Showing posts with label උතුම් මෙව්වා ගැන. Show all posts
Showing posts with label උතුම් මෙව්වා ගැන. Show all posts

Saturday, October 21, 2017

වමනය කල වරදට පාසලෙන් දොට්ට



මම සයිබරයේ සැරිසරමින් සිටියෙමි. ප්‍රියම්භිකාවිය සිටියේ මා අනෙක් පසින්ය.

"මොකක්ද අර?.."

"අද වෙච්චි සිද්ධියක්. ළමයෙක්ට බඩිගින්නේ වමනෙ ගියාම ප්‍රෙග්නන්ට් වෙලා කියල හිතල ඉස්කෝලෙන් එලවල. අම්මල තාත්තලටත් කියල"

මම ඇයට අදාල ප්‍රවෘතිය පෙන්වීමි.

"ඔය වගේ තමා ගොඩක් ගුරුවරු හිතන්නේ. ඇයි අපි ඉස්කෝලෙ යන කාලෙ අපේ පන්තියෙ ළමයෙක් ලොකු වෙලා එයාර් හොස්ටස් කෙනෙක් වෙන්න ආසයි කිව්වා කියල සර් එයාට වේසි කියල තිබ්බා.."

"මොකක්.....?"

"ඔව්"

"මොකක්ද හරියටම වුනේ?"

"ඔය ඉස්කෝලෙ යද්දි අහන්නෙ, ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියල. අපේ පන්තියෙ ළමයෙක් කිව්වා එයා කැමති එයාර් හොස්ටස් කෙනෙක් වෙන්න කියල. ඒ ළමයට හොඳටම බැන්න. පස්සෙ ඒ ළමයව පැත්තකට අරගෙන ගිහින් තවත් බැනල. සර් කියල වේස රස්සා කරන්න හදන්නෙ උඹ වේසියෙක් වෙන්නද කැමති" කියල.

මගේ හිත කේන්තියෙන් පිරීගියේය. මගේ පාසලේ සිටි ගුරුවරුන්ගේ කල්ක්‍රියාද මතකයට නැඟෙන්නේ මෙවැනි අවස්ථාවලදීය.

මගේ පාසලේ ගුරුවරු කිහිපදෙනෙක් අතර තරඟයක් විය. ඒ පාසලේ 'වසම සර්' යන නාමය හදාගැනීමටය. ඒ නම හදා ගැනීමට ඔවුන් කරන්නේ හැකි පමණ පාසල් සිසුන්ට පහර දීමය. දවස ආරම්භ වද්දි ඇහෙන "චටාස්.. පටාස්.." සද්දය අපට නුපුරුදු දෙයක් නොවීය. තවත් ගුරුවරයෙක්ට තිබුනු අමාරුවක් නම් සිසුවියන් ඉදිරියේදී සිසුන්ට පහර දීමට ඇති ආශාවයි. ඒ නිසා ඔහුට පාසලේ වැඩිමහල් සිසුන් තැබූ අනවර්ථ නාමය "කිඹිසිඹා" නම් විය. තවත් දිනෙක පාසලේ ගුරුවරයෙක් නමය වසරේ ඉගෙනුම ලැබූ සිසුවියකගෙන් 'කිස් එකක්' ඉල්ලා කරදර කරන බව අපට ආරංචි විය. එක්තරා ක්‍රමයකින් විදුහල්පතිට ඔහු ගැන දැනුම් දුන්නත් ගුරුවරයා වසර ගනනක් පාසලේ යහතින් සේවය කලේය. සිසුන්ට වේවැල් කැඩෙන තුරා පහර දුන්නද, ගුරුවරුන්ගේ විනය ගැන සොයා බැලීමට පාසල් පාලනාධිකාරිය එම උනන්දුවම දැක්වූවා දැයි නොදනිමි. සිසුන්ට පහර දීම, සිසුන්ව අනෙක් සිසුසිසුවියන් ඉදිරියේ ලජ්ජාවට පත් කිරීම එදිනෙදා සිදුවන සාමාන්‍යය දේ විය.

මගේ ජීවිත කාලය පුරා ගරුකටයුතු ගුරුවරුන් හමුවී ඇත්නම් ඒ එක්කෙනෙක් නැත්නම් දෙන්නෙක් පමණි.

