Thursday, September 22, 2016

සියදිවිනසා ගන්නා නූගත් මෝඩයෝ !



සියදිවිනසා ගැනීම කිසිම වෙලාවක මෝඩකමකට, නූගත්කමකට ලඝු කරන්න එපා.

පළවෙනි දේ තමයි කෙනෙක් සියදිවි නසාගත්තාම ඒ කෙනාව ගොන් වැස්සියෙක්, මෝඩියෙක්, කාලකණ්ණියෙක්, ඉපදුනාට පොළවටත් බරක්, මැරිච්ච එකමයි හොඳ වගේ අපහාසාත්මක ලේබල් අලවල "පොඩි කාලේ ඉඳලා දුක් විඳලා හදපු දෙමව්පියෝ" පව් කියලා දැම්මාම ඒක හරිම සිත්ගන්නා සුළුයි. හැමෝම ඒ අසරණ දෙමව්පියන්ගේ දුක වෙනුවෙන් පෙනී ඉන්න හරිම කැමතියි. අපි හරි හොඳ මිනිස්සුනෙ නේද?

කෙනෙක් තමාගේ ජීවිතය නැති කරගන්න පෙළඹෙන හේතු ගණනාවක් තියෙන්න පුළුවන්. මොකක් හරි හේතුවක් නිසා ඇති වුන දරාගත නොහැකි අධික වේදනාව, තනිකම, පාළුව, තමාගේ දුක බෙදගන්න කියාගන්න කවුරුත් නැති එක, තමා දැඩිලෙස ආදරය කරන කෙනෙක් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම, සමාජය/දෙමාපියන් ගෙන් ප්‍රතික්ෂේප කරනු ලැබීම, සමාජයට මුහුණ දීමට තියෙන භය, තමා කරන ලද යම් ක්‍රියාවක් නිසා ඇති වෙච්චි වරදකාරී හැඟීම්, ඉච්ඡාභංගත්වයට පත් වීම, ලිංගික හෝ මානසික අපයෝජනයට ලක් විම(sexual or emotional abuse), රැවටීමට ලක් වීම, කිසිදා නොදැනුන කිසිදා පහනොවනවා කියල හිතෙන අසරණකමක් දැනීම..

මිනිස්සුන්ට උදේ නැගිටින්න, වැඩට යන්න, මහන්සි වෙන්න, සතුටු වෙන්න.. කෙළින්ම කියනව නම් "මිනිස්සුන්ට ජීවත් වෙන්න" අරමුණක් ලබා දෙනවා නොයෙක් දේවල්. සමහරුන්ට තමාගේ ආදරවන්තයා/ආදරවන්තිය.. සමහරුන්ට තමන්ගේ දෙමව්පියන්.. සමහරුන්ට තමන්ගේ රැකියාවේ අනාගතය.. සමහරුන්ට මුදල් හම්බකිරීම.. සමහරුන්ට සමාජයේ කීර්ති නාමයක් ඇති කර ගන්න එක.. තවත් සමහරුන්ට තමාගේ බිරිඳ, දරුවන්, තමාගේ පවුල.....

ඔය වගේ තමන්ගේ ජීවිතයට අරමුණක් එක් කල දේවල් එක පාරම හෙණ ගහන්නා වගේ නැති වෙලා ගියාම.. ඒවගේ මොහොතකදි තව දුරටත් ජීවත් වෙන්න හේතුවක් හිතාගන්න බැරුව අන්ත අසරණ අඩියට වැටෙන එක මෝඩ කම විදියටවත්, නූගත්කම විදියටවත් හඳුන්වන්න එපා. මනුස්ස හැඟීම් ඒවගේ සිල්ලර විදියට විවේචනය කරන්න එපා.

අපි ඕනම කෙනෙක්ට දරා ගැනීමේ සීමාවක් තියෙනවා. ඒ සීමා පුද්ගලයා අනුව එක එක තැන් වල පිහිටල ඇති. මරණය කියන්නෙ මේ ලෝකයේ තියෙන නරකම දෙයවත්.. ජීවිතය කියන්නෙ මේ ලෝකයේ තියෙන හොඳම දෙයවත් නෙමේ..

