Monday, July 17, 2017

ඩිවෝස් එක හෙට නෙමේ අද

"පුතේ, පවුල් ජීවිතේ කියන්නෙම ප්‍රශ්න තමා.
කවදාවත් විසඳෙන්නෙ නැති ප්‍රශ්න තියෙද්දිත්
දිගටම එකට ඉන්න එකයි පවුල් ජීවිතේ කියන්නෙ" ....
අවුරුදු ගාණකට කලින් මම ඩිවෝස් වෙන්න තීරණය කල වෙලාවෙ
හැම වැඩිහිටියෙක්ම වගේ මට කිව්ව කතාව ඕක.

ගොඩක් දෙනා හිතන් ඉන්න විදියට කොච්චර ප්‍රශ්න ආවත් එකට ඉන්න එකයි වැඩේ.
මැරෙන කල් වෙන් නොවී එකට ඉන්න පුළුවන් නම් ඊට වඩා දෙයක් නැහැ.
අපේ ආච්චිල සීයල, අම්මල තාත්තල, ඒ කියන්නෙ අපේ වැඩිහිටි පරපුර තම තමන්ගේ ජීවන සගයා එක්ක එකට හිටිය කාල සීමාව ගැන කයිවාරු ගහන්නේ මාරම ආසාවෙන්.

"අපි බැන්දේ මේ වයසෙදි.. අපි නම් දැන් කාලෙ උන් වගේ පොඩි දේවල් අල්ලගෙන දික්කසාද වෙන්න හැදුවෙ නෑ.. මරාගෙන හරි එකට හිටියා.. නැත්තන් මෙච්චර අවුරුදු ගාණක් පවුල් කන්න පුළුවන් වෙයිද?"

ඇත්ත.
ගොඩක් වෙලාවට පුදුම කට්ටක් කාගෙන, දත විකාගෙන, තොල හපාගෙන, පුක ඉරාගෙන අවුරුදු ගාණක් ගත කරපු ජීවිතයකට අන්තිමට කියන්න තියෙන්නේ "මම මෙච්චර කාලයක් මේක ඉවසගෙන හිටියා.." කියන එක විතරයි.
ඔය විදියට හිතන ඈයෝ කියන්නෙ ආදර/විවාහ/මිනිස් සම්බන්ධතාවයක වටිනාකම තීරණය වෙන්නෙ ඒ සම්බන්ධතාවය පැවතිච්ච කාල සීමාව මත කියල. ඒ කියන්නෙ පැවැත්ම දිගයි නම් වැඩේ හරි.
පට්ටම සාර්ථකයි !

සුද්දො පොඩ්ඩ බැරි වෙද්දි ඩිවෝස් වෙනව..
ඒත් අපි කට්ට කාගෙන හිතෙන් දුක් විඳ විඳ අවුරුදු තිහ හතලිහ පවුල් ජීවිත ගත කරනව කියන එක අපේ පැත්තෙන් සාර්ථකත්වයේ ලක්ෂණයක් කියලයි ගොඩක් අය කියන්නෙ

ඒත් දික්කසාදය කෙනෙක්ගේ ජීවිතේ නොමැකෙන කළු පැල්ලමක් විදියට දකින, ලොකුම පරාජයක් විදියට දකින, ආර්ථිකව හරි මානසිකව හරි තමාගේ සහකරුවාගෙන් තොරව පැවැත්මක් ගැන හිතන්න බැරි තත්වයක් අස්සෙ විඳවන ජීවිත වල කූඩු වෙලා ලෝකෙට පේන්න හිනා වෙන ජීවිත සාර්ථකයි කියල හිතන්න පුළුවන්ද?

දේපල නිසා එකට ඉන්න...
දරුවො නිසා එකට ඉන්න සිද්ධ වෙලා තියෙන
දෙමව්පියන් නිසා එකට ඉන්න..
වෙන් වෙන්න තියෙන ලජ්ජාව නිසා එකට ඉන්න..
තමාගේ සහකරුවා නැතුව ජීවත් වෙන්න බැරි නිසා එකට ඉන්න..මිනිස්සු කොච්චර ඉන්නවද?

මට හිතෙන විදියට ඒවල වරදක් කියන්න බෑ.
එක එක මනුස්සයට
එකිනෙකාගෙන් වෙනස් නොයෙකුත් හේතු තියෙන්න පුළුවන්.
ඒත්, ආදරය..සතුට..නිදහස..විඳීම හොයන ජීවිත වලට
ඒ වගේ අය තමන්ගේ කුණුවෙච්චි ලෝක අස්සෙ ඉඳගෙන ඇඟිල්ල දික් කරන එකේ තියෙන කුහක කම ගැන කතා නොකර බෑ.

මම දන්න මගේ සමහර යාලුවෝ ගෑණි එක්ක ජීවත් වෙන්නෙ වර්තමානයේ නෙමේ.. අතීතයේ..
ඒ කියන්නෙ උන් බැඳල හිටියට හිතින් ජීවත් වෙන්නෙ අවුරුදු ගාණකට කලින් යාලුවෙලා හිටිය කෙල්ල එක්ක.
ඒ මතකය එක්ක.
තමන්ගේ ජීවිතයේ අසතුට වහගන්නේ අතීතයට ගිහින්.
ඒ ජීවිත වලට වර්තමානයක්වත් අනාගතයක්වත් නෑ.
අතීතයේ හිර වෙලා අතීතයේම ජීවත් වෙලා අතීතයේම මැරිලා ගිහින්.

