Saturday, October 21, 2017

වමනය කල වරදට පාසලෙන් දොට්ට



මම සයිබරයේ සැරිසරමින් සිටියෙමි. ප්‍රියම්භිකාවිය සිටියේ මා අනෙක් පසින්ය.

"මොකක්ද අර?.."

"අද වෙච්චි සිද්ධියක්. ළමයෙක්ට බඩිගින්නේ වමනෙ ගියාම ප්‍රෙග්නන්ට් වෙලා කියල හිතල ඉස්කෝලෙන් එලවල. අම්මල තාත්තලටත් කියල"

මම ඇයට අදාල ප්‍රවෘතිය පෙන්වීමි.

"ඔය වගේ තමා ගොඩක් ගුරුවරු හිතන්නේ. ඇයි අපි ඉස්කෝලෙ යන කාලෙ අපේ පන්තියෙ ළමයෙක් ලොකු වෙලා එයාර් හොස්ටස් කෙනෙක් වෙන්න ආසයි කිව්වා කියල සර් එයාට වේසි කියල තිබ්බා.."

"මොකක්.....?"

"ඔව්"

"මොකක්ද හරියටම වුනේ?"

"ඔය ඉස්කෝලෙ යද්දි අහන්නෙ, ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියල. අපේ පන්තියෙ ළමයෙක් කිව්වා එයා කැමති එයාර් හොස්ටස් කෙනෙක් වෙන්න කියල. ඒ ළමයට හොඳටම බැන්න. පස්සෙ ඒ ළමයව පැත්තකට අරගෙන ගිහින් තවත් බැනල. සර් කියල වේස රස්සා කරන්න හදන්නෙ උඹ වේසියෙක් වෙන්නද කැමති" කියල.

මගේ හිත කේන්තියෙන් පිරීගියේය. මගේ පාසලේ සිටි ගුරුවරුන්ගේ කල්ක්‍රියාද මතකයට නැඟෙන්නේ මෙවැනි අවස්ථාවලදීය.

මගේ පාසලේ ගුරුවරු කිහිපදෙනෙක් අතර තරඟයක් විය. ඒ පාසලේ 'වසම සර්' යන නාමය හදාගැනීමටය. ඒ නම හදා ගැනීමට ඔවුන් කරන්නේ හැකි පමණ පාසල් සිසුන්ට පහර දීමය. දවස ආරම්භ වද්දි ඇහෙන "චටාස්.. පටාස්.." සද්දය අපට නුපුරුදු දෙයක් නොවීය. තවත් ගුරුවරයෙක්ට තිබුනු අමාරුවක් නම් සිසුවියන් ඉදිරියේදී සිසුන්ට පහර දීමට ඇති ආශාවයි. ඒ නිසා ඔහුට පාසලේ වැඩිමහල් සිසුන් තැබූ අනවර්ථ නාමය "කිඹිසිඹා" නම් විය. තවත් දිනෙක පාසලේ ගුරුවරයෙක් නමය වසරේ ඉගෙනුම ලැබූ සිසුවියකගෙන් 'කිස් එකක්' ඉල්ලා කරදර කරන බව අපට ආරංචි විය. එක්තරා ක්‍රමයකින් විදුහල්පතිට ඔහු ගැන දැනුම් දුන්නත් ගුරුවරයා වසර ගනනක් පාසලේ යහතින් සේවය කලේය. සිසුන්ට වේවැල් කැඩෙන තුරා පහර දුන්නද, ගුරුවරුන්ගේ විනය ගැන සොයා බැලීමට පාසල් පාලනාධිකාරිය එම උනන්දුවම දැක්වූවා දැයි නොදනිමි. සිසුන්ට පහර දීම, සිසුන්ව අනෙක් සිසුසිසුවියන් ඉදිරියේ ලජ්ජාවට පත් කිරීම එදිනෙදා සිදුවන සාමාන්‍යය දේ විය.

මගේ ජීවිත කාලය පුරා ගරුකටයුතු ගුරුවරුන් හමුවී ඇත්නම් ඒ එක්කෙනෙක් නැත්නම් දෙන්නෙක් පමණි.

අප රටේ ගුරුවරයා නැමති වෘතියේ නියැලෙනා මිනිසුන් ගත් විට පොදුවේ ඔවුන් තුල ඇත්තේ මෙවන් මානසිකත්වයක් යැයි සිතමි. මෙවන් තත්වයක් යටතේ ලාංකේය සමාජය විසින් ගුරුවරයාට 'ගරුත්වය ලැබීම' යන කාරණයේදී ෆ්‍රී පාස් එකක් ලබා දි ඇත්තේ මන්දැයි මම අද වනතුරා නොදනිමි.

