Friday, February 24, 2017

මචන්, දැන්වත් ඉස්කෝලෙන් අවුට් වෙයං

සයිබර් අවකාශය ආගමිකත්වය, ජාතිවාදය, වැනි ගෝත්‍රික සංකල්ප වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ මෙන්ම එම සංකල්ප දැඩිව විවේචනය කරන රැඩිකල් මතදාරීන්ගේ තෝතැන්නක්.

ඒත් මේ සමහර රැඩිකල් මතදාරීන්ගේ මතවාද වල තාප්පයටම කෙළ වෙලා පොලු ගැලවිලා යන යෝකර් එක විදිහට බණ්ඩා දකින්නේ ඔවුන්ගේ ලේ වල දුවන දැඩි පාසල් වාදය.

බණ්ඩාට ඉන්නවා කොළඹ හතේ මහ විසල් පාසලක ඉගෙන ගත්තු මිතුරෙක්. මේ මිත්‍රයා රටේ වගේම සමාජයේත් ඔහු දකින අඩු ලුහුඬුකම් අවංකව කොන්දේසි විරහිතව විවේචනය කරනවා කිසිම පක්ෂපාතීත්වයකින් තොරව.

ඒත් ඔහු කොයිම වෙලාවකවත් ඔහු ඉගෙන ගත්තු කොළඹ හතේ මහ විසල් පාසල කාටවත් විවේචනය කරන්න දෙන්නේ නෑ. එහෙම කරන කොට බණ්ඩාගේ මිතුරාට හරියට කේන්ති යනවා බණ්ඩා දැකලා තියෙනවා.

“මම මචන් ජාතිවාදයට විරුද්ධයි, ආගම්වාදයටත් විරුද්ධයි. ඒත් මම ඉගන ගත්තු මහ විසල් ඉස්කෝලේ කවුරුන් හරි විවේචනය කරද්දි මට මහ කේන්තියක් එනවා.
මට මාවම කියවගන්න බැරි වෙන්නේ ඒ වගේ වෙලාවට”

මේ පරස්පර විරෝධී හැසිරීම බණ්ඩාට පේන්නේ මහ විකාරයක් විදිහට

එක්තරා ආකරයකින් මේක හරිම උත්ප්‍රාස ජනකයි..!

ඇයි මෙහෙම වෙන්නේ?

බණ්ඩා ඉගෙන ගත්තේ ඔය සෝ කෝල්ඩ් මහ විසල් පාසලකින් නෙමෙයි. ඒත් බණ්ඩාට මහ විසල් පාසල්වල ඉගෙන ගත්තු යාළුවෝ ඉන්නවා. ඒ අය කියන දේවල් වල විදිහට බණ්ඩාට තේරුන දෙය තමයි ඒ අයට පොඩි කාළේ ඉදලම මේ මහ විසල් පාසල් ගැන විශේෂ හැඟීමක් ඔළුවට කාවද්දලා තියෙන බව

“මල්ලි අපිට අවුරුදු සීය ගාණකට වඩා වැඩි ට්‍රැඩිශන්ස් තියෙනවා. අපේම කියලා කල්චර් එකක් තියෙනවා. ඒවා අපි ආරක්ෂා කරන්න ඕන”

මේ මහ විසල් පාසල් වල දිවිහිමියෙන් අරක්ෂා කළ යුතු, ට්‍රැඩිශන්ස්, කස්ටම්ස්, නොර්ම්ස් තියෙනවා. ඒ මහ විසල් පාසල් වල කොටසක් වෙන්නනම්, මේ සම්ප්‍රදායන්, චාරිත්‍ර, සිරිත් විරිත් අකුරටම පිළිපදින්න ඕන.

මේ මහ විසල් පාසල් වල කොටසක් වීම මඟින් එම පුද්ගලයාට සාමාන්‍ය සමාජයෙන් වියුක්ත සුවිශේෂී ගෝත්‍රයකට ඇතුළු වෙන්න ටිකට් එකක් හම්බෙනවා.

“මල්ලි ඔයා අද ඉදලා ආනන්දියන් කෙනෙක් කියලා මතක තියා ගන්න”

“වන්ස් අ රෝයලිස්ට්, ඕල්වේස් අ රෝයලිස්ට්”

තමන් ගැන ආඩම්බර වෙන්න වෙන කිසිම දෙයක්, පුද්ගල දක්ශතාවක් නැති අයට පවා මේ මහ විසල් පාසල් ගෝත්‍රයට අයිති වීම නිසා එම පුද්ගලයට සමාජයේ සමාන්තර වයස් කාණ්ඩ වල අයවලුන්ට වඩා උසස් බව හැඟෙනවා.

මේකත් සුදු ජාතිකයෙක් වීම නිසාම ආඩම්බර වන, වර්ණ බේදවාදය පතුරන සුදු ජාතිකයන්ගේ KKK වගේ එක්තරා විදිහක ට්‍රයිබල් මෙන්ටලිටියක් කියලයි බණ්ඩාට හිතෙන්නේ.

මේ මහ විසල් පාසැල තුළදී පාසැල් ගීය, පාසැල් කොඩිය සහ පාසල් ලාංඡනය වගේ සංකේත කෙරෙහි වන්දනීය ස්වරූපයක් කුඩා කාලේ ඉදලම ළමා මනසට බලෙන්ම කාවද්දන නිසා කවුරුන් හරි මේ පූජනීය දේවල් විවේචනයට, ගැරහීමට ලක් කළහම මේ මහ විසල් පාසල් ගෝත්‍රිකයන්ට ගොඩක් කෙන්ති යනවා. ඒ වෙනුවෙන් ඔවුන් ගහ මරා ගන්න පවා යනවා.

බණ්ඩාට එතකොට මතක් වෙන්නේ හිට්ලර් සහ ස්වස්තික ලකුණ අතර ඇති දැඩි සහ සම්බන්ධය.

බණ්ඩාගේ මිතුරා මහ විසල් පාසලෙන් අස්වීම් සහතිකය අරගෙන ගොඩක් කලක් ගතවී ගිහිල්ලත් තම පාසලේ පාලකයින් ගැනත්, ගුරුවරුන් ගැනත්, තම පාසැල් සිසුන්ගේ විනය පිළිබඳවත් දක්වන්නේ දැඩි සැළකිල්ලක්.

“ගිය පාර පැරේඩ් එකේ අලියෙකුත් ගියා, මේ පාර කෝ අලියා?”

කිසිදා පිටුනොපාන මේ දැඩි භක්තිය, ශුද්ධවූ ළැදියාව දෙවෙනි වන්නේ කුමකටද කියන එක වෙලාවකට බණ්ඩාට ප්‍රශ්නයක්.

ඒ ආදරය, භක්තිය හිමිවන්නේ අනෙකාගෙන් තමන්ව වෙන් කරන, සුවිශේෂ කරන, ඔවුන්ගේ මනසේ ඇඳුන සර්වසම්පූර්ණ සංකල්ප පද්ධතියකට කියලා බණ්ඩාට හිතනවා.

මේ විසල් පාසල් වලින් නිර්මාණය කොට පුහුණු කරනු ලබන්නේ තමාගේ කණ්ඩායමට කොන්දේසි විරහිත ඇල්මකුත් තමාගේ නොවන කණ්ඩායම් වලට එදිරිවාදී හැඟීමකුත් දනවන චින්තන රටාවක්

පාසල්වාදයෙන් ආරම්භවන මේ චින්තනයේ පදනමම ජාතිවාදය සහ ආගම් වාදය වගේ ගෝත්‍රික සංකල්ප වලටද මූල බීජය වනවා

අනෙකාට වඩා තමන් උසස්ය, සුවිශේෂීය කියා උගන්වන.. සමාජයේ අනෙකාගෙන් තමන්ව වෙන්කරන අනන්‍යතාවයක් නිර්මාණය කෙරෙන.. මහ විසල් පාසැලකට කොන්දේසි විරහිත පක්ෂපාතීත්වයක් දක්වන රාමුවකට හිරවි සිටින පරපුරක්, මානව සංහතියට පොදුවේ ආදරය දක්වන්න පුළුවන් වෙයි, අනෙකාගේ දුකේදි සහකම්පනය වෙයි කියලා බණ්ඩා හිතන්නේ නෑ.
මේ පටු අදහස් වලින් ඤාණය නිවහල් කර ගන්න, වර්ගවාදී, ගොත්‍රවාදී, ආගම්වාදී (religion based), ලිංග බේදවාදී (gender based), අධ්‍යාපන ක්‍රමය සහමුළින්ම කඩා බිඳ දමලා බින්දුවෙන්ම පටන් ගන්න ඕන කියලයි බණ්ඩාට හිතෙන්නේ.

ඒක පටන් ගන්න නම් ඉතින් තිහ, හතළිහ පැනපු අන්කල්ලා සෙට් එක මුලින්ම මේ මහ විසල් පාසල්වලින් අවුට් කරගෙන ඉන්න වෙනවා.

මචන්.. රටයි ලෝකෙයි හදන්න කලින් පින් අයිතිවෙයි ඉස්සෙල්ලාම ඉස්කෝලෙන් අවුට් වෙලා හිටහං…!

- පැරණි සටහනකි

Thursday, February 23, 2017

මරණීය දණ්ඩනය එපා !

මරණීය දණ්ඩනය යනු යම් පුද්ගලයෙක් විසින් සිදුකල අපරාධයක් නිසා නීතියේ අවසරය සහිතව එම පුද්ගලයාව ඝාතනය කිරීමයි. “මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතුය” යන ස්ථාවරය දරන්නන් විසින් මරණීය දණ්ඩනය සිදු කිරීමේ අරමුණු ලෙස ඉදිරිපත් කෙරෙන කාරණා කිහිපයක් වේ. ඒ අතර අපරාධය සිදු කළ පුද්ගලයාගෙන් සමාජයට සිදුවන හානිය වැලැක්වීම, අනාගතයේ සිදුවන අපරාධ අඩු කිරීම, ඔහු කල අපරාධයට දඬුවමක් නියම කිරීම තුලින් යුක්තිය ඉටු කිරීම වැනි දේ වේ. නමුත් ගැටලුව වනුයේ මෙකී හේතූන් මගින් මරණීය දණ්ඩනයේ අවශ්‍යතාවය පිළිඹිබු කරන්නේද යන්නයි.

අපරාධකරුවෙකු පණපිටින් අල්ලා ගත් පසු ලැබෙන විකල්පයන් නම් ඔහුව ඝාතනය කිරීම හෝ ඔහුව සමාජයෙන් වෙන්කර තැබීමයි. මේ ක්‍රම දෙකෙන්ම පැහැදිලිවම ඔහුගෙන් සමාජයට විය හැකි හානිය සම්පූර්ණයෙන්ම වැලැක් වේ. මෙහිදී සදාචාරාත්මකව සහ මානුශීය අතින් ගත් විට පැහැදිලිම විකල්පය නම් ජීවීතාන්තය දක්වා ඔහුට සමාව දිය නොහැකි කොන්දේසිය යටතේ සිරගත කිරීමයි. මේ විකල්පය අප සතුව තිබියදී මිනිසෙක්ගේ ජීවත්වීමේ අයිතිය නැති කිරීමට හේතුවක් මම දකින්නේ නැහැ. අපරාධකාරයෙක්ට වුවත් ජීවත් වීමේ අයිතියක් තිබෙනවා. අපරාධකාරයෙක්ව මැරීම අනුමත කිරීම මිනීමැරීම වැරදි නිසා මිනීමැරීම නොවේද? මිනීමැරීම වැරදිබව පෙන්වීමට, මිනීමැරීම ප්‍රතික්ශේප කිරීමේ අරමුණුන් නීත්‍යානුකූලව මිනීමැරීම සාධාරණද?

මරණීය දණ්ඩනය අනුමත කරන අයගෙන් සියල්ලන් නොවුනත් බොහෝ අය එම මතයේ සිටීමට හේතුව නම් මිනිස් සිතේ පහලවන පලිගැනීම යන හැගීමයි. අදාල පුද්ගලයා නිසා මිනිස් ජීවිත වලට, සමාජයට සිදුවූ හානිය සහ ඔහුගේ හැසිරීම නිසා ඇතිවූ කේන්තිය හේතුවෙන් බොහෝ අය මරණීය දණ්ඩනය අනුමත කිරීමට පෙළබේ. අමානුශික අපරාධයකින් පසු එම අපරාධය සිදුකල පුද්ගලයා ඝාතනය කල යුතු ආකාරය සහ ඝාතනය කිරීමට යොදාගත යුතු නොයෙකුත් ක්‍රම ගැන මිනිසුන් පලකරන අදහස් වලින් මේ බව පැහැදිලි වේ. මෙහිදී ඔවුන්ට අමතක වන දෙය නම් ඔවුන් මොහොතකට හෝ ඔවුන් විසින් පිලිකුල් කරන එම අපරාධකාරයාගේ තත්වයටම නොදැනුවත්වම වැටී ඇති බව. හැඟීම් වලට වහල් නොවී බුද්ධියෙන් තීරණ ගත යුතු බව අමතක නොකල යුතුයි.

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතුය යන ස්ථාවරය දරන්නන් ගෙන එන තර්කයක් නම් මරණීය දණ්ඩනය හේතුවෙන් සමජයේ අපරාධ අඩුවන බව. නමුත් සංඛ්‍යා ලේඛන අනුව පෙනීයන්නේ එය අසත්‍යයක් බවයි. උදාහරණයක් ලෙස, මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන ඇමරිකාවේ ප්‍රාන්ත වල මිනීමැරුම් ප්‍රමාණය මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොකරන ප්‍රාන්ත වල මිනීමැරුම් ප්‍රමාණයට වඩා වැඩි වීම දැක්විය හැකිය.

මරණීය දණ්ඩනය සාධාරණීකරණය කරන්නන් විසින් ඉදිරිපත් කරන තවත් තර්කයක් නම්, මරණීය දණ්ඩනය හේතුවෙන් අනාගතයේ සිදුවිය හැකි අපරාධ අඩුවන බවයි. නමුත්, මෙහිදී මරණයට ලක්වන අපරාධකරුවා දඩුවම් ලබන්නේ තමා කළ වරදට මෙන්ම අනාගතයේ “විය හැකි වැරදි” වලටය. ඔහුට තමාගේ වරදට අමතරව අනාගතයේ අන් අය අතින් “විය හැකි වැරදි” වලට ද දඩුවම් කිරීමේ සදාචාරාත්මකභාවය ගැන මෙහිදී ගැටලුවක් මතු වේ.

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ තවත් අයහපත් ප්‍රතිඵලයක් වනුයේ වැරදි නොකල මිනිසුන් ද මරණීය දණ්ඩනයට නියම වීමට ඇති අවදානම යි. අපරාධ පර්යේෂණ වල සිදු වූ යම් යම් අතපසුවීම් නිසා නිර්දෝෂී පුද්ගලයින්ව වැරදිකරුවන් කර ඔවුන්ට මරණ දඩුවම ලබාදුන් පසු ඔවුන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු වූ අවස්ථා ඉතිහාසයේ ඕනෑ තරම් දක්නට ලැබේ.

මරණීය දණ්ඩනය අනුමත කරන අය සැලකිය යුතු තවත් කරුණක් වන්නේ තමා විසින් තම ආණ්ඩුවට තම රටවැසියන් ඝාතනය කිරීමට “බලපත්‍රයක්” ලබා දෙන බව. බොහෝ අවස්ථාවලදී රැවටීම, තණ්හාව, කෲරත්වය වැනි ලක්ෂණ පෙන්වන ආණ්ඩුවට සහ බොහෝ විට එහි සාමාජිකයින්ට නීත්‍යානුකූලව මිනීමැරීමට සහය ලබා දෙනබව. “දේශද්‍රෝහී වීම” යන චෝදනාව යටතේ මරණ දඬුවම නියම වීමේදී මේ ප්‍රශ්නය වඩාත් උග්‍ර තත්වයට පත්විය හැකියි. මෙහිදී මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ වගකීම ලැබෙන්නේ ද රටේ ආණ්ඩුවටයි. රටේ බොහෝ වගකීම් ගැන ආණ්ඩුව ගැන විශ්වාසයක් නොදක්වන අය මරණීය දණ්ඩනය, එනම් අපරාධකාරයාව මරණයට පත් කරන ආකාරය (උදා- විදුලි පුටුව, එල්ලුම් ගහ), නියමිත ක්‍රමයට, මානුශීය ලෙස ක්‍රියාත්මක කිරීම ගැන සම්පූර්ණ විශ්වාසය තබා ඇති අයුරු පුදුම සහගතයි.

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමෙන් සමාජයකට සිදුවන බලපෑම ද නොසලකා හැරිය නොහැකියි. මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වන ඇතැම් රටවල සමහර අවස්ථාවන් වලදී යම් අපරාධකරුවෙකු ඝාතනය කරන විට එම ස්ථානයට රැස්වන මිනිසුන් ඔල්වරසන් දෙනු දක්නට ලැබේ.. මිනීමැරීම් සමරන සමාජයක් බිහිවීම මේ තුලින් නොදැනුවත්ව හෝ සිදු වේ.

එමෙන්ම, අපරාධකරුවන් අතර සිටින විවිධ මානසික විකෘතිතාවයන් නිසා අපරාධ කිරීමට පෙළඹුන අයව ඝාතනය කිරීම නොවේ අප කළ යුත්තේ. අප විසින් කළ යුතු වන්නේ ඔවුන්ව නිසි වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු කරන ඔවුන්ගේ රෝගය සුව කිරීමට උත්සාහ ගැනීමයි. ඔවුන් එම රෝගයන්ගේ ගොදුරු බව අප අමතක නොකල යුතුයි. හැගීම් වලට වහල් නොවී බුද්ධියෙන් විමසා බැලීමට හැකිනම් පෙනී යන්නේ ඔවුන්ට හිමිවිය යුත්තේ අනුකම්පාව බවයි

වැරදි වලට දඩුවම් ලැබීමට සුදුසු බව අපට තීරණය කල හැකි වුවත් ලෝකය සහ මිනිසුන් විදිහට වර්තමානයේ අපේ ක්‍රියාකලාපයන් සහ හැසිරීම දෙස බැලූ විට පෙනී යන්නේ කුමන වරදකට හෝ අල්ලා ගත් මිනිසෙක් ඝාතනය කරන්න පුලුවන්ද කියන එක තීරණය කරන්න පුලුවන් තත්ත්වයක අප නැති බවයි. ප්‍රශ්නය නම් නීතියේ රැහැනට හසුවූ අපරාධකාරයෙක් මරණයට සුදුසුද යන්න නොවේ. නීතියේ රැහැනට හසුවී සමාජයට තවදුරටත් හානියක් නොවන අපරාධකරුවෙක්ව ඝාතනය කිරීමට ශිෂ්ඨ සම්පන්න මිනිසුන් යැයි කියා ගන්නා අපට අයිතියක් තිබේද යන්නයි.

Tuesday, February 14, 2017

සුදු සහ කළු



ඔය අම්බානක හොඳ එවුන් ඉන්නවා නේද..?

සැබෑ ජීවිතයෙ විතරක් නෙමේ ෆේස් බුක් එකෙත්... ඒ කියන්නේ තමන්ගේ හදවත උනත් ගලවලා දෙන.. හැම වෙලේම හොඳ කියල සම්මත හැසිරීම් විතරක්ම පෙන්නන..සුදුම සුදු පෙරල ගත්තා වගේ ඉන්න චරිත..

අන්න උන්ගෙන් තමයි මචන් වැඩියෙන්ම පරිස්සම් වෙන්න ඕන

සුදු සහ කළු මිනිස්සු නැති ලෝකෙක කව්රු හරි සුදෝ සුදෙන් බැබළෙනව නම්.. බොහෝ වෙලාවට වැඩි ඉඩක් තියෙන්නෙ උන් ඒ මවාපාන සුද අමුම අමු ව්‍යාජත්වයක් වෙන්න

උන් තමයි අපිම නොදැනි අපේ බෙල්ල කපලා අපේ අතට දීලා "නියම බෙල්ල නේද?" කියලා අහන්නේ.

මේ ලෝකයේ ශුද්දවන්තයෝ.. සුදු චරිත.. සම්පූර්ණයෙන් හොඳ මිනිස්සු නෑ මචන්

එහෙම අයව පරමාදර්ශී චරිත කරගෙන..

එහෙම අයව හිස් මුදුනේ තියාගෙන වීරයෝ කරගතොත් අවසානයේ ඉතිරු වෙන්නෙ පසුතැවිල්ලක් විතරයි..

එනිසා ඒ ව්‍යාජ සුදට රැවටෙන්න එපා..

සුදු චරිත වලින් පරිස්සම් වෙයන්...!