Monday, August 29, 2016

කෙටිම ආදර කතාව




"පැටියො මම ඔයාට මුළු ලෝකෙටම වඩා ආදරෙයි, හැම දේකටම වඩා... අපිව වෙන් කරන්න කාටවත් බෑ කෙල්ලෙ.. දැන් එහෙනම් පරිස්සමින් ගෙදර යන්න මගෙ පණ. ආ.. පොඩ්ඩක් ඉන්න. ඊළඟ දවසෙ හම්බෙන්න එද්දි මතක් කරල ඔයාගෙ කේන්දර කොපිය අරන් එන්න හරිද? අපේ අම්මගෙන් වදේ ඕක ගේන්න කියල ගැලපෙනවද කියල බලන්න. බායි කෙල්ලෙ.. අයි ලව් යූ"

ඔන්න ඔහොමයි වෙන්නෙ..

Thursday, August 25, 2016

මේ වචන වලින් ප්‍රවේසම් වන්න


".....ලේ, අධ්‍යාපනය, නිදහස, සිංහල, දෙමළ, දරුවා, හාමුදුරුවො, දේශය, මව්රට, රණවිරුවා...."


සමහර වචන අස්සේ හැංගිලා තියෙනවා අපි නොහිතන තරමේ 'බරක්'

ඔය වගේ වචන තමයි කපටින් යොදාගන්නේ සාමාන්‍යය මිනිස්සුන්ගේ චින්තනය පාලනය කරන්න.. හෘද සාක්ෂිය තමාට ඕන විදියට නටවන්න.

උදාහරණයක් ගමු.

"අද හවස දෙපිරිසක් අතර ඇති වූ පුද්ගලික ආරවුලක් නිසා පිහි ඇනුමකින් දෙදෙනෙක් මරුට"

ඔය තියෙන්නෙ නිවුස් එකක් ලියන්න පුළුවන් විදියක්. ඔය නිවුස් එකම විශේෂණ පද එක්ක මෙහෙම දැම්මොත් ඇත්ත පණිවිඩය වෙනුවට කොහොම පණිවිඩයක් යාවිද?

ආයෙම බලන්න

"අද හවස දෙමළ සහ සිංහල දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී දෙමළ පිරිස විසින් සිංහලයන් දෙදෙනෙකුව තියුණු අවි වලින් කපා කොටා ඝාතනය කොට ඒ මළ සිරුරු බිම දිගේ ඇදන් ගොස් අසළ තිබූ ගඟකට විසිකර ඇත"

වචන කිහිපයක් එකතු කල පමණින් පුද්ගලික ආරවුලක් නිසා හටගත් ගැටුම සමාජය තුළ වෙනම තලයකට ගෙනියන්න පුළුවන්.

කලින් ප්‍රවෘතිය වුනත් අර මම කලින් කිව්ව විශේෂණ පද දාලා වාර්තා කරන්නාට අවශ්‍ය විදියේ චින්තනයක් කියවන්නාගේ මනස තුළ නිර්මාණය කරනවා. වාර්තා කරන්නාට අවශ්‍ය විදියේ මානසිකත්වයක් කියවන්නාගේ මනස තුළ ඇති කරනවා.

"අපි පෙනී ඉන්නේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්"

වගේ සටන් පාඨයක් ලේසියෙන් පැහැදිළි තර්කයෙන් වුනත් බිඳ දාන්න අමාරු ඒ නිසයි.

ඔය වැනි වචන අස්සේ මුල් බැසගෙන තියෙන සංකල්ප කියන්නේ පාලකයන්ට ජනතාවගේ මනස පාලනය කරන්න තියෙන tools විදියට ගන්න පුළුවන්.

ඒ වචන වලින්, සංකල්ප වලින් පරිස්සම් වෙන්න ඕන ඒකයි..

මොනව වුනත් අදාල දේටයි අදාල නැති දේටයි "මේක සිංහලබෞද්ධ රට යකෝ".. "නිදහස් අධ්‍යාපනය වෙනුවන් මැරෙනව යකෝ".. "'අත දරුවෙක්ට' 'සාහසික' ලෙස පහර දීලා යකෝ".. "හාමුදුරු කෙනෙක්ට ගරු කරන්න ඉගෙන ගනින්".. "මොනව වුනත් 'සිවුර'ට ගරු කරපිය".. "රණවිරුවන්ව කුණු අදින්න දාලා"

වගේ කතා ඇහෙද්දිම.. කියවද්දිම.. අර බර වචන ටික අයින් කරලා දෙකෙන් තුනෙන් හතරෙන් බෙදලා.. පෙරලා ප්‍රවෘතියේ නියම පණිවිඩය ගන්න නම් ටිකක් බුද්ධිමත් වෙන්න ඕන, වගේම ඒ වැඩේ කරන්න ටිකක් අමාරුයි.

යමක් කියවද්දි තමාට මුලින්ම එන හැඟීම පාලනය කරන්න යොදාගන්න කපටින් පාවිච්චි කරන මේ වගේ උගුල් වලට අහු වෙන්න එපා.

නැත්තන් වෙන්නෙ "පළමුවත් 'මව් බිම'.. දෙවනුවත් 'මව් බිම'.. තෙවනුවත් 'මව් බිම'".. වගේ හිස් වචන කියන කපටින්ට "කලගුණ" සලක සලක ඉන්නයි.

ලේ...!

Monday, August 22, 2016

සිංහලබෞද්ධයාගේ හෙළුව



උපතින් කවුරුත් බ්‍රහ්මයෙක්වත් වසලයෙක්වත් වෙන්නේ නෑ, උපතින් කවුරුත් උසස්වත් පහත්වත් වෙන්නෙ නෑ, කෙනෙක්ගෙ ක්‍රියාවෙනුයි ඒක තීරණය වෙන්නෙ කියලා බුදුහාමුදුරුවො ඉගැන්නුවලු.

ඒත් බුදුන්ටත් වඩා බෞද්ධ ලංකාවෙ සමහර සිංහලබෞද්ධයෝ හිතාගෙන ඉන්නෙ ඒගොල්ලන්ට උපතින් හම්බුන සිංහලකමයි බෞද්ධකමයි නිසාම ඒ අයට රටේ වෙන ජාතීන් ආගම් වල මිනිස්සුන්ට වඩා උසස් තැනක්, විශේෂ වරප්‍රසාද හම්බෙනව කියල

ඒ අතින් මේගොල්ලො වැඩියෙන් සමාන වෙන්නෙ සුදුඅධිපතිවාදීන්ට (White Suprimict) මිසක බුදුන්ගේ අනුගාමිකයන්ට නෙමේ

මේ සිංහල බෞද්ධ 'ස්ටේටස්' එක සමාජයෙනුයි සංස්කෘතිය්නුයි ඉබේම උරුම වෙනව මිසක කවුරුත් ඒක මහන්සි වෙලා ලබා ගන්න දෙයක් නෙමේ.
ඒක අහම්බයක් මිසක මහන්සි වෙලා ලබා ගන්නා තත්වයක් නෙමේ.
මේ නිකන් හම්වෙන ස්ටේටස් එකෙන් මේගොල්ලෝ උරුම කරගන්නවා තමා වැදගත්ය කියන හැඟීමක් (sense of importance)

තමා ඉන්නේ තමාගේ රටේය..වැඩි අයිතිය මටය, මේ ඉන්නේ තමාගේ බිමේය..වැඩි අයිතිය මටය, මේ බිමේ අයිතිකාරයෝ තමාගේ පරපුරය.. වැඩි අයිතිය මටය

මේකයි ඔවුන්ගේ මානසිකත්වය

මේ අය මේකට ඇබ්බැහි වෙන්නේ මත්ලෝලියෙක් මත්කුඩු වලට ඇබ්බැහි වෙනව වගේ. මේ නිකන් ලැබෙන ආතල් එක තමාගේ අනන්‍යතාවයේම කොටසක් කරගන්නව ඒක නැතුව පොළවෙ පය ගහල ජීවත් වෙන්න බෑ වගේ.

මේ වැදගත්කම නැතුව යනවා කියන එක හරි මේ වැදගත්කම වෙන කෙනෙක්ටත් ලැබෙනවා කියන එක හරි මේ මීනිස්සුන්ව වෙව්ළලා, දාඩිය දාලා, කලන්තේ දාලා වැටෙනව වගේ දෙයක්

හන්දියේ කඩේ තම්බියායි, තමාගේ ගෙදරට යන පාරේ පදිංචි වෙලා ඉන්න දෙමළයි, තමාගේ ගේ ඉස්සරහින් ඉරිදට පල්ලි යන කතෝලිකයොයි... තමාට 'සමානයෝය' කියලා හිතන එකත් මේ අයට ලොකු අවුලක්, තර්ජනයක්, වින්නැහියක් !

සිංහල බෞද්ධයා සහ ඒ ලේබලය රහිත අය එක සමාන ලෝකයක උදේට නැගිටලා තමාගේ දින චරියාවේ යෙදෙන එක ගැන මේ අයට හිතන්නවත් බැ.

ඒ විතරක් නෙමේ, තමාගේ අණසකට යටත් නොවිය යුතු ගැහැණියක්, තමාගෙ පදයට නටන්නේ නැති බිරිඳක්, තමා දැක්කාම ඇඹරිලා බිම බලාගන්නෙ නැති කෙල්ලෙක්, තමාට අභියෝගයක් කරන්න පුළුවන් පෞරෂයක් තියෙන ස්‍තියක් කියන මේ ඔක්කෝම මේ "සිංහල බෞද්ධ පිරිමියා" තුළ තියෙන භීතිකා..

ඒ නිසයි සිංහල බෞද්ධ 'දෙයක්ය' කියන ලේබලය ඇලවුන ඕනම දෙයකට එල්ල වෙන මතවාදීමය අභියෝගයක් හරි, සිංහල බෞද්ධ කියලා කියවෙන ඕනම දෙයක පැවැත්මට එල්ල වෙන තර්ජයක් හරි, සිංහල බෞද්ධ කියලා කියන දෙයක 'වෙනසක් ගැන' කියවෙන යෝජනාවක් හරි ඉස්සරහා මොවුන් කඩු කිණිසි අතට අරගෙන මර ලතෝනි දෙන්න පෙළඹෙන්නෙ.

මොකද ඒ ඔක්කොම "තමාගෙ", "තමාට" කෙළවන්න එන, "තමාගේ" වැදගත් කියන හැඟීමට (sense of importance)එකට කෙළවන්න එන දේවල් විදියට පේන නිසා

මෙහෙම එන යෝජනා, වෙනස්කම්, අභියොග තර්කානුකූල කාලීන දේවල් වුනත් ඔවුන් ඒවා එක හෙළා ප්‍රතික්ශේප කාරනව, මොකද.. ඔවුන්ට අනුව එතන සිද්ධ වෙන්නේ සිංහල බෞද්ධ කියන පැකේජයටම කෙරෙන අභියෝගයක් නිසා, හෙවත් තමන්ට කරන අභියෝගයක් නිසා

උදාහරණයක් ගමු

ඔය "සිංහල බෞද්ධ පිරිමියෙක්" ඉඩමක් මිලදී ගන්න ගියාම ඔහු කීයටවත් මුල් තැන දෙයිද හැමවෙලේම ලවුඩ්ස්පීකරෙන් බණ, පිරිත් දාන පන්සලක එහා පැත්තේ ඉඩමක් මිලදි ගන්න?