ඕනෑම වෘතියකට හෝ නිල ඇඳුමකට හෝ (සිවුර, ලෝගුව), පට්ටමකට හෝ (මව්පදවිය, පියපදවිය) ඉබේ විශේෂ ගරුත්වයක් හිමි වීමෙන් අසාධාරණයට පත් වන්නේ ඒ ගෞරවය හිමි යැයි සැලකෙන මිනිස්සුන්ගෙන් පීඩනයට පත් වන පීඩිතයන්ය. මේ විශේෂ ගරුත්වය හිමි පුද්ගලයන් අතින් පීඩනයට සහ අසාධාරණයට ලක් වූවන් ඊට එරෙහිව හඬනගන්නට හෝ නීතියේ පිහිට පතන්නට මැලිවන්නේ ස්වභාවයෙන්ම ඔවුන්ට තමාට වඩා වැඩි පිළිගැනීමක් සමාජයෙන් ලැබෙන බව දන්නා නිසාය. එනිසා මෙවැනි කැපී පෙනන විශේෂ සිදුවීම් වලදී හැර බොහෝ විට සිදුවන්නේ මේ 'ගරුකටයුතු' වෘතීන් වල නියැලෙන්නන් අතින් වන අසාධාරණයන් අනෙක් අය 'ඉවසීමය'.

පුද්ගලිකව මම මිනිසුන්ට ඔවුන් කරනා වෘතිය නිසා හෝ ඔවුන් දරනා පට්ටම් නිසා හෝ ඔවුන් අඳිනා නිල ඇඳුම් නිසා ඔවුන්ට විශේෂ ගෞරව සැලකිලි නොදක්වන්නට හැකි තරම් උත්සාහ කරමි. සැමටම ලැබිය යුත්තේ මනුස්සයෙක්ට හිමි ගෞරවය පමණි. කෙනෙක්ට අනෙක් අයගෙන් විශේෂ ගෞරවයක් අවශ්‍ය නම් ඔහු ඒ විශේෂ ගරුත්වය ඔවුන්ගෙන් දිනාගත යුතුය. හැසිරීමෙන් සහ කල්ක්‍රියාවෙන් තමා අනෙකුන්ට වඩා විශේෂ බව පෙන්විය යුතුය. එවිට ඔහු මොන වෘතියේ නියැලුනත්, මොන පට්ටම දැරුවත් ඔහුට සියල්ලන්ගේ ආදරය ගෞරවය ලැබෙනු ඇත. මන්ද, ගෞරවය යනු දිනාගත යුතු දෙයක් මිස, ඉබේ ලැබෙන දෙයක් නොවන නිසාය.

කෙසේ නමුත් ලංකාවේ ගුරුවරු නැමති වෘතියේ යෙදෙනා මිනිසුන් කොටස තුලද අනෙක් හැම වෘතියකම යෙදෙනා මිනිසුන් තුල සේම වැඩියෙන්ම ඇත්තේ අඩුපාඩුය. ආකල්ප වල ගැටළුය. ඔවුන්ගේ ඒ අඩුපාඩු හඳුනාගෙන ඒවා ප්‍රශ්න කිරීමට නම් සමාජයක් වශයෙන් ගුරුවරුන්ට ලබා දී ඇති මේ 'ෆ්‍රී පාස්' එක වහා ගලවා ඉවත දැමිය යුතු බව දැන්වත් තේරුම් ගන්නවා නම් හොඳය. නැත්නම් සිදුවන්නේ දශක ගානක් තිස්සේ කලාක් මෙන් ගුරු පුටුවේ සිටිනා පුද්ගලයා මොන ජාතියේ අමනයෙක් වුවද, මොන ජාතියේ අමන වැඩ කලද "අනේ හොඳා සර්" කියා බුලත් දී ඔහු ඉදිරියේ වැඳ වැටීමටය.

Friday, October 20, 2017

පහත් තැනින් යයි ගලා ජලේ



තමාට වඩා පහළින් ඉන්න මිනිස්සුන්ට පාර්ට් දාන අයමයි තමාට වඩා ඉහළින් ඉන්න අය ඉස්සරහා ලේසියෙන් දෙකට නැමෙන්නෙ.

ඔය ඉහළ, පහළ බව වෙන් කරගන්නෙ ජාතිය, සමාජ මට්ටම, රස්සාව,ලිංගිකත්වය, අධ්‍යාපන මට්ටම වගේ නිර්ණායක මත පදනම් වෙලා.

ඔය විදියට සමාජයේ තමා ඉන්න තැනක් තීරණය කරල අනෙක් මිනිස්සුන්ව තමා ඉන්න ඒ තැනට පහළ සහ ඉහළ කියල වෙන් කරන මේ අය ඒ අනුව කවුරු ඉස්සරහ තමා පෙනේ පුප්පනවද කවුරු ඉස්සරහ නැට්ට කකුල් දෙක අස්සෙ ගහගන්නවද කියන එක තීරණය කරනව.

මම දැකල තියෙන විදියට ඔතනින් තමාට වඩා පහළින් ඉන්න අය ඉස්සරහා සැර දාන අයම තමයි කිසිම ලැජ්ජාවක් නැතුව වැඩියෙන්ම තමන්ගෙ ලොක්කන්ට ගොට්ට අල්ලන්නෙ. ලොක්කන්ගෙ සපත්තු ලෙවකන්නෙ.