අප රටේ ගුරුවරයා නැමති වෘතියේ නියැලෙනා මිනිසුන් ගත් විට පොදුවේ ඔවුන් තුල ඇත්තේ මෙවන් මානසිකත්වයක් යැයි සිතමි. මෙවන් තත්වයක් යටතේ ලාංකේය සමාජය විසින් ගුරුවරයාට 'ගරුත්වය ලැබීම' යන කාරණයේදී ෆ්‍රී පාස් එකක් ලබා දි ඇත්තේ මන්දැයි මම අද වනතුරා නොදනිමි.

ඕනෑම වෘතියකට හෝ නිල ඇඳුමකට හෝ (සිවුර, ලෝගුව), පට්ටමකට හෝ (මව්පදවිය, පියපදවිය) ඉබේ විශේෂ ගරුත්වයක් හිමි වීමෙන් අසාධාරණයට පත් වන්නේ ඒ ගෞරවය හිමි යැයි සැලකෙන මිනිස්සුන්ගෙන් පීඩනයට පත් වන පීඩිතයන්ය. මේ විශේෂ ගරුත්වය හිමි පුද්ගලයන් අතින් පීඩනයට සහ අසාධාරණයට ලක් වූවන් ඊට එරෙහිව හඬනගන්නට හෝ නීතියේ පිහිට පතන්නට මැලිවන්නේ ස්වභාවයෙන්ම ඔවුන්ට තමාට වඩා වැඩි පිළිගැනීමක් සමාජයෙන් ලැබෙන බව දන්නා නිසාය. එනිසා මෙවැනි කැපී පෙනන විශේෂ සිදුවීම් වලදී හැර බොහෝ විට සිදුවන්නේ මේ 'ගරුකටයුතු' වෘතීන් වල නියැලෙන්නන් අතින් වන අසාධාරණයන් අනෙක් අය 'ඉවසීමය'.

පුද්ගලිකව මම මිනිසුන්ට ඔවුන් කරනා වෘතිය නිසා හෝ ඔවුන් දරනා පට්ටම් නිසා හෝ ඔවුන් අඳිනා නිල ඇඳුම් නිසා ඔවුන්ට විශේෂ ගෞරව සැලකිලි නොදක්වන්නට හැකි තරම් උත්සාහ කරමි. සැමටම ලැබිය යුත්තේ මනුස්සයෙක්ට හිමි ගෞරවය පමණි. කෙනෙක්ට අනෙක් අයගෙන් විශේෂ ගෞරවයක් අවශ්‍ය නම් ඔහු ඒ විශේෂ ගරුත්වය ඔවුන්ගෙන් දිනාගත යුතුය. හැසිරීමෙන් සහ කල්ක්‍රියාවෙන් තමා අනෙකුන්ට වඩා විශේෂ බව පෙන්විය යුතුය. එවිට ඔහු මොන වෘතියේ නියැලුනත්, මොන පට්ටම දැරුවත් ඔහුට සියල්ලන්ගේ ආදරය ගෞරවය ලැබෙනු ඇත. මන්ද, ගෞරවය යනු දිනාගත යුතු දෙයක් මිස, ඉබේ ලැබෙන දෙයක් නොවන නිසාය.

කෙසේ නමුත් ලංකාවේ ගුරුවරු නැමති වෘතියේ යෙදෙනා මිනිසුන් කොටස තුලද අනෙක් හැම වෘතියකම යෙදෙනා මිනිසුන් තුල සේම වැඩියෙන්ම ඇත්තේ අඩුපාඩුය. ආකල්ප වල ගැටළුය. ඔවුන්ගේ ඒ අඩුපාඩු හඳුනාගෙන ඒවා ප්‍රශ්න කිරීමට නම් සමාජයක් වශයෙන් ගුරුවරුන්ට ලබා දී ඇති මේ 'ෆ්‍රී පාස්' එක වහා ගලවා ඉවත දැමිය යුතු බව දැන්වත් තේරුම් ගන්නවා නම් හොඳය. නැත්නම් සිදුවන්නේ දශක ගානක් තිස්සේ කලාක් මෙන් ගුරු පුටුවේ සිටිනා පුද්ගලයා මොන ජාතියේ අමනයෙක් වුවද, මොන ජාතියේ අමන වැඩ කලද "අනේ හොඳා සර්" කියා බුලත් දී ඔහු ඉදිරියේ වැඳ වැටීමටය.

