Thursday, May 5, 2016

ඔයා මට ඇත්තටම ආදරෙයිද?


“ඔයා මට ඇත්තටම ආදරෙයිද?”

ඇය මගෙන් අහනවා. ඇය බලාපොරොත්තු වෙන පිළිතුර මම දන්න නිසා ඒ පිළිතුරෙන් මම ඇයව සනසනවා

“ඔව්, මම ඔයාට ඇත්තටම ආදරෙයි”

ඇය මඳ සිනහවක් නඟමින් මට තුරුළු වෙනවා.

මම ඇයට ආදරෙයි. ඇය ගැන මගේ හිතේ තියෙන හැඟීමට ආදරය කියල කියන්න මම කැමතියි.

ඒත්, මොකක්ද මේ ඇත්තම ආදරය?

පොහොසත් පවුලක තරුණියක් තමාගේ විවාහක සැමියා ඉඳිද්දි අහම්බෙන් හමුවෙන දුප්පත් කොල්ලෙක් එක්ක ආදරයෙන් වෙළෙනවා. ඇයගේ පොහොසත් සැමියා නොදුටු ඇයගේ ජීවිතයේ තිබුන ලොකු හිඩසක් ඒ දුප්පත් තරුණයා පුරවනවා. ඇය තමාගේ නීත්‍යානුකූල සැමියාට පිටුපාලා ඇයගේ ජීවිතය, ආත්මය ඔහුට පූජා කරනවා.

ඒ තරුණියගේ කතාව,

දුප්පත් තරුණයෙක්ට හමුවෙනවා තරුණියක්ව. ඔහු දැනගන්නවා ඇය සිත් තැවුලෙන් ඉන්න බව. ඒ සිත්තැවුලට ඔහු මොහොතකදී සුවයක් ලබාදෙනවා. තාවකාලිකව වුනත්, අවංකවම. පසුව ඔහු දැනගන්නවා ඇය විවාහපත් බිරිඳක් බව. ඇයට ආදර බර සැමියෙක් සිටිනා බව. සහ, ඇයගේ සැමියා තරුණ ධනවතෙක් බව. ඒත් ඔහු ඒක ඇය ගැන ඔහු තුළ ඇතිවන ආදරයට බාධාවක් කරගන්නේ නෑ. ඔහු මොහොතින් මොහොත ඇයත් සමඟ ආදරයෙන් වෙළෙනවා.

ඒ තරුණයාගේ කතාව.

ඒ තරුණයා සහ තරුණිය අතර ඇතිවෙන මානුෂීය බැඳීම ඇත්තම ආදරයද? අපේ ඔලුවේ නිර්මාණය වෙලා තියෙන සැබෑ ආදරය කියන ආකෘතියට ඔවුන්ගේ සබඳතාවය පෑහෙයි ද?

බොහෝ වෙලාවට ඔය වගේ ජීවිත වලට අපි අලවන්නේ ‘සැබෑ පෙම්වතුන්’ වගේ ලේබලයක් නෙමේ. ඒ වෙනුවට ‘වනචරකම’, ‘සල්ලි වලට තියෙන කෑදරකම’ වගේ ලේබලයක් අලවයි. නැත්නම් ‘වේසියෙක්’, ‘සල්ලාලයෙක්’, ‘අවස්ථාවාදියෙක්’ වගේ ලේබල වලින් අපි ඔවුන්ට දමල ගහයි.

මොකද, අපි හැම කෙනාගෙම ඔලු අස්සේ තියෙනව කවුරු හරි විසින් මවලා දීලා අපේ ඔලුවල තැන්පත් කරපු සැබෑ ආදරය කියල සංකල්පයක්.

අපි කරන්නේ අපේ ඔලුවේ තියෙන මේ සැබෑ ආදරය කියන ආකෘතිය හැම තැනම හොයන එක. අපි එකිනෙකා අත්දකින ආදරය, ජීවිතයේදී අපි අනික් මිනිස්සුන් තුළින් දකින ආදරය, මේ සැබෑ ආදරය කියන සංකල්පයත් එක්ක සසඳලා බලන එක.