තමාට වඩා පහළින් ඉන්න අයට පාර්ට් නොදාන, ඒ අයටත් තමා හා සමසේ සලකන ගොඩක් අයට මාරම අමාරුයි තමාට වඩා ඉහළින් ඉන්න අය ඉස්සරහා දෙකට නැමෙන්න.

මොකද ඒ අයගේ ඇස් වලින් ඔය නිර්ණායක අනුව මිනිස්සුන්ගේ ඉහළ පහළ බව තීරණය නොවන නිසා. ඒ අය හැමෝමව දකින්නේ මිනිස්සු විදියට නිසා.



ජාතිය නිසා, ආගම නිසා, සමාජ මට්ටම නිසා, රස්සාව නිසා කෙනෙක්ව පහත් කියල දකින්නැති කෙනෙක් ඒවා නිසාම කෙනෙක්ව උසස් කියල දකින්නෙ කොහොමද?

වෙන කෙනෙක් මත ආධිපත්‍යය පතුරවන එකෙන් තෘප්තියක් ලබන එක ගල් යුගයේ වනචාරියෙක්ව හිටිය කාලෙ ඉඳලම අපේ ඇඟේ තිබ්බ දෙයක්. තාම ඒ වනචාරී අශිෂ්ඨ ආශාවට යට වෙලා 'පොඩි මිනිස්සුන්ට' සැර දාන එක ඇත්තටම බැලුවොත් මාරම දුර්වලකමක්.

එදිනෙදා දවස ගෙවද්දි ආශ්‍රය කරන්න හම්බෙන්නේ ඔය වගේ වනචාරීන් දෙතුන් දෙනෙක් විතරක් නම් නෙමේ. බහුතරයක් මිනිස්සු තාම එහෙමයි.

උස් තැන් දැක්කම හැකිලෙනවා. මිටි තැන් දැක්කම පුප්පනවා.

තමාගේ වනචාරී ආශාවල් බුද්ධියෙන් පාලනය කරගන්න තරම් පෞරෂයක් නැති ශිෂ්ඨත්වයට එළඹිලා නැති සත්තු !


Wednesday, October 18, 2017

මාර ඉස්කෝලෙ මාර පුත්තු



නම ගිය පාසලක ගුරුමාරුවක් ගැන සයිබරයේ ඇති වූ කතාබහක් හේතුවෙන් ලියවුන සටහනකි.


"...වසර දහයටකට වඩා වැඩි කාලයක් එකම සේවා ස්ථානයේ රැඳෙන ගුරුවරුන්ගේ සේවා ස්ථාන මාරු කල යුතු බව රටේ පවත්නා නීතියයි. 

එනයින්, එම නීතියට පිටිං යමින් ඔබ ඉගෙන ගත් පාසලේ වසර දහයකට වඩා වැඩි කලක් එක දිගට රැඳී සිටි ගුරුවරුන් වේ නම් ඔබ ඉගෙන ගත් පාසල රටේ පවත්නා නීතියට එරෙහිව යන හොර ගුබ්බෑයමකි. 

රටේ පවත්නා නීතිය නිසි ලෙසින් ක්‍රියාත්මක වීමට එරෙහි වන්නේ නම් ඔබ හොර ගුබ්බෑයමකින් බිහි වූ තක්කඩියෙකි. 

පවත්නා නීතියට එරෙහි වීමේ ඔබේ තක්කඩිකම සාධාරණීකරණය කිරීමට ඔබට අනේක හේතු තිබිය හැක. 

එසේ නීතියට එරෙහිව යාම යෝජනා කිරීමට නොයෙක් හේතු තිබීමත් ඔබේ තක්කඩි කමේම එක පැතිකඩකි..."

- උපුටා ගැනීම අවසන් -

අර ශෝචනීය හැසිරීමක් පෙන්වන ළදරුවන් පිරිස ගැන මට තියෙන අදහසට සමාන අදහසක් රවීෂ තිලකවර්ධන පල කරල තිබ්බා. ඒක තමා ඔය උඩ දාල තියෙන්නේ.

හරිම ලොකු උතුම් මෙව්වා කියල හිතාගෙන ඉන්න ලබ්බවල් ගැන සීන් වලදි කට්ටිය කොහොමත් ආගමික විදියට හැසිරෙන්නෙ. ගොබ්බයි ඉතින්.

මට තියෙන ප්‍රශ්නය මේකයි, හැමෝම හැදිලා තියෙන්නේ මේ වගේ පට්ටම පට්ට සිරාම සිරා මරු ශික්ෂණයකින් යුත් අම්බම සංස්කෘතීන් තියෙන අහවල් එකේ මුදුන් මල්කඩ වගේ ඉස්කෝල වල නම් ඒ විදියට හැදුන උන්ගෙන් පිරුන මේ සමාජයෙදි මේ මිනිස්සු මෙච්ච්ර කුජීත ඇයි කියන එක.

ඉස්කෝල මාර වුනාට ඉස්කෝලවල් වලින් අවුට් වෙන මිනිස්සු නම් මාර නැහැ.

මාරම සීන් එක නේ ඒක?

මොනව නැතත් "අපේ එක මාරයි" කියන බ්‍රේන් වොෂින්ග් එක නම් ළමයිට හැම ඉස්කෝලෙන්ම නො අඩුව ලැබෙන බව නම් පේනව.

ඉස්කෝලෙ ශික්ෂණය ගැන විනය ගැන සංස්කෘතිය ගැන කොච්චර දාර ටෝක් ඉෂූ කලත් ඊයෙ පෙරේදා මේ ඉස්කෝලෙ ආදි ශිෂ්‍යයන් බුකියේ හැසිරුන විදියට පේන්නේ ඔය "මාර" ඉස්කෝලෙත් කිසිම ඉවසීමක් නැති විනයක් නැති අපරිනත මිනිස්සු බිහි කරන තවත් නිකම්ම නිකන් ඉස්කෝලයක් කියල තමා.

කේන්ති ගන්න එපා, පේන දේ කිව්වේ.

තමන් මාරයි කියල හිතාගෙන ඉන්න මෙව්වා වලට වඳින උන් එක්ක හිනා වෙලා ඒ තමා මාරයි කියල හිතාගෙන ඉන්න මෙව්වා වලට මාර නැති විදියට සලකන උන්ගෙ ඇඟට කඩන් පනින එක නම් මේ අය ඔය මාර ඉස්කෝල වලින් ගන්න ශික්ෂණය, තව මොන කතාද ඉතින්.

තමා එක්ක එකඟ වෙන මතවාද එක්ක කටයුතු කරද්දි නෙමේ ශික්ෂණය සහ පරිනතභාවය කියන කාරණා ක්‍රියාවට නැඟෙන්නෙ, තමා එක්ක ගැටෙන මතවාද එක්කයි කියන එකවත් නොතේරෙන ගොබ්බ හැත්තක් තමා ඔය ඉස්කෝලෙනුත් බිහි කරල තියෙන්නෙ. (හැමෝම ඔහොම හැසිරුනේ නැති එක ඇත්ත. ඒත් සැලකිය යුතු පිරිසක් නැටුවනේ. ඉතින් හැම ඉස්කෝලෙකම ඔහොම තමා. සාපේක්ෂව හැදිච්ච සහ නැහැදිච්ච උන් දෙගොල්ලොම ඉන්නවා)

මාර ඉස්කෝලෙ මාර පුත්‍රයිනි,

මොකෙක් හරි උඹල එක්ක එකඟ වෙන අවස්ථා වලදි නෙමේ උඹල ඔය මාර ඉස්කෝලෙන් ගත්ත විනය කියන එක ඕන වෙන්නෙ, මොකෙක් හරි උඹල එක්ක ගැටෙන වෙලාවටයි ඒක ඕන වෙන්නෙ.

මිනිහෙක්ගේ ශික්ෂණය, පරිනතබව, විනය කියන එක මැනෙන්නෙ එතනදි.

උඹලගෙ ඉස්කෝලෙන් ඒක කියල දුන්නෙ නැත්නම් දැන්වත් ඉගෙනගනින්.

යමක් ගැන අදහස් ප්‍රකාශ කිරීම එකක්, රෙද්දෙ රෙවිලා වගේ දඟලන එක තවත් එකක්.

අවසානයේ කතාව සාරාංශ ගත කරනවා නම්,

"උඹල මාර නෑ බං.. උඹලගෙ ඉස්කෝලෙත් මාර නෑ. උඹලගෙ ඉස්කෝලෙත් මේ කුජීත වෙච්ච සමාජයට කුජීත වෙච්චි මීනිස්සු බිහි කරන තවත් එක කුජීත කම්හලක් විතරයි. "මම මෙහෙම වුනේ ඔය පාසල් මාතාව නිසාය".. ඕකනේ කතාව. උඹ කොහොම වුනේද බං? දැන් උඹ මාරද? ඉස්කෝලෙ නිසා උඹ දැන් මාර පොරක් වෙලාද? උඹ හිතන් ඉන්නෙ උඹ මාර පොරක් කියලද? අනේ පලයන් බං යන්න...

...උඹලගෙ ඔය මාර ඉස්කෝලෙත් රටේ තියෙන නීතියට යටයි. නීතිය ක්‍රියාත්මක කරන්න යද්දි සරම උස්සන් දඟලන එකෙන්ම පේනවා රටේ සම්මත නීතියට ගරු කරන්න උඹලගෙ ඉස්කෝලෙන් උඹලට කියල දීල තියෙනවද නැද්ද කියල. අනිත් පාසල් වලට බලපවත්නා නීතිය උඹලගෙ එකට විතරක් බලනොපාන්න හේතුවක් නැහැ කියන එක දැන්වත් තේරුම් ගනින්.