Wednesday, October 18, 2017

මාර ඉස්කෝලෙ මාර පුත්තු



නම ගිය පාසලක ගුරුමාරුවක් ගැන සයිබරයේ ඇති වූ කතාබහක් හේතුවෙන් ලියවුන සටහනකි.


"...වසර දහයටකට වඩා වැඩි කාලයක් එකම සේවා ස්ථානයේ රැඳෙන ගුරුවරුන්ගේ සේවා ස්ථාන මාරු කල යුතු බව රටේ පවත්නා නීතියයි. 

එනයින්, එම නීතියට පිටිං යමින් ඔබ ඉගෙන ගත් පාසලේ වසර දහයකට වඩා වැඩි කලක් එක දිගට රැඳී සිටි ගුරුවරුන් වේ නම් ඔබ ඉගෙන ගත් පාසල රටේ පවත්නා නීතියට එරෙහිව යන හොර ගුබ්බෑයමකි. 

රටේ පවත්නා නීතිය නිසි ලෙසින් ක්‍රියාත්මක වීමට එරෙහි වන්නේ නම් ඔබ හොර ගුබ්බෑයමකින් බිහි වූ තක්කඩියෙකි. 

පවත්නා නීතියට එරෙහි වීමේ ඔබේ තක්කඩිකම සාධාරණීකරණය කිරීමට ඔබට අනේක හේතු තිබිය හැක. 

එසේ නීතියට එරෙහිව යාම යෝජනා කිරීමට නොයෙක් හේතු තිබීමත් ඔබේ තක්කඩි කමේම එක පැතිකඩකි..."

- උපුටා ගැනීම අවසන් -

අර ශෝචනීය හැසිරීමක් පෙන්වන ළදරුවන් පිරිස ගැන මට තියෙන අදහසට සමාන අදහසක් රවීෂ තිලකවර්ධන පල කරල තිබ්බා. ඒක තමා ඔය උඩ දාල තියෙන්නේ.

හරිම ලොකු උතුම් මෙව්වා කියල හිතාගෙන ඉන්න ලබ්බවල් ගැන සීන් වලදි කට්ටිය කොහොමත් ආගමික විදියට හැසිරෙන්නෙ. ගොබ්බයි ඉතින්.

මට තියෙන ප්‍රශ්නය මේකයි, හැමෝම හැදිලා තියෙන්නේ මේ වගේ පට්ටම පට්ට සිරාම සිරා මරු ශික්ෂණයකින් යුත් අම්බම සංස්කෘතීන් තියෙන අහවල් එකේ මුදුන් මල්කඩ වගේ ඉස්කෝල වල නම් ඒ විදියට හැදුන උන්ගෙන් පිරුන මේ සමාජයෙදි මේ මිනිස්සු මෙච්ච්ර කුජීත ඇයි කියන එක.

ඉස්කෝල මාර වුනාට ඉස්කෝලවල් වලින් අවුට් වෙන මිනිස්සු නම් මාර නැහැ.

මාරම සීන් එක නේ ඒක?

මොනව නැතත් "අපේ එක මාරයි" කියන බ්‍රේන් වොෂින්ග් එක නම් ළමයිට හැම ඉස්කෝලෙන්ම නො අඩුව ලැබෙන බව නම් පේනව.

ඉස්කෝලෙ ශික්ෂණය ගැන විනය ගැන සංස්කෘතිය ගැන කොච්චර දාර ටෝක් ඉෂූ කලත් ඊයෙ පෙරේදා මේ ඉස්කෝලෙ ආදි ශිෂ්‍යයන් බුකියේ හැසිරුන විදියට පේන්නේ ඔය "මාර" ඉස්කෝලෙත් කිසිම ඉවසීමක් නැති විනයක් නැති අපරිනත මිනිස්සු බිහි කරන තවත් නිකම්ම නිකන් ඉස්කෝලයක් කියල තමා.

