Wednesday, July 19, 2017

බලු පැටව් සහ වසු පැටව්

පොෂ් බලු පැටව් දෙන්නෙක් විකුණන්න තියෙන වගක් අපේ ගෙදර උන්දෑලාට ආරංචි වෙලා.

බලු වරිගයයි මිල ගණනුයි කණ වැකුනයින් පස්සෙ අසුරු සැනින් එක මොහොතෙන් ඇති වෙච්චි බලු සුරතල් බැලීමේ ආශාව නිසා අපේ මෑණියෝයි නැගණියයි ගිහින් බලු පැටව් දෙන්නෙක් අරගෙන ඇවිත් [ආයේ ඉතින් සල්ලි සල්ලි කියලා බැලුවේ නෑ]

එක බලු පැටියෙක් අපේ මෑණියන්ගේ ගෙදරට. අනෙක් බලු පැටියා අපේ නැගණියගේ ගෙදරට.
බලු පැටව් දෙන්නා නිවුන්නු(ලු) [එකට උපදින බල්ලෝ කොහොමත් නිවුන්නු තමයි. ආයේ ඉතින් ඕක අමුතුවෙන් කියන්නත් දෙයක්යෑ]
වයස මාස දෙකක්, තුනක් විතර(ලු). එකම පාට. එකම විදිය.

වැඩේට මුලින් අකමැත්තෙන් හිටපු තාත්තත් පස්සෙ බලු සුරතල් දැකලා හිත වෙනස් කරගෙන. කොටින්ම කියනව නම් බල්ලෙක්ට, පූසෙක්ට තියා මනුස්ස පැටියෙක්ටවත් හිත උණු නොවෙන මමතුමාත් මේ බලු පැටියා එක්ක යාලු මිත්‍රකමක් ඇති කරගත්තා පැය ගාණක් ඇතුලත. [මම බල්ලා එක්ක යාලු වුනාට බල්ලා තවම මාව අඳුරන්නේ නැති එක වෙනම කතාවක්]

එක බලු පැටියෙක්ගේ නම ශැඩෝ, නම දාලා තියෙන්නේ අපේ මෑණියෝ.
අනික් බලු පැටියාගේ නම මැක්සි, නම දාලා තියෙන්නේ අපේ නැගණිය.

කෝමෙන් කෝම හරි දවස් දෙකක් මේම ගත වුනා. දවස් දෙකෙන් පස්සේ මගේ නැගණියතුමිය ආවා ඇයගේ බලු සුරතලාත් එක්ක අපේ මෑණියන්ගේ ගෙදර. එදා මමත් එහෙ..
දැන් ගෙදර බලු පැටව් දෙන්නයි !

ගෙදර උන්දෑලා සියල්ලෝම බලු සුරතල් බලනවා. ෆොටෝ ගහනවා. සෙල්ෆි ගහනවා. ඉඹිනවා. නටනවා. එක සෙල්ලමයි !
ටික වෙලාවක් ගත ගත වෙද්දි තක්බීර් වෙලා ඔහේ ඉන්න බලු පැටව් දෙන්නා වටකරගෙන දඟලලා, හුරතල් කරලා ඇතිවෙච්චි මහන්සියෙන් පොඩි බ්‍රේක් එකක් ගන්න නිසාදෝ කට්ටිය එහෙට මෙහෙට වුනා පොඩ්ඩ පොඩ්ඩ.
දැන් බලු අයියයි, බලු මල්ලියි එකට. තනියෙම. සෙල්ලම් කරනවා. පෙරළෙනවා. එකාගේ පිට අනෙකා නගිනවා. දඟලනවා.. [බලන්න ලස්සනයි ඈ]

ටික වෙලාවක් ඕම ඕම ගත වෙලා අපි අපේ කථා වලට සෙට් වෙලා ඉද්දි මෙන්න යකෝ බලු සහෝදරයෝ බලු සටනක් පටන් ගෙන..
එකෙක් අනිත් එකාව හපනවා, මූ අරූව හපනවා, අරූ මූව හපනවා, ආයෙත් මූ අරූව හපනවා, ආයෙත් අරූ මූව හපනවා.. [වලිය ටිකක් ඕවර් ද ටොප් ගියා කියල කිව්වොත් හරි]
බලන් ඉන්න බැරිම තැන නැගණිය සහ මෑණියන් වහා ඉදිරිපත් වෙලා තම තමන්ගේ බලු පැටවුන් ගත්තා අතට.
දෙන්නටම තරහයි බලු පැටව් එක්ක. තමාගේ බලු පැටියා එක්ක නෙමේ, තමන්ගේ බලු පැටියට රිද්දපු අනිත් බලු පැටියා එක්ක.

නංගිට තරහයි අම්මගේ බලු පැටියා එක්ක, අම්මට තරහයි නංගිගේ බලු පැටියා එක්ක.
ඒ අස්සෙ කට්ටිය බලු පැටව් දෙන්නව කම්පෙයාර් කරන්න අරගෙන. වඩා ලස්සන මොන එකාද, ෆයිට් එකෙන් දින්නේ මොන එකාද, දෙන්නගේ නම් වලින් ලස්සන මොන එකාද, අරකද මේකද..[සීරියස් නෙමේ ඉතින්, විහිලුවෙන්]

දෙගොල්ලන්ටම තමාගේ ගෙදර දවස් දෙකක් හිටපු බලු පැටියයි ලොකු.
එකම සමාන, එකම විදිය, නිවුන් බලු පැටව් දෙන්නෙක්ව දවස් දෙකෙන් තමාගේ සහ තමාගේ නොවන විදියට බෙදාගත්ත උන්දෑලා හොඳම බල්ලා තමාගේ එකා කිය කිය වාද කරනවා..

ටික වෙලාවකින් ආයේ බලු පැටව් දෙන්නා යාලු වෙලා කියහන්කෝ [කලින් තරහ වුනා කියල කියන්නෙත් ඉතින් අපිමනෙ]

ඔය වලි කතා අස්සේ… මේ සිද්ධියම වෙනස් ආකාර වලින් කීපාරක් නම් දැකලා ඇද්ද කියලා මමතුමා කල්පනා කරනවා..

කතාව ඉතින් එච්චරයි. නිමි ඈ.

ප/ලි - මේ බලු කතාවෙයි ලංකාවේ දේශපාලකයන්ගේ පැත්තක් අරන් වාද කරගන්න, මරාගන ජනතාවගෙ කතාවෙයි කිසිම සම්බන්ධයක් නෑ හරිය.

1 comment:

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...