Sunday, January 21, 2018

Wedding වසංගතය



තමා සන්තකව ඇති මුදල් නැති නාස්ති කරගනිමින් සිය අනාගතය උදෙසා ඉතිරි කර ගත යුතු වත්කම් කාබාසිනියා කරගනිමින් හතර අතේ ණය වෙමින් විවාහ මංගල උත්සව සැමරීමේ රැල්ලක් වත්මන් සමාජයේ නිර්මාණය වූයේ කෙසේද යන කරුණ පැහැදිළි කිරීමට මා හට දැනුමක් නැත.

එහෙත් වර්තමානයේ නිර්මාණය වී ඇති මේ රැල්ල දිනෙන් දින කූට වෙළෙන්දන්ගේ ජාවාරමක් බවට පත් වී ඇති හෙයින්ද අහිංසක මධ්‍යම පාන්තිකයන් දැන හෝ නොදැන දිනපතා ඔවුන්ට ගොදුරු වෙමින් සිටින හෙයින්ද මේ ගැන සටහනක් තැබිය යුතුම යැයි සිතමි.

මිනිසෙක් සහ ගැහැණියක් විවාහ දිවියට ඇතුළු වීම ඔවුන්ගේ ජීවිත වල ඉතාම අපහසුවෙන් පසුකරගත යුතු කඩයිමක් බවට පත්වී හමාරය. අපහසුවෙන් පසුකරගත යුතු කඩයිම වී ඇත්තේ විවාහ දිවියට එළඹීම හෝ ඉන්පසු ආරම්භ කිරීමට නියමිත අලුත් ජීවිතය නොවේ.

විවාහ මංගල උත්සවයයි.

තමා භාවිතා කරන ජංගම දුරකථනයෙන්, පදවන වාහනයෙන් පමණක් නොව තම නිවසේ සිටින සුනඛයාගෙන් පවා තම සමාජ තත්වය අන් අයට හඬ ගා කියන්නට උත්සාහ කරනා සමාජ ක්‍රමයක් තුළ විවාහ මංගල උත්සවයන් සඳහා මිනිසුන් මෙපමණ වැදගත්කමක් දීම අරුමයක් නොවේ.

තමාට හිමි සමාජ තත්වය අන් අය ඉදිරියේ තහවුරු කර ගැනීමට සහ තමාට නැති සමාජ තත්වයක් අන් අය ඉදිරියේ මවා පෑමට විවාහ මංගල උත්සවය නැමති සාදය හැකි උපරිම වැර යොදා මහා ඉහළින් සංවිධානය කිරීමට මිනිසුන් නොකරන දෙයක් නැති තරම්ය. ඒ බව තේරුම් ගෙන ඇති කූට ව්‍යාපාරිකයන් මේ විවාහ මංගල උත්සව වටා රොක් වෙමින් දිනෙන් දින එයට තව තවත් විච්චූරන ඇතුළත් කරන්නේ ඉන් පැහැදිළි ලාභයක් සන්තක කරගත හැකි බැවිනි.

විවාහ මංගල උත්සවය පවත්වන Hotel එක, මනාල යුවලගේ ඇඳුම් වල පෙනුම සහ වටිනාකම, ඔවුන්ට ඇන්දවීමේ කටයුතු කරන රූපලාවන්‍යශිල්පියා/ශිල්පිනිය, ඔවුන් පළඳින ආභරණ, දෙවන මනාල මනාලියන් ගණන, ඡායාරූපකරනය සහ වීඩියෝකරනය සඳහා භාරදී ඇති Studio එක, ඔවුන් රැගෙන එන වාහනය, විවාහ මංගල උත්සවය සංගීතවත් කරන Band එක, පිළිගැනීම සඳහා නැටුම් කණ්ඩායම්, අමුත්තන් සඳහා සංග්‍රහ කෙරෙන මධුවිත වර්ගයේ Brand එක, going away එකට අඳින ඇඳුම් සහ පළඳින ආභරණ, Honeymoon යන නගරය සහ ගත කරන දිනගණන..
වැනි එකී මෙකී නොකී අංග සියල්ලෙන් සිදුවන්නේ විවාහ මංගල උත්සවය සහ අදාල දෙපාර්ශවයේ සමාජ තත්වය පිළිබඳ ඇගයීමකි. ඉහත සඳහන් කල අංග මෙන්ම තවත් බොහෝ දේ වලින් සමන්විත අංගසම්පූර්ණ විවාහ මංගල උත්සවයක් පැවැත්වීමට ලැබීම අද බොහෝ දෙනා සලකන්නේ තමාගේ ජීවිතයේ ලබන ජයග්‍රහණයක් ලෙසය.

මා මෙහිදී මතු කරන්නට උත්සාහ කරන්නේ අධික වියදමක් දරා විවාහ මංගල උත්සවයක් සැමරීම නොකල යුතු වැරැද්දක්ය යන අදහසක් නොවේ.

මීට වසර කිහිපයකට පෙර දෙවන මනමාල මනමාලියන් දෙසියයකින් සමන්විත වුන විවාහ මංගල උත්සවයක් ලාංකිකයෙක් සැමරූ අයුරු පුවත්පත්වල පවා පලවුන අන්දම මෙම සටහන කියවන ඔබටත් මතක ඇති. එහි කිසිම ගැටළුවක් නැත. තමා උපයන මුදල් නීත්‍යානුකූල ලෙස තමාට අවශ්‍ය අන්දමට වියදම් කිරීමේ නිදහස ඕනෑම කෙනෙකුට තිබිය යුතුය.

ගැටළුව පැනනඟින්නේ අධික වියදමක් දරා විවාහ මංගල උත්සවයක් ගැනීමට වත්කමක් නොමැති සාමාන්‍ය මධ්‍යමපාන්තිකයන්ද තමාගේ වත්කමටත් වඩා වියදම් කොට සමාජය ඉදිරියේ ගරුත්වය ලබා ගැනීමේ අරමුණින් අධික වියදම් දරා විවාහ සාදයන් පැවැත්වීමට උත්සාහ කිරීමේදීය.

මෙසේ විහින් අසරණ වන මධ්‍යමපාන්තිකයින් අධික වියදම් දරමින්, බංකු ණය පවා ලබා ගනිමින් මෙම සාදය සංවිධානය කිරීමට යාමේ ප්‍රතිඵලයක් ලෙස කබලෙන් ලිපට වැටෙන අයුරු ගැන ලියන්නාට පුද්ගලික අත්දැකීම් ඇත.

මාගේ ඈතින් නෑදෑයකු වන නැන්දා කෙනෙක් ඇයගේ සැමියාට සිය කාරය විකුණා ප්‍රධාන පෙළේ හෝටලයක සිය දියණියගේ විවාහ මංගල උත්සවය ගැනීමට බල කලේ වෙන කිසිම හේතුවක් නිසා නොව, ඇයගේ නැගනියගේ දියණියගේ විවාහ මංගල උත්සවයද රටේ ප්‍රධාන පෙළේ හෝටලයක සැමරීම නිසා ඒ තරඟය ජය ගැනීමටය.

නොයෙකුත් අන්දමේ හීනමාන වලින් පෙළෙනා මෙවන් මිනිසුන් එක් දිනක පැය කිහිපයකට සීමා වන සාදයක් උදෙසා වසර ගණනක් මුළුල්ලේ ලක්ෂ ගණනින් ණය ගෙවීම වටහා ගැනීම සාමාන්‍ය මානසිකත්වයක් ඇති අයෙකුට පෙනෙන්නේ විසුළු සහගත හැසිරීමක් ලෙසය.

ලක්ෂ ගණනින් වූ ණය තම මාස් පඩියෙන් අඩුවන සේ ගිවිසුම් අත්සන් කරන ඔවුන්ට විවාහයෙන් පසු ඔවුන්ගේ පින්තූර ඇල්බමවල ඉතිරි මුදල ගෙවා සම්පූර්ණ කිරීමට වසර ගණනක් ගතවන්නේ ඉන්පසු මුහුණ දෙන්නට සිදුවන ආර්ථික දුෂ්කරතා නිසාමය.

