Thursday, July 28, 2016

ඉන්ටර්නැෂනල් ගොඩයො

සාමාන්‍යය කටවහරින් "පොෂ්" සහ "ගොඩේ" කියල හඳුන්වන කණ්ඩායම් දෙකක් ඉන්නෙ..

ඔතනින් ගොඩ දෙනෙක් තමන්ව "ගොඩේ" කියලා හදුන්ව ගන්න කැමති නෑ. ඒත් "පොශ්" කියලා තමන්ව හදුන්වා ගන්න කණ්ඩායම විසින්, තමා "පොශ්" ය කියලා ඒ අය අදුන්ව ගන්න චර්යාව වෙන්කර හදුනා ගන්න අවශ්‍ය නිසා, තමන් "පොශ්" වෙද්දි තමන්ගේ චර්යාවෙන් පිට පිරිසව "ගොඩේ" කියලා හදුන්වනවා.

ෆේස් බුක් එකේ ඉන්න උඹලා අපි වගේ "පොශ්" පොරවල්ට නම් ආයේ ඉතින් අමුතුවෙන් ඔය "පොශ්" සෙට් එක ගැන අමුතුවෙන් හදුන්වන්න දෙයක් නෑ මම හිතන්නේ.

ඔය බැරිස්ටා එකේ ඉදගෙන, බාගයක් කාපු පැස්ටා එකයි, බීපු කැපචීනෝ එකයි, කියවන තඩි පොතයි පැත්තකින් අහුවෙන විදිහට සෙල්ෆි එකක් ගහලා "විශින් වර්ල්ඩ් පීස් විත් බණ්ඩා ඇන්ඩ් 33 අදර්ස් ඇට් බැර්ස්ටා" කියලා දාන්නේ. ඊට පස්සේ ගොඩ කාලෙකින් හම්බුන යාළුවව බදාගෙන "ෆීල්න් ඩ්‍රන්ක් විත් නවම් ඇන්ඩ් 54 අතර්ස් ඇට් ටැප් හවුස්, ඩච් හොස්පිටල් කියලා දාන්නේ. ඊටත් පස්සේ හස්බන්ඩ්ට වැදලා වැදලා මතක් කරලා ගත්තු පර්ෆියුම් එකයි කාර්ඩ් එකයි වත්තෙන් කඩා ගත්තු ඇන්තූරියම් මල් දෙකේ ෆොටෝ එකයි දාලා "ෆීලිං ලවුඩ් විත් හබී ඇන්ඩ් 128 අදර්ස්" කියලා දාන්නේ.

"ක්‍රි කොස් ඇන්ඩ් සම්බල්" දවල්ට කන්නේ.. කැඩිච්ච ඉන්ග්‍රිස් වලින් දවස පුරා යාළුවෝ එක්ක කතා කරන්නේ...

ඔය කොයිතරම් තමන් සාමාන්‍යය සමාජයෙන් වෙනස් කියලා පෙන්වන්න හැදුවත්, මේ අයගෙත්.. ඒගොල්ලන්ටම අනුව "ඊයා ගොඩේඩේඩේ..ඒඒඒ" කියලා හදුවන කණ්ඩායමත් අතරේ වැඩි වෙනසක් නෑ කියලයි පුද්ගලික අත්දැකීම් වලින් මටනම් හිතෙන්නේ.

දවස පුරා කඩ්ඩෙන් කතා කරන තැන් වල වැඩ කරන මිනිස්සු තුළත් ලංකාවෙ අමු ගොඩේ කියල හඳුන්වන ලක්ෂණ තියෙන බව මම අත්දැකීමෙන් දන්නවා. මේ මිනිස්සු දියුණුයි කියල තමාවම හඳුන්ව ගත්තට සමාජීය අතින් ගැමියන්ට සමානයි. චින්තනයේ වැඩි වෙනසක් නැහැ. ඕන නම් එක පිරිසක් ඉරිදා පොළෙන් බඩු ගද්දි අනිත් පිරිස ෆුඩ් සිටියෙන් බඩු ගනියි. එක පිරිසක් 'සැලූන්' එකෙන් කොණ්ඩේ කපද්දි අනිත් පිරිස 'සැලෝන්' එකෙන් කොණ්ඩේ කපයි.

ආර්ථික මට්ටමෙන් වෙනස් වුනාට ගුණදර්ම, සාරධර්ම අතින් වෙනසක් නැහැ.

අනිත් මනුස්සයාගේ අයිතීන්ට ගරු කරන එක, නිදහසට ගරු කරන එක, අනිත් කෙනාගේ පුද්ගලික ජීවිතය තුළ තමාට තියෙන සීමාව වගේ මූලික සදාචාරයන් ගැන හාංකවිසියක දැනුමක් නැහැ. ඒවා රකින්න උවමනාවක් නැහැ. තේරුමක් නැහැ.

