Wednesday, April 6, 2016

මෙරු

ජීවිතයේ අවසානය, අවසානයම කියල පිළිගන්න අපේ හිතේ තියෙන නොකැමැත්ත කොයිතරම් බලවත්ද කියන එකට මරණින් පස්සේ මොන විදියකින් හරි තියෙන පැවැත්මක් ගැන අවුරුදු දහස් දසදහස් ගණනක් තිස්සේ අපි තුළ තිබ්බ විශ්වාසයට වඩා තවත් සාක්කියක් ඕනද?

මිනිස් බුද්ධියෙන්, තර්කයෙන්, විද්‍යාවෙන් එල්ල කෙරෙන මරුපහරවල් ඉදිරියේ වැටි වැටී හරි ආගමික විශ්වාස තවමත් නොසැලී, නොවැටී තියෙන්නේ අපේ සිතේ ඉතිරි වෙලා තියෙන මේ බලාපොරොත්තුව නිසා කියල කවුරු හරි කිව්වොතින්

ඔබ මොකක්ද දෙන උත්තරය?

ජීවිතයේදී කියපු කරපු හොඳ දේවල් වලට කවදා හරි හොඳ ප්‍රිතිඵලයක් මරණින් පස්සෙ වෙනම ලෝකෙකදි හරි වෙනම ජීවිතයකදි හරි ලැබෙයි…. ජීවිතයේදී නරක කියපු කරපු මිනිස්සුන්ට කවදා හරි ඒවායේ විපාක මරණින් පස්සෙ වෙනම ලෝකෙකදි හරි වෙනම ජීවිතයකදි හරි ලැබෙයි,

තවත් ලෝකයක්.. තවත් ජීවිතයක්.. ගැන
තියෙන ඒ බලාපොරොත්තුව….!

සුළු පටු එකක් නෙමේ.

ඒ වෙනුවෙන් කීදාහක් මිනිස්සු ජීවත් වෙන්න ඇද්ද? කීදාහක් මිනිස්සු සටන් කරන්න ඇද්ද? එකිනෙකා මරාගන්න ඇද්ද? ජීවිත පූජා කරන්න ඇද්ද?
මිනිස්සු කැමති වෙයිද කිසිම කෙනෙක් කිසිම විදියකින් කවදා හරි ඒ බලාපොරොත්තුව තමාගෙන් උදුරගන්නවට?
ඒ බලාපොරොත්තුව මායාවක් විතරක් නම්.. ඒ බලාපොරොත්තුව මිත්‍යාවක් විතරක් නම්..??

මොනව වුනත්.. මරණින් පස්සේ තියෙනවාය කියලා ‘බලාපොරොත්තුවෙන’ මේ ජීවිතයට.. පැවැත්මට.. අනික් හැම දේකටම වගේ නියම වෙලා තියෙනවා මිලක්.. කරන්න සිද්ධ වෙලා තියෙනවා කැප කිරීමක්
එක එක ආගම් වල, එක එක විශ්වාසයන්ට අනුව නියම කරනවා එක එක ජීවන ක්‍රම.. ඒවා එකිනෙකින් පරස්පරවිරෝධී වෙනකොට එකිනෙක අතර ගැටීම වළක්වන්න බැහැ..

ඒ නිසයි ඒ ගැටීමේ ප්‍රතිඵල විදියට ලක්ෂ ගණනින් මිනීකඳු ගොඩ ගැහිල තියෙන්නෙ. ලේ ගංගා ගලල තියෙන්නෙ.

අවුරුදු දස දහස් ගණනක් මුළුල්ලේ බලාපොරොත්තුවේ ‘මිල’ මනුස්සයා ගෙව්වේ එහෙමයි.
මරණින් පස්සේ තියෙන.. තියෙනවාය කියලා හිතන ඒ ආලෝකය පස්සේ මෙරු රැළක් වගේ දුවනවා.. බලාපොරොත්තුවෙන් !

