20, 2017

ටීවී සීරීස් වල වල් සීන්

ඔබේ අදහස් + අපේ අදහස් = අළුත් අදහස්
♫ ♫ විකාශයට සුදුසු සමාජයට හානි පමුණුවන්නේ නැති ඉංග්‍රීසි රූපවාහිනී නාට්‍ය මාලාවන් කිහිපයක් නම් කරන්න.

ඔය "ජාතික රූපවාහිනිය - Sri Lanka Rupavahini (TV) Corporation" ෆේස් බුක් පේජ් එකේ මීට දවස් දෙක තුනකට කලින් දාලා තිබ්බ පෝස්ට් එකක්.

ඉංග්‍රීසි චිත්‍රපටි, රූපවාහිනී කතා මාලා බලන එක විනෝදාංශයක් කරගත්ත මම මේ වගේ දේවල් ගැන බුකියේ කතා කරන්න පට්ටම කැමතියි.
මොකද ආගම දේශපාලනය වගේ දේවල් ගැන කතා කරනව වගේ නෙමේ
මේ වගේ දේවල් ගැන චිල් එකේ කතා කරන්න පුළුවන්.
වලි නෑ.. කුණුහරප නෑ.. ගේම් නෑ..
කාලය කාදමන්න මරු ටොපික්ස්.
කොච්චර ලොකු ටෝක් දුන්නත් ෆේස් බුක් එන්නේ ඕකටනෙ අපි.
මොකක් හරි මගුලක එල්ලි එල්ලි කියවන්නනෙ.

ඉතින් මාත් හිතුවා ඔය පෝස්ට් එකට කමෙන්ට් එකක් දාන්න
මම කැමතිම ටීවී සීරීස් දෙක තුන මොනවද කියල.

අංක එක ඉතින් Breaking Bad නෙ. කතා දෙකක් නෑනෙ.
දාමු කමෙන්ට් එක.

ආ.. පොඩ්ඩක් හිටු

ප්‍රශ්නයක් !

"Breaking Bad ලංකාවෙ පෙන්නන්න පුළුවන්ද?..
බැරි වෙයි නෙහ්? මෙත් හදන සීන් ගොඩක් තියෙනවනෙ.
එතකොට Game of Thrones? කොහොමත් බෑ.
Narcos? ඒකත් බැරි වෙයි...කුඩු සීන් නෙ"

ශිට් !

House of Cards, Sherlock,  True Detective??

ඒවා නම් පෙන්නන්න පුළුවන් වෙයි.
ඒත් ඕන්නෑ.
වැඩක් නෑ කමෙන්ට් කරල. මම මටම කියාගත්ත.

"සමාජයට හානි පමුණුවන්නේ නැති"
මගුල !

ඔය කියන්නේ සෙක්ස් නැති කියන එකනෙ.
වෙන මහලොකු බක්කක් නෙමේනෙ.
අපිට සෙක්ස් තරම් අරහං දෙයක් මේ තුන් ලෝකෙම නැතුව ඇති.
රූපවාහිනියෙ උන් නොකියා කියන්නෙ ඕක.

"වල් සීන් නැති මොකක් හරි ෆිල්ම් එකක් දියන්කො ගෙදර ගිහින් බලන්න"

අපි හයේ හතේ පන්තියෙදි යාලුවන්ගෙන් බලන්න ෆිල්ම් ඉල්ලගත්ත විදියට තමා අපේ රටේ ජාතික නාලිකාව ටීවී සීරීස් පෙන්නන්න රටේ මිනිස්සුන්ගෙන් කැමැත්ත අහන්නෙ.

"වල් සීන් නැති මොනව හරි කියහල්ලකො උඹලට පෙන්නන්න"

වල් සීන් දැකල නරක් වෙන්න මේ රටේ ඉන්නෙ බබාලනෙ.
සෙක්ස් කියන්නේ මොනවද කියල දන්නෙවත් නැති
හනිමූන් එකේදි පිරිත් දාලා ලයිට් ඕෆ් කරලා ඇස් පියාගෙන හැමිනිලා
අනිත් පැත්ත හැරිලා නිදාගන්න උන්නෙ මේ රටේ ඉන්නෙ.
තුක් නොදකින් !

දැන් මුන්ගෙන් අහන්න ඕන ප්‍රශ්නෙ තමා,
ඔය ටීවී සීරීස් හදන රටවලට ඕවලින් නොවෙන
අපේ සමාජයට විතරක් ඔය කතා වලින් වෙන
ඔය කියන අමුතු හානිය මොකක්ද කියල.

ඒ කියන්නෙ සෙක්ස් සීන් දැක්කම ඒ රටවල වැඩිහිටියන්ට නොවන මොනව හරි අපේ වැඩිහිටියන්ට වෙනවා කියන එකද?

ඕවා දැකල ටීවී එකෙන් බඩ වෙනවා කියන එකද?
ඕවා දැක්කම මිනිහා තමන්ගෙ ගෑණිගෙ අම්මා එක්ක හැමිනෙයි කියන එකද?

ඔය ටීවී සීරීස් හැදෙන රටවල සමහර නිර්මාණ හැදෙන්නේ වැඩිහිටියන් ඉලක්ක කරගෙන.
සමහරක් නිර්මාණ දරුවන් ඉලක්ක කරගෙන
සමහරක් නිර්මාණ දෙගොල්ලන්ටම රසවිඳින්න පුළුවන් ඒවා.

නමුත් අපේ රටේ වැඩිහිටියන්ට බැහැ වැඩිහිටියන්ට පමණක් සුදුසු දේ වලින් තමන්ගේ දරුවන්ව ඈත් කරල තියන්න.
ඒ තරම්වත් වගකීමක් ගන්න බැරි උන් තමා අපේ රටේ ළමයි හදන්නෙ.

මුන්ට දරුවන්ට හොරෙන් කාමරේ ඉඳගෙන හැමිනෙන්න පුළුවන් නම්
දරුවෙක් ටීවී සීරීස් එකක් බලන නොබලන එක
දරුවෙක් ටීවී එක බලන වෙලාව, සෙල්ලම් කරන වෙලාව, පාඩම් කරන වෙලාව
පාලනය කරන්න බැයිද?

ඇත්තටම බැලුවොත් අපේ රටවල වැඩිහිටියන්ට සුදුසු කියල රූපවාහිනි කතා මාලා නිර්මාණය වෙන්නේ නෑ.
වැඩිහිටියෙක්ගේ ජීවිතය තුල ඇතිවෙන ප්‍රශ්න, ගැටළු, අත්දැකීම්, හැඟීම් ගැන කතා කෙරෙන දේ රූපවාහිනියේ විකාශය වෙන්නෙ නෑ.
හැම දේම නිර්මාණය වෙන්නේ "මේක පොඩි එකෙක් එක්ක බලන්න පුළුවන්ද" කියන මිම්මට යටත් වෙලා

ඒත්,
අනිත් රටවල වගේම තමා අපේ සමාජයෙත් ඉන්නේ ලෙයින් මසින් හැදුන මිනිස්සු.
හැඟීම් දැනීම් ආශාවල් තියෙන මිනිස්සු.
උන් ගෙයි අපෙයි වෙනස තමා
අපි ලිංගිකත්වයට අශිෂ්ඨ ලේබල් එකක් ගහලා ඒක මුළුමනින්ම සමාජයේ කතාබහින් ඉවත් කරලා කළුවර කාමරයක දාලා වහලා හිර කල යුතු දෙයක්ය කියන ආකල්පයක් අවුරුදු ගාණක් තිස්සේ කරේ තියාගෙන ඉන්න එක.

ඕකත් හරියට උගුරට හොරා බේත් බොනවා වගේ වැඩක්.
මිනිස්සුත් එක්ක දැඩි සම්බන්ධයක් තියෙන
මිනිස්සුන්ගේ ජීවිත වල කොටසක් වෙච්චි
ලිංගිකත්වය කියන්නේ එහෙම හිර කරන්න පුළුවන් දෙයක් නෙමේ.
ලිංගිකත්වය හොඳ නැහැ කියල ප්‍රසිද්ධියේ බණ කියන අපේ මිනිස්සුම තමා රෑට ගූගල් එකේ සෙක්ස් හොයලා ලෝකෙන්ම කප් ගහන්නෙ.
කොච්චර බොරු ශිෂ්ඨත්වයක් ආරූඩ කරගන්න හැදුවත් මොන විදියකින් හරි අපිත් ලෙයින් මසින් හැදුන ලිංගිකත්වයට දැඩිව ආශාකරන හැඟීම් දැනීම් ඇති මිනිස්සුය කියන කාරණය එළියට එනවා කොයි විදියකින් හරි.