මිනිසෙක් සහ ගැහැණියක් විවාහ දිවියට ඇතුළත් වීමෙන් අනතුරුව අලුතෙන් පටන් ගන්නා ජීවිතයේ පළමු මාසයේ සිටම අන් අයට කෑමට සහ බීමට වියදම් කල සහ අන් අයට පේන්න අඳින්න නටන්න වියදම් කල මුදල් වල ණය ගෙවීමට සිදුවීම කණගාටුවට කරුණකි. විවාහ දිවියට එළඹීමෙන් පසු ඔවුන්ගේ ජීවිත වල ගන්නා වැදගත්ම තීරණ වලට මෙම ආර්ථික අපහසුතා සෘජුවම බලපාන බව අමුතුවෙන් සඳහන් කල යුතු නොවේ.

එක් දිනක් තුල ඔවුන්ට දරාගත නොහැකි ප්‍රමාණයෙන් මේ කරන වියදම නිසා ඔවුන්ගේ මුලු ජීවිතම වෙනත් මාර්ගයකට යොමු විය හැකිය. මේ නිසා මුහුණ දීමට සිදුවන ආර්ථික ප්‍රශ්න හේතුවෙන් තම පවුල් ජීවිතය, දරුවන්ගේ අනාගතය වැනි දේ වලදි ඔවුනට හිමිව තිබෙන්නට නියමිත වුනු හොඳම සහ සුදුසුම තීරණ ගැනීමට ඔවුන්ට හැකිවන්නේද නැත.

ඒ තමාට හැකි සෑම සතයක්ම තම අනාගත සුබ සිද්ධිය කරා ඉතිරි කර බුද්ධිමත් ලෙස වියදම් කිරීම වෙනුවට තමාත් සමග තරග කරන, තමාට ඊර්ෂ්‍යා කරන, තමාගේ වැරදි සෙවීමට සැදී පැහැදී සිටින මිනිසුන්ට කන්න බොන්න ලබා දී ඔවුන්ගෙන් හොඳ අහගන්න මුදල් වියදම් කිරීම නිසාය. විසිකරන්නට තරම් මිල මුදලින් පොහොසත් අය කරනා දේ කරන්නට උත්සාහ කොට තවත් අසරණ තත්වයකට විහින් පත්වූ නිසාය.

මේ සිහින සාදයන් සතියකට සැරයක් චැනල් දහයකින් දහපාරක් මාර්කට් කිරීම මඟින් කුමන ක්‍රමයකින් හෝ මඩිය තරකරගැනීමේ අරමුණින් ක්‍රියාකරන ව්‍යාපාරිකයින් වන රූපවාහිනී මාධ්‍යයන්ද මේ ආකල්පය සමාජගත වීමට විශාල වශයෙන් හේතු වී තිබෙන බව සඳහන් කල යුතුමය. මිනිසුන්ගේ මොල කෑම ආදායම් මාර්ගය කර ගත් මාධ්‍යන් විසින් දෙන ලණු සිතීමේ හැකියාවක් නැති මිනිසුන් විසින් රස කර කර කෑම පුදුමයකට කරුණක් නොවේ.

අනුන්ගේ ගෞරවය සිඟමන් යදින්නට ගොස් ලක්ෂ ගනන් වියදම් කොට ප්‍රශ්න දාහක් මවාගෙන ජීවිතයම අවුල් ජාලයක් කරගන්න්නවට වඩා ණය බරින් තොරව, අනාගත අවශ්‍යතා වලදී මෙන්ම බලාපොරොත්තු නොවන හදිසි අවශ්‍යතා වලදී භාවිතා කරන්න යම් මුදලක් තමා ඉතිරි කොට ඇති බව දැනගෙන නින්දට යාමේ ඇති සැනසිල්ල වටිනවා නොවේද?

යම් කෙනෙක් තමාගේ විවාහ මංගල උත්සවයක් සංවිධානය කිරීමට පෙර, වියදම්කරන සෑම සතයක් ගානේ, තමා වියදම් කරන්නේ තමාගේ උවමනාවටද නැත්නම් වෙන අයගේ සිත් සතුටු කරන්නද කියා වරක් දෙවරක් නොව, සියවතාවක් සිතා බැලිය යුතුය. තමා අන් අයගේ ඒ සිතුවිලිවල, අදහස් වල වහලෙක් වනවාද නැත්ද කියන කාරණය තමා තීරණය කල යුතුය. තමාගේ ආශාව නිසාම පමණක් වියදම් කලත් ඒ වියදම් කරන ප්‍රමාණය සත්‍ය වශයෙන්ම තර්කානුකූලද කියන එක සිතා බැලිය යුතුය.

සිදුකල යුත්තේ මෙවන් බොලඳ සිහින ඉටුකර ගැනීමට තම අසරණ දෙමව්පියන්ටවත්, පෙම්වතාටවත් බල කිරීම නොව, බුද්ධිමත් තරුණයෙක්/තරුණියක් ලෙස අනාගතය ගැන සිතා වැඩ කිරීමය. ජීවිතයේ යථාර්තය තේරුම් ගැනීමය. හැඟීම් වලට වහල් නොවී බුද්ධිමත් ලෙස වැඩ කටයුතු කලහොත් ඔබට සතුටින් සැනසිල්ලේ ජීවිතය ගෙවීමට හැකියාව ලැබෙනු ඇත.