ගොඩක් වෙලාවට සියදිවි හානිකරගන්න අය ඒ මොහොතේ විඳින දැඩි වේදනාව අවසන් කිරීමේ ක්‍රමයක් විදියට තමාගේ ජීවිතය නැති කරගන්න පෙළඹෙනවා. මොකද ඔවුන් හිතනවා මේ වේදනාව කවදාවත් ඉවර වෙන එකක් නෑ, මට මේ වේදනාව දරාගන්න බෑ, මේක නිසා ඇති වෙන ලැජ්ජාවට මට මූණ දෙන්න බෑ කියල.

අපි හැමෝටම ජීවිතේ ගත කරන්න අරමුණු තියෙනවා, බලාපොරොත්තු තියෙනවා, ආශාවල් තියෙනවා, උවමනාවල් තියෙනවා. නමුත් ඉච්ඡාභංගත්වයට ලක් වුන කෙනෙක්ට ඔය කිසිදෙයක් නැහැ. ඒ කෙනාට තමාගේ ජිවිතය ගෙනියන්න අරමුණක් නැති වෙනවා පමණක් නොවේ ඔහුට/ඇයට ඉතිරි වන්නේ අධික වේදනාවක් පමණයි.

ඇත්තටම සියදිවිනසා ගන්න තරම් මානසිකව වැටිලා ඉන්න කෙනෙක්ට දෙමව්පියන් විදියට, යහලුවන් විදියට, නෑදෑයන් විදියට අත්වැලක් වෙන එක.. සහයක් වෙන එක.. ඒ තත්වයෙන් ගොඩ එන්න උදව්වක් වෙන එකයි කරන්න ඕන..

මේ සටහනික් කරන්නේ සියදිවි නසා ගැනීම සාධාරණීයකරනය කරන එක නෙමේ, සියදිවි නසාගන්න හිතන.. සියදිවිනසාගත්ත.. කෙනෙක්ව තේරුම්ගත යුතු බව සහ සමාජයක් විදියට ඒ මනුස්සයෝ ගැන තියෙන ආකල්පයේ ලොකු වැරැද්දක් තියෙන නිසයි මේ සටහන ලියවෙන්නේ.

කෙනෙක් හිතන්න පුළුවන් ඕවද ප්‍රශ්න, මාත් බූට් කාලා තියෙනවා, මාත් බඳින්න කලින් බඩ වුනා, මටත් රස්සාව නැති වුනා, මගෙන් පෙම්වතිය හදිසියේ මැරුනා, අපේ ආදරයටත් ගෙවල් වලින් අකමැති වුනා කියල..

ඒත් මිනිස්සු කියන්නේ වතුර වගේ ඔක්කෝමල්ලා සෙල්සියස් අංශක 0දී ඝන වෙලා සෙල්සියස් අංශක 100දී නටන තත්වයට පත් වෙන දෙයක් නෙමේ. එක එක්කෙනා එක එක සිද්ධි, දේවල්, අත්දැකීම් වලට මුහුණ දෙන විදිය, ප්‍රතිචාර දක්වන විදිය වෙනස්. මිනිස්සු ඔක්කෝමල්ලාව එක කෝවක දාලා මැනලා ඔවුන්ව විනිශ්චය කරන එක මෝඩ වැඩක්. ඒ එක්කම කියන්න ඕන අපි හැමෝටම.. ඔව්.. අපි හැමෝටම.. සිය දිවි නසා ගැනීම කියන දේ හොඳම සහ එකම විකල්පය වෙන අවස්ථා ඕන තරම් තියෙන්න පුළුවන්. අපි ඒ තත්වයන් වලට මුහුණ නොදෙන්න තරම් වාසනාවන්තයි දැනට. නමුත් තව දුරටත් ජීවත් වෙන්න අරමුණක් හේතුවක් හොයාගන්න බැරුව මනුස්සයෙක්ට වැටෙන්න පුළුවන් අන්ත අසරණ අඩියටම වැටිලා ජීවිතය නැති කරගත්ත කෙනෙක්ව ගෙදර කම්පියුටරේ දාගෙන ෆෑන් එක එහා පැත්තේ ඉඳගෙන තේකක් බිබී ආතල් එකේ ඉඳගෙන විනිශ්චය කරන්න එපා..

