Thursday, March 31, 2016

දීපිකා වගේ ඇඟක් හදාගන්නේ කොහොමද



"මම අද ඩයට් අනේ.. වැඩිය මුකුත් කන්නෙ නෑ.. දවල්ට චූට්ටක් කාලා, රෑට මුකුත්ම නොකා නිදාගන්නවා.. ඇඟ හදාගන්න ඕනි අනේ. ෆිගර් එක.."
ඕනම කෙනෙක් ව්‍යායාම් කරනවා නම් ඒක නිරෝගී සෞඛ්‍යයක් පවත්වාගෙන යන්න ඉතාම හොඳ දෙයක්. කෑම පාලනය කරන එකත් හොඳ දෙයක්. ඒත් කෙට්ටු වෙන්න කියල නොකා ඉන්නව නම් අන්තිමට නවතින්නේ නැති ප්‍රශ්න ඇති වෙලා.
යහපත් ශරීරයක් හදාගන්න නම් කරන්න ඕන නොකා ඉන්න එක නෙමේ, කෑම පාලනය කරන එක. සමබර ආහාර වේලක් ගන්න එක.
ඩයට් කරනවා කියල නොකා ඉන්න ලෙඩේ ගොඩක්ම තියෙන්නේ ගෑණු ළමයින්ට. හේතුව තමා මේගොල්ලන්ට ඕනේ ලස්සන ෆිගර් එකක්. දැක්කාම කොල්ලො කොර වෙලා යන ඇඟක්.
සාධාරණයි. තමන්ගේ විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ශනය දිනාගන්න කවුරුත් කැමතියි. හොඳ පෙනුමකින් ඉන්න කවුරුත් කැමතියි.
ඒත් මේ තරුණ/තරුණියන් මවාගෙන ඉන්න ශරීරය ඇත්තටම ප්‍රයෝගිකව හදාගන්න පුළුවන්, පවත්වාගෙන යන්න පුළුවන් එකක්ද?
ඊට කලින් හිතන්න ඕන මේ අය මවාගෙන ඉන්න මේ අංගසම්පූර්ණ පර්ෆෙක්ට් බොඩි එක මේගොල්ලන්ගේ ඔලුවලට ආවේ කොහෙන්ද කියන එක
ඔය අයිඩියල් බොඩි ඉමේජ් එක කියන එක තරුණ/තරුණියන්ට මවලා දෙන්නේ මාධ්‍යය/චිත්‍රපට/සංගීත ක්ෂේත්‍ර වලින්. ඔතනදි ඔය බොඩි ඉමේජ් එක මාර්කට් කරන්න ගොඩක් වෙලාවට යොදාගන්නේ වෘතිය මට්ටමේ නිරූපිකාවන් හෝ නළුනිළියන්. ඒ අයගේ රැකියාවම තමා ඇඟ හදාගන්න එක. ඒ අයගේ ආදායම තීරණය වෙන්නේම ඒ අයගේ පෙනුම මත.
ඒ වගේ නළුනිළියන් නිරූපනනිරූපිකාවන් යොදලා නිර්මාණය කෙරෙනවා "සෙක්සි ලස්සන කෙල්ල" කියල ස්ටෑන්ඩර්ඩ් එකක්. කත්‍රිනාගේ වගේ සුදු හමයි, ප්ර්‍රිය්ංකාගේ ලෑල්ල වගේ බඩයි, කරීනාගේ වට්ටක්කා ගෙඩිය වගේ පස්සයි, බිපාෂාගේවගේ පියයුරු දෙකකුයි.. වගේ ලස්සන සෙක්සි කෙල්ලෙක්ට තියෙන්න ඕන අංගෝපාංග ටිකක් නිර්මාණය කරලා මාර්කට් කරනවා.