ලිංගිකත්වය විතරක් නෙමේ, වැඩිහිටියන්ට සීමා විය යුතු තේමා රැගත් ඕනම කලානිර්මාණයක් දිරවගන්න අපිට සමාජයක් විදියට බැයි නම් එතනින් නිර්මාණය වෙන්නේ සමාජයක් විදියට අපේ මැචුවරිටි එක ගැන ලොකු ප්‍රශ්නයක්.
ගෑණියෙකුයි මිනිහෙකුයි සිපගන්න, සංසර්ගයේ යෙදෙන දර්ශනයකින් හරි තරුණයෙක් මත්ද්‍රව්‍යය පාවිච්චි කරන දර්ශනයකින් හරි අපේ සමාජයට හානි වෙලා කෙළවෙලා යනවා නම් අපේ සමාජයේ වැඩිහිටියන් විදියට ජීවත් වෙන්නේ මොන බොළඳ බබ්බු ටිකක්ද කියන ප්‍රශ්නයයි අපිට අපෙන්ම අහන්න වෙන්නෙ

වෙන රටවල මනසින් නොමේරූ කුඩා ළමුන්ව ආරක්ෂා කරනවා වගේ ලිංගික දර්ශන වලින් අපේ සමාජයේ වැඩිහිටියන්වත් ආරක්ෂා කරන්න ඕන නම් අපේ සමාජයේ ඉන්නේ ඇත්තටම අවුරුදු හතලිහ, හැට පැනපු ළමයි ටිකක්

ටෝක් එක ඇදිල ඇදිල යනවනේ? තව ටිකයි ඈ..

අන්තර්ජාලය හරහා ඕනම කෙනෙක්ට ඔය ඉංග්‍රීසි නාට්‍යය ඩවුන්ලෝඩ් කරගෙන බලන්න හැකියාව තියෙනව නම් වර්තමාන තරුණ පරපුරෙන් බහුතරයක් දෙනා ඔය වගේ කතා මාලා අන්තර්ජාලයෙන් බාගත කරගෙන බලනව නම් ඒ නිර්මාණ රූපවාහිනියෙන් විකාශය වුනාම සිද්ධ වෙන අමුතු හානිය මොකක්ද කියන එක.

සමාජයට හානි වෙලා කෙළවෙලා යනව නම් අන්තර්ජාලයෙනුත් තහනම් කරල දාන්න ඕනනෙ. අනික මෙච්චර කල් කොල්ලො කෙල්ලො  ඉන්ටර්නෙට් එකෙන් ඕව බැලුව කියල සමාජයට මෙච්චර කල් නොවුන අමුතු හානියක් වෙලත් නෑනෙ. (අපි නොදන්න වැල කිව්වලු)

හැම වෙලේම වගේ මේකත් අර අපි හොඳ ශිෂ්ඨ සමාජයක්, විනයක් තියෙන සමාජයක් කියලා අපිවම රවට්ට ගන්න අපේ ගොබ්බ වැඩිහිටිපරපුර හදාගත්ත තවත් බොරු තියරියක් විතරයි කියලයි මට නම් හිතෙන්නෙ.  (මට හිතෙන්නෙ නෙමේ ඒක තමා සීන් එක)

මේ විකාර රූපි බොරු සදාචාරවත් කතා ඇහෙද්දි මට හැම වෙලේම මතක් වෙන්නෙ මීට ටික කාලයකට කලින් රටේ ප්‍රධාන ආගමික නායකයෙක් කියපු කතාවක්

"හාමුදුරුකෙනෙක්ට මස් කන්න ඕන නම් ප්‍රසිද්ධියේ කන්න ඕන නෑනෙ. කාට හරි කියල ගෙන්නගෙන හොරෙන් කන්න පුළුවන්නෙ"

හොරෙන් කනවා නම් කමක් නෑ. ප්‍රසිද්ධියෙ කනවා නම් අවුල්. ඩවුන්ලෝඩ් කරගෙන බලන එක කමක් නෑ. ටීවී එකේ පෙන්නන එක අවුල්.

කුඩු කන්ටේනර් ගනන් වලින් ගේන දේශපාලකයෝ ඉන්න, ඒ දේශපාලකයන්ට ආයෙ ආයෙ ඡන්දෙ දීලා පාර්ලිමෙන්තු යවන ජනතාවක් ඉන්න, දිනපතා ස්ත්‍රී දුෂණ සිද්ධ වෙන, මානසික අසහනකාරයන්ගේ විසින් කුඩා ළමයි දූෂණය කරලා මරලා දාන
සමාජයක ජීවත් වෙන අපි තුළ නැති සදාචාරයක් රෑට ටීවී එකේ හරි දකින්න හිතන එකෙන් කියවෙන්නේ ඉතින් අපි කොච්චර පව් ද කියල තමා.

අන්තිමට කල්පනා කරලා කරලා
ජාතික රූපවාහිනියේ සමාජයට හානි නොකරන
ටීවී සීරීස් පෝස්ට් එකට දැම්මා කමෙන්ට් එකක්

"අපි අපේ වැඩිහිටියන්ට බලන්න රෑට රෑට සිංහලෙන් හඬකවපු හා හා හරිහාවා පෙන්නමු"

Wednesday, July 19, 2017

බලු පැටව් සහ වසු පැටව්

පොෂ් බලු පැටව් දෙන්නෙක් විකුණන්න තියෙන වගක් අපේ ගෙදර උන්දෑලාට ආරංචි වෙලා.

බලු වරිගයයි මිල ගණනුයි කණ වැකුනයින් පස්සෙ අසුරු සැනින් එක මොහොතෙන් ඇති වෙච්චි බලු සුරතල් බැලීමේ ආශාව නිසා අපේ මෑණියෝයි නැගණියයි ගිහින් බලු පැටව් දෙන්නෙක් අරගෙන ඇවිත් [ආයේ ඉතින් සල්ලි සල්ලි කියලා බැලුවේ නෑ]

එක බලු පැටියෙක් අපේ මෑණියන්ගේ ගෙදරට. අනෙක් බලු පැටියා අපේ නැගණියගේ ගෙදරට.
බලු පැටව් දෙන්නා නිවුන්නු(ලු) [එකට උපදින බල්ලෝ කොහොමත් නිවුන්නු තමයි. ආයේ ඉතින් ඕක අමුතුවෙන් කියන්නත් දෙයක්යෑ]
වයස මාස දෙකක්, තුනක් විතර(ලු). එකම පාට. එකම විදිය.

වැඩේට මුලින් අකමැත්තෙන් හිටපු තාත්තත් පස්සෙ බලු සුරතල් දැකලා හිත වෙනස් කරගෙන. කොටින්ම කියනව නම් බල්ලෙක්ට, පූසෙක්ට තියා මනුස්ස පැටියෙක්ටවත් හිත උණු නොවෙන මමතුමාත් මේ බලු පැටියා එක්ක යාලු මිත්‍රකමක් ඇති කරගත්තා පැය ගාණක් ඇතුලත. [මම බල්ලා එක්ක යාලු වුනාට බල්ලා තවම මාව අඳුරන්නේ නැති එක වෙනම කතාවක්]

එක බලු පැටියෙක්ගේ නම ශැඩෝ, නම දාලා තියෙන්නේ අපේ මෑණියෝ.
අනික් බලු පැටියාගේ නම මැක්සි, නම දාලා තියෙන්නේ අපේ නැගණිය.

කෝමෙන් කෝම හරි දවස් දෙකක් මේම ගත වුනා. දවස් දෙකෙන් පස්සේ මගේ නැගණියතුමිය ආවා ඇයගේ බලු සුරතලාත් එක්ක අපේ මෑණියන්ගේ ගෙදර. එදා මමත් එහෙ..
දැන් ගෙදර බලු පැටව් දෙන්නයි !

ගෙදර උන්දෑලා සියල්ලෝම බලු සුරතල් බලනවා. ෆොටෝ ගහනවා. සෙල්ෆි ගහනවා. ඉඹිනවා. නටනවා. එක සෙල්ලමයි !
ටික වෙලාවක් ගත ගත වෙද්දි තක්බීර් වෙලා ඔහේ ඉන්න බලු පැටව් දෙන්නා වටකරගෙන දඟලලා, හුරතල් කරලා ඇතිවෙච්චි මහන්සියෙන් පොඩි බ්‍රේක් එකක් ගන්න නිසාදෝ කට්ටිය එහෙට මෙහෙට වුනා පොඩ්ඩ පොඩ්ඩ.
දැන් බලු අයියයි, බලු මල්ලියි එකට. තනියෙම. සෙල්ලම් කරනවා. පෙරළෙනවා. එකාගේ පිට අනෙකා නගිනවා. දඟලනවා.. [බලන්න ලස්සනයි ඈ]

ටික වෙලාවක් ඕම ඕම ගත වෙලා අපි අපේ කථා වලට සෙට් වෙලා ඉද්දි මෙන්න යකෝ බලු සහෝදරයෝ බලු සටනක් පටන් ගෙන..
එකෙක් අනිත් එකාව හපනවා, මූ අරූව හපනවා, අරූ මූව හපනවා, ආයෙත් මූ අරූව හපනවා, ආයෙත් අරූ මූව හපනවා.. [වලිය ටිකක් ඕවර් ද ටොප් ගියා කියල කිව්වොත් හරි]
බලන් ඉන්න බැරිම තැන නැගණිය සහ මෑණියන් වහා ඉදිරිපත් වෙලා තම තමන්ගේ බලු පැටවුන් ගත්තා අතට.
දෙන්නටම තරහයි බලු පැටව් එක්ක. තමාගේ බලු පැටියා එක්ක නෙමේ, තමන්ගේ බලු පැටියට රිද්දපු අනිත් බලු පැටියා එක්ක.

