Friday, September 15, 2017

දේශපාලකයෝ වැරදි කරති...අපි?

දේශපාලකයෝ වැරදි කරති.

 ...අපි?

කහ ඉරෙන් පාර නොපැනීමේ සිට, හෙල්මටය නැතිව මෝටර් සයිකලයේ යාමේ සිට පාසැලට දරුවා දමා ගැනීමට බොරු ඇඩ්‍රස් හැදීම දක්වා දිනපතා නීතිය කඩකරන ජනතාවකි, අපි.

මාර්ග නීති උල්ලංඝනය කොට අසුවූ පසු අල්ලස් නොගෙන උසාවි දැමීම ගැන පොලිසියට දොස් පවරන ජනතාවකි, අපි.

“ඉස්සර නම් රුපියල් පන්සීයක් දාහක් දීලා ශේප් කරගන්නවා. දැන් මුංට සල්ලි කීයක් හරි දීලාවත් ශේප් කරගන්න බෑනෙ. දීලා තියෙන ටාර්ගට් එක කවර් කරගන්නයි මුංට ඕන..කාලකණ්ණි හැත්ත” කලක් නීතිය කඩකරන ජහමනයා පොලිසිය විසින් නීතිය ක්‍රියාත්මක කරන විට ප්‍රතිචාර දැක්වූයේ එහෙමය.

බැංකුවකට ගියද කාර්‍යාලයකට ගියද, ගුවන්තොටුපලට ගියද හැඳුනුම්කම් ඉදිරියට දමා අඩුම තරමේ පෝලිමෙන් හෝ පැන ඉදිරියට යන්නට දඟලන ජනතාවකි, අපි.

හැඳුනුම්කම් පමණක් නොව, නෑදෑකම්, යාලුකම් පමණක් නොව, පට්ටම්, උගත්කම් වැනි ඕනෑම දෙයක් ඉස්සරහට දමමින් ඕනම වෙලාවක අනෙකා පරයමින් කුමක් හෝ වාසියක් ලබා ගන්නට තටඹන, අනෙකා පාගා තමන්ගේ කුමන හෝ අපහසුතාවයක් මඳක් හෝ අඩු කරගන්නට දතකන ජනතාවකි, අපි.

තමාගේ බලපුලුවම්කාරකම් යොදා තම දරුවාට, නෑදෑයාට හැකි උපරිමයෙන් යමක් කරදීමට වෑයම් කරන ජනතාවකි, අපි.

නීතියේ ආධිපත්‍යය යනු කුමක්ද, එහි වැදගත්කම මොකක්ද, සැමට නීතිය එක හා සමානව ක්‍රියාත්මක විය යුත්තේ ඇයි, වැනි කාරණා ගැන අවබෝධයක් නැති ජනතාවකි, අපි.

කොටින්ම පාලකයාගේ වැරදි ගැන කතා කිරීමේදී "අපි ඔතනට ගියත් ඉතින් අපිත් කරන්නේ ඕකමනෙ" කියා නිර්ලජ්ජිත කතා කියන ජනතාවකි, අපි.

කතාව ඇත්තය. අපි ඔතනට පත් වුවද තත්වය මෙසේමය.

අපිට අනුව අපරාධකරුවන් ආයුධ පෙන්වීමට යැවීම හොඳය, අප අකමැති උන් මැරීමට යොදාගන්නවා නම් සුදුවෑන් පවා හොඳය, අප සමාජයේම නිර්මාණයන් වන 'කළු චරිත' එල්ලා මරා විනාශ කර දැමීම හොඳය. 

අපට අනුව අපරාධකරුවන්ට මක් වුවද කම් නැත. සමලිංගිකයන්ට මක් වුවද කම් නැත. සංක්‍රාන්ති ලිංගිකයන්ට මක් වුවද කම් නැත. අපේ නොවන අනෙක් ජාතීන් වල මිනිසුන්ට අපේ යහපැවැත්මේ නාමයෙන් මොනවා වුවද කම් නැත. අපිට අපි නොවන, අපි වගේ නොවන, අපිට වඩා වෙනස් අනෙකුට මක් වුවද කම් නැත.

අපට අනුව පාලකයා වැරදි කලද කම් නැත. පාලකයා කුමන ක්‍රමයක් හෝ යොදාගෙන අපගෙ මනදොල සනසනවා නම් පාලකයා අතින් වන බරපතල වැරදි වලට පවා නොපසුබටව සමාව දීමට සූදානම් ජනතාවකි, අපි. එවන් ජඩ පාලකයන් හිර ගෙවල් වලට යද්දි මෙන්ම හිර ගෙවල් වලින් එද්දී ද මල් මාලා දමමින් පිළිගැනීමට සූදානම් ජනතාවකි, අපි. අප කැමති උන්ට නීතිය අදාල නැත. අපි කැමති දේ කරනවා නම් උන්ව නීතියෙන් ආරක්ෂා කිරීමටද සැදී පැහැදී සිටින ජනතාවකි, අපි.

ඒ අපේ කමය. සැකවින් කීවොත් ඒ අපේ සිස්ටම් එකේ හැටිය. කොහේන් හෝ අපට උරුම වී දිගින් දිගටම අප විසින් නඩත්තු කරනා සිස්ට්ම් එකේ හැටිය.

