Saturday, December 31, 2016

බොන්න එපා..හැලප අරන් දියන් !

වෙන රටවල වැඩිහිටියන්ට Don't drink and drive කියද්දි අපේ රටේ උදේ හවා කියන්නෙ "බොන්නම එපා!" කියල.

බොන්නම එපා කියනව වගේ නෙමේ, බීලා වාහන එලවන්න එපා කියන සංකල්පයෙන් ප්‍රකාශ වෙන්නෙ වැඩිහිටියන් විසින් වගකීමක් ඇතුව කටයුතු කරන්න මුල් බැහැ ගත්ත සමාජ ආකල්පයක්. හික්මීම කියන්නෙ ඒක මිසක තමා පරම සත්‍යය කියල හිතන් ඉන්න මොනයම් හෝ ආගමකින් හොඳ නරක ගැන ගහන කළු සුදු ඉරි තමාගෙ ජීවිතයට ඔහේ ආදේශ කරගන්න එක නෙමේ.

"බොන්න එපා..බොන්න එපා.. බොන සල්ලි වලින් අසරණ කාට හරි බිබික්කං අරන් දීපං.. කන්න නැති මනුස්සයෙක්ට හැලප අරන් දීපං"

හැම උත්සවයකදිම, හැම සැමරුමකදිම, හැම විශේෂ දිනයකදිම ගාථාව කියනව වගේ ඕක කියවනව.

අපේ රටේ බොන එකම නරක වැඩක්. නොකල යුතු දෙයක්. පාපයක්..

අපේ රටේ ඊනියා 'හොඳ' මනුස්සයෙක් වෙන්න අරක්කු ටිකක් කටේවත් නොතියන එක මූලික අවශ්‍යතාවයක්.

අපේ සමාජයේ බොහෝමයක් ආකල්ප වගේම ඔය ආකල්පයෙත් මූලය ආගමිකයි. ආගම සම්බන්ධ කරගන්නෙ නැතුව වැසිකිළියටවත් යන්න බැරි මිනිස්සු ආගම සම්බන්ධ කරනොගෙන හොඳ නරක තීරණය කරන්නෙ කොහොමද? ඒකයි ප්‍රශ්නය

ඉතින් අර ආගමෙන් කියල දීල තියෙන.. හොඳ නරකය කියල තමන් හිතන් ඉන්න දේවල් මුලු ජීවිතයටම.. හැමෝගෙම ජීවිත වලට එහෙමම ඇප්ලයි කරල දානවා

ඒ අනුව පදනම් වෙලා මතවාද හදාගන්නව. මිනිස්සු විනිශ්චය කරනවා. කොන් කරනව, හංවඩු ගහනව.

ගොඩක් අයට අනුව බොන උන් නොබොන උන්ගෙ නොබීමේ අයිතියට ගරු කරන්න ඕන. නමුත් නොබොන උන්ට තමන්ගෙ පාඩුවේ බොන උන්ගෙ අයිතියට ගරු කරන්න තරම් හික්මීමක් නැහැ. හැදියාවක් නැහැ.

බොන එක විතරක් නෙමේ, ඕනම දෙයක් සීමාවක් නැතුව.. ලිමිට් එකක් දන්නෙ නැතුව කරනව නම් ඒක නරකයි තමයි. වෙන්න ඕන තමාට සතුටක් හම්බවෙන ඒ මොක හරි වැඩේ සීමාව මොකක්ද කියන එක තීරණය කරගන්න පුළුවන් ජනතාවක් බවට පත් වෙන එක මිසක බොන එකටයි වැසිකිලි යන එකටයි, හැමිනෙන එකටයි, හැම දේකටමයි ආගමික හරි වැරදි ඇප්ලයි කරලා "තිත" තියන්න හදන එක නෙමේ.

ඇත්ත. ජීවිතය විඳින්න බොන්නම ඕන නැහැ තමයි. නමුත් ඒක සමහරුන්ට ජීවිතය විඳින තවත් එක ක්‍රමයක්. වෙනත් කෙනෙක්ට දැනෙන ඒ අවශ්‍යතාවය තේරුම් අරගෙන ඒ නිදහසට ගරු කරන්න කෙනෙක් තුළ අපි හිතනවට වඩා විනයක් තියෙන්න ඕන

ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් කියනව වගේ ඉන්න ටික කාලෙ ජීවිතය විඳින්න එක එක මිනිහා එක එක ක්‍රම හදාගන්නව. ඉඳල හිටල අඩියක් ගහන එක එයින් එකක්.

වෙන කෙනෙක්ගෙ ආතල් එකෙන් තමාට හානියක් නැත්නම්, බලපෑමක් නැත්නම්.. කවුරු හරි තමාට කරදරයක්, හානියක් නොවෙන විදියට උගෙ ආතල් එක ගන්නව නම් අහක ඉන්න කවුරුත් ඒක ගැන වදවෙන්න බණ දෙසන්න ඕන නැහැ.

තමා නොබී ඉද්දි එක එකා ඇවිත් "බීපං බීපං" කියල දෙසන එක වගේම තමයි මනුස්සයෙක් මොකක් හරි සමරන්න හරි මොන හේතුවකට හරි අඩියක්හ ගහන්න හදදදි "බොන්න එපා යකෝ බොන්න එපා යකෝ " කිය කිය කියවන එක

ආයෙම කියන්නම්, නොබොන එකාට නොබොන්න අයිතියක් තියෙනව වගේ තමා. බොන එකාට බොන්නත් අයිතියක් තියෙන්න ඕන කන් කරච්චලයක් නැතුව.

කතාව ඒ තරම්ම සරලයි. බොන්න ඕන උන් නොබොන උන්ට කරදරයක් නොබී බීපං. නොබොන උන් බොන උන්ට බණ දෙසන්නෙ නැතුව තම තමාගෙ ආගමක් දහමක් අදහගෙන ඉඳපල්ල

එච්චරයි. පොඩ්ඩක් ට්‍රයි කරල බලන්න. ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක්

Friday, December 30, 2016

පොත් කියවීමේ අමාරුව

පොත් කියවීමේ අමාරු ජාති දෙකක් තිබිය හැක. එක පොත් කියවීමේ අමාරු ජාතියක් නම් පොත් නොකියවා සිටීමට නොහැකි වීමය. එනම් පොත් කියවීමට ඇබ්බැහි වීමය.

මත් ලෝලියෙක් මත් කුඩු වලට ඇබ්බැහි වී සිටින්නා සේ, සූදු කෙළින්නෙක් සූදු කෙළීමට ඇබ්බැහි වී සිටින්නා සේ, සමහර ගෑණුන් විලාසිතා වලට ඇබ්බැහි වී සිටින්නා සේ පොත් කියවීමට ඇබ්බැහි වී සිටීමය.

ඒ එක පොත් කියවීමේ අමාරුවකි.

ඒ අමාරුව හොඳ අමාරුවකි. මන්ද “කියවීම මිනිසා සම්පූර්ණ කරයි” කියා කවුදෝ පඬිවරයෙක් කියා ඇති නිසාය. (මිනිසෙක් සම්පූර්ණ වීමට කියවීමම පමණක් ප්‍රමාණවත් වී ඌ කියවන්නේ කුමක්ද කියන කාරණයේ වැදගත් බවට ඒ පඬියා අවධානය යොමු නොකිරීම දැනට අමතක කරමු)

අවාසනාවක මහත කෙතරම් මහතද කියනවා නම් මට ඇත්තේ එහෙම අමාරුවක් නොව, වචනයේ අර්ථයෙන්ම පොත් කියවීමේ අමාරුවකි. එනම් මට පොත් කියවීමට අමාරුය. අපහසුය. දුෂ්කරය. අසීරුය. බැරිය.

පාසැල් වියේ පාඩම් කරන්නට සිදුවීම නිසාම කියවූ පෙළ පොත් හැර ජීවිතයේ සම්පූර්ණයෙන් කියවා ඇත්තේ ෂර්ලොක් හෝම්ස් පොත් මාලාව පමණි (කථා මාලාව පරිවර්තනය කල චන්දන මෙන්ඩිස්ට පිං). ඉන් එහාට කිසිදු පොතක් සම්පූර්ණයෙන් කියවූ බව මතකයේ නැත. කියවූ අනෙක් පොත් සියල්ලම බාගෙටය.

කියවීමට යැයි සිතා මිලදී ගත් පොත් නම් ඇති තරම් නිවසෙහි ඇත. නමුත් කියවීමට පටන් ගෙන පිටු පහ හයක් යන විටම මගේ සිත නවතින්නේ වෙන වෙන ලෝක වලය. මා යමක් කියවන විට සිතට එන අදහස් මා එක එක ලෝක වල අතරමං කරයි. පසුව මා කරන්නේ ඒ ඒ ලෝකවල රස්තියාදු ගසා අතරමං වීම විනා දිගටම අවධානයෙන් පොත කියවීම නොවේ.

එක දිගට එකම දෙයක් ගැන අවධානය යොමු කිරීමේ දුර්වලයෝ මේ ලෝකයේ සිටියි නම් ඔවුන්ගෙන් අග තැන්පත් දුර්වලයා මම දැයි මටම වෙලාවකට සිතේ. මෙය කරුමයකි. බාර හාර වී පොල් ගසා දෙහි කපා ගෙවා දැමිය නොහැකි තරමේ අභාග්‍යයකි.

දන්නා කියනා සියලුම දේ පාහේ ගූගල් දෙවියන්ගෙන් ඉගෙනගන්නා මම කෙසේ හෝ පොත් කියවීමට පුරුදු විය යුතුය. ඉටා ගත යුතුය. පටන් ගත යුතුය.

දැන් වේලාව රාත්‍රී 11:34 ය. හෙට සිට මා කියවීමට සිතාගෙන සිටින පොත කෙසේ හෝ කියවීමට පටන් ගත යුතුය.

අර නම නොදන්නා පඬියා කීවා සේ සැබවින්ම කියවීම මිනිසා සම්පූර්ණ කරයි නම් මම සෑහෙන අසම්පූර්ණ මිනිසෙකි. මම අසම්පූර්ණ බව පිළිගැන්මම බාගෙට හෝ සම්පූර්ණ වීම දෙසට තබනා පළමු පියවර විය හැක. ඔහු කියවීම මිනිසා සම්පූර්ණ කරයි කීවේ කට කසනවාට නොවිය යුතුය.

දැනට, ඒ පඬියා කෙරේ විශ්වාසය තැබිය යුතුය. කෙසේ හෝ බාගෙට කියවා ඇති පොත් සියල්ල කියවා අවසන් කල යුතුය. සෙමින් සෙමින් හෝ පොතක් එකවර සම්පූර්ණයෙන් කියවීමට ඉගෙනගත යුතුය.

Thursday, December 15, 2016

ආගම් වලට උපහාස, අපහාස කිරීම ගැන

ආගමක් යනු කුමක්ද? මේ ප්‍රශ්නයට එක් පිලිතුරක් ඉදිරිපත් කිරීම අපහසුයි. 'ආගම' යන වචනයට විවධාකාර අර්ථ දැක්වීම් දිය හැකියි. ආගම යනු ස්වභාවදර්මය, ජීවිතයේ හෝ විශ්වයේ ස්වභාවය සහ එහි අරමුණ, සදාචාරය (හොඳ, නරක) ගැන කියැවෙන විශ්වාසයක් හෝ විශ්වාස මාලාවක එකතුවක් කියන එකයි මගේ අදහස. නැත්නම් මම ඉහත සදහන් කල කරුණු ගැන සත්‍යයන් යැයි පැවසෙන අදහස් මාලවන් (truth claims) කියා හදුන්වන්න පුලුවන්.

'ආගම' යන දෙයට කෙතරම් අර්ථදැක්වීම් ඉදිරිපත් කලත් ඒ සියලුම අර්ථ දැක්වීම් වලින් පැහැදිලිවන්නේ ආගම යනු මම ඉහත සඳහන් කල කරුණු ගැන කියැවෙන 'අදහස්' මාලාවක් බවයි. එනම් ආගම යනු යම් මාතෘකාවක් ගැන යම් කෙනෙක් හෝ යම් පිරිසක් එකඟවූ, පිලිගන්නා මතවාදයක්.

මිනිස් ඉතිහාසය පුරාම මෙවන් එකිනෙකට විරුද්ධ මත දරන ආගම් ඉතා විශාල සංඛ්‍යාවක් පැවතුනා. වර්තමානයේදීත් පවතිනවා. ඒ එක් එක් ආගම් සහ ඒවායින් කියැවෙන කරුණු/ඉගැන්වීම් දෙස බැලූ විට පෙනීයන්නේ ඒවා සෑම විටම එකිනෙකට විරුද්ධ අදහස් දරණ බවයි.

එක් මාතෘකාවක් ගැන, එකම කාරණයක් ගැන, එකහා සමාන කරුණක් ගැන එකිනෙකට විරුද්ධ අදහස් දෙකක් ඇත්නම්,

ඒ අදහස් දෙකෙන් එකක් පමණක් සත්‍යය විය යුතුයි. අනෙක අසත්‍යය විය යුතුයි. (හෝ)
ඒ අදහස් දෙකම අසත්‍යය විය යුතුයි.

නමුත් කිසිවිටෙකත් අදහස් දෙකම සත්‍යය වන්නේ නෑ.

මේ අනුව ලෝකයේ මෙතෙක් පැවතුන දහස් ගනනක් ආගම් ස්වභාවදර්මය, ජීවිතයේ හෝ විශ්වයේ ස්වභාවය සහ එහි අරමුණ, සදාචාරය (හොඳ, නරක) ගැන එකිනෙකට විරුද්ධ අදහස් ඉදිරිපත් කර ඇති නිසා,

ඒ ආගම් අතරින් එක් ආගමක් පමණක් සත්‍යය විය යුතුයි. (හෝ)

ඒ ආගම් සියල්ල අසත්‍යය විය යුතුයි.

නමුත් අද සමාජයේ පවතින පොදු සම්මුතියක් නම් මේ 'ආගම්' යන අදහස් මාලාවන් (සියල්ලම අසත්‍යය වන හෝ එකක් හැර අන් සියල්ල අසත්‍යය වන) විවේචනයෙන් සහ උපහාසයෙන් තොර, ඒවායින් ආරක්ශාවූ අදහස් ලෙස සැලකීමයි. මිනිසුන් විශාල සංඛ්‍යාවක් ආගම් අදහන මිනිසුන් වීම නිසා තමාගේ ආගම විවේචනයෙන් සහ උපහාසයෙන් ආරක්ශා කරගැනීමේ අරමුණින් අන් සියල්ලන්ගේ ආගම් වලටත් ඒ අයුරින්ම සැලකීමේ පොදු සම්මුතිය නිසා කල්යත්ම මේ 'ආගම්' කියන අදහස් මාලාවන් යම් පිරිසකගේ 'මතයන්' එකතුවක් යන කරුණ අමතකවී ගොස් මේ අදහස් 'ශුද්ධවූ අදහස්' අයුරින් දැකීම යන තත්වයටම අද පත්වී තිබෙනවා.

එනම් (එකක් හැර හෝ සියල්ලම) අසත්‍යය වන මතවාදයන් එකතුවක් විවේචනයෙන් සහ උපහාසයෙන් තොර මාතෘකා බවට පත්වී ඇත. අප රට වැනි විශාල වශයෙන් ආගමට නැබුරුවූ රටවලදී මේ අදහස් මාලාවන් සාකච්ඡාවටවත් විවෘත වන්නේ නෑ.

නමුත් කිසිම රටක කිසිම සමාජයක මිනිසුන් එදිනෙදා ජීවිතයේදී තම අනෙක් අදහස් දෙස මේ අයුරින් බැලීමට පෙලබෙන්නේ නෑ. දේශපාලනය, ක්‍රීඩා, කලාව, සංගීතය වැනි ඕනෑම මාතෘකාවක් විවේචනයට, ප්‍රශ්න කිරීමට, උපහාසයට විවෘතයි. කිසිම විශේෂ සැලකිල්ලක්, ගරුත්වයක් එම අදහස් වලට ලැබෙන්නේ නෑ. එය යම් මාතෘකාවක් ගැන යම් පුද්ගලයෙක්ගේ මතයක් පමණයි කියන එක ඕනෑම කෙනෙක්ට පැහැදිලියි. නමුත් මාතෘකාව ස්වභාවදර්මය, ජීවිතයේ හෝ විශ්වයේ අරමුණ, සදාචාරය ගැන කියැවෙන මාතෘකාවකට (ආගම කියන) වෙනස් කල විගසින් සාකච්ඡාව වෙනස් සවභාවයකට පත්වනවා. නීති රීති වලින් ආරක්ෂා වූ, සීමා සහිතව කතාකල යුතු, සාකච්ඡාවට බඳුන් නොකරනවා නම් වඩාත් හොඳ, ආකල්පයක් මිනිසුන්ගේ සිත් තුල නැගෙනවා. සාකච්ඡාව බොහෝවිට එතනින් අවසන් වනවා, ඉදිරියට ගෙන යාමක් සිදුවන්නේ නෑ. නමුත් ඇත්තටම බැලුවොත් සාකච්ඡා කරන්න තිබෙන වටිනාම මාතෘකාව ස්වභාවදර්මය, ජීවිතයේ හෝ විශ්වයේ අරමුණ, සදාචාරය නොවේද?

මනුශ්‍යයන් දෙදෙනෙක්ට සාකච්ඡා කල හැකි මාතෘකා වලින් උතුම්ම මාතෘකාව "හොඳ, නරක" , "හරි, වැරැද්ද", "සත්‍යය , අසත්‍යය" යන මාතෘකාව නොවේද ?

වටිනාම මාතෘකාව ගැන අදහස් ප්‍රකාශ කිරීමට වැට කඩොලු අපි විසින්ම දමාගෙන තිබෙන්නේ ඇයි? එක් එක් පුද්ගලයින්ගේ යම් මාතෘකාවන් ගැන තිබෙන අනෙක් අදහස් වලට තිබෙන සැලකිල්ලම නොවේද මේ මාතෘකාවටත් ලැබිය යුත්තේ ?

සෑම අවස්ථාවකදීම වගේ මේ මාතෘකාව ගැන කතා නොකිරීමට හෝ කතා කලත් විවේචනයෙන් හා උපහාසයෙන් තොරව වැට කඩොලු දමා කතා කිරීමට හේතුව නම් මිනිසුන් මේ මාතෘකාව ගැන කතා කරන විට අන් අවස්ථාවලදී දක්නට නොලැබෙන ආකාරයට සංවේදී වීමයි. වෙනත් අවස්ථාවලදී මෙන් විරුද්ධ මතයන් හෝ උපහාසයන් දරා ගැනීමේ හැකියාවක් මේ අවස්ථාවේදී දක්නට ලැබෙන්නේ නෑ. හේතුව කුමක්ද? පැහැදිලිවම ඔවුන් එම විරුද්ධ අදහස් දිහා බලන ආකාරය සහ එම අදහස් බාර ගන්නා විදිහ නිසයි මේ ගැටලුව ඇති වන්නේ. යම් හේතුවක් නිසා ඔවුන්ට තේරුම් ගැනීමට නොහැකිවනවා මේ කතා කරන්නේ තමාගේ මතයක් ගැන මිසක් තමා ගැන නොවන බව. එකග නොවෙන්නේ, ප්‍රශ්න කරන්නේ, උපහාසයට ලක් කරන්නේ පුද්ගලයෙක්ව නොව, අදහසක් බව.

ඇත්තටම මෙතන තිබෙන්නේ විවේචනය හා උපහාසය දිහා බලන විදිහේ ප්‍රශ්නයක්. පහත ලින්ක් එකේ එක් පරීක්ශනයක් ගැන සදහන් වනවා. එම පරීක්ශනයෙන් ලැබෙන එක් නිගමනයක් අප මේ කතා කරන විශයට අදාලයි. පහත ලින්ක් එකෙන් දැක්වෙන්නේ එම පරීක්ශනයයි.

http://srilankanatheists.wordpress.com/2013/05/16/294/

එම පරීක්ශනය ගැන කියවන විට ඔබට පෙනෙයි දුබුරු පාට ඇස් ඇති ලමුන් තමාට " දුබුරු පාට ඇස්" කියා අමතන විට එය අපහාසයක් ලෙස භාරගත් බව. එයට හේතුව නම් වෙනයම් කෙනෙක් විසින් ඔවුන්ගේ මනසට දැමූ ආකල්පයක් නිසා ඔවුන් එසේ තමාට 'දුබුරු පාට ඇස්" කියා වෙන කෙනෙක් ඇමතූ විට එය ඔවුන් විසින් අපහාසයක් ලෙස භාරගත් නිසයි. නමුත් ඒ කතාව කිසිම ලෙසක අපහාසයක් ලෙස භාරගත යුතු කතාවක් නොවේ. තේරුමක් රහිත කතාවක්. නමුත් එයින් පෙනීයන්නේ යමෙක් යම් දෙයක් භාරගන්නා විදිහ, හිතන විදිහ මෙවන් නිශ්ඵල ගැටලු ඇතිවීමට හේතුව බවයි. කෙනෙක් තමාට තරහ ඇති කරනයම් ප්‍රකාශයක් (offend) වන දෙයක් තෝරා ගත් විට එය කොතරම් තේරුමක් නැති දෙයක් වුනත් විශාල ප්‍රශ්න ඇති කරනවන්නක් බව පැහැදිලියි.

ආගම ගැන කතාකරන විටත් මේ දෙය මේ ආකාරයෙන්ම සිදුවනවා නොවේද ? මේ ගැටලුවට හේතුව මිනිසුන් විසින් මේ මාතෘකාව ගැන කතා කරන විට අර දුබුරු පාට ඇස් තිබූ ලමයින් ලෙස හැසිරීම නොවේද? ඔවුන් එය බාර ගත්තේ නැතිනම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. එය බාර ගත යුතුත් නෑ, මොකද අය පුද්ගලිකව එල්ල කරන ප්‍රහාරයක් නොවේ, තම මතයන්ට එල්ල කරන ප්‍රහාරයක් නිසා. නමුත් කිසියම් හේතුවක් නිසා ඔවුන් අනෙක් මාතෘකාවලදී offend නොවීමටත් ආගම ගැන කතා කරන විට offend වීමටත් තෝරාගෙන තිබෙනවා, හරියට අර දුබුරු පාට ඇස් තිබෙන ලමයින් වගේ.

මිනිසුන් තේරුම් ගත යුතුයි තමා යම් දෙයක් හරියි කියල සිතුව පමණින් අනෙක් අය එයට එකග විය යුතු නැති බව. මෙයට ආගම හොදයි කියා තමා සැලකීම සහ 'ආගම විවේචනයෙන්, උපහාසයෙන් තොර විය යුතුයි' කියන තමා දරණ මතයත් ඇතුලත් බව තේරුම් ගත යුතුයි. තමා එසේ සිතුව පමණින් අන් අය එසේ සිතන්න ඕනෙ කියල කියන්න බෑ.

නිදහසේ තම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට 'විවේචනය කිරීමේ අයිතිය සහ උපහාසයට ලක් කිරීමේ අයිතිය' ඇතුලත් බව අමතක නොකල යුතුයි. තමාට කේන්ති යන නිසා තවකෙක්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කිරීමට උත්සාහගන්නන් නොකියා කියන්නේ, තමාට තමාගේ හැඟීම් පාලනය කරගත නොහැකි නිසා අන් අය ඔවුන්ගේ කටවල් වසාගෙන සිටිය යුතු බව නොවේද? සමාජයක ජීවත් වන විට තම හැඟීම් පාලනය කරගත නොහැකි අය 'වැඩිහිටියන්' ලෙස හැදින්විය හැකිද?



මගේ මිත්‍ර කුමාර සංකල්ප විසින් ඉදිරිපත් කල අදහසක් පහත දැක්වේ.

අප සමාජය තුළ ඓහිකවාදී ස්ථාවරයට පහර වදින විවිධ මතයන් ඉදිරිපත් වීම සුලභ හා සාමාන්ය දෙයකි.. එලෙස ඉදිරිපත් වන මතයන් අතරින් කිහිපයක් වනුයේ,
1. රජය විසින් යම් ආගමකට ප්‍රමුඛස්ථානය දී සුරැකිය යුතුය.
2. රජය විසින් ආගම් විවේචනය කරන හා උපහාසයට ලක් කරන කාටූන්, පොත්පත්, නාට්‍යය වැනි මාධ්‍යයන් තහනම් කළ යුතු ය.
3. ඒ ඒ පාසල් ඒ ඒ ආගම් හා අනුබද්ධ විය යුතු ය.
4. සැමට බලපාන පොදු නීති යම් ආගමක නීති හා ගැටේ නම් ආගමික නීතින්ට මුල්තැන දිය යුතු ය. (උදා - 1/ හැදුනුම්පත සදහා ගනු ලබන ඡායාරූපය සදහා මුහුණ නිරාවරණය කළ සිටිය යුතු ය. නමුත්, ''ආගමික නිදහස'' යටතේ හිජාබයෙන් මුහුණු ආවරණය කරගෙන හැදුනුම්පත සදහා වන ඡායාරූපයට පෙනී සිටිය හැකි ය. 2/ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම පිළිබදව වන නීති රජයේ ඉඩම් තුල අනවසර ලෙස සෑදූ බුදුපිළිම වලට අදාල නොවේ.)
ඉහතින් සදහන් කළ මතයන් යුක්තිසහගත යැයි බොහෝ දෙනා පිළිගනු ලැබේ. අදේවවාදය (atheism) වැනි නිර්-ආගමික ස්ථාවරයක සිටින බොහෝඅය පවා මෙයින් එකක් කෙරෙහි හෝ අනුවේදනයක් ඇති අය වන්නට පුලුවණි. නමුත්, ඉහත සදහන් මතයන් ඇත්තටම සාධාරණීකරණය කර ඇති ඒවාද? ඒ පිළිබද විමසා බැලීම පිණිස පහත චිත්ත පර්යේෂණයේ නියැලෙන්න.
ඉහත වාක්යියන්ගේ "ආගම්" යන වචනය වෙනුවට "දේශපාලන පක්ෂ" යන යෙදුම ආදේශ කරන්න. එලෙස ආදේශ කළවිට අපට ලැබෙනුයේ,
1. රජය විසින් යම් දේශපාලන පක්ෂයකට ප්‍රමුඛස්ථානය දී සුරැකිය යුතු ය.
2. රජය විසින් දේශපාලන පක්ෂ විවේචනය කරන හා උපහාසයට ලක් කරන කාටූන්, පොත්පත්, නාට්‍යය වැනි මාධ්‍යයන් තහනම් කළ යුතු ය.
3. ඒ ඒ පාසල් ඒ ඒ දේශපාලන පක්ෂ හා අනුබද්ධ විය යුතු ය.
4. සැමට බලපාන පොදු නීති දේශපාලන පක්ෂයන්ගේ නීති හා ගැටේ නම් දේශපාලන පක්ෂ වල නීතින්ට මුල්තැන දිය යුතු ය.
ආගමික භක්තිකයින් ද ඇතුලු සෑම දෙනාම පාහේ මෙම වාක්‍යයන් හා එකග වීමට ඇති සම්භාවිතාවය ඉතා අල්ප ය. උදාහරණයක් ලෙස, විවේචනය යනු ප්‍රජතාන්ත්‍රික සමාජයක යහපත් අංගයකි. එමෙන්ම, උපහාසය යනු කථන නිදහසේ මූලික අංගයකි. එබැවින්, යම් දේශපාලන පක්ෂයක් කොතරම් කාරුණික පක්ෂයක් වුවත් එම පක්ෂය විවේචනයට හා උපහාසයට නිර්මුක්ත වන්නේ නැත. නමුත්, මෙම වාක්‍යන්ට එරෙහි වන අතරම මේ වාක්‍යය්න්ගේම ''ආගමික වර්ෂන්''' වලට එකග වීමේ හේතුව කුමක්ද?

සමහර කොටස් දරන මතයක් නම් ආගම විවේචනය සහ උපහාසයට ලක්කිරීම වැරැද්දක් නැති වුනත් 'අපහාසය' වැරදි දෙයක් බව. මෙහිදී නැගන ගැටලුව නම් විවේචනය, උපහාසය සහ අපහාසය වෙන් කරගන්නා මිම්මක් නොමැති වීමයි. දැඩි ආගම් භක්ත්කයෙක් ඔහුගේ ආගමට එකඟ නොවන ඕනෑම ප්‍රකාශයක් ඒ ආගමට කරන අපහාසයක් ලෙස භාරගැනීමට පුලුවන්. එවන් උදාහරණ ඉතිහාසයේ ඕනෑ තරම් දක්නවට ලැබුනු බව සියල්ලන් දන්නා දෙයක්. 'උපහාසය සහ අපහාසය' අතර වෙනස එක එක්කෙනා එක එක ආකාරයට මනින දෙයක්. එය පුද්ගලයා අනුව වෙනස් වනවා. එනිසා අන් අයගේ කතාකිරීමේ නිදහසට සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කිරීම හැර වෙනත් විකල්පයක් නෑ.

ආගම් අදහන මිනිසුන් විසින් ඔවුන්ගේ ඇදහිලි සහ විශ්වාස වලට අනුව සමාජයන් පාලනය කිරීමට ගන්නා උත්සහය නවතන තුරු, ඔවුන්ගේ විශ්වාස සහ ඇදහිලි නිසා අන් අයගේ ජීවිත වලට වන බලපෑම නතරකරන තුරු, ඔවුන්ගේ විශ්වාසය සහ ඇදහිලි ඔවුන්ගේ පුද්ගලික ජීවිත වලට පමණක් සීමා කරගන්නා තුරු, "ආගම විවේචනයෙන් සහ උපහාසයෙන් ආරක්ශා වියයුතුයි" යන ප්‍රකාශය කිරීමටවත් ඔවුන්ට සදාචාත්මක අයිතියක් නෑ.

මිනිසුන් තමතමන්ගේ "ආගම්" පුද්ගලික අදහස් සහ සංකල්ප වශයෙන් පමණක් සලකනවා නම් ඒ ගැන විවේචන කිරීමේ ලොකු අවශ්‍යතාවයක් මතුවන්නේ නෑ. නමුත් ගැටලුව නම් මේ "ආගම" යන දෙය පුද්ගලික විශ්වාස වලට පමණක් සීමා නොවීමයි. මුලු සමාජයක් පාලනය වන රීති මෙන්ම අප රට වැනි සෙකියුලර් ක්‍රමයක් දක්නට නොලැබන රටවල නීති පවා මේ "ආගම" යන සංකල්පය මත ගොඩ නැගීම නිසා මෙය අනිවාර්යෙන්ම සාකච්ඡාවට, විවේචනයට, සහ උපහාසයට විවෘත විය යුතුයි. අන් සෑම අදහසක්, මාතෘකාවක් වගේම. ඕනෑම දෙයක් සමාජයේ ප්‍රසිද්ධියට , සමාජයේ ඉදිරියට, සමාජයට බලපාන දෙයක් බවට පත්වූ විට එයට එකම සැලකිල්ල ලැබිය යුතුයි. දේශපාලනය, සිනමාව, සංගීතය, ක්‍රීඩා සහ ආගම වැනි සියලුම දේ.

මීට කලින් වෙනත් තැනක මේ මාතෘකාව ගැනම කෙටියෙන් මම ඉදිරිපත් කල අදහසක් උපුටා දක්වමින් මේ සටහන අවසන් කරන්නම්.

"කෙනෙක්ට යම් විශ්වාසයක්, ආගමක් ඇදහීමට තිබෙන අයිතියට ගරු කරනවා, නමුත් ඔහුගේ එම විශ්වාසයට හෝ ආගමට ගරු කරන්නේ නෑ"

තවත් සරලව කියනවා නම්, ඉන්දියවෙ මිනිස්සු හරකට වදිනවා.එහෙම කොටසක් ඉන්නවා. මම ඔවුන්ගේ ඒ හරකට වදින්න තියෙන අයිතියට ගරු කරනවා. එයට කිසිම විරුද්ධත්වයක් නෑ. විරුද්ධ වෙන්න අයිතියකුත් නෑ මට බලපෑමක් නැති නිසා. නමුත් මම ඒ හරකට ගරු කරන්න යන්නේ නෑ අනෙක් අය හරකට වැන්දා කියල. මම හරකට "හරක්වහන්සේ" කියන්න යන්නෙත් නෑ. හරක එද්දි මගේ හිස්වැසුම ගලවන්නේ නෑ. මම හරකට කියන්නේ හරක කියල.හරකට සලකන්නේ හරකට වගේ. ඔවුන්ගේ විශ්වාසය ඔවුන්ගේ මිසක් මගේ නෙමේ. හරකට වැදල ඔවුන්වගේ හරකගේ මුත්‍රා ඔලුවෙ ගා ගන්න යන්නේ නෑ. හරකගේ මු‍ත්‍රා ශුද්ධවූ මුත්‍රා කියල ඔලුවේ ගාගන්න එකාට මූ නම් නියම මෝඩයෙක් කියල හිනා වෙන්නත් මම පසුබට වෙන්නේ නෑ. මොකද මම හිතන විදිහට ඔහු කරන්නේ උපහාසයට, සිනහවට ලක් විය යුතු ක්‍රියාවක් නිසා."

ඔවුන්ට හරකා උතුම් උනාට මට ඌ හරකෙක්."--

Wednesday, December 14, 2016

ජීවිතය කියන්නෙ ෆේස් බුක් නෙමෙයි

ෆේස් බුක් එක.. එහෙම නැත්නම් මුහුණු පොත..

අපි හැමෝගෙම වගේ ජීවිත වල කොටසක් වෙලා.

ඒත්, අපි මොහොතකට කල්පනා කරල බැලුවද අපි උදේ ඉඳන් හවස් වෙනකල් ෆේස් බුක් එකේ ඉඳං මොනවද කරන්නෙ කියල

මං කතා කරන්නෙ ගෑණු පිරිමි මල් පලතුරු ශෙයාර් කරන්න ෆේස් බුක් එන අයවත්, තමා කන කෑම එක.. යන ට්‍රිප් එක ෆොටෝ ගහල දාන්න ෆේස් බුක් එන අයවත් නෙමේ

මං කතා කරන්නෙ දවස පුරා බුකියෙ ඉඳගෙන දේශපාලනය, ආගම, සමාජය ගැන සංවාද කරන අය ගැන

මට හිතෙන්නෙ වර්චුවල් අවකාශයක් වෙච්චි මේ මුහුණු පොතේ කාලය වැය කරමින් අපි වහගන්න හදන්නේ අපේම සැබෑ ලෝකයේ ජීවිත වල තියෙන මොකක් හරි හිස් කමක් කියල

දැන් උදාහරණයකට මාවම ගත්තොත්, ලෝකය දකිද්දි මගෙ හිතට එන අදහස් බෙදාගන්න, කතා කරන්න මට හරියන යාලුවො දෙතුන් දෙනෙක් මගෙ සැබෑ ජීවිතේදි හිටිය නම් බොහෝ වෙලාවට මම ෆේස් බුකියේ දැන් තරම් ඇක්ටිව් ඉන්න එකක් නැති වෙන්න තිබ්බ

මගෙ හිතට එන අදහස් එළියට දාගන්න සැබෑ ජීවිතේ ඉඩක් නැති එක මගෙ ජීවිතේ හිස් කම වෙන්න ඇති. මම ඒ හිස් කම ෆේස් බුකිය හරහා පුරවගන්න හදනව වෙන්න ඇති

ඒ වගේම ඊගෝ කේස් තියෙන අය.. හීනමානයෙන් පෙළෙන අය.. කාලය ගෙවා ගන්න විදියක් නැති අය..

වගේ එක එක ප්‍රශ්න අස්සෙ.. උවමනාවල් අස්සෙ ඉන්න මිනිස්සු මේකෙ ඉඳගෙන උදේ හවස ලෝකෙ වෙනස් කරන්න පොර ටෝක් දෙනව (මමත් ඇතුළුව)

දැන් එහෙම ලෝකෙ වෙනස් කරන ටෝක්ස්.. ලෝකය කියවන ටෝක්ස් අස්සෙ.. අපි අපිවම කියවගන්න එක මඟ හැරිලා වෙන්න ඇති

අපිට සැබෑ ජීව්තේ අම්මෙක් තාත්තෙක්, බිරිඳක්, පෙම්වතියක්, රස්සාවක් තියෙද්දි මේ බුකිය අස්සට කොහොම හරි රිංගන්න දඟලන්නෙ එසේ මෙසේ ලේසි පාසු උවමනාවකට නෙමෙයි කියල මට නම් හිතෙන්නෙ. ඒක අපි තුළ තියෙන අපි හිතනවටත් වඩා ලොකු අවශ්‍යතාවයක් වෙන්න ඇති

එක දවසක් රෑ ලයිට්ගිය වෙලේ ෆෝන් එකෙන් ෆේස්බුක් ලොග් වුන වෙලාවක මම දැක්ක එක්කෙනෙක් දාල තියෙනව එයාගෙ ගෙදරත් ලයිට් නෑ කියල.  අඩුම ගානේ ලයිට්ගිය වෙලාවෙවත් කාලකණ්ණි වගේ ෆේස්බුක් එන්නෙ නැතුව තමාගේ පවුලේ අය එක්ක කතාබහ කරල හිනා වෙලා ඉඳහල්ලකො කියලා.

ඒ ස්ටේටස් එක දාල තිබ්බෙත් ලයිට් ගිය වෙලේ.. ෆේස් බුක් එකේ..

ලෝකය ගැන අම්බ විචාර දෙන අපි, අපිම මේ ෆේස් බුක් එකේ ඉඳගෙන කරන දේ ගැන කේස් ස්ටඩි එකක්.. විචාරයක් කලොත් ඒ විචාරය මොන වගේ වෙයිද?

දැන් බලන්න මම මේ පෝස්ට් එකෙනුත් කරන්නෙ අපි ගැන හෙණ ටෝක් එකක් ෆේස් බුක් එකටම අත ඇරල දාන එක..

අපි ෆේස් බුකියට ඇබ්බැහි වෙලා ඉන්න එක ගැන මම ටෝක්ස් දෙන්නෙත් ෆේස් බුකියටම ඇවිල්ල

මේ පෝස්ට් එක අස්සෙත් හැංගිලා තියෙන අයිරනිය ඒකයි..


2015 දෙසැම්බර් 14 දිනදී මුහුණු පොතේ පලකරන ලද සටහනකි

ධනාත්මක චින්තන talks


හිතට සහනයක් දෙන ධනාත්මක චින්තන talks. 

මේවායින් ප්‍රයෝජන නැත්තේමත් නෑ. 

එකක් තමා මේවා කියෝලා, දැකලා, share කරලා ගන්න ආතල් එක. ඒක එක ප්‍රයෝජනයක්. හැබැයි ඒ ආතල් එක එතනින් ඉවරයි.

හරියට අර ලබන අවුරුද්දේ මුල ඉඳලා මම Jim යනවා, ඇඟහදා ගන්නවා, සල්ලි ඉතුරු කරන්න ගන්නවා වගේ plan කරලා අවුරුද්දේ මුල් දවස ආවම ඒවා නොකර ආයේ කල්දාන්නේ. 

අන්න ඒ ප්ලෑන් කිරිල්ලයි මේවා share කරලා ගන්න ආතල් එකයි සෑහෙන්න සමානයි.  

අනික් ප්‍රයෝජනේ තමා, 

ඇත්තටම මේ මොකක් හරි ඉලක්කයක් පස්සේ දුවන අයට මේවගේ ධනාත්මක වදන් පොඩි push එකක් වීම. 

ඇත්තටම ඉලක්ක පස්සෙ දුවන උන් මේවා දැක්කත් නැතත් ඒ ඉලක්ක පස්සෙ දුවනවා. මොකද ඒ ඉලක්ක පස්සේ දුවන්න උන්ව පොළඹවපු හේතු සහ අරමුණු මේ වගේ ධනාත්මක චින්තන වචන ටිකකට ලඝු නොවන ඊට වඩා සෑහෙන බරක් ගැඹුරක් තියෙන දේවල් නිසා.

මේවායින් වෙන්නේ පොඩි පුෂ් එකක් ලැබෙන එක. 

හරියට හැතැම්ම ගාණක මැරතන් එකක් දුවන එකෙක්ට වතුර පනිට්ටුවක් වදිනවා වගේ. 

අධිෂ්ඨානයෙන් දුවන එකා දුවන්නේ කොහොමත් දිනන්න. 

වතුර ගැහැව්වත් නැතත්. 

ඒත් වදින වතුර පනිට්ටුව ඌට ධෛර්‍යක්, ඌ ඒක ශක්තියක් කරගන්නවා. 

හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ, මැරතන් එක දුවලා ඉවර වුනාම ලැබෙන තෑග්ග මොකක්ද කියන එක. 

මැරතන් එක දිනලා බලාපොරොතු වෙන්නෙ මොකක්ද කියන එක. 

ඕක ඉතින් කෙනා අනුව වෙනස් වෙනවා. 

නමුත් දිනුම් කණුවක් නොපෙනෙන, නිමක් නැති, මැරිලා වැටුනාම විතරක් ඉවර වෙන මැරතන් එකක් දුවනවට වඩා හොඳයි එක තැන නැවතිලා ආතල් එකේ නින්දක් දාන එක. 

ඒත් එහෙම නැවතිලා relax එකේ ඉන්න එසේ මෙසේ පොරකට බෑ. ඒක කරන්න එසේ මෙසේ පොරක් නොවන පොරක්ම වෙන්න ඕන.

මොකද එහෙම නැවතිලා ඉන්න උන්ට වටේ ඉන්න උන් කිංඩි දානවා, පාච්චල් කරනවා. මැරතන් එක දුවන උන් හදන්නේ හැමෝමව ඇදගෙනම දුවන්න.

දුවන්නේ නැති කෙනෙක්ට පැවැත්මක් නෑ.

ඒ විදිහටයි තරඟයේ නීති නිර්මාණය වෙලා තියෙන්නෙ.

ඔය හති දදා මැරෙනකල් දිවිල්ල නවත්තලා පොඩ්ඩක් relax වෙන ක්‍රම හොයන්න සමහරු ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙනවා. 

දැන් ඔය අපේ රටේ තියෙනවාය කියන බෞද්ධාගමේ නිර්මාතෘ ඉදිරිපත් කලෙත් හති දදා දිවිල්ල නවත්තලා ඔන්න ඔය relax වෙන method එකක් වෙන්නැති.

මොනව වුනත් කමක් නෑ, 

අපි ඔක්කෝමල්ලා දුවමු..

හතිදදා දුවමු.

එක රැයින් HIT වෙමු..

උත්සාහ කරමු..

HIT උනයින් පස්සේ...?

.
.
.

ආයේ දුවමු ඕයි !



කාටූනය උපුටා ගත්තේ ගප්පියාගේ පිටුවෙනි

Tuesday, December 13, 2016

හාමුදුරුවො බණ ටෝකින්ග්


අද පෝය

භික්ෂූන් විසින් ගිහියන්ට ජීවත් වෙන හැටි කියල දෙන දවස.

ඔය බණ, දේශනා, ඔවදන් අස්සෙ හැංගිලා තියෙන උත්ප්‍රාසය තමා මේක.

ඒ කිව්වෙ පූජකයන් හරි භික්ෂූන් හරි ගිහියන්ට පවුල් කන හැටි, ජීවත් වෙන හැටි කියල දෙන්න එන එක හරියට ජීවිතේට මූදක, වැවක, පූල් එකක බැහැපු නැති කෙනෙක් පිහිනුම් ක්‍රම ගැන උපදෙස් දෙනවා වගේ වැඩක් වීම.

ඒත් ඒ වගේ අයගෙන් උපදෙස් ගන්න කැමති අය ඉන්නවා නම් ඒකෙ කිසිම ප්‍රශ්නයක් නැහැ මොකද මනුස්සයෙක්ට මෝඩයෙක් වෙන්නත් අයිතිය තිබිය යුතු නිසා සහ මිනිස්සුන්ට මෝඩ වැඩ කිරීමට තියෙන අයිතිය වෙනුවන් අපි පෙනී සිටිය යුතු නිසා. මොකද හැමෝටම 'නිදහස්' මිනිස්සු වෙන්න කියලා බල කරන්න බැහැ. එනිසා කැමති අයට කැමති මහදැනමුත්තෙක්ගේ උපදෙස් අරගෙන ඒවා 'තමාගේ' ජීවිතය තුළ පිළිපදින්න පුළුවන්, අනිත් අයට හානියක් හරි බලපෑමක් හරි නොවන විදියට.

අවුල තියෙන්නේ තමා මහදැනමුත්තෝ කියල හිතාගෙන ඉන්න අය කිව්ව පළියට හැමෝටම ඒ පඬිවදන් අනුගමනය කරන්න කියලා බලකරන්න යන එකෙයි, සමාජයේ නීති සහ රීති වගේ දේවල් ඒ පඬිවදන් මත පදනම් වෙමින් හදන්න, පවත්වාගෙන යන්න හදන එකෙයි.

හරි නම් වෙන්න ඕන පණ්ඩිතයෙක්ගේ පඬිවදන් උපුටා දක්වමින් ඒ වදන් පණ්ඩිතයෙක්ගේ කටින් ආපු ඒවා නිසාම එහෙම කරන්න ඕනෑය කියන එක නෙමේ.. අවංක සංවාදයකින්, බුද්ධිමත් කරුණු දැක්වීම් වලින්, තර්කානුකූලව ඉදිරිපත් කෙරෙන විචාර වලින් නිගමන වලට එන එකයි (ඕක ඉතින් ලොවෙත් නොවෙන එකත් වෙනම කතාවක්)

හැබැයි මෙහෙම දෙයක් තියෙනවා, යම් පූජකයෙක් හෝ භික්ෂුවක් යම් දෙයක් ගැන තමා පිළිගන්නවා (කියල කියන) ආගම හරි දර්ශනය තුළින් ඒ ඉගැන්වීම් හුවා දක්වමින් කතා කරන එක සාධාරණයි. මොකද ඒක ඔවුන්ගේ ජොබ් එක. ඔවුන්ගේ පැවැත්ම රඳාපවතින්නේ ඒ මත.

දැන් මෙහෙම උදාහරණයක් ගමු. මිනීමරන එකෙන් වැළකිය යුතුය, මිනීමැරුවොත් ඒකේ පළවිපාක මෙහෙමය කියලා ආගමික ඉගැන්වීම් හුවා දක්වමින් ඒවා තමාගේ අනුගාමිකයන්ට කියලා දෙන එක සාධාරණයි (මිනීමරන්න යන අයට පිරිත් නූල් බඳින එක ඉතින් වෙනම කතාවක්)

ඒත් ගෑණු අය කොටට අඳින්න හොඳ නැහැ, මොකද සංස්කෘතියට කෙළවෙන නිසා වගේ කතාවක් භික්ෂුවක් කියනවා නම් හරි නම් ඒක එච්චර සීරියස් ගන්න ඕන කතාවක් නෙමේ.

මොකද ගෑණු කොටට ඇඳීම හෝ නොඇඳීම කියන එක ගැන කතිකාවත ඇතිවෙන්න ඕන ආගමික පදනමකින් නෙමේ. ඒක ගැන කතිකාවත එන්නේ වෙනස් පදනමකින්. එතනදි භික්ෂුවගේ මතය සමාන වෙන්නේ තවත් එක් පුද්ගලයෙකුගේ මතයට පමණයි. (ඔන්න බුදුහාමුදුරුවො කියල තියෙනවා නම් කොටට අඳින්න එපා කියලා ඒ බණ පදය කටපාඩමින් ඇදලා අරින් එකත් වෙනම කතාවක්, ඒත් මම දැනුවත්ව එහෙම දෙයක් කියලා නෑ, බැරි වෙලාවත් එහෙම කියලා තියෙනවා නම් වෙන උදාහරණයක් ගමු ඈ)

තව එකක් ඔන්න ඔහේ කියලා දාන්නම්, අද බුදුබණ කියන එක පත්වෙලා තියෙන්නේ සමාජයේ තියෙන තවත් එක බොරු ෂෝ වලින් එකක් ගානට. බණ කියන උන් බණ කියන්නේත් බොරුවට, බණ අහන උන් බණ අහන්නේත් බොරුවට. කියන උන්වත් අහන උන්වත් දෙගොල්ලොම බණ පිළිපදින්නේ නැහැ. පිළිපදින්න උවමනාවකුත් නැහැ. කට්ටිය සෙට් වෙලා "අනේ අපේ බුදුන්ගේ දර්ශනය කොච්චර නම් සිරාද? මාරද?" බුදුබණ වෙනුවන් හයියෙන් සාධුකාරයක් දෙන්න බලන්න කිය කිය සාධුකාර දෙනවා. ආතල් එකක් ගන්නවා. එච්චරයි. (නේද?)

හරියට ජිම් එකක් ඉස්සරහට ගිහින් එළියට වෙලා "අනේ මේ ජිම් එක මාරයි. ව්‍යායාම කරන බඩු හෙම ඔක්කෝම ගානට තියෙනවා. නියමයි ඈ" කිය කිය එළියට වෙලා ඉන්නවා වගේ වැඩක්. ජිම් එක සිරා නිසා ජිම් එක ආරක්ෂා කරගන්න කිය කිය එළියේ ඉඳගෙන මරා ගන්නවා වගේ වැඩක්.

අන්තිමට බල්ද්දි ජිම් එක ඇතුලේ ව්‍යායාම කරන්න බල්ලෙක්වත් නෑ. මකුළුදැල් බැඳිලා, පාළුවට ගිහින්. කට්ටිය එළියේ ඉඳගෙන ජිම් එක ගැන ගුණ වයනවා. ඔන්න ඔහොම සීන් එකක් තමා අද වෙලා තියෙන්නෙ.

ගිහියෝ හාමුදුරුවරු වෙන්න හදද්දි හාමුදුරුවරු ගිහියෝ වෙන්න හදනවා. 

මොනවා වුනත් හදිසියේ හරි බුදුන්වහන්සේ අද වෙන දේවල් දැක්කා නම්.. තමාගේ භික්ෂු ශාසනයේ ඈයෝ නිවන් මග සොයනවා වෙනුවට, තමන් සාර සංඛේය කල්ප බර ගානක් පට්ටම කට්ටක් කාලා හොයාගත්තු දර්ශනය ගිහියන්ට දේශනා කරනවා වෙනුවට, කොහේදෝ තියෙන රටවල්.. ජාතීන්.. සංස්කෘතීන් වලට 'ඇලිලා' මෝහයෙන් අන්ධ වෙලා සමහර ගිහියන්ටත් වඩා චාටර් තත්වයට වැටිලා ඉන්න හැටි දැක්කා නම්.. උන්වහන්සේ එතනම හාර්ට් ඇටෑක් එකක් හැදිලා ඔන් ද ස්පොට් පිරිනිවන් පාන එක නම් බුදුම ශුවර් බවත් කියන්නෝන (පොඩි විහිලුවක් විතරයි.. දෙන මැසේජ් එක ගන්න. කේන්ති යනවා නම් උපේක්ෂාව ප්‍රගුණ කරන්න.. ඒ ක්‍රමය සංකීර්ණ වැඩිනම් හොඳ හුස්මක් අරගෙන එකේ ඉඳලා දහයට ගනින්න)

නිදහස් චින්තනයේ සරණයි

2015 මාර්තු 10 ලියූ සටහනකි.

Sunday, December 11, 2016

මනුසත්කම පිරි යුධ සෙබළා



මනුස්සකම තියෙන යුධ සෙබලා කියන එකත් මාර කන්සෙප්ට් එකක් නේද?

දැන් මෙතන සෙබළා කියන භූමිකාව රඟපාන, රණවිරුවා කියන දේශපාලනික සංකේතය පිටිපස්සේ හැංගිලා ඉන්න හොඳ වැඩ කරන, නරක වැඩ කරන, ජඩ වැඩ කරන, නරුම වැඩ කරන, මෝඩ වැඩ කරන, ඊර්ෂ්‍යා කරන, ආත්මාර්ථකාමී අපි වගේම ලේ ඇට නහර වලින් හැදුන මිනිහාගේ පපුවට “මනුස්සකම තියෙන යුධ සෙබළා” කියලා තවත් පදක්කමක් ඇලෙව්වාම හරිද?

සෙබළා කියන සංකල්පය ඇතුළේම තියෙන්නේ “මනුස්සකම/අමනුස්සකම” ප්‍රෝසෙස් නොවන, ඉහළින් එන අණ පිළිපදින්නම නිර්මාණය කරනු ලැබූ, සංවේදීතාව අවම අගයකට බස්සවනු ලැබූ, අවාසනාවන්ත මනුස්සයෙක්.

සෙබළෙක් කියන්නේ අපි ආඩම්බරයක් විදිහට දැක්කට, සෙබළෙක්ගේ තුවක්කුවක් පත්තු කරන්න වෙන එකම මනුෂ්‍යත්වය පැත්තෙන් අවාසනාවන්ත තත්වයක්. ඒ තුවක්කුවෙන් විනාශ කරන්නේ අපේ දුර්වලතාවයන් නිසා නිර්මාණය වුන මිනිස් ජීවිතයක්, බොහෝ වෙලාවට.

රටකට, සමාජයකට, පවතින සිස්ටම් එකට සෙබළා කියන භූමිකාවේ අවශ්‍යතාවය පැහැදිළියි. නමුත් එයින් ඔහු අවාසනාවන්තයෙක් නොවන්නේ නෑ.

කොටින්ම ඔහුට ලැබෙන මිලිටරි පුහුණුවෙන් පස්සෙ ඔහුගේ තුවක්කුව පත්තු වෙන සතුරා කවුද කියන එක තීරණය කරන්නේ ඔහුට ඉහළින් ඉන්නා හිස් ගෙඩි වල දේශපාලන අවශ්‍යතා මිස, ඔහුගේ ඔලුවේ තියෙන මනුස්සකම/අමනුස්සකම තුළින් හර බැර කරලා ගන්න ඔහුගේම තීරණයක් අනුව නෙමේ. ඔහුට ඒ මිලිටරි පුහුණුව ලැබෙන්නේත් ඒ හිස් ගෙඩි වල අවශ්‍යතා අනුවම තමයි.

වරෙක ඔහු අතේ තිබ්බ තුවක්කුව උතුරට එල්ල වෙද්දි තවත් වරෙක ඒ තුවක්කුවම රතුපස්වලදී අපට එල්ල වුනේ ඒ අනුවයි. (ඔව්, රතුපස්වලදී අපට, උතුරේදි අපට නෙමේ. අපි ඉන්නෙ මෙහෙ, උතුරෙ ඉන්නෙ අපි නෙමේ, වෙන කවුද සෙට් එකක්නෙ නේද?)

කොටින්ම ඔහු අණ පිළිපදින්න ප්‍රෝග්රෑම් කරනු ලැබූ රොබෝ කෙනෙක්.

ඔහු විසින් ඒ අණ ප්‍රශ්න කරන්න පටන් ගත්ත ගමන් ඔහුගේ භූමිකාව තුළ ඔහු ෆේල් වෙනවා. එහෙම වුනොත් ඌ සෙබළෙක් විදිහට නෙමේ පවතින්නේ, විප්ලවකාරයෙක් හරි වෙන මොකෙක් හරි විදිහට.

තමාට ලැබෙන අණ ප්‍රශ්න කරන මනුස්සයා තුළ සෙබළෙක්ට ජීවත් වෙන්න බෑ.



තව එකක්,

සෙබළාව මානුෂීයකරණය කරන්නම ක්‍රියාත්මක කෙරෙන මිලිටරි වන්දනාව දේශපාලනිකයි.

උදාහරණයකට, ෆේස් බුක් එකේ සොල්දාදුවෙක් ආච්චි කෙනෙක්ව වඩාගෙන යන පින්තූරයක් හරි, සොල්දාදුවෙක් හරකෙක්ට වතුර ටිකක් දෙන පින්තූරයක් හරි “මානුෂීය සෙබළා” කියන කන්සෙප්ට් එක හයිලයිට් වෙන විදියට ශෙයාර් වෙද්දි, ඒ පින්තූරයෙන් දෙන අදහස දේශපාලනිකයි මිසක යථාර්ථවාදී නැහැ(ඒවායින් ප්‍රමෝට් කරන මැසේජ් එකේ හොඳ නරක ගැන නෙමේ මේ කතා කරන්නෙ.)

එහෙම මාර්කට් එකේ තියෙන පින්තූර හිස් මුදුනින් පිළිගෙන ශෙයාර් කරන උදවියත් ලක් වෙන්නේ පින්තූරයේ ඉන්න සෙබළා ලක් වුන මොළ ශෝදනයටමයි, ඊට වඩා වෙනස් මට්ටමකින්.

මීට ටික දවසකට කලින් ඔය සෙබළා කියන ලේ ඇට මස් නහර වලින් හැදුන මනුස්සයාව රණවිරුවා කියන දේශපාලන සංකේතයක් ඔස්සේ දකින එකේ හොඳ නරක පැහැදිළිවම පෙනෙන සිදුවීමක් වුනා.

අවුරුදු 5ක ළමයෙකුගේ බෙල්ල කපලා මරලා දැමීම කියන ක්‍රියාව වරදක් නොවන හෝ සමාව ලැබිය යුතු වරදක් වන අවස්ථාවක් අපේ සමාජයේ යම් කොටසක් විසින් සොයාගෙන තිබුනා. කොන්දේසි විරහිතව විරුද්ධ විය යුතු අමානුෂික ක්‍රියාවක් කොන්දේසි ඉදිරිපත් කරමින් ඇතැමුන් සාධාරණීයකරනය කරන්නට ඉදිරිපත් වුනා.



වඩාත් ඛේදජනක සිදුවීම වයස අවුරුදු 5ක ළමයෙක්ගේ ගෙල සිඳ දාලා මරා දාන එකද? වයස අවුරුදු 5ක ළමයෙක්ගේ ගෙල සිඳ දාලා මරා දාන එක සාධාරණීයකරනය කරන්නට උත්සාහ කරන සමාජයක් නිර්මාණය වෙලා තියෙන එකද?

ඔය මනුස්සකම තියෙන යුධ සෙබළා, මානුෂීය හමුදාව වගේ සංකල්ප වල ඇතුලේ හිර වෙලා තියෙන යථාර්තය හඳුනා ගන්න එක වැදගත් වෙන්නේ ඒනිසයි.

2015 දෙසැම්බර් 10 දින ලියූ පැරණි සටහනකි

Wednesday, December 7, 2016

වතු සුද්ද කරන මිනීමරුවා

අපේ පැත්තේ වතු සුද්ද කරන මිනිහෙක් හිටියා. මිනිහට හැමෝම කැමැත්තෙන් හිටියෙ. මොකද මෑන් වත්තක් සුද්ද කලොත් ආයේ තණකොළ මැෂින් එකෙන් කපලා වගේ ගාණට, හැම ගහකම වේලුනු අතු කපලා, කුණු රොඩු ටික පිළිවෙලකට අස් කරලා. හවස් වෙද්දි බලන්න ආසයි.

ඒත් ටික කාලෙකට පස්සේ මිනිස්සුන්ට තේරුනා මෑන් ලස්සනට වතු සුද්ද කලාට මෑන් වැඩ කලයින් පස්සේ ගෙදර හරි වත්තේ හරි බඩු මොනව හරි මිසිංග් වෙනව කියල. උදලු, කොසු වල ඉඳන් ගෙවල් ඇතුළෙ තිබ්බ වටිනා බඩු භාණ්ඩත් මිසිංග් වෙනවලු.

පස්සෙ ඔක්කොමල්ලට තේරුනා මුගේ වැඩ හොඳ වුනාට මූ පල් හොරෙක් කියල. එදා ඉඳන් කොච්චර ලස්සනට සුද්ද කරන මිනිහෙක් වුනත් ගමේ මිනිස්සු මෑන්ස් ව ගෙවල් වලට වද්ද ගන්නෙ නෑ. එළෝලම දානවා.

පස්සේ දැනගත්ත විදිහට මෑන්ස්ට හරියට තරහත් යනවලු. කා එක්ක හරි කොක්කක් දාගත්තොත් බාවලා තමයිලු නවතින්නේ. ගිය අවුරුද්දේ හන්දියේ මිනිහෙක් එක්ක වලියක් දාගෙන අදටත් ඒ මනුස්සයාව හොයා ගන්න නෑලු. අතුරුදන් ලු. අන්තිමට ඒ මනුස්සයාව කට්ටිය දැකලා තියෙන්නේ සුදුපාට බස් එකකට නඟිද්දිලු. එදයින් පස්සෙ ආගිය අතක් නෑලු.

ඒ මනුස්සයා ගැන අහද්දි වතු සුද්ද කරන මෑන්ස්ට කේන්ති ගනවලු අම්බානට. මෙච්චර මිනිස්සු අතුරුදන් වන රටේ ඇයි ඌ ගැනම අහන්නේ කියල කෑගහනවලු.

තැනින් තැන කතාවක් ගියා ගමේ එක ගෙදරක මුගෙ හොරකම ගණන් නොගෙන වත්ත සුද්ද කරගන්නව කියල. මොකද මෑන්ගෙ වැඩ හොඳ නිසා. ඒ ගෙදර ඉන්නෙ ටිකක් මෝඩ පහේ පවුලක්.

වෙන උන් ගැන නම් මම දන්නෙ නෑ. අපේ ගෙදරට හෙම ආයේ ඕකා ආවොත් හෙම සලකන්නේ ආයෙ මේ පැත්ත පලාතේ නොඑන්න.

කොච්චර හොඳට වතු සුද්ද කලත් හොරා හොරාමයි නොවැ. මිනීමරුවා මිනීමරුවාමයි.

නැද්ද මං අහන්නේ?


Monday, December 5, 2016

අඳුරෙන් එළියට

“ආච්චි දඹදිව යන්නද යන්නේ?”

“ඔව් පුතේ..ඔච්චරනේ අන්තිමට ඉතුරු වෙන්නේ”

“ඔව් නේද ආච්චි..යන්න යන්න.. ගිහින් එන්න එහෙනම්”

ආච්චි; බෞද්ධාගමට දැඩි භක්තියක් තිබෙන ඇය කකුල් අමාරුවක් තිබුනත් තම දරුවෙක්ට හෝ කියා ත්‍රීවීල් එකක් හයර් කරගෙන පන්සල් ගොස් සිල් ගැනීම වරද්දන්නේ නැත. ජීවිතයේ අවසන් සමය ගෙවන ඇය දවසේ වැඩි කාලයක් ගත කරන්නේ ඇය සතුව ඇති පරණ වූ බෞද්ධ පොත් ගොඩේ ඇති පොතක් කියවමිනි. ඇය විසින් කියවන පොත් දුටු විට සිතෙන්නේ මේ පොත් ඇය විසින්ම කීවාරයක් නම් කියවා ඇත්ද කියාය.

ආච්චි.. ජීවිතය ජයගත් කාන්තාවක් යැයි මට සිතෙයි. ඇයගේ දරුවන් සියල්ලම ඇය ජීවත් වූවාට වඩා පැහැදිලිවම ඉහල සමාජ මට්ටමක ජීවත් වෙයි. දෑතේ සවියෙන් දහඩිය මහන්සියෙන් සිය පවුල සීයා විසින් ගොඩ දමා ඇත. සමාජයේ මිමි වලට අනුව ඔවුන් සියල්ල අතිසාර්ථකය. ඔවුන්ට අවශ්‍ය වන්නේද එපමණය. ඔවුන්ද අන් සියල්ලන් සේම සාර්ථකත්වය පසුපස හඹායන නොනවතින තරඟයේ යෙදී සිටියි.

සිය දරුවෙක්ට රෝගයක් වැළඳුන පසු එය සුව කිරීමට වෛද්‍ය සහය ගැනීම ප්‍රතික්ෂේප කොට තොවිල් ක්‍රම මඟින් විසඳුම් සෙවීමට ගොස් අවසානයේ ඉතාම දරුණු තත්වයට පත් වූ පසු වෛද්‍ය උපදෙස් මඟින් යන්තම් ගොඩදාගත් කතාව තවමත් මගේ මව මතක් කරයි. තවත් දරුවෙක්ගේ ප්‍රේම සම්බන්ධයක් නැවතීමේ උත්සාහයක් ලෙස කොහේදෝ හාමුදුරු කෙනෙක්ගේ සහය දිගින් දිගිටම පැතූ බව පවුල තුල සියල්ලන් දන්නා කරුණකි.

කොපමණ සමාජීය සහ ආර්ථික අතින් දියුණු තත්වයට පත් වුවද එම ගති ලක්ෂණ ආච්චි විසින් තම දරුවන්ටද උරුම කොට දී ඇත.

ආගමට දහමට දැඩි ලෙස සියල්ලන්ම ලැදිය. කතරගම වන්දනාගමන වාර්ශිකව සිදු කරන අනිවාර්‍ය වූ අංගයකි. සියලුම විශේෂ අවස්ථාවලදී වෙලාවල් බැලීම්, නම් තැබීම් වලදී අකුරු තේරීම් තිතටම සිදු කරයි, බුදුදහමට සේම හින්දු දේව වන්දනාවද තදින්ම සිදු කරයි. එකී, මෙකී නොකී අප සංස්කෘතියේ ඇති සියලුම ඇදහිලි සහ විශ්වාස අනුගමනය කරයි. ඒවාට දැඩි සේ ඇලුම් කරයි.

මම ආගම අතහැරිය බව ඇසූ විට තාත්තාගේ සහෝදරියක් පැවසුවේ “ආගමක් නැතුව කොහොමද ජීවත් වෙන්නේ? මනුස්සයෙක් වුනාම මොකක් හරි ආගමක් තියෙන්න ඕනේ. නැත්නම් අපි සත්තු වගේ වෙනවා. බුද්ධාගම වෙන්නම ඕනෙ නෑ. මොකක් හරි… මොකක් හරි ආගමක් තියෙන්න ඕනේ..”

ආච්චිගේ දරුවන් සියල්ලම ගමේ පන්සලේ ප්‍රධානම දායකයින්ය. පන්සලේ තීරණ වලට බලපෑම් කල හැකි මට්ටමේ සිටන නිසා දිනක් මම අඩු කුලේ පුද්ගලයින් පන්සලේ මහණ නොකිරීම ගැන ප්‍රශ්න කලෙමි.

“ඇයි දැන් පන්සලේ අඩු කුලේ අයව මහණ කරන්නේ නැත්තේ? බුදුහාමුදුරුවෝ සෝපාකව මහණ කලා නේද?”

“ඒවා දැන් කාලෙට හරියන්නේ නෑ. ඒවා ඒකාලේ. අපේ පන්සලේ කවදාවත් ඕවා වෙන්න දෙන්නේ නෑ”

“ඉතින් බුදුහාමුදුරුවෝ කිව්වේ එහෙම නෙමේනෙ”

“උඹට ඕනේ නම් ගිහින් ඕනේ හකුරෙක්ව මහණ කරගනින් එහෙනම්” එයයි මට ලැබුන පිළිතුර.

මේ සියල්ල මැද වෙනස්ම චරිතය වූයේ මගේ පියාය.

කිසිම වැඩකට වෙලාවක් කලාවක් නොබැලූ ඔහු සැමවිටම කිව්ව කතාව නම් “වැඩේ කරන්න හිතෙන වෙලාව තමා නියම වෙලාව” යනුවෙනි. අව්ව වැස්ස නොබලා වැඩ කල යුතු බව ඔහු තදින්ම විශ්වාස කලේය. “පුතේ, මිනිස්සු එක්ක තර්ක කරලා වැඩක් නෑ. හැමකෙනාගෙම හිත දිනාගන්නයි ඕනේ. මිනිස්සු එක්ක වාද කරලා, රණ්ඩු වෙලා කවදාවත් ජීවත් වෙන්න බෑ. කිසිම කෙනෙක් එක්ක තරහ වෙන්න එපා. ඔයාට වැරැද්දක් කලත්, ඔයා ගිහින් වැරැද්ද කල කෙනා එක්ක කතා කරලා යාලු වෙන්න. තරහ වුනොත් ඔයාට කිසිම හොඳක් වෙන්නේ නෑ, හානිකයක් මිසක්.” ඔහුගේ උපදේශ ඒවාගේය.

ඔහු සැබවින් සිතන දේ කිසිදා කිසිවෙක්ට දැනගත නොහැක. ඔහු කියන්නේ අදාල වෙලාවට අනුව කිව යුතු දෙයයි. වැරදීමකින් හෝ එක්වරක් දෙවරක් ඔහුගේ හිතේ අවංක හැඟීම් යැයි සිතිය හැකි දේවල් එළියට ආව වාරයන් කිහිපයක් මතකය.

දිනක් බණ දේශනාවක් අසා නිවසට පැමිණෙන අතර තුර බුදුන්ගේ මරණ මංචකය ගැන කියන විට බණ දේශනා කල හාමුදුරුවන් අතිශය සංවේදී වූ අයුරු ගැන මම තව තවත් සඳහන් කරන විට එකවරම තාත්තා පැවසුවේ “ඒක ඉතින් ඒ මනුස්සයාගේ ජොබ් එකනෙ” යනුවෙනි. ඉන්පසු එතනින් එහාට වචනයක් කිව්වේ නැත.

සෑම විටම කිව්ව දෙය නම් හම්බකරන සල්ලි නැති මිනිස්සුන්ට දෙන්න. දෙන්න දෙන්න තමයි ලැබෙන්නේ කියන කතාවයි. ඔහු ඉපැයූ මුදල් වලින් වැඩි හරියක් සමාජ සේවයට යෙදෙව්වේ පින්තකාද, නැතහොත් මහජන ප්‍රසාදය ලබා ගැනීමට දැයි මට කිසිදා දැනගැනීමට ලැබෙන්නේ නැත.

අසම්මතයා බිහි වීමට මුල් වූයේ මගේ පියා දැයි වෙලාවකට සිතේ. කතෝලිකයෙක් වූ මගේ මව කුඩාකාලයේ සිටම මාව කතෝලික ආගමට දැඩිලෙස නැඹුරු කල බව ඔහු මුල සිටම දන්නා බව අප තිදෙනා තුලම වූ ප්‍රසිද්ධ රහසකි. නමුත් කිසිදා ඔහුට එය ප්‍රශ්නයක් වූයේ නැත. ඔහු මට කිව්ව එකම දෙය නම් “පුතේ ආගම් දෙකම ඉගෙන ගන්න, ඊට පස්සේ ඔයාට හරියි කියලා හිතෙන එක තෝරගන්න” කියාය

අසම්මතයා බිහිවීමට මූල බීජය වූ සිතිවිල්ල මට තවමත් මතකය. ඒ මා ඉතා කුඩා අවධියේ මගේ දෙමාපියන්ගෙන් ඇසූ ප්‍රශ්නයකි.

“අම්මේ, අපිට මැරුනයින් පස්සේ මොකද වෙන්නේ?”

“මැරුනයින් පස්සේ පුතේ අපි ජේසු ගාවට යනවා”

“තාත්තේ අපි මැරුනයින් පස්සේ මොකද වෙන්නේ?”

“මැරුනයින් පස්සේ වෙනත් තැනක ගිහින් ඉපදෙනවා. හොඳින් හිටියොත් හොඳ තැනක ඉපදෙන්න පුලුවන්”

ඔය කතා දෙකෙන් දෙකම නිවැරදි විය නොහැකි බවත් එකක් පමණක් සිදුවිය හැකි බවත් මගේ පුංචි මනසට පවා වටහා ගැනීමට අපහසු නොවීය.

එදා සිටම ඔය ප්‍රශ්නයට උත්තරය සෙවීමට ගත් උත්සාහයේ ප්‍රතිපලයක් ලෙස අද මම මේ සිටින තැනට පැමිණ ඇතැයි මට සිතේ.

අවසානයේ මම ආගම් දෙකම අතහැරීම මගේ මවට මහා ප්‍රශ්නයක් වී පියාට කතාකිරීමට තරම් වත් වැදගත් මාතෘකාවක් නොවීමට හේතුවක් වූයේ ඇයි දැයි නොදනිමි.

දෙවියන් පිළිනොගන්නා මම දකිනා යම් දෙවියෙක් වේ නම් ඒ මගේ පියාය, මෙහි කතාකරන මාතෘකාව සම්බන්ධයෙන් මගේ ජීවිතයට වැඩියෙන්ම බලපෑමක් කල ප්‍රකාශය සඳහන් කරමින් මගේ අත්දැකීම් ගැන ලියූ පළමු සටහන අවසන් කරන්නම්.

 “අම්මේ මැරුනයින් පස්සේ දෙකක් වෙන්න බෑනෙ. දෙකෙන් එකයිනෙ වෙන්න පුලුවන්”

“මැරුනයින් පස්සේ යන්නේ ජේසු ගාවට පුතේ”

“ඉතින් තාත්තා කියන්නේ ඒක නෙමේනෙ. වෙන එකක්නෙ”

“ඔය තාත්තාගේ බොරු. එයා කියන දේ එයාවත් පිළිගන්නේ නෑ”

“ඒ කිව්වේ අම්මේ?”

“මම තාත්තගෙන් ඕක ඇහැව්වා දවසක්. එයා කියනවා ඔය ඔක්කොම බොරුලු. මැරුනයින් පස්සේ ඔය මුකුත් වෙන්නේ නෑලු”

“එහෙනම්???”

“මැරුනයින් පස්සේ මුකුත් නෑලු. ස්වර්ගයක්වත්, ආයේ කවුරුත් ඉපදීමක්වත් වෙන මොකක්වත් නෑලු. එතනින් ඔක්කොම ඉවරයිලු. ”

“ඒකයි තාත්තා කිව්වේ. ඒකනේ මම කිව්වේ, මැරුනයින් පස්සේ යන්නේ ජේසු ගාවට පුතේ”

අම්මාගේ ස්වර්ගයේ කතාවටත්, තාත්තාගේ නැවත ඉපදීමේ කතාවටත් වඩා තාත්තා මට කිසිදා නොකියූ ඒ කතාව ඒ පුංචි වයසේදී පවා අනෙක් කතා දෙකටම වඩා තේරුමක් ‘ඇති’ පිළිතුරක් ලෙස මට දැනුනේ මන්දැයි අදවනතුරා නොදනිමි.


ගෙදර බුදුන් අම්මාව දොට්ට දාන්න



ඔය හරක් ඉන්නව නේද?

උන් ඉපදුන දවසේ ඉඳල කරන්නේ මිනිස්සුන්ගේ බැලමෙහෙවරකම් කරන එක. බර අදින එක, කුඹුරු හාන එක, නගුලෙ බඳින එක. උන්ගේ පැටවුන්ට තියෙන කිරි ටිකත් මිනිස්සුන්ට දෙන එක..

ඔය වැඩ ටික කරගන්නෙ , ගස් වල බැඳලා, නාස් ලණු දාලා, ලාඩං ගහලා අරක මේක ඔක්කොම කරලා

කොහොම හරි...බලෙන් !

මිනිස්සු කරන්නේ උගෙන් ගන්න තියෙන වැඩ උපරිමයට අරගෙන, දෙන්න තියෙන දස වද ඔක්කොම දීලා, උගෙන් ලෝකෙ තියෙන ඔක්කොම බැල මෙහෙවරකම් ටික කරගෙන,

අන්තිමට, "අනේ අපේ කිරි අම්මා !" කියල ඌට පට්ටමක් දෙන එක.

හරකට තේරෙන්නෙ නැතුව ඇති උගෙන් මෙච්චර වැඩ ගන්න මිනිස්සු ඌට කිරි අම්මා කියල කතා කරන එකේ අගේ (ඒකනෙ ඌට හරක කියන්නෙ )

දැන් පොඩ්ඩක් හිතන්න..මේ හරකගෙන් අකමැත්තෙන් කරගන්න වැඩ ටික..මනුස්සයෙක්ට කියල කරගන්න ක්‍රමයක් තියෙයිද?

මොකද මනුස්සයෙක්ව අකමැත්තෙන් බැඳල, ගහල, නාස් ලණු දාලා වැඩ ගන්න පුළුවනෑ...

මෙතනදි මට මතක් වෙනවා මගෙ අතිජාත මිත්‍රයා දවසක් මට කිව්ව කතාවක්.. ඒ කතාව තමා

"මචන්, මනුස්සයෙක්ට කියල ඕනම වැඩක් කරගන්න ඕන නම්, කරන්න තියෙන්නෙ ඒ මනුස්සයව පොඩ්ඩක් උඩින් තියන එක" කියන කතාව

ටිකක් හිතල බැලුවම සීන් එක ඇත්ත.

දැන් හිතන්න, මනුස්සයෙක්ගෙන් ජීවිත කාලයකට හරකෙක්ගෙන් වගේ බැඳලා වැඩ ගන්න විදියක් නැත්තම්..

සමාජයේ මනුස්සයෙක්ට තමන්ගේ පැවැත්මේ අරමුණ විදියට, භූමිකාව විදියටම හරකෙක් වගෙ වැඩ කරන එක ඇඟේ පටවන්න ඕන නම්..

මුළු ජීවිතයම දාසයෙක්/දාසියක්/හරකියෙක් වගේ කැමැත්තෙන් වැඩ ගන්න ක්‍රමයක්.. !

තියෙයිද? ඔව් ඔව්.. තියෙනව තියෙනව

මගෙ යාලුවගේ කතාවට අනුව නම්

'ටිකක් උඩින් තියන්න' තියෙන්නෙ.. හරිම සිම්පල් ප්ලෑන් එකක්
වැඩ ටිකක් නියම කරලා.. කැප කිරීම් ටිකක් නියම කරලා.. ඒ වැඩ ඔක්කෝම, කැප කිරීම් ඔක්කෝම නොපිරිහෙලා ඉටුකරන මනුස්සයෙක්ට විතරක් දෙනවා අපි අර පට්ටම..

හිතන්න කීයෙන් කීදෙනෙක් බලෙන් බැඳලවත් ගන්න බැරි අර වැඩ ටික, කැපකිරීම් ටික කැමැත්තෙන්.. ප්‍රශ්න නොකර කරයිද කියල..

ඒ හරකාගේ භූමිකාවම කීයෙන් කීදෙනෙක් කැමැත්තෙන් නොකරයිද කියලා
ඔව් ඔව්... මේ කතා කරන්නෙ ඒ පට්ටම ගැන තමයි.


"ගෙදර බුදුන් අම්මා" පට්ටම ගැන..

කොච්චර කිව්වත්,, කොච්චරම උතුම් කරල කතා කරත්..

ලිංගිකත්වය මත පදනම් වෙලා මනුස්සයෙක්ට ඔහොම භූමිකාවක් උපතින්ම උරුම කරල දෙන එක හරිම අසාධාරණයි..

ඔය පට්ටම තුළ ගැහැණියකගෙ සාර්ථකභාවය, අසාර්ථකභාවය.. වගේම ඇය කරන්න සූදානම් කැපකිරීමේ තරමත් අනුව ඇයට සමාජයෙන් හිමිවන ගරුත්වය තීරණය වෙනව..

ඇයට නියම කෙරෙන ඒ භූමිකාව.. කාන්තාවක් බුදුන්ට සම කිරීම හරි බඩුවක් විදියට හංවඩු ගැහෙන්න හරි පාවිච්චි කෙරෙන මිම්මක් බවට පත් වෙනව.. ඔව්.. කාන්තාවකට බඩුවක් කියල සමාජය හංවඩු ගහන්නෙ ඔය ගෙදර බුදුන් කියන මිම්මට සාපේක්ෂවයි..

ගැහැණියකගෙන් එළදෙනක් වගේ වැඩ ගන්නෙ නැතුව.. ගැහැණියව දරුවො හදන මැෂිමකට සම කරන්නෙ නැතුව,, ගැහැණියට ස්වාධීන මනුස්සයෙක්ට වගේ ඔලුව කෙළින් කරන් ජීවත් වෙන්න තියෙන නිදහස ගැන පොඩ්ඩක් සමාජයක් විදියට හිතල බලන්න ඕන.

කෙනෙක්ට කියන්න පුළුවන් ගැහැණිය මේ දේවල් කරන්නෙ කැමැත්තෙන්මනෙ කියල..

නමුත්, දේව පණිවුඩකරුවෙක් කිව්වාය කියල කියවෙන ආගමක් මත බිහිවුන සංස්කෘතියක ජීවත් වෙන ගැහැණුන්.. ගිණි ගහන අව්වේ ගෝනි වලින් ඇඟම ආවරණය කරගන්න අවශ්‍ය නිදහස ඉල්ලල සටන් කරන ලෝකයක.. සමාජය විසින් නියම කරන භූමිකා රඟපෑමට තියෙන "නිදහස් කැමැත්ත" කියන්නෙ මොකක්ද කියල ආයෙම හිතන්න වටිනව..

කොහොමෙන් කොහොම හරි.. ලිංගිකත්වය මත පදනම් වෙලා මනුස්සයින්ට වෙනස් විදියට නොසලකන, සියල්ලන්ට ස්වාධීන මිනිසුන් විදියට තමාගේ කෙටි ජීවිත කාලය ගත කරන්න ඉඩ සලසා දෙන ලෝකයක් නිර්මාණය කිරීමේ ගමන තුළ.. රටක් සමාජයක් විදියට ඉස්සරහට යන්න නම්.. අකමැත්තෙන් වුනත් මේ "ගෙදර බුදුන් අම්මා" පට්ටම සමාජයේ චින්තනයෙන්ම හළල දාන්න වෙනව.

ඒක තමයි තිත්ත ඇත්ත.


ප/ලි - එකක් පැහැදිළිව කියන්න ඕන.. මේකෙන් ඒ අසරණ මිනිස්සුන්ට අපහාසයක් කරන්න හදනව නෙමේ..
මම මෙතන කරන්නේ ඒ මිනිස්සුන්ට අපහාස කරන එක නෙමේ. මේ සටහනේ අරමුණ.. කාන්තාවකට වුනත් සමාජයෙන් නිර්ණය කරන බැලමෙහෙවරකාරකමේ භූමිකාවෙන් පිට ස්වාධීන ජීවිතයකට තියෙන අයිතිය සමාජය විසින් පිළිගත යුතුය කියන අදහස ඉදිරිපත් කිරීම මිසක මේක 'අම්මලාට' පොදුවේ කරන අපහාසයක් නෙමේ.



Thursday, September 29, 2016

ෆේස් බුක් ලයික් වලින් ජීවිත බේරා ගැනීම


"ප්රාර්ථනාව බලසම්පන්නයි ඔබත් එක සිතින් ප්‍රාර්ථනා කරන්න"

තරුණියක් හදිසි අනතුරකට මුහුණ දීම නිසා එකතැන් වෙලා. ඇයගේ පින්තූරයක් එක්ක ශෙයාර් වෙන පෝස්ට් එකක උඩින් දාලා තිබ්බා ඔහොම. පුළුවන් තරම් ලයික් කරන්නලු, ශෙයාර් කරන්නලු, සුවය ප්‍රාර්ථනා කරන්නලු.. එතකොට ඇය ඉක්මනින් සුව වෙයිලු.

මේවට තමයි අධිසදාචාරවාදී දුහුල් සළු වලින් තමාගේ හෙළුව වහගන්න දතකන මැටි වහන්සේලාගේ සුචරිතවාදී ගොන් පාර්ට් කියන්නෙ

මීට ටික කාලයකට කලින් මුලින්ම මම දැක්කේ ඕකේ කතෝලික වර්ෂන් එක.

'මේ අසරණ දරුවා වෙනුවෙන් ලයික් කරන්න', 'ආමෙන් කියල ටයිප් කරන්න', 'පිළිකාව එක්ක සටන් කරන මේ දරුවාට ලයික් කීයක් ගන්න පුළුවන් වෙයිද?'

කිය කිය දෙවියන්ගේ අවධානය අරගෙන දෙන්න ෆේස් බුක් ලයික් බොත්තම පාවිච්චි කරන්න හදනවා මොළේ කළඳක් නැති මෝඩ මන්දබුද්ධිකයො ටිකක් වගේ.

දෙවියන්වහන්සේයි ජේසුයි දෙපැත්තට වෙලා ලැප් ටොප් දෙකක් ඇරගෙන ෆේස් බුක් එක දිහා බලන් ඉන්නව ඇති ලයික් ගාන ගණන් කර කර

චේතනාව හොඳ ඇති. ඒක ඇත්ත. නමුත් මේ විකාර වලින් කරන්නේ තමා කිසිම කෙනෙක්ට කිසිම විදියකට උදව්වක් නොකරන ගමන්.. උදව්වක් කලාය කියල හිත සනසගන්න එක. තමා විසින් තමාගේම පිටට තට්ටු කරගෙන 'උඹ මාර හොඳ මිනිහෙක්' කියල කියවගන්න එක.

හවසට ගෙදර ඇවිදින් ෆෑන් එක ඉස්සරහා වාඩි වෙලා ලැප් ටොප් එකත් දාගෙන ඒකේ ඉඳන් ලයික් බොත්තම ඔබ ඔබ, ශෙයාර් බොත්තම ඔබ ඔබ මිනිස්සුන්ගේ ජීවිත බේරගන්න ක්‍රමයක් තියෙනවා කියල කියන ෆේස් බුක් පෝස්ට් දකිද්දි කොච්චර නම් ආතල්ද?

කොච්චර නම් ලේසියිද මනුස්සයෙක්ව වැටිල ඉන්න තැනින් ගොඩ ගන්න.. ලයික් එකක් දාන්න විතරයි තියෙන්නෙ. ආමෙන් කියන්න විතරයි තියෙන්නෙ.. ප්‍රාර්ථනාවක් කරන්න විතරයි තියෙන්නෙ.

ඔන් ද ස්පොට් බඩු බනිස් වෙලා ඔක්කොම ලෙඩ රෝග සුවපත් වෙනවා, ලෙඩ්ඩු හොඳ වෙනවා, කොරු ඇවිදිනවා, අන්ධයන්ට පෙනීම ලැබෙනවා, පිළිකා සනීප වෙනවා.. හරිම ජොලි වැඩේ !

මනුස්සයෙක්ට කරන්න මීට වඩා බූරු වැඩ තවත් තියෙනවද?

කාටවත් සතපහක උදව්වක් නොකරම උදව් කලා කියල හිතාගෙන සැනසෙන එක.. එහෙම උන්ට කියන්න තියෙන්නේ අර මර්වින්තුමා කියපු කතාවම තමයි

"අනේ, තෝ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්...."

ලයික් වලින් ජීවිත බේරගන්න හදන එඩිතර කරුණාබර දයාවන්ත ගොං යක්කු !

Thursday, September 22, 2016

අනිත්‍යය ; ඔච්චරම අවුල්ද?



හැමදේම අනිත්‍යයිය. එනිසා මේ ලෝකයේ තියෙන දේවල් ඵල රහිතය. මිනිස් අත්දැකීමට විවෘත සියලු රසයන්, සියලු හැඟීම් එනිසාම තේරුමක් නැතිය වගේ කතාවක් ගොඩක් අය අහල ඇති.

සමහර විට වැඩිහිටියෙක්ගෙන්, සමහරවිට භික්ෂුවකගෙන්, සමහර විට ලවුඩ්ස්පීකර් කටකින්, සමහර විට පොත පතකින්, හරි මොකෙන් හරි; අපේ සමාජයේ මිනිස්සු අහල තියෙන, ඔලුවල මුල් බස්සවල තියෙන ඒ මතය ඇතුලේම තියෙනව ලොකු අවුලක්.

හැමදේම අනිත්‍යය බව ඇත්ත. වෙනස්වන සුළු බවත් ඇත්ත. නැසෙන සුළු බවත් ඇත්ත.

ඒත් ඒ අනිත්‍යය බව නිසාම මිනිසාට විඳිය හැකි සියලු රසයන්, අත්දැකීම්, හැඟීම්, ඵල රහිතද? තේරුමක් නැද්ද?

රසවත් ආහාර වේලක් ගද්දි දැනෙන රසය ඵල රහිතයි, මොකද ඒ රසවත් බව අනිත්‍යය නිසා; දීර්ඝ කාලයක් කැපවීමෙන් තමා ජීවිතයේ ලබන ජයග්‍රහණයක සතුට ඵල රහිතයි, මොකද ඒ සතුට තාවකාලික නිසා; මිහිරි සංගීත නාදයක් කණවැකෙද්දි දැනෙන ඒ හැඟීම ඵල රහිතයි, මොකද ඒ හැඟීම තාවකාලික නිසා.

ඔහොම කතාවක් නෙ කියන්නෙ

ඔය සංකල්පය ගොඬනැගෙන්නෙම යමක වටිනාකමක් තිබෙන්නට නම් ඒ හැඟීම තාවකාලික නොවිය යුතුය කියන පදනම මත.

ඔය සංකල්පය ඇතුලෙම තියෙන්නෙ, තාවකාලිකත්වයට සීමා නොවූ, සදාකාලික වූ සැප බලාපොරොත්තුවක්. ඒ බලාපොරොත්තු වෙන සදාකාලික සැප නොලැබීයාම තුළින් හටගන්නා ඉච්ඡාභංගත්වයක්. ලෝක යථාර්තය, ඒ කියන්නෙ තාවකාලික බව ඒ අයුරින්ම බාර ගැනීමට තියෙන අසමත්කමක්.

ඇයි රසවත් ආහාරයක් අනුභව කරන කෙනෙක්ට දැනෙන ඒ රසවත්බව තේරුමක් තියෙන්න බැරි, ඒ රසවත් බව තාවකාලික වෙලා?

රසවත් බවේ තේරුමක් තියෙන්න, ඒ රසවත් බව සදාකාලික වෙන්නම ඕනද? රසවත් ආහාරයක් ගැනීමේ අත්දැකීම ඵල සහිත දෙයක් වෙන්න ඒ ආහාරය පුටුවක් උඩ ඉඳගෙන සදාකාලිකවම කකා ඉන්න ඕනද?

ඕකයි ඔතනදි නැඟෙන ප්‍රශ්නය.

නමුත් ඇත්තටම හිතල බැලුවොත්, යථාර්තය එක්ක ගනුදෙනු කරන්න මීට වඩා හොඳ සංකල්පීය දැක්මක් අපිට හදාගන්න බැයිද?

රසවත් කෑම එකක් කන එකෙන් ලැබෙන ඒ රසය තාවකාලික නිසාම තමයි එහි වටිනාකමක් තියෙන්නෙ.

තමාගේ ජීවිතයේ විඳිනා හැම සතුටකම පසුපස ඇති යථාර්තය, හෙවත් තාවකාලික බව නිසාම ඒ දේවල් වලට එකතු වන්නේ වටිනාකමක් මිසක අර්ථ ශුන්‍යය බවක් නෙමේ.

හිතන්න.

තමා තමාගේ දරුවාව වඩා ගන්නා අවසාන අවස්ථාවක් කවදා හෝ උදාවෙනවා. තමා තමාගේ මවගේ, පියාගේ කටහඬ අහන අවසාන අවස්ථාවක් තියෙනවා. තම බිරිඳගේ, සැමියාගේ සිනහව දකිනා අවසාන අවස්ථාවක් තියෙනවා.

අවසාන අවස්ථාව බවද නැද්ද කියා නොදැන, එහෙම අවස්ථාවක් ඇති බව ගැන අවබෝධයෙන් තම දරුවාව වඩා ගනිද්දි, සිප ගනිද්දි, ඒ මානුෂීය හැඟීමට එකතු වන්නේ අසීමිත වූ වටිනාකමක් නොවේද?

ඒ තාවකාලික බව නිසාම, සීමිත බව නිසාම, මිනිස් අත්දැකීම් වල වටිනාකම තව තවත් වැඩි නොවනවා නොවේද?

තම මව, පියා කවදා හෝ මියයන බවේ යථාර්තයට මුහුණ දීමට තියෙන හොඳම ක්‍රමය ඔහු සමඟ/ඇය සමඟ ඇති බැඳීම නැති කර ගැනීමද? එසේත් නැතිනම් ඔහුත් සමඟ/ඇයත් සමඟ ගතකිරීමට ඇති කෙටි කාලයේ ඇති අසීමිත වටිනාකම තේරුම්ගෙන, ඒ අනුව කටයුතු කොට කවදා හෝ ඔවුන් මියයාමේ යථාර්තයට බුද්ධිමත් මනුෂ්‍යයෙකු සේ මුහුණ දීම නොවේද?

මෙවන් මතවාද බොහෝමයකට තියෙන්නේ ආගමික මූලයන්.

සමහර ආගම් වල මිනිස් ජීවිතය අවසන් වීමෙන් පසු එළඹෙනවා යැයි කියන සදාකාලික ජීවිතයක් උදෙසා මේ ජීවිතයේ කලයුතු කැපකිරීම්, පනවා ගත යුතු සීමාවන් ගැන උගන්වනවා. ඒවා තම අනුගාමිකයින්ව මානසිකව සිරකූඩු වල දැමීමෙන් සදාකාලික වූ සැපතක බලාපොරොත්තුවක් ලබා දෙනවා. මරණින් පසු තියෙනවාය කියල ඔවුන් උපකල්පනය කරනා ජීවිතයක් වෙනුවෙන්, පවතින බව සැබවින්ම දන්නා මේ ජීවිතයේ අරුත නැති කරගන්නවා.

ඒ සදාකාලික සැපතක් බලාපොරොත්තුවෙන්.

තවත් ආගම් වල සදාකාලික සැපතක් නොලැබීමේ දුකෙන්, හෙවත් සැපත තාවකාලික වීමේ ඉච්ඡාභංගත්වයෙන් ස්වභාවික වූ මිනිස් හැඟීම් සෘණාත්මක ලෙස අර්ථ දක්වනවා.

මේ සියල්ල සදාකාලික වූ සැපත කියන සංකල්පය හා බැඳුනු මිනිස් වියරුවේ ප්‍රතිඵල.

නමුත් මරණින් පසු සදාකාලික සැපතක් සොයා යාම වෙනුවට, මේ ජීවිතය ගැන අවධානය යොමු කරන්නන් කවදා හෝ 'මේ ජීවිතයේ' ගැටළු වලට සැබෑ විසඳුම් සොයා ගනීවි.

මොකද ආගමික පසුබිමකින් එන ප්‍රශ්න බොහෝ විට වැඩි අවධානයක් යොමු කරන්නෙ මරණින් පස්සේ තියෙනවා ඇතියි කියල උපකල්පනය කරන ජීවිතයකදී ඇතිවිය 'හැකි' ප්‍රශ්න වලටයි.

ඔවුන්ගේ ප්‍රශ්නය මරණින් පසු ජීවිතයයි.

මරණින් පසු ජීවිත ගැන ඉගැන්වෙන ආගම් මොහොතකට පසෙක තැබුව හොත් තේරුම් යාවි,ප්‍රශ්නය වන්නේ මරණයවත්, මරණින් පසු ජීවිතයවත් නොව, මරණයට පෙර අප ගත කරනා අපගේ මේ ජීවිත බව. වටිනාකම ඇත්තේ මරණින් පසු එහා ලෝකයක නොව, මේ ලෝකයේ අපට ලැබී ඇති අප මේ ගත කරනා ජීවිත වල බව.


ප/ලි - ආගමික ඉගැන්වීම් පිළිබඳ මෙහි සඳහන් කරුණු පදනම් වන්නේ පොදු සමාජයේ ඒවා ගැන බහුලව භාවිතා වන අර්ථදැක්වීම් අනුව මිස, ඒ ඒ ආගම් වල නියම අර්ථදැක්වීම් යයි ඒ ඒ ආගමික බහුශ්‍රැතයන් අතර ඇතිවන ශාස්ත්‍රීය කතිකාවන් මත නොවන බව කරුණාවෙන් සලකන්න. මෙහි සඳහන් ආගමික ඉගැන්වීම් පිළිබඳ අර්ථ දැක්වීම් සාවද්‍යය යැයි යම් ආගමික බහුශ්‍රැත පඬිවරයෙක් සිතයි නම්, මා ඔහුට යෝජනා කරන්නේ එම තමන්ගේ ආගමේ නිවැරදි ඉගැන්වීම් පිළිබඳව තමන්ගේ ආගමිකයන්ව දැනුවත් කරන ලෙසය. ඒ පඬිතුමාගේ අර්ථ දැක්වීම පොදුවේ භාවිතා වන අර්ථ දැක්වීම බවට පත් වූ පසු ලියවෙන මෙවැනි සටහන් වල එම අර්ථ දැක්වීම ගැන ලියැවෙනු ඇත. මන්ද, මා උනන්දු යම් ආගමික පුස්කොල පොත් තුල ඇති දේවල සත්‍ය/අසත්‍යය භාවයට වඩා ඒ ආගමික ඉගැන්වීම් වල සමාජයේ භාවිතය ගැන නිසාය.

සියදිවිනසා ගන්නා නූගත් මෝඩයෝ !



සියදිවිනසා ගැනීම කිසිම වෙලාවක මෝඩකමකට, නූගත්කමකට ලඝු කරන්න එපා.

පළවෙනි දේ තමයි කෙනෙක් සියදිවි නසාගත්තාම ඒ කෙනාව ගොන් වැස්සියෙක්, මෝඩියෙක්, කාලකණ්ණියෙක්, ඉපදුනාට පොළවටත් බරක්, මැරිච්ච එකමයි හොඳ වගේ අපහාසාත්මක ලේබල් අලවල "පොඩි කාලේ ඉඳලා දුක් විඳලා හදපු දෙමව්පියෝ" පව් කියලා දැම්මාම ඒක හරිම සිත්ගන්නා සුළුයි. හැමෝම ඒ අසරණ දෙමව්පියන්ගේ දුක වෙනුවෙන් පෙනී ඉන්න හරිම කැමතියි. අපි හරි හොඳ මිනිස්සුනෙ නේද?

කෙනෙක් තමාගේ ජීවිතය නැති කරගන්න පෙළඹෙන හේතු ගණනාවක් තියෙන්න පුළුවන්. මොකක් හරි හේතුවක් නිසා ඇති වුන දරාගත නොහැකි අධික වේදනාව, තනිකම, පාළුව, තමාගේ දුක බෙදගන්න කියාගන්න කවුරුත් නැති එක, තමා දැඩිලෙස ආදරය කරන කෙනෙක් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම, සමාජය/දෙමාපියන් ගෙන් ප්‍රතික්ෂේප කරනු ලැබීම, සමාජයට මුහුණ දීමට තියෙන භය, තමා කරන ලද යම් ක්‍රියාවක් නිසා ඇති වෙච්චි වරදකාරී හැඟීම්, ඉච්ඡාභංගත්වයට පත් වීම, ලිංගික හෝ මානසික අපයෝජනයට ලක් විම(sexual or emotional abuse), රැවටීමට ලක් වීම, කිසිදා නොදැනුන කිසිදා පහනොවනවා කියල හිතෙන අසරණකමක් දැනීම..

මිනිස්සුන්ට උදේ නැගිටින්න, වැඩට යන්න, මහන්සි වෙන්න, සතුටු වෙන්න.. කෙළින්ම කියනව නම් "මිනිස්සුන්ට ජීවත් වෙන්න" අරමුණක් ලබා දෙනවා නොයෙක් දේවල්. සමහරුන්ට තමාගේ ආදරවන්තයා/ආදරවන්තිය.. සමහරුන්ට තමන්ගේ දෙමව්පියන්.. සමහරුන්ට තමන්ගේ රැකියාවේ අනාගතය.. සමහරුන්ට මුදල් හම්බකිරීම.. සමහරුන්ට සමාජයේ කීර්ති නාමයක් ඇති කර ගන්න එක.. තවත් සමහරුන්ට තමාගේ බිරිඳ, දරුවන්, තමාගේ පවුල.....

ඔය වගේ තමන්ගේ ජීවිතයට අරමුණක් එක් කල දේවල් එක පාරම හෙණ ගහන්නා වගේ නැති වෙලා ගියාම.. ඒවගේ මොහොතකදි තව දුරටත් ජීවත් වෙන්න හේතුවක් හිතාගන්න බැරුව අන්ත අසරණ අඩියට වැටෙන එක මෝඩ කම විදියටවත්, නූගත්කම විදියටවත් හඳුන්වන්න එපා. මනුස්ස හැඟීම් ඒවගේ සිල්ලර විදියට විවේචනය කරන්න එපා.

අපි ඕනම කෙනෙක්ට දරා ගැනීමේ සීමාවක් තියෙනවා. ඒ සීමා පුද්ගලයා අනුව එක එක තැන් වල පිහිටල ඇති. මරණය කියන්නෙ මේ ලෝකයේ තියෙන නරකම දෙයවත්.. ජීවිතය කියන්නෙ මේ ලෝකයේ තියෙන හොඳම දෙයවත් නෙමේ..

ගොඩක් වෙලාවට සියදිවි හානිකරගන්න අය ඒ මොහොතේ විඳින දැඩි වේදනාව අවසන් කිරීමේ ක්‍රමයක් විදියට තමාගේ ජීවිතය නැති කරගන්න පෙළඹෙනවා. මොකද ඔවුන් හිතනවා මේ වේදනාව කවදාවත් ඉවර වෙන එකක් නෑ, මට මේ වේදනාව දරාගන්න බෑ, මේක නිසා ඇති වෙන ලැජ්ජාවට මට මූණ දෙන්න බෑ කියල.

අපි හැමෝටම ජීවිතේ ගත කරන්න අරමුණු තියෙනවා, බලාපොරොත්තු තියෙනවා, ආශාවල් තියෙනවා, උවමනාවල් තියෙනවා. නමුත් ඉච්ඡාභංගත්වයට ලක් වුන කෙනෙක්ට ඔය කිසිදෙයක් නැහැ. ඒ කෙනාට තමාගේ ජිවිතය ගෙනියන්න අරමුණක් නැති වෙනවා පමණක් නොවේ ඔහුට/ඇයට ඉතිරි වන්නේ අධික වේදනාවක් පමණයි.

ඇත්තටම සියදිවිනසා ගන්න තරම් මානසිකව වැටිලා ඉන්න කෙනෙක්ට දෙමව්පියන් විදියට, යහලුවන් විදියට, නෑදෑයන් විදියට අත්වැලක් වෙන එක.. සහයක් වෙන එක.. ඒ තත්වයෙන් ගොඩ එන්න උදව්වක් වෙන එකයි කරන්න ඕන..

මේ සටහනික් කරන්නේ සියදිවි නසා ගැනීම සාධාරණීයකරනය කරන එක නෙමේ, සියදිවි නසාගන්න හිතන.. සියදිවිනසාගත්ත.. කෙනෙක්ව තේරුම්ගත යුතු බව සහ සමාජයක් විදියට ඒ මනුස්සයෝ ගැන තියෙන ආකල්පයේ ලොකු වැරැද්දක් තියෙන නිසයි මේ සටහන ලියවෙන්නේ.

කෙනෙක් හිතන්න පුළුවන් ඕවද ප්‍රශ්න, මාත් බූට් කාලා තියෙනවා, මාත් බඳින්න කලින් බඩ වුනා, මටත් රස්සාව නැති වුනා, මගෙන් පෙම්වතිය හදිසියේ මැරුනා, අපේ ආදරයටත් ගෙවල් වලින් අකමැති වුනා කියල..

ඒත් මිනිස්සු කියන්නේ වතුර වගේ ඔක්කෝමල්ලා සෙල්සියස් අංශක 0දී ඝන වෙලා සෙල්සියස් අංශක 100දී නටන තත්වයට පත් වෙන දෙයක් නෙමේ. එක එක්කෙනා එක එක සිද්ධි, දේවල්, අත්දැකීම් වලට මුහුණ දෙන විදිය, ප්‍රතිචාර දක්වන විදිය වෙනස්. මිනිස්සු ඔක්කෝමල්ලාව එක කෝවක දාලා මැනලා ඔවුන්ව විනිශ්චය කරන එක මෝඩ වැඩක්. ඒ එක්කම කියන්න ඕන අපි හැමෝටම.. ඔව්.. අපි හැමෝටම.. සිය දිවි නසා ගැනීම කියන දේ හොඳම සහ එකම විකල්පය වෙන අවස්ථා ඕන තරම් තියෙන්න පුළුවන්. අපි ඒ තත්වයන් වලට මුහුණ නොදෙන්න තරම් වාසනාවන්තයි දැනට. නමුත් තව දුරටත් ජීවත් වෙන්න අරමුණක් හේතුවක් හොයාගන්න බැරුව මනුස්සයෙක්ට වැටෙන්න පුළුවන් අන්ත අසරණ අඩියටම වැටිලා ජීවිතය නැති කරගත්ත කෙනෙක්ව ගෙදර කම්පියුටරේ දාගෙන ෆෑන් එක එහා පැත්තේ ඉඳගෙන තේකක් බිබී ආතල් එකේ ඉඳගෙන විනිශ්චය කරන්න එපා..

කරන්න ඕන තේරුම් ගැනීම මිසක විනිශ්චය කිරීම නෙමේ..

අපි වගේම ලේ ඇට මස් නහර වලින් හැදුන දුක, සතුට, කඳුළු, සිනහව, බලාපොරොත්තු වලින් පිරුන මනුස්සයෙක්ගේ මුළු ජීවිත කාලයක් එක මොහොතින් විනිශ්චය කරන්න එපා..

ඒක මහා අමානුෂික පහත් වැඩක්..

ජීවිතේට වැරදි කරල නැති කෙනෙක් ඉන්නව නම්.. ඒ වැරදි වලට මූණ දෙන විදිය දන්නේ නැතුව මෝඩ වැඩ කරලා නැති කෙනෙක් ඉන්නවා නම්.. ඉස්සරහට ඇවිත්.. අසරණ බවේ අන්ත අඩියට වැටිලා මියගියයින් පස්සෙත් සමාජයේ අපවාදයට ලක් වෙන මේ මිනිස්සුන්ට පළවෙනි ගල ගහන්න !

ප/ලි - දුකාගේ අඩවියේ පලවූ මේ ලිපිය මෙම සටහනට උත්තේජනයක් විය.

Wednesday, September 21, 2016

කළු ගිරවා

අහස වැහි අන්ධකාරයෙන් පිරිලා.

කළු ගිරවා වටපිට බැලුවා

මහා දරුණු කුණාටුවක් ළඟ එන බව ඌට දැනුනේ ඉවෙන් වගේ

පෝරකය වටේට හිටපු පාට පාට ගිරව් ඌ දිහා බලාගෙන හිටියා,

රතු පාට ගිරව්, කොළ පාට ගිරව්, නිලුයි කහයි කලවං ගිරව්, රතුයි කහයි නිලුයි කලවං ගිරව්,

පාට පාටින් කලවං වෙච්චි යායක්..

වේදිකාව උඩ හිටිය නිසා පහළින් හිටපු ලක්ෂ ගාණක් ගිරව් ඔක්කොමල්ලව කළු ගිරවට පැහැදිළිව පෙනුනා. එකින් එකාව..

එක් කෝටි අසූ ලක්ෂයක් ගිරව් !

උන්ට කළු ගිරවව පෙනුනටත් වඩා පැහැදිළිව කළු ගිරවට උන්ව පෙනුනා

උන්වත් උන්ව මෙච්චර හොඳට දැකල තිබ්බෙ නෑ

හැම ගිරවගේම පාට පාට අස්සෙන් කළුපාට ඉතුරු වෙලා තියෙනවා කළු ගිරවා දැක්කා

ගිරව් ඔක්කෝමල්ලා ගේ ඇස් එළියට ඇවිල්ලා කටවල් ඇරිලා කෙළ බේරෙනවා

"මරපියව්..! ඕකව එල්ලපියව්ව්ව්.. කවුරු හරි ඕකාගේ තටු දෙක ඉරපන් ! .. පොන්නයාව එක පාර මරන්න එපා...ආ ! දසවද දෙන්න ඕනේ මේවගේ අසමජ්ජාති බල්ලන්ට..හම ගහලා මරපාන් කැරි පොන්නයාව..!"

පාට පාට ගිරව් මොර දුන්නා

උන්ගේ ඇඟවල් වෙව්ලනවා. තටු ගැහෙනවා. උන් කළු ගිරවගේ මූණට කෙළ ගැහැව්වා

කළු ගිරවගේ අත් වලට මාංචු දාලයි තිබ්බෙ.

"මුං ගෙ හැටි විතරක්"

ඌ හිතුවා.

තමා වැඩියෙන් වද වෙන්න ඕන ඉහළින් එන්න නියමිත මහා කුණාටුව ගැනද, පහළ ඉඳගෙන තමාගේ මිනී රස ඉල්ලමින් කෑ මොර දෙන ගිරව් ගැනද කියන එක තේරුම් ගන්න කළු ගිරවට පුළුවන් කමක් තිබුනේ නෑ

එක පාර පාට පාට ගිරව් ගොඩෙන් ලොකු ගිරවෙක් වේදිකාවට පියාඹලා ආවා. ඌට කිසිම පාටක් තිබ්බෙ නෑ. පාටක් නැති ගිරවෙක්. ඌ වෙනම ජාතියක එකෙක් වෙන්නැති,

කළු ගිරවා හිතුවා

බෙල්ලෙ ඉඳන් උඩට මුලු ඔලුවම කළු පාට රෙද්දකින් වහල තිබ්බ නිසා කළු ගිරව උගේ මූණ දැක්කෙ නෑ. උගේ ඇස් දෙකයි හොටයි එළියට එන්න පුළුවන් විදිහට රෙද්දේ සිදුරු විදලා තිබ්බා

එක පාරම පාටක් නැති ගිරවා හොරණෑවක් අරන් පිඹින්න ගත්තා.

මහා හයියෙන් !

හොරණෑ සද්දෙ මුළු පලාතෙම පැතිරුනා

ඈතින් ගිරව් තුන් දෙනෙක් එනවා කළු ගිරව දැක්කා. දෙපැත්තෙන් හිටියෙ පාට පාට ගිරව් දෙන්නෙක්. උන්ගේ අත් වල ආයුධ තියෙනවා කළු ගිරව දැක්කා. තවම හොරණෑ හඬ පලාතම දෙවනත් කරනවා

කළු ගිරවගේ කං අඩි පැළෙන්න වගේ..එක පාරම කළු ගිරවා මැද ඉන්න ගිරවව දැක්කා

මැද්දෙ හිටියෙ සුදුම සුදු ගිරවෙක්

"අයියා"

කළු ගිරවට කියවුනා. මැද හිටිය සුදුම සුදු ගිරවා කළු ගිරවගේ අයියා බව ඌ අඳුරගත්තා. කළු ගිරවගේ අයියා සුදුම සුදුයි.

කළු ගිරවාගේ කළු පාටටත් වඩා සුදු ගිරවාගේ සුදු පාට සුදුයි

හොරණෑ හඬ නැවතුනා

"නිහඬ වනු"

සුදු ගිරවා ගේ දකුණු පැත්තේ හිටිය ගිරවා විධානයක් දුන්නා. ලක්ෂ ගාණක් ගිරව් මීයට පිම්බා වගේ. හ්ම් සද්දයක් නෑ. කළු ගිරවාට දඬුවම් ලැබෙනකල් නොඉවසිල්ලෙන් හිටියෙ, උන්

සුදු ගිරවා ඇවිල්ලා තියෙන්නේ තමාව විනිශ්චය කරන්න බව කළු ගිරවා දැනන් හිටියා

සුදු ගිරවාට වම් පැත්තෙන් උන්නු ගිරවා චෝදනා පත්‍රයක් කියවන්න ගත්තා. කළු ගිරවා උපන් දා ඉඳල කරපු වැරදි ඔක්කොම, ඒ චෝදනා පත්‍රයේ තිබ්බා. වම් පැත්තේ ගිරවා ඒ එකින් එක කියෙව්වා

චෝදනාවෙන් චෝදනාවට පාටපාට ගිරව් කළු ගිරවට කෙළ ගැහැව්වා. නින්දා කලා

ඔක්කෝම ගිරව් හිතන් හිටියේ උන් කළු ගිරවව විනිශ්චය කරන්න ආවා කියල. ඒත් අද කළු ගිරවගේ විනිශ්චය දවස වගේම මෙතන උන්නු අනිත් ගිරවුන්ගෙන් විනිශ්චය දවස බව දැනන් හිටියේ කළු ගිරව විතරයි

වම් පැත්තේ ගිරව කළු ගිරවගේ චෝදනා පත්‍රය කියවල ඉවර කලා

සුදු ගිරවා ඉස්සරහට ආවා

මීයට පිම්බා වගේ නිහඬබවක් හතර අත පැතිර තිබුනා

"තමාට එරෙහිව තියෙන චෝදනා වලට, තමා වැරදි කරුද? නිවැරදි කරුද?"

සුදු ගිරවා ශබ්ද නඟලා කළු ගිරවගෙන් ඇහැව්වා

කළු ගිරවා නිශ්ශබ්දයි

"තමාට එරෙහිව තියෙන චෝදනා වලට, තමා වැරදි කරුද? නිවැරදි කරුද?"

සුදු ගිරවා දෙවෙනි වතාවටත් ඇහැව්වේ තවත් සද්දය වැඩි කරමින්

"මම වැරදිකාරයද නැද්ද කියල තීරණය කරන්න උඹ කව්ද?"

කළු ගිරවා තමාගේ සහෝදරයගෙන් කෑගහලා ඇහැව්වා

"උඹ උඹේ ජීවිත කාලයේදී වැරදි ගොඩක් කරලා තියෙනවා, සමාව දෙන්න බැරි වැරදි. අන්තිමට අපි උඹව අල්ලගත්තා, දැන් අපි යුක්තිය සාධාරණය ඉෂ්ඨ කරන්නයි යන්නෙ. කියපන්. අන්තිම වතාවට අහන්නෙ. උඹ මේ චෝදනා වලට වැරදිකරුද? නිවැරදිකරුද?"

"ඇයි උඹලා උඹලගේ ජීවිත වල වැරදි කරල නැද්ද? ඇරත් මම කල දේ වල හරි වැරැද්ද තීරණය කරන්න උඹ කව්ද? ඔව්, මං මිනී මැරුවා. ස්ත්‍රී දූෂණය කලා, පොඩි උන්ව පුච්චලා මැරුවා, මංකොල්ලකෑවා..

කළු ගිරවා වේගයෙන් කියෝගෙන කියෝගෙන යනවා.

"මං කලේ මට හරියි කියල හිතුන දේ. දැන් උඹ හදන්නෙ මාව ලක්ෂ ගාණක් ඉස්සරහා මගේ හුස්ම හිර වෙනකන් එල්ලලා මරන්න. ඒ උඹ හරියි කියල හිතන දේ. උඹට පුළුවන් නම් උඹ හරියි කියල හිතෙන විදිහට මිනිස්සු මරන්න, ඇයි මට බැරි?"

කළු ගිරවගේ ඉවසීමේ සීමාව ඉක්මවලා ගිහින්..

"උඹට මතකද? අපි දෙන්නා පොඩි කාලේ ආපු මහා කුණාටුව? ඒ කුණාටුවට අහුවෙලා මාව වැටුනේ කන්දෙන් එහා පැත්තට. උඹව වැටුනා කන්දෙන් මෙහා පැත්තට. මතකද උඹට? බැරි වෙලාවත් මම මේ පැත්තට වැටිලා උඹ කන්දෙන් එහා පැත්තට වැටුන නම් අද මම ඉන්නේ උඹ ඉන්න තැන. උඹ ඉන්නේ මම ඉන්න තැන !"

මීයට පිම්බා වගේ හතර අතම නිහඬ වෙලා. ලක්ෂ ගාණක් ගිරව් කටවල් ඇරගෙන සුදු ගිරවගෙයි කළු ගිරවගෙයි කථාව අහං ඉන්නවා

සුදු ගිරවා ආයේ කතා කරන්න ගන්නවා

"එහෙමයි කියලා උඹට මෙහෙම අපරාධ කරන්න අයිතියක් නෑ. උඹේ අපරාධ වලට දඬුවම් ලැබෙන්න ඕන. උඹ කරපු අපරාධ වලට ලැබෙන්න ඕන දඬුවම තමයි, මරණය !"

මෙච්චර වෙලා නිහඬව හිටපු ගිරව් ආයේ යටිගිරියෙන් කෑගහන්න ගත්තා..

"මරපියව් ඕකව.. එල්ලපියව්.. මරපියව්.."

පාට පාට ගිරව් ආයෙත් කෑගහන්න ගත්තා.

එක පාර කළු කරගෙන තිබුන අහස එන්න එන්නම ඝන අන්ධකාරයෙන් පිරිලා ගියා. සුදු ගිරවට මතක් වුනා තමා පොඩි කාලෙදි තමාගේ මල්ලිව, කළු ගිරවාව තමාගෙන් වෙන් කරපු ඒ මහා කුණාටුව.

ආයේ ඒ වගේම කුණාටුවක් එන්න යන්නේ. අත ලඟම. ඉක්මනට ඉගිල නොගියොත් සියල්ලන් විනාශ වෙන බව සුදු ගිරවාට තේරුනා

"මරපියව්.. අපිට කළු ගිරවගේ මිනිය ඕනේ.."

පාටපාට ගිරව් නොනවත්වා කෑගහනවා. ආවේශයෙන් වගේ. ලේ රස දැනුන වෘකයන් වගේ

"ඕකාගේ කැවුතු කන්න ඕනා අපිට. ඕකාගේ මස් අපේ බල්ලන්ට කන්න දාන්න ඕනේ..."

එන්න එන්නම කුණාටුව ළං වෙන බව සුදු ගිරවට තේරුනා. හැකි ඉක්මනින් මෙතනින් ඉගිළ යා යුතු බව ඌ තේරුම් ගත්තා

"මහා කුණාටුවක් එන්න යන්නේ.. ඔක්කෝමල්ලා ඉකමනට මෙතනින් ඉගිලිලා පලයල්ලා.. පලයල්ලා.. ජීවිත බේරගනිල්ලා.."

සුදු ගිරවා කෑගැහැව්වා

එන්න එන්න වැස්ස වැඩි වෙනවා..

ඒත් පාට පාට ගිරව් එක් කෝටි අසූ ලක්ෂයට ගාණක්වත් නෑ.

කළු ගිරවාගේ අවසානය දකිනකල් පාට පාට ගිරව් මෙතනින් හෙල්ලෙන්නේ නැති බව සුදු ගිරවට තේරුනා..

"උපන් දා සිට සිදු කරල ලැබූ සියලුම වැරදි වලට සුදු ගිරවා වන මා විසින් කළු ගිරවව වැරදිකරු කරනවා"

සුදු ගිරවා තීන්දුව දුන්නා

"කන්දේ මෙහා පැත්තේ ඉඳන් කන්දෙන් එහා පැත්තට වැටුන මාව විනිශ්චය කරන්න හදන පරවාදී බල්ලෝ !"

කළු ගිරවා ආවේශයෙන් මොර දුන්නා

පාටක් තිබ්බේ නැති ගිරවා කළු ගිරවගේ ඔලුවට කළු රෙද්දක් දැම්මා.

එන්න එන්නම වැස්ස වැඩිවුනා.

පොළව හොල්ලමින්, අහස දෙදරමින් අකුණු හඬ දසත පැතිරුනා.

ඔක්කොමල්ලා වැහි වතුරින් නෑවිලා.

හුළඟේ සැරට වටේ තිබ්බ ගස් කඩන් වැටෙන්න නොවැටෙන්න වගේ

"ඕකව මරපන්.. ඉවරයක් කරපන්"

පාට පාට ගිරව් මොර දුන්නා.

කුණාටුව එන්න කලින් කළු ගිරවාගේ මරණය සිද්ද වුනේ නැතිනම් අද සියල්ලන්ගේම අවසානය, සුදු ගිරවා දැනගත්තා

"ඕක ඉක්මන් කරපන්,"

ඔක්කෝම ගිරව් අන්ධ වෙලා හිටියේ කළු ගිරවගේ මරණය දකින ආසාවෙන්

උන්ව වට කරගෙන එන මේ මහා කුණාටුව ගැන උන්ට වගක් තිබ්බේ නෑ

පාටක් නැති ගිරවා කළු ගිරවගේ බෙල්ලට තොණ්ඩුව දැම්මා

විධානය !

සුදු ගිරවා අතින් සංඥාවක් දුන්නා.....

පාටක් නැති ගිරවා පෝරකයෙන් කළු ගිරවාව නිදහස් කලා..

ඒත් එක්කම කං අඩි පැලෙන සද්දයෙන් මහා භයංකර අකුණක් ගැහැව්වා

ලෝකයේ කිසිම කෙනෙක්ට කිසිම විදියකින් දරා ගන්න බැරි අකුණු සැරයක්!

කළු ගිරවා බෙල්ලෙන් එල්ලිලා හිටියෙ. දඟල දඟල

කළු ගිරවාගේ දැ‍ඟලිල්ල දැකලා පාට පාට ගිරවුන්ගේ ඇස් බැබලුනා

"බරාස්....."

එකපාරම මහා සද්දයකින් යාය වසාගෙන හිටිය මහා වෘක්ෂය දෙකඩ වුනා.

මේ වෘක්ෂය උඩ ඉද්දියි කලින් කුණාටුව නිසා අයියයි මල්ලියි දෙපැත්තට වැටුනේ, සුදු ගිරවට මතක් වුනා

අකුණු සැරයට දෙකට වුන ඒ මහා වෘක්ෂය මහා හඬින් යායේ හිටපු එක්කෝටි අසූ ලක්ෂයක් ගිරවුන් මතට පතිත වුනා.

උන් අවසාන නිමේෂයේ දැක්කේ දඟල දඟල හිටිය කළු ගිරවගේ දේහය නිසල වෙන හැටි..

සතුටින්.. සිනහමුසු මුහුණින්.. බැබළුනු ඇසින්..

තත්පරයකින් මහා වෘක්ෂය මුළු යායම වසාගත්තා.

ඊළඟ තත්පරයේ ඉතිරි වුනේ යායක් සහ යායම වසාගත්ත වෘක්ෂයක් විතරයි.

එකම ගිරවෙක්වත් දකින්නට හිටියේ නැහැ.

පැත්තකින් පෝරකය විතරක් ඉතුරු වෙලා තිබ්බා.



ප/ලි - පන්සිය පනස් ජාතක පොතේ එන සත්තිකුඔ ජාතකය කියවා නැති අය සොයාගෙන කියවන්න. කුඩා දරුවෙකුට පවා තේරුම් ගත හැකි සරල, එහෙත් ගැඹුරු පණිවිඩයක් ලබා දෙන කථා වස්තුවකි.

Monday, September 19, 2016

ගෝත්‍රිකයාගේ සිට ශිෂ්ඨයා දක්වා…



මනුස්සයා ගෝත්‍රිකයෙක්ව සිටි කාලයේ ඔහු ගස් ගල් වලට ඇට කෑලි වලට නොයේකුත් වටිනාකම් ආදේශ කරමින් වන්දනාමාන කලා.

තමාගේ ගෝත්‍රයේ නායකයන්ට, ගෝත්‍රයේ පූජකයා විදියට හිටපු මනුස්සයාට උතුම් බවක් ආදේශ කරලා වන්දනාමාන කලා.

ඒ මිනිසා සාපේක්ෂව නොදියුණු ගෝත්‍රිකයෙක්ව සිටි කාලයේ.

21වන සියවසට එළඹිලා තියෙන මිනිසා දැන් සදාචාරාත්මකව, විද්‍යාත්මකව, බුද්ධිමය ලෙස සෑහෙන දියුණුයි. එනිසා දැන් ඔවුන් හැසිරෙන්නේ බුද්ධිමත්ව. ක්‍රියාකරන්නේ තර්කානුකූලව.

ඔහු දැන් ආදි කාලයේ වගේ ගස් (බෝධිය), ගල් (මක්කම, දාගැබ්, ප්‍රතිමා, පිළිම), ඇට කෑලි (නොයෙකුත් ශාන්තුවරුන්ගේ ශරීර කොටස්, දන්ත ධාතු, කෙස්) වගේ දේවල් වලට වටිනාකම් ආදේශ කරමින් වන්දනාමාන කරන්නේ එහෙම නෑ. තමාගේ ගෝත්‍රයේ හෝ රටේ නායකයාට (උදාහරණ සඳහන් නොකරමි), පූජකයන්ට (භික්ෂූන්ට) උතුම් බවක් ආදේශ කරලා වන්දනාමාන කරන්නේ එහෙම නෑ. මොකද මිනිසා තුළ සිටි ඒ හැඟීම් වලට වහල් වුන ප්‍රාථමික ගෝත්‍රිකයා වෙනුවට දැන් ඉන්නේ මනසින් දියුණු ශිෂ්ඨයෙක් නිසා.

ඒ අතින් ශතවර්ෂ ගාණකදී මිනිසා ගෝත්‍රිකයාගේ ඉඳලා ශිෂ්ඨයා දක්වා ලබල තියෙන ඒ දියුණුව විශ්මිතයි.

ඒ විතරක් නෙමේ, ආදි කාලයේ සදාචාරය කියන දේ සීමා වුනේ තමාගේ ගෝත්‍රයට පමණයි. මිනිසුන්, ගැහැණුන්, ළමුන් මරන එක ඔවුන් වැරැද්දක් ලෙස සැලකුවේ ඒ මිනීමැරුම තමාගේ ගෝත්‍රය තුළ සිදුවන තාක් පමණයි. වෙනත් ගෝත්‍ර වල මිනිසුන්ව, ගැහැණුන්ව හෝ ළමුන්ව ඝාතනය කරන එක වැරැද්දක් ලෙස ඔවුන් දැක්කේ නෑ. සදාචාරය පදනම් වුනේ තමා අයත් ගෝත්‍රය මතයි.

ඔහොම තත්වයක් තිබුන එදා වගේ නෙමේ අද. උදාහරණයක් වශයෙන් ගත්තාම සුනිල් රත්නායක කියන මිනීමරු සෙබළා විසින් කුඩා දරුවෙක්ගේ ගෙළ කපලා මරා දාපු බව ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුල සිද්ධ වුන නඩුවිභාගයකින් ඔප්පු වුනාම කිසිම මනුස්සයෙක් ඔහුගේ ඒ ක්‍රියාව සාධාරණීයකරනය කරන්න ඉදිරිපත් වුනේ නෑ.

මොකද ශිෂ්ඨත්වයට පා තබා තියෙන අපේ සදාචාරය ගැන අවබෝධය ගෝත්‍රය, දේශසීමා, හමේ පාට වැනි පටු සීමා මත පදනම් නොවන නිසා.

අපි ගෝත්‍රිකයාගේ සිට ශිෂ්ඨයා දක්වා පැමිණ ඇති නිසා.

ඒ විතරක් නෙමේ, ආදි කාලයේ ගෝත්‍රිකයා තමා අයත් රැහේ කෙනෙක්ට තමා නොදන්නා රෝගයක් එහෙම වැළඳුනාම ඒ කෙනාව රැහෙන් වෙන් කරනවා. කොන් කරනවා. නැත්නම් ගහලාම පන්නලා දානවා.

මොකද ගෝත්‍රිකයාට ලෙඩ රෝග පිළිබඳ අවබෝධයක් තිබුනේ නැති නිසා.

වර්තමාන තත්වය එහෙම නෙමෙයි. වර්තමානය තොරතුරු තාක්ෂණය සතර දිග්භාගයේ පැතිරුන යුගයක්. මේ යුගයේ මිනිසා ඒ තාක්ෂණය යොදාගෙන මිනිසාට හානිකර ලෙඩ රෝග පිළිබඳ දැනුම ලබා ගන්නවා. බෝ වෙන අයුරු, ලෙඩ රෝගයක් වැළඳුන විට නිසි ක්‍රියාමාර්ග ගන්නා අයුරු ඉගෙනගන්නවා.

හදිසියේ කුඩා ළමයෙක්ගේ පියාට එහෙම එච්.අයි.වී රෝගය වගේ හැදුනා කියල දරුවාව කොන් කරන්න එහෙම යන්නෙ නෑ. දරුවාගේ අයිතිවාසකම් නැති කරන්න එහෙම යන්නෙ නෑ. කොන් කරනවා වෙනුවට කරන්නේ දරුවාව වැළඳගන්න එක. මොකද ශිෂ්ඨත්වයට සමගාමීව ඔහු ලැබූ දියුණුව සහ අවබෝධය නිසා.

දැන් කොහේවත්, විශේෂයෙන් අපේ රටේ එහෙම ගෝත්‍රිකයෝ විදියට හිතන, වැඩකරන මිනිස්සු එහෙම නෑ.

අපේ රටේ ඉන්නේ ශිෂ්ඨ විදියට වැඩ කරන ශිෂ්ඨයෝ. වසර දහස් ගණනකට කලින් ජීවත් වුන ගෝත්‍රිකයෝ විදියට වැඩ කරන ගෝත්‍රිකයෝ නෙමේ.

ඔන්න ඔහොමයි අපි ගෝත්‍රිකයාගේ සිට ශිෂ්ඨයා දක්වා පරිනාමය වෙලා තියෙන්නේ.

ඒ වෙනස ගැන අපි ආඩම්බර වෙන්න ඕන. ඒ වෙනසට අපි ගරු කරන්න ඕන

අපි තේරුමක් ඇතුවම ආඩම්බර වෙන්නේ ඒ නිසයි මිතුරනි. අපගේ ශිෂ්ඨකම ලෝකයටම පෙන්නන්න උදේ හවහ අපි ගැනම කයිවාරුගහ ගන්නේ ඒනිසයි.

අපි ගැන ආඩම්බරයි නම් ශෙයාර් කරන්න මිතුරනි. ආඩම්බරයි නම් ශෙයාර් කරන්න.

Saturday, September 17, 2016

හං කෑල්ල මත පදනම් වූ විවාහ ගනුදෙනු

“මගේ අම්මලා මුළු ජීවිත කාලෙම කිව්වෙ අඳුරන්නෙ නැති පිරිමි එක්ක කතාකරන්නවත් එපා කියල. එහෙම කිව්ව ඒගොල්ලොම දැන් කියනව අඳුරන්නෙ නැති මිනිහෙක්ව කසාද බැඳලා ජීවිත කාලයම ඒ මිනිහා එක්ක ඉන්න කියල”

කාලෙකට කලින් කොහෙන්දෝ දැකලා ඔලුවේ හිරවුන කතාවක්.

මේ කතාවේ එළිපිට නොකියන කෑල්ල තමයි,

“දුවේ මොන දහන් ගෑටේ දාලා හරි ඔය කකුල් දෙක මැද්දේ අහවල් එක අස්සේ තියෙන හම් කෑල්ල ආරක්ෂා කර ගනින්” කියන කතන්දරේ.

එහෙම වෙන්නේ, විවාහයට සහකාරිය තෝරගද්දි අහවල් එක අස්සේ තියෙන හම් කෑල්ලකින් ගෑණියෙක්ගේ පිවිතුරු බවක් හොයන්න සමාජය පෙළඹිලා ඉන්න නිසා. මේ කතන්දරේ තියෙන කැත පැත්ත තමයි, අහවල් එක අස්සේ තියෙන හම් කෑල්ලෙන් ගැහැණියකගේ පිවිතුරු බව සොයන පිරිමි ඉන්න සමාජයක. ඒ පිවිතුරු බව ඒ පිරිමින්ගෙන්ම ආරක්ෂා කර ගන්නට සිද්ද වෙලා තියෙන එක.

ඒ නිසා තම දියණියට විවාහ වෙළඳපොළේ තියෙන ඉල්ලුම තීරණය වන ප්‍රධානම සාධකයක් වන ඒ හම් කෑල්ල ආරක්ෂා කරන්න දැඩි නීති රැකවල් සීමා පනවන්න දෙමාපියන් පෙළඹිලා.

ගෑණු දරුවා වැඩිවියට පත් වුන දවසේ ඉඳලමත් (සමහර විට ඊට පෙරත්) ඇයව පිරිමින්ගෙන් ආරක්ෂා කරන්න ඕන. ඇයගේ ස්වභාවික අවශ්‍යතා වලින්, ඇගේම ආශා වලින් ඇයව ආරක්ෂා කර ගන්න ඕන.

බොහෝ දෙමාපියන් කරන්නේ තමාගේ දියණියන්ව නිසි වයස යයි ඔවුන් හඳුන්වන වයසකට පැමිණෙන තුරු කූඩු කොට තබල, ඉන්පස්සෙ තමා තීරණය කරන පිරිමියෙක්ට විවාහ කරල දෙන එක.

මේ විකාරරූපී විකෘති වූ සදාචාරයක් අස්සේ විවාහය තෙක් තමන්ගේ දෙමාපියන්ගේ සිරකාරියන් වන තරුණියන්ට ඒ සීමාවීම නිසාම තමාට ගැලපෙන සහකාරයෙක් තෝරාගන්නවත්, තෝරාගත්ත සහකාරයාව ආශ්‍රය කරලා තේරුම් ගන්න ඉඩක් ලැබෙන්නෙ නෑ.

මෙවන් සීමා මායිම් අස්සේ හිරවෙලා නිදහසක් නැති ජීවිතයන් ගත කරන ඔවුනට රිසි සේ ආදරය කරන්න, ආදරය විඳින්න ලැබෙන්නේ නෑ.

පියාගේ අධිකාරියෙන් හිර වෙලා තමාගේ ජීවිතයේ මුල් දශක කිහිපය ගත කරන ඇයට ඉන් නිදහස් වීම සමරන්න වෙන්නේ සුදු ඇතිරිල්ලක් දාපු ඇඳක වෙන මිනිහෙක් ඉස්සරහා කකුල් දෙක ඈත් කරගෙන.

ඒ මිනිහා පවා තෝරාගන්න ඇයට තියෙන නිදහස දෙමාපියන් විසින්ම නැතිකරලා දාලා.

මීට මාස කිහිපයකට කලින් මගේ මිතුරියක් හැඬූ කඳුළින් කිව්වෙ ඇයගේ දෙමාපියන් ඇයව බලහත්කාරයෙන් නාඳුනන පුද්ගලයෙක්ට විවාහ කරලා දෙන්න යන බව.

ඔව්.. ඇයගේ දෙමාපියන් ඇයගේ ජීවන සහකාරයා ඇයටම තෝරලා දීලා

ඒ තීරණයට ඇයගේ කැමැත්ත අකමැත්ත වැදගත් වෙලා නෑ.

දැන් ඇයට තියෙන්නේ දෙමාපියෝ තීරණය කරපු ඒ මනමාලයාව ගිහින් කසාද බඳින්න. දෙමාපියන්ගේ තීරණයට අවනත වෙන්න.