වෙන ඉඩමක් ගන්න හැකියව තියෙද්දි කණ පැලෙන්න ලවුඩ්ස්පීකර් දාන පන්සලක අල්ලපු වැටේ ඉඩමක් සල්ලිදීලා ගනියිද?

පොඩි එකාගෙ විභාගෙ? අසනීප වුන වයසක අම්මගේ විවේකය? මහන්සි වෙලා ඇවිත් පොඩ්ඩක් උදේ වෙනකල් නිවාඩු දවසේ නිදාගන්න තියන උවමනාව?

මේ ඔක්කෝම හැම මනුස්සයෙක්ටම මගේ මෙයාටත් තියෙනව

ඒ නිසා කරන්නේ වෙන තැනකින් ඉඩමක් අරගෙන ඒ ඉඩමේ ඉඳන් පන්සලේ ලවුඩ්ස්පීකරේ දාන එකට සහය දිදී කඩුව අතට ගන්න එක !

අන්න ඒකයි සිංහල බෞද්ධ පිරිමියාගේ මතවාදී නපුංසක කම

අන්න ඒ නිසයි ඒ වගේ අය එක්ක කවදාවත් අවංක සංවාදයක යෙදෙන්න බැරි

ඒ අයගේ උවමනාව මනුස්සයෝ විදිහට එකිනෙකාට සහයෝගයෙන් අන්‍යන්ගේ අවශ්‍යතා තේරුම් අරගෙන එකිනෙකාගේ සුභසිද්ධියට නිදහසට අයිතීන්ට ගරුකරන සමාජයක් බිහි කරම එකවත් ඒ වෙනුවෙන් කටයුතු කරන එක නෙමේ

තමාගේව අනිත් ජාතීන් ඉස්සරහ පොරක් බවට පත් කරන තමාගේ ප්‍රියතම අධිපතිමතවාදය වෙනුවෙන් පෙනී ඉන්න එක, ඒක ආරක්ෂා කරන එක, ඒ වෙනුවෙන් කඩුකිණිසි හරි අතට ගන්න එක

මේ පිස්සු ඉහට ගහපු අය 'කොහේවත් යන' දෙමළෙක්, තම්බියෙක්, ගෑණියෙක්, මානව අයිතිවාසකමක්, නිදහසක් වෙනුවෙන් තමාගේ 'පොර' ආතල් එක නැති කරගන්න කවදාවත් කැමති වෙන්නේ නෑ

ටික දවසකට කලින් සමලිංගික්ත්වය ගැන සංවාදයකදි මගේ මිත්‍රයෙක් කියපු උපහාසාත්මක කතාවක් මේ..

ප්‍රශ්නය - ලංකාවේ සමලිංගික විවාහ නිතීගත කලාම සිංහල බෞද්ධයාට නැතුව යන්නේ මොකක්ද?

පිළිතුර - ආතල් එක යකෝ ආතල් එක !

ඕක තමා සිංහලබෞද්ධ(තනිවචනයකි) මානසිකත්වයකින් පෙළෙන අය ඉන්න තත්වයේ සාරාංශය

ඕක තමා සිංහලබෞද්ධයාගේ හෙළුව
මතවාදී නපුංසකකම
ආතල් එක
සහ
මාන්නය

ඔවුන් දකින ලෝකයේ තියෙන සිංහලබෞද්ධ නොවන සියලූම දේ ඔන්න ඔය මාන්නයට යටයි

ඒකයි ඔවුන් සමඟ කවදාවත් සාර්ථක අවංක සංවාදයක යෙදෙන්නවත්, ඔවුන් සම‍ඟ අත්වැල් බැඳගෙන යහපත් සමාජයක්වත් ගොඬනගන්න බැරි..


ප/ලි - ඉහත සටහනේ සිංහලබෞද්ධයා යනුවෙන් සියලුම සිංහල බෞද්ධයන් ගැන අදහස් නොකරන බවත් සිංහලබෞද්ධ(තනිවචනයකි) යනුවෙන් සයිබරයේ පොදුවේ භාවිතා වන කුලකයක් පමණක් අදහස් කරන බවත් සලකන්න.

කතරගම යද්දි කට වරද්දගන්න එපා !

කතරගම වන්දනාවේ යමින් හිටි බස් එකක් ත්‍රීවීල් එකක ගැටිල මාරක රිය අනතුරක් වුනාය කියල නිවුස් වල දැක්කා.

ඒ එක්කම මට මතක් වුනේ මම කතරගම ගිය අන්තිම වතාවෙ ඔය වගේම අනතුරක් ගැන මගේ නැන්දා කියපු දෙයක්

"කතරගම යද්දි කට වරද්ද ගන්න හොඳ නෑ.. අනිවාර්‍යෙන් ඔය කට්ටිය කට වරද්දගන්න ඇති ඔහොම දෙයක් වෙන්න"

මට ඒ කතාව ඇහුනම මතක් වුනේ ඔය කාරණාව ගැන උපුල් ශාන්ත සන්නස්ගල කිව්ව කතාවක්. මට මතක විදියට මෙන්න මෙහෙම දෙයක් ඔහු කිව්වේ..

"කඳුකර පලාතක බස් එකක මිනිස්සු පිරිසක් වන්දනා ගමනක යනව කියල හිතන්න. එකපාරම නොහිතූ විදියට බස් එක අනතුරකට ලක් වෙලා බස් එක පෙරලෙනවා හෙලකට.. දැන් මෙහෙම පෙරලෙද්දි බස් එකේ මිනිස්සු පොඩි වෙලා, චප්ප වෙලා මැරෙනවා කියල හිතන්න. ඔය අතරේ බස් එකේ හිටිය පොඩි ළමයෙක් ජනේලයකින් එළියට විසිවෙලා පඳුරක හිර වෙනවා. ඒ නිසා ඒ ළමයාගේ ජීවිතය බේරගන්න ලැබෙනවා. ඔය සිද්ධිය ගැන අහන අය කියයි කට වරද්ද ගත්ත හින්දයි ඔය අනතුර වුනේ.. ළමයාගේ පිනට ළමයා බේරුනාය කියල...."

".. දැන් ආයෙම හිතන්න ඔය පලාතටම යනව කියල ජම්බෝල පිරිච්ච ලොරියක්. ඒ ලොරියත් කලින් බස් එක වගේම අනතුරට ලක් වෙලා අර හෙලින්ම පෙරලෙනව. දැන් මෙහෙම පෙරලෙද්දි ලොරියෙ තිබ්බ ජම්බෝල ගෙඩි ටික පොඩි වෙලා, චප්ප වෙලා විනාශ වෙලා යනව කියල හිතන්න. ඒත් මේ පාර ළමයෙක් වෙනුවට ජම්බෝල ගෙඩියක් ජනේලයෙන් එළියට විසිවෙලා පඳුරක හිරවෙනවා කියල හිතන්න..

දැන් ඒ අනිත් ජම්බෝල ගෙඩි විනාස වුනේ ඒවා වන්දනා ගමන යන අතරතුර කට වරද්ද ගත්ත නිසාද. අනිත් ජම්බෝල ගෙඩිය බේරුනේ ඒ ජම්බෝල ගෙඩියෙ පින නිසාද?"

ඔන්න ඕකයි කතාව

Saturday, August 20, 2016

තරිඳු මල්ලිගේ කථාව

“අ…..අ… අයියේ.. ව.. වතු.. වතුර.. ටික.ක් බො..මුද?”
හැතැම්ම දෙකක් පමණ බයිසිකලය පදිමින් මා හමුවීමටම පැමිණි තරිදු මල්ලි සිය කටහඬ අවදි කලේ එලෙසය.
කුඩා වියේදි කෙළිලොල් දඩබ්බරයෙකු වූ ඔහුගෙන් අද දිස්වන්නේ බයාදු අවිශ්වාසසහගත පෙනුමකි. ඔහු විටින් විට කතා කරන විට ගොත ගසයි.
.
.
.
මා හා සැළකිය යුතු වයස් පරතරයක් ඇති තරිඳු මල්ලි, මගේ පියාගේ පැත්තෙන් නෑදෑයකු විය. කුඩා කල නෑදෑ කොල්ලෝ කුරුට්ටන්ගෙන් මුරණ්ඩුම දරුවා වූයේ ඔහුය. අප අතරින් වැඩිහිටියන්ට වැඩියෙන්ම කරදරයක් වූයේද ඔහුය.
විටෙක ඔහු ජනේලයක වීදුරුවක් බිදියි, තවත් විටක ආය කටුවක් නවා එයට සබන් කැබැල්ලක් රදවා ඇලෙන් මාළුන් අල්ලයි, තව විටෙක පොඩි එකෙකු සමඟ පොර බඳියි. ඔහු ගැන නිතරම කුමක් හෝ පැමිණිල්ලකි.
“මූ නං යකෙක්.. ඇට්ටරයෙක්”
සියලු වැඩිහිටියන් තරිඳු මල්ලිව හැඳින්වූයේ එලෙසින්ය.
මේ දැඟලිල්ල නිසාම ඔහුව යහපත් කීකරු දරුවෙකු කිරීම උදෙසා, තරිඳු මල්ලිව අසාමාන්‍යය ලෙස සිර කොට, නීති දමා, නිරතුරුව තම ඇස් මට්ටමේ තබා ගැනීමට ඔහුගේ දෙමාපියෝ කටයුතු කළහ. ඔහුගේ පියා විසින් පනවන මේ අසාමාන්‍යය නීති අනෙකුත් වැඩිහිටියන්ගේ විවේචනයටද ලක් වූයේ වරක් දෙවරක් නොවේ.
වෙලාවට නැගිටීම, නින්දට යාම මෙන්ම වෙලාවට පාඩම් කිරීමද ඔහුට අනිවාර්‍ය කෙරුනු දෙවල් විය. සෙල්ලම් කිරීමට ඉඩ ලැබුනේ ඉතාම සීමා සහිත කාලයක් පමණි.
බැතිමත් කතොලිකයන් වූ ඔහුගේ මාපියන් ඉරිදාට පල්ලි යාම, දිනපතා යච්නා කිරීම අනිවාර්‍ය කොට තිබුනි.
කෙසේ හෝ, වයසින් වැඩෙත්ම අප එකිනෙකාට වෙන් වන්නට සිදු විය. සියල්ලන්ගෙන් ඈත් වූ මට තරිඳු මල්ලි ගැන ඉඳ හිට හෝ අහන්න ලැබුනේ මගේ අම්මාගෙනි.
“දැන් තරිඳු හරිම හොඳයිලු. පල්ලියෙමලු.. උඹලව තමා බලෙන්වත් පල්ලියකට යවා ගන්න බැරි. අච්චර දඟලපු ළමයා දැන් ශාන්තුවරයෙක් වගේ නිමිලලු. උඹල ඒ ළමය දිහාවත් බලල හැදියන්”
මම පල්ලි නොයන හැම අවස්ථාවකම, ආගමික කටයුත්තක් මඟ හරිනා හැම අවස්ථාවකම අම්මාගෙන් බැණුම් පිට බැණුම් අසන්න වූයේ තරිඳු මල්ලිගේ හොඳ සමඟ මගේ නරක සැසඳීමෙනි. කාලයක් තිස්සේ නොදුටු තරිඳු මල්ලි ගැන අම්මාගෙන් අහපු බැණුම් නිසාම තරහක් ඇති වු අවස්ථා නැතුවා නොවේ.
වසර ගණනක් එකිනෙකාගෙන් වෙන් වී සිටි මට, තරිඳු මල්ලි මීට මාස කීපයකට පමණ පෙර නෑදෑ කෙනෙකුගේ අවමඟුලකදී හමුවූයේ අහම්බෙනි.
වෙනදාට එක තැනක ඉඳගෙන ඉන්න බැරි තරිඳු මල්ලි මුළු ගැන්වී, කාගේවත් මූණවත් බලා කතා නොකරන යටහත් පහත් චරිතයක් බවට පත් වි තිබීම අප සැම පුදුමයට පත් කරනු ලැබීය.
“ඉතින් මල්ලි, කොහොමද?”
“ඉ..ඉ..ඉන්.. ඉන්නව.. අ..අයියෙ”
පෙර මෙන් නොව, තරිඳු මල්ලි දැන් කතා කරන විට ගොත ගසන බව අම්මා මට කියා තිබ්බද ඔහුත් සමඟ කතා කරන තුරු ඒ ගැන මගේ මතකයේ තිබුනේ නැත.
ඔහු කතා කලේ ඉතාම අපහසුවෙනි, වචන එළියට නොඑන අවස්ථාවලදි ඔහු ඇස් පියා ගනිමින් කථා කිරීමට උත්සාහ ගත්තේය.
“මල්ලි දැන් පල්ලියේමලු නේද?”
“නෑ.. නෑ අයියෙ.. ඉස්ස්ස්සර ගි..යා. දැන් වැඩිය යන්නෙ නෑ..”
“කවුද ෆාදර් කෙනෙක් එක්ක ෆිට් එකේ හිටියලු නේද?
“ආ..පෝ.. මිමිනිහ… අඅ..න්තිමට මමල වදයක් වුනා”
“ඒ මොකෝ”
“නීති… දා…න්න ආවා අයියේ. ඕ..න එකටයි එ…පා එකටයි ඔක්කෝටම. දැන් මං පල්ලි යන්නේ නෑ”
“එහෙමද?”
“අයියේ, මං පොඩි දෙයක් අහන්නද? ඔයා ආගම ගැන දන්නවනෙ”
“ගොඩක් දන්නෑ මල්ලි, ටිකක් දන්නවා”
“අයියේ මට නින්ද යන්නෙ නෑ අයියෙ. බයයි.
‘මට දැන් කෙල්ලො ගැන එක එක ඒවා හිතෙනවා අයියෙ”
නව යොවුන් වියේ මුවවිට ආදරය පහුරු ගාමින් සිටින මේ ගැටයා තම දැඩි ආගමික විශ්වාසයන් සහ හිත කිති කවන ආදර හැඟුමන් සමඟ අරගලයක යෙදී සිටියි.
“බයිබලයේ තියෙනවනෙ කෙල්ලෙක් දිහා නරක විදියට බැලුවත් එකයි, එයා එක්ක නිදා ගත්තත් එකයි කියල. ඉතින් මම ටීවී බලන්නෙත් නෑ ඒනිසා. කොහේවත් යන්නෙත් නෑ. කොටට ඇන්ද කෙල්ලො දකිද්දි මට කේන්තියි”
“මට බයයි අයියේ… මට එහෙම දේවල් හිතුන නිසා මං අපායේ යයි කියල”
මේ නව යොවුන් ගැටයා තමන්ගේ අත්දැකීම විස්තර කරනා විට ඔහුගේ අතැඟිලි මිටි ගැන්වේ, ඇස් විශාල වේ.
එදා දඩබ්බර ඇට්ටරයා මේ තරම් බියසුලු ගොත පුද්ගලයෙකු බවට පත් වූයේ ඇයි?
“අනේ අයියෙ. මට නින්ද යන්නේ නෑ.
මම ආසයි මැරුනයින් පස්සෙ මුකුත් නැත්තන්. ඇයි, අපි අතින් වැරදි වෙලා බැරිවෙලා හරි අපායට ගියොත්,, සදාකාලයටම පිච්චි පිච්චි.. දුක් විඳින්න වෙනවා. අයියේ.. සදාකාලයටම”
මා දැන සිටි දඟකාර ගැටයා වෙනුවට දැන් සිටින්නේ බයාදු, ගොතගසන, පෞරෂ හීනභාවයෙන් පෙළෙන තරුණයෙකි
"මල්ලි වෙලාවක එන්න අපි කතා කරමු”
ඔහුට හැකි විදියකින් මට පුළුවන් උපරිමයෙන් උදව්වක් ඇත්නම් කිරීමට ඒ මොහොතේ ඉටා ගත්තෙමි
.
.
.
.
“ආ අයියේ කෝප්පේ” තරිදු මගේ දැහැන බිඳියි
“මල්ලි, මොකෝ තත්ත්වේ? මොකද හිතන්නේ මම කිව්ව බයිබල් පාඨ ගැන?”
“ඔ..ඔව් අයියේ.. හිතුවා ගොඩක් හිතුවා”
“මට එ..එදා ඉඳල ඔලුවට මා..ර නිදහසක් දැනුනේ. ඒකයි මම අදත් ආවේ පොඩ්ඩක් කතා කරන්න. මට නින්දත් ගියා”
මා නිසා ඔහුට දැනුන වෙනස ගැන ගොත ගසමින් හෝ ඔහු දිළිසෙන දෙනෙත් වලින් සිනහමුසු මුහුණුන් කියන අයුරු දුටු මට එතරම් සතුටක් දැනුන දවසක් මතක් කල නොහැකිය.
“බය වෙන්න එපා මල්ලි. ඕව ඔක්කෝම එක එක අරමුණු නිසා මිනිස්සු ගොතපු කතා. අනික, මම කිව්ව වගේ හැම ආගමකම ඔය අපාය ගැන උගන්නනවා. එහෙම බය වෙන්න ගියොත් අපිට හැම ආගමකම අපාය ගැන බය වෙන්න ඕනනෙ”
ඔහුට අවශ්‍ය වූයේ ඔහු තැතිගැත්මට පත් කල, ඔහුගේ නින්ද අහිමි කල, කොටින්ම ඔහුව සාමාන්‍යය ජීවිතයෙන් නැති කල “අපාය” ගොතන ලද මිත්‍යාවක් බව නැවත නැවතත් තහවුරු කර ගැනීමටය.
හමුවීම් කීපයක් තුල ඔහුට විද්‍යාවෙන් ගත් උදාහරණ ඇසුරෙන් ආගමික මිථ්‍යාවන් ගැන හැකිතරම් පහදා දී අපාය පිළිබඳ බය කෙමින් කෙමින් අඩු කරන්නට මට හැකි වුනි.
.
.
.
.
“අයියේ මම ගිහින් එන්නද?”
සිනාමුසු මුහුණ, නිදහස ලැබූ පරවියෙක්ගේ සතුට
“හරි මල්ලි”
“අහසේ දෙවියෝ නෑ. මතකනෙ?" මේ දිනවල තරුණයන් අතර ජනප්‍රිය වදන් කිහිපය මා විහිලුවෙන් මෙන් ඔහුට පැවසුවෙමි.
ඔහු සිනාසෙයි
“ඇයි? දෙවියෝ නෑ කියලා හිතන්න බයද?”
“ද..දන්නවා.. අ..යියේ.. ඇත්ත .. මොක..ක්ද කියල.. ඒ..ත්.. ඒක.. කියන්..න්න.. බ්බ්බ්..බ්..බ..ය..යි….තා..ම”
දෙවියන් ගැන විශ්වාසය නැති වුවද තවමත් ඔහු දෙවියන්ට එරෙහි යමක් පැවසීමට පවා බියක් දක්වයි
තරිදු වැඩියෙන්ම ගොත ගසන්නේ දෙවියන් නැතැයි කියා සිතන විටය.
බයිබලයට අනුව ශුද්ධාත්මයානන් වහන්සේගේ පැවැත්ම ප්‍රතික්ෂේප කිරීම කිසිදා සමාව නොලැබෙන පාපයයි.
අහසේ දෙවියෝ නැති ලෝකයක ජීවත් වූවා නම් අද තරිඳු මල්ලි කුමන විදියේ තරුණයෙක් වන්නට තිබුනාද? කුඩා ළමයින්ට අපාය ගැන කියා බිය වැද්දීම කොතරම් අනුවණකමක් දැයි මට සිහිවෙන්නේ තරිඳු මල්ලි නිසාය.

Friday, August 12, 2016

අප්සරා



ඔහු ඉදිරියේ වූ පෙප්සි වීදුරුවෙන් බාගයක්වත් ඔහු අවසන් කර තිබුනේ නැත.

"බොන්නෙ නැද්ද?"

මා ඇසුවේ ඔහුට පෙප්සි පොවන්නට තිබුන උවමනාවකට නොවන බව දත්තේ මම පමණකැයි නොසිතමි. මා ඉදිරියේ හිඳගෙන සිටිනා ආගන්තුකයා හා සමඟ කෙසේ හෝ කතාබහක් ආරම්භ කල යුතුව ඇත. ඒ වගකීම තිබුනේ මා මතය. මන්ද මේ හමුවීම, නාඳුනන තරුණයන් දෙදෙනෙකු වන අපගේ හමුවීම මගේ ආරාධනයෙන් සිදුවූවක් බැවිනි.

මම අමාරුවෙන් වචන ගලපමින් යමක් කියන්නට උත්සාහ කලෙමි. නමුත් මගේ ඔලුව කිසිදා නොදැනුන බරකින් වසාගෙන තිබුනි. ගලපාගත යුතුය, වචනයක්.. කුමක් හෝ... වචනයක්.

මට ඇසීමට දාහක් දේ තිබෙන බව හැඟුනද යමක් කල්පනා කරගත නොහැක්කා සේය.

"උඹ කවද්ද අප්සරා එක්ක මේ සම්බන්දෙ පටන් ගත්තෙ?"

තවමත් බාගයකට වඩා පිරී තිබුන පෙප්සි වීදුරුවෙන් උගුරක් ඔහු පානය කලේය.

