Tuesday, March 6, 2018

ජාතිවාදීන් ගාව ලේ ගඳයි !

සෝම හාමුදුරුවො තිබ්බ ටයිම් බෝම්බය තමයි සෝම හාමුදුරුවන්ගේම මරණින් අවුරුද්දකට පස්සෙ ෂාරුක් ඛාන්ගේ ප්‍රසංගයේදි පුපුරලා ගියේ. නානසාර වගේ කුණුහරප කිය කිය බයිලා නොගැහුවත් සෝම හාමුදුරුවන් අතින් පවා දැන හෝ නොදැන පෝෂණය වුනේ එකම ආකෘතියක චින්තනයක්. එකම දේ නානසාරට වඩා ශිෂ්ඨ විදියට ඊටත් වඩා සාර්ථකව සෝම හාමුදුරුවෝ ඒ චින්තනය සමාජ ගත කල එක. සමාජ ගත කලාට වඩා එතකනුත් සමාජයේ තිබ්බ ඒ ආකල්ප උලුප්පලා ගත්තා කිව්ව නම් වඩා නිවැරදියි.

නානසාර කලා වගේ මිනිස්සුන්ගේ හැඟීම් වලට ආමන්ත්‍රණය කරන කුණුහරප ජාතිවාදීන් වගේම සෝම හාමුදුරුවො කලා වගේ මිනිස්සුන්ගේ මොළයට ආමන්ත්‍රණය කරමින් මේ හැසිරීම් තර්කානුකූලව සාධාරණීයකරනය කරන්න හදන න්‍යායාචාර්ය වරුනුත් පහුගිය දින කිහිපයේ සිද්ද වුන සිදුවීම් වලට සෘජුවම වගකියන්න ඕන. මේ චින්තනය පවත්වාගෙන යමින් පෝෂණය කරන්නේ ඔය දෙගොල්ලොම මිසක් දෙගොල්ලන්ගෙන් එක කොටසක් විතරක් නෙමේ.

නානසාරලා සෝමලා වගේම අනෙක් සුළු ජාතික ආගමික/දේශපාලනික නායකයන් විසින් උත්කර්ෂවත් කෙරෙන අප රටේ අතිමහත් බහුතරයක් වූ සිංහල, දෙමළ, මුස්ලිම් ජනමනස තුළ මුල් බැස ගත්ත ජාතිවාදය විසින් තමයි පහුගිය දිනයේ මිනිස් බිල්ලක් ගත්තෙ.  ඒ බිල්ල වුනේ පැත්තක ඉඳපු අසරණයෙක්.

ජාතියක් මුල් කරගෙන සිද්ධ නොවුන මිනිසුන් කිහිපදෙනෙක් අතර ඇතිවුන ගැටුමකට ජාතිවාදී මුහුණුවරක් ආදේශ කරල ජාතික තලයට ගෙන ඒම තමයි මේ ඛේදජනක තත්වයට මුල් වුනේ.

මෙතනදි මේ දවස් වල දිගින් දිගටම ඇහන්න ලැබුනු කතාවක් ගැන වචනයක් එකතු කරන්න ඕන.

'ජාතිවාදීන්'ය කියල තමාව ආඩම්බරයෙන් හඳුන්වා දෙන්න තරම් අපරිණත සමහරුන් කියන කතාවක් තමා ඒ අය එකතු වෙලා ඉන්නේ තමන්ගේ 'ජාතිය' ගැන තියෙන කැක්කුම නිසාය, තමන්ගේ 'ජාතියට' තියෙන ආදරය නිසාය, තමන්ගේ 'ජාතියේ' අනාගතය ගැන තමන්ට තියෙන උනන්දුව නිසාය කියන එක. ඔය කතාව තරම් බොරුවක් තවත් නැහැ.

මේ මිනිස්සු එකතු වෙලා ඉන්නෙ තමන්ගෙ ජාතියට තියෙන ආදරය නිසා නෙමේ, තමන්ගෙන් වෙනස් අනෙක් ජාතියේ මිනිස්සු ගැන තියෙන වෛරය නිසා. ඔවුන් එක්ක යටි හිතේ තියෙන තරහ පිරිමහගන්න නිසා. ඔය දෙක එකක් නෙමේ, දෙකක්.