- පැරණි සටහනකි. කාලානුරූපී බව නිසා නැවත පළකලෙමි

Wednesday, January 17, 2018

වෙනසට බය මිනිස්සු



ලාංකීය සමාජය,

සමලිංගිකයන්ව පිළිගන්න ලෑස්ති නෑ...........
ඒ අයත් තමන් වගේම ලේ ඇට මස් නහර වලින් හැදුන මිනිස්සු කියල පිළිගන්න ලෑස්ති නෑ...........
තමන් ජීවත් වෙන සමාජයේ ගණිකාවන් ඉන්නවාය කියල පිළිගන්න ලෑස්ති නෑ...........
ඒ මිනිස්සුත් හැඟීම් දැනීම් තියෙන මිනිස්සුය කියල පිළිගන්න ලෑස්ති නෑ...........
සංක්‍රාණ්ති ලිංගිකයන්ව පිළිගන්න ලෑස්ති නෑ...........
ඒ අයටත් තමාට වගේම අයිතීන් තියෙනව කියල පිළිගන්න ලෑස්ති නෑ...........
තරුණ තරුණියන්ට ආදරය කරන්න තියෙන නිදහස පිළිගන්න ලෑස්ති නෑ...........
ජීවිතය විඳින්නට මිසක විඳවන්නට නොවේය කියන එක තේරුම් ගන්න ලෑස්ති නෑ...........
දෙමළ, මුස්ලිම් මිනිස්සුන්ගේ අයිතීන් පිළිගන්න ලෑස්ති නෑ...........
තමන්ගෙ ජාතියේ මිනිස්සුන්ට වගේම අනෙක් ජාතීන් වල මිනිස්සුන්ටත් මේ රට අයිති බව පිළිගන්න ලෑස්ති නෑ...........
තමාට දුරින් ඉන්න අනෙකාටත් තමාට තියෙන අයිතිවාසකම්ම ලැබිය යුතු බව පිළිගන්න ලෑස්ති නෑ...........
ළමා අයිතිවාසකම් පිළිගන්න ලෑස්ති නෑ...........
අපරාධකරුවන්ටත් අයිතීන් තියෙනවය කියල පිළිගන්න ලෑස්ති නෑ...........
මානව හිමිකම් කියල දෙයක් තියෙනවය කියල පිළිගන්න ලෑස්ති නෑ...........
ලංකාවෙ හරි හමන් අධ්‍යාපන ක්‍රමයක් නැති බව පිළිගන්න ලෑස්ති නෑ...........
හරිහමන් රාජ්‍යය සේවයක් නැතිය කියන එක පිළිගන්න ලෑස්ති නෑ...........
කෙටි කාලීන පටු පුද්ගලික වාසි නොබලා පාලකයන් පත් කර ගත යුතු බව පිළිගන්න ලෑස්ති නෑ...........
අපේ ප්‍රශ්න වලට දේශපාලකයන්ටම බැණ බැණ හිටියට ඒවාට අපිත් ජනතාව විදියට වගකිව යුතු බව පිළිගන්න ලෑස්ති නෑ...........
රටේ රාජ්‍ය පාලනය සහ නීතිය සකස් විය යුත්තේ අනාගමික පදනමක් මත බව පිළිගන්න ලෑස්ති නෑ...........
මිත්‍යාව කර තියාගෙන හිටියා ඇති කියල තේරුම් ගන්න ලෑස්ති නෑ...........
විද්‍යාවෙන් මිසක අවිද්‍යාව පසුපස ගියොත් අපට අනාගතයක් නැහැ කියල පිළිගන්න ලෑස්ති නෑ...........
මේ කරදිය වළල්ලෙන් එහා ඉන්න මිනිස්සුන්ගේ ආකල්ප සහ සංස්කෘතීන් වලින් ගත යුතු දේ ගෙන බැහැර කල යුතු දේ බැහැර කරනවා වෙනුවට රකුසෙක් දිහා බලනවා වගේ අනියත බයකින් ඒවා එකහෙළාම ප්‍රතික්ෂේප කරන එක අමු මෝඩ කමක් බව තේරුම් ගන්න ලෑස්ති නෑ...........
වික්ටොරියා රැජිනගේ සදාචාරයට අලවගෙන ඉන්න සිංහලබෞද්ධ ලේබලය ගලවල දාලා සුද්දාගේ ආච්චිගේ සදාචාරය කුණු කූඩයට දාන්න කාලය එළඹිලා තියෙන බව පිළිගන්න ලෑස්ති නෑ...........
සමාජයක් විදියට අපි අතීතයේ ජීවත්වෙන වර්තමානයක් නැති මිනිස්සු කොටසක්ය කියන එක පිළිගන්න ලෑස්ති නෑ...........
රටේ අනාගත පරපුර කෙවිටට හෙවත් වේවැලට බය අධිකාරී බලය ඉස්සරහා දෙකට නැමෙන නිවටයන් කරනවා වෙනුවට තමාව පවා ප්‍රශ්න කරනා නිදහස් නිවහල් මනසකින් යුත් මිනිසුන් කල යුතු බව පිළිගන්න ලෑස්ති නෑ..........

ලංකාවෙ අපි පිළිගන්න ලෑස්ති කාවද.....මොනවද.....කවදද බං?

අපි තරම් ඉන්න තැනින් වෙනස් තැනකට පය තියන්න බය මිනිස්සු තවත් මේ ලෝකයෙ ඉන්නවද කියලත් සැකයි මචන්.. අවංකවම.. !

අපි මෙතනින් එහාට අඩියක් ඉස්සරහට තියන්නේ කවද්ද කියල සැකයි !

Monday, January 15, 2018

කයිවාරු, පම්පෝරි, ඕපාදූප.. මරු පොට් එක !


මීට අවුරුදු පහළවක් පමණ ආපස්සට යමු ;

මිනිස්සු ආසයි තමන්ගේ ජීවිත ගැන අනිත් අය ඉස්සරහා කයිවාරු ගහන්න, තමා ජීවත් වෙන විදිය ගැන අනිත් අය ඉස්සරහා බොරුවට හරි ඇත්තට හරි මවාපාන්න, තමාගේ ජයග්‍රහණ ගැන.. තමන්ගේ ප්‍රියයන්ගේ ජයග්‍රහණ ගැන අනිත් අයට කියන්න

ඒක ඉතින් එදා ඉඳලම එහෙමයි

මීට අවුරුදු පහළවකට විතර කලින් අපි අපේ නෑදෑයෝ එක්ක එකතු වෙච්ච වෙලාවල් වලදි.. යාලුවෝ සෙට් එක එකතු වෙලා පල් හෑලි දොඩවන වෙලාවල් වලදි...

"මේ දන්නවද.. අපි ගිය සතියෙ ට්‍රිප් එකක් ගියානේ.. නැවතිලා හිටියේ තරුපහේ හෝටලයක.. උදේට කෑවේ අහවල් අහවල් කෑම.. මූදේ නෑවෙ අහවල් ඇඳුම් ඇඳලා.. අනිත් මිනිස්සුන්ගෙන් වෙන් කරපු තැනක ඉටිපන්දම් එළියෙන් තරුපහේ කෑම වේලක් තමා රෑට කෑවෙ... නිදාගත්ත ඇඳ තිබ්බේ අහවල් විදියට.. නාපු බාත් රූම් එක තිබ්බේ අහවල් විදියට.."

කිය කිය හරි...

"මේ දන්නවද.. අපේ පුතා ගත්තානේ උපාධියක්.. දැන් ඉන්නෙ ඇමරිකාවේ. මේ බලන්න උපාධිය ගත්ත ෆොටෝ එක. මේ ඇමරිකාවේ ලොකු බිල්ඩිමක් ඉස්සරහා එයාගෙ ඇමරිකන් ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක ගත්ත ෆොටෝ එකක්.. ඔව් ඔව්.. ඔය බිස්කට් එක කකා ඔය ටික බලන්න්කො.. තේක බොන ගමන් මගෙ ඩොක්ටර් දුවගෙ ෆොටෝ ඇල්බම් එක පෙන්නන්නම්.."

කිය කිය හරි...

"අපි ගිය ඉරිදා ගත්තනේ ලොකුවට පාටියක්.. ඔව් අනේ මගෙ බර්ත්ඩේ එක. දෙසීයකට විතර ඉන්වයිට් කලා. ඔක්කොම මගෙ කොළඹ ඔෆිස් එකෙ පොෂ් කෙල්ලො කොල්ලො තමා ආවෙ.. මේ බලන්න ඒ අයගෙ ඇඳුම් එහෙම.. අලුත්ම ෆැෂන් නේද? අර ප්‍රසිද්ධම ඩී.ජේ තමා මියුසික් කලේ.. බොන්න දුන්නෙ ජැක් ඩැනියෙල්ස් තමා.. මේ තියෙන්නෙ ෆොටෝ එහෙම, බලන්න බලන්න. මාරම ෆන් එකක් අනේ අපි ගත්තෙ.. මාරම ෆන් ලයිෆ් එකක් අපි ගෙවන්නෙ.."

වගේ කිය කිය

අපේ ජීවිත ගැන අනිත් අයට විස්තර කරන්න හැදුවොත් ගොඩක් දෙනා සිනාමුසු මුහුණින් අහන් හිටියට හිත ඇතුලෙන් හිතන්නේ මොන වගේ දෙයක්ද?

"මේ යකාගෙ වැඩේම කයිවාරු ගහන එකමනේ...",
"පොර ටෝක්ම දෙනවා ඉවරයක් නෑ.. හිතන් ඉන්නෙ හැමදේම දන්න පණ්ඩිතයා කියල"
"මූ ගිය සතියෙ ට්‍රිප් එක ගිහින් කොහේ හිටියත් මොනවා කෑවත් අපිට මොකද..?"

තව හිතන්න කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි ඇවිත් තමන්ගේ යාලුවෝ ඉස්සරහා

"මේ දන්නවද... තාම මට කොල්ලෙක් නෑ.. කවුරු හරි ඉන්නව නම් ට්‍රයි කරලා මාව දාගන්න හොඳේ" වගේ කිව්වොත්...

