Thursday, April 14, 2016

SMS ජනාධිපතිවරු එපා

ස්ථානය - පොලීසිය

දිනය - මීට මාස කිහිපයකට පෙර

වෙලාව -  දහවල් 1:30 ට පමණ

-----

පොලිස් නිලධාරි මහතා - තමුන් දන්නවද තමුන්ට අද මෙතනට එන්න කියල තියෙන්නෙ ඇයි කියල?

තරුණයා -  ඔව්..

පොලිස් නිලධාරි මහතා - දන්නව නම් කියන්න බලන්න

තරුණයා - මම මෙයාට කෝල් කරලා බැන්නේ නෑ.. මම මෙයාට කිව්වෙ..

මැදිවියේ පසුවන ගැහැණිය - මොකද බැන්නෙ නැත්තෙ? ඔයා මට තර්ජනය කලා. මම නොකරපු වැරැද්දකට

තරුණයා - තර්ජනය කලා මම??

ගැහැණිය - කලා තමා.. ඇයි කිව්වේ.. ඔයා ගැන එක එක දේවල් තැන් තැන් වල කියල ආයෙ අහුවෙන්න එපා කියල. මම ඔයා ගැන තැන් තැන් වල කියන්න යන්නෙ නෑ. ඔයයි මගෙ දුවගෙ පස්සෙන් යාලු වෙන්න ඇවිල්ලා ඒ කෙල්ල බෑ කිව්ව නිසා එයා ගැන තැන් තැන් වල නරක කතා කිය කිය යන්නෙ..මම කැමති නෑ මගෙ දරුවගෙ වයසෙ ළමයින්ගෙන් කතා අහන්න.. මම ඉල්ලන්නෙ එක දෙයයි.. ඔයා ආයෙ මට කෝල් කරන්න එපා. එච්චරයි. මට ඔයා එක්ක කතාවක් නෑ..

තරුණයා - ඔයා මම තර්ජනය කලා කියල බොරු කිය..

පොලිස් නිලධාරි මහතා - මේ.. මේ... නවත්තන්න දෙන්නම කතාව..

...නිහඬතාවය...

පොලිස් නිලධාරි මහතා - දැන් තමුන් පිළිගන්නවද තමුන් මෙයාට කෝල් කලා කියල?

තරුණයා - නෑ මං කිව්වෙ..

පොලිස් නිලධාරි මහතා - අහන දේට උත්තර දෙනවා.. තමුන් පිළිගන්නවද තමුන් මෙයාට කෝල් කලා කියල? කෝල් කලාද නැද්ද?

තරුණයා - ඔව්. පිළිගන්නවා. කෝල් කලා

පොලිස් නිලධාරි මහතා - තමුන් දන්නවද එයා කැමති නැහැ කියල ඔයා කෝල් කරනවට..

තරුණයා - ඔව්..

පොලිස් නිලධාරි මහතා - එහෙනම් ඔය අනන් මනන් කතා වැඩක් නෑ. කතාව මෙච්චරයි. කිසිම කෙනෙක්ට කිසිම අයිතියක් නෑ කාටවත් බලෙන් කෝල් කරන්න. මෙයා කැමති නෑනෙ ඔයා කෝල් කරනවට.. එනිසා අද ඉඳල ඔයාට බෑ මෙයාට කෝල් කරන්න.. කරදර කරන්න නෙමේ.. ආදරේටවත් කෝල් කරන්න බෑ. මට ඉන්නවා ඕන තරම් යාලුවෝ.. නෑදෑයෝ.. ඒ අයගෙන් කෙනෙක් කැමති නැත්නම් මම කෝල් කරනවට මටවත් බෑ බලෙන් ආදරේටවත් කෝල් කරන්න. කතාව එච්චරයි. පැහැදිළිද?

...නිහඬතාවය...

පොලිස් නිලධාරි මහතා -  පැහැදිළිද?

තරුණයා - ඔව්.. පැහැදිළියි..

පොලිස් නිලධාරි මහතා - ආයෙ මෙහෙම දෙයක් වුනොත් ඊළඟට බලමු මොකද වෙන්නෙ කියල.. මෙතන අත්සන් කරනව දැන්..

-----

මේ මා විසින් ගොතන ලද මනක්කල්පිත කතාවකි. කතාවේ පණිවිඩිය නම් කිසිම පුද්ගලයෙක්ට තවත් කෙනෙකුට බලෙන් දුරකථන පණිවිඩ යැවීමට හෝ කෙටි පණිවිඩ යැවීමට අයිතියක් නොමැති බවය. දුරකථනයක් යනු පුද්ගලික උපාංගයකි. එය සමාජයේ/ලෝකයේ සැමටම රිංගීමට ඇති බස්රථයක් මෙන් නොවේ.

ඉහත කාරණය නීතියට වැටහුනද, අප රටේ පුරවැසියන්ට වැටහුනද අපේ පළවන පුරවැසියාට වැටහෙන්නේ නැති බව පෙනෙන කාරණයකි. මීට කලින් සිටි නායකයා විසින් මෙම ක්‍රියාවම සිදුකරනු ලැබූ අතර සමාජජාලා හරහා මෙන්ම පුරවැසියන් තුළද ඇතිවූ විරුද්ධත්වය නව පාලකයාටද රහසක් වීමට ඉඩක් නැත.

මෙය සිතා මතාම ජනතාවගෙන් යම් කොටසකගේ හොඳ හිත දිනා ගැනීමට තවත් කොටසකගේ පුද්ගලික අයිතීන් උල්ලංඝනය කිරීමකි. රටේ ජනතාවගේ මූලික අයිතීන්ටවත් ගරු නොකරන, මා විසින් ගොතන ලද කථාවේ තරුණයාට නොදෙවෙනි නායකයෙක්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදීත්වය සහ නූතනත්වය අගයන ජනතාවකට ඵලක් නැත.

මුළු රටකට මිලියන ගණින් යවනා කෙටි පණිවුඩ වලට ගෙවීම් සිදු කරනුලබනවාද, සිදු කරනවා නම් ඒ කරන්නේ කාගේ මුදලින්ද යන කාරණා ගැන තවමත් නිශ්චිතව නිගමනයකට එළඹීමට තරම් කරුණු අප ඉදිරියේ නැත.

කෙසේ වුවද, සමාජ ජාලා තුළින් හෝ හැකි වෙනයම් ආකාරයකින් මේ ක්‍රියාවට විරුද්ධත්වය පළකල යුතුය. පාලකයන් ජනතාවගේ පුද්ගලිකත්වයට ගරු නොකරන්නේ නම් ඒ අයිතීන් විරුද්ධත්වය ප්‍රකාශ කොට හෝ ඒ අයිතීන් දිනා ගැනීම හැර කරන්නට දෙයක් නොමැත.

2 comments:

  1. ඔය වල් බූරු නිදහසේ සීමා ගැන අපිටත් ගැටලුවක ඇත.....

    ReplyDelete
    Replies
    1. වල්බූරු කෙසේවෙතත් අපට නැති නිදහසක් තමා පාලකයන්ට තියෙන්නෙ

      Delete