Monday, October 23, 2017

රණබිම ඔස්සේ නන්දිකඩාල් නොකියවමි



"මම මේ දවස් වල රණබිම ඔස්සේ නන්දිකඩාල් පොත කියවනව"

අපි හතර දෙනාගේ දුම් වැටි වලින් එන දුම් ගුලි අස්සෙන් එහෙම කිව්වේ වැඩ කරන තැන මගේ යාලුවන්ගෙන් කෙනෙක්.

"ලස්සනට විස්තර කරල තියෙනව යුද්ධේ අන්තිම කාලේ හමුදාව ගහපු මිෂන් ගැන.."

"ඔව්.. ඕක ආවෙ ගිය අවුරුද්දෙ පොත් ප්‍රදර්ශනය කාලෙ නේද? මාරෙට විකිණුනා ඔය පොත"

ඒ මමය.

"ඒකෙ මාර ස්ටෝරිලු නේද තියෙන්නේ? එකම තැන දවස් ගණන් ඉස්සරහටවත් පස්සටවත් යන්න බැරුව හෙල්ලෙනෙවත් නැතුව කන්න බොන්නවත් නැතුව හමුදාවෙ කොල්ලො ඉන්නවලු..."

".. සමහර වෙලාවට වතුරෙ ඉන්න වෙනවලු දවස් ගණන්.. ඇවිල්ලා බූට් ගලවද්දි හමත් එක්කලු ගැලවිලා එන්නෙ"

අනිත් යාලුවෝ දෙන්නත් තමා දන්න දේවල් කතාවට එකතු කලේ එහෙමය.

"උඹ කියෙව්වද පොත?"

ඒ ප්‍රශ්නය මටය

"නෑ. මම මතක වන්නිය පොත නම් කියෙව්වා"

"හ්ම්ම්..."

සිගරට්ටුව අහවරය.  විවේකයට පසු නැවතත් අපගේ ආසන කරා ගොස් දවසේ වැඩ අස්සේ අතරමං වීමු.

සිගරට් දුම් මැද්දේ හමුදාවේ කොල්ලන්ගේ වීර කතා ගැන අප අතර වුන කතාවේ සාරාංශයකි ඉහත මා ලියා ඇත්තේ.

හමුදාවේ කොල්ලන්ගේ වීරකතා ගැන අපි අපේ ප්‍රියසාද අතරෙ, හමුවීම් අතරෙ, බස් කෝච්චි ගානේ, රාජකාරී කරන තැන් ගානේ, කඩපිල් ගානේ, මධුවිත තොල ගාන අතරතුර විනාඩි දහය පහළවේ කතා කොයි තරම් නම් කරල ඇද්ද?

පුද්ගලිකව මගේ නිරීක්ෂණයට අනුව මගේ සමීපතමයො හමුදා සෙබළුන්ගේ වීර ක්‍රියා ගැන කතා කරන්නේ ලොකු අභිමානයකින්. බැබලෙන් ඇස් වලින්. ආඩම්බරයෙන්. ඔවුන්ට අනුව ඒ දේවල් ගැන කතා කරද්දි දැනෙන්නේ ඇඟ කිළිපොලා යන මයිල් කෙළින් වෙන විදියේ හැඟීමක්.

මරණය පෙනි පෙනී අවි දරාගෙන යුධ බිමක සටන් වදින්න මනුස්සයෙක්ට නිර්භීත කමක් තියෙන්න ඕන බව ඇත්ත. ඒ කතාවලට පාදක වෙන්නේ ඉතාම නිර්භීත ක්‍රියා බවත් ඇත්ත. ඒවා මේ සටහන කියවන ඔබට හෝ ලියන මට කරනව තියා හිතන්නවත් බැරි තරමේ අසාමාන්‍යය ක්‍රියා බවත් ඇත්ත.

නමුත් ඒ කිසිම කතාවක් අහද්දි මට මගේ සමීපතමයන්ට වගේ ඇඟ කිළිපොලා යන හැඟීමක්, අභිමානයක් දැනුනේ නම් නැහැ. ඒ වෙනුවට ඒ කතා අහද්දි දැනෙන්නේ මහා කණගාටුවක්. කලකිරීමක්. ලැජ්ජාවක්.

සමහර විට මගේ මොකක් හරි අවුලක් වෙන්නැති.

වීර කතා විදියට අනෙක් අය හඳුන්වන කතා ඇහෙද්දි මට එන්නේ මගේ සමවයසෙම ඉන්න මම වගේම කොල්ලෙක්ට මට මූණ දෙනවා තබා හිතන්නවත් බැරි තරම් භයංකර අත්දැකීම් වලට මුහුණ දෙන්න වුනේ ඇයි? වගේ සිතිවිල්ලක්.

බූට් එක ගලවද්දි කකුලේ හමත් එක්ක ගැලවිලා එනවා කියලා සිගරට් එක ගහන ගමන් කතා වෙලා තාවකාලික ත්‍රිල් එකක් අරගෙන නැවතත් වායුසමීකරනය කරපු කාමරයක තියෙන සැපපහසු ආසනයක පරිගනයක් ඉස්සරහා ඉඳගෙන අපේ ජීවිත වල කිමිදෙන අපිට ඒ හම ගැලවුන අපි වගේම කොල්ලට ඊට පස්සෙ මොකද වුනේ.. ඒ කොල්ලා දැන් කොහේ මොනව කරනව ඇද්ද.. ඇයි ඌ ඒ වගේ දෙයකට මූණ දෙන තත්වයට පත් වුනේ.. ඌ හිටිය තැන මම නැතුව ඇයි ඌ හිටියේ.. වගේ දේවල් හිතන්න උවමනාවක්වත් වෙලාවක්වත් ඇත්තටම බැලුවොත් නැහැ.

ඇත්තටම මගෙයි උගෙයි වෙනස මොකක්ද? මට නැති වෙන්න දෙයක් තිබිලා ඌට නැති වෙන්න දෙයක් නැති වුන එකද?

අසරණ කමට හමුදාවට බැඳුන කොල්ලො බල්ලො බලල්ලු වගේ මැරිච්ච හැටි වීරත්වයට ඔසවමින් අල්ලාප සල්ලාප වල යෙදෙන මිනිස්සු,

යුද්ධයට මැදිවෙලා මහ රෑ වෙඩි හඬට බයේ කැලෑ අස්සට බංකර් අස්සට දුවන්න වුන.. කොයි වෙලේ ඔලුවට බෝම්බයක් වැටෙයිද පපුව පසාරු කරගෙන උණ්ඩයක් යයිද කියල නොදැන නින්දට යන්න වුන උතුරෙ ජීවත් වුන දෙමළ වැසියන් ගැන කවදාවත් කතා නොවෙන්නෙ ඇයි කියල මට තේරෙන්නෙ නෑ.

දශක ගාණක් පුරා දේශපාලන වාසි තකා ජාතිවාදය යොදාගත්ත දේශපාලකයන් සහ ඔවුන් පෝෂණය කරන ලද ජාතිවාදී ආකල්ප කරේ තියාගත්ත ජනතාවක් කල පව් වලට අපේම සමාජයේ දුප්පත් කොල්ලො ලේ, දහදිය, කඳුළු, ජීවිත වලින් වන්දි ගෙවපු හැටි ගැන වීරත්වයට ඔසවලා කතා කරන්නේ කොහොමද කියල මට තේරෙන්නේ නෑ.

දුප්පත් කමට හමුදාවට බැඳිල ඉහළ නිලධාරීන් අතින් මොළශෝදනයට ලක් වෙලා අණට කීකරු රොබෝවක් බවට පත් වන සිංහල තරුණයා සහ ත්‍රස්තවාදීන් අතින් කුඩා කාලයේදීම පැහැරගනු ලැබීමෙන් පසු ත්‍රස්තවාදීන් අතින්ම මොළශෝදනයට ලක්ව සයනයිඩ් කරලක් ගෙලේ රඳවා ගන්නා දෙමළ තරුණයා අතර වෙනසත් මට තේරෙන්නෑ. ඒ අසරණයෝ දෙන්නාම කරන්නේ වෙනත් පාර්ශවයක දේශපාලන අවශ්‍යතාවයක් වෙනුවෙන් ජීවිතය දෙන එක. වෙන මිනිස්සුන්ගේ පව් කරගන එක.

ත්‍රස්තවාදීන්ගේ උණ්ඩ, බෝම්බ වලින් පීඩනයට පත් වෙලා තමන්ගේ ජීවිත ගැන බයෙන් හිටිය සිංහලයන්ගේ හැඟීම් සහ උතුරේදී යුද්ධයට මැදි වෙලා දවසේ පැය විසිහතරම එකිනෙකා මරා ගැනීමේ අරමුණින් අවිගත් දෙපිරිසක් අතරට මැදි වුන දෙමළුන්ගේ හැඟීම් අතර වෙනස මට තේරෙන්නෙනෑ.