ඒ අනුවයි ඒ තරුණයාගේ සහ තරුණියගේ ආදරයට කවදාවත් අපි සැබෑ ආදරය කියන්නේ නැත්තේ. මොකද ඔවුන්ගේ ආදරය, අපි දකින ආදරයේ ආකෘතියට වඩා සෑහෙන දුරස් නිසා.

ඒත්, අපි මහපොළවෙදි ප්‍රතික්ෂේප කරන ඒ මානුෂීය සම්බන්ධය අපි සිනමාවේදී ආදරයෙන් වැළඳගත්තා.

ඔය කිව්ව තරුණයා සහ තරුණිය සිනමාවේදී අපට හමුවුන දෙදෙනෙක්. එතනදි ලෝකයම ඔවුන්ගේ ආදරය දෑත් දිගුකරල පිළිගත්තා. ඔවුන් වෙනුවෙන් කඳුළු සැලුවා.

සිනමා තිරයේදී අපට හමුවුන ඒ තරුණයාගේ නම ජැක්.. තරුණියගේ නම රෝස්..



සිනමා තිරයක දිග හැරුන ඔවුන්ගේ ආදරයට බොහෝ දෙනා ආදරය කලත් මහ පොළවේදී ඒ ආදරය “සැබෑ ආදරය” කියලා අපි හිතන් ඉන්න සංකල්පය ළඟින්වත් තියයිද? අපි ආදරය කියන මිනිස් හැඟීමම කොච්චර සීමා දාලා, කොන්දේසි දාලා හිර කරලද?

අපි කිසිම වෙලාවක, ආදරයෙන් සැනසෙන්න..තෘප්තිමත් වෙන්න කැමති නෑ. අපිට ආදරය මදි.

ඒ හින්දා අපි ආදරයට කොන්දේසි දාලා, සීමා මායිම් දාලා, කපලා, කොටලා, මොඩිෆයි කරලා හදනවා ආකෘතියක්. අපි ඒකට අලවනවා ලේබලයක්,

සැබෑ ආදරය !

ආදරය ඉස්සරහින් “සැබෑ” කියල වචනයක් අපි තියන්නේ ඇයි?

ආදරයට නිකම්ම නිකන් ආදරය වෙන්න බැයිද?

හැම දේකම කොලිටියක් හොයන අපි ආදරයෙත් කොලිටියක් හොයනවා

ආදරය කියන හැඟීමට අපි කැමති අකමැති විදියට අර්ථ දැක්වීම් දීලා ඒ හැඟීම සින්නක්කරව ලියා ගන්න හදනවා. ඒක අයිතිකරගන්න හදනවා. ඒකේ හිමි, අහිමිකරුවන් තීරණය කරන්න හදනවා

“මල්සරා හී විදින්නේ ප්‍රේමවන්තයන්ට විතරලු
වනචරයන්ට විදින්නේ නෑලු”

ඔය කොහේදිද මංදා කණට වැටුන කථාවක්,

ඒ කතාවට අනුව ප්‍රේමවන්තයන්ට වනචරයන් වෙන්න බෑ, වනචරයන්ට ප්‍රේමවන්තයින් වෙන්න බෑ. වනචරයෙක් වුනොත් ඔහු ප්‍රේමවන්තයෙක් නෙමේ. ඒකයි අපි ප්‍රේමවන්තයාට, හදලා දීලා තියෙන රාමුව.

සමහරු සැබෑ ආදරය කියන සංකල්පය කොච්ච්ර ඔවුන්ගෙන්ම ඈත් කරගන්නවද කියනව නම්, ඒ තුල ඔවුන් රාගයටත් ඉඩක් දෙන්නේ නෑ.

රාගය විතරක් නෙමේ, වෛරය, ඉරිසියාව, කෝපය, සෙනෙහස, ආත්මාර්ථය.. මේ ඔක්කෝම හැඟීම් වල එකතුවක් වෙච්චි ආදරය පරම පිවිතුරු ෆැන්ටසියක් එක්ක සසඳන්න යන එකම උමතුවක් නෙමේද?

