Saturday, July 23, 2016

දික්කසාදය ; ඔච්චරටම අවුල්ද?

"මුං දෙන්න දික්කසාද වුනා මදිවට එකට ස්ටේජ් නැගලා දරුවන්ටත් ලැජ්ජ කරනවා"

අතුල සමිතා දෙපල වෙන්වීමෙන් පස්සෙ මුලින්ම ස්ටේජ් නැගපු දවස් වල මගේ නැදෑකෙනෙක් කියපු කතාවක්. ඇයට පුළුවන් කමක් තිබ්බෙ නැහැ දික්කසාද වුන අතුල සමිතා එකම වේදිකාවක නැගලා මිනිස්සු විදියට හිනා වෙලා ඉන්න එක තේරුම් ගන්න.

මොකද, අපේ රටේ දික්කසාදය කියන්නෙම කුණුහරපයක්. අසාර්ථකත්වයේ සංකේතයක්. දික්කසාදයක් සිද්ධ වුනාම ඒක සලකන්නේ අදාල මනුස්සයාගේ ජීවිතයේ මකන්න බැරි කළු පැල්ලමක් විදියට. මොකක් හරි හේතුවක් නිසා දික්ක්සාද වුනාම එතනින් එහාට ඉතුරු වෙන්නේ ජම්මන්ත වෛරක්කාරයෝ දෙන්නෙක් මිසක තේරුම් ගැනීමන් ක්‍රියාකරන මනුස්සයො දෙන්නෙක් නෙමේ.

"ඔය දියුණුයි කියන රටවල දික්කසාද හරිම වැඩියි. ඒකට අපේ සංස්කෘතිය.. අපි ඉන්නෙ උන්ට වඩා සෑහෙන ඉස්සරහින්"

ඔය වගේ කතා පදනම් වෙන්නෙ දික්කසාදයෙන් විවාහ ජීවිතයක සාර්ථකත්වය මනින්න පුළුවන්ය කියන සිතිවිල්ල මත. ඇත්තටම දික්කසාද වීම හෝ නොවීම කියන කාරණය මත එහෙම සාර්ථකත්වය මනින්න පුළුවන්ද?

අපේ වගේ රටවල තවමත් ගැහැණිය කියන්නෙ පුරුෂයා මත යැපෙන්නෙක්. පුරුෂයා කියන්නෙ හැම වෙලේම වගේ නොඉඳුල් ගෑණියෙක් බලාපොරොත්තු වෙන කෙනෙක්. දික්කසාදයකින් අවසන් වුන විවාහයකින් පස්සෙ තමාට යැපෙන්න තවත් පිරිමියෙක් හොයාගන්න තියෙන අපහසුකම, සමාජ අපවාදයට මුහුණ දෙන්නට තියෙන නොහැකියාව, දරුවන්ගේ ප්‍රශ්න වැනි නොයෙකුත් දේ නිසා දික්කසාදයට නොයා ජීවිතය විඳවමින් දුක් කම්කටොලු රාශියක් දරාගෙන නිකන්ම කාලයට ගෙවිල යන ජීවිත කීයෙන් කීයක් අපේ රටේ විතරක්ම තියෙනවයි කියලද?

දික්කසාදය කියන සංකල්පය ඇතුලෙම තියෙන්නෙ එක්කෙනෙක්ට අනිකා නැතුව ජීවත් වෙන්න තියෙන හැකියාව පිළිබිඹු කිරීමක්. එතන තියෙන්නෙ වැඩිහිටියෙක් විදියට තමාගේ ජීවිතය ගැන ඇගයීමේ හැකියාවක්.. සත්‍යයට මුහුණදීමේ හැකියාවක්.. මහ පොළව මත පය ගහල ජීවත් වෙන්න තමාට හැකි බව කියවෙන පුද්ගලයෙකුගේ ආත්ම ශක්තියේ ප්‍රකාශනයක් වගේම පුද්ගලයෙක් විදියට පෙන්නුම් කරනා ස්වාධීනත්වයක්..