"මේ බලන්නකො මේ ඈන්ගල් එකට මගේ පස්ස මාර ගති නේද? ආස හිතෙනව නේද?" කියල කොල්ලන්ට කෙල්ලො තමන්ගේ පුකවල් පෙන්නුවොත්..

"අඩෝ උඹල මහ මෝඩයො ඕයි.. දේශපාලනය ගැන කලාව ගැන දර්ශනය ගැන උඹල දන්න දෙයක් නෑ.. සාමාන්‍යය දැනීමවත් නැති හිතන්නවත් දන්නැති බූරුවො වගෙ ඉන්නෙ නැතුව මගේ දේශපාලන මතය අහලා ඉගෙනගනින් දැන්වත්" කියලා පොර ටෝක් ඉෂූ කලොත්..

ඒක කොච්චර සමාජය පිළිකුල් කරන, ප්‍රතික්ෂේප කරන, අප්‍රසන්න හැසිරීමක් වෙයිද? කොටින්ම ඔය විදියට හැසිරෙන, ඔය විදියට කතා කරන කෙනෙක් දිහා මිනිස්සු මොන විදියට බලයිද?

අවුරුදු පහළවක් ආපස්සට ගිය ඔබ දැන් එන්න වර්තමානයට;

ඔය මිනිස්සුන්ටම, එකිනෙකා මූණට මූණ හම්බුනාම එකිනෙකා ඉස්සරහා කියාගන්න, පිටකරගන්න බැරුව හිටිය ඔය ආසාවල් ටික පිට කරගන්න පුලුවන් වෙනම අවකාශයක් කවුරු හරි හදල දුන්නා නම්..

අනුන්ට තමා ජීවත් වෙන හැටි ගැන කියන්න, අනුන් ජීවත් වෙන හැටි ගැන හොයන්න සමාජයම පිළිගත් අවකාශයක් නිර්මාණය කරල දෙන්න කාට හරි පුළුවන් වුනා නම්..

මිනිස්සු කොච්චර නම් ආසාවෙන් ඒ අවකාශය පිළි අරගෙන ඒකට මොන තරම් නම් ඇබ්බැහි වෙයිද? මිනිස්සු ඉස්සරහා අපහසුතාවයට පත් වෙයි කියල තමාගේ හිතේ හිර කරගෙන හිටිය අර ලොකු ටෝක්, පොර ටෝක්, තමා ජීවත් වෙන විදිය ගැන කතන්දර.. කොහොම කොහොම අනිත් මිනිස්සු ඉස්සරහා දිග හරියිද?

මිනිස්සු එකිනෙකා මුහුණට මුහුණ හමුවුනාම අපහසුතාවයට පත් වෙන විදියේ අමුතු හැසිරීම් වල සිත්සේ නිදහසේ යෙදෙන්න පුලුවන් අවකාශය හදලා දෙන ඒ 'පොර' කොයි තරම් නම් සාර්ථකත්වයට පත් වෙයිද?

අවුරුදු පහළවක් ඈත අතීතයේ ඉඳල හිතල බැලුවත්, ඒ ප්‍රශ්නයට උත්තරේ හිතාගන්න එච්චර අමාරු වෙන එකක් නැහැ.

සමාජය ඉස්සරහා මහ පොළවේ පිට කලාම අපහසුතාවයට පත් වෙන ආශාවල්, හැඟීම් පිට කරන්න සමාජයම පිළිගත් වෙනම අවකාශයක් !

කෝමද අයිඩියා එක?

මරු නේද?

Saturday, January 13, 2018

රැග


රැග් කරන්නේ සමානාත්මතාවය ඇති කරන්නලු.......සමූහයක් විදියට වැඩ කරන හැටි කියල දෙන්නලු.......

ජීවිතයේ අවුරුදු 18ක් 19ක් පාසලක ඉගෙනගෙන මූලික විෂය කරුණු ගැන දැනුම අරගෙන විභාග ලියලා විශ්ව විද්‍යාලයකට යන්න සමත් වෙන වැඩිහිටි කොටසකට....

...රටේ සතරදිග්භාගයෙන් විවිධ පාසැල් සහ සමාජ මට්ටම් වලින් පැමිණෙන අය අතර තිබිය යුතු සමානාත්මතාවය ගැන කියල දෙන්න අමුතුවෙන් රැග් කරන්න ඕන නම්,

එතනදි අපිට ප්‍රශ්න කරන්න වෙනවා මේ අයට අවුරුදු ගාණක් හය හතර කියල දුන්න පාසල්(මාතාවල්) වල සිස්ටම් එකයි,

මේ අයව ඒ තත්වය වෙනකල් ගෙනාපු සමාජ ක්‍රමයයි ගැන.

රැග් කිරිල්ලේ, ගෝත්‍රිකවාදයේ, කල්ලිවාදයේ මානසිකත්වයට මූලික අඩිතාලම වැටෙන්නේ පාසැලෙන්ද කියල කවුරු හරි ප්‍රශ්නයක් නැඟුවොත් ඒක අසාධාරණ ප්‍රශ්නයක්ද?.

"එක කල්ලිවාදයකින් තවත් කල්ලිවාදයකට 'බලෙන්' මාරු කරවීම"

වෙන රටවල් වල සිසුසිසුවියන්ට සමූහයන් විදියට ක්‍රියාකරන හැටි හුරුකරවන්න මනෝවිද්‍යාත්මක පදනම් වලින් යුත් කණ්ඩායම් ක්‍රියාකාරකම් වල කුඩා කාලයේ ඉඳල යොදවද්දි.. නායකත්ව පුහුණුවීම් වල යොදවද්දි,

අපේ රටේ සිසුසිසුවියන්ට සාමූහිකත්වය කියල දෙන්න දණ ගස්සවලා කන් දෙක අල්ලලන් හාවො පන්නන්නවා.. මූණවල් වල කළු තෙල් ගාලා කුණුහරප කියවනවා..ඇඳුම් ගලවලා නිරුවත් කරලා අවමානයට ලක් කරනවා...

විශ්ව විද්‍යාල වල විතරක් නෙමේ, රට පුරා කාර්යාලවල, රාජකාරී කරන තැන් වල පවා අඩු වැඩි වශයෙන් මේ රැග් කිරිල්ලේ මානසිකත්වය තියෙන, රැග් කිරීමේ අවශ්‍යතාවය දකින මිනිස්සු හම්බෙනවා..

අපි විසින් අපිවම රැග් කරගන්නා සමාජයක් !

පාසල් වලින් හදන කල්ලිවාදයයි.. විශ්ව විද්‍යාල ඇතුලෙ ඒ කල්ලිවාදය කඩලා බලහත්කාරයෙන් වෙන කල්ලිවාදයක් නිර්මාණය කල යුතුය කියන මානසිකත්වයයි අරගෙන ඔය දෙක අතර සම්බන්ධකමක් තියෙනවද කියන එක හිතල බලන්න වටින කාරණයක්.

ඕන තරම් වෙලා ගන්න.. හිතලාම බලන්න

Thursday, January 11, 2018

දන්ත ධාතුව සහ මොනාලිසා


මා කුඩා හුජ්ජා කොලුවෙකු සන්දියේ ඉතා හොඳ බෞද්ධයන් වූ මගේ දෙමාපියන් විසින් මගේ ආදරණීයම නෑදෑයා වූ නුවර ලොකු අම්මාව හමු වීමට යන මුවාවෙන් මා කැටුව නුවර ගියේ ය. ගමන අතර මගදී මේ යන්නේ ලොකු අම්මා හමු වීමටම නොවන වග මට වටහා ගත හැකි වූයේ අපේ අම්මා සියල්ලටම පෙර කට ඉස්සර කර ගත් නිසා ය.