අපි මොහොතකට එමු ඔබයි මමයි ජීවත් වෙන සැබෑ ලෝකයට
මේ මට ටික කාලයකට කලින් යාලුවෙක් කියපු කතාවක්

"යාලුවගේ ගමේ හිටපු වයසක අම්මා කෙනෙක් පන්සලට ගිහින් කාලෙකට කලින් නැති වුන ඇගේ සැමියාට පිං පතල පන්සලට දානයක් දෙන්න හිතාගෙන. එහෙම ගිය ඇයට පන්සලේ හාමුදුරුවෝ කියල තියෙනවා පන්සලට දානේ එපා, සිමෙන්ති කොට්ට දෙක තුනක් ගෙනල්ලා දෙන්න කියල. වයසක අම්මා ඒකට කැමති වෙලා නෑ. ගෙදර දානේ උයලා බෙදාගෙන ඇවිත් හාමුදුරුවෝ කීපනමකට පූජා කරලා වැඳලා යනවා වගේ සතුටක් සිමෙන්ති කොට්ට කීපයක් ගෙනත් දුන්නාම වයසක අම්මා කෙනෙක්ට නොලැබෙන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. බේරෙන්න බැරි තැන හාමුදුරුවෝ වයසක අම්මට කියල සිමෙන්ති කොට්ට ගේන්නේ නැතුව ඒ වෙනුවට දානේ ගෙනාවොත් ඒ වයසක අම්මා මැරුණ දවසක ඇයට පිං දෙන්නෙ නෑ කියල"

ජීවිතේ සැඳෑ සමය ගත කරන, මරණින් පස්සේ ජීවිතය යහපත් කරගන්න එක තමාට ඉතිරි වෙලා තියෙන එකම බලාපොරොත්තුව වෙච්චි වයසක මනුස්සයෙක්ගේ හැඟීම් එක්ක සෙල්ලම් කරන එක කොයි තරම් නම් ලේසිද?

මේ වයසක මිනිස්සු මරණින් එහා ජීවිතයට ගෙනියන්න පින් රැස්කරගන්න දඟලන්නේ හරියට විභාගයක් අතලඟ කලබලෙන් පාඩම් කරන පොඩි ළමයි ටිකක් වගේ

මේ පින් පොරයට මිලක් නියම කෙරෙන (ආගමික) ව්‍යපාර ඒ වටා ගොඬගැහෙන්නේ ඒකේ ප්‍රතිඵලයක් විදියට

අහවල් උත්තමයාගේ ගහක්, ප්‍රතිමාවක්, විහාරයක් වඳින්න කියල කවුරු හරි කියන වචනයක් පිළිගෙන අල්ලපු රටට බුරුතු පිටින් පොරකකා අතේ තියෙන තුට්ටු දෙක වියදම් කරගෙන යන්නේ මේ පින් අකවුන්ට් එක වැඩි කරගන්නයි

අපි කවුද ඒ මිනිස්සුන්ගේ බලාපොරොත්තුව ප්‍රශ්න කරන්න? කෙනෙක්ට එහෙම අහන්න පුළුවන්
ඒ ගමන්ම තවත් කෙනෙක්ට අහන්න පුළුවන් හදි හූනියම්, අංජනම් බැලිලි, වශී ගුරුකම් විතරක් නෙමේ මිනිස්සු රවට්ටන ව්‍යාපාර සහ මේ පිං විකිණීම අතර වෙනසක් තියෙනවද කියලත්

මිනිසාව මෙපමණ කල් ජීවත් කරවපු බලාපොරොත්තුව සහ අන්ධ විශ්වාසය අතර වෙනස හරි හැටි තේරුම් බේරුම් කරගන්නකම් ඔය දෙකේම මිල අපිට මිනිස් හැඟීම් වලින්, ලේ ගංගා වලින්, මිනී කඳු වලින් ගෙවන්න වේවි.