කේන්ති ගන්න එපා, පේන දේ කිව්වේ.

තමන් මාරයි කියල හිතාගෙන ඉන්න මෙව්වා වලට වඳින උන් එක්ක හිනා වෙලා ඒ තමා මාරයි කියල හිතාගෙන ඉන්න මෙව්වා වලට මාර නැති විදියට සලකන උන්ගෙ ඇඟට කඩන් පනින එක නම් මේ අය ඔය මාර ඉස්කෝල වලින් ගන්න ශික්ෂණය, තව මොන කතාද ඉතින්.

තමා එක්ක එකඟ වෙන මතවාද එක්ක කටයුතු කරද්දි නෙමේ ශික්ෂණය සහ පරිනතභාවය කියන කාරණා ක්‍රියාවට නැඟෙන්නෙ, තමා එක්ක ගැටෙන මතවාද එක්කයි කියන එකවත් නොතේරෙන ගොබ්බ හැත්තක් තමා ඔය ඉස්කෝලෙනුත් බිහි කරල තියෙන්නෙ. (හැමෝම ඔහොම හැසිරුනේ නැති එක ඇත්ත. ඒත් සැලකිය යුතු පිරිසක් නැටුවනේ. ඉතින් හැම ඉස්කෝලෙකම ඔහොම තමා. සාපේක්ෂව හැදිච්ච සහ නැහැදිච්ච උන් දෙගොල්ලොම ඉන්නවා)

මාර ඉස්කෝලෙ මාර පුත්‍රයිනි,

මොකෙක් හරි උඹල එක්ක එකඟ වෙන අවස්ථා වලදි නෙමේ උඹල ඔය මාර ඉස්කෝලෙන් ගත්ත විනය කියන එක ඕන වෙන්නෙ, මොකෙක් හරි උඹල එක්ක ගැටෙන වෙලාවටයි ඒක ඕන වෙන්නෙ.

මිනිහෙක්ගේ ශික්ෂණය, පරිනතබව, විනය කියන එක මැනෙන්නෙ එතනදි.

උඹලගෙ ඉස්කෝලෙන් ඒක කියල දුන්නෙ නැත්නම් දැන්වත් ඉගෙනගනින්.

යමක් ගැන අදහස් ප්‍රකාශ කිරීම එකක්, රෙද්දෙ රෙවිලා වගේ දඟලන එක තවත් එකක්.

අවසානයේ කතාව සාරාංශ ගත කරනවා නම්,

"උඹල මාර නෑ බං.. උඹලගෙ ඉස්කෝලෙත් මාර නෑ. උඹලගෙ ඉස්කෝලෙත් මේ කුජීත වෙච්ච සමාජයට කුජීත වෙච්චි මීනිස්සු බිහි කරන තවත් එක කුජීත කම්හලක් විතරයි. "මම මෙහෙම වුනේ ඔය පාසල් මාතාව නිසාය".. ඕකනේ කතාව. උඹ කොහොම වුනේද බං? දැන් උඹ මාරද? ඉස්කෝලෙ නිසා උඹ දැන් මාර පොරක් වෙලාද? උඹ හිතන් ඉන්නෙ උඹ මාර පොරක් කියලද? අනේ පලයන් බං යන්න...

...උඹලගෙ ඔය මාර ඉස්කෝලෙත් රටේ තියෙන නීතියට යටයි. නීතිය ක්‍රියාත්මක කරන්න යද්දි සරම උස්සන් දඟලන එකෙන්ම පේනවා රටේ සම්මත නීතියට ගරු කරන්න උඹලගෙ ඉස්කෝලෙන් උඹලට කියල දීල තියෙනවද නැද්ද කියල. අනිත් පාසල් වලට බලපවත්නා නීතිය උඹලගෙ එකට විතරක් බලනොපාන්න හේතුවක් නැහැ කියන එක දැන්වත් තේරුම් ගනින්.

එනිසා මාර ඉස්කෝලෙයේ මාර හැදිච්ච මාර වස චණ්ඩි පුත්‍රයනි.