පෙප්සි? අප්සරා ආස ස්ප්‍රයිට් වලට.. අපි දෙන්නා හැමදාම බිව්වේ ස්ප්‍රයිට්.. ඒ අප්සරා ආස නිසා

මම මටම කියා ගත්තෙමි,

"උඹ දන්නවනෙ කතාව දැනටමත්. අප්සරා මට කිව්ව උඹට හැමදේම කිව්වයි කියල. උඹ එක්ක සම්බන්ධෙ නවත්තන්න සති දෙක තුනකට කලින් තමයි මම අප්සරාගෙන් යාලු වෙන්න ඇහැව්වෙ"

මේ අවලමාට ගාණක් නැතුව කියාගෙන කියාගෙන යන හැටි. මගෙ අප්සරාව.. මගේම අප්සරාව මගෙන් උදුරගෙන..!

මා සිතේ තිබුන දුක, කෝපයකින් සහ වෛරයකින් වැසී යයි. මොහු මේ ප්‍රශ්නය සැහැල්ලුවට ගෙන ඇත්තා සේ අප්සරාවද සැහැල්ලුවට ගෙන විය යුතුය. පර බල්ලා! අප්සරාට මා කලාක් මෙන් කිසිවෙකුත් කෙදිනකවත් ආදරේ නොකරනු ඇත. අප්සරා එය නොදන්නවා වුනාට එය මට සහතිකය.

අප්සරා මගේ.. ඒකි මගේම විතරයි

කෝපය ඉවසාගෙන ආපු කාරණාවට බැස්සෙමි. මේවෙලෙ කලබල වීම නුවණට හුරු නැත. අප්සරාගේ කැමැත්ත මා වෙත නැවත ලබා ගත් පසු මූ ගැන මට බලාගත ඇහැකිය.

"මං උඹට කෙළින්ම කියන්නම්. මම අද උඹට එන්න කිව්වෙ මේකෙ දෙකෙන් එකක් බේරගන්න. කොටින්ම දෙකෙන් එකක් නෑ. තියෙන්නෙ එකයි. අප්සරා මගෙ කෙල්ල. අපි ලව් කරන්න අරං දැන් අවුරුදු හතරකටත් වැඩියි. මුලින්ම ඒලෙවල් ක්ලාස් යද්දි අපි දෙන්නා යාලු වුනේ. උඹ දන්නව ඇතිනෙ. ඔය ජොබට යන්න කලින් මම කිව්වා අප්සරාට. ඒත් මම ඒකිව විශ්වාස කරලයි යැව්වෙ. ඒත් ඒකි ඒ විශ්වාසය කැඩුවා. කැඩුව නෙමේ කඩන්න සිද්ධ වුනා. මොකද උඹ ඒකිව රවට්ටගෙන. මගෙ අහිංසක කෙල්ලව රවට්ටගෙන. මචන්, මටයි අප්සරාටයි හිටිය විදියට ඉන්න දියන්. අපි මේ ප්‍රශ්නය දුර දිග යවන්නෙ නැතුව ගොඩින් බේර ගමු"

මම එක හුස්මට කියාගෙන කියාගෙන ගියෙමි. අවසන් වචන ටික පිටවුනේ වෙව්ලන ස්වරූපයකිනි. කේන්තිය නිසාද දුක නිසාද මම නොදනිමි.

මගේ අප්සරාව වෙන එකෙක්ගෙන් මට ඉල්ලන්න වෙලා.. අවන්හලේ ජනේලයෙන් පිටත අහස බැලුවෙමි. වළාකුළු නැති හවස් අහස..අවට පරිසරයට එක් කලේ මූසල කාලකණ්ණි බවකි.

අප්සරා මගේ ! මගෙ හිත ඇතුලෙන් ඇගේ නම දෝංකාර දෙයි

ක්ෂණයකින් මගේ හිත අතීතයට දිව යයි. මම අප්සරාව දුටු පළමු මොහොත. මගේ ජීවිතයේ මම ආසම මොහොත..! අප්සරා මට කැමැත්ත දුන් දවස..මම අප්සරාට මුලින්ම අර දුන්න පෙන්ඩන්ට් එක..මම අප්සරාට පළමු හාදුව දුන්න මොහොත.. ඊට මාස ගාණකට පස්සෙ මුලු ලෝකයෙන්ම වෙන්ව අප දෙදෙනා තනි වූ හැටි.. එතනදි අප්සරා ඇගේ හැමදේම මා වෙනුවෙන් පූජා කල හැටි.. ඇය මගේම වුන හැටි..ඉන් සතියකට විතර පස්සෙ අප්සරාගෙයි මගෙයි පළවෙනි රණ්ඩුව.. ඉන් පසු මම අප්සරාව මඟ හැරුන හැටි.. මම පළවෙනි වතාවට අප්සරාට අත උස්සපු දවස.. මම ඇයව අත් හරින බවට තර්ජනය කල හැටි..අප්සරා හඬමින් මගෙ පස්සෙන් ආපු හැටි.. මම යාලුවන් එක්ක වෙනම ලෝක වල විනෝද වෙද්දි ඇය තනි වූ හැටි..

මගෙ ඔලුව පුපුරන්න වගේ දැන් නම් ! කෙසේ හෝ මතකයන්ගෙන් මිදිය යුතුව ඇත. මේ මගේම අප්සරාව නැවත මගේම කරගන්න තියෙන මගේ අන්තිම අවස්ථාව විය හැකිය.

මම ඔහුගේ මුහුණ බැලුවෙමි. ඔහු තවමත් නිහඬවය

"මොකද දැන් උඹ කරන්නෙ? කතා කරහන්. උඹ කැමතිද මේ ප්‍රශ්නෙ ගොඩින් බේරගන්න?"

අවසානයේ ඔහු නැවතත් සිය හඬ අවදි කලේය

"මචං, මට උඹත් එක්ක කිසිම අවුලක් නෑ. උඹත් කොල්ලෙක් මමත් කොල්ලෙක්. අනික උඹ මේක මෙහෙම ෆේස් ටු ෆේස් කතා කරල බේරගන්න එන්නයි කියල කිව්වම මට පුදුම හිතුන. අප්සරා උඹ ගැන කියල තිබ්බ ඒවත් එක්ක. මොකද උඹ හැම වෙලේම ඒකි දිහා වෙන කොල්ලෙක් බැලුවත් ගේමලු නේද?"

ඔහු කතා කරන්නේ මඳ සිනහවකින් මුව පුරවාගෙනය.

"මට අප්සරා හැමදේම කිව්වා මුල ඉඳලම. උඹල යාලු වෙච්චි එකේ ඉඳල උඹල උඹ ඒකිට සලකපු හැටි, ලව් කරපු හැටි, ගෙවල් එක්ක කේස් දාගත්ත හැටි, උඹ ඒකිට ගහපු හැටි, නීති දාපු හැටි ඔක්කොම.. ඒව විතරක් නෙමේ.. උඹ දැන් මහලොකුවට වටේ කිය කිය යන්නෙ උඹ ඒකි එක්ක නිදාගත්තයි කියල. ඒකත් අප්සරා මට කියලයි තියෙන්නෙ"

මගේ ඇඟ කිළිපොලායනු දැනුනි. මම ගහන්න සිටි අවසන් තුරුම්පුව ඔහුම මා ඉදිරියේ දෙකේ කොළේට දැමුවේය.

"මට ඒ කිසි දේකින් වැඩක් නෑ. ඒකිව දැක්කම මට ආස හිතුන. මම දවස් තුන හතරක් කතාබහ කලා.. මම ඒකිගෙන් යාලු වෙන්න ඇහැව්වා. එච්චරයි. ඒකි හිටියේ ප්‍රශ්න ගොඩක. උඹ ඒ ප්‍රශ්න වලට ඒකිට සහනයක් වෙනව වෙනුවට, උඹත් ඒ ප්‍රශ්න වලින් එකක් වෙලයි ඉඳල තියෙන්නෙ. උඹ ඒකිට නීති දාලා, බැඳලා අමුතු සතෙක් විදියට තියන් ඉන්න හදල තියෙන්නෙ. කල් යන්න යන්න උඹ ඒකිව ගනන් අරන් නැහැ. ඒකි උඹේ පස්සෙන් ආවත්. අපි එකට වැඩ කරන නිසා කතා කරන්න හම්බෙන හැම වෙලේම කිව්වෙ ප්‍රශ්නමයි. මම කලේ ඇහුම්කන් දෙන එක. උඹ කොල්ලො කීදෙනෙක් එක්ක ගේම් දාගෙන තියෙනවද ඒකි නිසා. කිසිම හේතුවක් නැතුව. ඒත් දැන් උඹ මගෙන් ඒකිව ඉල්ලන්න ඇවිත්. මොකද උඹ දන්නවා සතෙක් වගේ වැඩ කරල මේ ප්‍රශ්නේ මා එක්ක විසඳගන්න උඹට බෑ කියල.."

ඔහු කියාගෙන කියාගෙන ගියේය.

මම ආවේ මූට කතා කරල ප්‍රශ්නෙ බේරගන්න. මූ කරන්න හදන්නෙ මට තෙල ගහන එක.

"අනේ මචන් ප්ලීස්, තේරුම් ගනින්. මට ඒකි නැතුව ජීවත් වෙන්න බෑ. මගෙ අතින් වැරදි වුනා තමයි. ඒත් මම ඒකිට එදා කිව්වා ඒ ඔක්කොම හදාගන්නවා කියල"

ඔහු හිස වැනුවේ මං කියනා කිසිම දෙයක් ඔහුට වැදගත්කමක් නැතුවා සේය.

"මං යනව. උඹට ඕන නම් අප්සරා එක්ක හම්බෙලා ආයෙ අන්තිම වතාවට කතා කරහන්. මට අවුලක් නෑ. "

"මං කතා කරල වැඩක් නෑ. මං කියන්න තියෙන හැම දේම කිව්වා. ඒකි හිත වෙනස් කරන්නේ නෑ.. උඹටම විතරයි මේක විසඳන්න පුළුවන්. උඹත් කොල්ලෙක් නේද? පොඩ්ඩක් හිතහන් උඹ මේ කරන වැඩේ ගැන"

ඔහු පුටුවෙන් නැගිට්ටේය. අපේ කතාව මෙතනින් ඉවරද? අප්සරාගෙයි මගෙයි කතාව මෙතනින් ඉවරද??

මම කෝපය, දුක මිශ්‍ර හැඟීමෙන් ඔහුට අවසාන වචනය කිව්වේ ආයාචනාත්මක ස්වරයෙනි. මේ තරම් අසරණ බවක් මගේ මුළු ජීවිතයටම දැනී නැත.

"මචං මට ඒකිව නැතුව ගියේ උඹ නිසා"

"නෑ මචන්, උඹට ඒකිව නැතුව ගියේ උඹ නිසා"

ඔහුගේ පෙප්සි වීදුරුව හිස්ව ඇත.

අප්සරා ආස පෙප්සි වලට නෙමේ, ස්ප්‍රයිට් වලට.

මෙපමණ වෙලා එළියට පනින්න වැර දරමින් සිටි කඳුළු බිඳුව අවසානයේ මා දෙනෙතින් මිදි පොළෝ තලය සිපගත්තේය.

Wednesday, August 10, 2016

කොටට ඇඳගෙන බණ ඇසීම

ප්‍රසිද්ධ නිරූපිකාවක් කොටට ඇඳගෙන බණ අහන්න ගිහින්ය. ගිහින් නිකන් ඉඳලා නෑය.