නම ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩර්ඩ් එකක් තියෙන කම්පැනියක වැඩ කලාට, ටයි පොලු දාගෙන හිටියට, දවස තිස්සේ මූණ පුරා මේක් අප් උලාගෙන පුකවල් හිර වෙන්න කලිසම් ඇඳං හිටියට ඇතුලාන්තයෙන් මේ අය බහුතරයක් හැසිරෙන්නේ "ඊයා ගොඩේඩේඩේ" ගැමියො වගේ. නූතනත්වය කියන තමාට නොතේරෙන පරිසරයකට අත ඇරලා දාපුවම ඒ වෙනස එක්ක කටයුතු කරන්න ඕන විදිය හිතා ගන්න බැරි "ඊයා ගොඩේඩේඩේ" ගැමියො ටිකක් වගේ.

ඔව්.. මේ කතා කරන්නෙ ඕපාදූප කියන දේ ගැන.. අනිත් මනුස්සයාගේ පුද්ගලික අවකාශයට බලෙන් රිංගලා ඒකෙන් ආතල් එකක් ගන්න එක ගැන

"...අරයා මෙයා එක්ක නිදාගන්න එක..මෙයා අරයා එක්ක කලින් යාළු වෙලා හිටිය එක.. වැඩ ඇරිලා අරයා මෙයාගේ කාර් එකට නැග්ග එක... අරයා යාලු වෙලා ඉඳල තියෙන කොල්ලො ගාන.. අරයාගේ පවුලේ ප්‍රශ්න.. අරයා ගේ සායේ කොට.. බ්ලවුස් එකේ දිග.. විදලා තියෙන කරාබු ගාන.. ටැටූ ගහල තියෙන ගාන සහ තැන්..."

ටයි පොලු දාගත්ත නූතන අබිලිංලා සහ දයාවතීලා ගේ දිනචරියාවේ ප්‍රධානම කොටසක් වෙලා තියෙන්නේ අනෙකාගේ පුද්ගලිකත්වයට බලෙන් හොට දාලා ඒ රහස් කාමර වල තියෙන දේ බලලා අනිත් අයට කියලා වින්දනයක් ලබන එක.

කොච්චර ඉන්ටර්නැෂනල් ලෙවල් එකට ගියත් ඒ සෝ කෝල්ඩ් ගොඩේ කම නැති කරන්න බැරි වෙලා තියෙනව.

මඩේ ළගින ඌරෙක් ලෝකෙම තියෙන කුණු වලින් රසයක් විඳිනව වගේ මේ පිරිසත් අනුන්ගේ ජීවිත වල තියෙන කුණුවලින් රසයක් විඳිනව.

ටයිපොලු දාගෙන.. මේකප් උලාගෙන අනිත් මිනිස්සුන්ගෙ පුද්ගලික ජීවිත වලට එබිකම් කරල ඒ අයගෙ පුද්ගලිකත්වය තමාගෙ වටිනාකම් වලින් මැනල තැන් තැන් වල එක එක්කෙනා එක්ක කියවන එක තරම් ආතල් එකක් මේ මිනිස්සුන්ට තවත් නැහැ.

කොච්ච්චරම උත්සාහ කලත් කූඩැල්ලාව මෙට්ටේ තියන්න බෑ කියන කතාවෙ වගේ බාහිර පෙනුමෙන්, යන වාහනයෙන්, පාවිච්චි කරන ෆෝන් එකෙන්, ගෙදර ඉන්නා බල්ලාගේ වර්ගයෙන් කොච්චර නූතන වුනත් ඒ අයගේ මනස අස්සේ තවම ජීවත් වෙන සමාජීය වශයෙන් "ඊයා ගොඩේඩේඩේ" ගැමියාව පාලනය කරන්න ඒ නූතනත්වයට නොහැකි වෙලා තියෙනවා.

මේ අය කොච්චර පොෂ් වෙන්න හැදුවත්.. නූතන වෙන්න හැදුවත්.. ඔලු අස්සේ හිර වෙලා ඉන්නෙ ඔහොම සතෙක්. මේ අයව පොෂ් කියල හඳුන්වනවට වඩා ගැලපෙන්නෙ "පොෂ් ගොඩයො" කියල.. එහෙම නැත්තම් "ඉන්ටර්නැෂනල් ගොඩයො" කියල හඳුන්වන එක..

Tuesday, July 26, 2016

මුරලිගේ අයිතිය වෙනුවන්

මුරලි මගෙ ප්‍රියතම ක්‍රීඩකයෙක් නෙමේ. ඇත්තම කියන්නම් ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ මම අකමැතිම ක්‍රීඩකයෙක් මුරලි.. නෑ... එහෙම නෙමේ.. ලංකාවෙ කණ්ඩායමෙන් මම අකමැතිම මනුස්සයෙක් මුරලි. මම සචින් තෙන්දුල්කාර්ට වඩා බ්‍රෙන්ඩන් මැකලම්ට කැමතියි වගේ, මුරලිට වඩා මම චමින්ද වාස්ට කැමතියි. දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් ලංකාවෙ කණ්ඩායම වෙනුවෙන් මෙච්චර කඩුළු ගත්ත, ලෝක පූජිත අග්‍රගන්‍ය ක්‍රීඩකයා වෙච්චි මුරලිට අකමැති ඇයි කියල. ඒක අකමැත්තක් කියල හඳුන්වනවට වඩා විශේෂ කැමැත්තක් නැති කමක් කියල හැඳින්වුවොත් හරි.

