Thursday, August 24, 2017

හීන දහයක්

ජීවිතයක් ජීවත් කරවන්නේ බලාපොරොත්තු නම් ජීවිතයකට සුන්දරත්වයක් එකතු කරන්නේ හීන කියලයි මට හිතෙන්නෙ. කවදා හෝ සැබෑ විය හැකි හීන වගේම කිසිදා සැබෑ නොවන බව දන්නා හීනත් අපි හැමෝටම තියෙනවා. මේ මගේ මිතුරකුගේ ඉල්ලීමක් ඉටු කිරීමේ අරමුණින් ලියවුන මගේ හිතේ තියෙන මගේ "හීන දහය" 

1. ටූපක් ශකූර් ගේ නව ගීත ඇල්බමයක් ඇසීම. (ටූපක් මැරෙන්න කලින් හදපු ඒත් ඒ වෙනකොට එළියට ආවේ නැති සින්දු වලින් අලුත් ගීත ඇල්බම රාශියක් පස්සෙ කාලෙ නිකුත් කෙරුනා. මම මේ කියන්නේ එහෙම එකක් ගැන නෙමේ. ටූපක්ගේ අලුත්ම නිර්මාණ ඇතුලත් ගීත එකතුවක් ගැන)

2. ලංකාව වටේ ට්‍රැවල් කිරීම. (වටේ කිව්වට මැද හරියත් ඇතුළුව)

3. මාස්ටර්පීස් එකක් ලෙස සැලකිය හැකි Batman මූවි එකක් කවදා හෝ නැරඹීමට ලැබීම (ප්ලීස් මොකෙක් හරි හදපන්කො එහෙම එකක්)

4. නැවත ලිවීම ආරම්භ කල ටැබූ සබ්ජෙක්ට්ස්ගේ අප්ඩේට් වන අලුත් බ්ලොගය කියවන්නට ලැබීම.(මේක සැබෑ වීමට වඩා ටූපක් මරණින් නැගිට ඇවිත් කරන අලුත් ගීත ඇල්බමය ඇසීමට තියෙන ආසාව සැබෑ වීමට වැඩි ඉඩක් තියෙන බව හැබෑව ඉතින්)

5. ජේසුස් වහන්සේ සහ බුදුන්වහන්සේ නැමති නිර්මාණය කරන ලද චරිත වලට පාදක වූ මුල් පුද්ගලයන් දෙදෙනා මුණගැසී ඔවුන් සමඟ සතුටු සාමිචියේ යෙදීම, කතාබහ කිරීම.(බාසාව තේරුම් ගන්නේ කොහොමද, ටයිම් ට්‍රැවලර් කෙනෙක් වෙනවද අරව මේවා අහන්න ඔට්ටු නෑ හරිය. මේවා හීනනේ)

6. (මට අනුව) ගරු කටයුතු පුද්ගලයෙක් ලංකාවේ ජනාධිපති වෙනවා දැකීම (විධායක ජනාධිපති නම් මරු)

7. මාලන් සමරවික්‍රමව සැබෑ ජීවිතේ මිතුරෙක් විදියට ළඟින් ආශ්‍රය කරන්නට ලැබීම

8. මම පිහියක් අරගෙන පපුවට ඇන්න කෙල්ලගේ ඒ තුවාලය සුවවී ඇය සතුටින් සිටිනවා දැකීම (දැනටමත් සතුටින්ද දන්නෑ. කන්ටැක්ට්ස් නෑනෙ)

9. පොඩි වත්තක් තියෙන පොඩි ගෙදරක සහකාරියක් සමඟ හෝ තනියම මියයනතෙක් ජීවත් වීමට ලැබීම

10. මගේ එදිනෙදා කරතව්‍යන් මටම කරගන්න නොහැකිවන දිනයක් උදාවීමට පෙර ස්වභාවික හේතූන් නිසා මියයාමට ලැබීම. (නින්දෙදි වගේ නම් මරු)

ඔන්න ඕවයි මගේ හීන :)

 ප/ලි - වල්පල් කියවන පාඨක ඔබටත් 'හීන' තියේ නම් කමෙන්ට් තීරුවේ ඒවා බෙදාගන්න ඉඩ තියෙනවා.


10 comments:

  1. 1 - ටූපක්ට කැමතියි. ඒත් මේ හීනේ මගේ ලිස්ට් එකේ නෑ.

    2 - මගෙත් හීනයක්.

    3 - ඇයි The Dark Knight? මට නම් අදටත් හොඳම Batman මූවි එක.

    4 - මේක වෙන්නේ නෑ බන්. මගෙත් හීනයක්.

    5,6 - මගෙත් හීන.

    7 - මේ කවුද කියලා දන්නේ නැති නිසා අදහසක් නෑ.

    8 - අල්ලලා දාපන්. අතීතයනේ!

    9 - උඹ තවම තනිකඩයෙක් නම්, ඉක්මනින් සැබෑ වේවා කියලා පතනවා.

    10 - මම හිතන්නේ මට තියෙන ලොකුම හීනේ මේක.