එකම රටක මිනිස්සු බල අරගලයක් නිසා කැති පොලු අරගෙන එකිනෙකා කොටා ගද්දි, තමන්ගේ පිරිසේ උන් අනික් පිරිසේ උන්ව කැති ගෑ අපූරුව ගැන පාරම්බාන්නේ කොහොමද කියලා මට තේරෙන්නෑ.

එකම රටක මිනිස්සු අතර ඇති වුන මත ගැටුමක් අවසානයේ එකිනෙකා මරා ගැනීමෙන් විසඳා ගැනීම එකම විකල්පය බවට පත් කරගෙන ලෙයින් සහ දෙපිරිසේම මිනීකඳු වලින් ඉවර කරන්න වුන එක ගැන අභිමානයක් එන්නේ කොහොමද කියල මට තාම තේරෙන්නෑ.

අපේම දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් මියගිය අපේම තරුණයන්ගේ ජීවිත පිළිරුවකට හිලව් කරල හන්දියක් මැද්දේ හිටෙව්ව පලියට ඒ නැතිවුන ජීවිත ගැන වගකීමෙන් අපි නිදහස් වෙලා  ඒ ජීවිත නැති වුන හැටි ගැන වීරකතා කියන්න අපිට අයිතියක් ලැබෙන්නේ මොන ධර්මයකට අනුවද මොන ආගමකට අනුවද මොන සදාචාරයකට අනුවද කියල මට තේරෙන්නෙ නෑ.

මිනිස්සු යුද්ධය ගැන වීරකතා ආසාවෙන් කතා කරන එක ගැන මගේ හැඟීම ඕකයි.

කලින් කිව්වා වගේ,

මගේ මොකක් හරි අවුලක් වෙන්නැති.

Sunday, October 22, 2017

ගුරුවරියකගේ මතක සිටිය යුත්තේ ගුරුපුටුවේද සිරගෙදරද?



වෙනත් සිද්ධියක් හරහා නැවතත් කතාබහට පැමිණ ඇති ගුරුවරියකගේ මතක බ්ලොගයේ  "වේවැල් පහර හැට පහේ" පෝස්ටුව ගැනයි මේ සටහන. අදාල පෝස්ටුව පළවූ දිනයේ එයට මමත් කමෙන්ට් කලා. මම කෙටි කමෙන්ටුවකින් ගුරුවරියගේ ක්‍රියාවට විරෝධය දැක්වූවා. මම කමෙන්ට් කරද්දි කමෙන්ට් තීරුව ඔච්චර ඇවිලී ගිහින් තිබුනේ නැහැ. පසුවයි දැනගන්න ලැබුනේ ඉතාම සරල කාරණයක් නිසා බ්ලොග්කරුවන් අතර සෑහෙන මතභේද ඇති වෙලා තියෙන බව.

පසුව ඔය බ්ලොග් පෝස්ටුව ගැන බ්ලොග් ලෝකයේ ඇති වූ සංවාද තැනින් තැන දැකගන්න ලැබුනා. ඔය වේවැල් පහර හැටපහ ගැන මගේ මතය දාන්න දැන් තැනක් නැහැ. අදාල පෝස්ටුව අයින් කරල බව තැන් දෙකතුනකම දැක්ක නිසා. එනිසා ඒ ගැන මගේ මතය මෙතනවත් කියල හිත නිදහස් කරගන්නයි මේ බලන්නෙ (මේක පරණ කුණුගොඩවල් ඇවිස්සීමක් විදියට දකින අයට දැන් මේ සටහන කියවන එක නවත්වන්න පුළුවන්)

.....

ගුරුවරිය කලේ පැහැදිළිවම වැරැද්දක්. ශිෂ්ඨ සමාජයක් තුල ඒ ගැන විවාදයක් නැහැ. ඒ ක්‍රියාව වැරැද්දක් බව දැනගෙන කලාද නොදැන කලාද කියන එක අදාල නැහැ. ඒ වගේම ගුරුවරිය ළමයින්ගේ අභිවෘදිය කෙරේ කරන අනෙක් ක්‍රියාකාරකම් සහ ගුරුවරිය ළමයි ගැන දරන ආකල්පයත් මේ කාරණයට අදාල නැහැ. වෙනත් ගුරුවරුත් ළමයිට ඔයිට වඩා ගහනවා කියන එකෙනුත් මේ ගුරුවරියගේ වැරැද්ද නිවැරදි වෙන්නේ නැහැ. අපි නරක සිතින් කරන වැරදි වගේම හොඳ හිතින් හොඳක් කරන්නය කියල හිතාගෙන කරන වැරදිත් තියෙනවා. සමහර විට මේ සිද්ධිය එහෙම එකක් වෙන්න ඇති. නමුත් ඉන් වැරැද්දේ බරපතලකම නැතුව යන්නේ නැහැ.

ඔය සිද්ධියට මගේ දරුවෙක් මුහුණ දුන්නා නම් මම ඔය ගුරුවරියට විරුද්ධව නීතිය ඉදිරියට යනවා අනිවාර්‍යෙන්. ඇයට ලබා දිය හැකි උපරිම දඬුවම ලබා දෙනවා.

දරුවන් ඉලක්ක කරගෙන වැඩිහිටියන් කරන මෙවැනි අමානුෂික පහරදීම් වලට නීතියට අනුව ලැබෙන උපරිම දඬුවම මොකක්ද කියා මා දන්නේ නැහැ. නමුත් කා අතින් සිදුවුවද සිතා මතා කරන මෙවැනි ක්‍රියා වලට ලැබිය යුතු උපරිම දඬුවම් ලැබිය යුතුයි.

පීඩිතයාට සිදුවූ අසාධාරණය ගැන අනෙකුන් කතා කරද්දී පීඩකයා බබා පාර්ට් දමනවා මම පුද්ගලිකව දුටු පළමු අවස්ථාව මෙය නොවේ.

මේ ගුරුවරියගෙන් පහර කෑ දරුවා වේවැල් පහර හැටපහක(?) වේදනාව, පීඩනය දරාගෙන සිටියාට පහර දුන් ගුරුවරියට ඇයගේ ක්‍රියාව ගැන එල්ල වෙන විවේචන දරා ගෙන සිටීමට සෑහෙන අපහසු බවකුයි ඇය තැනින් තැන පල කල තිබුන අදහස් වලින් මා දුටුවේ. එහි ඇති උත්ප්‍රාසය මම වගේම අනිත් අයත් දකින්න ඇති කියා මා හිතනවා. බ්ලොග් ලෝකයට බ්ලොග් එකක් අඩුවේය කියල බයෙන් හෝ තමා යහපත් කියල තමාම කියාගන්නා බ්ලොග්කාරියකගේ හිත රිදෙයි කියා බයෙන් දැන හෝ නොදැන කරන මේ වගේ බරපතල වැරැද්දක් සම්බන්ධයෙන් නිහඬව සිටීමට මගේ කිසිම අදහසක් නැහැ. කමෙන්ට් කිරීමේදී ශේප් න්‍යාය පාවිච්චි කොට සියල්ලන් බැලන්ස් කිරීමටවත් ගුරුවරියව බබා උකුන් කිරීමට හෝ මගේ කැමැත්තක් නැහැ. පැසසිය යුතු දේ ඉහළින් පැසසිය යුතුසේම විවේචනය කල යුතු දේ නිර්ධයව විවේචනය කල යුතුයි.

මැය මගේ මේ අදහස දැක බ්ලොග් ලෝකයෙන් සමුගන්නවාද (තවම සමුගෙන නැත්නම්), ගුරු වෘතියටම ආයුබෝවන් කියනවාද කියන එක මට අදාල නැහැ. මන්ද, දරුවන්ට තමා කොච්චර සේවයක් කරනවා කියා හිතන් හිටියද, දරුවන් කෙරේ තම සිතේ කොපමණ ප්‍රේමයක් තිබුනද, දරුවෙක් අතින් වන 'කිසිම වරදකට' වේවැල් පහර හැට ගනනක් හෝ ඊට ආසන්න අගයක් පහර ගහනා කෙනෙක් ගුරු වෘතියේ නියැලීමට කිසිසේත් නොගැලපෙන නිසා.


ප/ලි - 

1. අදාල සිදුවීම ගැන මගේ අදහස මෙයයි. මෙය ඔය කියන බ්ලොග්කාරිය සමඟ ඇති පුද්ගලික තරහක් නිසා ලියූ සටහනක් නොවේ. ඇය කලාය කියා ඇයම කියනා ක්‍රියාවක් සම්බන්ධව අදහස් දැක්වීමක් පමණි.