එනිසා මාර ඉස්කෝලෙයේ මාර හැදිච්ච මාර වස චණ්ඩි පුත්‍රයනි.

දඟලන්නෙ නැතුව පැත්තකට වෙලා  ඉඳින් බං"

Monday, October 16, 2017

නාමල් මලේ ඕවා ඉතින් නෝමල් අනේ

අපේ ගෙවල් පැත්තේ හෙණ මැරෑටි කොල්ලෙක් හිටියා.

මුගේ වැඩේම උගෙම මල්ලිට හැම වෙලේම නක්කලේ දාන එක, කෝචොක් දාන එක, ගහන එක.

ඉතින් මල්ලි දුවගෙන දුවගෙන ගිහින් හැම වෙලේම අම්මගේ ඇඟේ තමා එල්ලෙන්නෙ. "අනේ අම්මේ, අයියා මට ගහනවනේ" කිය කිය. ඉතින් මේ මැරෑටි කොලුවට මල්ලිව පේන්න බෑ. අම්මව පේන්නත් බෑ. ඇයි, මූ බයයි මල්ලිගේ කේලං අහලා අම්මා මූට අම්බානට නෙළයි කියල.

ඉතින් මූ අම්මා එක්කත් ගේම. මොකද මල්ලිගේ පැත්ත අරං අම්මා මූට බනින නිසා.

"අනේ බොල තෝ වගේ පොන්නයෙක්. හැමදේම අම්මටම ගිහින් කිය කිය අම්මගේ රෙද්ද අස්සෙම හැංගෙනවා" මල්ලිට ඌ කියන්නෙ එහෙම.

පස්සෙ පස්සෙ වයස යද්දි මල්ලි ඇඟින් පතින් ලොකු වෙලා මූට වඩා සෑහෙන හැඩි දැඩි උස මහත තරුණයෙක් වුනා.

දැන් මූ මල්ලි ඉස්සරහා පදිරි. කලින් වගේ මූට මල්ලිට පාර්ට් දාන්න විදියක් නෑ. මල්ලි කාරයා කරන්නේ පරණ සීන් අල්ලලා මූට කෙළින එක. පරණ ඒවයේ රිටර්න් එක මූට දෙන එක.

සරලවම කියනවා නම් උගේ බේත් ඌටම දෙන එක. මොකද මල්ලි තමා දැන් පොර වෙලා ඉන්නෙ. ඉතින් අර අසරණ වුන මැරෑටි කොල්ලා කරන්නේ බොරු අහිංසක මූණක් දාගෙන මල්ලි ඉස්සරහා හොඳ බබා වෙන්න හදන එක.

දවසක් මල්ලිට මලම පැනලා මූට නෙලලා කණේ පාරක් ආයේ චූ යන්නම. අනේ ඉතින් මු කරලා තියෙන්නේ අර මල්ලි කලින් කලා වගේම අම්මා ළඟට ගිහින්.

"අනේ අම්මේ, මල්ලි මට ගහනවනේ. හරිම අසාධාරණයිනේ. අම්මවත් මේක බේරලා මට සැනසිල්ලෙ ඉන්න හදල දෙන්නකෝ" කියල අම්මගේ ඇඟේ එල්ලිලා හොටු පෙර පෙර අඬන එක.

කලින් මූ මල්ලිට පාර්ට් දාද්දි මල්ලි අම්මගේ ඇඟේ මල්ලි එල්ලෙද්දි මූ මල්ලිට "පොන්නයා" කිව්ව හැටිවත් "අපේ ප්‍රශ්න අපි විසඳගමු" කිව්ව හැටිවත්, මල්ලිගේ කේලම් අහන නිසා අම්මා එක්ක ගේමෙන් හිටිය හැටිවත් මූට දැන් මතක නෑ.

දැන් ඉතින් මේ අසරණ මැරෑටියට අම්මගේම පිහිට තමයි.

ඒත් ගමේ උන් නම් කියන්නේ මූට හොඳ වැඩේ කියල. මොකද ගමේම උන් දන්නවා මූ පොඩි කාලේ පාර්ට් දැම්මට පොල්කට්ටක් පිරෙන්න චූ කරගන්න තරම්වත් හයියක් නැති හුජ්ජ කොල්ලෙක් කියල.

දැන් මූ අම්මගෙ රෙද්ද අස්සෙ රිංගන්න දඟලනව දැක්කම ගමේ උන් නම් කියන්නෙ

"පව් ඉතින්, කාගෙ වුනත් අසරණ දරුවෙක්නෙ" කියල තමා.


Tuesday, October 10, 2017

ලව් ඉලව් කර නොගැනීමට



පළමු අදහස් ප්‍රකාශ කිරීම - බුද්ධික තාඹුගල ශූරීන් 

"...මම නම් පුද්ගලිකව විශ්වාස කරන්නෙ ආදරය කියන්නෙ හෙනම හෙන ගුප්ත, රොමෑන්ටික්, ෆට්ටන්දර විකසිත සීන් එකක් නෙමෙයි..

සාර්ථක ප්‍රේමයක් කියන්නෙ අනිවාර්යයෙන්ම මිත්‍රත්වයේ දිගුවක්.. අපි යාළුවන්ට හැම දේම කියනවා.. නමුත් පෙම්වතුන් හෝ පෙම්වතියන්ගෙන් බොහෝ දේ සඟවනවා.. මේක පට්ටම කුජීත වැඩක් මම හිතන්නෙ..

පෙම්වතුන් අතර මිතුරන් අතර ඇති තරමේවත් මානසික බැඳීමක් නැත්තම් දෙන්නම නොදන්නව වුණාට ඒ සබඳතාවය යන්නෙ හෙනම අවුල් ට්‍රැක් එකක.. මේ නිසා මෙම ප්‍රශ්නය අපි සාමාන්‍ය ජීවිතයේදී මිතුරන් සමග ක්‍රියා කරන හැටි ඇසුරෙන් විග්‍රහ කරන්ඩ පුළුවන් මම හිතන්නෙ..

අපි සාමාන්‍ය ජීවිතයේදී මිතුරන්ට නීති දානව ද? දාන අවස්ථා අතළොස්සක් තියෙන්ඩ පුළුවන්, නමුත් බොහෝ විට මිතුරන්ගේ මූලික ස්වරූපයන් වෙනස් කිරීමට බලපාන නීති දැමීමක් සිදු වන්නෙ නෑ.. මගේ හොඳම මිතුරිය මට කිව්වොත් "හැම මාසෙම පන්සල් පලයන්" කියල මම අනිවා කියන්නෙ "උඹ පන්සල රෝල් කරල ඔබාගනින් ____" කියල.. ඒක අහලා ඇයට අවශ්‍ය නම් "මේ යාළුකම හරි යන්නෙ නෑ" කියල අත ඇරල දැම්මැහැකි.. එහෙමත් නැතිනම් "මූ පන්සල් නොගියට හොඳ එකා" කියලා යාළුකම පවත්වාගත හැකි..

යාළුවන් සම්බන්ධයෙන් අප මේ තීරණ දෙකම ගන්නා විවිධ අවස්ථා තියෙනවා.. මේ අනුව පෙනෙන්නේ අප යාළුවන් තෝරා ගැනීමේ දී එක්කෝ සමාජයීය, මතවාදීමය හෝ වෙනත් ආකාරයේ සමානතාවයන් දැක ආසක්ත වෙනවා.. සමාන නැති උන් එක්ක යාළු වෙන්නෙ නෑ.. එහෙමත් නැතිනම් ඒවා සම්බන්ධ වෙනස්කම් තිබියදීත් පුද්ගලික ගති ලක්ෂණ හෝ වෙනත් හේතූන් නිසා ආසක්ත වී අර වෙනස්කම් ඉවසනවා..

මේ විදි දෙකෙන් කොයි එක හරි ද කියලා අපිට තීරණය කරන්ඩ බෑ.. මේ සම්බන්ධව එක එක්කෙනාගේ ආකල්ප විවිධයි.. නමුත් එබඳු වෙනස්කම් තිබියදී මිතුරු වී පසුව එම වෙනස්කම් දුරු කර ගැනීම සඳහා නීති දැමීම හෝ බලපෑම් කිරීම නම් අමුම කුජීතයි ..

එකම දේ එලෙස බලපෑම් කරන තුරු එම යාළුකම් පැවතීමට තියෙන ඉඩ අඩුයි, මොකද මේ ලෝකයේ කවුරුවත් කාවවත් පාලනය කිරීම සාර්ථක නැති නිසා.. එල්සේම එබඳු අවස්ථා වලදී විකල්ප යාළුවන් බොහෝ විට සිටින නිසා..

දැන් අපි බලන්ඩ ඕනෙ ප්ලේටොනික් සහ රොමෑන්ටික් සම්බන්ධතා අතර මහලොකු වෙනසක් තියෙනවද කියලා?

යම් වෙනස්කම් කිහිපයක් තියෙනවා.. එකක් නම් ප්‍රේම සබඳතා වල සාමාන්‍ය යාළුකමකට වඩා මනෝමය සමීපතාවක් තිබීම.. සාමාන්‍ය මිතු දමක වගේම නොගැලපෙනව නම් දමා ගසා යාමට හැකි වුවත් මෙහිදී එකිනෙකා අනෙකා තුළ කර ඇති මානසික ආයෝජනය වැඩි නිසා වෙන්ව යාමෙන් ඇති වන මානසික ගැටළු වැඩියි.. අනෙක් එක තමා දෙදෙනෙක් පෙම්වතුන් වූ වහාම සමාජ පෙළඹවීම වන්නේ හැකි ඉක්මනින් විවාහ වී දරුවන් සාදා මේන්ස්ට්‍රීම් එකේ ගමන් කිරීමටයි.. ඊට පෙර ඔවුන් වෙන් වී, වෙනත් අය සමග එක් වී, නැවත වෙන් වී, ආදී වශයෙන් සිදු වීම අප සමාජය ලොව වෙනත් විවෘත සමාජ එක්ක බලද්දි ඉවසන්නෙ අඩුවෙන්..