    තියෙන තවත් හීනයක් තමයි මිනිසුන් කාලය හරහා ගමන් කරනවා දැකීම සහ aliens ලා (හොඳ එවුන්) ඇස් දෙකෙන් දැකීම. ලැම්බෝගිනියක් පැදීම, international space station එක නැරඹීම වගේ ඒවත් තියෙනවා. සමහර ඒවා වල්පල් වල ලියන්න බැරි තරමට තරමට වල් :D

    ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. The Dark Knight මරු. මාස්ටර්පීස් එකක් කියලා කියන්න පුළුවන් තරමටම මරු. ඒත් ඉතින් තව එකක් බලන්න ආසයි.

      මාලන් සමරවික්‍රම කියන්නේ මචන් ඉස්සර "හැන්දෑව" බ්ලොග් එක ලිව්ව පොර. පස්සේ බුකිය හරහා හඳුනගෙන සෑහෙන කාලයක් පැවතුන "අන්තර්ජාල මිත්‍රකමක්" ගොඬනැගුනා. කාලයක් තිස්සේ මගේ හොඳම යාලුවා වෙලා හිටියා. ජීවිතයේ ආශ්‍රය කරපු හොඳම කොල්ලෙක්. නමුත් හැබෑවට හමුවෙලා නැහැ, දැකලත් නැහැ, ඇත්තම පුද්ගලයා කවුද කියලා අද වෙනතුරුත් දන්නේ නැහැ.

      වල් හීන නම් කාටද නැත්තේ ;)

      Delete
  2. දැකිය යුත්තේ තමන්ට සැබෑකරගත හැකි හීන පමණකි. ඒ කියන්නේ මෙතැනින් අංක 2 සහ 9 පමණයි.

    අනිත් ඒවා ගැන බයිට් නාස්ති කිරීමත් පවක්!

    ReplyDelete
    Replies
    1. හීන සහ බලාපොරොත්තු කියන්නේ දෙකක් නේද? මට අනුව නම් හීන කියල කිව්වම එතනම තියෙනවා සැබෑ නොවුනාට අවුලක් නැහැ වගේ සංකල්පයක්.

      කෙනෙක් දීපිකා පාදුකෝන් තමාගේ පෙම්වතිය වෙච්ච මොහොතක තනිවීමක් ගැන හීන දකිද්දි තවත් කෙනෙක් ලැම්බෝගිනියක රේස් එකක් පදින මොහොතක් ගැන හීනයක් දකිනවා (ඔය උඩ උදිත කියල තියෙනවා වගේ).

      ඒ වගේ දේවල් සැබෑ නොවුනත් මොකද. හීනයි සැබැවයි අතර වෙනස වෙන් කරගන්න පුළුවන්කම තියෙන තාක් ගැටළුවක් නැහැ.

      පුද්ගලිකව මම දකින්නේ එහෙමයි.

      හැබැයි මට අනුව බලාපොරොත්තුව නම් ටිකක් සීරියස් කතාවක්.

      බලාපොරොත්තුව තමයි අපිව ජීවත් කරවන්නේ. අපිට බොහෝ වෙලාවට ජීවත් වෙන්න අරමුණක් ලබා දෙන්නේ.

      ලෝකයේ බිහිවුන විශිෂ්ඨම චිත්‍රපටයක් විදියට සැලකෙන shawshank redemption චිත්‍රපටයේ ඇන්ඩිගේ චරිතය බලාපොරොත්තුව ගැන මෙහෙම කියනවා.

      "Remember, hope is a good thing, maybe the best of things, and no good thing ever dies."

      එක පැත්තකින් එහෙම අදහසක් කියද්දි Mad Max චිත්‍රපටයේ මැක්ස් ගේ චරිතය බලාපොරොත්තුව ගැන කියන්නේ මෙහෙම අදහසක්

      "You know, hope is a mistake. If you can't fix what's broken, you'll, uh... you'll go insane"

      ඔය කතා දෙකේම ඇත්තක් තියෙනවා මට නම්. බලාපොරොත්තුව මනුස්සයෙක්ට අරමුණක් ලබා දෙනවා වගේම තමා කිසිදා ඉටු නොවන යමක් ගැන තියෙන දැඩි බලාපොරොත්තුවකට මනුස්සයෙක්ව වියරු වට්ටවලා පිස්සෙක් කරන්න පුළුවන්.

      ඒකයි කෙනෙක් තමන්ගේ බලාපොරොත්තු මොනවාද කියන එක ගැන දෙවරක් හිතන්න ඕන. සහ තවත් කෙනෙක්ට බලාපොරොත්තු දෙද්දි දහස් වරක් හිතන්න ඕන.

      හීන නම් ඉතින්... නිකන්ම නිකන් හීනනෙ.

      Delete
    2. //දැකිය යුත්තේ තමන්ට සැබෑකරගත හැකි හීන පමණකි.// සභාවේ තදින් සිනා !!!