මේ විවාහ ගණුදෙනුව තීන්දු කරද්දි දෙමාපියන් ඇයගේ කැමැත්ත විමසීමක් කරලත් නෑ. කැමැත්ත විමසන්න අවශ්‍යතාවයක් තිබිලත් නෑ.

මොකද, දෙමාපියෝ දරුවන්ට හොඳම දේ මොකක්ද කියල දන්නවනෙ. ඉතින් දරුවෝ වෙනුවන් දරුවන්ගේ ජීවිත වල වැදගත්ම තීරණ ගන්නෙ දෙමව්පියෝ !

මේ අත්දැකීම මගේ මිතුරියට විතරක් සීමා වුන එකක් නෙමෙයි.

දිනපතාම ලෝකයේ විතරක් නෙමේ, අපේ රටේත් දරුවන් කීදෙනෙක් අකමැත්තෙන් දෙමාපියන්ගේ බලකිරීම් නිසා විවාහ වෙනවද? කීදෙනෙක්ට තමාගේ විවාහයන්ට, ආදර සබඳතාවලට දෙමාපිය බලපෑම් නිසා නැවතීමේ තිත තියන්න වෙනවද?

ස්ත්‍රී පුරුෂ භේදයක් නැතුව තරුණයෝ තරුණියෝ දෙගොල්ලොම තමන්ගේ දෙමව්පියන් ඉදිරියේ අසරණ වෙනවා.

තමන්ගේ ජීවිතය ගෙවන්න සුදුසු සහකාරයෙක්/සහකාරියක් තමාගේ කැමැත්තට අනුව තෝරගන්න ඔවුන්ට තියෙන අයිතිය නැති කරන්නේ වෙන කවුරුවත් නෙමේ, ඔවුන්ගේම දෙමව්පියෝ.

මේ බලහත්කාරකම් සිද්ධ වෙන්නෙ විවාහ යෝජනා කියල හඳුන්වන ශිෂ්ට සම්පන්න බෝඩ් ලෑල්ලක් පිටිපස්සෙ,

මේ මානව අයිතීන් උල්ලංඝනය කරන අමනයන් හැංගිලා ඉන්නේ අපේ සමාජය විසින් සුවඳ ඳුම් අල්ලමින් උදේ හවහ වන්දනාමාන කරනා දෙගුරුන් කියන පට්ටමක් පිටිපස්සෙ,

විවාහ යෝජනා නාමයෙන් ආවට ඇත්තටම මේවා විවාහ යෝජනා ද?

මොකද, යෝජනාවක් නම් විවාහයට සම්බන්ධ වෙන ප්‍රධානම පාර්ශව දෙක වන මනාලයාට හරි මනමාලියට හරි ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරන්න හැකියාව තියෙන්න ඕන..

ප්‍රතික්ෂේප කරන්න බැරි නම් ඒක යෝජනාවක් වෙනවද?

මේවා විවාහ යෝජනා නෙමේ, විවාහ ගනුදෙනු..!

වැඩිවියට පත් තමාගේ දරුවා තමාට අයිති දේපලක්ය කියලා හිතන, ආත්මාර්ථකාමී දෙමව්පියන් දෙපිරිසක් එකතු වෙලා, ඒ දරුවන්ව යොදාගෙන තමාගේ ආත්මාර්ථකාමී අවශ්‍යතා ඉෂ්ඨ කරගන්න (තමන්ගේ පවුල, පෙළපත, කුළය තවත් ඔසවා තබන) ගනුදෙනු !

තමා කැමති සහකාරයා/සහකාරිය තෝරාගන්න තියෙන නිදහස නැති කරලා, වෙනත් පාර්ශවයක උවමනාවකට විවාහ දිවියකට ඇතුල් වෙන්න සිද්ධ වෙන එක සසඳන්න පුළුවන් මංගල්‍යයකට නෙමේ, චිත්‍රපටියක මුහුරත් උත්සයකට. ඒ අතින් ඔවුන්ට සහභාගී වෙන්න වෙන්නේ විවාහ මංගල උත්සවය කියලා ඔවුන්ගේ දෙමාපියන් සතුටු වන, දෙමාපියන් විසින් පිටපත ලියලා, දෙමාපියන් විසින්ම අධ්‍යක්ෂණය කරලා නිශ්පාදනය කරලා එළිදක්වන දෙමාපියන්ගේ පෙළපතේ අඩම්බරය සහ සතුට සමරන උත්සවයකට.

මානුෂීය සබඳතාවයකට බලෙන් ඇතුලත් කලත්, පුද්ගලයෙක්ව නීත්‍යානුකූලව තවත් කෙනෙක්ට ලියල දුන්නත් එකයි; මානුෂීය සබඳතාවයකින් ඈත් වෙන්න කියල බලපෑම් කලත් එකයි.

දෙමාපියන්ගේ බලහත්කාරයෙන් සිද්ධ වෙන විවාහ මංගල්‍යන් හා සමානවම දෙමාපිය බලපෑම් නිසා අතහැර දමන්න සිද්ධ වෙන ප්‍රේම සම්බන්ධතාද එමටයි.

වැඩිවියට පත් වුන තමාගේ දරුවාගේ කැමැත්තට, අකමැත්තට ගරුකරන සංස්කෘතියක් අපේ නැහැ. ඒ වෙනුවට තියෙන්නේ වැඩිහිටි දරුවන්ට තමාගේම ජීවිතය ගැන තීරණ ගැනීමට තියෙන අයිතිය මංකොල්ලකන දෙමාපියන්ට වන්දනා කරන සංස්කෘතියක්. ඒ මංකොල්ලකෑම සාමාන්‍යයකරණය වූ සංස්කෘතියක්. ඒ මංකොල්ල කෑම හිස පහත් කරගෙන පිළිගන්නා සංස්කෘතියක් !

දශක ගණනක් මුළුල්ලේ තමා හදා වඩා තියෙන්නේ තමාගේ ජීවිතය ගැන තීරණ ගන්නවත් නොහැකි ගොන් මැට්ටෙක්වය, මැට්ටියක්වය කියා යම් මවක්/පියෙක් තම දරුවා ගැන සිතනවා නම්, එය එම දෙමව්පියන්ගේ අසාර්ථකත්වයේ ප්‍රතිබිම්භයක් පමණයි.

වයස විස්ස විසිපහ සීමාව ඉක්මවූ වැඩිහිටිපරපුරක් දෙස සමාජයක් වශයෙන් අපි බලන්නේ ‘ළමා වැඩිහිටියන්’ ලෙස නම්, ඔවුන්ගේ තීරණ ගැනීමේ හැකියාව ගැන ඇති අවිනිශ්චිත බව නිසාම ඔවුන්ට කලින් පරපුර ඔවුන් වෙනුවෙන් තීරණ ගත යුතු නම්,

ඔවුන්ව සලකන්න වෙන්නෙ තරුණ පරපුරක් විදියට නෙමේ, ළමයින් විදියට. වයසින් වැඩිහිටියන් වුනත් මනසින් ළමයින් වන ‘ළමා වැඩිහිටියන්’ විදියට.

තත්වය මොකක් වුනත්, ඔවුන්ගේ දෙමාපිය පරපුර ඔවුන්ට සලකන්නේ ඒ විදියට.

ඔවුන්ගේ ජීවිත ගැන ඔවුනට හිමි නිදහස, වගකීම වැටකඩොළු දාලා නැති කරන දෙමාපියන් තම දරුවන්ට දෙන්නේ තේරීමක්;

“උඹ අපි කියන දේ අහල අපේ කැමැත්ත කරන්න ඕනි. එහෙම නැත්නම් අද ඉඳලා අපි මැරුන කියල හිතාගනින්. උඹට ලොකු ඒකිවද? අපිවද?”

මේ විදියට දරුවන් තුළ තමාට ඇති ආදරය, ගෞරවය දඩමීමා කරගෙන ඔවුන්ව අසරණ තත්වයට ඇද දමන දෙමාපියන් ඇත්තටම බැලුවම තම දරුවන්ට තේරීමක් ලබා දෙන්නේ නෑ.

තමා කැමති විදියට වැඩ කරන්නෙ නැති, විවාහ වෙන්නෙ නැති, ප්‍රේම සම්බන්ධතා වලට නැවතීමේ තිත තියන්නෙ නැති දරුවෙක්ගේ ජීවිතය ඔවුන් අපායක් බවට පත් කරන්නේ දරුවන් තුළ ඔවුන්ට ඇති ආදරයම ඔවුන්ගේ අවිය කරගනිමින්.. සමාජයක් වශයෙන් දැන්වත් අප අපගේ තරුණ පරපුරට වැඩිහිටියන් සේ සැලකීමට පටන් ගත යුතුය. ඔවුන්ට ඔවුන්ගේ ජීවිත ගැන තීරණ ගන්නට තිබෙන නිදහස පිළිගත යුතුය.

මෙවන් දෙමාපියන් කෙරෙහි අප දක්වන ආකල්ප වෙනස් කර ගත යුතුය.

රටේ අනාගතය නියෝජනය කරන පරපුරකට, රට ගැන තීරණ ගැනීමට පෙර, තම තමන්ගේ ජීවිත ගැන තීරණ ගන්නට ඇති නිදහස පිළිගත යුතුය.

Thursday, September 15, 2016

පොලිස්කාරයයි දොස්තරයි

අපේ රටේ සාමාන්‍යය ජන විඤ්ඤාණය, බලය සහ වෘතිය ගරුත්වය හමුවේ ක්‍රියාකරන හැටි ගැන නිරීක්ෂණය කරන්න තියෙන හොඳම වෘතීන් දෙක තමයි පොලිසිය සහ වෛද්‍යය වෘතිය.

මේ දෙකන් එක පිරිසක්, අනෙකා මත බලය පතුරවන්න නීතිමය වරප්‍රසාදයක් තමන්ට හම්බවෙලා තියෙනවාය කියල හිතන් ඉන්න අතරෙ අනෙක් පිරිස, තමාගේ වෘතිය හේතුවෙන් දැඩි ගෞරවයට පාත්‍ර වීම නිසාම තමන් අමුතු සත්ව කොට්ටාශයක් කියල හිතන් ඉන්නව.

අපේ රටේ ඔය කියන 'සාමාන්‍යය මනුස්සයාට' බලය සහ දැඩි වෘතිය ගරුත්වය හිමිවුනාම ඔවුන් හැසිරෙන විදියෙ හරස්කඩක් තමයි අපිට වර්තමාන පොලිසියේ සහ වෛද්‍යයවරුන්ගේ හැසිරීම හරහා දකින්න තියෙන්නෙ

නැතුව, පොලිසිය සහ වෛද්‍යවරුන් කියන්නෙ ලාංකීය සමාජයට පිටසක්වලින් පහල වුන සතුන් කොටසක් නෙමේ.

අපිට මොවුන් මේ පෙන්වමින් ඉන්නෙ අපේම සමාජයේ වටිනාකම්, ආකල්ප වල අවසාන ප්‍රථිපලය විදියට පෙරිල එළියට එන්නෙ නිර්ලජ්ජිත, ආත්මාර්ථකාමී, හැඟීමක් දැනීමක් නැති කුණුවෙච්චි මිනිස්සු කියන එක.

මේක තමා සමාජයක් විදියට අපි මුහුණදීල තියෙන ඛේදවාචකය. මේ විදියේ නරුම හැසිරීම් වල මූලයන් තේරුම් ගන්න නම් අපිට කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ අපේම වටිනාකම් අපෙන්ම ප්‍රශ්න කරගන්න එක විතරයි.

Monday, September 12, 2016

වීරයා මරපං

තරඟය පවතින්නේ ශ්‍රීලංකාව සහ දකුණු අප්‍රිකාව අතරයි.

ජයග්‍රහණය සඳහා ශ්‍රීලංකා පිලට ලකුණු හයක් අවශ්‍යයි, ඉතුරු වෙලා තියන්නේ පන්දු තුනයි.

පන්දුවට පහර දීමට පිටියට එන්නේ නවක තරුණ ක්‍රීඩකයෙක්. නම, සචිත්‍ර සේනානායක

ඔහු මුහුණ දෙන පළමු පන්දුව, ශ්‍රීලංකා පිලේ අවසන් පන්දු තුනෙන් පළමුවැන්න.

සචිත්‍ර අල්ලනවා ෆෝර්වර්ඩ් එකක්. මෙච්චර තියුණු අවස්ථාවකදි ඔහු අල්ලනවා ෆෝර්වර්ඩ් එකක්..

මා ඇතුළු නරඹන්නන්ගේ ප්‍රතිචාරය අමුතුවෙන් කිව යුතු නෑ

නරඹන්නො සියල්ලම වගේ “එකක් දාලා අනිත් එකාට හරි ගහන්න දියන් මෝඩයො”… කිය කිය හිතින් බනිද්දි දානවා ඊළඟ පන්දුව..

හයේ පාරක්…! ලකුණු 6යි..!

මැච් එක දිනුම්.

අන්තිමට ඇවිත් ෆොර්වර්ඩ් එකක් අල්ලලා ඊළඟ බෝලෙට හයේ එකක් ගහපු සචිත්‍ර හැමෝගෙම වීරයා වුනා…

තරඟයේ ජයග්‍රහණයට වඩා මගේ හිත ගත්තේ සවිත්‍ර එක පන්දුවෙන් ‘මෝඩයා’ ගෙ ඉඳල ‘වීරයා’ වුන සිද්ධියට

බැරි වෙලා හරි සචිත්‍ර ගහපු පාර බවුන්ඩ්‍රි ලයින් එකේදි උඩපන්දුවක් විදියට ගිහින් සචිත්‍ර අවුට් වුනා නම්.. මොකක් වෙන්න තිබ්බද?

ඒ ක්‍රීඩකයා අන්තිම මොහොතේ ෆොර්වර්ඩ් එකක් අල්ලපු අමු මෝඩයෙක් විදියට හැමෝම දකියි.. රටම දවස් දෙක තුනක් ඌට බනියි පළු යන්න.

ඒ අතින් බලද්දි මෝඩයා වීරයෙක් වෙන්නත්, වීරයා මෝඩයෙක් වෙන්නත් තියෙන්නෙ කෙස් ගහක වෙනසක් විතරයි.(ඒ කතාව පිළිගන්න අමාරු නම් පොඩ්ඩක් අහල බලන්න සරත් ෆොන්සේකගෙන්, ඒ කතාව බොරුවක්ද කියල)

“වීරයා”

වීරයා කියන සංකල්පය සාපේක්ෂයි.. පුද්ගලානුබද්ධයි.

කෙනෙක්ගේ වීරයා තවත් කෙනෙක්ගේ දුෂ්ඨයා වෙන්න පුළුවන්.

වීරයො විතරක් නෙමේ, “වීරයෝ, මෝඩයෝ සහ මෝඩ වීරයෝ” වගේ හැම ජාතියෙන්ම කට්ටිය ඉන්නවා, පොඩ්ඩක් අවධානයෙන් ඇස් ඇරල බලන්න විතරයි තියෙන්නෙ

මොකක් හරි හේතුවක් නිසා වීරයෙක් නිර්මාණය වුන ගමන්ම, ඉන් එහාට දකින්න පුළුවන් වෙන්නෙ වීරයා මත්තෙ නැහෙන ආගමික හැසිරීමක් මිසක බුද්ධිමය හැසිරීමක් නෙමේ

එතන ඉඳන් වීරයා කියන සංකල්පය රකින්න ඕන.. තමාගේ වීරයාගේ නම, ප්‍රතිරූපය වෙනුවෙන් පෙනී ඉන්න ඕන. ඒ වෙනුවෙන් සටන් කරන්න ඕන..

වීරත්වයට ඔසවනු ලැබූ වීරයා නැමති සංකේතය රැකෙන්නෙ එතකොටයි.

නමුත්, සාමාන්‍ය මට්ටමට උඩින් මනුස්සයෙක්ව වීරයෙක් කියල තිබ්බ ගමන්ම වෙන්නෙ ඒ සංකල්පය වෙනුවෙන් මරාගන්න වුනත් සූදානම් අනුගාමිකයො ටිකක් ඇති වෙනව කියන එක. වීරයා නැමදීම තුළින් සමාජීය/සංස්කෘතික/දේශපාලන ගැටුමක් ඇති වීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් විතරයි.

අන්තිමට වීරයාගේ ක්‍රියා/ඉගැන්වීම්/නියම කිරීම් යට ගිහින් මතු වෙන්නේ ඒ ‘වීරයා’ වෙනුවෙන් පෙනී ඉන්න අන්ධානුගාමිකයින් පිරිසක් විතරයි.

වීරයෝ සාපේක්ෂයි. වගේම භයානකයි. වීරයා කියන සංකල්පයට ඒකයි මම කැමති නැත්තෙ. ලේ, ඇට, මස්, නහර වලින් හැදුන මිනිස්සුන්ව සාමාන්‍ය තත්වයන්ගෙන් උඩට උස්සලා වීරත්වයක් ආරෝපනය කරලා වන්දනා කරන්න ඕන නැහැ. ක්‍රියා, අදහස්, සංකල්ප එක්ක ගනුදෙනු කලාම ඇති.

මම ආයෙම එනවා මුලින් කියපු කතාවට..මෝඩයා වීරයෙක් වීමේ කතාවට

මතක තියා ගන්න,

“වීරයා සහ මෝඩයා අතර වෙනස කෙස් ගහකටත් වඩා කුඩායි”

ඒකයි මචන් මං කියන්නෙ,

“වීරයා මරපං” කියල

Sunday, September 11, 2016

චීත්තයක් වෙන්න එපා යකෝ

"චීත්තයක් වෙන්න එපා යකෝ"

ඕපදූප කියන හරි 'ගෑණු වැඩ' කියල සම්මත වෙච්චි වැඩ කරන හරි පිරිමින්ට ඔහොම කියනව අහල ඇති.

මේ කතාව පිරිමින් විසින් පිරිමින්ට විතරක් නෙමේ, ගැහැණුන් විසින්ම පිරිමින්ටත් කියනව.

මේකෙන් කියවෙන්නෙ ඕපදූප හොයන එක ගෑණු ලක්ෂණයක්ය, පිරිමියෙක් වෙලත් (ඒ කියන්නෙ සාපපේක්ෂව පහත් ඒ ගෑණු ලක්ෂණය නැති කෙනෙක් වෙලා ඉපදිලත්) ඒ ලක්ෂණය තියෙන 'ගෑණියෙක්' වගේ හැසිරෙන්න ලැජ්ජ නැද්ද කියන එක.

ගැහැණියක් මේවගේ කතාවක් පිරිමියෙක්ට කියද්දි ඒ කතාව ඇතුලෙ හැංගිලා තියෙන දේ පොඩ්ඩක් හිතන්න.

"ගෑණියෙක් වෙන්න එපා මිනිහෝ, ලැජ්ජ නැද්ද?!"

ගැහැණියක් විසින් පිරිමියෙක්ට තමාගේ ගැහැණු කම ආරූඩ කරලා, ඒ ගැහැණුකමින් දමලා ගහනවා පිරිමියාට අපහාස කිරීමේ අරමුණින්.

මෙතනින් කාරණා දෙකක් කියවෙනව

එකක්, පිරිමියා කියන කෙනා ස්වභාවයෙන්ම ගැහැණියට වඩා උසස්ය, ඒ උසස් පිරිමියා ගැහැණියගේ කියල සම්මත වැඩ කරල ගැහැණියකට සමාන වෙන එක පිරිමියා විසින් තමන්ට කරන අපහාසයක්ය කියන කාරණය

දෙවනි එක, ගැහැණියක් විසින් පිරිමියෙක්ට මේවගේ වචන සෙට් එකකින් දමල ගහද්දි ඇය දැනුවත්ව හරි නොදැනුවත්ව හරි තමාගේම 'ගෑණුකම' තව කෙනෙක්ට (හෙවත් පිරිමියාට) අපහාස කරන්නම යොදාගන්නවාය කියන එක

(ගත්ත උදාහරණයෙන් කියවෙන්නෙ ඕපාදූප හොයන එක ගෑණු ලක්ෂණයක්ය කියල. ඔය ෆේස් බුක් පේජ් හදාගෙන හැමෝගෙම ජීවිත විකුණ විකුණ ලයික් හිඟාකන්නෙ ඔක්කොම ගෑණු වෙන්න ඇති?)

මේ ලිංගිකත්වය හා බැඳුන භූමිකා අපේ හිත් වල කොයිතරම් තදින් මුල් බැහැලද කියනව නම් ගැහැණියකට සමාන කිරීම පිරිමියා සලකන්නේ තමාට කරන අපහාසයක් විදියට. තමාගේ සෝ කෝල්ඩ් 'පිරිමිකමට' කරන අභියෝගයක් විදියට. ඒ අතින් ගැහැණියකට වඩා පිරිමියෙක්ට තියෙනවා ලොකු පීඩනයක්, ඒ තමා උපතින් තමාට හිමි වෙච්චි ගැහැණියට සාපේක්ෂව උසස් ස්ටේටස් එක හෙවත් පිරිමිකම ආරක්ෂා කරගන්න එක

"ගෑණියෙක් වෙන්නෙ නැතුව මෙහෙ වරෙන් යකෝ", "පොන්නයෙක් වෙන්න එපා යකෝ..පැනහංකො.. පිරිමියෙක් නේද?", "කොල්ලෙක් නේද, බත් ටිකවත් ඉවර වෙන්න කන්න බැයිද?"

පිරිමිකම රැකගැනීම අභියෝගය!

යාලුවෝ එක්ක විනෝද චාරිකාවක් ගියාය කියල හිතන්න. එතනදි ඔබට කලින් යන යාලුවෝ පස් දෙනාම අඩි ගණනක් පළල වලක් වටෙන් යන්නෙ නැතුව වල උඩින් පැන්නාය කියල හිතන්න. වල වටෙන් යන්න පුළුවන් කම තියාගෙනත් වල උඩින් පැන්න ඔවුන් කරපු දේ නොකර වඩා සුරක්ෂිත විදියට අනවශ්‍ය අවධානමක් ගන්නෙ නැතුව ඔබ වල වටෙන් යන්න යදද්දිම..

"පොන්නයෙක් වෙන්න එපා යකෝ.. පැනහංකො ගෑණියෙක් නොවී.. ජංගි කෑල්ලක් නොවී පැනහන් යකෝ"

යාලුවො පස් දෙනාම අනිත් පැත්තෙ ඉඳගෙන කෑගහනව. පැහැදිළිවම වටෙන් යන්න පුළුවන්කම තියෙද්දි.. තමාගේ පිරිමිකම අභියෝගයට ලක් වෙලා..