මුරලිගෙ කඩුළු ටික අයින් කරල.. දක්ෂතාවය අයින් කරල ගත්තම මහත්මා ගතියෙන් යුක්ත ක්‍රීඩකයෙක් මම දැක්කෙ නෑ

මම දැක්කේ පිටිය මැද කඩුළු පිපාසයෙන් පෙළෙන මනුස්සයෙක්ව. ඒ කඩුළු පිපාසය ලංකාවෙ කණ්ඩායමේ වාසියට වැඩකලාට ඔහුගේ හැසිරීම, විනය පොඩ්ඩක් උවමනාවෙන් බැලුවොත් එතන හිටියෙ නැහැදිච්ච අමනුස්සයෙක්. ඒ මම දැක්ක හැටි

මුරලිගෙ පන්දුවකට ලබුන උඩපන්දුවක් බැරි වෙලා හරි අත ඇරුනොත් මුරලි පන්දුව දාද්දි හදාගන්න යක්ෂ මූණම තමාගේ කණ්ඩායමේ සගයා වෙත එල්ල කරන්නේ පෙනන විදියට පරුෂ වචනයෙන් බැන වදිමින්.

එහෙම හැසිරීමක් පෙන්නන, එහෙම විනයක් නැති කෙනෙක් මගේ ඇහින් විශිෂ්ඨයෙක් නෙමේ. ක්‍රීඩාවෙ විශිෂ්ඨයෙක් වෙනව කියන්නෙ පිත්ත හතර අතට වනන එකවත්, පන්දුව කඩුල්ල දිහාට යවන එකවත් විතරක් නෙමේ.. ඉන් සෑහෙන එහාට ගිය දෙයක්, මම හිතන විදියට.

මුරලිගේ ඒ ඇටිටියුඩ් එක ලංකාවෙ වාසියට වැඩ කලේ ඔහු පන්දු යවන්නෙක් නිසා කියලයි මට හිතෙන්නෙ. බැරි වෙලාවත් ඔහු පිතිකරුවෙක් වුනා නම් අපට දකින්න හම්බෙන්නෙ ඉනිමෙ අන්තිම බෝලෙට පුළුවන් තරම් ලකුණු ගන්න බලනවා වෙනුවට තමාගෙ ශතකය වෙනුවන් එකක් දාන සචින් තෙන්දුල්කාර් කෙනෙක්. සචින්ගෙ තිබ්බ ආත්මාර්ථකාමිබව මුරලිගෙන් මම දැක්කා, තමාගෙ වැරදි ගැන පමණක් කියමින් අනික් කණ්ඩායමේ හොඳක් කිසිම විටෙක කියන්න කට ඇරෙන්නෙ නැති රිකී පොන්ටින්ග් ගේ තියෙන කුහක කම මුරලිගෙන් මම දැක්කා, ඒකයි මගේ නිරීක්ෂණය.

මුරලිගෙ කුහක කම කිව්වෙ මේකට..මතක විදියට මුරලි කඩුළු 400 ගත්ත දවසෙ හරි මුරලිගෙ අන්තිම තරඟෙදි හරි (හරියටම මතක නෑ) පැවතුන උත්සවයේදී මුරලි ස්තූති කරපු අයගෙ නම් ලිස්ට් එකේ අර්ජුන රණතුංගව මඟ හැරුනේ හිතාමතාද වැරදිලාද කියල මම දන්නෙ නෑ. නමුත් ඒක වැරදීමක් වුනත්, ඒක ලොකු වැරැද්දක්. අර්ජුනගෙ නම අමතක වෙන්න තරම් මුරලි බබෙක් නොවන බව මම හිතන නිසායි, මම කියන්නෙ එවෙලෙ ඒ සඳහන් කිරීම අමතක කල එක මහා කුහක කමක් කියල. මුරලිට අර්ජුනගෙ නම අමතක වෙන්න විදියක් හිතාගන්න පුළුවන්ද?

දැන් මම මුරලි ගැන මෙහෙම කිව්වට.. ඕස්ට්‍රේලියාව නෙමේ වෙන ඕනම රටක් වෙනුවන් තමාගෙ සේවය කැමති ආකාරයකට දෙන්න මුරලිට තියෙන අයිතිය නොදැක ඉන්න හේතුවක් නැහැ. මොකද ක්‍රීඩකයෙක් කණ්ඩායමකට ක්‍රීඩා කිරීම, වෙනයම් විදියකින් සේවය ලබා දීම ඇතුලේ තියෙන යථාර්තය සහ ඒ ක්‍රීඩකයා ඇතුලෙ හැංගිලා ඉන්න මනුස්සයාගෙ අයිතිවාසකම් වෙනුවෙන් පෙනී ඉන්න ඒ කෙනා මගේ ප්‍රියතම ක්‍රීඩකයා නොවිය යුතු නිසා.

කතාව ඒකයි. මුරලි මගේ ප්‍රියතම ක්‍රීඩකයා නොවුනට.. ඔහු වෙනුවෙන් පෙනී ඉන්නෙ ඒකයි.

Saturday, July 23, 2016

දික්කසාදය ; ඔච්චරටම අවුල්ද?