නංගිට තරහයි අම්මගේ බලු පැටියා එක්ක, අම්මට තරහයි නංගිගේ බලු පැටියා එක්ක.
ඒ අස්සෙ කට්ටිය බලු පැටව් දෙන්නව කම්පෙයාර් කරන්න අරගෙන. වඩා ලස්සන මොන එකාද, ෆයිට් එකෙන් දින්නේ මොන එකාද, දෙන්නගේ නම් වලින් ලස්සන මොන එකාද, අරකද මේකද..[සීරියස් නෙමේ ඉතින්, විහිලුවෙන්]

දෙගොල්ලන්ටම තමාගේ ගෙදර දවස් දෙකක් හිටපු බලු පැටියයි ලොකු.
එකම සමාන, එකම විදිය, නිවුන් බලු පැටව් දෙන්නෙක්ව දවස් දෙකෙන් තමාගේ සහ තමාගේ නොවන විදියට බෙදාගත්ත උන්දෑලා හොඳම බල්ලා තමාගේ එකා කිය කිය වාද කරනවා..

ටික වෙලාවකින් ආයේ බලු පැටව් දෙන්නා යාලු වෙලා කියහන්කෝ [කලින් තරහ වුනා කියල කියන්නෙත් ඉතින් අපිමනෙ]

ඔය වලි කතා අස්සේ… මේ සිද්ධියම වෙනස් ආකාර වලින් කීපාරක් නම් දැකලා ඇද්ද කියලා මමතුමා කල්පනා කරනවා..

කතාව ඉතින් එච්චරයි. නිමි ඈ.

ප/ලි - මේ බලු කතාවෙයි ලංකාවේ දේශපාලකයන්ගේ පැත්තක් අරන් වාද කරගන්න, මරාගන ජනතාවගෙ කතාවෙයි කිසිම සම්බන්ධයක් නෑ හරිය.

Tuesday, July 18, 2017

ඉරාජ්

කාලයක් තිබ්බා.
කෙල්ලෙක්ගේ තනකුයි, පුකකුයි, ජංගියකුයි නැතුවත් සින්දු හිට් කරගන්න පුළුවන් වුන.
මියුසික් වීඩියෝ එකට වඩා ඕඩියෝ එක බොක්කට වදින විදියේ සින්දු හැදුන.
සින්දුවෙන් ලැබෙන පණිවිඩිය මොකක්ද කියලා මිනිස්සුන්ට බලෙන් ඒත්තුගන්වන්න සිද්ධ
නොවුන.
එකපාරක් අහපු ගමන් වචන, තනුව මිනිස්සුන්ගේ ඔලුවේ හිටින විදියේ සින්දු හදන්න පුළුවන් මිනිස්සු හිටිය.

ඒ විදියේ "සිරා සින්දු" හදපු පොරක් හිටියා ඉස්සර.
ගොඩක් ඉස්සර.
පස්සේ ඌ නෙගටිව් මාර්කටින්ග් ඉගෙනගත්තා

මැරෙන එකේ අවුලක් නෑ.
පණපිටින් මැරෙන එකයි අවුල.
ඊටත් වඩා ලොකුම අවුල
තමන් මැරුනා කියල තමන් නොදන්න එක..



Monday, July 17, 2017

ඩිවෝස් එක හෙට නෙමේ අද

"පුතේ, පවුල් ජීවිතේ කියන්නෙම ප්‍රශ්න තමා.
කවදාවත් විසඳෙන්නෙ නැති ප්‍රශ්න තියෙද්දිත්
දිගටම එකට ඉන්න එකයි පවුල් ජීවිතේ කියන්නෙ" ....
අවුරුදු ගාණකට කලින් මම ඩිවෝස් වෙන්න තීරණය කල වෙලාවෙ
හැම වැඩිහිටියෙක්ම වගේ මට කිව්ව කතාව ඕක.

ගොඩක් දෙනා හිතන් ඉන්න විදියට කොච්චර ප්‍රශ්න ආවත් එකට ඉන්න එකයි වැඩේ.
මැරෙන කල් වෙන් නොවී එකට ඉන්න පුළුවන් නම් ඊට වඩා දෙයක් නැහැ.
අපේ ආච්චිල සීයල, අම්මල තාත්තල, ඒ කියන්නෙ අපේ වැඩිහිටි පරපුර තම තමන්ගේ ජීවන සගයා එක්ක එකට හිටිය කාල සීමාව ගැන කයිවාරු ගහන්නේ මාරම ආසාවෙන්.

"අපි බැන්දේ මේ වයසෙදි.. අපි නම් දැන් කාලෙ උන් වගේ පොඩි දේවල් අල්ලගෙන දික්කසාද වෙන්න හැදුවෙ නෑ.. මරාගෙන හරි එකට හිටියා.. නැත්තන් මෙච්චර අවුරුදු ගාණක් පවුල් කන්න පුළුවන් වෙයිද?"

ඇත්ත.
ගොඩක් වෙලාවට පුදුම කට්ටක් කාගෙන, දත විකාගෙන, තොල හපාගෙන, පුක ඉරාගෙන අවුරුදු ගාණක් ගත කරපු ජීවිතයකට අන්තිමට කියන්න තියෙන්නේ "මම මෙච්චර කාලයක් මේක ඉවසගෙන හිටියා.." කියන එක විතරයි.
ඔය විදියට හිතන ඈයෝ කියන්නෙ ආදර/විවාහ/මිනිස් සම්බන්ධතාවයක වටිනාකම තීරණය වෙන්නෙ ඒ සම්බන්ධතාවය පැවතිච්ච කාල සීමාව මත කියල. ඒ කියන්නෙ පැවැත්ම දිගයි නම් වැඩේ හරි.
පට්ටම සාර්ථකයි !

සුද්දො පොඩ්ඩ බැරි වෙද්දි ඩිවෝස් වෙනව..
ඒත් අපි කට්ට කාගෙන හිතෙන් දුක් විඳ විඳ අවුරුදු තිහ හතලිහ පවුල් ජීවිත ගත කරනව කියන එක අපේ පැත්තෙන් සාර්ථකත්වයේ ලක්ෂණයක් කියලයි ගොඩක් අය කියන්නෙ

ඒත් දික්කසාදය කෙනෙක්ගේ ජීවිතේ නොමැකෙන කළු පැල්ලමක් විදියට දකින, ලොකුම පරාජයක් විදියට දකින, ආර්ථිකව හරි මානසිකව හරි තමාගේ සහකරුවාගෙන් තොරව පැවැත්මක් ගැන හිතන්න බැරි තත්වයක් අස්සෙ විඳවන ජීවිත වල කූඩු වෙලා ලෝකෙට පේන්න හිනා වෙන ජීවිත සාර්ථකයි කියල හිතන්න පුළුවන්ද?

දේපල නිසා එකට ඉන්න...
දරුවො නිසා එකට ඉන්න සිද්ධ වෙලා තියෙන
දෙමව්පියන් නිසා එකට ඉන්න..
වෙන් වෙන්න තියෙන ලජ්ජාව නිසා එකට ඉන්න..
තමාගේ සහකරුවා නැතුව ජීවත් වෙන්න බැරි නිසා එකට ඉන්න..මිනිස්සු කොච්චර ඉන්නවද?

මට හිතෙන විදියට ඒවල වරදක් කියන්න බෑ.
එක එක මනුස්සයට
එකිනෙකාගෙන් වෙනස් නොයෙකුත් හේතු තියෙන්න පුළුවන්.
ඒත්, ආදරය..සතුට..නිදහස..විඳීම හොයන ජීවිත වලට
ඒ වගේ අය තමන්ගේ කුණුවෙච්චි ලෝක අස්සෙ ඉඳගෙන ඇඟිල්ල දික් කරන එකේ තියෙන කුහක කම ගැන කතා නොකර බෑ.

මම දන්න මගේ සමහර යාලුවෝ ගෑණි එක්ක ජීවත් වෙන්නෙ වර්තමානයේ නෙමේ.. අතීතයේ..
ඒ කියන්නෙ උන් බැඳල හිටියට හිතින් ජීවත් වෙන්නෙ අවුරුදු ගාණකට කලින් යාලුවෙලා හිටිය කෙල්ල එක්ක.
ඒ මතකය එක්ක.
තමන්ගේ ජීවිතයේ අසතුට වහගන්නේ අතීතයට ගිහින්.
ඒ ජීවිත වලට වර්තමානයක්වත් අනාගතයක්වත් නෑ.
අතීතයේ හිර වෙලා අතීතයේම ජීවත් වෙලා අතීතයේම මැරිලා ගිහින්.