2. අදාල ගුරුවරිය දැන් බ්ලොග් ලෝකයේ සිටිනවාද නැද්ද යන කරුණද මට මගේ අදහස ඉදිරිපත් කිරීමේදී අදාල නැහැ. මන්ද එදිනෙදා අපි දකින සිද්ධි හරහා ඇතිවන ආකල්ප ගැන කතිකාවත වැදගත් බව මා සිතන නිසා.

3. මේ සිදුවීම ගැන බ්ලොග් ලෝකයේ සියල්ලන් වගේ තම තමන්ගේ අදහස් ප්‍රකාශ කර ඇති බව දන්නවා. මේ සටහනට ප්‍රතිචාර විදියට බොහෝ දෙනෙක්ට ඒ නිසා අලුතෙන් කියන්න දෙයකුත් නැතුව ඇති. එය ගැටළුවක් නොවේ. මේ සටහනේ අරමුණ මෙතෙක් මා ඉදිරිපත් නොකල මේ ගැන මගේ අදහස ඉදිරිපත් කිරීම පමණයි.

Saturday, October 21, 2017

වමනය කල වරදට පාසලෙන් දොට්ට



මම සයිබරයේ සැරිසරමින් සිටියෙමි. ප්‍රියම්භිකාවිය සිටියේ මා අනෙක් පසින්ය.

"මොකක්ද අර?.."

"අද වෙච්චි සිද්ධියක්. ළමයෙක්ට බඩිගින්නේ වමනෙ ගියාම ප්‍රෙග්නන්ට් වෙලා කියල හිතල ඉස්කෝලෙන් එලවල. අම්මල තාත්තලටත් කියල"

මම ඇයට අදාල ප්‍රවෘතිය පෙන්වීමි.

"ඔය වගේ තමා ගොඩක් ගුරුවරු හිතන්නේ. ඇයි අපි ඉස්කෝලෙ යන කාලෙ අපේ පන්තියෙ ළමයෙක් ලොකු වෙලා එයාර් හොස්ටස් කෙනෙක් වෙන්න ආසයි කිව්වා කියල සර් එයාට වේසි කියල තිබ්බා.."

"මොකක්.....?"

"ඔව්"

"මොකක්ද හරියටම වුනේ?"

"ඔය ඉස්කෝලෙ යද්දි අහන්නෙ, ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියල. අපේ පන්තියෙ ළමයෙක් කිව්වා එයා කැමති එයාර් හොස්ටස් කෙනෙක් වෙන්න කියල. ඒ ළමයට හොඳටම බැන්න. පස්සෙ ඒ ළමයව පැත්තකට අරගෙන ගිහින් තවත් බැනල. සර් කියල වේස රස්සා කරන්න හදන්නෙ උඹ වේසියෙක් වෙන්නද කැමති" කියල.

මගේ හිත කේන්තියෙන් පිරීගියේය. මගේ පාසලේ සිටි ගුරුවරුන්ගේ කල්ක්‍රියාද මතකයට නැඟෙන්නේ මෙවැනි අවස්ථාවලදීය.

මගේ පාසලේ ගුරුවරු කිහිපදෙනෙක් අතර තරඟයක් විය. ඒ පාසලේ 'වසම සර්' යන නාමය හදාගැනීමටය. ඒ නම හදා ගැනීමට ඔවුන් කරන්නේ හැකි පමණ පාසල් සිසුන්ට පහර දීමය. දවස ආරම්භ වද්දි ඇහෙන "චටාස්.. පටාස්.." සද්දය අපට නුපුරුදු දෙයක් නොවීය. තවත් ගුරුවරයෙක්ට තිබුනු අමාරුවක් නම් සිසුවියන් ඉදිරියේදී සිසුන්ට පහර දීමට ඇති ආශාවයි. ඒ නිසා ඔහුට පාසලේ වැඩිමහල් සිසුන් තැබූ අනවර්ථ නාමය "කිඹිසිඹා" නම් විය. තවත් දිනෙක පාසලේ ගුරුවරයෙක් නමය වසරේ ඉගෙනුම ලැබූ සිසුවියකගෙන් 'කිස් එකක්' ඉල්ලා කරදර කරන බව අපට ආරංචි විය. එක්තරා ක්‍රමයකින් විදුහල්පතිට ඔහු ගැන දැනුම් දුන්නත් ගුරුවරයා වසර ගනනක් පාසලේ යහතින් සේවය කලේය. සිසුන්ට වේවැල් කැඩෙන තුරා පහර දුන්නද, ගුරුවරුන්ගේ විනය ගැන සොයා බැලීමට පාසල් පාලනාධිකාරිය එම උනන්දුවම දැක්වූවා දැයි නොදනිමි. සිසුන්ට පහර දීම, සිසුන්ව අනෙක් සිසුසිසුවියන් ඉදිරියේ ලජ්ජාවට පත් කිරීම එදිනෙදා සිදුවන සාමාන්‍යය දේ විය.

මගේ ජීවිත කාලය පුරා ගරුකටයුතු ගුරුවරුන් හමුවී ඇත්නම් ඒ එක්කෙනෙක් නැත්නම් දෙන්නෙක් පමණි.

අප රටේ ගුරුවරයා නැමති වෘතියේ නියැලෙනා මිනිසුන් ගත් විට පොදුවේ ඔවුන් තුල ඇත්තේ මෙවන් මානසිකත්වයක් යැයි සිතමි. මෙවන් තත්වයක් යටතේ ලාංකේය සමාජය විසින් ගුරුවරයාට 'ගරුත්වය ලැබීම' යන කාරණයේදී ෆ්‍රී පාස් එකක් ලබා දි ඇත්තේ මන්දැයි මම අද වනතුරා නොදනිමි.

ඕනෑම වෘතියකට හෝ නිල ඇඳුමකට හෝ (සිවුර, ලෝගුව), පට්ටමකට හෝ (මව්පදවිය, පියපදවිය) ඉබේ විශේෂ ගරුත්වයක් හිමි වීමෙන් අසාධාරණයට පත් වන්නේ ඒ ගෞරවය හිමි යැයි සැලකෙන මිනිස්සුන්ගෙන් පීඩනයට පත් වන පීඩිතයන්ය. මේ විශේෂ ගරුත්වය හිමි පුද්ගලයන් අතින් පීඩනයට සහ අසාධාරණයට ලක් වූවන් ඊට එරෙහිව හඬනගන්නට හෝ නීතියේ පිහිට පතන්නට මැලිවන්නේ ස්වභාවයෙන්ම ඔවුන්ට තමාට වඩා වැඩි පිළිගැනීමක් සමාජයෙන් ලැබෙන බව දන්නා නිසාය. එනිසා මෙවැනි කැපී පෙනන විශේෂ සිදුවීම් වලදී හැර බොහෝ විට සිදුවන්නේ මේ 'ගරුකටයුතු' වෘතීන් වල නියැලෙන්නන් අතින් වන අසාධාරණයන් අනෙක් අය 'ඉවසීමය'.

පුද්ගලිකව මම මිනිසුන්ට ඔවුන් කරනා වෘතිය නිසා හෝ ඔවුන් දරනා පට්ටම් නිසා හෝ ඔවුන් අඳිනා නිල ඇඳුම් නිසා ඔවුන්ට විශේෂ ගෞරව සැලකිලි නොදක්වන්නට හැකි තරම් උත්සාහ කරමි. සැමටම ලැබිය යුත්තේ මනුස්සයෙක්ට හිමි ගෞරවය පමණි. කෙනෙක්ට අනෙක් අයගෙන් විශේෂ ගෞරවයක් අවශ්‍ය නම් ඔහු ඒ විශේෂ ගරුත්වය ඔවුන්ගෙන් දිනාගත යුතුය. හැසිරීමෙන් සහ කල්ක්‍රියාවෙන් තමා අනෙකුන්ට වඩා විශේෂ බව පෙන්විය යුතුය. එවිට ඔහු මොන වෘතියේ නියැලුනත්, මොන පට්ටම දැරුවත් ඔහුට සියල්ලන්ගේ ආදරය ගෞරවය ලැබෙනු ඇත. මන්ද, ගෞරවය යනු දිනාගත යුතු දෙයක් මිස, ඉබේ ලැබෙන දෙයක් නොවන නිසාය.