      Delete
  3. මාලා හමුවිමට මාත් කැමතියි - අර ෆිල්ම් එහෙක වගේ එක පාරටම ඌව මුනගැහෙන හැටි ගැන හීන දකිනවා (ඕකා හම්බුවුනත් අපි දැනගන්න එකක් නෑ)
    ටැබූ කියන්නේ අලුත් දේවල් කරන ‍පොරක් - ඒ නිසා ටැබූ සබ්ජෙක්ට්ස් නැවත ඉපදෙන එකක් නෑ
    අවසාන වශයෙන් banda බුකිය හැර ගි‍යේ ඇයි?

    ReplyDelete
    Replies
    1. මාලන් ගැන කියනවා නම්, මාලන් එක්ක තිබ්බ මිතුරු සම්බන්ධයෙන් පස්සෙ ජීවිතයේ කිසිම දවසක කිසිම කෙනෙක්ව ළඟින් (බොක්කෙන්) ආශ්‍රය නොකරන්නත්, හවුල් වැඩ කිසිවකට සම්බන්ධ නොවෙන්නත් තීරණය කලා. "තනි අලියා" ආකල්පය තමා වඩාත් සුදුසු මම වගේ කෙනෙකුට. ඒක පුද්ගලිකව මම ඉගෙනගත්ත මට ඉතා වැදගත් දෙයක්.

      බුකියෙන් ඉවත්වීම ගැන කියනවා නම්;

      මම බුකියෙන් ගියේ මම ලියන දේවල් වලින් කාටවත් වැඩක් නැති බව තේරුම් ගිය නිසා. සහ බහුතරයක් දෙනා මම ලියන දේ හරියට තේරුම් ගැනීමට අපොහොසත්වීම නිසා (එකඟ නොවෙන්නත් මම කියන දේ තේරුම් ගන්න එපැයි මුලින්ම).

      එක්කෝ අන්තිම සරල කාරණා පවා මුංට තේරුම්ගන්න මොළයක් නැහැ. නැත්නම් අන්තිම සරල කාරණා පවා සරල විදියට තේරුම් යන්න ලිවීමේ හැකියාව මට නැහැ. ඔය දෙකෙන් එකක් වෙන්න එපැයි සීන් එක.

      මගේ අදහස් අනික් අයට වැඩක් නැති නිසාත්, බුකියේ සිටීමෙන් තවදුරටත් මට ගන්න මහා ලොකු දෙයක් නැතිය කියල හිතුන නිසාත් තවදුරටත් රැඳී ඉන්න සාධාරණ හේතුවක් මට හොයාගන්න බැරි වුනා.

      කොහොමත් මගේ අදහස් අකුරු කරවීමේ අවශ්‍යතාවය නම් තාම තියෙනවා. ඒක අවශ්‍ය වෙලාවට බ්ලොග් එකෙන් ඉටු කරගන්න බලනවා.

      මට වර්තමාන ලාංකේය බ්ලොග් කල්චර් එක නම් දිරවන්නේම නැහැ. මොකද මෙතන එකිනෙකාගේ පිටකසා ගැනීමෙන් තොරව සාර්ථක වෙන්න ටිකක් අමාරුයි. මම කාගෙවත් පිටවල් කසන්නේ නැති නිසා බ්ලොග් වැඩේ හරි යයිද කියලා මම දන්නේ නැහැ.

      බලමු ඉතින් :)

      Delete
  4. මට වර්තමාන ලාංකේය බ්ලොග් කල්චර් එක නම් දිරවන්නේම නැහැ. මොකද මෙතන එකිනෙකාගේ පිටකසා ගැනීමෙන් තොරව සාර්ථක වෙන්න ටිකක් අමාරුයි. මම කාගෙවත් පිටවල් කසන්නේ නැති නිසා බ්ලොග් වැඩේ හරි යයිද කියලා මම දන්නේ නැහැ.

    ඇයි එහෙම හිතෙන්න ..... පිට කසනකම් මන් පොර සෙ ඉන්න පුළුවන් කොමන්ට් වරුසාවක් එක්ක. සමහර එවුන් එකලිපියට කොමන්ට් 7+8 විතර දානවා. හරියට ටෙලියේ "මෙඝා ස්ටාර් කොමන්ට් කරු කියලා" පෙන්වන්නත් එක්ක

    ReplyDelete
  5. උබේ ලිස්ට් එකනම් පංකාදුයි.! 👍🏽.

    මගේ අංක 01. බ්‍රේකින් බෑඩ් එකේ ජෙසී පින්ක්මන් වෙලා දුප්පත් මිනිස්සුන්ට සල්ලි මිටි මිටි විසිකරන්න.
    අංක 02. දැන් උනත් කමක් නැහැ වේදනාවකින් තොරව හුටස් ගාල හුස්මටික නවතිනවානම්..!!
    මොකද මේ වෙනකොට ජිවිතේ විඳවලත් විඳලාත් ඉවරයි. දුක සැප දෙකම බැලන්ස්.

    👊🏽

    ReplyDelete
    Replies
    1. //දැන් උනත් කමක් නැහැ වේදනාවකින් තොරව හුටස් ගාල හුස්මටික නවතිනවානම්..!!//

      මාර හීනයක්නෙ බං ඒක :)

      Delete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...