ඔය මාර්කට් එකෙන් ඉලක්ක කරන්නේම පිරිමින්ව. ලොකයේ සියයට අනූවකට වඩා වැඩි වෙළඳ දැන්වීම්, මියුසික් වීඩියෝ, චිත්‍රපට, නිර්මාණය කෙරෙන්නේ පිරිමි මනස ඉලක්ක කරගෙන.
ඒ අනුව මෙතනදි පිරිමියාට හදල දෙනවා පර්ෆෙක්ට් ඇඟක් තියෙන සර්වසම්පූර්ණ කෙල්ලක්. වෙන ලෝකෙකින් ගෙනත් තියලා වගේ.
ඔතනදි තමයි තරුණියෝ මේ ලණුව අරගෙන රස කර කර කන්න පටන් ගන්නෙ. මේගොල්ලන්ටත් ඕන වෙනවා අර "ලස්සන සෙක්සි කෙල්ල" වෙන්න. එහෙම වෙලා ඒ බොඩි එක හොයන පිරිමින් ඉස්සරහා තමාට වටිනාකමක් හදාගන්න.
නමුත් ගොඩක් අයට තේරෙන්නේ නෑ ඕක අමුම අමු මිත්‍යාවක් කියන එක. නළුනිළියන් නොවන සාමාන්‍ය තරුණියන්ට ඒ වගේ ඇඟවල් හදාගන්න බැහැ, සහ එහෙම කරන්න ඕනත් නැති බව.
ඔය නිසා තමයි දකින දකින තැන කෙල්ලෝ පුකවල් හිරවෙන්න ලෙගින්ස් ඇඳගෙන, ඇඟේ හැඩය ඉස්මතු වෙන්න ඇඳුම් ඇඳගෙන, කට්ට අව්වේ මේකප් දාගෙන, කෝච්චිය අල්ලන්න පවා හීල්ස් දාගෙන  දුවන්නේ..
මේ කියන්නේ ලස්සන ඇඟක් තියෙන එකවත්, ලස්සනට ඇඳලා පැළඳලා ඉන්න එකවත් නරකයි කියලවත් නෙමේ. නමුත් මනුස්සයෙක්ගේ වටිනාකම ඒ මනුස්සයාගේ බඩේ හැටියෙනුයි, තන්දෙකේ හැටියෙනුයි, පුකේ හැටියෙනුයි මනිනවා නම් ඒක සමාජයක් විදියට එච්චර හොඳ දෙයක් නෙමේ.
මනුස්සයෙක්ට රෝල් role model ලා හිටියට කමක් නෑ. නමුත් ඒ role model ලව තෝරලා බේරලා හරියට තෝරගන්න එක වැදගත්. තමාගේ role model විදියට ඉන්නේ ලස්සන 'ඇඟක්' තියෙන නිළියෙක් නම්, නළුවෙක් නම්.. එතන පොඩි අවුලක් තියෙනවා නේද?
එහෙම කියලා තරබාරු විරූපී ගෑණු වෙන එක කමක් නෑ කියනවා නෙමේ
ගෑණු වේවා පිරිමි වේවා තමාගේ කෑම පාලනය කරලා නිරෝගී විදියට ඉන්න එකයි සුදුසු.
හැබැයි එහෙම ඉන්න හැම කොල්ලාටම සික්ස් පැක් එකක්වත්, හැම කෙල්ලටම ලෑල්ල වගේ බඩකුත් තියන්න ඕන නම් නැහැ

