Thursday, January 19, 2017

මචන්, බුදු සසුන වෙනුවෙන් මහණ වෙන්න කැමතිද?

තමන්ගෙ ආගමේ ශාසනය රැකගන්නය කියල හයක් හතරක් නොතේරෙන පොඩි උන් මහණ කරනවට පක්ෂව කීබෝර්ඩ් එකෙන් කෑගහන උඹෙන් තමයි ඒ ප්‍රශ්නය අහන්නෙ..

ශාසනය වෙනුවෙන්ය කියල තමාගෙ ජීවිතය ගැනවත් තීරණ ගන්න තරම් මෝරලා නැති පොඩි එකෙක්ව වැඩිහිටියන් එකතු වෙලා මහණ කරනවට උඹ එකඟ නම්,

ඇයි ඔය කියන ශාසනය රැකගන්න උඹට මහණ වෙන්න බැරි? කියන එක වලංගු ප්‍රශ්නයක්ය කියන එක උඹටම තේරෙනවා ඇති.

සමහර විට උඹ කියයි "දැන් මගෙ ජීවිතය යන පාරක් තියෙනව.. මට ඉලක්කයන්, බැඳීම් තියෙනව.. එනිසා මට මහණ වෙන්න බැරිය.. පරක්කු වැඩිය" කියල

දැන් කතාව එහෙම නම්, ඊළඟට එන ප්‍රශ්නය තමා තේරෙන වයසට ඇවිත් ඉන්න උඹට කරන්න බැරි වැඩක් ඇයි නොතේරෙන වයසෙ ඉන්න පොඩි එකෙක්ට කරන්න කියන්නෙ කියන එක.

දැන් හිතහං මෙහෙම

උඹ ඉපදෙද්දිම වෙනත් පාර්ශවයක් විසින් තීරණය කරනවා උඹ මේ ලෝකෙට ආපු දවසේ ඉඳලා ගත කරන්න ඕන ජීවන ක්‍රමය, ඒ උඹට උඹ ගැන තීරණ ගන්න තරම් තේරුමක් නැති වයසකදි. ඒ ජීවන ක්‍රමය උඹ වටා ඉන්න, උඹ දකින, උඹ ජීවත් වෙන සමාජයේ ඉන්න අනිත් මිනිස්සුන්ගේ ජීවන ක්‍රම වලට වඩා සංවෘතයි. කටුකයි. නිරසයි.

දැන් උඹ එන්න එන්න ලොකු මහත් වෙනව. උඹට එන්න එන්න අනිත් මිනිස්සු විඳින මානසික, ශාරීරික සැප පේනවා. වයසෙන් වැඩෙද්දිම අනිත් හැමෝටම වගේ උඹේ ආශාවල් වැඩෙනවා. ඕනෑ එපාකම් වැඩි වෙනවා. උඹ නව යොවුන් වයසට එද්දි උඹටත් යාන්තම් එනවා ආසාවල්, කෙල්ලෙක් එක්ක/කොල්ලෙක් එක්ක කතා කරන්න, තනි වෙන්න, විහිලු තහලු කරන්න, හිනා වෙන්න.. ඒ වයසේ ඉන්න නීරෝගී ළමයෙක් වෙච්චි උඹත් අනිත් උන් වගේම ලේ ඇට මස් නහර වලින් හැදුන මනුස්සයෙක් නිසා උඹටත් එනවා ආසාවක්, හැකි සෑම අවස්ථාවකම පුළු පුළුවන් විදියට ලාවට හරි, තමාටම හොරෙන් හරි ජීවිතය චූට්ටක් විඳින්න.

තව පැත්තකින් උඹට හැම වෙලේම මතක් වෙනවා උඹට තියෙන සීමා, මායිම්.. සමාජය උඹෙන් බලාපොරොත්තු වෙන දේවල්. බලාපොරොත්තුවෙන හැසිරීම් රටා.

උන් උඹව සෑහෙන උඩින් තියලා, ඉහටත් උඩින් උඹෙන් දේවල් බලාපොරොත්තු වෙනවා, උන්.

උඹව උඩින් තියලා උන් ඉල්ලන්නේ උඹව, උඹේ ජීවිතය..

නමුත් පොඩ්ඩක් කල්පනා කරල බැලුවම තේරෙනව උඹ නියෝජනය කරන්නේ උන්ගේ ජීවිත වල තියෙන දාහකුත් එකක් වෙච්චි ෆැන්ටසික ආශා වලින් එකක් විතරයි කියන එක

මේ කාරණය ගැන අවංකව හිතල බැලුවොත් තේරෙයි අම්මා තාත්තා සහෝදර සහෝදරියො එක්ක ගත කරන්න තිබ්බ උඹෙ ළමා කාලය විතරක් නෙමේ, සම වයසෙ යාලු මිත්‍රයො එක්ක කෙළිදෙලෙන් සතුටින් සිනහවෙන් ගත කරන්න තිබ්බ උඹේ නව යොවුන් වයස, පෙම්වතියක් එක්ක ආදර සුව විඳිමින් ගත කරන්න තිබ්බ උඹෙ වැඩිහිටි වයස.. මේ ඔක්කොම.. ඒ කියන්නෙ මව් තුරුලෙ හිටපු උඹෙ ජීවිතයම සමාජය විසින් උදුරගෙන උඹව උන්ගෙ දේශපාලන/ආගමික ප්‍රොජෙක්ට් එකක ඉත්තෙක් කරගෙන කියල

දැන් සමහර විට උඹ කියයි පොඩි කාලෙම මහණ කෙරුවට ඒ දරුවා වැඩිහිටියෙක් චුනාම කැමැත්තෙන්ම සිවුර අත ඇරලා සාමාන්‍යය ජීවිතයක් ගත කරන්න පුළුවන් නෙ කියල.