"නුවර ගිහිං දළදා මාලිගාවවත් වැන්දේ නැත්නම් වැඩක් තියෙනවද?" ‍

එකල නිරාගමිකයෙකු වීමට තරම්වත් ආගමක් ගැන පැහැදිලි අදහසක් නොතිබූ නිසා දළදා මාලිගාව වැදීම පිලිබද විරෝධාකල්පයක් මට නොවීය. වැදීම කෙසේ වෙතත් කුඩා කළ පටන් මගේ ආකර්ශනය දිනා ගැනීමට සමත් වූ පුළුන් පිරවූ රාජා ඇතා යලිත් නැරබීමට අවස්ථාවක් උදාවීම පිලිබදව සියුම් සතුටක් උපන්නා මතක ය. ලොකු නැන්දාගේ ගෙදරින් බඩ පිරෙන්නට සප්පායම් වූ අප ගෙදර හැදූ පැණි වළලු පාර්සලයක්ද රැගෙන සුදු වතින් සැරසී දළදා මාලිගාව කරා පිය මැන්නේ ය.

එදා අප යන විට මාලිගාවේ තේවාව ආරම්භවී තිබුනු නිසා දළලා කරඩුව දැක බලා ගන්නට හැකි වේයැයි සිතා පස් වනක් ප්‍රීතියෙන් පිනා ගිය අපේ අම්මා වෙනදටත් වඩා වැඩියෙන් මල් මිලදී ගැනීමට යුහුසුලු වූයේ ශ්‍රද්ධාව දෝරෙ ගලමින් තිබූ නිසා විය යුතු ය. අප උඩ මලුවට ලගා වන විට කරඩුව දැක ගැනීමට රැස්ව සිටි ජනකාය පොදි කමින් පෝලිං වල ගාල් වී සිටියේ ය. අම්මා අයියා ද, නංගී ද කැටුව පෝලිමට එක් වූ අතර පවුලේ හිතුවක්කාරයන් ලෙසින් සැලකුනු අපච්චීත් මමත් ඈත සිට කරඩුව නැරබීමෙන් පමනක් සෑහීමකට පත් වීම නිසා පල්ලං බැස්සේ ය.

පාත මාලයට පැමිනි අප එහි තිබෙන චිත්‍ර හා කැටයම් නරඹමින් සිටින අතර එතෙක් වෙලා චූ බරක් මෙන් මා පෙලමින් තිබූ පැනයක් අප්පච්චීගෙන් ඇසීමට සිතා ගතෙමි.

"දැන් අර ව‍ඳින මිනිස්සු හරියටම දන්නවද ඕක ඇතුලේ තියෙන්නෙ බුදුහාමුදුරුවන්ගෙම දත කියලා?" නුවර යුගයේ චිත්‍ර කලාවේ මහිමයෙන් මත්වී සිටි අප්පච්චීගේ තීක්ෂණ දෑස් එකෙනෙහිම මාවෙත යොමු වූයේ පැරණි විප්ලවවාදී අතීතය සිහිපත්වීමෙන් දැයි නොදනිමි.

"ඒක අදාල නෑ..." මම ෆුල් අන්දොස් වී ගියෙමි.

"ඒ කිව්වේ..?"

"අදාල වෙන්නේ ඇත්තටම ඕක ඇතුලේ තියෙන්නේ මොකක්ද කියන එක නෙවෙයි. ඕක ඇතුලේ බුදුහාමුදුරුවන්ගේ දන්ත ධාතුව තියෙනවා කියන විශ්වාසය. ඒ විශ්වාසය නිසා ඕකට වදින මිනිස්සුන්ට ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ඒ ශ්‍රද්ධාව මිනිස්සුන්ගේ ජීවිත ඇතුලේ තියෙන තමන්ටම විසදගන්න බැරි සෑහෙන ප්‍රශ්න ගොඩක් විසදනවා. අපිව ආරක්ශා කරන, පිහිට වෙන, ආශිර්වාද කරන අපිට වඩා ලොකු දෙයක් තියෙනවා කියන හැගීම නිර්මාණය කරලා දෙනවා. ඒක නිසා වැදගත් වෙන්නේ අන්න ඒ විශ්වාසය මිසක් ඇතුලේ තියෙන දේ නෙවෙයි."

එදිනම සවස නුවර ගමන නිමා වී ගෙදර පැමිනි මුත් මෙම සංවාදය මගේ සිතුවිලි තුළ බොහෝ කාලයක් ගත වන තෙක් හොල්මන් කරන්නට වීය. පසුකාලීනව අසන්නට ලැබුනු කතාවක් නිසා යලිත් ඉහත සංවාදය සිහිපත් කරවනු ලැබූයේ ඒදෙකෙහි පැවැති සමානකම නිසා ය. ‍

එම පසු කතාව 'ලියනාඩෝ ඩාවින්චිගේ මොනාලිසා චිත්‍රය' සම්භන්ධව ය.

1911 හේ අගෝස්තු 21වන දින ප්‍රංශයේ Louvre කෞතුකාරයේ තැන්පත් කර තිබුනු ලෝකප්‍රකට මොනාලිසා චිත්‍රය කිසිවෙකු විසින් සොරාගන්නා ලදි. විශාල ආන්දෝලනයකට තුඩු දුන් මෙම සිදුවීමෙන් පසු මොනාලිසා යලි සොයා ගැනීමට පොලීසිය අති විශාල පරිශ්‍රමය අවසානයේ සොරකමෙන් වසර 2කට පසු Vincenzo Peruggia නැමැත්තෙකු මොනාලිසා සිතුවම රහසිගත ලෙස විකිනීමට යාමේදී අන්‍අඩංගුවට ගනු ලබයි.

පසුව කළ සොයා බැලීම් වලින් හෙලිදරවු වන්නේ මොනාලිසා චිත්‍රය සොරකම් කෙරුනු සමයේ ඔහු Louvre කෞතුකාරයේ සේවකයෙකුව සිටි බවයි. අදාල සිද්ධිය සම්භන්ධයෙන් ලොව පුරා කතාබහට ලක් වූ ප්‍රවෘතිය මෙය වුවද එහි සැගවුනු සිදුවීම් හෙලිදරවු වන්නට පටන්ගන්නේ පසුකාලීනව ය.

‍ඊට අනුව Peruggia ට මොනාලිසා චිත්‍රය සොරකම් කිරීම සදහා කොන්ත්‍රාත්තුව බාර දෙනු ලබන්නේ Marqués Eduardo නම් කුප්‍රකට කලා කෘති ජාවාරම්කරුවෙකු විසිනි. ඔහු විසින් Peruggia හට පොරොන්දු වූ සම්පූර්ණ මුදලම සොරකමින් පසු ලබා දෙන ‍අතර චිත්‍රය රැගෙන යාමට වෙනත් දිනයක පැමිනෙන තෙක් එය ආරක්ශා කර ගන්නා ලෙස උපදෙස් ලබා දී පිටව යයි. එසේ වුවද Eduardo යලිත් කිසිදිනෙක මොනාලිසා චිත්‍රය රැගෙන යාමට එන්නේ නැත.

කලා කෘති ජාවාරම්කරුවෙකු ලෝකයේ වටිනාම චිත්‍රය ලෙස සැලකෙන මොනාලිසා සොරකම් කිරීමෙන් පසුවත් එය රැගෙන යාමට නොපැමිනෙන්නේ ඇයි? Eduardo විසින් මොනාලිසා චිත්‍රය සොරකම් කිරීමට ප්‍රථම ඇමෙරිකාවේ හා යුරෝපයේ වෙසෙන ධනවත් කලා කෘති රැස්කරන්නන් තනි තනිව හමුවී එම චිත්‍රය මිලදී ගැනීමට ඔවුන්ගේ ඇති කැමැත්ත විමසා සිටි අතර ඔවුන්ගෙන් 6 දෙනෙකු අති විශාල මුදලක් ගෙවා චිත්‍රය මිලදී ගැනීමට කැමැත්ත පල කරන ලදි. ඒ අනුව සූක්ශම ලෙස සකසනු ලැබූ මොනාලිසා චිත්‍රයේ ව්‍යාජ පිටපත් 6ක් නිර්මාණය කරන Eduardo, Louvre කෞතුකාරයෙන් චිත්‍රය සොරකම් කරන ලද බවට වන පුවත ප්‍රචාරය වීමත් සමග එම ව්‍යාජ පිටපත් 6 චිත්‍රය මිලදී ගැනීමට කැමැත්ත පල කළ ධනපතියන්ට විකුනා දමනු ලබයි. ඒ අනුව Eduardo ට අවශ්‍ය වූයේ ලොව විශිඨතම කලා කෘතියක් වන මොනාලිසා චිත්‍රය නොව එය සොරකම් කිරීම පිලිබද පුවත පමනි.

