Thursday, July 20, 2017

ටීවී සීරීස් වල වල් සීන්

ඔබේ අදහස් + අපේ අදහස් = අළුත් අදහස්
♫ ♫ විකාශයට සුදුසු සමාජයට හානි පමුණුවන්නේ නැති ඉංග්‍රීසි රූපවාහිනී නාට්‍ය මාලාවන් කිහිපයක් නම් කරන්න.

ඔය "ජාතික රූපවාහිනිය - Sri Lanka Rupavahini (TV) Corporation" ෆේස් බුක් පේජ් එකේ මීට දවස් දෙක තුනකට කලින් දාලා තිබ්බ පෝස්ට් එකක්.

ඉංග්‍රීසි චිත්‍රපටි, රූපවාහිනී කතා මාලා බලන එක විනෝදාංශයක් කරගත්ත මම මේ වගේ දේවල් ගැන බුකියේ කතා කරන්න පට්ටම කැමතියි.
මොකද ආගම දේශපාලනය වගේ දේවල් ගැන කතා කරනව වගේ නෙමේ
මේ වගේ දේවල් ගැන චිල් එකේ කතා කරන්න පුළුවන්.
වලි නෑ.. කුණුහරප නෑ.. ගේම් නෑ..
කාලය කාදමන්න මරු ටොපික්ස්.
කොච්චර ලොකු ටෝක් දුන්නත් ෆේස් බුක් එන්නේ ඕකටනෙ අපි.
මොකක් හරි මගුලක එල්ලි එල්ලි කියවන්නනෙ.

ඉතින් මාත් හිතුවා ඔය පෝස්ට් එකට කමෙන්ට් එකක් දාන්න
මම කැමතිම ටීවී සීරීස් දෙක තුන මොනවද කියල.

අංක එක ඉතින් Breaking Bad නෙ. කතා දෙකක් නෑනෙ.
දාමු කමෙන්ට් එක.

ආ.. පොඩ්ඩක් හිටු

ප්‍රශ්නයක් !

"Breaking Bad ලංකාවෙ පෙන්නන්න පුළුවන්ද?..
බැරි වෙයි නෙහ්? මෙත් හදන සීන් ගොඩක් තියෙනවනෙ.
එතකොට Game of Thrones? කොහොමත් බෑ.
Narcos? ඒකත් බැරි වෙයි...කුඩු සීන් නෙ"

ශිට් !

House of Cards, Sherlock,  True Detective??

ඒවා නම් පෙන්නන්න පුළුවන් වෙයි.
ඒත් ඕන්නෑ.
වැඩක් නෑ කමෙන්ට් කරල. මම මටම කියාගත්ත.

"සමාජයට හානි පමුණුවන්නේ නැති"
මගුල !

ඔය කියන්නේ සෙක්ස් නැති කියන එකනෙ.
වෙන මහලොකු බක්කක් නෙමේනෙ.
අපිට සෙක්ස් තරම් අරහං දෙයක් මේ තුන් ලෝකෙම නැතුව ඇති.
රූපවාහිනියෙ උන් නොකියා කියන්නෙ ඕක.

"වල් සීන් නැති මොකක් හරි ෆිල්ම් එකක් දියන්කො ගෙදර ගිහින් බලන්න"

අපි හයේ හතේ පන්තියෙදි යාලුවන්ගෙන් බලන්න ෆිල්ම් ඉල්ලගත්ත විදියට තමා අපේ රටේ ජාතික නාලිකාව ටීවී සීරීස් පෙන්නන්න රටේ මිනිස්සුන්ගෙන් කැමැත්ත අහන්නෙ.

"වල් සීන් නැති මොනව හරි කියහල්ලකො උඹලට පෙන්නන්න"

වල් සීන් දැකල නරක් වෙන්න මේ රටේ ඉන්නෙ බබාලනෙ.
සෙක්ස් කියන්නේ මොනවද කියල දන්නෙවත් නැති
හනිමූන් එකේදි පිරිත් දාලා ලයිට් ඕෆ් කරලා ඇස් පියාගෙන හැමිනිලා
අනිත් පැත්ත හැරිලා නිදාගන්න උන්නෙ මේ රටේ ඉන්නෙ.
තුක් නොදකින් !

