Wednesday, March 14, 2018

දෙමව්පියන්ට දරුවන් ණයයිද?

පිරිමියෙකුයි ගෑණියෙකුයි සංසර්ගය කරලා, මාස නවයකට පස්සෙ මේ ලෝකෙට දරුවෙක් ගෙනල්ලා දාලා, ඒ දරුවා අවුරුදු පහළවක් විස්සක් රැකබලා ගත්තාම ඒ දරුවා ඒ දරුවාගේ දෙමාපියන්ට ජීවිත කාලයටම ණයයි වගේ අදහසක් කවි, ගීත, සංස්කෘතිය වගේ දේවල් වලින් අපේ ඔලු වලට කාවද්දලා තියෙනව.

මුළු සංසාර යුගය පුරාවට ගෙවන්න බැහැයි කියන මේ 'ණය බර' කියන්නේ මට අනුව නම් ඉතාම ප්‍රශ්නකාරී ආකල්පයක්.

මුලින්ම තේරුම් ගන්න ඕන කාරණය තමයි ඕනම කෙනෙක් මේ ලෝකයට දරුවෙක් බිහි කරන්නේ කුමන හෝ තමන්ගේ අවශ්‍යයතාවයක් ඉෂ්ඨ කරගන්නය කියන කාරණය. තමන් තුළ දරුවෙක්ට ඇති ආශාව සංසිඳුවා ගන්න... දරුවන් තුළින් යම් අරමුණක් ඉටු කරගන්න..එක්කෝ දරුවා තුළින් තුන්වෙනි පාර්ශවයකට (සමාජයට, රටට) යම් ප්‍රතිලාභයක් ලබා දීමට..වගේ හේතු තමයි අලුත් ජීවිතයක් මේ ලෝකයට බිහි කරන්න මුල් වෙන්නෙ. කොහොම බැලුවත්, මොන හේතුව ගත්තත් මේ ලෝකයට දරුවෙක් ගේන්න ඉදිරිපත් වෙන හේතු ඔක්කොම පටන් ගන්නෙ 'මට ආසයි, 'මට ඕන', 'මමත් කැමතියි'.. වගේ වචන වලින්.

දරුවෙක් බිහි කිරීමේ තීරණය, දරුවෙක් නිර්මාණය කිරීමේ තීරණය දරුවන් බිහි කරන අයගේ මිසක් දරුවන්ගේ නෙමේ.

"ජීවිතය යනු කෙනෙක් කැමැත්තෙන් තෝරාගන්නා දෙයක් නොවේ. ජීවිතය අපි කිසිවෙක් තෝරාගත් දෙයක්ද නොවේ. ජීවිතයට අපි කැමති වුවත් නැතිවුවත්, ජීවිතය යනු අපි මත වෙනකෙක් විසින් බලෙන් පටවනු ලැබූ දෙයකි"

හිතමු මම මගේ ආශාවල් මුල් කරගෙන මගේ කැමැත්තට මේ ලෝකයට දරුවෙක් ගෙනාවය කියල. ඒ කියන්නේ අසරණ, දුර්වල, කිසිම දෙයක් ගැන දැනුම් තේරුම් නැති, තමා ගැනවත් හරි හැටි බලා කියාගත නොහැකි බිළිඳෙක්ව මම මගේ උවමනාවට මේ ලෝකයට ගෙනාවා කියමු.

එහෙම ගෙනාපු ඒ දරුවාව මම බලාගන්න මට වගකීමක් තියෙනවා නේද? ඒක මම කල යුතු දෙයක් නේද? එතකොට මම ම නිර්මාණය කරපු අසරණ ජීවියාව මම බලාගත්තාය කියලා.. ඒකෙන් කියවෙනවාද ඒ දරුවා ජීවිත කාලයම මට ණයයි කියලා?? මම එහෙම කියනවා නම් ඒක සාධාරණ කතාවක්ද?

ඇයි?