"මුං දෙන්න දික්කසාද වුනා මදිවට එකට ස්ටේජ් නැගලා දරුවන්ටත් ලැජ්ජ කරනවා"

අතුල සමිතා දෙපල වෙන්වීමෙන් පස්සෙ මුලින්ම ස්ටේජ් නැගපු දවස් වල මගේ නැදෑකෙනෙක් කියපු කතාවක්. ඇයට පුළුවන් කමක් තිබ්බෙ නැහැ දික්කසාද වුන අතුල සමිතා එකම වේදිකාවක නැගලා මිනිස්සු විදියට හිනා වෙලා ඉන්න එක තේරුම් ගන්න.

මොකද, අපේ රටේ දික්කසාදය කියන්නෙම කුණුහරපයක්. අසාර්ථකත්වයේ සංකේතයක්. දික්කසාදයක් සිද්ධ වුනාම ඒක සලකන්නේ අදාල මනුස්සයාගේ ජීවිතයේ මකන්න බැරි කළු පැල්ලමක් විදියට. මොකක් හරි හේතුවක් නිසා දික්ක්සාද වුනාම එතනින් එහාට ඉතුරු වෙන්නේ ජම්මන්ත වෛරක්කාරයෝ දෙන්නෙක් මිසක තේරුම් ගැනීමන් ක්‍රියාකරන මනුස්සයො දෙන්නෙක් නෙමේ.

"ඔය දියුණුයි කියන රටවල දික්කසාද හරිම වැඩියි. ඒකට අපේ සංස්කෘතිය.. අපි ඉන්නෙ උන්ට වඩා සෑහෙන ඉස්සරහින්"

ඔය වගේ කතා පදනම් වෙන්නෙ දික්කසාදයෙන් විවාහ ජීවිතයක සාර්ථකත්වය මනින්න පුළුවන්ය කියන සිතිවිල්ල මත. ඇත්තටම දික්කසාද වීම හෝ නොවීම කියන කාරණය මත එහෙම සාර්ථකත්වය මනින්න පුළුවන්ද?

අපේ වගේ රටවල තවමත් ගැහැණිය කියන්නෙ පුරුෂයා මත යැපෙන්නෙක්. පුරුෂයා කියන්නෙ හැම වෙලේම වගේ නොඉඳුල් ගෑණියෙක් බලාපොරොත්තු වෙන කෙනෙක්. දික්කසාදයකින් අවසන් වුන විවාහයකින් පස්සෙ තමාට යැපෙන්න තවත් පිරිමියෙක් හොයාගන්න තියෙන අපහසුකම, සමාජ අපවාදයට මුහුණ දෙන්නට තියෙන නොහැකියාව, දරුවන්ගේ ප්‍රශ්න වැනි නොයෙකුත් දේ නිසා දික්කසාදයට නොයා ජීවිතය විඳවමින් දුක් කම්කටොලු රාශියක් දරාගෙන නිකන්ම කාලයට ගෙවිල යන ජීවිත කීයෙන් කීයක් අපේ රටේ විතරක්ම තියෙනවයි කියලද?

දික්කසාදය කියන සංකල්පය ඇතුලෙම තියෙන්නෙ එක්කෙනෙක්ට අනිකා නැතුව ජීවත් වෙන්න තියෙන හැකියාව පිළිබිඹු කිරීමක්. එතන තියෙන්නෙ වැඩිහිටියෙක් විදියට තමාගේ ජීවිතය ගැන ඇගයීමේ හැකියාවක්.. සත්‍යයට මුහුණදීමේ හැකියාවක්.. මහ පොළව මත පය ගහල ජීවත් වෙන්න තමාට හැකි බව කියවෙන පුද්ගලයෙකුගේ ආත්ම ශක්තියේ ප්‍රකාශනයක් වගේම පුද්ගලයෙක් විදියට පෙන්නුම් කරනා ස්වාධීනත්වයක්..

ඒ අතින් බලද්දි දුක්ඛිත කසාද ජීවිත අස්සෙ හිර වෙලා ඉන්න අපේ ස්වාධීනත්වය ගැන ප්‍රශ්නයක් ඉතිරි වෙනවා.

වෙන රටවල අවුරුදු 16-18 ගත වෙද්දිම සුළු හරි රැකියාවක් කරමින් ස්වාධීන ජීවිත වලට පය තබන තරුණ පරපුරකට සාපේක්ෂව අපේ රටේ ඉන්නෙ ඒ වයසෙදි අම්මගෙන් සල්ලි ඉල්ලගෙන පියාගෙන් අවසර අරගෙන තමාගෙ වැඩ කරගන්න සිද්ධ වෙලා තියෙන දෙමව්පියන් මත යැපෙන තරුණ පරපුරක්. කොටින්ම මෙතනදි විවාහය, පවුල් ජීවිතය පමණක් නෙමේ දික්කසාදය පවා තීරණය වීමේ මූලික භූමිකාවක් දෙමාපියන් රඟපානවා.

