Thursday, September 22, 2016

අනිත්‍යය ; ඔච්චරම අවුල්ද?



හැමදේම අනිත්‍යයිය. එනිසා මේ ලෝකයේ තියෙන දේවල් ඵල රහිතය. මිනිස් අත්දැකීමට විවෘත සියලු රසයන්, සියලු හැඟීම් එනිසාම තේරුමක් නැතිය වගේ කතාවක් ගොඩක් අය අහල ඇති.

සමහර විට වැඩිහිටියෙක්ගෙන්, සමහරවිට භික්ෂුවකගෙන්, සමහර විට ලවුඩ්ස්පීකර් කටකින්, සමහර විට පොත පතකින්, හරි මොකෙන් හරි; අපේ සමාජයේ මිනිස්සු අහල තියෙන, ඔලුවල මුල් බස්සවල තියෙන ඒ මතය ඇතුලේම තියෙනව ලොකු අවුලක්.

හැමදේම අනිත්‍යය බව ඇත්ත. වෙනස්වන සුළු බවත් ඇත්ත. නැසෙන සුළු බවත් ඇත්ත.

ඒත් ඒ අනිත්‍යය බව නිසාම මිනිසාට විඳිය හැකි සියලු රසයන්, අත්දැකීම්, හැඟීම්, ඵල රහිතද? තේරුමක් නැද්ද?

රසවත් ආහාර වේලක් ගද්දි දැනෙන රසය ඵල රහිතයි, මොකද ඒ රසවත් බව අනිත්‍යය නිසා; දීර්ඝ කාලයක් කැපවීමෙන් තමා ජීවිතයේ ලබන ජයග්‍රහණයක සතුට ඵල රහිතයි, මොකද ඒ සතුට තාවකාලික නිසා; මිහිරි සංගීත නාදයක් කණවැකෙද්දි දැනෙන ඒ හැඟීම ඵල රහිතයි, මොකද ඒ හැඟීම තාවකාලික නිසා.

ඔහොම කතාවක් නෙ කියන්නෙ

ඔය සංකල්පය ගොඬනැගෙන්නෙම යමක වටිනාකමක් තිබෙන්නට නම් ඒ හැඟීම තාවකාලික නොවිය යුතුය කියන පදනම මත.

ඔය සංකල්පය ඇතුලෙම තියෙන්නෙ, තාවකාලිකත්වයට සීමා නොවූ, සදාකාලික වූ සැප බලාපොරොත්තුවක්. ඒ බලාපොරොත්තු වෙන සදාකාලික සැප නොලැබීයාම තුළින් හටගන්නා ඉච්ඡාභංගත්වයක්. ලෝක යථාර්තය, ඒ කියන්නෙ තාවකාලික බව ඒ අයුරින්ම බාර ගැනීමට තියෙන අසමත්කමක්.

ඇයි රසවත් ආහාරයක් අනුභව කරන කෙනෙක්ට දැනෙන ඒ රසවත්බව තේරුමක් තියෙන්න බැරි, ඒ රසවත් බව තාවකාලික වෙලා?

රසවත් බවේ තේරුමක් තියෙන්න, ඒ රසවත් බව සදාකාලික වෙන්නම ඕනද? රසවත් ආහාරයක් ගැනීමේ අත්දැකීම ඵල සහිත දෙයක් වෙන්න ඒ ආහාරය පුටුවක් උඩ ඉඳගෙන සදාකාලිකවම කකා ඉන්න ඕනද?

ඕකයි ඔතනදි නැඟෙන ප්‍රශ්නය.

නමුත් ඇත්තටම හිතල බැලුවොත්, යථාර්තය එක්ක ගනුදෙනු කරන්න මීට වඩා හොඳ සංකල්පීය දැක්මක් අපිට හදාගන්න බැයිද?

රසවත් කෑම එකක් කන එකෙන් ලැබෙන ඒ රසය තාවකාලික නිසාම තමයි එහි වටිනාකමක් තියෙන්නෙ.

තමාගේ ජීවිතයේ විඳිනා හැම සතුටකම පසුපස ඇති යථාර්තය, හෙවත් තාවකාලික බව නිසාම ඒ දේවල් වලට එකතු වන්නේ වටිනාකමක් මිසක අර්ථ ශුන්‍යය බවක් නෙමේ.

හිතන්න.