ඒ අතින් බලද්දි දුක්ඛිත කසාද ජීවිත අස්සෙ හිර වෙලා ඉන්න අපේ ස්වාධීනත්වය ගැන ප්‍රශ්නයක් ඉතිරි වෙනවා.

වෙන රටවල අවුරුදු 16-18 ගත වෙද්දිම සුළු හරි රැකියාවක් කරමින් ස්වාධීන ජීවිත වලට පය තබන තරුණ පරපුරකට සාපේක්ෂව අපේ රටේ ඉන්නෙ ඒ වයසෙදි අම්මගෙන් සල්ලි ඉල්ලගෙන පියාගෙන් අවසර අරගෙන තමාගෙ වැඩ කරගන්න සිද්ධ වෙලා තියෙන දෙමව්පියන් මත යැපෙන තරුණ පරපුරක්. කොටින්ම මෙතනදි විවාහය, පවුල් ජීවිතය පමණක් නෙමේ දික්කසාදය පවා තීරණය වීමේ මූලික භූමිකාවක් දෙමාපියන් රඟපානවා.

ඒ අතින් අපි ස්වාධීන නැහැ. ඉතින් ස්වාධීන තීරණ ගන්න විදියක් නැහැ අපි යැපෙන්නො... විවාහයෙන් පස්සෙත් එකිනෙකාගෙන් තොර පැවැත්මක් ගැන හිතන්නවත් බැරි යැපෙන්නො !

ඉතින් ඔහොම කුජීත සිස්ටම් එකක් අස්සෙ ඉඳගෙන තමයි අපි දික්කසාද රේට් එකෙන් අපේ සාර්ථකත්වය කියවන්න හදන්නෙ. නමුත් ඒ කියවීම අස්සෙ අපි අපිවම රවට්ටා ගන්න බව තමයි ඒක අස්සෙ හැංගිලා තියෙන ඇත්ත කතාව !

6 comments:

  1. මම සම්පූර්ණයෙන්ම එකඟයි අතුල-සමිතා යුවල වෙන්වීම සෑහෙන කණගාටුදායකයි, හැබැයි දික්කසාදයෙන් පසුව ඔවුන් හැසිරුණ ආකාරය හරිම ප්‍රශංසනීයයි. මොකද ලංකාවේ වැඩිහරියක් ඉන්නේ තමන්ගේ පෙම්වතිය තමන්ව දාලා ගියාම, තමන්ගේ බිරිඳ තමන්ව අතෑරලා ගියාම ඔවුන්ගේ පෞද්ගලික දේවල් අන්තර්ජාලයට දාන, එයාලගේ වැරදි පුළුවන් හැමතැනකම කිය කියා ඇවිදින මෝඩ මිනිස්සු නිසා.

    ReplyDelete
    Replies
    1. එකඟයි. ඔය වගේ වෙලාවට තමයි පුද්ගලයෙක්ගේ පරිනතභාවය බලාගන්න පුළුවන්. සමාජය ඉස්සරහා මාර චරිත විදියට ඉන්න මිනිස්සුත් ඔය වගේ අවස්ථා බලදි හැසිරෙන්නෙ නව යොවුන් වයසෙ ළමයි වගේ.

      Delete
  2. මාත් සම්පූර්ණයෙන්ම එකඟයි. සමාජයේ ඇති මේ අදහස් වලින් පේන්නේ අපේම මෝඩ කුහකත්වය. පසුගාමී බව වසා ගැනීමට හැම දෙකටම අපි බටහිරට වැඩිය ඉහලයි කියාගැනීම. කණගාටුවකට වගේ අපේ උගත්තුත් මේ කුහකත්වය ඇතුලෙම ඉඳගෙන තමයි සමාජ ප්‍රශ්න දිහා බලන්නේ. මෝඩ කමට බෙහෙත් නැහැනේ. ඉතින්, අපේ සුපිරි සමාජය හැමදාම මෙහෙම තියේවි.