මගේ ප්‍රියතම ඉංග්‍රීසි කතා මාලාවක කියවෙන මේ කතාවෙන් සටහන අවසන් කරන්නම්

“The ontological fallacy of expecting a light at the end of the tunnel, well, that’s what the preacher sells, same as a shrink. See, the preacher, he encourages your capacity for illusion. Then he tells you it’s a fucking virtue. Always a buck to be had doing that, and it’s such a desperate sense of entitlement, isn’t it?” – Rust Cohle ; True Detective

12 comments:

  1. බහුතරයක් මිනිස්සු ජීවත්වෙන්නේ තරගෙක. ඒ ජීවිත ඇතුලේ හීන ගොඩයි. කාටවත් කවදාවත්ම ඔක්කොම හීන සැබෑකරගන්න බෑ.දිගින් දිගටම ඒ හීන පස්සේ හඹා යනවා ඇරෙන්න.හැබෑනොවුන හීන ඊළඟ ආත්මේ හරි සැබෑකරගන්න තමයි බහුතරයක් ට්‍රයි කරන්නේ.පෞද්ගලිකව මම ඒකට කැමතියි. ඒ නිසා තමයි මිනිහෙක් තව මිනිහෙක්ට රුපියලක් හරි දෙන්නේ.කෑම වේලක් දෙන්නේ. තමන්ගේ පිණ් එකවුන්ට් එක වැඩිකරගන්න.ඒ නිසා කොච්චර ගැටළුසහගත වුනත් මම ඒ දේ ප්‍රශ්ණකරන්නේ නෑ. මොකද තර්කයෙන් විතරක් මේ ප්‍රශ්න විසදන්න බැරිනිසා.බුද්ධියට වඩා හැඟීමට තැනක් තියන සමාජයක තර්කයට තැනක් ලැබෙන එක විහිළුවක්.ආතල් වලින් ජීවිතය විඳගන්න හුරුවුන සමාජයකට ගැලපෙන්නෙත් මේ වගේ ආතල් වලින් නිවන් යන ක්‍රමවේදයක් විතරමයි.

    ජයවේවා....

    ReplyDelete
    Replies
    1. ඔය සැබෑ නොවුන හීන සැබෑ කරගන්න උත්සාහ කරන එක හොඳයි. නමුත් සමහරු ඒ සැබෑ නොවූ හීන තමන්ගේ දරුවන් තුළින් සැබෑ කරගන්න හදනවා. ඒ තත්වය ටිකක් අවුල්.

      අනිත් කාරණාව, පින් තකා මනුස්සයෙක්ට උදව් කරන එකයි තවත් මනුස්සයෙක්ගේ අභිවෘදිය තකා මනුස්සයෙක්ට උදව් කරන එකයි දෙකක්. මොකද පින් තකා කරන උදව්වක් ගැබ් වෙලා තියෙන්නේ තනිකර ආත්මාර්ථය මත. සදාචාරාත්මක පැත්තෙන් ගත්තොත් ඒක අවුල්. මේ සංකල්පයේ තව අවුලක් තමා මේ පින් අකවුන්ට් වැඩි කර ගැනීමේ විවිධ වර්ෂන් තිබීම, සහ ඒ සමහර වර්ෂන් වලින් කිසිම මනුෂ්‍යයෙක්ට සත පහක වැඩක් නැති වීම. උදාහරණයකට මොකක් හරි සෑයකට, දාගැබකට නෙළුම් මල් දහදාහක් පූජා කරන එක හරි.. මොකක් හරි බෝධියකට කිරි කල මෙච්චරක් වක් කරන එක හරි.. මොකක් හරි පල්ලියකට අඩි මෙච්චරක් උස ඉටිපන්දමක් පත්තුකරන එක හරි.. වගේ පින් අකවුන්ට් එකේ බැලන්ස් එක වැඩි කරගන්න තියෙන සමහර වර්ෂන් අස්සේ තියෙන්නේ අර හරකා පූජනීයයි කියලා හරක් මුත්‍රා වලින් ඔලුව හෝදගන්නා ගොබ්බ කමම තමයි. බඩිගින්නේ මිනිස්සු ඉද්දි කිරි වලින් පිළිම නාවන සමාජ බිහිවෙන්නේ (උදා- ඉන්දියාවෙ) මේ පින් අකවුන්ට් වැඩි කර ගැනීමේ හෝ දෙවි කෙනෙක් ඉදිරියේ ලකුණු දාගැනීමට දඟලන හෝ මිනිස්සු ඉන්නා සමාජ වල මිසක මිනිස්සු විදියට එකිනෙකාගේ අවශ්‍යතා උවමනා දුබලකම් හඳුනගෙන මනුස්සයන් වශයෙන් එකිනෙකාට උදව්පදව් කරගන්නා සමාජ තුළ නෙමේ.