උස් තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ

මම ඉතින් එදා ඉඳලම හැමෝමම එක්ක විහිලුවෙන් තහළුවෙන්, උදව් පදව් කරගෙන, අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව ඉන්න නිසා හැමෝම වගේ මට කැමතියි (සභාවේ සිනා). වැඩ කරන තැන වුනත් කොහෙදි වුනත් තැන හැමෝ එක්කම පුළුවන් තරම් සුහදව තමා ඉන්නෙ (සභාවේ තදින් සිනා).
හැබැයි අතේ දුරින් !
කෝමෙන් කෝම හරි මම ඔහොම වැඩ කරගෙන ඉද්දි ආවා අලුත් ලොකු බොසෙක් (මගේ බොසාගේ බොස්). බොසෙක් කිව්වට බොසෙක්ම නෙමේ බොසියක්.
ගෑණු අය එක්ක වැඩ කරන එක අමාරුයි කියල මගේ තියෙන පොලිටිකලි ඉන්කරෙක්ට් අදහස නිසා බොසිය එක්ක ටිකක් පරිස්සමින් වැඩ කරන්න හිතා ගත්තේ හිතලම නෙමේ, ඉබේමයි. (පොලිටිකලි ඉන්කරෙක්ට් කතාවක් තමා, ඒත් ඒක මගේ අත්දැකීම.. එනිසා ඒක එහෙමය කියලා හිතාගෙන වැඩකරන එක ඇඟට ගුණයි මට..)
කෝමෙන් කෝම හරි මාසයක් දෙකක් ගත වුනා.
මෙහෙම වැඩ කරගෙන කරගෙන ඉද්දි මෙන්න යකෝ එකදවසක් එකපාරම අලුත් බොසිය ඇවිත් මගෙ ඇඟට ගොඩවුනේ නැතෑ හෙණ ගහන්නා වගේ !
නෑ නෑ.. ඇඟට ගොඩ වුනා කිව්වට, එහෙම ගොඩවිල්ලක් නෙමේ.. මෙතන ඇඟට ගොඩ වුනා කිව්වේ බැණගෙන බැණගෙන බැණගෙන යන එකට
කොච්චර පොර ටෝක් දුන්නත් ඔක්කොම පොර ටෝක් වලට කෙළවෙලා කුඩු කේඩු වෙලා නන්නත්තාර වෙලා පොරත්වයේ හුලං යන්නේ වැඩ කරන තැන බොසා (බොසිය) ඉස්සරහ කියලා කතාවක් තියෙනවනෙ.. ඉතින් ඒ කතාව හොඳට දන්න මිසා මමත් ගාණක් නැතුව කියන දේ අහන් හිටියා දහයට ගනින්න දන්නෙ නැති පූස් පැටියා වගේ
නොකල වැරැද්දකට වුනත් බොසා (බොසී) බනිද්දි නිශ්ශබ්දව අහන් ඉන්න එකයි හොඳම ! (කතා කරන්න ගියොත් තවත් මලපනිනව. බැලන්ස් කරගන්න පුළුවන් නම් පස්සේ කරගන්න බැරියැ.)
බැණුම අස්සේ බොසිය රෙකෝර්ඩින් එක වගේ කියපු එක තමා
"මෙයා මට රෙස්පෙක්ට් කරන්නේ නෑ, මෙයා මට රෙස්පෙක්ට් කරන්නේ නෑ" කියන එක. (බැන්නා කිව්වට එතන වුනේ මගේ නරක ගතිය ගැන මගේ බොස්ට කීමක්)
අනේ ඉතින් පශ්චාත්භාගය ඉරාගෙන මම වැඩ කරන හැටි දන්න මගේ බොසා කිව්වේ "පරිස්සමින් වැඩ කරගෙන පලයන් මචන්" කියල.
ඔව්, ඌ මට මචන් කියල කියන්නේ. ඌ එල කොල්ලෙක් !