කෙසේ නමුත් ලංකාවේ ගුරුවරු නැමති වෘතියේ යෙදෙනා මිනිසුන් කොටස තුලද අනෙක් හැම වෘතියකම යෙදෙනා මිනිසුන් තුල සේම වැඩියෙන්ම ඇත්තේ අඩුපාඩුය. ආකල්ප වල ගැටළුය. ඔවුන්ගේ ඒ අඩුපාඩු හඳුනාගෙන ඒවා ප්‍රශ්න කිරීමට නම් සමාජයක් වශයෙන් ගුරුවරුන්ට ලබා දී ඇති මේ 'ෆ්‍රී පාස්' එක වහා ගලවා ඉවත දැමිය යුතු බව දැන්වත් තේරුම් ගන්නවා නම් හොඳය. නැත්නම් සිදුවන්නේ දශක ගානක් තිස්සේ කලාක් මෙන් ගුරු පුටුවේ සිටිනා පුද්ගලයා මොන ජාතියේ අමනයෙක් වුවද, මොන ජාතියේ අමන වැඩ කලද "අනේ හොඳා සර්" කියා බුලත් දී ඔහු ඉදිරියේ වැඳ වැටීමටය.

Friday, October 20, 2017

පහත් තැනින් යයි ගලා ජලේ



තමාට වඩා පහළින් ඉන්න මිනිස්සුන්ට පාර්ට් දාන අයමයි තමාට වඩා ඉහළින් ඉන්න අය ඉස්සරහා ලේසියෙන් දෙකට නැමෙන්නෙ.

ඔය ඉහළ, පහළ බව වෙන් කරගන්නෙ ජාතිය, සමාජ මට්ටම, රස්සාව,ලිංගිකත්වය, අධ්‍යාපන මට්ටම වගේ නිර්ණායක මත පදනම් වෙලා.

ඔය විදියට සමාජයේ තමා ඉන්න තැනක් තීරණය කරල අනෙක් මිනිස්සුන්ව තමා ඉන්න ඒ තැනට පහළ සහ ඉහළ කියල වෙන් කරන මේ අය ඒ අනුව කවුරු ඉස්සරහ තමා පෙනේ පුප්පනවද කවුරු ඉස්සරහ නැට්ට කකුල් දෙක අස්සෙ ගහගන්නවද කියන එක තීරණය කරනව.

මම දැකල තියෙන විදියට ඔතනින් තමාට වඩා පහළින් ඉන්න අය ඉස්සරහා සැර දාන අයම තමයි කිසිම ලැජ්ජාවක් නැතුව වැඩියෙන්ම තමන්ගෙ ලොක්කන්ට ගොට්ට අල්ලන්නෙ. ලොක්කන්ගෙ සපත්තු ලෙවකන්නෙ.

තමාට වඩා පහළින් ඉන්න අයට පාර්ට් නොදාන, ඒ අයටත් තමා හා සමසේ සලකන ගොඩක් අයට මාරම අමාරුයි තමාට වඩා ඉහළින් ඉන්න අය ඉස්සරහා දෙකට නැමෙන්න.

මොකද ඒ අයගේ ඇස් වලින් ඔය නිර්ණායක අනුව මිනිස්සුන්ගේ ඉහළ පහළ බව තීරණය නොවන නිසා. ඒ අය හැමෝමව දකින්නේ මිනිස්සු විදියට නිසා.



ජාතිය නිසා, ආගම නිසා, සමාජ මට්ටම නිසා, රස්සාව නිසා කෙනෙක්ව පහත් කියල දකින්නැති කෙනෙක් ඒවා නිසාම කෙනෙක්ව උසස් කියල දකින්නෙ කොහොමද?

වෙන කෙනෙක් මත ආධිපත්‍යය පතුරවන එකෙන් තෘප්තියක් ලබන එක ගල් යුගයේ වනචාරියෙක්ව හිටිය කාලෙ ඉඳලම අපේ ඇඟේ තිබ්බ දෙයක්. තාම ඒ වනචාරී අශිෂ්ඨ ආශාවට යට වෙලා 'පොඩි මිනිස්සුන්ට' සැර දාන එක ඇත්තටම බැලුවොත් මාරම දුර්වලකමක්.

එදිනෙදා දවස ගෙවද්දි ආශ්‍රය කරන්න හම්බෙන්නේ ඔය වගේ වනචාරීන් දෙතුන් දෙනෙක් විතරක් නම් නෙමේ. බහුතරයක් මිනිස්සු තාම එහෙමයි.

උස් තැන් දැක්කම හැකිලෙනවා. මිටි තැන් දැක්කම පුප්පනවා.

තමාගේ වනචාරී ආශාවල් බුද්ධියෙන් පාලනය කරගන්න තරම් පෞරෂයක් නැති ශිෂ්ඨත්වයට එළඹිලා නැති සත්තු !


Wednesday, October 18, 2017

මාර ඉස්කෝලෙ මාර පුත්තු



නම ගිය පාසලක ගුරුමාරුවක් ගැන සයිබරයේ ඇති වූ කතාබහක් හේතුවෙන් ලියවුන සටහනකි.


"...වසර දහයටකට වඩා වැඩි කාලයක් එකම සේවා ස්ථානයේ රැඳෙන ගුරුවරුන්ගේ සේවා ස්ථාන මාරු කල යුතු බව රටේ පවත්නා නීතියයි. 

එනයින්, එම නීතියට පිටිං යමින් ඔබ ඉගෙන ගත් පාසලේ වසර දහයකට වඩා වැඩි කලක් එක දිගට රැඳී සිටි ගුරුවරුන් වේ නම් ඔබ ඉගෙන ගත් පාසල රටේ පවත්නා නීතියට එරෙහිව යන හොර ගුබ්බෑයමකි. 

රටේ පවත්නා නීතිය නිසි ලෙසින් ක්‍රියාත්මක වීමට එරෙහි වන්නේ නම් ඔබ හොර ගුබ්බෑයමකින් බිහි වූ තක්කඩියෙකි. 

පවත්නා නීතියට එරෙහි වීමේ ඔබේ තක්කඩිකම සාධාරණීකරණය කිරීමට ඔබට අනේක හේතු තිබිය හැක. 

එසේ නීතියට එරෙහිව යාම යෝජනා කිරීමට නොයෙක් හේතු තිබීමත් ඔබේ තක්කඩි කමේම එක පැතිකඩකි..."

- උපුටා ගැනීම අවසන් -

අර ශෝචනීය හැසිරීමක් පෙන්වන ළදරුවන් පිරිස ගැන මට තියෙන අදහසට සමාන අදහසක් රවීෂ තිලකවර්ධන පල කරල තිබ්බා. ඒක තමා ඔය උඩ දාල තියෙන්නේ.

හරිම ලොකු උතුම් මෙව්වා කියල හිතාගෙන ඉන්න ලබ්බවල් ගැන සීන් වලදි කට්ටිය කොහොමත් ආගමික විදියට හැසිරෙන්නෙ. ගොබ්බයි ඉතින්.

මට තියෙන ප්‍රශ්නය මේකයි, හැමෝම හැදිලා තියෙන්නේ මේ වගේ පට්ටම පට්ට සිරාම සිරා මරු ශික්ෂණයකින් යුත් අම්බම සංස්කෘතීන් තියෙන අහවල් එකේ මුදුන් මල්කඩ වගේ ඉස්කෝල වල නම් ඒ විදියට හැදුන උන්ගෙන් පිරුන මේ සමාජයෙදි මේ මිනිස්සු මෙච්ච්ර කුජීත ඇයි කියන එක.

ඉස්කෝල මාර වුනාට ඉස්කෝලවල් වලින් අවුට් වෙන මිනිස්සු නම් මාර නැහැ.

මාරම සීන් එක නේ ඒක?

මොනව නැතත් "අපේ එක මාරයි" කියන බ්‍රේන් වොෂින්ග් එක නම් ළමයිට හැම ඉස්කෝලෙන්ම නො අඩුව ලැබෙන බව නම් පේනව.

ඉස්කෝලෙ ශික්ෂණය ගැන විනය ගැන සංස්කෘතිය ගැන කොච්චර දාර ටෝක් ඉෂූ කලත් ඊයෙ පෙරේදා මේ ඉස්කෝලෙ ආදි ශිෂ්‍යයන් බුකියේ හැසිරුන විදියට පේන්නේ ඔය "මාර" ඉස්කෝලෙත් කිසිම ඉවසීමක් නැති විනයක් නැති අපරිනත මිනිස්සු බිහි කරන තවත් නිකම්ම නිකන් ඉස්කෝලයක් කියල තමා.

කේන්ති ගන්න එපා, පේන දේ කිව්වේ.

තමන් මාරයි කියල හිතාගෙන ඉන්න මෙව්වා වලට වඳින උන් එක්ක හිනා වෙලා ඒ තමා මාරයි කියල හිතාගෙන ඉන්න මෙව්වා වලට මාර නැති විදියට සලකන උන්ගෙ ඇඟට කඩන් පනින එක නම් මේ අය ඔය මාර ඉස්කෝල වලින් ගන්න ශික්ෂණය, තව මොන කතාද ඉතින්.

