Thursday, February 23, 2017

මරණීය දණ්ඩනය එපා !

මරණීය දණ්ඩනය යනු යම් පුද්ගලයෙක් විසින් සිදුකල අපරාධයක් නිසා නීතියේ අවසරය සහිතව එම පුද්ගලයාව ඝාතනය කිරීමයි. “මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතුය” යන ස්ථාවරය දරන්නන් විසින් මරණීය දණ්ඩනය සිදු කිරීමේ අරමුණු ලෙස ඉදිරිපත් කෙරෙන කාරණා කිහිපයක් වේ. ඒ අතර අපරාධය සිදු කළ පුද්ගලයාගෙන් සමාජයට සිදුවන හානිය වැලැක්වීම, අනාගතයේ සිදුවන අපරාධ අඩු කිරීම, ඔහු කල අපරාධයට දඬුවමක් නියම කිරීම තුලින් යුක්තිය ඉටු කිරීම වැනි දේ වේ. නමුත් ගැටලුව වනුයේ මෙකී හේතූන් මගින් මරණීය දණ්ඩනයේ අවශ්‍යතාවය පිළිඹිබු කරන්නේද යන්නයි.

අපරාධකරුවෙකු පණපිටින් අල්ලා ගත් පසු ලැබෙන විකල්පයන් නම් ඔහුව ඝාතනය කිරීම හෝ ඔහුව සමාජයෙන් වෙන්කර තැබීමයි. මේ ක්‍රම දෙකෙන්ම පැහැදිලිවම ඔහුගෙන් සමාජයට විය හැකි හානිය සම්පූර්ණයෙන්ම වැලැක් වේ. මෙහිදී සදාචාරාත්මකව සහ මානුශීය අතින් ගත් විට පැහැදිලිම විකල්පය නම් ජීවීතාන්තය දක්වා ඔහුට සමාව දිය නොහැකි කොන්දේසිය යටතේ සිරගත කිරීමයි. මේ විකල්පය අප සතුව තිබියදී මිනිසෙක්ගේ ජීවත්වීමේ අයිතිය නැති කිරීමට හේතුවක් මම දකින්නේ නැහැ. අපරාධකාරයෙක්ට වුවත් ජීවත් වීමේ අයිතියක් තිබෙනවා. අපරාධකාරයෙක්ව මැරීම අනුමත කිරීම මිනීමැරීම වැරදි නිසා මිනීමැරීම නොවේද? මිනීමැරීම වැරදිබව පෙන්වීමට, මිනීමැරීම ප්‍රතික්ශේප කිරීමේ අරමුණුන් නීත්‍යානුකූලව මිනීමැරීම සාධාරණද?

මරණීය දණ්ඩනය අනුමත කරන අයගෙන් සියල්ලන් නොවුනත් බොහෝ අය එම මතයේ සිටීමට හේතුව නම් මිනිස් සිතේ පහලවන පලිගැනීම යන හැගීමයි. අදාල පුද්ගලයා නිසා මිනිස් ජීවිත වලට, සමාජයට සිදුවූ හානිය සහ ඔහුගේ හැසිරීම නිසා ඇතිවූ කේන්තිය හේතුවෙන් බොහෝ අය මරණීය දණ්ඩනය අනුමත කිරීමට පෙළබේ. අමානුශික අපරාධයකින් පසු එම අපරාධය සිදුකල පුද්ගලයා ඝාතනය කල යුතු ආකාරය සහ ඝාතනය කිරීමට යොදාගත යුතු නොයෙකුත් ක්‍රම ගැන මිනිසුන් පලකරන අදහස් වලින් මේ බව පැහැදිලි වේ. මෙහිදී ඔවුන්ට අමතක වන දෙය නම් ඔවුන් මොහොතකට හෝ ඔවුන් විසින් පිලිකුල් කරන එම අපරාධකාරයාගේ තත්වයටම නොදැනුවත්වම වැටී ඇති බව. හැඟීම් වලට වහල් නොවී බුද්ධියෙන් තීරණ ගත යුතු බව අමතක නොකල යුතුයි.

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතුය යන ස්ථාවරය දරන්නන් ගෙන එන තර්කයක් නම් මරණීය දණ්ඩනය හේතුවෙන් සමජයේ අපරාධ අඩුවන බව. නමුත් සංඛ්‍යා ලේඛන අනුව පෙනීයන්නේ එය අසත්‍යයක් බවයි. උදාහරණයක් ලෙස, මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන ඇමරිකාවේ ප්‍රාන්ත වල මිනීමැරුම් ප්‍රමාණය මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොකරන ප්‍රාන්ත වල මිනීමැරුම් ප්‍රමාණයට වඩා වැඩි වීම දැක්විය හැකිය.

මරණීය දණ්ඩනය සාධාරණීකරණය කරන්නන් විසින් ඉදිරිපත් කරන තවත් තර්කයක් නම්, මරණීය දණ්ඩනය හේතුවෙන් අනාගතයේ සිදුවිය හැකි අපරාධ අඩුවන බවයි. නමුත්, මෙහිදී මරණයට ලක්වන අපරාධකරුවා දඩුවම් ලබන්නේ තමා කළ වරදට මෙන්ම අනාගතයේ “විය හැකි වැරදි” වලටය. ඔහුට තමාගේ වරදට අමතරව අනාගතයේ අන් අය අතින් “විය හැකි වැරදි” වලට ද දඩුවම් කිරීමේ සදාචාරාත්මකභාවය ගැන මෙහිදී ගැටලුවක් මතු වේ.