මොකද කරන්නෙ?

මිනිස්සු වුන අපට සමාජය විසින් ලිංගිකත්වය මත පදනම් වුන භූමිකා නියම කරලා ඒ භූමිකාවල් වලට අනුව ක්‍රියාකරන්න, හැසිරෙන්න කියල නියම කරනව. අපි ඒ විදියට හැසිරෙන්නෙ නැති අවස්ථාවලදි අපිට අභියෝග කරනව,පීඩනයට පත් කරනව.

ඊළඟ පාර තමාට ගෑණියෙක් නොවී යමක් කරන්න කිව්වම "මම ගෑණියෙක් නෙමේ, පිරිමියෙක්. ඒත් උඹ වගේ මෝඩයෙක් නං නෙමේ" කියල සුදුසු දේ කරන්න. දෙපාරක් හිතන්න.

ඔය ලණුව කාලා පිරිමි කීදෙනෙක් නම් මොන තරම් ගොං වැඩ කරල ඇද්ද?.. තමාගෙ පිරිමිකම ඔප්පු කරන්න ගිහින් කී දෙනෙක් ඉල්ලං පරිප්පු කාලා ඇද්ද?

ජෙන්ඩර් රෝල්ස් එක්ක එන ඔය පීඩනය, වගකීම, හැමෝම කන ලණුවක්. ඔය ලණුව චුවිංගම් එකක් වගේ හප හප ඉන්නෙ නැතුව දැන්වත් එළියට විසි කරලා දාන්න

තමාගෙ පිරිමිකමට අභියෝගයක් වෙද්දි අවුල් වගේද? අපහාසයක් වගේද?

පිරිමිකමට අභියෝග එල්ල වෙන එක අපහාසයක් විදියට බාර ගන්න එපා. ඒක නෙමේ අපහාසෙ,

තමාගේ පිරිමිකම නැතුව යයි කියල බයට මොළේ කළඳක් නැති මෝඩයෙක් වගේ වැඩ කරන එකයි ලොකුම අපහාසෙ !

නැතුව ගෑණියෙක් වෙලාවත් පිරිමියෙක් වෙලාවත් පොන්නයෙක් වෙලාවත් සමලිංගිකයෙක් වෙලාවත් ඉපදෙන එක නෙමේ.

Thursday, September 8, 2016

දරුවන්ට නොගහා හොඳ පුරවැසියන් බිහි කරන්න පුළුවන්ද?

පළවෙනි දේ,

"මාව අම්මලා හැදුවේ ගහලාය. මම හොඳය. එනිසා ළමයින්ට ගහන එක හොඳය"

කියන සූත්‍රය පොඩ්ඩක් පැත්තකින් තියන්න වෙනවා දරුවන්ට ශාරීරිකව වද දීමේ හොඳ නරක ගැන කතා කරන්න නම්. මොකද ලෝකේ ඉන්න ඕනම කෙනෙක්ට අනුව තමා හොඳ කෙනෙක් තමා. ඕක මේ සටහන කියවන අයියලට අක්කලට විතරක් නෙමේ. බඩේ බෝම්බයක් බැඳගෙන තමාව පුපුරගන්න හදන ඉස්ලාම් අන්තවාදියටත් පොදුයි. එනිසා ඒ සූත්‍රය පැත්තකින් තියමු මුලින්ම.

මෙතන තියෙන ප්‍රශ්නය මේකයි.

දරුවෙක්ව හදන්න, ඒ කියන්නේ දරුවෙක්ව සදාචාරාත්මක වර්ධනය කරන්න ඔහුව/ඇයව ශාරීරික වධහිංසාවට (වේදනාවට) සහ ලැජ්ජාවට පත් කිරීම කල යුතුද නැද්ද කියන එක. (පාසැලක වගේ නම් මේක වෙන්නේ ප්‍රසිද්ධියේ, පවුලක වගේ නම් තමාගේ සහෝදර සහෝදරියන් ඉදිරියේ වෙන්න පුළුවන්)

මුලින්ම කියන්න ඕන දරුවෙකුට ගහන එකෙන් කෙරෙන්නේ ඔහුගේ/ඇයගේ හැසිරීම පාලනය කිරීම පමණක් බව. ඒ, දරුවාව බිය වැද්දීම මඟින්. මෙතනදි බොහෝ විට ශාරීරික වේදනාවට පත් කිරීම (වේවැල් වලින් පහර දීම, ඉස්සර නම් ගහක බැඳලා දිමි ගොටු දැමීම, දණ හැස්වීම) සහ තර්ජනය කිරීම (ආයේ කලොත් කටේ මිරිස් දානවා) , ලැජ්ජාවට පත් කිරීම (තෝ වගේ බූරුවෙක්, තොපිව හැදුවට වඩා හොඳයි යකෝ හරකෙක් හදා ගත්තනම්) වගේ ක්‍රම භාවිතා වෙනවා.

මේ දේවල් වලින් වෙන්නේ දරුවාව පාලනය කිරීමක්. බිය වැද්දීමක්. බිය වැද්දීම තුළින් සිදුවන්නේ අවබොධය තුළින් වන සදාචාරාත්මක වර්ධනයක් නෙමේ. තමාට වඩා බලවත් අධිකාරී බලයකින් (authoritative figure එකකින් ) එන නියෝග කොන්දේසි විරහිතව, ආපසු ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගන්න ළමයා පුහුණු කිරීමක්.

මේ මඟින් ළමයාට මානසිකව වෙන හානිය ඉතා විශාලයි.

අධිකාරී බලයට බියෙන් නියෝග පිළිපදින දරුවා තුළ බිය මිසක හරිවැරැද්ද ගැන සැබෑ අවබෝධයක් නැහැ. අම්මා නැති වෙලාවට හොරෙන් සීනි කන ළමයා තමා පොලිසිය නැති බව දන්නා අතුරු පාරවල් වල හෙල්මට් එක නැතුව යන්නේ. මොකද ළමයාගේ හැසිරීම තීරණය වෙන්නේ අවබෝධය තුළින් නෙමේ, බිය කියන සාධකය මත නිසා. මොකද සීනි හොරෙන් කන එකේ හරි වැරැද්ද වගේම හෙල්මට් එක දැමිමේ උවමනාව ගැනත් අවබොධයක් නැහැ. තමාගේ වැරැද්ද අල්ලලා දඬුවම් කරන්න කෙනෙක් නැත්නම් ඕනම ජඩ වැඩක් කරන සමාජයක් බිහි වෙන්නේ මෙහෙමයි.

ඊටත් වඩා දරුණුම දෙය තමා ළමයින්ගේ පෞරෂත්වයට වෙන හානිය. ගොඩක් දරුවන් අම්මලාට තාත්තලාට බයයි. විශේෂයෙන්ම වැරදි කලාම ගුටි දෙන අම්මලා තාත්තලාට. ඉස්කෝලෙදී ගුරුවරුන්ට බයයි. ප්‍රින්සිපල්ට බයයි. ඒ කියන්නේ අදාල සිස්ටම් එකක් තුළ අධිකාරී බලය ඉස්සරහා ඇඹරෙන, දෙකට නැමෙන, සද්ද නැතුව ඉන්න, කීකරු බලු නකුටෙක් තමා මේ දෙමාපියනුයි, ඉස්කෝලෙනුයි කෙවිටෙන් දක්කලා හදන්නේ.

ඉතින් මේ ළමයි තමා අර කව්ද කිව්වා වගේ බස් එකේදී කොන්දොස්තරට බය, ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයකට ගියාම එතන ඉන්න කැෂියර්ට පවා බය, ඉස්පිරිතාලෙට ගියාම එතන ඉන්න ඇටෙන්ඩර්න්ට්ලට බය, මන්ත්‍රීට බය, ඇමතිට බය, රජයට බය.. හැම දේටම බය නැට්ට පුකේ ගහගෙන ඉන්න කොන්ද පණ නැති ජාතියක් ඇති වෙන්නේ මෙහෙමයි.

තව එක දෙයක් කියන්නම්. මෙතන ඉන්න අය ගොඩක් වෙලාවට ළමයින්ට ගහන එකේ ඇත්තම හේතුව ළමයින්ව හොඳ පුරවැසියන් කරන එක නෙමේ. තමාට ළමයින්ගෙන් තියෙන කරදරෙන් මිදෙන්න. තමාගේ එදිනෙදා ජීවිතයේ පීඩනය ළමයාගේ ගොන් වැඩ වලින් තවත් වැඩි වෙන නිසා ඒ පීඩනය මුදා හරින්නයි ළමයට ගහන්නේ. "මම තොට කිව්ව නේද සැරයක්" කියල..ඒක තමයි ඇත්ත.

හයක් හතරක් නොතේරෙන ළමයෙක්ගේ ගොං වැඩ ඉවසන්න බැයි නම් ඔබ දෙමාපියෙක් වෙන්න සුදුසු කෙනෙක් නෙමේ. අපි හැමෝම මේ ලෝකෙට ළමයි ගේන්නේ අපේ ආසාවල් ඉෂ්ඨ කරගන්න, උවමනාවල් ඉෂ්ඨ කරගන්න. කවුරුත් ඇවිත් කන් දෙකට කෑගහන්නේ නෑනේ 'අනේ අපිව මේ ලෝකෙට බිහි කරපල්ලා' කියල.

ඉතින් එහෙම තමාගේම කැමැත්තෙන් මේ ලෝකෙට ගේන ඒ අසරණයින්ගේ වැඩ ඉවසන්න බැයි නම්, ඒ තරම් හික්මීමක් නැත්නම් එක්කෝ සරමේ පිහා ගන්න, නැත්නම් කොන්ඩම් එකක් දාගන්න. ඒකයි වඩා හොඳ.

ලෝකේ දියුණු රටවල සත්ව හිංසාවට පවා නිති තියෙනවා. අපේ රටෙත් වැඩිහිටියෙක් තවත් වැඩිහිටියෙක්ට පහර දුන්නොත් නීතිය ඉදිරියට යනවා. ඒත් හයක් හතරක් නොතේරෙන, අසරණ දරුවන්ට පහර දෙන්න කිසිම කෙනෙක්ගෙන් තහනමක් නෑ. ඒ පහර කන එකෙන් තවමත් වැඩෙන මනසක් තියෙන ඒ දරුවන්ගේ මානසිකත්වයට වෙන බලපෑම ගැන හිතන්න එකෙක්ටවත් උවමනාවක් නෑ.

තව දෙයක්, මේකෙන් කියවෙන්නේ නෑ ළමයින්ගේ වැරදි වලට දඬුවම් නොකර බලාගෙන ඉන්න ඕන කියලා. දඬුවම් කරන්න ඕන. ළමයාට හානියක් නොවන විදිහට.

උදාහරණයක් කියනව නම්, දරුවෙක් පාඩම් න්කර, ගෙදර වැඩ නොකර ඉන්නවා කියල හිතන්න. දරුවව ගෙනල්ලා වේවැලෙන් පුකට නෙලලා, දරුවව බිය වද්දලා, අපහාස කරලා දරුවාගේ මනස විනාස කරන එක නෙමේ කරන්න ඕන.

දරුවාට අවබෝධය එන විදිහට දඬුවම් දෙන එක.

"පුතේ, අම්මයි තාත්තයො ඔයාට ගොඩක් ආදරෙයි. ඒත් පුතා මේ කරන වැඩේ ගැන නම් අපි කොහෙත්ම කැමති නෑ. ඔයා තේරුම් ගන්න ඕන ඉගෙන ගන්න එකේ වැදගත්කම. අපි ඔයාට කොච්චර ආදරේ වුනත් ඔයා මේ කල දේ ගැන දුකයි. දැන් ගිහින් ගෙදර වැඩ ටික කරලා එන්න. එතකන් අපි එක්ක කතා කරන්න එන්න එපා"

මෙන්න මේ වගේ දඬුවම් තමා ළමයින්ට දෙන්න ඕන. අම්මයි තාත්තයි කුණුහරපෙන් බැණ ගන්න., පොඩි දේකටත් මරා ගන්න පරිසරයකනම් ළමයා මෙහෙම කිව්වට සතේකට ගනන් ගන්න එකක් නෑ. මොකද හිංසාකාරී පරිසරය ළමයාගේ මනස තුළ සාමාන්‍යකරණය වෙලා නිසා. නමුත් අම්මයි තාත්තයි තමා එක්ක කතා නොකරන එකත් ශොක් එකක් තරම් වන ආදරයෙන් පිරුණ සාමකාමී පරිසරයක හැදෙන ළමයාට ඔය වගේ දඬුවමකුත් ලොකු බලපෑමක් කරනවා.

හැම දේකටම ගුටිකන ළමයා හිතන්නෙ ප්‍රශ්නවලට උත්තරේ හිංසාව කියලා. ඌ තමා ලොකු වෙලා කියන දේ අහන්නැති කෙල්ලට ගහන්නේ, පාරේ අනතුරක් වුනාම බස් එක කුඩු කරලා ඩ්‍රයිවර් ගේ අඬු කඩලා බස් එක ගිණි තියන්නේ. අපරාධ වලට එල්ලුම් ගහ ඕන කියන්නේ. මොකද දරුවා පොඩි කාලෙයේ ඉඳලා හැදුනේ ප්‍රශ්න වලට පිළිතුරු තියෙන්නේ හිංසාව කියන පරිසරයක් තුළ නිසා.

Thursday, September 1, 2016

දිව්‍යලෝකයේ wifi නැත්තෙ ඇයි?

හැම ආගමකම දිව්‍යලෝක නිර්මාණය කරල තියෙන්නේ ඒ ඒ කාල වල තමන් ‘සැප’ කියල හිතන් හිටිය දේවල් අතිශෝක්තියෙන් දැක්වීම මඟින්.

ඒ නිසා ඔය ඒ ඒ කාලවල සැපවල් වර්තමානයට ගෙනත් දැම්මම ඒවායේ තියෙන මැජික් ගතිය නැති වෙලා යනවා.

එතන තියෙන්නෙ ආගමිකයන් නොදකින නොගැලපීමක්.

උදාහරණයකට ක්‍රිස්තියානි දිව්‍යලෝකය (ස්වර්ගය) ගමු.

ක්‍රිස්තියානි දිව්‍යලෝකය තියෙන්නේ සදාකාලයටම. ඇතුළු වුනොත් ඇතුල් වුනාම තමයි. ආයෙ ඒමක් නෑ. තමාගෙ ප්‍රියයන් සදාකාලික අපායක දුක් විඳිනවා බලබල සදාකාලික, ඒකාකාරී අත්දැකීමකටම ඔවුන් හිර වෙනව.

ඊළඟට, ඔය ක්‍රිස්තියානි දිව්‍යලෝකය එක්ක බැඳුනු ‘සදාකාලය’ කියන සංකල්පයේ බැරෑරුම්කම හිතා ගන්නවත් බැරි තරම්. මම වෙන තැනක දැක්ක උදාහරණයකින් මේ ‘සදාකාලය’ පැහැදිළි කරන්න උත්සාහ කරන්නම්.

හිතන්න සූර්‍යයා තරම් විශාල ඝන යකඩ ගෝලයක් තියෙනවාය කියල. හැම අවුරුදු සියයකට සැරයක්ම පක්ෂියෙක් තමාගේ අත්තටු දෙකෙන් එකක් ඒ ඝන යකඩ ගෝලයේ ගෑවෙන විදියට ඒ අසළින් පියාසර කරනවාය කියල හිතන්න. අවුරුදු සියයකට සැරයක් පක්ෂියාගේ අත්තටුව වැදී ඒ ඝන යකඩ ගෝලය ගෙවිලා නැති වෙලා යන්න ගත වෙන කාලය ‘සදාකාලයේ’ පළමු දවස යැයි හිතන්න.

අන්න ඒ තරම් භයානක, දීර්ඝ කාලයක් තමයි සදාකාලය කියන්නෙ. හිතන්න එතරම් කාලයක් එක තැනක හිර වෙලා ඉන්න වුනොත්, ඒ තැන දිව්‍යලෝකය වුනත්..

කතෝලික විශ්වාසයට අනුව කතෝලික දිව්‍යලෝකය (ස්වර්ගය) කියන්නෙ දුහුල් සළු වලින් සැරසිලා, එහා මෙහා ගමන් කරමින්, දෙවියන්ට ප්‍රසංශා කරමින් ඉන්න තියෙන තැනක්.

ඒ ඒකාකාරී බව නිසාම සදාකාලයේ පළවෙනි දවසෙදිම ස්වර්ගය අපායක්ම වෙන බව පොඩ්ඩක් හිතල බැලුවම තේරෙයි.

කතෝලික දහම නිර්මාණය වුන කාලයේ තිබ්බ ‘සැප’ විඳිමින්/විඳවමින් දිව්‍යයලෝකයක සිර වෙන්නයි වෙන්නෙ.

ඔය තියෙනවයි කියන සැප විඳල විඳල අවසානයේ දෙවියන්ගෙන් අහන්න වෙන්නෙ මෙන්න මේ වගේ ප්‍රශ්නයක්..

“දෙවියනි, දිව්‍යයලෝකයේ wifi නැත්තෙ ඇයි?”

මිනිසා විසින්ම ‘සැප’ විඳිමේ බලාපොරොත්තුවෙන් නිර්මාණය කර ගත්ත ඒ දිව්‍යයලෝකය කියන සංකල්පයේ තියෙන බැරෑරුම්කම/භයානක කම ඕකයි

Monday, August 29, 2016

කෙටිම ආදර කතාව




"පැටියො මම ඔයාට මුළු ලෝකෙටම වඩා ආදරෙයි, හැම දේකටම වඩා... අපිව වෙන් කරන්න කාටවත් බෑ කෙල්ලෙ.. දැන් එහෙනම් පරිස්සමින් ගෙදර යන්න මගෙ පණ. ආ.. පොඩ්ඩක් ඉන්න. ඊළඟ දවසෙ හම්බෙන්න එද්දි මතක් කරල ඔයාගෙ කේන්දර කොපිය අරන් එන්න හරිද? අපේ අම්මගෙන් වදේ ඕක ගේන්න කියල ගැලපෙනවද කියල බලන්න. බායි කෙල්ලෙ.. අයි ලව් යූ"

ඔන්න ඔහොමයි වෙන්නෙ..

Thursday, August 25, 2016

මේ වචන වලින් ප්‍රවේසම් වන්න


".....ලේ, අධ්‍යාපනය, නිදහස, සිංහල, දෙමළ, දරුවා, හාමුදුරුවො, දේශය, මව්රට, රණවිරුවා...."


සමහර වචන අස්සේ හැංගිලා තියෙනවා අපි නොහිතන තරමේ 'බරක්'

ඔය වගේ වචන තමයි කපටින් යොදාගන්නේ සාමාන්‍යය මිනිස්සුන්ගේ චින්තනය පාලනය කරන්න.. හෘද සාක්ෂිය තමාට ඕන විදියට නටවන්න.

උදාහරණයක් ගමු.

"අද හවස දෙපිරිසක් අතර ඇති වූ පුද්ගලික ආරවුලක් නිසා පිහි ඇනුමකින් දෙදෙනෙක් මරුට"

ඔය තියෙන්නෙ නිවුස් එකක් ලියන්න පුළුවන් විදියක්. ඔය නිවුස් එකම විශේෂණ පද එක්ක මෙහෙම දැම්මොත් ඇත්ත පණිවිඩය වෙනුවට කොහොම පණිවිඩයක් යාවිද?

ආයෙම බලන්න

"අද හවස දෙමළ සහ සිංහල දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී දෙමළ පිරිස විසින් සිංහලයන් දෙදෙනෙකුව තියුණු අවි වලින් කපා කොටා ඝාතනය කොට ඒ මළ සිරුරු බිම දිගේ ඇදන් ගොස් අසළ තිබූ ගඟකට විසිකර ඇත"

වචන කිහිපයක් එකතු කල පමණින් පුද්ගලික ආරවුලක් නිසා හටගත් ගැටුම සමාජය තුළ වෙනම තලයකට ගෙනියන්න පුළුවන්.

කලින් ප්‍රවෘතිය වුනත් අර මම කලින් කිව්ව විශේෂණ පද දාලා වාර්තා කරන්නාට අවශ්‍ය විදියේ චින්තනයක් කියවන්නාගේ මනස තුළ නිර්මාණය කරනවා. වාර්තා කරන්නාට අවශ්‍ය විදියේ මානසිකත්වයක් කියවන්නාගේ මනස තුළ ඇති කරනවා.

"අපි පෙනී ඉන්නේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්"

වගේ සටන් පාඨයක් ලේසියෙන් පැහැදිළි තර්කයෙන් වුනත් බිඳ දාන්න අමාරු ඒ නිසයි.

ඔය වැනි වචන අස්සේ මුල් බැසගෙන තියෙන සංකල්ප කියන්නේ පාලකයන්ට ජනතාවගේ මනස පාලනය කරන්න තියෙන tools විදියට ගන්න පුළුවන්.

ඒ වචන වලින්, සංකල්ප වලින් පරිස්සම් වෙන්න ඕන ඒකයි..

මොනව වුනත් අදාල දේටයි අදාල නැති දේටයි "මේක සිංහලබෞද්ධ රට යකෝ".. "නිදහස් අධ්‍යාපනය වෙනුවන් මැරෙනව යකෝ".. "'අත දරුවෙක්ට' 'සාහසික' ලෙස පහර දීලා යකෝ".. "හාමුදුරු කෙනෙක්ට ගරු කරන්න ඉගෙන ගනින්".. "මොනව වුනත් 'සිවුර'ට ගරු කරපිය".. "රණවිරුවන්ව කුණු අදින්න දාලා"

වගේ කතා ඇහෙද්දිම.. කියවද්දිම.. අර බර වචන ටික අයින් කරලා දෙකෙන් තුනෙන් හතරෙන් බෙදලා.. පෙරලා ප්‍රවෘතියේ නියම පණිවිඩය ගන්න නම් ටිකක් බුද්ධිමත් වෙන්න ඕන, වගේම ඒ වැඩේ කරන්න ටිකක් අමාරුයි.

යමක් කියවද්දි තමාට මුලින්ම එන හැඟීම පාලනය කරන්න යොදාගන්න කපටින් පාවිච්චි කරන මේ වගේ උගුල් වලට අහු වෙන්න එපා.

නැත්තන් වෙන්නෙ "පළමුවත් 'මව් බිම'.. දෙවනුවත් 'මව් බිම'.. තෙවනුවත් 'මව් බිම'".. වගේ හිස් වචන කියන කපටින්ට "කලගුණ" සලක සලක ඉන්නයි.

ලේ...!