ආයෙත් නැවතිලා පොඩ්ඩක් හිතහන් සිවුර අත ඇරලා අයින් වෙන එක ලේසි දෙයක්ද කියන එක ගැන.

හාමුදුරු නමක් අමතක කරන්න, අවුරුදු 25ක් විතර එක දිගට කරපු ජොබ් එකක් එකපාර අත ඇරලා වෙනම ජීවන රටාවකට හැඩගැහෙන්න ගිහියෙක්ට කොච්චර අමාරුද?

අනික උඹ එහෙම කිව්වට උඹෙ හෘද සාක්ෂිය දන්නවා සිවුර අතහැරපු කෙනෙක් දිහා සමාජය කොයි තරම් සෘණාත්මක විදියටද බලන්නෙ කියන එක

"එහෙම බැලුවොත් පොඩි ළමයෙක්ව බලෙන් ඉස්කෝලෙ යවන්නත් බැහැ"

ඕක තමයි පොඩි උන්ව බලෙන් මහණ කරන එක වෙනුවෙන් පෙනී ඉන්න උඹේ අවසන් ප්‍රශ්නය. අන්තිම තුරුම්පුව

ඒත් උඹ හොඳාකාරවම දන්නවා පාසැල් අධ්‍යාපනයෙන් වෙන්නෙ දරුවෙක්ට අනාගතයෙදි තමාට කැමති වෘතියක් තෝර ගන්න මූලික අඩිතාලමක් දැමීම පමණක් බව. එහෙම තියාගෙන උඹට බැහැ පැවිදි ජීවිතයට ඇතුලත් කරන එක ඉස්කෝලෙ යාමට සමාන කරන්න. ඒකයි ඇත්ත කතාව.

අන්තිමට කියන්නෙ තියෙන්නෙ එක දෙයයි. කොයිතරම් හොඳ අරමුණකින් වුනත් මව් තුරුලෙ ඉන්න අහිංසක දරුවෙක්ව තමාගෙ අම්මගෙ ආදරය නැති වෙනත් වැඩිහිටියන්ගෙන් පිරුන අවකාශයකට අත ඇරල දානව කියන්නෙ මහා පව්කාර වැඩක්

ඒ නිසයි පොඩි දරුවෙක්ට ඒ දේ කරනවට පක්ෂව හඬනඟන උඹෙන් අන්තිමට අහන්නෙ

මචන්, බුදු සසුන වෙනුවෙන් මහණ වෙන්න කැමතිද?



4 comments:

  1. පන්සල් වල දාල යන අලි පැටවුන්ගේ සත්ව හිංසන සත්ව අයිතීන් ගැන කතා කරන ඇවුන්ට පොඩි ඇවුන් මහ ඇවුන්ගේ උවමනාවට මහණ කරන එක ගැන කියන්න තියෙන්නෙ "සාදු කාරයක් දෙන්ට" කියල විතරයි.

    අනේ මෙහෙම මීහරක් ජාතියක්.

    ReplyDelete
  2. මට ඔය සිවුරු කාරයො පේන්ඩ බැරි උනේ අවු. 13දි. අපේ ගේ ළඟම තියෙනවා පංසලක්. මම යනවා නිතරම හවසට පොඩි හාමුදුරුවොත් එක්ක සෙල්ලම් කරන්න.
    එක දවසක් හොඳටම වැස්ස, අනික් පොඩි හාමුදුරුවො නිදි. ලොකු ගනය කිව්ව මටත් නිදාගන්න කියල වැස්ස පායනකල් වෙන කාමරයක.
    ටිකක් වෙලා යනකොට ගනය මගේ ඇඳ උඩින් ඉඳගෙන රස්නෙ නේද කියල මගෙ සරම අයින් කරනවා. මම ඒ වෙනකොට ඔය ගල් කැපීම ගැන අහල තිබුනා.
    මේකා ඇඟට ගොඩ වෙන්න හදනකොටම තල්ලු කරලා මම දුවගෙන ආවා තෙමීගෙන. ඉන්පස්සෙ ජීවිතේට දහම් පාසල්වත් ගියේ නෑ.
    පෝයට පංසල් ගියා කෑලි බලන්න. හැබැයි බුද්ධාගමට A එකක් තිබුණා

    ReplyDelete
  3. බොහෝ අයහපත් දේ යහපත් යැයි සම්මත කරවු බොරුව නම් සෙවනැල්ලට මුවා වී කෙරෙන බව වටහාගන්න අපහසු එතරම්ම "සම්මතය" (බොරුව ) නිවැරදි බව මිනිසුන්ට කාවැද්දීමට කාලය සමත් වී ඇති නිසාද...

    ReplyDelete