දඟලන්නෙ නැතුව පැත්තකට වෙලා  ඉඳින් බං"

Friday, February 24, 2017

මචන්, දැන්වත් ඉස්කෝලෙන් අවුට් වෙයං

සයිබර් අවකාශය ආගමිකත්වය, ජාතිවාදය, වැනි ගෝත්‍රික සංකල්ප වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ මෙන්ම එම සංකල්ප දැඩිව විවේචනය කරන රැඩිකල් මතදාරීන්ගේ තෝතැන්නක්.

ඒත් මේ සමහර රැඩිකල් මතදාරීන්ගේ මතවාද වල තාප්පයටම කෙළ වෙලා පොලු ගැලවිලා යන යෝකර් එක විදිහට බණ්ඩා දකින්නේ ඔවුන්ගේ ලේ වල දුවන දැඩි පාසල් වාදය.

බණ්ඩාට ඉන්නවා කොළඹ හතේ මහ විසල් පාසලක ඉගෙන ගත්තු මිතුරෙක්. මේ මිත්‍රයා රටේ වගේම සමාජයේත් ඔහු දකින අඩු ලුහුඬුකම් අවංකව කොන්දේසි විරහිතව විවේචනය කරනවා කිසිම පක්ෂපාතීත්වයකින් තොරව.

ඒත් ඔහු කොයිම වෙලාවකවත් ඔහු ඉගෙන ගත්තු කොළඹ හතේ මහ විසල් පාසල කාටවත් විවේචනය කරන්න දෙන්නේ නෑ. එහෙම කරන කොට බණ්ඩාගේ මිතුරාට හරියට කේන්ති යනවා බණ්ඩා දැකලා තියෙනවා.

“මම මචන් ජාතිවාදයට විරුද්ධයි, ආගම්වාදයටත් විරුද්ධයි. ඒත් මම ඉගන ගත්තු මහ විසල් ඉස්කෝලේ කවුරුන් හරි විවේචනය කරද්දි මට මහ කේන්තියක් එනවා.
මට මාවම කියවගන්න බැරි වෙන්නේ ඒ වගේ වෙලාවට”

මේ පරස්පර විරෝධී හැසිරීම බණ්ඩාට පේන්නේ මහ විකාරයක් විදිහට

එක්තරා ආකරයකින් මේක හරිම උත්ප්‍රාස ජනකයි..!

ඇයි මෙහෙම වෙන්නේ?

බණ්ඩා ඉගෙන ගත්තේ ඔය සෝ කෝල්ඩ් මහ විසල් පාසලකින් නෙමෙයි. ඒත් බණ්ඩාට මහ විසල් පාසල්වල ඉගෙන ගත්තු යාළුවෝ ඉන්නවා. ඒ අය කියන දේවල් වල විදිහට බණ්ඩාට තේරුන දෙය තමයි ඒ අයට පොඩි කාළේ ඉදලම මේ මහ විසල් පාසල් ගැන විශේෂ හැඟීමක් ඔළුවට කාවද්දලා තියෙන බව

“මල්ලි අපිට අවුරුදු සීය ගාණකට වඩා වැඩි ට්‍රැඩිශන්ස් තියෙනවා. අපේම කියලා කල්චර් එකක් තියෙනවා. ඒවා අපි ආරක්ෂා කරන්න ඕන”

මේ මහ විසල් පාසල් වල දිවිහිමියෙන් අරක්ෂා කළ යුතු, ට්‍රැඩිශන්ස්, කස්ටම්ස්, නොර්ම්ස් තියෙනවා. ඒ මහ විසල් පාසල් වල කොටසක් වෙන්නනම්, මේ සම්ප්‍රදායන්, චාරිත්‍ර, සිරිත් විරිත් අකුරටම පිළිපදින්න ඕන.

මේ මහ විසල් පාසල් වල කොටසක් වීම මඟින් එම පුද්ගලයාට සාමාන්‍ය සමාජයෙන් වියුක්ත සුවිශේෂී ගෝත්‍රයකට ඇතුළු වෙන්න ටිකට් එකක් හම්බෙනවා.