අනික, මම වැරැද්දක් කරල නැත්නම්, මගෙ වැඩ හොඳයි නම්.. පරිස්සම් වෙයන් කියනව ඇරෙන්න වෙන මොනව කියන්නද?
පස්සේ පස්සේ ආරංචි වුනා අලුත් බොසිය දෙතුන් දෙනෙක් ගෙන් අහල තියෙනවලු මම කොහොම කෙනෙක්ද කියල. මගේ වැඩ ගැන නෙමේ, "මම" ගැන. මගේ ඇටිටියුඩ් ද කියලා ඇහැව්වලු, දෙතුන් දෙනෙක්ගෙන්ම
මම එයාට රෙස්පෙක්ට් කරන්නේ නෑ... මගේ ඇටිටියුඩ්..
පැය ගාණක බර කල්පනාවක් කරලා මමතුමා තේරුම් ගත්තා මගේ අවුල. මමතුමා (නිකරුනේ) බැණුම් අහපු හේතුව.
හේතුව තමා මම වෙන උන් වගේ බොසිය එක්ක කතා කරද්දි දෙකට නැමෙන්නේ නැති එක. බයෙන් කතා කරන්නේ නැති එක. ගොත ගහන්නේ නැති එක.. කෙළින් කතාකරන එක..
ඉතින් ඒක වැරැද්දක් නේන්නම් !
බොසා ඉදිරියේ දෙකට නැමෙන එක අනිවාර්‍යක් නොවැ..
එදා ඉඳල මම බොසිය ගෙන් ඈත් වෙලා ෆුල් ඩිෆෙන්සිව් ගගහා ජාමේ බේරගෙන හිටියා පුළු පුළුවන් විදියට.
ඉතින් මේම මේම කාලය ගත වෙද්දි අපේ ඔෆීසියට ආවා අලුත් කොල්ලෙක්. මගෙම රෑන්ක් එකට. මූ කැනඩාවේ අවුරුදු ගාණක් ඉඳලා ආපු බුවෙක්. සිංහලත් බෑ බෑ වගේ (බෑ කියන්නේ ඇත්තටම බෑ.. බොරු බැරි බැරියාව නෙමේ).. කඩ්ඩේ ඇක්සොන්ට් එක සුද්දෙක්ම වගේ. කතා කරද්දි අහන්න ආසයි.
ඉතින් ඔෆීසියේ පොර මූ. හැමෝම මූට ආසයි මට වගේම (සභාවේ සිනා)
මමයි මූයි පළවෙනි දවසෙම සෙට් වුනා.. මොකද මූත් මම වගේම සිගරට් එකක් නිමෙද්දි තව එකක් පත්තු කරන ජාතියේ එකෙක් නිසා. මූ ආව දවසේ ඉඳලා හිස් වෙලා තිබ්බ සිගරට් පාට්නර් වේකන්සිය පිරුනේ මූ නිසා.
දැන් අර මට සද්දයක් දාපු බොසිය ඉන්නෙ. බොසියත් මූ එක්ක ෆිට්. ෆිට් කියන්නේ නිකම්ම නිකන් නෙමේ, බුදු ෆිට් !
නමුත් මූ බොසිය එක්ක කතා කරන්නේ මා එක්ක කතා කරන විදියටමයි. මා එක්ක කතා කරද්දියි, බොසිය එක්ක කතා කරද්දියි මුගේ භාෂාවෙවත් ඇක්සන්ට් එකේවත් බොඩි ලැන්ග්වේජ් එකේවත් කිසිම වෙනසක් නෑ.
බොසියටත් කිසිම ගාණක් නෑ වගේ. ඔව් ඔව් හත්තිලව්වේ අර මට බැණපු බොසියම තමා..
කියන්න අමතක වුනා, අපේ බොසිය එයා යටතේ ඉන්න අයට කොච්චර පාර්ට් එක දැම්මත් එයාට උඩින් ඉන්න ලොකුම ලොක්කෝ ආවාම දෙන දිවිල්ල බලන්න ලැජ්ජයි. අම්මපා !
මගේ බොසී ලොකු බොසාලට නැවෙන නිසා එයා හිතන් ඇති මමත් එයාට නැවෙයි කියලා.
හහ් මං අහුවෙයි ඕවට !

