Wednesday, April 20, 2016

යාලුවෝ - I කොටස

කසුන්, ධනුෂ්ක, ලහිරු..මගේ මිතුරන් නොවේ.

අප අතරේ තිබුනේ මිතුදමට එහා ගිය බැඳීමකි. ඒ බැඳීම කෙසේ හඳුන්වන්නටද කියා එදා දැන නොසිටියෙමි. අදටත් නොදනිමි.

'එකම ජාතියෙ පිස්සො එකට සෙට් වෙනව බං'.

අපි අපි ගැන හිතුවේ එහෙමය.

දුකේදීත් සැපේදීත් අපට හිටියේ අප විතරය. අපෙන් එකෙකුගේ ගෙදරක තියෙන බණකට, මරණයකට, දානයකට, උත්සවයකට කලින් දා අප පස් දෙනාම ඒ ගෙදරය. ගෙදර අස්සක් මුල්ලක් නෑර සුද්ද පවිත්‍ර කිරීම, වත්ත උදළු ගෑම, කුණු එකතැනක ගොඩ ගහල පිච්චීම, තීන්ත ගෑම, ඔක්කෝම වැඩ කලේ අප අපම මිසක වෙන කවුරුවත් නොවේ.

හවස්යාමේ ඇඟේ පතේ මහන්සිය ඇරගත්තේ අපම අමාරුවෙන් සල්ලි එකතු කරල ගන්නා ගල් බෝතලයයි බයිට් එකටයි පින් සිද්ධ වන්නටය.

"තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න කුමරියෙ ඔබෙ සුවඳ මා ලඟින්"

පළමු වීදුරුව හිස් වන්නටත් මත්තෙන් ඒ ඇහැන්නේ දනා ගේ හඬයි. වික්ටර්, ටී.ම්, ගෙන් පටන්ගෙන කපුගේ, ක්ලැරන්ස් හරහා සාජ්ජය අවසන් වන්නේ ජිප්සීස්, ඇන්ටන් ජෝන්ස්ගෙනි.

එකල අප ජීවිත කැරකුනේ පාසල, නිවස, පොත, කෙල්ලෝ හා බෝතලය වටාය. ඉන් එහාට අපට ජීවිතයක් නොවීය.

මම මතකය ඔස්සේ අතීතයට ගමන් කරමි.

බස් ස්ටෑන්ඩ් එක..තෝසේ කඩේ..පන්තියේ අන්තිම පේළිය..

මම නැවතී ඔරලෝසුව දෙස බැලුවෙමි. උපකාරක පන්තිය අහවර වන්නේ දවල් 2.30 ටය. නමුත් තවමත් අපට නිවෙස් බලා පිටත් වීමට වෙලාව නොවේ.

"හැබැයි කස්සෝ අදත් උඹ කෙල්ල එක්ක කතා කලේ නැත්තන් තොගෙ අඬු කඩනව තුන්දෙනාම එකතුවෙලා"

"හරි හරි. අද අනිවා කතා කරනව. ඇණයක් නොවී හිටින්. ඒකිගේ ක්ලාස් ඇරෙනවනේ පහමාර වෙද්දි. තව ටික වෙලාවයිනෙ"

පැය තුනකට වැඩි කාලයක් චාටර් කකා රස්තියාදු වෙන්නට සිද්ධ වෙලා තියෙන්නේ කසුන්ගේ ප්‍රථම ප්‍රේමය වෙන්නට නියමිත 'ඇය' එන තුරු බලා හිඳින්නටයි.

වෙලාව 4.21යි. තව පැයකටත් වඩා තියෙනව. මගුල !

"මචන් දනා, අතේ සල්ලි ඉතුරු වෙලා නැද්ද. තව සිගරට් එකක් ගහන්න"

"නෑ බන්, ගෙදර යන්න ගානට තියෙන්නෙ. ලයියා උඹ ගාව තියෙනවද?"

"කීයක් අඩුද? ඉඳා.. ඉක්මනට අරන් වරෙන්"

මේ ටියුෂන් නගරයේ අප සිව්දෙනා කරක් ගසා නැති තැනක් නැති තරම්ය, ලබා නොමැති අත්දැකීමක් නැති තරම්ය. පාසැලයි පන්තියයි අතර දෝලනය වූ අපේ ජීවිත එකිනෙකාගෙන් තොරව ගත වූ වෙලාවක් නැති තරම්ය.

"සුදු පරවි රෑන සේ පියාසලා
පාසැල(ටියුෂන්) නිමවී යොවුන් කුමරියන්"


"කස්සා, අන්න කෑල්ල එනවා. යමං යමං"

කස්සා ඉස්සරහ දොරින් බස් එකට ගොඩවිය. ලයියා, දනා, සහ මම පිටිපස්සෙන් ගොඩවී හැකි තරම් බස් එකේ ඉස්සරහට තල්ලු වෙවී ඇවිත් නැවතුනේ බසයේ මැද හරියේය.

"දනා, අද නම් කස්සා කෙල්ල එක්ක කතා කරයි වගේ. ඌ කෙල්ල ළඟමයි ඉන්නෙ බං. පට්ට ඈ"

ලයියාගේ සතුට කෙල්ල ඌට වැටෙන්න යනව වගේනෙ බොල !

අප ආදරය සොයා අත පතා පස්සෙන් ගිය කෙල්ලන් ගණන අපටවත් නොගිණිය හැකි තරම්ය. ඒවායින් බොහෝමයක් වයසේ වැරැද්දට විනෝදය නිසා වුන දේවල් වුවද හදවතට දැනුන ගැටිස්සියෝ සිටියේ නැතුවාද නොවේ. කෙසේ හෝ අප අතරෙන් මුලින්ම ජයග්‍රහණය කරන්නට යන්නේ කසුන්ය. අප අතරෙන් මුලින්ම පෙම්වතකු වන්නට යන්නේ කසුන්ය...

"කතා කරහන් යකෝ"

ලයියා කසුන්ට හැකි තරම් කට ඇරගෙන කියන්නේ ගොළු භාෂාවෙනි.

කෙල්ල බසයේ හිටගෙන ජනේලයෙන් ඉවත බලාගෙනය. කසුන් හරියටම ඇයගේ පසුපසය.

"අද නම් වැඩේ හරි", මම සිතුවෙමි.

"අඩේ අරූ මොකක්ද කියන්න හදනව නේද අපිට"

"ඔව් ඔව්"

"ඇහැන්නේ නෑ යකෝ, හයියෙන් කියහන්"

අපි කෑගැසුවේ සද්දේ නොඇහෙන්න ගොළු බාසාවෙනි.

කස්සා තටඹයි..

"කියහන් යකෝ"

කසුන්ගේ මුවින් නික්මෙන්නේ කුමක්ද කියා අපට තේරෙන්නේ නැත.

මූ මොකක් කිව්වත් අනිවා කෙල්ලට ඕක ඇහෙනවා. ඇයි යකෝ අපි ඉන්නේ බස් එකේ මැද්දේ, මුගේ කට තියෙන්නේ කෙල්ලගේ කණ ළඟ !

අවසානයේ කසුන් රහසින්, බසයටම ඇහෙන සේ අපට ඔහුගේ ජාතික ප්‍රශ්නය ඉදිරිපත් කලේය

"මචන්, සිගරට් ගඳ එනවද දන්නෑ"

"ගොන් හරකා"

අප තුන්දෙනාම අත් ඔලුවේ ගසා ගතිමු.

මතුසම්බන්ධයි....

6 comments:

  1. හැක්ස් එකක් කන්ඩ අමතක වුනාද

    ReplyDelete
    Replies
    1. හැමදාම හැක්ස් කනවා සිගා ගහල. ඒත් අපි සිගරට් ගහපු විදියට හැම වෙලේම හැක්ස් කැවෙන්නෙ නෑ

      Delete
  2. කෙල්ලෙක්ගෙන් අහන පලවෙනි දවස මාරම අතල් එකෙක් නේද බොල තියෙන්නේ. සෙට් එකම වැඩ පටන් අරන් තියෙන්නේ ඉස්කෝලේ කාලෙම නේද? දැන් එහෙනම් හොද තත්වයක ඇති සෙට් එකම හැක හැක.. කතාව එල අනිත් කොටහත් ඉක්මනට දාන්න.

    ReplyDelete
    Replies
    1. සෙට් එක ගැන කතාව ඉස්සරහ කොටස් වලින් කියවමු. මාසයකට මේ කතාව එක සටහනක් ගානෙ දාන්න හිතන් ඉන්නෙ. සටහන් 4ක් විතර තියෙයි

      මම මුලින්ම කෙල්ලගෙන් අහන්න ගිය දවසෙ නම් වැඩි මුකුත් වුනේ නෑ. මෙච්චරයි වුනේ

      "මේ, ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද?"

      "බෑ"

      :P

      Delete
  3. හෆොයි......ඕක හොද සැන්ට් එකක්...

    ReplyDelete
    Replies
    1. සමහරුන්ට මේ සැන්ට් එක අල්ලන්නෙම නෑනෙ බං. මටත් තේරුම් ගන්න බෑ ඇයි කියල

      Delete