මොවුන්ව එකතු කරල එක වෛරී අරමුණක් වෙනුවෙන් මෙහෙයවන්නෙ වෛරයම විතරයි. තමන්ගේ ජාතිය ගැන කැක්කුමක් තියෙනවා නම්, මුලින්ම මේ ඈයන්ට විසඳගන්න තියෙන ප්‍රශ්නය වෙනත් ජාතීන්ගේ මලඉලව් නෙමේ.

දවසෙන් දවස ආගාධයට යන රටක ජීවත් වෙන මිනිස්සු වෙච්චි අපි, අපේ ජාතියට ආදරේ නම් මේ මගුල් පැත්තක තියල විසඳගන්න ප්‍රශ්න ඕන තරම්. කන ටොපියකට පවා අසාමාන්‍යය ලෙස බදු ගෙවන්න සිද්ධ වෙලා තියෙද්දි, සිරකරුවෝද මනුශ්‍යයෝය කියල තාප්පයට පමනක් සීමාවෙච්ච හිර ගෙදරකට පැනල උන්ව දන ගස්සල මරල දාද්දි, අසනීපෙට බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙ බෙහෙත් නැතුව ෆාමසියෙන් ගන්න සල්ලි නැතුව මිනිස්සු මැරෙද්දි, ඉස්කෝලෙ යන්න සපත්තු ගන්න පොල් ගෙඩි දෙකක් හොරකම් කරන්න වෙද්දි, මිනිස්සුන්ට බඩගින්න නිවාගන්න පන්සලේ පිංකැටයෙන් රුපියල් විස්ස පවා හොරකම් කරන තත්වෙට වැටෙන්න සිද්ධ වෙද්දි, පොහොර සහනාදාරෙ නැතුව ගොවියෙක්ට ගොවිතැන් කරන්න බැරිවෙද්දි, ණය ගෙවාගන්න බැරුව ගොවියො වස බොද්දි, අණ නොතකා ධාවනය කලා කියල මිනිස්සුන්වම රකින්න ඉන්න පොලිසියෙන් බල්ලො වගේ වෙඩිතියල මරල දාද්දි, කුණු කඳු කඩන් වැටිලා මිනිස්සු යට වෙද්දි, මිලියන බිලියන ගණනින් හොරා කන පාලකයෝ බලයෙ ඉද්දි, අනාගතය බාර ගන්න ඉන්න දරුවන්ට හරි හමන් අධ්‍යාපන ක්‍රමයක් නැතුව ඉද්දි, උන් යන පාසල් වල හරි හමන් පහසුකම් නැතුව තියෙද්දි, දිනපතා සතිපතා ගෑණුන් කුඩා දරුවන් ලිංගික අඩත්තේට්ටම් වලට ලක් වෙද්දි, ...

ජාතියට ආදරේ නම් මේ අය මුලින්ම පාරට බහින්නේ ඒවට විරුද්ධව මිසක්, අර ජාතියේ එකාගේ රැවුලටවත් මේ ජාතියේ එකාගේ තට්ටයටවත් විරුද්ධව නෙමේ.

ඇත්තටම බැලුවොත් ඔය කොයි එකෙක්ටවත් තමන්ගේ රට, ජාතිය ගැන උවමනාවක් කැක්කුමක් නැහැ. ඔය 'රටට ආදරෙයි', 'ජාතියට ආදරෙයි' කියන එක උන්ම ගහගත්ත, උන්ම මවාගත්ත තඩි බොරුවක් විතරයි !

අවසානයේ මේ සටහනෙන් ඉලක්ක කරන අදහස දරන කවුරු හරි මේක කියවනව නම් මම අන්තිමට ඒ අයට මේ ටික කියන්න කැමතියි

"උඹලගෙ හිතේ රටට , ජාතියට මොන ආදරයක්ද බන්? උඹලව එකතු කරන්නේ වෛරය මිසක් වෙන මොනවත් නෙමේ. උඹල එකතු වෙන්නේ විනාස කරන්න මිසක් යමක් ගොඬනගන්න නෙමේ. අඩුම ගානේ ඒකවත් පිළිගනින් !"

1 comment:

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...