එමෙන්ම, තම ජීවිත වල අඩුව පුරවා ගැනීමට අති විශාල මිලක් ගෙවා අත් පත් කර ගත් ව්‍යාජය, සැබෑවක් බව තමන්ටම ඔප්පු කරවා ගැනීම සදහා ‍අවශ්‍ය වන්නේ තවත් එක් හිස් කමක් පමනි.
 
 
.
.
.
ප/ලි -

කසුන් චන්ද්‍රනාත් විසින් කාලයකට පෙර ලියූ සටහනකි.

Sunday, January 7, 2018

ආදරය, වෛරය, පළිගැනීම සහ අශිෂ්ඨත්වය


 
 
මගේ ළඟම මිතුරියක් ඇයගේ සැමියාගෙන් දික්කසාද වෙන්න තීරණය කරල තියෙන බව දැනගන්නට ලැබුනේ මීට මාසයකට විතර කලින්.

මේ මම සහ ඇය අතර දින කීපයකට කලින් සිදුවෙච්චි කතාබහක්,

"දැන් මොකද තත්වෙ? උඹ අවුලක් නැතුව හොඳින් ඉන්නව නේ?"

"ඔව් බං, ශේප් එකේ ඉන්නව. ඉක්මනටම මේ ප්‍රශ්නෙ විසඳගන්නයි මට ඕන. ලෝයර් හම්බෙලා විස්තර ටික කතා කරගත්තා. වැඩ ටික ලෑස්ති කරගත්තයින් පස්සෙ සතියකින් විතර ඩිවෝස් එක දානවා"

"හ්ම්.. ඒක හොඳයි.. කල් අරින්නැතුව ඉක්මනටම ඕක කරගන්න බලහං"

"මහේෂ්ගෙන් මාර කරදරයක් අනේ තියෙන්නෙ.. මගේ ෆෝන් එකට එකදිගට කෝල් ගන්නවයි මැසේජ් කරනවයි. එයාට සමාව දෙන්නලු. තව චාන්ස් එකක් දීලා බලන්නලු. මැසේජ් වල මට වඳින්නැති ටික විතරයි. මම ආන්සර් කරන්නෙත් නෑ, රිප්ලයි කරන්නෙත් නෑ. අපේ අම්මලටයි අක්කලටයි එකදිගට කෝල් කරනවලු. දැන් නම් වදයක් වෙලා තියෙන්නෙ"

"ඉතින් සිම් එක මාරු කරහංකො. ප්‍රශ්නෙ ඉවරයිනෙ."

"සිම් එක මාරු කරන එක නම් කරන්න පුලුවන්. ඒත් මම මාරු කරන්නෑ"

"ඇයි ඒ?"

"බෑ අනේ"

"මහේෂ්ව ෆේස් බුක් එකෙන් අයින් කලානෙ?"

"ඒත් නෑ"

"ඇයි අයින් නොකලෙ?"

"මට පෙන්නන්න ඕන ඌටයි උගේ එවුන්ටයි මම ඌ නැතුව හොඳින් ඉන්නව කියල. මම ගිය සතියෙ ගිය ට්‍රිප් එකේ ෆොටෝස් දැම්මා ඌට පේන්න. මම කොටට ඇඳන් ගියේ ට්‍රිප් එකම. මහේෂ් කැමති නෑනෙ මම කොටට අඳිනවට. මම ප්ලෑන් කරන් ඉන්නෙ ලබන මාසෙ බැංකොක් යන්න තව යාලුවො හතර දෙනෙක් එක්ක. ඒකෙ ෆොටෝසුත් දානවා ඕකට පේන්න"

"ඇයි එහෙම කරන්නෙ? මොකක්ද ඒකෙන් ඔයා බලාපොරොත්තු වෙන්නෙ?"

"මම කිව්වෙ.. මට ඕන ඌට රිද්දන්න?"

"ඇයි ඒ ඌට රිද්දන්නෙ? ඔයිට වඩා හොඳ නැද්ද ඌව අල්ලගෙන ඇවිත් අතපය ටික බැඳලා දාලා කට්ටකින් ඇනලා ඇනලා වදදීලා මැරුවනම්.. එතකොට ගොඩාක් රිදෙයිනෙ.. ඒකනෙ උඹට වෙන්න ඕන?"

"නෑ..... එහෙම නෙමේ.."

"උඹ ඌ උයපු කෑම කෑවෙ නැද්ද? ඌ එක්ක තුරුල් වෙලා නිදාගත්තෙ නැද්ද? එහෙම උඹත් එක්ක කාලයක් ජීවිතය බෙදාගත්ත මනුස්සයට රිද්දල උඹ බලාපොරොත්තු වෙන්නෙ මොන වගේ ආතල් එකක්ද? තරහ වෙන්න එපා මචන් කිව්වට. උඹ දැන් ඌ විඳවනව බලාගෙන උඹ පස්සෙ බල්ලෙක් වගේ එනව බලාගෙන ගන්නෙ මහ අමන ආතල් එකක්.."

"උඹ කියන්නෙ දැන් මං මොකක්ද කරන්න ඕන?"

"මම උඹට කරන්න ඕන දේ කියනව නෙමේ. උඹ බබෙක් නෙමේනෙ. මං කිව්වෙ උඹ දැන් කරන දේ ගැන මට හිතෙන දේ.. උඹ ඌව අත ඇරියා කිව්වට උඹ ඌව අත අරින්න හිතලවත් නෑ. උඹ තාම හිතන්නෙ ඌ ගැන. උඹ මේකප් දාගෙන සෙල්ෆි ගහන්නෙ ඌට පේන්න. ඒ ෆොටෝ ෆේස්බුක් දාන එක ගැන හිත හිත. උඹ ට්‍රිප් යන්නෙ ඌට රිද්දන්න. ඇඳුම් අඳින්නෙ ඌට රිද්දන්න. කොටින්ම උඹෙ ඔලුවෙ දවසම ඉන්නෙ ඌ. ඉතින් කොහොමද උඹ කියන්නෙ උඹ ඌව අත ඇරියා කියල?"

මගේ මිතුරිය තොල හපාගෙන ඇස් වල එකතු වෙමින් ඇති කඳුලු එළියට නොපෙන්වීමට මහත් උත්සාහයක් දරමින් සිටින බව දුටු මම කතාව නැවතුවෙමි.

මේ මගේ මිතුරිය ගැන කතාවක් නොවේ. මේ අතිමහත් බහුතරයක් ආදරවන්තයන්ගේ කතාවයි.

යම් දිනකදී අදහස්, සිතුම් පැතුම් සහ අවශ්‍යතා වල නොගැලපීම් නිසා ඔබේ ප්‍රියයාට සමුදීමට තීරණය කිරීම වරදක් නොවේ. දෙදෙනාගෙන් කෙනෙක්ට එසේ දැනෙනවා නම් වෙන්වීමට තීරණය කිරීම දෙදෙනාගේම අනාගතය වෙනුවෙන් ගත හැකි සුදුසුම තීරණය වන අවස්ථා බොහෝ ඇත. මෙවන් සිදුවීම් වලින් ඉස්මතු වන අවලස්සනම දෙය වන්නේ වෙන් වීම නොවේ, වෙන් වෙන ආකාරයයි.