කරන්න ඕන තේරුම් ගැනීම මිසක විනිශ්චය කිරීම නෙමේ..

අපි වගේම ලේ ඇට මස් නහර වලින් හැදුන දුක, සතුට, කඳුළු, සිනහව, බලාපොරොත්තු වලින් පිරුන මනුස්සයෙක්ගේ මුළු ජීවිත කාලයක් එක මොහොතින් විනිශ්චය කරන්න එපා..

ඒක මහා අමානුෂික පහත් වැඩක්..

ජීවිතේට වැරදි කරල නැති කෙනෙක් ඉන්නව නම්.. ඒ වැරදි වලට මූණ දෙන විදිය දන්නේ නැතුව මෝඩ වැඩ කරලා නැති කෙනෙක් ඉන්නවා නම්.. ඉස්සරහට ඇවිත්.. අසරණ බවේ අන්ත අඩියට වැටිලා මියගියයින් පස්සෙත් සමාජයේ අපවාදයට ලක් වෙන මේ මිනිස්සුන්ට පළවෙනි ගල ගහන්න !

ප/ලි - දුකාගේ අඩවියේ පලවූ මේ ලිපිය මෙම සටහනට උත්තේජනයක් විය.

6 comments:

  1. මමත් 2003 වසරේදී විශාදිය ට බෙහෙත් ගත්ත කෙනෙක්. මගෙ අනිත් කියුබිකල් එකේ හිටි යාළුවා මගේ හැසිරීම් දැකල මාව සහනය එකට යැව්වා. පෙන්ලස් සුයිසයිඩ් විදි ගුගල් එකේනම් කොච්චර හොයල ඇත්ද මම. එදා සහනය එකෙන් ලැබුන අත්දැකීම මගේ දික්කසාදෙදි ලෝකෙම එක පැත්තක් ගනිද්දී මම සාර්ථකව මුහුණ දුන්න. මැරෙනවනම් දික්කසාද කෙස් එක හොඳටම ඇති. ඒත් මෙහේ මිනිස්සුන්ගේ ප්‍රශ්න දැක්කහම පුදුම හිතෙනවා මුන් නොමැරි කොහොම ඉන්නවද කියල. හැබැයි මැරෙනවට වඩා අමාරුයි ජිවත් වෙන එක. ගොඩක් අය සියදිවි නසාගන්නේ එයාලට කතා බහ කරන්ට දෙයක් විසඳ ගන්න විශ්වාස පුද්ගලයෙක් නැහැ කියන හැඟීම නිසා. කියන්ට බයයි වගේ දේවල්. ඕකේ ලොකුම වරද තමයි ලෝකේ ගොඩක් මිනිස්සු තමන්ගේ ගෝත්‍රික ගති ගුණ අත ඇරගන්ට අකමැති කමත් අනිත් මිනිස්සුත් තමන්ගේ ගෝත්‍රික ගතිගුණ අරගන්නවට ඇති අකමැත්තත්. උදාහරණයක්.: හිතපන් ලංකාවේ බෞද්ද පවුලක දරුවෙක් නිරාගමික උනොත් ඌට අහන්න වෙන දේ.. 🙄

    ReplyDelete
    Replies
    1. උඹ කියපු අත්දැකීම් සමහරක් මටත් එහෙමම තියෙනවා (විශාදය සහ දික්කසාදය). ඒ නිසාම වෙන්නැති, ඒ තේරුම් ගැනීම නිසාම අපි මේ ප්‍රශ්නය දිහා බහුතරයක් බලන විදියට සාපේක්ෂව සානුකම්පිතව බලන්න පුරුදු වෙලා ඇත්තෙ.