    ReplyDelete
  3. අපේ රටේ දික්කසාදය කියන්නෙම කුණුහරපයක්. අසාර්ථකත්වයේ සංකේතයක්. දික්කසාදයක් සිද්ධ වුනාම ඒක සලකන්නේ අදාල මනුස්සයාගේ ජීවිතයේ මකන්න බැරි කළු පැල්ලමක් විදියට. මොකක් හරි හේතුවක් නිසා දික්ක්සාද වුනාම එතනින් එහාට ඉතුරු වෙන්නේ ජම්මන්ත වෛරක්කාරයෝ දෙන්නෙක් මිසක තේරුම් ගැනීමන් ක්‍රියාකරන මනුස්සයො දෙන්නෙක් නෙමේ.///////// +++++++++

    ReplyDelete
  4. there is a similarity.....i wrote it many years ago....things have changed....but not much


    උදාහරණයක් ගමු..මැදපෙරදිග රටක් ගැන...මේ රටවල කාර් ලාබය, එක පුද්ගලයාට කාර් දෙක තුනක් හෝ ඊට වඩා ද ඇත්තේය. මේ රටවල සිටින පිරිමින්ට ඇති ගැනු ගණනද ඒ වගේය. කාර් එකකට හිත ගියොත් එය මිලදී ගෙන ගෙදර ගෙනෙනවා වගේ ගැනියෙකුට හිත ගියොත් ඒ ගැනි ව ගෙදර ගෙනත් තබා ගැනීමට මේ රටවල පුද්ගලයින් මැලි වීමක් නැත..

    දැන් යුරෝපීය හෝ ඇමරිකාව දෙස බලමු. මේ රටවල මිනිසුන් හට කාරයක් ගැනීම ඉතා පහසුය. හොද කාරෙකක් දැක්කොත් ගන්නට මැලි වෙන්නේ නැත. නමුත් පසුව ටික කාලයකට පසු ඊට වඩා වෙනත් හොද කාරේකක් දක්කොත් හෝ වෙනසකට වෙනත් කාරෙකක් පදවන්නට හිතුනොත් හෝ, අර පරණ කාරය විසි කරදමා අලුත් කාරයකට යැමට මොවුන් රුසියෝය. මොවුන් ගේ ගැනු ගැනීමද මීට දෙවැනි නැත. අද ගැනියෙක් ගත්ත උනත් පහු වෙනිදාට ඇය හොදනැති උනොත් ඇයව ඩිවෝස් කර දමා නව සම්භන්දතාවක් පටන් ගැනීමට තරම් මොවුන් දියුණුය/නොදුයුණුය

    ලOකාව ගැන කතා කරන්න ගියොත් ඉතින් බහුතරයක් කාර් මිලදී ගත්තාට පසු ලෙඩ දෙන ඒවාය, එසේ උනත් අලුත්වැඩියා කර හෝ ගත්ත කාර් එක සමගම හැප්පීම අපගේ සිරිතය. අපේ ගැණු ද ඒ වගේමය, ගන්න කොට කාර් බොඩිය ටින්කරින් කර පෙනුමට තියෙන් මුත් කාලය සමග ටින්කරින් ගැල වී කඩතොලු මතු වේ. එන්ජින් ට්‍රබල් අපමණය. අනේ එහෙමයි කියලා අපේ උන්දේලා කාර ය විසි කරන්නේ නැත. අපේ පවුල ගැන සOකල්පයද එසෙමය..වාහනේ කොට උඩ ගියත් ගරාජයේ හරි වාහන තබා ගැනීමට අප පුරුදු වී ඇත්තේය..

    යුසර් ෆ්‍රෙන්ඩ්ලි කාර් හදන්නේ ජපානයේය..ජපානයේ ගැනු ද ඒ වගේය, ඕනැම දේකට කොන්ද පාත් කරානවාය , ඒ අතින් ඔවුන් හස්බන්ඩ් ෆ්‍රෙන්ඩ්ලිය. මයියා ගේ යහලුවන් කීප දෙනෙකුටම ජපන් කාර් ඇතිවා මෙන්න ජපන් බිරින්දැ වරුද සිටී...ඒ අතින් ජපානේත් කාර් හා ගැනු කියන්නේ එක වගේය.

    ReplyDelete
    Replies
    1. කාර් ගැනීම සහ ගෑණු ගැනීම ! :D

      Delete