සැබෑ ආදරය කියන පරම පිවිතුරු සංකල්පය පස්සේ මිනිස්සු දුවනවා, හැම දෙයක්ම පස්සේ දුවන විදියටම. ඔවුන් බයයි තමා හොයන, දැන් තමාට ලැබෙන, තමා සැබෑ ආදරය කියලා හිතාගෙන ඉන්න ඒ ‘ආදරය’ සැබෑම ආදරය නෙමෙයිද කියල.

“ඔයා මට ඇත්තටම ආදරෙයිද?”

ඇය මගෙන් අහනවා,

“දන්නෑ. මොකද, මම දන්නෑ ඇත්තම ආදරය කියන්නේ මොකක්ද කියල”
ඒකයි මගේ උත්තරය. ඒත්,

සැබෑ ආදරය කියන සංකල්පය විසින් මට අවංකවෙන්න තියෙන අයිතිය නැති කරලා.

ඒ නිසාම සැබෑවට ආදරේද කියන ප්‍රශ්නයට මට දෙන්න තියෙන්නේ බොරු උත්තරයක්,

“ඔව්, මම ඇත්තටම ඔයාට ආදරෙයි”

6 comments:

  1. // පසුව ඔහු දැනගන්නවා ඇය විවාහපත් බිරිඳක් බව. ඇයට ආදර බර සැමියෙක් සිටිනා බව. //

    මා දන්නා පමණින් නම්, රෝස්ට සැමියෙකු සිටියේ නැහැ. ඇය විවාහ කරගැනීමේ බලාපොරොත්තුවෙන් නම් ධනවත් පුද්ගලයෙකු සිටියා.

    ReplyDelete
    Replies
    1. එහෙනම් විවාහ ගිවිසගෙන (Engage) වෙන්න ඇති. මොනව වුනත් ඒ කාරණය මගේ පෝස්ට් එකෙන් දෙන අදහසට එතරම් බලපාන එකක් නැහැ. නිවැරදි කිරීමට ස්තූතියි.

      Delete
    2. පසුව ඔහු දැනගන්නවා ඇය විවාහපත් බිරිඳක් බව. ඇයට ආදර බර සැමියෙක් සිටිනා බව. හරි එ සිද්දිය අමටක කරමු,ඇස් පෙන්නැති කොල්ලෙක්, ඇස් පෙනෙන කෙල්ලෙක් හරිම කැමැත්තෙන් කසද බදිනවා..කෙල්ලට මොන වගෙ කතාද කියන්නෙ.එකෙම අනිත් පැත්ත ගත්තම එත් එහෙමයි.අදරය කියලා පිලිගන්න සුදානම් කිදෙනාද

      Delete
  2. හ්ම්................

    ReplyDelete
  3. පරම, පිවිතුරු, කැරට් විසිහතරේ ආදරේ රඳාපවතින ප්‍රභලතම මුක්කුවක් තමයි සෙක්ස් නැත්නම් රාගය කියන්නේ. ඔය දෙකට වෙන් වෙන්ව පවතින්න බැහැ බන්. ඒත් සමහර අතෙයි, පොතෙයි ඉන්න ප්‍රේමවන්තයෝ මේ කතාව පිලිගන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. රාගයෙන් තොර ප්‍රේමයක් කොහෙද බං. අපි කොච්චර ළඟින් යාලුවො ආශ්‍රය කලත් අපි ආකර්ශනය වෙන්නෙ (ආදරෙන් වෙළෙන්නෙ) විරුද්ධ ලිංගිකයන් එක්ක(සමලිංගික අය ගැන නෙමේ මේ කියන්නෙ). විරුද්ධ ලිංගිකයෙක් ගැනම ආකර්ශනයක් ඇති වෙද්දි ඒ ආකර්ශනය තුළ ලිංගික ආකර්ශනයක් තියෙනවමයි මචන්

      Delete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...