තමාගේ හොඳම යාලුවා ඇත්ත ජීවිතයේදී මිනිහා එක්ක මරා ගන්න බව දැන දැන උන් දෙන්නා ෆේස් බුක් එකේ දාන ෆොටෝ එකකට "ලව්ලි කපල්" කියල හාට් එකක් දාන්න ගොඩක් දෙනෙක්ට පුළුවන් උනාට උන් දෙන්නා දික්කසාද වෙන එක ගැන ධනාත්මක විදියට කතා කරන්න ඒ අය ලෑස්ති නෑ.
එහෙම තත්වයක් තිබ්බ බව දැන දැනත් දික්කසාදය දකින්නේ ඒ ජීවිතයේ වැටුන තැනක් විදියට.

කිය කිය හිටපු කතාවට ආයෙම ආවොත්, ගොඩක් දෙනා හිතන්නේ.. ගොඩක් දෙනාට හිතන්න පුරුදු කරල තියෙන්නෙ ආදර සම්බන්ධතාවයකට කෙළවෙන්නෙ 'වෙන්වීම' කියන පොයින්ට් එකේදි කියල.

ආදර සම්බන්ධතාවයකට කෙළවෙනවා කියන්නෙ දෙන්නා වෙන්වීම කියල ගොඩක් අය හිතන් හිටියට ඇත්තට එහෙම නෙමේ කියලයි මට හිතෙන්නෙ. දෙන්නාගෙම හරි දෙන්නගෙන් එක්කෙනෙක්ගෙ හරි හිතේ දිගින් දිගටම අසතුට පැලපදියම් වෙන එකයි කෙළවීම පටන් ගන්න මොහොත.
එතනදියි රිලේෂන්ශිප් එකකට කෙළවෙන්නෙ.

ඕකෙ අන්තිම ප්‍රතිපලය තමා වෙන් වෙන එක.
කෙල්ලට/කොල්ලට බූට් එක තියද්දි, දික්කසාද වෙද්දි රිලේෂන් එකට කෙළ වෙලා ගොඩක් කල්.

අපි ඔය වෙන් වෙන පොයින්ට් එක මාරම නෙගටිව් දෙයක් විදියට දැක්කට ඇත්තටම ඒක පට්ටම පොසිටිව් දෙයක්.
නිදහස් වීමක්.. අලුත් ජීවිතයකට අඩිය තියන්න අවස්ථාවක් ලැබීමක්.. ගත වුන කාලයේ ලැබුන අත්දැකීම් එක්ක තමන්ට තමන්වම එක්ස්ප්ලෝර් කරන්න අවස්ථාවක් ලැබීමක්..
වෙන් වෙන්න ගන්න තීරණයම පට්ට ධනාත්මක පියවරක්.

ඔය මොහොත සමාජය කියන තරම්ම නෙගටිව්ද?
ට්‍රයි කරන්න පුලුවන් උපරිමේටම ට්‍රයි කරල, බැරිම තැන මිනිස්සු වගේ වෙන් වෙන්න තීරණය කරන එක ඔය තරම් කුජීත දෙයක්ද?

ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ.. මිනිස්සුන්ගේ ජීවිත වල ආඩම්බර වෙන්න ඕන මොනවටද, ලජ්ජා වෙන්න ඕන මොනවටද කියන එක තීරණය කරන්නෙ සමාජය.
ඒ කියන්නේ මිනිහෙක්ගේ ආඩම්බරය සහ ලජ්ජාව (pride and shame) තීරණය කරන නිර්ණායක නියම කරන්නේ සමාජය විසින්.
ඒ අනුවයි සමාජය කියන්නේ "අවුරුදු හත අටක ලව් අෆෙයාර් එකක් නවත්තන එක... දික්කසාද වෙන එක ජීවිතයේ අසාර්ථක ලැජ්ජා වෙන්න ඕන කාරණයක්" කියල

නමුත් සමාජයෙන් දීල තියෙන නිර්ණායක ප්‍රශ්න කරල..
ඒවයේ තියෙන ගොබ්බ කම තේරුම් අරගෙන ඒවට පයින් ගහල දාලා..
තමන්ගේ වටේ ඉන්න උන් තමන් ගැන හිතන දේ අනුව තමන්ගේ පුද්ගලික තීරණ නොගන්න මට්ටමට එන්න පුළුවන් නම්..
ඔය ඔක්කොමල්ලට මැද ඇඟිල්ල පෙන්නලා විඳවන ජීවිතයක් වෙනුවට විඳින ජීවිතයක් හොයාගෙන යන්න පුළුවන්කම ලැබෙයි
අසතුට වෙනුවට සතුට හොයාගෙන යන්න පුළුවන් වෙයි.

ඒකට ඉතින් ගට තියෙන්න ඕන.

"මම අනිත් අය මම ගැන හිතන දේ ගනන්  ගන්න කෙනෙක් නෙමේ"

කියල ෆේස් බුක් එකේ බොරුවට එක එක පේජ් කාරයෝ හදපු ෆොටෝ ශෙයාර් කරල විතරක් නම් ඒ දේ කරන්න මේ කපේදි පුළුවන් වෙන එකක් නෑ.


Sunday, June 25, 2017

මොහොමඩ්

මොහොමඩ් කියන්නේ මම කලින් රැකියාව කල තැන මාත් එක්ක වැඩ කල යාලුවෙක්.

හැසිරීමෙන් මොහොමඩ් සාම්ප්‍රදායික කියල සැලකෙන මුසල්මානුවෙක් නොවන බවයි පෙනුනේ.

සම්පූර්ණයෙන්ම රැවුල මුඩු කල මොහොමඩ්ගේ මුහුණ, මොහොමඩ් සැරසිලා හිටිය නූතන පන්නයේ ඇඳුම්, මොහොමඩ් පාවිච්චි කල වාග් විලාශය, මොහොමඩ්ගේ සිංහල කතා කිරීමේ හැකියාව, උත්සව වලදී මොහොමඩ් හැසිරෙන විදිය වගේ දේවල් දකින ඕනම කෙනෙක් හිතන්නේ මොහොමඩ් මුසල්මානුවෙක් නෙමේ සිංහලයෙක් කියල.

මොහොමඩ්ගේ ආකල්ප පවා ඔහු විසින් හැඳින්වුයේ නූතන ආකල්ප විදියට. ආගම වෙනුවෙන් මිනීමරනා අයිසිස් ත්‍රස්ථයන්ව ඔහුගේ දැඩි විවේචනයට ලක් වීම, බුර්කාව අනිවාර්‍ය කොට නීතියක් කුරාණයේ නැතැයි පැවසීම වැනි ඔහුගේ ආකල්ප අප තුල මොහොමඩ් ගැන ඇති කලේ පැහැදීමක්.

මොහොමඩ් ගැන මේ විස්තර මම සඳහන් කලේ මොහොමඩ් බැලූ බැල්මෙන් සාම්ප්‍රදායික අදහස් දරන මුසල්මානුවෙක් නොවන බව කියවන ඔබට ඒත්තු ගන්වන්නයි.

මේ විදියට අප සැමගේ හොඳම යහලුවකු බවට පත්ව සිටි මොහොමඩ්ගේ අදහස් තව තවත් දැනගන්නට මා තුළ තිබ්බේ දැඩි කුතුහලයක්. අධික කාර්‍ය බහුලත්වය මැද නිදහසේ කතා කරන්න අවස්ථාවක් ලැබෙන තුරු සිටි මට දවසක් ඒ අවස්ථාව ලැබුනේ වාසනාවට වගේ.

මොහොමඩ් ගේ ආගම හා සම්බන්ධ විශ්වාස ගැන කෙටි පිළිසඳරකට මම කල ආරාධනය මොහොමඩ් පිළිගත්තේ ඉතාම සතුටින්. අදාල මාතෘකාව ගැන කතා කල අප සාකච්ඡාවේ මට අමතක නොවනම කොටස වෙත පැමිණියේ විනාඩි කිහිපයකට පමණ පසුවයි.

මම - උඹ කියපු ගොඩක් දේවල් ඇත්ත මචන්. මමත් උඹ එක්ක එකඟයි.

මොහොමඩ් - ඔව් බං. අපේ ගොඩක් උන් ආගම පාවිච්චි කරන්නේ තමන්ගේ වාසියට. තමාට ඕන විදියට ආගම වෙනස් කරගන්නවා. බෙදිලා මරාගන්නවා. ආගම කියන්නේ ඒක නෙමේ බං

මම - ඔව් මචන්. ආගම වුනත් අනිත් උන්ට හානියක් නැති විදියට අදහනවා නම් එච්චරයි. 

මොහොමඩ් - ඒක ගොඩක් උන්ට නොතේරෙන එකයි ප්‍රශ්නෙ.

මම - මචන් මට උඹෙන් තව දෙයක් දැනගන්න ඕන.

මොහොමඩ් - අහපන් මචන්.

මම - උඹලගෙ ආගමේ තියෙනවනෙ බං සමහර වැරදි වලට.. ඒ කිව්වේ බඳින්න කලින් ලිංගික හැසිරීම් වල යෙදෙන එකට, සැමියා/බිරිඳ නොවන වෙනත් අය එක්ක ලිංගික හැසිරීමේ යෙදෙන එකට, සමලිංගිකයන්ට එහෙම දඬුවම් දෙන්න ඕන කියලා. ගල් ගහලා මරන්න ඕන කියලා. ඒක ගැන උඹේ අදහස මොකක්ද?