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ තවත් අයහපත් ප්‍රතිඵලයක් වනුයේ වැරදි නොකල මිනිසුන් ද මරණීය දණ්ඩනයට නියම වීමට ඇති අවදානම යි. අපරාධ පර්යේෂණ වල සිදු වූ යම් යම් අතපසුවීම් නිසා නිර්දෝෂී පුද්ගලයින්ව වැරදිකරුවන් කර ඔවුන්ට මරණ දඩුවම ලබාදුන් පසු ඔවුන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු වූ අවස්ථා ඉතිහාසයේ ඕනෑ තරම් දක්නට ලැබේ.

මරණීය දණ්ඩනය අනුමත කරන අය සැලකිය යුතු තවත් කරුණක් වන්නේ තමා විසින් තම ආණ්ඩුවට තම රටවැසියන් ඝාතනය කිරීමට “බලපත්‍රයක්” ලබා දෙන බව. බොහෝ අවස්ථාවලදී රැවටීම, තණ්හාව, කෲරත්වය වැනි ලක්ෂණ පෙන්වන ආණ්ඩුවට සහ බොහෝ විට එහි සාමාජිකයින්ට නීත්‍යානුකූලව මිනීමැරීමට සහය ලබා දෙනබව. “දේශද්‍රෝහී වීම” යන චෝදනාව යටතේ මරණ දඬුවම නියම වීමේදී මේ ප්‍රශ්නය වඩාත් උග්‍ර තත්වයට පත්විය හැකියි. මෙහිදී මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ වගකීම ලැබෙන්නේ ද රටේ ආණ්ඩුවටයි. රටේ බොහෝ වගකීම් ගැන ආණ්ඩුව ගැන විශ්වාසයක් නොදක්වන අය මරණීය දණ්ඩනය, එනම් අපරාධකාරයාව මරණයට පත් කරන ආකාරය (උදා- විදුලි පුටුව, එල්ලුම් ගහ), නියමිත ක්‍රමයට, මානුශීය ලෙස ක්‍රියාත්මක කිරීම ගැන සම්පූර්ණ විශ්වාසය තබා ඇති අයුරු පුදුම සහගතයි.

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමෙන් සමාජයකට සිදුවන බලපෑම ද නොසලකා හැරිය නොහැකියි. මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වන ඇතැම් රටවල සමහර අවස්ථාවන් වලදී යම් අපරාධකරුවෙකු ඝාතනය කරන විට එම ස්ථානයට රැස්වන මිනිසුන් ඔල්වරසන් දෙනු දක්නට ලැබේ.. මිනීමැරීම් සමරන සමාජයක් බිහිවීම මේ තුලින් නොදැනුවත්ව හෝ සිදු වේ.

එමෙන්ම, අපරාධකරුවන් අතර සිටින විවිධ මානසික විකෘතිතාවයන් නිසා අපරාධ කිරීමට පෙළඹුන අයව ඝාතනය කිරීම නොවේ අප කළ යුත්තේ. අප විසින් කළ යුතු වන්නේ ඔවුන්ව නිසි වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු කරන ඔවුන්ගේ රෝගය සුව කිරීමට උත්සාහ ගැනීමයි. ඔවුන් එම රෝගයන්ගේ ගොදුරු බව අප අමතක නොකල යුතුයි. හැගීම් වලට වහල් නොවී බුද්ධියෙන් විමසා බැලීමට හැකිනම් පෙනී යන්නේ ඔවුන්ට හිමිවිය යුත්තේ අනුකම්පාව බවයි

වැරදි වලට දඩුවම් ලැබීමට සුදුසු බව අපට තීරණය කල හැකි වුවත් ලෝකය සහ මිනිසුන් විදිහට වර්තමානයේ අපේ ක්‍රියාකලාපයන් සහ හැසිරීම දෙස බැලූ විට පෙනී යන්නේ කුමන වරදකට හෝ අල්ලා ගත් මිනිසෙක් ඝාතනය කරන්න පුලුවන්ද කියන එක තීරණය කරන්න පුලුවන් තත්ත්වයක අප නැති බවයි. ප්‍රශ්නය නම් නීතියේ රැහැනට හසුවූ අපරාධකාරයෙක් මරණයට සුදුසුද යන්න නොවේ. නීතියේ රැහැනට හසුවී සමාජයට තවදුරටත් හානියක් නොවන අපරාධකරුවෙක්ව ඝාතනය කිරීමට ශිෂ්ඨ සම්පන්න මිනිසුන් යැයි කියා ගන්නා අපට අයිතියක් තිබේද යන්නයි.

6 comments:

  1. වාරණය සහ නිවාරණය කියන දෙකම එකසේ වැදගත්.

    ReplyDelete
  2. අම්මටහුඩු මචං 🤔.. ඔළුවට පොල්ලෙන් ගැහුව වගේ. කොහොම කමෙන්ට් කරන්නද කියල හිතා ගන්ට අමාරුයි.

    ඒත් දෙපැත්තම ගැන හිතන්ට දෙයක් ඉතුරු කල පොස්ට් එකක්.. 👊🏽

    ReplyDelete
  3. එකඟවෙනවා උඹේ කීමට. විවාදයක් නෑ. ඒත් ස්ත්‍රී දූශන හා ළමා අපචාර කියන තැන් දෙකේදී හිත විපිළිසර වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඒත් නීතියෙන් දඬුවම් දීමේ අරමුණු ගැන තේරුම් ගත්තම ඔය ස්වභාවිකව ඇති වන පළි ගැනීමේ සිතිවිල්ල පාලනය කරගන්න පුළුවන්. :)

      Delete