තමාගේ හොඳම යාලුවා ඇත්ත ජීවිතයේදී මිනිහා එක්ක මරා ගන්න බව දැන දැන උන් දෙන්නා ෆේස් බුක් එකේ දාන ෆොටෝ එකකට "ලව්ලි කපල්" කියල හාට් එකක් දාන්න ගොඩක් දෙනෙක්ට පුළුවන් උනාට උන් දෙන්නා දික්කසාද වෙන එක ගැන ධනාත්මක විදියට කතා කරන්න ඒ අය ලෑස්ති නෑ.
එහෙම තත්වයක් තිබ්බ බව දැන දැනත් දික්කසාදය දකින්නේ ඒ ජීවිතයේ වැටුන තැනක් විදියට.

කිය කිය හිටපු කතාවට ආයෙම ආවොත්, ගොඩක් දෙනා හිතන්නේ.. ගොඩක් දෙනාට හිතන්න පුරුදු කරල තියෙන්නෙ ආදර සම්බන්ධතාවයකට කෙළවෙන්නෙ 'වෙන්වීම' කියන පොයින්ට් එකේදි කියල.

ආදර සම්බන්ධතාවයකට කෙළවෙනවා කියන්නෙ දෙන්නා වෙන්වීම කියල ගොඩක් අය හිතන් හිටියට ඇත්තට එහෙම නෙමේ කියලයි මට හිතෙන්නෙ. දෙන්නාගෙම හරි දෙන්නගෙන් එක්කෙනෙක්ගෙ හරි හිතේ දිගින් දිගටම අසතුට පැලපදියම් වෙන එකයි කෙළවීම පටන් ගන්න මොහොත.
එතනදියි රිලේෂන්ශිප් එකකට කෙළවෙන්නෙ.

ඕකෙ අන්තිම ප්‍රතිපලය තමා වෙන් වෙන එක.
කෙල්ලට/කොල්ලට බූට් එක තියද්දි, දික්කසාද වෙද්දි රිලේෂන් එකට කෙළ වෙලා ගොඩක් කල්.

අපි ඔය වෙන් වෙන පොයින්ට් එක මාරම නෙගටිව් දෙයක් විදියට දැක්කට ඇත්තටම ඒක පට්ටම පොසිටිව් දෙයක්.
නිදහස් වීමක්.. අලුත් ජීවිතයකට අඩිය තියන්න අවස්ථාවක් ලැබීමක්.. ගත වුන කාලයේ ලැබුන අත්දැකීම් එක්ක තමන්ට තමන්වම එක්ස්ප්ලෝර් කරන්න අවස්ථාවක් ලැබීමක්..
වෙන් වෙන්න ගන්න තීරණයම පට්ට ධනාත්මක පියවරක්.

ඔය මොහොත සමාජය කියන තරම්ම නෙගටිව්ද?
ට්‍රයි කරන්න පුලුවන් උපරිමේටම ට්‍රයි කරල, බැරිම තැන මිනිස්සු වගේ වෙන් වෙන්න තීරණය කරන එක ඔය තරම් කුජීත දෙයක්ද?

ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ.. මිනිස්සුන්ගේ ජීවිත වල ආඩම්බර වෙන්න ඕන මොනවටද, ලජ්ජා වෙන්න ඕන මොනවටද කියන එක තීරණය කරන්නෙ සමාජය.
ඒ කියන්නේ මිනිහෙක්ගේ ආඩම්බරය සහ ලජ්ජාව (pride and shame) තීරණය කරන නිර්ණායක නියම කරන්නේ සමාජය විසින්.
ඒ අනුවයි සමාජය කියන්නේ "අවුරුදු හත අටක ලව් අෆෙයාර් එකක් නවත්තන එක... දික්කසාද වෙන එක ජීවිතයේ අසාර්ථක ලැජ්ජා වෙන්න ඕන කාරණයක්" කියල

නමුත් සමාජයෙන් දීල තියෙන නිර්ණායක ප්‍රශ්න කරල..
ඒවයේ තියෙන ගොබ්බ කම තේරුම් අරගෙන ඒවට පයින් ගහල දාලා..
තමන්ගේ වටේ ඉන්න උන් තමන් ගැන හිතන දේ අනුව තමන්ගේ පුද්ගලික තීරණ නොගන්න මට්ටමට එන්න පුළුවන් නම්..
ඔය ඔක්කොමල්ලට මැද ඇඟිල්ල පෙන්නලා විඳවන ජීවිතයක් වෙනුවට විඳින ජීවිතයක් හොයාගෙන යන්න පුළුවන්කම ලැබෙයි
අසතුට වෙනුවට සතුට හොයාගෙන යන්න පුළුවන් වෙයි.

ඒකට ඉතින් ගට තියෙන්න ඕන.

"මම අනිත් අය මම ගැන හිතන දේ ගනන්  ගන්න කෙනෙක් නෙමේ"

කියල ෆේස් බුක් එකේ බොරුවට එක එක පේජ් කාරයෝ හදපු ෆොටෝ ශෙයාර් කරල විතරක් නම් ඒ දේ කරන්න මේ කපේදි පුළුවන් වෙන එකක් නෑ.


5 comments:

  1. සිතුවිලි සටහන් බ්ලොග් කියවනය - http://sithuwilisatahan.com/

    පොඩි ස්පෑම් පාරක් බ්ලොග් ලියන අය දැනුවත් කරන්න දැම්මේ අවුලක් නැහැනේ

    ReplyDelete
    Replies
    1. කිසිම අවුලක් නෑ

      Delete
  2. Husband & wife like a
    two sides of a coin
    never face each other
    but
    still want to stick together

    ReplyDelete