තමන්ගේ ජීවිතයේ එක් යුගයක තමන්ගේ සෙවනැල්ල මෙන් හිඳ.. තමන් හා සමඟ සතුට, කඳුල බෙදාගෙන.. තමන්ගේ දිවියට අරුතක් එක් කරමින් මුළු ලොවටම වඩා තමන්ගේ ළඟින්ම සිටි තමන්ගේ ප්‍රියයාගෙන් කුමක් හෝ අවාසනාවන්ත හේතු සමුදායක් මුල් කරගෙන වෙන්වී යාමට තීරණය කිරීමෙන් පසු,

ඔහුගේ/ඇයගේ කඳුළු වලින් තමන්ට සතුටක් දැනෙනවා නම්..ඔහුගේ/ඇයගේ වේදනාවෙන් තමන්ට තෘප්තියක් ලැබෙනවා නම්..

තමන් කාලයක් විඳි ඒ අත්දැකීම් වල, හසරැල් වල, හෙලූ කඳුළු වල වටිනාකමක් තිබේද? කාලයක් ආදරය කල දෙදෙනෙක් වෙන් වූ පමණින් ඒ අත්දැකීම් වල වටිනාකම අලු දූලි වී නැතිවී යායුතුද?

මෙවන් මිනිසුන් තම ජීවිත පුරා පවත්වාගන්නා මානුෂීය සබඳතා වල තේරුම මොකක්ද?

බොහෝ ආදරවන්තයන් ජීවත් වෙන්නේ තමාගේ ප්‍රියයාට තමන් සතු දේපලකට මෙන් සලකමින් ඒ මනුෂ්‍යයාව අයිතිකරගෙන ඔහුව/ඇයව පාලනය කිරීමේ අරගලයකය. ඔහුව/ඇයව තමන්ට රිසිසේ වෙනස් කරගන්නට දතකමින් ඔහු/ඇය තුළින් තමන්ගේ මනසේ සිටින කොහේවත් නැති මනුස්සයෙක් නිර්මාණය කර ගැනීමේ අරගලයකය. තමන්ගේ සිතුම් පැතුම් අනුව නැටවෙන පඹයෙක් නිර්මාණය කර ගැනීමේ අරගලයකය. ඒ මනුෂ්‍යයා තුළින් තමන්ගේ අණට කීකරු වන බලු පැටියෙක් තනා ගැනීමේ අරගලයකය.

බොහෝ දෙනා ආදරය කරනවා කියා හඳුන්වන්නේම ඒ අරගලයයි. එකිනෙකාව පාගා ගැනීමේ සටනයි.

දෙපාර්ශවයෙන්ම සිදුවන ඔය අරගලය දෙදෙනාම හෝ එක් අයෙක් පරාජය වූ පසු තමන්ගේ ප්‍රියයාව ලෝකයේ සිටිනා පහත්ම මනුෂ්‍යයෙක් සේ සලකා ඔහුව තමන් විනිශ්චකාරයා වන උසාවියක චූදිතයා බවට පත් කොට ඔහුගෙන් පළිගැනීමේ ආශාවෙන් ඔහුව වේදනාවට පත් කිරමින් තිරිසනුන් සේ හැසිරීම 'වෙන් වීම' ලෙස හඳුන්වයි.

ඔය අන්ත දෙක අතර මැද තැනක ඇති මානුෂීය සබඳතාවයක් යනු ඔවුනට නොවැටහෙන අමුතු මොකක්දෝ එකකි.

තමන්ගේ නොගැලපීම් තේරුම්ගෙන, වෛර කිරීම වෙනුවට දරා ගැනීම තුළින් මනුස්සයන් සේ එකිනෙකාට සමුදීමටවත් නොහැකි නම් එවන් ආදරයක ඇති වටිනාකම කුමක්ද?

තමන්ගේ ප්‍රියයාට තමන්ගෙන් තොර පැවැත්මක් ඇති ස්වාධීන මනුස්සයෙකුට සේ සලකන්න. සමුදීමේදී තමන්ගේ ප්‍රියයා හා සමඟ ගෞරවාන්විත මනුස්සයෙකු සේ කටයුතු කරන්න.

තමන් හා සමඟ කාලාන්තරයක් එක්ව හිඳ තමන්ගේ ජීවිතයට අර්ථයක් එක් කල මනුස්සයෙකුට, මනුස්සයෙකු සේ සමුදීමට තරම් පරිනත බවක් නැති මිනිසුන් අතර ඇතිවන මානුෂීය සබඳතා තේරුම් ගැනීමට එවන් තිරිසන් ඇස් වලින් ලෝකය දකින තිරිසනකු හැර මානුෂීය ඇසින් ලෝකය දකින මනුස්සයෙකුට නම් නොහැකිය.

මගේ මිතුරියව ඊයේ දිනයේදී මට නැවත හමුවිය.

ඇය තවමත් ඇය අතහැරියා යයි කියන ඇයගේ සැමියාව ෆේස් බුක් ගිණුමෙන් ඉවත් කොට නැත.

මේ මගේ මිතුරිය ගැන කතාවක් නොවේ. මේ අතිමහත් බහුතරයක් ආදරවන්තයන්ගේ කතාවයි.

Friday, January 5, 2018

කංකුණාපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි

සමාන්තර විශ්වයක එක්තරා රටක් තියෙනවලු. ඒ රටේ තියෙනවලු අවුරුදු ගාණක් තිස්සේ ඒ රටේ ජීවත් වුන ජනකොටසක් තුල මුල් බැසගත්ත දහමක්. මේක එසේ මෙසේ දහමක් නෙමේලු. ශාක පැළටි දිහා අවිහිංසාවෙන් බලන්න උගන්වන පාරිසරික දහමක්ලු. ඒ රටේ ජීවත් වෙච්චි මිනිස්සු ඒ දහමට කියන්නේ

"කංකුන් දහම".. කියලලු

මේ දහමේ ඉගැන්වෙන විදියට කංකුන් වැවීම සහ කංකුන් කැපීම කියන්නේ මනුස්සයෙක්ට කරන්න පුලුවන් නරකම වැඩක්ලු. කොටින්ම මැරුනයින් පස්සේ මහා දුක් වේදනාවන් වලට මූණපාන්න සිද්ධ වෙන විදියේ බරපතල වැරැද්දක්ලු.

දැන් සීන් එක එහෙම වුනාට සමාන්තර විශ්වයක තියෙන මේ රටේ බොහෝමයක් මිනිස්සු කංකුන් කනවලු. උයලා කනවලු, තෙල්දාලා කනවලු, උදේට කනවලු, දවල්ට කනවලු, රෑට කනවලු, අරක්කු බොද්දි බයිට් එකට ගන්නවලු (අර අහවල් දහමට අනුව බොන එකත් නරක දෙයක් වුනාට මෙතනට අදාල නැති නිසා ඒ කාරණාව මෙන්ෂන් කරන්නෙ නෑ).. කොටින්ම කංකුන් නොකන ජීවිතයක් ගැන හිතන්නවත් බැරි තරමටම කංකුන් කනවලු. ඒ මිනිස්සු ඒ තරම්ම කංකුන් රසට වහ වැටිලාලු ඉන්නෙ. කංකුන් පෝෂ්‍යයදායි ආහාරයක් නිසා කංකුන් නැතුව බෑ බෑ කිය කිය කංකුන්ම කනවලු.

ඔය මිනිස්සු කංකුන් කන අතරේ අර කලින් කිව්ව පාරිසරික දහමෙන් ඔලුව කුරුවල් කරගත්තෙ නැති මිනිස්සු අහනවලු මෙහෙම ප්‍රශ්නයක්..

"යකුනේ, තොපි කංකුන් වවන්න එපා.. කපන්න එපා.. ඒක හරි නරකායි කිය කිය කංකුන්මනේ කන්නේ? මොකක්ද ඒකෙ තේරුම අපිට තේරෙන්නෑනේ.. කංකුන් නොකා හිටියොත් කංකුන් වවන උන්, කපන උන් කංකුන් වවන්නේ කපන්නේ නෑනේ"..කියල.