දැන් මුන්ගෙන් අහන්න ඕන ප්‍රශ්නෙ තමා,
ඔය ටීවී සීරීස් හදන රටවලට ඕවලින් නොවෙන
අපේ සමාජයට විතරක් ඔය කතා වලින් වෙන
ඔය කියන අමුතු හානිය මොකක්ද කියල.

ඒ කියන්නෙ සෙක්ස් සීන් දැක්කම ඒ රටවල වැඩිහිටියන්ට නොවන මොනව හරි අපේ වැඩිහිටියන්ට වෙනවා කියන එකද?

ඕවා දැකල ටීවී එකෙන් බඩ වෙනවා කියන එකද?
ඕවා දැක්කම මිනිහා තමන්ගෙ ගෑණිගෙ අම්මා එක්ක හැමිනෙයි කියන එකද?

ඔය ටීවී සීරීස් හැදෙන රටවල සමහර නිර්මාණ හැදෙන්නේ වැඩිහිටියන් ඉලක්ක කරගෙන.
සමහරක් නිර්මාණ දරුවන් ඉලක්ක කරගෙන
සමහරක් නිර්මාණ දෙගොල්ලන්ටම රසවිඳින්න පුළුවන් ඒවා.

නමුත් අපේ රටේ වැඩිහිටියන්ට බැහැ වැඩිහිටියන්ට පමණක් සුදුසු දේ වලින් තමන්ගේ දරුවන්ව ඈත් කරල තියන්න.
ඒ තරම්වත් වගකීමක් ගන්න බැරි උන් තමා අපේ රටේ ළමයි හදන්නෙ.

මුන්ට දරුවන්ට හොරෙන් කාමරේ ඉඳගෙන හැමිනෙන්න පුළුවන් නම්
දරුවෙක් ටීවී සීරීස් එකක් බලන නොබලන එක
දරුවෙක් ටීවී එක බලන වෙලාව, සෙල්ලම් කරන වෙලාව, පාඩම් කරන වෙලාව
පාලනය කරන්න බැයිද?

ඇත්තටම බැලුවොත් අපේ රටවල වැඩිහිටියන්ට සුදුසු කියල රූපවාහිනි කතා මාලා නිර්මාණය වෙන්නේ නෑ.
වැඩිහිටියෙක්ගේ ජීවිතය තුල ඇතිවෙන ප්‍රශ්න, ගැටළු, අත්දැකීම්, හැඟීම් ගැන කතා කෙරෙන දේ රූපවාහිනියේ විකාශය වෙන්නෙ නෑ.
හැම දේම නිර්මාණය වෙන්නේ "මේක පොඩි එකෙක් එක්ක බලන්න පුළුවන්ද" කියන මිම්මට යටත් වෙලා

ඒත්,
අනිත් රටවල වගේම තමා අපේ සමාජයෙත් ඉන්නේ ලෙයින් මසින් හැදුන මිනිස්සු.
හැඟීම් දැනීම් ආශාවල් තියෙන මිනිස්සු.
උන් ගෙයි අපෙයි වෙනස තමා
අපි ලිංගිකත්වයට අශිෂ්ඨ ලේබල් එකක් ගහලා ඒක මුළුමනින්ම සමාජයේ කතාබහින් ඉවත් කරලා කළුවර කාමරයක දාලා වහලා හිර කල යුතු දෙයක්ය කියන ආකල්පයක් අවුරුදු ගාණක් තිස්සේ කරේ තියාගෙන ඉන්න එක.