ඒ අතින් අපි ස්වාධීන නැහැ. ඉතින් ස්වාධීන තීරණ ගන්න විදියක් නැහැ අපි යැපෙන්නො... විවාහයෙන් පස්සෙත් එකිනෙකාගෙන් තොර පැවැත්මක් ගැන හිතන්නවත් බැරි යැපෙන්නො !

ඉතින් ඔහොම කුජීත සිස්ටම් එකක් අස්සෙ ඉඳගෙන තමයි අපි දික්කසාද රේට් එකෙන් අපේ සාර්ථකත්වය කියවන්න හදන්නෙ. නමුත් ඒ කියවීම අස්සෙ අපි අපිවම රවට්ටා ගන්න බව තමයි ඒක අස්සෙ හැංගිලා තියෙන ඇත්ත කතාව !

Monday, July 11, 2016

බූට් කෑමේ නිවැරදි ක්‍රමය

කෙල්ලෙක් කොල්ලෙක්ට බූට් එකක් තිබ්බොත් හෙවත් ආදර සබඳතාවයකට නැවතීමේ තිත තිබ්බොත් ගොඩක් අය ඒක සලකන්නෙ මහා සහගහන අපරාධයක් විදියට.

කොල්ලෙක් කෙල්ලෙක්ට බූට් එකක් තිබ්බත් එහෙමයි.

කට්ට කාලා කාලා අමාරුවෙන් යාලු කරගෙන, ගෙදර ඈයන්ගෙන් ගේම ඉල්ල ඉල්ල අමාරුවෙන් කරගෙන ගිහින්, අතේ තියෙන තුට්ටු දෙක හිඳෙනකන්ම වියදන් කරල, හීන දාහක් තියන් කරපු ප්‍රේමවන්තයා/ප්‍රේමවන්තිය එකපාරම බූට් එක තිබ්බොත් එහෙම දේකට කොහොමද මූණ දෙන්නෙ?

ගොඩක් අය වරද්දගන්න තැනක් තමා මේක. මගේ දැනීමේ හැටියට ගොඩක් අය බූට් එක කන්නේ මෙහෙමයි..

අපේ කොල්ලො (හැමෝම නෙමේ) කරන්නේ මුලින්ම කෙල්ලව ශේප් කරගෙන ආයෙ යාලු කරගන්න උත්සාහ කරන එක. අන්තිමට ඕක කෙල්ලට වාතයක් වෙන තත්වයටම පත්වෙනවා. කොටින්ම කියනවා නම් කෙල්ල පස්සෙන් බල්ලෙක් වගේ නැට්ට වන වන වැඳ වැඳ යන තත්වයටම පත්වෙනවා. ඒකත් හරි ගියේ නැති වුනාම ඕකෙ ඊලඟ ලෙවල් එක තමා ගේම ඉල්ලීමේ ලෙවල් එක. මරාගෙන මැරෙන්න සූදානම් වෙන පලිගැනීමේ ලෙවල් එක. යාලුවෝ දමා තමා එක දවසක් හරි ආදරේ කරපු ඒ කෙල්ලව චාටර් කරන ලෙවල් එක. මඩ ගහන, නම කැත කරන, තමාගේ සහ ඇගේ ලිංගික ජීවිතය ගැන අනිත් අයට කිය කිය, ඇගේ අලුත් පෙම්වතාගේ ජීවිතයට තර්ජනය කර කර, වෙඩින් ගන්න දෙන්නේ නෑ කියල තර්ජනය කරන ලෙවල් එක. ෆොටෝ තියෙනව නම් ඒව දාල කෙල්ලගේ නමින් ෆේක් අකවුන්ට් එකක් හදල ඒකෙන් මෝඩ චූන් ගන්න ලෙවල් එක. ෆේස් බුක් එකේ බූට් ස්ටේට්ස්, බූට් ෆොටෝස් දමමින් අන් අයගේ අනුකම්පාව සහ අවධානය හිඟාකන ලෙවල් එක...

ඊට පස්සේ ආයෙ කවදාවත් ලව් කරන්නේ නෑ, කෑලි දාගන්නේ නෑ, දාගත්තත් සිරා කරන්නේ නෑ කියල තමා තමාටම පොරොන්දු වෙනවා.අන්තිමට මාස දෙක තුනක්, අවුරුද්දක් ගිහින් කෙල්ල අමතක වුනාම වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙනවා.අවුරුදු කිහිපයක් ගිහින් ඒ කෙල්ලව බැඳල ඒකි එක්ක පාරෙ යද්දි අර පරණ කෙල්ලව මුහුණට මුහුණ හම්බුනාම පොලව පලාගෙන යන්ඩ හිතෙනවා තමා වැඩවල හැටියට ඒ කෙල්ලගෙ මූණවත් කෙලින් බලන්න බැරි නිසා.ලමයෙක් දෙන්නෙක් හම්බෙලා තාත්තෙක් වුන දවසට අර පරණ නැට්ට වනපු සීන් මතක් වෙද්දි තමාට තමා ගැනම ලැජ්ජ හිතිල අනේ මම වගේ ගොනෙක් කියල හිතෙන තත්වයටම පත්වෙනවා.

ඕක තමයි බොහෝ අය බූට් එක කන විදිහ.