(ඔව් ඉතින් නිකන් ඉන්නයැ බණ ගෙදර යන්නේ, බණ අහන්නනේ)

බණ ඇසීම නැතිවීම කෙසේ වෙතත් බණ අහනවා වගේ ඉඳලා ෆොටෝ ගහලාය. ඒ ෆොටෝ ෆේස් බුක් දමලාය.

(ඔව් ඉතින්, ෆේස් බුක් දාන්න නෙමේ නම් ෆොටෝ ගන්නේ වෙන මක්කටයැ)

සුපුරුදු පරිදි ඉන්ටර්නෙට් එකේ අයියලා ඒ ගැන කතාවය. ඉතින් මේ ඒ කතාව ගැන මේ අයියාගේ කතාවය.

(අල්ලපු ගෙදර වැලේ වනපු ජංගියේ හිලක් තිබ්බත් ඉතින් උඹල ඉන්ටර්නෙට් එකේ කියෝ ගන්න එකනෙ කරන්නෙ)

ඉන්ටර්නෙට් එකේ සමහර අයියලාට (සහ අක්කලාට) අනුව කොටට හැඳ බණ ඇසීම නෝටි වැඩකි.

(බණ අහන්න නෙමේ, කොහොම කොටට ඇන්දත් නෝටි තමයි)

කොටට හැඳ බණ ඇසීමෙන් වටේ ඉන්න පිරිමින්ගේ කාමය ඇවිස්සේ.

(කාමය විතරක් නෙමේ. කකුල් දකින එකෙන් රාගය ඇවිස්සෙනවා. ඊට පස්සේ ඒ කකුළ් ගැන ආසාවක් ඇති වෙලා මෝහය ඇවිස්සෙනවා. ඊටත් පස්සේ ඒ කකුළ් තමාට ලබා ගන්න බැහැයි කියන කටුක සත්‍යය වැටහුනාම ද්වේෂය ඇතිවෙනවා)

කොටට හැඳ බණ ඇසීමෙන් ලංකාවේ බුද්ධ ශාසනය පිරිහේ.

(බුද්ධ ශාසනය පිරිහෙන මූලිකම හේතුව ගෑණු කොටට අඳින එක නෙව).

පුටුවක හිඳගෙන බණ ඇසීම ආනත්තරීය පාප කර්ම වලට විතරක් දෙවෙනි වන පවකි.

(බණ අහද්දි පශ්චාත්භාගයේ කොටසක් පොළවේ ගෑවෙන්න ඕන කියලා කොහේදෝ කියල තියෙනවලු. එතකොට පව් අ(ර්)ත් වෙලා පින් වැඩි වෙනවලු)

ඒ එක් පිරිසකි.

(ඔව්. ඒ අපේ එල්ලුම් ගහ ඉල්ලන එලකිරි බෞද්ධ සෙට් එක. ජය වේවා)

අනිත් අයියලා (සහ අක්කලා) සෙට් එකට අනුව කොටට හැඳීම වරදක් නොවේ.

(මොකක් කිව්වා..?)

ඒ අයියලාට අනුව කොටට ඇන්දාම සාරි කෑලි එල්ලාගෙන ඉන්නවාට වඩා ආකර්ෂණීයයි ලුය.

(උංගේ අම්මලට, ආච්චිඅම්මලට කොටට අන්දලා ආකර්ෂණීය කරගන්න කියහන්)

කොටට අඳින එක ගෑණුන්ගේ අයිතියක් ලුය.

(හැමෝ එක්කම නිදාගන්න එකත් අයිතියක් තමා)

කොටට අඳින එකෙන් ගෑණියෙක්ව මනින්න බෑ ලුය.

(ගවුමේ දිග පළල මැනලා තේරුම් ගන්න බැරි එකීලා කව්ද කියල නම් මැන ගන්න පුළුවං)

කොටට ඇන්දාම කේන්ති යන්නේ පසුගාමී චින්තනය නිසා ලුය.

(මොකක්ද දැං මුංගේ මහ ලොකු ඉදිරිගාමී චින්තනේ? බුකියේ පොර ටෝක් දීලා හොරෙන් ගල් බලන එකද?)

බණ අහන්න ආවනං බණ අහන්නෙ නැතුව කෙල්ලන්ගේ කකුළ් බලන පිරිමි වැරදි ලුය.

(බුදුබණ වුනත් පැයක් විතර අහං අහං ඉද්දි කම්මැලි වුනාම ඔය වටේ තියෙන ගලක් දෙකක් බැලෙන බව ජීවිතේට බණ අහල නැති මුං දනීවියැ)

කෙල්ලෙක් රෑ 12ට ජංගියක් ඇඳන් ගිහින් දූෂණය වුනත් ඒකිගේ වැරැද්දක් නැතිලුය.

(නෑ. ගෙදර ගොරෝ ගොරෝ නිදන් හිටපු මගෙයි වැරැද්ද)

ඒ අනිත් අයියලා සෙට් එකය.

(පශ්චාත් නූතනවාදී ඩොලර් කාක් සෙකියුලර් කොල්ලො ගහන අවජාතක පරයො ටික)

ඒ අයියලා සහ මේ අයියලා කිව්ව දේවල් ගැන ඒ අයියලාත් නොවන මේ අයියලාත් නොවන මම අයියා කියන දේ මේකය.

(ආ කියහංකො බලන්න)

ගෑණියෙක්, කෙල්ලෙක්, ආච්චි කෙනෙක් බැයි නම් ඕන මල යකෙක් කොටට හැඳීමේ කිසිම වරදක් නැත.

(උඹත් අරුන්ගේ පැත්තේ නේද?)

කොටට ඇඳීම හෝ සාරි ඇඳීම හෝ බ්ලව්ස් ඇදීම හෝ නිල් පාට ජොක්කු ඇඳිම හෝ බොම්බයිමොටයි කෑම ඕනෑම එකෙක්ගේ අයිතියකි. අන් අයට හානිකර නොවන වැඩ කලාට වටේ ඉන්නා උන් ඒ ගැන කරදර විය යුතු නැත.

(එහෙම කොහොමද අපේ සංස්කෘතිය රකින්නේ?)

ඒත් මෙහෙම දෙයක් තියෙනවාය.

(කොහොම දෙයක් ද?)

ඕනෙම කෙනෙක්ව බැලූ පමණින් උන් ගැන නිගමන වලට ඒම මිනිස් ස්වභාවයය. කොටින්ම සක්කරයා මිනිස් වෙසින් මේ ලෝකයට ආවොත් ඌත් එහෙම වෙනවාය.

(උඹ කොහොමද දන්නේ?)

ෆර්ස්ට් ඉම්ප්‍රෙෂන් කියල සිංහලෙන් කියන්නේ ඒකටය. බැලූ බැල්මට තම තමන්ගේ නැණ පමණින් එක එකා මැන ගැනීම අපි හැමෝම හැම දාම කරන දෙයකි.

(මමත් දැන් උඹවත් මැනගෙන එන්නේ. කියහංකො)

එනිසා මහදවාලේ හිරට හිරේ, කොටට කොටේ, ලිප්ස්ටික් තලියක් මූණේ අතුල්ලගෙන, මේකප් නාගෙන, කොණ්ඩ පාට කරගෙන කෙල්ලෙක් බැයි නම් කොල්ලෙක් බැයි නම් බල්ලෙක් හරි ඉඳියි නම් ඒකා/ඒකි/ඌ තමාගේ විරුද්ධ ලිංගික සෙට් එකේ ආකර්ශනය ගන්න තමාගේ ශරීරය යොදාගන්නා ජීවියෙක් කියලා නිගමනය කිරීම කිසීම වැරැද්දක් නැතිය.

(මොකක් කිව්වා?)

ඒත් එක්කම එක එක තැන් වලට ආවේණික සම්මත වුන ඇඳුම් පැළඳුම් තියෙනවාය.

(ඔව්, දැන් උදාහරණෙකට කුඹුරට බහින්නේ අමුඩේ ගහලම විතරනෙ අපි)

විශේෂයෙන්ම ආගමික ස්ථාන වලට ඇතුල් වෙද්දි සහ ආගමික වතාවත් වල යෙදෙද්දි අඳින්න ඕන සහ හැසිරෙන්න ඕන අන්දම ගැන ඒ ඒ ආගමිකයන් අතර සම්මුතීන් තියෙනවාය.

(ඔව් ඉතින්, ඒකනෙ මේ කියන්නෙ)

එනිසා ඒ සම්මුතීන් කඩ වෙන විදිහට ඇඳගෙන ඒ තැන් වලටම ගියොත් ඒ ආගමිකයෝ තැන් තැන් වල අහු මුළු ගානේ එහෙම යන එකා/එකී ගැන නරක කතා කිරීම අපේක්ෂා කල යුතු සරල සත්‍යකි. යථාර්තයකි.

(සත්‍යක්ද? යථාර්තයක්ද? දෙකෙං මොකක්ද?)

හරියට වෙඩින්ග් එකකට අමුඩයක් ගහගෙන ගියොත් එතන ඉන්නා උන් ඒ ගැන කතා වෙනවා වගේය. ඒ කතාවෙන්නේ ගැලපෙන්නේ නැති නිසාය. සම්මතයෙන් පිට නිසාය.

(කතා වීම කෙසේ වෙතත් අලුත්ම ස්ටයිල් එක කියලා හිතාගෙන ඕක ට්‍රෙන්ඩ් එකක් කරගනීද දංනෑ)

එහෙම සම්මත විදිහට යන්න බැයි නම් මේ ලියන මම අයියා වගේ ආගමික තැන් වලට නොයා සිටිය හැකිය.

(උඹත් පන්සලකට පල්ලියකට යන්නේ නැති කාලකණ්ණියෙක්ද?)

ඒ වගේම රෑ 12ට ජංගියක් ඇඳගෙන ගිහින් දූෂණය වුනොත් එතන වැරැද්දක් එහෙම ගිය ගෑණිගෙත් තියෙනවාය. ඒ අමු මෝඩකම වැරැද්දක් විදිහට සැලකෙනවා නම් පමණය. අමු මෝඩකම වැරැද්දක් නොවේ නම් කමක් නැතිය.

(උඹ දැන් කොයි පැත්තෙද කියහංකො)

අවසාන වශයෙන් කෙල්ලන්ගේ කකුල් නිසා බුද්ධ ශාසනය විනාශ වේය කියනා උන්ට කියන්න ඇත්තේ මේකය.

(මම එහෙම එකෙක්. දැං මොකක්ද කියන්නේ. ගේමද?)

නිරුවත් කකුළ් දෙකක් දැක්කාම සිල් බිඳගන්න මහලොකු ‘පින්වත්තු’ වෙච්චි උඹලට වඩා වැලක් බලලා අතේ ගහලා නිදාගන්න සාමාන්‍ය කොල්ලෙක් අවංකයි කියාය.

(නොදෝකින් තොගෙ හැකර කට ! ආයේ මගෙ බල්ලවත් එන්නෑ මේ බ්ලොග් එක පැත්ත පලාතෙ. ඔව්)

Tuesday, August 9, 2016

එන්න, සයිබර් බෝක්කුවට සෙට් වෙන්න !