මේ නිසා බිඳී යාමකින් යම් සමාජ පීඩනයක් ද එල්ල වෙනවා.. මෙලෙස බිඳී ගියහොත් ඇති වන පීඩනය නිසා අකමැත්තෙන්, අසතුටෙන්, යටහත්කමින් ඉන්න පෙම්වතුන් හා පෙම්වතියන් අප දැක තිබෙනවා.. මගේ විශ්වාසය නම් එය ජාතික අෆරාඩයක් බවයි.."

දෙවන අදහස් ප්‍රකාශ කිරීම - ජේමිස් බණ්ඩා මහතා හෙවත් මමතුමා 

".... බුද්ධික තාඹුගල කියන්නට තියෙන දෙයින් සෑහෙන කොටසක් කියල ඔහු නවත්තපු තැනින් කන්ටිනියු කරන්නම්.

..ආදරය කරද්දි මං හිතන විදියට එකිනෙකාගේ අනන්‍යතා සහ පෞරෂයන් තේරුම් ගන්න එක වැදගත්. ඒ පුද්ගලයාව ඒ පුද්ගලයා විදියට භාර අරගෙන ඉන් එහාට තමයි මේ ආදරය කියන ගනුදෙනුව සිද්ධ වෙන්න ඕන.

නමුත් ගොඩක් වෙලාවට වෙන්නේ අපි අපේ සහකරුවාගේ/කාරියගේ අනන්‍යතාව කපලා කොටලා ඔවුන්ගේ ආසාවල් වලට කෙළවල දාලා, ඔවුන්ගේ බලාපොරොත්තු අපිට ඕන විදියට වෙනස් කරල, ඔවුන්ගේ සැබෑ අනන්‍යතාවය විනාශ කරල, අපිට ඕන විදියට අපි කැමති ආකාරයේ අනන්‍යතාවයක් ඔවුන් තුළින් නිර්මාණය කරගන්න දඟලන එක. කොටින්ම අපිට මුලින්ම මුණ ගැහෙද්දි හිටපු කෙනාව වෙනස් කරල ඌව/ඒකිව අපේ කැමැත්තට අනුව වැඩ කරන හිතන පතන රොබෝ කෙනෙක් කරන්න හදන එක.

තමාගේ ඔලුවේ තියෙන අයිඩියල් සහකරුවෙක්/කාරියක්ව තමන්ට හම්බුන මනුස්සයා තුළින් නිර්මාණය කරගන්න හද හද දෙන්නාම ඔය විදියට අනිත් කෙනාගෙ අනන්‍යතාවය මරල දාලා අලුත් පුද්ගලයෙක් නිර්මාණය කරගන්න කරන මේ පොරය නිසයි ගොඩක් ආදර සබඳතාවල් වලට කෙළ වෙන්නෙ. (කෙළ වෙනවා කියන්නේ අවසාන වෙනවා නෙමේ. සතුට නැති වෙලා විඳීම වෙනුවට විඳවීම ඉස්මතු වෙනවා කියන එකට)

දැන් ඔහොම ටෝක් දුන්නට තමන්ගේ කොල්ලව/කෙල්ලව වෙනස් කරන්න දඟලන්න එපාය කියල, ඇත්තටම බැලුවොත් ඕක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරද්දි පට්ට අමාරුයි. ඇයි? ඇයි ඉතින් තමන්ගේ සහකරුවා/කාරිය තමන් අකමැති මලමගුල් කරද්දි ඌ එක්ක/ඒකි එක්ක ඉන්නෙ කොහොමද?

එතනදි තමයි අදහස් හුවමාරුව කියන පට්ටම වැදගත් පාර්ට් එක එන්නෙ. තමාගේ සහකරුවා/කාරිය තුල තියෙන තමා කැමති දේ මොනවද අකමැති දේ මොනවද කියන එක ගැන ඉඳල හිටල දෙන්නට එකතු වෙලා කතා කරල ඒ ඒ දේවල් ගැන එකඟතා වලට එන එක වැදගත් දෙයක්. මේක කරන්න පට්ටම අමාරු වුනත්, මේක කරන්නම ඕන දීර්ඝ කාලයක් හොඳින් ඉන්න නම්. එකිනෙකාට සවන් දීලා, අනෙකාගේ අවශ්‍යතා තේරුම් ගැනීමයි මෙතනදි වෙන්න ඕන.