මගේ උවමනාවට මේ ලෝකයට දරුවෙක් ගේන්න තීරණය කලෙත් මම.. ඒ තීරණය ක්‍රියාත්මක කරලා කිසිවක් කරකියා ගත නොහැකි අසරණ ජීවිතයක් නිර්මාණය කලෙත් මම.. දැන් ඒ අසරණ ජීවිතය රැකබලා ගැනීමේ වගකීම මම ඉෂ්ඨ කල නිසා ඒ දරුවා මත ඉබේම පැටවෙනවා ණයක් කවදාවත් ගෙවන්න බැරි විදියේ බරක් තියෙන..!

කිසිවක් කරගන්න බැරි කුඩා කාලයේ තමන්ව බලා ගැනීමේ ණය ගෙවන්න දරුවන්ට බල කෙරෙනවා ඔවුන්ගේ මුළු ජීවිත කාලය පුරාවටම. වැඩිහිටියෙක් බවට පත් වුන දරුවා තමන්ගේ ජීවිතයේ සහකාරයා/සහකාරිය තෝරා ගැනීමේ ඉඳලා තමන්ගෙ ජීවිතය ගැන ගන්නා තීරණ වලට දෙමාපියන් එකඟ නොවෙන වෙලාවල් වලදි, දරුවන් ලවා තමන්ගේ කැමැත්ත ඉෂ්ඨ කරගන්න දෙමාපියන් මේ ණය බරේ ආකල්පය ඉතාම අමානුෂික විදියට යොදාගන්න හැටි ගැන අත්දැකීම් මේ සටහන ලියන මට තියෙනවා වගේම මේ සටහන කියවන ඔබටත් ඇති.

"අපි උඹව පොඩි කාලේ කන්න බොන්න දීලා පරිස්සම් කරලා හැදුවටද පුතේ දැන් උඹ අපි එපා කියන දේ කරන්නේ..?"

කවුරු හරි හිතනවා නම් තමන් මේ ලෝකයට දරුවෙක්ව ගෙනල්ලා, ඒ දරුවාට තමා ගැන බලාගන්න බැරි කිරිසප්පයෙක්ව ඉන්න කාලයේ කන්න බොන්න දීලා වයසින් වැඩිවනකන් බලාගන්න එකෙන් ඒ දරුවා සදාකාලිකව තමාට ණය ගැත්තෙක් වෙනව කියල, කරුණාකරල එහෙම අය මේ ලෝකෙට දරුවන් බිහි නොකර ඉන්න.

ඒ වගේ ණය කාරයෙක්, තමාගේ ජීවිතේම කාටහරි ණයක් ගෙවන්න බැඳුනු කෙනෙක් බිහිකරන එක සාමාන්‍ය කටවහරින් කියනවා නම් කරන්න පුළුවන් ලොකුම “පාපයක්” ! කෙනෙක්ට මුලු ජීවිත කාලයම ගෙවන්න බැරි විදියේ ණයක් පටවන එක පාපයක් නෙමේද? කෙනෙක්ට ජීවිත කාලයම ගෙවන්න ණයක් පටවන එක පාපයක් නෙමේද? එහෙම ණයක් පටවලා ණය පටවපු උනුයි වටේ ඉන්න උනුයි එකතු වෙලා ඒ කෙනාට ඒක ගෙවන්න කිය කිය බල කරන එක පාපයක් නෙමේද?

කරුණාකරල තේරුම් ගන්න. මේ ණය.. නොඉල්ලපු ණයක් ! බලෙන් පටවන ණයක් !

ඔබ විසින්, ඔබේම අවශ්‍යතා ඉෂ්ඨ කරගන්න නිසා මේ කුරිරු ලෝකය මැද්දට ගෙනල්ලා අත ඇරපු ඒ අසරණ අහිංසකයාව අනතුරෙන්, උපද්‍රව වලින් ආරක්ෂා කලා පමණයි.. කලිනුත් කිව්ව වගේ, ඒක කරන එක ඔබේ වගකීම ! ඒ කාර්‍ය භාරය ලේසි නොවන බව ඇත්ත. නමුත් වගකීමක් භාරගත්තා නම්, ඔබ වුනත් මම වුනත් කවුරු වුනත්.. එය ඉෂ්ඨ කිරීම කල යුතුයි.