ඔබ සහ මම ඒ තරම් තිත්ත, අප්‍රසන්න, අමිහිරි, සමාජ ක්‍රමයක කොටස් කාරයන්ය.

සිස්ටම් එකට සාපේක්ෂව බැලුවහොත්, සැබෑම වරද වැරදි කිරීම නොව, අහුවෙන්න වැරදි කිරීමය.

මෙය චක්‍රයකි. මුලක් මැදක් අගක් සෙවිය නොහැකි මඩ ගොහොරුවක කැරකැවෙන රෝදයකි.

ජඩයන් වූ පාලකයන් බිහිවන්නේ ඉහත සඳහන් කල චින්තනයක් හිසේ දරාගෙන සිටිනා ජනතාව අතුරිනි. ජනතාව අතුරෙන් බිහිවන පාලකයන් නිර්මාණය කරන දේශපාලන සංස්කෘතිය යනු අප සමාජ චින්තනයේ ප්‍රතිබිම්බයයි. ජනතාව අතුරෙන්ම තේරී පත්වී තමාගේ පැවැත්ම තහවුරු කරගැනීම ඉලක්ක කරගෙන ජනතාව තුළ තිබෙන මේ පසුගාමී චින්තනයට උල්පන්දම් දෙමින් එය තමන්ගේ වාසියට යොදාගන්නේද ජනතාව විසින්ම ඒ චින්තනය උරුම කර දුන් පාලකයායි.

මේ විකෘති වූ සිස්ටම් එක වෘක්ෂයක් නම් එහි කඳ නරුම දේශපාලකයායි. ඒ වෘක්ෂය නොවැටෙන සේ දරා සිටිනා මුල් වන්නේ මේ රටේම ජනතාවයි.

තත්වය එසේ තිබියදි රටේ අනාගතය බාර ගන්නට සිටිනා දරුවන්ට සිතන හැටි කියා දෙන්නේද මේ ජනතාවමය. ඒ දරුවන්ව මිනිසුන් කරනා අධ්‍යාපන ක්‍රමය කෙසේ විය යුතු දැයි කියා දෙන්නේ මේ පාලකයාමය.

මෙවන් නරුම ක්‍රමයක කොටස්කාරයන් වන අපි, පාලකයන් අතින් අපි අකමැති විදියේ වැරදි සිදුවූ විට පමණක් පාලකයාට දොස් තබමු. ශාප කරමු.

අපගේ ඇඟවල් බේරා ගැනීමට අපේ ජිවිතයේ හැම ප්‍රශ්නයකටම ඔවුන් වග උත්තරකාරයන් කරමු.

මොන දෙය වුවද වෙනකකුට ඇඟිල්ල දික්වන තාක් අපට සතුටුය. අපට ඕනෑ අපගේ ප්‍රශ්න වලට වගකිව යුතු වරදකරුවෙක් පමණි. ඒ වරදකරු අප නොවන තාක් අපට සැනසිල්ලේ නිදාගැනීමට ඇහැකිය.

කොහෙන් ගියත් ප්‍රතිපත්තිගරුක, ගුණගරුක, නීතිගරුක ජනතාවක් වන අපි, හරිය. අපිහරිම හොඳය.අපි සුදනෝය.

අපිට අනුව වැරැද්ද අපේ නොව පාලකයාගේය.

මෙය චක්‍රයකි. මුලක් මැදක් අගක් සෙවිය නොහැකි දිනපතා මඩ ගොහොරුවක කැරකැවෙන රෝදයකි. 

දේශපාලකයෝ වැරදි කරති.

 ...අපි?


3 comments:

  1. අසාධාරණ ලෙස අනික් අය අභිබවා යම් උදව්වක් ලබා ගත් විට ඒ පිළිබඳ කටමැත දොඩවන ජාතියකි අපි. අපි පත් කරන දේශපාලකයා අපේම ගතිගුණ, සිතුම් පැතුම් ඇති ලෝකයා ඉදිරියේ අපේම කැඩපතකි. ඉතින් වරද කොතනද? මේ පිලිබඳ අපි කථා කරමින් අනෙක් අයට වඩා බුද්ධිමත් කෙනෙක් ලෙස පෙනීමට තැත් කලද, අපට තනි තනියම හෝ කළහැකි යමක් කරන්නේද, නැතිනම් අනෙක් අය මෙන්ම පෝලිම කඩා ගෙන ඉදිරියට නොයන්නේද?

    ReplyDelete
  2. තඩියා මොකොබන් උඹේ බ්ලොග් එකේ තද පොරවල් කොමන්ට් දන්නේ නැත්තේ උන් උඹ ව ගණන් ගන්නේ නැද්ද? ඇදපන් වලියක් කොමට් දන්නා කියලා උඹ ලියන බ්ලොගේ අනික උඹේ ඇඟේ හැටියට උඹට ඕන එකකුට කෙලින්න පුළුවන්නේ උඹට මොලේ නැති වුනාට

    ReplyDelete

බුදුන් මැරීම

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැ...