Friday, February 16, 2018

මිතුරිය

ඇය මගේ මිතුරිය වූවාය.
නමුත් ඇය මගේ ළඟම මිතුරිය වූයේ නැත.
එසේ වුවද මගේ ප්‍රියතම මිතුරිය වූයේ ඇයයි.

ඒ මන්දැයි මම කල්පනා කලෙමි.

ඇයගේ පෞරෂය,
ස්වාධීන බව,
වගකීම් සහගත පරිනත හැසිරීම,
දිනෙන් දින මා සිත් ගත්තේය.

ඇයගේ සිනහව අව්‍යාජ විය.
සිනහ නොමසෙන් දසන් දක්වා, ඔවදන
ඈ කිසිදිනෙක අසා නැත්තා සේය.
ඇයගේ කටහඬ, කතා විලාශය, ගමන තුළින්
සිරකරනු ලැබූ තරුණියක් මා දුටුවේ නැත.
ඒ නිදහස තුළ මා දුටු ඇයගේ අව්‍යාජ සෑබෑ පෞරෂය
ඇය කෙරේ මගේ අවධානය දිනෙන් දින වැඩි කලේය

අපගේ මිතුදම වර්ධනය වූයේ අප දෙදෙනාටම නොදැනීමය.
නමුත් ඇය මගේ අඹ යාලුවා නොවූවාය.
අපගේ මිතුදම ඉඳහිට හුවමාරු වන වචනයකට දෙකකට
ඉඩක් ලද තැන බෙදාගන්නා විහිලුවකට, සිනහවකට සීමා විය.

ඉන් එහාට අපේ සබඳතාවය ගෙනයන්නට මා හට උවමනාවක් නොවීය.
ඇයටද එසේම වන්නට ඇත.

මම මටත් හොරෙන් ඇයගේ සුන්දරත්වය රසවිඳිමින් සිටියෙමි.
"මචන්, මෙතන කෙල්ලන් දිහා බලල කියහන්.. ලස්සනම කෙල්ල කවුද කියල?"
මට නම් ලස්සනම තරුණිය වූයේ ඇයයි.
නමුත් මගේ ළඟම මිතුරියගෙන් මා එසේ අසන්නට ඇත්තේ වෙනත් කෙනෙක් හා සමඟ මගේ ඒ හැඟීම බෙදා ගැන්මට තිබූ ආශාව නිසා විය යුතුය.

"හ්ම්... හිටහන් බලන්න"
මගේ මිතුරිය අප ඉදිරියේ සිටි තරුණියන් සියල්ල දෙස ඇස යොමු කලාය.
"අරයා තමයි.."
මගේ මිතුරිය ඇඟිල්ල දිගු කලේ ඇය වෙතටයි !

ඇය හැරෙන්න වෙන කව්ද?
ඒ සුන්දරත්වය..
ඒ රූ සපුව..
ඒ පෞරෂය..
සැබවින්ම
ඇය හැර වෙන කවුරුද?

අපගේ මිතුදම කෙමින් කෙමින් වර්ධනය වූයේ අපටද නොදැනීමය.
මා ඇය වෙත දිනෙන් දින ලං වූයේ මටත් නොදැනීමය.

අපි කතා කලෙමු.
ඉඩක් ලද හැමවිටම අදහස් බෙදාගත්තෙමු.
ඇයගේ ඉවසීම, බුද්ධිය, සවන්දීමේ හැකියාව, නම්‍යශීලී බව ඇය වෙත මා තවත් වසඟ කරවීය.

අවසනයේ ලෝකයා ඉදිරියේ අපි මවා පෑ ව්‍යාජත්වයේ සළු එකිනෙකා ඉදිරියේ උනා විසිකර දැමුවෙමු.

මා මෙන්ම ඇයද ජීවත් වෙමින් සිටියේ, සිනහවෙන් වසන් කරනු ලැබූ දුක්, වේදනා, නොසතුටින් පිරි අතෘප්තිකර ජීවිතයක් බව දැනගැන්ම මා තුළ ඇති කලේ මින් පෙර මා අත් නොවිඳි හැඟීමකි

ඒ නිසාදෝ අපි දෙදෙනා අපි දෙදෙනාව පහසුවෙන් තේරුම් ගත්තෙමු.

අසම්මත පෙමක් !

කිසිදා නොසිතූ නොපැතූ ඉසව්වකට අපි දෙදෙනා ඇතුළු වූයෙමු.
සිතා මතා නොව,
නොදැනුවත්වම, ඉබේම ඇතුළු වූයෙමු.

