Wednesday, August 29, 2018

පිනට දීම නොහොත් චැරිටි ගැන

පොදුවේ මිනිස්සු අනිත් අය ගැන හිතන්න, අනිත් අයට උදව් කරන්න කැමති තමන්ගේ පැවැත්මට බලපෑමක් නොවන මට්ටමින් විතරයි.

KFC එකට රෑ කෑමකට යන පවුලක් හරිම කැමැත්තෙන් එතන බිම ඉඳගෙන ළමයෙක් වඩාගෙන ඉන්න ගෑණු කෙනාට කීයක් හරි දෙනවා, කපුරු පැකට් එකක් සල්ලි වලට ගන්නවා, නැත්නම් කෑම එකක් අරන් දෙනවා. ඒ විදියට නැති බැරි එයට කීයක් හරි පිනට දීලා 'හොඳ' මනුස්සයෙක් වෙන හැටි තමන්ගේ දරුවන්ටත් කියල දෙනවා.

ඒත් ඒක කරන්නෙ ඒ කෙනාට යමක් දීමේදී තමන්ගෙන් අඩුවෙන ප්‍රමාණය තමන්ට නොදැනෙන සීමාවක තියාගෙන. එහෙම අනිත් අයට 'උදව්' කරන මිනිස්සු ඒ උදව් ලබන මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරන්න තමා ඉන්න මට්ටමින් එක අඩියක් පහළට තියන්න ලොවෙත් කැමති වෙන්නෙ නෑ. එහෙම කරන්න වුනොත් ඔය හිත හොඳ මිනිස්සු අනිත් උන්වත් මරාගෙන උනුත් මැරෙයි.

අනික, ඔය උදව් කරන අයට උදව් ලබා දෙන්න 'අසරණයො' ඉන්නත් ඕනෙ. අසරණයො හිටියෙ නැත්නම් තමා 'හොඳ මනුස්සයෙක්' බව තමන්ට තහවුරු කරගන්න විදියක් නැතුව මහත්තුරුන්ට නෝනලාට පිස්සු හැදෙයි.

සමාජ ක්‍රමයෙන්ම නිර්මාණය කෙරෙන ඔය අසරණයන්ව පාවිච්චි වෙන්නෙ පිං පෝර්ට් විදියට. ලබන ආත්මයේ තවත් මිල මුදලින් අනිත් අයට වඩා උඩින් ඉන්න හැකියාව ලබන්න පින් කරගන්න සල්ලි දාන 'පිං කැට' විදියට. එහෙම නැත්නම් මරණින් පස්සෙ ජීවිතයක් සැපවත් කරගන්න අහසෙ ඉඳන් බලන් ඉන්න දෙවිකෙනෙක්ගෙන් ලකුණු දාගන්න මාර්ගයක් විදියට.

තමන් තමන්ගේ මහා කාරුණික බැල්ම හෙළලා ඒ අසරණයන්ට කෑම වේලක් දෙද්දි, කපුරු පැකට් එකක් ගද්දි, සුවිප් ටිකට් එකක් ගද්දි 'පින් සිද්ධ වෙනවා මහත්තයො' කියල බයාදු විදියට පිංසෙන්ඩු වෙවී කියද්දි හිතට එන සුපීරියර් හැඟීම නැත්නම් ඔය තරම් චැරිටි දෙන්න ගොඩක් අය ඉදිරිපත් වෙන්නෙත් නෑ.
මේ විදියේ චැරිටි වැඩ හෙවත් පිනට දීම් වලින් ඒ දේ ලබන අසරණ පුද්ගලයන්ට ප්‍රයෝජ්‍යය වටිනාකමක් තියෙන බව ඇත්ත. උදව් නොකරනවාට වඩා කරන එක හොඳ බවත් ඇත්ත. නමුත් ඔය විදියට උසස් තැනක ඉඳල පහත් තැනකට බාගෙට වහපු කරාමෙකින් වතුර බින්දු බින්දු වෑස්සෙනවා වගේ සල්ලි විසි කිරීමෙන් උදව් ලබන්නාට සැබෑවට උදව්වක් ලැබෙනවාද, ඒ අයගේ ජීවිත වෙනස් කරන්න දායකත්වයක් ලැබෙනවාද කියන එකයි ප්‍රශ්නය.

හරි නම් විය යුත්තේ තව කෙනෙක් තමන්ටවත්, තමන් තව කෙනෙක්ටවත් අතපාන්න සිද්ද නොවන සමාජ ක්‍රමයක් ඇති කරන්නෙ කොහොමද, ඒ වෙනුවෙන් කල යුතු දේ කරන්න තමා සූදානම්ද කියන කාරණය ගැන හිතල බලන එක. එහෙම සමාජ ක්‍රමයක් ගොඬනැඟීම වෙනුවෙන් වචනයකින් හරි දායකත්වයක් දෙන එක. නමුත් ඒ වගේ තමන් සහ තමන්ගේ මහා කාරුණිකභාවයට ලක් වන මනුස්සයා අතර පරතරය අඩු සමාජ ක්‍රමයක් ගැන හිතනවට වඩා තමන්ගේ එදිනෙදා මඩිය තරකරගෙන බඩුභාණ්ඩ ගොඩගහගන්න දඟලන අතරේ බල්ලෙක්ට මස් කට්ටක් දානවා වගේ නැති බැරි මිනිහෙක්ට කීයක් හරි දෙන එක ලේසියි. පහසුයි. සරලයි.

ඇයි තව කෙනෙක් ජීවත් වෙන්න මට අතපාලා මගෙන් උදව් ඉල්ලන්න ඕන, තව කෙනෙක්ට උදව් කරන්න මම එයාට වඩා සුපීර්යර් වුනේ කොහොමද වගේ කාරණා මේ 'පිනට දීමේ හිත හොඳ කරතව්‍යයේදී' අදාලම නෑ ඉතින්.

අර වගේ සමාජ ව්‍යුහයේ වෙනසකට විරුද්ධව මරාගෙන මැරෙන්න සූදානම් මිනිස්සු නැති බැරි ඈයන්ට චැරිටි දීලා තමන් තමන්ම ඉදිරියේත්, ලෝකය ඉදිරියේත් ගොඬනගා ගන්න හදන හොඳ ප්‍රතිරූපයේ හොඳේ තරම තේරුම්ගන්න එච්චර අමාරුවෙන් ගැඹුරට හිතන්න නම් ඕන නැහැ. ඒක ඒ තරම්ම පැහැදිළියි.
.
.
.
- ජේමිස් බණ්ඩා

2 comments:

  1. අනේද කියන්නේ...ඔය පිනට දීම සමහර වෙලාවට පවු පඩිසන් දීමටත් හේතු වෙලා තියෙනවා. කාලෙකට කලින් නැති බැරි අයට සිල් රෙදි පිනට දීපු මහත්තරු දෙන්නෙක් හිරේ ගියා මතකද?

    ReplyDelete
  2. ගෙදර හදන්න ගෙනාපු උළු ගඩොල් පවා පිනට දීපු නෝනා කෙනෙක් නිසා ඉල්ලන් කාලා තියෙන තරම කොච්චරද කියුවොත් මම නම් දැන් කිසිම දෙයක් 'පින් පතා' දෙන්නේ නෑ :))

    ReplyDelete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...