මොහොමඩ් - මෙහෙමයි මචන්. දැනට රටේ නීතියක් තියෙනවානෙ. පවතින රටේ නීතියට උඩින් යන්න එපා කියලයි අපේ ආගමේ උගන්නන්නේ.

මම - නෑ. මම අහන්නේ ඒ දඬුවමට උඹ එකඟද නැද්ද කියලා. ඒ කියන්නේ දැන් අපේ රටේ නීතියක් තිබ්බට.. සම්මතයක් තිබ්බට.. ක්‍රමයක් තිබ්බට, ඒක හොඳම ක්‍රමය කියලද උඹ හිතන්නේ. නැත්නම් අර වැරදි වලට ගල් ගහල මරන විදියේ නීති ගේනවට උඹ එකඟද? 

මොහොමඩ් - ඔව්. එකඟයි.

මම - ඒ කියන්නේ උඹ එකඟයි අර කිව්ව වැරදි වලට මිනිස්සුන්ව ලංකාවෙ හන්දි ගානේ ගල් ගහල මරනවට? එහෙම නීතියක් කවදා හරි සම්මත වෙනවට?

මොහොමඩ් - ඔව් මචන්

මම - උඹ හිතනවද ඒ වගේ ක්‍රමයකින් සමාජය වඩාත් යහපත් තැනක් කරන්න පුළුවන් කියල?

මොහොමඩ් - ඔව් මචන්. ඒ දේවල් වලට ඒ වගේ දඬුවම් දෙන්න ඕන.

මම - හරි. මෙහෙම හිතහන්. උඹ කියන විදියට උඹ කියන ඔය නීතිය හෙට සම්මත වෙලා උඹලගෙ ගෙවල් හන්දියෙ ඒ විදියට මනුස්සයෙක්ට ගල් ගහන අවස්ථාවක් ආවා කියලා. උඹත් අරුන් එක්ක එකතු වෙලා ඒ මනුස්සයාට ගල් ගහනවද?

මොහොමඩ් - ඔව් මචන්. ගහනවා.

මම - මෙහෙම හිතහන්. ඒ වැරැද්ද කල කෙනා මම වෙලා උඹ ඒ වෙලේ එතන හිටියොත් උඹ මට මම මැරෙනකල් ගල් ගහනවද?

මොහොමඩ් ඒ ප්‍රශ්නයට උත්තර දෙනවා වෙනුවට කලේ ඔහුගේ මුව මඳහසකින් පුරවාගෙන මගේ පිටට තට්ටු කරමින් එතැනින් ඉවත්ව යාමය. මොහොමඩ් හා මගේ සාකච්ඡාව එතනින් අවසන් විය.

----

අප දෙදෙනාගේ කතාව අවසන් වුනේ මොහොමඩ් වැනි දහස් ගණනක් වූ ලාංකේය මුසල්මානුවන්ගේ ආකල්ප, සහ ඔවුන් බිහි කිරීමට බලාපොරොත්තු වන සමාජය ගැන මා සිත තුල ප්‍රශ්නාර්ථ දහසක් ඉතිරි කරමිනි.

සිංහල බෞද්ධ හෝ කතෝලික හෝ නිර් ආගමික හෝ කාට වුවත් අප සැමගේ අරමුණ මේ ලෝකය අපෙන් පසු බිහිවන ඊළඟ පරම්පරාවට වඩා යහපත් තැනක් කිරීමටයි. අප අතර මත ගැටුම ඇත්තේ එසේ බිහි කරන සමාජය කුමක්ද එසේ බිහි කරන්නේ කෙසේද යන කාරණය ගැන පමණි.

සාම්ප්‍රදායික නොවන නූතන චින්තනයෙන් යුත් මුසල්මානුවන් යනුවෙන් තමා හඳුන්වා ගන්නා, අපත් සමඟම එදිනෙදා ජීවත් වෙන බොහෝ මුස්ලිම් තරුණ පිරිස් අනාගතය ගැන සිහින දකින්නේ මෙලෙසය. ඔවුන් යහපත් සමාජයක් ලෙස අර්ථ දක්වන්නේ මෙවන් ලෝකයකි. යහපත් සමාජයක් බිහි කිරීමට ඔවුන් අදහස් කරන්නේ එවන් ක්‍රම වලිනි.

ඒ බවට මගේ මිත්‍ර මොහොමඩ් පමණක් නොව ලංකාවේ ජීවත් වන තවත් මොහොමඩ් ලා දහස් ගණනක් සාක්ෂි දරාවි.

සිතීමට පවා බියකරු සමාජයක් නිර්මාණය කිරීම අරමුණු කොටගත් විශ්වාස පද්ධතියක් තම ලෝක දැක්ම කරගත් මිනිසුන් සැලකිය යුතු ප්‍රමාණයක් සමඟ අප ජීවත් වන්නෙමු. අප දරුවන් ජීවත් විය යුත්තේ ඔවුන්ගේ මතවාද වලින් පෝෂණය වූ ඔවුන්ගේ දරුවන් සමඟයි.

අප ඉදිරියේ ප්‍රශ්නයක් ඇත. එය අවිවාදිතය.

ප්‍රශ්නය වන්නේ ඔවුන්ගේ ජාතිය නොව, ඔවුන් පිළිගන්නා විශ්වාස පද්ධතිය තුළින් ඔවුන් මත ඇති කර තිබෙන ලෝක දැක්මයි. ඉස්ලාම් දහම යන ලෝක දැක්ම තම විශ්වාසය කරගත් මිනිසුන් සමඟ එකට ජීවත්වන්නට සිදුවීම සැබවින්ම ප්‍රශ්නයකි. මෙය අපට පමණක් නොව මුළු මහත් ශිෂ්ඨ මනුෂ්‍යය සංහතියටම මුහුණ දෙන්නට සිදුව ඇති දරුණුතම ගැටළුවකි.

අප මේ ප්‍රශ්නය විසඳන්නේ කෙසේද? අප මේ ප්‍රශ්නය විස‍ඳන්නට තෝරාගන්නා මාර්ගය කුමක්ද? අප මේ ප්‍රශ්නය විසඳන්නට ගොස් තවත් ප්‍රශ්න කොපමණ ඇතිකරගනීවිද..

යන කාරණය මත අපගේ දරුවන්ගේ අනාගතය තීරණය වනු ඇත.

ප/ලි -

01. මගේ මිත්‍රයාගේ සැබෑ නම මොහොමඩ් නොවේ. සැබෑ නම සඳහන් නොකලේ හිතාමතාමය.

02. මෙහි එක මිත්‍රයෙක් සමඟ කල සංවාදයක් දැක්වුවද මේ කාරණය ගැන මගේ හොඳම මිතුරන් වූ මුසල්මානුවන් දෙදෙනෙකු සමඟ සාකච්ඡා කර ඇත. දෙදෙනාගේම අදහස එකිනෙකාගෙන් වෙනස් වූයේ නැත.

Friday, February 24, 2017

මචන්, දැන්වත් ඉස්කෝලෙන් අවුට් වෙයං

සයිබර් අවකාශය ආගමිකත්වය, ජාතිවාදය, වැනි ගෝත්‍රික සංකල්ප වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ මෙන්ම එම සංකල්ප දැඩිව විවේචනය කරන රැඩිකල් මතදාරීන්ගේ තෝතැන්නක්.

ඒත් මේ සමහර රැඩිකල් මතදාරීන්ගේ මතවාද වල තාප්පයටම කෙළ වෙලා පොලු ගැලවිලා යන යෝකර් එක විදිහට බණ්ඩා දකින්නේ ඔවුන්ගේ ලේ වල දුවන දැඩි පාසල් වාදය.

බණ්ඩාට ඉන්නවා කොළඹ හතේ මහ විසල් පාසලක ඉගෙන ගත්තු මිතුරෙක්. මේ මිත්‍රයා රටේ වගේම සමාජයේත් ඔහු දකින අඩු ලුහුඬුකම් අවංකව කොන්දේසි විරහිතව විවේචනය කරනවා කිසිම පක්ෂපාතීත්වයකින් තොරව.

ඒත් ඔහු කොයිම වෙලාවකවත් ඔහු ඉගෙන ගත්තු කොළඹ හතේ මහ විසල් පාසල කාටවත් විවේචනය කරන්න දෙන්නේ නෑ. එහෙම කරන කොට බණ්ඩාගේ මිතුරාට හරියට කේන්ති යනවා බණ්ඩා දැකලා තියෙනවා.

“මම මචන් ජාතිවාදයට විරුද්ධයි, ආගම්වාදයටත් විරුද්ධයි. ඒත් මම ඉගන ගත්තු මහ විසල් ඉස්කෝලේ කවුරුන් හරි විවේචනය කරද්දි මට මහ කේන්තියක් එනවා.
මට මාවම කියවගන්න බැරි වෙන්නේ ඒ වගේ වෙලාවට”

මේ පරස්පර විරෝධී හැසිරීම බණ්ඩාට පේන්නේ මහ විකාරයක් විදිහට

එක්තරා ආකරයකින් මේක හරිම උත්ප්‍රාස ජනකයි..!