මේ කට්ටිය සහ මේ තත්වයට පත්වෙන්න ඉන්න කට්ටියට (ඉදිරියේදී බූට් කන්න ඉන්න කට්ටියට) බූට් තැබීමේ අයිතිය ගැන මගේ අදහස් ඉදිරිපත් කරන එකයි මේ සටහනේ අරමුණ.

බූට් එකක් තියන එක හෙවත් ආදර සම්බන්ධයකට නැවතීමේ තිත තියන එක ඔයතරම් වැරදි දෙයක්ද?

වැඩිවියට පැමිනුණ දින සිට නොයෙකුත් හේතු නිසා තරුණ තරුණියන් අතර ඇතිවන ආදර සම්බන්ධකම් සෑම විටම විවාහයෙන් කෙලවර වෙන්නේ නෑ, එහෙම වෙන්න ඕනත් නෑ...
..ආකර්ශනය නිසා හරි වෙනයම් හේතුවක් නිසා හරි ඇතිවන මේ සම්බන්ධතා බිඳ වැටීම සාමාන්‍ය දෙයක්. තරුණයෙක් සහ තරුණියක් ආදර සම්බන්ධතාවක් පටන් ගත්තයින් පස්සෙ එකිනෙකා තේරුම් ගැනීම සිදුවනවා. මේකට අනිවාර්‍යෙන් කාලය ගතවනවා. එහෙම කාලය ගතවූවායින් පස්සෙත් කෙනෙක් සම්පූර්ණයෙන් තේරුම් ගැනීමට බැරි වුනත්, තමාගේ අවශ්‍යතා, උවමනා, සහ වටිනාකම් වලට තම සහකරුවා හෝ සහකාරිය ගැලපෙනවාද නැද්ද යන්න තීරණය කිරීම සම්බන්ධතාවය පවත්වාගෙන යන දෙදෙනාගේම අයිතියක්. ගොඩක් වෙලාවට  මේ තීරණය හිහෝ නිරායාසයෙන් හරි නොදැනුවත්වම හරි සිදුවන්නේ. මුල් කාලයේ ආදරයෙන් තේරුම් ගැනීමෙන් ගෙන ගිය සම්බන්ධතාවය කල්යත්ම වෙනත් ස්වභාවයකට පත් වෙන්න පුළුවන්. මේ තත්වයට වුනාම තමාගෙ උවමනා සහ වටිනාකම් වලට නොගැලපෙන කෙනෙක් සම‍ඟ අනුකම්පාව නිසා හෝ සමාජය ඉදිරියේ පත්වන ලජ්ජාව නිසා හෝ දිගටම සිටීම තමාට මෙන්ම තම සහකරුවා/සහකාරියටත් කරන අසාධාරණයක් නෙමේද? එහෙම ඉන්න යුවලක් විවාහ ජීවිතයට ඇතුලත් වුනොත් ඒ සම්බන්ධතාවය සාර්ථක වෙන්න වඩා අසාර්ථක වීමට හැකියාව ඉතා වැඩි ඉඩක් තිබෙනවා නේද? එය විවාහයෙන් පසු තමා බිහි කරන ලමයින්ට කරන අසාධාරණයක් නෙමේද?

ආදර සම්බන්ධතාවයේ යම් අවස්ථාවක තම සහකරුවාට/සහකාරියට ඇති ආදරය, ආකර්ශනය නැති වී ගොස් ඒකාකාරී, නිරස ස්වභාවයකට පත්වුනහොත් ඒ බව තම සහකරුවාට/සහකාරියට දැනුම් දී තීරණයක් ගැනීම වැඩිහිටියක් විදිහට කල යුතු වගකීමක් මිසක වැරැද්දක් නෙමේ. තම වෙනස් කම්, නොගැලපීම් සාකච්ඡාවෙන් විසඳා ගැනීමට උත්සාහ කිරීමෙන් පසුව හෝ එසේ නොමැතිව හෝ සම්බන්ධයට නැවතීමේ තිත තැබීම දෙදෙනාගේම අයිතියක්.

මගේ පුද්ගලික අදහස නම් සහකාරියක් විසින් ප්‍රේම සම්බන්ධයක් නැවතීමට තීරණයක් ගෙන ඒ ගැන කතා කිරීමට හෝ අකමැති නම් එයත් ඇයගේ අයිතියක් බවයි. කෙනෙක් සමග දිගටම සම්බන්ධතාවය ගෙනයාමට අකමැති වීමම ප්‍රමාණවත් විය යුතුයි ඒ සම්බන්ධය නැවතීම සඳහා. නැතුව තමාගේ තීරණයට හේතු ඉදිරිපත් කිරීම හෝ වග උත්තර බැදීම බලෙන් කරන්නට යෑම තේරුමක් නැති දෙයක් විදිහටයි මම දකින්නේ. මෙහිදී සමාජය විසින් මේ දෙස බලන විදිහ අනුමත කල නොහැකියි. උදාහරණයක් විදිහට සම්බන්ධය නැවැත්වූ තරුණිය ටික කාලයකට පසු වෙනත් පොහොසත් තරුණයෙක් හෝ වඩා කඩවසම් තරුණයෙක් සමඟ හෝ ආදර සම්බන්ධයක් පටන් ගත්තොත් සැමදෙනා ඇය දෙස බලන්නේ වපර ඇසින්. නමුත් සිදු වුනේ මම කලින් සඳහන් කල දෙය නොවේද? ඇයගේ අවශ්යතාව, උවමනාව, සහ වටිනාකම් වලට ගැලපෙන කෙනෙක් ඇය විසින් තෝරාගනු ලැබුවා. තමාගේ ජීවිතය සම්බන්ධයෙන් තීරණ ගැනීම ඇයගේ අයිතියක් පැහැදිලිවම.