කොහොම කලත් මේ "වෙනස් කම්" කියන දේවල් නැත්තටම නැති වෙන්නෙ නං නෑ ලොවෙත්. එතනදි කරන්න වෙන්නේ තමාගේ සහකරුවාගේ/කාරියගේ හොඳ විදියට තමා දකින දේ වෙනුවෙන් ඔවුන්ගේ අඩුපාඩු ඉවසන එක. කතාවක් තියෙන්නෙ "අපි ආදරවන්තයා/ආදරවන්තිය විදියට තෝරගන්න ඕන අපිට ඉවසන්න පුළුවන් වැරදි තියෙන කෙනෙක්ව" කියල. ඒ මොකද අපි වැරදි/අඩුපාඩු විදියට දකින දේවල් නැති එකෙක් හොයාගන්න මේ ලෝකයේ කිසිම ජගතෙක්ට කිසිම විදියකට බෑ.

ඊළඟට, තමන්ගේ සහකරුවාට/කාරියට ඔවුන්ගේ ජීවිතය විඳින්න ඔවුන්ට තියෙන නිදහස අහිමි කරන්න තමන්ට කිසිසේත්ම අයිතියක් නැති බව නම් දෙන්නම තේරුම් ගන්න ඕනම දෙයක්. මේ නිදහස කියන එක තමා විසින් අනෙකාට "දෙන" දෙයක් නෙමේ. ඒක කොහොමත් හැමෝටම තිබිය යුතු දෙයක්.

හැම වෙලේම තමාගේ සහකරුවාට/කාරියට තමන්ගේ අදහස කියන්න. එකඟ වී හෝ නොවී තීරණය කිරීම ඔවුන්ට බාර දෙන්න. විධාන දෙන්න යන්න එපා. තමන් කියන දේට එකඟ වුනේ නෑ කියල, අවනත වුනේ නෑ කියල පළිගන්න එපා.

තමා කියන්නේ තමාගේ සහකරුවාගේ/කාරියගේ ජීවිතයේ එක කොටසක් බවත්, තමන්ගෙන් පිට ඔහුට/ඇයට තවත් ජීවිතයක් තියෙන බවත් තේරුම්ගන්න ඕන. මොකද තමන්ගේ සහකරුවා/කාරිය කියන්නේ පෙම්වතෙක් සහ පෙම්වතියක්වත් සැමියෙක් සහ බිරිඳක්වත් විතරක් නෙමේ. පුතෙක්, සහෝදරයෙක්, මිතුරෙක්, රාජකාරිකරන තැනදි සේවකයෙක්.. වගේ සෑහෙන භූමිකා රඟපාන්න වෙන ඔහුත් මනුස්සයෙක්. මේකෙ සහකාරියන්ට අදාලව අනිත් පැත්තත් එහෙමයි. ඒ නිසා තමා ගැන විතරක් තමාගේ සහකරුවා/කාරිය සිතිය යුතුය, තමාටම හැම වෙලේම මුල් තැන දිය යුතුය කියල හිතල ආත්මාර්ථකාමී මුග්ධයෙක් විදියට වැඩ කරන්න යන්න එපා.

මේ ඔක්කොම කරලත් දිගින් දිගටම තියෙන්නේ දෙන්නගේ වෙනස් කම් නම්, ඉතින් හොඳම දේ තමා අකමැත්තෙන් වුනත් එකිනෙකාට "ගුඩ් බායි" කියන එක. මොකද එකිනෙකාව රවට්ටගෙන අවුරුදු දෙකතුනක් ලව් කලත් බැඳලා මාස හය හතක් යද්දි තමන් හංගන් හිටිය තමාගේ සහකරුවා/කාරිය අකමැති පැත්ත එළියට එන එක අනිවාර්‍යයි.

ඊට පස්සෙ ඉතින් දෙන්නගෙම කසාද ජීවිතේට සොරි ඩොට් කොම්ම තමා..."

අදහස් දැක්වීම අහවරයි. අසා සිටි ඔබ සැමට ඉස්තූතියි.

ප/ලි - 

1. මේ බණ කිව්වාට අපිත් ලව් කරන රහස සොයාගත් ශාස්තෲවරුන් නොවෙමු. අපි විසින්ම සහ අපි වටේ ඉන්නා උන් කන පරිප්පු දැක දිනෙන් දින ඉගෙනගෙන අපිත් අමාරුවෙන් අනුගමනය කරන කරුණු කාරනා කිහිපයක්ය මෙතනදි කියවන අය සමඟ බෙදා ගත්තේ. 

2. බුද්ධික තාඹුලගේ අදහස් දැක්වීම දැනට වසර කිහිපයකට පෙර බුකියේ දැක මා විසින් සේව් කරගත් අදහසකි. කාලයකට පසු සේව් කරගත් තැනින් අද එය දුටු නිසා මගේ අදහස් සමඟින් අද මෙසේ මගේ ප්‍රොෆයිලයේ පළ කලෙමි.