“මල්ලි ඔයා අද ඉදලා ආනන්දියන් කෙනෙක් කියලා මතක තියා ගන්න”

“වන්ස් අ රෝයලිස්ට්, ඕල්වේස් අ රෝයලිස්ට්”

තමන් ගැන ආඩම්බර වෙන්න වෙන කිසිම දෙයක්, පුද්ගල දක්ශතාවක් නැති අයට පවා මේ මහ විසල් පාසල් ගෝත්‍රයට අයිති වීම නිසා එම පුද්ගලයට සමාජයේ සමාන්තර වයස් කාණ්ඩ වල අයවලුන්ට වඩා උසස් බව හැඟෙනවා.

මේකත් සුදු ජාතිකයෙක් වීම නිසාම ආඩම්බර වන, වර්ණ බේදවාදය පතුරන සුදු ජාතිකයන්ගේ KKK වගේ එක්තරා විදිහක ට්‍රයිබල් මෙන්ටලිටියක් කියලයි බණ්ඩාට හිතෙන්නේ.

මේ මහ විසල් පාසැල තුළදී පාසැල් ගීය, පාසැල් කොඩිය සහ පාසල් ලාංඡනය වගේ සංකේත කෙරෙහි වන්දනීය ස්වරූපයක් කුඩා කාලේ ඉදලම ළමා මනසට බලෙන්ම කාවද්දන නිසා කවුරුන් හරි මේ පූජනීය දේවල් විවේචනයට, ගැරහීමට ලක් කළහම මේ මහ විසල් පාසල් ගෝත්‍රිකයන්ට ගොඩක් කෙන්ති යනවා. ඒ වෙනුවෙන් ඔවුන් ගහ මරා ගන්න පවා යනවා.

බණ්ඩාට එතකොට මතක් වෙන්නේ හිට්ලර් සහ ස්වස්තික ලකුණ අතර ඇති දැඩි සහ සම්බන්ධය.

බණ්ඩාගේ මිතුරා මහ විසල් පාසලෙන් අස්වීම් සහතිකය අරගෙන ගොඩක් කලක් ගතවී ගිහිල්ලත් තම පාසලේ පාලකයින් ගැනත්, ගුරුවරුන් ගැනත්, තම පාසැල් සිසුන්ගේ විනය පිළිබඳවත් දක්වන්නේ දැඩි සැළකිල්ලක්.

“ගිය පාර පැරේඩ් එකේ අලියෙකුත් ගියා, මේ පාර කෝ අලියා?”

කිසිදා පිටුනොපාන මේ දැඩි භක්තිය, ශුද්ධවූ ළැදියාව දෙවෙනි වන්නේ කුමකටද කියන එක වෙලාවකට බණ්ඩාට ප්‍රශ්නයක්.

ඒ ආදරය, භක්තිය හිමිවන්නේ අනෙකාගෙන් තමන්ව වෙන් කරන, සුවිශේෂ කරන, ඔවුන්ගේ මනසේ ඇඳුන සර්වසම්පූර්ණ සංකල්ප පද්ධතියකට කියලා බණ්ඩාට හිතනවා.

මේ විසල් පාසල් වලින් නිර්මාණය කොට පුහුණු කරනු ලබන්නේ තමාගේ කණ්ඩායමට කොන්දේසි විරහිත ඇල්මකුත් තමාගේ නොවන කණ්ඩායම් වලට එදිරිවාදී හැඟීමකුත් දනවන චින්තන රටාවක්

පාසල්වාදයෙන් ආරම්භවන මේ චින්තනයේ පදනමම ජාතිවාදය සහ ආගම් වාදය වගේ ගෝත්‍රික සංකල්ප වලටද මූල බීජය වනවා

අනෙකාට වඩා තමන් උසස්ය, සුවිශේෂීය කියා උගන්වන.. සමාජයේ අනෙකාගෙන් තමන්ව වෙන්කරන අනන්‍යතාවයක් නිර්මාණය කෙරෙන.. මහ විසල් පාසැලකට කොන්දේසි විරහිත පක්ෂපාතීත්වයක් දක්වන රාමුවකට හිරවි සිටින පරපුරක්, මානව සංහතියට පොදුවේ ආදරය දක්වන්න පුළුවන් වෙයි, අනෙකාගේ දුකේදි සහකම්පනය වෙයි කියලා බණ්ඩා හිතන්නේ නෑ.
මේ පටු අදහස් වලින් ඤාණය නිවහල් කර ගන්න, වර්ගවාදී, ගොත්‍රවාදී, ආගම්වාදී (religion based), ලිංග බේදවාදී (gender based), අධ්‍යාපන ක්‍රමය සහමුළින්ම කඩා බිඳ දමලා බින්දුවෙන්ම පටන් ගන්න ඕන කියලයි බණ්ඩාට හිතෙන්නේ.