සමහර දෙමව්පියන් තමන්ගේ බිළිඳන්ව කුණු කූඩ වල දාලා ඒ වගකීම පැහැර හැරි පළියට ඒ වගකීම මම හරියට ඉටු කලාය කියල මගේ දරුවාගේ ජීවිතය ගැන තීරණ වලදි දරුවාව emotional blackmail කරන්න මට ලයිසමයක් ලැබෙන බව ඉන් කියවෙන්නේ නැහැ.

ඔබට ආදරය කලාක් මෙන් ඔබත් ඔබේ දෙමාපියන්ට ආදරය කරන්න.
ඔවුන් වයෝවෘද වූ දවසකදී ආදරයෙන් ඔවුන්ව රැකබලාගන්න.
මියෙන තුරාවටම ඔවුන්ට ආදරය නොඅඩුව දෙන්න.

නමුත්,

ඔබව මෙලොවට ගෙනාවාය කියා ඔබේ තීරණ වලදී ඔබව ඔවුන්ට emotional blackmail කිරීමට ලයිසමයක් නොදෙන්න. ඒ වරදකාරී හැඟීමෙන් මිදෙන්න.

මේ 'ණය බරේ' මායාව අත්හරින්න.

20 comments:

  1. Replies
    1. ඒ වුනාට ගොඩක් දෙනෙක් මේක පිළිගන්න කැමති නැහැ

      Delete
  2. ඔව්, ණයයි.

    හැබැයි ඒ ණය ගෙවන්නේ ඉස්සරහටයි (paying forward). තමන්ගේ දරුවන්ට හොඳ දෙමව්පියන් වීමෙන්!

    අප කුඩා කල දී
    හොඳ නරක පහදා දී
    ගුණ දම් කියා දී
    පිය මෙහෙය දෙවි කමට පරදී

    අප උපන්දා සිට
    පියවරුන් කල සේවෙට
    ඇති ණය ගෙවන්නට
    කෙලෙස නම් හැකි වේද අප හට

    දුක් වන්නට එලෙස
    කාරණා නැත කිසි ලෙස
    මා කියන මේ බස
    අසා සැනසෙන් මා මිතුර යස

    ගත් ණය ගෙවන්නේ
    ආපස්සට නොවන්නේ
    පිය නම රැකෙන්නේ
    ඉදිරි පරපුර රැකුනොතින්නේ

    පිය ගුණ සිහි කරමු
    හොඳ දූ පුතුන් සාදමු
    හොඳ පියවරුන් වෙමු
    පියාණන් ණය එලෙස පියවමු...!!!

    ReplyDelete
  3. Mamath obe mathayata sampurnayenma ekangayi!

    ReplyDelete
  4. //Path to Nirvana FB page එකෙන් copy කර ගන්නා ලද්දකි //

    “ද්වින්නාහං භික්ඛවෙ, න සුප්පතිකාරං වදාමි මාතුච්ච පිතුච්ච. එකෙන භික්ඛවෙ, අංසෙන මාතරං පරිහරෙය්‍ය, එකෙන අංසෙන පිතරං පරිහරෙය්‍ය, වස්සසතායුකො වස්ස සජීවී, සො ච නෙසං උච්ඡාදන පරිමද්දන නහාපන සම්බාහනෙන. තෙ පි තත්ථෙ ව මුත්තකරීසං චජෙය්‍යුං. නත්වෙව භික්ඛවෙ, මාතා පිතුන්නං කතා වා හොති, පතිකතං වා, ඉමිස්සා ච භික්ඛවෙ, මහා පඨවියා පහූත සත්තරතනාය මාතා පිතරො ඉස්සරියාධිපච්චෙ රජ්ජෙ පතිට්ඨාපෙය්‍ය, නත්වෙව භික්ඛවෙ, මාතුපිතුන්නං කතං වා හොති, පතිකතං වා, තං කිස්ස හේතු? බහූපකාරා භික්ඛවෙ, මාතාපිතරො පුත්තානං ආපාදකා පොසකා ඉමස්ස ලොකස්ස දස්සෙතාරො.

    තේරුම:

    “මහණෙනි, මම දෙදෙනකුට ප්‍ර‍ත්‍යුපකාර කිරීම පහසු යයි නො වදාරමි. කවර දෙදෙනකුට ද යත්? මවය පියාය යන දෙදෙනාට ය. සිය වසක් ආයු ඇත්තා වූ සිය වසක් ජීවත් වන්නා වූ දරුවෙක් එක් උරහිසකින් මව ද එක් උරහිසකින් පියා ද උසුලා සිටින්නේ ද හෙතෙමේ ම ඔවුනට සුවඳ ගැල්වීමෙන් ද ඇඟ පිරිමැදීමෙන් ද නෑවීමෙන් ද අත් පා මිරිකීමෙන් ද උපස්ථාන කරන්නේ ද ඔවුහු එහි ම මල මුත්‍ර‍ කරන්නාහු ද මහණෙනි, එතෙකින් ද මාපියනට උපකාර කළේ හෝ නො වන්නේ ය. ප්‍ර‍ත්‍යුපකාර කළේ හෝ නොවන්නේ ය. මහණෙනි, යමෙක් බොහෝ සත්රුවන් ඇත්තා වූ මේ මහපොළොවට අධිපති වූ සක්විති රජයෙහි මාපියන් පිහිටවා ද එතෙකින් ද මා පියන්ට උපකාර කළේ හෝ නොවන්නේ ය. ප්‍ර‍ත්‍යුපකාර කළේ හෝ නො වන්නේ ය. කුමක් හෙයින් ද යත්? මහණෙනි, මාපියෝ දරුවනට බොහෝ උපකාර ඇත්තෝ ය. දරුවන්ගේ දිවි පවත්වන්නෝ ය. දරුවන් පෝෂණය කරන්නෝ ය. දරුවන්ට මේ ලෝකය දක්වන්නෝ ය.

    ReplyDelete
    Replies
    1. හැම ප්‍රශ්නයකටම ආගමින් උත්තර හොයනවා නම් මේ දේවල් ගැන බ්ලොග් පෝස්ට් කියවන්න එපා, තේරුමක් නෑනෙ. මොන ප්‍රශ්නය ආවත් පොඩි කාලෙ අම්මයි තාත්තයි උතුම් කියල දුන්න පොත පෙරලලා (උදා-බයිබලය,කුරාණය,ත්‍රිපිටකය..) උත්තරය හොයාගෙන ඒ විදියට ඉන්න. වෙන අදහස් ඔලුවට දාගෙන හිත හිත හරි වැරැද්ද තමාම තේරුම් ගන්න එක ටිකක් අමාරු වැඩක්. එහෙම බැරි අයට තමා ඔය 'උතුම් පොත්' තියෙන්නෙ.

      Delete
    2. අපේ අදහසක් දක්වන එක වැරදිද? ඒහෙම පිලිගන්න බැරිනම් මේකෙ comment කරන්න ඉඩ තියන්න එපා.

      Delete
    3. අදහස කියන එක වැරදි නැහැ. ඔබේ අදහස ගැන මගේ අදහස තමා කිව්වෙ.

      Delete
  5. මමත් පෞද්ගලිකව මගේ දරුවන්ගෙන් ප්‍රත්‍යුපකාරයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒත් වගකීම් සහ යුතුකම් දන්නා මිනිසුන් හැටියට අපි අපේ දෙමාපියන්ට, වැඩිහිටියන්ට අපට හැකි පමණින් ප්‍රත්‍යුපකාර කළා. ඉදිරියේදීත් කරනවා. අප සාමාන්‍යයෙන් කෘතගුණ සැලකීම ගැන කතා කරනවා. ඒක හොඳ මිනිස් ගුණයක්. අපේ දෙමාපියන් අප වෙනුවෙන් යමක් කළා. ඒ වෙනුවෙන් අප ඔවුන්ට යුතුකම් ඉටු නොකර සිටීම ගැටලුවක් නැතැයි කියන එක භෞතිකවාදීව නිවැරදි විය හැකියි. මිනිසුන් හැටියට අපට කුඩා උපකාරයක් කළ අයකුට පවා ‘ස්තූතියි‘ කියනවා. මේ නිසා මම හිතන්නේ දරුවන් දෙමාපියන්ට ණය නැති කතාව ඇත්ත වුනත්, ඔවුන් වෙනුවෙන් යුතුකම් ඉටුකිරීම මිනිසුන් හැටියට යහපත් දෙයක් කියලයි.

    ReplyDelete
    Replies





    1. ඔබේ කමෙටුවෙන් සටහනේ නොකියූ දෙයක් කියා ඇති බව හැඟවෙනවා. මම කියල තියෙන්නේ මෙහෙම දෙයක්

      //බට ආදරය කලාක් මෙන් ඔබත් ඔබේ දෙමාපියන්ට ආදරය කරන්න.
      ඔවුන් වයෝවෘද වූ දවසකදී ආදරයෙන් ඔවුන්ව රැකබලාගන්න.
      මියෙන තුරාවටම ඔවුන්ට ආදරය නොඅඩුව දෙන්න.

      නමුත්,

      ඔබව මෙලොවට ගෙනාවාය කියා ඔබේ තීරණ වලදී ඔබව ඔවුන්ට emotional blackmail කිරීමට ලයිසමයක් නොදෙන්න. ඒ වරදකාරී හැඟීමෙන් මිදෙන්න.

      මේ 'ණය බරේ' මායාව අත්හරින්න.//

      Delete
  6. මමත් ඔහොම හිතු බව මතකයි, මේවා ඇවිල්ලා වයසට ගැලපෙන රැඩිකල් සිතුවිළි, ගොඩක් දෙනා කියන්නේ වයසේ වැරැද්ද කියල.

    ReplyDelete
    Replies
    1. ගොඩක් දෙනා කියන ගොඩක් දේවල් වැරදි බව ඒ කියන දේවල් ගැන හිතලා බැලුවාම තේරෙනවා හැබැයි :)

      Delete
  7. පිලිසිඳීම+වැදීම හා හැදීම කියන්නෙ දෙකක්. (උදා. හුණුවටයේ කතාව )

    ලමයෙක් උපදින්නේ දෙමාපියන් නිසා තමන්ට පුලුවන් තරම් හොඳට හැදීම ඔවුන්ගේ යුතුකමක්.

    හැදීමේ හොඳ දේවල් ගැන දරුවන්ට ස්තුතිවන්ත හැඟීමක් එනවා. නරක ගැන අනිත් පැත්ත හිතෙනවා.

    ReplyDelete
  8. මං හිතන්නේ මෙහෙමයි. කවුරුහරි දුක් විඳිනවා නම් ආසාවට එක දරුවෙක් හදා ගන්න ඕනා. පේලිය වගේ දරුවෝ හදලා, උන්ට කන්න බොන්න උගන්නන්න සල්ලි නැතුව උන්ටත් දුක දෙනවා කියන්නේ පවක්.. එතකොට දුක් විඳිනවා නම් විඳින්නේ එකයි. මොනව හරි කරලා කන්න බොන්න දෙන්න පුලුවන් එකෙක්ට.. මං කියන් නැහැ සුර සැප දෙන්න ඕනා කියලා. ඒත් දැන් ප්‍රයිවෙට් ඩිග්‍රියක් කරන්න හරි සල්ලි තියෙන්න ඕනා දෙමව්පියන් ළඟ තමගේ දරුවට දෙන්න. නැත්තන් උන් දුක් විඳිනවා තමන්ගේ අම්මගේ තාත්තගේ ආසාවට මේ ලෝකෙට බිහි වෙලා... ඔබේ කතාවට මං එකඟයි.

    ReplyDelete
    Replies
    1. කමෙන්ටුවට ස්තූතියි අරූ

      Delete
  9. එකෙන්ම... මටත් දරුවෙක් ඉන්නවා. පණ වගේ ආදරය කරණවා. ඒත් එයා ලොකු වෙලා අපිව බලාගනී කියන බලාපොරොත්තු මම තියාගෙන නෑ. එයා ලොකු වුනාම එයා කැමති දෙයක් කරයි. මට පුළුවන් මගේ ගැන බලාගන්න. බැරි කාලයක් එන්න ළං වෙනකොට මම යනවා ඉන්දියාවට. අපිට වඩා ‍ගොඩක් දියුණු ඉන්දියාවේ මරණය නියමිත රෝගීන්ට මරණය දෙන්න පුළුවන් නීති තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවේ ඒ නීතිය තියෙන බව දැනගෙන හිටියේ නෑ

      Delete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...