      අදහස බෙදා ගැනීම ගැන ස්තූතියි කටුස්සෝ

      ජය !

      Delete
  2. යමක හොද නරක තේරුම් කර ගෙන අවබෝධයෙන් ඒ ක්‍රියාව කිරීම හෝ නොකිරීම තමයි කෙරෙන්න ඕනා.

    ඒත් සම්පත් සදහා නිරන්තර අරගලයක යෙදෙන, ඒ නිසාම හිතන්නවත් වෙලාවක් නැතිව කවුරු හරි දෙන කැරට් අලයක් ගිලින සමාජයක....හොද නරක කියලා දෙන්න නීතීයට, අද්‍යාපනයට විතරක් පුලුවන්ද....

    ඔය පින් පව් ආගම් ඔක්කොම පුරවන්නේ ඒ හිඩැස නෙවෙයිද?

    ReplyDelete
    Replies
    1. යමක හොඳ, නරක තේරුම් ගන්නවා කියන්නෙ හිතනවා තරම් ලේසි දෙයක් නෙමේ නේද? මොකක්ද හොඳ, මොකක්ද නරක කියලා වෙනස් අදහස් තියෙනවා ගොඩක් දෙන්නෙක්ට. ආගමික වශයෙන් ගත්තත් ඔය හොඳ නරක ගැන කෙරෙන විග්‍රහයන් වෙනස් වෙන අවස්ථා තියෙනවා. ඒ නිසයි මේ හොඳ නරක තීරණය කරන විදිය ගැන සාකච්ඡා ඇති වෙන්න ඕන. විවේචන ඇති වෙන්න ඕන. එතකොට ඔය ආගමික පසුබිමෙන් එන හොඳ නරක ගැන විවේචනයකුත් සිද්ධ වෙන්න ඕන. මේ ලිපියෙන් යන්තම් කරල තියෙන්නෙ එහෙම දෙයක්.

      ඔබේ ඊළඟ අදහස ගැන, නීතියෙන් කෙරෙන්නේ හොඳ නරක කියල දීමක් නෙමේ නේද? නීතියෙන් කෙරෙන්නේ සමාජයක් පාලනය කිරීමක්. නීතිය ඉදිරියෙ යමක් හොඳඳ නරකද, යමෙක් හරිද වැරදිද කියලා බලනවා වෙනුවට යම් ක්‍රියාවක් නීත්‍යානුකූලද නැද්ද කියලනෙ බලන්නෙ

      ජන්සමාජයක් හරි පාරේ යවන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි ඊළඟට සමාජය නියෝජනය කරන පරපුර, ඒකියන්නේ කුඩා ළමුන් හරිපාරේ යවන එක. ඒක කරන්න තියෙන හොඳම ක්‍රමය අධ්‍යාපන ක්‍රමය හරි විදියට සකස් කරන එක.

      //ඔය පින් පව් ආගම් ඔක්කොම පුරවන්නේ ඒ හිඩැස නෙවෙයිද?//

      හිඩැස පුරවලා වැඩක් නැහැ නේද ඒ හිඩැස හරියට පිරවෙන්නෙ නැත්නම්?