තමා එක්ක එකඟ වෙන මතවාද එක්ක කටයුතු කරද්දි නෙමේ ශික්ෂණය සහ පරිනතභාවය කියන කාරණා ක්‍රියාවට නැඟෙන්නෙ, තමා එක්ක ගැටෙන මතවාද එක්කයි කියන එකවත් නොතේරෙන ගොබ්බ හැත්තක් තමා ඔය ඉස්කෝලෙනුත් බිහි කරල තියෙන්නෙ. (හැමෝම ඔහොම හැසිරුනේ නැති එක ඇත්ත. ඒත් සැලකිය යුතු පිරිසක් නැටුවනේ. ඉතින් හැම ඉස්කෝලෙකම ඔහොම තමා. සාපේක්ෂව හැදිච්ච සහ නැහැදිච්ච උන් දෙගොල්ලොම ඉන්නවා)

මාර ඉස්කෝලෙ මාර පුත්‍රයිනි,

මොකෙක් හරි උඹල එක්ක එකඟ වෙන අවස්ථා වලදි නෙමේ උඹල ඔය මාර ඉස්කෝලෙන් ගත්ත විනය කියන එක ඕන වෙන්නෙ, මොකෙක් හරි උඹල එක්ක ගැටෙන වෙලාවටයි ඒක ඕන වෙන්නෙ.

මිනිහෙක්ගේ ශික්ෂණය, පරිනතබව, විනය කියන එක මැනෙන්නෙ එතනදි.

උඹලගෙ ඉස්කෝලෙන් ඒක කියල දුන්නෙ නැත්නම් දැන්වත් ඉගෙනගනින්.

යමක් ගැන අදහස් ප්‍රකාශ කිරීම එකක්, රෙද්දෙ රෙවිලා වගේ දඟලන එක තවත් එකක්.

අවසානයේ කතාව සාරාංශ ගත කරනවා නම්,

"උඹල මාර නෑ බං.. උඹලගෙ ඉස්කෝලෙත් මාර නෑ. උඹලගෙ ඉස්කෝලෙත් මේ කුජීත වෙච්ච සමාජයට කුජීත වෙච්චි මීනිස්සු බිහි කරන තවත් එක කුජීත කම්හලක් විතරයි. "මම මෙහෙම වුනේ ඔය පාසල් මාතාව නිසාය".. ඕකනේ කතාව. උඹ කොහොම වුනේද බං? දැන් උඹ මාරද? ඉස්කෝලෙ නිසා උඹ දැන් මාර පොරක් වෙලාද? උඹ හිතන් ඉන්නෙ උඹ මාර පොරක් කියලද? අනේ පලයන් බං යන්න...

...උඹලගෙ ඔය මාර ඉස්කෝලෙත් රටේ තියෙන නීතියට යටයි. නීතිය ක්‍රියාත්මක කරන්න යද්දි සරම උස්සන් දඟලන එකෙන්ම පේනවා රටේ සම්මත නීතියට ගරු කරන්න උඹලගෙ ඉස්කෝලෙන් උඹලට කියල දීල තියෙනවද නැද්ද කියල. අනිත් පාසල් වලට බලපවත්නා නීතිය උඹලගෙ එකට විතරක් බලනොපාන්න හේතුවක් නැහැ කියන එක දැන්වත් තේරුම් ගනින්.

එනිසා මාර ඉස්කෝලෙයේ මාර හැදිච්ච මාර වස චණ්ඩි පුත්‍රයනි.

දඟලන්නෙ නැතුව පැත්තකට වෙලා  ඉඳින් බං"

Monday, October 16, 2017

නාමල් මලේ ඕවා ඉතින් නෝමල් අනේ

අපේ ගෙවල් පැත්තේ හෙණ මැරෑටි කොල්ලෙක් හිටියා.

මුගේ වැඩේම උගෙම මල්ලිට හැම වෙලේම නක්කලේ දාන එක, කෝචොක් දාන එක, ගහන එක.

ඉතින් මල්ලි දුවගෙන දුවගෙන ගිහින් හැම වෙලේම අම්මගේ ඇඟේ තමා එල්ලෙන්නෙ. "අනේ අම්මේ, අයියා මට ගහනවනේ" කිය කිය. ඉතින් මේ මැරෑටි කොලුවට මල්ලිව පේන්න බෑ. අම්මව පේන්නත් බෑ. ඇයි, මූ බයයි මල්ලිගේ කේලං අහලා අම්මා මූට අම්බානට නෙළයි කියල.

ඉතින් මූ අම්මා එක්කත් ගේම. මොකද මල්ලිගේ පැත්ත අරං අම්මා මූට බනින නිසා.

"අනේ බොල තෝ වගේ පොන්නයෙක්. හැමදේම අම්මටම ගිහින් කිය කිය අම්මගේ රෙද්ද අස්සෙම හැංගෙනවා" මල්ලිට ඌ කියන්නෙ එහෙම.

පස්සෙ පස්සෙ වයස යද්දි මල්ලි ඇඟින් පතින් ලොකු වෙලා මූට වඩා සෑහෙන හැඩි දැඩි උස මහත තරුණයෙක් වුනා.

දැන් මූ මල්ලි ඉස්සරහා පදිරි. කලින් වගේ මූට මල්ලිට පාර්ට් දාන්න විදියක් නෑ. මල්ලි කාරයා කරන්නේ පරණ සීන් අල්ලලා මූට කෙළින එක. පරණ ඒවයේ රිටර්න් එක මූට දෙන එක.

සරලවම කියනවා නම් උගේ බේත් ඌටම දෙන එක. මොකද මල්ලි තමා දැන් පොර වෙලා ඉන්නෙ. ඉතින් අර අසරණ වුන මැරෑටි කොල්ලා කරන්නේ බොරු අහිංසක මූණක් දාගෙන මල්ලි ඉස්සරහා හොඳ බබා වෙන්න හදන එක.

දවසක් මල්ලිට මලම පැනලා මූට නෙලලා කණේ පාරක් ආයේ චූ යන්නම. අනේ ඉතින් මු කරලා තියෙන්නේ අර මල්ලි කලින් කලා වගේම අම්මා ළඟට ගිහින්.

"අනේ අම්මේ, මල්ලි මට ගහනවනේ. හරිම අසාධාරණයිනේ. අම්මවත් මේක බේරලා මට සැනසිල්ලෙ ඉන්න හදල දෙන්නකෝ" කියල අම්මගේ ඇඟේ එල්ලිලා හොටු පෙර පෙර අඬන එක.

කලින් මූ මල්ලිට පාර්ට් දාද්දි මල්ලි අම්මගේ ඇඟේ මල්ලි එල්ලෙද්දි මූ මල්ලිට "පොන්නයා" කිව්ව හැටිවත් "අපේ ප්‍රශ්න අපි විසඳගමු" කිව්ව හැටිවත්, මල්ලිගේ කේලම් අහන නිසා අම්මා එක්ක ගේමෙන් හිටිය හැටිවත් මූට දැන් මතක නෑ.

දැන් ඉතින් මේ අසරණ මැරෑටියට අම්මගේම පිහිට තමයි.

ඒත් ගමේ උන් නම් කියන්නේ මූට හොඳ වැඩේ කියල. මොකද ගමේම උන් දන්නවා මූ පොඩි කාලේ පාර්ට් දැම්මට පොල්කට්ටක් පිරෙන්න චූ කරගන්න තරම්වත් හයියක් නැති හුජ්ජ කොල්ලෙක් කියල.

දැන් මූ අම්මගෙ රෙද්ද අස්සෙ රිංගන්න දඟලනව දැක්කම ගමේ උන් නම් කියන්නෙ

"පව් ඉතින්, කාගෙ වුනත් අසරණ දරුවෙක්නෙ" කියල තමා.


Tuesday, October 10, 2017

ලව් ඉලව් කර නොගැනීමට



පළමු අදහස් ප්‍රකාශ කිරීම - බුද්ධික තාඹුගල ශූරීන් 

"...මම නම් පුද්ගලිකව විශ්වාස කරන්නෙ ආදරය කියන්නෙ හෙනම හෙන ගුප්ත, රොමෑන්ටික්, ෆට්ටන්දර විකසිත සීන් එකක් නෙමෙයි..

සාර්ථක ප්‍රේමයක් කියන්නෙ අනිවාර්යයෙන්ම මිත්‍රත්වයේ දිගුවක්.. අපි යාළුවන්ට හැම දේම කියනවා.. නමුත් පෙම්වතුන් හෝ පෙම්වතියන්ගෙන් බොහෝ දේ සඟවනවා.. මේක පට්ටම කුජීත වැඩක් මම හිතන්නෙ..