ඒක පටන් ගන්න නම් ඉතින් තිහ, හතළිහ පැනපු අන්කල්ලා සෙට් එක මුලින්ම මේ මහ විසල් පාසල්වලින් අවුට් කරගෙන ඉන්න වෙනවා.

මචන්.. රටයි ලෝකෙයි හදන්න කලින් පින් අයිතිවෙයි ඉස්සෙල්ලාම ඉස්කෝලෙන් අවුට් වෙලා හිටහං…!

- පැරණි සටහනකි

Sunday, December 11, 2016

මනුසත්කම පිරි යුධ සෙබළා



මනුස්සකම තියෙන යුධ සෙබලා කියන එකත් මාර කන්සෙප්ට් එකක් නේද?

දැන් මෙතන සෙබළා කියන භූමිකාව රඟපාන, රණවිරුවා කියන දේශපාලනික සංකේතය පිටිපස්සේ හැංගිලා ඉන්න හොඳ වැඩ කරන, නරක වැඩ කරන, ජඩ වැඩ කරන, නරුම වැඩ කරන, මෝඩ වැඩ කරන, ඊර්ෂ්‍යා කරන, ආත්මාර්ථකාමී අපි වගේම ලේ ඇට නහර වලින් හැදුන මිනිහාගේ පපුවට “මනුස්සකම තියෙන යුධ සෙබළා” කියලා තවත් පදක්කමක් ඇලෙව්වාම හරිද?

සෙබළා කියන සංකල්පය ඇතුළේම තියෙන්නේ “මනුස්සකම/අමනුස්සකම” ප්‍රෝසෙස් නොවන, ඉහළින් එන අණ පිළිපදින්නම නිර්මාණය කරනු ලැබූ, සංවේදීතාව අවම අගයකට බස්සවනු ලැබූ, අවාසනාවන්ත මනුස්සයෙක්.

සෙබළෙක් කියන්නේ අපි ආඩම්බරයක් විදිහට දැක්කට, සෙබළෙක්ගේ තුවක්කුවක් පත්තු කරන්න වෙන එකම මනුෂ්‍යත්වය පැත්තෙන් අවාසනාවන්ත තත්වයක්. ඒ තුවක්කුවෙන් විනාශ කරන්නේ අපේ දුර්වලතාවයන් නිසා නිර්මාණය වුන මිනිස් ජීවිතයක්, බොහෝ වෙලාවට.

රටකට, සමාජයකට, පවතින සිස්ටම් එකට සෙබළා කියන භූමිකාවේ අවශ්‍යතාවය පැහැදිළියි. නමුත් එයින් ඔහු අවාසනාවන්තයෙක් නොවන්නේ නෑ.

කොටින්ම ඔහුට ලැබෙන මිලිටරි පුහුණුවෙන් පස්සෙ ඔහුගේ තුවක්කුව පත්තු වෙන සතුරා කවුද කියන එක තීරණය කරන්නේ ඔහුට ඉහළින් ඉන්නා හිස් ගෙඩි වල දේශපාලන අවශ්‍යතා මිස, ඔහුගේ ඔලුවේ තියෙන මනුස්සකම/අමනුස්සකම තුළින් හර බැර කරලා ගන්න ඔහුගේම තීරණයක් අනුව නෙමේ. ඔහුට ඒ මිලිටරි පුහුණුව ලැබෙන්නේත් ඒ හිස් ගෙඩි වල අවශ්‍යතා අනුවම තමයි.