ඒ අවස්ථාවේ තමා කැපකල කාලය, ශ්‍රමය, මුදල්, තම සිහින වැනිදේ තමාට අහිමි වූ නිසා ලොකු නාස්තියක් අපරාදයක් ලෙස පෙනුනත් දීර්ඝ කාලීනව සිතා බැලීමේදී සිදුවුනේ ඉතාම හොඳ දෙයක් බව සක්සුදක් සේ පැහැදිලියි. මෙවන් අවස්ථාවල හැකිතර්ම් බුද්ධියෙන් කටයුතු කිරීමයි කල යුත්තේ. ජීවිතයට හොඳ අත්දැකීමක් කර ගැනීමයි කල යුත්තේ.මගෙ අදහස නම් අදාල තරුණයා සතුටු විය යුතුයි තරුණිය ඒ තීරණය ගැනීම ගැන. නැතහොත් විවාහයෙන් පසු තමාට සැපිරීමට නොහැකි ඇයගේ ආශාවල්, අවශ්යතා නිසා දෙදෙනාගේම ජීවිත මෙන්ම දරුවන්ගේ ජීවිතද අපායක් වීමට තිබුන අනාගතය අර තරුණියගේ තීරණය හේතුවෙන් වැලකී ගිය නිසා. සිදු වූයේ බූට් තැබීමක් හෝ අවමන් කිරීමක් නොව දෙදෙනා හෝ දෙදෙනාගෙන් එක් අයෙක් විසින් අනෙකා තේරුම් ගෙන වැඩිහිටියෙක් සේ ගත් තීරණයක්. ඉතින් මෙවන් අවස්ථාවක කල යුතු වන්නේ දෙදෙනාම වැඩිහිටියන් විදියට හැසිරීමයි.

හදවතින් තීරණ ගැනීම කියා දෙයක් නෑ. සෑම විටම ජීවිතයේ තීරණ බුද්ධිමත්ම ගැනීමට උත්සාහ කල යුතුයි. හදවතින් තීරණ ගැනීම යනු බුද්ධිය පාවිච්චි කරන්නෙ නැතුව හැඟිම් වලට වහල් වී ගන්නා අනුවණ තීරණ හැඳින්වීමට මිනිසුන් සාදාගත් නමක් විතරයි

ජීවිතයේ යාථාර්තයට මුහුණ දීමට වැඩිහිටියන් ලෙස අපි සියල්ලන් සූදානම් විය යුතුයි. ඒක කරන්න බැරි කෙනෙක් ආදර සම්බන්ධයක් පවත්වාගෙන යාමට, විවාහ වීමට, දරුවන් බිහි කිරීමට සුදුසු කෙනෙක් නෙමේ.

මෙවන් අවස්ථා මෙන්ම ජීවිතයේ අනෙක් සෑම අවස්ථාවකදීම මුහුණ දෙන්නට සිදුවන මිහිරි සහ අමිහිරි අත්දැකීම් තුලින් පන්නරයක් ලබාගෙන ජීවිතය ජය ගැනීමට අධිෂ්ඨාන කරගැනීමයි කල යුත්තේ. පසු කාලයේදී තමාට තමා ගැනම ලජ්ජාවන අයුරින් එවන් අවස්ථා වලදී හැසිරීම නොවේ.

- වසර දෙකකට පමණ පෙර ලියූ පැරණි සටහනකි.

Monday, July 4, 2016

මදුරු බැට් !



ඔය පින්තූරෙ තියෙන්නෙ අපේ ගෙදර තියෙන මදුරු බැට් එක. වැඩිය නෑ රුපියල් 800 යි. හතර අතේ වනන්න තියෙන්නෙ මදුරුවන්ට ඔන් ද ස්පොට් බඩු පැකට් වෙනවා "කිරිස්" "කිරිස්" ගාලා... මදුරු කරදරේ නිසා මලපැන්න වෙලාවල්වල මමත් මේකෙන් මදුරුවො සෑහෙන ප්‍රමාණයකට ස්වර්ගස්ථ වෙන්න මාර්ගය හදල දීලා තියෙනවා.

වැදුන ගමන් මදුරුවාව රෝස් පාන් වගේ රෝස්ම වෙලා යනව සැක තියාගන්න එපා බොරු නෙමේ මේ ගල් පැලෙන ඇත්ත.