Monday, March 28, 2016

අහසේ දෙවියෝ නෑ.. මාළු පාං වල මාළු නෑ.. ටීවී එකේ බලන්න ටෙලිනාට්‍යය නෑ

බටහිර ටෙලි නාට්‍යය..
Breaking Bad,
Game of Thrones,

House of Cards,
කොච්චර හොඳ වුනත් අපෙන් සෑහෙන ඈතයි..
අපේ සිරි ලාංකික බොක්කට වදින්නේ නෑ
ඉංග්රීසි කතා හැමදාම බලල බලල එපා වෙලා. ආසාවට නෑනෙ බලන්න ලංකාවෙ හදපු ටෙලිනාට්‍යක්
එදිනෙදා දකින හමුවන ජීවිත දැනන විදියට හදාගන්න බැරි දැන් ඉන්න නිරාමාණකරුවන් ගැන දැනෙන්නේ කේන්තියකටත් වඩා දුකක්
ඒ වුනාට ඉන්ටර්විව් වලට ආවම නම් ඩිරෙක්ටර්ලා දෙන ටෝක්ස් තේරුම් ගන්න කලාව ගැන උපාධියක් තියෙන්න ඕනෑය කියල හිතෙනව..
වැඩ අරෙහෙම වුනාට කතාව ඒ තරම්ම බරපතලයි
අහසේ දෙවියෝ නෑ.. මාළු පාං වල මාළු නෑ.. ටීවී එකේ බලන්න ටෙලිනාට්‍යය නෑ..
ඒකට ඒකාලේ..!
ගියා යූ ටියුබ්; කෝකටත් තෛලය, කෝකටත් විසඳුම ඕකනෙ
"අසල් වැසියෝ"
බැලුවා එක දිගට.. හිනා වුනා හොඳට
දැනුනා බොක්කටම
ඊළඟට මොකක්ද..?
තුන් හතර පාරක්ම බැලුව නිසා දඬුබස්නාමානය ඕන නෑ
"අකාල සන්ධ්‍යයා"
බල තණ්හාවෙන් පිරුනු අතීතයකින් පැනලා යන්න පොර බදින නාගසිංහ ගේ කතාව?
ටීවී චැනල් දහයක් පහළවක් තියාගෙන නාට්‍යය බලන්න යූ ටියුබ් එන්න වෙලා
ඔන්න ඕකයි තත්වෙ..