සම්මතයට පෙම් බැඳි
අසම්මතයට වෛර කරන
ලෝකයා
අපට චෝදනා කලෝය.
ගල්, මුල්, අපහාස මායිම් නොකරමින්
අපි අපේ ලෝකයේ තනි වුනෙමු.

අපි දෙදෙනා සමඟ නොසිට,
අපිව තනි කොට
අපිට අපි විතරක් ඉතුරු කිරීම ගැන
රහසින් ලෝකයාට ස්තූති කලෙමු.

මට ඇය පමණක් ඉතිරි වෙද්දි
ඇයට ඉතිරි වූයේ මා පමණකි.

ලෝකය විසින් හැර දමනු ලැබූ අප,
අපගේම ලෝකයක තනිවී
රිසිසේ ප්‍රේම ලෝකයේ කිමිදුනෙමු.
එකිනෙකාගේ පහස වින්දෙමු.
ඉන් වෙහෙසට පත්ව, විරාමයන් වලදී
ගව් ගානක් ඈතින් සිටි අපි, අපිවම තේරුම් ගන්නට
විනාඩි ගණන්, පැය ගනන් එකිනෙකා සමඟ කතා කලෙමු
වාද කලෙමු

සම්මතයේ සිරකූඩු වල දුක් විඳිමින්
අතෘප්තිකර ජීවිත නොසතුටින් ගෙවන ගමන්
එකිනෙකා රවටා ගැනීම උදෙසා වෙස් මූණු දමාගෙන රංගනයේ යෙදෙනා ව්‍යාජ ලෝකයාට
හොර රහසේ සිනාසුනෙමු.

අපේම නීති රීති රෙගුලාසි එකඟතා අවබෝධයන්ගෙන් පිරි
අසම්මත ලෝකයකට පියවර තැබුවෙමු.

අපේ ආදරය, අපේ සබැඳියාව, අපේ හැඟීම්
පිට උන් තැනූ කූඩු වලට හසු කර ගැනීමට අපටම හැකි වූයේ නැත.

අපේ ආදරයට අපි දිනෙන් දින නව අර්ථකතනයන් දුන්නෙමු.

සැමදා පවතින
මියෙන තුරා වෙන් නොවන
අත හැරීමට ඉඩනොදෙන
ආදරයක් අපට අවැසි වූයේ නැත.

කවදා හෝ අපගේ ආදරය
මැලවී, පරවී යාමට ඉඩ ඇති බව තේරුම් ගැන්ම නිසාම
අපි තව තවත් ඒ ආදරයට ලෝබ කමින්
ඒ ආදරය වෙනුවෙන් වෙහෙසීමට
කැපවීමට පටන් ගත්තෙමු.

"තුන් වෙනි පාර්ශවයක බැඳීමක් නැති මිනිස් සබඳතාවයක් කල් පවතීයිද?"

ලෝකයා ඇසූ ඒ ප්‍රශ්නයට මා හට පිළිතුරක් තිබුනේ නැත.

කාලය ගත විය..
දින සති මාස අවුරුදු ගණන් මා පසුකර ගියේය.

වාසනාවට හෝ අවාසනාවට ඒ ප්‍රශ්නයට පිළිතුර දැන් මා ඉදිරියේ දක්නට ඇත.

මම කල්පනා සාගරයේ නිමග්නව සිටියෙමි.
ඇය නැති පාළුවෙන් මා ගත වෙළී තිබුනි.

'ඇගේ ඇස් දෙක නොදැක මා මේ මොහොත ගෙවන්නේ කොහොමද?'

මගේ සිත මගෙන්ම අසයි.

"මොනවද ශ්‍රී හැම වෙලේම වෙන ලෝක වල අතරමන් වෙලා කල්පනා කරන්නේ? මම කිරිබත් හැදුවා ඔයාට. එන්න මම කවන්නම්..."

ඇගේ කටහඬින් මා ගැස්සී කල්පනා සාගරයෙන් මිදුනෙමි.

ඇය දුටු මුල් දිනය ගෙවී
මේ මොහොත වන විට වසර ගාණක් ගත වී තිබුනද
ඇය නොමැති මොහොතක්
කල්පයක් සේ දැනෙන්නේ
ඇය හමුවීමට පෙර
මහා සාගරයක් බඳු වූ ලෝකයේ
තනිවී අතරමංව සිටි මා
අදවනතුරුත් තේරුම් ගත්
එකම මනුෂ්‍යයා ඇය පමණක් වීම නිසා විය යුතුය
.
.
ඇය මාගේ මිතුරිය වූවාය.
නමුත් එදා මෙන් නොව
අද ඇය මාගේ හොඳම මිතුරියයි.
එකම මිතුරියයි.





5 comments:

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...