      උඹ කියපු දේ ගැන මම 100%ක් එකඟයි. තනිවීම, ප්‍රශ්නය කවදාවත් නැතුව නොයයි කියල හිතෙන එක, කතා බහ කරන්න කවුරුත් නැතිවීම වගේ දේවල් තමයි කෙනෙක්ව සියදිවිහානියට යොමු කරන්නෙ.

      විසඳුම තමා මානසිකව වැටිල ඉන්න අපේ ප්‍රියයන්ව අපිම තේරුම් ගන්න එක. ඔවුන්ට අපව අවශ්‍ය වෙලාවට අපි ඔවුන් එක්ක ඉන්න එක.

      නැතුව වෙන්න තියෙන දේ වුනාට පස්සෙ අඬල දොඩල, චෝදනා කරල වැඩක් නෑ :)

      Delete
    2. සොරි මචෝ. මගේ විශාදය දික්කසාදය අතර අවුරුදු 7ක ගැප් එකක් තියෙනවා. මම කිව්වේ ඩිප්රේෂන් තෙරපි මට ගොඩක් උදව් උනා දික්කසාදෙට.

      අනික මට පුදුමයි රියැලිටි දේවල් ගැන ලියන උබේ බ්ලොග් එකේ කොමෙන්ට් නැති එක.

      Delete
    3. කමෙන්ට් නැති එක නම් අවුලක් තමයි. කවුරු හරි තමාගෙ සටහන් කියවනව කියන එකයි ලැබෙන ප්‍රතිචාරයි ලොකු උවමනාවක් ඇති කරනව ආයෙ ආයෙ ලියන්න.

      එක හේතුවක් වෙන්න ඇති මම ගොඩක් වෙලාවට වෙන බ්ලොග් වල කමෙන්ට් නොකරන එක. මම බ්ලොග් වල තරමටම මුහුණු පොතෙත් ඇක්ටිව් නිසා මට හැම බ්ලොග් එකක්ම කියවන්න වෙලාව මදි. සහ, ගොඩක් අය ලියන මාතෘකා මට එච්චරම උනන්දුවක් ඇති කරවන්නෙ නෑ කියවන්න. මම කැමති ටිකක් මතභේදාත්මක ලිපි කියවන්න. මිනිස්සු සංවේදී දේ ගැන කතා කරන සටහන් කියවන්න. ඉස්සර ටැබූ, කොලූ ලිව්වෙ.. ඒ වගේ.

      මං හිතන්නෙ දැනට තියෙන ලාංකීය බ්ලොග් අවකාශයට මගේ අදහස්, සටහන් ගැලපෙන්නෙ නැතුව ඇති.

      බලමු.. පුළුවන් තරම් කල් ලියමු.

      (මොනව වුනත් කමෙන්ට් කරන උඹල එකා දෙන්නගෙන් හරි ලැබෙන සහයෝගය, දිරිමත් කිරීම කියා නිම කරන්න බෑ මචන්)

      Delete
  2. ඒත් සියදිවි නසා ගන්න පෙර ඔහුන්ගේ මානසික මට්ටම පිළිබද සානුකම්පිත බැලීමට අතිශය සාධාරණයි. ඒත් සියදිවි නසාගැනීම කිසිසේත් සාධාරණිය නැතිබව තමයි මගේ හැගීම. එය එවන් මානසිකත්වයන් ඇති පුද්ගලයින් හට තව තවත් අනුබල දීමක් වෙන්නත් පුළුවන්

    ReplyDelete
    Replies
    1. ඔව්. සටහනේ මම කියල තියෙන විදියට මගේ අරමුණ වුනේ සියදිවිනසා ගැනීම සාධාරණීයකරනය කිරීම නෙමේ. ඔවුන් දෙස ද්වේෂයෙන් නොව සානුකම්පිතව බැලිය යුතුයි කියන අදහසයි මම දෙන්න උත්සාහ කලේ

      Delete