Sunday, March 27, 2016

පණුවාටත් ඊරිසියයි මම

යාළු කරගෙන

ලස්සනම ලස්සන කෙල්ලෙක්ව
කැතම කැත කොල්ලෙක්

හොඳ ඇපල් කන්නෙම පණුවො !

අච්චර කැත පණුවා
යාළු කරගත්තා කෙල්ලව
පණුවෙක්ටත් කුඩා උඹව
ලස්සන කෙල්ලෙක්ට පෙනෙයිද?

බැරි වුනා උඹට
පණුවෙක්වත් තරම් වත් වෙන්නට

"ඵල ඇති රුකටමලු ගල් ගහන්නේ"

කතාව මතකද?

ගනිං මචන් ගල..
ගහපන් මචන් ගහට
හූල්ලපන් මචන් බලාගෙන

පණුවාටත් කරපන් මචන් ඊරිසියාව

Saturday, March 26, 2016

අද මහ සිකුරාදා

ලොව පුරා කතෝලිකයන් සිය ශාස්තෲවරයා වන ජේසුස්වහන්සේගේ කුරුසපත් වීම සමරණ දිනය. උන්වහන්සේ මනුෂ්‍ය සංහතියේ පාප උදෙසා සිය කැමැත්තෙන් වධ වේදනාවට ලක් වෙලා මරණයට පත් වුනාය කියන සිද්ධිය සමරණ දවස.
මනුෂ්‍යයාගේ නිර්මාපකයා කියන සියලු බලැති දෙවියන්වහන්සේට මනුෂ්‍යයාගේ පාප උදෙසා මිනිස් බිලි පූජාවක් නැතුව සමාව දෙන්න නොහැකි ඇයි කියන එක ලොව පුරා බිලියන 2.4ක් කතෝලිකයන්ගෙන් කීදෙනෙක්ට හිතෙනවද කියන එක හිතන්න වටින දෙයක්.
සානුකම්පාවෙන් අසීමිත දෙවිකෙනෙක්ට කල හැකි උතුම්ම ක්‍රියාව වන්දියක් රහිතව සමාව දීම නොවේද කියන එක මෙතනදි අහන්න පුළුවන් සාධාරණ ප්‍රශ්නයක්
සෑම ආගමක් වගේම බයිබලය මූලික කරගෙන නිර්මාණය වූ ඒබ්‍රහමික ආගම් නිසා ඒ ඒ කාල වල තිබ්බ සදාචාරාත්මක සම්මුතීන් ධනාත්මක ලෙස පරිනාමයට ලක් වුනා. 'ඒක දෙවි' (monotheism) සංකල්පය ඔස්සේ ගොඬනැගුන ඒබ්‍ර්හමික ආගම් වලට පෙර කාලයේ පැවතුන polytheism හෙවත් බහු දේවවාදී පේගන් ආගම් වල සම්ප්‍රදාය වුනේ ඔවුන් අදහන දෙවිවරුන් වෙනුවෙන් 'මිනිස්' බිලි පූජා ලබා දෙන එක. බයිබලයේ පැරණි ගිවිසුමේදී එය 'සතුන්' බිලි පූජා විදියට ලබා දෙන ආකාරයට වෙනස් වුනා.
මොනවා වුනත් ක්‍රිස්තියානි ආගම ගොඬනගන්න මොවුන්ට ඒ කාලයේ සදාචාරාත්මක වටිනාකම් අනුව උවමනා වුනා බිලි පූජා වලින් උතුම්ම බිලි පූජාව හෙවත් පරම කැපකිරීමක්(Ultimate sacrifice) වටා ක්‍රිස්තියානියේ(හෝ කතෝලික) පදනම ගොඬගන්න
ඒ අනුවයි මනුෂ්‍ය වේශයෙන් පැමිණි දෙවියන් මිනිසා වෙනුවෙන් 'බිලිපූජාවක්' විදියට පූජා වෙන සංකල්පය නිර්මාණය වෙන්නෙ
අපි වර්තමානය ගැන කතා කලොත් ඇත්ත කතාව තමයි, කතෝලිකයන් මේ සමරන්නේ මනුෂ්‍ය බිලි පූජාවක් බව.. ඔවුන් සමරන්නේ කෙනෙක්ගේ රුධිරය ගලා යෑමක් බව. ඇත්තටම මෙතනදි ඔවුන් ජේසුස් වෙනුවෙන් කණගාටු වුනාට ඇත්තටම ඔය රුධියෙන් පිරුනු මිනිස් බිලිපූජාව නැතුව ඔවුන්ට ආගමක් ඉතිරි වෙන්නේ නෑ.
මේ සංකල්පය වර්තමාන සදාචාරාත්මක රාමුවල් තුලට දාලා බැලුවම පෙනෙන්නේ අතිශය පිළිකුල් සහගත අමානුෂික සම්ප්‍රදායක්.
මනුෂ්‍යෙක්ගේ ලේ මතින් බිහි වුන සංකල්පයක්, බිලි පූජාවක් ලෙස මනුෂ්‍යයෙක් වධබන්ධනයට ලක් කොට මරණයට පත් කිරීමේ සිද්ධියක් උත්කර්ෂවත් කිරීමක්, ඒ මනුස්සයාගේ ලේ සංකේතාත්මකව පානය කිරීමක්..
මේ සියලූම වතාවත් 21වන ශතවර්ෂයට නොගැලපෙන කල් ඉකුත් වූ පේගන් සම්ප්‍රාදයන් ලෙසයි පෙනෙන්නෙ
නමුත් කතෝලික/ක්‍රිස්තියානි අනුගාමිකයන්ට ඔය කාරණා කිසිදා ප්‍රශ්නයක් වුනේ නෑ. වෙන්නෙත් නෑ.
හරියට වතිකානුව තුළ සිදුවී වතිකානුව විසින්ම සඟවා පසුව හෙළිවූ කුඩා දරුවන් ලිංගිකව අපයෝජනය කිරීම් වතිකානුව සමඟ ගනුදෙනු කිරීමේදී ඔවුන්ට ප්‍රශ්නයක් නොවනවා වගේ.
[ජේසුස් ගැන නිර්මාණය වුන චිත්‍ර්පට සියල්ල අතරින් අතිශය හිංසාකාරී චිත්‍රපටය වන Passion of the Christ චිත්‍රපටය කතෝලිකයන් තදින් වැළඳගෙන මිලියන ගණන් ආදායම් වාර්තා තැබීම පසුපස ඇති ලේ පිපාසිත මානසිකත්වත ගැන වෙනම අවධානය යොමු කිරීම වටිනවා]
ඔවුන්ගේ ඉල්ලුමට අනුව සැපයුම ලැබෙනවා නම්, එතනින් එහාට සදාචාරයක්, සාධාරණයක් කතෝලිකයන්ටවත්/ක්‍රිස්තියානින්ටවත් ඕන නෑ
අවශ්‍ය වන්නේ ඉල්ලුමට අනුව සැපයුම ලැබීම පමණයි