නෑ නෑ... එහෙම කලා කියල තමාගේ ෆේස් බුක් සත්ව හිංසා කැම්පේන් වලට හානියක් වෙන්නෙ එහෙම නෑ. දඬු ලේන්නු වෙනුවන් කතා කරන්න.. පෙරහැරේ අලි වෙනුවෙන් හඬ නඟන්න.. දුක, වේදනාව, හැඟීම් දැනීම් තියෙන සත්තුන්ව ගෘහාශ්‍රිත සහ නොවන කියල දෙකොටසකට බෙදලා ඉන් එක ජාතියකගෙ මස් බඩේ තියාගෙන අනිත් ජාතිය වෙනුවෙන් කඳුළු සලන්න බැරි වෙන්නෙත් නෑ.

මදුරු බැට් එකෙන් මදුරුවො මරද්දි හෙන ආතලුත් එක්ක! (මස් කද්දි දිවට දැනෙන ආතල් එක වගෙම තමයි)

කුකුල් මස් කාලා ෆේස් බුක් ඇවිත් දඬුලේන්නු වෙනුවෙන් අඬලා.. දඬුලේන්නු මරපු උන්ව අල්ලලා දීලා යුක්තිය ඉෂ්ඨ කරන්න දායක වෙලා රෑට නිදාගන්න කලින් "මදුරු බැට්" එකෙන් මදුරුවන් දහ පාලොස් දෙනෙක්ට වැඩේ දීලම නින්දට යන්න පුළුවන්.

දැන් මේ දවස් වල ලොකු කතාවක් යනවනෙ සත්තු මරණ සීන් එක ගැන. එහෙම කියල මදුරු බැට් එක නොගෙන හෙම ඉන්නෙපා..

ඒක ගැනත් වචනයක් කියන්නම්කො

අපි මස් කන්න ආසයි.. මස් හරිම රසයි.. අපිට බෑ මස් කන එක නවත්තන්න.. ඒ අස්සෙ අපිට ඕන අපි හරි දේ කරන්නෙ කියල හිත හදාගන්නත්..!

දැන් ඕකනෙ ප්‍රශ්නෙ.

සරලව කියනව නම් තමා හොඳ මිනිහා වෙන්නනෙ ඕන

බය වෙන්න එපා. අන්තිමට මොන වැඩේ කලත් ඔයා කරන දේ "හරි" කියල තමා උත්තරේ එන්නෙ. හිතද්දි තර්කනය පොඩ්ඩක් ඩිස්මිස් කරන්න විතරයි තියෙන්නෙ.. ඔව් ඔව්.. තම තමා කැමති විදියට..

මම නම් හොඳ මිනිහෙක් නෙමේ. මම නම් නොම්බර එකේ කුහකයෙක්. මදුරු බැට් එකෙන්  මම මදුරුවො මරනව. කාලෙකට මස් කනවා.. ආයෙ වෙජිටේරියන් වෙනව.. ආයෙ වීගන් වෙනව.. ආයෙ මස් කනවා.. ආයෙ වෙජිටේරියන්..ආයෙ වීගන්..ඕක තමා මගේ චක්කරේ..

මටත් මස් කන එක නවත්තන්න මාර අමාරුයි (විශේෂයෙන් ෂොට් එකක් හෙම දාද්දි බයිට් ඕන වෙද්දි)

ඒක වෙනම කතාවක්.. මම කියන්න ගියෙ මේ කරුමෙකටද කොහෙද මම මේවා ගැන හිතද්දි මගේ ආසාවල් පැත්තක තියල හිතන්නෙ. ඉතින් අර සූත්තරේ දැම්මාම ඕගොල්ලන්ට වගේ නෙමේ, මට එන්නේ "උඹ මහා කුහකයෙක්.. කොච්චර තර්ක කලත් මස් කන එක වැරදියි බූරුවො" වගේ උත්තරයක්.

කමක් නෑ.. මම හැරෙන්න අනිත් ඔක්කොම හොඳ මිනිස්සුනෙ.ඒ මදෑ. අන්තිමට හැමෝම කරන්නේ තමා 'හරි' කියල හිතන දේ කියල උත්තරේ එනවනෙ.

මම නම් මම වැරදියි කියල හිතන.. මම වැරදියි කියල දන්න දේවලුත් කරනවා ඕන තරම්. ඒකයි මම කිව්වෙ මම නොම්බර එකේ කුහකයෙක් කියල (ඕකට සිංහලෙන් කියන්නෙ hypocrite කියල)

උඹල හොඳ මිනිස්සුනෙ. එච්චරයි ඕන.

ගන්න.. මදුරු කරදරේට මදුරු බැට්..
කන්න.. දිවට රසට ඕන මසක් ! ආ.. වැරදුනා.. ගෘහාශ්‍රිත සත්තු සහ නම් කරන ලද සතුන් හැර ඕන මසක් !

තෙරුවන් සරණයි. (සියලු සත්වයෝ නිදුක් වෙත්වා)

ප/ලි -

[1]. කරුමෙ කිව්වෙ මට මම ගැන එහෙම හිතෙන එක. නැත්නම් උඹල වගේ හිත හදාගෙන මස් ටික කන්න තිබ්බා

[2]ආ.. තව එකක් අපේ ගෙදර හතර මායමට "හරක් මස්" වද්දගන්නෙත් නෑ. තාත්තා කැමති නෑ. අකමැති හේතුව දන්නෙ උන්දැම තමා