තමා තමාගේ දරුවාව වඩා ගන්නා අවසාන අවස්ථාවක් කවදා හෝ උදාවෙනවා. තමා තමාගේ මවගේ, පියාගේ කටහඬ අහන අවසාන අවස්ථාවක් තියෙනවා. තම බිරිඳගේ, සැමියාගේ සිනහව දකිනා අවසාන අවස්ථාවක් තියෙනවා.

අවසාන අවස්ථාව බවද නැද්ද කියා නොදැන, එහෙම අවස්ථාවක් ඇති බව ගැන අවබෝධයෙන් තම දරුවාව වඩා ගනිද්දි, සිප ගනිද්දි, ඒ මානුෂීය හැඟීමට එකතු වන්නේ අසීමිත වූ වටිනාකමක් නොවේද?

ඒ තාවකාලික බව නිසාම, සීමිත බව නිසාම, මිනිස් අත්දැකීම් වල වටිනාකම තව තවත් වැඩි නොවනවා නොවේද?

තම මව, පියා කවදා හෝ මියයන බවේ යථාර්තයට මුහුණ දීමට තියෙන හොඳම ක්‍රමය ඔහු සමඟ/ඇය සමඟ ඇති බැඳීම නැති කර ගැනීමද? එසේත් නැතිනම් ඔහුත් සමඟ/ඇයත් සමඟ ගතකිරීමට ඇති කෙටි කාලයේ ඇති අසීමිත වටිනාකම තේරුම්ගෙන, ඒ අනුව කටයුතු කොට කවදා හෝ ඔවුන් මියයාමේ යථාර්තයට බුද්ධිමත් මනුෂ්‍යයෙකු සේ මුහුණ දීම නොවේද?

මෙවන් මතවාද බොහෝමයකට තියෙන්නේ ආගමික මූලයන්.

සමහර ආගම් වල මිනිස් ජීවිතය අවසන් වීමෙන් පසු එළඹෙනවා යැයි කියන සදාකාලික ජීවිතයක් උදෙසා මේ ජීවිතයේ කලයුතු කැපකිරීම්, පනවා ගත යුතු සීමාවන් ගැන උගන්වනවා. ඒවා තම අනුගාමිකයින්ව මානසිකව සිරකූඩු වල දැමීමෙන් සදාකාලික වූ සැපතක බලාපොරොත්තුවක් ලබා දෙනවා. මරණින් පසු තියෙනවාය කියල ඔවුන් උපකල්පනය කරනා ජීවිතයක් වෙනුවෙන්, පවතින බව සැබවින්ම දන්නා මේ ජීවිතයේ අරුත නැති කරගන්නවා.

ඒ සදාකාලික සැපතක් බලාපොරොත්තුවෙන්.

තවත් ආගම් වල සදාකාලික සැපතක් නොලැබීමේ දුකෙන්, හෙවත් සැපත තාවකාලික වීමේ ඉච්ඡාභංගත්වයෙන් ස්වභාවික වූ මිනිස් හැඟීම් සෘණාත්මක ලෙස අර්ථ දක්වනවා.

මේ සියල්ල සදාකාලික වූ සැපත කියන සංකල්පය හා බැඳුනු මිනිස් වියරුවේ ප්‍රතිඵල.

නමුත් මරණින් පසු සදාකාලික සැපතක් සොයා යාම වෙනුවට, මේ ජීවිතය ගැන අවධානය යොමු කරන්නන් කවදා හෝ 'මේ ජීවිතයේ' ගැටළු වලට සැබෑ විසඳුම් සොයා ගනීවි.

මොකද ආගමික පසුබිමකින් එන ප්‍රශ්න බොහෝ විට වැඩි අවධානයක් යොමු කරන්නෙ මරණින් පස්සේ තියෙනවා ඇතියි කියල උපකල්පනය කරන ජීවිතයකදී ඇතිවිය 'හැකි' ප්‍රශ්න වලටයි.

ඔවුන්ගේ ප්‍රශ්නය මරණින් පසු ජීවිතයයි.

මරණින් පසු ජීවිත ගැන ඉගැන්වෙන ආගම් මොහොතකට පසෙක තැබුව හොත් තේරුම් යාවි,ප්‍රශ්නය වන්නේ මරණයවත්, මරණින් පසු ජීවිතයවත් නොව, මරණයට පෙර අප ගත කරනා අපගේ මේ ජීවිත බව. වටිනාකම ඇත්තේ මරණින් පසු එහා ලෝකයක නොව, මේ ලෝකයේ අපට ලැබී ඇති අප මේ ගත කරනා ජීවිත වල බව.