      අදහස් දැක්වීම ගැන ස්තූතියි :)

      Delete
  3. නැහැ....මං කියන්නේ නෑ ආගම් මගින් හිදැස අංගසම්පූර්ණව පුරවලයි කියලා...

    ඒත් ඔය අපි හොද වෙන්න ඕනෑ ඇයි කියන එක පුලුල් සමාජ පරිසරයකට සම්ප්‍රේශනය කරනන අධ්‍යාපනය හා නීතීය ට මේ වෙනකන් තනියෙන් බැරි වෙලා තියෙනවා....

    ආගමුත් මේ ප්‍රශ්නයම ඇඩ්‍රස් කලත් ...ඒක මිස් ෆයර් වෙච්චි අවස්ථාවලුත් ගොඩක් තියෙනවා....ආගම වෙනුවෙන් යුද්ධ, මරා ගැනීම් සිද්ධවෙලා තියෙන්නේ ඒකයි....ඒත් එකෙන් අදහස් වෙන්නේ නෑ ආගම් වලින් යම් කිසි කාර්‍ය භාරයක් සිද්ධ නොවුනා කියලා... සංනිවේදයන දියුණු, අද්‍යාපනයේ නිම් වලලු පුලුල් වෙච්චි වර්තමානයේ පවා ගොඩක් දෙනෙක් අපි හොද වෙන්නේ ඕනා ඇයි කියන ප්‍රශ්නයට උත්තර දෙන්නේ ආගම් රාමුවේ ඉදලා....

    ඒ නිසා ආගම් ප්‍රතික්ශේප කල පමනින් ස්වර්ගය උදා වෙනවයි කියලා මම හිතන්නේ නෑ.....ලෝකයේ විවිද ස්ථර වල ඉන්න විවිද දැනුම් තේර්ම් ඇති කට්ටියටම පොදු සදාචාරත්මක් රාමුවක් හදන්න මොන ආඩුපාඩු මධ්‍යයේ උනත් ආගම් සම්ර්ථ වෙලා තියේනවා...
    නිරාගමිකත්වයේ සීතාම්බර සළුපට.......

    ReplyDelete
    Replies
    1. මයියා බොහොම ස්තූතියි මතු කරපු අදහස් වලට. මේ ගැන කෙටියෙන් කතා කරන්න අමාරුයි.

      "අපි හොද වෙන්න ඕනා ඇයි"

      කියන ප්‍රශ්නය ඇතුළු ඔබ මතු කරල තියෙන අනෙකුත් ප්‍රශ්න වලටත් එක්කම ලිපියකින්ම පිළිතුරු දෙන්නම්. මම ඔබේ 'නිරාගමිකත්වයේ සීතාම්බර සළුපට' ලිපිය සහ එයට වැටිල තියෙන කමෙන්ට් කියෙව්වා. මට ටික කාලයක් දෙන්න, ඒ ලිපියට පිළිතුරු ලිපියක් විදියට මේ බ්ලොගයේ පෝස්ටුවක් පලකරන්නම්.

      අහල තියෙන්නේ සාකච්ඡා කරන්න පුළුවන් හොඳ ප්‍රශ්නයක්, නැවතත් ස්තූතියි.

      Delete
  4. සිරාම , මේ සයිට් එකේත් හිතට වදින කතා තියේනවා..

    එල එලම , ඔහම යමු කොල්ලෝ !! :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචන්. ආයෙත් ඇවිත් යන්න එන්න. ජය !

      Delete
  5. හාමුදුරු කෙනෙක් එහෙම කිව්වා කියලවත් හිතා ගන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. හිතාගන්න බැරි කතාවක් නිසා තමයි අජිත් ඒ කතාව බ්ලොග් එකක ලියන්න තරම් එකක් වෙන්නෙ. අනික, පහුගිය දවස් වල වුන දේවල් වල හැටියට මට නම් එච්චරම අමාරු නැහැ ඔය වගේ කතාවක් කිව්වයි කියන එක පිළිගන්න.

      Delete