ඔහොම ඇහැව්වාම අර පාරිසරික දහමෙන් ඔලුව කුරුවල් කරගත්තු සෙට් එක කියනවලු

"අයියෝ ඕකවත් තේරෙන්නැද්ද අනේ..? අපි කංකුන් කෑවට අපි කන්නේ කඩේ තියෙන ඒවානේ.. අපි වෙනුවෙන් වැව්ව කංකුන්වත් අපි වෙනුවෙන් කැපුව කංකුන්වත් නෙමේ නේ.. උන් වවන නිසානේ අපි කන්නේ..ඔය දැනටමත් වවල, කපල වෙලඳපොලේ තට්ටුවල තියෙන කංකුන් ඉතින් දැනටමත් වගා කරල ඉවරයිනේ, ඉතින් අපි ඕක ගත්ත නොගත්ත කියල අලුතින් ඒ කංකු වලට වෙන්න දෙයන් නෑනෙ.. මා වෙනුවෙන් නොකැපූ නොවැවූ කංකුන් කෑවට කමක් නෑ කියලනේ අනේ තියෙන්නේ.." කියල.

දැන් මේක මාරම හරුපයක් කියල ඔය පාරිසරික සෙට් එකට නොතේරුනාට මොළේ කළඳක් හරි තියෙන ඕනම ගොනෙක්ට තේරෙනවලු. සරලවම කියනව නම්..

මිනිස්සු කංකුං පරිබෝජනය කරන නිසානෙ කංකුං වලට මාකට් එකක් හැදිලා ඉල්ලුමට සරිලන සැපයුමක් හැදිල තියෙන්නෙ. ගොවියා කංකුං වවන්නෙ ඒවා විකුනන්න පුලුවන් බව දන්න නිසානෙ. කංකුං පරිබෝජනය කරන කට්ටිය තව වැඩි උනොත්, තව තව ගොවියෝ වැඩි වැඩියෙන් කංකුං වවන්න පෙලඹෙනවානෙ. කංකුං පරිබෝජනය කරන කට්ටිය අඩු උනොත්, විකුනාගන්න අමාරු නිසා ගොවීන් කංකුං වවන එක අඩු කරනවානෙ. ඒ කියන්නෙ කංකුං මාකට් එක පාලණය කිරීම සම්පූර්නයෙන් තියෙන්නෙ පාරිභෝගිකයාගෙ අතේනෙ. එක එක පුද්ගලයා හරි, ටික ටික කංකුං පරිබෝජනයෙන් ඉවත් වෙනවා නම්, ටික ටික කංකුං වැවීම අඩුවෙනවානෙ.

කවුරුවත් කංකුං මාලුවක් කන්න හිතුනාම කංකුං ගොවියා මුනගැහිල කංකුන් ඕඩරයක් දාලා කංකුන් වැවෙනකන් ඉන්නෙ නෑනෙ. කඩේට ගිහිල්ලා කඩේ ඒ වෙලාවෙ තියෙන "දැනටමත් වවල, කපල" තියෙන ඒවා තමයිනෙ ගන්නෙ. එහෙම ගන්න අයගෙන් තමයි කංකුං මාකට් එක හැදෙන්නෙ.

ඕකනේ කතාව.

දැන් සීන්ස් එක එහෙම වුනාට ඔය රටේ මිනිස්සුන්ට තේරෙන්නෑලු කංකුං වැවීම කියන්නෙ ගොවියෙකුට කරන්න පුලුවන් නරකම වැඩක් නම්; කවුරු උනත් කංකුං වැවීම අවුල් කියල හිතනවා නම්; ආර්ථික හේතු නිසා මිනිසුන් කංකුං වැවීමට පොලඹවන කංකුං මාකට් එක නැති කරන්න, හෝ අඩු කරන්න ඔබට කරන්න පුලුවන් සුලුම දේ තමන්ගේ පෞද්ගලික කංකුං පරිබෝජනය නැවැත්වීම හෝ අඩු කිරීම කියල. ඒ සුලුම දේ වත් නොකර, කංකුං වැවීම නිසා පරිසරයට වෙන හානි, හා ගොවීන් කංකුං වැවීම කොච්චර වැරදි වැඩක්ද, වගේ පාරිසරික ටෝක් ඉෂු කිරීම පට්ටම මෝල් ගොන් විහිලුවක් කියල.

ඔය සරල හේතු-පල සම්බන්ධය තේරුම් ගන්න බැරුව ඉන්න සමාන්තර විශ්වයක තියෙන ඒ රටේ මිනිස්සු කලින් කිව්ව අර පාරිසරික දහමේම තියෙන මාරම ගැඹුරු හේතු-පල සීන් ගැන දාර ටෝක් ඉෂූ කරනවලු. ඒවායේ ගැඹුර ගැන සෙට් වෙලා සාකච්ඡා කරනවලු. ඒ වගේ ගැඹුරු සීන්ස් තියෙන දහමක් තමාට තියෙන එක ගැන මාරම ප්‍රවුඩ් වෙනවලු.

ඔය නරිනාටක බලන් ඉන්න ඔය රටේම ඉන්න මොළේ කුරුවල් නොවිච්චි මිනිස්සුන්ට මේ සීන්ස් දැකලා පශ්චාත්භාගයෙන්ම හොඳටම හිනාලු.

පෝස්ට් එක ඉවරයිලු.
කියෙව්වට ස්තූතියිලු.
.
.
.
.
.
- මුල් අදහස වන් ඇන්ඩ් ඔන්ලි Ritigala Jayasena ගේය. අදහසේ සිරා බව නිසාම එහෙන් මෙහෙන් එඩිට් පාරක් දමා මගේ වගේ පළකලෙමි.
 
 

Tuesday, January 2, 2018

සිංහල බෞද්ධ බුර්කා


අරාබි ජාතික ගැහැණු බුර්කා/නිකාබ් ඇඳගෙන කට්ට අව්වේ මූදෙ බැහැලා නානවා දැක්කම සිංහලබෞද්ධ සංස්කෘතියේ හැදිච්ච බොහෝමයක් පින්වත්තු...

"අනේ මොන කරුමයක්ද බං මේ මුන් ගෙවන්නේ? මොන ජීවිතද මේ?"

"පිරිමින්ට හොඳයි ඕන විදියකට යන්න.. ගෑණුන්ට තමා නරක"

"පුදුම අසාධාරණයක්නෙ මේක. පව් ඒ ගෑණු"

"මෙච්චර අලුත් ලෝකයක් මෙහෙම ගෑණුන්ට වෙනස් කම් කරනවද? ගොන් යක්කු"

"හිතේ වනචරකමනෙ.. ඒකනෙ ඔක්කොටම මුල. ඒකනෙ බලෙන් ගෑණුන්ගෙ ඇඟල්වල් ඔහොම වහන්නෙ"...

"අතීතයේ ගොන් මගුල් ඔලුවෙ තියාගෙන තාම ජීවත් වෙන ගෝත්‍රික හැත්ත"

......වගේ ටෝක් ඉෂූ කරනවා දැකල ඇති. (මං නං දැකල තියෙනවා)

මං මේ කල්පනා කලේ,

එහෙම ටෝක් ඉෂූ කරන ගමන් ඔය කිව්ව සිංහලබෞද්ධ සංස්කෘතියේ ගෑණුම වැලමිට ළඟට දිග අත් තියෙන ටී ෂර්ට්,දණිස් ළඟටම දිග ත්‍රී ක්වාටර් ඩෙනිම් කලිසම්, සායවල් ඇඳගෙන ගඟේ, මූදෙ, පූල් වල එහෙම බැහැලා නාද්දි

යුරෝපා රටවල මිනිස්සු ඒ අය දිහා බලලා මොනවා හිතනවා ඇද්ද කියලා...???
 





 

Followers

Google+ Followers