ඕකත් හරියට උගුරට හොරා බේත් බොනවා වගේ වැඩක්.
මිනිස්සුත් එක්ක දැඩි සම්බන්ධයක් තියෙන
මිනිස්සුන්ගේ ජීවිත වල කොටසක් වෙච්චි
ලිංගිකත්වය කියන්නේ එහෙම හිර කරන්න පුළුවන් දෙයක් නෙමේ.
ලිංගිකත්වය හොඳ නැහැ කියල ප්‍රසිද්ධියේ බණ කියන අපේ මිනිස්සුම තමා රෑට ගූගල් එකේ සෙක්ස් හොයලා ලෝකෙන්ම කප් ගහන්නෙ.
කොච්චර බොරු ශිෂ්ඨත්වයක් ආරූඩ කරගන්න හැදුවත් මොන විදියකින් හරි අපිත් ලෙයින් මසින් හැදුන ලිංගිකත්වයට දැඩිව ආශාකරන හැඟීම් දැනීම් ඇති මිනිස්සුය කියන කාරණය එළියට එනවා කොයි විදියකින් හරි.

ලිංගිකත්වය විතරක් නෙමේ, වැඩිහිටියන්ට සීමා විය යුතු තේමා රැගත් ඕනම කලානිර්මාණයක් දිරවගන්න අපිට සමාජයක් විදියට බැයි නම් එතනින් නිර්මාණය වෙන්නේ සමාජයක් විදියට අපේ මැචුවරිටි එක ගැන ලොකු ප්‍රශ්නයක්.
ගෑණියෙකුයි මිනිහෙකුයි සිපගන්න, සංසර්ගයේ යෙදෙන දර්ශනයකින් හරි තරුණයෙක් මත්ද්‍රව්‍යය පාවිච්චි කරන දර්ශනයකින් හරි අපේ සමාජයට හානි වෙලා කෙළවෙලා යනවා නම් අපේ සමාජයේ වැඩිහිටියන් විදියට ජීවත් වෙන්නේ මොන බොළඳ බබ්බු ටිකක්ද කියන ප්‍රශ්නයයි අපිට අපෙන්ම අහන්න වෙන්නෙ

වෙන රටවල මනසින් නොමේරූ කුඩා ළමුන්ව ආරක්ෂා කරනවා වගේ ලිංගික දර්ශන වලින් අපේ සමාජයේ වැඩිහිටියන්වත් ආරක්ෂා කරන්න ඕන නම් අපේ සමාජයේ ඉන්නේ ඇත්තටම අවුරුදු හතලිහ, හැට පැනපු ළමයි ටිකක්

ටෝක් එක ඇදිල ඇදිල යනවනේ? තව ටිකයි ඈ..

අන්තර්ජාලය හරහා ඕනම කෙනෙක්ට ඔය ඉංග්‍රීසි නාට්‍යය ඩවුන්ලෝඩ් කරගෙන බලන්න හැකියාව තියෙනව නම් වර්තමාන තරුණ පරපුරෙන් බහුතරයක් දෙනා ඔය වගේ කතා මාලා අන්තර්ජාලයෙන් බාගත කරගෙන බලනව නම් ඒ නිර්මාණ රූපවාහිනියෙන් විකාශය වුනාම සිද්ධ වෙන අමුතු හානිය මොකක්ද කියන එක.

සමාජයට හානි වෙලා කෙළවෙලා යනව නම් අන්තර්ජාලයෙනුත් තහනම් කරල දාන්න ඕනනෙ. අනික මෙච්චර කල් කොල්ලො කෙල්ලො  ඉන්ටර්නෙට් එකෙන් ඕව බැලුව කියල සමාජයට මෙච්චර කල් නොවුන අමුතු හානියක් වෙලත් නෑනෙ. (අපි නොදන්න වැල කිව්වලු)

හැම වෙලේම වගේ මේකත් අර අපි හොඳ ශිෂ්ඨ සමාජයක්, විනයක් තියෙන සමාජයක් කියලා අපිවම රවට්ට ගන්න අපේ ගොබ්බ වැඩිහිටිපරපුර හදාගත්ත තවත් බොරු තියරියක් විතරයි කියලයි මට නම් හිතෙන්නෙ.  (මට හිතෙන්නෙ නෙමේ ඒක තමා සීන් එක)