පෙම්වතුන් අතර මිතුරන් අතර ඇති තරමේවත් මානසික බැඳීමක් නැත්තම් දෙන්නම නොදන්නව වුණාට ඒ සබඳතාවය යන්නෙ හෙනම අවුල් ට්‍රැක් එකක.. මේ නිසා මෙම ප්‍රශ්නය අපි සාමාන්‍ය ජීවිතයේදී මිතුරන් සමග ක්‍රියා කරන හැටි ඇසුරෙන් විග්‍රහ කරන්ඩ පුළුවන් මම හිතන්නෙ..

අපි සාමාන්‍ය ජීවිතයේදී මිතුරන්ට නීති දානව ද? දාන අවස්ථා අතළොස්සක් තියෙන්ඩ පුළුවන්, නමුත් බොහෝ විට මිතුරන්ගේ මූලික ස්වරූපයන් වෙනස් කිරීමට බලපාන නීති දැමීමක් සිදු වන්නෙ නෑ.. මගේ හොඳම මිතුරිය මට කිව්වොත් "හැම මාසෙම පන්සල් පලයන්" කියල මම අනිවා කියන්නෙ "උඹ පන්සල රෝල් කරල ඔබාගනින් ____" කියල.. ඒක අහලා ඇයට අවශ්‍ය නම් "මේ යාළුකම හරි යන්නෙ නෑ" කියල අත ඇරල දැම්මැහැකි.. එහෙමත් නැතිනම් "මූ පන්සල් නොගියට හොඳ එකා" කියලා යාළුකම පවත්වාගත හැකි..

යාළුවන් සම්බන්ධයෙන් අප මේ තීරණ දෙකම ගන්නා විවිධ අවස්ථා තියෙනවා.. මේ අනුව පෙනෙන්නේ අප යාළුවන් තෝරා ගැනීමේ දී එක්කෝ සමාජයීය, මතවාදීමය හෝ වෙනත් ආකාරයේ සමානතාවයන් දැක ආසක්ත වෙනවා.. සමාන නැති උන් එක්ක යාළු වෙන්නෙ නෑ.. එහෙමත් නැතිනම් ඒවා සම්බන්ධ වෙනස්කම් තිබියදීත් පුද්ගලික ගති ලක්ෂණ හෝ වෙනත් හේතූන් නිසා ආසක්ත වී අර වෙනස්කම් ඉවසනවා..

මේ විදි දෙකෙන් කොයි එක හරි ද කියලා අපිට තීරණය කරන්ඩ බෑ.. මේ සම්බන්ධව එක එක්කෙනාගේ ආකල්ප විවිධයි.. නමුත් එබඳු වෙනස්කම් තිබියදී මිතුරු වී පසුව එම වෙනස්කම් දුරු කර ගැනීම සඳහා නීති දැමීම හෝ බලපෑම් කිරීම නම් අමුම කුජීතයි ..

එකම දේ එලෙස බලපෑම් කරන තුරු එම යාළුකම් පැවතීමට තියෙන ඉඩ අඩුයි, මොකද මේ ලෝකයේ කවුරුවත් කාවවත් පාලනය කිරීම සාර්ථක නැති නිසා.. එල්සේම එබඳු අවස්ථා වලදී විකල්ප යාළුවන් බොහෝ විට සිටින නිසා..

දැන් අපි බලන්ඩ ඕනෙ ප්ලේටොනික් සහ රොමෑන්ටික් සම්බන්ධතා අතර මහලොකු වෙනසක් තියෙනවද කියලා?

යම් වෙනස්කම් කිහිපයක් තියෙනවා.. එකක් නම් ප්‍රේම සබඳතා වල සාමාන්‍ය යාළුකමකට වඩා මනෝමය සමීපතාවක් තිබීම.. සාමාන්‍ය මිතු දමක වගේම නොගැලපෙනව නම් දමා ගසා යාමට හැකි වුවත් මෙහිදී එකිනෙකා අනෙකා තුළ කර ඇති මානසික ආයෝජනය වැඩි නිසා වෙන්ව යාමෙන් ඇති වන මානසික ගැටළු වැඩියි.. අනෙක් එක තමා දෙදෙනෙක් පෙම්වතුන් වූ වහාම සමාජ පෙළඹවීම වන්නේ හැකි ඉක්මනින් විවාහ වී දරුවන් සාදා මේන්ස්ට්‍රීම් එකේ ගමන් කිරීමටයි.. ඊට පෙර ඔවුන් වෙන් වී, වෙනත් අය සමග එක් වී, නැවත වෙන් වී, ආදී වශයෙන් සිදු වීම අප සමාජය ලොව වෙනත් විවෘත සමාජ එක්ක බලද්දි ඉවසන්නෙ අඩුවෙන්..

මේ නිසා බිඳී යාමකින් යම් සමාජ පීඩනයක් ද එල්ල වෙනවා.. මෙලෙස බිඳී ගියහොත් ඇති වන පීඩනය නිසා අකමැත්තෙන්, අසතුටෙන්, යටහත්කමින් ඉන්න පෙම්වතුන් හා පෙම්වතියන් අප දැක තිබෙනවා.. මගේ විශ්වාසය නම් එය ජාතික අෆරාඩයක් බවයි.."

දෙවන අදහස් ප්‍රකාශ කිරීම - ජේමිස් බණ්ඩා මහතා හෙවත් මමතුමා 

".... බුද්ධික තාඹුගල කියන්නට තියෙන දෙයින් සෑහෙන කොටසක් කියල ඔහු නවත්තපු තැනින් කන්ටිනියු කරන්නම්.

..ආදරය කරද්දි මං හිතන විදියට එකිනෙකාගේ අනන්‍යතා සහ පෞරෂයන් තේරුම් ගන්න එක වැදගත්. ඒ පුද්ගලයාව ඒ පුද්ගලයා විදියට භාර අරගෙන ඉන් එහාට තමයි මේ ආදරය කියන ගනුදෙනුව සිද්ධ වෙන්න ඕන.

නමුත් ගොඩක් වෙලාවට වෙන්නේ අපි අපේ සහකරුවාගේ/කාරියගේ අනන්‍යතාව කපලා කොටලා ඔවුන්ගේ ආසාවල් වලට කෙළවල දාලා, ඔවුන්ගේ බලාපොරොත්තු අපිට ඕන විදියට වෙනස් කරල, ඔවුන්ගේ සැබෑ අනන්‍යතාවය විනාශ කරල, අපිට ඕන විදියට අපි කැමති ආකාරයේ අනන්‍යතාවයක් ඔවුන් තුළින් නිර්මාණය කරගන්න දඟලන එක. කොටින්ම අපිට මුලින්ම මුණ ගැහෙද්දි හිටපු කෙනාව වෙනස් කරල ඌව/ඒකිව අපේ කැමැත්තට අනුව වැඩ කරන හිතන පතන රොබෝ කෙනෙක් කරන්න හදන එක.

තමාගේ ඔලුවේ තියෙන අයිඩියල් සහකරුවෙක්/කාරියක්ව තමන්ට හම්බුන මනුස්සයා තුළින් නිර්මාණය කරගන්න හද හද දෙන්නාම ඔය විදියට අනිත් කෙනාගෙ අනන්‍යතාවය මරල දාලා අලුත් පුද්ගලයෙක් නිර්මාණය කරගන්න කරන මේ පොරය නිසයි ගොඩක් ආදර සබඳතාවල් වලට කෙළ වෙන්නෙ. (කෙළ වෙනවා කියන්නේ අවසාන වෙනවා නෙමේ. සතුට නැති වෙලා විඳීම වෙනුවට විඳවීම ඉස්මතු වෙනවා කියන එකට)

දැන් ඔහොම ටෝක් දුන්නට තමන්ගේ කොල්ලව/කෙල්ලව වෙනස් කරන්න දඟලන්න එපාය කියල, ඇත්තටම බැලුවොත් ඕක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරද්දි පට්ට අමාරුයි. ඇයි? ඇයි ඉතින් තමන්ගේ සහකරුවා/කාරිය තමන් අකමැති මලමගුල් කරද්දි ඌ එක්ක/ඒකි එක්ක ඉන්නෙ කොහොමද?

එතනදි තමයි අදහස් හුවමාරුව කියන පට්ටම වැදගත් පාර්ට් එක එන්නෙ. තමාගේ සහකරුවා/කාරිය තුල තියෙන තමා කැමති දේ මොනවද අකමැති දේ මොනවද කියන එක ගැන ඉඳල හිටල දෙන්නට එකතු වෙලා කතා කරල ඒ ඒ දේවල් ගැන එකඟතා වලට එන එක වැදගත් දෙයක්. මේක කරන්න පට්ටම අමාරු වුනත්, මේක කරන්නම ඕන දීර්ඝ කාලයක් හොඳින් ඉන්න නම්. එකිනෙකාට සවන් දීලා, අනෙකාගේ අවශ්‍යතා තේරුම් ගැනීමයි මෙතනදි වෙන්න ඕන.