ප/ලි - ආගමික ඉගැන්වීම් පිළිබඳ මෙහි සඳහන් කරුණු පදනම් වන්නේ පොදු සමාජයේ ඒවා ගැන බහුලව භාවිතා වන අර්ථදැක්වීම් අනුව මිස, ඒ ඒ ආගම් වල නියම අර්ථදැක්වීම් යයි ඒ ඒ ආගමික බහුශ්‍රැතයන් අතර ඇතිවන ශාස්ත්‍රීය කතිකාවන් මත නොවන බව කරුණාවෙන් සලකන්න. මෙහි සඳහන් ආගමික ඉගැන්වීම් පිළිබඳ අර්ථ දැක්වීම් සාවද්‍යය යැයි යම් ආගමික බහුශ්‍රැත පඬිවරයෙක් සිතයි නම්, මා ඔහුට යෝජනා කරන්නේ එම තමන්ගේ ආගමේ නිවැරදි ඉගැන්වීම් පිළිබඳව තමන්ගේ ආගමිකයන්ව දැනුවත් කරන ලෙසය. ඒ පඬිතුමාගේ අර්ථ දැක්වීම පොදුවේ භාවිතා වන අර්ථ දැක්වීම බවට පත් වූ පසු ලියවෙන මෙවැනි සටහන් වල එම අර්ථ දැක්වීම ගැන ලියැවෙනු ඇත. මන්ද, මා උනන්දු යම් ආගමික පුස්කොල පොත් තුල ඇති දේවල සත්‍ය/අසත්‍යය භාවයට වඩා ඒ ආගමික ඉගැන්වීම් වල සමාජයේ භාවිතය ගැන නිසාය.

7 comments:

  1. මේ ඔක්කොටම මුල උබ කිව්වා වගේම ආගම. මිනිහෙක් සාර්ථකව දැහැමිව ජීවත්වෙලා ඉවර වෙලා තමයි හිතන්ට ඕනි ලබන ආත්මයක් ගැන.

    මම සෑහෙන්න දැකල අහල තියෙන දෙයක් තමයි "අනේ අපිනම් මෙව්වා හම්බ කරන්නේ මරුනහම ගෙනියන්න නෙමෙයිනේ" කියනව. හැබැයි උන් කීයෙන් කී දෙනාද පිනට දෙයක් දෙන්නේ. හැබැයි ලොකුවට ආගමේ නාමයෙන් ආගමික ස්ථානයකට ගිහින් ලක්ෂ ගණන් බිල්ඩින් ප්‍රතිමා තාප්ප ගහන්ට වියදම් කරනව. නිකමට හිතුවොත් මුළු ලෝකෙම ඔය අනිත්‍යය පැත්තකින් තියල එදිනෙදා ජීවිතය හොඳින් ගෙවන්ට හිතුවොත්..??? දැන් කාලෙ ආගම වල අය කරන්නෙ ආගම අදහන අය ආගමේ නාමයෙන් බය කරල ආගමේ රඳවාගෙන තියාගන්න එක. පැවැත්ම තියෙන්නෙ එතැන කියල දන්නවා. ඔවුන් කැමති නැහැ සාමාන්‍ය මිනිහ ලෝකේ යථාර්තය ලෝකය දැකල තේරුම් ගන්නවට. ඒවගේම ගෝත්‍රික මෝඩ මිනිහ යථාර්තය දැක්කත් ආගමේ නාමයෙන් එක පිළිගන්ට කැමති නැහැ.ජිවිතේ තියෙන්නෙ විඳින්ට මිසක් විදවන්ට නෙමෙයි කියන එක තේරුම් ගන්නෙ කීයෙන් කීදෙනාද?