ඇයි මෙහෙම වෙන්නේ?

බණ්ඩා ඉගෙන ගත්තේ ඔය සෝ කෝල්ඩ් මහ විසල් පාසලකින් නෙමෙයි. ඒත් බණ්ඩාට මහ විසල් පාසල්වල ඉගෙන ගත්තු යාළුවෝ ඉන්නවා. ඒ අය කියන දේවල් වල විදිහට බණ්ඩාට තේරුන දෙය තමයි ඒ අයට පොඩි කාළේ ඉදලම මේ මහ විසල් පාසල් ගැන විශේෂ හැඟීමක් ඔළුවට කාවද්දලා තියෙන බව

“මල්ලි අපිට අවුරුදු සීය ගාණකට වඩා වැඩි ට්‍රැඩිශන්ස් තියෙනවා. අපේම කියලා කල්චර් එකක් තියෙනවා. ඒවා අපි ආරක්ෂා කරන්න ඕන”

මේ මහ විසල් පාසල් වල දිවිහිමියෙන් අරක්ෂා කළ යුතු, ට්‍රැඩිශන්ස්, කස්ටම්ස්, නොර්ම්ස් තියෙනවා. ඒ මහ විසල් පාසල් වල කොටසක් වෙන්නනම්, මේ සම්ප්‍රදායන්, චාරිත්‍ර, සිරිත් විරිත් අකුරටම පිළිපදින්න ඕන.

මේ මහ විසල් පාසල් වල කොටසක් වීම මඟින් එම පුද්ගලයාට සාමාන්‍ය සමාජයෙන් වියුක්ත සුවිශේෂී ගෝත්‍රයකට ඇතුළු වෙන්න ටිකට් එකක් හම්බෙනවා.

“මල්ලි ඔයා අද ඉදලා ආනන්දියන් කෙනෙක් කියලා මතක තියා ගන්න”

“වන්ස් අ රෝයලිස්ට්, ඕල්වේස් අ රෝයලිස්ට්”

තමන් ගැන ආඩම්බර වෙන්න වෙන කිසිම දෙයක්, පුද්ගල දක්ශතාවක් නැති අයට පවා මේ මහ විසල් පාසල් ගෝත්‍රයට අයිති වීම නිසා එම පුද්ගලයට සමාජයේ සමාන්තර වයස් කාණ්ඩ වල අයවලුන්ට වඩා උසස් බව හැඟෙනවා.

මේකත් සුදු ජාතිකයෙක් වීම නිසාම ආඩම්බර වන, වර්ණ බේදවාදය පතුරන සුදු ජාතිකයන්ගේ KKK වගේ එක්තරා විදිහක ට්‍රයිබල් මෙන්ටලිටියක් කියලයි බණ්ඩාට හිතෙන්නේ.

මේ මහ විසල් පාසැල තුළදී පාසැල් ගීය, පාසැල් කොඩිය සහ පාසල් ලාංඡනය වගේ සංකේත කෙරෙහි වන්දනීය ස්වරූපයක් කුඩා කාලේ ඉදලම ළමා මනසට බලෙන්ම කාවද්දන නිසා කවුරුන් හරි මේ පූජනීය දේවල් විවේචනයට, ගැරහීමට ලක් කළහම මේ මහ විසල් පාසල් ගෝත්‍රිකයන්ට ගොඩක් කෙන්ති යනවා. ඒ වෙනුවෙන් ඔවුන් ගහ මරා ගන්න පවා යනවා.

බණ්ඩාට එතකොට මතක් වෙන්නේ හිට්ලර් සහ ස්වස්තික ලකුණ අතර ඇති දැඩි සහ සම්බන්ධය.

බණ්ඩාගේ මිතුරා මහ විසල් පාසලෙන් අස්වීම් සහතිකය අරගෙන ගොඩක් කලක් ගතවී ගිහිල්ලත් තම පාසලේ පාලකයින් ගැනත්, ගුරුවරුන් ගැනත්, තම පාසැල් සිසුන්ගේ විනය පිළිබඳවත් දක්වන්නේ දැඩි සැළකිල්ලක්.

“ගිය පාර පැරේඩ් එකේ අලියෙකුත් ගියා, මේ පාර කෝ අලියා?”

කිසිදා පිටුනොපාන මේ දැඩි භක්තිය, ශුද්ධවූ ළැදියාව දෙවෙනි වන්නේ කුමකටද කියන එක වෙලාවකට බණ්ඩාට ප්‍රශ්නයක්.

ඒ ආදරය, භක්තිය හිමිවන්නේ අනෙකාගෙන් තමන්ව වෙන් කරන, සුවිශේෂ කරන, ඔවුන්ගේ මනසේ ඇඳුන සර්වසම්පූර්ණ සංකල්ප පද්ධතියකට කියලා බණ්ඩාට හිතනවා.

මේ විසල් පාසල් වලින් නිර්මාණය කොට පුහුණු කරනු ලබන්නේ තමාගේ කණ්ඩායමට කොන්දේසි විරහිත ඇල්මකුත් තමාගේ නොවන කණ්ඩායම් වලට එදිරිවාදී හැඟීමකුත් දනවන චින්තන රටාවක්

පාසල්වාදයෙන් ආරම්භවන මේ චින්තනයේ පදනමම ජාතිවාදය සහ ආගම් වාදය වගේ ගෝත්‍රික සංකල්ප වලටද මූල බීජය වනවා

අනෙකාට වඩා තමන් උසස්ය, සුවිශේෂීය කියා උගන්වන.. සමාජයේ අනෙකාගෙන් තමන්ව වෙන්කරන අනන්‍යතාවයක් නිර්මාණය කෙරෙන.. මහ විසල් පාසැලකට කොන්දේසි විරහිත පක්ෂපාතීත්වයක් දක්වන රාමුවකට හිරවි සිටින පරපුරක්, මානව සංහතියට පොදුවේ ආදරය දක්වන්න පුළුවන් වෙයි, අනෙකාගේ දුකේදි සහකම්පනය වෙයි කියලා බණ්ඩා හිතන්නේ නෑ.
මේ පටු අදහස් වලින් ඤාණය නිවහල් කර ගන්න, වර්ගවාදී, ගොත්‍රවාදී, ආගම්වාදී (religion based), ලිංග බේදවාදී (gender based), අධ්‍යාපන ක්‍රමය සහමුළින්ම කඩා බිඳ දමලා බින්දුවෙන්ම පටන් ගන්න ඕන කියලයි බණ්ඩාට හිතෙන්නේ.

ඒක පටන් ගන්න නම් ඉතින් තිහ, හතළිහ පැනපු අන්කල්ලා සෙට් එක මුලින්ම මේ මහ විසල් පාසල්වලින් අවුට් කරගෙන ඉන්න වෙනවා.

මචන්.. රටයි ලෝකෙයි හදන්න කලින් පින් අයිතිවෙයි ඉස්සෙල්ලාම ඉස්කෝලෙන් අවුට් වෙලා හිටහං…!

- පැරණි සටහනකි

Thursday, February 23, 2017

මරණීය දණ්ඩනය එපා !

මරණීය දණ්ඩනය යනු යම් පුද්ගලයෙක් විසින් සිදුකල අපරාධයක් නිසා නීතියේ අවසරය සහිතව එම පුද්ගලයාව ඝාතනය කිරීමයි. “මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතුය” යන ස්ථාවරය දරන්නන් විසින් මරණීය දණ්ඩනය සිදු කිරීමේ අරමුණු ලෙස ඉදිරිපත් කෙරෙන කාරණා කිහිපයක් වේ. ඒ අතර අපරාධය සිදු කළ පුද්ගලයාගෙන් සමාජයට සිදුවන හානිය වැලැක්වීම, අනාගතයේ සිදුවන අපරාධ අඩු කිරීම, ඔහු කල අපරාධයට දඬුවමක් නියම කිරීම තුලින් යුක්තිය ඉටු කිරීම වැනි දේ වේ. නමුත් ගැටලුව වනුයේ මෙකී හේතූන් මගින් මරණීය දණ්ඩනයේ අවශ්‍යතාවය පිළිඹිබු කරන්නේද යන්නයි.