ඉතිහාසයේ පළවෙනි වතාවට මිනිස්සු තොරතුරු තාක්ෂණය අතින්, සන්නිවේදනය අතින් අතිශය දියුණු තත්වයකට ඇවිත්. සැතපුම් දහස් ගාණක් ඈතින් ඉන්න ලක්ෂ ගාණක් මිනිස්සු එක මොහොතින් එක් රැස් වෙන විශ්ව ගම්මානයක් බවට පත් වෙච්චි යුගයකට ඇවිත්. සැබෑ ලෝකය සහ ඩිජිටල් ලෝකය නමැති ලෝක දෙකක් තුළ මාරුවෙන් මාරුවට ජීවත් වෙන මිනිස්සු සීමා සහිත සැබෑ ජීවිතයේ නැති අසීමිත නිදහසක් සීමා රහිත ඩිජිටල් ලෝකයක් තුළ භුක්ති විඳින්න පටන් අරන්.

සීමා රහිත ඩිජිටල් ලෝකයක සීමා රහිත නිදහසක් භුක්ති විඳින ගමන් ඔවුන් ඩිජිටල් ලෝකයක් තුළ වැරදි කරන්න අරගෙන. ඒ වැරදි කැමරා, ජනමාධ්‍යය, සමාජ ජාලා ඔස්සේ රූපමය විදිහට, හඬපට විදිහට, ඡායාරූප විදිහට, වචන විදිහට සයිබර්ගත වෙන්න අරගෙන.

ඒ අවකාශය තුළම කල්ලි ලෙස සංවිධානය වෙමින් ඒ වැරදි වලට දඬුවම් දෙන්න පටන් අරගෙන.

ඒ සියලුම දේවල් බොහෝ විට නැති කරන්න බැරි, වෙනස් කරන්න බැරි දත්ත විදිහට ගබඩාවෙන්න අරගෙන.

සමාජය විසින් සභ්‍යත්වය සහ ශිෂ්ඨත්වය කියන බැමි වලින් බැඳල තියෙන සැබෑ ජීවිතයේදී එළියට දාන්න බැරි අදහස් සයිබරය නම් වර්චුවල් රියැලටියේදී කිසිම බයක් සැකක් නැතුව නිදහස් කරල දාන්න මේ දෙපිරිසම පෙළඹිලා.

සැබෑ ජීවිතයේදී දැඩිලෙස විවේචනයට ලක් වෙන හැසිරීම් වල කිසිම බයක් සැකක් නැතුව සයිබරයේදී නිරත වෙන්නෙ ඒ අනුවයි.

සැබෑ ජීවිතයේදී එළියට දාන්න බැරි ආගම, වර්ගය, ලිංගිකත්වය වැනි දේ මත පදනම් වුන වෛරී අදහස් එළියට දාන්න සයිබරය තෝතැන්නක් කරගෙන. තමාගේ ඒ හිර වුන අසහනය මුදා හැරීමේ අරමුණින් මොබ් විදිහට කල්ලි ගැහිලා වර්චුවල් රියැලටියක් තුල අසස්සක් මුල්ලක් නෑර මිනිස් ගොදුරු හොය හොය සැරිසරන්න පටන් අරගෙන.

තමාගේ ජීවිතයේ සිද්ධ වුන වැරැද්දක්, අතපසුවීමක්, මෝඩකමක්, අවාසනාවන්ත සිද්ධියක් සිය කැමැත්තෙන් හරි නොදැනුවත්වම හරි සයිබයෙන් කෙළවර වුන ඒ වැරැද්දේ උරුමක්කාරයා හොය හොය යන්නේ වෘකයෙක් ගොදුරක් හොයා යනවා වගේ.

මහ පොළවෙදි කෙනෙක්ගේ මුහුණට කියන්න බැරුව හිර කරගෙන ඉන්න දේවල් වර්චුවල් රියැලටිය යොදාගෙන ඔවුන් නිදහස් කරගන්නවා. විශේෂයෙන්ම නළු නිළියන්, සැබෑ ජීවිතයේදී තමාගෙන් දුරස් වූ සමාජයේ කැපි පෙනන චරිත වටා රොක් වෙමින් සයිබරයේදී රිසි සේ තම සිතැඟි ඉෂ්ඨ කරගන්නවා.

කාලයකට පෙර තරුණ පිරිස් කණ්ඩායම් විදිහට හවසට ගමේ බෝක්කුවක් ළඟ එක් රැස් වෙලා එතැන පසුකර යන මිනිස්සුන්ට, කාන්තාවන්ට, තරුණියන්ට උසුළු විසුළු කලා වගේම ඒ අවශ්‍යතාවයම අද සමහර පිරිස් හවසට සයිබර් බෝක්කුවක කල්ලි ගැසී සිදු කරගන්නවා.

නමුත් සයිබර් බෝක්කුවෙන් මිනිස් ජීවිත වලට ඇතිකරන බලපෑම ලේසියෙන් නැති වෙලා යන එකක් නෙමේ.

සයිබරයේදී අදාල තැනැත්තා/තැනැත්තිය පීඩනයට පත් වෙන්නේ මුළු සමාජයක් ඉදිරියේ. ඔවුන් මුහුණ දෙන දේ දත්ත වශයෙන් ගබඩා වෙනවා. බොහෝ විට ජීවිත කාලයකටම. සයිබරයේ උසුළු විසුළු කරමින් ගන්නා සතුට මේ වෘක කල්ලි වලට තාවකාලික වුනත් පීඩනයට පත් වන පුද්ගලාගේ සැබෑ ජීවිතයට ඉන් ඇතිවන්නේ සුළුපටු බලපෑමක් නෙමේ.

පසුගිය වසරේදී මුහුණු පොතේ සිය ඡායාරූපයක් පල වූ වරදට(?) තමාගේ පාසැලේ විදුහල්පතිතුමා විසින් මුළු පාසැල ඉදිරියේම ප්‍රසිද්ධියේ අපහාස කරල දඬුවම් කිරීම නිසා ඇති වුන ලැජ්ජාව සහ සිත් තැවුල හේතුවෙන් සියදිවි හානිකරගත් අහිංසක පාසැල් ශිෂ්‍යාව වෙනූෂා පිළිබඳ මතකය මෙතනදි අවධි කරන්න කැමතියි. ඒ අවස්ථාවේදී ඒ අසරණ දැරියට සිදුකල අසාධාරණය වෙනුවෙන් විදුහල්පති තුමාට එරෙහිව සමාජජාලා වල ක්‍රියාකාරීන් මහා හඬක් නැඟූබවද ඔබට මතක ඇති.

අහිංසක වෙනූෂාව ප්‍රසිද්ධියේ ලැජ්ජාවට පත් කරපු, ඇයට අපහාස කරපු විදුහල්පතිට විරුද්ධ වුන ඒ සයිබරයේම, ඒ සයිබර් ක්‍රියාකාරීන්ම මිනිස් ගොදුරු අල්ලාගෙන සයිබරය නම් වේදිකාවට නග්ගල.. සමාජයම ඉදිරියේ ලැජ්ජාවට පත් කරල, අපහාස කරල, මිනිස් හප බවට පත් කරන එක සැබෑම උත්ප්‍රාසයක් නෙමේද? සැබෑම කුහක කමක් නෙමේද?

ඔවුන් සහ ඒ නරුම විදුහල්පතිගේ හැසිරීම වෙනස් වන්නේ කුමකින් ද?

සයිබර් කල්ලි වල උසුළු විසුළු සහ අපහාස නිසා දිවිතොරගත් වෙනූෂාලා ගැන විදෙස් රටවලින් දැනටමත් වාර්තා වෙලා තියෙද්දි අපේ හැසිරීම් ගැන සහ අපේ හැසිරීම් වෙනත් මිනිස් ජීවිත වලට එල්ල කරන බලපෑම් ගැන මීට වඩා සෑහෙන වගකීමකින් කටයුතු කල යුතුයි.

සයිබරයේදී කල්ලි ගැහෙමින් අනිත් මිනිස්සුන්ව අපහාසයට ලක් කිරීම, ලජ්ජාවට පත් කිරීම විනෝදාංශයක් කරගත්, ඒත් හිතන්නට සිහි බුද්ධියක් තවමත් ඉතිරි වෙලා තියෙන අය තමාගේ ක්‍රියාකලාපය ගැන වරක් දෙවරක් නෙමේ සියවරක් සිතාබලන්න ඕනෙ.

මොකද තමාගේ පහත් වින්දනයේ මිල කවදා හරි අහිංසක මිනිස් ජීවිතකට ගෙවන්න සිද්ද වීමේ ඉඩක් තියෙන නිසා.

ඒවගේම තමාගේ හැසිරීම් නිසා අනිත් අයගේ ජීවිත වලට වෙන බලපෑමේ හරි වැරැද්ද ගැන සිතා බලන්න බුද්ධිය මුහුකුරා නොගිය මන්ද බුද්ධිකයන්ගේ මේ සයිබර් කල්ලිවාදයට එරෙහිව සියලුම සයිබර් ක්‍රියාකාරීන් පෙළ ගැසිය යුතුයි.

එහෙම නැතිනම් සයිබර් ක්‍රියාකාරීන් වෙච්චි අපට වෙන්නෙ මේ කාලකණ්ණි විනෝදය නිසා ආයේ නිවැරදි කරන්න බැති වැරැද්දක් වුනයින් පස්සෙ ඒ ගැන කවි, රචනා, සටහන් ලියන්න.

එනිසා සයිබරය නැමති දැලි පිහියෙන් සෙල්ලම් කරන මෙම වඳුරන්ට එරෙහිවීමේ වැදගත්කම පරක්කු වෙන්න කලින් සියල්ලන් තේරුම් ගත යුතුයි.

Monday, August 8, 2016

මචන්, මහින්ද අදහන්න එපා

මචං..

මම මේ ටික ලියන්නෙ උඹේ එක පෝස්ට් එකක් දැකල නෙමෙයි. කාලයක් තිස්සෙ උඹේ දැකපු හැසිරීම නිසා.

දේශපාලකයෙක්ට හරි දේශපාලන පක්ෂයකට හරි කඩේ යන එක තේරුම් ගන්න පුළුවන්. ඒත්, දේශපාලකයෙක්ව පශ්චාත්භාගය ඉරාගෙන "අදහන" එක තේරුම් ගන්න බැහැ. ඒක වස කැතයි.

ඒ කැත මහින්ද නෙමේ, රනිල්, මෛත්‍රී, අනුරලාව දෙවිවරු කරගෙන ඇදහෙව්වත් එකයි.

උඹ බුදුන්ව හරි ජේසුස්ව හරි අල්ලාව හරි අදහනව නම් උඹ අදහන්නේ සංකල්පයක් මිසක, මනුස්සයෙක්ව නෙමේ. ආගමික නායකයෙක්ව ඇදහීමයි, අමු අමුවේ පණ පිටින් ඉන්න මනුස්සයෙක් අදහන එකයි එකක් නෙමේ මචන්, දෙකක්.