කොහොම කලත් මේ "වෙනස් කම්" කියන දේවල් නැත්තටම නැති වෙන්නෙ නං නෑ ලොවෙත්. එතනදි කරන්න වෙන්නේ තමාගේ සහකරුවාගේ/කාරියගේ හොඳ විදියට තමා දකින දේ වෙනුවෙන් ඔවුන්ගේ අඩුපාඩු ඉවසන එක. කතාවක් තියෙන්නෙ "අපි ආදරවන්තයා/ආදරවන්තිය විදියට තෝරගන්න ඕන අපිට ඉවසන්න පුළුවන් වැරදි තියෙන කෙනෙක්ව" කියල. ඒ මොකද අපි වැරදි/අඩුපාඩු විදියට දකින දේවල් නැති එකෙක් හොයාගන්න මේ ලෝකයේ කිසිම ජගතෙක්ට කිසිම විදියකට බෑ.

ඊළඟට, තමන්ගේ සහකරුවාට/කාරියට ඔවුන්ගේ ජීවිතය විඳින්න ඔවුන්ට තියෙන නිදහස අහිමි කරන්න තමන්ට කිසිසේත්ම අයිතියක් නැති බව නම් දෙන්නම තේරුම් ගන්න ඕනම දෙයක්. මේ නිදහස කියන එක තමා විසින් අනෙකාට "දෙන" දෙයක් නෙමේ. ඒක කොහොමත් හැමෝටම තිබිය යුතු දෙයක්.

හැම වෙලේම තමාගේ සහකරුවාට/කාරියට තමන්ගේ අදහස කියන්න. එකඟ වී හෝ නොවී තීරණය කිරීම ඔවුන්ට බාර දෙන්න. විධාන දෙන්න යන්න එපා. තමන් කියන දේට එකඟ වුනේ නෑ කියල, අවනත වුනේ නෑ කියල පළිගන්න එපා.

තමා කියන්නේ තමාගේ සහකරුවාගේ/කාරියගේ ජීවිතයේ එක කොටසක් බවත්, තමන්ගෙන් පිට ඔහුට/ඇයට තවත් ජීවිතයක් තියෙන බවත් තේරුම්ගන්න ඕන. මොකද තමන්ගේ සහකරුවා/කාරිය කියන්නේ පෙම්වතෙක් සහ පෙම්වතියක්වත් සැමියෙක් සහ බිරිඳක්වත් විතරක් නෙමේ. පුතෙක්, සහෝදරයෙක්, මිතුරෙක්, රාජකාරිකරන තැනදි සේවකයෙක්.. වගේ සෑහෙන භූමිකා රඟපාන්න වෙන ඔහුත් මනුස්සයෙක්. මේකෙ සහකාරියන්ට අදාලව අනිත් පැත්තත් එහෙමයි. ඒ නිසා තමා ගැන විතරක් තමාගේ සහකරුවා/කාරිය සිතිය යුතුය, තමාටම හැම වෙලේම මුල් තැන දිය යුතුය කියල හිතල ආත්මාර්ථකාමී මුග්ධයෙක් විදියට වැඩ කරන්න යන්න එපා.

මේ ඔක්කොම කරලත් දිගින් දිගටම තියෙන්නේ දෙන්නගේ වෙනස් කම් නම්, ඉතින් හොඳම දේ තමා අකමැත්තෙන් වුනත් එකිනෙකාට "ගුඩ් බායි" කියන එක. මොකද එකිනෙකාව රවට්ටගෙන අවුරුදු දෙකතුනක් ලව් කලත් බැඳලා මාස හය හතක් යද්දි තමන් හංගන් හිටිය තමාගේ සහකරුවා/කාරිය අකමැති පැත්ත එළියට එන එක අනිවාර්‍යයි.

ඊට පස්සෙ ඉතින් දෙන්නගෙම කසාද ජීවිතේට සොරි ඩොට් කොම්ම තමා..."

අදහස් දැක්වීම අහවරයි. අසා සිටි ඔබ සැමට ඉස්තූතියි.

ප/ලි - 

1. මේ බණ කිව්වාට අපිත් ලව් කරන රහස සොයාගත් ශාස්තෲවරුන් නොවෙමු. අපි විසින්ම සහ අපි වටේ ඉන්නා උන් කන පරිප්පු දැක දිනෙන් දින ඉගෙනගෙන අපිත් අමාරුවෙන් අනුගමනය කරන කරුණු කාරනා කිහිපයක්ය මෙතනදි කියවන අය සමඟ බෙදා ගත්තේ. 

2. බුද්ධික තාඹුලගේ අදහස් දැක්වීම දැනට වසර කිහිපයකට පෙර බුකියේ දැක මා විසින් සේව් කරගත් අදහසකි. කාලයකට පසු සේව් කරගත් තැනින් අද එය දුටු නිසා මගේ අදහස් සමඟින් අද මෙසේ මගේ ප්‍රොෆයිලයේ පළ කලෙමි.

Sunday, October 8, 2017

සුද්දන්ට පමණක් තේරෙන අපේ අභූත ශ්‍රී විභූතිය



ඔය පිටරටවල සමහර සුද්දො සුද්දියො මෙහෙ ඇවිත් අපේ කෑම බීම කනවා, පෙරහැරවල් බලනවා, සරං ඇඳන් සායවල් ඇඳන් පන්සල් යනවා, අපේ රටේ තියෙන හද්ද පිටිසර ගම් වලට යනවා දකින අපේ සමහරු,

"බලනු සගයනි, අපේ දේවල වටිනාකම අපේ නොසන්ඩාලයන්ට නොතේරුනාට පරදේශ වලින් එන සුදු හමැති පිරිමි ගැහැණුන්ට තේරෙන හැටි. තොපි උන්ගේ කෑම කලිසම් ටයි බ්ලවුස් පස්සේ ගියාට, තොපි උන්ගේ නූඩ්ස්ල්, පීසා, සොසේජස් බනිස් කෑවාට, ඒ ඈයන්ගේ බුද්ධි මහිමයට තේරෙනවාය සැබවින්ම වටින්නේ මොනවාද කියා. එන්න, අපි දැන්වත් අභාවයට යන අපේ දේ වැළඳගමු. ඒවා වර්තමානයට ගෙනෙමු. දැන්වත් අපි ඒවායේ ඇති අභූත ශ්‍රී විභූතිය තේරුම් ගමු..."

වැනි ටෝක් ඉෂූ කරනවා දැකල ඇති.

කොටින්ම සායවල් ඇඳගෙන පන්සල් යන සුද්දියන් සහ කලිසම් ඇඳගෙන පන්සල් යන ලාංකීය තරුණියන් සසඳමින් එම තරුණියන්ට නිග්‍රහ කෙරෙන අන්දමේ පෝස්ට් බුකියේද පළවනු ඔබ දැකල ඇති.

නමුත් ඇත්තටම, පරදේශ වලින් එන ඈයෝ දාඩිය දාගෙන අව්වේ යන්නේ, හුස්ම ඇද ඇද දැවිල්ලේ අපේ කෑම කන්නේ, සරම් සායවල් ඇඳගෙන පන්සල් යන්නේ, චීත්ත හැට්ට ඇඳගෙන අවුරුදු කුමාරි තරඟ වලට යන්නේ ඒවායේ ඇති විශිෂ්ඨත්වයක් තේරුම් අරගෙන කියා අපේ ගොන්වාහේලා සිත සනසා ගත්තාට, ඇත්තටම ඔවුන් ඒවා කරන්නේ ඒ රටවල උන් ගෙවනා කාර්‍යබහුල ඒකාකාරී ජීවිත වලින් මොහොතකට මිදී එදිනෙදා ජීවිතයේදී උන් නොදකින වෙනත් කොහේ හෝ රටක තියෙනා සිරිත් විරිත් දැක ඒවාට සම්බන්ධ වී ආතල් එකක් ගැනීම පිණිස මිසක වෙන ලබ්බක් නිසා නොවන බව කිව යුත්තේ ඇත්තම කතාව එය නිසාය.





ලෝකය පුරා පැතිර ඇති සංස්කෘතීන් වලින් වසර ගණන් පැරණි සිරිත් විරිත් චාරි‍ත්‍ර අදටත් සිදු කරන තැන් වලට යමින් ඒවායින් යම් මතක සටහනක් ගෙන ඡායාරූප ඇල්බමයේ සේව් කර ගැනීම අරමුණු කරගෙන මිසක් සරම් සායවල් චීත්ත ඇඳගෙන කෙහෙල් කොලේ සම්බෝලයි බතුයි කකා පෙරහැරවල් වල අලි නැටුම් බලබලා ඉන්නට ඒ රටවල ඇති සමාජ සංස්කෘතීන් අතහැර මෙහේ එන සුද්දෝ නැත.