අපරාධකරුවෙකු පණපිටින් අල්ලා ගත් පසු ලැබෙන විකල්පයන් නම් ඔහුව ඝාතනය කිරීම හෝ ඔහුව සමාජයෙන් වෙන්කර තැබීමයි. මේ ක්‍රම දෙකෙන්ම පැහැදිලිවම ඔහුගෙන් සමාජයට විය හැකි හානිය සම්පූර්ණයෙන්ම වැලැක් වේ. මෙහිදී සදාචාරාත්මකව සහ මානුශීය අතින් ගත් විට පැහැදිලිම විකල්පය නම් ජීවීතාන්තය දක්වා ඔහුට සමාව දිය නොහැකි කොන්දේසිය යටතේ සිරගත කිරීමයි. මේ විකල්පය අප සතුව තිබියදී මිනිසෙක්ගේ ජීවත්වීමේ අයිතිය නැති කිරීමට හේතුවක් මම දකින්නේ නැහැ. අපරාධකාරයෙක්ට වුවත් ජීවත් වීමේ අයිතියක් තිබෙනවා. අපරාධකාරයෙක්ව මැරීම අනුමත කිරීම මිනීමැරීම වැරදි නිසා මිනීමැරීම නොවේද? මිනීමැරීම වැරදිබව පෙන්වීමට, මිනීමැරීම ප්‍රතික්ශේප කිරීමේ අරමුණුන් නීත්‍යානුකූලව මිනීමැරීම සාධාරණද?

මරණීය දණ්ඩනය අනුමත කරන අයගෙන් සියල්ලන් නොවුනත් බොහෝ අය එම මතයේ සිටීමට හේතුව නම් මිනිස් සිතේ පහලවන පලිගැනීම යන හැගීමයි. අදාල පුද්ගලයා නිසා මිනිස් ජීවිත වලට, සමාජයට සිදුවූ හානිය සහ ඔහුගේ හැසිරීම නිසා ඇතිවූ කේන්තිය හේතුවෙන් බොහෝ අය මරණීය දණ්ඩනය අනුමත කිරීමට පෙළබේ. අමානුශික අපරාධයකින් පසු එම අපරාධය සිදුකල පුද්ගලයා ඝාතනය කල යුතු ආකාරය සහ ඝාතනය කිරීමට යොදාගත යුතු නොයෙකුත් ක්‍රම ගැන මිනිසුන් පලකරන අදහස් වලින් මේ බව පැහැදිලි වේ. මෙහිදී ඔවුන්ට අමතක වන දෙය නම් ඔවුන් මොහොතකට හෝ ඔවුන් විසින් පිලිකුල් කරන එම අපරාධකාරයාගේ තත්වයටම නොදැනුවත්වම වැටී ඇති බව. හැඟීම් වලට වහල් නොවී බුද්ධියෙන් තීරණ ගත යුතු බව අමතක නොකල යුතුයි.

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතුය යන ස්ථාවරය දරන්නන් ගෙන එන තර්කයක් නම් මරණීය දණ්ඩනය හේතුවෙන් සමජයේ අපරාධ අඩුවන බව. නමුත් සංඛ්‍යා ලේඛන අනුව පෙනීයන්නේ එය අසත්‍යයක් බවයි. උදාහරණයක් ලෙස, මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන ඇමරිකාවේ ප්‍රාන්ත වල මිනීමැරුම් ප්‍රමාණය මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොකරන ප්‍රාන්ත වල මිනීමැරුම් ප්‍රමාණයට වඩා වැඩි වීම දැක්විය හැකිය.

මරණීය දණ්ඩනය සාධාරණීකරණය කරන්නන් විසින් ඉදිරිපත් කරන තවත් තර්කයක් නම්, මරණීය දණ්ඩනය හේතුවෙන් අනාගතයේ සිදුවිය හැකි අපරාධ අඩුවන බවයි. නමුත්, මෙහිදී මරණයට ලක්වන අපරාධකරුවා දඩුවම් ලබන්නේ තමා කළ වරදට මෙන්ම අනාගතයේ “විය හැකි වැරදි” වලටය. ඔහුට තමාගේ වරදට අමතරව අනාගතයේ අන් අය අතින් “විය හැකි වැරදි” වලට ද දඩුවම් කිරීමේ සදාචාරාත්මකභාවය ගැන මෙහිදී ගැටලුවක් මතු වේ.

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ තවත් අයහපත් ප්‍රතිඵලයක් වනුයේ වැරදි නොකල මිනිසුන් ද මරණීය දණ්ඩනයට නියම වීමට ඇති අවදානම යි. අපරාධ පර්යේෂණ වල සිදු වූ යම් යම් අතපසුවීම් නිසා නිර්දෝෂී පුද්ගලයින්ව වැරදිකරුවන් කර ඔවුන්ට මරණ දඩුවම ලබාදුන් පසු ඔවුන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු වූ අවස්ථා ඉතිහාසයේ ඕනෑ තරම් දක්නට ලැබේ.

මරණීය දණ්ඩනය අනුමත කරන අය සැලකිය යුතු තවත් කරුණක් වන්නේ තමා විසින් තම ආණ්ඩුවට තම රටවැසියන් ඝාතනය කිරීමට “බලපත්‍රයක්” ලබා දෙන බව. බොහෝ අවස්ථාවලදී රැවටීම, තණ්හාව, කෲරත්වය වැනි ලක්ෂණ පෙන්වන ආණ්ඩුවට සහ බොහෝ විට එහි සාමාජිකයින්ට නීත්‍යානුකූලව මිනීමැරීමට සහය ලබා දෙනබව. “දේශද්‍රෝහී වීම” යන චෝදනාව යටතේ මරණ දඬුවම නියම වීමේදී මේ ප්‍රශ්නය වඩාත් උග්‍ර තත්වයට පත්විය හැකියි. මෙහිදී මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ වගකීම ලැබෙන්නේ ද රටේ ආණ්ඩුවටයි. රටේ බොහෝ වගකීම් ගැන ආණ්ඩුව ගැන විශ්වාසයක් නොදක්වන අය මරණීය දණ්ඩනය, එනම් අපරාධකාරයාව මරණයට පත් කරන ආකාරය (උදා- විදුලි පුටුව, එල්ලුම් ගහ), නියමිත ක්‍රමයට, මානුශීය ලෙස ක්‍රියාත්මක කිරීම ගැන සම්පූර්ණ විශ්වාසය තබා ඇති අයුරු පුදුම සහගතයි.

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමෙන් සමාජයකට සිදුවන බලපෑම ද නොසලකා හැරිය නොහැකියි. මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වන ඇතැම් රටවල සමහර අවස්ථාවන් වලදී යම් අපරාධකරුවෙකු ඝාතනය කරන විට එම ස්ථානයට රැස්වන මිනිසුන් ඔල්වරසන් දෙනු දක්නට ලැබේ.. මිනීමැරීම් සමරන සමාජයක් බිහිවීම මේ තුලින් නොදැනුවත්ව හෝ සිදු වේ.

එමෙන්ම, අපරාධකරුවන් අතර සිටින විවිධ මානසික විකෘතිතාවයන් නිසා අපරාධ කිරීමට පෙළඹුන අයව ඝාතනය කිරීම නොවේ අප කළ යුත්තේ. අප විසින් කළ යුතු වන්නේ ඔවුන්ව නිසි වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු කරන ඔවුන්ගේ රෝගය සුව කිරීමට උත්සාහ ගැනීමයි. ඔවුන් එම රෝගයන්ගේ ගොදුරු බව අප අමතක නොකල යුතුයි. හැගීම් වලට වහල් නොවී බුද්ධියෙන් විමසා බැලීමට හැකිනම් පෙනී යන්නේ ඔවුන්ට හිමිවිය යුත්තේ අනුකම්පාව බවයි

වැරදි වලට දඩුවම් ලැබීමට සුදුසු බව අපට තීරණය කල හැකි වුවත් ලෝකය සහ මිනිසුන් විදිහට වර්තමානයේ අපේ ක්‍රියාකලාපයන් සහ හැසිරීම දෙස බැලූ විට පෙනී යන්නේ කුමන වරදකට හෝ අල්ලා ගත් මිනිසෙක් ඝාතනය කරන්න පුලුවන්ද කියන එක තීරණය කරන්න පුලුවන් තත්ත්වයක අප නැති බවයි. ප්‍රශ්නය නම් නීතියේ රැහැනට හසුවූ අපරාධකාරයෙක් මරණයට සුදුසුද යන්න නොවේ. නීතියේ රැහැනට හසුවී සමාජයට තවදුරටත් හානියක් නොවන අපරාධකරුවෙක්ව ඝාතනය කිරීමට ශිෂ්ඨ සම්පන්න මිනිසුන් යැයි කියා ගන්නා අපට අයිතියක් තිබේද යන්නයි.

Tuesday, February 14, 2017

සුදු සහ කළු



ඔය අම්බානක හොඳ එවුන් ඉන්නවා නේද..?

සැබෑ ජීවිතයෙ විතරක් නෙමේ ෆේස් බුක් එකෙත්... ඒ කියන්නේ තමන්ගේ හදවත උනත් ගලවලා දෙන.. හැම වෙලේම හොඳ කියල සම්මත හැසිරීම් විතරක්ම පෙන්නන..සුදුම සුදු පෙරල ගත්තා වගේ ඉන්න චරිත..

අන්න උන්ගෙන් තමයි මචන් වැඩියෙන්ම පරිස්සම් වෙන්න ඕන

සුදු සහ කළු මිනිස්සු නැති ලෝකෙක කව්රු හරි සුදෝ සුදෙන් බැබළෙනව නම්.. බොහෝ වෙලාවට වැඩි ඉඩක් තියෙන්නෙ උන් ඒ මවාපාන සුද අමුම අමු ව්‍යාජත්වයක් වෙන්න

උන් තමයි අපිම නොදැනි අපේ බෙල්ල කපලා අපේ අතට දීලා "නියම බෙල්ල නේද?" කියලා අහන්නේ.