තව දෙයක් මචන්, මතක තියාගනින් උඹ අදහන්නේ නිකම්ම නිකන් මනුස්සයෙක්ව නෙමේ.. දේශපාලකයෙක්ව බව. බලය වෙනුවෙන් ඕනම ජඩ වැඩක් කරන්න ලෑස්ති අවස්ථාවාදියෙක්ව බව. මේ කතාව මහින්දට විතරක් නෙමේ, ඕනම දේශපාලකයෙක්ට පොදුයි.

දැන් උඹ හිතයි, ඕනම දේශපාලන පක්ෂයකට කඩේ යන මිනිස්සු ඉන්නවය කියල. කතාව ඇත්ත. නමුත් මචන්, මහින්ද වෙනුවෙන් හැදිල තියෙන මේ 'කල්ට්' හැසිරීම තමාගෙ වාසියට දේශපාලකයෙක්ට කඩේ යන මනුස්සයෙක්ව පෙන්නලා සාධාරණීයකරනය කරන්න බැහැ.

උඹ එකදිගට අන්ධ බැතිමතෙක් වගේ දේශපාලකයෙක් අදහන ගමන් ඒ හැසිරීම ප්‍රශ්න කරන අයගෙන් අහනව "රිදුනද?" කියල.

රිදෙන්න මචන් මම කාටවත් කඩේ යන්නේ නෑනෙ. රිදෙන මිනිස්සුත් ඇති. ඒත් මොහොතකටවත් හිතන්න එපා මේ 'කල්ට්' හැසිරීම නිසා ඔක්කොටම රිදෙනව කියල. මේ හැසිරීම දැකල නොරිදෙන, උඹේ හැසිරීමේ තියෙන අන්ධබව අමු අමුවෙන් දකින මධ්‍යස්ථ මිනිස්සු කොටසකුත් ඉන්න බව මතක තියා ගනින්.

අන්තිමට උඹට මේ ටික කියන්නම් මචන්.. අපි එක එකාට තියෙන්නෙ එක එක ආතල්. ඒ ආතල් ඔක්කොම තර්කයෙන් සාධාරණීයකරනය කරන්න බෑ. මේක උඹේ ආතල් එක වෙන්න ඇති..මහින්දව අදහන එක !

මේක ලියන්නෙ උඹේ යාතිකා දැකල එපා වීම නිසා මිසක උඹ එක්ක තියෙන පුද්ගලික තරහකට නෙමේ.

මට බෑ උඹේ වටිනාකම් වෙනස් කරන්න. එහෙම කරන්න ඕනත් නෑ. ඒත්, ඔය මහින්ද අදහන කල්ට් එකේ සමාජිකයෙකු වීම ගැන පුළුවන් නම් විතරක් ආයෙ හිතල බලහන්. මම එච්චරයි කියන්නෙ මචන්. ජය !

Saturday, August 6, 2016

කාලය මැවු වෙනසක අරුමේ

යාලුවෝ..

ඔය අකුරු තුන ඇහෙද්දි හිතට දැනෙන්නේ දුක මිශ්‍ර සතුටක්.

අතීතයේ මතක සටහන් හිතට සතුටක් සිනහවක් එක් කරද්දි... වර්තමානයේ යථාර්තය විසින් අපේ ජීවිත පත් කරල තියෙන තැන මතක් වෙද්දි දැනෙන්නේ දුකක්

මම එදා ඉඳලම තරයේ විශ්වාස කරපු දෙයක් තමයි, අපේ ජීවිත වල මිනිස්සු දෙකොටසක් ඉන්න බව. එක කොටසක් තමයි, අපි අඳුරන මිනිස්සු. ඉස්කෝලෙදි වේවා, රස්සාව කරන තැනදි වේවා, රස්සාවට යද්දි කෝච්චියෙදි වේවා අපට හමුවෙලා වෙන් වෙලා යන අය. ඉස්කෝලෙන් අවුට් වුනාම, රස්සාව කරන තැන මාරු වුනාම, යන කෝච්චිය මාරු කලාම.. ඉබේම නැති වෙලා යන සබඳකම් තමයි ඔවුන් එක්ක තියෙන්නෙ.

අනිත් කොටස තමයි යාලුවො කියන්නෙ.

යාලුවො අතර තියෙන්නේ හැඳුනුම්කමකට එහා ගිය බැඳීමක්. ඉස්කෝලෙන් එළියට ආවාය කියල,, රස්සාව තැන මාරු වුනාය කියල,, සමාජ මට්ටම් වෙනස් වුනාය කියල,, නැති වෙලා නොයන සබඳකමක්..

ඒකයි යාලුකම කියන්නෙ

ගොඩක් අය අඳුරන මිනිස්සුන්ව යාලුවෝ කියල පටලගන්නවා. ඔය දෙකොටසම එකක් කියල හිතනව. ඒ අයට අන්තිමේදි ඉතුරු වෙන්නෙ පසුතැවීමක් විතරයි.

ඒ වගේ මටත් හිටිය යාලුවො සෙට් එකක්. මිත්‍රත්වයෙන් එහා ගිය සහෝදර බැඳීමකින් බැඳුන මානුෂීය බැඳීමකුයි අපි අතරෙ තිබුනෙ.

ඉස්කෝලෙ කාලෙදි වගේම ඉස්කෝලෙන් අවුට් වෙලා අවුරුදු ගාණක් ගතවෙනකල් නොබිඳී තිබ්බ යාලුකම ඒ විදියටම හැමදාම තියෙයි කියන එකයි අපේ බලාපොරොත්තුව වුනේ.. ඒ යාලු කමට එහා ගිය සහෝදරත්වයේ බැම්ම කිසිදාක බිඳිල යන එකක් නෑ කියන එකයි අපේ ප්‍රාර්ථනාව වුනේ.

අපි ඒ කාලෙ අනාගතය සැලසුම් කල හැටි තවමත් මතකයි. ගෙයක්, වාහනයක්, දරුවො එක්කෙනෙක් දෙන්නක් ඉන්න පුංචි පවුලක්, හොඳ ජොබ් එකක්..

..ඒ ඔක්කොම ඇතුලේ අපේ යාලුකමට සතියට සති දෙකකට සැරයක්වත් පුංචිම පුංචි ඉඩක්..!

නමුත්, වාසනාවකට හෝ අවාසනාවකට ඒ හීන හොයාගෙන යන අතරේ ඔක්කොටම කලින් ඇති වුන අපේ ඒ යාලුකමට තියෙන ඉඩ ඇහිරිලා ගිහින්.

ඉස්කෝලෙ කාලෙ උපරිම නිදහසක්, සැහැල්ලුවක් අත්විඳපු යාලුවෝ එක එක්කෙනා පවුල් වෙලා. වගකීම් දහසක් මැද්දෙ හිර වෙලා. දවසින් දවස ගෙවිල යන ජීවිතේ පවුල් ප්‍රශ්න, දරුවන්ගෙ වගකීම් අස්සෙ අසරණ වෙලා. ඉන් එහාට ලෝකය දිහා හැරිලා බලන්නවත් තියෙන ඉඩ නැති වෙලා ගිහින්. හැඳුනුම්කමකින් එහාට ගිය අපේ ඒ යාලුකමට අපේම ජීවිත අස්සේ ඉඩ ඇහිරිලා ගිහින්

ජීවිතය හොයාගෙන යන ගමනෙදි අපේම ජීවිත අපට නැති වෙලා.

යථාර්තය විසින් හීන කුඩුපට්ටම් කරල දාන්නේ මෙහෙම වෙන්නැති. හීන කොච්චර ලස්සන වුනත්, අවංක වුනත් යථාර්තය ගොඩක් වෙලාවට ඊට වෙනස්.

මේ කෙටි සටහනට අවසානයක් නැහැ. මොකද අපේ යාලුකමේ කතාව තවමත් අවසන් නැති නිසා. එනිසා මේ ගැනම වගේ ලියවුන අපි හැමෝම දන්න ගීතයක් සඳහන් කරමින් මේ සටහන මෙතනින් අවසන්(?) කරනවා.

"සුළගේ ලෙලෙනා මල් සේ දඟපා
අප පාසල් ගිය කාලයේ
යාලුවො අද නැත
වෙන අය එහි ඇත
කාලය මැවු වෙනසක අරුමේ"

Monday, August 1, 2016

අල්ලා ඌරෝ මැව්වේ ඇයි?




ලෝකයේ කොහේ හෝ ඉස්ලාමීය අන්තවාදීන් විසින් සිදුකරනා ම්ලේච්ඡ මිනිස් ඝාතන, පහර දීම් දෙස ආශාවෙන් බලා සිටින කොටසක් සිටියි. ඒ මුස්ලිම් ජනතා මත ජාතිවාදය පතුරවන, මුලු ලෝකයේම වෙසෙන බිලියන 1.6ක් වූ සියලු මුසල්මානුවන්ව එකම පාටපැන්සලින් පාට කොට අන්තවාදී ලේබලය ඇලවීමට බලන් සිටිනා කොටසයි.

මෙම මස් වැද්දන්ට නොතේරෙන කරුණ හෝ නොතේරෙනවා යයි බොරුවට පෙන්නන කරුණ නම් ලෝකයේම සිටිනා බිලියන ගණනක ජන කොට්ඨාශයක් ආගම පමණක් නොව, ඕනෑම කරුණක් සම්බන්ධව දරන්නේ එකම මතවාදයක්ය, ඇත්තේ එකම ආකල්පයක්ය කියා සිතීම තරම් අනුවණකමක් තවත් නොමැති බවයි.

එකම ත්‍රිපිටකය පිළිගන්නවා යයි කියනා බෞද්ධයන් අතරද ආගම හා සම්බන්ධව ඇත්තේ විවිධ කියවීම්ය. ඔවුන් සිය එදිනෙදා ජීවිතයට ආගම සම්බන්ධ කරගන්නා අයුරු සහ ආගමික ඉගැන්වීම් අදාල කරගන්නේ එකිනෙකාට වෙනස් අන්දමිනි. ලාංකික බෞද්ධයන්ගෙන් කොටසක් සිංහලබුද්ධාගම ලෙස තමාගේම ආගමක් නිර්මාණය කොටගෙන ජාතිවාදි ක්‍රියා වල නිරත වන අතරතුර ඔවුන්ව ප්‍රශ්න කරනා බෞද්ධයන්ද මෙරට සිටියි. එසේ නම් ලොව වටා විවිධ රටවල් පුරා ජීවත් වන බිලියන 1.6ක මුස්ලිම් ජනතාව තුළ ඔවුන්ගේ ආගම පිළිබඳ ඇති වෙනස්කම් ගැන අමුතුවෙන් සඳහන් කල යුතු නැත.

සමහර මුසල්මානුවන් ඉස්ලාම් දහම ගැන තමා තුළ ඇති කියවීම, තමා දකිනා සිරිත් විරිත් අනුගමනය කිරීමේ නිදහස තමා සතුවිය යුතු බව විශ්වාස කරනා අතර තවත් සමහරු ඉස්ලාම් දහම ගැන තමා තුළ ඇති කියවීම සමාජය මත කෙසේ හෝ බලෙන් පැටවිය යුතු යැයි සිතයි.