මේ විකාර රූපි බොරු සදාචාරවත් කතා ඇහෙද්දි මට හැම වෙලේම මතක් වෙන්නෙ මීට ටික කාලයකට කලින් රටේ ප්‍රධාන ආගමික නායකයෙක් කියපු කතාවක්

"හාමුදුරුකෙනෙක්ට මස් කන්න ඕන නම් ප්‍රසිද්ධියේ කන්න ඕන නෑනෙ. කාට හරි කියල ගෙන්නගෙන හොරෙන් කන්න පුළුවන්නෙ"

හොරෙන් කනවා නම් කමක් නෑ. ප්‍රසිද්ධියෙ කනවා නම් අවුල්. ඩවුන්ලෝඩ් කරගෙන බලන එක කමක් නෑ. ටීවී එකේ පෙන්නන එක අවුල්.

කුඩු කන්ටේනර් ගනන් වලින් ගේන දේශපාලකයෝ ඉන්න, ඒ දේශපාලකයන්ට ආයෙ ආයෙ ඡන්දෙ දීලා පාර්ලිමෙන්තු යවන ජනතාවක් ඉන්න, දිනපතා ස්ත්‍රී දුෂණ සිද්ධ වෙන, මානසික අසහනකාරයන්ගේ විසින් කුඩා ළමයි දූෂණය කරලා මරලා දාන
සමාජයක ජීවත් වෙන අපි තුළ නැති සදාචාරයක් රෑට ටීවී එකේ හරි දකින්න හිතන එකෙන් කියවෙන්නේ ඉතින් අපි කොච්චර පව් ද කියල තමා.

අන්තිමට කල්පනා කරලා කරලා
ජාතික රූපවාහිනියේ සමාජයට හානි නොකරන
ටීවී සීරීස් පෝස්ට් එකට දැම්මා කමෙන්ට් එකක්

"අපි අපේ වැඩිහිටියන්ට බලන්න රෑට රෑට සිංහලෙන් හඬකවපු හා හා හරිහාවා පෙන්නමු"

5 comments:

  1. ඉතින් එතනත් අවුලනේ.. හා හා හරි හාවත් 'හොඳ' හාවෙක් නෙවෙයිනේ.. ඒකත් වැඩිහිටියන්ට හොඳ නැහැ ඉතින්

    ReplyDelete
  2. The Last Kingdom හොයා ගත්තා. මේ දවස්වල බලනවා.
    සීරීස් එකේ පොත් 2-3ක් කියවල තියනව.
    වඩා හොඳ Bernard Cornwell's පොත්ද, TV සීරීස් එකද කියන එක තාම හිතනව
    (ලංකාවෙ චැනල්වල වාරණයන් / වික්ටෝරියානු-සිංහල සංස්කෘතික සීමා ගැන හිතන වඩා කම්පියුටර් එකෙන් හරි ඩීවීඩී ප්ලේයර් එකකින් මූවී එකක් හරි ටීවී සීරීස් එකක් හරි බලා ගෙන ඒ ගැන සිතීම මානසික සුවයට හොඳයි.)

    ReplyDelete
    Replies
    1. The Last Kingdom බලල නෑ. හොඳයිද?

      Delete
    2. https://en.wikipedia.org/wiki/The_Last_Kingdom_(TV_series)

      https://en.wikipedia.org/wiki/The_Last_Kingdom

      මං කැමති හා කියවල තියන ඉතිහාසය නිසා මට නම් හුඟක් හොඳයි.
      ඒ ඇරෙන්න රඟපෑම්, ඇඳුම් පැලඳුම්, ඇක්ෂන් සහ විශේෂයින්ම පීරියඩ් සෙට් හුඟක් හොඳයි

      Delete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...