වරෙක ඔහු අතේ තිබ්බ තුවක්කුව උතුරට එල්ල වෙද්දි තවත් වරෙක ඒ තුවක්කුවම රතුපස්වලදී අපට එල්ල වුනේ ඒ අනුවයි. (ඔව්, රතුපස්වලදී අපට, උතුරේදි අපට නෙමේ. අපි ඉන්නෙ මෙහෙ, උතුරෙ ඉන්නෙ අපි නෙමේ, වෙන කවුද සෙට් එකක්නෙ නේද?)

කොටින්ම ඔහු අණ පිළිපදින්න ප්‍රෝග්රෑම් කරනු ලැබූ රොබෝ කෙනෙක්.

ඔහු විසින් ඒ අණ ප්‍රශ්න කරන්න පටන් ගත්ත ගමන් ඔහුගේ භූමිකාව තුළ ඔහු ෆේල් වෙනවා. එහෙම වුනොත් ඌ සෙබළෙක් විදිහට නෙමේ පවතින්නේ, විප්ලවකාරයෙක් හරි වෙන මොකෙක් හරි විදිහට.

තමාට ලැබෙන අණ ප්‍රශ්න කරන මනුස්සයා තුළ සෙබළෙක්ට ජීවත් වෙන්න බෑ.



තව එකක්,

සෙබළාව මානුෂීයකරණය කරන්නම ක්‍රියාත්මක කෙරෙන මිලිටරි වන්දනාව දේශපාලනිකයි.

උදාහරණයකට, ෆේස් බුක් එකේ සොල්දාදුවෙක් ආච්චි කෙනෙක්ව වඩාගෙන යන පින්තූරයක් හරි, සොල්දාදුවෙක් හරකෙක්ට වතුර ටිකක් දෙන පින්තූරයක් හරි “මානුෂීය සෙබළා” කියන කන්සෙප්ට් එක හයිලයිට් වෙන විදියට ශෙයාර් වෙද්දි, ඒ පින්තූරයෙන් දෙන අදහස දේශපාලනිකයි මිසක යථාර්ථවාදී නැහැ(ඒවායින් ප්‍රමෝට් කරන මැසේජ් එකේ හොඳ නරක ගැන නෙමේ මේ කතා කරන්නෙ.)

එහෙම මාර්කට් එකේ තියෙන පින්තූර හිස් මුදුනින් පිළිගෙන ශෙයාර් කරන උදවියත් ලක් වෙන්නේ පින්තූරයේ ඉන්න සෙබළා ලක් වුන මොළ ශෝදනයටමයි, ඊට වඩා වෙනස් මට්ටමකින්.

මීට ටික දවසකට කලින් ඔය සෙබළා කියන ලේ ඇට මස් නහර වලින් හැදුන මනුස්සයාව රණවිරුවා කියන දේශපාලන සංකේතයක් ඔස්සේ දකින එකේ හොඳ නරක පැහැදිළිවම පෙනෙන සිදුවීමක් වුනා.

අවුරුදු 5ක ළමයෙකුගේ බෙල්ල කපලා මරලා දැමීම කියන ක්‍රියාව වරදක් නොවන හෝ සමාව ලැබිය යුතු වරදක් වන අවස්ථාවක් අපේ සමාජයේ යම් කොටසක් විසින් සොයාගෙන තිබුනා. කොන්දේසි විරහිතව විරුද්ධ විය යුතු අමානුෂික ක්‍රියාවක් කොන්දේසි ඉදිරිපත් කරමින් ඇතැමුන් සාධාරණීයකරනය කරන්නට ඉදිරිපත් වුනා.



වඩාත් ඛේදජනක සිදුවීම වයස අවුරුදු 5ක ළමයෙක්ගේ ගෙල සිඳ දාලා මරා දාන එකද? වයස අවුරුදු 5ක ළමයෙක්ගේ ගෙල සිඳ දාලා මරා දාන එක සාධාරණීයකරනය කරන්නට උත්සාහ කරන සමාජයක් නිර්මාණය වෙලා තියෙන එකද?

ඔය මනුස්සකම තියෙන යුධ සෙබළා, මානුෂීය හමුදාව වගේ සංකල්ප වල ඇතුලේ හිර වෙලා තියෙන යථාර්තය හඳුනා ගන්න එක වැදගත් වෙන්නේ ඒනිසයි.

2015 දෙසැම්බර් 10 දින ලියූ පැරණි සටහනකි

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...