ඒ පිරිස අතුරෙන්, තම අරමුණ ඉටු කරගැන්මට අවිගත්තෝය, අප ඉස්ලාමීය අන්තවාදීන් ලෙස හඳුන්වන්නේ (බොකෝ හරාම්/අයිසිස්).

එසේ පෙනුනද ඉහත පළමු පිරිස ඉස්ලාම් දහමට යම් පිරිසක් ලබාදෙන අර්ථකතනය අනුව සම්පාදනය වුන යම් නීති පද්ධතියක් තමා වෙත ආණ්ඩුවෙන් බලපවත්වනවාට කැමැත්තක් නැත. (ලංකාවේ සියලු මුසල්මානුවන් රැවුල වවන්නේ නැති අතර, සියලු මුස්ලිම් ගැහැණුන් බුර්කා අඳින්නේ නැත. ලංකාවේ මුස්ලිම් පිරිමින්ට රැවුල වැවීම අනිවාර්‍ය කොට, ගැහැණුන්ට බුර්කාව ඇඳීම අනිවාර්‍ය කෙරෙන නීති ගෙන ඒමට යෝජනාවක් ගෙන ආවොත්, ඊට වැඩිම විරෝධතාවය එල්ල වන්නේ මුස්ලිම් සමාජයෙන් බවට මා හට සැකයක් නැත, හරියට පන්සිල් පද පහ අනුව පදනම් වෙමින් ලංකාවේ මත්පැන් භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ගියහොත් ඊට මුලින්ම විරුද්ධ වන්නේ බෞද්ධයන් ලෙසින්මය)

මෙම දෙකොටස අතරින් වැඩිම බලයක්, සංවිධානාත්මක ශක්තියක් සහ හඬක් ඇත්තේ ඉස්ලාමීය අන්තවාදීන්ටය. එනිසා ලංකාවේ ඔලමොට්ටල සිංහලබෞද්ධ ජාතිවාදීන් පමණක් නොව, ලොව පුරා ජනතාවද මුළු මුස්ලිම් ප්‍රජාවම බොකෝ හරාම් වැනි ත්‍රස්ථ සංවිධාන වල මිම්මෙන් මනින්නට පටන් ගෙන ඇත.

ලොව පුරා පැතිර සිටින බිලියන 1.6ක් වූ මුස්ලිම් ජනතාව හා බැඳී ඇති මෙම ගැටළුවට ඇති විසඳුමේ වැඩි කාර්‍යභාරයක් පැවරී ඇත්තේ මුස්ලිම් ජනයා තුළින්ම නැගී ආ යුතු හඬටය.

ගැටළුව නම්, බොහෝ රටවල ඉස්ලාම් අන්තවාදයට.. ඉස්ලාම් මූලධර්මවාදයට එරෙහිව අදහස් ප්‍රකාශ කරන්නන්ට ඒ කාර්‍යයේ නියැලීමට සිදුව ඇත්තේ තම ජීවිතය පරදුවට තබා වීමය.

එසේ තම ජීවිතය පරදුවට තබා, දහසක් කම්කොටොළු මැද, හැකි කුඩා අවස්ථාවේදී පවා සැබෑ වෙනසක් උදෙසා අවංකව කටයුතු කරන මෙම පිරිස මතය මේ විසඳුමේ වැඩි බරක් පැටව ඇත්තේ.

සියලු මුසල්මානුවන්ව අයිසිස්/තලෙයිබාන් පාට පැන්සලෙන් පාට කිරීමෙන් වන්නේ ලංකාව ඇතුළු ලොව පුරා පැතිර සිටිනා මේ පිරිස තව තවත් නිහඬ කරවීමයි, තව තවත් ඔවුන්ව පීඩනයට පත් වීමයි. කල යුත්තේ ජාතිවාදී ගෝත්‍රික ආතල් වෙනුවෙන් සියලු මුසල්මානුවන් එකම කෝවක දමා හංවඩු ගැසීම නොව, මුස්ලිම් සමාජයේ සිටිනා සැබෑ මිතුරන් හඳුනාගෙන ඔවුන්ව තව තවත් දිරි ගැන්වීමය.

මෙසේ අන්තවාදී ක්‍රියා යම් ජාතියක් ඉලක්ක කොට දිගින් දිගටම සිදු කිරීමෙන් ඒ ජාතියේ තරුණ පිරිස් තව තවත් අන්තවාදී ක්‍රියා/කල්ලි වෙත ඇදෙන බව තේරුම් ගැනීමටම සිංහලබෞද්ධ ජාතිවාදීන්ට නොහැකි වුවාට මොළේ කළඳක් ඇති ඕනෑම මනුස්සයෙකුට හැකිය.

මේ මස්වැද්දන්ට අවශ්‍ය වී තිබෙන්නේ ලාංකීය මුස්ලිම් ජනයාද බොකෝ හරාම්/අයිසිස් ත්‍රස්ථ සංවිධාන වල ම්ලේච්ඡයන්ට සමාන අන්තවාදීන් ලෙස හංවඩු ගැසීම මඟින් ලාංකික මුස්ලිම් ජනතාවටද අප සැලකිය යුත්තේ බොකෝ හරාම් ත්‍රස්ථයන් අප හමුවට පැමිණිය හොත් ඔවුනට සැලකිය යුතු ආකාරයෙන්මය යන මන්ධබුද්ධික ආකල්පය සමාජගත කිරීමය.

ලේ පිපාසයෙන් පෙළෙන මේ දඩ බල්ලන්ගෙන් ඇසීමට ඇති ප්‍රශ්නය මෙයයි.
මුළු ලොවේම සිටිනා බිලියන 1.6ක් වන මුස්ලිම් ජනතාව ඉස්ලාම් දහම සේ සලකන්නේ බොකෝ හරාම් ත්‍රස්තයන් දකිනා ඉස්ලාම් දහමම නම් අද වන තෙක් ලොවක් ඉතිරිව තිබෙන්නේ කෙසේද යන පැනයයි.

ඉස්ලාම් දහම යුද්ධයේ දහමක් යැයි සිතා ඉස්ලාම් දහම වෙනුවෙන් යුධ ප්‍රකාශ කිරීම සේම ඉස්ලාම් දහම යුද්ධයේ දහමක් යැයි සිතා ඉස්ලාම් දහමට එරෙහිව යුධ ප්‍රකාශ කිරීමද එකසේම හානිකරය.

මොවුන්ට, තියෙනවාය කියනා ප්‍රශ්නයට ඔවුන් ඉදිරිපත් කරනා විසඳුම් මොනවා දැයි ඇසුවහොත් ඔවුන්ට දීමට පිළිතුරක් තබා අදහසක්වත් නොමැත.

එක්කෝ, සියලූම මුසල්මානුවන් සමූල ඝාතනය කල යුතුය.

එක්කෝ, සියලූම මුසල්මානුවන්ට දිගින් දිගටම තාඩන පීඩන කල යුතුය,

නැතහොත්, මුසල්මානුවන්ගේ ජනගහනය පරයන සේ තරඟයට ලමයි හැදිය යුතුය.

නැතහොත් මේ ප්‍රශ්නයට වෙනත් විසඳුමක් සෙවීම උදෙසා බුද්ධිමය කතිකාවතක් ඇතිකරගත යුතුය.

ඒ වෙනුවෙන් අප සහෝදර මුස්ලිම් ජනතාවගේ සහය ලබා ගත යුතුය. මුස්ලිම් පමණක් නොව කුමන වේශයෙන් ආවද අන්තවාදය හෙළා දැකිය යුතුය.

ඒ සඳහා අප කරා සංවාදයට, සාකච්ඡාවට, විචාරයට පැමිණෙන සහෝදර මුස්ලිම් ජනතාවගෙන් අවංක සංවාදයක එළඹෙනවා වෙනුවට "අල්ලා ඌරෝ මැව්වේ ඇයි" වැනි ප්‍රශ්න ඇසීමෙන් නම් පලක් නැත

හොඳටම රඟපාන්නෙ කව්ද?



හොඳටම රඟපාන්නෙ කව්ද?

දුලීකා මාරපන හොඳයි?? පිස්සුද බං ඒකි ඕවර් ඇක්ටින්ග්..

ජැක්සන් ඇන්තනි.. සමහර ඒවා හොඳයි.. ඒත් ඌත් ඕවර් ඇක්ටින්ග් නේද?

මේ ඒක නෙමේ. මම ආසම නිලිය චාන්දනී සෙනෙවිරත්න බං.

ලංකාවෙ හොඳට රඟපාන උන් එකෙක් නැද්ද කියලද අහන්නෙ?

ඇයි බං කමල් අද්දරාරච්චි ඉන්නෙ.. තව….මහේන්ද්‍ර පෙරේරා.. හැබැයි මහේන්ද්‍රගෙන් හරියට වැඩක් ගන්න අපේ උන්ට පුළුවන් වුනේ නෑ.. ඌට රඟපාන්න තරම් චිත්‍රපටි, උගේ හැකියාවට හරියන චරිත අපේ රටේ හැදෙන්නෙ නෑ.. ලංකාවෙ ඕල් ටයිම් ග්‍රේටස්ට් නම් ඉතින් ජෝ අබේවික්‍රම තමා ආයෙ කතා දෙකක් නෑ

මොකක්….ෂාරුක් ඛාන්? ඒ පාර ඉන්දියාවට ගියාද?.. ෂාරුක් උගෙ ඕඩියන්ස් එක කොර වෙලා යන්න රඟපාන්න දන්නවා

ඊළඟට සල්මාන්ද? ඌට රඟපාන්න බෑ බං. ඌ ගැන කතා නොකර ඉමු

ආමීර්.. වරදක් නෑ.. උගෙ චිත්‍රපට බලං හරි ඉන්න පුළුවන්

දැන් මම කියන විදියට කාටද හොඳටම රඟපාන්න පුළුවන් කියලද අහන්නෙ?

බලහන් රොබර්ට් ඩී නීරෝගෙ ටැක්සි ඩ්‍රයිවර්.. බ්රැන්ඩෝගෙ ගෝඩ් ෆාදර්.. ඩැනියෙල් ඩේ ලුවිස්ගේ දෙයාර් විල් බී බ්ලඩ්..ඇන්තනි හොප්කිස්ගෙ සයිලන්ස් ඔෆ් දි ලෑම්බ්ස්..අල් පචීනෝගේ සර්පිකෝ.. ඊළඟට උගෙම ඩෝග් ඩේ ආෆ්ටර්නූන්.. එතනින් ගියාම ඩස්ටින් හොෆ්මන්ගේ ලෙනී.. එතනින් ගියාම ජැක් නිකල්සන්ගේ…මොකක්??

මම සුද්දන්ට අදිනවා? නෑ යකෝ.. මම දැක්ක හොඳම ඇක්ටින් ඕවා තමයි

කරුමෙටද කොහෙද උන් ඔක්කොම සුද්දො

ඒකට මං මොනව කරන්නද බොල !