ඔවුන් අප්‍රිකාවේ අඩ නිරුවතින් "උහු... ඩුගු.. බජංජා... ජහු.. ගහු... ජුංගා.." ගගා නටමින් තමන්ගේ ආදී චාරිත්‍ර ඉදිරියට ගෙනයෑමට දතකන ගෝත්‍රිකයන් දෙස බලන විදියට සමාන විදියකටය අමුතු ඇඳුම් ඇඳගෙන ආභරණ පළඳවගෙන ගිනි බෝල කරකවගෙන අලි ඇතුන් සමඟින් දතක් මැදි කරගෙන අපේ උන් උඩ පැන පැන නටනා පෙරහැරවල් දෙස බලන්නේ.

මේවා අසා කාගේවත් අතීතකාමී හිත් රිදුනාට කරන්නට දෙයක් නැත.

අපේ දෙදාස් පන්සීයක් පැරණි අතීතය උඩ දදා දඟලීමට වර්තමානයක් ගැන නොහිතන, අනාගතයක් ගැන නොදකින අපේම උන්ට පශ්චාත්භාගයේ අමාරුවක් තිබුනාට ලෝකේ කොහේවත් උන්ට එහෙම අමාරුවක් නැත. දැන්වත් ඒ බව තේරුම් ගන්නවා නම් හොඳය.

අතීතයේ ඇති සිරිත් විරිත් ඇගයීම වරදක් නැත. ඉන්නම බැයි නම් ඒවායින් චූන් වීමද කම් නැත. නමුත් නූතනත්වයට ගරහමින්, අතීතයේ ජීවත් වෙමින් අතීතය ගැන පම්පෝරි ගහන වර්තමානයක් ගැන නොසිතන මිනිසුන් වීම නම් හිතකර නැත.

අතීතයෙන් ගත හැක්කේ ප්‍රයෝජන දෙකකි. ඒ අතීත සිදුවීම් දෙස බලා වර්තමානයට, අනාගතයට පාඩම් ඉගෙන ගැනීම සහ වර්තමාන හැසිරීම් සහ වින්තනයන් වලට පාදක වූ අතීත සිදුවීම් මොනවාද යන්න තේරුම් ගැනීම පමණය.

ඉන් එහාට අතීත මිනිසුන්ගේ මළකඳන්, ඇටකටු ඔලුව උඩ තියාගෙන නැටීමෙන් පළක් නැත. එයින් වෙන්නේ අපි අතීතයේ මළකඳන් සමඟ ජීවත් වෙන, අතීතයේ උන් මිනිසුන් සේ ලෝකය දකින වර්තමානයක් නැති ඇවිදින මළමිනී බවට පත් වීම පමණකි.

අවසාන වශයෙන් කියමි.

සුද්දෝ ඇවිත් සරම් සායවල් ඇඳගෙන පෙරහැරවල් බලබල රජවරුන් හැදූ ගල් කණු පොකුණු බල බල "වාව්.. අමේසිං.. සුපර්බ්" කියන නිසා අපේ අතීතය මාරම සුපිරියි කියා ඔබ තවමත් සිතනවා නම්, ලංකාවේම වෙසෙන ආදි වාසි වැද්දන්ගේ සිරිත් විරිත් දැක උන් සමඟද ෆොටෝ ගසමින් සුද්දන් ඒවා දිහාද බලන්නේ ඒ අයුරින්ම බව සිහිකැඳවා ගැනීම යහපති.


Thursday, October 5, 2017

වැඩිහිටියන්ට ආදරය කුණුහරපයක්ද?

තමා ඉදිරියේ තමන්ගේ විවාහපත් දරුවන් පවා ඔවුන්ගේ සහකරුවන්/සහකාරියන් සමඟ ආදරයෙන් හැසිරීම අපේ වැඩිහිටි පරපුරට රුස්සන්නේ නැහැ.

තමන්ගේ විවාහපත් දරුවන් වුනත් එකිනෙකාට ළඟින් හිඳ ගැනීම, කරට අතදාගෙන සිටීම, එකෙක්ගේ ඔඩොක්කුවේ අනෙකා හිඳ ගැනීම, කම්මුල් සිපගැනීම තබා ඔලුව අතගෑමවත් තමන්ගේ ඉදිරියේ සිදු කිරීම ඔවුන් සලකන්නේ නිර්ලජ්ජිත හැසිරීමක් විදියටයි.

"ලව් කරන්න ඕන්නම් උඹල කාමරේට ගිහින් දොර වහගෙන කරගනින්" 

එකිනෙකා කෙරේ ලයාන්විත බවක් දැනවෙන විදියට හැසිරීම, ආදරය හැඟෙන අයුරින් හැසිරීම සිදුවිය යුත්තේ පුද්ගලික අවකාශයක පමණක් බවයි මේ වැඩිහිටි පරපුරේ අදහස. මලපහ කිරීම, සංසර්ගය කිරීම මෙන්ම ආදරය කිරීමද පුද්ගලික අවකාශයක පමණක් සිදුවිය යුතු බව සිතනා ඔවුන් සභාවක ආදරයෙන් හැසිරෙන යුවලක් දුටු විට එය හඳුන්වන්නේ නැහැදිච්ච හැසිරීමක් විදියට.

වැඩිවියට පැමිණ විවාහපත් දරුවන් ගැන එසේ සිතනා ඔවුන්, එම දරුවන් කුඩා කාලයේදී ඔවුන් ඉදිරියේ හැසිරෙනේද ඒ ආකාරයටයි. තම දරුවන් ඉදිරියේ එකිනෙකාට කිසිම ආකාරයක ආදරය ප්‍රකාශ කෙරෙන අන්දමට නොහැසිරීමට වගබලා ගන්නේ එයින් තම කුඩා දරුවන් නරක් වේය යන හැඟීම නිසා.

දරුවන් ඉදිරියේ සහ ප්‍රසිද්ධියේ ආදරය දැනවෙන පරිදි හැසිරීමෙන් වැලකුණත් මේ වැඩිහිටියන්ට අනුව තම දරුවන් ඉදිරියේ වාද කිරීම, බැන ගැනීම සහ රණ්ඩු කිරීම නම් සාමාන්‍යය දෙයක්. විවාහපත් දරුවන් තමා ඉදිරියේ රණ්ඩු සරුවල් කිරීමද ඔවුන් සලකන්නේ සාමාන්‍යය දෙයක්, පවුල් ජීවිතයේ කොටසක්, ඉවසිය හැකි දෙයක් වශයෙනුයි.

මේ ආකල්පය දරන දෙමාපියන් යටතේ හැදී වැඩෙන කුඩා දරුවන් දකින්නේ එකිනෙකා කෙරේ ආදරය දක්වන්නට මැලිවන, නමුත් එකිනෙකා සමඟ රණ්ඩු සරුවල් කිරීමට මැලි නොවන මව්පියන් දෙදෙනෙක්. දරුවෙක්ට වඩාත් ධනාත්මක බලපෑමක් සිදු කරනු ඇත්තේ දෙමාපියන් එකිනෙකා කෙරේ ආදරයෙන් සිටිනු දැකීමෙන් බවත්, තම දෙමාපියන් එකිනෙකා සමඟ රණ්ඩු සරුවල් කරගැනීම පමණක් දැකීමෙන් දරුවාට අයහපත් බලපෑමක් සිදු කරන බවත් තේරුම් ගැනීමට ඔවුන්ට දැනුමක් නැහැ.

මහ රෑ අන්ධකාරයේ කාමරයේ දොරගුළු දමාගෙන ආදරය නොකරන්න. සිර කොට ඇති ආදරය නිදහස් කරන්න. තම දරුවන්, දෙමාපියන්, පවුල ඉදිරියට ආදරය ගෙන එන්න. ආදරය කිරීම කුණුහරපයක් විදියට නොදකින්න.

තම සහකරුවා/සහකාරිය කෙරේ ආදරය දැක්වීම තම දරුවන් හා දෙමාපියන් ඉදිරියේ සිදු නොකල යුතු කුණුහරපයක් නොවේ. පුද්ගලික අවකාශයට සීමාකල යුත්තේ ආදරය දැක්වීම නොව, එකිනෙකා හා ගැටෙන අවස්ථාය.

එනිසා ගැටීමට දොරගුළු දමන්න. ආදරය අගුළු හැර නිදහස් කරන්න.