Thursday, September 21, 2017

සියවැනි සටහන : අඳුර



අන්ධකාරය දසත පැතිරී ඇත. මහා කැලයක් මැද නිමක් නොපෙනන පාළු පාරක මිනිසෙක් ගමන් කරමින් සිටියි. ඔහු ඉදිරියට පය තබන්නේ හැඟීමක් දැනීමක් නැත්තෙකු සේය. කිසිදු අරමුණකින්වත්, විඩාවකින්වත් තොරවය ඔහු ඉදිරියට ඇදෙන්නේ.

ඔහු කොපමණ වේලාවක් ඇවිද ගියාදැයි ඔහුවත් නොදනියි.

ගමනාන්තය !

ඉදිරියේ දිස් වන්නේ ගුප්ත බවින් වෙළී ගිය විශාල නිවසකි.

ඔහු නිවසට ඇතුළු විය යුතුය. ඔහුට එසේ නොකර සිටීමට තේරීමක් නැත.

නිවසට ඇතුළුවන ඔහු දකින්නේ කුඩා පිරිමි ළමයෙකි. කට්ට කළුවරේ ළමයා බිම ඉඳගෙන සිටියි. ළමයාගේ මුහුණ අමුතුම හැඟීමකින් වෙළී ඇත. නමුත් ඒ හැඟීම බිය වත්, දුකවත්, පාළුවවත්, කේන්තියවත් නොවන බව ඔහු තේරුම් ගනියි. ළමයා අසරණ බවින් පිරුනු දෑසින් ඔහු දෙස බලයි.

ඔහුට මේ ළමයා ගැන දුකක් දැනේ. ඔහුගේ ජීවිතයේ කිසිම දවසක කිසිම කෙනෙක් උදෙසා නොදැනුන දුකක් දැනේ. ඔහුට මේ ළමයාට උදව් කිරීමේ තදබල උවමනාවක් තිබුනද කුමන හෝ හේතුවක් නිසා ළමයාගේ අසරණ දෑස දෙස බලා සිටිනවා හැර වෙන කල හැකි දෙයක් ඔහුට නැත. කවදාවත් හිතෙන් මැකිලා යන්නෙ නැති භයානක හීනයක් වගේ දර්ශනයක් !

දෙදෙනාම මේ නිවස තුළ සිරවී සිටින සිරකරුවන්ය. ඔහුගේ හිස පුපුරන්නට එනබව ඔහුට දැනෙයි. මෙය තව දුරටත් දරා ගත නොහැකිය. ඔහු පිස්සෙකු මෙන් වේගයෙන් නිවසෙන් එළියට දුවගෙන එයි.

නිවස ඉදිරිපිට මහා කළු ගල් දෙකකි. සිත් පිත් නැති කළු ගල් දෙකකි. ඒ කළු ගල් දෙක උඩ රතු පාට රෝස මලකි.

"කළු ගලක් උඩ රෝසමලක් ආවේ කොහොමද? වෙන්න බැරි දෙයක්නෙ.." මෙය ඔහුට ප්‍රශ්නාර්ථයකි.

""රෝස මලක් ආවේ කොහොමද කියල කල්පනා කරල වැඩක් නෑ. කළු ගලක් උඩ රෝස මලක් ආපු එකම මදිද?" එය සැබවින්ම රෝස මලක් යයි ඔහුට සිතෙයි.

කළු ගල මත ඔහු යමක් කුරුටුගාන්නට පටන් ගනියි.

"..මට මගෙ ජීවිතයෙන් බාගයක්ම මතක නැති වුනාට 
මට මුහුණ දෙන්න වුන අඳුරුම අත්දැකීම් නම් අද වගේ මතකයි
ඒවා කිසිදවසක මතකයෙන් නොයන තරමට 
තදින් හිතේ පැළපදියම් වෙලා ඇති සමහර විට
කවදාවත් නොමැකෙන විදියට
නොසැඟවෙන විදියට
ඒත් 
මම අදත් ඒ අඳුරු අත්දැකීම් වලට 
ආදරෙයි
මොකද
ඒ අඳුරු අත්දැකීම් නොවන්නට 
මේ වචන ලියනා මම නොසිටින්න තිබූ නිසා
මේ වචන ලියන 
තැළුණු, පොඩිවුනු, බිඳුනු මට 
මම හරිම කැමතියි
ඒ නිසයි ඒ අඳුරු අත්දැකීම් 
කිසිදා මැකී යනවාට මම අකමැති
ඒ දේවල් සිදු නොවූ අතීතයක් 
මම කිසිදවසක නොපතන්නේ 
ඒ නිසයි
ඒවා වෙනස් වුනොත් 
මට මාව නැතුව යන නිසයි
ලෝකය නරුමයෙක් විදියට දකින 
ඒ මමට මම හරිම ආසයි
මම මගේ නරුමකමට ආසයි.
ඒ අඳුරු අත්දැකීම් මගේ අනන්‍යතාවය ගොඩනඟපු නිසා 
මම ඒවට ආදරෙයි
හැමදේටම වඩා ආදරෙයි.."

..ඔහු නොමේරූ කුඩා දරුවෙක්ව සිටි කාලයේ සිට ඔහු හා සමඟ සිටි අඳුර කවදා හෝ නැවත ඔහුව සොයාගෙන එනබව ඔහු සහතික ලෙසම විශ්වාස කරයි..

ඔහු ආපසු හැරෙයි.

ඔහු ඉදිරියේ යමෙක් සිටගෙන සිටියි.

"අඳුර.. මගේ මිත්‍රයා !"

කෙටි කලකට ඔහුව අතහැර ගොස් සිටියද ඔහු හා සමඟ සෙවනැල්ල මෙන් සිටි මිත්‍රයා නැවත ඔහු සොයා පැමිණ ඇත.

"අපි යං.."

"හා" ඔහු පිළිතුරු දෙයි.

මුළු ලොවම ඔහු ඉදිරියේ ක්‍රමයෙන් නැතිවී යන බව ඔහුට පෙනෙයි. කවුරුත් මොනවත් නැති ලෝකයක්. සියල්ලන්ගෙන් ඈත් වුන තනිකම සහ අඳුර සමඟ මොහොතක් !

අවසනයේ ඔහුගේ සිහිනය සැබෑවී ඇත.

මඳහහසකින් මුව සරසාගෙන ඔහු නිදයි. කිසිදා අවදිනොවන නින්දක නිදයි.


©Jamis Banda


1 comment:

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...