මේ ලෝකයේ ශුද්දවන්තයෝ.. සුදු චරිත.. සම්පූර්ණයෙන් හොඳ මිනිස්සු නෑ මචන්

එහෙම අයව පරමාදර්ශී චරිත කරගෙන..

එහෙම අයව හිස් මුදුනේ තියාගෙන වීරයෝ කරගතොත් අවසානයේ ඉතිරු වෙන්නෙ පසුතැවිල්ලක් විතරයි..

එනිසා ඒ ව්‍යාජ සුදට රැවටෙන්න එපා..

සුදු චරිත වලින් පරිස්සම් වෙයන්...!

Thursday, January 19, 2017

මචන්, බුදු සසුන වෙනුවෙන් මහණ වෙන්න කැමතිද?

තමන්ගෙ ආගමේ ශාසනය රැකගන්නය කියල හයක් හතරක් නොතේරෙන පොඩි උන් මහණ කරනවට පක්ෂව කීබෝර්ඩ් එකෙන් කෑගහන උඹෙන් තමයි ඒ ප්‍රශ්නය අහන්නෙ..

ශාසනය වෙනුවෙන්ය කියල තමාගෙ ජීවිතය ගැනවත් තීරණ ගන්න තරම් මෝරලා නැති පොඩි එකෙක්ව වැඩිහිටියන් එකතු වෙලා මහණ කරනවට උඹ එකඟ නම්,

ඇයි ඔය කියන ශාසනය රැකගන්න උඹට මහණ වෙන්න බැරි? කියන එක වලංගු ප්‍රශ්නයක්ය කියන එක උඹටම තේරෙනවා ඇති.

සමහර විට උඹ කියයි "දැන් මගෙ ජීවිතය යන පාරක් තියෙනව.. මට ඉලක්කයන්, බැඳීම් තියෙනව.. එනිසා මට මහණ වෙන්න බැරිය.. පරක්කු වැඩිය" කියල

දැන් කතාව එහෙම නම්, ඊළඟට එන ප්‍රශ්නය තමා තේරෙන වයසට ඇවිත් ඉන්න උඹට කරන්න බැරි වැඩක් ඇයි නොතේරෙන වයසෙ ඉන්න පොඩි එකෙක්ට කරන්න කියන්නෙ කියන එක.

දැන් හිතහං මෙහෙම

උඹ ඉපදෙද්දිම වෙනත් පාර්ශවයක් විසින් තීරණය කරනවා උඹ මේ ලෝකෙට ආපු දවසේ ඉඳලා ගත කරන්න ඕන ජීවන ක්‍රමය, ඒ උඹට උඹ ගැන තීරණ ගන්න තරම් තේරුමක් නැති වයසකදි. ඒ ජීවන ක්‍රමය උඹ වටා ඉන්න, උඹ දකින, උඹ ජීවත් වෙන සමාජයේ ඉන්න අනිත් මිනිස්සුන්ගේ ජීවන ක්‍රම වලට වඩා සංවෘතයි. කටුකයි. නිරසයි.

දැන් උඹ එන්න එන්න ලොකු මහත් වෙනව. උඹට එන්න එන්න අනිත් මිනිස්සු විඳින මානසික, ශාරීරික සැප පේනවා. වයසෙන් වැඩෙද්දිම අනිත් හැමෝටම වගේ උඹේ ආශාවල් වැඩෙනවා. ඕනෑ එපාකම් වැඩි වෙනවා. උඹ නව යොවුන් වයසට එද්දි උඹටත් යාන්තම් එනවා ආසාවල්, කෙල්ලෙක් එක්ක/කොල්ලෙක් එක්ක කතා කරන්න, තනි වෙන්න, විහිලු තහලු කරන්න, හිනා වෙන්න.. ඒ වයසේ ඉන්න නීරෝගී ළමයෙක් වෙච්චි උඹත් අනිත් උන් වගේම ලේ ඇට මස් නහර වලින් හැදුන මනුස්සයෙක් නිසා උඹටත් එනවා ආසාවක්, හැකි සෑම අවස්ථාවකම පුළු පුළුවන් විදියට ලාවට හරි, තමාටම හොරෙන් හරි ජීවිතය චූට්ටක් විඳින්න.

තව පැත්තකින් උඹට හැම වෙලේම මතක් වෙනවා උඹට තියෙන සීමා, මායිම්.. සමාජය උඹෙන් බලාපොරොත්තු වෙන දේවල්. බලාපොරොත්තුවෙන හැසිරීම් රටා.

උන් උඹව සෑහෙන උඩින් තියලා, ඉහටත් උඩින් උඹෙන් දේවල් බලාපොරොත්තු වෙනවා, උන්.

උඹව උඩින් තියලා උන් ඉල්ලන්නේ උඹව, උඹේ ජීවිතය..

නමුත් පොඩ්ඩක් කල්පනා කරල බැලුවම තේරෙනව උඹ නියෝජනය කරන්නේ උන්ගේ ජීවිත වල තියෙන දාහකුත් එකක් වෙච්චි ෆැන්ටසික ආශා වලින් එකක් විතරයි කියන එක

මේ කාරණය ගැන අවංකව හිතල බැලුවොත් තේරෙයි අම්මා තාත්තා සහෝදර සහෝදරියො එක්ක ගත කරන්න තිබ්බ උඹෙ ළමා කාලය විතරක් නෙමේ, සම වයසෙ යාලු මිත්‍රයො එක්ක කෙළිදෙලෙන් සතුටින් සිනහවෙන් ගත කරන්න තිබ්බ උඹේ නව යොවුන් වයස, පෙම්වතියක් එක්ක ආදර සුව විඳිමින් ගත කරන්න තිබ්බ උඹෙ වැඩිහිටි වයස.. මේ ඔක්කොම.. ඒ කියන්නෙ මව් තුරුලෙ හිටපු උඹෙ ජීවිතයම සමාජය විසින් උදුරගෙන උඹව උන්ගෙ දේශපාලන/ආගමික ප්‍රොජෙක්ට් එකක ඉත්තෙක් කරගෙන කියල

දැන් සමහර විට උඹ කියයි පොඩි කාලෙම මහණ කෙරුවට ඒ දරුවා වැඩිහිටියෙක් චුනාම කැමැත්තෙන්ම සිවුර අත ඇරලා සාමාන්‍යය ජීවිතයක් ගත කරන්න පුළුවන් නෙ කියල.

ආයෙත් නැවතිලා පොඩ්ඩක් හිතහන් සිවුර අත ඇරලා අයින් වෙන එක ලේසි දෙයක්ද කියන එක ගැන.

හාමුදුරු නමක් අමතක කරන්න, අවුරුදු 25ක් විතර එක දිගට කරපු ජොබ් එකක් එකපාර අත ඇරලා වෙනම ජීවන රටාවකට හැඩගැහෙන්න ගිහියෙක්ට කොච්චර අමාරුද?

අනික උඹ එහෙම කිව්වට උඹෙ හෘද සාක්ෂිය දන්නවා සිවුර අතහැරපු කෙනෙක් දිහා සමාජය කොයි තරම් සෘණාත්මක විදියටද බලන්නෙ කියන එක

"එහෙම බැලුවොත් පොඩි ළමයෙක්ව බලෙන් ඉස්කෝලෙ යවන්නත් බැහැ"

ඕක තමයි පොඩි උන්ව බලෙන් මහණ කරන එක වෙනුවෙන් පෙනී ඉන්න උඹේ අවසන් ප්‍රශ්නය. අන්තිම තුරුම්පුව

ඒත් උඹ හොඳාකාරවම දන්නවා පාසැල් අධ්‍යාපනයෙන් වෙන්නෙ දරුවෙක්ට අනාගතයෙදි තමාට කැමති වෘතියක් තෝර ගන්න මූලික අඩිතාලමක් දැමීම පමණක් බව. එහෙම තියාගෙන උඹට බැහැ පැවිදි ජීවිතයට ඇතුලත් කරන එක ඉස්කෝලෙ යාමට සමාන කරන්න. ඒකයි ඇත්ත කතාව.

අන්තිමට කියන්නෙ තියෙන්නෙ එක දෙයයි. කොයිතරම් හොඳ අරමුණකින් වුනත් මව් තුරුලෙ ඉන්න අහිංසක දරුවෙක්ව තමාගෙ අම්මගෙ ආදරය නැති වෙනත් වැඩිහිටියන්ගෙන් පිරුන අවකාශයකට අත ඇරල දානව කියන්නෙ මහා පව්කාර වැඩක්

ඒ නිසයි පොඩි දරුවෙක්ට ඒ දේ කරනවට පක්ෂව හඬනඟන උඹෙන් අන්තිමට අහන්නෙ

මචන්, බුදු සසුන වෙනුවෙන් මහණ වෙන්න කැමතිද?