    ReplyDelete
    Replies
    1. //ජිවිතේ තියෙන්නෙ විඳින්ට මිසක් විදවන්ට නෙමෙයි කියන එක තේරුම් ගන්නෙ කීයෙන් කීදෙනාද?//

      එකඟයි. තියෙනවාද නැද්ද කියල හරියටම නොදන්න ලබන ආත්මයක් ගැන වද වෙවී මේ ජීවිතයේ වටිනාකම නැති කරගන්න එක නම් පට්ට ගොං වැඩක් බං

      Delete
  2. කෑමක රසය ගැන ඔබ කියා ඇති දෙය භාවිතාකරමින් ඔබගේ ලිපියේ අන්තර්ගතයට එකඟ නොවන හේතුව කියන්නම්. යමක් හොඳ හෝ නරක ලෙස දැක්විය යුත්තේ තව දේකට සාපේක්ශවයි කියා මම සිතමි. මට හොඳ බුරියානි එකක් ලැබුණොත් එය අනුභව කරන පළමු විනාඩි කිහිපයේ ඉතා ඉහල සතුටක් විඳිමි. එහෙත් මට මෙන් බුරියානි එකක් ලබා ගැනීමට නොහැකි කෙනෙකුට එය දී ඒ වෙනුවට සාමන්‍ය පාන් කැබැල්ලකින් බඩ ගින්න නිවා ගැනීමට අවස්ථාවක් ලැබුණොත් එම සතුට අඩුම ගණනේ දින දෙකක් වත් පවතින බව මට විශ්වාසය.

    ඔබට හැකිනම් ඉතා පහසුවෙන් කල හැකි මෛත්‍රී භාවනව කරන්න උත්සාහ කරන්න. එයින් ලැබෙන මානසික සතුට ලෞකික දේවල් වලින් ලබා ගත හැකිද යන්න සංසන්ධනය කර බලන්න.එසේ කල පසු ලෞකික සතුටවල් ඊට වඩා හොඳද නැත්ද යන්න ගැන ඔබටම වැටහෙනු ඇති.

    ReplyDelete
    Replies
    1. //එහෙත් මට මෙන් බුරියානි එකක් ලබා ගැනීමට නොහැකි කෙනෙකුට එය දී ඒ වෙනුවට සාමන්‍ය පාන් කැබැල්ලකින් බඩ ගින්න නිවා ගැනීමට අවස්ථාවක් ලැබුණොත් එම සතුට අඩුම ගණනේ දින දෙකක් වත් පවතින බව මට විශ්වාසය.//

      වෙන්න පුළුවන්. ඒක පදනම් වෙන්නෙ පුද්ගලයා මත. අනික, ඔබ කියන පරාර්ථකාමී හැසිරීම් ආගම විසින් සින්නක්කරයට ලියාගෙන තිබ්බට.. පරාර්ථකාමී බව ආගමෙන් මනුස්සයාට උරුම කරල දුන් දෙයක් නෙමේ. පරාර්ථකාමී බව ස්වභාවයෙන්ම මිනිසා තුළ තියෙනව.

      මට මෙතනදි මතක් වෙන්නෙ ආතර් සී ක්ලාක් මහතා කියපු කතාවක්..

      “One of the great tragedies of mankind is that morality has been hijacked by religion. So now people assume that religion and morality have a necessary connection. But the basis of morality is really very simple and doesn't require religion at all.”

      ― Arthur C. Clarke

      //ඔබට හැකිනම් ඉතා පහසුවෙන් කල හැකි මෛත්‍රී භාවනව කරන්න උත්සාහ කරන්න. එයින් ලැබෙන මානසික සතුට ලෞකික දේවල් වලින් ලබා ගත හැකිද යන්න සංසන්ධනය කර බලන්න.එසේ කල පසු ලෞකික සතුටවල් ඊට වඩා හොඳද නැත්ද යන්න ගැන ඔබටම වැටහෙනු ඇති.//

      මේ කතාව බේබද්දෙකු විසින් නොබොන මනුස්සයෙක්ට බීමේ ආතල් එක ගැන කියනවා හා සමානයි කියල කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්. කෙනෙක් සතුටු වෙන්නෙ මොකෙන්ද කියන එක සෑහෙන පුද්ගලානුබද්ධ කතාවක්. එනිසා හොඳම 'සතුට' මේකය කියලා අපට එක දෙයක් නම් කරන්න බැහැ :)

      Delete
  3. මෙරුන් අාලෝකය දෙසට අැදී යන්නේ ඒහි අැති රසවත් බවක් නිසාය. නමුත් ඒහි යතාර්ථය මෙරුන් ට තේරුනේ නැති වූවත් මිනිසාට තේරුම් ගත හැකිය. කෙසේ නම් මෙරුන් ට තම මුලාවෙන් ගැලවිය හැකි ද? මෙරුන් තම වැරදි දෘෂ්ඨිය කරපින්නා ම මරණයට පත් වන්නේ ය.

    ReplyDelete