Wednesday, March 9, 2016

ගෑණි උයපු කෑම. අම්මා උයපු කෑම

කරුමෙකටද කොහෙද හම්බුන යාලුවෙක් ඉන්නවා. මූ යාලුවෙක් කිව්වට උගෙයි මගෙයි අතර තියෙන්නේ 'ඉට්ස් කම්ප්ලිකේටඩ්' මට්ටමේ යාලුකමක්.
මම ඌව ඇත්තට හම්බෙලා නෑ. දැකලා නැහැ. පෙනුම මොන වගේද කියලා දන්නේ නෑ. කොටින්ම උගේ නමවත් දන්නෙ නෑ.
මේක විසි එක්වන සියවසේ යාලුකමක්. අන්තර්ජාතික...නෙමේ.. අන්තර්ජාල යාලුකමක්.
කවදාවත් හම්බෙලා නැති, කවදාවත් හම්බවෙන්නෙත් නැති ඌ මගේ බොක්කක්. නිකම්ම නිකන් බොක්කක් නෙමෙයි බුදුම බුදු බොක්කක්.
හැමදාම උගෙයි මගෙයි කතාවල් (හෙවත් චැට්) ඉවර වෙන විදියේ පොඩි අවුලක් තිබ්බා. අවුල ඌට නෙමෙයි, මට.
අවුල තේරෙයි ඒ ඉවර වෙන විදිය කියෙව්වොත්,
මම - අඩෝ, මම කැපෙනවා එහෙනම්.
ඌ - එල මචෝ. පස්සෙ වෙලාවක චැටකට සෙට් වෙමු.
මම- අම්බානට බඩිගිනියි බන්, කෑවෙත් නෑ තාම. මම ගියා ඒනම්
ඌ - පල පල.. ගිහින් කාපන්.. ගෑණි උයපු කෑම
මම - ගෑණි නෙමේ යකෝ.. අම්මා.. අද මහ ගෙදර ඉන්නෙ
ඌ - කවුරු වුනත් එකයි යකෝ. කොච්චර පොර ටෝක් දුන්නත් කන්නේ ගෑණු උයන කෑම. ඇයි උඹට උඹ කන ඒවා උයාගන්න බැයිද?
මම - පල *ත්තෝ යන්න. මම කැපුනා. බඩිගිනියි
ඌ - එල. පස්සෙ සෙට් වෙමු.
ඔන්න ඔය වගේ දෙබසකිනුයි කතාබහ අහවර වෙන්නේ හැමදාම වගේ.
"ගෑණි උයපු කෑම. අම්මා උයපු කෑම"
අවාසනාවට ඌ කියන්නේ ඇත්ත කතාවක්. ඇයි මට මම කන කෑම උයාගෙන කන්න බැරි? අඩුම ගානේ නෝනා මහත්තයා එක්ක කෑම උයන වැඩේ බෙදාගෙනවත් කරන්න බැරි?
මොකද ගෙදර ජීවත් වෙන්නේ අපි දෙන්නම.. අනිත් වැඩ කරන්නේත් අපි දෙන්නම.. ඇයි උයන එක විතරක් දෙන්නගෙන් එක්කෙනෙක් කරන්නේ?
අර මූසලයා මගේ ඔලුවට දාපු කතාව දැන් මාස ගානක් තිස්සේ ඔලුවේ වැඩ..
කෝමෙන් කෝම හරි අද ආවා වයිපරේ වැඩ ඇරිලා ගෙදර.. කිසි දවසක තේකක්වත් හදලා නැති, හදන්න දන්නේත් නැති මම තීරණය කලා වයිපරෙත් එක්ක උයන්න, එකට.. දෙන්නම එකතු වෙලා..
පැයක් විතර ගියා. දෙන්නට කන්න ජාති හතරයි බතුයි.
අද අර මගේ කාලකණ්ණි (හො‍ඳම) යාලුවට පිං සිද්ධ වෙන්න තිබ්බා උයන්න පුරුදු වෙන එකේ පළවෙනි පියවර.
මටත් උයලා ඉවර වුනයින් පස්සේ දැනුනේ මාර සතුටක්.
අර ඇමරිකල් පිල්ම් වල පෙන්නන්නේ ජීවිතේ පලවෙනි පාරට ස්කයි ඩයිවින් කරලා පොළවට ලෑන්ඩ් කරපුවාම ඒ මිනිස්සු සතුටින් ඉපිළෙන හැටි..
අන්න ඒ වගේ සතුටක්.. ජීවිතේ පළවෙනි පාරට.. ගෙදරම තිබ්බ කුස්සියට ගිහින්.. මගේ ප්‍රියම්භිකාවියට උයන්න උදව් කල සතුට..
සතුට හොය හොය හතර අතේ දිව්වට ගෙදර කුස්සියෙත් තිබිලනේ යකෝ සතුට .
මෙච්චර කල් මම නොදැක්කට..
ඔව් ඉතින් දකින්න කුස්සිය පැත්ත පලාතෙ යන්න එපායැ.
මේ වගේ යාලුවෝ ආශ්‍රය කලාම වෙන්නේ මේ වගේ අනපේක්ෂිත දේවල් තමා. මේවා අපිට හොඳ පාඩම් !
ප/ලි - කුස්සියට ගොස් ප්‍රියම්භිකාවියට උයන්න උදව් වීම සහ ඊයේට යෙදුනු ලෝක කාන්තාදිනයද මොකක්ද අහවල් එක අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව සලකනු මැනවි.

Wednesday, March 2, 2016

වල් පල් | නිකමට ලියන මගේ බයිලා

නිකමට ලියන

ඉන්න බැරුවට ලියන

කම්මැලිකමට ලියන

වල් පල් 

සහ 

මගේ බයිලා

ආත්ම තෘප්තියට

හෙවත්

කහනවට ලියන